වෙබ් ලිපිනය:

Showing posts with label ප්‍රතිශක්තිකරණය. Show all posts
Showing posts with label ප්‍රතිශක්තිකරණය. Show all posts

Wednesday, March 18, 2020

ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!


මේ වන විට කොරෝනා මරණ ප්‍රමාණය නව දහසකට ආසන්න වී තිබෙනවා. වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත් චීනයේත්, ඉන් පසුව එය වේගයෙන් පැතිරුණු දකුණු කොරියාවේත් තත්ත්වය මේ වන විට පාලනය වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. දැනට වේගයෙන්ම වෛරසය ව්‍යාප්ත වෙන්නේ පළමුව බටහිර රටවල හා දෙවනුව මැද පෙරදිග කලාපයේ වුවත් සංවර්ධනය වෙමින් පවතින රටවලද වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබෙනවා.

වෛරසය පැතිරීම පාලනය කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍ය ඒකක මට්ටමින් සිදුවෙමින් පවතිනවා. මෙහිදී එක් එක් රටවල ආණ්ඩු විසින් ගන්නා විවිධ ක්‍රියාමාර්ග සමඟ එකඟ වන අය මෙන්ම එකඟ නොවන අයද සිටිනවා. පැහැදිලි බෙදුම් ඉරක් නැතත්, මේ රාජ්‍ය ක්‍රියාමාර්ග පුළුල් වශයෙන් චීන ක්‍රමය හා බ්‍රිතාන්‍ය ක්‍රමය ලෙස වෙන් කරන්න පුළුවන්. ඇමරිකාව විසින් අනුගමනය කරමින් සිටින ක්‍රමය බොහෝ දුරට බ්‍රිතාන්‍ය ක්‍රමයට ආසන්නයි.

චීනය විසින් කොරෝනා වෛරස් තර්ජනය හමුවේ අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන එල්ල වුනා. බොහෝ විට මෙවැනි විවේචන කළේ බටහිර රටවල ජීවත් වූ පිරිස් විසිනුයි. බටහිර රටවල ජීවත් වූ චීන සම්භවයක් ඇති පිරිස්ද මෙසේ විවේචන කළ අය අතර කැපී පෙනුනා. මේ විවේචන වල ඉලක්කය වුනේ කොරෝනා හානිය වැළැක්වීමේ උත්සාහය තුළ චීන රජය විසින් ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වුනු වෙනත් විවිධ හානි බව පුළුල් ලෙස අර්ථ දැක්විය හැකියි.

චීන ක්‍රමයට විවේචන එල්ල වූ අයුරින්ම මේ වන විට බ්‍රිතාන්‍ය ක්‍රමයටද විවේචන එල්ල වෙනවා. එහිදී බොහෝ විට පැවසෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගනිමින් රෝගය පැතිරෙන්නට ඉඩ හැර ඇති බවයි. ඇමරිකාව විසින් අනුගමනය කරන්නේද බ්‍රිතාන්‍ය ක්‍රමයම වුවත් ඇමරිකාවේදී මේ ක්‍රමය බ්‍රිතාන්‍යයේදී තරම් විවේචනයට ලක් වන බවක් පෙනෙන්නේ නැහැ.

කොවිඩ්-19 ලෝකයට අලුත් අත්දැකීමක්. මේ වසංගතය ගැන දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩියි. ඒ නිසා, කවර ආණ්ඩුවකට වුවත් ක්‍රියා කරන්න වෙන්නේ උපකල්පන මතයි. උපකල්පන පදනම් වන්නේ නිරීක්ෂණ මතයි. අලුත් නිරීක්ෂණ එකතු වන විට පැරණි උපකල්පන වඩා නිවැරදි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මේ අනුව බැලුවොත්, මේ මොහොතේ බටහිර රටවල් සිටින්නේ වෛරසය පැතිරීම ආරම්භ වූ අවස්ථාවේ චීනය සිටියාට වඩා වාසිදායක තැනකයි. චීනයේ වයිරසය පැතිරුණු ආකාරය පිළිබඳ තොරතුරු මත බටහිර රටවලට වඩා දැනුමැති තීරණ වලට එළැඹෙන්න පුළුවන්.

බ්‍රිතාන්‍යය මෙන්ම ඇමරිකාවද විසින් වෛරස් තර්ජනයට මුහුණ දීමට සූදානම් වන්නේ වෛරසය පැතිරිය හැකි ආකාරය ගැනත්, එය වැළැක්වීමට හෝ සීමා කිරීමට ගන්නා විවිධ ක්‍රියාමාර්ග වලින් ලැබෙන්නට ඉඩ ඇති වාසි හා අවාසි ගැනත් කිසියම් අධ්‍යයනයක් කිරීමෙන් පසුවයි. මේ අධ්‍යයන අතරින් එක් පුළුල් අධ්‍යයනයක් වන්නේ ලන්ඩන් ඉම්පීරියල් කොලීජියේ මහාචාර්ය නීල් ෆර්ගසන් ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයින් 31 දෙනෙකු විසින් සිදු කර තිබෙන අධ්‍යයනයයි. බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ආණ්ඩු මේ වාර්තාවට සැලකිය යුතු බරක් තබා තිබෙන බව පැහැදිලියි.

නීල් ෆර්ගසන් වාර්තාව අනුව තවමත් අප දකින්නේ අයිස් කන්දක ශිඛරය පමණයි. අයිස් කන්ද පෙනෙන විට අප අතරින් ඇතැමෙක් ජීවත්ව නොසිටින්න පුළුවන්. කෙතරම් බියජනක වුවත් දැනට පෙනෙන්නට තිබෙන ඇත්ත එයයි. ආණ්ඩු වලට මැදිහත් වී තත්ත්වය යම් තරමකින් පාලනය කිරීමේ හැකියාවක් ඇතත්, කළ හැකි සියල්ල කිරීමෙන් පසුවත් විශාල හානියක් සිදුවන බව පැහැදිලියි.

නීල් ෆර්ගසන් වාර්තාවට අනුව කිසිවක් නොකර සිටියොත් කෝවිඩ්-19 වසංගතය අවසන් වන විට ඇමරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේද ජනගහණයෙන් 81% කට වෛරසය වැළඳෙන අතර ඇමරිකානුවන් මිලියන 2.2ක් වෛරසය හේතුවෙන් මිය යාමට නියමිතයි. වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් 510,000ක් මිය යාමට නියමිතයි. ජූනි මාසයේ අවසානය දක්වාම දිනකට මියයන ප්‍රමාණය දවසෙන් දවසම ඉහළ යන බවයි වාර්තාව අනුව පැවසෙන්නේ. මේ අනුව, දිනකට වෛරසය හේතුවෙන් මිය යන ඇමරිකානුවන් ගණන අඩු වෙන්න පටන් ගන්නේ දිනකට 55,000 ඉක්මවීමෙන් පසුවයි. සාපේක්ෂව වැඩි ජනගහණ ඝනත්වයක් ඇති බ්‍රිතානයේ මරණ ගණන ජූනි මාසය මුලදී උපරිම මට්ටමට එනවා. එය දිනකට 15,000ක පමණ මරණ ප්‍රමාණයක්.

චීනය විසින් ගත් ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් තත්ත්වය පාලනය කළ හැකි වුවත්, වාර්තාව පිළියෙළ කළ වසංගත රෝග විශේෂඥයින්ගේ විශ්ලේෂණ අනුව, එම දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කළ පසුව නැවතත් වසංගතය පෙර මෙන් පැතිරී ඉහත මරණ සිදු වීම නොවැලැක්විය හැකියි. චීනය සම්බන්ධව ඔවුන්ගේ අදහස වන්නේද නැවත දෙවන වටයකින් වසංගතය චීනයේ හිස එසැවිය හැකි බවයි.

මේ වසංගතයේ කෙළවරක් දැකිය හැක්කේ දෙයාකාරයකින් පමණයි. පළමු ක්‍රමය වන්නේ රෝගය පැතිරීම නිසා ජනගහණයේ බොහෝ දෙනකු වෛරසයට නිරාවරණය වී ඔවුන්ගේ සිරුරු වල ප්‍රතිශක්තිකරණය ඇති වූ පසු වෛරසය පැතිරීම නැවතීමයි. මෙහිදී ඉහත සඳහන් මරණ ගණන සිදුවීම වැළැක්වීම අසීරුයි. දෙවන ක්‍රමය වන්නේ ප්‍රතිශක්තිකරණ එන්නතක් වැඩි දියුණු කරන තුරු වෛරසය පැතිරීම පාලනය කරමින් දැඩි පාලනයක් පවත්වා ගැනීමයි. මේ කාලය මාස දහඅටක් තරම් දිගු කාලයක්. එහිදී මරණ ප්‍රමාණය අඩු වන නමුත් සිදු වන වෙනත් හානි ඉතා විශාලයි.

දැනට ඇමරිකාව විසින් සිදු කර තිබෙන පාසැල් හා සරසවි වසා දැමීම ගත්තොත් ඒ හේතුවෙන් මරණ ප්‍රමාණය අඩු වීමට නියමිත 2%කින් පමණයි. චීනය මෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් හෝ සූදානමක් ඇමරිකාවේ හෝ වෙනත් කිසිදු බටහිර රටක පෙනෙන්නට නැහැ. ප්‍රායෝගිකව ඇමරිකාවට චීනය ගත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක්ද නැහැ. ආසාදිතයින් ගණන අනුව මෙතෙක් අටවැනි තැන සිටි ඇමරිකාව මේ වන විට දකුණු කොරියාව පසුකර හත් වන තැනට පැමිණ තිබෙනවා. දැනට වේගයෙන්ම වයිරසය පැතිරෙන රටක් වන ඇමරිකාව මේ ලැයිස්තුවේ තවතවත් ඉහළට යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

අපට ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!

Saturday, March 11, 2017

රසදිය විෂද?

අප හැම මොහොතකම විවිධ බාහිර දේවල් අපේ සිරුර තුළට ඇතුළු කර ගනිමින් සිටිමු. මුඛය, නාසය, සම ආදිය හරහා මෙසේ සිරුර තුළට අප විසින් ඇතුළු කර ගන්නා බාහිර ද්‍රව්‍ය අතර ආහාර, ජලය, ඖෂධ හා මත්ද්‍රව්‍ය වැනි හිතාමතාම ඇතුළු කරගන්නා දේ මෙන්ම එවැනි අනුදැනුමකින් තොරව ඇතුළු කර ගන්නා ඇසට පෙනෙන හා නොපෙනෙන බොහෝ දේ තිබේ. ඇතැම් විටෙක අපි ඖෂධ හෝ මත්ද්‍රව්‍ය ශිරාවකට හෝ මාංශ පේශියකට එන්නත් කර ගැනීම මඟින්ද ඇතුළු කර ගන්නෙමු.

සිරුර තුළට දැනුවත්ව හෝ නොදැනුවත්ව අප විසින් ඇතුළු කරගන්නා දේ අතර සිරුරේ පැවැත්මට අවශ්‍ය දේ, අනවශ්‍ය දේ මෙන්ම හානිකර දේවල්ද තිබේ. සිරුරට අවශ්‍ය දේ බොහොමයක්ද අවශ්‍ය වන ප්‍රමාණයක් තිබේ.

අපේ සිරුරට ඇතුළු වන අනවශ්‍ය දේවල් වලින් සිරුරේ පැවැත්ම සඳහා ප්‍රයෝජනයට නොගැනෙන දේවල් සිරුරෙන් ඉවත් කෙරෙන ස්වභාවික ක්‍රමවේදයක් තිබේ. ඇතැම් දේවල් කිවිසුම්, වමනය ආදී ක්‍රම වලින් ක්ෂණිකව ඉවත් කෙරේ. තවත් දේවල් වෙනත් සිරුරු කොටස් හරහා යාමෙන් පසුව මළ, මුත්‍රා, දහඩිය ආදිය සමඟ ඉවත් වේ.

ඇතුළු වූ ද්‍රව්‍යයේ ස්වභාවය අනුව සිරුරට ඇතුළු වන බාහිර ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් වන වේගය වෙනස් වේ. සාමාන්‍යයෙන් මේ වේගය මනින්නේ අර්ධ ජීව කාලය නම් මිනුම උපයෝගී කර ගනිමිනි. උදාහරණයක් ලෙස දුම් බොන්නෙකු සිරුර තුළට ඇතුළු කර ගන්නා නිකොටින් වලින් 70-80% පමණ මුලින්ම (පොඩි අකුරු මාරුවක් වී) කොටිනින් බවට පත් වේ. දුම් බොන්නන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂාවක් ලෙස ලේ හෝ මුත්‍රා වල ඇති කොටිනින් ප්‍රමාණය පරීක්ෂා කෙරේ.

මේ කොටිනින් සිරුරෙන් ඉවත් කෙරෙන ක්‍රියාවලියේ අර්ධ ජීව කාලය පැය 20ක් පමණ වේ. සිගරැට්ටුවක නිකොටින් මිලි ග්‍රෑම් 12ක් පමණ ඇති අතර එම නිකොටින් වලින් කොටිනින් මිලි ග්‍රෑම් 9ක් පමණ හදයි. අර්ධ ජීව කාලය පැය 20ක් යන්නෙන් අදහස් වන්නේ සිරුරේ ඇති කොටිනින් ප්‍රමාණයෙන් අඩක් පැය 20ක් ඇතුළත සිරුරෙන් ඉවත් කෙරෙන බවයි. 

මේ අනුව, සිගරැට්ටුවක් ඉරීමෙන් පැය 20කට පසුව සිරුරේ කොටිනින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 4.5ක් දක්වාත්, පැය 40කට පසුව මිලි ග්‍රෑම් 2.25ක් දක්වාත්, පැය 60කට පසුව මිලි ග්‍රෑම් 1.13ක් දක්වාත්, පැය 80කට පසුව මයික්‍රෝ ග්‍රෑම් 563ක් දක්වාත් අඩු වේ. සතියකට පසු සිරුරේ ඉතිරි වන්නේ මයික්‍රෝ ග්‍රෑම් 35ක් හෙවත් මුල් ප්‍රමාණයෙන් 0.4%කට ප්‍රමාණයක් පමණි. තවත් සතියක් යන විට ඉතිරි වන්නේ මයික්‍රෝ ග්‍රෑම් එකකටත් අඩු ප්‍රමාණයකි.

ඉහත පැහැදිලි කළ අයුරින් සිරුරට අහිතකර කොටිනින් සිරුරෙන් ක්‍රමයෙන් ඉවත් වන්නේ සිගරැට්ටුව උරන්නා දිගින් දිගටම නැවත සිගරැට් නොඋරන්නේනම් පමණි. මේ පුද්ගලයා පැය 20කට පසුව තවත් සිගරැට්ටුවක් ඉරුවොත් ඒ වන විට සිරුරේ ඇති කොටිනින් මිලි ග්‍රෑම් 4.5ට තවත් මිලි ග්‍රෑම් 9ක් එකතු වේ. ඊළඟ පැය 20 තුළ මේ මිලි ග්‍රෑම් 13.5ක එකතුවෙන් මිලි ග්‍රෑම් 6.75ක් සිරුරෙන් ඉවත් වුවත් තවත් සිගරැට්ටුවක් ඉරූ වහාම කොටිනින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 15.75ක් දක්වා ඉහළ යයි. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස දිනපතා දුම් බොන්නෙකුගේ සිරුරේ ඇති කොටිනින් ප්‍රමාණය හැමදාමත් කිසියම් මට්ටමක පවතී. ඒ ප්‍රමාණය තීරණය වන්නේ කොටිනින් වල අර්ධ ජීව කාලය හා දුම්වැටි දෙකක් අතර ගතවන සාමාන්‍ය කාලය මතය.

සක්‍රිය දුම්පානය කරන්නන්ගේ මෙන්ම නිතර සිගරැට් දුමට නිරාවරණය වන අක්‍රිය දුම්පානය කරන්නෙකුගේ සිරුරේද මේ අයුරින්ම කිසියම් කොටිනින් ප්‍රමාණයක් ස්ථාවරව පවතී. ඒ, අඩු කොටිනින් මට්ටමක් සිරුරේ ඇති විට පැය 20ක් ඇතුළත සිරුරෙන් ඉවත් වන්නේද අඩු ප්‍රමාණයක් බැවිනි. සිරුරේ කොටිනින් ප්‍රමාණය දිගුකාලයක් එක දිගටම ඉහළ මට්ටමක ස්ථාවරව පැවතීම විවිධ රෝගාබාධයන්ට හේතු විය හැකිය. සිරුරට අනවශ්‍ය හෝ අහිතකර දේ පමණක් නොව අවශ්‍ය දේ වුවද ඕනෑවට වඩා නිතර නිතර ඇතුළු කරගන්නා විට සිරුරට මේ අනවශ්‍ය ප්‍රමාණයන් ඇතුළු වන වේගයෙන් ඉවත් කරන්නට නොහැකි නිසා සිරුර තුළ දිගින් දිගටම රැඳී තිබෙන්නට පුළුවන.

රසදිය ඉහළ මාත්‍රාවන්ට කෙටිකාලයක් තුළ නිරාවරණය වීම සිරුරට, විශේෂයෙන්ම මොළයට, මධ්‍යම ස්නායු පද්ධතියට හා වකුගඩු වලට, අහිතකරය. සිරුරට රසදිය ඇතුළු වන ආකාර කිහිපයකි. එයින් ප්‍රධාන ප්‍රභවය අප ආහාරයට ගන්නා මාළු වර්ගයි. මාළු වර්ග හරහා ආහාරයට එකතු වන රසදිය සංයෝගය වන මෙතිල් මර්කරි වල අර්ධ ජීව කාලය දින 50-65 ක් පමණ වන නිසා මේ රසදිය සිරුරෙන් ඉවත් කෙරෙන්නේ ඉතා සෙමිනි.

ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය විසින් වසර ගණනාවක් තිස්සේ විවිධ මාළු වර්ග වල ඇති රසදිය ප්‍රතිශතය පරීක්ෂා කරයි. පසුගිය වසර 25ක පමණ කාලය තුළ මේ ආකාරයෙන් පරීක්ෂා කර ඇති මාළු නියැදි ප්‍රමාණය පන්දහසකට අධිකය. මේ ඇතැම් මාළු නියැදි වල කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑම් 4.5ක් පමණ දක්වා මෙතිල් මර්කරි අඩංගුව තිබී ඇත. සාමාන්‍යයෙන් මෝර වැනි ලොකු මාළු වර්ග වල කිලෝ ග්‍රෑමයක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණය මිලි ග්‍රෑමයකට වඩා වැඩිය. වෙනත් බොහෝ මාළු වර්ග වල තත්ත්වයද එසේය. වැඩි විස්තර මෙහි තිබේ.

කිසියම් මාළු වර්ගයක ඇති රසදිය (මෙතිල් මර්කරි) ප්‍රමාණය අදාළ මාළුන්ගේ ජීවිත කාලය, ආහාරයට ගන්නා දේ ආදිය අනුව වෙනස් වේ. පොඩි මාළුන් ආහාරයට ගන්නා ලොකු මාළුන්ගේ සිරුරේ තැන්පත් වී ඇති රසදිය ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩිය. කෙසේ වුවද, මේ දත්ත පදනම් වෙන්නේ ඇමරිකාවෙන් ලබා ගන්නා මාළු නියැදි මත නිසා ලංකාවේ බහුලව ආහාරයට ගන්නා මීට ආසන්නව සමාන මාළු වර්ග වල ඇති රසදිය ප්‍රමාණ මීට වඩා අඩු හෝ වැඩි විය හැකිය. කෙසේ වුවද ලංකාව හා අදාළව සිදු කර ඇති මෑතකාලීන පර්යේෂණ වලින් පෙනෙන පරිදි ලංකාවේ වැඩිපුර ආහාරයට ගන්නා ඇතැම් මාළු වර්ග වලද කිලෝ ග්‍රෑමයකට මිලි ග්‍රෑමයකට ආසන්න මෙතිල් මර්කරි ප්‍රමාණයක් අඩංගුය.

නිතර මාළු ආහාරයට ගන්නා අයෙකුගේ සිරුරේ එකතු වන මෙතිල් මර්කරි සිරුරෙන් ඉවත් වෙන්නේ ඉතා සෙමින් නිසා සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රණය ක්‍රමයෙන් ඉහළ ගොස් කිසියම් ස්ථාවර මට්ටමකට පැමිණේ. රුධිර පරීක්ෂාවකින් මේ ප්‍රමාණය මැන ගන්නට පුළුවන. සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රණය කෙටි කාලයක් තුළ විශාල ලෙස ඉහළ යාම මොළයට හා මධ්‍යම ස්නායු පද්ධතියට හානිකර ලෙස බලපාන්නට පුළුවන. අනෙක් අතට, දිගුකාලීනව සිරුරේ මෙතිල් මර්කරි සාන්ද්‍රනය විශාල ලෙස අඩු වීම හා හෘද රෝග වැළඳීමේ අවදානම අතරද සහසම්බන්ධයක් තිබෙන බව (හේතුඵල සම්බන්ධයක් තහවුරු කර නැතත්) ඇතැම් පර්යේෂණ ප්‍රතිඵල අනුව පෙනී යයි.

එසේනම් ප්‍රශ්නය වන්නේ අප විසින් මාළු ආහාරයට ගැනීම නැවැත්විය යුතුද යන්නයි.

මාළු ආහාරයට ගැනීමේ ඉහත අහිතකර ප්‍රතිඵලය තිබුණත් මාළු වල සෞඛ්‍යමය ප්‍රතිලාභ ඊට වඩා බොහෝ වැඩිය. මොළයේ හා සිරුරේ වර්ධනයට නැතුවම බැරි ඔමේගා-3 මේද අම්ල ප්‍රභවයක් ලෙසත්, ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙසත් මාළු වල වටිනාකම ඉතා විශාලය. ඒ නිසා, මාළු ආහාරයට ගත යුතුද යන තීරණය මේ යහපත් හා අයහපත් ප්‍රතිඵල කිරා මැන බලා ගත යුතු තීරණයකි. සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥයින් විසින් කරන්නේ මෙවැනි කිරා මැන බැලීම්ය.

සමස්තයක් ලෙස මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය වර්ධනයට හේතු වන නමුත් ඇතැම් මාළු වර්ග සතියකට කිහිප වරකට වඩා ආහාරයට ගැනීම නුසුදුසු බවත්, ගර්භණී හා කිරිදෙන මවුවරුන් විසින් වෙනත් අයෙකු ආහාරයට ගන්නා ප්‍රමාණය වුවද ආහාරයට ගැනීම නුසුදුසු බවත් ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය විසින් නිර්දේශ කරන්නේ මේ හිතකර හා අහිතකර ප්‍රතිඵල සසඳා බලමිනි. ඇතැම් මාළු වර්ග හා අදාළව කැනඩාව විසින්ද මෙවැනි සුරක්ෂිතතා සීමාවන් ඉදිරිපත් කරයි. ස්වීඩනය මෙවැනි අවවාදයක් කරන තවත් රටකි. එහෙත්, මේ කිසිදු රටක් ඇතැම් මාළු වර්ග ආහාරයට ගැනීම සීමා කරන්නට මිස අත් හරින්නට උපදෙස් නොදෙන්නේ මාළු ආහාරයට ගැනීමේ යහපත් සෞඛ්‍යමය ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල වලට වඩා වැඩි බැවිනි. 


මෑතකාලීන අධ්‍යයනයකට අනුව ලාංකිකයින් 55.8%කගේ හිසකෙස් වල තැන්පත් වී ඇති රසදිය ප්‍රමාණය අනුමත ප්‍රමාණයට වඩා වැඩිය. මේ අනුව පෙනෙන පරිදි ලංකාවේ නාරිවේද හා ප්‍රසව වෛද්‍යවරයකු ගර්භණී කාන්තාවකට ඇතැම් මාළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීමේ අවදානම ගැන දැනුවත් කිරීම යෝග්‍ය වුවත්, එය කළ යුත්තේ ඒ හේතුවෙන් සිදුවිය හැකි ප්‍රෝටීන් ඌණතා ආදියේ අහිතකර ප්‍රතිඵල ගැනද සලකමිනි.

මිනිස් සිරුරට රසදිය එකතු කරන ප්‍රධාන ප්‍රභවය ආහාරයට ගන්නා මාළු හා වෙනත් මුහුදු ආහාර බව හඳුනාගෙන ඇතත් එය එකම හේතුව නොවේ. වාතයේ ඇති රසදිය වාෂ්ප ආශ්වාස වාතය සමඟ සිරුරට ඇතුළුවීම තවත් ආකාරයකි. අප භාවිතා කරන උෂ්ණත්වමානයක් වැනි උපකරණයක් බිඳුණු විට එහි අඩංගු ලෝහ රසදිය වායු ගෝලයට එකතු වන අතර ආශ්වාස වාතය හරහා සිරුරට එකතු විය හැකිය. කෙසේ වුවද, මේ අවදානම එවැනි උපකරණ භාවිතය අත් හරින්නට තරම් විශාල බව පෙනී ගොස් නැත.

වසර ගණනාවක් තිස්සේ දත් පිරවීම සඳහා යොදාගත් ඇමල්ගම් වලද රසදිය අඩංගුය. මේ රසදිය වාෂ්ප බවට පත්වී පෙනහළු හරහා සිරුරට ඇතුළු වේ. එහෙත් එසේ ඇතුළු වන රසදිය ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයකි. මේ හේතුවෙන් හානියක් සිදු වන බව තහවුරු වී නැත. ඒ නිසා, ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය වයස අවුරුදු 6 ඉක්මවූ දරුවන් හා වැඩිහිටියන්ගේ දත් පිරවීම සඳහා ඇමල්ගම් යොදාගැනීම අහිතකර ලෙස නොසලකයි. කෙසේවුවද, මේ සඳහා දැන් වෙනත් විකල්පයක් ඇති බැවින් ඇමරිකාවේ දන්ත වෛද්‍යවරු දත් පිරවීම සඳහා මේ වන විට ඇමල්ගම් යොදාගන්නේ ඉතා සීමිතවය.

මගේ දතක වසර විස්සකට පමණ පෙර කළ ඇමල්ගම් පිරවුමක් තිබේ. එය කළේ, එවකට පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය සිසුවෙකුව සිටි අයෙකි. ඔහු මේ පිරවුම සහතික කළේ වසර පහක කාලයකට වුවත් එය වසර විස්සකට පසුව තවමත් ඉතා හොඳින් පවතී. මේ ඇමල්ගම් පිරවුම ඉවත්කර අළුත් පිරවුමක් දමා ගන්නා මෙන් ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරුන් හතර පස් දෙනෙක්ම මට යෝජනා කර ඇතත් මා ඒ සඳහා යොමු නොවූයේ වැඩි හොඳට හොඳින් තියෙන දත් වලට අත ගැහීමේ අතුරු ආබාධ ගැන මට අත්දැකීම් ඇති බැවිනි.

මෙහිදී තවත් දෙයක් පැහැදිලි කළ යුතුය. කිසියම් පර්යේෂකයෙකු කිසියම් ඔසුවක හෝ වෛද්‍ය ක්‍රියාදාමයක යම් නිශ්චිත අතුරු ආබාධයක් ඇති බවට සාධක නැති බව කියනවානම් එයින් අදහස් වන්නේ ඒ කියන දෙය මිස වෙනත් දෙයක් නොවේ. යම් අතුරු ආබාධයක් ඇත්දැයි පිරික්සන පරීක්ෂණයකින් එවැනි අතුරු ආබාධ ඇති බවක් තහවුරු නොවන බව මිස අතුරු ආබාධ නැති බවක් තහවුරු නොකෙරේ. ඒ නිසා, පර්යේෂකයෙකුගෙන් කිසියම් ඔසුවක අතුරු ආබාධ ඇත්දැයි විමසුවහොත් එසේ ඇත්නම් කියන්නට පුළුවන් වුවත්, එසේ නැත්නම් අතුරු ආබාධ නොමැති බව ස්ථිරව කියන්නට නුපුළුවන. විද්‍යාත්මක ක්‍රමය ගැන දැනුමක් ඇති පර්යේෂකයෙකු එවැනි පිළිතුරු දෙන්නේ නැත.

පර්යේෂණ නැවත නැවත කරන්නේ ඒ නිසාය. නිතර යොදා ගන්නා උදාහරණයක් ගන්නේනම්, අපට හැමදාම හමුවන්නේ තණකොළ කන හරක් පමණක්නම් අපට කියන්නට පුළුවන් වෙන්නේ මිනී කන හරක් සිටින බවට සාක්ෂි නැති බව පමණි. මිනී කන හරක් නැති බව කිසිවෙකුට ස්ථිරව කිව නොහැක. අනාගතයේ යම් කිසි දවසක හරකෙක් මිනිසෙකු මරා කෑ බව වාර්තා වෙන්නට පුළුවන. එහෙත්, ඒ හේතුවෙන් අද හරකෙකු දකින විට පණ එපා කියා දුවන්නට අවශ්‍ය නැත.

ඇතැම් එන්නත් වලද රසදිය සංයෝගයක් වන තිමරසල් (වඩා නිවැරදි උච්ඡාරණය තයිමරසල්ය) විෂබීජ නාශකයක් ලෙස යොදාගැනේ. මේ තිමරසල් වලින් 50%ක පමණ බරක් එතිල් මර්කරි බවට පත්වේ. එතිල් මර්කරිද මෙතිල් මර්කරි මෙන්ම මොළයට හා මධ්‍යම ස්නායු පද්ධතියට හානිකරය. කෙසේවුවද, එතිල් මර්කරි වල අර්ධ ජීව කාලය සතියකටත් වඩා අඩු බැවින් සිරුරේ ඇති මෙතිල් මර්කරි වලින් 50%ක් ඉවත් වීමට යන කාලය තුළ එතිල් මර්කරි වලින් 99.75%ක් පමණම ඉවත් වේ. එන්නත් ආදිය සමඟ සිරුරට එකතුවන එතිල් මර්කරි ආහාර මාර්ගය හරහා ගමන් නොකර කෙළින්ම රුධිරයට එකතු වන නිසා සිරුරෙන් ඉවත් වීම මීටත් වඩා ඉක්මන්ය.

විවිධ එන්නත් වල ඇති තිමරසල් ප්‍රමාණ මේ වෙබ් පිටුවෙන් බලා ගන්නට පුළුවන. ඇතැම් එන්නත් වල මේ ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑමයකටත් වඩා අඩුය. මේ වගුව අනුව එන්නතක ඇති ඉහළම තිමරසල් ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 25කි. ඒ අනුව, එතිල් මර්කරි ඇත්තේ වැඩිම වුනොත් මයික්‍රෝ ග්‍රෑම් 12.5කි. ලංකාවේ ආහාරයට ගන්නා ඇතැම් මාළු වර්ග වල කිලෝවක බරක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 900ක් පමණ වන අතර, ඒ අනුව එන්නතක ඇති එතිල් මර්කරි ප්‍රමාණය ආහාරයට ගන්නා ග්‍රෑම් 100ක පමණ මාළු කෑල්ලක ඇති මෙතිල් මර්කරි ප්‍රමාණයටත්
වඩා බෙහෙවින්ම අඩුය. මේ එතිල් මර්කරි ප්‍රමාණයද මෙතිල් මර්කරි වලට වඩා හත් අට ගුණයක වේගයෙන් සිරුරෙන් ඉවත් වේ. එමෙන්ම මාළු කන තරමට එන්නත් ලබා ගන්නේද නැත.

ඇතැම් එන්නත් නිෂ්පාදනයේදී විෂබීජහරණය පිණිස තිමරසල් යොදා ගැනෙන්නේ එයින් ලැබෙන සෞඛ්‍යමය වාසිය සිදුවිය හැකි අවාසියට වඩා වැඩි බැවිනි. කෙටි කාලයක් තුළ එන්නත් විශාල ප්‍රමාණයක් නිපදවීම අසීරු කටයුත්තකි. එමෙන්ම එන්නත් ගබඩා කර තබාගැනීමේ සීමාවන්ද තිබේ. මේ නිසා ෆ්ලූ එන්නත් වැනි ඇතැම් එන්නත් වල අවශ්‍ය ඉල්ලුම සැපිරීමට තනි එන්නත් ලෙස නිෂ්පාදනය නොකර මාත්‍රා ගණනක් එකට ඇති බහු මාත්‍රා එන්නත් ලෙස නිපදවන්නට සිදුවේ. තිමරසල් යොදාගන්නේ මෙවැනි බහු මාත්‍රා එන්නත් භාවිතා කිරීමේදී එයට පසුව කිසියම් විෂබීජයක් ඇතුළු වීම නිසා ඇති විය හැකි අවදානම අඩු කර ගැනීම පිණිසය. එයින් ලැබෙන වාසිය තිමරසල් හේතුවෙන් ඇති විය හැකි අවාසියට වඩා වැඩිය.

කොයි දේ වුවත් ඕනෑවට වඩා හොඳ නැත. මේ 'ඕනෑවට වඩා' යන්නට නිශ්චිත තේරුමක් තිබේ. ඒ, යමකින් සිදුවන අහිතකර දේ හිතකර දේ ඉක්මවන සීමාවයි. 


(Image: https://jasonprall.com/blog/mercury-myth-fish-tale-epic-proportion/)

Tuesday, February 28, 2017

ඔවුන් ඔබට සඟවන දෙය (දෙවන කොටස)

ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)

 

වසර දොළහක පමණ කාලයක් තිස්සේ ඇත්තක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කළ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ්ගේ කෘතීම නිර්මාණයක් වූ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව අවසානයේදී අදාළ සඟරාව මඟින් ඉවත් කර ගැනුණේය. ඒ සමඟම, සිදු වූ හානිය පූරණය කර ගැනීමේ අරමුණින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ කලාප ගණනාවක් මේ කරුණ ගැන ඇත්ත හෙළිකරන ලිපි වෙනුවෙන් වෙන් කෙරුණේය. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ප්‍රධාන සංස්කාරිකාව වූ (සහ අදටත් එම තනතුර දරන) ආචාර්ය ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ් සිදුවීමට ප්‍රතිචාර දක්වමින් පැවසූ පරිදි මෙහිදී සිදු වුනේ විද්‍යාත්මක ක්‍රමයේ වැරැද්දක් නොවේ. වේක්ෆීල්ඩ් විසින් හිතාමතාම විද්‍යාත්මක ප්‍රජාව රැවටීමකි.

බ්‍රයන් ඩියර් විසින් හෙළිදරවු කරන තුරු, වේක්ෆීල්ඩ්ට වසර දොළහක් තිස්සේ මේ බොරුව ප්‍රචාරය කිරීමටත්, එමඟින් ප්‍රසිද්ධිය හා ආර්ථික වාසි ලබා ගැනීමටත් හැකි විය. ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ්ගේ මේ වංචාව පසුගිය සියවසේ මුල් භාගය පුරාවටම විද්‍යාත්මක ප්‍රජාව රැවටූ මිනිසා හා වානරයා අතර හමු නොවූ පුරුක පිළිබඳ වංචාව සමඟ සැසඳුවාය. එය දශක හතරක් පුරාවටම ඇත්තක් ලෙස සැලකුනත්, වේක්ෆීල්ඩ්ගේ වංචාව නිසා වසර දොළහක් තුළ සිදුවී ඇති හානිය සමඟ එය සැසඳිය නොහැකිය.

බ්‍රිතාන්‍යය තුළ MMR එන්නත හඳුන්වා දුන් 1988 වසරේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය ප්‍රතිශක්තිකරන අනුපාතය වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පළවන විට 92% ආසන්න මට්ටමක ස්ථාවරව පැවතියේය. එහෙත්, ඔහුගේ ප්‍රතිශක්තිකරන විරෝධී ප්‍රචාර හමුවේ  ක්‍රමයෙන් පහත වැටුණු මේ අනුපාතය 2004 වන විට 80%ටද වඩා අඩු විය (මෙහි 23 පිටුවේ පස්වන රූප සටහන බලන්න). කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ උත්සාහයන් හා වේක්ෆීල්ඩ්ව එළිදරවුවීම හේතුවෙන් පසුගිය 2013/14 දක්වා නැවත ක්‍රමයෙන් ඉහළ ගිය මේ අනුපාතය නැවතත් 92% මට්ටමට පැමිණියේය.

බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපදිංචිය අහිමි වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ඉන්පසුව කළේ කුමක්ද? මෙය සිදුවන විටත් ඔහු ඇමරිකාවට පැමිණ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරන විරෝධීන් සමඟ එක්ව ක්‍රියාත්මක වෙමින් සිටියේය. මා පෙරද කියූ පරිදි, වේක්ෆීල්ඩ් ඇමරිකාවට පැමිණීමටද පෙර සිටම ඇමරිකාවේ තිබුණේ MMR එන්නත් විරෝධයක් නොව, ප්‍රධාන වශයෙන්ම තිමරසල් හා ස්වේච්ඡතාව අතර ඇතැයි විශ්වාස කෙරුණු සම්බන්ධතාවයක් මත පදනම් වූ ප්‍රතිශක්තිකරන එන්නත් විරෝධයකි.

ඇමරිකාවට පැමිණීමෙන් පසු සිය උපාය මාර්ගයන් වෙනස් කළ වේක්ෆීල්ඩ් සිය ප්‍රේක්ෂක කණ්ඩායම ලෙස සිටි විමර්ශිත ජර්නල් කියවන 'උගතුන්' වෙනුවට සාමාන්‍ය ජනතාව (ඇමරිකන් බයියන්?)
වෙත හැරුණේය. ඔවුන් ඉලක්ක කර ගනිමින් වේක්ෆීල්ඩ් විසින් 2010දී හා 2012දී පොත් දෙකක් ලියා පළ කෙරිණි. පොතක් ලියා පළ කිරීම විමර්ශිත ජර්නලයක ලිපියක් පළ කරනවාක් මෙන් අන්තර්ගත කරුණු වල වැදගත්කම හෝ නිරවද්‍යතාවය තහවුරු කරගෙන කළ යුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මේ පොත් වලින් MMR එන්නතෙහි ඇතැයි ඔහු කියා සිටින අතුරු ආබාධ ඇති බව තහවුරු කිරීමක් හෝ ඔහු කළ වංචනික ක්‍රියාව නොකළ බව තහවුරු කිරීමක් සිදුවී නැත.

පොත් පළ කිරීමෙන් නොනැවතුණු වේක්ෆීල්ඩ් පසුගිය වසරේදී චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර ඇමරිකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කරවූයේය. "Vaxxed: From Cover-Up to Catastrophe" නම් වූ මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කළේනම් එය හොඳ චිත්‍රපටයක් ලෙස සැලකීමට ඉඩකඩක් තිබුණත් ඔහු මෙය ඉදිරිපත් කළේ වාර්තා චිත්‍රපටයක් ලෙසිනි. වේක්ෆීල්ඩ්ගේ 'වන් මෑන් ෂෝ එකක්' ලෙස හැඳින්විය හැකි මේ චිත්‍රපටය මූලිකවම කරකැවෙන්නේ ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන කේන්ද්‍රය විසින් MMR එන්නත ලබා දීමෙන් පසුව අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන්ට ස්වේච්ඡතාව වැළඳීමට තිබුණු ඉහළ අවදානම පිළිබඳව දැනගැනීමෙන් පසුව එම කරුණ හිතාමතාම යට ගැසූ බවට වන චෝදනාව වටාය.

චිත්‍රපටයේ තේමාව වන ඉහත 'යටගැසූ පරීක්ෂණය' වේක්ෆීල්ඩ්ගේ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව මෙන් තනිකරම අතේ රෝලක් නොවේ. මේ සිද්ධිය එළියට එන්නේ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරණ එන්නත් විරෝධී ක්‍රියාධරයකු වන මහාචාර්ය බ්‍රයන් හුකර් හරහාය. බ්‍රයන් හුකර්ගේ දරුවකුද MMR එන්නත ලබාදී මාස කිහිපයකට පසුව ස්වේච්ඡතා රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ. බ්‍රයන් හුකර් රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥයෙකු වන ආචාර්ය විලියම් තොම්සන් සමඟ මාස දහයක කාලයක් තුළ වාර ගණනාවක් දුරකථනයෙන් කථා කර ඇති අතර විලියම් තොම්සන්ට නොදන්වා මේ සංවාද පටිගත කර තිබේ. චිත්‍රපටියේ ඇත්තේ මෙසේ පටිගත කළ සංවාදයි.

ආචාර්ය විලියම් තොම්සන් ඇතුළු රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් පිරිසක් විසින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර ඇති සම්බන්ධක් සොයමින් දත්ත විමසුමට ලක්කර ඇති අතර මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාව 2004 වසරේදී පීඩියට්‍රික්ස් විමර්ශිත ජර්නලයේ පළ විය. මේ පර්යේෂණ ප්‍රතිඵලය අනුව, MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග (autism spectrum disorders) අතර සම්බන්ධයක් පෙනෙන්නට නැත. 


බ්‍රයන් හුකර් හා වේක්ෆීල්ඩ් විසින් විශාල ප්‍රචාරයක් ලබාදුන් පරිදි, මුළු නියැදිය හා අදාළව තත්ත්වය මෙසේ වුවත් ඉහත පර්යේෂකයින්ට අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග අතර සම්බන්ධයක් පවතින බව දැනගන්නට ලැබී තිබේ. එහෙත්, ඒ බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් නොකිරීමට තොම්සන් ඇතුළු පර්යේෂක කණ්ඩායම තීරණය කර ඇත.

මේ කරුණ බොරුවක් නොවේ. බ්‍රයන් හුකර් විසින් "රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු සමඟ පැවැත්වූ" දුරකථන සංවාද පටිගත කර ප්‍රසිද්ධ කර තිබුණේ විලියම් තොම්සන්ගේ අනුමැතිය හෝ අනුදැනුම රහිතව වුවත්, පසුව විලියම් තොම්සන් විසින් නීතිඥයෙකු හරහා ප්‍රකාශයක් කරමින් තහවුරු කළ පරිදි ඇත්තටම එවැන්නක් සිදු වී තිබේ. ඔවුන් එසේ කර ඇත්තේ ඇයි?

මෙය සමාජජාලා වල ප්‍රචාරය වූ පරිදි, "හිට්ලර්ගේ යුදෙවු ඝාතන වැනි ජනවර්ගයක් විනාශකර දැමීම අරමුණු කරගත් මහා කුමන්ත්‍රණයක්" නොවේ. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයින් අතර ඔවුන්ගේ දත්ත විශ්ලේෂණ මත පදනම් වූ ඇතැම් නිගමන සම්බන්ධව එකඟතාවක් ඇති නොවීමක් පමණි. කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට (වෘත්තීය පර්යේෂණ යෝජනාවක් පිළියෙල කර රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයට ලබා දීමෙන් පසුව) මේ දත්ත ලබාගෙන අවශ්‍ය පරිදි විශ්ලේෂණය කර බැලීමේ හැකියාවක් තිබේ. 

මා සිතන පරිදි, බ්‍රයන් හුකර් හා විලියම් තොම්සන් යන දෙදෙනා වේක්ෆීල්ඩ් මෙන් වංචනිකයෝ නොවෙති. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් ඇති බවත්, 2004 පීඩියට්‍රික්ස් පර්යේෂණය සඳහා උපයෝගී කරගත් දත්ත වලින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව මේ සම්බන්ධය පැහැදිලිව පෙනෙන බවත් ඔවුන් ඇත්තටම විශ්වාස කරනවා වන්නට පුළුවන. වේක්ෆීල්ඩ් වුවද, දත්ත සකස් කිරීමේදී වංචාවක් කර ඇතත්, ඇත්තටම මෙවැනි සම්බන්ධයක් ඇතැයි හිතනවා විය හැකිය.

විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් සිදුකළ පෙර පළ නොකෙරුණු දත්ත විශ්ලේෂණය බ්‍රයන් හුකර් විසින් නැවත සිදු කළ අතර අදාළ පර්යේෂණ පත්‍රිකාව 2014 අගෝස්තුවේදී 'ට්‍රාන්ස්ලේෂනල් නියුරෝඩිජෙනරේෂන්' ජර්නලයේ පළ විය. එම පර්යේෂණ පත්‍රිකාව පළවීමත් සමඟම, විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් පළමුවත්, බ්‍රයන් හුකර් විසින් පසුවත් යොදාගෙන තිබුණු සංඛ්‍යානමය ක්‍රමවේදයේ අඩුපාඩු වෙනත් බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබුවේය. 


රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් විසින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණු ප්‍රතිඵලය ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර තිබුණේ එම අඩුපාඩු පිළිබඳව තේරුම් ගෙන සිටි නිසාය. බ්‍රයන් හුකර්ගේ පර්යේෂණ පත්‍රිකාවද පසුව එය පලකළ ජර්නලයෙන් ඉවත් කෙරිණි. පසුව අවධානයට ලක්වුණු ක්‍රමවේදයේ අඩුපාඩු වලට අමතරව, ලිපියේ තේමාව හා සම්බන්ධ සංවිධාන සමඟ ඔහුගේ තිබුණු සම්බන්ධතා බ්‍රයන් විසින් ජර්නලයට හෙළිදරවු කර නොතිබීමද මේ තීරණයට හේතු විය.

ද්වීතියික දත්ත මත සිදුකරන විශ්ලේෂණයන් ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. ඇස් කණ්ණාඩි පාවිච්චි කරන හා නොකරන සිසුන් නියැදි දෙකක් ගෙන ඔවුන්ගේ සාමාන්‍ය පෙනීමේ හැකියාවන් සංසන්දනය කළහොත්, බොහෝ විට ඔබට පෙනෙනු ඇත්තේ කණ්ණාඩි පාවිච්චි නොකරන සිසුන්ගේ පෙනීම වඩා හොඳ බවයි. එහෙත්, මේ නිරීක්ෂණය මත කණ්ණාඩි පාවිච්චි කිරීම නිසා ඇස් පෙනීම දුර්වල වන බවට නිගමනයකට පැමිණිය නොහැක්කේ, කණ්ණාඩි පාවිච්චි කරන්නේම ඇස් පෙනීම දුර්වල අය බැවිනි.

බ්‍රයන් හුකර් විසින් නැවත විශ්ලේෂණය කළ, VAXXED චිත්‍රපටියේ ප්‍රධාන තේමාව වූ අප්‍රිකානු ඇමරිකන් දරුවන් සම්බන්ධව පැවතියේද මෙවැනි තත්ත්වයකි. ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් සඳහා පෙර පාසැල් වයසේදී විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර එම වැඩ සටහන් වලට ඇතුළත් වීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා තිබිය යුතුය. මේ හේතුවෙන් ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් MMR එන්නත ලබාගෙන තිබීමට ඇති ඉඩකඩ අනෙක් දරුවන්ට වඩා වැඩිය. මෙය එන්නත හේතුවෙන් රෝගය වැඩිවීමක් ලෙස යමෙකු වරදවා වටහා ගන්නට පුළුවන.

වඩා විශාල නියැදි යොදාගනිමින් ඩෙන්මාර්කය, ජපානය, පෝලන්තය හා කැනඩාව ඇතුළු රටවල් ගණනාවක සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ වලින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් නිරීක්ෂණය වී නැත.  ඇමරිකානු දරුවන් 95,727ක විශාල නියැදියක් යොදාගනිමින් මෑතකදී ස්වේච්ඡතාව හා MMR එන්නත අතර තිබිය හැකි සම්බන්ධක් පිළිබඳව සිදු කෙරුණු පුළුල් අධ්‍යයනයකින්ද එවැනි සම්බන්ධයක් ඇති බවක් පෙනී ගොස් නැත. මේ පර්යේෂණ අධ්‍යයනයේ ප්‍රතිඵල 2015දී ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසෝෂියේෂන්හි (JAMA)  පළවිය. කෙසේ වුවද, අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව පමණක්, MMR එන්නත ලබාගැනීම හා ස්වෙච්ඡතා පරාසයේ ආබාධ ඇති වීම අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට බ්‍රයන් හුකර් සහ තවත් අය පළ කරන අදහස තහවුරු කිරීම හෝ බැහැර කිරීම පිණිස අවශ්‍ය තරම් විධිමත් පර්යේෂණ
ප්‍රමාණවත් ගණනක් තවමත් සිදු කෙරී නැත.

එන්නත් වෙනුවෙන් හා එන්නත් විරෝධී ලෙස සිදුවන පිල් බෙදීම තුළින් පිළිබිඹු වෙන්නේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. නිරෝගීව සිටින තමන්ගේ දරුවෙකුට MMR එන්නත ලබාදීමෙන් පසු කෙටිකලක් තුළ ඔහුගේ හෝ ඇයගේ මානසික වර්ධනය ඇස්පනාපිටම කැපී පෙනෙන ලෙස බාල වන විට දෙමවුපියන්ට 'ප්‍රත්‍යක්ෂ වන්නේ' එන්නත ලබා දීම හේතුවෙන් මෙය සිදු වූ බවයි. එය එසේ නොවන බව පර්යේෂකයෙකුට සංඛ්‍යාලේඛණ පිරික්සා 'බුද්ධියෙන්' තේරුම්ගත හැකි වුවත් මේ පර්යේෂණ පත්‍රිකා බොහොමයක්ම කියවනු ලබන්නේ සාපේක්ෂව වැඩි උගත්කමක් ඇති අය අතරෙන් වුවද අතලොස්සක් පමණි. එසේ නොකරන අතිමහත් බහුතරය පොදු මාධ්‍ය හා විශේෂයෙන්ම සමාජ ජාලා හරහා දැනුම ලබා ගැනීම වත්මන් යුගයේ යථාර්තයයි.

සංවර්ධිත රටවල වලද ඇතැම් දේශපාලනඥයින් දැනුම ලබාගන්නේ 'පත්තරේ කියවා' මිස පර්යේෂණ පත්‍රිකා කියවා නොවේ. පත්තර වැනි "පැරණි මාධ්‍ය" මෙන් කිසියම් පිරිසකගේ ස්වයං නියාමනයකට හෝ අඩු වශයෙන් යටත් නොවන සමාජ මාධ්‍ය තොරතුරු වලින් බොහෝ විට පිළිබිඹු වන්නේ ඒවා පළ කරන හෝ බෙදාගන්නා අයගේ ප්‍රත්‍යක්ෂ දැනුමයි. මේවා අතර ප්‍රසිද්ධිය හෝ වෙනත් කිසියම් වාසියක් ලබාගැනීමේ අරමුණින් හිතාමතා පලකරන දේවල් අඩු නැතත් එවැනි දේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරෙන්නේ එක් පුද්ගලයාගේ දැනුම, අත්දැකීම්, විශ්ලේෂණ හැකියාවන් ආදියට සාපේක්ෂ කරුණක් වන "ප්‍රත්‍යක්ෂය" සමඟ එවැනි දේ ගැලපෙන බැවිනි.

ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හරහා මිනිස් සංහතිය පසුගිය ශතවර්ෂය තුළ ලබාගෙන ඇති ජයග්‍රහණයන් අතිමහත්ය. මේ වැඩසටහන් හරහා වසූරිය වැනි ඇතැම් රෝග මිහිමතින් තුරන් කරනු ලැබ ඇති අතර පෝලියෝ හා සරම්ප රෝගද එසේ මිහිමතින් තුරන් කිරීම මිනිසුන්ට සාමූහිකව ක්‍රියාකර වසර කිහිපයකින් ළඟා කරගත හැකිව ඇති ඉලක්කයකි.

වසරකට සරම්ප රෝගීන් 267,000ක් පමණ ලෝකයෙන් වාර්තා වන අතර මේ රෝගීන්ගෙන් 146,000ක් පමණ මිය යති. එයින් වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන්ය. කෙසේ වුවද, 2000-2013 අතර කාලය තුළ සරම්ප රෝගය නිසා සිදුවන මරණ මිලියන 15.6ක් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් වැලැක්වී තිබේ. එන්නත සොයා ගැනීමට පෙර ඇමරිකාවේ පමණක් වසරකට මිලියන බාගයක් පමණ සරම්ප රෝගීන් වාර්තා වූ අතර ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් ඇමරිකාව තුළ සරම්ප රෝගීන් ක්‍රමයෙන් අඩුවී ගොස් 2000 වසරේදී සරම්ප රෝගය ඇමරිකාවෙන් තුරන් වී ඇති බව නිවේදනය කෙරිණි. ඇමරිකාවේ බොහෝ වෛද්‍යවරුන් ජීවිතයේ එක් වරක් හෝ සරම්ප රෝගියෙකු දැක නැත.

එන්නත සොයාගැනීමට පෙර කාලයේ මෙන්, සිය ඥාතීන් හා මිතුරන් සරම්ප රෝගයෙන් පීඩා විඳීම හා ඔවුන්ගෙන් ඇතැමුන් මිය යාම ඇස් පනා පිට පෙනෙන විට මෙම රෝගයේ භයානකකම (හෝ මෙවැනිම තත්ත්වයක් යටතේ වෙනත් රෝගයක භයානකකම) බොහෝ දෙනෙකුගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත්වේ. එන්නත හඳුන්වා දුන් මුල් කාලයේදී, එය ලබාගත් සීමිත පුද්ගලයින් පමණක් මෙවැනි වසංගත තත්ත්වයක්දී බේරී සිටින බවද බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ වන්නට ඇත. එහෙත්, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් දැන් එසේ සරම්ප රෝගීන් දකින්නට නොලැබෙන නිසා එම රෝගයේ භයානකකම බොහෝ ඇමරිකානුවන්ට ප්‍රත්‍යක්ෂව නොදැනේ. එය බුද්ධියෙන් අවබෝධ කරගත යුතු කරුණකි.

ඇමරිකාවේ ජීවත්වන අයෙකුට වෛද්‍ය හෝ ආගමික හේතුමත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගෙන සිටින්නට හැකි අතර බොහෝ ප්‍රාන්ත වල තමන්ගේ පෞද්ගලික විශ්වාස මත වුවද එසේ කළ හැකිය. මෙය සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නොවූවත්, කිසියම් සීමිත භූමි ප්‍රදේශයක (උදාහරණයක් ලෙස කුඩා නගරයක හෝ ගමක) ජීවත් වන බහුතරය ආගමික හෝ වෙනත් විශ්වාස හේතුවෙන් එන්නත් ලබා නොගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය රටපුරා විසිරුණු පිරිස් අහඹු ලෙස එන්නත් ලබා නොගත් විට ඇති වන ප්‍රතිඵලයම නොවේ. යම් හෙයකින් වෙනත් රටකින් පැමිණෙන සරම්ප ආසාදිතයෙකු මෙවැනි ප්‍රජාවක් සමඟ හැසිරෙන විට එවැනි ප්‍රදේශයක වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති අතර පසුගිය කාලය තුළ කිහිප වරක්ම මෙවැනි සිදුවීම් වාර්තා විය.

එන්නත් විරෝධය පසුපස මෙන්ම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදීද මතු වුනේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. ඇමරිකානු ජනාධිපතිවරණයට තෙමසකට පෙර ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පිළිබඳව වාර්තා වී ඇති අතර MMR එන්නත් විරෝධීන් ජනාධිපති ට්‍රම්ප් පිළිබඳව බලාපොරොත්තු තබා ඇති බව පෙනේ. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳව වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා හිතන ආකාරය තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට බලපෑමක් කරන්නට පුළුවන.



Monday, February 20, 2017

ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)


පර්යේෂකයකු විසින් කිසියම් පර්යේෂණයක් කිරීමේදී එය කළ යුත්තේ මතිග්‍රාහී නොවී, පූර්ව නිගමන රහිතව, සත්‍යය එළිදරවු කර ගැනීමේ අරමුණිනි. එහෙත්, ඇතැම් විටෙක පර්යේෂකයෙකු විසින් ඒ අයුරින්ම ක්‍රියා නොකිරීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස කිසියම් ඖෂධ නිෂ්පාදන සමාගමකින් වැටුප් හෝ වෙනත් වාසි ලබන පර්යේෂකයෙකු එවැනි සමාගමක් මඟින් අලෙවි කරන හෝ අලෙවි කිරීමට අපේක්ෂා කරන ඔසුවක අඩුපාඩු එළිදරවු නොකරමින් එවැනි සමාගමකට වාසිදායක වන පරිදි මතිග්‍රාහී ලෙස පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වීමට ඇති ඉඩකඩ අපට බැහැර කළ නොහැකිය.

කෙසේ වුවද, විමර්ශිත ජර්නලයක පර්යේෂණ පත්‍රිකාවක් පළ කරනු ලබන්නේ ලේඛකයාට කිසි දිනෙක හඳුනා ගැනීමට නොලැබෙන "ඇනෝ" විමර්ශකයින් අඩුම වශයෙන් දෙදෙනෙකු, බොහෝ විට තිදෙනෙකු, විසින් පර්යේෂණ පත්‍රිකාවක් දැඩි විමර්ශනයට ලක් කර අනුමත කිරීමෙන් පසුවය. ලේඛකයා විසින් හඳුනා ගනු නොලැබුවද, ජර්නලයේ සංස්කාරකවරයා විසින් මෙසේ තෝරා ගන්නේ ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති විමර්ශකයින් දෙදෙනෙකු, තිදෙනෙකු හෝ ඇතැම් විට සිවු දෙනෙකි.

විශාල ආයෝජන සිදු කළ යුතු, වාණිජ නිෂ්පාදන හා අදාළ පර්යේෂණ බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික සමාගම් තුළ වුවත්, විමර්ශිත ජර්නලයන්හි සංස්කාරකවරුන්, විමර්ශකයින් මෙන්ම ලිපි පළකරන පර්යේෂකයින්ද බහුතරය කිසියම් සරසවියකට අනුබද්ධ ශාස්ත්‍රාලීය පර්යේෂකයින්ය. ආචාර්ය උපාධි ප්‍රදානය කරන මට්ටමේ පර්යේෂණ විශ්ව විද්‍යාල වලට සම්බන්ධ සරසවියක ආචාර්යවරයෙකු විසින් දේශන පැවැත්වෙන කාල වලදී ඉගැන්වීම හා අදාළ සියළු කටයුතු සඳහා (දේශන සඳහා නොවේ) සාමාන්‍යයෙන් ගත කළ යුත්තේ වැඩිම වුණොත් තමන්ගේ කාලයෙන් 30-40%ක් පමණි. වැඩි කාලයක් යෙදවිය යුත්තේ පර්යේෂණ වෙනුවෙනි. ග්‍රීෂ්ම සෘතුව සාමාන්‍යයෙන් ඉගැන්වීම් කටයුතු වලින් මුළුමනින්ම නිදහස්ය.

හොඳ පර්යේෂණ වැඩසටහනක් දියත් කරන අයෙකුට ඉගැන්වීම සඳහා යොදවන කාලය තවත් අඩුකරගැනීමට හෝ තමන් සතුව පර්යේෂණ අරමුදල් ඇත්නම් 'කාලය මිලදී ගැනීමට' පුළුවන. මේ පර්යේෂණ අරමුදල් බොහොමයක් ලැබෙන්නේ රජයට සම්බන්ධ පොදු අරමුදල් වලින් හෝ වෙනත් භාර අරමුදල් වලිනි. ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුට තමන් කරන පර්යේෂණ වල ගුණාත්මකභාවය හා ආචාර ධාර්මීය කරුණු පිළිපැදීම සම්බන්ධව හැර පර්යේෂණ ක්ෂේත්‍රය හෝ පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වීමට අවශ්‍ය නැත.

පර්යේෂණයක් සඳහා මිනිසුන් හෝ සතුන් යොදා ගැනීමේදී පර්යේෂකයෙකු විසින් ඒ සඳහා අදාළ අනුමැතීන් ලබා ගත යුතු අතර නිශ්චිත ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැදිය යුතුය. එමෙන්ම, පර්යේෂණ පත්‍රිකාවක් ජර්නලයකට ඉදිරිපත් කිරීමේදී තමන් විසින් මේ ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැද ඇති බවත්, අවශ්‍ය අනුමැතීන් ලබා ඇති බවත් සහතික කළ යුතුය. ඊට අමතරව, අදාළ පර්යේෂණයේ විෂයයට කිසියම් අයුරකින් සම්බන්ධ පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් තමන් කිසියම් මූල්‍යමය වාසියක් ලබන්නේනම් එවැනි දේ එළිදරවු කරමින් වියාචනයක් කළ යුතුය. ස්වාධීන විමර්ශකයෙකු විසින් කිසියම් පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිඵලය හා ක්‍රමවේදය විමර්ශනය කිරීමේදී මෙවැනි වියාචන ඉදිරිපත් කර ඇත්නම් ඒවාද සැලකිල්ලට ගනී.

කෙසේවුවද, ඇතැම් විටෙක කිසියම් පර්යේෂකයෙකු මේ ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නට ඉඩ තිබේ. එවැන්නක් එළිදරවු වීම යනු පර්යේෂකයෙකුගේ වෘත්තීය ජීවිතයේ අවසානයයි. එවැනි විටෙක ඒ වන විට පළ වී ඇති පර්යේෂණ පත්‍රිකාවක් ඉවත් කිරීම හා අදාළ පර්යේෂක කණ්ඩායම අසාදු ලේඛනගත කරනු ලැබීම, කලාතුරකින් වුවද, සිදුවේ.

බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෙකු හා උදරාබාධ විශේෂඥයෙකු (gastroenterologist) වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ප්‍රධාන පර්යේෂකයින් දොළොස් දෙනෙකු විසින් 1998 පෙබරවාරි මාසයේදී 'ලැන්සෙට්' විමර්ශිත ජර්නලයේ පළ කෙරුණු ලිපියකින් සිදුකර තිබුණේ ඉතා ආන්දෝලනාත්මක හෙලිදරවුවකි. මේ එළිදරවුව අනුව, උතුරු ලන්ඩනයේ හැම්ස්ටඩ්හි රාජකීය නිදහස් රෝහලේ ළමා උදර රෝග අංශයට 1996 ජූලි- 1997  පෙබරවාරි අතර කාලයේදී ප්‍රතිකාර සඳහා අනුපිළිවෙලින් පැමිණි වයස 6-10 අතර පිරිමි දරුවන් 11 දෙනෙකු හා ගැහැණු දරුවෙකු බඩවැලේ ආසාදනයකින් හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයකින් (gastrointestinal disease and developmental regression) පෙළුණු බවත්, මේ දරුවන්ගේ දෙමවුපියන් විසින් සපයා ඇති තොරතුරු අනුව දරුවන් 12 දෙනාගෙන් 8 දෙනෙකුම ඉහත රෝග තත්ත්වයන් ප්‍රදර්ශනය කර ඇත්තේ සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝග සඳහා ලබාදෙන ත්‍රිත්ව එන්නත (MMR) ලබාදීමෙන් පසුව බවත් එම හෙළිදරවුවයි.

ඉතාම සුළු නියැදියකින් ලබාගත් දත්ත මත පදනම් වූ, සැකයක් පමණක් එළිදරවු කෙරුණු, මේ පර්යේෂණ පත්‍රිකාව පළවීමට සමගාමීව වෛද්‍ය වේක්ෆීල්ඩ් විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හා වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් MMR ත්‍රිත්ව එන්නත හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයක් වන ස්වේච්ඡතාව (Autism) අතර තිබිය හැකි සම්බන්ධයක් පිළිබඳව මාධ්‍ය අවධානය යොමු කරවූවේය. එතැනින් පටන්ගත් MMR ත්‍රිත්ව එන්නතට එරෙහි වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය දිගින් දිගටම විශාල මාධ්‍ය ආවරණයක් ලබා ගත් අතර බොහෝ දෙනෙකුගේ අවධානයද දිනා ගත්තේය. වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය මූලිකවම එල්ල වූයේ රෝග තුනක් වෙනුවෙන් ලබාදෙන තනි එන්නතක් වූ MMR ත්‍රිත්ව එන්නතට එරෙහිවය. ඒ හැර, ඔහු පොදුවේ එන්නත් වලට එරෙහි නොවූ අතර MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන වැඩිදුර කරුණු සොයා බලන තුරු මෙම ත්‍රිත්ව එන්නත ලබා ගැනීමෙන් වැලකී, ඒ වෙනුවට විකල්පයක් ලෙස එක් එක් රෝගය සඳහා තනි එන්නත් ලබා ගත යුතු බව යෝජනා කළේය.

වේක්ෆීල්ඩ් විසින් මේ අනාවරණය සිදුකරන විටද, ඇමරිකාවේ බ්‍රිතාන්‍යයේ මෙන්ම වෙනත් රටවලද සැලකිය යුතු ප්‍රතිශක්තිකරණ විරෝධීන් පිරිසක් සිටියහ. ඔවුන් විසින් බොහෝ විට ප්‍රදර්ශනය කළේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ විරෝධයකි. මෙවැනි කණ්ඩායම් විසින් පැතිරවූ විවිධ දුර්මත හෝ තහවුරු නොවූ කරුණු අතර වූ ප්‍රතිශක්තිකර
ය ඇත්තටම ප්‍රයෝජනයක් නැති ඖෂධ සමාගම් විසින් ලාභ වැඩි කරගැනීමට කරන කටයුත්තක් බවත්, ප්‍රතිශක්තිකරණ එන්නත් වල හානිකර විෂ රසායන ඇති බවත්, මේ එන්නත් නිසා වඩා භයානක වෙනත් රෝගී තත්ත්වයන් ඇතිවන බවත් වැනි කරුණු පිළිගන්නට කැමති පිරිස් කලක සිටම සිටියේය. ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් විසින් සමස්තයක් ලෙස ප්‍රතිශක්තිකරණය කිරීමෙන් වැළකිය යුතුයැයි නොපැවසූ නමුත් ඔහු ඉතා ඉක්මණින් මේ කණ්ඩායම් වල වීරයෙක් විය. මෙතෙක් බොහෝ විට කටකතා වලට පමණක් සීමා වූ ප්‍රතිශක්තිකරණයේ හානිකර විපාක එළිදරවු කරමින් වේක්ෆීල්ඩ් විසින් ලැන්සෙට් වැනි පිළිගත් විමර්ශිත ජර්නලයක පළ කළ ලිපිය මේ 'කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ට' ලැබුණු මහඟු මැණිකක් විය.

මේ වන විට, අසූව දශකයේ අග (1988) සිට බ්‍රිතාන්‍යයේද, හැත්තෑව දශකයේ මුල (1971) සිට ඇමරිකාවේද වසරක් සපිරිණු දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබාදෙමින් පැවති අතර සරම්ප හා රුබෙල්ලා රෝග එම රටවලින් සම්පූර්ණයෙන්ම වාගේ දුරු වෙමින් පැවතියේය. වේක්ෆීල්ඩ්ගේ 'එළිදරවුව' පළමුව බ්‍රිතාන්‍යයේත්, පසුව ඇමරිකාවේත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් පිළිබඳ මහජන විශ්වාසය සැලකිය යුතු ලෙස බිඳ දැමීමට සමත් වූ අතර එන්නත ලබාගන්නා ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටෙන්නට විය.

දරුවෙකුගේ ස්වේච්ඡතාව පිළිබඳ රෝග ලක්ෂණ මුලින්ම පහළ වන්නේ වසරකට පමණ පසුවය. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් යටතේ MMR ත්‍රිත්ව එන්නත ලබා දුන්නේද දරුවෙකු වයස වසරක් සම්පූර්ණ කරද්දීය. මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය. ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි. ඒ අනුව, වේක්ෆීල්ඩ් විසින් විසි කළ ගිණි පුපුරට තවත් බොහෝ දෙනෙකු අතින් පැට්‍රෝල් වැටී ප්‍රතිශක්තිකරණ විරෝධය බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ප්‍රධානව ලෝකය පුරා පැතිරෙන්නට විය.

මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ. ඒ නිසා එතිල්මර්කරි සුළු මාත්‍රාවකින් සිරුරට සැලකිය යුතු බලපෑමක් සිදුනොවේ. කෙසේවුවද, එවකට ළමා එන්නත් බොහොමයක අඩංගු වූ, තිමරසල් ස්වේච්ඡතාවට හේතුවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නට විය. එහෙත්, MMR ත්‍රිත්ව එන්නතෙහි කිසිදු දිනෙක තිමරසල් අඩංගු වූයේ නැත.


ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙන්නේ කිසියම් රෝගයකට හේතුවන වයිරසයකින් සුළු මාත්‍රාවක් ජීවී හෝ මැරුණු ආකාරයෙන් සිරුරට එන්නත් කර සිරුර තුළ අදාළ රෝගයට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති කිරීමයි. ප්‍රතිශක්තිකරණය නිසා ලැබෙන වාසි (හෝ අවාසි) වල කොටස් දෙකකි. පළමුව, එහි පුද්ගලික ප්‍රතිලාභ තිබේ. ඊට අමතරව, ප්‍රතිශක්තිකරණයේ සමාජ ප්‍රතිලාභද තිබේ.

ප්‍රතිශක්තිකරණයේ පුද්ගල ප්‍රතිලාභ අතර උඩින්ම තියෙන්නේ අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ සැලකිය යුතු ලෙස අඩුවීමයි. ප්‍රතිශක්තිකරණය කිරීමෙන් පසුව වුවද, අදාළ වෛරසය සිරුරට ඇතුළු වූ විට රෝගය නොවැළඳීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඉවත් නොවේ. එහෙත්, එම ඉඩකඩ සැලකිය යුතු තරම් අඩුවේ. උදාහරණයක් ලෙස MMR ත්‍රිත්ව එන්නත එක් වරක් ලබා ගැනීමෙන් පසු වෛරසය සිරුරට ඇතුළු වූ විට සරම්ප රෝගය වැළඳීමේ ඉඩකඩ 93% දක්වාත්, දෙවරක්
ගැනීමෙන් පසු 97% දක්වාත් අඩුවේ. එමෙන්ම, ඇතැම් පුද්ගලයින්ට මෙම රෝගයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති බැවින් එන්නත නොගත්තද රෝගය සමඟ සටන් කළ හැකි ස්වභාවික ප්‍රතිශක්තියක් සිරුරේ තිබේ. එවැනි අයෙකුට වසංගත තත්වයකදී වුවද රෝගය නොවැළඳී බේරී සිටින්නට පුළුවන.

අනෙක් අතට, කිසියම් එන්නතක් ලබාගන්නා පුද්ගලයෙකුට ඇතැම් අවදානම් වලට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි එක් අවදානමක් වන්නේ එන්නත හේතුවෙන් අදාළ රෝගය වැළඳීමට සුළු ඉඩකඩක් තිබීමයි. මෙය අවම කිරීම සඳහා සිරුරට එන්නත් කරන වෛරස් මාත්‍රාව අඩු කළ විට, එන්නතේ සඵලතාවය එනම් එමඟින් රෝගය වැළැක්වීමට ඇති ඉඩකඩ අඩුවේ. අනෙක් අතට එන්නතක සඵලතාවය වැඩි කිරීමට වෛරස් මාත්‍රාව වැඩි කළ විට, එන්නත නිසා රෝගය හැදෙන්නට තිබෙන ඉඩකඩ ඉහළ යයි. එන්නතක අඩංගු විය යුතු වෛරස් මාත්‍රාව තීරණය කරන්නේ මේ සම්භාවිතාවන් දෙක සමතුලිත කරමිනි.

මෙයට අමතරව එන්නතක් නිසා විවිධ අතුරු ආබාධ වැළඳීමේ ඉඩකඩක්ද පවතී. එහෙත්, බොහෝ විට එවැනි අතුරු ආබාධ දරුණු ඒවා නොවේ; එන්නත ලබාදුන් තැන ඉදිමීම හෝ රතුවීම වැනි ලොකු අපහසුතාවයක් ඇති නොකරන අතුරු ආබාධයි. වඩා දරුණු අතුරු ආබාධ ඇති වීමටද ඉතා සුළු ඉඩකඩක් තිබේ. මේ අවාසි වලට අමතරව එන්නතක් සඳහා වැය කළ යුතු මිලද එන්නත් ලබා ගන්නා තැනැත්තාගේ අවාසියකි. මේ වාසි අවාසි එකතු කළ විට බොහෝ දෙනෙකුට පුද්ගල මට්ටමින් වුවත් සිදුවන්නේ ශුද්ධ වාසියකි. එහෙත්, එය එසේ නොවන අයද සිටින්නට පුළුවන.

කිසියම් රෝගයක් පතුරුවන වාහකයින් ලෙස ක්‍රියා කරන්නේ එම රෝගය වැළඳුණු පුද්ගලයින්ය. බොහෝ විට, මෙවැනි රෝගියෙකු රෝග ලක්ෂණ මුලින්ම පහළ කරන විටත් සෑහෙන කලක් රෝග වාහකයෙකු ලෙස කටයුතු කර අවසන්ය. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට දින ගණනක් තිස්සේ ඔබ විසින් ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුට මේ වෛරසය ප්‍රදානය කරයි. ඔවුන්ගෙන් ඇතැම් අයට මේ වෛරසය මැඬ පවත්වා ගැනීමට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇත. එහෙත්, සියල්ලන්ටම එය කළ නොහැකිය.

අනෙක් අතට, ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුගෙන් ඔබේ සිරුරට විවිධ වෛරස ඇතුළු විය හැකි නමුත් ඒ හැම විටම ඔබ රෝගී වන්නේ නැත. නමුත්, ඔබට එදිනෙදා හමුවන රෝගවාහකයින් ගණන වැඩි වන තරමට ඔබටද අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වැඩිවේ. කිසියම් ප්‍රදේශයක කිසියම් රෝගයක වාහකයින් ගණන යම් නිශ්චිත සීමාවක් ඉක්මවූ විට එම ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ අදාළ රෝගයට මොනයම් අයුරකින් හෝ අනාවරණය වීම නිසා වසංගත තත්ත්වයන් ඇතිවේ.

යම් තැනැත්තෙකු විසින් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගැනීමෙන් පසුව එම තැනැත්තා රෝග වාහකයෙකු බවට පත්වීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. කිසියම් ප්‍රදේශයක බොහෝ දෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් විට එම ප්‍රදේශයෙන් අදාළ රෝගය පතුරුවන වාහකයෙකු හමුවීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. ඒ නිසා, ඔබ එන්නත් කර නොතිබුණත්, වෙනත් බොහෝ දෙනෙකු එන්නත් ලබාගෙන ඇත්නම් අදාළ රෝගය ඔබට වැළඳීමට ඇති ඉඩකඩද අඩු වේ. මේ ප්‍රතිශක්තිකරණයේ ඇති සමාජ ප්‍රතිලාභ කොටසයි.

ප්‍රතිශක්තිකරණ එන්නත් වල ඇති ඉහත සමාජ ප්‍රතිලාභයේ ඵලයක් ලෙස කිසියම් වසංගත රෝගයක් හැදීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති කිරීම සඳහා යම් රටක ජීවත් වන සියළු දෙනාවම ප්‍රතිශක්තිකරණය කළ යුතු නැත. සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය වී සිටින ප්‍රමාණය මුළු ජනගහණයෙන් 90-95%ක් පමණ වූ විට, රෝගයක් පැතිරවීමට ප්‍රමාණවත් වාහකයින් පිරිසක් නොමැති නිසා අදාළ රෝගය වැළඳීමේ ඉඩකඩ මුළුමනින්ම වාගේ නැති වේ. ඒ නිසා, විවිධ හේතූන් මත එන්නත් ලබා දිය නොහැකි කොටස් හා 'ප්‍රතිශක්තිකරණ විරෝධී' සුළු ප්‍රතිශතයක්ද සිටීම රෝගයක් මුළුමනින්ම දුරු කිරීමට බාධාවක් නොවේ. මේ ගණන රෝගය අනුව සහ වෙනත් සාධක මත වෙනස් වන අතර මීට වඩා බෙහෙවින් අඩු හෝ වැඩි ප්‍රතිශතයක් වන්නට පුළුවන. මේ සාධකය සමූහ ප්‍රතිශක්තිය (herd immunity) ලෙස හෝ ප්‍රජා ප්‍රතිශක්තිය (community immunity)
ලෙස හැඳින්වේ.

වසංගත රෝග තත්ත්වයක් ඇති වූ විට වැඩිපුරම එහි ගොදුරු බවට පත්වන්නේ කුඩා දරුවන්, මහල්ලන්, ගර්භණී කාන්තාවන්  හා කිසියම් හේතුවක් නිසා ස්වභාවික ප්‍රතිශක්තිය අහිමි කරගෙන සිටින -උදාහරණයක් ලෙස අවයව බද්ධයකින් පසු එය සිරුර මඟින් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ ගනිමින් සිටින- වැනි සාපේක්ෂව 'දුර්වල' අයයි. රෝගයකට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් ඇති තරුණ හා නිරෝගී අය බොහෝදෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන රෝග වාහකයින් ඇති වීමේ ඉඩකඩ අවම කළ විට එයින් විශාලම වාසිය සැලසෙන්නේ මෙවැනි කොටස් වලටය. ඒ අතින් මෙය තමන්ටත් වාසියක් ලබමින් සමාජයේ දුර්වල අයටත් උදවුවක් කළ හැකි කටයුත්තකි.

වේක්ෆීල්ඩ්ගේ MMR ත්‍රිත්ව එන්නත් විරෝධය හේතුවෙන් දැල්වුණු ප්‍රතිශක්තිකරණ විරෝධී රැල්ල ඇතිවන විට බොහෝ බටහිර රටවල් සමූහ ප්‍රතිශක්ති තත්ත්වයට ළඟා වී සරම්ප වැනි රෝග එම රටවලින් මුලිනුපුටා දැමීමට ආසන්නව සිටියේය. මේ අතරතුර, වර්ධනය වන්නට වූ එන්නත් විරෝධය නිසා බොහෝ දෙනෙකු සිය දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තේය. ඇතැම් අය එන්නත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නටත් පටන් ගත්තේය. ඒ සමඟම බටහිර රටවල වසංගත රෝග අවදානම, විශේෂයෙන්ම සරම්ප අවදානම, විශාල ලෙස ඉහළ යන්නට විය.

ඒ වන විට (හෝ ඉන් පසුව මේ වන තුරු) තිමරසල් අඩංගු එන්නත් හේතුවෙන් එන්නත ලබාදුන් තැන රතු වීම හා ඉදිමීම හැර වෙනත් අතුරු ආබාධ ඇති බවක් තහවුරු වී නොතිබුණත් එන්නත් පිළිබඳ මහජන විශ්වාසය වැඩි වැඩි කර සමූහ ප්‍රතිශක්ති මට්ටම පවත්වාගැනීමේ මූලික  පියවරක් ලෙස 1999 ජූලි මාසයේ සිට තිමරසල් රහිතව එන්නත් නිෂ්පාදනය කිරීමට හෝ එන්නත් වල අඩංගු තිමරසල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමරිකානු ළමා වෛද්‍ය ඇකඩමිය, රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) හා ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදකයෝ එකඟ වූහ. කෙසේ වුවද, පෙරද කී පරිදි MMR ත්‍රිත්ව එන්නතේ කිසිදිනෙකත් තිමරසල් අඩංගු වූයේ නැත.


ත්‍රිත්ව එන්නත් විරෝධයට මුල් වූ වේක්ෆීල්ඩ් පර්යේෂණ පත්‍රිකාවේ එම එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධයක් ගැන සැකයක් මතු කර තිබීම හැර එවැන්නක් තහවුරු කළ හැකි කරුණු කිසිවක් ඉදිරිපත් කර නොතිබුණේය. එමෙන්ම, එහි නිගමන පදනම් වී තිබුණේ ඉතා සුළු නියැදියකින් (12 දෙනෙකුගෙන්) ලබාගත් දත්ත මතය. මෙවැනි පර්යේෂණ පත්‍රිකාවක්  සාමාන්‍යයෙන් ලැන්සෙට් වැනි ජර්නලයක පළ නොකෙරෙන නමුත් මෙය එහි පළ කර තිබුණේ අදාළ කරුණේ ඇති වැදගත්කම නිසාමය.

මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය. ඒ අතර, ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව සඳහා දායක වූ පර්යේෂකයින් දහදෙනෙකු එහි නිගමන පදනම් විරහිත බව පවසමින් ඉල්ලා අස් කර ගත්තේය. මේ කරුණු මෙසේ සිදුවෙද්දී, ජනතා අවධානය තවදුරටත් වැඩිපුර ලැබුණේ වේක්ෆීල්ඩ්ගේ මුල් මතයටය. 


මේ අතර, ප්‍රතිශක්තිකරණ විරෝධීන්ගේ වීරයෙකු වූ වේක්ෆීල්ඩ් ඇමරිකාවේ සංචාරය කරමින්, ස්වේච්ඡතාව පිළිබඳ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙමින්, දේශන පවත්වන්නට පටන් ගත්තේය. ඇමරිකාවේදී MMR ත්‍රිත්ව එන්නත් විරෝධය සම්පූර්ණ එන්නත් විරෝධයක් බවට හැරුණු අතර, මේ ව්‍යාපාරය විසින් වේගයෙන් ඉහළ යන හඳුනාගත් ස්වේච්ඡතා රෝගීන් ප්‍රමාණය ප්‍රතිශක්තිකරණ එන්නත් ගණන වැඩිවීම සමඟ සම්බන්ධ කරමින් ප්‍රවාද ගොඩනඟන්නටත් පතුරුවන්නටත් විය. මේ මතවාද වේගයෙන් පැතිරෙද්දී MMR ත්‍රිත්ව එන්නත ලබා ගන්නා ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ යන්නට විය. පර්යේෂණ පත්‍රිකාව පළ වන විට 92% මට්ටමේ පැවති බ්‍රිතාන්‍යයේ MMR එන්නත් කිරීමේ අනුපාතය 80% මට්ටමටද වඩා පහත වැටුණු අතර ලන්ඩන් නගරයේ මේ අනුපාතය ඉතාම පහළ මට්ටමකට වැටුණේය. 2000 නොවැම්බරයේදී වේක්ෆීල්ඩ් CBS රූපවාහිණී චැනලය විසින් නිෂ්පාදනය කළ MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතා වසංගත අවදානම පිළිබඳ පැයක වාර්තා වැඩසටහනක පෙනී සිටිද්දී ජෙනී මැකාති වැනි නිලියන් ප්‍රතිශක්තිකරණ විරෝධී ව්‍යාපාරය තුළ ක්‍රියාශීලී වන්නට විය.

මෙසේ කල් ගත වෙද්දී, බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය, සන්ඩේ ටයිම්ස් පුවත්පත හා චැනල් ෆෝ රුපවාහිනී නාලිකාව වෙනුවෙන් බ්‍රයන් ඩියර් විසින් විමර්ශනයක් ආරම්භ කළේය. බ්‍රයන් ඩියර්ගේ විමර්ශනය හේතුවෙන්, ඉහළ මධ්‍යම පාංතික වෛද්‍ය යුවලකගේ දරුවකු ලෙස ඉපිද පෞද්ගලික පාසැල් වල අධ්‍යාපනය ලබා තිබුණු, සල්ලි පසුපස නොහඹන අවංක හා ස්වාධීන පර්යේෂකයෙකු බව බැලූ බැල්මටම පෙනෙන, "වෙන්ඩ ටොයියෙකු නොව සැබැවින්ම පොෂ් ටොයියෙකු වූ", වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පිළිබඳ ඇත්ත එළිවිය.


ලැන්සෙට්හි පළ කළ පර්යේෂණය සිදුකරන්නට හිතන්නටත් පෙර, ත්‍රිත්ව එන්නත නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර විශාල වන්දි මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කළ රිචඩ් බාර්නම් නීතිඥයෙකු විසින් ඒ සඳහා උදවු ලබා ගැනීමට වේක්ෆීල්ඩ්ට මුදල් ගෙවා තිබුණේය. ස්වේච්ඡතාව වැළඳුණු දරුවන් පිලිබඳ මාධ්‍ය වාර්තා අනුව යමින් සම්බන්ධ කරගත් බ්‍රිතාන්‍ය පවුල් 1,600ක් වෙනුවෙන් අදාළ සමාගමෙන් වන්දි ලබාගෙන එමඟින් විශාල මුදලක් ඉපැයීමට බලාපොරොත්තු වූ, රිචඩ් බාර් තමන්ට අවශ්‍ය කතාව ගෙතීමට වේක්ෆීල්ඩ්ගේ උදවු සොයා එද්දී වේක්ෆීල්ඩ් විසින් බාර් සමඟ හෙට්ටු කර පැයකට පවුම් 150ක් බැගින් පවුම් 435,643ක මුදලක්ද සහ වෙනත් අමතර වියදම්ද ඔහුගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර තිබුණු සමාගමක් හරහා ලබාගෙන තිබේ.

මේ මුදල වේක්ෆීල්ඩ්ගේ වාර්ෂික ආදායම මෙන් අටගුණයකට වඩා වැඩිය. මෙසේ වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇත්තේ අඩුආදායම් ලබන්න
න්ට නීති සහාය ලබා දීම සඳහා ස්ථාපිත කර තිබුණු එක්සත් රාජධානියේ නීති ආධාර අරමුදලේ මුදල්ය. මෙයට අමතරව මේ කටයුත්ත සඳහා තවත් පවුම් 55,000ක පර්යේෂණ ආධාර මුදලක්ද වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇති අතර ලැන්සෙට් සඟරාවට පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන විට ඔහු මේ කිසිවක් එළදරවු කර නැත. එය බරපතල ලෙස ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි.

වේක්ෆීල්ඩ් විසින් ලබාගන්නට බලාපොරොත්තු වූ ප්‍රධාන ආර්ථික වාසිය මෙය නොවේ. ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව පළ වන්නට මාස 9කට පෙර ඔහු විසින් සරම්ප රෝගය සඳහා ලබා දිය හැකි තනි එන්නතක් සඳහා පේටන්ට් බලපත්‍රයක් අයදුම් කර තිබේ. එයට වාණිජ වටිනාකමක් ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත වෙළඳපොළෙන් ඉවත් වුවහොත් පමණක් බව කිව යුතු නැත.

මේ මූල්‍යමය කරුණු හැරුණු විට වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණයද කියන ආකාරයටම සිදුවී තිබුණේ නැත. පර්යේෂණය සඳහා යොදාගත් දරුවන් දොළොස්දෙනා ඔහුගේ සායනයට පැමිණි අහඹු රෝගීන් නොවූ අතර ත්‍රිත්ව එන්නත් විරෝධීන් යොදවාගෙන විශේෂයෙන් සොයාගත් රිචඩ් බාර්ගේ පාරිභෝගිකයින්ව සිටි අයයි. මේ කිසිවකු ලන්ඩනයේ ජීවත් වූ අය නොවූ අතර එක් අයෙක් පැමිණ තිබුණේ ඇමරිකාවෙනි. තවත් දෙදෙනෙක් සැතපුම් 280ක් දුරින් පිහිටි වෙනත් නගරයකිනි. මේ අයගෙන් ඇතැම් අය MMR එන්නත ලබා දීමට පෙරද ස්වේච්ඡතා රෝග ලක්ෂණ පෙන්වා තිබුණු බවත්, තවත් ඇතැම් අය ඉන් පසුවද එම රෝග ලක්ෂණ පෙන්වා නැති බවත් බ්‍රයන් ඩියර් විසින් අනාවරණය කෙරුණේය.

මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව 2010 ජනවාරි මාසයේදී ලැන්සෙට් සඟරාව තනිකරම බොරුවක් වූ වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉවත් කළ අතර එම වසරේම මැයි මාසයේදී වසර දෙකහමාරක විමර්ශනයකින් පසුව ඔහුගේ බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපංචිය අහෝසි කරනු ලැබ දෙසැම්බරයේදී එම තීන්දුව අභියාචනාධිකරණය විසින්ද තහවුරු කෙරිණි.

කෙසේවුවද, වේක්ෆීල්ඩ් විසින් ස්වාභිවෘද්ධිය අරමුණු කර ගනිමින් දැල්වූ ප්‍රතිශක්තිකරණ විරෝධය එයින් නොනැවතුණු අතර ඔහු අදටත් කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ගේ වීරයෙකි. මෙය බොහෝ රටවල ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් වලට විශාල බලපෑමක් ඇති කර ඇති අතර රටවල් ගණනාවක
වසංගත රෝග අවදානම් වැඩි කර තිබේ.

Monday, April 25, 2016

ඩෙංගු ගස් බඳිමුද?


ඩෙංගු යනු කලින් කලට ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්න වලට අමතරව දේශපාලනික හා සමාජ ප්‍රශ්න වලටද මුල්වන රෝගයකි. ඩෙංගු මර්දන වැඩසටහනකට ප්‍රචාරයක් ලබාදීම සඳහා වසර කිහිපයකට පෙර රජයේ සේවකයෙකුට තමාව ගස් බඳිනු ලැබීමේ ජවනිකාවක ප්‍රසිද්ධියේ රඟපාන්නට පවා සිදුවිය.

වසරකට ලොව පුරා මිලියන 400කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වන අතර එයින් 10,000-20,000 අතර පිරිසකගේ ජීවිත අහිමි වේ. රෝගයේ බලපෑම වැඩිපුරම ඇත්තේ ඝර්ම කලාපීය රටවලටය. 2013 දී නේචර් සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ලෝකයේ ඩෙංගු අවදානම වැඩිම රටවල් අතර ලංකාවද සිටී. 2014 දී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 47,502 දෙනෙකුද, පසුගිය වසරේදී 29,777 දෙනෙකුද වාර්තා වී තිබුණේය. සුවසේවා සපයන්නන් සහ පොදුවේ මහජනතාව අතර ඩෙංගු පිලිබඳ අවබෝධය වර්ධනය වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුකරගන්නට හැකිවී ඇතත් මේ රෝගය තවමත් ලංකාවට තර්ජනයකි.



ඉතා මෑතක් වන තුරුම ඩෙංගු වලට ප්‍රතිකාරයක් හෝ ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබුණේ නැත. කෙසේවුවද, මේ හා අදාල පර්යේෂණ කලක් තිස්සේම සිදුවූ අතර ප්‍රංශයේ සැනෝෆි පැස්චර් (Sanofi Pasteur) සමාගම මඟින් වැඩිදියුණු කළ ඩෙන්ග්වැක්සියා (Dengvaxia) එන්නත ප්‍රථම ඩෙංගු එන්නත ලෙස මේ වන විට රටවල් කීපයකම භාවිතා වෙමින් පවතී. පසුගිය දෙසැම්බරයේදී මුලින්ම මෙක්සිකෝවෙන් මේ එන්නතට අනුමැතිය ලැබුණු අතර ඉන්පසුව බ්‍රසීලය, එල් සැල්වදෝර් හා පිලිපීනය යන රටවල්ද මේ එන්නත අනුමත කර ඇත. පිලිපීනය මේ එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළකට ඇතුළත් කරගන්නා පළමු රට වීමට නියමිතය.

වෙනත් බොහෝ ඖෂධ මෙන්ම මේ එන්නතද අහම්බෙන් සොයාගත් එකක් නොවේ. මේ එන්නත නිෂ්පාදනය කිරීම සඳහා සැනෝෆි පැස්චර් සමාගම විසින් දශක දෙකක පමණ කාලයක් පුරා යුරෝ බිලියන 1.5ක පමණ මුදලක් (ඩොලර් බිලියන 1.7ක් පමණ) වැය කර තිබේ. ඉන්පසුව, රටවල් 15ක පුද්ගලයින් 40,000ක් පමණ යොදාගනිමින් සිදුකළ අධ්‍යයනයන් 25ක දත්ත වලින් එන්නතේ සාර්ථකත්වය තහවුරු වී තිබේ.

එන්නත අලෙවි කිරීම මඟින් මේ සමාගම සිය ආයෝජනය පියවා ගැනීමටත්, දැරූ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබීමටත් අපේක්ෂා කරන බව කිවයුතු නැත. කෙසේවුවද, ලෝකයේ ඩෙංගු රෝගීන්ගෙන් 70%ක් පමණ වාර්තාවන ආසියානු කලාපයේ පමණක් වසරකට ඩෙංගු ප්‍රතිකාර සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 6.5ක් පමණ බව සැලකූ විට තරමක් ඉහලින් මිල කෙරුනද බොහෝ රටවලට මේ එන්නත ආකර්ශනීය වීමට ඉඩතිබේ.


ලෝක බැංකුව විසින් ඩෙංගු අවදානම වැඩි රටවලට මේ එන්නත නිර්දේශ කළ බව වාර්තා වීමෙන් පසු එය ලංකාවේ භාවිතා කිරීම පිළිබඳව සොයා බලන්නට සෞඛ්‍ය ඇමතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වී තිබුණි. මේ ගැන අධ්යයනය කිරීමට කල් නොගැනීම හොඳ තීරණයකි. එසේ වුවද, මෙවැනි එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට ඇතුළත් කරගැනීමට පෙර තවත් ටික කලක් ඉවසිය යුතු බව මගේ අදහසයි. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විස්තරාත්මක නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාව එළිදැක්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මාසයේදීය. එමෙන්ම, වෙනත් සමාගම් විසින් වැඩිදියුණු කර ඇති ඩෙංගු එන්නත් කිහිපයක්ද මේ වන විට අවසන් අදියර වල පිරික්සෙමින් ඇති බැවින් වසර අවසාන වන විට මේ වෙළඳපොළේ කිසියම් තරඟකාරිත්වයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතී. 

යම් එන්නතක් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලට ඇතුළත් කිරීමට පෙර රෝගය වැළැක්වීම සඳහා එන්නතෙහි ඇති සඵලතාවට අමතරව වැය කරන මුදලට සාපේක්ෂව එයින් ලැබෙන වාසිය ගැනද සැලකිලිමත් විය යුතුය. බොහෝ එන්නත් වලින් එන්නත නොලබන අයටද වාසියක් සැලසේ. ඒ, යම් ප්‍රදේශයක වැඩි දෙනෙකු එන්නතක් ලබාගත් විට ඔවුන් රෝගවාහකයින් ලෙස ක්‍රියාකිරීම නැවතීමෙන් අනිත් අයගේ අවදානමද අඩුවන බැවිනි (herd effect). එහෙත්, මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු වැනි රෝගයකට අදාළව මේ වාසිය විශාල නැත. ඒ නිසා, මුල් අදියරේදී වඩාත්ම සුදුසු වන්නේ කැමති කෙනෙකුට මුදල් ගෙවා මිලදී ගත හැකි වන පරිදි එන්නත අනුමත කිරීමයි. ඩෙංගු රෝගයේ ස්වභාවය අනුව, වරක් රෝගය වැළඳුණු කෙනෙකුගේ අවදානම වැඩි නිසා එවැනි අයට හා/හෝ වැඩි අවදානම් කලාප වල ජීවත් වන අයට අවශ්‍යනම් එන්නත නොමිලේ ලබාදීමේ වරදක් නැත.

ඩෙංගු ගැන පසුගිය කාලයේ ඇති කර ඇති බිය නිසා (එහි වරදක්ම නැත.) මේ වන විට ඩෙංගු එන්නතක් මිලදී ගැනීම වැනි කාර්යයකදී සමාජය ඒ ගැන වැඩිවිස්තර සොයාබලන්නට නොපෙළඹේ. එවැනි තත්ත්වයක් තුළ, එන්නත නිෂ්පාදනය කරන්නේද එක් සමාගමක් පමණක් නිසා, මහජන ධනයෙන් කොටසක් උරා බොන්නට බලාසිටින මදුරුවන්ට ඩෙංගු මදුරුවාගේ උදවු ගැනීමට ඉඩකඩ විවර විය යුතු නැත. 


(Images: http://www.bbc.com, http://www.nature.com) 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...