වෙබ් ලිපිනය:

Showing posts with label පොලී අනුපාතික. Show all posts
Showing posts with label පොලී අනුපාතික. Show all posts

Thursday, November 29, 2018

ඊයේ ඩොලරය පහළ ගියේ ඇයි?


දිගින් දිගටම දිනපතා කීයකින් හෝ ඉහළ යමින් තිබුණු ඇමරිකන් ඩොලරයක මිල අද දිනයේ (29 බ්‍රහස්පතින්දා) පොඩ්ඩක් අඩු වුනා. ඒ ඇයි? ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර සාකච්ඡාවෙන් පස්සෙද? නැත්නම් මහ බැංකු මැදිහත්වීමක් නිසාද?

ඇත්තටම වුනේ රුපියල ශක්තිමත් වීම නෙමෙයි. ඩොලරය පොඩ්ඩක් දුර්වල වීමයි. මෙය සිදුවුනේ ඊයේ (28 බදාදා) ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ජෙරමි පවල් විසින් කළ ප්‍රකාශයක් නිසයි.

පහුගිය කාලයේ ඩොලරයේ මිල ඉහළ යන්න හේතු වුනේ ඩොලරය ශක්තිමත් වීම බව මාස කිහිපයකට පෙර මහ බැංකුව පැත්තෙන් ඇහුනු දෙයක්. එය සම්පූර්ණ ඇත්තක් නොවුනත් අර්ධ සත්‍යයක්. මේ ගැන මා ඒ දවස් වල පැහැදිලි කළා.

පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව ඇමරිකන් ආර්ථිකය නැවත උඩට ගැනීම පිණිස පොලී අනුපාතික හොඳටම අඩු කළා. 2008 දෙසැම්බර් මාසයේදී  ෆෙඩරල් පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වාම අඩු කළා. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතුනේ 0-0.25% මට්ටමේ. මේ කාලය තුළ ප්‍රාග්ධනය විශාල ලෙස ඇමරිකාවෙන් පිටත වැඩි පොලී අනුපාතික තිබුණු තැන් වලට ගලා ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරය ක්‍රමයෙන් දුර්වල වුනා. ඒ කාලයේ ඩොලරයක මිල ඉහළ යාමේ ප්‍රශ්නය හෝ විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම ලංකාවට ලොකුවට බල නොපෑවේත් ඒ නිසයි.

මෙසේ ශුන්‍ය මට්ටම ආසන්නයේ වසර හතක් පැවති පොලී අනුපාතික 2015 දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වාත්, තවත් වසරකට පසු 0.50-0.75% දක්වාත් ආදී වශයෙන් ක්‍රමයෙන් ඉහළ නැංවුනා. ඉන්පසුව 2017දී තෙවරක් හා 2018දී මේ වන තුරු තෙවරක් ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. දැන් තිබෙන්නේ 2.00–2.25% මට්ටමේ.

සමාන අවදානමක් තිබෙන වෙනත් රටවලට සාපේක්ෂව රටක පොලී අනුපාතික ඉහළ යන විට ඒ රටට විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය වෙනවා. එවිට, විණිමය අනුපාතිකය ශක්තිමත් වෙනවා. පසුගිය තෙවසරක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ සාපේක්ෂව ඉහළ පොලී අනුපාතිකයි.

රටක මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමන්නේ උද්ධමනය පාලනය කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩු වෙනවා. රටක ආර්ථික වර්ධනය අඩු කෙරෙන ප්‍රතිපත්ති වලට රාජ්‍ය පාලකයින් එතරම් කැමති නැහැ. ජනාධිපති ට්‍රම්ප් හා අදාළව වුවත් මෙහි වෙනසක් නැහැ. ඔහු සවුදි අරාබියට බලපෑම් කරමින් තෙල් මිල පහළින් තබාගන්න උත්සාහ කරන්නෙත් තෙල් මිල අඩුවන තරමට ඇමරිකන් ආර්ථික වර්ධනය වේගවත් වන නිසයි.

ජෙරමි පවල්ගේ බදාදා ප්‍රකාශයෙන් අදහස් වුනේ පසුගිය තෙවසර තුළ සිදු කෙරුණු පොලී අනුපාතික ඉහළ දැමීම තව වැඩි කලක් මේ ආකාරයට සිදු නොකෙරෙනු ඇති බවයි. පොලී අනුපාතික අවශ්‍ය මට්ටම කිට්ටුවටම පැමිණ තිබෙන බව ඔහු විසින් පැවසීමෙන් බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ තවත් වරකට නැත්නම් දෙකකට වඩා පොලී අනුපාතික ඉහළ දමන්නට ඉඩක් නැති බවයි.

ඉදිරි කාලයේදී පොලී අනුපාතික දිගින් දිගටම වැඩි වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවට ප්‍රාග්ධනය ගලා එන එක සීමා වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන ප්‍රවණතාව වෙනස් වෙනවා කියන එකයි. පවල්ගේ ප්‍රකාශය සිදු වූ ඊයේ ඇමරිකන් ඩොලරය බ්‍රිතාන්‍ය පවුම, යුරෝව, යෙන් මුදල, චීන යුවානය, ඕස්ට්‍රේලියානු හා කැනේඩියානු ඩොලර්, ඉන්දියන් රුපියල ඇතුළු ලෝකයේ ව්‍යවහාර මුදල් බොහොමයකටම සාපේක්ෂව දුර්වල වුනා.

අද ඇමරිකන් ඩොලරයක රුපියල් මිල තරමක් අඩු වෙන්න හේතු වී තිබෙන්නේත් ඉහත ප්‍රකාශයයි. බ්‍රිතාන්‍ය පවුම, යුරෝව, යෙන් මුදල ආදී අනෙක් විදේශ ව්‍යවහාර මුදල් බොහොමයකට සාපේක්ෂව අද දිනයේත් රුපියල පිරිහී තිබෙනවා.

පවල්ගේ ප්‍රකාශයට ඇමරිකානු කොටස් වෙළඳපොළත් ප්‍රතිචාර දැක්වූවා. ඊයේ කොටස් වෙළඳපොළ දර්ශක සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පොලී අනුපාතික වැඩි වීම නවතිනවා කියන්නේ ආර්ථික වර්ධනය ඉහළ යනවා කියන එකයි. එවිට සමාගම් වල ලාබ ඉහළ ගොස් කොටස් හිමියන්ගේ ලාභාංශ ඉහළ යනවා. ඒ නිසා, පොලී අනුපාතික සීමා වෙන්න යන ප්‍රවෘත්තියට කොටස් ඉල්ලුම වැඩි වී කොටස් මිල ඉහළ යනවා.

ජෙරමි පවල්ගේ ප්‍රකාශය නිසා කොටස් වෙළඳපොළේ හා විනිමය වෙළඳපොළේ ඊයේ ඇති වූ තිගැස්ම සුළු හා තාවකාලික එකක්.  ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිගේ කටින් පනින මෙවැනි කෙටි අදහස් දැක්වීමක් පවා ලෝකය පුරාම විශාල බලපෑමක් කරනවා.

(Image: https://www.moneycontrol.com/news/business/markets/opinion-jerome-powell-spoke-like-a-dove-but-appearances-can-be-deceptive-2886351.html)

Sunday, August 27, 2017

සිම්පල් ප්ලෑන්!



පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. දේශීය ණය වලින් වැඩි ප්‍රමාණයක් රුපියල් ණය වන අතර විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණයයි. ඒ නිසා, අපි අපේ පහසුව සඳහා මේ ලිපියේදී දේශීය ණය රුපියල් ණය ලෙසත් විදේශ ණය ඩොලර් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය ලෙසත් සලකමු.

ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. මේ ආණ්ඩුව බලයට පත් වන තුරු මේ ණය අර්බුදය ගැන වැඩිපුර කතා කළේ විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ, ආණ්ඩු විරෝධීන් සහ සහ වෙනත් ඇතැම් මැදහත් විශ්ලේෂකයින් විසින් පමණි. ආණ්ඩු විසින් බොහෝ විට කියන්නට උත්සාහ කළේ එවැනි අර්බුදයක් නැති බවයි. මේ කියන්නේ පසුගිය ආණ්ඩුව පැවති කාලය ගැන පමණක් නොවේ. 

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු විය. දැන් ණය අර්බුදය ගැන වැඩිපුරම කතා කරන්නේ බලයේ සිටින ආණ්ඩුවයි. ඒ නිසා ණය අර්බුදයක් ඇතැයි කීම දැන් ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩුවට කඩේ යන ප්‍රකාශයක් ලෙස සැලකෙන්නේ නැත. හොරකම් වැනි වෙනත් දේවල් ගැනද තත්ත්වය එසේය.

ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයින්ට හදිසියේම නිරීක්ෂණය වී ඇති කරුණක් වන්නේ රටේ හැම තැනම හොරු සිටින බවයි. ඒ අනුව, රටේ හැටියට ආණ්ඩුවේ හොරු සිටීම අමුතු දෙයක් නොවේ.

තවමත් කිසිදු දේශපාලනඥයෙකු විසින් "සොයාගෙන" නැතත්, ආණ්ඩුව පමණක් නොව රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් විශාල පිරිසක්ද පෞද්ගලිකව ණය අර්බුද වල හිර වී සිටිති. එහෙම බැලුවාම රටේ හැටියට ආණ්ඩුව ණය අර්බුදයක සිටීමද අමුතු දෙයක් නොවේ.

ණය අර්බුද වල පැටලී සිටින සාමාන්‍ය මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් විසින් කරන්නේ මාසයෙන් මාසයට ණය රෝල් කිරීමයි. මෙවැනි ඇතැම් අය ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් නඩත්තු කරමින් එකකින් අනිත් එකේ ණය ගෙවීමත්, අනිත් එකෙන් මුල් එකේ ණය ගෙවීමත් මාරුවෙන් මාරුවට කරති. ක්‍රෙඩිට් කාඩ් වල අධික පොලී අනුපාතික නිසා ණය එන්න එන්නම වැඩි වේ. එවිට විසඳුම බැංකුවට කතා කර ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව ණය ඉහළ දමා ගැනීමයි. මේ ක්‍රමයට කලක් ඇදගෙන යා හැකි වුවත් කොයි වෙලාවේ හෝ අමාරුවේ වැටෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

ව්‍යාපාරිකයින් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ලංකාවේ බොහෝ දෙනෙකු විසින් කරන්නේද ණය රෝල් කිරීමයි. මේ බොහෝ දෙනෙකු ව්‍යාපාරිකයෝ මිස සැබෑ ව්‍යවසායකයෝ නොවෙති. එයින් කියන්නේ සැබෑ ව්‍යවසායකයින්ද නොසිටින බව නොවේ. බැලූ බැල්මට ආණ්ඩුවට පිටින් සිටින කොටසක් මෙන් පෙනෙන ලංකාවේ ව්‍යාපාරිකයින් අතරින්ද සෑහෙන පිරිසක් ඇත්තටම ආණ්ඩුවේම කොටස්ය. මේ අයද දේශපාලනඥයින් හා ර‍ජයේ සේවකයින් මෙන්ම විශාල අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීමේ ප්‍රතිලාභ ලබන්නෝය. ආණ්ඩුවේ කොන්ත්‍රාත් මත හෝ රජයට භාණ්ඩ හෝ සේවා සම්පාදනය කිරීම මඟින් ලාභ ලබන්නන්ගේ සිට මන්ත්‍රීවරුන් විසින් බදු රහිතව ගෙන්වන වාහන මිල දී ගන්නන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ගොඩට දැමිය හැකිය.

ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් මත පදනම්ව නොවේ. ඔවුන් සතුව උරුමයෙන් හිමිවූ ප්‍රාග්ධනයක් තිබීම හෝ සමාජ  සම්බන්ධතා මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රවේශ හැකියාවක් තිබීම මත පදනම්වය. මේ දෙකෙන් එකක්වත් නැති ලංකාවේ බොහෝ දෙනෙකුට ව්‍යවසායකත්ව හැකියාවන් තිබුණද ව්‍යාපාරිකයින් වීමට අවස්ථාවක් නොලැබේ. තමන්ගේ හැකියාව අනුව හිමි විය යුතු, එහෙත් පවතින තත්ත්වයන් යටතේ තමන්ට නොලැබෙන අවස්ථාව අධ්‍යාපනය හරහා ඉහළට ගොස් වෘත්තීයවේදීන් වීම මඟින් වෙනත් ආකාරකින් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ එබැවිනි. රජයේ සරසවි වල වෛද්‍ය පීඨ වලට විශාල ඉල්ලුමක් තිබෙන්නේ වෛද්‍යවරුන් වන්නට "ඇඟෙන්ම​" උවමනාවක් තිබෙන පිරිසට සමාජ ඉනිමගේ ඉහළට යාමට වෙනත් ප්‍රවේශ මාර්ග නැති තවත් පිරිසක්ද එකතු වීම නිසාය.

සාමාන්‍ය පුද්ගලයෙකුට ලංකාවේ වාණිජ බැංකුවකින් ආයෝජන ණයක් ගැනීම ඉතාම අපහසුය. මෙවැනි අයට බැංකුවකින් පහසුවෙන් ලබාගත හැක්කේ කල්බදු ආකාරයේ පරිභෝජන ණය, උගස් ණය හා ක්‍රෙඩිට්කාඩ් ණය පමණි. ලංකාවේ බැංකු වලින් ව්‍යාපාරික ණය ලබා ගන්නෝ බොහෝ දෙනෙකු එක්කෝ දැනටමත් සැලකිය යුතු ප්‍රාග්ධනයකට හිමිකම් කියන අයයි. එසේ නැත්නම් දේශපාලන හෝ වෙනත් සම්බන්ධතා ඇති අයයි. සරසවි ප්‍රවේශ සුදුසුකම් ලැබීමට තරම් ශාස්ත්‍රාලීය දක්ෂතා නැති, උරුමයෙන් ලැබුණු ප්‍රාග්ධනයක්ද නැති, එහෙත් කිසියම් ආකාරයක දක්ෂතාවන් ඇති අය ප්‍රාදේශීය දේශපාලනඥයින් වන්නට උත්සාහ කරන්නේ ඉහළට නගින්නට ඔවුන්ට ඉතිරි වී ඇති හොඳම විකල්ප ප්‍රවේශ මාර්ගය එය නිසාය. දේශපාලන සම්බන්ධතා ඇතුළු වෙනත් දේ නැතුව පාසැලක කැන්ටිමක් කිරීමේ අවස්ථාව ලබා ගැනීම පවා අසීරු කරුණකි.

ලස්සෙට කොඩි දමා සිටින බව පෙනෙන ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නවා වන්නටද පුළුවන. වත්කම් මිස බැංකු ණය පිටතට පෙනෙන්නේ නැත. එහෙත්, ඒ හේතුව නිසා මෙවැනි ව්‍යාපාරිකයකුට සිය ව්‍යාපාරය බිඳ නොවැටී පවත්වාගනිමින් හා අත දිගහැර වියදම් කරමින් හොඳ ජීවන තත්ත්වයක්ද පවත්වාගැනීමට නොහැකි වන්නේද නැත. එක් ණයක් ගෙවා ගන්නට අසීරු වන විට තවත් ණයක් ගන්නට පුළුවන. 

එක පැත්තකින් මෙවැනි "හිර වී සිටින" ව්‍යාපාරිකයෙකුට බැංකුව තවත් ණය නොදී සිටියොත් වෙන්නේ ඔහුගේ ව්‍යාපාර  ක්ෂණිකව බංකොලොත් වී දැනට ලබාගෙන ඇති ණයද ගෙවන්නට නොහැකි වීමයි. එහෙම වුනොත් ණය අනුමත කළ බැංකු කළමනාකරුගේ රැකියාවද අනතුරේය. එහෙම වනවාටත් වඩා වෙන්නට ඉඩ තිබෙන්නේ අදාළ පාරිභෝගිකයා වෙනත් බැංකුවක් වෙත යාමයි. එයද, පළමුව කළමනාකරුගේ ඉලක්කත් පසුව රැකියාවත් අනතුරේ හෙළයි. මෙයට අමතරව මේ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට බැංකුවකින් ණයක් අනුමත කර ගැනීමේ "ක්‍රමවේදය" ගැන මනා පළපුරුද්දක් තිබේ. බැංකුව රාජ්‍ය බැංකුවක් වුවත්, පෞද්ගලික බැංකුවක් වුවත් පවුලේ සාමාජිකයින් සමඟ තායිලන්තයේ හෝ මැලේසියාවේ සති අන්තයක් ගෙවන්නට අකමැති කළමනාකරුවෝ නැත.

වරින් වර ණය රෝල් කිරීම ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින්ගේ විශේෂ ප්‍රාගුණ්‍යයකි. ඕකට අවශ්‍යනම් ණය රෝල් කිරීම නොකියා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියා කියන්නත් පුළුවන.

ව්‍යවසායකයින් යනු වෙනත් අයට නොපෙනෙන දේ දැකිය හැකි අයයි. මෙවැන්නන්ට ඇතැම් විට වෙනත් අයට නොපෙනෙන "සිම්පල් ප්ලෑන්" පෙනේ. ව්‍යවසායකත්වය යනු අධ්‍යාපනය හරහාම බිහිවන දෙයක් නොවේ. එහෙත්, ව්‍යවසායකත්වය තුළින් යා හැකි දුර අධ්‍යාපනය විසින් තීරණය කරයි. අධ්‍යාපනය යනු හැමවිටම විධිමත් අධ්‍යාපනයම නොවූවත්, ඇතැම් සංකීර්ණ විෂයයන් හා අදාළව අලුතෙන් දෙයක් සාර්ථක ලෙස කරන්නටනම් අදාළ විෂයේ මූලධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. වතුරෙන් දුවන කාර් හදන්නට පෙර එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන හා ශක්ති සංස්ථිතිය සිදුවන ආකාරය ගැන මූලික දැනුමක් අවශ්‍ය වේ. ඩෙංගු වලට බෙහෙත් හොයන්නට පෙර ඩෙංගු රෝගය සිරුරේ විවිධ අවයව වල ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය ගැන මැනවින් අවබෝධ කරගත යුතුය. එවැනි පෙර පුහුණුවක් නැති අයෙකු විසින් ඉදිරිපත් කරන "සිම්පල් ප්ලෑන්" එකක වුවද ගන්නට දෙයක් තිබෙන්නට ඉඩක් නැත්තේම නැතත්, එවැන්නක් ගොන්පාර්ට් එකක් වෙන්නට තිබෙන ඉඩ ඊට වඩා වැඩිය.

ඉතිහාසය පුරා ලංකාව මුහුණ දුන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අපට තිබුණු එක් "සිම්පල් ප්ලෑන්" එකක් වුනේ ඉඟුරු දී මිරිස් ගැනීමයි. පෘතුගීසින් එළවන්නට ලන්දේසීන් සමඟත්, ලන්දේසීන් එළවන්නට ඉංග්‍රීසින් සමඟත් ගිවිසුම් ගැසූ ජාතියකට ඩොලර් ණය වෙනුවට යෙන් ණය ගැනීම හොඳ විසඳුමක් බව පෙනෙන්නට පුළුවන. හොරකම් නැවැත්වීමෙන් පසු ඉතිරිවන මුදලින් සියලු ණය පියවා රට සමෘද්ධිමත් කිරීමේ "සිම්පල් ප්ලෑන්" එක ආකර්ශනීය වූ අයුරින්ම මේ  "සිම්පල් ප්ලෑන්" එකද ඇතැම් අයට ආකර්ශනීය විය හැකිය.

මේ හා අදාළ තාක්ෂණික කරුණු ගැන උනන්දුවක් දක්වන්නේනම් කරුණාකර පහත ලිපියද කියවන්න.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයට විසඳුමක්ද?

Thursday, December 17, 2015

ඇමරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතික ඉහළට...

ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද දින (16 බදාදා) පැවති ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුවේ ඒකමතික තීරණය පරිදි ෆෙඩරල් පොලී අනුපාතික 0.25-0.50% මට්ටම දක්වා ඉහළ නැංවීය.

පසුගිය දශකයක පමණ කාලය පුරාවට ෆෙඩරල් සංචිත බැංකුව ගෙනගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මීට පෙර අවසන් වරට ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදු වූයේ 2006 ජුනි මස 26 වෙනිදාය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින්, 2007 සැප්තැම්බර් සිට, ඒ වන විට 5.25% මට්ටමේ පැවති ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, හරියටම වසර හතකට පෙර 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එදා මෙදා තුර වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය.

මහ බැංකුවක නාමික පොලී අනුපාතික ශුන්‍ය මට්ටමට පහත හෙළූ විට මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ඵලදායී නොවේ. මෙය එක්තරා ආකාරයකින් මහ බැංකුවේ අවි ගබඩාවේ ඇති අවි අවසන් වීමකි. පොලී අනුපාතික සෘණ අගයකට ගෙන ආ විට බැංකුවක මුදල් තබනවාට වඩා මුදල් අතේ තබා ගැනීම වාසිදායක වන බැවිනි. පොලී අනුපාතික මේ අවම සීමාවට රැගෙන ඒමෙන් අනතුරුවත් ආර්ථික අවපාතයක් අවසන් නොවීම ශුන්‍ය අවම සීමා ගැටළුව (Zero lower bound problem) ලෙස හැඳින්වේ. මෙවැනි තත්ත්වයකට පත් වූ විට ආර්ථික අවපාතයකින් ඉක්මණින් ගොඩ ඒම සඳහා රටකට ඇති එකම ප්‍රායෝගික ක්‍රමය ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල (ෆිස්කල්) ප්‍රතිපත්තියයි. පසුගිය කාලයේ ඇමරිකාව අනුගමනය කළ ක්‍රමෝපායය වූයේ මෙයයි. කෙසේ වුවද රාජ්‍ය මූල ප්‍රතිපත්තිය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මෙමඟින් කෙටිකාලීනව ලැබෙන වාසියට වඩා දිගුකාලීන හානියක් විය හැකිය.

රාජ්‍ය මූල ප්‍රසාරණය හේතුවෙන් 2009 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් 9.8%ක් දක්වා ඉහළ ගියේය. එහෙත්, 2014 වසර වනවිට මේ හිඟය 2.8% මට්ටමට අඩු කර ගැනුණු අතර ලබන වසර වන විට 2.5% මට්ටමට අඩු කර ගැනීමට සැලසුම් කර තිබේ. එමෙන්ම, ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගත් පසුගිය කාලය තුල පටු මුදල් සැපයුම (M1) එ.ජ. ඩොලර් බිලියන 1.4 පමණ සිට බිලියන 3 මට්ටම පසුකරමින් දෙගුණය ඉක්මවා වර්ධනය විය. මුදල් සැපයුමේ මේ විශාල වර්ධනය තවමත් මිල මට්ටම් ඉහළ යැවීමට හේතු වී නැත. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වීමෙන් ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරන්නේ මුදල් සැපයුමේ වර්ධනය සීමා කරමින් උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. මේ ආරම්භක පියවරෙන් අනතුරුව ඉදිරි කාලයේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමනු ලැබීම අපේක්ෂා කළ හැකි දෙයකි.

පසුගිය කාලයේදී ඇමරිකාව අනුගමනය කළ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල ප්‍රතිපත්ති සහ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් අයවැය හිඟය මෙන්ම ෆෙඩරල් බැංකුවේ සංචිත මුදල් සැපයුමද විශාල ලෙස ඉහළ ගියේය. ඇතැම් අය අනාවැකි පළකළේ මේ හේතුවෙන් ඇමරිකාව වඩා විශාල, ගොඩ යා නොහැකි ආර්ථික අර්බුදයක හිරවනු ඇති බවයි. කෙසේවුවද, ඇමරිකානු ආර්ථිකය නැවතත් සාර්ථක ලෙස හිස ඔසොවා ඇති බව දැන් පැහැදිලිය. 2009 ඔක්තෝබර් වන විට 10% මට්ටමට ඉහළ ගිය විරැකියා අනුපාතිකය මේ වන විට 5% මට්ටම දක්වා අඩුවී තිබේ. මෙය ඇමරිකාවේ පියවි විරැකියා අනුපාතිකය ලෙස ඇස්තමේන්තු කර ඇති  5.2%ට වඩා අඩු අගයකි. එමෙන්ම මේ වසරේදී 2% ඉක්මවූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරෙන අතර ලබන වසරේදී මේ වර්ධනය 2.2-2.6% මට්ටමට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට ඇමරිකාවේ උද්ධමනය ඇත්තේ 0.5% මට්ටමේය. මෙය දිගුකාලීන ඉලක්කය වන 2% මට්ටමට වඩා තවමත් බෙහෙවින්ම පහළින් ඇතත් මේ වන විට ඉතා අඩු මට්ටමක ඇති ඉන්ධන මිලෙහි බලපෑම ඉවත් වූ විට උද්ධමනය ඉලක්ක මට්ටමට ළඟා වනු ඇතැයි ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරයි. ඒ අනුව, දශකයකට ආසන්න කාලයක් පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා පළමු පියවර මෙසේ තබා තිබේ. මේ වැඩිවීම මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීන් බලාපොරොත්තුවෙන් සිටි බැවින් කොටස් වෙළඳපොළ අගයේ සුළු වැඩිවීමක් හැරුණු විට මේ තීරණයෙන් මූල්‍ය ක්ෂේත්‍රයෙහි සැලකිය යුතු  කම්පනයක් ඇති වූයේ නැත.

ඇමරිකා ආර්ථිකය මෙසේ ශක්තිමත් වූවද යුරෝපා ආර්ථිකය තවමත් ඔවුන්ගේ අර්බුද වලින් මිදී නොමැති නිසා යුරෝ කලාපයේ මෙවැනි පොලී අනුපාතික ඉහළ යාමක් ළඟකදී බලාපොරොත්තු විය නොහැක. මේ අනුව ඇමරිකාව සහ යුරෝ කලාපය අතර පොලී අනුපාතික වෙනස ඉහළ යාම හේතුවෙන් ප්‍රාග්ධනය යුරෝ කලාපයේ ඇමරිකාව වෙත ඇදී ඒම නිසා ඇමරිකානු ඩොලරය යුරෝවට සාපේක්ෂව තව දුරටත් ශක්තිමත් වනු ඇත. ඇත්තටම, මේ පොලී අනුපාතික ඉහළ යාම අපේක්ෂා කළ එකක් වූ බැවින් විණිමය අනුපාතික ෆෙඩරල් තීරණයට පෙරම ප්‍රතිචාර දැක්වීය. අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක සියල්ලටම පාහේ සාපේක්ෂව ඇමරිකානු ඩොලරය පසුගිය මාස කිහිපය තුල ශක්තිමත් විය.

මෙසේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම පසුගිය මාස ගණනාවක් මුළුල්ලේම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වීමට හේතු වනු ඇත. ඇමරිකාවට සිදු කරන ආනයන ඉහළ යාමෙන් ගෙවුම් ශේෂයට යම් වාසිදායක බලපෑමක් සිදුවිය හැකි වුවත් රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට මේ බලපෑම ප්‍රමාණවත් නොවනු ඇත.

මේ ලිපිය දිනක් පසු වී 17 දින පළ වනු ඇත.

(Image: http://www.financemagnates.com/)


Monday, June 1, 2015

අපේ අවදානම් අධිභාරය අඩුවී තිබේ!



පෙර සටහන හා බැඳේ.


සා ර ස ගේ සබැඳිය අනුව යමින් හර්ෂ ද සිල්වාගේ ගේ ප්‍රකාශය හා අදාළ මහ බැංකු මාධ්‍ය නිවේදනය සොයා ගත හැකි විය.


http://mangalasamaraweera.com/2010/03/22/us-640-mn-imf-loan-obtained-by-govt-lying-in-foreign-banks-harsha-de-silva/


පහත වෙබ් පිටුවේ ඇති 2010 මාර්තු 18 දිනැති මාධ්‍ය නිවේදනයයි.


http://www.cbsl.gov.lk/htm/english/02_prs/p_1.asp?yr=2010


මේ අනුව අදාල සංවර්ධන බැඳුම්කර නිකුතුව පිලිබඳ වැඩි තොරතුරු මෙසේය.

-ඩොලර් මිලියන 55ක සංවර්ධන බැඳුම්කර මාස 36 ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.95% ක් පොලියකට.
-ඩොලර් මිලියන 37ක සංවර්ධන බැඳුම්කර මාස 24 ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.80% ක් පොලියකට.


එම මාධ්‍ය නිවේදනය අනුවම 2009 සැප්තැම්බර් මාසයේදී මෙසේ වාණිජ ණය ලබා ගෙන ඇත්තේ,
-මාස 36 ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 4.25% ක් පොලියකට හා
-මාස 24 ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 4.50% ක් පොලියකටය.


මේ බැඳුම්කර නිකුත්කර ඇත්තේ වසර 2-3 කාලයකට බැවින් වසර 10කට නිකුත්කළ බැඳුම්කරයක් හා සැසඳීම කිසිසේත්ම නිවැරදි නොවේ. වසර 10කට ණයක් ලබා දීමේදී ආයෝජකයා ගන්නා අවදානම ඉතා ඉහල බැවින් වැඩි පොලියක් අපේකෂා කිරීම තේරුම් ගැනීමට අපහසු නැත. ඒ නිසා මෑත කාලීන නිකුතුවේ සැසඳිය හැකි කල්පිරීම් දෙස අප බැලිය යුතුය.


අදාළ විස්තර මම නැවත පළ කරමි.
- ඩොලර් මිලියන 650ක් ලබාගෙන ඇත්තේ වසර 10ක කාලයකින් ආපසු ගෙවීමට 6.125% ක වෙනස් නොවන පොලියකටය.
- ඩොලර් මිලියන 329ක් මාස 13ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි පොලියකට.
-ඩොලර් මිලියන 9ක සංවර්ධන බැඳුම්කර මාස 35ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.5389% ක් පොලියකට.


(දැනට සමස් LIBOR අනුපාතය 0.42315% කි. මහ බැංකු මාධ්‍ය නිවේදනය අනුව 2010 මාර්තුහිදී මේ අනුපාතය 0.40% කව පැවතී ඇත. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳපොලේ පොලී අනුපාතික 0.02% කින් සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.)


මාස 13 බැඳුම්කරය වඩාත් කෙටිකාලීන නිසා මෙහිදී මාස 35 සහ මාස 36 බැඳුම්කර සැසඳීම සාධාරණය.

ඒ අනුව පෙනී යන්නේ 2010 මාර්තු නිකුතුවට සාපේක්ෂව මෙවර ණය ලබාගෙන ඇත්තේ 0.41% ක් අඩුවෙන් බවයි (3.95 - 3.54).


මෙය ආයෝජකයන්ගේ ශ්‍රී ලංකාව පිලිබඳ ආකල්ප යහපත් වීමක් වීමට ඇති ඉඩකඩ එසේ නොවීමට ඇති ඉඩකඩට වඩා ඉතා විශාලය.


තීරණය ඔබ සතුය. මා ස්ථිරවම නොපවසන්නේ එය පුද්ගලික මතයක් නිසාත්, සලකා නොබැලූ වෙනත් කරුණු වල බලපෑම් ද තිබිය හැකි නිසාත්ය. සා ර ස තර්කය අනුව යමින් කලින් ලබාගත් කොමිස් මුදල් අඩුවීමක් ලෙස මෙය පටු ලෙස අර්ථදැක්වීමට යමෙකුට හැකි වුවත් එය නිවැරදි නැත.


අවදානම් අධිභාරය යනු කුමක්ද?


අප යමෙකුට ණය මුදලක් ලබාදීමේදී එය ආපසු නොලැබීමේ අවදානමක් පවතී. උදහරණයක් ලෙස යමෙකු රුපියල් දෙසීයක් ආපසු දෙන පොරොන්දුව පිට ඔබෙන් රුපියල් සියයක් ඉල්ලා සිටී.


මෙය හොඳ ගනුදෙනුවක්ද නැද්ද යන්න තීරණය වන්නේ ණය දෙන්නා තුල ණය ලබා ගන්නා තැනැත්තා පිළිබඳව ඇති විශ්වාසය මතය.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩ 100%ක් නම් ණය දීමෙන් අනිවාර්යයෙන්ම රුපියල් 100ක ලාභයක් ඇත.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩක් ඇත්තේම නැත්නම් ණය දීමෙන් අනිවාර්යයෙන්ම රුපියල් 100ක අලාභයක් සිදුවනු ඇත.
-පොරොන්දුව ඉටුවීමේ ඉඩකඩ 50%ක් නම් රුපියල් 100ක ලාභයක් හෝ රුපියල් 100ක අලාභයක් සිදු වීමේ සමාන ඉඩකඩක් ඇති නිසා ලාභයක් හෝ අලාභයක් නැත.


මුදල් අහිමිවීමේ අවදානමක් ඇතත් වැඩි පොලියක් ලැබේනම් ආයෝජකයෝ ණය ලබාදෙති. සක්විතිලාට ලොකු මුදලක් එකතු කරගත හැකි වූයේත් මහ බැංකුව අර්ථසාධක අරමුදල් ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කළේත් මේ අනුවය.


ඇමරිකාවේ ස්ථිර තැන්පතු පොලිය 0.05%ක් හා ලංකාවේ 3.5% ලෙස පවතිද්දී ඒ මුදල් ලංකාවේ ආයෝජනය නොවන්නේ මෙහි මුදල් ආයෝජනය කිරීමේ අවදානම 3.45%කට වඩා වැඩියැයි ඇමරිකානු ආයෝජකයන් සිතන නිසාය. එසේ සිතීමට වත්මන් හා පෙර පැවති ආණ්ඩු වල ක්‍රියාකාරකම් මෙන්ම අපේ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන තොරතුරු සහ යමෙකුගේ වත්පොත් හෝ බ්ලොග් සටහනක් වැනි සුළු දෙයකින් වුවද යම්කිසි දායකත්වයක් ලැබේ.


මගේ සාමාන්‍ය අදහස වූයේ ආණ්ඩු මාරුවෙන් පසු අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් වී තිබිය යුතුය යන්නයි. සා ර ස සටහන අනුව එය එසේ නොවන බව දැකීම මා විමතියට පත් කළ බැවින් වැඩිදුර සොයා බැලීමට උනන්දු වූවෙමි. මේ සටහන පොදු මහජනතාවගේ තීරණ ගැනීමේ හැකියාව දියුණු කිරීමට තල්ලුවක් වශයෙනි.


පසු එකතු කිරීම:


මහ බැංකු වෙබ් අඩවියේ ඇති පසු ගිය වසර වල මාධ්‍ය නිවේදන තව දුරටත් පිරික්සීමේදී පෙනී ගිය පරිදි 2014 මාර්තු හිදී තුන් වසරකින් කල් පිරෙන සංවර්ධන බැඳුම්කර නිකුත් කර ඇත්තේ LIBOR අනුපාතිකයට වඩා 4% ක පොලියකටය. මේ අනුව, මට සොයාගත හැකි වූ තොරතුරු අනුව 2009-2014 කාලයේදී (යුද ජයග්‍රහණයෙන් පසුව) තුන් වසරකින් කල් පිරෙන සංවර්ධන බැඳුම්කර සඳහා අපි LIBOR අනුපාතිකයට වඩා 3.95-4.25% පරාසයේ පොලියක් ගෙවා ඇත්තෙමු. මේ කරුණු අනුව, LIBOR අනුපාතිකය මත අධිභාරය 3.54% ක් දක්වා අඩුකරගත හැකි වීම මගේ මතය පරිදිනම් වත්මන් රජය ලැබූ පැහැදිලි ප්‍රගතියකි.


මතුපිටින් පෙනෙන කරුණු දෙස බලා තීරණ වලට එළඹීම හානිදායකය.







Sunday, May 31, 2015

අපි ණය ගන්නේ ගිණි පොලියටද?


නෙළුම්යායේ නැවත පළකෙරුණු "යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය"යන සරස ලියූ සටහන දැක යම් පැහැදිලි කිරීමක් කිරීමට සිත් විය. සටහනේ ඇති කරුණු නිවැරදි හා පැහැදිලි වුවත් එහි අවසාන විග්‍රහය සමඟ ඉකොනොමට්ටාට මුළුමනින්ම එකඟ විය නොහැක. මගේ අරමුණ වෙනත් අවසන් විග්‍රහයක් ඉදිරිපත් කිරීම නොවේ. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය පරිදි විග්‍රහ කර ගැනීමට හැකි වන පරිදි තාක්ෂණික කරුණු කිහිපයක් එක් කිරීමයි.


මෙහි සඳහන් කර ඇති බැඳුම්කර එකතුව පිලිබඳ වැඩි විස්තර (සංයුතිය) මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගත හැකිය.


http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/press_20150529e.pdf


මේ අනුව 5.26% ක පොලියකට ඩොලර් මිලියන 988ක ණය ගෙන ඇති බව සැබෑවකි.


සරස සඳහන් කර ඇති පරිදිම "ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය." මූලාශ්‍රයක් අවශ්‍යනම් මෙහි තිබේ.


http://online.wsj.com/mdc/public/page/2_3020-libor.html


ගිණි පොලියට ණය ගෙන ඇති බව බැලූ බැල්මට යමෙකුට ඇති වන අදහසයි.


කෙසේ වුවද මහා බැංකු මාධ්‍ය නිවේදනයේ තවත් තොරතුරු තිබේ. මේ අනුව ඩොලර් මිලියන 988ක් ලබා ගෙන ඇත්තේ පහත සඳහන් පරිදිය.

- ඩොලර් මිලියන 650ක වටිනාකමකින් යුත් ස්වෛරිත්ව බැඳුම්කර වසර 10ක කාලයකින් ආපසු ගෙවීමට 6.125% ක වෙනස් නොවන පොලියකට
- ඩොලර් මිලියන 329ක සංවර්ධන බැඳුම්කර මාස 13ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට. (දැනට සමස් LIBOR අනුපාතය 0.42315% කි.)
-ඩොලර් මිලියන 9ක සංවර්ධන බැඳුම්කර මාස 35ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.5389% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට.


ණය පොලී අනුපාතික වෙළඳපලේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන අතර ඉල්ලුම හා සැපයුම බොහෝ බාහිර කරුණු මත විචලනය වේ. (සටහන ඕනෑවට වඩා දිගු වන නිසා මෙහි සාකච්ඡා නොකරමි.) කෙසේ වුවද ණය ආපසු ගෙවන කාලය අනුව පොලී අනුපාතිකය ඉහළ යාම බොහෝදෙනෙකු දන්නා සරල කරුණකි. සතියක කාලයක් සඳහා LIBOR අනුපාතිකය 0.12300% වන විට වසරක කාලයක් සඳහා එයම 0.75295% වන්නේ ඒ නිසාය.


මේ අනුව අප වසරක  LIBOR අනුපාතිකය වන 0.75295% සැසඳිය යුත්තේ වසරක කාලයකට ලබා ගන්නා ණයක් සඳහා ගෙවන පොලියකටය.


ශ්‍රී ලංකා රජය විසින් මාස 13ක කාලයකට නිකුත් කර  ඇති සංවර්ධන බැඳුම්කර සඳහා ගෙවන්නේ සයමස්  LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි පොලියකි. දැනට සමස් LIBOR අනුපාතය 0.42315% ක් හා වසරක් සඳහා LIBOR අනුපාතය 0.75295% වන නිසා දළ වශයෙන් අපි වසරක කාලයකදී  LIBOR අනුපාතයට වඩා 2.83% ක පමණ පොලියක් ගෙවමු. එනම් 3.59% පමණ වූ පොලියකි.


දැන් අපේ ප්‍රශ්නය තරමක් සරලය. 2.83% ක අධිභාරයක් ගෙවීමෙහි අවුලක් තිබේද? 


LIBOR අනුපාතය යනු ප්‍රමුඛ බැංකු ඔවුනොවුන් අතර මුදල් ගණුදෙනු කරන අනුපාතයයි. බාහිර ණය ලබා දෙන්නේ ඒ මත අවදානම අනුව අධි භාරයක් එකතු කිරීමෙන් පසුවය. ප්‍රමුඛ ණය දීමේ අනුපාතය යනු විශාලම බැංකු ඔවුන්ගේ අවදානම අඩුම හොඳම පාරිභෝගිකයන්ට ණය දෙන අනුපාතයයි. ඇමරිකන් ඩොලර් සඳහා මේ අනුපාතය දැනට 3.25% පමණ වේ. මූලාශ්‍රය පහත ඇත.


http://www.wsj.com/mdc/public/page/2_3020-moneyrate.html

මේ අනුව අපි ප්‍රමුඛ බැංකු ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයන්ට (විශාල සමාගම් වලට) ණය දෙන අනුපාතයට වඩා ආසන්න වශයෙන් 0.34% කින් වැඩි පොලියක් ගෙවමු.


මේ අවදානම් අධිභාරය අඩුද වැඩිද යන්න මට තීරණය කළ නොහැක. එය ඔබේ තීරණයකි. මගේ පෞද්ගලික අදහසනම් මෙහි අසාමාන්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම මෙවැනි ණය නිකුතුවකදී කිසිවකු කොමිස් මුදලක් ලබා ගන්නා බව හෝ එසේ ලබා නොගන්නා බව මේ කරුණු වලින් තහවුරු නොවේ.


අනෙක් සියලුම සාධක නොවෙනස්ව ඇති තත්ත්වයක් තුලදී වුවත් යම් ණයක් ලබාගැනීමේදී ශ්‍රී ලාංකිකයෙකු ගෙවිය යුතු අධිභාරය ඇමරිකානුවෙකු ගෙවිය යුතු අධි භාරයට වඩා ඉතා විශාලය. ඒ ලංකාව (ආණ්ඩු මාරු කවරක් සිදු වුවත්) වැඩි අවදානමක් සහිත රටක් ලෙස හඳුනා ගැනෙන බැවිනි.


වසරක ස්ථිර තැන්පතුවක් සඳහා ඇමරිකාවේදී ලැබෙන පොලිය 0.05% තරමේ සුළු එකකි.


https://www.bankofamerica.com/deposits/bank-account-interest-rates.go


එහෙත් ලංකාවේදී ඇමරිකන් ඩොලර් ස්ථිර තැන්පතුවක් සඳහා 3.5% ක පමණ පොලියක් ලැබේ.


http://www.combank.net/newweb/rates-tariffs/fc-accounts


මේ අනුව ආයෝජකයෙකුට සිය අරමුදල් ලංකාවට ගෙන ඒමෙන් (අනෙත් සියලුම අවදානම් සමාන වන තත්ත්වයකදී) 70 ගුණයකින් වැඩි ආදායමක් ලැබිය හැකිය. එහෙත් එවැන්නක් සිදු නොවේ. ඒ මේ අවදානම් අධිභාරය නිසාය. එය කිසිවකු විසින් තීරණය කරණ දෙයක් නොවේ. අසන දකින දේ අනුව ආයෝජකයෙකුට නිසගයෙන් දැනෙන දෙයකි.


මේ අධිභාරය අඩු හෝ වැඩි කිරීමට ආණ්ඩු කරවන ඇත්තන්ට අමතරව ඔබේත් මගේත් දායකත්වයක් තිබේ.


ණය සඳහා ගෙවන පොලී අනුපාතික වත්මන් හා පසුගිය රජයන්හි කටයුතු සැසඳීමට යොදා ගැනීමද හිතන තරම්ම පහසු නැත. සරස සඳහන් කරන පසුගිය රජය ලබා ගත් ණය මුදලෙහි සංයුතිය නොදන්නා බැවින් ඉකොනොමැට්ටාට සැසඳීමක් කිරීමේ හැකියාවක් නැත. ඒ සඳහා අදාල කාලයේ අනෙකුත් දත්තද අවශ්‍යය. එසේ කිරීමෙන් පසු අවදානම් අධිභාරය ඉහළ ගොස් ඇති බව පෙනේනම් එයින් පෙනීයන්නේ නව රජය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට අසමත්ව ඇති බව, ණය ගැනීම් ඉහළ දමා ඇති බව හෝ මේ දෙකේ එකතුවකි. කොමිස් සම්බන්ධයක්ද තිබිය හැකිය. එහෙත් එය තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් සාධක මෙහි නැත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...