වෙබ් ලිපිනය:

Showing posts with label වෛද්‍ය වෘත්තිය. Show all posts
Showing posts with label වෛද්‍ය වෘත්තිය. Show all posts

Saturday, July 8, 2017

බැටරි කේජ් කුකුළන් හා සයිටම්


මේ හදන්නේ පොල් මැල්ලුම් ශානරයේ කතාවක් ලියන්නට නොවේ. එහෙත්, බැලූ බැල්මටම සමානත්වයක් නොපෙනෙන ඇතැම් දේවල් අතර සැලකිය යුතු සමානකම් තිබේ.

සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ධජය යටතේ වෛද්‍යවරුන් පෙළ ගැසී සිටින අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ධජය යටතේ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ බැටරි කේජ් ක්‍රමයට එරෙහිව වීදි බැස සිටිති.

සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයකි. මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් විසින් බැටරි කේජ් ක්‍රමය පටන් ගත් විට ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ ගොස් වඩා අඩු මිලකට, තත්ත්වයෙන් ඉහළ බිත්තර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ. එසේ වූ විට සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරන සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ ලාබ අඩු වී ඔවුන්ට කර්මාන්තය පවත්වා ගැනීම අසීරු වන්නට ඉඩ තිබේ. ඒ නිසා, ඔවුන්ගේ බිය හා ඒ හා බැඳුනු විරෝධය පදනම් විරහිත එකක් නොවේ.

කෙසේ වුවද, බැටරි කේජ් ක්‍රමය හරහා තත්ත්වයෙන් ඉහළ බිත්තර අඩු මිලකට මිල දී ගන්නට ලැබීම පාරිභෝගිකයින්ට ලැබෙන වාසියකි.

ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය විශාල නිෂ්පාදකයින් පිරිසක් හා අති විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින කර්මාන්තයකි. රටේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මොහොතක බිත්තර පාරිභෝගිකයෙක් වීමට හෝ නොවීමට බාධාවක් නැත. (සෞඛ්‍යමය හේතු නිසා ඔබේ සහකරු හෝ සහකාරිය විසින් ඔබේ පිඟානට එන බිත්තර ගණන සීමා කිරීම වැනි දේ අපි අමතක කරමු.) බිත්තරයක ගුණාත්මක භාවය හඳුනාගැනීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට කරන්නට අසීරු කටයුත්තක්ද නොවේ. සෑම කිකිළි බිත්තරයක්ම සමාන නොවූවත් බිත්තර අතර වෙනස්කම් එතරම් විශාලද නැත.

අළුත් නිෂ්පාදකයෙකු ලෙස කුකුළු ගොවිපොළ කර්මාන්තයට එකතු වීම එතරම්ම අපහසු කරුණක් නොවේ. ඒ සඳහා අවශ්‍ය වන මූලික ප්‍රාග්ධනය මෙන්ම නිෂ්පාදනය ආරම්භ කිරීමට ගතවන කාලයද එතරම් විශාල නැත. දන්නා තරමින් මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නොවේ. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කාටලයක් ලෙස ක්‍රියා කරමින් අළුත් නිෂ්පාදකයින් කර්මාන්තයට එකතු වීම වලක්වන්නට උත්සාහ කරන්නේද නැත. එමෙන්ම, කර්මාන්තයේ නිරත වන අයෙකුට එයින් ඉවත් වීමද ඉතා පහසු කටයුත්තකි.

ඉහත ලක්ෂණ නිසා ලංකාවේ කුකුළු ගොවිපොළ කර්මාන්තය තරඟකාරී කර්මාන්තයකි. එහි සුපිරි ලාබ නැත. ඇත්තේ තමන්ගේ ශ්‍රමයට හා ගන්නා අවදානමට ලැබෙන සාමාන්‍ය ලාබ පමණි. ඒ නිසා, කර්මාන්තය තුළ දිගටම රැඳී සිටිය හැක්කේ වඩා කාර්යක්ෂම පුද්ගලයන්ට පමණි. කිසියම් නිෂ්පාදකයෙකුට තමන්ගේ ලාබ වැඩි කරගත හැකි එකම ක්‍රමය අනෙක් ගොවියන්ට වඩා කාර්යක්ෂම වීමයි. බැටරි කේජ් ක්‍රමයට මාරු වීමට ඇතැම් ගොවීන් උත්සාහ දැරීම තුළ පෙනෙන්නේද මෙසේ සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩි කරගැනීමට ඇතැම් කුකුළු ගොවීන් විසින් දරන උත්සාහයයි.

තරඟකාරී කර්මාන්තයක යෙදී සිටින නිෂ්පාදකයින්ට සිය ලාබ වැඩි කරගැනීමට ඇති එකම මාර්ගය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමයි. ඒ නිසා එවැනි කර්මාන්තයක් හැම විටම කාර්යක්ෂමතාවය සොයා යයි. මෙය ස්වභාවිකවම සිදුවන්නකි. එය සැලසුම්කරන්නට දේශපාලනඥයින් හෝ නිලධාරීන් අවශ්‍ය නැත. කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩිවීම වැඩි වශයෙන්ම පාරිභෝගිකයින්ටත්, එසේ කාර්යක්ෂමතාවය වැඩිකරගත් නිෂ්පාදකයින්ටත්, පොදුවේ රටටත් වාසිදායක වුවත්, කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට අසමත් වුනු නිෂ්පාදකයින්ට අවාසිදායකය.

රටේ එක් කණ්ඩායමකට (පාරිභෝගිකයන්ට) වාසියක් වෙද්දී තවත් කණ්ඩායමකට (කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට අසමත් වුනු නිෂ්පාදකයන්ට) අවාසියක් සිදුවීම විමසිය යුතු, ආර්ථික විද්‍යාඥයෙකුගේ විෂය පථයට අයත් කාර්යයකි. මෙවැනි තත්වයක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විග්‍රහ කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ සමානාත්මතාවය මත පදනම්ව, පාරිභෝගිකයින් මෙන්ම නිෂ්පාදකයින්ද සුවිශේෂී පුද්ගලයින් නොවන සාමාන්‍ය පුද්ගලයින් ලෙස සලකමින් කරුණු විමසීමයි. තරඟකාරී වෙළදපොලක් ඇති විට ඕනෑම පුද්ගලයෙකුට නිෂ්පාදකයෙක් හෝ පාරිභෝගිකයෙක් වීමට හෝ නොවීමට කිසිදු බාධාවක් නැති නිසා මේ කණ්ඩායම් දෙකේ ඉන්නා පුද්ගලයෝ එකිනෙකාගෙන් වෙනස් පුද්ගලයෝ නොවෙති.

බලපෑමකින් තොරව නිදහස් ගනුදෙනුවක යෙදෙන පාරිභෝගිකයෙකුට හැම විටම ලාබයක් හිමි වේ. මෙය ඔහුගේ හෝ ඇයගේ පාරිභෝගික අතිරික්තයයි. මේ පාරිභෝගික අතිරික්තය යනු අදාළ පාරිභෝගිකයාට සාපේක්ෂව කිසියම් භාණ්ඩයක වටිනාකම හා එහි වෙළදපොල මිල අතර වෙනසයි. තමන්ට සාපේක්ෂ වටිනාකම වෙළඳපොල මිලට වඩා අඩුනම් නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් සිදුවන්නේ නැත. වෙළඳපොළ මිල සියල්ලන්ටම පොදු වුවත් පාරිභෝගික අතිරික්තය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

මේ අයුරින්ම බලපෑමකින් තොරව නිදහස් ගනුදෙනුවක යෙදෙන නිෂ්පාදකයෙකුටද හැම විටම ලාබයක් හිමි වේ. මෙය  අදාළ නිෂ්පාදකයාගේ පිරිවැය හා එහි වෙළදපොල මිල අතර වෙනසයි. නිෂ්පාදකයෙකුගේ පිරිවැය වෙළඳපොල මිලට වඩා වැඩිනම් නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් සිදුවන්නේ නැත. වෙළඳපොළ මිල සියල්ලන්ටම පොදු වුවත් නිෂ්පාදකයින් සියල්ලන්ගේම පිරිවැය සමාන නැත. වඩා කාර්යක්ෂම නිෂ්පාදකයෙකුට පිරිවැය අඩු කරගැනීම මඟින් වැඩි ලාබයක් ලබන්නට පුළුවන. ඒ නිසා නිෂ්පාදකයෙකු ලබන ලාබය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

නිදහස් වෙළදපොලක් හැම විටම වඩා කාර්යක්ෂම නිෂ්පාදකයින්ට වැඩි වාසි සලසන අතරම භාණ්ඩයක් හෝ සේවාවක් වැඩියෙන්ම අගය කරන අයට ඒවා හිමි කර දෙයි. ඒ හැරුණු විට නිදහස් වෙළදපොලක් (සාමාන්‍යයෙන්) පාරිභෝගිකයෙකුගේ හෝ නිෂ්පාදකයෙකුගේ ජාතිය, ආගම, වයස, ලිංගිකත්වය හෝ දේශපාලන නැඹුරුව නොතකයි.

බැටරි කේජ් භාවිතයට පැමිණීමෙන් ඒවා භාවිතා නොකරන සුළු පරිමාණ නිෂ්පාදකයින්ට වෙළඳපොලෙන් ඉවත් වන්නට සිදුවිය හැකිය. මෙවැනි කරුණක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විමසන්නේ ඒ හේතුවෙන් සමාජ අතිරික්තය වෙනස් වන ආකාරය දෙස බලමිනි. සමාජ අතිරික්තය යනු රටක (කිසියම් කර්මාන්තයක් තුළ) සියලුම පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයන්ගේත්, සියලුම නිෂ්පාදකයින් විසින් ලබන ලාභයන්ගේත් එකතුවයි. මෙය වැඩි කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් හොඳ සමාජ සැකැස්මක් ලෙස සැලකෙන අතර වාසි හිමිවන්නේ කවර පුද්ගලයින්ටද යන්න සාමාන්‍යයෙන් සැලකිල්ලට නොගැනේ.

ස්වභාවික හෝ කෘතීම බාධා නැති නිදහස් වෙළඳපොලක සමාජ අතිරික්තය කිසියම් වෙළඳපොලකින් ලබාගත හැකි උපරිම සමාජ අතිරික්තයයි. වෙළඳපොල වෙත මැදිහත් වන සෑම විටකම මේ සමාජ අතිරික්තය කිසියම් ප්‍රමානයකින් පහළ යයි. බදු, සහනාධාර, මිල පාලන, නිෂ්පාදන සීමා ආදී සියල්ලෙන්ම සිදුවන්නේ සමාජ අතිරික්තය පහළ යාමයි. එසේනම්, රජයයන් එවැනි මැදිහත්වීම් කරා යොමුවන්නේ ඇයි?

කිසියම් අවස්ථාවක රටක නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් සියලු දෙනාම සමාන නොවන බව ඒ රටේ ජනතාව විසින් තීරණය කරන්නට ඉඩ තිබේ. ඒ අනුව, සෝමපාලට රුපියල් සීයක පාඩුවක් වූවත් සිරියලතාට අඩු වශයෙන් රුපියල් පණහක වාසියක් සිදු වේනම් එය සමාජයට සමස්තයක් ලෙස සිදුවන යහපතක් බව වැඩි දෙනෙකු විසින් සිතන අවස්ථා තිබෙන්නට පුළුවන. මේ ආකාරයේ සම්පත් බෙදීමකට නිදහස් වෙළඳපොලක ඉඩ නැති නිසා කිසියම් මැදිහත් වීමක් අවශ්‍ය වේ. සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ රුපියල් පණහක වාසිය වෙනුවෙන් වෙනත් අයගේ රුපියල් සීයක වාසි නැති වීම ප්‍රශ්නයක් නොවේයැයි සමස්ත සමාජයම සිතනවානම්, එය රජයට නිදහස් වෙළඳපොල යාන්ත්‍රණය වෙත මැදිහත් වීමට හේතුවක් සපයයි.

සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ ඉල්ලීම තමන්ට රුපියල් පණහක වාසියක් ලබා ගැනීම සඳහා වෙනත් අයට රුපියල් සීයක පාඩුවක් කරමින් මැදිහත්වීමක් කරන මෙන් රජයෙන් කරන ඉල්ලීමකි. එවැනි මැදිහත්වීමක් ඉතා පැහැදිලිවම අකාර්යක්ෂම ඉල්ලීමකි. එහෙත්, ඇතැම් විට ඒ ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් විය හැකිය. සාධාරණත්වය යනු කාර්යක්ෂමතාවය මෙන් නිශ්චිත අදහසක් නොව සාපේක්ෂ දේශපාලනික අදහසකි.

පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ බිත්තර සැපයීමේ වෙළඳපොළට හැම අතින්ම සමාන නැත. මේ වෙළඳපොළවල් දෙක අතර මූලික වෙනස්කම් ගණනාවක්ම තිබේ. එහෙත්, ඇතැම් මූලික කරුණු වලින් මේ වෙළඳපොළවල් දෙක සමාන වන තැන්ද තිබේ.

බිත්තර වෙළඳපොළේ මෙන්ම වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළේද විශාල පාරිභෝගික පිරිසක් සිටිති. ඒ නිසා, එක් තනි පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් කළ නොහැකිය. තමන්ට බිත්තර අවශ්‍ය වන මොහොත හා අවශ්‍ය බිත්තර ප්‍රමාණය ගැන අදහසක් පාරිභෝගිකයෙකුට තිබේ. එහෙත්, තමන්ට වෛද්‍ය සේවා අවශ්‍ය වන මොහොත හා ප්‍රමාණය ගැන පාරිභෝගිකයෙකුට විශාල අවිනිශ්චිතාවක් තිබේ. ඒ නිසා, වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට බිත්තර මිල දී ගන්නා පාරිභෝගිකයින්ට තරම්වත් හෙට්ටු කිරීමේ හැකියාවක් නැත.

බිත්තරයක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම අපහසු දෙයක් නොවේ. එහෙත්, වෛද්‍ය සේවාවක ගුණාත්මක භාවය පිරීක්සීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මෙය තරඟකාරී තත්ත්වයන් යටතේ වුවත්, වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළේ නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් අතර සැලකිය යුතු පරතරයක් ඇති කරයි.

වෛද්‍ය සේවා සපයන නිෂ්පාදකයෙකු වීම බිත්තර නිෂ්පාදකයෙකු වන තරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා, අඩු වශයෙන් අවුරුදු හයක් පමණවත් ගත වේ. සෛද්ධාන්තිකව "ඕනෑම අයෙකුට" වෛද්‍ය සේවා නිෂ්පාදකයෙකු හෙවත් වෛද්‍ය වරයෙකු වන්නට පුළුවන. නමුත්, ප්‍රායෝගිකව මෙය සියල්ලන්ටම කළ නොහැකි දෙයකි.

සාපේක්ෂව අදක්ෂ හෝ කැපවීම අඩු වෛද්‍ය සිසුවෙකුට සිය උපාධිය ලබා වෛද්‍ය උපාධිය ලබා ගැනීමට වසර හයකට වඩා වැඩි කාලයක්, ඇතැම් විට වසර හත අටක්, ගත වන්නට ඉඩ තිබේ. එවැනි කාලයක් ගත කිරීමෙන් පසුවද සිය ඉලක්කය වෙත යාගන්නට නොහැකි වන අය සිටිති. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නොවෙනස්ව තිබියදී, වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා පුළුල් වන තරමට වෛද්‍ය උපාධියක් වසර හයකින් සම්පූර්ණ කිරීමට අසමත් සිසුන් මෙන්ම එය කිසිදා අවසන් කළ නොහැකි අයද වෛද්‍ය අධ්‍යාපනය වෙත පිවිසීමට ඇති ඉඩකඩ ඉහළ යයි.

අවශ්‍ය පුහුණුව ලබා වෛද්‍යවරයෙකු වීම අසීරු කටයුත්තකි. වෙනස්කම් තිබුණත්, මෙය සෑම රටකටම පොදු තත්ත්වයකි. බිත්තර නිෂ්පාදකයෙකු වන තරම් පහසුවෙන් වෛද්‍යවරයෙකු වීමට ඉඩ සලසන ලාභ සඳහා වන හෝ නොවන, රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ කොහේවත් නැත. මේ නිසා, බොහෝ විට වෛද්‍යවරයෙකු වීම සඳහා යොමු වන්නේ වෛද්‍ය උපාධියක් සම්පූර්ණ කිරීමේ හැකියාවක් ඇති අයයි. මේ අය සමාජයේ සිටින අහඹු පිරිසක් නොවේ.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොමුවන බොහෝ දෙනෙකු වෙනත් දක්ෂතාද ඇති අයයි. මෙවැන්නෙකුට ඒ අවස්ථාව අහිමි වුවහොත් බිත්තර නිෂ්පාදකයෙකු වෙන්නට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. යම් හෙයකින් බිත්තර නිෂ්පාදකයෙකු වුවද එවැන්නකු බොහෝ විට ඒ කාර්යය දක්ෂ ලෙස කරමින් සැලකිය යුතු මුදලක් උපයන්නට ඉඩ තිබේ. වෛද්‍ය සිසුවකු වෛද්‍ය අධ්‍යාපනය කරා යොමු වන්නේ මෙසේ වෙනත් කටයුත්තක නිරත වී මුදල් උපයන්නට ඇති අවස්ථාව ඉවත හෙළමිනි.

රජයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන සිසුවෙකු "නොමිලේ" අධ්‍යාපනය ලබන්නේ නැත. එවැන්නෙකු විසින් වෛද්‍ය පීඨයට ටියුෂන් ගාස්තු ගෙවිය යුතු නොවූවත්, පොත්පත්, ඇඳුම් පැළඳුම්, නේවාසික ගාස්තු හා ප්‍රවාහන ගාස්තු ආදිය වෙනුවෙන් තවත් සැලකිය යුතු මුදලක් වැය කළ යුතුය. ඊට අමතරව වෙනත් රැකියාවක් කරමින් ඉපැයිය හැකි මුදලද ඔවුහු අමතක කර දමති. මේ සියල්ල එකතු කළ විට රජයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන්නෙකුද අවසානයේදී වෛද්‍යවරයෙකු වන්නේ විශාල වියදමක් දරමිනි.

කිසියම් අයෙකු වෛද්‍යවරයෙකු වීම සඳහා විශාල පිරිවැයක් දරන්නේ අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් ඒ පිරිවැය පහසුවෙන් ආවරණය වන නිසාය.

වෛද්‍යවරයෙකු වීම සඳහා දැරිය යුතු ආවස්ථික පිරිවැය සැලකූ විට රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස ලැබෙන ප්‍රතිලාභ එතරම්ම විශාල නැත. එවැනි, ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප වෘත්තීන් ගණනාවක් තිබේ. වෛද්‍යවරයෙකු වීම ආකර්ශනීය වන්නේ පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල නිසාය.

ලංකාවේ පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල සැලකිය යුතු තරම් තරඟකාරී එකකි. එහි නිරතවන සියලුම වෛද්‍යවරුන්ට එකම මට්ටමින් ලාබ ලැබෙන්නේ නැත. වඩා කාර්යක්ෂම ලෙස සේවා සපයන වෛද්‍යවරුන්ට වැඩි ඉල්ලුමක් හා ඒ හේතුවෙන් වැඩි ලාබ හිමිවේ. මේ වෙළඳපොළේදී වෛද්‍යවරයෙකුගේ කාර්යක්ෂමතාවය තීරණය වන්නේ ඔහු හෝ ඇයගේ උසස්පෙළ ප්‍රතිඵල හෝ වෛද්‍ය උපාධියේ පන්ති සාමාර්ථය අනුව නොවේ. එය පාරිභෝගිකයින් හෙවත් රෝගීන් විසින් තීරණය කරන්නකි. කාර්යක්ෂම ලෙස රෝග විනිශ්චය කළ හැකි හා ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන් හඳුනාගැනීමේ හැකියාවක් පාරිභෝගිකයන්ට තිබේ. මේ හැකියාව සර්ව සම්පූර්ණ එකක් නොවීම වෙනම කරුණකි.

පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල තුළ තමන්ට අනාගතයේ හිමි වන ස්ථානය වෛද්‍ය සිසුවෙකුට පෙර නිගමනය කළ නොහැකි දෙයකි. කෙසේ වුවද, අකාර්යක්ෂම වෛද්‍යවරයෙකු වුවත්, අකාර්යක්ෂම බිත්තර නිෂ්පාදකයෙකු මෙන් ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොලෙන් එළියට විසිවන්නේ නැත. එවැන්නන්ටද යම් පාරිභෝගික ඉල්ලුමක් තිබේ. එයට හේතුව ලංකාවේ වෛද්‍ය සේවා නිෂ්පාදකයින් ප්‍රමාණය කෘතීම ලෙස සීමා කර තිබීමයි. ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් නොවේ. ඒ නිසා, කාර්යක්ෂම වෛද්‍යවරුන් වැඩි ලාභ ලබද්දී අකාර්යක්ෂම වෛද්‍යවරයෙකුට වුවද එහි කිසියම් ලාබයක් ලබන්නට ඉඩක් තිබේ.

සයිටම් ආයතනයෙන් උපාධිය අපේක්ෂා කරන වෛද්‍ය ශිෂ්‍යයෙකු රජයේ වෛද්‍ය විද්‍යාලයක සිසුන් වැය කරන සමස්ත පිරිවැය එලෙසම දැරිය යුතු අතර එයට අමතරව ටියුෂන් ගාස්තුද ගෙවිය යුතුය. මේ අමතර මුදල රුපියල් ලක්ෂ 90ක් ලෙස සඳහන්ව තිබේ. (රුපියල් ලක්ෂ 120 වැනි වෙනත් ගණන්ද සඳහන්ව ඇති අතර ගණන වෙනස් වීම කියන කරුණට බාධාවක් නොවේ.)

රුපියල් ලක්ෂ 90ක් (හෝ රුපියල් ලක්ෂ 120ක්) යනු විශාල මුදලකි. මෙවැනි විශාල මුදලක් ආයෝජනය කර මුදල් ඉපැයිය හැකි විකල්ප අවස්ථා රැසක්ම තිබේ. එසේ තිබියදී, කිසියම් අයෙකු සයිටම් වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වී අවදානමක් ගන්නේ පළමුව තමන්ට වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සැපිරිය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. දෙවනුව, පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ තුළ සාර්ථක විය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. තෙවනුව, එසේ ලැබේයයි සිතන අනාගත වාසි මේ ආයෝජනයට වඩා විශාලයැයි සිතන බැවිනි.

සයිටම් වැනි අලුත්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලබාගන්නා අයෙකු රැකියා වෙළඳපොළේ මුහුණ දෙන අභියෝගය රජයේ වෛද්‍ය පීඨයකින් මුහුණ දෙන අයෙකු මුහුණ දෙන අභියෝගයට වඩා වැඩිය. එවැනි අයෙකුට රුපියල් ලක්ෂ 90ක හෝ 120ක ආයෝජනයක් යාන්තමින් පියවා ගත හැකිනම්, එයින් අදහස් වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලයකින් පිටවන වෛද්‍යවරයෙකුට *අඩුම වශයෙන්* එපමණක සුපිරි ලාභ ඇති බවයි. සුපිරි ලාභ කියන්නේ යමෙකු සිදුකරන ආයෝජනයට, ගන්නා අවදානමට හා වැය කරන ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වලට අමතරව, වෙළඳපොළ විකෘතියක් නිසා ලැබෙන දෙයකි. සයිටම් සිසුන්ටද කිසියම් සුපිරි ලාබයක් ලැබෙන්නට ඉඩ ඇති නිසා මේ මුදල මීට වඩා වැඩි විය යුතුය.

ඇතැම් අය කියනවාක් මෙන් සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන "මුදලාලිලාටද" සුපිරි ලාභ තිබෙනවා වන්නට පුළුවන. එසේනම්, ඒ සඳහා ඉඩ සලසා ඇත්තේද පවතින වෙළඳපොළ විකෘතිය විසිනි.

සයිටම් හා තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වෙනවානම් වෛද්‍ය සැපයුම ඉහළ ගොස් වෛද්‍ය සේවා වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වනු ඇත. රාජ්‍ය සරසවි වල වෛද්‍ය පීඨ වලට ඇතුළු කර ගන්නා ප්‍රමාණය අවශ්‍ය තරමට වැඩි වුවද එවැන්නක් සිදුවිය හැකිය. එවිට වෛද්‍යවරුන්ගේ සුපිරි ලාභ නැතිව යන අතර ආන්තික වෛද්‍යවරයෙකුට හිමි වන්නේ ඔවුන් සිදුකරන ආයෝජනය හා ගන්නා අවදානම වෙනුවෙන් ලැබිය යුතු නිසි ලාබය පමණි. මේ ආන්තික වෛද්‍යවරයා වන්නේ සයිටම් වලින් බිහිවෙන වෛද්‍යවරයෙකි. එසේ නැත්නම් ඊට වඩා මිලක් ගෙවා වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් බිහිවන වෛද්‍ය වරයෙකි. අඩු පිරිවැයක් දරා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන අයෙකු ආන්තික වෛද්‍ය සේවා නිෂ්පාදකයෙකු වන්නේ නැත.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ මුදල් අයකරන රජයේ වෛද්‍ය විද්‍යාල තිබීම හේතුවෙන් දිගුකාලීනව ලෝකයේ කිසිදු රටක වෛද්‍යවරුන් ඕනෑවට වඩා වැඩි වී නැත. යම් හෙයකින් එසේ වුවහොත්, මුලින්ම සිදුවන්නේ සයිටම් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම අඩු වීමයි. රුපියල් ලක්ෂ 90 (හෝ 120) පහසුවෙන් පියවාගත හැකි වාතාවරණයක් නැත්නම් කිසිවකු සයිටම් යන්නට උනන්දු වන්නේ නැත. එවැනි විටෙක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන "මුදලාලිලාට" තමන්ගේ ආයෝජනය හා අවදානම යාන්තමින් ආවරණය වන මට්ටමට ටියුෂන් ගාස්තු පහළ හෙළන්නට සිදුවේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් කෙතරම් වෛද්‍යවරුන් බිහිවුණත්, රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවෙන වෛද්‍යවරයෙකුට තමන්ගේ ආයෝජනය හා අවදානම වෙනුවෙන් ලැබෙන මුදලට අමතරව තවත් ලක්ෂ 90ක (හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් අයකරන අවම ගාස්තුවට සමාන) සුපිරි ලාභද ඉතිරි වේ.

රටේ වෛද්‍යවරුන් සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වැඩි වූ විට එහි වාසිය ලබන ප්‍රධානම පාර්ශ්වකරුවන් වන්නේ පාරිභෝගිකයින් වන රෝගීන්ය. ඔවුන්ට අඩු මිලකට ගුණාත්මක භාවයෙන් වැඩි සේවාවක් හිමිවේ.

සයිටම් වෛද්‍යවරුන් නිසා රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍යවරයෙකුට රස්සාව නැති වෙන්නට ඉඩක් ඇති එකම ආකාරය රජයේ වෛද්‍ය පීඨ වලින් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සයිටම් වලට වඩා විශාල ලෙස පහත වැටීම පමණි. එසේ වූ විට වඩා හොඳ හා වැඩි මිල වෛද්‍ය අධ්‍යාපනය සයිටම් වලින් හා අඩු ගුණාත්මක භාවයක් ඇති, අඩු මිල වෛද්‍ය අධ්‍යාපනය රජයේ වෛද්‍ය විද්‍යාල වලින් ලෙස සමතුලිතතාවයක් ඇති විය හැකිය. රජයේ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මකභාවය විශාල ලෙස අඩුනම් පමණක් තරඟය වැඩි වීම රජයේ වෛද්‍ය පීඨයකින් පිටවන වෛද්‍යවරයෙකුට ප්‍රශ්නයක් විය හැකිය.

මෙහි විලෝමය සිදු වන්නට කිසිදු ඉඩක් නැත. සයිටම්හි ගුණාත්මක භාවය රජයේ වෛද්‍ය පීඨ වලට වඩා අඩුනම්, සමානනම් පමණක් නොව යාන්තමින් වැඩි වුවද තරඟකාරිත්වය වැඩි වන විට මුලින් වෙළඳපොලෙන් ඉවත් වන්නේ සයිටම් වෛද්‍යවරුන් මිස රජයේ වෛද්‍යවරුන් නොවේ.

ඉතා පැහැදිලි ලෙසම සයිටම් නිසා සමාජ අතිරික්තය ඉහළ යයි. සයිටම් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය තරමක් අඩු වුවද, මෙහි වෙනසක් නැත. පිරිසුදු බිත්තර කුකුළු බෙටි ගෑවුණු බිත්තර වලට වඩා හොඳ වුවත්, බඩේ අමාරු හැදෙන තරමට නරක නැත්නම් බිත්තර කොහෙත්ම නැතුවාට වඩා කුකුළු බෙටි ගෑවුණු බිත්තර හෝ තිබීම හොඳය. නියාමනය අවශ්‍ය වන්නේ බඩේ අමාරු හැදෙන තරමටම නරක බිත්තර වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට පමණි.

සයිටම් ආයතනය රජයට පවරා ගන්නා ලෙස වෛද්‍ය සංගමය කරන ඉල්ලීමද තමන්ගේ රුපියල් පණහේ වාසිය වෙනුවෙන් වෙනත් අයෙකුට රුපියල් සීයක අවාසියක් සිදු කරන මෙන් කරන ඉල්ලීමකි. මෙය අකාර්යක්ෂමතාවයට හේතු වනවා පමණක් නොව අඩු වශයෙන් මට පෙනෙන පරිදි අසාධාරණ ඉල්ලීමක්ද වෙයි. ඒ, වෛද්‍යවරුන්ට සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට නැති සුපිරි ලාභ ඇති බැවිනි.

කිසියම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක වාසිය සුළු පිරිසකට පමණක් වූ විට එවැනි ඉල්ලීමක් පොදු සමාජයට අලෙවි කිරීම පහසු නැත. එවිට, එවැනි සීමිත පිරිසකගේ ප්‍රශ්නයක් කිසියම් අයුරකින් වැඩි පිරිසකගේ ප්‍රශ්නයක් සමඟ ගැට ගසන්නට සිදු වේ. සුළු පරිමාණ කුකුළු ගොවියන් විසින් තමන්ගේ ප්‍රශ්නය "කුකුළන්ගේ මානව හිමිකම්" සමඟ ගැට ගසන්නේ ඒ නිසාය. වෛද්‍යවරුද මේ අයුරින්ම ඔවුන්ගේ ප්‍රශ්නය "වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය" හා "නිදහස් අධ්‍යාපනය නැති වීම" වැනි පොදු සමාජය සංවේදී වන වෙනත් මාතෘකා සමඟ ගැට ගැසීමට උත්සාහ කරති.

කෙසේ වුවද, මේ අර්බුද දෙක හරහාම කරළියට එන තවත් මූලික ප්‍රශ්නයක් තිබේ. ඒ ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයයි.

සුළු පරිමාණ කුකුළු ගොවීන්ට බැටරි කේජ් මිලදී ගෙන සිය කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය වුවත් ප්‍රාග්ධනය නොමැති වීම නිසා ඔවුන්ට එය කළ නොහැක. ඒ නිසා, බැටරි කේජ් ගන්නට ප්‍රාග්ධනය ඇති අයද එසේ කිරීම වලක්වන්නට ඔවුහු උත්සාහ කරති.

රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන, එහෙත් වෛද්‍ය විද්‍යා උපාධියක් හැදෑරීමට ශක්‍යතාවයක් හා ආශාවක් ඇති බොහෝ දෙනෙකුට සයිටම් හරහා සිය ඉලක්කය කරා ළඟා වීමට හැකියාවක් නැත. ඒ, ඒ සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 90 ක හෝ 120ක මුදල ලංකාවේ විශාල පිරිසකට සිහිනයක් බැවිනි. ඔවුන්ගේ විරෝධය නිතැතින්ම සයිටම් වෙත යොමු වේ.

රටක සියලු දෙනා අතර ප්‍රාග්ධනය එක සේ බෙදී යාම ස්වභාවික දෙයක් නොවන අතර එසේ නොවීම අසාධාරණ දෙයක්ද නොවේ. එහෙත්, රටක සියලු දෙනාටම ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වන්නට අවස්ථා නොතිබීමේ අසාධාරණත්වයක් තිබේ.

ලංකාවේ බොහෝ දෙනෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට සාධාරණ තබා ඇතැම් විට කිසිදු අවස්ථාවක් නැත. මේ ලිපියේ වැඩිදුර විස්තර කරන්නට නොයන නමුත් ලංකාවේ වෛද්‍ය පීඨ වලට ඇති විශාල ඉල්ලුමටද මෙය එක් හේතුවකි. තරුණයින් බොහෝ දෙනෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට හැකි ප්‍රධාන ආකාරය සිය දෙමවුපියන්ගේ සංචිතයි. මේ ලොතරැයිය ඇදෙන්නේ කලාතුරකින් අයෙකුට පමණි. අති මහත් බහුතරයට එවැනි ප්‍රවේශ මාර්ග නැත.

ඉහත තත්ත්වයට හේතුවද නිදහස් වෙළදපොල විකෘතියකි.

සාමාන්‍යයෙන් රටක මුදල් ඉතිරි කරන්නෝ හා ණය සොයන්නෝ හරි හරියට බෙදී සිටිති. අඩු පොලියකට ණයක් ගැනීම ණය සොයන්නෙකුගේ ඉලක්කය වන්නා සේම, වැඩි පොලියක් ලබා ගැනීම ඉතිරි කරන්නෙකුගේ ඉලක්කයකි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ සමතුලිත පොලී අනුපාතික වැඩි මිලක් නොගන්නා අතර ලංකාවේ දැන් සිදුවන්නාක් මෙන් ණය ගන්නන්ට පමණක් නොව, ණය දෙන්නන්ටද ණය ගන්නට කැමති අය සොයමින් පස්සෙන් පන්නන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයයි.

වෛද්‍ය උපාධියක් හදාරන අයෙකුගේ අනාගත ආදායම් ස්ථිර නිසා එවැන්නෙකුට ණය මුදලක් ලබාදීමේ විශාල අවදානමක් නැත. ඒ නිසා, සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඕනෑම දක්ෂ සිසුවෙකුට සයිටම් වැනි තැනකින් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා අඩු පොලියකට ණයක් ගන්නට ලැබීම සරල දෙයක් විය යුතු වුවත් ඇත්ත තත්ත්වය එවැන්නක් නොවේ.

ලංකාවේ වෙනත් බොහෝ ප්‍රශ්න වලට මෙන්ම මෙයටද හේතුව අති විශාල රාජ්‍ය අයවැය හිඟයයි. දේශීය ඉතිරි කිරීම් සියල්ලම වාගේ ඉතා ඉහළ පොලියක් ගෙවමින් රජය විසින් අවශෝෂණය කරගන්නා නිසා බාහිර මූල්‍ය වෙළඳපොළේ ණය ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයක් ඇති වී තිබේ. ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන්ට මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙන්නේ නැත. මෙහි වාසිය ගන්නා අතළොස්සක් විසින් ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පාලනය කර අතර එහි ඇති අකාර්යක්ෂමතාවයන් හා ඒකාධිකාරීත්වය වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයද ඉක්මවන්නකි. මෙහි අවසාන ප්‍රතිඵලය ලංකාවේ අති මහත් බහුතරයකට මූල්‍ය ප්‍රවේශයට ඇති ඉඩප්‍රස්ථා අවම වීමයි. මෙහි පැහැදිලි අසාධාරණයක් තිබේ.

අවුල ලිහන්නට පටන්ගත යුත්තේ රජයේ වියදම් කපා හැර අයවැය හිඟය අඩු කරගැනීමෙනි. එහෙත්, එසේ කිරීමේදී මුලින්ම අත තැබිය යුත්තේ සාපේක්ෂව කාර්යක්ෂම අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක සේවා අංශ වලට නොවේ.

Wednesday, July 5, 2017

වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය


කොළඹ සරසවියෙන් වෛද්‍ය විද්‍යා ප්‍රථම උපාධියත්, ස්කොට්ලන්තයේ දන්ඩී විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් හා පශ්චාත් උපාධියකුත් (MMedEd) ලබා දැනට කොළඹ සරසවියේ මහාචාර්ය තනතුරක් දරන ඉන්දික කරුණාතිලක විසින් "ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයිද?" යනුවෙන් විමසමින් ලියූ ලිපියක් සමාජ ජාලා වල හුවමාරු වනු දකින්නට ලැබේ. අදාළ ලිපියේ අරමුණ ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා සබැඳි, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පිළිබඳ පවතින පොදු දුර්මත කිහිපයක සත්‍ය, අසත්‍යතාවය එකින් එක සාකච්ඡාවට බඳුන් කිරීමයි. අදාළ "දුර්මත" පහත දැක්වේ.

-ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාවීම දැකිය හැක.
-අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
-ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතී.
-වැඩිපුර වෛද්‍යවරුන් සිටීම වාසිදායක වේ.
-අනෙකුත් ක්ෂේත්‍ර ද පෞද්ගලිකකරණය වී තිබෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය ද එසේ විය යුතුය.
-පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටක ආර්ථිකයට වාසිදායක වේ.

ඉතා කණගාටුදායක කරුණක් වන්නේ ඉන්දික කරුණාතිලක විසින් ඉහත ලිපිය සම්පාදනය කිරීමේදී ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුගෙන් අපේක්ෂා කෙරෙන අපක්ෂපාතීත්වය හෝ ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය ගැන සැලකිලිමත් වී නොතිබීමයි. අදාළ ලිපිය පෞද්ගලික සටහනක් වූවානම් මෙය විශාල ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලිපිය සමඟ ලේඛකයාගේ තනතුරු නාමය, උපාධි හා ඩිප්ලෝමා සහතික හා වෘත්තීය සංවිධාන වල සාමාජිකත්ව ආදිය පිළිබඳ තොරතුරුද පළකර තිබීමත් ලිපියේ අන්තර්ගතය ඔහුගේ විෂය ක්ෂේත්‍රයට අදාළ වූවක් වීමත් තුළ ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකු සතු විය යුතු මූලික ගුණාංග ලිපියෙන් පිළිබිබු නොවීම ප්‍රශ්නයකි.

ඉහත ලිපියේ මා දකින අඩුපාඩු කිහිපයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා දැඩි ලෙස සීමා වීමක් සිදුව ඇත්ද?

ඉන්දික කරුණාතිලකගේ තර්කය වනුයේ එවැනි සීමා වීමක් ඇත්තේ කලා අංශයේ මිස ජීව විද්‍යා අංශයේ නොවන බවයි.

"කලා අංශයෙන් උසස් පෙළ සමත්වන්නන් අතරින් විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරගන්නේ ආසන්න වශයෙන් 10% ක් පමණි. ... ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් 33% ක් විශ්ව විද්‍යාලයට ඇතුළු වේ. ... ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමතුන්ගෙන් 6.3% කට පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව ලැබේ."

මෙහි ඉන්දික කරුණාරත්න විසින් ඉදිරිපත් කර ඇති දත්ත වල විශාල වරදක් නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සංඛ්‍යාලේඛණ අනුව, 2014/15 අධ්‍යයන වර්ෂය තුළ ජීව විද්‍යා අංශයෙන් සරසවියකට ඇතුළු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපිරූ සිසුන්ගෙන් 26.97%කට කිසියම් අභ්‍යන්තර සරසවි පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව ලැබී ඇති නමුත් කලා අංශය තුළ ඒ අවස්ථාව හිමිව ඇත්තේ මූලික සුදුසුකම් ලද සිසුන්ගෙන් 12.57%කට පමණි. මේ අනුව, ඔහු පෙන්වන අනුපාතයට වඩා සැලකිය යුතු තරම් අඩුවෙන් වුවත් පැහැදිලි විෂමතාවයක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. වාණිජ අංශයේ මේ අනුපාතය 13.05%ක්ද, භෞතික විද්‍යා අංශයේ 33.82%ක්ද වේ. 2014/15 අධ්‍යයන වසරේ ජීව විද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් ලද සිසුන්ගෙන් 6.01% කට වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව හිමි වී තිබේ.

දත්ත වල මූලික වරදක් නැතත්, ඉන්දික කරුණාතිලකගේ විශ්ලේෂණය නිවැරදි නැත. මේ සංඛ්‍යාලේඛණ වලින් අදහස් වන්නේ භෞතික විද්‍යා හෝ ජීව විද්‍යා අංශයකින් සරසවිකට ඇතුළු වීම කලා හෝ වාණිජ අංශයකින් ඇතුළු වනවාට වඩා කිහිප ගුණයක් පහසු බව නොවේ.

මේ එක් එක් කුලකය තුළ සිටින්නේ අහඹු සිසු නියැදි නොවේ. තමන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විෂය ධාරාව කිසියම් සිසුවෙකුගේ පූර්ව තේරීමකි. කලා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද තමන්ට වෛද්‍ය පීඨයකට ඇතුළු වන්නට නොලැබෙන බව මුලින්ම තේරුම්ගෙන "තරඟයෙන් ඉවත් වූ" අයයි. එසේ නැතිව වෛද්‍ය වරයෙකු වන්නට කැමැත්තක් නැති නිසා කලා විෂය ධාරාව තෝරාගත් අයම නොවේ. ඒ නිසා, ඉන්දික කරුණාතිලක විසින් කරන සංසන්දනය නිවැරදි නැත. එමෙන්ම, ඉතා කලාතුරකින් අයෙකු හැර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ කරන සිසුන් සියල්ලන්ගේම වාගේ සිහිනය වෛද්‍ය පීඨයකට ඇතුළු වීම මිස අඩු වශයෙන් දන්ත වෛද්‍ය පීඨයකට ඇතුළු වීම හෝ නොවේ. ඒ අවස්ථාව ලැබෙන්නේ මූලික සුදුසුකම් සපුරන අයගෙන් 6%කට පමණි. (මෙහිදී, ඉන්දික කරුණාතිලකගේ තර්කය නිවැරදි නොවන බව පෙන්වා දෙනවා මිස උසස්පෙළ ජීවවිද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් සපුරන සියලු දෙනාටම වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම හිමි විය යුතු බව මා අදහස් කරන්නේ නැත.)

ඉන්දික කරුණාතිලකගේ තර්කයේ ඇති මූලික වැරැද්ද ඉහතින් පෙන්වූ කරුණක් නොවේ. ඔහු විසින් හිතාමතාම නොකියන දෙය සරසවි වරම් නොලබන කලා උපාධිධාරියෙකුට බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස රජයේ සරසවියක ලියාපදිංචි වී උපාධිය සම්පූර්ණ කිරීමට කිසිදු බාධාවක් නැති බවයි. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වන අයෙකුටද එවැනි විකල්ප අවස්ථාවන් තිබිය යුතුය.

පහතින් ඇත්තේ ඉන්දික කරුණාතිලක විසින් පාඨකයින් නොමඟ යැවීම සඳහා හිතාමතාම කරන තවත් වැරදි විශ්ලේෂණයකි.

"ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.


ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

 
පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත."




මේ කොටසින් ඉන්දික කරුණාතිලක විසින් පාඨකයාට පෙන්වන්නට හදන්නේ ඉන්දියාව හා නේපාලය වැනි රටවල ශ්‍රේණිගත කිරීම් පහළට වැටී ඇත්තේ එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගනන වැඩි වීම හේතුවෙන් බවයි.

ඉන්දික කරුණාතිලක විසින් මෙහි පෙන්වන ශ්‍රේණිගත කිරීම් පදනම් වන්නේ වසර 17කට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ පර්යේෂකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පත්‍රිකාවක් මත හෝ එය මූලාශ්‍රය කරගෙන පසුව ලියැවුණු පත්‍රිකාවකින් බව පෙනේ. එම පත්‍රිකාව අනුව අදාළ ශ්‍රේණිගත කිරීම් දත්ත නිවැරදිය.

එහෙත්, ඔහු විසින් හිතාමතා සැලකිල්ලෙන් තෝරා ගෙන ඇති රටවල් කිහිපයේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ඔහුගේ දත්ත හරියටම නිවැරදි නැත. නෙදර්ලන්තයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතැයි ඔහු කීවත් එරට  අඩු වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක් තිබේ. ඕස්ට්‍රේලියාවේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන තුනකි. කෙසේ වුවද ප්‍රශ්නය එය නොවේ.

මෙහි උඩ ලැයිස්තුවේ ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩිපුර නැති, ශ්‍රේණිගත කිරීම් අනුව උඩින් සිටින හිතා මතා තෝරා ගත් රටවල් කිහිපයකි. ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේම උඩින් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ගණනක් ඇති අදාළ පත්‍රිකාවේ ක්‍රමවේදය අනුව 37 වන ස්ථානයේ සිටින ඇමරිකා එක්සත් ජනපදය හෝ 144 වෙනි ඉතා පහළ තැනක ඇති චීනය වැනි රටවල් ඔහු විසින් බැහැර කරයි. අහඹු ලෙස රටවල් තෝරා නොගෙන තමන්ගේ මතය තහවුරු කිරීම සඳහා රටවල් තෝරා ගැනීම ශාස්ත්‍රාලීය වංචාවකි.

ඔහුගේ ක්‍රමවේදයේ ඇති වැරැද්ද පැහැදිලි කිරීමට මට ඉහතින් උපුටා දක්වා ඇති කොටස පහත සඳහන් පරිදි වෙනස් කර පෙන්විය හැකිය.

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් බටහිර වෛද්‍ය අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික  බටහිර වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.


ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික බටහිර වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් බටහිර වෛද්‍ය විද්‍යාව උගන්වන පීඨ වැඩිපුර තිබීම නිසා ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය හරහා ගොස් මා මෙහි ඇති දත්ත ලබාගත්තේ ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියෙනි.

මා මේ අභ්‍යාසය කළේ කිසියම් රටක බටහිර වෛද්‍ය පීඨ ගණන වැඩි වන විට සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය අඩුවන බව පෙන්වීම සඳහා නොවේ. ඉන්දික කරුණාතිලකගේ විග්‍රහය කොතරම් ප්‍රාථමික මට්ටමේ එකක්දැයි පෙන්වීමටය.

තව දුරටත් අවශ්‍යනම්, මට යටින් ඇති මුළු වෛද්‍ය විද්‍යාල ගණනින් උඩින් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන අඩු කර තවත් වගු දෙකක් ඉදිරිපත් කළ හැකිය. එවිට, ඉතිරි වන්නේ එක් එක් රටවල ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ ගණනයි. ඉතා පැහැදිලිවම, මෙහි තෝරාගෙන ඇති රටවල් කාණ්ඩ දෙකෙන් වැඩිම රාජ්‍ය වෛද්‍ය පීඨ ගණන ඇත්තේද ඉන්දියාව ඇතුළු දෙවන කාණ්ඩයේ රටවලය. ඉන්දික කරුණාතිලකගේ තර්කය අනුව යන්නේනම්, මේ රටවල් සෞඛ්‍ය සේවාවන් ශ්‍රේණිගත කිරීම් අනුව පහතට වැටී තිබෙන්නේ රාජ්‍ය වෛද්‍ය පීඨ ගණන වැඩි වීම නිසා බව කියන්නට පුළුවන.

එහෙත්, මා එසේ කියන්නේ නැත. වෛද්‍ය පීඨයක අයිතිය රජය සතුද නැද්ද යන්න එහි ගුණාත්මක භාවය කෙරෙහි බලපාන ආකාරය මේ තරම් සරලව නිගමනය කළ නොහැකිය.

වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවයත්, ඒ වෙනුවෙන් යොදවන සම්පත් ප්‍රමාණයත් අතර සම්බන්ධතාවයක් තිබේ. අනෙකුත් සාධක නියතව ඇත්නම්, සම්පත් වැඩියෙන් යොදවන තරමට ගුණාත්මක භාවය වැඩි වේ. වෛද්‍ය පීඨයක් ලාභ පිණිස පවත්වාගෙන යන විට, ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සම්පත් වැඩියෙන් යෙදවීම හා ලාභ වැඩි කරගැනීම යන අරමුණු අතර ගැටුමක් ඇති වේ. එහෙත්, ගුණාත්මක භාවය අඩුවන විටද ඉල්ලුම අඩු වී ලාභ අඩු වේ. ඒ නිසා, ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය හා ලාභ ප්‍රසස්ථ සමතුලිතතාවයකට පැමිණේ.

ලාභ සඳහා නොවන, එහෙත් මුදල් අයකරන පෞද්ගලික හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මෙයින් වෙනස් වන්නේ කෙසේද? මෙවැනි ආයතනයක අරමුණ ලාභ ලැබීම නොවූවත්, පාඩු ලබමින් ආයතන පවත්වා ගත නොහැකිය. ඒ නිසා, මෙවැනි ආයතනයක ලාභ දිගුකාලීනව ශුන්‍ය මට්ටමේ පවත්වා ගැනේ. ආදායම් හා වියදම් අතින් මෙවැනි ආයතනයක් ලාභ ලබන ආයතනයකින් වෙනස් වන්නේ එම හේතුව නිසා පමණි. ලාභ සඳහා වූ වෛද්‍ය විද්‍යාලයකට සාපේක්ෂව මෙවැනි වෛද්‍ය විද්‍යාලයකට ගුණාත්මක භාවය ඉහළ දැමීම වෙනුවෙන් වැඩිපුර ආයෝජනයක් සිදු කළ හැකිය. මේ නිසා ගුණාත්මක භාවය "සමතුලිත මට්ටමට" වඩා ඉහලින් පවත්වා ගන්නට හැකි වන්නට ඉඩ තිබේ.

තරඟකාරී වෙළඳපොලක ආයතන දෙකක් විසින් එකම මිල අය කරන්නේනම් ගුණාත්මක භාවය වැඩි තැනට මිස අඩු තැනට යන්නට කිසිවෙකු කැමති නැත. එසේනම්, මෙවැනි ආයතන වර්ග දෙකක් පැවතිය හැකිද?

මෙය සිදු විය හැකි ආකාර කිහිපයක් තිබේ.

1. ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීම අපහසු විය හැකිය. සියලු දෙනාගේම පළමු තේරීම එය නිසා එම වෛද්‍ය විද්‍යාලය විසින් හොඳම සිසුන් තෝරා ගන්නා අතර ඉතිරි වන දෙවන පෙළ සිසුන් ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයට යන්නට පුළුවන.

2. ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයේ මිල තරමක් වැඩි විය හැකිය. එවිට සිසුන්ට ඇති වැඩි මිලක් ගෙවා වැඩි ගුණාත්මක භාවයක් ඇති තැනට යාමේ හා අඩු මිලකට අඩු ගුණාත්මක භාවයක් ඇති තැනට යාමේ තේරීම් තුළ වෙළදපොල සමතුලිත වේ.

3. ලාභ අරමුණක් නැති නිසා ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලය වඩා අකාර්යක්ෂම විය හැකිය. ලාභ සඳහා කටයුතු කරන වෛද්‍ය විද්‍යාලය අකාර්යක්ෂම වුවහොත් ඔවුන්ට වෙළඳපොළෙන් ඉවත් වන්නට සිදු වේ. එහෙත්, ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයට පාඩු නොලබන තාක් කල් වෙළඳපොළේ රැඳී සිටිය හැකිය. ගුණාත්මක භාවය ලාභ ලබන ආයතනයක මට්ටමේ පවත්වාගැනීම ප්‍රමාණවත් වන අතර මිලද ඒ මට්ටමේ පවත්වා ගැනීම ප්‍රමාණවත්ය. මෙහිදී ලාභ නොලැබීම නිසා කිසිවකුට වාසියක් නොසැලසේ.

මේ දෙආකාරයේ වෛද්‍ය විද්‍යාල අතර සමතුලිතාවක් ඇති තැන් වල මේ කරුණු තුනම යම් ප්‍රමාණයකට සිදු වන බව පෙනේ.

ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වල ආකෘතිය වෙනත් බොහෝ රටවල ඇති ආකෘතිය නොවේ. මේ වෛද්‍ය විද්‍යාල වලට වැය කරන මුදලට සරිලන දෙයක් ලබා නොදෙන තරමට අකාර්යක්ෂම වුවද තවදුරටත් රැඳී සිටිය හැකිය. මා මෙයින් අදහස් කරන්නේ එය එසේ සිදුවන බව නොවේ.

මේ ආකෘතියේ වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය රඳා පවතින්නේ යොදවන සම්පත් ප්‍රමාණය මතය. සම්පත් වැඩියෙන් යොදවන තරමට (වෙනත් කරුණු නොවෙනස්ව ඇත්නම්) ගුණාත්මක භාවය ඉහළ යයි. එහෙත්, අකාර්යක්ෂමතාවයන් නිසා යොදවන අරමුදල් සියල්ලම ගුණාත්මක භාවය වැඩි කිරීමට හේතු නොවේ,

කාර්යක්ෂම ලෙස කළමනාකරණය කෙරෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයකට වෙළඳපොළ ප්‍රසස්ථ මට්ටම ඉක්මවන තරමට සම්පත් යෙදවීමෙන් එහි ගුණාත්මක භාවය නිදහස් වෙළඳපොළක ඇති සමතුලිත මට්ටමට වඩා වැඩි කළ හැකිය. ඇතැම් සමාජවාදී රටවල් විසින් මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින්ද එසේ කර තිබේ. එහෙත්, මෙහිදී ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා යෙදවෙන්නේ වෙනත් බොහෝ දේ වෙනුවෙන් යෙදවිය හැකි සීමිත සම්පත්ය. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය "ඕනෑවට වඩා" වැඩි කිරීමෙන් යහපතක් සැලසෙන නමුත්, ඒ සඳහා යෙදවුණු මුදල් යෙදවිය හැකිව තිබුණු වෙනත් ව්‍යාපෘතියක් සිදු නොවීම නිසා සිදුවන අයහපත බොහෝ විට ඊට වඩා වැඩිය.

අපේ දකුණු ආසියානු අසල්වැසියන් වෙත නැවත පැමිණියහොත්, එම රටවල සෞඛ්‍ය සේවාවන් වල ශ්‍රේණිගත කිරීම් හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන අතර පෙනෙන්නට තිබෙන සම්බන්ධයට හේතුව දෙවැන්න නිසා පළමුවැන්න සිදු වීම නොවේ. එම රටවල සෞඛ්‍ය සේවා සැපයුම් ඉහළ මට්ටමක නොතිබීම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට අවකාශයක් ඇති වීමයි. මේ අනුව, එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබුනානම් එම රටවල ශ්‍රේණිගත කිරීම් තවත් පහළට වැටෙන්නට ඉඩ තිබුණා වන්නටද පුළුවන.

මේ අයුරින්ම, ඉන්දික කරුණාතිලක ආඩම්බර වන ලංකාවේ 76 වන ස්ථානය ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබීමේ හොඳ ප්‍රතිඵලයක් ලෙස ඔහු පෙන්වා දෙන නමුත්, ලංකාවේත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් තිබුණානම් මේ ස්ථානය මීට වඩා අඩු එකක් (50 හෝ 60 වැනි) විය හැකිව තිබුණු බව මට යෝජනා කරන්නට පුළුවන. එසේනම්, ඇත්තටම 76 ස්ථානය යනු නරක ප්‍රතිඵලයකි. මගේ යෝජනාව තහවුරු කිරීමට මා විසින් වැඩිදුර කරුණු ඉදිරිපත් කර නැති නිසා එය බරපතල ලෙස ගත යුතු නැති වුවත් ඉන්දික කරුණාතිලකගේ තර්කයේද ඊට වඩා කිසිදු බරපතලකමක් නැත.

පහතින් ඇත්තේ ඉන්දික කරුණාතිලකගේ ලිපියෙන් උපුටාගත් තවත් කොටසකි.

"ඉන්දියාව යනු ලෝකයේ වැඩිම පෞද්ගලික සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පවතින රටයි. නමුත්, ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් විදේශගත වන රට වන්නේ ද ඉන්දියාවයි. එය ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය සලකා බැලීමෙන් වටහාගත හැක."


මේ සංඛ්‍යාලේඛණ නිවැරදි විය නොහැකිය. එසේනම්, මූලාශ්‍ර ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව, කැනේඩියානුවන්ට හැර වෙනත් රටවල සිසුන්ට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම ඉතාම අසීරු කටයුත්තකි. ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් කර ගන්නේ වසර හතරක මූලික උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති අයයි. මේ උපාධි පාඨමාලාවට වෛද්‍ය විද්‍යාව හැදෑරීමේදී වැදගත්වන මූලික විෂයයන් ඇතුලත්ව තිබිය යුතුය. තවත් බොහෝ දේ සලකා බැලීමෙන් පසු අවසන් තේරීම කරන්නේ සම්මුඛ පරීක්ෂණයකින් පසුවය.

ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයේ (AAMC) දත්ත අනුව, 2016/17 දී ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කරගැනුණු සිසුන් 21,030ක් අතරින් නීත්‍යානුකූල පදිංචිය ඇමරිකාවේ නොවූ අය සිටියේ 112ක් පමණි. ඇමරිකානු පුරවැසියන් හෝ ස්ථිර නේවාසිකත්වය (Green card) නොලැබූ අය සිටියේද 269 දෙනෙකු පමණි. මේ බොහෝ දෙනෙකුද ඇමරිකාව සිය රට ලෙස තෝරාගෙන ඇති නමුත් තවමත් ස්ථිර නේවාසිකත්වය නොලැබුණු, බොහෝ විට ස්ථිර නේවාසිකත්වය අයදුම්කර බලාපොරොත්තුවෙන් සිටින අයයි.

වෛද්‍ය විද්‍යාල මට්ටමේ දත්ත ඉහත වෙබ් අඩවියෙන් ලබාගත හැක්කේ එහි සාමාජිකත්වය ඇති අයට පමණකි. ඒ දත්ත ඇසුරෙන් වෙනත් අයෙකු පලකළ වගුවක් මෙහි තිබේ.

ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි කර ගන්නා විදේශ සිසුන් ප්‍රතිශතය 1% පමණ වන බව මේ දත්ත අනුව පෙනී යනු ඇති අතර එයින්ද වැඩි පිරිසක් පැමිණෙන්නේ කැනඩාවෙනි.

මා හිතන පරිදි ඉන්දික කරුණාතිලක කතා කරන්නේ ඇමරිකානු ඉන්දියානුවන් ගැන විය යුතුය. ඇමරිකානු වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සිසුන් අතර ඉන්දියානු හා චීන සම්භවයක් ඇති සිසුහු විශාල පිරිසක් සිටිති. එහෙත්, මේ අය ඇමරිකානුවෝ මිස ඉන්දියානුවෝ නොවෙති. ඇමරිකාවේ උපත ලබා ඇති මේ සිසුන් බොහෝ දෙනෙකු ඇතැම් විට ඉන්දියාවට කෙදිනක හෝ ගොස් නැත.

එමෙන්ම, යම් හෙයකින් ඉන්දියානු සිසුන් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විශාල වශයෙන් ඇමරිකාවට ගියේයැයි සිතුවද, එයට විවිධ හේතු තිබිය හැකිය. ඔහුගේ තර්කය අනුව, ලංකාවේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා විශාල වශයෙන් ඉන්දියාවට, බංග්ලා දේශයට හා නේපාලයට යන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න නිසාද?

ඉන්දික කරුණාතිලක විසින් ලියා ඇති සියලු දේ බොරු නොවේ. ඔහුගේ ලිපියේ ඇති බොහෝ දේ සමඟ මට එකඟ විය හැකිය. ඔහු සඳහන් කරන ඉහත "දුර්මත" පැහැදිලි සත්‍යයන්ද නොවේ. එහෙත්, ඔහුගේ විග්‍රහය ඉතා පැහැදිලිවම පක්ෂග්‍රාහීව හා වගකීමකින් තොරව ලියා ඇති ලිපියකි.

ඕනෑම පුද්ගලයකුට තමන්ගේ මතය වෙනුවෙන් පක්ෂග්‍රාහී ලෙස ලියන්නට අයිතියක් තිබේ. බොහෝ දෙනා එසේ ලියති. සමාජ ජාලා ව්‍යාප්තිය සමඟ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ අදහස් විශාල පිරිසක් වෙත ගෙනයාමේ ඉඩකඩ විවරව ඇති අතර මේ තත්ත්වය තුළ ඉන්දික කරුණාරත්න වැනි ශාස්ත්‍රාලීය තනතුරු දරන්නට, විෂය ප්‍රවීණයන්ට හා විශේෂඥයින්ට තිබුණු වටිනාකම අඩු වෙමින් පවතී. පුද්ගලයින්ට තිබුණු තැන අදහස් වලට ලැබී ඇත.

මේ තත්ත්වය දියුණුවක් වන්නා සේම එහි නිශේධනාත්මක පැත්තක්ද තිබේ. ඒ, සාමාන්‍ය පුද්ගලයෙකුට නිවැරදි තොරතුරු තෝරා බේරා ගැනීම අපහසු වීමයි. මේ අලුත් තත්ත්වයට විෂය ප්‍රවීණයන් හා විශේෂඥයින් ප්‍රතිචාර දැක්විය යුත්තේ තමන් ඉදිරියේ ඇති අභියෝගය හඳුනාගෙන තමන්ගේ විශේෂත්වය පෙන්වීමෙනි. එය කළ යුත්තේ ලිපියක අන්තර්ගතය තුළ වෙනස පිළිබිඹු වන්නට හැරීමෙන් මිස, පක්ෂග්‍රාහී හා සැලකිල්ලෙන් නොලියු ලිපියකට තමන්ගේ සුදුසුකම් ඈඳීම හරහා නොවේ.

කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙකු ලෙස ඉන්දික කරුණාතිලක විසින් ලියන ලිපියක් මඟින් ඔහු සමාජයට ප්‍රදර්ශනය කරන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේම පිළිබිඹුවක් බව ඔහු විසින් අමතක නොකළ යුතුය.

(Image: http://blogs.jpmsonline.com/2012/08/13/towards-improving-medical-education-whats-new-in-medicine/)

Monday, June 26, 2017

දොස්තර වර්ජන නිසා ලෙඩ්ඩු මැරෙනවද?


වෛද්‍යවරුන්ගේ සේවා වර්ජන සිදුවන අවස්ථා වලදී මරණ ප්‍රමාණය ඉහළ යන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. එය බැලූ බැල්මටම ඉතා තර්කානුකූල අදහසකි. එහෙත්, පර්යේෂණ අධ්‍යයන විශාල ගණනකින් පෙනී ගොස් ඇත්තේ එහි අනිත් පැත්තයි. වෛද්‍ය වර්ජනයක් සිදුවන බොහෝ අවස්ථා වලදී ඇත්තටම සිදු වී ඇත්තේ මරණ අනුපාතිකය පහත වැටීමයි.

මේ කරුණ අධ්‍යයනය කර පළ කර ඇති පර්යේෂණ පත්‍රිකා පිළිබඳ විමර්ශනයක් 2008 වසරේදී සෝෂල් සයන්ස් ඇන්ඩ් මෙඩිසින් විමර්ශිත ජර්නලයේ පළ විය. එහිදී, විමර්ශනයට ලක් කෙරුණු පර්යේෂණ පත්‍රිකා හතෙන් හතරකින්ම පෙන්වා දී තිබුණේ වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකය අඩු වන බවයි. වෛද්‍ය වර්ජන හේතුවෙන් මරණ අනුපාතිකයට බලපෑමක් නොවන බව ඉතිරි පර්යේෂණ පත්‍රිකා තුනෙන් පෙන්වා දී තිබුණේය. ඉන් පසුව පළ කෙරුණු පර්යේෂණ පත්‍රිකා වලින්ද ඉහත කරුණ තව දුරටත් තහවුරු කර තිබුණු අතර වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකය ඉහළ යන බව මෙතෙක් පෙනී ගොස් ඇත්තේ එක් පර්යේෂණ අධ්‍යයනයකදී පමණි.

එසේනම්, දොස්තරලා වර්ජනය කිරීම ලෙඩ්ඩුන්ට හොඳද?

වෛද්‍ය වර්ජනයක් සිදු වන විට වහාම සිදු කළ යුතු නැති ශල්‍ය කර්ම සිදු නොවේ. මෙවැනි ඇතැම් ශල්‍ය කර්මයක් කිරීමෙන් පසු පළමු දෙසතියක පමණ කාලය තුළ රෝගියා මිය යාමට සැලකිය යුතු ඉඩකඩක් තිබේ. වෛද්‍ය වර්ජනය නිසා එවැනි මරණ සිදු වීම කල් යයි. ඒ හේතුවෙන් කෙටිකාලීනව මරණ අනුපාතිකය පහත වැටේ. ඇතැම් පර්යේෂණ පත්‍රිකා වල පෙන්වා ඇති පරිදි වෛද්‍ය වර්ජනයක් අවසන් වූ පසු මරණ අනුපාතිකය ඉහළ යයි. මේ නිරීක්ෂණය ඉහත පැහැදිලි කිරීම සමඟ සැසඳේ.

ලංකාවේ මෙන්ම වෙනත් බොහෝ රටවලද වෛද්‍ය වර්ජන සිදු කරන අවස්ථා වලදී අසාධ්‍ය ලෙඩුන් සඳහා දිගටම ප්‍රතිකාර සිදු කෙරේ. වෙනත් විදිහකින් කියනවානම් වර්ජනය තිබුණා කියා මැරෙන්නට යන බව පෙනෙන අසාධ්‍ය ලෙඩෙක් මැරෙන්නට හැරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ. මරණ අනුපාතිකය පහත නොවැටීමට මෙයද හේතුවකි.

වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකයට ඇති බලපෑම දිගුකාලීන එකකි. මෙවැනි අවස්ථාවක අසාධ්‍ය නොවන රෝගීන්ගේ රෝග විනිශ්චය කිරීම් සිදු නොවන බැවින් එවැනි දේ කල් දැමේ. මේ හේතුව නිසා, බොහෝ රෝගීන්ගේ එකවර පෙනෙන්නට නැති රෝග තත්ත්වයන් හඳුනා ගනු ලැබීම ප්‍රමාද වේ. එහි අවසන් ප්‍රතිඵලය මරණය වන්නට පුළුවන. කෙසේ වුවද, වෛද්‍ය වර්ජන වල කෙටිකාලීන බලපෑම ගැන මිස දිගුකාලීන බලපෑම ගැන පුළුල් අධ්‍යයනයන් සිදු කෙරී නැත.


(Image: https://www.thelocal.de/20120110/40021)

Friday, June 23, 2017

මරාගෙන මැරෙන්නට පෙර...


සයිටම් විරෝධී අරගලය මරාගෙන මැරෙන සටනක් බවට පරිවර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. එය කණගාටුදායක තත්ත්වයකි. මේ ගැන ලිවිය යුතු බොහෝ දේ වෙනත් තැන් වල ලියැවී ඇතත්, කරුණු සිදුවේගෙන යන ආකාරය පෙනෙන විට යමක් නොලියා සිටිය නොහැකිය.

මේ අරගලයත්, අසූව දශකයේදී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඇරඹුණු අරගලයත් අතර බොහෝ සමානකම් ඇති අතර කැපී පෙනෙන වෙනස්කම්ද තිබේ. සයිටම් විරෝධී අරගලයේ ශක්තිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෛද්‍යවරුන් වුවත්, එහි ගාමක බලවේගය වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ය. ඔවුන් පසුපස සිටින දේශපාලන බලවේගය පෙසපෙ විය යුතුය. එහෙත්, අරගලයට සම්බන්ධ සරසවි සිසුන්ගෙන් බහුතරය වැඩිම වුනොත් පෙසපෙට අනුකම්පාව දක්වන්නන් මිස පෙසපෙ කාඩර් වරුන් හෝ සාමාන්‍ය සාමාජිකයින් විය නොහැකිය.

අරගලය හා සම්බන්ධව සිටින වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වෘත්තීය (ආර්ථික) ප්‍රශ්නයක් වුවත්, සංගමයේ නිලධාරීන්ට දේශපාලන අරමුණුද ඇති බව පෙනේ.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැන නැඟුණු අරගලය හා එයින් පසුව සිදුවුණු ක්‍රියාදාමය අවසන් වුණේ 1989 පමණ වෙද්දීය. පෞද්ගලික අත්දැකීම්ද ඇතුළුව මේ කාලය ගැන ලියන්නට ඕනෑ තරම් දේවල් ඇතත් කෙළවරක් නැති ලියවිල්ලක් විය හැකි මෙය අපි අනාගතයට තබමු. එතැන් සිට, මේ වන තුරු, වසර 28ක් ගෙවී ගොස් තිබේ. අද වයස අවුරුදු 35ක් වන අයෙකු ඒ වන විට අවුරුදු හතක දරුවෙකි. සයිටම් විරෝධී අරගලය වෙනුවෙන් පෙළ ගැසී සිටින සරසවි සිසුන් සියලු දෙනාම වාගේ ඒ යුගයෙන් පසුව ඉපදුණු අයයි. සයිටම් විරෝධී තරුණ වෛද්‍යවරුන්ගෙන් කොටසක්ද ඒ යුගය ගැන මතකයක් නැති අයයි.

එපමණක් නොවේ. සයිටම් විරෝධී සටන් මර්දනය කිරීමට පෙරමුණට යැවෙන පොලිස් නිලධාරීන්ද දශක හතරකට පෙර සිදුවුණු ක්‍රියාදාමය ගැන තමන්ගේම වූ අත්දැකීම් නැති අයයි. වත්මන් ක්‍රියාදාමය තවත් ඉදිරියට ඇදී ගියහොත් මර්දනය සඳහා යොදාගනු ඇත්තේද, එම යුගය ගැන අත්දැකීම් නැති බහුතරයකගෙන් සමන්විත තරුණ ආරක්ෂක හමුදා සාමාජිකයින් කණ්ඩායමකි.

සටනේ ඉදිරිපෙළ තත්ත්වය මෙසේ වුවත්, පසුපෙළ තත්ත්වය එසේ නොවේ. පසුබිමේ සිට අරගලය මෙහෙයවන්නේත්, අරගලයට ප්‍රතිපක්ෂව සිටින්නේත් අසූව දශකය ගැන මනා අත්දැකීම් ඇති අයයි. මේ දෙපිරිසම පසුගිය වර සාර්ථක වූ උපාය මාර්ගයන් නැවත අත්හදා බලන්නටත්, අසාර්ථක වූ උපාය මාර්ග ගැන සැලකිලිමත් වන්නටත් පරිස්සම් වනවා විය යුතුය. නරකම
ත්ත්වයන් යටතේ, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ වඩා දිග්ගැස්සුණු, වඩා විනාශකාරී ඝට්ඨනයකි. කොරහේ කිඹුලන් සිටිය නොහැකි වුවත් හූනන් මෙන් පෙනෙන්නේ කිඹුල් පැටවුන් වන්නට බැරි නැත.

හැත්තෑ එකේ සිට අසූ අට/ අසූ නවය දක්වා පැමිණෙද්දී සිදු වුණේද මෙවැන්නකි. පළමු අවස්ථාවේදී මාස දෙක තුනකින් අවසන් වූ ගැටුම, දෙවන අවස්ථාවේදී වසර දෙක තුනක්ම දිග් ගැසුණේය. දෙවන වර සිදු වූ ආර්ථික හා සමාජයීය විනාශය පළමු වර මෙන් කොපමණ ගුණයක්ද කියා මා මෙහි විස්තර කරන්නට යන්නේ නැත. මේ ගැටුම් දෙකේ දිගුවක් ලෙස යම් හෙයකින් සිදු විය හැකි තෙවන ගැටුමක් ලංකාවේ සමාජය විසින් පෙර අත්දැක නැති තරම් විනාශකාරී විය හැකි අතර, කාලයක් තිස්සේ ලංකාව විසින් ලබාගෙන ඇති කිසියම් ආර්ථික හා සමාජයීය ජයග්‍රහණයන් ඇත්නම් ඒ සියල්ල නැවත විශාල කාලයකට ගොඩනැගිය නොහැකි වන පරිදි ආපසු හරවනු ඇත.

පෙර නොවූ වීරූ අති විශාල ජනවරමක් ලබා ජේආර් ජයවර්ධන බලයට පත් වීමෙන් වසර දෙක තුනකට පසුව, 1980දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙරෙන විට, වසර කිහිපයකට පසුව එයට විරුද්ධව ඇති වූ ප්‍රතිරෝධයට සාපේක්ෂව, එයට විශාල ප්‍රතිරෝධයක් ඇති වුනේ නැත. ජේආර් ජයවර්ධන රජය විසින් එම වසරේ ජූලි මාසයේදී රාජ්‍ය සේවක වැඩ වර්ජනය මර්දනය කර තිබූ ආකාරය අනුව එවැනි ප්‍රතිරෝධයක් දැක්වීමට ලොකු ඉඩක් තිබුණේද නැත. මෙයට සාපේක්ෂව එයින් වසර කිහිපයකට පසු රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසුණු අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධතාවන් රට පුරාම පුළුල් මට්ටමින් සිදු විය. ඇතැම් විට පළමු අවස්ථාව වන විට ජවිපෙ සරසවි තුළ ප්‍රමුඛ බලවේගය ලෙස සංවිධානය වී නොතිබීමත්, දෙවන අවස්ථාව වන විට එසේ සංවිධානය වී තිබීමත් මෙයට හේතු වූවා විය හැකිය. අසූව දශකයේ මුල කාලයේ සරසවි ඇතුළත පැවති දේශපාලන බලතුලනය ගැන මට වැඩි අදහසක් නැත.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධය නැවත මතු වුණේ එහි ඉගෙනුම ලැබූ පළමු ශිෂ්‍ය කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාලයේ MBBS උපාධිය පිරිනැමීමට සූදානම් වීමත් සමඟය. මේ කාලය වන විට (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හැර) ලංකාවේ වෛද්‍ය පීඨ තිබුණේ හතරක් පමණි. ඒ කොළඹ, පේරාදෙණිය, කරාපිටිය (රුහුණ) හා යාපනය වෛද්‍ය පීඨයි. මගේ අදහස පරිදි ඒ වන විට කරාපිටියේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් උපාධිය ලබා පිටවී නොතිබුණු අතර යාපනය වෛද්‍ය පීඨයෙන්ද වැඩිම වුනොත් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් වෛද්‍ය වෘත්තියට පිවිස තිබෙන්නට ඇත.

ඒ කාලයේ, වෛද්‍යවරයෙකු වීමේ සිහිනය තිබූ බොහෝ දෙනෙකුගේ ඉලක්කය වූයේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමයි. ලංකාවේ බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලබාදුන් පැරණිම ආයතනයක් වූ කොළඹ වෛද්‍ය පීඨයේ MBBS උපාධියට ඒ වන විට රටේ විශාල පිළිගැනීමක් තිබුණේය. පේරාදෙණියේ වෛද්‍ය උපාධියටද විශාල පිළිගැනීමක් තිබුණත් පේරාදෙණිය සිටියේ කොළඹට පිටුපසිනි. රටේ බොහෝ දෙනෙක් මෙඩිකල් කොලේජ් එක කියා දැන සිටියේ කොළඹ වෛද්‍ය පීඨයයි.

යාපනය වෛද්‍ය උපාධියට තිබුණු ඉල්ලුම ගැන මට අදහසක් නැතත්, කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ මුල් කණ්ඩායම් වලට තේරුණු මා දැන සිටි බොහෝ දෙනෙක් ඒ කාලයේ සිටියේ කොළඹට හෝ පේරාදෙණියට යන්නට නොලැබීම ගැන කනස්සල්ලෙනි. ඔවුන් වැඩි දෙනෙකුගේ අදහස වුනේ රුහුණෙන් තමන්ට ලබාගන්නට වෙන්නේ කොළඹින් හා පේරාදෙණියෙන් ලැබෙනවාට වඩා "බාල" උපාධියක් බවයි. ඒ වන විට, රුහුණෙන් පිටවූ වෛද්‍යවරුන් රජයේ සේවය තුළ නොසිටි නිසා, අනාගතයේදී රජයේ රැකියා ලබාදීමේදී කොළඹට හා පේරාදෙණියට ප්‍රමුඛතාවය දීමෙන් අනතුරුව දුෂ්කර පත්වීම් පමණක් තමන්ට ඉතිරි වෙනු ඇතැයි වැනි අදහසක්ද ඔවුන්ට තිබුණේය. වෘත්තියෙන් පිටත, විවාහ වෙළඳපොළ වැනි තැන් වලදී හා සමාජ ජීවිතයේදීද (සිංහ හෝ රොටරි සමාජයක සාමාජිකත්වය ගැනීම වැනි) වෛද්‍ය උපාධිය ගත් තැන අනුව වෙනසක් තිබුණා විය හැකිය.

උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට තබා ජීව විද්‍යාව හැදෑරීම සඳහාවත් තේරෙන්නට අසමත්ව සිටියදී, මුදල් ගෙවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ පිරිසකට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනමන්නට සූදානම් වුණේ මෙවැනි පසුබිමකය. මෙය ප්‍රශ්නයක් වුණේ වෛද්‍ය ශිෂ්‍යයන්ට පමණක් නොවේ.

සරසවි සිසුන් විසින් බොහෝ විට මානසිකව උපාධි ධුරාවලිය තුළ තමන්ගේ උපාධියට තිබෙන තැන ස්ථාපනය කර ගත්තේ වෛද්‍ය උපාධියට සාපේක්ෂවය. වෛද්‍ය උපාධි අතරින්ද උඩින්ම තිබුණේ කොළඹ වෛද්‍ය උපාධියයි.
එවක බොහෝ සරසවි සිසුන් විසින් සිතූ පරිදි, උසස්පෙළ විභාගයෙන් සරසවි පිවිසුම් මූලික සුදුසුකම් සැපිරීමටද නොහැකි වූවන්ට මුදල් ගෙවා ඇතුළු විය හැකිව තිබුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන්නන් වෙනුවෙන් ලැබිය යුතුව තිබුණු උපාධිය උපාධි ධුරාවලියේ පහළින්ම තිබිය යුත්තක් විය. පසුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන ඉදිරියට ඇදී යද්දී අන්තරේට සම්බන්ධ සරසවි සිසුන් විසින් අපව දැනුවත් කළ පරිදි, රාගම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවශ්‍ය මූලික සුදුසුකම උසස්පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් වූ අතර, එයද නැති අයත්, ගෘහ විද්‍යාව වැනි විෂයයන්ගෙන් උසස් පෙළ සමත් වූ අයද එහි ඉගෙනුම ලබමින් සිටියහ. මේ තොරතුරු වලට පදනමක් තිබුණේදැයි මා අදටත් දන්නේ නැත.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කොළඹ සරසවියේ උපාධිය දීමේ ඇත්තටම ප්‍රශ්නයක් තිබුණේය. එය පැහැදිලි ප්‍රශ්නයක් විය.


උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධය ඇති වන කාලය වන විටද සරසවිය සමජාතීය සිසුන්ගෙන් සැදුම්ලත් තැනක් නොවීය. වෛද්‍ය පීඨ සිසුන්ට තිබුණු රැකියා සුරක්ෂිතභාවය හා සමාජ පිළිගැනීම කලා පීඨ වල සිසුන්ට නොතිබුනේය. තනි තනිව ගත් විට වෙනස් උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැකි වුවත්, වෛද්‍ය පීඨ සිසුවෙකුගේ සාමාන්‍ය සමාජ ආර්ථික පසුබිමද, කලා පීඨ සිසුවෙකුගේ එම පසුබිමට වඩා තරමක් උඩින් තිබුණේය. මේ ආදී හේතු නිසා ඒ කාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ශිෂ්‍ය සටන් වෙත ආකර්ෂණය වුනේ කලාතුරකිනි. අනෙක් බොහෝ පාඨමාලා වලට සාපේක්ෂව වැඩ අධික හා අමාරු පාඨමාලාවක් හදාරමින් සිටි ඔවුන්ට ශිෂ්‍ය සටන් වලට වඩා වැදගත් වැඩ තිබුණේය. කොළඹ වෛද්‍ය පීඨය තුළ මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුනේය.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය වෙනත් ශිෂ්‍ය සටන් වලින් කැපී පෙනුණු ප්‍රධාන කරුණක් වූයේ (ඇතැම් විට මුල් වරට) වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් විශාල පිරිසක් ශිෂ්‍ය සටනක් වෙත ආකර්ශනය කරගන්නට හැකි වීමයි. ඒ කාලයේ සරසවි සිසුන් වූ ඇතැම් අයගේ වචන වලින් කියන්නේනම් "මෙඩ්ඩෝ එළියට ගත්තා කියන්නේ" ශිෂ්‍ය ව්‍යාපාරයට ලබා ගත හැකිව තිබුණු විශාල ජයග්‍රහණයකි. මේ සමඟම විශ්ව විද්‍යාල ඉතිහාසය පුරාම දේශපාලන මතවාද අනුව බෙදී, විවිධ දේශපාලන පක්ෂ හෝ කල්ලි වටා එකතුව සිටි සිසු කණ්ඩායම් වලින් සමන්විත වූ ශිෂ්‍ය ව්‍යාපාරයට (යාපනය සරසවිය හැර) සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම ව්‍යාප්ත වුනු, ශිෂ්‍ය දේශපාලනයට අමතරව මතු පිටින් පෙනෙන වෙනත් දේශපාලනයක් නැති, තනි ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස හිස ඔසොවන්නට හැකි විය.

ඉහත කී ලෙස මෙඩ්ඩන්ද එළියට බැසීමට හේතු වුණේ පළමු වරට ඔවුන්ටද රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ සැකයක් මතු වීමයි. වඩාත් නිවැරදිව කියනවානම්, එවැනි සැකයක් ඔවුන් තුළ පැල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවන්ට හැකි වීමයි. රස්සා නැතුව වේලෙන ආටන්ගේ තත්ත්වයට පත් වන්නට සිදුවීම මෙන්ම සමාජ ධුරාවලිය තුළ තමන්ගේ තැන පසු කර ඉහළට යාමේ විභවයක් ඇති පිරිසක් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට පිටතින් මතු වීම මෙඩ්ඩන්ට පෙනෙන්නට වූ භයංකාර සිහිනයක් විය. ඒ අනුව, සටන් පෙරමුණට මෙඩ්ඩන්ගේ දායකත්වයද ලැබුණේය.

ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරමුණට ආ මෙඩ්ඩන් ගණන ඉතා විශාල නොවූවත් එසේ පැමිණි අයට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ විශේෂ තැනක් හිමි විය. මෙය ජවිපෙ තුළ සිටින සීමිත දෙමළ, මුස්ලිම් හෝ කාන්තා නියෝජිතයින්ට විශේෂ තැනක් ලැබෙනවාක් වැනි තත්ත්වයකි. ඒ, ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට ගෙන යාමේදී මෙඩ්ඩන්ගේ සංකේතාත්මක වැදගත්කම ඉතා විශාල වූ බැවිනි. සම්ප්‍රදායික "අල පාත්ති" වූ මෙඩ්ඩන්ද සටන් පෙරමුණට පැමිණ සිටිද්දී වෙනත් පීඨයක සිසුවෙකුට මේ "ශිෂ්‍ය ව්‍යාපාරයේ උර මත පැටවුණු ඓතිහාසික වගකීම" මග හැර මෙඩ්ඩෙකුටත් වඩා අලයෙකු වීමේ හැකියාවක් නොතිබුණේය.

අසූව දශකය වන විට ලංකාවේ උපාධිධාරී බටහිර වෛද්‍යවරුන් සිටියේ අද සිටිනවාට වඩා බොහෝ අඩු ගණනකි. ඒ නිසා, ඔවුන්ට වෙළඳපොළ තරඟය ලොකු ප්‍රශ්නයක් වුණේ නැත. වෙළදපොළ තරඟය තුළ ඔවුන්ට පෙර එළියට විසිවෙන්නට නියමිතව සිටි සහකාර වෛද්‍යවරුන් වැනි වෙනත් පිරිස්ද සිටි නිසා ඔවුන්ට ළඟ පෙනෙන තර්ජනයක් නොපෙනුණේය. ඒ නිසා, වෛද්‍ය සිසුන් මුහුණ දුන් තරමේ ප්‍රශ්නයකට එවකට වෘත්තියේ නියැලෙමින් සිටි වෛද්‍යවරුන්ට මුහුණ දෙන්නට සිදු වුනේ නැත.

අද වන විට ලංකාවේ රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ට වඩා පහළින් වෙනත් කණ්ඩායම් නැති අතර ඔවුන් අතර තරඟයද දශක හතරකට පෙර පැවතියට වඩා බොහෝ වැඩි වී තිබේ. ඒ කාලයේ, ලොකු වෙළදපොළ වටිනාකමක් තිබුණු සමාන්තර වෘත්තියක් වූ නීති වෘත්තියට පිවිසෙන්නට සුදුසුකම් ලබන බොහෝ දෙනෙකුට අද රැකියාවක් ලබා ගැනීම අසීරු කාර්යයක් වී තිබේ. වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින සාපේක්ෂව අකාර්යක්ෂම වෘත්තිකයින්ගේ ලාභ ආන්තික තවදුරටත් එසේම පවත්වා ගත හැක්කේ
වෙළදපොළ තරඟය කෙසේ හෝ අවම කර ගැනීමෙන් පමණි. ඒ සඳහා, වෘත්තියට අලුතෙන් පිවිසෙන ප්‍රමාණය සීමා කර ගත යුතුය.

තත්ත්වය එසේනම් රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කර වැඩි පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය. සරලවම කියනවානම්, මෙය සිදු නොවන්නක් බව ඔවුහු දනිති. රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය විශාල ලෙස පුළුල් වීම ප්‍රායෝගිකව සිදු නොවන්නකි.

අනෙක් අතරට සයිටම් යනු අයිස් කන්දක ශිඛරයයි. මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්නට සූදානම් පිරිස් තවත් ලංකාවේ ඕනෑ තරම් සිටිති. සයිටම් සාර්ථක වීම යනු, මේ ඉල්ලීම සපුරාලනු පිණිස තව තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක්  බිහිවීමකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රට තුළ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම ඉහළ ගොස් වෛද්‍ය වෘත්තියේ සුපිරි ලාභ ආන්තික නැති වීමයි. එහෙත්, තරඟය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෛද්‍ය වෘත්තිකයින් යොදන විශාල මූල්‍යමය හා මූල්‍යමය නොවන අවදානම් වෙනුවෙන්ද, ඔවුන් ගන්නා අවදානම් වෙනුවෙන්ද ලැබෙන ලාභ ආන්තික ඔවුන්ට අහිමි වීමට ඉඩක් නැත. සුපිරි ලාභ අහිමි වුවද, මෙසේ ඉතිරිවන ලාභ ආන්තික වෛද්‍යවරුන්ට තවදුරටත් සමාජ ධුරාවලිය තුළ තමන්ට හිමි තැන පවත්වා ගැනීමට තරම් ප්‍රමාණවත් වනු ඇත. තරඟය හේතුවෙන් ඇමරිකාවේ සමාජ ධුරාවලිය තුළ වෛද්‍යවරුන්ගේ ස්ථානය තර්ජනයට ලක්වී නොමැත.


ලංකාවේ සිටින වෛද්‍ය අධ්‍යාපනය ලබා ගන්නට කැමති හා ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් සම්පූර්ණ කිරීමේ ශක්‍යතාවයක් ඇති සියල්ලන්ටම රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ හරහා ඒ අවස්ථාව නොලැබෙන බැවින් ලංකාව තුළ වෛද්‍යවරුන් බිහිවන්නේ සිටිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ වෛද්‍ය සේවාවන් සඳහා වන ඉල්ලුම සැපිරීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය සේවා සැපයුමක් නැත. මේ හේතුවෙන් වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට නියම මිලට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු වන අතර, වෛද්‍ය වෘත්තිකයින්ට ඔවුන් විසින් ගන්නා අවදානමට හා සිදු කරන ආයෝජනයට සරිලන නියම ලාභයට වඩා වැඩි සුපිරි ලාභයක් ලැබීමේ අවස්ථාව හිමිව තිබේ.

සයිටම් නිසා ඉහත තත්ත්වය ක්ෂණිකව විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් ඇති වී නැත. එය තවමත් රටේ විශාල පිරිසකට තෝරාගත හැකි විකල්පයක්ද නොවේ. එහෙත්, රජයේ වෛද්‍ය පීඨයක් හරහා සිය වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට ඉඩක් නැති විශාල පිරිසකට එය සිය ඉලක්කය කරා ලඟා විය හැකි විකල්ප මාර්ගයකි.

සයිටම් ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් , ඒ ආකෘතියේ වෛද්‍ය විද්‍යාල තවත් බිහි වන්නට ඉඩ තිබේ. තරඟය වැඩි වීමත්, රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ අවිනිශ්චිතතාවයන් අඩු වීමත් නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැය කළ යුතු මිල තව දුරටත් පහත වැටෙන්නට ඉඩ ඇති අතර නිසි නියාමනයක් ක්‍රියාත්මක වේනම් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පහත වැටෙන්නටද හේතුවක් නැත. එහි වාසිය අවසාන වශයෙන් ලංකාවේ වෛද්‍ය සේවා ලබාගන්නා පාරිභෝගිකයින්ට හිමි වනු ඇත. එහෙත්, වෛද්‍ය වෘත්තිකයින්ගේ සුපිරි ලාභ වලට එයින් පහරක් වැදේ.

වෛද්‍ය වෘත්තිකයෝ මෝඩයෝ නොවෙති. ඔවුන්ට ඉහත තත්ත්වය ගැන මනා අවබෝධයක් තිබේ. වෛද්‍යවරුන්ගේ සයිටම් විරෝධය මරාගෙන මැරෙන තත්ත්වයට උග්‍ර වී තිබෙන්නේ ඔවුන් විසින් අනාගතයේදී මහ ගසක් වී පැල බෝ කරන්නට නියමිත සයිට්ම් වෘක්ෂය පොරොවකින් තබා බැකෝ යන්ත්‍රයකින්වත් ඉවත් කළ නොහැකි ලෙස පැලපදියම් වන්නට පෙර නියපොත්තෙන් කඩා දැමීමට ගන්නා උත්සාහය තුළදීය.

තනි පුද්ගලයින් වශයෙන් හා කණ්ඩායමක් වශයෙන් තමන්ගේ යහපත පිණිස හේතුවන කරුණක් වෙනුවෙන් පෙනී සිටින්නට හා ඒ වෙනුවෙන් කතා කිරීමට වෛද්‍ය වෘත්තිකයින්ට අයිතියක් තිබේ. එහෙත්, රජයක් විසින් එවැනි ඉල්ලීමකට ඉඩ දිය යුත්තේ එයින් වෙනත් පුද්ගලයින්ගේ හා කණ්ඩායම් වල යහපතට බාධාවක් වන්නේදැයි සලකා බැලීමෙන් පසුවය.

සයිටම් යනු මූලික වශයෙන් ස්වේච්ඡාවෙන් මුදල් ගෙවා එහි ඉගෙන ගන්නා ශිෂ්‍යයන් හා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන එහි පරිපාලකයින් අතර සිදුවන නිදහස් ගනුදෙනුවකි. තෙවන පාර්ශ්වයන්ට හානියක් සිදු නොවන තාක් කල්, රජය එවැනි නිදහස් ගනුදෙනුවකට බාධා නොකළ යුතුවා පමණක් නොව, එවැනි නිදහස් ගනුදෙනුවකට කිසියම් බාධාවක් හෝ බාධාවන් ඉවත් කර දීම රජයක මූලික වගකීමක්ද වේ.

කෙසේ වුවද, වෛද්‍ය අධ්‍යාපනයේ අරමුණ වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරීමයි. සයිටම් මඟින් බිහි කරන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් ඇත්නම් එය ඔවුන්ගෙන් වෛද්‍ය සේවාවන් ලබා ගන්නා තවත් බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නයක්ද වෙයි. මේ අනුව, සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳව සයිටම් විරෝධීන් විසින් මතු කළ විවේචන වලට පදනමක් තිබුණේය.

සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳව මතු කෙරුණු ප්‍රශ්න වලට රජය විසින් මේ වන විට පැහැදිලි විසඳුම් ලබා දී තිබේ. එයට අමතරව, රජයක් විසින් සිදු නොකළ යුතු මට්ටමේ මැදිහත් කිරීමක් කරමින් සයිටම්හි අයිතිය පිළිබඳව මතු කළ විවේචන වලටද විසඳුම් දී තිබේ. එහෙත්, සයිටම් විරෝධීන් එයින් සෑහීමකට පත් වී නැත. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි සහතිකය පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දීමෙන් පසුව එම සටන අවසන් නොවීමට හැම අතින්ම වාගේ සමානය. එවර, උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් දීමෙන් පසුව උතුරු කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නා තුරුම අරගලය දිග්ගැස්සුණු අතර, සයිටම් අරගලයද සයිටම් ආයතනය රජයට පවරා ගන්නා තුරු නොනවතින 'මරාගෙන මැරෙන' සටනක් බවට මේ වන විට පරිවර්තනය වී තිබේ.

සයිටම් ආයතනය ජනසතු කරන මෙන් කෙරෙන ඉල්ලීම රටේ සීමිත පිරිසකගේ ඉල්ලීමක් මිස වැඩි දෙනෙකුගේ අවශ්‍යතාවයක් නොවේ. එහෙත්, සයිටම් විරෝධී බලවේගය පුළුල් බලවේගයකි. මේ බලවේගය සමඟ වෛද්‍ය සංගමය තුළ ගොනුවී සිටින රජයේ වෛද්‍යවරුන්, සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක්ද ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ක්‍රියාත්මකව සිටින බව පෙනේ. කෙසේ වුවද, මේ පුළුල් එකමුතුව හමුවේ වගකිවයුතු රජයකට නම්‍යශීලී විය හැකි උපරිමයටම මේ රජය මේ වන විට නම්‍යශීලී වී තිබේ. මෙය සමාන කළ හැක්කේ උතුරේ ඊළාම් ඉල්ලීම් හමුවේ ෆෙඩරල් විසඳුමක් දෙන තැනකට රජය නම්‍යශීලී වීමෙන් පසුවද තවත් දේ ඉල්ලීමටය. රජයෙන් මස් රාත්තලම ඉල්ලද්දී රජය විසින් එය ලබාදීම තුළ සිදු වන්නට ඉඩ ඇත්තේ රජයෙන් තවත් මස් රාත්තල් දෙකක් හෝ වැඩි ගණනක් ඉල්ලා සිටීම පමණි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදී ජවිපෙ විසින් සිදුකළ කාර්යය අද කරන බව පෙනෙන්නේ පෙසපෙ විසිනි. එදා ශ්‍රීලනිපය සිටි තැන අද ඒකාබද්ධ විපක්ෂය සිටී, එදා පැරණි වාමාංශික පක්ෂ සිටි තැන අද සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් එදා පැවති තත්ත්වය හා අද පවතින තත්ත්වය හරියටම සමාන නැත.


උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය ඇරඹෙන විට ජයවර්ධන රජය සෑහෙන කාලයක් ආණ්ඩු කර තිබුණු අතර රටේ පුළුල් හා සැඟවුණු ජයවර්ධන විරෝධයක් තිබුණේය. එයින් වෙනස්ව, මේ රජය බලයට පත්වී තවමත් වැඩි කලක් ගෙවී නැත. එසේ වුවත්, ජනප්‍රිත්වය අතින් මේ රජය සිටින්නේ එදා ජයවර්ධන රජය සිටියාට වඩා පිටුපසිනි. ජයවර්ධන රජය විසින් පැවැත්වූ මැතිවරණ සර්ව සාධාරණ ලෙස පැවැත්වුනේ නැතත්, එසේ පැවැත්වුනද බොහෝ විට ඉදිරියෙන් සිටින්නට ඉඩ තිබුණේ එජාපයයි.

වත්මන් රජයට මේ වන විට මැතිවරණයකට මුහුණ දෙන්නට තරම්වත් ආත්ම විශ්වාසයක් තිබෙන බව නොපෙනේ. කෙසේ වුවත්, මේ රජයට එරෙහිව රටේ තිබෙන බව පෙනෙන්නේ එදා ජයවර්ධන රජයට එරෙහිව තිබුණු ආකාරයේ සැඟවුණු විරෝධයක් නොව අප්‍රසාදයක් හා බලාපොරොත්තු කඩ වීමකි. ජයවර්ධන රජයට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේගය හරහා එම රජය බිඳ දමා බලයට පත් වීමට එදා ශ්‍රීලනිපය සිහින මැවුවේය. අද ඒකාබද්ධ විපක්ෂයද එවැනි සිහිනයක් තුළ ජීවත් වන බව පෙනේ.

එදා ජවිපෙ සැලසුම වුනේ ශ්‍රීලනිපය පහුරක් කරගෙන ගඟෙන් එගොඩ වී පහුර අත්හැර දැමීමයි. ඔවුහු එය ඒ අයුරින්ම කළෝය. අද සරසවි සිසුන් පිටුපස සිටින දේශපාලන නායකත්වය විසින් ඉව අල්ලනවා විය යුත්තේද එවැන්නකට වන්නට පුළුවන. මේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම නොව ඒ අරගලය හරහා වඩා පුළුල් දීර්ඝකාලීන අරගලයකට මාවත් විවර කර ගැනීමට හා අවසාන වශයෙන් රාජ්‍ය බලය වෙත කෙටි මාර්ගයක් සෙවීමටය. රාජ්‍ය මර්දනය ඉක්මනින් ආරම්භ වන තරමට ඒ කටයුත්ත පහසු වේ.

එක්ටා විරෝධයක් ලෙස මතු විය හැකිව තිබුණු මේ සැලසුම්ගත අරගලය අද වන විට සයිටම් විරෝධය හරහා මතු වී තිබේ. රජය විසින් එක්ටා සැලසුම් මුලින් සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කළේනම් අද වෛද්‍යවරුන් පමණක් සිටින තැන වෙනත් වෘත්තීය කණ්ඩායම් ගණනාවක්ද සිටිනු දැක ගත හැකි විය යුතුව තිබුණි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා අදාළ ඉල්ලීම් ඉටුවීමෙන් පසුව අරගලය තවත් ව්‍යාප්ත වී ඉදිරියට ගියා මිස අවසන් වුනේ නැත. ඒ අරගලය මෙන්ම එයින් පසුව සිදු වූ ලංගම වර්ජනයද ජයග්‍රහණයෙන් අවසන් විය. ඒ කාලයේ හැටියට සැලකිය යුතු මුදලක් වූ රුපියල් 2500ක අවම වැටුපක් ඉල්ලා සිදු කෙරුණු මේ වර්ජනය සම්ප්‍රදායික වර්ජන සිදුවන ආකාරයට සිදු වූවක් නොවේ. පෞද්ගලික බස්ද ඇතුළුව බස් ධාවනය සම්පූර්ණයෙන් තහනම් කරමින් හා සේවයේ යෙදෙන්නන්ට මරණ තර්ජන කරමින් (හා ඇතැම් තැන් වල ඒ මරණ තර්ජන ක්‍රියාත්මක කරමින්) සිදු කළ එකකි. මේ ආකාරයේ බස් වර්ජන එයින් පසුවද අඩුවක් නැතුව සිදු වුණේය.

මට හොඳින්ම මතක තිබෙන්නේ මගේ ඉංග්‍රීසි උපගුරු පත්වීම හා අදාළ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා (සහතික පෙන්වා පත්වීමේ ලිපිය ලබා ගැනීමට) ඉසුරුපායට යන්නට සිදු වුනු ආකාරයයි. දේජව්‍යා විසින් බස් ධාවනය තහනම් කර තිබුණු එදින මා සතුව එවකට තිබුණු හොඳම කමිසය හා කලිසම ඇඳගෙන සූදානම් වුවත්, කොට්ටාව හන්දිය දක්වා සැලකිය යුතු දුරක් යන්නට සිදුවුනේ පාරේ යන ලොරියකට අත දමා නවත්වාගෙන එහි පිටුපස තට්ටුවේ වාඩි වී හතර අතට පැද්දෙමින් හා ගැස්සෙමිනි. බිම වාඩි වෙන්නට එළාගත් දූවිලි පින්තාරු වුනු ලේන්සුව කොට්ටාවේදී වීසි කර දැම්මෙමි. හමුදා නිලධාරියෙකු විසින් ධාවනය කළ බසයක එතැන් සිට බත්තරමුල්ලට යන්නට හැකි විය.

ජාතික හැඳුනුම්පත අතේ නොතිබුනේනම් මේ සම්මුඛ පරීක්ෂනයට යන්නට හෝ පත්වීම ලබාගන්නට ඉඩක් නොලැබිය හැකිව තිබුණු අතර මේ දවස් වල අපේ නිවස අසල පාරවල් වල හැඳුනුම්පත් දේජව්‍යා විසින් එකතු කර ගනිමින් තිබුණේය. හැඳුනුම්පත් එකතු කරගැනීම සඳහා අපේ නිවසටද මේ අය කොයි වෙලාවක හෝ පැමිණෙන්නට ඉඩ තිබුණු නිසා අදාළ සම්මුඛ පරීක්ෂණයට පෙර රාත්‍රිය මා ගතකළේ විශාල මානසික පීඩනයකිනි. අතට ලැබුණු ගුරු පත්වීම අන්තිම මොහොතේ නැති කර ගන්නට මට අවශ්‍ය නොවීය.

මේ කාලය වන විට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම වෙනුවෙන් ඇරඹුණු අරගලයට තවත් ඉල්ලීම් රැසක් එකතු වී තිබුණේය. පළාත් සභා අහෝසි කිරීම, ඉන්දීය "වඳුරු හමුදාව" එළවීම, ජවිපෙ තහනම ඉවත් කිරීම හා රජය ඉල්ලා අස්වීම වැනි ඉල්ලීම්ද ඒ අතර විය. මේ අරගලයෙන් ඉවත්ව සිටීමේ හෝ එයට විරුද්ධ වීමේ හැකියාවක්ද අපට නොතිබුණේය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා රට පුරා පිහිටවූ දෙමවුපිය සංගම් වලට අපේ දෙමවුපියන්ටද සහභාගී වන්නට සිදු විය.

ජවිපෙ පන්ති වලට සහභාගී නොවූ හා ජවිපෙ සාමාජිකයින් නොවූ අපට නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් අලවන්නට සිදුවූ පෝස්ටර් වල තිබුණු සටන් පාඨ මොනවාද කියා අපට දකින්නට ලැබුණේ ඒවා ඇලෙවුවාටද පසුවය. ඒ කාලයේ ජීවිතය මරණයෙන් අවසන් වන්නට මෙවැනි පෝස්ටරයක් අතේ තිබී අසුවන්නට අවශ්‍ය නොවීය. ජවිපෙ කැරැල්ලට පක්ෂපාතී මතයක නොසිටි රාවය සඟරාවක් වැනි දෙයක් හෝ සරසවි ශිෂ්‍ය හැඳුනුම්පතක් වැනි දෙයක් අතේ තිබී හමුවීම වුවද ඒ සඳහා ප්‍රමාණවත් විය.

ඇතැම් ගම් වල ජීවත් වූ "දේශප්‍රේමීන්" සියලු දෙනාටම ඉන්දීය සාමසාධක හමුදා වලට වහාම රටින් ඉවත් වන්නට බල කරමින් පෙළපාලි යන්නට සිදුවුනේ අවසන් ප්‍රතිඵලය පොලිස් වෙඩි පහරට ලක් වන්නට සිදුවීම බව ඉඳුරාම දැන දැනමය. අනෙක් විකල්පය වුනේ මේ පෙළපාලි වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කර "දේශද්‍රෝහීන්" වීමයි. දේශද්‍රෝහීන් හා දේශප්‍රේමීන් හැර අතරමැදියන් සිටිය නොහැකි බව ව්‍යාපාරයේ මතය වූ නිසා ඒ විකල්පයද අනිවාර්ය මරණය කැඳවා ගත හැකි විකල්පයක් විය. පෙලපාලි සංවිධානය කළ අය පෙළපාලි වල ඉදිරියෙන් නොගියේය. එසේ ගියත්, පොලිස් හා හමුදා ඛණ්ඩයක් ළඟ එන විට පෙළපාලිය මැද සැඟවී ව්‍යාපාරය වෙනුවෙන් ආරක්ෂා වීමට තරම් ඔවුහු කුසලතා පූර්ණ වූහ. පෙළපාලි වල ඉදිරියෙන්ම ගොස් දේශප්‍රේමය පෙන්වීමේ අවස්ථාව එජාප සාමාජිකයින් ලෙස ප්‍රසිද්ධව සිටි අයට ලැබුණේය.

දැන් සයිටම් වලට පක්ෂව ලියන ඇතැම් අයව කුලී ලියන්නන් ආදී ලෙස හැඳින්වීම තුළ පෙනෙන්නේද එකල දේජව්‍යා විසින් ඔවුන්ට විරුද්ධ අදහස් දැරූවන් දේශද්‍රෝහී, හොරිකඩ, බත්බැලයන් ලෙස නම් කරමින් සිදු කළ බයිනරි බෙදීමමය.

ඒ දවස්වල ජයවර්ධන රජය හැරුණු විට ජවිපෙට එරෙහිව සිටි ප්‍රධානම කණ්ඩායම වූයේ එක්සත් සමාජවාදී පෙරමුණ තුළ ගොනුවී සිටි පැරණි වම හා ශ්‍රී ලංකා මහජන පක්ෂයයි. එහෙත්, අද වන විට පැරණි වම ලෙස සැලකිය හැකි ජවිපෙ හා පෙසපෙ සයිටම් විරෝධී සටන තුළ එක පිලක සිටිති. සයිටම් විරෝධය විශාල ක්‍රම විරෝධයක් බවට පරිවර්තනය වී රාජ්‍ය බලයට තර්ජනයක් වුවහොත්, මේ දෙපිල අතර බල අරගලය නැවත මතු වන්නට ඉඩ ඇතත් එවැන්නක් ඊට පෙර සිදුවීමේ හැකියාවක් නැත.

ජවිපෙ පැත්තෙන් බැලූ විට ඔවුන්ට අසූව දශකය තුළ හිමිව තිබූ දේශපාලන අවකාශය තුළ මේ වන විට ස්ථානගත වී සිටින්නේ පෙසපෙයයි. ඒ තත්ත්වය තුළ සයිටම් විරෝධී පිල සමඟ එකතු වීම යනු ජවිපෙ පැරණි වම මෙන් නොවැදගත් බලවේගයක් බවට පත් වීමයි. අනෙක් අතට, අරගලය තුළ වැඩි බලයක් ඇති පෙසපෙ ජවිපෙ හා සහයෝගයෙන් සිටීම තුළින් පෙනෙන්නේ ඔවුන්ගේ දීර්ඝකාලීන අභිලාශ මොනවාද යන්නයි. ඉදිරියේදී පැමිණෙන්නට ඉඩ ඇති රාජ්‍ය මර්දනයකදී ජවිපෙ සතුව ඇති පෙසපෙ සාමාජිකයින් පිළිබඳ තොරතුරු ප්‍රතිපක්ෂය අතට පත්වීමේ ඉඩකඩ සැලකූ විට පෙසපෙ සුරක්ෂිත වන්නේ ජවිපෙ සමඟ උපක්‍රමික සන්ධානයක සිටීම තුළය. සයිටම් ආයතනය රජයට පවරා ගැනීමෙන් අවසන් වන සටනකදීනම් මෙවැනි උපක්‍රමික සන්ධානයකට වඩා ජයග්‍රහණයේ වාසි ඔවුන්ට අත්පත් කරගන්නට ඉඩ නොදීම වාසිසහගතය.

සයිටම් අරගලය ඉව අල්ලන්නේ ප්‍රශ්නය ඇදගෙන යන්නට උදවු කරන මිනිස් බිල්ලකටය. ආණ්ඩුව මේ බව තේරුම් ගෙන ප්‍රවේශම්ව සිටින නමුත් කොයිවෙලාවක හෝ ආණ්ඩුවේ සිල් බිඳෙන්නට පුළුවන. එවැන්නක් සිදු වීම වලක්වා ගන්නා තාක් කල් සයිටම් විරෝධය පුළුල් අරගලයක් ලෙස ව්‍යාප්ත වීමද වලක්වා ගත හැකිය.

සයිටම් විරෝධී බලවේගය විශාල බලවේගයක් නොවූවත්, සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට රට තුළ එතරම්වත් පිරිසක් නැත. සයිටම් යනු රටේ බහුතරයකට තිබුනත් කමක් නැති, නැතත් කමක් නැති නොවැදගත් දෙයකි. ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයට හිස නැමිය යුතු නැතත් සයිටම් යනු ආණ්ඩුව විසින් ඕනෑම මිලක් ගෙවා රැකගන්නට තරම් වටිනා දෙයක්ද නොවේ. ඒ නිසා, සයිටම් වෙනුවෙන් තවත් පරම්පරාවක් ගඟේ යවන්නට
අවශ්‍ය නැත.

(Image: http://dailynews.lk/2017/06/22/local/119731/magistrate-issues-order-against-anti-saitm-protesters)

Sunday, October 9, 2016

දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස!

ලංකාවේ දොස්තරලාගේ කාර් සිහිනය ගැන පසු ගිය දවස් වල බොහෝ දෙනා ඇති තරම් කතා වුණේය. ලංකාවේ රෝහල් කිහිපයකම වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති රුවන් ජයතුංග ඒ ගැන මෙසේ ලියා තිබුණේය.

"නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉවක් බවක් නොමැතිව පීපී කරන්නේ වාහනයක් ගැනීමට බව මම අත්දැකීමෙන් දුටුවෙමි. බොහෝ වෛද්‍යවරු
සීමාවාසික පුහුණුවට එන්නේ බස් එකේය​. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය​. පළමු පත්වීම ගැනීමෙන් පසු දිවා රෑ නොබලා පීපී කරති."

ඔහු වැඩි දුරටත් මෙසේ කියයි.

"රෝහලේ සේවය කරන වේලාවෙත් හොරෙන් පීපී කරති. සමහරු රෝහලේ බෙහෙත් ද සොරකම් කොට පීපී කරන අයුරු මට නිරීක්‍ෂණය වී තිබේ. එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති. ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති. මුදල් සොයා ගැනීමට රෝහලේ කෑම කොන්ත්‍රාත්තුවද අතට ගනිති. නැතහොත් කෑම කොන්ත්‍රාත්කරු ගෙන් අත යට ගානක් මාසිකව ලබා ගෙන රෝගීන්ට කුණු කවති."

මේවා වෛද්‍ය රුවන් ජයතුංගගේම පෞද්ගලික අත්දැකීම් බැවින් මෙය සැබෑ තත්ත්වය ලෙස සලකන්නට මට අමාරුවක් නැත. කෙසේවුවද, මෙහි කියා ඇති දේ, විශේෂයෙන්ම රාජකාරි වෙලාවේ හොරෙන් පීපී කිරීම හැර දෙවන කොටසේ ඉතිරි කරුණු, සේවය අරඹන සෑම වෛද්‍යවරයකු විසින්ම හෝ බහුතරයක් විසින් කරන දෑ නොවන බව මගේ අදහසයි. රුවන් විසින් එසේ කියාද නැත.

මා මේ ලිපියෙන් අවධානය කරන්නේ කමෙන්ටුවේ පළමු කොටසේ ඇති කරුණටය. ඇත්තටම බොහෝ වෛද්‍යවරු සීමාවාසික පුහුණුවට එන්නේ බස් එකේය​. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය​. ලංකාවේ වෛද්‍ය පීඨ වල සිසුන්ගේ සමාජ ආර්ථික පසුබිම අනුව එය එසේ වීමේ පුදුමයක් හෝ වැරැද්දක් නැත. වැරැද්ද ඇත්තේ සීමාවාසික පුහුණුවට යාමට පෙරම පෞද්ගලික වාහනයක් මිල දී ගැනීමට හා එය නඩත්තු කිරීමට තරම් හැකියාවක් ඇති අයට පමණක් වෛද්‍යවරුන් වන්නට සිදුවේනම්ය. මුලින්ම වෘත්තිය අරඹන ඉංජිනේරුවෙකුගේ හෝ නීතිඥයෙකුගේ තත්ත්වයද මීට වඩා වෙනස් නැත.

මෙසේ සමාජ ධුරාවලියේ පියවරක් ඉහළට තබන පහළ මධ්‍යම පාන්තික සමාජ ආර්ථික පදනමක් ඇති වෘත්තිකයින්ට මෝටර් රථයක් හැකි ඉක්මණින් මිලදී ගැනීමේ සිහිනයක් තිබේ. එහිද කිසිම වරදක් නැත. (එහෙත්, ඒ වෙනුවෙන් වෛද්‍යවරුන් කරන බව පසුව සඳහන් කර ඇති බොහෝ දේ නිවැරදි නැත.) එමෙන්ම, සිය සේවා කොන්දේසි අනුව බාධාවක් නැත්නම් රාජකාරි කාලයෙන් පසුව පීපී කිරීමේද වරදක් නැත. මුදල් සෙවීම සඳහා පීපී කරන වෛද්‍යවරුන් කරන්නේද වැදගත් සේවයකි. එහෙත් එය වෙනත් අය නොකරන අමුතු හෝ විශේෂ සේවයක් නොවේ. ඕනෑම ව්‍යාපාරිකයෙකු කරන ආකාරයේ, පාරිභෝගික ඉල්ලුම සැපිරීමේ සේවයකි.

වෘත්තිය අරඹන වෛද්‍යවරයෙකුගේ කාර් සිහිනය පිටුපස 'පංතිය මාරුකිරීම' වැනි අරමුණු තිබෙන්නට පුළුවන. එහෙත්, මා මේ ලිපියෙන් පෙන්වා දෙන පරිදි කාර් එක යනු බෙහෙත්, වෙද නලාව මෙන්ම පීපී කිරීම සඳහා වෛද්‍යවරයෙකුට අත්‍යවශ්‍යම උපාංගයකි. මෙය ඉංජිනේරුවෙකු මුහුණ නොදෙන එහෙත් වෛද්‍යවරුන් හා නීතිඥයින් වැනි වෘත්තිකයින් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයකි. ඇලෝපති වෛද්‍යවරයෙකු හැකි ඉක්මණින් කාර්පති සුදුසුකම සම්පූර්ණ කරගන්නට දිවා රෑ මෙන්ම සති අන්ත වලද වෙහෙසෙන්නේ  මේ හේතුව නිසාය.

මෙය පැහැදිලි කිරීමට මම උපුටාගන්නේ ලංකාවේ සේවය කර ඇති තවත් වෛද්‍ය වරයෙකු වන කවිඳු ජයසිංහගේ හෙල්මළු වියුණුවේ කොටසකි. අදාළ ලිපියේ ඔහු සිය වෘත්තීය ජීවිතයේ මුල් අදියරේදී මෝටර් රථයක් නොමැතිකමින් මුහුණ දුන් තත්ත්වයන් මෙන්ම ඒ සිහිනය සැබෑ කර ගැනීමට ගත් උත්සාහයද මැනවින් විස්තර කර තිබේ.

"ඒ කාලයේ මගේ මාසික කුලිය රුපියල්  හාර දහසකි. රුපියල් දොළොස් දහසක මාසික වේතනයක් ලැබූ මට විශ්ව විද්‍යාල වැටුපෙන් පමණක් කල හැකි දේ ඉතාමත් සීමිත විය.

මාසිකව මුදලක් අම්මලාට යැවීමටත්  නිවසේ කුලිය ගෙවීමත් හැරුණු කොට මට ඉතිරි කල හැකි දෙයක් නොවිය.

පරිවාස කාලයේදීම පුද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්නට මා පෙලඹෙන්නේ ඒ නිසාමය.

උදේ අටේ සිට හවස හතර දක්වා විශ්ව විද්‍යාලයේ සේවය කල මම හවස  හතරෙන් පසු  පිළිමතලාව පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන ගියෙමි.

මුල් කාලයේ පාරේ බස් එකේ ගමන් බිමන් ගිය මට මෝටර් රථයක් අත්‍යාවශ්‍ය බව හැඟුනේ  පුද්ගලික වෙදකම ආරම්භ කිරීමත් සමගයි.

"මම හිතුවේ මහත්තයා අද ඇවිත් නෑ කියලා. කෝ කාර් එක පේන්න තිබුණේ නෑ නේ "

යැයි  කියමින් මා හමුවට එන ලෙඩුන් පවසන්නට පටන් ගැනීමත් සමග මේ අවශ්‍ය තාවය  තදින්ම දැනෙන්නට විය.

"නෑ මම තාම කාර් එකක් ගත්තේ නෑ . දැනට කාර් එකක් හොය හොයා ඉන්නේ "

මම ලෙඩා අස්වසාලන්නේ  කාර් එක ළඟ ලඟම එන බව ඉඟි කරමිනි."


මෙය කවිඳුගේ පුද්ගලික අත්දැකීමක් පමණක් නොවේ. මුලින්ම සේවය අරඹන බොහෝ වෛද්‍යවරුන්ගේ තත්ත්වයයි. ඔහු මෙහි විස්තර කර ඇති පරිදි වෛද්‍යවරයෙකුගේ මෝටර් රථය යනු ඔහුගේ මෙන්ම ඔහුගේ පාරිභෝගිකයන්ගේද අවශ්‍යතාවයකි. ඒ ඇයි?

වෛද්‍ය සේවා වෙළඳපොළ විශාල තොරතුරු අසමමිතියක් ඇති වෙළඳපොළකි. හාල් සේරුවක් පොල් ගෙඩියක් මිලදී ගන්නා විට හෝ කරණවෑමියෙකුගේ සේවය ලබා ගන්නා විට මෙන් තමන් මුදල් ගෙවා මිලදී ගන්නා දෙය පිළිබඳ නිවැරදි දැනුමක් පාරිභෝගිකයාට නැත. ඒ නිසා සේවය සපයන වෛද්‍යවරයකුට සිය පාරිභෝගිකයින් රවටන්නට ඉඩක් තිබේ. වෛද්‍ය රුවන් ජයතුංග සටහන් කර ඇති පරිදි ඇතැම් වෛද්‍යවරු ඇත්තටම එසේ කරති.

"එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති. ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති."


එහෙමනම් නරක වෛද්‍යවරයෙකුගෙන් හොඳ වෛද්‍යවරයෙකු වෙන්කර හඳුනාගන්නේ කෙසේද?

සාමාන්‍ය පුද්ගලයෙකුට මෙය කළ හැකි එකම ක්‍රමය වෛද්‍යවරයෙකු නැවත නැවත පරික්ෂාවට ලක් කිරීමයි. පළමු වර එක බේත් වේලෙන් ලෙඩේ සුව වීනම් පාරිභෝගිකයා දෙවන වරටත් ඒ වෛද්‍යවරයා වෙත යන්නට නොපැකිලේ. කෙසේවුවද, එක් පාරිභෝගිකයෙකුට නියමිත කාලයක් තුළ වෛද්‍යවරයෙකු වෙත විශාල වාර ගණනක් යන්නට සිදු නොවන බැවින් මේ පරික්ෂාවේ ප්‍රායෝගික සීමාවක් තිබේ. ඒ නිසා, වඩා හොඳ ක්‍රමයක් වන්නේ වෙනත් පාරිභෝගිකයින්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමයි.

වෛද්‍යවරයෙකු වෙත පාරිභෝගිකයින් විශාල පිරිසක් යන්නේනම් එයින් අදහස් වන්නේ ඒ වෛද්‍යවරයා ගැන වැඩි දෙනෙකු සෑහීමකට පත්වන බවයි. එය වෛද්‍යවරයාගේ සේවයේ ගුණාත්මක භාවය හඟවන නිරීක්ෂණය කළ හැකි සංඥාවකි.

මෙය නීතිඥයින්, මංගල ඡායාරූපකරුවන්, මංගල උත්සව සඳහා ඇඳුම් අන්දවන්නන් වැනි නිතර අවශ්‍ය නොවන, වැරදීමක් වුවහොත් පාරිභෝගිකයාට වන හානිය ඉතා වැඩි වෙනත් සේවා සපයන්නන් බොහෝ දෙනෙකුට පොදු දෙයකි. මේ කවර සේවා වෙළඳපොළේත් වැඩිම ඉල්ලුමක් ඇති සේවා සපයන්නන් වෙත යන්නට සියළුම පාරිභෝගිකයෝ පොරකති. එවැනි ඉල්ලුමක් නැති අය වෙත යන්නට කිසිවෙකු කැමති නැත.

කාර් එකක් නැති දොස්තර කෙනෙක් කියන්නේ සල්ලි නැති දොස්තර කෙනෙකි. සල්ලි නැති දොස්තර කෙනෙක් කියන්නේ සෙනඟ නැති, ඒ නිසා ආදායමක් නැති දොස්තර කෙනෙකි. සෙනඟ නැති දොස්තර කෙනෙක්නම් ඒ හොඳ දොස්තර කෙනෙක් වෙන්නට නොහැකිය. එසේනම්, කාර් එකක්වත් නැති දොස්තර කෙනෙක් වෙත යන්නට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.

පාරිභෝගිකයින් සිතන්නේ මේ ආකාරයෙන් නිසා කාර් එකක් ගන්නා තුරු දොස්තර කෙනෙක්ට සිය ගුණාත්මක භාවය ප්‍රදර්ශනය කිරීම අභියෝගාත්මක දෙයකි. කාර් එක ළඟ ලඟම එන බව කියමින් ලෙඩා අස්වසාලන්නට කවිඳුට සිදුවන්නේ ඒ නිසාය. කාර් එක නැති දොස්තර කෙනෙක් යනු අස්සයෙක් නැති කවුබෝයි කෙනෙකි.

හොඳ දොස්තරලාට සෙනඟ අඩුවක් නැත. ඒ නිසා සල්ලි අඩුවක් නැත. මේ පාරිභෝගිකයින් සිතන ආකාරයයි. එහෙත් බැංකුවේ ඇති මුදල් පාරිභෝගිකයින්ට නොපෙනේ. තමන්ගේ වත්කම් පාරිභෝගිකයින්ට පෙන්විය හැකි හොදම ක්‍රමය වෛද්‍යවරයාගේ වටිනා, අළුත්ම මාදිලියේ මෝටර් රථයයි. මේ අළුත්ම මෝටර් රථය පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ වෛද්‍යවරයාගේ ගුණාත්මක භාවය පිළිබඳ ඉඟියකි. ඒ ඉඟිය නමට පිටුපසින් ඇති අකුරු ගණනටත් වඩා වටිනා ඉඟියකි. ඒ නිසා වෛද්‍යවරුන්ගේ කාර් තරඟය යනු වක්‍රව වෛද්‍යවරුන් අතර පාරිභෝගිකයින් දිනාගැනීම සඳහාද වන තරඟයේම ප්‍රකාශනයකි.

දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස මෙයයි!

Saturday, October 8, 2016

වෙදමහත්තුරුන්ගෙන් උරුම වුණු පීපී ඉල්ලුම

ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පූර්වගාමීන් වූ වෙද මහත්වරුන්ගෙන් උරුම වූ දේවල් කිහිපයක් ගැන මම පෙර ලිපියකින් කතා කළෙමි. ඔවුන්ට වෙද මහත්වරුන්ගෙන් උරුම වී තිබෙන්නේ ගුරු මුෂ්ඨි, වැඩිපුර බෙහෙත් දීම හා කියවිය නොහැකි කසාය සීට්ටු පමණක් නොවේ. දොස්තරලාට ලැබෙන සමාජ ගෞරවයට මෙන්ම පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර (පීපී) සඳහා වන ඉල්ලුම වෙනුවෙන්ද දොස්තරලා වෙද මහත්වරුන්ට ණයගැති විය යුතුය.

පෙර ක
වෙද මහත්තුරු පීපී කළේ නැත. එහෙමනම් මේ කතාවේ තේරුම කුමක්ද?

ඒ දවස්වල වෙද මහත්තුරු මුදල් අයකර පීපී කළේ නැත. එහෙත්, අද පීපී කරන දොස්තරලාගෙන් ඉටුවන කාර්යය එදා වෙද මහත්තුරුන්ගෙන් ඉටුවුණේය.

ලංකාවේ අතිමහත් බහුතරයක් තවමත් වෛද්‍යවරයෙකු හමුවන්නේ රෝග නිවාරණ ප්‍රතිකාර හෝ වෛද්‍ය පරීක්ෂණ සඳහා නොවේ. කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව රෝගය සුව කර ගැනීම සඳහාය. කලකට පෙර කෙසේ වුවත් දැන් බටහිර රටවල බොහෝ විට සිදුවන්නේ මෙහි අනිත් පැත්තයි.

කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු හමු වීමට සිදුවේ. බටහිර රටක මෙසේ තමාගේ පවුලේ වෛද්‍යවරයා වුවද අවශ්‍ය වෙලාවක හදිසියේ හමුවීමේ හැකියාවක් ඇත්නම් ඒ ඉතා සීමිතවය. ඒ සඳහා කල් ඇතුව වෙලාවක් වෙන් කර ගත යුතුය. කෙසේ වුවද හදිසි ප්‍රතිකාර සඳහා වෙනත් විකල්ප තිබේ. එහෙත්, ලංකාවේදී කුමන දුෂ්කරතා මධ්‍යයේ වුවත් තමන්ට අවශ්‍ය වෛද්‍යවරයෙකු හෝ විශේෂඥ වෛද්‍ය වරයකු දවස තුළම වුවද හමුවීමට විශාල ඉඩකඩක් තිබේ.

පෙර ගම් වල සිටි වෙද මහත්තුරුන්ට රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට වෙලාවක් අවේලාවක් නොතිබුණේය. මධ්‍යම රාත්‍රියේ වුවද රෝගියෙකු රැගෙන විත් දොරට තට්ටු කරන විට වෙද මහත්තයා එය කරදරයක් ලෙස සැලකුවේ නැත. රෝගියා වෙද මහත්තයා වෙත රැගෙන එන්නට තරම් මට්ටමක නොසිටියේනම් වෙද මහත්තයා හුළු අත්තක් පත්තු කරගෙන රෝගියා සිටින තැනට ගියේය. මෙය වෙද මහත්තයෙකුගෙන් බලාපොරොත්තු වුණු සාමාන්‍ය දෙයකි. ඒ වෙනුවෙන් ඔහුට (හෝ ඇයට) සමාජයේ ගෞරවය හිමි විය.

මුලින්ම රජයේ පත්වීම් ලබා ග්‍රාමීය රෝහල් වලට හෝ ඩිස්පැන්සරි වලට ගිය ඇපෝතිකරි වරුන්ට හෝ උපාධිධාරී වෛද්‍යවරුන්ට හමුවුනේ මේ වෙද මහත්තුරුන්ට පුරුදු වී සිටි සමාජයකි. ඒ නිසා, ඒ අයට අටපහ රස්සාව කර හවසට ගෙදරට වී නිදහසේ ඉන්නට ලැබුණේ නැත. රෝගියෙකු රැගෙන පිරිසක් පැමිණ ගෙදර දොරට තඩිබාන විට මධ්‍යම රාත්‍රියේ වුවද දොර විවෘත නොකළේනම් වෛද්‍යවරයෙකුට ග්‍රාමීය පෙදෙසක පැවැත්මක් නොතිබුණේය. ඇතැම් විට මේ වෛද්‍යවරයාට සිය ඩිස්පැන්සරිය විවෘත කර කිසියම් ඖෂධයක් රැගෙන එන්නට විය.

මෙය දිගින් දිගටම වන විට හදිසියේ රාජකාරි වේලාවෙන් පසුව ගෙදරට එන රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා බෙහෙත් ටිකක් ඩිස්පැන්සරියෙන් ගෙදර ගෙනවිත් තබා ගැනීමත්, මෙය මහා පරිමාණයෙන් කළ නොහැකි වන විට මූලික බෙහෙත් වර්ග මිලදී ගෙන ගෙදරම තබා ගන්නට වීමත්, ඒ බෙහෙත් වල හා තමන්ගේ කාලයේ වටිනාකම වෙනුවෙන් මුදලක් අය කරන්නට වීමත් එකින් එක සිදුවන තාර්කික සිදුවීම් පෙළකි.

අද වන විට එදාට වඩා බෙහෙවින් කාර්ය බහුලව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ රාජකාරි වේලාවෙන් පසුව වෛද්‍යවරයෙකු හමුවීම සඳහා ඇති ඉල්ලුම ඉතා විශාලය. විනාඩි කිහිපයක හමුවක් වෙනුවෙන් කෙතරම් රස්තියාදු වන්නට සිදු වුවත්, දවසක් හෝ  වරුවක් නිවාඩු දැමීමට සාපේක්ෂව එහි ආවස්ථික පිරිවැය එතරම් විශාල නැත. බොහෝ දෙනෙකු 'බැණ බැණ වුවත්' පොඩි ලෙඩකට පවා වෛද්‍යවරයෙකු වෙත යන්නේ ඒ නිසාය.

අනෙක් අතට දවසේ සාමාන්‍ය පැය ගණන සේවය කිරීමෙන් අනතුරුව විවේකයෙන් සිටීම සඳහා හෝ සිය පවුලේ සාමාජිකයින් සමඟ ගත කිරීම සඳහා වැය කළ හැකි තමන්ගේ පෞද්ගලික කාලය කාලය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදවන වෛද්‍යවරයෙකුගේ කාලයේ ආවස්ථික පිරිවැය ඉතා අධිකය. ඒ අතරම, වෛද්‍යසේවා සැපයුම සීමිතය. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නටනම් වෛද්‍යවරයාට දිනකට වැය කළ හැකි සීමිත කාලය විශාල රෝගීන් ගණනක් අතර බෙදී යා යුතුය. දොස්තරලාට උඩින් පල්ලෙන් ලෙඩුන් බලන්නට වීම මෙහි ප්‍රතිඵලයයි.


මීළඟ ලිපිය: දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස!

Friday, September 30, 2016

ටියුෂන් බයෝ... ටියුෂන් ඉකෝන්...


ලංකාවේ වෛද්‍ය සිසුන්ගේ සමාජ ආර්ථික පදනම පිළිබඳව සාකච්ඡා කෙරුණු පසුගිය ලිපියකට ප්‍රතිචාර ලෙස වෛද්‍ය රුවන් ජයතුංග (ට්‍රාන්ස්සිල්වේනියා), සෙරන්ඩිපිටි, රොබට් ඇතුළු කිහිප දෙනෙකුම ඔවුන්ගේ නිරීක්ෂණ හා අදහස් සමඟ දිගු කමෙන්ටු දමා තිබුණේය. ඔවුන් මතු කරන කරුණු සියල්ල ගැන පුළුල්ව කතා කිරීම ලොකු කාලයක් මිඩංගු කළ යුතු කාර්යයකි.

සෙරන්ඩිපිටිගේ තර්කය වන්නේ උසස්පෙළ තරඟය ජය ගැනීමට නැතුවම බැරි පෞද්ගලික උපකාරක පන්ති වෙනුවෙන් එක් දරුවෙකු සඳහා දෙමවුපියෙකු විසින් මසකට රුපියල් 20,000ක පමණ මුදලක් වැය කළ යුතු බවත්, එවැනි මුදලක් වැය කිරීමේ හැකියාවක් නැති පවුලක දරුවෙකුට වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ හැකියාවක් නොමැති බවත්ය. මෙයට කිට්ටුවෙන් යන අදහසක් ඊට පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස ඉලෙක්ට්‍රොනික් විසින්ද මතු කර තිබුණේය. එසේනම්, සෙරන්ඩිපිටි හා ඉලෙක්ට්‍රොනික් කියන පරිදි පහළ සමාජ ආර්ථික මට්ටමකින් එන දරුවන් වෛද්‍ය පීඨ තුළ ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවේද? එසේ නියෝජනය නොවේනම් එයට හේතු මොනවාද?

පහත වගුවෙන් පෙනෙන පරිදි මේ තර්කයට පදනමක් තිබේ. එහි පළමු සිරස් පේළියේ ඇති දත්ත සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2012/13 වසර වල සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ නිවාස ඒකක වල ආදායම් ව්‍යාප්තියයි. දෙවන සිරස් පේළියේ දත්ත මා පෙර සඳහන් කළ සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වමින් සිය පවුලේ ආදායම් කාණ්ඩය වාර්තා කළ කොළඹ වෛද්‍ය පීඨ සිසුන්ගේ පවුල් වල ආදායම් ව්‍යාප්තියයි.



ඉහත දත්ත අනුව පෙනෙන්නේ රුපියල් ලක්ෂය ඉක්මවූ ආදායමක් ඇති පවුල් වල එක් සාමාජිකයෙකු නියෝජනය කිරීමට, කොළඹ වෛද්‍ය පීඨය තුළ වෛද්‍ය සිසුන් දෙදෙනෙකු සිටින බවයි. එහෙත්, පවුලේ ආදායම රුපියල් විසිදහසට අඩු පවුල් වල සාමාජිකයින් දෙදෙනෙකු වෙනුවෙන් කොළඹ වෛද්‍ය පීඨය තුළ සිටින්නේ එක් සිසුවෙකු පමණි. අනෙකුත් වෛද්‍යපීඨ වල සිසුන්ගේ ආදායම් ව්‍යාප්තිය රටේ ආදායම් ව්‍යාප්තියෙන් මේ තරම් වෙනස් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එමෙන්ම, වෙනත් පීඨ වල සිසුන්ගේ ආදායම් ව්‍යාප්තිය රටේ තත්ත්වයට වඩා ආසන්න විය හැකිය. එසේ වතුදු, සරසවියකට ඇතුළු වීමට පවුලේ ආදායම් මට්ටම බලපාන බව බැහැර නොකළ හැකි කරුණකි.

එසේනම්, අධ්‍යාපනය සඳහා මුදල් අය නොකරන ලංකාවේ සරසවියකට ඇතුළු වීමටද මූලික මූල්‍ය ආයෝජනයක් අවශ්‍යය. මෙයට හේතුව ටියුෂන්ද?

පළමුව, අප සොයා බැලිය යුත්තේ ටියුෂන් සඳහා ඉල්ලුම ඇති වන්නේ කෙසේද යන්නයි. සැපයුමක් ඇත්තේ ඉල්ලුමක් ඇති නිසාය.

කිසියම් සිසුවකුගේ අධ්‍යාපනය සඳහා වැය වන මුළු මුදලම එම සිසුවා/ සිසුවිය හෝ පවුලේ සාමාජිකයින් විසින් දැරිය යුතුනම් අධ්‍යාපනය සඳහා යමෙක් ආයෝජනය කරන්නේ ආන්තික ආයෝජන පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වන මට්ටම දක්වා පමණි. ඇමරිකාවේ ඇත්තේ මෙයට ආසන්නව සමාන තත්ත්වයකි (ඇමරිකාවේද වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු උසස් අධ්‍යාපනය එක්තරා මට්ටමකට සුබසාධනය කෙරේ).

වෛද්‍ය වෘත්තීය ඇමරිකාවේ වැඩිම සාමාන්‍ය ආදායමක් ලබා ගත හැකි වෘත්තියයි. තමන්ගේ විශේෂඥතාව ඇති ක්ෂේත්‍රය අනුව, ඇමරිකාවේ වෛද්‍යවරයෙකුට වසරකට ඩොලර් 204,000-443,000 අතර සාමාන්‍ය ආදායමක් ලැබිය හැකිය. එහෙත්, වෛද්‍යවරයෙකු වීම සඳහා වැය කළ යුතු කාලය, මුදල හා වෛද්‍යවරයෙකු වීමෙන් පසු බොහෝ විට වැඩ කරන වැඩි පැය ගණන සැලකූ විට වෛද්‍ය වෘත්තිකයෙකු වීම සඳහා කරන ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය වෙනත් වෘත්තියකට සාපේක්ෂව විශාල ලෙස වෙනස් නැත. ඒ නිසා, හැම විටම වාගේ වෛද්‍ය වෘත්තියට පිවිසීමට උනන්දු වන්නේ ඒ සඳහා අවශ්‍ය කුසලතාවන් හෝ විශේෂ කැමැත්තක් ඇති අයයි (මෙය ආනුභාවික දත්ත මත කරන ප්‍රකාශයකි). මෙය වෙනත් වෘත්තීන්ටද අදාළය.

අධ්‍යාපන පිරිවැය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයෝජනයක්නම් විවිධ වෘත්තියකයින් සඳහා රටේ පවතින ඉල්ලුම හා සැපයුම ස්වභාවිකවම සමතුලිත වේ. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තියෙන් අනෙක් වෘත්තීන්ට වඩා වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබෙන විට වැඩි දෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් ආයෝජනය කරන්නට පෙළඹේ. එවිට, වෛද්‍ය වෘත්තිකයින්ගේ සැපයුම වැඩි වී ඔවුන්ට රැකියා සොයා ගැනීම අපහසු වීමත්, ඔවුන්ගේ සාමාන්‍ය ආදායම පහළ වැටීමත් සිදුවේ. දැන් එම වෘත්
තිය සඳහා කරන ආයෝජනය තව දුරටත් වැඩි ප්‍රතිලාභ ගෙන නොදෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම අඩු වී නැවතත් වෙළඳපොළ සමතුලිත වේ. මෙය වෙනත් විෂය ක්ෂේත්‍රයන්ටද අදාළය. ඒ නිසා "රැකියා විරහිත උපාධිධාරීන්ගේ" ප්‍රශ්නයක් ඇති නොවේ.

කිසියම් රටකට කිසියම් හේතුවක් නිසා එම රටේ කිසියම් වෘත්තිකයක යෙදෙන ප්‍රමාණය ඉහත සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි කිරීමට අවශ්‍ය විය හැකිය. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තියම සලකමු. එක් පුද්ගලයෙකු වඩා නිරෝගී වූ විට එම පුද්ගලයාට සම්බන්ධයක් නැති වෙනත් බොහෝ දෙනෙකුටද යම් සමාජ ප්‍රතිලාභයක් ලැබීම මේ තීරණයට පදනම් වනවා විය හැකිය. 


රජය මැදිහත් වී සමාජයේ මේ පොදු තීරණය ක්‍රියාත්මක කළ හැකි එක් ක්‍රමයක් වන්නේ වෛද්‍ය අධ්‍යාපන පිරිවැය සුබසාධනය කිරීමයි. එවිට, වෛද්‍ය අධ්‍යපනය වඩා ප්‍රතිලාභ ගෙනෙන කටයුත්තක් වන නිසා "දෙපැත්තට වැනි වැනී" සිටි ටික දෙනෙකු වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට යොමුවීමෙන් රටේ වෛද්‍ය සේවා සැපයුම සමතුලිත මට්ටමට වඩා වැඩි වේ.

ඇතැම් විට කිසියම් වෘත්තියක සැපයුම සමතුලිත ප්‍රමාණයට වඩා වැඩිවීම ස්වභාවිකවම සිදුවන්නටද පුළුවන. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි විෂය හදාරණ අයට ලැබෙන ශුද්ධ ප්‍රතිලාභය සෘණ අගයකි. මේ අය උසස් අධ්‍යාපනය නොලැබ සිටියෝනම් ඔවුන්ට මූල්‍යමය ලෙස වැඩි වාසියක් සිදු වේ. එහෙත්, මූල්‍යමය අවාසියක් ලබමින් ඔවුන් මේ විෂය හදාරන්නේ එයින් ඔවුන්ට ලැබෙන සතුට හෝ වෙනත් එවැනි මූල්‍යමය නොවන වාසියක් වෙනුවෙන් විය යුතුය. වෛද්‍ය වෘත්තිය හා අදාළව මෙවැනි තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්නට නැත. 


ලංකාවේ උසස් අධ්‍යාපනය ඉතා විශාල ලෙස සුබසාධනය කර තිබේ. මේ නිසා රජයේ සරසවියක උසස් අධ්‍යපනය ලැබීමේ අවස්ථාව ලැබූ අයෙකු ඒ සඳහා කළ යුතු ආයෝජනයෙන් සැලකිය යුතු කොටසක් පොදු ආයෝජනයක් ලෙස සමාජය විසින් දැරීමත්, ඒ හේතුවෙන් සිසුවාගේ හෝ සිසුවියගේ පෞද්ගලික ආන්තික පිරිවැය සැලකිය යුතු ලෙස පහත යාමත් සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය මුළුමනින්ම පෞද්ගලික ආයෝජනයක් වීනම් එය නොකරන සැලකිය යුතු පිරිසක් උසස් අධ්‍යපනය ලබා ගැනීමට යොමු වේ.

ලංකාවේ උසස් අධ්‍යාපනය සුබසාධනය කිරීම සිදුවන්නේ නිදහස් වෙළදපොළ සමතුලිතතාවය වෙනස් කිරීම යුක්තියුක්ත කිරීමට ඇති සාධාරණ කරුණු සලකා බලමින් සැලසුම් සහගත ලෙස නොවේ. එය ඔහේ යන විදිහට යයි. ඒ නිසා, මෙසේ උසස් අධ්‍යපනය ලබා ගැනීම සඳහා යොමු වන ප්‍රමාණය රජයේ වෙළඳපොළ මැදිහත් වීම නිසා වැඩි වුවද අදාළ රැකියා සඳහා ඉල්ලුම සමානුරූපීව වැඩි නොවේ. ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ ඇතැම් වෘත්තිකයින් සඳහා වෙළඳපොළ ඉල්ලුම හා රටේ අවශ්‍යතාවයන් ගැලපීමට ප්‍රමාණවත් සැපයුමක් තිබියදී උසස් අධ්‍යාපනය සුබසාධනය කිරීම මඟින් කෘතීම ලෙස සැපයුම තවත් වැඩි කිරීම නිසාය.

කෙසේ වුවද, වෛද්‍ය හා ඉංජිනේරු වැනි ඇතැම් වෘත්තීන් සඳහා පවතින ඉල්ලුම ගැලපීමට හැකි තරම් සැපයුමක් සුබසාධනය යටතේ එම වෘත්තිකයින් නිෂ්පාදනය කරන රජයේ සරසවි මඟින් සිදු නොකරයි. සැපයුම ප්‍රමාණවත් නොවන නිසා මේ වෘත්තිකයින්ගේ "මිල" සමතුලිත මට්ටම් ඉක්මවා ඉහළ යයි. එවිට එම වෘත්තීන්ට පිවිසීමේ ප්‍රතිලාභ හේතු දෙකක් නිසාම ඉහළ යයි. පළමුව, නිෂ්පාදන පිරිවැය සුබසාධනය වී ඇත. දෙවනුව, සැපයුම සීමා කර ඇති නිසා තරඟකරුවන් අඩුවී ලාභ වැඩි වේ. ඉංජිනේරු, පරිගණක හා තොරතුරු තාක්ෂණ හා ගණකාධිකාරී වැනි වෙනත් ජනප්‍රිය වෘත්තීන්ට සාපේක්ෂව වෘත්තියට පිවිසීමේ විකල්ප අවස්ථා හොඳටම අඩු වෛද්‍ය වෘත්
තිය හා මේ කරුණ විශේෂයෙන්ම අදාළය. 

ඉහත පරිදි, ලංකාවේ සරසවි වල 'ජනප්‍රිය' පාඨමාලාවක් හැදෑරීම සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දුන්නත් මේ අවස්ථාව සියල්ලන්ටම හිමි නොවේ. මේ අය අතරින් සැලකිය යුතු පිරිසක් අධ්‍යාපන ආයෝජන පිරිවැය මෙතරම් (හෝ කොහෙත්ම) සුබසාධනය වී නොතිබුණද එම වැඩි (සමස්ත) පිරිවැය පෞද්ගලික ආයෝජනයක් ලෙස දරන්නට සූදානමින් සිටින අයයි. ඒ අයට සෘජුව මුදල් ගෙවා රජයේ සරසවියකට ඇතුළු වීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට නොහැකිය. එසේ නොහැකිවීම නිසා නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති වේ.

නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති විට එහි ව්‍යාපාරික අවස්ථාවක් තිබේ. ලාභ ලැබීමේ ඉඩකඩක් තිබේ. පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු මේ නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් ලාභ ලබන ව්‍යවසායකයෝය. දැන් යමෙකුට සෘජුව මුදල් ගෙවා රජයේ සරසවියකට ඇතුළු වීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට නොහැකි වුවත්, වක්‍රව එය කර ගැනීමට ක්‍රමයක් තිබේ. ඒ අනුව, උපකාරක පන්ති සඳහා මුදල් වැය කිරීමේ හැකියාව ඇති අය ස්ව-කැමැත්තෙන් එසේ කරති.

එසේනම්, කොළඹ වෛද්‍ය පීඨය තුළ ලංකාවේ ඉහළ ආදායම් ස්ථර වල නියෝජනය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත්තේ සහ අඩු ආදායම් ස්ථර වල නියෝජනය එලෙසම අඩු වී ඇත්තේ ටියුෂන් වියදම නිසාද?

මෙය අපි දෙවනුව කතා කරමු.


(Image: https://www.flickr.com/photos/cerno/1522828591)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...