වෙබ් ලිපිනය:

Thursday, July 16, 2015

ජයග්‍රාහකයෙකු තෝරා නැති රුපියල් කෝටි හත් ලක්ෂ තිස් නමදාහේ මහා ණයමල්ල


ඊයේ නැවැත්වූ හෝටල් ප්‍රශ්නය පටන් ගන්නේ මේ විදිහටය.

"ඔබ දන්නවා ලංකාවේ හැම කෙනෙක්ම රුපියල් ලක්ෂ 4 ක් පමණ ලෝක බැංකුවට සහ චීනෙට ණය බව."

ඔය කිවුවාට අපි හැමෝම ඕක හරියටම දන්නේ නැත. හරියටම දැන ගැනීමටනම් පළමුව මහ බැංකුවට යා යුතුය. මහ බැංකු වාර්තාවේ හැටියට පහුගිය 2014 අවසන් වන විට අප විසින් පහුගිය කාලයේ තෝරාගත් පාලකයින් විසින් පක්ෂ භේදයකින් තොරව අපි වෙනුවෙන් ණය වී ඇති මුදල රුපියල් කෝටි වලින් හත් ලක්ෂ තිස් නමදාහකි. කෝටි දෙකකට ටිකක් වැඩි අපේ රටේ ජනගහනයෙන් මේ මුදල බෙදූ විට එක් අයෙකුගේ පංගුව රුපියල් 358,103කි.

ලෝක බැංකුවේ සහ මහ බැංකුවේ වෙබ් අඩවි වල ඇති දත්ත අනුව 1990 සිට පසුගිය වසර විසිහතර තුළ අපේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ පහත වගුවේ ආකාරයටය.

1990දී රුපියල් 18,265ක් වූ ඒක පුද්ගල ණය සෑම වසර පහකටම පසු දෙගුණයක් පමණ දක්වා වැඩි වී 2014 වසර අවසන් වන විට රුපියල් 358,103ක් දක්වා විසිගුණයකින් පමණ වැඩි වී තිබේ.  රුපියල අවප්‍රමාණය වීම නිසා සිදු වන වෙනස ඉවත් කළත් ණය ප්‍රමාණය හයගුණයකින් වැඩිවී ඇත. මේ වසරේ පසුගිය මාස හය තුලදී තොග ගාණට විකිණූ බැඳුම්කර ඇතුළු අළුත් ණය එකතු කළ විට මේ ගණන දැන් රුපියල් ලක්ෂ 4 ඉක්මවා හෝ ඊට ආසන්නව තිබීමට ඉඩ තිබේ.

මේ වසර විසිහතර තුළ ලංකාවේ ජනගහණයද 21% කින් වැඩි වූ බවත් මෙහිදී අමතක නොකළ යුතුය. ඒ අනුව මුළු ණය ප්‍රමාණයේ වැඩි වීම ඒක පුද්ගල ණය වැඩිවීමටත් වඩා 21% කින් වැඩිය.

ඔය කාලයේ අපේ ආදායමත් ඔය ආකාරයටම වැඩිවී තිබෙන නිසා ණය වැඩිවීම ප්‍රශ්නයක් නොවේයැයි කෙනෙකුට තර්ක කළ හැකිය. කතාව ඇත්තය. ආදායම වැඩිවෙලාය. හැබැයි වියදමත්, සමහර විට ඊටත් වඩා, වැඩි වෙලාය. එහෙම නැත්නම් අපේ බැංකු ගිණුම් වල ඔය ලක්ෂ හතර රෙඩිමේඩ් තිබිය යුතුය. පවුලේ ගණන හතරක්නම් ලක්ෂ 16කි.

හතර දෙනෙක් සිටින පවුලක් සතුව ලක්ෂ 16ක ඉතිරි කිරීම් නැත්නම් ඒ පවුලේ ඉන්නේ ණයකාරයෝය. ණය ගෙවා අවසන් කිරීමටනම් ඉදිරියේදී ලැබෙන ආදායමින් වියදම් කපා ඉතිරි කළ යුතුය. ඔය අතරේ පවුලට අළුතින් සාමාජිකයෙකු ඉපදීමට සිටිනවානම් තවත් ලක්ෂ 4ක් වෙන් කර තැබිය යුතුය. නැත්නම් ඉපදෙන්නේම ණයකරයෙකි.

මෙතන ඇත්තේ අප වෙනුවෙන් අපේ ආණ්ඩු ලබා ගත් ණය පමණි. ඔය ණයට අමතරව බොහෝ දෙනෙකුට නිවාස ණය, වාහන ණය, ක්‍රෙඩිට් කාඩ් ණය, ආපදා ණය ආදී මෙකී නොකී පුද්ගලික ණයත් තිබේ. ඒවා ගෙවිය යුත්තේත් අපිමය. ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. ඒ අතර ආණ්ඩු කරවන ඇත්තෝ ඉදිරියේදී අපි වෙනුවෙන් තවත් ණය වනු ඇත.

කෙසේ වුවද, උඩින් සඳහන් කළ රුපියල් 358,103ක මුදල අපි ණය වී ඇත්තේ ලෝක බැංකුවට සහ චීනයට පමණක් නොවේ. අපේ ණයකාරයින්ගේ ලැයිස්තුව ඊට වඩා ගොඩක් දිගය. එයින් වැඩි ප්‍රමාණයක් එනම් රුපියල්  207,267ක් දේශීය ණයයි. ඉතිරි රුපියල් 150,836 විදේශීය ණයයි.

විදේශීය ණය වලින් රුපියල් 43,023ක් අපි ලබාගෙන ඇත්තේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය ගිවිසුම් යටතේ ණය දෙන ආයතන වලිනි. මේ ණය සාමාන්‍යයෙන් පොලී රහිතවම හෝ සහන පොලියක් යටතේ දිගු කාලයකින් ආපසු ගෙවීමට ලබා දෙන සංවර්ධන ආධාරයි. අපේ ආදායම් තත්ත්වය අනුව දැන් අපිට මෙවැනි 'අනුකම්පාවට ලැබෙන' ණය ලබා ගැනීම පහසු නැත. ඒ ණය වැඩි වශයෙන් ලැබෙන්නේ ආදායම් තත්ත්වය අපටත් වඩා ඉතා අඩු අප්‍රිකානු රටවලටය.

තවත් රුපියල් 38,432ක් වෙනත් රටවලින් කෙලින්ම ලබා ගත් ද්විපාර්ශ්වික ණයයි. චීන ණය ඇත්තේද මේ ගොඩේය. මෙවැනි ණය බොහෝ විට ලැබෙන්නේ නිශ්චිත ව්‍යාපෘති සඳහාය. ඇතැම් විට කෙලින්ම මුදල් වෙනුවට අදාල රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ, ශ්‍රමය හෝ උපදේශනය ලැබීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස යම් ප්‍රාග්ධන ව්‍යාපෘතියක් සඳහා ණය ලබා දීමේදී එහි ඉදිකිරීම් කටයුතු අදාල රටේ සමාගමකට ලබා දීම කොන්දේසියක් විය හැකිය. මේ ණය ලබාදෙන්නේ අනුකම්පාවටම නොවේ. කිසියම් වාසියක් අපේක්ෂාවෙනි. එහෙත් මේ අපේක්ෂිත වාසිය බොහෝ විට දිගුකාලීන වාසියක් වන අතර ඇතැම් විට ආර්ථික නොවන දේශපාලනික වාසියක්ද විය හැකිය.

පසුගිය වසර අවසානයේදී අප විසින් ලබාගෙන තිබුණු එක් අයෙකුට රුපියල් 38,432ක් බැගින් වැටෙන ද්විපාර්ශ්වික ණය මල්ලේ ලොකුම ණයකරු වූයේ චීනය නොවේ. ජපානය හා ඉන්දියාව සිටියේ චීනයට උඩිනි. එක් පුද්ගලයෙකු ජපානයට රුපියල් 20,176ක්ද, ඉන්දියාවට රුපියල් 5,813ක්ද, චීනයට රුපියල් 4,251ක්ද, ජර්මනියට රුපියල් 2,100ක්ද, ඇමරිකාවට රුපියල් 1,708ක්ද ආදී වශයෙන් ණය වී තිබුණේය. කෙසේ වුවද, අළුතෙන්ම ගත් ණය සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ චීනයෙනි.

විදේශීය ණය වලින් ඉතිරි රුපියල් 69,381 අපි ලබාගෙන ඇත්තේ වාණිජ ණය වශයෙනි. මේ ණය සාමාන්‍යයෙන් 'ගිණි පොලියට' ලබා ගත යුතු ණයයි. වසර නවයකට පෙර, එනම් 2005දී, වාණිජ ණය අපේ මුළු විදේශ ණය වලින් 6.6%ක් පමණක් වූ අතර දැන් මේ ප්‍රමාණය 46% ඉක්මවා තිබේ. මේ ණය විදේශීය ආයෝජකයින්ගෙන් හා අරමුදල් වලින් ලබා ගෙන ඇති කෙටිකාලීන ණයයි.

අනෙක් අතට එක් අයෙකුට රුපියල් 207,267 බැගින් වැටෙන දේශීය ණය වල සංයුතිය විමසූ විට එම ප්‍රමාණයෙන් රුපියල් 12,969ක් මහ බැංකුවෙන්ද, රුපියල් 67,940ක් අනෙකුත් වාණිජ බැංකු වලින්ද රුපියල් 126,358ක් වන ඉතිරි ප්‍රමාණය සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සමාගම් වැනි බැංකු නොවන වෙනත් ආයතන වලින් හා දේශීය ආයෝජකයින්ගෙන් ලබාගෙන තිබේ.

මහ බැංකුවෙන් ලබා ගත් ණය හැරුණු විට ඉතිරි දේශීය ණය අප විසින් උපයා ඇති මුදල්ය. බැංකු සහ වෙනත් ආයතන මේ මුදල් අපෙන් එකතු කරගෙන රජයට ලබාදෙයි. ඒ නිසා මේ ණය වලින් ආර්ථිකයට ඇති අවදානම සාපේක්ෂව අඩුය. මහ බැංකුව රජයට ණය ලබාදෙන්නේ මෙසේ අපෙන් කලින් එකතු කර නොවේ. මුදල් මුද්‍රණය කිරීමෙනි. මුදල් මුද්‍රණය කර රජයට ණය දීමේ අවසන් ප්‍රතිඵලය මිල මට්ටම (උද්ධමනය) වැඩි වීමයි. මෙහිදී සිදුවන්නේ අපේ අතේ ඇති අප විසින් උපයාගත් මුදල් අපට නොදැනීම 'පික් පොකට්' ගැසීමකි. රජයට ණය ගැනීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.

හෙට අනිද්දා ගෙල සිරවීමේ අවදානමක් නැතත් අපි වසර ගණනාවක සිටම සිටින්නේ ණය උගුලක සිරවීය. ලබාගත් ණය වලට දිනපතාම පොලිය එකතු වන අතර අපේ ආදායම ඉහළ යන නමුත් මේ ණය සහ පොළිය ගෙවීමට ඒ ආදායම ප්‍රමාණවත් නැත. ඒ නිසා අපට හැමදාමත් වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවේ.

ණය ප්‍රමාණය වැඩි වන විට ණය ගෙවීමට නොහැකි වීමේ අවදානම ඉහළ යන බව ආයෝජකයෝ දනිති. මේ ඉහළ අවදානම වෙනුවෙන් ඔවුහු වැඩි වැඩියෙන් පොලී මුදල් බලාපොරොත්තු වෙති. එවිට අපේ ණය බර තවත් ඉහළ යයි.

ණය ආපසු ලැබීමේ අවදානම ඉතා විශාලනම් පොලී අනුපාතික කොතරම් ඉහළ වුවද ආයෝජකයින් ණය ලබා දෙන්නේ නැත. රටවල් බංකොලොත් වන්නේ එසේ වූ විටය. මෑතකාලීන නිදර්ශනය ග්‍රීසියයි.

අවාසනාවකට මෙන් මේ අගෝස්තු මැතිවරණයේදී බලය ලබාගැනීමට ඉඩ ඇති ප්‍රධාන කණ්ඩායම් දෙකම පෙනී සිටින්නේ ණය බර තවත් වැඩි කරන සුභසාධන ආර්ථිකයන් වෙනුවෙනි. ඡන්ද ලැබෙන්නේ තාවකාලික සහන වලට මිස රටේ දිගුකාලීන සුබ සිද්ධිය සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලට නොවන නිසා ඔවුන්ට එසේ කිරීමට සිදුවී තිබේ.

මේ නිසා අනාගතයේ ඉපදෙනු ඇත්තේ තවදුරටත් ණය බරින් මිරිකුණු පරම්පරාවකි.

Wednesday, July 15, 2015

රෝලට ණය ආර්ථිකේ...

ඉකොනොමැට්ටාගේ කඩේට ගොඩවදින සමහර යාළු මිත්තරයෝ පෞද්ගලිකව ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරති. ඒ අයගෙන් කෙනෙක් IQ Forum එකකින් උපුටාගෙන රසවත් ගැටළුවක් යොමුකර තිබේ. පහතින් ඇත්තේ එයයි.

"මෙය හෝටල් ප්‍රශ්නයකි. කතාව නම් ටිකක් දිගයි. ඒ සම්බන්දව සමාවෙන්න.

ඔබ දන්නවා ලංකාවේ හැම කෙනෙක්ම රුපියල් ලක්ෂ 4 ක් පමණ ලෝක බැංකුවට සහ චීනෙට ණය බව. ඉතින් හැමෝමත්, මේ වගේ එක එක්කෙනාට රෝලට ණය වෙලානේ ඉන්නේ...

ලංකාවේ ලස්සණ තැනක ඇති හෝටලයකට, ඇමරිකානු අණ්ඩපාලයෙක් කැමරාවක් අරගෙන එනවා. මිනිහා පොත දාලා හෝටලේ ඇතුලේ පින්තුර ගන්න එන්නේ. ඒ ඇවිත් හෝටලේ මැනේජර්ට කියනවා, 'මේ හෝටලේ හැම කාමරයක්ම බලලා, මම කැමතිම කාමරයක් තෝරා ගන්නවා' කියලා. මැනේජර් කියනවා ' හරි එහෙමනම් ඩොලර් සීයක් ගෙවන්න. ඔබට කැමති කාමරයක් තෝරා ගන්න. එහෙම ඔබට ගැලපෙන හොඳ කාමර නැතිනම්, ඒ සල්ලි නැවත ඔබට දෙනවා'...

ඉතින් ඇමරිකානුවා සල්ලි ගෙවලා කාමර බලන්න ගිය අතරේ, මැනේජර් ඒ ඩොලර් සීය, හෝටලේට බඩු ගේන කඩේට වෙච්ච ණයට හිලව්වට දුන්නා. කඩේ අයිතිකාරයා මස් ගේන මස් කඩේට ඩොලර් සීයක් ණයයි. ඉතින් දැන් ඒ සල්ලි මස් කඩේට ගියා. මස් කඩ කාරයා බේබද්දා... මිනිහා ටවුමේ තියෙන තැබෑරුමට ඩොලර් සීයක් ණයයි. දැන් සල්ලි තැබෑරුමේ අයිති කාරයාට ගියා. තැබෑරුම් අයිති කාරයාගේ චරිතේ හොඳ නැහැ. මිනිහ ප්‍රසිද්ධ ගණිකාවක් එක්ක සම්බන්දයි. හැබැයි ණයට තමා ඒ සේවය ගන්නේ. මේ වෙන කොට ඔහු ඇයට ඩොලර් සීයක් ණයයි. ඔන්න දැන් ගණිකාවට ඩොලර් සීය ගියා. ගණිකාව ඉතින් තමාගේ සේවය දෙන්නේ ඔය කියන හෝටලේට ගිහින්. එයා හෝටලේට ඩොලර් සීයක් ණය නිසා, ඒ ණය බේරන්න ඒ මුදල නැවත හෝටලේ මැනේජර්ට දුන්නා...

මේ අතරේ ඇමරිකානුවා වටේ බලලා ඇවිත් කිව්වා, කාමර හොඳ නැහැ, දුන් සල්ලි නැවත දෙන්න කියා. හෝටලේ මැනේජර් ඩොලර් සීය නැවත ඔහුටම දුන්නා...

දැන් ප්‍රශ්න මෙන්න මේවා. කාටද මේ ඩීල් එකෙන් ලාභ? පාඩු කාටද? ලාභ පාඩු නැති අයත් ඉන්නවද? ...?"

පිස්සු හැදෙන ආර්ථිකයක් නේද? බලාගෙන ගියාම හැමෝම හැමෝටම ණය වෙලාය. අවුල කොහෙන් ලිහිය හැකිදැයි නොතේරේ.

අණ්ඩපාලයෙක් වුණත් අන්තිමේ හැමෝවම ගොඩ දා ඇත්තේ අහක හිටිය ඇමරිකානුවාය. හැබැයි ඇමරිකානුවාත් වැඩේට එන්ටර් වී ඇත්තේ අත ලෙවකෑමට නොවේ.

ඇමරිකානුවාගේ සහ අනෙකුත් බටහිර සංචාරකයන්ගේ අපි කැමති නැති කෑල්ල ඔය කැමරාවයි. ඕවායින් පොටෝ අරගෙන ගිහින් ඇමරිකානුවා වාර්තා චිත්‍රපටියක් හදන්නට බැරි නැත. ඒ චිත්‍රපටියේ අනවශ්‍ය දේවල් තිබිය හැකිය. අනවශ්‍ය දේවල් කිවුවාට බොරුම නොවේ. ඇත්තටම කැමරාවේ සටහන් වන අපේ දේවල්ය. ඒත් අපේ දේවල් පිට අය දැන ගන්නවාට අපි කැමති නැත. එය අපේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමකි. බලපෑම් කිරීමකි.

කැමරා වලට පේන හැටියට අපේ හෝටල් වලට ගණිකාවෝ ආවාට ඒ බොහෝ දෙනෙක් කූල් ඩ්‍රින්ක් එකක් බීලා යන්නට එන කුල කාන්තාවෝය. ඉඳහිට විනෝදයට ටෙලියක රඟපෑවාට ගණිකාවෝ නොවෙති. මේ සමහර අයව අපි පාර්ලිමේන්තුවටත් යවන්නේ ඒ නිසාය. අපි මස් කන්නේ මස් ලැබ් වල හැදුවොත් විතරය. හලාල්නම් කොහොමවත් කන්නේ නැත. තැබෑරුම්නම් ලංකාවේ තියෙන්නම විදිහක් නැත. ඒවා වසා ඒවා ඉදිරිපිට දැන් දන්සැල් විවෘත කර තිබේ. ලංකාව පන්සිල් රකින්නන්ගේ රටකි. අපේ රටේ ඉන්නේ 80% ප්ලස් බෞද්ධයෝය.

කොහොම වුණත් ලංකාවේ කවුරුත් ග්‍රීක් කාරයින් වාගේ ගත් ණයට පොලු තියා නැත. ඇමරිකන් කාරයාගේ ඩොලර් සීයත් පොරොන්දු වූ ආකාරයටම ආපසු ගෙවා තිබේ. අපි හොරකම් කර හෝ බොරු කියා ඇති  බවක් කැමරාවේ සටහන් වී නැති නිසා අඩුගානේ අපි 40% ප්ලස් බෞද්ධයින් බව ඇමරිකන් කාරයාටත් අකැමැත්තෙන් හෝ පිළිගන්නට වී තිබේ.

ඇමරිකානුවා අපිව ලොකු ණය අවුලකින් ගලවා ඇත. මේ අනුව අපේ ආර්ථිකේටත් ඇඟිලි ගසා තිබේ. ඒකටනම් කමක් නැත. එය අපේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් හෝ බලපෑම් කිරීමක් නොවේ. හෝටලේ මැනේජර්ගේ සිට ගණිකාව දක්වා හැමෝම ණය වී ඇත්තේ ඩොලර් වලින් නිසා මෙතන තිබී ඇති අවුල රුපියල් සත වලින් බේරා ගන්නට බැරි එකකි. ඒ නිසා අවුල ලිහන්නට නම් ඇමරිකන් කාරයෙක්ට හවුල් වෙන්නම වෙනවාය.

යාළුවා කිවුවේ පොලිටික්ස් වගේ වෙන දේවල් අඩුකර ඉකොනොමික්ස් වැඩිකර රයිස් එක දාන්න කියලාය. බලාගෙන ගියාම වෙනදා වගේම ඉකොනොමැට්ටා එළවලු, මාළු සියල්ලම දමා ඇතත් අන්තිමට රයිස් එකේ රයිස් නැත. ඉකොනොමැට්ටාවනම් හදන්නම බැරිය.

හොඳ වෙලාවට පොඩි එක්ස්කියුස් එකකුත් තිබේ. පෝෂන් එක ලොකු වැඩි නොකරන ලෙසත් යාළුවා ඉකොනොමැට්ටාගෙන් ඉල්ලා තිබේ.

ඒ නිසා දැනට මේ ස්ටාර්ටර්ස් ටික පමණි. දිරවීමේ පහසුවටය. මේන් කෝස් එක පසුව සර්ව් කරනු ලැබේ.

(ඡායාරූපය adaderana.lk වෙබ් අඩවියෙනි.)

Tuesday, July 14, 2015

කණා මුට්ටිය බිඳ අලියාට ඇස් තැබීම

වසර කිහිපයකට පෙර විදේශ රටක, ශ්‍රී ලාංකික පවුල් හත අටක් පමණක් ජීවත් වන කුඩා නගරයක ශ්‍රී ලාංකික අවුරුදු උත්සවයක් පැවැත්වුණේය. පොතේ හැටියට ශීත සෘතුව අවසන් වී තිබුණත් එළිමහනේ පැයක් දෙකක් සිටීමට තරම් උණුසුම් කාලගුණයක් නොතිබුණු නිසා මේ උත්සවය, වඩාත් නිවැරදිව එකතුව, පැවැත්වුණේ (දෙමළ ජාතික) ශ්‍රී ලාංකිකයෙකුගේ නිවසේ පොළෝ මට්ටමට යටින් සාදා තිබුණු හොඳින් ඉඩ කඩ ඇති බිම් මහලේය. මේ සඳහා සුළු මුදලක් ගෙවා වෙන් කරගත හැකි පොදු ස්ථාන තිබුණත්, කුඩා දරුවන්ද ඇතුළුව පිරිස විසිපහකට නොවැඩි වූ නිසා එසේ කිරීම අවශ්‍ය නොවීය.

ශ්‍රී ලාංකිකයින් එකතු වන මෙවැනි අවස්ථා වල සාමාන්‍යයෙන් මෙසේ එක්රැස් වන නිවසේ බතක් ඉදෙන අතර එක් එක් නිවසින් අනෙකුත් එළවළු, මාළු ආදිය රැගෙන ඒම සිරිතයි. එකතුව අවුරුද්ද වෙනුවෙන් නිසා දන්නා හැටියට හදා ගන්නා කැවුම්, කොකිස් ආදියද එකතු වේ. වැඩිහිටියන් සතුටු සාමීචියට හා ආහාරපාන සප්පායමට මුල් තැන දෙන නමුත්, එකතුව නමට හෝ අවුරුදු උත්සවයක් වෙනුවෙන් නිසාත් රටින් බැහැරව සිටින ඔවුන්ට වෙනත් සංස්කෘතියක ලොකු මහත් වන ඔවුන්ගේ හෝමෝ සේපියන් පැටියන්ට තම මුල් සංස්කෘතියේ අංග හැකි පමණින් හෝ දායාද කිරීමට අවශ්‍ය නිසාත් අවුරුදු ක්‍රීඩා කිහිපයක්ද එකතු වේ.

අලියාට ඇහැ තබන්නට කළු ලෑලි නැති නිසා ඒ සඳහා යොදා ගැනෙන්නේ සුදු පුවරුවකි. හුණු වෙනුවට මාර්කර් පෑනකි. දෑස් ආවරණය කරනු ලැබ අඳුරේ පුවරුවේ ඇඳ ඇති අලියා වැනි සතාගේ ඇස සොයන බොහෝ වැඩිහිටි තරඟකරුවන්ට ඉලක්ක වන්නේ අලියාගේ වෙන කුමක් හෝ අවයවයකි. තරඟකරුවන් රැසක් නොමැති නිසා නැවත නැවතත් අවස්ථා ලැබුණත් අලියාගේ ඇස ඉලක්ක නොවේ.

මේ අතර, හොඳින් වටපිටාව අධ්‍යයනය කරන එක් වැඩිහිටි තරඟකාරියකගේ අතේ ඇති මාර්කර් පෑනේ තුඩ අලියාගේ ඇසට ලං වේ. මෙය දකින වෙනත් කිහිප දෙනෙකු වහා ක්‍රියාත්මක වී සුදු පුවරුවේ පිහිටීම වෙනස් කරයි. තරඟකාරියගේ පෑනේ තුඩ අවසානයේදී ඉලක්කවන්නේ අලියාගේ අලිඩොන් වැටෙන තැනට මිස ඇසට නොවේ. තරඟකාරිය මහත් උද්දාමයෙන් දෑස නිරාවරණය කරන විට පුවරුව නැවතත් මුලින් තිබුණු තැනමය. ඇය නැවත නැවතත් උත්සාහ කරන නමුත් සිදු වන්නේ එකම දෙයයි.

කණා මුට්ටිය බිඳීමේ තරඟය පැවැත්වෙන්නේද ඔය තරඟ නීති යටතේමය. මහමත් කන්ද ලඟට යන විට කන්ද තිබූ තැන නැත. දෑස් නිරාවරණය කළ විට නැවතත් කන්ද පෙනෙන්නට තිබේ.

දවස අවසානයේදී කුඩා දරුවන් දෙදෙනෙකු අලියා වැනි බලියට ඇස තැබීමත් මුට්ටිය බිඳීමත් හරියටම කර ජයග්‍රාහකයින් වන්නේ මහමත් කන්ද ලඟට නොගියත් කන්ද මහමත් ලඟට එන නිසාය. තරඟ නීති වලට කාගේවත් විරෝධයක් නොමැති නිසා අවුරුදු උත්සවය අවුලක් නැතුව අවසන් වී සභා තොමෝ සතුටින් විසිර යති.

***
ලංකාවේ නීතිඥ වෘත්තියට ඇතුළු වීමට ඇති එකම ක්‍රමය ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ අවසන් විභාගය සමත් වී පරිවාසික පුහුණුවක් නිමකිරීමයි. මෙය කොළඹ විශ්ව විද්‍යාලයයේ හෝ විවෘත විශ්ව විද්‍යාලයයේ උපාධිධාරීන්ටද එකසේ පොදුය. ජේආර්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා සිසුන්ට අධ්‍යාපනය සැලසූ නීති විද්‍යාලයයට සිසුන් ඇතුළත් කරගන්නා විභාගය ඉතා තරඟකාරීය. වසරකට වරක් පැවැත්වෙන මේ තරඟ විභාගයට උසස්පෙළ සමත් අයදුම්කරුවන් දසදහස් ගණනින් ඉදිරිපත් වූවත් නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව සාමාන්‍යයෙන් ලැබෙන්නේ දෙසිය පණහකට නොවැඩි පිරිසකටය. මේ නිසා වසර දහය දොළහ එක දිගට මේ විභාගයට නැවත නැවතත් පෙනී සිටින අයදුම්කරුවෝද සිටිති.

එකම ලකුණ ලබා ගන්නා අයදුම්කරුවන් රැසක් සිටින නිසා හරියටම දෙසිය පණහක් ඇතුළත් කර ගැනීමට නොහැකි වුවත්, නීති විද්‍යාලයයේ විදුහල්පතිගේ කාමරය වායු සමීකරණය කිරීමට සහ විභාග පැවැත්වීම සඳහා ප්‍රයෝජනයට ගැනීම පටන් ගැනීමට බොහෝ පෙර සිටම, වසරකට ඇතුලත් කරගන්නා සිසුන්  ගණන බොහෝ වසර වලදී දෙසිය පණහකට ආසන්න විය.

http://www.sllc.ac.lk/sub_pgs/admission_statistics.html

කෙසේ වුවද, 1990 වසරේදී නීති විද්‍යාලයයට කිසියම් හේතුවක් නිසා සිසුන් 701ක් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය විය. මේ නිසා වසර ගණනක් නැවත නැවතත් විභාගය ලියමින් ඇතුළට රිංගා ගැනීමට දැඟලූ අයදුම්කරුවෝ රැසක්ම ගොඩ ගියහ. නීති විද්‍යාලයයට අදාළ වසර තුළදී වෙනදාට වඩා විශාල සිසුන් ගණනක් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය වූ නිසා ගොඩගිය වාසනාවන්ත සිසු කණ්ඩායමට යාන්තම් ගොඩවීමට එවකට සිටි අධිකරණ අමාත්‍යවරයාගේ පුතෙකුද වාසනාවන්ත විය. ඒ නිසා නීති විද්‍යාලයයේ මේ කණ්ඩායම බොහෝ විට ඒ සිසුවාගේ නමින් හැඳින්වේ. නුදුරේ ඇති මැතිවරණයට මේ කණ්ඩායමේ බොහෝ දෙනෙකු ඉදිරිපත් වී ඇතැයි මා සිතමි.

***
නීති වෘත්තියට මෙන්ම වෛද්‍ය වෘත්තියට ඇතුළත් වීමට පෙරද සීමාවාසික පුහුණුවක් අවසන් කළ යුතුය. සීමාවාසික පුහුණුව සඳහා ලැබෙන රෝහල තීරණය වන්නේ අදාළ වසරේ එක් එක් රෝහලෙහි ඇති පුරප්පාඩු ගණන සහ කුසලතා මට්ටම අනුව එක් එක් සිසුවාගේ ශ්‍රේණිගත කිරීමේ පිළිවෙළ අනුවය. පුරප්පාඩු බොහෝ විට ඇත්තේ දුෂ්කර පළාත් වල ඇති රෝහල් වල නිසා කොළඹ අවට ඇති 'ජනප්‍රිය' රෝහලක සීමාවාසික පුහුණුව සඳහා අවස්ථාව සැලසෙන්නේ ශ්‍රේණිගත කිරීම අනුව ලැයිස්තුවේ උඩින්ම සිටින සිසුන් අතළොස්සකට පමණි.

අනූව දශකයේ මැද භාගයේ එක්තරා වසරකදී මෙසේ සකස් කෙරුණු පුරප්පාඩු ලේඛණයේ දුෂ්කර පළාත් වල පිහිටි රෝහල්වල තිබුණු පුරප්පාඩු ප්‍රමාණය යම්කිසි අහම්බයකින් ඊට පෙර හා පසු වසර වලදී පැවති දුෂ්කර පුරප්පාඩු ගණනට වඩා බොහෝ අඩු වූ අතර කොළඹ අවට සහ වෙනත් පහසුකම් සහිත නගර වල පිහිටි රෝහල් වල පුරප්පාඩු ප්‍රමාණය වෙනදාට වඩා වැඩි විය. (සමාවෙන්න, තහවුරු කිරීමට සාධකනම් මට ඉදිරිපත් කළ නොහැකිය.) මේ නිසා, වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ බොහෝ සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා ඔවුන්ට පෙර හා පසු කණ්ඩායම් වල සිසුන්ට වඩා 'හොඳ' රෝහල් ලැබුණේය. දැන් දේශපාලනඥයකු වන එවකට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ පුතාද මේ වාසනාවන්ත සිසුන් අතර විය.

***
වසර මුලදී පැවති බැඳුම්කර වෙන්දේසියකදී බැඳුම්කර සඳහා වූ ඉල්ලුම හදිසියේම ඉහළ ගියේය. මේ නිසා බැඳුම්කර මිල දී ගැනීම සඳහා ඉල්ලුම්කර තිබූ ඇතැම් ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අපේක්ෂා නොකළ ආර්ථික වාසියක් සැලසුණේය. අහම්බයෙන් මේ වාසනාවන්තයින් අතර මහ බැංකු අධිපතිගේ බෑනාද  සිටියේය.

***
දෘශ්‍යාබාධිතයෙකු වන ඉන්දික තොටවත්තයන් ඔහුගේ ඡන්දය කිසිවෙකු වෙනුවෙන් භාවිතා නොකිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා මුල් වූ එක් හේතුවක් පැහැදිලි කරයි. වත්මන් මැතිවරණ නීතිය අනුව දෘශ්‍යාබාධිතයෙකුගේ ඡන්දය භාවිතා කිරීම සඳහා ඔහුගේ පවුලේ කෙනෙකුට උදවු කිරීමේ හැකියාවක් නැති අතර නීතිමය ප්‍රතිපාදන අනුව ඔහුගේ ඡන්දය ලකුණු කළ යුත්තේ ඡන්ද රාජකාරි වල නියුතු නිලධාරීන්ය. ඉන්දික තොටවත්තට ඔවුන් ගැන විශ්වාසයක් නැත.

***
දෘශ්‍යාබාධිතයන් නොවන අප බොහෝ දෙනෙකුගේ දෑස් හොඳින් පෙනෙන නිසා වරද්දා නොගෙන ඡන්දය ලකුණු කිරීමට අපිට පුළුවන. ඡන්ද පත්‍රිකාව හොඳින් පෙනුණත් ඡන්දය නිවැරදිව ලකුණු කර නොමැති බව අප බොහෝ දෙනෙකුට වැටහෙන්නේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විටය. ඇස් හොඳින් පෙනෙන අපට තරඟ නීති අනුව ඇතැම් විට දෑස් ආවරණය කරගෙන ක්‍රීඩා කිරීමට සිදු වන අතර ඉන් පසු වසර පහ හයක්ම දෑස් මෙන්ම මුවද නිරාවරණය කරගෙන ඡන්ද ප්‍රතිඵල බලා සිටීමට සිදු වේ.

***
අපේ කැමැත්ත නොවිමසා සාදා ඇති තරඟ කොන්දේසි අනුව දෑස් බැඳගෙන හිස් මුට්ටි බිඳ දැමීමටත් ඇස් නැති අලියන්ට ඇස් තැබීමටත් අපට සිදුවී ඇති අතර තරඟ නීති ක්‍රියාත්මක වී ඇති ආකාරය වුවද බොහෝ විට අපට දැනගන්නට ලැබෙන්නේ තරඟය අවසන් වූ පසුවය.

(ඡායාරූපය archives.dailynews.lk වෙබ් අඩවියෙනි.)

Monday, July 13, 2015

පරම්පරා ගණනක් තිස්සේ අතේ පැලවෙන සබරගමුවේ ගල් පැලය

ඉකොනොමැට්ටා දවස් දෙකකට කලින් සබරගමුවේ සමන් දේවාලය පැත්තේ ගියේය. නොමිනේෂන් දීමට පෙර පූජා වට්ටියක් තියා භාරයක් වීමට නොවේ. අලුතින් වාහනයක් ගත් නිසාද නොවේ. හරියටම කියනවානම් හැබැහින්මත් නොවේ.

ඉකොනොමැට්ටා සමන් දේවාලේ ගියේ යාංහෑල්ල ලියන සුරංගගේ වටවංදනා බස් එකේය. බස් එකට නැගගත් පසු දශක දෙකතුනක් අතීතයට යන්නට ගතවන්නේ කලවානේ සිට මානානට යනවාටත් වඩා ඉතා කෙටි කාලයකි.

ඔය කියන බස් ලියවිල්ලේ සමන් දේවාලයේ ගල් පැලය ගැනත් සඳහනක් තිබුණේය. ඒ ගැන රසික ප්‍රතිචාර කිහිපයක්ද පහළින් තිබුණේය. Praසන්ன සටහන් කර ඇති පරිදි ඔහු සමඟ "කතාකල වයස අවුරුදු 40ක පමණ මහත්මයෙකු" ඔහුට පවසා ඇත්තේ "ඔහු කුඩා කල මෙම ගල කුඩාවට තිබු බවක්ය.".

Praසන්னට හමු වූ ආකාරයේ මහත්තුරු සහ නෝනාවරු මහ ගොඩක් කාලයක් තිස්සේ ඉකොනොමැට්ටාටත් හමු වී තිබේ. සමහර අය වැඩිහිටි ඥාතීන්ය.

ඉකොනොමැට්ටා ඔය ගල්පැලය මුලින්ම දකින කොට Praසන්ன සඳහන් කරන වයස අවුරුදු 40ක පමණ මහත්මයා බොහෝවිට ඉපදී නැත. මතක හැටියට ඒ කාලයේදීත් ඔය ගල් පැලය තබා ඇති වීදුරු පෙට්ටිය එයට පොඩි වැඩිය. ඒ නිසා කොළ නැති ගල් පැලයේ අන්තිම දල්ල වීදුරු පෙට්ටියේ වහලයේ වැදී නතර වී තිබුණු අතර ගල්පැලය ඇඹරී දඟර ගැසී තිබුණේය. බැලූ බැල්මටම පේන විදිහට ගල්පැලය පෙට්ටිය කඩා ගෙන එලියට එන්නට පෙර එය වඩා ලොකු පෙට්ටියක තැන්පත් කිරීමට කාලය හරි වගේය.

අවුරුදු හතළිහකට පමණ පෙර හුජ්ජ කොල්ලෙකු වූ ඉකොනොමැට්ටා ඔය ගල්පැලය මුලින්ම දුටු කාලයේ එවකට වයස අවුරුදු 40ක පමණ වූ මහත්මයෙක් ඉකොනොමැට්ටාට කී පරිදි ඔහු කුඩා කාලයේ මේ ගල් පැලය අඟල් හත අටක පොඩි පැලයකි. මේ කතාවෙන් උත්කර්ෂයට පත්වූ ඉකොනොමැට්ටාට ගල්පැලයේ මූලාරම්භය ගැන දැනගැනීමට ලොකු ඕනෑකමක් ඇති වූ නිසා එවකට වයස අවුරුදු 70ක පමණ වූ ආච්චි කෙනෙක්ගෙන් වැඩි විස්තර විමසීමට සිදුවිය. ඈ තහවුරු කළ පරිදි ඇයගේ කුඩා කාලයේදී මේ මේ ගල්පැලය අඩි දෙකකට වඩා උස නැත.

මේ අනුව ගල්පැලය පැලවෙන්නේ අතේ මිස වීදුරු කූඩුව ඇතුලේ නොවන බව ඉකොනොමැට්ටා තහවුරු කරගත්තේ ඉතා කුඩා කාලයේදීමය. ඔය කාලයේ පණ්ඩිත කතා කියා නිතර කට වරද්දාගන්නා ඉකොනොමැට්ටා ගල්පැලය ගැන වැඩිපුර අදහස් පළ නොකර හිටියේ සමන් දෙවියන්ගේ උදහස කෙසේ වුවත් ගෙදර වැඩිහිටියන්ගේ උදහසට ලක්වීමට තිබුණු බය නිසාය.

ඉකොනොමැට්ටා අවසන් වරට සමන් දේවාලයට ගියේ අවුරුදු දෙකකට පෙරය. අවුරුදු හතළිහක් තිස්සේ වැඩී තිබුණු ගල්පැලය ඒ වනවිටත් ඉකොනොමැට්ටාට පෙනුණේ හුජ්ජ කොල්ලා කාලයේ දැක්කාට වඩා වෙනස් අයුරකින් නොවේ.

කෙසේවුවද, අනූව දශකයේ ආරම්භයේදී ගත්, අවුරුදු විසිපහක් පමණ පැරණි ගල්පැලයේ ඡායාරූපයක් ඉකොනොමැට්ටා සතුව තිබේ. මෙය ගත්තේ ඉකොනොමැට්ටා පළමු උපාධිය හැදෑරු සරසවියේ ඉකොනොමැට්ටාට වඩා කණ්ඩායම් කිහිපයක් උඩින් සිටි ජේෂ්ඨ උත්තමයෙක්ව ඉකොනොමැට්ටා විසින් සමන් දේවාලය පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවකදී ඔහු විසිනි. ඒ කාලයේ ඉකොනොමැට්ටාට කැමරාවක් නොතිබුණු නිසා ඔහුගේ ඡායාරූපයේ මුද්‍රිත  පිටපතක් ඉකොනොමැට්ටාටත් ලැබුණේය. උඩින්ම දමා ඇත්තේ ඒ ඡායාරූපයේ ස්කෑන් පිටපතකි.

වසර දෙකකට පෙර අවසන් වරට එහි ගිය අවස්ථාවේදී කැමරාව කරේම තිබුණත් අධික තදබදය නිසා ඡායාරූපයක් ගැනීමට නොහැකි විය. සමන් දේවාලයට යන කෙනෙකුට ඉහත ඡායාරුපය සමඟ සසඳා ගල්පැලයේ වසර විසිපහක වර්ධනය හරියටම දැනගත හැකිය.

වටවන්දනාකරු සුරංගයන් විසින් සඳහන් කර ඇති මගේ අවධානයට මින් පෙර ලක් වී නොතිබුණු කරුණක් වූයේ සමන් දේවාලයේ පිං පත්තර නැති බවයි. එමෙන්ම, සමන් දේවාලයේ භාරකරුවන් ගල්පැලය පෙන්වමින් මුදල් ගරන්නේ නැති බවද කිවයුතුය. (මගේ අදහස පරිදි සමන් දේවාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය දේවාලයට ලැබෙන පුදපඬුරු නොව දේවාලය සතු ඉඩකඩම් වලින් ලැබෙන මැණික් සහ අනෙතුත් ආදායම්ය.)

'ගල්පැලය' යන නාමපුවරුවට අමතරව එය තවමත් වැවෙන බවට වූ සඳහනක් මා සමන් දේවාලයේ කොතැනකවත් දැක නැත. ගල්පැලය වැවෙන්නේ ගල් වලට දළු ලෑ හැකි සරු පසක් තවමත් ඇති අපේ සංස්කෘතික වටපිටාවේය. ඔය පසට තවමත් පෝර වැටේ.

සබරගමුවේ පතලකින් හමු වූ සැබෑවටම වර්ධනය වන ගලක් මා සියැසින්ම දැක තිබේ. මේ ගල මතුපිට පීරකින් ඉරක් සටහන් කර දින කිහිපයක් යන විට ඒ ඉර මැකී යයි. (මා දන්නා මැණික් ව්‍යාපාරිකයෙකු වෙත අලෙවිය සඳහා මේ ගල රැගෙන එනු ලැබූ අතර මිල දී ගැනීමට පෙර දින කිහිපයක් ගල අගුළු ලෑ වීදුරු අල්මාරියක තබාගෙන ඔහු මේ බව තහවුරු කර ගත්තේය.) මෙය කිසියම් කොරල් විශේෂයක් වීදැයි මා හරියටම දන්නේ නැත. පාෂාණයේ රසායනික සංයුතිය අනුව වායුගෝලයෙන් අම්ලකර හෝ වෙනත් වායුවක් අවශෝෂණය කර ගනිමින් වර්ධනය විය හැකි වීම විශාල පුදුමයක් නොවේ.

සමන් දේවාලයේ ඇති ගල පෙනෙන ආකාරයට පෙර සඳහන් කර ආකාරයේ ගලක් නොවේ. මා සිතන ආකාරයට ලාවා ඝනීභවනය වීමේදී පොළොවේ ඇති නාලාකාර සිහින් සිදුරක් තුළ ලාවා එකතු වී මෙවැනි පාෂාණමය ආකෘතියක් ස්වභාවිකව නිර්මාණය විය හැකිය. කුඹුරක මැණික් සොයන පතල්කරුවෙකුට මෙවැන්නක් හමුවී දේවාලයට පූජා කරන්නට ඇත. මේ ගල් පැලය දැන් පෙට්ටිය කැඩෙන තරමට ලොකු වී ඇත. ඒත් ගල් පැලය එය තිබිය යුතු ලොකු පෙට්ටියකට දමන්නට තවමත් සූදානමක් නොපෙනේ.
ගල්පැලය අමතක කලත් රත්නපුරේ මහා සමන් දේවාලය පුරා විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකි. මේ ස්ථානය කලක් පෘතුගීසි බලකොටුවක්ව පැවතී ඇත. දෙවන ඡායාරූපයේ ඇති සියවස් හතරක් පමණ පැරණි ගල් කැටයමින් සැමරෙන්නේ පෘතුගීසි කපිතාන් වරයෙකු වූ සිමාවෝ පින්හාවෝ විසින් පෘතුගීසින්ට විශාල තර්ජනයක්ව සිටි සිංහල රණශූරයෙකු වන කුරුවිට රාළව යටත් කර ගනු ලැබීමයි.

Saturday, July 11, 2015

මහින්ද පිල සාර්ථක ඉනිමක් අවසන් කර තිබේ!

පළමු තරඟයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ මහින්ද පිල, මේ වන විට දෙවන තරඟය ජය ලබා ඇති බව පැහැදිලිය. ඒ ශ්‍රීලනිපයේ සහ එජනිසයේ බලය නැවත අත්පත් කරගැනීමෙනි. කෙසේ වුවද, වඩා වැදගත් තරඟය වනුයේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට දින නියම වී ඇති, තරඟාවලියේ ජයග්‍රහණය තීරණය කරන, අවසන් හා තුන්වන තරඟයයි.

ලංකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන්නේ බහුතර ඡන්දයෙනි. මේ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරදා පැහැදිලි බහුතරයක් ලැබූ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හයවන ජනාධිපතිවරයා විය.

පරාජිතයා වූ මහින්ද රාජපක්ෂ ඡන්ද පනස් අට ලක්ෂයක් ලබාගනිද්දී, මෛත්‍රීපාල සිරිසේන ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගත්තේය. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි මහින්ද රාජපක්ෂගේ ඡන්ද ඔහුගේම ඡන්ද වන අතර මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ඔහුගේම ඡන්ද නොවේ.

මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද වලින් බහුතරය එජාප ඡන්ද වුවද ඒ ප්‍රමාණය එයින් අඩකට වඩා වැඩි විය නොහැක. ඉතිරි ඡන්ද අතර ටීඑන්ඒ ඡන්ද හා ජවිපෙ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක්ද, මුස්ලිම් හා ඉන්දියානු දෙමළ දේශපාලන පක්ෂ වල ඡන්ද සුළු ප්‍රමාණයක්ද ඇති අතර හෙළ උරුමය කණ්ඩායමද ඇතුළුව එජනිසයෙන් බිඳී ආ කණ්ඩායම විසින් රැගෙන ආ ඡන්ද යම් ප්‍රමාණයක්ද විය.

මේ සියල්ල එකතු කළත් ලක්ෂ හැටදෙකක් හැදෙන්නේ නැත. ලක්ෂ හැටදෙක හැදුනේ දේශපාලන පක්ෂ මඟින් කෙලින්ම පාලනය කළ නොහැකි ඡන්ද විශාල ප්‍රමාණයක් ඉහත ගොඩට එකතු වීමෙනි. මේ ප්‍රමාණය ලක්ෂ දහයකට වැඩි මිස අඩු නොවූ බව මගේ තක්සේරුවයි. මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පිලිබඳව කලකිරුණු, ජවිපෙ සමඟද මතවාදීව එකඟ විය නොහැකි සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි තුන්වැනි බලවේග වලට නිකමට මෙන් ඡන්දය දුන් කොටස්ද, බොහෝවිට ඡන්දය භාවිතා නොකළ අයද, එජනිසයට පෙර ඡන්දය පාවිච්චි කළ නමුත් රාජපක්ෂලා නොඇදහූ කොටස්ද විය.  රාජපක්ෂ රෙජීමය සමඟ විරසක වූ  මුස්ලිමුන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයක්ද මේ ගොඩට එකතු විය.

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති ධුරය ඔහු හිමි කරගත්තේ එහි වටිනාකමට වඩා ඉතා අඩු මිලක් ගෙවමිනි. ආර්ථික විද්‍යා භාෂාවෙන්නම් ඔහුට භාණ්ඩය මිල දී ගැනීම සඳහා විශාල සහනාධාරයක් ලැබුණේය. වෙනත් අයගෙන් සම්මාදම් එකතු කර මෙසේ අඩු මිලට භාණ්ඩයක් හිමි කරගත් විට පුද්ගලයෙකුට එහි සැබෑ වටිනාකම නොදැනේ. ඔහුට දැනෙන වටිනාකම ඔහු ගෙවූ මිලයි.

අනෙක් අතට මේ භාණ්ඩය හිමිකර ගැනීම සඳහා තනි පුද්ගලයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේනට වඩා ඉතා ඉහළ මිලක් ගෙවීමට සුදානම් වූ මහින්ද රාජපක්ෂට එය හිමිකර ගත නොහැකි විය. මේ නිසා නොසන්සිඳුණු ඉල්ලුමක් ජනිත විය. භාණ්ඩයක් සඳහා නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති විට එය ලබා ගැනීම සඳහා දැරෙන උත්සාහයන් ඉතා බලවත්ය.

දැන් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් වී ඇති අතර මේ සටහන පළවන විට නාමයෝජනා බොහෝදුරට සකස් කර අවසන් වී තිබේ. මහ මැතිවරණයක අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය තීරණය වන ආකාරයටම නොවේ. නෛතික පදනම කෙසේ වුවත් මහ මැතිවරණයේදී ඡන්දයක ආන්තික බලය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වේ.

ජේආර් හඳුන්වා දුන් සමානුපාතික මැතිවරණ ක්‍රමය මඟින් මහජන නියෝජිතයින් තෝරා ගැනෙන්නේ එක් එක් දේශපාලන පක්ෂය ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට (රවුම් කිරීමෙන් පසුව වුවද) හරියටම සමානුපාතිකව නොවේ. උදාහරණයක් ලෙස නියෝජිතයින් අටදෙනෙකු පත් කර ගන්නා (බදුල්ල, පුත්තලම වැනි) දිස්ත්‍රික්කයකදී තුන්වැනියට වැඩි ඡන්ද ගන්නා කණ්ඩායමේ ඡන්ද ප්‍රමාණය 6%කට පමණ සීමා වන තත්ත්වයක් යටතේ එක් වැඩි ඡන්දයකින් මුල්තැනට එන කණ්ඩායමට මන්ත්‍රී ධුර 5ක් හිමිවන අතර දෙවන කණ්ඩායමට හිමි වන්නේ මන්ත්‍රී ධුර 3ක් පමණි.

පසුගිය ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක 12කදී මෛත්‍රී ඉදිරියෙන් සිටි අතර මහින්ද ඉදිරියෙන් සිටියේ දිස්ත්‍රික්ක 10කදී පමණි. මේ අනුව ඡන්ද පදනම් එසේම පවතීනම් රටේ බහුතර ඡන්දයද ලබා ඇති මෛත්‍රී පිල ඉදිරියෙනි. එහෙත්, ඒ මේ ඡන්ද ගොඩවල් දෙකම ඇලුමිනියම් ලෙස සැලකුවහොත්ය. කවුරුත් දන්නා පරිදි මෛත්‍රීගේ හැට දෙක ඇලුමිනියම් නොවේ. සෙරමික්ය.

හැට දෙකේ වූ එකම මහා පොදු සාධකය මහින්ද විරෝධය වූ අතර කෙසේවත්ම මෛත්‍රීට ඇති කැමැත්ත නොවීය. මෛත්‍රීට ඇති කැමැත්ත මඟින් පෙන්නුම් කළේ මහින්දට ඇති විරෝධයයි. මෙහිදී 'මහින්ද' වුයේ පුද්ගලයෙකු නොවේ. පුද්ගලයෙකු වටා පෙළගැසුණු කණ්ඩායමක් සහ ක්‍රමයකි. මේ මහින්ද විරෝධය පිටුපස තමා සහයෝගය දක්වන දේශපාලන පක්ෂය බලයට පත් කර ගැනීමේ කැමැත්ත, යහපාලනයට ඇති කැමැත්ත, දූෂණ විරෝධය, නීතියේ අධිපත්‍යය බිඳවැටීම පිළිබඳව ඇති විරෝධය, රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජාතිවාදයට ඇති විරෝධය හෝ බය, පෞද්ගලික හේතු, හැමදාම දකින කුකුළාගේ කරමල සුදුවීම, යුද්ධය අවසන් කිරීමේදී ඇති වූ තත්ත්වයන් පිළිබඳව ඇති විරෝධය, රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම පිළිබඳව පැවති බිය වැනි හේතු එකක් හෝ කිහිපයක් මුල්විය.

මෛත්‍රී ඉදිරියෙන් සිටි උතුරු පළාතේ වැඩි බලය ඇත්තේ දෙමළ සන්ධානයටය. ඔවුන් මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇත්තේ වෙනම කණ්ඩායමක් වශයෙනි. කවර ලෙසකින් මැතිවරණයට ඉදිරිපත් වූවද නැගෙනහිර පළාතේ ඉතිරි දිස්ත්‍රික්ක වල මෙන්ම නුවරඑළියේද වැඩි බලය ඇත්තේ සුළු ජාතික දේශපාලන පක්ෂ අතේය. මේ ඇතැම් පක්ෂ ප්‍රධාන ධාරාවේ කවර හෝ කණ්ඩායමක් හා එක් වීමට ඉඩ ඇතිවුවද අවසාන වශයෙන් වැඩි නියෝජනයක් හිමි වන්නේ ප්‍රධාන ධාරාවේ පක්ෂයකට නොවේ.

ජනාධිපතිවරණයේදී මෛත්‍රී ජයගත්, බහුතරය සිංහල බෞද්ධ, වන අනෙකුත් ඇතැම් දිස්ත්‍රික්ක වලදී ප්‍රතිඵලය පැවතුණේ මහමැතිවරණයකදී මහින්ද පිලට වාසිදායක වන පරිදිය. විශේෂයෙන්ම බදුල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වලදී ජවිපෙ ඡන්ද ඉවත් කළ විට මහින්ද පිල පැහැදිලිවම ඉදිරියෙන්ය. ජවිපෙ වෙනම තරඟ කරද්දී, හෙළ උරුමයද ඇතුළු මෛත්‍රී පිල එජාපය සමඟ එක්ව තරඟ කරන තත්ත්වයක් තුළ වුවද මේ කණ්ඩායමට ඉදිරියෙන් සිටීමේ හැකියාව තිබුණේ කොළඹ, මහනුවර සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක කිහිපයකදී පමණි. එසේනම් මහින්ද පිල වෙනම තරඟ නොකර එජනිස නාමයෝජනා ඉල්ලමින් මෛත්‍රී පසුපස ආවේ ඇයි?

රහස ඇත්තේ පනස් අටේ සංයුතියේය. හැටදෙක මෙන්ම පනස් අටද සෙරමික් මිස ඇලුමිනියම් නොවීය.

මහින්දට ඇති කැමැත්ත මහා පොදු සාධකය වූ පනස් අට හැට දෙක තරමටම විෂමජාතීය එකතුවක් නොවීය. එහෙත්, මේ පනස් අටේද පැහැදිලි ප්‍රභේද තිබුණේය. ඒ අතර, ප්‍රභාකරන්ගෙන් වූ පීඩනයට වඩා මහින්දගේ පීඩනය අඩුයැයි සිතූ අඩුම වශයෙන් ලක්ෂ දෙකක්වත් වන ශ්‍රී ලාංකික දෙමළ ඡන්දදායකයින්ගේ සිට, මහින්දගෙන් කෙළින්ම ආර්ථික වාසි සැලසුණු කණ්ඩායම්, යුද ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් කළගුණ සැළකිය යුතුයැයි සිතන්නන්, මහින්දගේ සංවර්ධන ව්‍යාපෘති අගය කරන්නන්, නැවත යුද්ධයක් ඇති නොවීමටනම් මහින්ද තව කලක් බලයේ සිටිය යුතු යි සිතන්නන් මෙන්ම රනිල්-චන්ද්‍රිකා සමඟ සසඳමින් අඩු නරක තෝරාගන්නන්ද විය. මේ කණ්ඩායම් සියල්ලක්ම බොහෝ දුරට මහින්ද මහින්ද වීම නිසා මහින්දට කැමති වූ අය ලෙස හැඳින්වීමෙහි ලොකු වරදක් නැතැයි සිතමි.

කෙසේ වුවද, පනස් අටේ ගොඩේ සිටියේ මහින්ද මහින්ද වීම නිසා මහින්දට කැමති වූ අය පමණක් නොවේ. මහින්ද (ඇතුළු පිරිස) ශ්‍රීලනිපය වන නිසා මහින්දට ඡන්දය දුන් විශාල පිරිසක් මේ ගොඩේ සිටී. මහින්ද රටේ ජනාධිපති වූ නිසාත්, මහින්ද වටා දේශපාලන බලය තිබුණු නිසාත්, මහින්ද පැරදවීම සිතීමටවත් නොහැකි නිසාත් මහින්දට ඡන්දය දුන් අයද විශාල ප්‍රමාණයක් මේ ගොඩේ සිටියේය. මේ දෙවන හා තුන්වන කණ්ඩායම් වල විශාලත්වය පිළිබඳව නිවැරදි තක්සේරුවක් කාට නැතත් දේශපාලනයෙන් තෙම්පරාදු වී ඇති මහින්දටත්, විමල්-ඩලස් වැනි ඔහු වටා දිගටම සිටි ඇතැම් අයටත් තිබුණේය. (ජනාධිපතිවරණයට පෙර ගණන් වරද්දා ගැනීම වෙනම කාරණයකි.)

ශ්‍රීලනිප බෙදීමකදී මහින්දට මහින්ද වීම නිසා ලැබුණු ඡන්ද අහිමි වීමේ අවදානමක් තිබුණේ නැත. 'මරලා හෝ ගත්තේ නැත්තේ ඇයි?'දැයි මහින්දගෙන් විමසන, මහින්ද දිනවීම සඳහා විමල්-වාසුලා සංවිධානය කළ රැළි වලට සහභාගී වන කොටස් කවර තත්ත්වයක් යටතේ වුවද මහින්දව ප්‍රතික්ෂේප නොකරනු ඇති අතර මහින්ද සමඟ ඕනෑම තත්ත්වයක් යටතේ හිටගන්නා පාර්ලිමේන්තු කණ්ඩායම දිනවීමට මේ ඡන්ද උවමනාවටත් වඩා ප්‍රමාණවත්ය. රැළි වලට සහභාගී නොවූවත් වත්පොත් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා මහින්ද වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින කොටස්ද සිටින්නේ මේ පනස් අටේ පළමු කාණ්ඩය තුළය.

මුල සිටම රනිල්ගේ සිහිනය වීයැයි සිතිය හැකි, මහින්ද හා මෛත්‍රී පිල් ලෙස ශ්‍රීලනිපය ප්‍රධාන එජනිසය දෙකට බෙදෙන තත්ත්වයකදී එජාපයට කෙලින්ම සැලසෙන වාසිය වූයේ උතුරු-නැගෙනහිර හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල මුල් තැනට ඒමෙන් ලැබෙන බෝනස් ආසන පමණක් නොවේ. පනස් අටේ තුන්වන කාණ්ඩය අධෛර්යමත්ව ඡන්දය භාවිතා නොකර සිටීමෙන් සහ එයින් කොටසක් එජාපය වෙත ආකර්ෂණය වීමෙන් ලැබෙන වාසියද එහි විය. ඒ අනුව, බෙදීමක් තුළ මහින්ද පිලට මෙන්ම මෛත්‍රී පිලටද මේ ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් අනිවාර්‍යයෙන්ම අහිමි වීමට නියමිතව තිබුණි.

පනස් අටේ දෙවන කාණ්ඩයේ ඡන්ද හිමිවිය හැකිව තිබුණේ ශ්‍රීලනිපය ලෙස මහජනතාව විසින් හඳුනාගැනෙන කණ්ඩායමටය. මෙය වත්මන් මහජන නියෝජිතයින්ගෙන් වැඩි ප්‍රමාණයකගේ සහයෝගය ලැබෙන කණ්ඩායමයි. ආරම්භයේදී මේ පිරිස මහින්ද පිලේ සිට මෛත්‍රී පිල වෙත දෝලනය වෙමින් පැවතිණි.

හැටදෙකේ අස්ථිර භාවය මත පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා පනස් අට එක මිටට තබා ගැනීමේ වැදගත්කම මහින්ද පිල මුල සිටම අවබෝධ කර ගත්තේය. මහින්ද පිලට අවශ්‍ය වූයේ රාජ්‍ය බලය නැවත ලබාගැනීමට මිස ඔවුන්ගේ කණ්ඩායම නැවත පාර්ලිමේන්තුවට යවා ගැනීම පමණක් නොවේ. ඔවුන්ගේ උපක්‍රමික පසුබෑම සහ පුනරාගමනය මේ අනුව තේරුම් කළ හැකිය.

ශ්‍රීලනිප බෙදීමකදී  එහි ලොකු කොටස තමන් වෙත රඳවා ගැනීමේ හැකියාව මහින්ද පිල සතුව මුල සිටම තිබුණේය. ඕනෑම තත්ත්වයක් යටතේ මහින්ද සමඟ හිටගැනීමට සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30කට වැඩි ප්‍රමාණයක් සිටි අතර මෛත්‍රීට එවැන්නන් සිටියේ දෑතේ ඇඟිලි වලටත් අඩුවෙනි. ඉතිරි බහුතරය මහින්දට හෝ මෛත්‍රීට විශේෂ පක්ෂපාතීත්වයක් නොමැති වැඩි වාසියක් ඇති තැනට එක් වීමට බලා සිටි පිරිසකි. නුදුරේම පෙනී පෙනී තිබුණු මැතිවරණය හමුවේ දැන්ම හෝ මැතිවරණයෙන් පසුව ලබාගන්නා වරදානයන්ට වඩා ඔවුන්ට වැදගත් වූයේ කෙසේ හෝ තම පාර්ලිමේන්තු අසුන රැක ගැනීමයි.

මෛත්‍රීගේ ජයග්‍රහණයෙන් පසුව මහින්ද පිලේ ජනතා නියෝජිතයෝ එකිනෙකා මෛත්‍රී පිලට එකතු වන්නට විය. මේ ප්‍රවණතාව මේ අයුරින්ම පැවතියේනම් ශ්‍රීලනිපය දෙකඩ වී පාර්ලිමේන්තුව තුළ මෛත්‍රී පිල විසින් මහින්ද පිල ගිලගෙන මහින්ද පිල සාපේක්ෂව දුර්වල කණ්ඩායමක් විය හැකිව තිබුණි. එය එසේ වීනම්, පාර්ලිමේන්තුවෙන් පිටතදී, පනස් අටේ කණ්ඩායමේ තුන්වන කොටස විසින් මහින්ද පිල පරාජිතයින් ලෙස හඳුනාගැනීම තුළින් මේ දියවීම එහිද සිදුවනු ඇත. ඔවුන්ගෙන් කොටසකගේ නවාතැන්පල එජාපය විය හැකිව තිබුණි. පනස් අටේ කණ්ඩායමේ දෙවන කොටසද මහින්ද හා මෛත්‍රී පිල් අතර බෙදී යනු ඇත.

මෛත්‍රී විසින් ශ්‍රීලනිප සභාපතිත්වය එහි මිල ගෙවා ලබා ගැනීමට ඉඩ නොතබා සහනාධාරයක් ලෙස ඔහු වෙත ලබාදීමෙන් සිදුකෙරුණේ මේ ක්‍රියාදාමය වෙත තිරිංග යෙදීමකි. දැන් මහින්ද නැතත් පනස් අටේ කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය ඇත. ඡන්දයෙන් පරාජය වූ ඔවුන්ට තමන්ගේම ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් තවදුරටත් තිබේ. නායකයා අවිනිශ්චිත වීම ප්‍රශ්නයක් නොවේ.

මහින්ද හෝ මෛත්‍රී වෙනුවෙන් ඕනෑම තත්ත්වයක් යටතේ පෙනී සිටීමට සුදානම් නොවූ බහුතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වූයේ මීළඟ මැතිවරණයේදී සිය මන්ත්‍රී ධුරය රැකගැනීමටය. මුලදී පෙනෙන්නේට තිබුණු ආකාරයට මෛත්‍රී සමඟ සිටගැනීම මේ සඳහා වැඩි පිටිවහලක් සැපයුවේය.

පනස් අටේ තුන්වන කාණ්ඩය ගිලිහීයාම වලකා ගත හැකි වූයේ රාජ්‍ය බලයේ අයිතිය තමන් වෙත තවදුරටත් ඇතිබව තහවුරු කිරීමේ හැකියාව මතය. කෙසේ වුවද, රාජ්‍ය බලයේ අයිතිය ශ්‍රීලනිපයට බව තහවුරු කිරීමට රනිල්ගේ එජාපය සමඟ තරඟ කළ යුතු වූ අතර මේ තරඟයේදී මෛත්‍රීගෙන් ශ්‍රීලනිපය අපේක්ෂා කළ විශේෂ උදවු ඔවුන්ට ලැබුණේ නැත. මෛත්‍රීගේ උදාසීන ප්‍රතිපත්තියෙන් වාසි සැලසුණේ එජාපයටය. මේ තත්ත්වය යටතේ එජනිස පාර්ලිමේන්තු කණ්ඩායමේ මැදපෙළට මෛත්‍රී සමඟ සිටගැනීම පිළිබඳව සැක සංකා මතු වන්නට විය. මෙය අනිවාර්යයෙන්ම සිදුවන බව මහින්ද පිල මුල සිටම දැන සිටියේය.

විමල්-වාසු කණ්ඩායමේ රැස්වීම් මාලාව මූලිකවම අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවෙන් පිටත පනස් අටේ කණ්ඩායම දියවීම වලක්වාගැනීමටය. පරාජය ජයග්‍රහණයක් ලෙස පෙන්වීම ක්‍රමෝපායයේම කොටසකි. දෙවනුව, මැතිවරණ ජයග්‍රහණය වඩා සහතික වන්නේ මෛත්‍රී සමඟ නොව මහින්ද සමඟ සිටීමෙන්ය යන්න පාර්ලිමේන්තුවේ එජනිස මැද පෙලට ඒත්තු ගැන්වීමටය. මේ උපක්‍රම බොහෝ දුරට සාර්ථක වූ අතර එහි වෙනත් අතුරු ප්‍රතිඵලද තිබේ.

මෛත්‍රීට ඡන්දය දුන් කණ්ඩායමේ අපේක්ෂාවන් සිතූ පරිදි ඉටු වී නැත. මේ අනුව, හැට දෙක තුල වූ නිර්පාක්ෂික කොටස් හැට දෙකෙන් ගැලවී යාම ප්‍රවණතාවක් විය යුතුය. විමල්-වාසු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වහි අතුරු ඵලයක් ලෙස මේ නිර්පාක්ෂික කොටස් වලට තව දුරටත් මහින්ද විරෝධය පවත්වා ගැනීමට අවශ්‍ය උත්තේජනයද නොමිලයේම සපයනු ලැබීය.

මහින්දට එජනිස නාමයෝජනා දුන් වහාම ඇති වූ සෘජු ප්‍රතිඵලය මෛත්‍රී සහ ඔහුට ඡන්දය දුන් හැට දෙකේ කණ්ඩායම අතර ඇති ඓන්ද්‍රීය සම්බන්ධතාව බිඳ වැටීමයි. මහින්ද කණ්ඩායම විසින් ඇටවූ ක්‍රමෝපායික උගුලේ මෛත්‍රීපාල සිරිසේන සිර විය. (එය සිදු වූ ආකාරය වෙනම සාකච්ඡා කළ යුතුය.)

මෛත්‍රී විසින් මහින්දට නාමයෝජනා දෙනු නොලැබීනම් කුමක් විය හැකිව තිබුණේද? එසේනම්, මහින්ද පිලේ විමල්-වාසු ඇතුළු පිරිසට වෙනම තරඟ කිරීමට සිදුවනු ඇත. මේ කණ්ඩායම සමඟ මහින්ද ඡන්දයට ඉදිරිපත් වේද යන්න තීරණය විය හැක්කේ ඔවුන් වටා පෙළගැසෙන කණ්ඩායමේ ශක්තිය මතය. කණ්ඩායම් පෙළගැසෙන ආකාරය කෙසේ වුවත්, අවසානයේදී මෛත්‍රී සමඟද ශක්තිමත් කණ්ඩායමක් ඉතිරි වනු ඇත. ඔවුන් බොහෝ විට තුන්වන කණ්ඩායම වනු ඇති නමුත් දුර්වල කණ්ඩායමක් නොවනු ඇත. රනිල්ගේ එජාපය මුල් තැනට පැමිණෙනු ඇති අතර රනිල්-මෛත්‍රී එකතුව පාර්ලිමේන්තුවේ බහුතරය සහිත සභාගයක් පිහිටුවද්ද්දී මහින්ද පිල විපක්ෂයේ ප්‍රබලම කණ්ඩායම වනු ඇත. බහුතරය නොලබන රනිල්ගේ එජාපය සමඟ හවුල් ආණ්ඩුවකට එකතු වන හෙළ උරුමය සහ ශ්‍රීලනිප මෛත්‍රී පිල සංඛ්‍යාත්මකව කුඩා විය හැකි වුවද ඔවුන්ගේ ආන්තික බලය විශාල වනු ඇත. කෙසේ වුවද, මේ ඉඩකඩ මේ වන විට මහින්ද පිල විසින් අහුරා තිබේ.

මහින්දගේ පනස් අටෙහි පළමු හා දෙවන කොටස් ඔවුන් විසින් මේ වන විට ග්‍රහණයට ගෙන ඇති අතර තුන්වන කොටස රඳවා ගැනීම ඔවුන් හමුවේ තවදුරටත් ඇති අභියෝගයකි.

අනෙක් අතට, මෛත්‍රීගේ හැටදෙකේ බොහෝ දෙනෙකු තමන්ගේ මුල් බලාපොරොත්තු බිඳගෙන ඇති නමුත් ඔවුන්ගේ මහින්ද විරෝධය තවමත් පහව නැති නිසා, ඇත්ත වශයෙන්ම විමල්-වාසු කණ්ඩායම විසින් තවදුරටත් මුවහත් කරනු ලබ ඇති නිසා, මේ ඡන්ද හැටදෙලක්ෂය තව දුරටත් එසේම පැවතීමට ඉඩ ඇතත් ජවිපෙ හා ටීඑන්ඒ ඡන්ද ඉවත් කළ විට මේ ගොඩ මහින්දගේ ගොඩට වඩා කුඩා වේ. එජාප ඇතුළු පෙරමුණෙහි ජයග්‍රහණය සඳහා රාජ්‍ය බලය හා දිනීමට ඇති වැඩි ඉඩකඩ පෙන්වා මහින්ද ලබාගත් තුන්වන කාණ්ඩයේ ඡන්ද වලින් කොටසක් බිඳ ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අතර මහින්ද ප්‍රධාන එජනිසයෙහි ජයග්‍රහණය සඳහා මේ ඡන්ද රඳවා ගත යුතුය.

ජයග්‍රහණය අවසාන වශයෙන් තීරණය කරන මේ ආන්තික ඡන්ද ලබාගැනීමටනම් රාජ්‍ය බලයේ සංකේතය වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අයිතියට ඇති හිමිකම අත්‍යවශ්‍ය සාධකයකි. පුද්ගලයෙකු වශයෙන් මෛත්‍රීපාල සිරිසේනට කෙලින්ම පාලනය කළ හැකි ඡන්ද ප්‍රමාණය පොළොන්නනරුව දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයා තීරණය කරන ඡන්ද විසිපන්දහසක පමණ ප්‍රමාණයක් පමණක් වුවද තවත් වසර හයකට බලය ඇති විධායක ජනාධිපති වරයා ලෙස ඔහු විසින් සංකේතවත් කරන රාජ්‍ය බලය විසින් ඡන්දදායකයින් ලක්ෂ ගණනකගේ තීරණ වලට බලපෑමක් කරනු ඇත.

මේ නිසා ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේනට මඩ ගැසීමක් වෙනුවට ඔහු සිටින්නේ තමන්ගේ පිලේයැයි පෙන්වීම සඳහා කෙරෙන උත්සාහයන් දෙපාර්ශ්වයෙන්ම දැක ගැනීමට හැකි වනු ඇත.

(දේශපාලන විශ්ලේෂකයෙකු හෝ දේශපාලන විද්‍යාව පිලිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා ඇත්තෙකු නොවන ඉකොනොමැට්ටා මෙහි සටහන් කර ඇත්තේ ඔහුගේ සිතට දැනෙන දේවල් මිස න්‍යායාත්මක කරුණු නොවේ. ඒවා නිවැරදි නොවීමට ඇති ඉඩකඩ ඉකොනොමැට්ටා විසින් පිළිගන්නා අතර, වෙනස් අදහස් හෝ විවේචන ඉදිරිපත් වුවහොත් ඉකොනොමැට්ටාගේ අදහස් තහවුරු කිරීමට උත්සාහ නොදරනු ඇත. ඡායාරූපය www.colombotelegraph.com වෙබ් අඩවියෙනි.)

Wednesday, July 8, 2015

බුෂ්ව ජනාධිපති කළ පන්සිය තිස්හතේ කණ්ඩායම

ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන්නේ මහජනතාවගේ ඡන්දයෙන් වුවත් එය සිදුවන්නේ ලංකාවේදී මෙන් බහුතර ඡන්දයෙන් නොවේ. පළමුව එක් එක් ප්‍රාන්තයේ සහ වොෂින්ටන් ඩීසී අගනුවර පිහිටි ප්‍රදේශයේ ඡන්දදායකයෝ ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා සුදුසුකම් ලබන නිශ්චිත නියෝජිතයින් සංඛ්‍යාවක් තෝරා පත්කරගනිති. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන්නේ මේ නියෝජිතයින්ගේ ඡන්දයෙනි. මේ ක්‍රමය අනුව බහුතර ඡන්දය ලැබූ අපේක්ෂකයා ජනාධිපති නොවීමේ ඉඩකඩක් ඇති අතර කිහිපවරක්ම එය සිදුවී තිබේ.

වර්තමානයේදී මෙසේ එක් එක් ප්‍රාන්තයෙන් සහ වොෂින්ටන් ඩීසී වෙනුවෙන් පත්කරගන්නා මුළු නියෝජිතයින් ගණන 538කි. ඒ අනුව, ඇමරිකාවේ ජනාධිපති වීමට මේ නියෝජිතයින්ගෙන් 270 දෙනෙකුගේ ඡන්ද අවශ්‍ය වේ.

නියෝජිතයින් 538 එක් එක් ප්‍රාන්ත අතර බෙදී යන නිශ්චිත ක්‍රමවේදයක් ඇත. පළමුව, ප්‍රාන්ත 50 වෙනුවෙන් එක් ප්‍රාන්තයකට නියෝජිතයින් දෙදෙනා බැගින් වෙන් කෙරේ. ඇමරිකානු සෙනෙට් සභාවේ නියෝජිතයින් 100දෙනා පත් වන්නේද මේ ආකාරයටය. තවත් 435ක් එක් එක් ප්‍රාන්තයේ ජනගහණයට සමානුපාතිකව සහ සෑම ප්‍රාන්තයකටම අඩු වශයෙන් එක් නියෝජිතයෙකු ලබා දෙමින් වෙන් කෙරේ. ඇමරිකානු නියෝජිත මන්ත්‍රී සභාවේ සාමාජිකයින් 435 ප්‍රාන්ත අතර බෙදී යන ආකාරයටමය. මේ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ බලය ඇති 'ඉලෙක්ටොරල් කොලේජ්'හි සාමාජිකයින් 535ක් පත් වන්නේ ප්‍රාන්ත 50 නියෝජනය කරමින් වන අතර සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී සභාවේ එකතුවක් වන ඇමරිකානු කොන්ග්‍රසය තුළ එක් එක් ප්‍රාන්තය නියෝජනය කරන සාමාජිකයින් ගණනට සමාන සාමාජිකයින් ගණනක් ඉලෙක්ටොරල් කොලේජ්‍ නියෝජිත කණ්ඩායම සඳහාද පත්වේ. මේ නියෝජිත කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් තිදෙනා වොෂින්ටන් ඩීසී අගනුවර පිහිටි වෙනත් කිසිදු ප්‍රාන්තයකට අයත් නොවන ප්‍රදේශය නියෝජනය කරති.

වත්මන් මැතිවරණ ක්‍රමය අනුව, එක් එක් ප්‍රාන්තය සතු (ප්‍රාන්ත දෙකක පමණක් තරමක වෙනසක් ඇතත්) නියෝජිත ගණන මුළුමනින්ම පත්වන්නේ අදාළ ප්‍රාන්තයේ බහුතර ඡන්දය හිමිකරගන්නා දේශපාලන පක්ෂයෙන්ය. වොෂින්ටන් ඩීසීහිද මෙසේමය. පිළිවලින් සාමාජිකයින් සිවුදෙනෙකු හා පස්දෙනෙකු නියෝජනය කෙරෙන මේන් සහ නෙබ්‍රස්කා ප්‍රාන්ත වල පමණක් ප්‍රාන්තයේ බහුතර ඡන්දයෙන් නියෝජිතයින් දෙදෙනා බැගින්ද, ප්‍රාන්තය තුළ මැතිවරණ දිස්ත්‍රික්ක තුළ බහුතර ඡන්දයෙන් ඉතිරි සාමාජිකයින්ද පත් කරගැනේ.

විය යුතු පරිද්ද්දෙන්ම, ඉලෙක්ටොරල් කොලේජ්‍හි සංයුතියේ ජනගහණය වැඩි කැලිෆෝර්නියා, ටෙක්සාස් සහ නිව්යෝර්ක් වැනි ප්‍රාන්ත වන නියෝජනය විශාලය. මේ අනුව, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී සෛද්ධාන්තිකව මේ ප්‍රාන්ත වලට ඉලෙක්ටොරල් කොලේජ්‍හි වැඩි ආන්තික බලයක් හිමිවේ. අනෙක් අතට ජනගහණය අඩු ප්‍රාන්ත වලට අඩුම වශයෙන් නියෝජිතයින් තිදෙනෙකු හිමිවන නිසා මේ ප්‍රාන්ත වල ඡන්දදායකයින්ට ඉලෙක්ටොරල් කොලේජ්හි වැඩි නියෝජනයක් හිමි වේ. අවසාන ප්‍රතිඵලය ලෙස ඇමරිකානු ජනාධිපතිවරණදී භාවිතා කරන සෑම ඡන්දයක්ම නෛතිකව කෙසේ වෙතත් ආන්තික තල්ලුවක් යෙදීමේ හැකියාව අනුව වටිනාකමින් සමාන නැත.

ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ඇති ඇමරිකාවේ දැනට බලයේ සිටින ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය හැර වෙනත් සුළු පක්ෂයකට නියෝජනයක් ලබා ගැනීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩකි. මේ වන විට ඇමරිකාවේ බොහොමයක් ප්‍රාන්ත තුල දේශපාලන බලය මේ පක්ෂ දෙකෙන් එකක් වෙත ධ්‍රැවීකරණය වී තිබේ. සුදු ජාතිකයින් බහුතරයක් වෙසෙන, ග්‍රාමීය, කෘෂිකාර්මික ප්‍රදේශ වලදී රිපබ්ලිකන් පක්ෂය ඉදිරියෙන් සිටින අතර සුළුතර ඇමරිකානුවන් වැඩි, නාගරික ප්‍රදේශ වල ඩිමොක්‍රටික් පක්ෂය බලවත්ය. ඉලෙක්ටොරල් කොලේජ්‍හි වැඩි නියෝජනයක් ඇති කැලිෆෝර්නියා සහ නිව්යෝර්ක් ප්‍රාන්ත පසුගිය කාලයේ දිගටම ඩිමොක්‍රටික් පක්ෂය විසින් ජයග්‍රහණය කර ඇති අතර ටෙක්සාස් ප්‍රාන්තයේ ජයග්‍රහණය දිගටම හිමි වී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයටය.

බහුතරය ලබාගන්නා පක්ෂයට ප්‍රාන්තයක නියෝජනය මුළුමනින්ම හිමිවන ඇමරිකානු ඡන්ද ක්‍රමය යටතේ ඡන්ද කාලයේදී මෙවැනි ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් බලකොටු වෙත යොමුවෙන්නේ අඩු අවධානයකි. මේ ප්‍රාන්තවල ඡන්දදායකයකු සතුවන්නේ ඉතා සුළු ආන්තික බලයකි. උදාහරණයක් වශයෙන්  අවසන් වරට පැවැත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් වැඩි ඡන්ද ලක්ෂ 30ක්ද, නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වැඩි ඡන්ද ලක්ෂ 20ක්ද ලබාගත් අතර රිපබ්ලිකන් පක්ෂය ටෙක්සාස් ප්‍රාන්තයෙන් වැඩි ඡන්ද ලක්ෂ 12ක් ලබා ගත්තේය. එහෙත්, මේ ප්‍රාන්තවල ඉලෙක්ටොරල් කොලේජ්‍හි මුළු නියෝජනයම (පිළිවෙලින් නියෝජිතයින් 55ක්, 29ක් හා 38ක්) ලබාගැනීමට අවශ්‍ය වූයේ එක් වැඩි ඡන්දයක් පමණි.

එක් පක්ෂයක ජයග්‍රහණය ස්ථිර කැලිෆෝර්නියා වැනි ප්‍රාන්තයක ඡන්දදායකයින් කිහිපයකගේ තීරණය වෙනස් කිරීමෙන් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් කළ නොහැකි බව පක්ෂ දෙකේම ක්‍රියාකාරීහු මෙන්ම ඡන්දදායකයෝද දනිති. මේ නිසා මෙවැනි ප්‍රාන්ත වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පක්ෂ දෙකෙන්ම වෙන් වන්නේ අඩු පිරිවැයකි. එමෙන්ම, ඡන්දය භාවිතා කිරීමට ඇත්තේද අඩු උනන්දුවකි.

ඇමරිකානු ජනාධිපතිවරණයකදී වැඩි අවධානයක් යොමු වන්නේ 'දෝලන ප්‍රාන්ත' ලෙස හඳුනා ගැනෙන පක්ෂ දෙකටම ජයග්‍රහණය කිරීමේ යම් විභවයක් ඇති ප්‍රාන්ත වෙතය. මෙවැනි ප්‍රාන්ත අතරින් වැඩිම නියෝජනයක් ඇති, ඒ නිසා වැදගත්ම, ප්‍රාන්තය ෆ්ලොරිඩා ප්‍රාන්තයයි. බොහොමයක්ම මැතිවරණ වලදී ෆ්ලොරිඩා ප්‍රාන්තය ජයගන්නා පක්ෂයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා පත්වී තිබේ.




වසර  15කට පෙර 2000 වසරේදී පැවති 54වන ඇමරිකානු ජනාධිපතිවරණයෙදී ප්‍රධාන අපේක්ෂකයන් වූයේ රිපබ්ලිකන් පක්ෂයේ ජෝජ් බුෂ් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ඇල් ගෝර්ය. වෙනත් මැතිවරණ වලදී මෙන්ම මේ මැතිවරණයේදීද ෆ්ලොරිඩා ප්‍රාන්තය මුල සිටම වැඩි අවධානයකට ලක් විය. මැතිවරණ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලීජියේ ඡන්ද 270ක් ලබා ගත යුතු වූ අතර එයින් ඡන්ද 25ක හිමිකම ෆ්ලොරිඩා නියෝජිතයින් සතු විය. කරට කර සටනක් තිබුණු ෆ්ලොරිඩාහි ජයග්‍රහණය හිමි වන පක්ෂයෙන් මේ නියෝජිතයින් 25 දෙනාම පත් වේ.

ෆ්ලොරිඩා ප්‍රාන්තය හැර අනෙකුත් ප්‍රාන්ත සියල්ලේ ප්‍රතිඵලය අනුව අවසන් ප්‍රතිඵලය අවිනිශ්චිතව පැවතියේය. ඒ වන විට තත්ත්වය පහත පරිදි විය.
ඩිමොක්‍රටික් නියෝජිතයින් ගණන- 267
රිපබ්ලිකන් නියෝජිතයින් ගණන- 246

මුළු ඡන්ද ගණන අනුවද ඡන්ද ලක්ෂ පහමාරකින් පමණ ඉදිරියෙන් සිටියේ ඩිමොක්‍රටික් පක්ෂයයි.

මේ වන විට මුළු ඡන්ද ගණන අනුව මෙන්ම ඉලෙක්ටෝරල් කොලීජියේ නියෝජිත ඡන්ද අනුවද ඉදිරියෙන් සිටි ඇල් ගෝර්ට ඇමරිකාවේ හතලිස් තුන්වන ජනාධිපතිවරයා වීමට අවශ්‍ය වූයේ තවත් නියෝජිත ඡන්ද තුනක් පමණි. බුෂ්ට තවත් ඡන්ද විසිහතරක් අවශ්‍ය විය. කෙසේ වුවද, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බහුතර ඡන්ද ලබාගන්නා පක්ෂයේ අපේක්ෂකයාට නියෝජිත ඡන්ද විසිපහක් හිමිවන බැවින් හතලිස් තුන්වන ඇමරිකානු ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ආන්තික තල්ලුව ඇල් ගෝර් වෙතට හෝ ජෝජ් බුෂ් වෙතට යෙදීමේ හැකියාව ෆ්ලොරිඩා ඡන්දදායකයා සතුවිය.

කිහිප වරක් ගණන් කිරීමෙන් පසුව ප්‍රකාශයට පත් කෙරුණු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නිල ප්‍රතිඵලය මෙවැන්නකි.
ඩිමොක්‍රටික් පක්‍ෂය - 2,912,253
රිපබ්ලිකන් පක්‍ෂය- 2,912,790

වැඩි ඡන්ද 537ක් ලබා ගත් රිපබ්ලිකන් පක්ෂයට ෆ්ලොරිඩාවෙන් නියෝජිතයින් 25 දෙනෙකු හිමිවීමත් සමඟ ඉලෙක්ටොරල් කොලීජියේ රිපබ්ලිකන් නියෝජනය 271 දක්වා ඉහළ ගියේය. මෙය අවශ්‍ය ප්‍රමාණයට වඩා යාන්තම් එකකින් වැඩිය. එහෙත් රටේ බහුතර ඡන්දය හිමිව තිබුණේ ඩිමොක්‍රටික් පක්ෂයටය.

ඇමරිකන් ඡන්ද ක්‍රමයේ ඇති එකම දුර්වලතාව බහුතර ඡන්දය ලබන්නා ජනාධිපති නොවීමේ හැකියාව පමණක් නොවේ. ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා එක් එක් ප්‍රාන්තයෙන් තෝරා පත් කරගන්නා නියෝජිතයින් තමන් පක්ෂපාතිත්වය දක්වා සිටි ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන්ම ඡන්දය පාවිච්චි නොකිරීමේ අවදානමක්ද මේ ක්‍රමය තුළ තිබේ. එසේ කිරීමට ඇතැම් ප්‍රාන්ත වල නීතිමය බාධා තිබුණත් ප්‍රාන්ත සියල්ලේම එවැනි බාධාවන් නැත. මේ අනුව රිපබ්ලිකන් අපේක්ෂකයින් තිදෙනෙකු සිය පක්ෂපාතිත්වය වෙනස් කළේ නම් ප්‍රතිඵලය වෙනස් වන බව කිවයුතු නොවේ. එවැනි සිදුවීම් ඇමරිකාවේ විරල වුවද සිදුවුණු අවස්ථා තිබේ.

කෙසේවුවද, ඉලෙක්ටොරල් කොලීජියේ වැඩි ඡන්ද හිමිකරගත් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ජෝජ් වෝකර් බුෂ් ඇමරිකාවේ හතළිස් තුන්වන ජනාධිපති ලෙස පත් විය. ඔහුට අපේක්ෂා කළ පරිදිම ඉලෙක්ටොරල් කොලීජියේ ඡන්ද 271ක් හිමි විය. එක් ඩිමොක්‍රටික් නියෝජිතයෙකු ඡන්දය ලකුණු නොකර හිස් පත්‍රිකාවක් දැමීම නිසා ඩිමොක්‍රටික් අපේක්ෂක ඇල් ගෝර්ට හිමිවූයේ ඡන්ද 266ක් පමණි.

නීතිය අනුව 43වන ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝජ් ඩබ්ලියු බුෂ්ව තෝරා පත් කර ගත්තේ ඡන්දය අවලංගු කළ වොෂින්ටන් ඩීසී නියෝජිතයා හැර ඉලෙක්ටොරල් කොලිජියේ ඉතිරි නියෝජිතයින් 537දෙනාය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදයේ බහුතර ඡන්දදායකයින්ගේ කැමැත්තටද එරෙහිව සැබැවින්ම ඔහුව තෝරා පත් කර ගත්තේ ඒ සඳහා ආන්තික තල්ලුව ලබා දුන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නම නොදන්නා ඡන්දදායකයින් 537දෙනෙකි.


(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Tuesday, July 7, 2015

බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය


වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයෙන් පසුව ඒ පිළිබඳව ඇතැම් මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින්ගේ විග්‍රහය වූයේ මෙවැන්නකි.

"ඡන්දයෙන් බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය ලබා ගත් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළා. බහුතරයේ බහුතරය හා සුළුතරයේ සුළුතරය ලබා ගත් මහින්ද රාජපක්ෂ පරාජය වුණා."

මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින්ගේ ඉහත විග්‍රහය බොරුවක් නොවේ. එහි සැඟවීමට දෙයක් නැත. එමෙන්ම වැරැද්දක්ද නැත. අවසාන වශයෙන් රටේ සමස්ත බහුතර ඡන්දය, පැහැදිලි බහුතරයක් සහිතව, ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන සමත් විය. ඔහු ජනාධිපති විය. බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය ලබා ගන්නා අපේක්ෂකයෙකුට ලංකාවේ විධායක ජනාධිපතිවරයා වීමේ හැකියාව තිබේ.

කෙසේ වුවද, ඉහත විග්‍රහයෙන් කිසියම් තේරුමක් නැති හේතුවකට ඇතැම් මෛත්‍රීපාල සිරිසේන පාක්ෂිකයින්ට රිදුනේය. ඒ නිසා ඔවුන් මෙවැනි පැහැදිලි කිරීමක් කළේය.

"මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් සිංහල බෞද්ධ ඡන්දයි."

මෛත්‍රීපාල සිරිසේන පාක්ෂිකයින්ගේ ඉහත විග්‍රහයද සැබෑවකි. මෛත්‍රීපාල සිරිසේන ලබාගත් සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය එසේ නොවන ඡන්ද වලට වඩා වැඩිය.


ඇමරිකාවේ වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයාය. ඇමරිකාවේ 44වන ජනාධිපති ලෙස 2008දී තෝරා පත්කර ගැනුණු ඔහු 2012දී නැවත පත් කර ගැනිණි.


බහුවාර්ගික රටක් ලෙස පෙනී සිටීමට කිසිවිට නොපැකිලෙන ඇමරිකාවේ බහුතරය හිස්පැනික් නොවන සුදු ජාතිකයින්ය. ඔවුන්ගේ ප්‍රතිශතය වලංගු ඡන්දදායකයින්ගෙන් 72%ක් පමණ වේ. ස්‌පාඤඤ බස වහරන 10%කට නොඅඩු හිස්පැනික් ඡන්දදායකයින්ගෙන්ද වැඩි ප්‍රමාණයක් සුදු ජාතිකයින් වන අතර කළු ජාතික ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය ආසන්න වශයෙන් 13%ක් පමණි. ඉතිරිය ආසියානු ඇමරිකානුවන් සහ මුල් ඇමරිකානුවන්ය (රතු ඉන්දියානුවන්).

ඇමරිකානු ජනාධිපතිවරණ සටනේදී ඡන්දය ලබාගැනීමේ අරමුණින් ජාතිවාදය ඇවිස්සීමක් සිදු නොවේ. අපේක්ෂකයින්ගේ ජනවාර්ගික වෙනස්කම් විරුද්ධ පාක්ෂිකයින් විසින් ඉස්මතු කරන්නේද නැත. එහෙත්, එවැනි තත්ත්වයක් යටතේ වුවද ඡන්දය භාවිතයේදී වෙනස් ජනවාර්ගික කණ්ඩායම් ක්‍රියා කරන්නේ එක් ආකාරයටම නොවේ.


අවසන් වරට පැවැත්වුණු (2012) ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නිය. ඔබාමා ඡන්ද 51.1% ක් ලබාගත් අතර රොම්නි ඡන්ද 47.2%ක් ලබාගත්තේය. මේ ප්‍රතිඵලය 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී (51.3%) සහ මහින්ද (47.6%) අතර ඡන්ද බෙදුණු ආකාරයට බොහෝ සමානය. මෛත්‍රී සහ මහින්ද අතර 12:10  ලෙස දිස්ත්‍රික්ක බෙදුණු ආකාරයට තරමක් සමානව  ඔබාමා සහ රොම්නි අතර 27:24 ලෙස (වොෂින්ටන් ඩීසීද ඇතුළුව) ප්‍රාන්තද බෙදුණේය.

මෛත්‍රී මෙන්ම ඔබාමාද ජයග්‍රහණය කළේ බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය ලබමිනි. බහුතරයේ බහුතරය හා සුළුතරයේ සුළුතරය හිමිකරගත් රොම්නි පරාජයට පත්විය. සුදු ජාතිකයින්ගේ ප්‍රතිශතය වැඩි ග්‍රාමීය, කෘෂිකාර්මික පෙදෙස් වලදී ඔබාමාට වඩා තරමක් ඉදිරියෙන් සිටි රොම්නි, සුළුතර වාර්ගිකයින් වැඩි නාගරික ප්‍රදේශවලදී සිටියේ ඔබාමාට වඩා සැලකිය යුතු ලෙස පිටුපසිනි. 2012 ඇමරිකානු ජනාධිපතිවරණයේ ජනවාර්ගික බෙදීම බොහෝ තැන්වල විශ්ලේෂණය වී ඇති අතර වැඩි දෙනෙකුට තහවුරු කරගත හැකි වීමේ පහසුව සලසා මා විකිපිඩියාවෙන් පහත තොරතුරු උපුටා දක්වමි (වගුව 2).


සැසඳීම සඳහා ඉකොනොමැට්ටා විසින් ඇස්තමේන්තු කර පෙර ඉදිරිපත් කළ ලංකාවේ ජනාධිපතිවරණයේ ජනවාර්ගික සංයුතිය පහත පරිදි විය (වගුව 1).


 

ඉතා පැහැදිලිව ඔබාමා සහ මෛත්‍රී යන දෙදෙනාම ජයග්‍රහණය කර ඇත්තේ බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය ලබමිනි. බහුතරයේ බහුතරය හා සුළුතරයේ සුළුතරය ලබාගත් රොම්නි මෙන්ම මහින්දද පරාජයට පත් වී ඇත. එහෙත්, ඇමරිකාවේදී මේ ප්‍රතිඵලය මොනයම් ආකාරයක හෝ විකෘතියක් ලෙස නොසැලකුණු අතර බහුතර ජනමතයේ සැබෑ පිළිබිඹුවක් පමණක්ම විය. ලංකාවේදීනම් ඇතැම් අය ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන තවමත් සිතන්නේ කිසියම් 'වැරදීමක්' ලෙසය.

අනෙක් අතට ඔබාමා ලැබූ 51.1%ක ඡන්ද ප්‍රතිශතයෙන් අඩකට ආසන්නව එනම් 22.7%ක් සුළුතර ඡන්ද වුවද වැඩි ප්‍රමාණය, එනම් 28.4%ක් ලැබී තිබුණේ බහුතර කණ්ඩායමෙනි. මේ අයුරින්ම, මෛත්‍රී ලබාගත් 51.3%ක ඡන්ද ප්‍රතිශතයෙන් අඩකට ආසන්නව එනම් 22.5%ක් සුළුතර ඡන්ද වන අතර වැඩි ප්‍රමාණය, එනම් 28.8%ක් ලැබී ඇත්තේ බහුතර කණ්ඩායමෙනි.

රොම්නිගේ සහ මහින්දගේ ඡන්ද වලද ඒවායේ ග්‍රාමීය කෘෂිකාර්මික පදනමට අමතරව ජනවාර්ගික සංයුතින්හිද සමානකම් තිබේ. මහින්දගේ 47.6%න් 40.9%ක්ම බහුතර කණ්ඩායමෙන් ලබාගෙන ඇති අතර රොම්නිගේ 47.2%න් 41.8%ක්ම බහුතර කණ්ඩායමෙනි. (සංඛ්‍යාවන් හරියටම සමාන නොවුවද ඔබාමා පළමුවරට ජනාධිපති වූ 2008 ජනාධිපතිවරණයේ ඡන්ද බෙදී තිබුණේද මේ ආකාරයටමය.)

ඡන්ද සංයුතියේ මෙවැනි සමානකම් තිබුණද දෙරටේ ඡන්ද භාවිතයේ සැලකිය යුතු වෙනසක්ද තිබේ. ඔබාමා ජනාධිපතිවීමේදී සිදුවූයේ සුළුතර කළු ඇමරිකානුවෙකු ජනාධිපති කිරීම සඳහා හිස්පැනික් නොවන සුදු ඡන්දදායකයින්ගෙන් 39%ක් සුළුතරයේ බහුතරය සමඟ එකතුවීමයි. එහෙත්, මෛත්‍රී ජනාධිපතිවීමේදී සිදුවූයේ රටේ බහුතර සිංහල බෞද්ධ කණ්ඩායමේ අපේක්ෂකයෙකු පත්කරගැනීම සඳහා සුළුතරයේ බහුතරය බහුතරයේ සුළුතරය හා අත්වැල් බැඳගැනීමයි.

මෙසේ මෛත්‍රීව ජනපති කිරීමට උරදුන් සුළුතරයේ බහුතරය ප්‍රමාණයෙන් ලක්ෂ 27කට වැඩි පිරිසකි. එබැවින් ඔහුව පත්කළ බහුතර කණ්ඩායමේ ලක්ෂ තිස්පහේ මෙන්ම සුළුතර කණ්ඩායමේ ලක්ෂ විසිහතේද විශ්වාසය පළුදු නොකිරීම ජනාධිපති මෛත්‍රීපාලගේ යුතුකම මෙන්ම වගකීමයි. එය පැහැර හැරීමෙන් ඔහු අවදානමේ හෙලන්නේ ඔහු පිළිබඳව තබා ඇති සුළු ජාතීන්ගේ විශ්වාසය පමණක් නොවේ. සිංහල බෞද්ධයෙකු වෙත විශ්වාසය තැබීමට සුළු ජාතීන්ගේ තවමත් ඇති සූදානමයි. ජාතිය ගොඩනැගීමට ඇති අවස්ථාවයි.

ඉකොනොමැට්ටාගේ ගුරුවරයෙකුද වන මහාචාර්ය රත්නජීවන් හූල්ගේ මේ ලිපිය සුළුතරයේ කනස්සල්ල පිලිබඳ හොඳ පිළිබිඹුවක්යැයි ඉකොනොමැට්ටාට සිතේ.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Monday, July 6, 2015

සිරිසා පළමු ගල ගැහුවේ ප්ලූටස් ඝාතනයටද?

හෝමෝ සේපියන්ස්ලා කණ්ඩායමක් ලෙස සාමූහික දේශපාලන තීරණ ගැනීමේදී දැනට බහුලවම යොදා ගන්නා ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදයයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සෑම පුද්ගලයෙකුගේම පුද්ගල අභිලාශයන්ට සමාන වටිනාකමක් ලබා දීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සිදු වූ ලෙස සැලකෙන්නේ වත්මන් හෙලනික් ජනරජයේ (ග්‍රීසියේ) අගනුවර වන ඇතීනා (ඇතැන්ස්) නගරයේදීය. ඇතීනාහිදී මේ සංකල්පය බිහි වූ ක්‍රිස්තු පූර්ව සයවන සියවස පැරණි දඹදිව මෙන්ම චීනය ඇතුළු ලෝකයේ වෙනත් බොහෝ පෙදෙස් වලද දියුණු හෝමෝ සේපියන්ස් අදහස් හා දර්ශනවාද රැසක් ස්වාධීනව බිහිවූ කාලයකි. මේ අනුව වෙනත් තැන් වලත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිහිවූ නමුත් ඇතීනාහි බිහි වූ ක්‍රමය අඛණ්ඩව වර්තමානය දක්වා දියුණු වූ ලෙස සැලකේ.

සියවස් විසිහයක සිටම තීරණ ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දුන් සොක්‍රටීස් පරම්පරාවේ හෙලීනයෝ ඊයේ (ජූලි 05) තවත් තීරණාත්මක කඩඉමකට  සමාජයක් ලෙස මුහුණ දිය යුතු ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණය කළෝය. ඒ ඔවුන් මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැතුවම බැරි තවත් විදේශ ණය මල්ලක් ලබාගැනීම සඳහා රටක් වශයෙන් කෙතරම් නම්‍යශීලී විය යුතුද යන තීරණයයි. අග්‍රාමාත්‍ය අලෙක්සීස් සිප්රස් ප්‍රධාන පාලක වාමාංශික සන්ධානය (සිරිසා) ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකම ඉල්ලීම පරිදි හෙලනික් ජනපදිකයින් බහුතරයකගේ (61.3%) තීරණය වූයේ ණය ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිගත යුතු නැති බවයි.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා හොම්බ බිම ඇණගත් රටක් පිනට ගොඩ දැමීමට කාටවත් අමාරුවක් නැත. (ලංකාවනම් ග්‍රීසියට එවැනි උදවුවක් කර තිබේ.) එවැනි රටකට ණය ලබාදීමට වෙනත් රටවල් හෝ සංවිධාන ඉදිරිපත් විය හැකි වුවත්, එහිදී තමන් ලබාදෙන ණය ආපසු ලබාගැනීමේ හැකියාව ගැන ඔවුන් සැලකිලිමත්වීම තේරුම් ගැනීමට අපහසු නැත. ග්‍රීසියට ණය ලබා දීමට පෙර සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍ය වියදම් අඩු කිරීම ඇතුළු වේදනාකාරී පියවර රැසක් සඳහා කොන්දේසි ඉදිරිපත් වන්නේ මේ පදනමිනි.

ජනමතවිචාරණයේ ප්‍රතිඵලය මඟින් ග්‍රීසියේ ණය ගෙවීමේ හැකියාවට අමතරව යුරෝපීය සංගමය තුළ ග්‍රීසියේ ඉදිරි පැවැත්මද ප්‍රශ්න කෙරී ඇත. හෙලනික් ජනරජයේ බොහෝ ගොඩනැගිලි මත ග්‍රීක කොඩිය සමඟ තවමත් ලෙලදෙන යුරෝපීය සංගමයේ කොඩිය තවත් කෙතෙක් කලක් එසේ ලෙලදේදැයි අවිනිශ්චිතය.

ලංකාව මෙන් දෙගුණයක් විශාල ග්‍රීසියේ ජනගහණය ලංකාවේ ජනගහණයෙන් අඩකි. 2000දී ඇමරිකන් ඩොලර් 11,960ක් වූ ග්‍රීසියේ  ඒක පුද්ගල ආදායම යුරෝපියානු සංගමයට එක් වීමෙන් පසු සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර 2008 වන විට ඇමරිකන් ඩොලර් 31,700ක් දක්වා වර්ධනය විය. එහෙත් ග්‍රීකයින්ගේ සෞභාග්‍යයේ දේවතාවා වන ප්ලූටස්ට 2008 අවසානයේදී වූ ලෝක ආර්ථික අවපාතය හමුවේ පසුබසින්නට සිදුවිය. මේ වන විට ග්‍රීසියේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 19,000 මට්ටමෙනුත් පහළට වැටී ඇති අතර ප්ලූටස්ගේ මරණය කෙසේ වෙතත් ග්‍රීසියේ සෞභාග්‍යය තවත් බොහෝ සේ පහත වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.


ඇමරිකාව ප්‍රධාන සමස්ත බටහිර ලෝකයටම විශාල අභියෝගයක් වූ 2008 ආර්ථික අවපාතයේ අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග බොහොමයක්ම අවසන් වූයේ මේ රටවල් වල රාජ්‍ය අංශ ප්‍රසාරණය කරමින්, සුභසාධන ව්‍යාපෘති පුළුල් කරමින් හා ණයබර වැඩි කරමිනි. කෙසේ වුවද, බොහෝ දෙනා පහසුවෙන් අමතක කරන කරුණක් වන්නේ කෙතරම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියකින් වුවද සම්පත් අලුතින් ජනනය කිරීමට ඇත්තේ ඉතා සීමිත අවකාශයක් බවයි.

ආර්ථික ප්‍රතිපත්ති මඟින් බොහෝ විට කෙරෙන්නේ යම් ආර්ථික ඒකකයක් සතු සම්පත් වල සංයුතිය වෙනස් කිරීමකි. මෙහිදී, නිෂ්පාදකයින්ගෙන් පාරිභෝගිකයින්ට, පාරිභෝගිකයින්ගෙන් නිෂ්පාදකයින්ට, ඇති-හැකි අයගෙන් නැති-බැරි අයට, ඉපදී සිටින හෝ ඉපදීමට සිටින දරුවන්ගෙන් පියවරුන්ට හෝ එක් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට සම්පත් සම්ප්‍රේෂණයක් සිදු වේ. රාජ්‍ය බලය යොදා සම්පත් වල සංයුතිය මෙසේ වෙනස් කිරීමේදී ඵලදායීත්වය අඩු තැනකින් වැඩි තැනකට සම්පත් සම්ප්‍රේෂණය වුවහොත් යම් සම්පත් ජනනයක් සිදුවන නමුත් රාජ්‍ය මැදිහත්වීමක් බොහෝ විට සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටය.

ආර්ථික අවපාතයකදී සිදුවන රාජ්‍ය මැදිහත්වීමක් බොහෝවිට සුභසාධනය අරමුණු කර ගනී. සමාජ-දේශපාලනික අරමුණු වෙනුවෙන් යම් තාක් දුරකට රටක ආර්ථික සෞභාග්‍යය කැප කිරීමේ වරදක් නැතත් සුභසාධන ආර්ථිකයක් මඟින් බොහෝ විට දීර්ඝකාලීනව ලැබෙන්නේ නිශේධනාත්මක ප්‍රතිඵලයකි.


පසුගිය 2008 ආර්ථික අවපාතය හමුවේ වඩාත්ම පීඩනයට පත් වන කොටස් වෙත යම් සම්ප්‍රේෂණයක් කිරීම ප්‍රබල සමාජ-දේශපාලනික අවශ්‍යතාවක් විය.


ආර්ථික අවපාතයක් දිග් ගැසුණු විට එහි පීඩනය සමස්ත සමාජය වෙතම බලපෑමක් කිරීම නොවැලැක්විය හැකිය. ඇති-හැකි අයගෙන් නැති-බැරි අයට මේ සම්ප්‍රේෂණය කිරීම තුළ සිදුවිය හැකිව තිබුණේ මේ අවස්ථාවේදී නැති-බැරි අය මෙන්ම පීඩාවට පත්ව සිටි ඇති-හැකි අය තව දුරටත් පීඩාවට පත් වීමයි. සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගත හැකි මේ ඇති-හැකි අය (විශේෂයෙන්ම නිෂ්පාදන අංශයන්) ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට උපකාරී වන ගාමක බලවේගය වන නිසා ආර්ථිකයට ඉක්මන් සුවයක් ලැබිය හැකිව තිබුණේ ඔවුන්ව තවත් දිරිමත් කිරීමෙන් මිස පීඩාවට පත් කිරීමෙන් නොවේ.


මේ අනුව, බොහෝ රාජ්‍යයන්හි තෝරා ගැනීම වූයේ ඉපදී සිටින හෝ ඉපදීමට සිටින දරුවන් වෙතින් ඔවුන්ගේ පියවරුන් වෙතට සම්පත් සම්ප්‍රේෂණය කිරීමයි. වෙනත් වචන වලින් කිවහොත්, අනාගතය උගසට තබා ණය ගැනීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය තීරණ ගැනීමට දැනට ඇති හොඳම ක්‍රමයයි. මෙහිදී යම් ප්‍රදේශයක ජීවත්වන සෑම පුරවැසියෙකුගේම අදහස් වලට ආන්තික බලයක් ලැබේ. එහෙත්, මේ ක්‍රමයේත් දුර්වලතා නැතුවා නොවේ.

මැතිවරණයකදී ඉපදීමට සිටින පුරවැසියන්ගේ මතයට තැනක් නොලැබෙන අතර, දැනට ජීවත්වන පුරවැසියෝ එක් වී තීරණ ගැනීමේදී බොහෝ විට අනාගත පරම්පරා වල ශුභ සාධනය නොසලකා හරිති. පරිසර දුෂණය වැනි කරුණු වලදී මේ අනාගතය තරමක් දුරස්ථ වුවද, රාජ්‍ය ණය හා අදාලව මේ අනාගතය එතරම්  දුර නොවන නිසා වසර කිහිපයකින් මේ තීරණ ගත් ජනතාවටම එහි ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් දීර්ඝකාලීනව සුභසාධනය වෙත යොමුවීම ඉතා හානිකරය. සුභසාධන ආර්ථිකයකින් යම් නිශ්චිත ජන කොටසකට සහන සැලසෙන අතර එය සිදුවන්නේ ජීවත්වන වෙනත් ජන කොටසක හෝ තවමත් ඉපදී නැති අනාගත පුරවැසියන්ගේ වියදමෙනි. මේ ජන කොටස රටේ බහුතරය වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සුභසාධන උගුලෙන් ගැලවීම අපහසු වනු ඇති අතර එවැනි සමාජයක් ක්‍රමයෙන් ආර්ථික පරිහානිය කරා ගමන් කරනු ඇත. හඳෙන් හාල්, ඇට අට, හාල් පොත් හා තුනයි පනහේ පාන් සිට නොමිලේ ලැබේයැයි බොහෝ දෙනා සිතන අධ්‍යාපනය හා සුව සේවාවන් දක්වා ඇති යථාර්තය මෙයයි.

(ඡායාරූප සතියකට පෙර ඉකොනොමැට්ටා විසින් ගත් ඒවාය.)

මේ පිළිබඳව අරුණි ශපීරෝ‍ගේ සටහනක් මෙහි ඇත.

Saturday, July 4, 2015

ශුභ උපන් දිනයක්, අන්කල් සෑම්!


අද (ජුලි 04) ඇමරිකා එක්සත් ජනපදයේ 239වන උපන් දිනයයි. සමස්ත ඇමරිකාවම උත්සවශ්‍රීයෙන් බබලවන මේ දිනය ලෝකයේ විශාලතම උපන්දින සාදය ලෙසද සැලකේ.

සාපේක්ෂව කෙටි ඉතිහාසයක් ඇති වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1776 ජුලි 04 වන දින බ්‍රිතාන්‍ය කොලනි 13ක ජීවත් වූ ජනතාව (වඩාත් නිවැරදිව, ඔවුන්ගේ නියෝජිතයින්) එක් වී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තව දුරටත් යටත් නොවන ඇමරිකා එක්සත් ජනපදය නම් වූ ස්වාධීන රටක් ප්‍රකාශයට පත් කිරීමයි. ඇමරිකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයෙන් නිදහස් කර ගැනීමේ සටන මෙහෙයවූ මුල් කොලනි දහතුනෙහි නියෝජිතයන්ගෙන් සමන්විත වූ 'මහද්වීපික කොන්ග්‍රසය' නමින් හැඳින්වුණු කමිටුව මඟින් 1776 ජුලි 02 දින ඇමරිකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අතර දින දෙකක් විවාදයට බඳුන් කර සංශෝධනයන් එක් කෙරුණු 'නිදහස් ප්‍රකාශනය' 1776 ජුලි 04 දින මහද්වීපික කොන්ග්‍රසය මඟින් සම්මත කෙරිණි.

මේ වන විටත් ඇරඹී තිබුණු ඇමරිකානු නිදහස් සටන තවත් වසර හතක් පැවති අතර අවසානයේදී බ්‍රිතාන්‍යය විසින් ඇමරිකාවේ ස්වාධීනත්වය පිළිගැනිණි. 1783දී බ්‍රිතාන්‍ය හා ඇමරිකන් පාර්ශ්ව අතර පැරිස් නුවරදී අත්සන් තැබුණු සාම ගිවිසුම ඇමරිකාවට ඕනෑවටත් වඩා වාසිදායක වූ ගිවිසුමක් විය. මෙමඟින් බ්‍රිතාන්‍යයය අපේක්ෂා කාලේ ළදරු ඇමරිකාවට ඉක්මණින් ලොකු මහත් වීමට ඉඩ සලසා සිය අපනයන භාණ්ඩ සඳහා විශාල වෙළඳපොළක් බිහි කර ගැනීමේ උපක්‍රමික වාසියයි.

 ළදරු ඇමරිකාව බිහිවන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හෝමෝ සේපියන්ස්ලා ජීවත් වූ මහාද්වීප සියල්ලම වසා ගත් දැවැන්ත වෘක්ෂයක් වූ අතර ඇමරිකාව විසින් කපා ඉවත් කර ගත්තේ මේ ගසේ වැදගත්ම ශාඛාවකි.

මේ ශාඛාව උතුරු ඇමරිකන් මහාද්වීපය පුරා මුල් අදිද්දී දැවැන්ත බ්‍රිතාන්‍ය වෘක්ෂයේ ශාඛාවන් එකින් එක කපා හෙලනු ලැබ එය කුරු බොන්සායි ගසක් විය. කෙසේ වුවද මේ බොන්සායි ගසේ තවමත් මල් පිපේ. ගෙඩි හැදේ.

මුල් ඇමරිකා එක්සත් ජනපදය අද අප දකින ඇමරිකා එක්සත් ජනපදයට වඩා බොහෝ කුඩා රටකි. එය වත්මන් ඇමරිකාවේ නැගෙනහිර වෙරළාසන්නව ඇති මුල් ප්‍රාන්ත 13කට සීමා විය. ඇමරිකන් කොඩියේ ඇති රක්ත හා ධවල වර්ණ තීරු තෙළෙස මඟින් සංකේතවත් වන්නේ මේ මුල් ප්‍රාන්ත දහතුනයි. තීරු දහතුනකට අමතරව වත්මන් ඇමරිකාවේ ප්‍රාන්ත පනහ සංකේතවත් කිරීමට තරු පනහක්ද ඇති වත්මන් ඇමරිකන් කොඩියේ මුලින්ම තිබුණේ තරු දහතුනක් පමණි.

සම්මුතියෙන්, බලහත්කාරයෙන් මෙන්ම මුදල් ගෙවා මිලදී ගැනීමෙන් භූමිය අත්පත් කරගනිමින් ළදරු ඇමරිකාව ලොකු මහත් විය. එක්සත් ජනපදයේ ප්‍රාන්ත එකිනෙක වැඩි වෙද්දී ඇමරිකන් කොඩියේ තරු ගණනද එකිනෙක වැඩි විය. එහෙත්, ආරම්භක කොලනි දහතුන සංකේතවත් කරමින් එහි තීරු ගණන තවමත් දහතුනක් ලෙස නොවෙනස්ව පවතී.

මුලින් මුලින් ඉතා ඉක්මණින් කොඩියට තරු එකතු වූ අතර 1912 වන විට ඇමරිකන් කොඩියේ තරු 48ක් විය. ඒ වන විට වත්මන් 'මහාද්වීපික ඇමරිකාව' වසාගත් ප්‍රාන්ත 48ක් ඇමරිකාව සතුවිය. මේ කොඩිය 1959 වනතුරු, වසර 47ක්, නොවෙනස්ව පැවතුණේය. 1959 හා 1960 වසර වලදී ඇමරිකන් කොඩියට එහි අවසන් තරු දෙක එකතු විය. ඒ භෞමිකව වෙන්ව පිහිටි ඇලස්කා හා හවායි ප්‍රාන්ත එක්සත් ජනපදයට එක් වීමෙනි. 1960 සිට අද දක්වා වසර 55ක් ඇමරිකන් කොඩිය වෙනස් වී නැත.

ඇමරිකන් නිදහස් දිනයේ බොහෝ නිවෙස් වල ඇමරිකන් කොඩියක් ලෙලදෙන අතර කුඩා නගර වල පවා නිදහස් උත්සව පැවැත්වේ. මේ නිදහස් උත්සව වල විශේෂ අංගයක් වන්නේ දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයි. ගිණිකෙළි භාවිතය නියාමනය කර ඇති ඇතැම් ප්‍රාන්ත වල නිදහස් උත්සව දිනයේදී විශේෂ අවසරකින් තොරව ගිණිකෙළි භාවිතා කල හැකිය.

 බොහෝ කටයුතු වලදී සාමාන්‍ය ජනතාවට මුල් තැන ලැබෙන ඇමරිකාවේ මේ නිදහස් උත්සව බොහොමයක්ද ප්‍රාදේශීයව බොහෝ විට කිසියම් පුරවැසි කමිටුවක් මඟින් සංවිධානය කෙරේ. මේ උත්සව වල ඇමරිකානු අභිමානී ගීත ගැයෙන අතර ආරක්ෂක හමුදා විශ්‍රාමිකයින්ට විශේෂ තැනක් ලැබේ. ඇමරිකන් කොඩිය හෝ වෙනත් ඇමරිකන් සංකේත සහිත ටී-ෂර්ට්, තොප්පි ආදියෙන් සැරසෙන සාමාන්‍ය ඇමරිකානුවෝ නිදහස් දිනයේදී සිය ඇමරිකානු අභිමානය ප්‍රදර්ශනය කිරීමට නොපැකිළෙති.

ඇමරිකානුවන්ට ඇමරිකානුවන් වීම නිසා ආඩම්බර වීමට ඕනෑ තරම් හේතු තිබේ. ජනගහණය අනුව තෙවන විශාලතම රටවන ඇමරිකාව, භූමි ප්‍රමාණය අනුව තෙවන හෝ සිවුවන විශාලතම රටයි. මේ සියල්ලටම වඩා යුද හා ආර්ථික බලය අතින් ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකාවයි.

කෙසේ වුවද, යුද බලය අතින් කෙසේ වුවත් ආර්ථික බලය අතින්නම් වැඩිකලක් නොයා චීනය ඇමරිකාව අභිබවනු ඇත. ජනගහණය අනුව ලොව විශාලතම රට වන අතරම ඇමරිකාවට ආසන්නව සමාන භූමි ප්‍රමාණයකට හිමිකම් කියන ඇමරිකාවට වඩා ඉතා දිගු ඉතිහාසයක් ඇති චීනය ආර්ථික බලය අතින් ඇමරිකාව අභිබවීම ඉදිරි වසර කිහිපය තුළ සිදුවනු ඇත.

නිදහස් උත්සවය සමරන ඇමරිකානුවන් මිලදී ගන්නා ඇමරිකානු කොඩි මෙන්ම ගිනිකෙළි භාණ්ඩද බොහොමයක්ම ආනයනය කර ඇත්තේ චීනයෙනි. පසුගිය 2014 වසර තුළදී ඇමරිකාව විසින් චීනයෙන් ආනයනය කර ඇති ගිනිකෙළි වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 247ක් (මුළු ප්‍රමාණයෙන් 95.8%ක්) වන අතර ඇමරිකන් ජාතික කොඩි (ආනයනය කර ඇති මුළු ප්‍රමාණයෙන් 97%ක්) සඳහා චීනයට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් ගෙවා ඇත.

මේ සියවස තුල ලෝක බලතුලනය පසුගිය සියවසේ බලතුලනයට වඩා බොහෝ වෙනස් වනු ඇති අතර බටහිර නොවන සංස්කෘතීන්හි දායකත්වය ඉහල යනු ඇත. ඒ අනුව විසිඑක්වන සියවස තුළ ඇමරිකාවේ කාර්යභාරය වෙනස් විය හැකි නමුත් එය කිසිසේත්ම නොවැදගත් නොවනු ඇති අතර ඇමරිකානු වෘක්ෂය තවත් කාලයක් හොඳින් පල දරනු ඇත.


ශුභ උපන්දිනයක්, අන්කල් සෑම්!

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Wednesday, July 1, 2015

මෛත්‍රී ජනපති කිරීමට ආන්තික තල්ලුව යෙදුවේ කවුද?

ජනවාරි මාසයේදී ලක්ෂ හතරහමාරක වැඩි ඡන්දයකින් මහින්ද රාජපක්ෂව පරදවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විය. ඡන්ද ලක්ෂ හතරහමාරක් අඩුවෙන් ගත්, රටේ බහුතර ඡන්දය ගැනීමට අසමත් වුනු මහින්ද මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් දහයකදී ඉදිරියෙන් සිටි අතර මෛත්‍රී දිස්ත්‍රික්ක දොළහකදී ඉදිරියෙන් සිටියේය.

මේ ප්‍රතිඵලයට සාපේක්ෂව, 2005දී මහින්ද පළමු වරට ජනපති ලෙස පත් වෙද්දී මහින්දට වඩා ඡන්ද එක්ලක්ෂ අසූදහසකින් පමණක් පිටුපසින් සිටි රනිල් වික්‍රමසිංහ මහින්ද හා සමානව මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් එකොළහක්ම ජයග්‍රහණය කළේය.

කෙසේ වුවද 2005දී සහ 2015දී ඡන්ද ප්‍රතිපල විග්‍රහ කෙරුණේ එකම ආකාරයකට නොවේ. බහුතරයේ මතයට සුළුතරයට යට වීමට සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය බව 2005දී ජයග්‍රාහකයා, පරාජිතයා මෙන්ම මේ දෙදෙනාගේම උදවුකරුවෝද පිළිගත්හ. එහෙත් 2015දී පරාජිතයා හෝ ඔහුගේ උදවුකරුවන් බොහෝ දෙනෙකුට මේ යතාර්ථය පිළිගැනීමට අසීරු විය. වඩාත් කණගාටුදායක කරුණනම් ජයග්‍රාහකයාට සහ ඔහුගේ ආධාරකරුවන් ඇතැමුන්ටද මේ යතාර්ථය පිළිගැනීමට අසීරු වීමයි. ඔවුන්ගෙන්ද බොහෝවිට ජයග්‍රාහී මානසිකත්වයකට වඩා පරාජිත මානසිකත්වයක් මතුවේ.

මැතිවරණ ප්‍රතිඵල දෙකෙහි වෙනස ඇත්තේ ආන්තික ඡන්දදායකයා කවරෙක්ද යන්නෙහිය. 2005දී මෙන්ම 2015දීද ජාතිය හා ආගම අනුව රටේ බහුතරය වන සිංහල බෞද්ධයන්ගේ වැඩි කැමැත්ත මහින්දට වූ අතර සිංහල බෞද්ධයන් නොවන්නනන්ගේ වැඩි කැමැත්ත ප්‍රතිවාදී අපේක්ෂකයාට විය. 2005දී සිංහල බෞද්ධයන්ගේ ජනප්‍රිය අපේක්ෂකයා ජයග්‍රහණය කළ අතර 2015දී එසේ නොවීය. මෙහිදී මේ කරුණ මුල්කරගෙන 2015 පරාජිතයා මෙන්ම ඔහුගේ ආධාරකරුවෝ බහුතරයක්ද සිය පරාජය ජයග්‍රහණයක් ලෙස අර්ථදක්වද්දී ජයග්‍රාහකයාගේ කණ්ඩායමේ ඇතැමුන්ගේ ප්‍රතිචාරය වූයේ තම අපේක්ෂකයා ජයග්‍රහණය කළේ සිංහල බෞද්ධ නොවන ඡන්ද වලින්ය යන්න මිත්‍යාවක් බව පෙන්වීමට උත්සාහ කිරීමයි. එසේ කිරීම මඟින් සිංහල බෞද්ධ නොවන ඡන්ද සිංහල බෞද්ධ ඡන්ද වලට වඩා අඩු වටිනාකමකින් යුතු බවට වූ පරාජිතයාගේ මතය ජයග්‍රාහකයාගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින්ද තහවුරු කරනු ලැබීය. 'වටිනාකම අඩු' ඡන්දයක් ආන්තික ඡන්දය වූ විට බොහෝ අයට රිදේ. මේ පරාජිතයාගේ කණ්ඩායමට වඩා අඩුවෙන් වුවත් ජයග්‍රාහකයාගේ කණ්ඩායම තුළද ඇති පරාජය කළ යුතු මානසිකත්වයකි.

පසුගිය ජනාධිපතිවරණ කඳවුරු ගොඩ නැගුනේම ජාති-ආගම් පදනමක් සහිතවය. සිංහල බෞද්ධයන්ට සිංහල බෞද්ධයන් නොවන්නන්ගේ කිසිදු උපකාරයකින් තොරව ජනාධිපතිවරයෙකු පත්කරගත හැකිය යන (නලින් ද සිල්වා විසින් කාලයක් තිස්සේ සමාජගත කර ඇති, නිවැරදි) අදහස අනුව මහින්ද කඳවුර සංවිධානය වූයේ කණ්ඩායම් වශයෙන් සිංහල බෞද්ධයන් නොවන්නන් බැහැර කරමිනි. එහෙත් කුමන තත්වයක් යටතේ වුවද මහින්දව තෝරාගන්නා පිරිස් සිංහල බෞද්ධයන් නොවන්නන් අතරද සිටින බවට වූ (නිවැරදි) උපකල්පනය මේ කඳවුර තුළ වූ අතර කඳවුරේ ඉලක්කය වූයේ සිංහල බෞද්ධ ආන්තික ඡන්දදායකයෙකි.

මෛත්‍රී කඳවුරේ පාදක කණ්ඩායම වූයේ කෙසේවත් මහින්දව තෝරා නොගන්නා සිංහල බෞද්ධ නොවන, විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම්ය. මෙහිදී අභියෝගය වූයේ ඔවුන් ඡන්දපොළ වෙත යොමු කිරීමයි. ඡන්දයේ දිශානතිය පිලිබඳ ලොකු ගැටළුවක් නොවීය. කෙසේ වුවද ජයග්‍රහණය සඳහා මේ ඡන්ද ප්‍රමාණවත් නොවූ අතර යම් තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාවක් ලැබීම අත්‍යවශ්‍ය සාධකයක් විය. සිංහල බෞද්ධ නොවන ඡන්ද රඳවාගනිමින් සිංහල බෞද්ධ ඡන්ද ගොඩ වැඩි කරගැනීම ඔවුන්ගේ ක්‍රමෝපායය විය. මේ අනුව මේ කඳවුරේද ඉලක්කය වූයේ සිංහල බෞද්ධ ආන්තික ඡන්දදායකයෙකි.

සිංහල බෞද්ධ නොවන ඡන්ද ගැන බලාපොරොත්තු අත් හැර හෝ නොසලකා හැර සිටි මහින්ද කඳවුරට වඩාත් සිංහල බෞද්ධ වීම සඳහා සිංහල බෞද්ධ නොවන සතුරෙකු අවශ්‍ය වූ අතර මරා දමා තිබූ දෙමළ රකුසා උත්ථානය කරවිය නොහැකි වූ නිසා මුස්ලිම් බිල්ලෙකු බිහිකර ගැනීම ඔවුන්ගේ ක්‍රමෝපායයේ කොටසක් විය. එහෙත් මේ බිල්ලාට හිතූ තරමේ ඉල්ලුමක් තිබුනේ නැත. බිල්ලාට බය නොවූ නාගරික සිංහල බෞද්ධයින්ට යහපාලන ටොපී අලෙවිකර ආන්තිකය ලබාගැනීම රනිල්-මෛත්‍රී ක්‍රමෝපායය වූ අතර 2010ට වඩා වෙළඳපොල සාධක වෙනස් වී තිබුණු නිසා ටොපිය හොඳින් අලෙවි විය. මෛත්‍රී සමඟ රනිලුත් මේ ටොපියෙන් ගොඩ ගියේය.

ඉකොනොමැට්ටාගේ නිරීක්ෂණ අනුව රනිල්-මෛත්‍රී කඳවුර තුළ සක්‍රිය වූ ප්‍රධාන කණ්ඩායම් දෙකක් වූයේ සම්මත වර්ග කිරීම් අනුව නාගරික සිංහල බෞද්ධ වන නිර්පාක්ෂික හා නිර්ආගමික පිරිස් හා මුස්ලිම් විරෝධයෙන් පොදුවේ බැට කෑ සාමාන්‍ය මුස්ලිමුන්ය. නාගරික හා ග්‍රාමීය සිංහල බෞද්ධ පිරිස් මහින්ද කඳවුර තුල සක්‍රිය විය. සිංහල බෞද්ධ ප්‍රතිශතය වැඩි ප්‍රදේශ වල බහුතරය (සාපේක්ෂව සුළු පරතරයකින්) මහින්දට ලැබුණු අතර එසේ නොවන ප්‍රදේශ වල මෛත්‍රීගේ ඡන්ද ප්‍රතිශතය මහින්දගේ ප්‍රතිශතයට වඩා බොහෝ විශාල විය.

ඡන්ද සියල්ලම සමාන අතර ජාති, ආගම් අනුව ඒවායේ වටිනාකම් වෙනස් නොවේ. එහෙත් වෙනස් ජාතික හා ආගමික කණ්ඩායම් ඡන්දය භාවිතා කර ඇති ආකාරය තේරුම් ගැනීමට එය බාධාවක් නොවේ. එහෙත් විග්‍රහය විද්‍යාත්මක විය යුතුය. එවැනි විග්‍රහයක් පසුගිය ජනවාරියේදී ඉකොනොමැට්ටා කළත් මේ ප්‍රතිඵලය අවභාවිතයේ යෙදීමේ අවදානම සලකා එය කිසිවකු සමඟ බෙදා හදා නොගත්තේය.

දැන් නැවතත් ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තිබේ. පසුගිය ජනපතිවරණයේ ජාතික-ආගමික බෙදීම දැනගැනීම මෙවර වඩා දැනුවත් තීරණයක් ගැනීමට හෝ ක්‍රමෝපායික වීමට පිටිවහලක් විය හැකිය. ඒ නිසා ඉකොනොමැට්ටාගේ සරල ආකෘතිය සහ විග්‍රහය එළියට දැමීම වරදක්යැයි නොසිතමි. මෛත්‍රී, මහින්ද මෙන්ම රනිල්ද ඉකොනොමැට්ටාට වෙනත් ඕනෑම පුරවැසියෙකුට වඩා විශේෂ පුද්ගලයින් නොවන නිසා කැමති කෙනෙකුට මේ විශ්ලේෂණය කැමති ලෙස ප්‍රයෝජනයට ගත හැකි අතර අවශ්‍ය කෙනෙකුට වැඩිපුර තාක්ෂණික කරුණු ලබා දිය හැකිය.

ලොකුවට කිවුවාට මහා ලොකු දෙයක් නොවේ. ඉතා සුළු දෙයකි. මා කළේ ඉතා සරල සංඛ්‍යානමය ආකෘතියක් යොදා ඡන්ද ගොඩවල් විසංයෝජනය කිරීමයි.

මේ සඳහා අවශ්‍ය දත්ත ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත්තෙමි. දත්ත පදනම් වන්නේ 2012 සංගණනයක් මතය. දිස්ත්‍රික් පදනම මත ජනගහණයේ ජාති හා ආගම් ව්‍යාප්තිය මේ අනුව ලබා ගතහැකිය. මැතිවරණ වලදී වන්නි දිස්ත්‍රික්කය පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක එකතුවක් නිසා ඒ දිස්ත්‍රික්ක එක් කළෙමි. එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායක අනුපාතය 2012 ජනගහණ අනුපාතයට සමානයැයි උපකල්පනය කළෙමි. ඉන්පසු සමස්ත ඡන්දදායක ගහණය පහත පරිදි වර්ග කළෙමි.

1. සිංහල බෞද්ධ: මගේ අදහස පරිදි මේ අය අනෙත් අයට නැති 'බහුතර' මානසිකත්වය ඇති පිරිසකි. එය මේ කණ්ඩායමේ අනන්‍යතාවයයි. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන ලොකුවට කතා කරන (අවංකවම) බොහෝ දෙනෙකුටද ඇත්තේ මේ මානසිකත්වයමය. මට හිතෙන හැටියට එය මෙවැන්නකි. "බහුතරය වන අපි පොරවල්ය. අපි තරම් පොරවල් නොවන අනිත් අයට සමාන ලෙස සැලකීම (ඇතැම් විට පුළුවන් තරම් දේ දීම) පොරවල් වන අපේ වගකීමයි." (බටහිර රටවල සම අයිතිවාසිකම් ගැනද මට හැඟෙන්නේ මේ අයුරිනි. අපි දියුණුය. අපිමෙන් නොදියුණු අයට සමානව සැලකීම අපේ දියුණුකමයි.)

2. ශ්‍රී ලාංකික දෙමළ: මගේ අදහස පරිදි ඔවුන්ගේ ප්‍රමුඛ අනන්‍යතාවය ජාතියයි. හින්දු සහ කතෝලික/ක්‍රිස්තියානි අනන්‍යතාව ප්‍රබල නැත.

3. ඉන්දියානු දෙමළ: මේ අයටද ජාතිය මත පදනම් වූ ශ්‍රී ලාංකික දෙමළ කණ්ඩායමෙන් වෙනස් අනන්‍යතාවක් ඇතැයි සලකා ඇත.

4. ඉස්ලාම්: මා සිතන පරිදි ඉස්ලාමුන්ගේ ආගමික අනන්‍යතාව වඩා ප්‍රබලය. මේ අනුව මුස්ලිම්, මැලේ ප්‍රධාන සියළුම ඉස්ලාමුන් එක් ගොඩකට දමා තිබේ.

5. දෙමළ නොවන කතෝලික/ක්‍රිස්තියානි: මේ කණ්ඩායමේ අති මහත් බහුතරය සිංහලයන්ය. ඔවුන් බොහෝ විට තමන් බහුතරය ලෙස දකින්නට කැමති වුවත් ඇතැම් විට අනන්‍යතා අර්බුදයකට මුහුණපාති. සිංහලයන්ට බහුතරය වීමේදී මේ කණ්ඩායම වටිනා නමුත් තමන් බහුතරය බව තහවුරු කළ පසු ඔවුන් තවදුරටත් වැදගත් නැත. සිහල උරුමය හෙළ උරුමය වීමේදී වූයේ මෙවැන්නකි. දත්ත වල ස්වභාවය අනුව වෙන් කළ නොහැකි නිසා කතෝලික/ක්‍රිස්තියානි බර්ගර් ජාතිකයන්ද සුළු ප්‍රමාණයක්ද මේ ගොඩට මිශ්‍ර වී ඇති අතර එයින් ප්‍රතිපලය වෙනස් වීමට ඉඩක් නැත.

6. වෙනත්: ඉහත කිසිදු කණ්ඩායමකට අයත් නොවන ඉතා සුළු ප්‍රමාණයක්.

මගේ ආකෘතිය මගින් කරන්නේ දිස්ත්‍රික්ක විසිදෙකෙහි මහින්ද හා මෛත්‍රී ලබාගත් ඡන්ද ප්‍රතිශත සම්මත ක්‍රමයක් මඟින් ඉහත කණ්ඩායම් වලට විසංයෝජනය කිරීමයි. ඡන්ද භාවිතය ජාතික-ආගමික පදනමක් මත නොවීනම් මගේ ආකෘතිය දුර්වල එකක් වනු ඇති අතර එමඟින් පුරෝකථනය කෙරෙන ප්‍රතිශත සැබෑ ප්‍රතිශත වලින් බොහෝ වෙනස් වනු ඇත.


අවශ්‍ය කෙනෙකුට මගෙන් අවශ්‍ය තොරතුරු ලබාගෙන සම්මත සංඛ්‍යාන මෘදුකාංගයක් මඟින් නැවත පරීක්ෂාවට ලක් කළහැකි ඉහත ප්‍රතිඵලය අනුව ඡන්ද වල ජාතික-ආගමික බෙදීම ඉතා පැහැදිලිය. 2010 මැතිවරණයේදී හෝ පෙර පැවති වෙනත් මැතිවරණයකදී මේ බෙදීම (මේ අයුරින්ම විසංයෝජනය කළ විට) මෙතරම් පැහැදිලි නැත.

ඉහත ප්‍රතිශත එක් එක් දිස්ත්‍රික්කයේ අදාළ කණ්ඩායමේ සාමාජික ගණනින් ගුණ කළ විට මේ ආකෘතිය අනුව ජාතික-ආගමික පදනම මත එක් එක් අපේක්ෂකයා ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය ඇස්තමේන්තු කිරීමට පුළුවන. එවිට ලැබෙන ප්‍රතිපලය සැබෑ ප්‍රතිපලයට වෙනස් වේනම් ඒ මෙහිදී සලකා නොබැලුණු ජාතික-ආගමික නොවන සාධක වල බලපෑම නිසාය. (අවශ්‍යනම් එවැනි කරුණුද එකතු කර වඩා නිවැරදි හා සංකීර්ණ ආකෘතියක් සකස් කළ හැකිය.) ඇස්තමේන්තු සහ සැබෑ ඡන්ද ප්‍රතිශත සැසඳීමක් පහත තිබේ.

ඉහත වගුවේ ඇති කරුණුද සිත් ඇද ගන්නා සුළුය. හම්බන්තොටින් මහින්ද 5.4% පමණ වැඩිපුර ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර පොළොන්නරුවේදී මෛත්‍රී 12.6%ක් වැඩිපුර ලබා තිබේ. හේතුව ඉතා පැහැදිලිය. නාගරික ප්‍රදේශ වලදී මහින්දගේ ප්‍රතිශතය ඇස්තමේන්තුවට වඩා අඩුවී මෛත්‍රීගේ ප්‍රතිශතය වැඩි වී තිබේ. මෙය කොළඹදී 6.3%ක්, ගම්පහදී 3.1%ක් හා  මහනුවරදී 2.7%ක් පමණ වේ. ප්‍රමාණාත්මකව මෙය ලක්ෂ එකහමාරක පමණ ඡන්ද ප්‍රමාණයකි. මගේ අදහස පරිදි මේ මෑතකදී හෙළ උරුමය සමඟත්, පෙර (1989 ආසන්නයේ) දිනේෂ්ගේ මඑපෙ සමඟත් සිටි නාගරික සිංහල බෞද්ධයන්ගේ වෙනස් වීමයි. නලින් ද සිල්වා විසින් ඕල්කට් බෞද්ධයන් ලෙස හඳුන්වන මේ කොටස් යුද ජයග්‍රහණය අගය කරන නමුත් ඒ වෙනුවෙන් අනෙත් සියල්ල අමතක කිරීමට සුදානම් නැති බව පෙන්වා තිබේ.

හෙළ උරුමය හැරුණු විට මෛත්‍රී සමඟ සිටි සියළු දේශපාලන පක්ෂ 2010දී සරත් ෆොන්සේකා සමඟද සිටියහ. එහෙත් ඒ අනුව වෙනසට හේතුව හෙළ උරුමයයැයි මා සිතන්නේ නැත. ඇත්තටම සිදු වූයේ මේ නාගරික සිංහල බෞද්ධ කොටස් මහින්දගෙන් කොහොමටත් කැඩී තිබුණු තත්ත්වය තුළ ඒ බව නිවැරදිව හඳුනාගත් චම්පික-රතන සංයෝගය අවස්ථානුකූලව සිය ස්ථාවරය මාරු කරමින් අද විමල්-වාසු-ගම්මන්පිල ඇතුළු පිරිස හිර වී ඇති උගුලෙන් බේරීමයි. ඔවුන් පැති මාරු කරන විටත් ආන්තික ඡන්දදායකයා සිටියේ මෛත්‍රීගේ ගොඩේය. එහෙත් ඔහු පසුපස ලොකු පෝලිමක් නොවූ බැවින් අවදානම පහවී නොතිබුණේය. වත්මන් ක්‍රියාකාරී දේශපාලකයින් අතරින් ක්‍රමෝපායයන් අතින් ඉදිරියෙන්ම සිටින චම්පික-රතන එකතුව අවස්ථාව ඉතා මැනවින් කළමනාකරණය කර ගත්තේය.

රැල්ල අනුව ඔරුවේ දිශානතිය සීරුමාරු කළේ චම්පික-රතන පමණක් නොවේ. ශ්‍රී ලාංකික දෙමළ හා  මුස්ලිම් දේශපාලන පක්ෂ විසින්ද කළේ එයමය. සීයාට වඩා ක්‍රමෝපායික දැනුමෙන් බොහෝ දුර්වල පරාභවයෙහි නිබඳ ගැලුණු මුණුපුරාට පමණක් සිය ආධාරකරුවන්ගේ සිත් සතන් කියවීමට නොහැකි වීම නිසා ආන්තික බලය බිඳගත් අවලංගු කාසියක් වීමට සිදුවිය.

මෛත්‍රී දිනුවේ ඡන්ද ලක්ෂ හතරහමාරකින් නිසා ආන්තික ඡන්දදායකයා සිටින්නේ අවසානයටම මාරුවුණු ඡන්ද ලක්ෂ දෙකයි කාල ඇතුළේය. මේ  හුවමාරුව චම්පික-රතන නිසා හෝ අවසාන මොහොතේ සිදුවූ වෙනත් පිල්මාරු නිසා සිදුවීයැයි මා සිතන්නේ නැත. එය සිදු වුයේ දෙමළ ඡන්ද නිසායැයිද කිව නොහැකිය. අඩු වශයෙන් අඩ සියවසකම සිට උතුරේ ඡන්ද වැටුණේ අනෙත් ප්‍රදේශ වල රටාව පරිදි නොවේ. යාපනයේදී 1982දීත් දිනුවේ ජේආර් නොව හෙක්ටර් කොබ්බෑකඩුවයි. එවැනි ඉතිහාසයක් පැවති උතුරේ 'ඊලාම්' ඡන්ද වලින් 20%කට නො අඩු ඡන්ද ප්‍රමාණයක් මහින්දට හිමිවීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද මඟින් ආන්තික බලපෑමක් සිදුවී නොමැති බවයි.

මෛත්‍රී සහ කණ්ඩායමේ ආගමනයෙන් කෙළින්ම වෙනස් වුණු ඡන්ද ගණන සාපේක්ෂව වැඩි ගණනක් විය නොහැකිය. මගේ සංඛ්‍යානමය නොවන තක්සේරුව අනුව එම ප්‍රමාණය කෙසේවත් ලක්ෂයකට වැඩි විය නොහැක. කෙසේ වුවද මහින්දව පැරදිය හැකිය යන විශ්වාසය තහවුරු කිරීමටත් නිර්පාක්ෂිකයින් රැසක් ඡන්දපොළට ආකර්ෂණය කර ගැනීමටත් මෛත්‍රීගේ නික්මීම ඉවහල් විය.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ඉතිහාසය පුරාම සිටියේ එජාපය සමඟය. එහෙත්, මේ ප්‍රතිශතය 88%ක් විය නොහැක. ඒ අනුව, පසුගිය 2010 ජනාධිපතිවරණයේදී මහින්ද සමඟ සිටි මුස්ලිමුන් අඩු වශයෙන් 20%ක්වත් මෙවර මහින්දගෙන් ගිලිහුණු බව මගේ (සංඛ්‍යානමය නොවන) තක්සේරුවයි. මෙය ලක්ෂ දෙකයි කාලකට වැඩි ඡන්ද ප්‍රමාණයකි. මේ ඡන්ද මහින්ද විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව (එහෙත් ගෝඨාභය විසින් දැනුවත්ව) 'උවමනාවෙන්ම නැතිකරගත්' ඡන්දයි. මහින්දගේ පරාජයට ආන්තික ලෙස දායක වුනු බොහෝ කණ්ඩායම් අතරින් විශාලම කණ්ඩායම මෙය වූ බව මගේ විශ්වාසයයි.

(ඉහළින්ම ඇති සිතියම විකිපීඩියාවෙනි.)





වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...