වෙබ් ලිපිනය:

Showing posts with label පර්යේෂණ. Show all posts
Showing posts with label පර්යේෂණ. Show all posts

Tuesday, February 28, 2017

ඔවුන් ඔබට සඟවන දෙය (දෙවන කොටස)

ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)

 

වසර දොළහක පමණ කාලයක් තිස්සේ ඇත්තක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කළ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ්ගේ කෘතීම නිර්මාණයක් වූ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව අවසානයේදී අදාළ සඟරාව මඟින් ඉවත් කර ගැනුණේය. ඒ සමඟම, සිදු වූ හානිය පූරණය කර ගැනීමේ අරමුණින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ කලාප ගණනාවක් මේ කරුණ ගැන ඇත්ත හෙළිකරන ලිපි වෙනුවෙන් වෙන් කෙරුණේය. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ප්‍රධාන සංස්කාරිකාව වූ (සහ අදටත් එම තනතුර දරන) ආචාර්ය ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ් සිදුවීමට ප්‍රතිචාර දක්වමින් පැවසූ පරිදි මෙහිදී සිදු වුනේ විද්‍යාත්මක ක්‍රමයේ වැරැද්දක් නොවේ. වේක්ෆීල්ඩ් විසින් හිතාමතාම විද්‍යාත්මක ප්‍රජාව රැවටීමකි.

බ්‍රයන් ඩියර් විසින් හෙළිදරවු කරන තුරු, වේක්ෆීල්ඩ්ට වසර දොළහක් තිස්සේ මේ බොරුව ප්‍රචාරය කිරීමටත්, එමඟින් ප්‍රසිද්ධිය හා ආර්ථික වාසි ලබා ගැනීමටත් හැකි විය. ෆියෝනා ගෝඩ්ලී විසින් වේක්ෆීල්ඩ්ගේ මේ වංචාව පසුගිය සියවසේ මුල් භාගය පුරාවටම විද්‍යාත්මක ප්‍රජාව රැවටූ මිනිසා හා වානරයා අතර හමු නොවූ පුරුක පිළිබඳ වංචාව සමඟ සැසඳුවාය. එය දශක හතරක් පුරාවටම ඇත්තක් ලෙස සැලකුනත්, වේක්ෆීල්ඩ්ගේ වංචාව නිසා වසර දොළහක් තුළ සිදුවී ඇති හානිය සමඟ එය සැසඳිය නොහැකිය.

බ්‍රිතාන්‍යය තුළ MMR එන්නත හඳුන්වා දුන් 1988 වසරේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය ප්‍රතිශක්තිකරන අනුපාතය වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පළවන විට 92% ආසන්න මට්ටමක ස්ථාවරව පැවතියේය. එහෙත්, ඔහුගේ ප්‍රතිශක්තිකරන විරෝධී ප්‍රචාර හමුවේ  ක්‍රමයෙන් පහත වැටුණු මේ අනුපාතය 2004 වන විට 80%ටද වඩා අඩු විය (මෙහි 23 පිටුවේ පස්වන රූප සටහන බලන්න). කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ උත්සාහයන් හා වේක්ෆීල්ඩ්ව එළිදරවුවීම හේතුවෙන් පසුගිය 2013/14 දක්වා නැවත ක්‍රමයෙන් ඉහළ ගිය මේ අනුපාතය නැවතත් 92% මට්ටමට පැමිණියේය.

බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපදිංචිය අහිමි වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ඉන්පසුව කළේ කුමක්ද? මෙය සිදුවන විටත් ඔහු ඇමරිකාවට පැමිණ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරන විරෝධීන් සමඟ එක්ව ක්‍රියාත්මක වෙමින් සිටියේය. මා පෙරද කියූ පරිදි, වේක්ෆීල්ඩ් ඇමරිකාවට පැමිණීමටද පෙර සිටම ඇමරිකාවේ තිබුණේ MMR එන්නත් විරෝධයක් නොව, ප්‍රධාන වශයෙන්ම තිමරසල් හා ස්වේච්ඡතාව අතර ඇතැයි විශ්වාස කෙරුණු සම්බන්ධතාවයක් මත පදනම් වූ ප්‍රතිශක්තිකරන එන්නත් විරෝධයකි.

ඇමරිකාවට පැමිණීමෙන් පසු සිය උපාය මාර්ගයන් වෙනස් කළ වේක්ෆීල්ඩ් සිය ප්‍රේක්ෂක කණ්ඩායම ලෙස සිටි විමර්ශිත ජර්නල් කියවන 'උගතුන්' වෙනුවට සාමාන්‍ය ජනතාව (ඇමරිකන් බයියන්?)
වෙත හැරුණේය. ඔවුන් ඉලක්ක කර ගනිමින් වේක්ෆීල්ඩ් විසින් 2010දී හා 2012දී පොත් දෙකක් ලියා පළ කෙරිණි. පොතක් ලියා පළ කිරීම විමර්ශිත ජර්නලයක ලිපියක් පළ කරනවාක් මෙන් අන්තර්ගත කරුණු වල වැදගත්කම හෝ නිරවද්‍යතාවය තහවුරු කරගෙන කළ යුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මේ පොත් වලින් MMR එන්නතෙහි ඇතැයි ඔහු කියා සිටින අතුරු ආබාධ ඇති බව තහවුරු කිරීමක් හෝ ඔහු කළ වංචනික ක්‍රියාව නොකළ බව තහවුරු කිරීමක් සිදුවී නැත.

පොත් පළ කිරීමෙන් නොනැවතුණු වේක්ෆීල්ඩ් පසුගිය වසරේදී චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර ඇමරිකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය කරවූයේය. "Vaxxed: From Cover-Up to Catastrophe" නම් වූ මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කළේනම් එය හොඳ චිත්‍රපටයක් ලෙස සැලකීමට ඉඩකඩක් තිබුණත් ඔහු මෙය ඉදිරිපත් කළේ වාර්තා චිත්‍රපටයක් ලෙසිනි. වේක්ෆීල්ඩ්ගේ 'වන් මෑන් ෂෝ එකක්' ලෙස හැඳින්විය හැකි මේ චිත්‍රපටය මූලිකවම කරකැවෙන්නේ ඇමරිකාවේ රෝග නිවාරන හා පාලන කේන්ද්‍රය විසින් MMR එන්නත ලබා දීමෙන් පසුව අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන්ට ස්වේච්ඡතාව වැළඳීමට තිබුණු ඉහළ අවදානම පිළිබඳව දැනගැනීමෙන් පසුව එම කරුණ හිතාමතාම යට ගැසූ බවට වන චෝදනාව වටාය.

චිත්‍රපටයේ තේමාව වන ඉහත 'යටගැසූ පරීක්ෂණය' වේක්ෆීල්ඩ්ගේ ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව මෙන් තනිකරම අතේ රෝලක් නොවේ. මේ සිද්ධිය එළියට එන්නේ ඇමරිකාවේ ප්‍රතිශක්තිකරණ එන්නත් විරෝධී ක්‍රියාධරයකු වන මහාචාර්ය බ්‍රයන් හුකර් හරහාය. බ්‍රයන් හුකර්ගේ දරුවකුද MMR එන්නත ලබාදී මාස කිහිපයකට පසුව ස්වේච්ඡතා රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබේ. බ්‍රයන් හුකර් රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥයෙකු වන ආචාර්ය විලියම් තොම්සන් සමඟ මාස දහයක කාලයක් තුළ වාර ගණනාවක් දුරකථනයෙන් කථා කර ඇති අතර විලියම් තොම්සන්ට නොදන්වා මේ සංවාද පටිගත කර තිබේ. චිත්‍රපටියේ ඇත්තේ මෙසේ පටිගත කළ සංවාදයි.

ආචාර්ය විලියම් තොම්සන් ඇතුළු රෝග නිවාරන හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් පිරිසක් විසින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර ඇති සම්බන්ධක් සොයමින් දත්ත විමසුමට ලක්කර ඇති අතර මේ හා අදාළ පර්යේෂණ පත්‍රිකාව 2004 වසරේදී පීඩියට්‍රික්ස් විමර්ශිත ජර්නලයේ පළ විය. මේ පර්යේෂණ ප්‍රතිඵලය අනුව, MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග (autism spectrum disorders) අතර සම්බන්ධයක් පෙනෙන්නට නැත. 


බ්‍රයන් හුකර් හා වේක්ෆීල්ඩ් විසින් විශාල ප්‍රචාරයක් ලබාදුන් පරිදි, මුළු නියැදිය හා අදාළව තත්ත්වය මෙසේ වුවත් ඉහත පර්යේෂකයින්ට අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව MMR එන්නත හා ස්වෙච්ඡතා කාණ්ඩයේ රෝග අතර සම්බන්ධයක් පවතින බව දැනගන්නට ලැබී තිබේ. එහෙත්, ඒ බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් නොකිරීමට තොම්සන් ඇතුළු පර්යේෂක කණ්ඩායම තීරණය කර ඇත.

මේ කරුණ බොරුවක් නොවේ. බ්‍රයන් හුකර් විසින් "රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු සමඟ පැවැත්වූ" දුරකථන සංවාද පටිගත කර ප්‍රසිද්ධ කර තිබුණේ විලියම් තොම්සන්ගේ අනුමැතිය හෝ අනුදැනුම රහිතව වුවත්, පසුව විලියම් තොම්සන් විසින් නීතිඥයෙකු හරහා ප්‍රකාශයක් කරමින් තහවුරු කළ පරිදි ඇත්තටම එවැන්නක් සිදු වී තිබේ. ඔවුන් එසේ කර ඇත්තේ ඇයි?

මෙය සමාජජාලා වල ප්‍රචාරය වූ පරිදි, "හිට්ලර්ගේ යුදෙවු ඝාතන වැනි ජනවර්ගයක් විනාශකර දැමීම අරමුණු කරගත් මහා කුමන්ත්‍රණයක්" නොවේ. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයින් අතර ඔවුන්ගේ දත්ත විශ්ලේෂණ මත පදනම් වූ ඇතැම් නිගමන සම්බන්ධව එකඟතාවක් ඇති නොවීමක් පමණි. කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට (වෘත්තීය පර්යේෂණ යෝජනාවක් පිළියෙල කර රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයට ලබා දීමෙන් පසුව) මේ දත්ත ලබාගෙන අවශ්‍ය පරිදි විශ්ලේෂණය කර බැලීමේ හැකියාවක් තිබේ. 

මා සිතන පරිදි, බ්‍රයන් හුකර් හා විලියම් තොම්සන් යන දෙදෙනා වේක්ෆීල්ඩ් මෙන් වංචනිකයෝ නොවෙති. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් ඇති බවත්, 2004 පීඩියට්‍රික්ස් පර්යේෂණය සඳහා උපයෝගී කරගත් දත්ත වලින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව මේ සම්බන්ධය පැහැදිලිව පෙනෙන බවත් ඔවුන් ඇත්තටම විශ්වාස කරනවා වන්නට පුළුවන. වේක්ෆීල්ඩ් වුවද, දත්ත සකස් කිරීමේදී වංචාවක් කර ඇතත්, ඇත්තටම මෙවැනි සම්බන්ධයක් ඇතැයි හිතනවා විය හැකිය.

විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් සිදුකළ පෙර පළ නොකෙරුණු දත්ත විශ්ලේෂණය බ්‍රයන් හුකර් විසින් නැවත සිදු කළ අතර අදාළ පර්යේෂණ පත්‍රිකාව 2014 අගෝස්තුවේදී 'ට්‍රාන්ස්ලේෂනල් නියුරෝඩිජෙනරේෂන්' ජර්නලයේ පළ විය. එම පර්යේෂණ පත්‍රිකාව පළවීමත් සමඟම, විලියම් තොම්සන් ඇතුළු පර්යේෂකයින් විසින් පළමුවත්, බ්‍රයන් හුකර් විසින් පසුවත් යොදාගෙන තිබුණු සංඛ්‍යානමය ක්‍රමවේදයේ අඩුපාඩු වෙනත් බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබුවේය. 


රෝග නිවාරණ හා පාලන කේන්ද්‍රයේ පර්යේෂකයින් විසින් අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණු ප්‍රතිඵලය ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර තිබුණේ එම අඩුපාඩු පිළිබඳව තේරුම් ගෙන සිටි නිසාය. බ්‍රයන් හුකර්ගේ පර්යේෂණ පත්‍රිකාවද පසුව එය පලකළ ජර්නලයෙන් ඉවත් කෙරිණි. පසුව අවධානයට ලක්වුණු ක්‍රමවේදයේ අඩුපාඩු වලට අමතරව, ලිපියේ තේමාව හා සම්බන්ධ සංවිධාන සමඟ ඔහුගේ තිබුණු සම්බන්ධතා බ්‍රයන් විසින් ජර්නලයට හෙළිදරවු කර නොතිබීමද මේ තීරණයට හේතු විය.

ද්වීතියික දත්ත මත සිදුකරන විශ්ලේෂණයන් ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. ඇස් කණ්ණාඩි පාවිච්චි කරන හා නොකරන සිසුන් නියැදි දෙකක් ගෙන ඔවුන්ගේ සාමාන්‍ය පෙනීමේ හැකියාවන් සංසන්දනය කළහොත්, බොහෝ විට ඔබට පෙනෙනු ඇත්තේ කණ්ණාඩි පාවිච්චි නොකරන සිසුන්ගේ පෙනීම වඩා හොඳ බවයි. එහෙත්, මේ නිරීක්ෂණය මත කණ්ණාඩි පාවිච්චි කිරීම නිසා ඇස් පෙනීම දුර්වල වන බවට නිගමනයකට පැමිණිය නොහැක්කේ, කණ්ණාඩි පාවිච්චි කරන්නේම ඇස් පෙනීම දුර්වල අය බැවිනි.

බ්‍රයන් හුකර් විසින් නැවත විශ්ලේෂණය කළ, VAXXED චිත්‍රපටියේ ප්‍රධාන තේමාව වූ අප්‍රිකානු ඇමරිකන් දරුවන් සම්බන්ධව පැවතියේද මෙවැනි තත්ත්වයකි. ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් සඳහා පෙර පාසැල් වයසේදී විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රියාත්මක වන අතර එම වැඩ සටහන් වලට ඇතුළත් වීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා තිබිය යුතුය. මේ හේතුවෙන් ස්වේච්ඡතාවයෙන් පෙළෙන දරුවන් MMR එන්නත ලබාගෙන තිබීමට ඇති ඉඩකඩ අනෙක් දරුවන්ට වඩා වැඩිය. මෙය එන්නත හේතුවෙන් රෝගය වැඩිවීමක් ලෙස යමෙකු වරදවා වටහා ගන්නට පුළුවන.

වඩා විශාල නියැදි යොදාගනිමින් ඩෙන්මාර්කය, ජපානය, පෝලන්තය හා කැනඩාව ඇතුළු රටවල් ගණනාවක සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ වලින් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් නිරීක්ෂණය වී නැත.  ඇමරිකානු දරුවන් 95,727ක විශාල නියැදියක් යොදාගනිමින් මෑතකදී ස්වේච්ඡතාව හා MMR එන්නත අතර තිබිය හැකි සම්බන්ධක් පිළිබඳව සිදු කෙරුණු පුළුල් අධ්‍යයනයකින්ද එවැනි සම්බන්ධයක් ඇති බවක් පෙනී ගොස් නැත. මේ පර්යේෂණ අධ්‍යයනයේ ප්‍රතිඵල 2015දී ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසෝෂියේෂන්හි (JAMA)  පළවිය. කෙසේ වුවද, අප්‍රිකානු ඇමරිකන් පිරිමි දරුවන් හා අදාළව පමණක්, MMR එන්නත ලබාගැනීම හා ස්වෙච්ඡතා පරාසයේ ආබාධ ඇති වීම අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට බ්‍රයන් හුකර් සහ තවත් අය පළ කරන අදහස තහවුරු කිරීම හෝ බැහැර කිරීම පිණිස අවශ්‍ය තරම් විධිමත් පර්යේෂණ
ප්‍රමාණවත් ගණනක් තවමත් සිදු කෙරී නැත.

එන්නත් වෙනුවෙන් හා එන්නත් විරෝධී ලෙස සිදුවන පිල් බෙදීම තුළින් පිළිබිඹු වෙන්නේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. නිරෝගීව සිටින තමන්ගේ දරුවෙකුට MMR එන්නත ලබාදීමෙන් පසු කෙටිකලක් තුළ ඔහුගේ හෝ ඇයගේ මානසික වර්ධනය ඇස්පනාපිටම කැපී පෙනෙන ලෙස බාල වන විට දෙමවුපියන්ට 'ප්‍රත්‍යක්ෂ වන්නේ' එන්නත ලබා දීම හේතුවෙන් මෙය සිදු වූ බවයි. එය එසේ නොවන බව පර්යේෂකයෙකුට සංඛ්‍යාලේඛණ පිරික්සා 'බුද්ධියෙන්' තේරුම්ගත හැකි වුවත් මේ පර්යේෂණ පත්‍රිකා බොහොමයක්ම කියවනු ලබන්නේ සාපේක්ෂව වැඩි උගත්කමක් ඇති අය අතරෙන් වුවද අතලොස්සක් පමණි. එසේ නොකරන අතිමහත් බහුතරය පොදු මාධ්‍ය හා විශේෂයෙන්ම සමාජ ජාලා හරහා දැනුම ලබා ගැනීම වත්මන් යුගයේ යථාර්තයයි.

සංවර්ධිත රටවල වලද ඇතැම් දේශපාලනඥයින් දැනුම ලබාගන්නේ 'පත්තරේ කියවා' මිස පර්යේෂණ පත්‍රිකා කියවා නොවේ. පත්තර වැනි "පැරණි මාධ්‍ය" මෙන් කිසියම් පිරිසකගේ ස්වයං නියාමනයකට හෝ අඩු වශයෙන් යටත් නොවන සමාජ මාධ්‍ය තොරතුරු වලින් බොහෝ විට පිළිබිඹු වන්නේ ඒවා පළ කරන හෝ බෙදාගන්නා අයගේ ප්‍රත්‍යක්ෂ දැනුමයි. මේවා අතර ප්‍රසිද්ධිය හෝ වෙනත් කිසියම් වාසියක් ලබාගැනීමේ අරමුණින් හිතාමතා පලකරන දේවල් අඩු නැතත් එවැනි දේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරෙන්නේ එක් පුද්ගලයාගේ දැනුම, අත්දැකීම්, විශ්ලේෂණ හැකියාවන් ආදියට සාපේක්ෂ කරුණක් වන "ප්‍රත්‍යක්ෂය" සමඟ එවැනි දේ ගැලපෙන බැවිනි.

ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හරහා මිනිස් සංහතිය පසුගිය ශතවර්ෂය තුළ ලබාගෙන ඇති ජයග්‍රහණයන් අතිමහත්ය. මේ වැඩසටහන් හරහා වසූරිය වැනි ඇතැම් රෝග මිහිමතින් තුරන් කරනු ලැබ ඇති අතර පෝලියෝ හා සරම්ප රෝගද එසේ මිහිමතින් තුරන් කිරීම මිනිසුන්ට සාමූහිකව ක්‍රියාකර වසර කිහිපයකින් ළඟා කරගත හැකිව ඇති ඉලක්කයකි.

වසරකට සරම්ප රෝගීන් 267,000ක් පමණ ලෝකයෙන් වාර්තා වන අතර මේ රෝගීන්ගෙන් 146,000ක් පමණ මිය යති. එයින් වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන්ය. කෙසේ වුවද, 2000-2013 අතර කාලය තුළ සරම්ප රෝගය නිසා සිදුවන මරණ මිලියන 15.6ක් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් වැලැක්වී තිබේ. එන්නත සොයා ගැනීමට පෙර ඇමරිකාවේ පමණක් වසරකට මිලියන බාගයක් පමණ සරම්ප රෝගීන් වාර්තා වූ අතර ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් ඇමරිකාව තුළ සරම්ප රෝගීන් ක්‍රමයෙන් අඩුවී ගොස් 2000 වසරේදී සරම්ප රෝගය ඇමරිකාවෙන් තුරන් වී ඇති බව නිවේදනය කෙරිණි. ඇමරිකාවේ බොහෝ වෛද්‍යවරුන් ජීවිතයේ එක් වරක් හෝ සරම්ප රෝගියෙකු දැක නැත.

එන්නත සොයාගැනීමට පෙර කාලයේ මෙන්, සිය ඥාතීන් හා මිතුරන් සරම්ප රෝගයෙන් පීඩා විඳීම හා ඔවුන්ගෙන් ඇතැමුන් මිය යාම ඇස් පනා පිට පෙනෙන විට මෙම රෝගයේ භයානකකම (හෝ මෙවැනිම තත්ත්වයක් යටතේ වෙනත් රෝගයක භයානකකම) බොහෝ දෙනෙකුගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත්වේ. එන්නත හඳුන්වා දුන් මුල් කාලයේදී, එය ලබාගත් සීමිත පුද්ගලයින් පමණක් මෙවැනි වසංගත තත්ත්වයක්දී බේරී සිටින බවද බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ වන්නට ඇත. එහෙත්, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හේතුවෙන් දැන් එසේ සරම්ප රෝගීන් දකින්නට නොලැබෙන නිසා එම රෝගයේ භයානකකම බොහෝ ඇමරිකානුවන්ට ප්‍රත්‍යක්ෂව නොදැනේ. එය බුද්ධියෙන් අවබෝධ කරගත යුතු කරුණකි.

ඇමරිකාවේ ජීවත්වන අයෙකුට වෛද්‍ය හෝ ආගමික හේතුමත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගෙන සිටින්නට හැකි අතර බොහෝ ප්‍රාන්ත වල තමන්ගේ පෞද්ගලික විශ්වාස මත වුවද එසේ කළ හැකිය. මෙය සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නොවූවත්, කිසියම් සීමිත භූමි ප්‍රදේශයක (උදාහරණයක් ලෙස කුඩා නගරයක හෝ ගමක) ජීවත් වන බහුතරය ආගමික හෝ වෙනත් විශ්වාස හේතුවෙන් එන්නත් ලබා නොගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය රටපුරා විසිරුණු පිරිස් අහඹු ලෙස එන්නත් ලබා නොගත් විට ඇති වන ප්‍රතිඵලයම නොවේ. යම් හෙයකින් වෙනත් රටකින් පැමිණෙන සරම්ප ආසාදිතයෙකු මෙවැනි ප්‍රජාවක් සමඟ හැසිරෙන විට එවැනි ප්‍රදේශයක වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති අතර පසුගිය කාලය තුළ කිහිප වරක්ම මෙවැනි සිදුවීම් වාර්තා විය.

එන්නත් විරෝධය පසුපස මෙන්ම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදීද මතු වුනේ පශ්චාත් සත්‍ය දේශපාලනයයි. ඇමරිකානු ජනාධිපතිවරණයට තෙමසකට පෙර ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පිළිබඳව වාර්තා වී ඇති අතර MMR එන්නත් විරෝධීන් ජනාධිපති ට්‍රම්ප් පිළිබඳව බලාපොරොත්තු තබා ඇති බව පෙනේ. MMR එන්නත හා ස්වේච්ඡතාව අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳව වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා හිතන ආකාරය තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට බලපෑමක් කරන්නට පුළුවන.



Monday, February 20, 2017

ඔවුන් ඔබට සඟවන දෙය (පළමු කොටස)


පර්යේෂකයකු විසින් කිසියම් පර්යේෂණයක් කිරීමේදී එය කළ යුත්තේ මතිග්‍රාහී නොවී, පූර්ව නිගමන රහිතව, සත්‍යය එළිදරවු කර ගැනීමේ අරමුණිනි. එහෙත්, ඇතැම් විටෙක පර්යේෂකයෙකු විසින් ඒ අයුරින්ම ක්‍රියා නොකිරීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස කිසියම් ඖෂධ නිෂ්පාදන සමාගමකින් වැටුප් හෝ වෙනත් වාසි ලබන පර්යේෂකයෙකු එවැනි සමාගමක් මඟින් අලෙවි කරන හෝ අලෙවි කිරීමට අපේක්ෂා කරන ඔසුවක අඩුපාඩු එළිදරවු නොකරමින් එවැනි සමාගමකට වාසිදායක වන පරිදි මතිග්‍රාහී ලෙස පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වීමට ඇති ඉඩකඩ අපට බැහැර කළ නොහැකිය.

කෙසේ වුවද, විමර්ශිත ජර්නලයක පර්යේෂණ පත්‍රිකාවක් පළ කරනු ලබන්නේ ලේඛකයාට කිසි දිනෙක හඳුනා ගැනීමට නොලැබෙන "ඇනෝ" විමර්ශකයින් අඩුම වශයෙන් දෙදෙනෙකු, බොහෝ විට තිදෙනෙකු, විසින් පර්යේෂණ පත්‍රිකාවක් දැඩි විමර්ශනයට ලක් කර අනුමත කිරීමෙන් පසුවය. ලේඛකයා විසින් හඳුනා ගනු නොලැබුවද, ජර්නලයේ සංස්කාරකවරයා විසින් මෙසේ තෝරා ගන්නේ ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති විමර්ශකයින් දෙදෙනෙකු, තිදෙනෙකු හෝ ඇතැම් විට සිවු දෙනෙකි.

විශාල ආයෝජන සිදු කළ යුතු, වාණිජ නිෂ්පාදන හා අදාළ පර්යේෂණ බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික සමාගම් තුළ වුවත්, විමර්ශිත ජර්නලයන්හි සංස්කාරකවරුන්, විමර්ශකයින් මෙන්ම ලිපි පළකරන පර්යේෂකයින්ද බහුතරය කිසියම් සරසවියකට අනුබද්ධ ශාස්ත්‍රාලීය පර්යේෂකයින්ය. ආචාර්ය උපාධි ප්‍රදානය කරන මට්ටමේ පර්යේෂණ විශ්ව විද්‍යාල වලට සම්බන්ධ සරසවියක ආචාර්යවරයෙකු විසින් දේශන පැවැත්වෙන කාල වලදී ඉගැන්වීම හා අදාළ සියළු කටයුතු සඳහා (දේශන සඳහා නොවේ) සාමාන්‍යයෙන් ගත කළ යුත්තේ වැඩිම වුණොත් තමන්ගේ කාලයෙන් 30-40%ක් පමණි. වැඩි කාලයක් යෙදවිය යුත්තේ පර්යේෂණ වෙනුවෙනි. ග්‍රීෂ්ම සෘතුව සාමාන්‍යයෙන් ඉගැන්වීම් කටයුතු වලින් මුළුමනින්ම නිදහස්ය.

හොඳ පර්යේෂණ වැඩසටහනක් දියත් කරන අයෙකුට ඉගැන්වීම සඳහා යොදවන කාලය තවත් අඩුකරගැනීමට හෝ තමන් සතුව පර්යේෂණ අරමුදල් ඇත්නම් 'කාලය මිලදී ගැනීමට' පුළුවන. මේ පර්යේෂණ අරමුදල් බොහොමයක් ලැබෙන්නේ රජයට සම්බන්ධ පොදු අරමුදල් වලින් හෝ වෙනත් භාර අරමුදල් වලිනි. ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුට තමන් කරන පර්යේෂණ වල ගුණාත්මකභාවය හා ආචාර ධාර්මීය කරුණු පිළිපැදීම සම්බන්ධව හැර පර්යේෂණ ක්ෂේත්‍රය හෝ පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වීමට අවශ්‍ය නැත.

පර්යේෂණයක් සඳහා මිනිසුන් හෝ සතුන් යොදා ගැනීමේදී පර්යේෂකයෙකු විසින් ඒ සඳහා අදාළ අනුමැතීන් ලබා ගත යුතු අතර නිශ්චිත ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැදිය යුතුය. එමෙන්ම, පර්යේෂණ පත්‍රිකාවක් ජර්නලයකට ඉදිරිපත් කිරීමේදී තමන් විසින් මේ ආචාර ධාර්මීය සම්මුතීන් පිළිපැද ඇති බවත්, අවශ්‍ය අනුමැතීන් ලබා ඇති බවත් සහතික කළ යුතුය. ඊට අමතරව, අදාළ පර්යේෂණයේ විෂයයට කිසියම් අයුරකින් සම්බන්ධ පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් තමන් කිසියම් මූල්‍යමය වාසියක් ලබන්නේනම් එවැනි දේ එළිදරවු කරමින් වියාචනයක් කළ යුතුය. ස්වාධීන විමර්ශකයෙකු විසින් කිසියම් පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිඵලය හා ක්‍රමවේදය විමර්ශනය කිරීමේදී මෙවැනි වියාචන ඉදිරිපත් කර ඇත්නම් ඒවාද සැලකිල්ලට ගනී.

කෙසේවුවද, ඇතැම් විටෙක කිසියම් පර්යේෂකයෙකු මේ ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නට ඉඩ තිබේ. එවැන්නක් එළිදරවු වීම යනු පර්යේෂකයෙකුගේ වෘත්තීය ජීවිතයේ අවසානයයි. එවැනි විටෙක ඒ වන විට පළ වී ඇති පර්යේෂණ පත්‍රිකාවක් ඉවත් කිරීම හා අදාළ පර්යේෂක කණ්ඩායම අසාදු ලේඛනගත කරනු ලැබීම, කලාතුරකින් වුවද, සිදුවේ.

බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෙකු හා උදරාබාධ විශේෂඥයෙකු (gastroenterologist) වූ ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් ප්‍රධාන පර්යේෂකයින් දොළොස් දෙනෙකු විසින් 1998 පෙබරවාරි මාසයේදී 'ලැන්සෙට්' විමර්ශිත ජර්නලයේ පළ කෙරුණු ලිපියකින් සිදුකර තිබුණේ ඉතා ආන්දෝලනාත්මක හෙලිදරවුවකි. මේ එළිදරවුව අනුව, උතුරු ලන්ඩනයේ හැම්ස්ටඩ්හි රාජකීය නිදහස් රෝහලේ ළමා උදර රෝග අංශයට 1996 ජූලි- 1997  පෙබරවාරි අතර කාලයේදී ප්‍රතිකාර සඳහා අනුපිළිවෙලින් පැමිණි වයස 6-10 අතර පිරිමි දරුවන් 11 දෙනෙකු හා ගැහැණු දරුවෙකු බඩවැලේ ආසාදනයකින් හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයකින් (gastrointestinal disease and developmental regression) පෙළුණු බවත්, මේ දරුවන්ගේ දෙමවුපියන් විසින් සපයා ඇති තොරතුරු අනුව දරුවන් 12 දෙනාගෙන් 8 දෙනෙකුම ඉහත රෝග තත්ත්වයන් ප්‍රදර්ශනය කර ඇත්තේ සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝග සඳහා ලබාදෙන ත්‍රිත්ව එන්නත (MMR) ලබාදීමෙන් පසුව බවත් එම හෙළිදරවුවයි.

ඉතාම සුළු නියැදියකින් ලබාගත් දත්ත මත පදනම් වූ, සැකයක් පමණක් එළිදරවු කෙරුණු, මේ පර්යේෂණ පත්‍රිකාව පළවීමට සමගාමීව වෛද්‍ය වේක්ෆීල්ඩ් විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හා වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් MMR ත්‍රිත්ව එන්නත හා මොළයේ වර්ධනය පමාවීමේ රෝගී තත්ත්වයක් වන ස්වේච්ඡතාව (Autism) අතර තිබිය හැකි සම්බන්ධයක් පිළිබඳව මාධ්‍ය අවධානය යොමු කරවූවේය. එතැනින් පටන්ගත් MMR ත්‍රිත්ව එන්නතට එරෙහි වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය දිගින් දිගටම විශාල මාධ්‍ය ආවරණයක් ලබා ගත් අතර බොහෝ දෙනෙකුගේ අවධානයද දිනා ගත්තේය. වේක්ෆීල්ඩ්ගේ ප්‍රහාරය මූලිකවම එල්ල වූයේ රෝග තුනක් වෙනුවෙන් ලබාදෙන තනි එන්නතක් වූ MMR ත්‍රිත්ව එන්නතට එරෙහිවය. ඒ හැර, ඔහු පොදුවේ එන්නත් වලට එරෙහි නොවූ අතර MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධතාවය ගැන වැඩිදුර කරුණු සොයා බලන තුරු මෙම ත්‍රිත්ව එන්නත ලබා ගැනීමෙන් වැලකී, ඒ වෙනුවට විකල්පයක් ලෙස එක් එක් රෝගය සඳහා තනි එන්නත් ලබා ගත යුතු බව යෝජනා කළේය.

වේක්ෆීල්ඩ් විසින් මේ අනාවරණය සිදුකරන විටද, ඇමරිකාවේ බ්‍රිතාන්‍යයේ මෙන්ම වෙනත් රටවලද සැලකිය යුතු ප්‍රතිශක්තිකරණ විරෝධීන් පිරිසක් සිටියහ. ඔවුන් විසින් බොහෝ විට ප්‍රදර්ශනය කළේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ විරෝධයකි. මෙවැනි කණ්ඩායම් විසින් පැතිරවූ විවිධ දුර්මත හෝ තහවුරු නොවූ කරුණු අතර වූ ප්‍රතිශක්තිකර
ය ඇත්තටම ප්‍රයෝජනයක් නැති ඖෂධ සමාගම් විසින් ලාභ වැඩි කරගැනීමට කරන කටයුත්තක් බවත්, ප්‍රතිශක්තිකරණ එන්නත් වල හානිකර විෂ රසායන ඇති බවත්, මේ එන්නත් නිසා වඩා භයානක වෙනත් රෝගී තත්ත්වයන් ඇතිවන බවත් වැනි කරුණු පිළිගන්නට කැමති පිරිස් කලක සිටම සිටියේය. ඇන්ඩ්රු වේක්ෆීල්ඩ් විසින් සමස්තයක් ලෙස ප්‍රතිශක්තිකරණය කිරීමෙන් වැළකිය යුතුයැයි නොපැවසූ නමුත් ඔහු ඉතා ඉක්මණින් මේ කණ්ඩායම් වල වීරයෙක් විය. මෙතෙක් බොහෝ විට කටකතා වලට පමණක් සීමා වූ ප්‍රතිශක්තිකරණයේ හානිකර විපාක එළිදරවු කරමින් වේක්ෆීල්ඩ් විසින් ලැන්සෙට් වැනි පිළිගත් විමර්ශිත ජර්නලයක පළ කළ ලිපිය මේ 'කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ට' ලැබුණු මහඟු මැණිකක් විය.

මේ වන විට, අසූව දශකයේ අග (1988) සිට බ්‍රිතාන්‍යයේද, හැත්තෑව දශකයේ මුල (1971) සිට ඇමරිකාවේද වසරක් සපිරිණු දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබාදෙමින් පැවති අතර සරම්ප හා රුබෙල්ලා රෝග එම රටවලින් සම්පූර්ණයෙන්ම වාගේ දුරු වෙමින් පැවතියේය. වේක්ෆීල්ඩ්ගේ 'එළිදරවුව' පළමුව බ්‍රිතාන්‍යයේත්, පසුව ඇමරිකාවේත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් පිළිබඳ මහජන විශ්වාසය සැලකිය යුතු ලෙස බිඳ දැමීමට සමත් වූ අතර එන්නත ලබාගන්නා ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටෙන්නට විය.

දරුවෙකුගේ ස්වේච්ඡතාව පිළිබඳ රෝග ලක්ෂණ මුලින්ම පහළ වන්නේ වසරකට පමණ පසුවය. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් යටතේ MMR ත්‍රිත්ව එන්නත ලබා දුන්නේද දරුවෙකු වයස වසරක් සම්පූර්ණ කරද්දීය. මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය. ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි. ඒ අනුව, වේක්ෆීල්ඩ් විසින් විසි කළ ගිණි පුපුරට තවත් බොහෝ දෙනෙකු අතින් පැට්‍රෝල් වැටී ප්‍රතිශක්තිකරණ විරෝධය බ්‍රිතාන්‍යය හා ඇමරිකාව ප්‍රධානව ලෝකය පුරා පැතිරෙන්නට විය.

මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ. ඒ නිසා එතිල්මර්කරි සුළු මාත්‍රාවකින් සිරුරට සැලකිය යුතු බලපෑමක් සිදුනොවේ. කෙසේවුවද, එවකට ළමා එන්නත් බොහොමයක අඩංගු වූ, තිමරසල් ස්වේච්ඡතාවට හේතුවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නට විය. එහෙත්, MMR ත්‍රිත්ව එන්නතෙහි කිසිදු දිනෙක තිමරසල් අඩංගු වූයේ නැත.


ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙන්නේ කිසියම් රෝගයකට හේතුවන වයිරසයකින් සුළු මාත්‍රාවක් ජීවී හෝ මැරුණු ආකාරයෙන් සිරුරට එන්නත් කර සිරුර තුළ අදාළ රෝගයට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති කිරීමයි. ප්‍රතිශක්තිකරණය නිසා ලැබෙන වාසි (හෝ අවාසි) වල කොටස් දෙකකි. පළමුව, එහි පුද්ගලික ප්‍රතිලාභ තිබේ. ඊට අමතරව, ප්‍රතිශක්තිකරණයේ සමාජ ප්‍රතිලාභද තිබේ.

ප්‍රතිශක්තිකරණයේ පුද්ගල ප්‍රතිලාභ අතර උඩින්ම තියෙන්නේ අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ සැලකිය යුතු ලෙස අඩුවීමයි. ප්‍රතිශක්තිකරණය කිරීමෙන් පසුව වුවද, අදාළ වෛරසය සිරුරට ඇතුළු වූ විට රෝගය නොවැළඳීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඉවත් නොවේ. එහෙත්, එම ඉඩකඩ සැලකිය යුතු තරම් අඩුවේ. උදාහරණයක් ලෙස MMR ත්‍රිත්ව එන්නත එක් වරක් ලබා ගැනීමෙන් පසු වෛරසය සිරුරට ඇතුළු වූ විට සරම්ප රෝගය වැළඳීමේ ඉඩකඩ 93% දක්වාත්, දෙවරක්
ගැනීමෙන් පසු 97% දක්වාත් අඩුවේ. එමෙන්ම, ඇතැම් පුද්ගලයින්ට මෙම රෝගයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති බැවින් එන්නත නොගත්තද රෝගය සමඟ සටන් කළ හැකි ස්වභාවික ප්‍රතිශක්තියක් සිරුරේ තිබේ. එවැනි අයෙකුට වසංගත තත්වයකදී වුවද රෝගය නොවැළඳී බේරී සිටින්නට පුළුවන.

අනෙක් අතට, කිසියම් එන්නතක් ලබාගන්නා පුද්ගලයෙකුට ඇතැම් අවදානම් වලට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි එක් අවදානමක් වන්නේ එන්නත හේතුවෙන් අදාළ රෝගය වැළඳීමට සුළු ඉඩකඩක් තිබීමයි. මෙය අවම කිරීම සඳහා සිරුරට එන්නත් කරන වෛරස් මාත්‍රාව අඩු කළ විට, එන්නතේ සඵලතාවය එනම් එමඟින් රෝගය වැළැක්වීමට ඇති ඉඩකඩ අඩුවේ. අනෙක් අතට එන්නතක සඵලතාවය වැඩි කිරීමට වෛරස් මාත්‍රාව වැඩි කළ විට, එන්නත නිසා රෝගය හැදෙන්නට තිබෙන ඉඩකඩ ඉහළ යයි. එන්නතක අඩංගු විය යුතු වෛරස් මාත්‍රාව තීරණය කරන්නේ මේ සම්භාවිතාවන් දෙක සමතුලිත කරමිනි.

මෙයට අමතරව එන්නතක් නිසා විවිධ අතුරු ආබාධ වැළඳීමේ ඉඩකඩක්ද පවතී. එහෙත්, බොහෝ විට එවැනි අතුරු ආබාධ දරුණු ඒවා නොවේ; එන්නත ලබාදුන් තැන ඉදිමීම හෝ රතුවීම වැනි ලොකු අපහසුතාවයක් ඇති නොකරන අතුරු ආබාධයි. වඩා දරුණු අතුරු ආබාධ ඇති වීමටද ඉතා සුළු ඉඩකඩක් තිබේ. මේ අවාසි වලට අමතරව එන්නතක් සඳහා වැය කළ යුතු මිලද එන්නත් ලබා ගන්නා තැනැත්තාගේ අවාසියකි. මේ වාසි අවාසි එකතු කළ විට බොහෝ දෙනෙකුට පුද්ගල මට්ටමින් වුවත් සිදුවන්නේ ශුද්ධ වාසියකි. එහෙත්, එය එසේ නොවන අයද සිටින්නට පුළුවන.

කිසියම් රෝගයක් පතුරුවන වාහකයින් ලෙස ක්‍රියා කරන්නේ එම රෝගය වැළඳුණු පුද්ගලයින්ය. බොහෝ විට, මෙවැනි රෝගියෙකු රෝග ලක්ෂණ මුලින්ම පහළ කරන විටත් සෑහෙන කලක් රෝග වාහකයෙකු ලෙස කටයුතු කර අවසන්ය. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට දින ගණනක් තිස්සේ ඔබ විසින් ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුට මේ වෛරසය ප්‍රදානය කරයි. ඔවුන්ගෙන් ඇතැම් අයට මේ වෛරසය මැඬ පවත්වා ගැනීමට ස්වභාවික ප්‍රතිශක්තියක් ඇත. එහෙත්, සියල්ලන්ටම එය කළ නොහැකිය.

අනෙක් අතට, ඔබේ නිවසේදී, කාර්යාලයේදී හා දුම්රියේදී හමුවන බොහෝ දෙනෙකුගෙන් ඔබේ සිරුරට විවිධ වෛරස ඇතුළු විය හැකි නමුත් ඒ හැම විටම ඔබ රෝගී වන්නේ නැත. නමුත්, ඔබට එදිනෙදා හමුවන රෝගවාහකයින් ගණන වැඩි වන තරමට ඔබටද අදාළ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ වැඩිවේ. කිසියම් ප්‍රදේශයක කිසියම් රෝගයක වාහකයින් ගණන යම් නිශ්චිත සීමාවක් ඉක්මවූ විට එම ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ අදාළ රෝගයට මොනයම් අයුරකින් හෝ අනාවරණය වීම නිසා වසංගත තත්ත්වයන් ඇතිවේ.

යම් තැනැත්තෙකු විසින් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගැනීමෙන් පසුව එම තැනැත්තා රෝග වාහකයෙකු බවට පත්වීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. කිසියම් ප්‍රදේශයක බොහෝ දෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් විට එම ප්‍රදේශයෙන් අදාළ රෝගය පතුරුවන වාහකයෙකු හමුවීමේ ඉඩකඩ විශාල ලෙස අඩුවේ. ඒ නිසා, ඔබ එන්නත් කර නොතිබුණත්, වෙනත් බොහෝ දෙනෙකු එන්නත් ලබාගෙන ඇත්නම් අදාළ රෝගය ඔබට වැළඳීමට ඇති ඉඩකඩද අඩු වේ. මේ ප්‍රතිශක්තිකරණයේ ඇති සමාජ ප්‍රතිලාභ කොටසයි.

ප්‍රතිශක්තිකරණ එන්නත් වල ඇති ඉහත සමාජ ප්‍රතිලාභයේ ඵලයක් ලෙස කිසියම් වසංගත රෝගයක් හැදීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති කිරීම සඳහා යම් රටක ජීවත් වන සියළු දෙනාවම ප්‍රතිශක්තිකරණය කළ යුතු නැත. සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය වී සිටින ප්‍රමාණය මුළු ජනගහණයෙන් 90-95%ක් පමණ වූ විට, රෝගයක් පැතිරවීමට ප්‍රමාණවත් වාහකයින් පිරිසක් නොමැති නිසා අදාළ රෝගය වැළඳීමේ ඉඩකඩ මුළුමනින්ම වාගේ නැති වේ. ඒ නිසා, විවිධ හේතූන් මත එන්නත් ලබා දිය නොහැකි කොටස් හා 'ප්‍රතිශක්තිකරණ විරෝධී' සුළු ප්‍රතිශතයක්ද සිටීම රෝගයක් මුළුමනින්ම දුරු කිරීමට බාධාවක් නොවේ. මේ ගණන රෝගය අනුව සහ වෙනත් සාධක මත වෙනස් වන අතර මීට වඩා බෙහෙවින් අඩු හෝ වැඩි ප්‍රතිශතයක් වන්නට පුළුවන. මේ සාධකය සමූහ ප්‍රතිශක්තිය (herd immunity) ලෙස හෝ ප්‍රජා ප්‍රතිශක්තිය (community immunity)
ලෙස හැඳින්වේ.

වසංගත රෝග තත්ත්වයක් ඇති වූ විට වැඩිපුරම එහි ගොදුරු බවට පත්වන්නේ කුඩා දරුවන්, මහල්ලන්, ගර්භණී කාන්තාවන්  හා කිසියම් හේතුවක් නිසා ස්වභාවික ප්‍රතිශක්තිය අහිමි කරගෙන සිටින -උදාහරණයක් ලෙස අවයව බද්ධයකින් පසු එය සිරුර මඟින් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ ගනිමින් සිටින- වැනි සාපේක්ෂව 'දුර්වල' අයයි. රෝගයකට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් ඇති තරුණ හා නිරෝගී අය බොහෝදෙනෙකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන රෝග වාහකයින් ඇති වීමේ ඉඩකඩ අවම කළ විට එයින් විශාලම වාසිය සැලසෙන්නේ මෙවැනි කොටස් වලටය. ඒ අතින් මෙය තමන්ටත් වාසියක් ලබමින් සමාජයේ දුර්වල අයටත් උදවුවක් කළ හැකි කටයුත්තකි.

වේක්ෆීල්ඩ්ගේ MMR ත්‍රිත්ව එන්නත් විරෝධය හේතුවෙන් දැල්වුණු ප්‍රතිශක්තිකරණ විරෝධී රැල්ල ඇතිවන විට බොහෝ බටහිර රටවල් සමූහ ප්‍රතිශක්ති තත්ත්වයට ළඟා වී සරම්ප වැනි රෝග එම රටවලින් මුලිනුපුටා දැමීමට ආසන්නව සිටියේය. මේ අතරතුර, වර්ධනය වන්නට වූ එන්නත් විරෝධය නිසා බොහෝ දෙනෙකු සිය දරුවන්ට MMR ත්‍රිත්ව එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තේය. ඇතැම් අය එන්නත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නටත් පටන් ගත්තේය. ඒ සමඟම බටහිර රටවල වසංගත රෝග අවදානම, විශේෂයෙන්ම සරම්ප අවදානම, විශාල ලෙස ඉහළ යන්නට විය.

ඒ වන විට (හෝ ඉන් පසුව මේ වන තුරු) තිමරසල් අඩංගු එන්නත් හේතුවෙන් එන්නත ලබාදුන් තැන රතු වීම හා ඉදිමීම හැර වෙනත් අතුරු ආබාධ ඇති බවක් තහවුරු වී නොතිබුණත් එන්නත් පිළිබඳ මහජන විශ්වාසය වැඩි වැඩි කර සමූහ ප්‍රතිශක්ති මට්ටම පවත්වාගැනීමේ මූලික  පියවරක් ලෙස 1999 ජූලි මාසයේ සිට තිමරසල් රහිතව එන්නත් නිෂ්පාදනය කිරීමට හෝ එන්නත් වල අඩංගු තිමරසල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමරිකානු ළමා වෛද්‍ය ඇකඩමිය, රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) හා ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදකයෝ එකඟ වූහ. කෙසේ වුවද, පෙරද කී පරිදි MMR ත්‍රිත්ව එන්නතේ කිසිදිනෙකත් තිමරසල් අඩංගු වූයේ නැත.


ත්‍රිත්ව එන්නත් විරෝධයට මුල් වූ වේක්ෆීල්ඩ් පර්යේෂණ පත්‍රිකාවේ එම එන්නත හා ස්වේච්ඡතාව අතර තිබිය හැකි සම්බන්ධයක් ගැන සැකයක් මතු කර තිබීම හැර එවැන්නක් තහවුරු කළ හැකි කරුණු කිසිවක් ඉදිරිපත් කර නොතිබුණේය. එමෙන්ම, එහි නිගමන පදනම් වී තිබුණේ ඉතා සුළු නියැදියකින් (12 දෙනෙකුගෙන්) ලබාගත් දත්ත මතය. මෙවැනි පර්යේෂණ පත්‍රිකාවක්  සාමාන්‍යයෙන් ලැන්සෙට් වැනි ජර්නලයක පළ නොකෙරෙන නමුත් මෙය එහි පළ කර තිබුණේ අදාළ කරුණේ ඇති වැදගත්කම නිසාමය.

මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය. ඒ අතර, ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව සඳහා දායක වූ පර්යේෂකයින් දහදෙනෙකු එහි නිගමන පදනම් විරහිත බව පවසමින් ඉල්ලා අස් කර ගත්තේය. මේ කරුණු මෙසේ සිදුවෙද්දී, ජනතා අවධානය තවදුරටත් වැඩිපුර ලැබුණේ වේක්ෆීල්ඩ්ගේ මුල් මතයටය. 


මේ අතර, ප්‍රතිශක්තිකරණ විරෝධීන්ගේ වීරයෙකු වූ වේක්ෆීල්ඩ් ඇමරිකාවේ සංචාරය කරමින්, ස්වේච්ඡතාව පිළිබඳ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙමින්, දේශන පවත්වන්නට පටන් ගත්තේය. ඇමරිකාවේදී MMR ත්‍රිත්ව එන්නත් විරෝධය සම්පූර්ණ එන්නත් විරෝධයක් බවට හැරුණු අතර, මේ ව්‍යාපාරය විසින් වේගයෙන් ඉහළ යන හඳුනාගත් ස්වේච්ඡතා රෝගීන් ප්‍රමාණය ප්‍රතිශක්තිකරණ එන්නත් ගණන වැඩිවීම සමඟ සම්බන්ධ කරමින් ප්‍රවාද ගොඩනඟන්නටත් පතුරුවන්නටත් විය. මේ මතවාද වේගයෙන් පැතිරෙද්දී MMR ත්‍රිත්ව එන්නත ලබා ගන්නා ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ යන්නට විය. පර්යේෂණ පත්‍රිකාව පළ වන විට 92% මට්ටමේ පැවති බ්‍රිතාන්‍යයේ MMR එන්නත් කිරීමේ අනුපාතය 80% මට්ටමටද වඩා පහත වැටුණු අතර ලන්ඩන් නගරයේ මේ අනුපාතය ඉතාම පහළ මට්ටමකට වැටුණේය. 2000 නොවැම්බරයේදී වේක්ෆීල්ඩ් CBS රූපවාහිණී චැනලය විසින් නිෂ්පාදනය කළ MMR ත්‍රිත්ව එන්නත හා ස්වේච්ඡතා වසංගත අවදානම පිළිබඳ පැයක වාර්තා වැඩසටහනක පෙනී සිටිද්දී ජෙනී මැකාති වැනි නිලියන් ප්‍රතිශක්තිකරණ විරෝධී ව්‍යාපාරය තුළ ක්‍රියාශීලී වන්නට විය.

මෙසේ කල් ගත වෙද්දී, බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය, සන්ඩේ ටයිම්ස් පුවත්පත හා චැනල් ෆෝ රුපවාහිනී නාලිකාව වෙනුවෙන් බ්‍රයන් ඩියර් විසින් විමර්ශනයක් ආරම්භ කළේය. බ්‍රයන් ඩියර්ගේ විමර්ශනය හේතුවෙන්, ඉහළ මධ්‍යම පාංතික වෛද්‍ය යුවලකගේ දරුවකු ලෙස ඉපිද පෞද්ගලික පාසැල් වල අධ්‍යාපනය ලබා තිබුණු, සල්ලි පසුපස නොහඹන අවංක හා ස්වාධීන පර්යේෂකයෙකු බව බැලූ බැල්මටම පෙනෙන, "වෙන්ඩ ටොයියෙකු නොව සැබැවින්ම පොෂ් ටොයියෙකු වූ", වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණය පිළිබඳ ඇත්ත එළිවිය.


ලැන්සෙට්හි පළ කළ පර්යේෂණය සිදුකරන්නට හිතන්නටත් පෙර, ත්‍රිත්ව එන්නත නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර විශාල වන්දි මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කළ රිචඩ් බාර්නම් නීතිඥයෙකු විසින් ඒ සඳහා උදවු ලබා ගැනීමට වේක්ෆීල්ඩ්ට මුදල් ගෙවා තිබුණේය. ස්වේච්ඡතාව වැළඳුණු දරුවන් පිලිබඳ මාධ්‍ය වාර්තා අනුව යමින් සම්බන්ධ කරගත් බ්‍රිතාන්‍ය පවුල් 1,600ක් වෙනුවෙන් අදාළ සමාගමෙන් වන්දි ලබාගෙන එමඟින් විශාල මුදලක් ඉපැයීමට බලාපොරොත්තු වූ, රිචඩ් බාර් තමන්ට අවශ්‍ය කතාව ගෙතීමට වේක්ෆීල්ඩ්ගේ උදවු සොයා එද්දී වේක්ෆීල්ඩ් විසින් බාර් සමඟ හෙට්ටු කර පැයකට පවුම් 150ක් බැගින් පවුම් 435,643ක මුදලක්ද සහ වෙනත් අමතර වියදම්ද ඔහුගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර තිබුණු සමාගමක් හරහා ලබාගෙන තිබේ.

මේ මුදල වේක්ෆීල්ඩ්ගේ වාර්ෂික ආදායම මෙන් අටගුණයකට වඩා වැඩිය. මෙසේ වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇත්තේ අඩුආදායම් ලබන්න
න්ට නීති සහාය ලබා දීම සඳහා ස්ථාපිත කර තිබුණු එක්සත් රාජධානියේ නීති ආධාර අරමුදලේ මුදල්ය. මෙයට අමතරව මේ කටයුත්ත සඳහා තවත් පවුම් 55,000ක පර්යේෂණ ආධාර මුදලක්ද වේක්ෆීල්ඩ් විසින් ලබාගෙන ඇති අතර ලැන්සෙට් සඟරාවට පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන විට ඔහු මේ කිසිවක් එළදරවු කර නැත. එය බරපතල ලෙස ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි.

වේක්ෆීල්ඩ් විසින් ලබාගන්නට බලාපොරොත්තු වූ ප්‍රධාන ආර්ථික වාසිය මෙය නොවේ. ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාව පළ වන්නට මාස 9කට පෙර ඔහු විසින් සරම්ප රෝගය සඳහා ලබා දිය හැකි තනි එන්නතක් සඳහා පේටන්ට් බලපත්‍රයක් අයදුම් කර තිබේ. එයට වාණිජ වටිනාකමක් ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත වෙළඳපොළෙන් ඉවත් වුවහොත් පමණක් බව කිව යුතු නැත.

මේ මූල්‍යමය කරුණු හැරුණු විට වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණයද කියන ආකාරයටම සිදුවී තිබුණේ නැත. පර්යේෂණය සඳහා යොදාගත් දරුවන් දොළොස්දෙනා ඔහුගේ සායනයට පැමිණි අහඹු රෝගීන් නොවූ අතර ත්‍රිත්ව එන්නත් විරෝධීන් යොදවාගෙන විශේෂයෙන් සොයාගත් රිචඩ් බාර්ගේ පාරිභෝගිකයින්ව සිටි අයයි. මේ කිසිවකු ලන්ඩනයේ ජීවත් වූ අය නොවූ අතර එක් අයෙක් පැමිණ තිබුණේ ඇමරිකාවෙනි. තවත් දෙදෙනෙක් සැතපුම් 280ක් දුරින් පිහිටි වෙනත් නගරයකිනි. මේ අයගෙන් ඇතැම් අය MMR එන්නත ලබා දීමට පෙරද ස්වේච්ඡතා රෝග ලක්ෂණ පෙන්වා තිබුණු බවත්, තවත් ඇතැම් අය ඉන් පසුවද එම රෝග ලක්ෂණ පෙන්වා නැති බවත් බ්‍රයන් ඩියර් විසින් අනාවරණය කෙරුණේය.

මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව 2010 ජනවාරි මාසයේදී ලැන්සෙට් සඟරාව තනිකරම බොරුවක් වූ වේක්ෆීල්ඩ්ගේ පර්යේෂණ පත්‍රිකාව ඉවත් කළ අතර එම වසරේම මැයි මාසයේදී වසර දෙකහමාරක විමර්ශනයකින් පසුව ඔහුගේ බ්‍රිතාන්‍ය වෛද්‍ය ලියාපංචිය අහෝසි කරනු ලැබ දෙසැම්බරයේදී එම තීන්දුව අභියාචනාධිකරණය විසින්ද තහවුරු කෙරිණි.

කෙසේවුවද, වේක්ෆීල්ඩ් විසින් ස්වාභිවෘද්ධිය අරමුණු කර ගනිමින් දැල්වූ ප්‍රතිශක්තිකරණ විරෝධය එයින් නොනැවතුණු අතර ඔහු අදටත් කුමන්ත්‍රණ න්‍යායාචාරීන්ගේ වීරයෙකි. මෙය බොහෝ රටවල ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් වලට විශාල බලපෑමක් ඇති කර ඇති අතර රටවල් ගණනාවක
වසංගත රෝග අවදානම් වැඩි කර තිබේ.

Monday, December 12, 2016

උතුර බලාගෙන දකුණට පහරන බල්ලෝ


බලු වැඩ ගැන අප කාටත් හොඳ අවබෝධයක් තිබේ. ඒ බල්ලා සත්ත්ව ලෝකයේ සිටින මිනිසාට සමීපතම සතා නැත්නම් සතෙක් වන නිසාය. සහශ්‍ර ගණනක සිට ගෘහස්තකරණය වී සිටින සතෙක් වන බල්ලාගේ බලු වැඩ අප හොඳින් නිරීක්ෂණය කර ඇති අතරම මිනිසුන් සමඟ කාලයක් තිස්සේ ජීවත් වන බල්ලන්ට මිනිස්සුන්ගේ මිනිස් වැඩත් රහසක් නොවන්නට ඉඩ තිබේ.

බල්ලන්ට පහරන්නට හෝ සුළුදිය හෙලන්නට තැනක් වේලාවක් නැතැයි කීවොත් එය නිවැරදි නොවන්නේ ඒ කටයුතු කර ගැනීම සඳහා ඉඩහරිමින් දම්වැලෙන් ලෙහන තුරු ඉවසා සිටින්නට බල්ලන්ට බැරි කමක් නැති නිසාය. එසේ ඉඩ හළ පමණින් බල්ලෝ මේ කටයුතු එතැනම නොකරති. තමන්ට අවශ්‍ය තැනක් සොයා යති. මේ තැන ගහක්, වාහනයක ටයරයක් හෝ අල්ලපු වත්ත විය හැකිය. මේ අනුව පෙනී යන්නේ බල්ලන්ට පහරන්නට හෝ සුළුදිය හෙලන්නට තැනක් වේලාවක් ඇති බවයි.

මේ ලිපිය බල්ලන් පහරන හා සුළුදිය හෙලන තැන් මෙන් වැඩි දෙනෙකු නිරීක්ෂණය කර නොමැති දෙයක් විය හැකි කරුණක් ගැනය. බල්ලන්ට මේ කටයුතු කරන්නට තැනක්, වෙලාවක් මෙන්ම දිශාවක්ද තිබේ!

චෙකොස්ලොවැකියානු හා ජර්මානු සරසවි දෙකකට අනුබද්ධ පර්යේෂක කණ්ඩායමක් විසින් බලු වර්ග 37කට අයත් බල්ලන් 70ක් වසර දෙකක පමණ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර ලබාගත් දත්ත විශ්ලේෂණය කරමින් වසර කිහිපයකට පෙර පළ කළ පර්යේෂණ පත්‍රිකාවකට අනුව බල්ලන් බොහෝ විට මළපහ කරන්නේ එක්කෝ උතුර බලා දකුණට පස්ස හරවාගෙනය. එසේ නැත්නම් දකුණ බලා උතුරට පස්ස හරවාගෙනය!

මේ පර්යේෂණය සඳහා අදාළ පර්යේෂණ කණ්ඩායමට මේ බල්ලන් 1,893 වරක් පහරන තුරුත් 5,582 වාරයක් සුළුදිය හෙලන තුරුත් බලා සිටින්නට විය. පර්යේෂණ දත්ත එකතු කිරීම යනු ඇතැම් විට බල්ලෙකු පහරන තෙක් බලා සිටීම වැනි අප්‍රසන්න කටයුත්තකි.

බල්ලන් මළපහ කරන විට අනුගමනය කළ මේ රීතිය සුළු දිය හෙලන විට ඒ අයුරින්ම අනුගමනය නොකළත්, බැල්ලියෝනම් අවස්ථා දෙකේදීම ශුභ දිශාව බලන්නට අමතක නොකරති.

මේ චර්යාවට හේතුව පැහැදිලි නැතත් බල්ලන් පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට සංවේදී බව මේ පර්යේෂණය තහවුරු කරයි. පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය එතරම් ප්‍රබල නොවූ අවස්ථාවල බල්ලන්ගේ ඉහත චර්යාව එතරම් පැහැදිලිව නොපෙනුණේය.

මෙසේ උතුර බලා දකුණට හෝ දකුණ බලා උතුරට පහරන්නේ බල්ලන් පමණක් නොවේ. වෙනත් පර්යේෂණයකට අනුව ගොන්නු තණ කන්නේද මෙවැනිම චර්යාවක් ප්‍රදර්ශනය කරමිනි.

චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් හා සෘජු නිරීක්ෂණ ඇසුරෙන් හරක් පට්ටි 308ක හරක් (හා එළදෙනුන්) 8,510ක්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීමෙන් පෙනී ගියේ හරකුන් බොහෝ විට තණ කන්නේත්, විවේක ගන්නේත් උතුර බලා දකුණට පස්ස හරවා බවයි. 


මේ චර්යාව හරකුන්ට අමතරව මුවන් විසින්ද පෙන්වූවකි. පරවියන් හා වවුලන් වැනි ඇතැම් පක්ෂීන් හා ක්ෂීරපායීන් පොළොවේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයට සංවේදී බව කලක සිටම තහවුරු වී ඇති කරුණකි.

මින් පසු බල්ලෙක් පහරනු හෝ ගොනෙක් තණ කනු දුටු විට ඌ එය කරන්නේ කවර දිශාව බලාගෙනදැයි නිරීක්ෂණය කර බලන්න.


(Image: http://www.livescience.com/44732-eliminating-pet-poop-pollution.html)

Wednesday, April 6, 2016

මරණාසන්න අත්දැකීම්


ලොව පුරා විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ ජීවත් වූ හෝ ජීවත් වන පුද්ගලයින් විසින් වාර්තා කර ඇති මරණාසන්න අත්දැකීම් වල පුදුමාකාර සමානත්වයක් තිබේ. ඉතා දීප්තිමත් ආලෝකයක් දැකීම, සිරුරෙන් ඉවත්ව අහසේ පාවීම, කාලය පිලිබඳ හැඟීමක් නොමැති වීම, වේදනා රහිත සුවදායක හැඟීම් මෙන්ම 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ ගැන පූර්ණ අවබෝධයක් තිබීම බොහෝ දෙනෙකු විසින් වාර්තා කර ඇත.

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලකටම වාගේ පොදු මූලික විශ්වාසයක් වන්නේ ශරීරය තුළ පිහිටි, භෞතික නොවන, ස්ථිර පැවැත්මක් ඇති ආත්මයක් පිලිබඳ අදහසයි. එක් එක් ආගමේ අවසන් අරමුණ වෙනස් වුවද, සිරුර අතහැර මේ අවසන් අරමුණ කරා ලඟා වන්නේ ඉහත කී ආත්මයයි. මේ අදහස අනුව, මරණය යනු භෞතික සිරුරින් මේ ආත්මය ඉවත්ව යාමයි. ප්‍රධාන ආගම් අතරින් මෙවැනි ආත්මයක් නැති බව ප්‍රකාශ කෙරෙන්නේ බුද්ධ දර්ශනය තුළ පමණි. කෙසේවුවද, ප්‍රායෝගිකව බොහොමයක් බෞද්ධයින්ට මේ 'අනාත්ම' සංකල්පය පැහැදිලි නැති බැවින් බුද්ධාගම අදහන බොහොමයක් පිරිස්ද මේ කරුණ හා අදාළව බොහෝ විට අනෙකුත් ආගම් අදහන අයගෙන් වෙනස් නැත.

මරණාසන්න අත්දැකීම් පැහැදිලි කෙරෙන ප්‍රධාන ප්‍රවාද දෙකක් තිබේ. මෙයින් පළමුවැන්න අනුව, මේ අත්දැකීම් වලට හේතුව සිරුර තුළ පැවති ආත්මය සිරුරෙන් පිටව කිසියම් කාලයකට පසුව නැවත සිරුර තුළට පිවිසීමයි. එසේ සිරුරෙන් පිටව සිටින කාලය තුළද, මේ ආත්මයට බාහිර පරිසරයේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබේ. මේ ප්‍රවාදය බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාස සමඟ වඩා හොඳින් ගැලපේ.


දෙවන මතය අනුව, මරණාසන්න අත්දැකීම් යනු සැබෑවටම මොළය අක්‍රීයව පැවති කාලයේ ලැබූ අත්දැකීම් නොවේ. ඒවා, මොළය අක්‍රිය වීමට ආසන්නව හෝ නැවත ක්‍රියාකාරී වූ වහාම ලැබුණු අත්දැකීම් විය හැකිය. ඊට අමතරව, කිසියම් 'හිස්තැන් පිරවීමේ' ක්රියාවලියක්ද මෙහිදී සිදුවේ. මේ ප්‍රවාදය අනුව, අක්‍රීයව පැවති කාලය තුළ මොළය විසින් අළුත් තොරතුරු ලබා නොගනී. කෙසේවුවද, 'මියයාමට පෙර' අවස්ථාවේ සිට 'නැවත පණ ලැබුණු' අවස්ථාව දක්වා ජීවිතය සුමටව, අඛණ්ඩව ගලා නොයාම මොළය විසින් විසඳාගත යුතු ගැටළුවකි.

මා උදේ සේවයට යන විට නිවසේ බඩුභාණ්ඩ තිබුණු පිළිවෙලත්, මා දොරගුළු ලූ බවත් මට හොඳ හැටි මතකය. එහෙත්, මා ආපසු පැමිණෙන විට මගේ නිවසේ දොර විවෘතව ඇති අතර හා මගේ ලිපිගොනු යම් කිසිවෙකු විසින් අවුස්සා දමා තිබේ. මා නිවසේ නැති අතරේ සිදු වූ දේ මා නොදනිතත්, මා දන්නා දේ ඇසුරින් හැකි පරිදි මේ 'හිස්තැන පුරවා ගැනීමට' මගේ මොළය ක්‍රියා කරයි. දෙවන ප්‍රවාදය අනුව, මරණාසන්න අත්දැකීම් වලදී සිදුවන්නේද මෙවැන්නකි. වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයින් විසින් කරන්නට ඇතැයි මා මගේ පෙර අත්දැකීම් ඇසුරින් සිතන දේත්, මරණය ගැන මගේ ආගමික විශ්වාස මත මා හිතන දේත්, මා අසා ඇති වෙනත් මරණාසන්න අත්දැකීම් අනුවත් මගේ මොළය විසින් මේ හිස්තැන පුරවයි.

මරණාසන්න අත්දැකීම් මඟින් ඉහත මා ඉදිරිපත් කළ මත දෙකෙන් එකක්වත් වැරදි හෝ නිවැරදි බව තහවුරු නොවේ. එම මත දෙකෙන් කවර එකක් මඟින් වුවද මරණාසන්න අත්දැකීම් පැහැදිලි කළ හැකිය.

ස්ටනි බෘක්හි පිහිටි නිවු යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්ය සෑම් පාර්නියා ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කළ, බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලා සිටි පර්යේෂණයේ අරමුණ වූයේ මේ ගැටළුව විසඳා ගැනීමයි. 2008 වසරේදී ඇරඹුණු මේ පර්යේෂණ අධ්‍යනය සඳහා ඇමරිකාවේ, එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ පිහිටි රෝහල් 15ක නේවාසිකව සිටි හදවත අකර්මන්‍ය වීමෙන් පසු 'නැවත පණ ලබා දීමට' උත්සාහ ගැනුණු රෝගීන් යොදා ගැනිණි. මෙහිදී පර්යේෂකයින් විසින් යොදාගත් උපාය මාර්ගය වූයේ රෝගියා සිටි කාමරයේ උස් රාක්කයක් මත ඉතා හොඳින් පෙනෙන (චිත්‍රයක් වැනි) කිසියම් භාණ්ඩයක් රැඳවීමයි. කෙසේවුවද, ඇඳ මත වැතිර සිටින විට මෙය නොපෙනෙන අතර කාමරයේ සිවිලිම මට්ටමේ සිට බිම බලන විට පමණක් මේ භාණ්ඩය ඉතා පැහැදිලිව දර්ශනය වේ. රෝගීන්ට මේ භාණ්ඩය පැහැදිලිව විස්තර කළ හැකිනම් එයින් අදහස් වන්නේ මරණාසන්න අත්දැකීම් යනු 'මියගොස් සිටි කාලයේ' සැබෑවටම සිදුවූ දේ බවයි.
 

රෝගීන් 2,060 දෙනෙකුව යොදා ගෙන සිදුකළ මේ දැවැන්ත පරීක්ෂණයේ ප්‍රතිඵල 2014 දෙසැම්බරයේදී 'රීසස්ටිකේෂන්' ජර්නලයේ පළවිය. මේ පර්යේෂණ ප්‍රතිඵලය විශාල මාධ්‍ය අවධානයක්ද දිනා ගත්තේය. කෙසේවුවද, අදාළ පර්යේෂකයින්ට ඔවුන් විසඳුම් සෙවූ මූලික ගැටළුවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකිවී නැත. 

පර්යේෂණය සඳහා යොදාගත් රෝගීන් අතරින් 'ආපසු ඒමට' හැකි වුනේ 140 දෙනෙකුට පමණි. ඔවුන් අතරින්ද, විස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වීමට යෝග්‍ය තත්ත්වයක සිටියේ 101 දෙනෙකු පමණි. ඒ අතරින්, 9 දෙනෙකු කිසියම් ආකාරයක මරණාසන්න අත්දැකීම් ලබා තිබුණු අතර 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ මතක තිබුණේ දෙදෙනෙකුට පමණි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට මේ කාලය තුළ සිදු වූ ඇතැම් දේ නිවැරදිව විස්තර කළ හැකි වී තිබේ. කෙසේවුවද, මේ දෙදෙනාම හදිසි තත්ත්වයක් යටතේ මේ අත්දැකීම් ලබන විට සිටියේ අර 'මල් පෝච්චිය තිබුණු' කාමරයේ නොවූ නිසා මුලින් සැලසුම් කළ පරීක්ෂණයනම් සිදුවී නැත.

නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් දත්ත නොමැති නිසා මේ පරීක්ෂනයෙන්ද මරණාසන්න අත්දැකීම් පිලිබඳ ගැටළුව විසඳී නොමැත.


(Image: www.acts17.net)

Thursday, October 29, 2015

යුද අපරාධවලට වගකිව යුත්තේ කවුද?

ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ නිවුහෙවන්හි ක්ෂණික ආහාර විකුණන අවන්හලක පැයකට ඩොලරයක් වූ අවම වැටුපට සේවය කළ කොනර් දවසේ වැඩ නිමාකර අසල වූ සුපිරි වෙළඳසැලකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගෙන ආපසු යද්දී එහි දැන්වීම් පුවරුවක වූ නිවේදනයක් ඔහුගේ ඇස ගැසුණේය.

"මතකය පිළිබඳ පරීක්ෂණයක් සඳහා පුද්ගලයින් අවශ්‍යයි. පැයක කාලය වෙනුවෙන් ගෙවීම ඩොලර් හතරයි."

නැවතී සම්පුර්ණයෙන් කියවීමට තරම් මේ දැන්වීම කොනර්ට ආකර්ෂණීය වීම පුදුමයක් නොවේ. එහි ඇති විස්තර අනුව, යේල් විශ්ව විද්‍යාලය මඟින් කරන මේ පර්යේෂණය සඳහා වයස 20-50 අතර, පාසැල් හෝ විශ්ව විද්‍යාල සිසුන් නොවන, පිරිමින් පන්සියයකගේ සේවය අවශ්‍යව තිබේ. තමන්ට පහසු පරිදි පැයක කාලයක් මේ පරීක්ෂණය සඳහා යෙදවීම වෙනුවෙන් ඩොලර් හතරක ගාස්තුවකට අමතරව ප්‍රවාහන ගාස්තු ලෙස තවත් ශත පණහක් ලබා ගත හැකිය.


(Photo credit: https://en.wikipedia.org/wiki/Milgram_experiment)
දැන්වීම් පුවරුවෙන් කූපනයක් ඉරා ගත් කොනර් සාක්කුවෙන් පෑනක් ගෙන අදාල විස්තර පුරවා ළඟපාතක වූ තැපැල් පෙට්ටියකට දැමීමට දෙවරක් හිතුවේ නැත.

***

සතියකට පමණ පසු හවස් වරුවක වැඩ ඇරී ගෙදර පැමිණ ටික වේලාවකින් කොනර්ගේ දුරකතනය නාද විය. ඇමතුම යේල් විශ්ව විද්‍යාලයෙනි. කෙටි සාකච්ඡාවකින් අනතුරුව ඊළඟ බ්‍රහස්පතින්දා හවස හතරට පරීක්ෂණය සඳහා කොනර්ට කාලය වෙන් කෙරිණි.

රෝස්ටරයකට අනුව වැඩ කළ කොනර්ට බ්‍රහස්පතින්දාව විවේක දිනයකි. ඒ නිසා අදාල දවසේදී ප්‍රමාද වීමට ඔහුට කිසිදු හේතුවක් නොවීය. යේල් විශ්ව විද්‍යාලයේ නියමිත ගොඩනැගිල්ල සොයාගත් ඔහුට පිළිගැනීමේ නිලධාරිනිය විසින් දැනුම් දුන්නේ කැඳවීමක් කරන තුරු අසල වූ ආලින්දයක අසුන් ගන්නා ලෙසයි.

***

"ශුභ සන්ධ්‍යාවක්! මම ස්ටැන්ලි. ඔබත් මම හිතන්නේ පරීක්ෂණය සඳහා සහභාගී වීමට පැමිණි කෙනෙක්?"

ආලින්දයේ අසුන්ගෙන සිටි මැදිවිය ඉක්මවූ පුද්ගලයා පෙනුමෙන් මෙන්ම කතාවෙන්ද මිත්‍රශීලීය.

"ශුභ සන්ධ්‍යාවක්! මම කොනර්. මම හිතන්නේ මේ මහාචාර්ය මිල්ග්‍රම් වෙන්න ඇති?"

"අපොයි නෑ. මම ස්ටැන්ලි ගෝල්ටන්. පළමු නම එක වුනත් මම ස්ටැන්ලි මිල්ග්‍රම් වගේ මහාචාර්යවරයෙක්නම් නෙමෙයි. මම ඇවිල්ලා රථාචාර්යවරයෙක්. නිකම් කාර් බස් නෙමෙයි. ට්‍රක්. හැබැයි පොඩි හාට් කේස් එකක් ඇවිත් දැන් මාස දෙක තුනක ඉඳලා ඒකත් නවත්තලා ගෙදර ඉන්නේ. නිකං ඉන්න එකේ හිතුවා ඩොලර් හතරක් අතාරින්නෙ මොකටද කියලා."

"සතුටුයි අඳුනගන්න ලැබීම ගැන. අද මගේ ඕෆ් ඩේ එක. ඉතින් මාත් හිතුවා නිකන් ඉන්න එකේ ඇවිල්ල බලන්න."

***

"ශුභ සන්ධ්‍යාවක්! මම ස්ටීව්. මහාචාර්ය මිල්ග්‍රම්ගේ සහායකයෙක්. අපි යමු ඇතුලට."

"මේ පර්යේෂණය මතකය ගැන පර්යේෂණයක් බව අපි මුලින්ම කිවුවනේ. මේ සඳහා අපට ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු අවශ්‍යයි. අපි කුසපත් ඇදලා ගුරුවරයාව සහ ගෝලයාව තෝරාගනිමු. මේ තොප්පියේ තියෙන තුණ්ඩු කෑලි දෙකෙන් කැමති එකක් ගන්න."

කොනර් තුණ්ඩුවක් තෝරාගත්තේය. ස්ටැන්ලි ඉතිරි තුණ්ඩුව අතට ගෙන දිගහැර බලන්නට විය.

"මම ශිෂ්‍යයා" ස්ටැන්ලි කියද්දී කොනර් ඔහු අත වූ තුණ්ඩු කෑල්ලට ඇස යොමු කළේය.

"හරි, මගේ තුණ්ඩුවේ තියෙන්නේ ගුරුවරයා කියා."

"ශිෂ්‍යයා මේ දකුණු පැත්තේ කාමරේට යන්න. ගුරුවරයා මාත් එක්ක වම් පැත්තේ කාමරයට එන්න."


***

"දැන් ඔබ ගුරුවරයනේ. ඔබේ ශිෂ්‍යයා අල්ලපු කාමරේ ඉන්නවා. මේ ඉයර්ෆෝන් දාගත්තහම ඔබට ඔහු සමඟ කතා කළ හැකියි. මේ කඩදාසියේ වචන ලැයිස්තුවක් තියෙනවා. ඔබට තියෙන්නේ ඒ වචන වල තේරුම ඔබේ ශිෂ්‍යයාට ඉගැන්වීමයි. මේ සඳහා ඔබට විනාඩි පහළොවක් තියෙනවා."

ලැයිස්තුවේ ඇත්තේ සාමාන්‍යයෙන් භාවිතා නොකරන බර වචනයි. ඒවායේ තේරුම්ද සටහන් කර ඇති නිසා වැඩේ එතරම් අමාරුවක් නැත. පැයකට හෝ ගුරුවරයෙකු වන්නට ඇත්නම් කාටද ආඩම්බර?

කොනර් කාමරය සිසාරා ඇස් යැවුවේය. ඔහු ඉදිරිපිට ඇති මේසයේ විවිධාකාර ස්විච් කිහිපයක් සවිකර තිබේ. ඒ පිළිබඳව ඔහුට යම් කුතුහලයක් ඇති නොවුනා නොවේ.

"කැම්පස් එකක්නේ. ඔය වගේ තැන්වල මේ වගේ එක එක ගැජට් ඇති. මඤ්ඤොක්කා ගන්න ආවනම් වත්තේ හතර මායින් හොයන්නේ මොකටද? හතරයි පණහ අරගෙන ගෙදර යනව මිසක්!"


***

"දැන් උගන්වන්න තියෙන කාලය ඉවරයි. ඊළඟට තියෙන්නේ ඉගෙනීම පරීක්ෂා කිරීමයි. මේ වචන වල තේරුම දැන් එකින් එක ඔබේ ශිෂ්‍යයාගෙන් අහන්න. වැරැද්දුවොත් මේ ස්විච් එක ඔබන්න. එවිට ඔහුට පොඩි විදුලි සැරයක් වදිනවා"

"විදුලි සැරයක්?"

"ඔවු, ඔබේ ශිෂ්‍යයාව වයරයකට සම්බන්ධ කරලයි තියෙන්නේ. ඔබ මේ ස්විච්චය එබුවහම ඔහුට වෝල්ට් පහළොවක විදුලි සැරයක් වදිනවා."

"ඒක වේදනාකාරී දෙයක්නේ..."

"පොඩ්ඩක් රිදෙනවා තමයි. ඒත් ඒක ඒ හැටි දෙයක් නෙමෙයි. ඕනෑනම් ඔබත් මේ ගැජට් එක අතට දාගෙන බලන්න."

කොනර් පිළිතුරක් දීමටත් පෙරම මහාචාර්යවරයාගේ සහකරු ස්ටීව් ඔහුගේ අතට යම් උපකරණයක් සම්බන්ධ කර "වෝල්ට් 15" ලෙස සඳහන් ස්විච්චය එබුවේය. කොනර්ගේ අත දිගේ විදුලිය ගලා යද්දී ක්ෂණික කම්පනයක් ඇති වුණත් එය දරා ගැනීමට අපහසු වුණේ නැත.

"ලොකු අමාරුවක්නම් නෑ තමයි. ඒත් පොඩ්ඩක් රිදෙනවා. දැන් මොකක්ද මේ වැඩේ තේරුම?"

"මේක තමයි අපේ පරීක්ෂනය."


 

(Photo credit: http://www.simplypsychology.org/milgram.html)


ස්ටීව් පිළිතුරු දුන්නේ කොනර්ගේ අතට සම්බන්ධ කර තිබුණු උපකරණය ගලවන අතරේය. කොනර් මේසයේ පසෙක වූ යතුරු පුවරුව දෙසට නෙත් යොමු කළේය. එහි ස්විච් තිහක් තිබේ. පළමුවැන්නේ 15V ලෙස සඳහන්ව ඇත. ස්ටීව් ක්‍රියාත්මක කළේ ඒ ස්විච්චයයි. ඉතිරි ස්විච්ච වල වෝල්ටීයතාව 30V, 45V ආදී වශයෙන් වෝල්ට් 450 දක්වා ක්‍රමයෙන් වැඩිවේ.

"දැන් මේ අනිත් ස්විච්චුත් ඔබන්න වෙනවද?"

"සමහර විට ඕනෑ වෙන එකක් නැහැ. පළමුවෙනි පාරට වැරැද්දුවහම වෝල්ට් 15යි. වරද්දන පාරක් ගානේ ෂොක් එකේ වෝල්ටීයතාව පහළොවකින් වැඩි කරන්න ඕනෑ."

"හාරසිය පනහට යනකං?"

"ගුරුවරයා හරියට උගන්නලනම්, ශිෂ්‍යයා හරියට ඉගෙනගෙනනම් විදුලිසැර ඕනෑ නොවෙන්නත් පුළුවන්."

කොනර්ට කිසියම් වරදකාරී හැඟීමක් ඇතිවේ.

"ඒත් මේ ප්‍රශ්න අමාරු ප්‍රශ්න නෙමෙයිනේ. වැඩිම වුනොත් එකක් දෙකක් වරද්දයි."

***

ස්ටැන්ලි බලාපොරොත්තු වූ තරම් දක්ෂ ශිෂ්‍යයෙකු නොවන බව කොනර්ට අවබෝධ වීමට වැඩි වෙලාවක් ගියේ නැත. මේ වන විට ලබා දෙන විදුලි සැරයේ වෝල්ටීයතාව අනූව දක්වා වැඩි කර ඇත.

"මේ යකා පුදුම හරකෙක්නේ. මෙච්චර ලේසි ප්‍රශ්න වලටත් උත්තර දෙන්න බැරිනම් මූට කරන්ට් වද්දල මදි."

කොනර් තමන් පෙළන වරදකාරී හැඟීමෙන් මිදෙන්නට හේතුවක් සොයයි.

"යකෝ මේ මනුස්සයට හාට් කේස් එකකුත් තිබුණ කිවුව නේද? හදිස්සියෙවත් මොනව හරි වුනොත් මටත් බඩු."

ඒ සමඟම ඔහුට සිහිවෙයි. කොනර් ස්ටීව්ගේ මුහුණ දෙසට නෙත් යොමු කළේය.

"මේ කරන්ට් වැඩේ කරන්නම ඕනෑද? දැන් අනූවයි."

"කරගෙන යන්න."

ස්ටීව් පිළිතුරු දෙන්නේ ඔළුව හරවා බලන්නේවත් නැතුවය.

"බලමු මේ යකා දැන්වත් හරියට උත්තර දෙයිද කියලා."

ස්ටැන්ලි දෙන පිළිතුරු අතර හරි ඒවාට වඩා වැඩිපුර තියෙන්නේ වැරදි ඒවාය. දැන් වෝල්ටීයතාවය එකසිය හැටපහකි.

"මේ වැඩෙන් මේ මනුස්සයට මොනවා හරි වෙයිද?"

කොනර් නැවතත් ස්ටීව් විමසීය.

"මේ පරීක්ෂණය සාර්ථක කරගන්නනම් ඔබ මෙය දිගටම කරගෙන යා යුතුයි. ටිකක් රිදෙන එකේ අමාරුව විතරයි. මේ වැඩෙන් කිසිම ස්ථිර හානියක් වෙන්නෙ නැහැ."

කොනර් නැවතත් ප්‍රශ්න අසන්නට පටන්ගත්තේය. වෝල්ටීයතාව මේවනවිට දෙසිය හතළිහ දක්වා ඉහළ නැංවීමට සිදුවී තිබේ. දැන් විදුලි සැරයක් ලබා දෙන විට ස්ටැන්ලි කෑගසන හඬ බිත්තිය පසාරු කරගෙන කොනර්ගේ දෙසවනට පිවිසේ. වෝල්ටීයතාව වැඩි කරද්දී ස්ටැන්ලි කෑගසන හඬේ තීව්‍රතාවයද වැඩිවේ.

"මේ මනුස්සයට දැන්නම් හොඳටම අමාරුයි වගේ. මේ වැඩේ දිගටම කරන්න ඕනෑද?"

"ඔබ මෙය දිගටම කරගෙන යාම අනිවාර්ය අවශ්‍යතාවක්!"

වෝල්ටීයතාව දැන් හාරසිය විස්සේය. ස්ටැන්ලි කෑගසනවාට අමතරව වේගයෙන් බිත්තියට ගසයි. ඔහුට මේ වදයෙන් ගැලවෙන්නට අවශ්‍ය බව ඉතා පැහැදිලිය.

"දැන්නම් මට මේ වැඩේ නවත්තන්නමයි හිතෙන්නේ."

"ඔබට මෙතන තෝරාගැනීමක් නැහැ. වැඩේ දිගටම කරගෙන යන්නම වෙනවා."

කොනර්ට පරීක්ෂණය නැවැත්වීමට අවසරයක් ලැබෙන්නේ උපරිම වෝල්ටීයතාව වන හාරසිය පණහේ  සීමාවට ලඟා වීමෙන් පසුවය.

***

ඉහත විස්තර කෙරුණේ මහාචාර්ය ස්ටැන්ලි මිල්ග්‍රම් විසින් සිදුකළ සමාජ විද්‍යා පර්යේෂණයකි. මෙය සිදු කළේ අද ඊයේ නොවේ. අඩ සියවසකටත් පෙර, 1961 ග්‍රීස්ම සෘතුවේදීය.

මේ කතාවේ ස්ටැන්ලි ගෝල්ටන් ඇත්තටම කොනර් මෙන් දැන්වීමට ප්‍රතිචාර දැක්වූවෙකු නොවේ. මේ පරීක්ෂණයේදී ඔහු කරන්නේ රඟපෑමකි. ඒ අනුව, ඇත්තටම පර්යේෂණයට මුහුණ දෙන්නේ කොනර් පමණි.

බොරුවට කරන කුසපත් ඇදීමෙන් හැමවිටම ගුරුවරයා වෙන්නේ කොනර් මෙන් දැන්වීමට ප්‍රතිචාර දක්වමින් පරීක්ෂනයට සම්බන්ධ වූ අයෙකි. තුණ්ඩු කෑලි දෙකේම ලියා ඇත්තේ ගුරුවරයා යනුවෙනි. රඟපෑමක් කරන සහායකයා ඔහුට ලැබී ඇති උපදෙස් අනුව තමන්ට ලැබුනේ ශිෂ්‍ය අවස්ථාව බව බොරුවට කියයි.

ස්ටැන්ලි ගෝල්ටන්ට ඇත්තටම වදින විදුලියක් නැත. ඔහුගේ කෑගැසීම්ද රඟපෑම්ය. වැරදි පිළිතුරු දෙන්නේත් සැලසුම්සහගතවය. එමෙන්ම ඔහුට ඇති හාට් කේස් එකක්ද නැත.

***

මේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වුනේ විධානයකට යටත් වන පුද්ගලයෙකු අකැමැත්තෙන් තවත් පුද්ගලයෙකුට පීඩාවක් කිරීමට ඇති ඉඩකඩ ගැන හැදෑරීමයි. යෙරුසලමේදී ඇඩොල්ෆ් අයිච්මාන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කෙරුණේ මේ කාලයේදීය.

(Photo credit: http://www.jpost.com/National-News/ON-THIS-DAY-Nazi-war-criminal-Adolf-Eichmann-executed-by-Israel-354942)


අයිච්මාන් යනු හිට්ලර්ගේ විධාන අනුව දෙවන ලෝක යුද සමයේදී යුදෙව්වන් මිලියන හයක් පමණ ඝාතනය කිරීමට මුල්වූ පුද්ගලයෙකි. ඔස්ට්‍රියාව හරහා ආර්ජන්ටිනාවට පැනගත් අයිච්මාන් 1960 වන තුරු එහි රහසිගතව ජීවත් වූ නමුත් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයේ උකුසු ඇසින් ගැලවෙන්නට ඔහුට නොහැකි විය.

***

"අයිච්මාන් ඇත්තටම මේ සමූහ ඝාතනයට වරදකරුද? එසේ නැත්නම් ඔහු කළේ ඉහළින් නිකුත් වූ අණ පිලිපැදීමක් පමණක්ද?"

මේ පැනය අදාල කාලයේදී පුළුල් ලෙස විවාදයට ලක්වූවකි. ආචාර ධාර්මික හේතු මත පසුකාලීනව බොහෝ විවේචනයන්ට ලක් වූ නමුත් සමාජ විද්‍යා විද්‍යාගාර පරීක්ෂණ සම්බන්ධ පූර්වාදර්ශයක් සැපයූ, ඉහත විස්තර කළ මිල්ග්‍රම් පරීක්ෂනය මඟින් සෙවූයේ මේ පැනයට විසඳුමකි.

සරසවි සිසුන් යොදාගෙන සිදුකළ සමීක්ෂණයක ප්‍රතිපල අනුව පෙනී ගිය පරිදි, පරීක්ෂණය ආරම්භයේදී අපේක්ෂා කළේ 'ගුරුවරු' බොහෝ දෙනෙකු මේ 'කරන්ට් වැද්දීම' අතරමඟ නවත්වනු ඇති බවයි. සමීක්ෂණයට මුහුණ දුන් සිසුන් සියල්ලෝම වාගේ සිතුවෝ කලාතුරකින් කෙනෙකු මිස යමෙකු වෝල්ට් තුන්සීය නොඉක්මවනු ඇති බවයි.

සැලසුම් කළ ආකාරය අනුව, යමෙකු පරීක්ෂණය නැවැත්වීමට අවශ්‍ය බව පැවසූ විට ඉහත විස්තර කළ පරිදි සිවුවරක් එය දිගටම කරගෙන යන දෙස ඔවුන්ට දන්වනු ලැබීය. පස්වන වරටත් ඉල්ලීමක් නොකළේනම් සහ වාචික නියෝග නොසලකමින් පරීක්ෂණය මඟ නැවැත්වූයේ නැත්නම්, උපරිම වෝල්ටීයතාව ලබා දෙන තුරු පරීක්ෂණය දිගටම පැවැත්වුනේය.

පරීක්ෂණයට මුහුණ දුන් 'ගුරුවරු' හතළිහකගෙන් විසිහයදෙනෙකුම (65%) අකමැත්තෙන් වුවද තමන්ගේ ශිෂ්‍යයන්ට උපරිම වෝල්ටීයතාව වන වෝල්ට් 450 ලබා දීමට පසුබට වූයේ නැත.

වරින්වර නැවත සිදුකෙරුණු මිල්ග්‍රම් පරීක්ෂනයේ ප්‍රතිඵල අනුව මේ මිනිසුන්ගේ ස්වභාවයයි!

***

මිල්ග්‍රම් පරීක්ෂණය සිදුකර මේ වනවිට අඩ සියවසක් ගත වී ඇත. හෝමෝ සේපියන්ස්ලා පරිණාමය වෙති. මේ කාලය තුල මිනිසුන්ගේ හැසිරීම වෙනස් වී ඇත්තේ කෙසේද?

සැන්ට ක්ලේරා සරසවියේ ජෙරී බර්ගර් විසින් 2009 වසරේදී ආචාර ධාර්මික හේතු මත සිදුකළ සංශෝධන සහිතව මිල්ග්‍රම් පරීක්ෂණය නැවත සිදු කරමින් නිරීක්ෂණය කළේ මිනිසුන්ගේ හැසිරීම පිලිබඳ මිල්ග්‍රම්ගේ නිරීක්ෂණ අදටත් වලංගු බවයි. එමෙන්ම, ඇමරිකාවෙන් පිටත ආසියා, අප්‍රිකා, යුරෝපා සහ ඕස්ට්‍රේලියා මහාද්වීප වලද මිල්ග්‍රම් ආකෘතියේ පරීක්ෂණ සිදුකර ඇති අතර නිරීක්ෂණ වල විශාල වෙනස්කම් නැත.

මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්‍ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය!

***
මිල්ග්‍රම් පරීක්ෂනයට මුහුණ දුන් පුද්ගලයින්ට වාචික නියෝග ලබා දෙනු මිස වෙනත් බලපෑම් කිසිවක් කෙරුණේ නැත. මේ නියෝග ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන්ට අහිමි විය හැකිව තිබුණේ ඩොලර් හතරක දීමනාව පමණි.

බොහෝ තැන්වලදී පොඩ්ඩන්ට ලොක්කන්ගේ නියෝග පිළිපැදීමට වෙන්නේ මීට වඩා දැඩි පීඩනයකට මුහුණ දෙමින් බව මා විශේෂයෙන් කිව යුතු නැත.

(කොනර්, ස්ටීව් සහ ස්ටැන්ලි ගෝල්ටන් මනඃකල්පිත චරිතයන්ය.)

Thursday, May 28, 2015

දල ජාතික නිෂ්පාදිතය වැඩි කර ගැනීමට පුරුෂ ලිංගය දික්කර ගනිමුද?


නිකම්ම දුන්න නිසාද කොහෙද චුයිංගම් එකදෙක කට්ටිය අරන් යනවාය. ගෑල්ලමයිකීපදෙනෙකුත් ඔය අතරේ ඉන්නවා දැක්කේය. කීපදෙනෙක්ම ඇවිත් තිබුණේ කල්යාණමිත්රගේ කලාහිත කඩේ ඉඳලායනෙලුම්යායේත්ආයෙත් ලීෆ්ලට් කෑල්ලක් එල්ලී තිබේ. යනවිදියට බිස්නස් නරකම නැත.

ලේන් එකේ පහළ ෆ්රයිඩ් ඉකොනොමික්ස් විකුණන තවත් කඩ දෙකතුනක් ගැනත් දැනගන්නට ලැබුණේය. එකක්විසිටරයාගේය. අනිත් තැන ලේන් එකේ අනිත් හැම කඩේකටම වගේ ඔලුව දමා මොනවා හරි ගන්නා රසිකොලොජිස්ට්ලොක්කාගේ සුපර් මාර්කට් එකේය. එතැනෆ්රයිඩ් ඉකොනොමික්ස් විතරක් නොවේ. ලාබෙටණයත් ඇත.


ලාබෙට ණය ගන්න ඕස්ට්‍රේලියාවට එන්න - Sale, sale,sale...!

ලාබ වුනාට ඉතිං හිලක්නේ...ඕක ගන්ඩ යන්ඩඑපායැ ඕස්ට්රේලියාවට.


රසිකොලොජිස්ට්ගේ බැදුම්බතේ ඉකොනොමැට්ටාට අල්ලලා ගිය කෑලි දෙකතුනක් පහතින් උපුටා ඇත.

"...ආර්ථික විද්යාව කියන්නේ නිශ්චිත විද්යාවක් නොවෙන බවත්, එය විචල්රාශියක් ඇති සංඛීර්ණ පද්ධතියක එක් එක් පාදයෙන් අල්ලා සොළවා බලන සදාකාලික අත්හදා බැලීමක් හෙවත් නැහැසුම්-සීහුම් ක්රමෝපායක් බවත්කියන කාරණායි."


"නමුත් ආර්ථික විද්යාවේ ඇති අස්ථිරකම තමයි, මේ සේරම මාපෙර කී කරුණු ගැනඉන් හාත්පසින්ම වෙනස් ආකාරයට තර්ක කරන්නට හැකිවීම."


"එක අදහසකට එකඟවෙන ආර්ථික විද්යාඥයින් දෙදෙනෙක් මේ ලොවේ නැතියැයි සරදමට පැවසෙන්නේ නිසයි."


කතා කිරීමට දෙයක් මෙතැන තිබේ.


සරදමක් ලෙස සඳහන් වන අවසන් වැකියඅතිශයෝක්තියක් වුවත් ආර්ථික විද්යාඥයින් බොහෝවිට එකඟ නොවන්නේය යන්න ලංකාවේ පමණක් නොව ලෝකයේ හැම රටකම වාගේ පොදු ජනයා තුල ඇති ජනප්රිය අදහසකි. සාමාන් මිනිසුන්ගේ නිරීක්ෂණමත පදනම් වූවකි.


මේ කරුණ සත්යයක්ද යන්න ආර්ථික විද්යාඥයින් විසින්ම කිහිප වරක් පරීක්ෂාවට ලක්කර තිබේ. ඇමරිකාවේ සැන් දියාගෝහි පිහිටි කැලිෆෝර්නියා විශ්ව විද්යාලයයේ මහාචාර්ය වරුන් වන රොජර් ගෝඩන්සහ ගෝඩන් ඩාල් විසින් සිදු කළ සමීක්ෂණයක් ඇසුරින්2013දී 'ඇමරිකන්ඉකොනොමික් රිවීව්' විමර්ශිත ජර්නලයේ පලවූ පර්යේෂණ පත්රිකාව ආසන්නම උදාහරණයකි. මෙහිදී ඔවුන් විසින් පළමුව කළේ විවිධ අනු ක්ෂේත්, විශ්ව විද්යාල සහ වයස් කාණ්ඩනියෝජනය වන පරිදි ප්රමුඛ ආර්ථික විද්යාඥයින් නියැදියක් තෝරා ගැනීමයි. ඉන් පසුව ඔවුන් වෙත ආර්ථික ප්රතිපත්තීන් හාඅදාළ පුළුල් පරාසයක විහිදුනු ප්රශ්න මාලාවක්යොමු කෙරිණි. ඔවුන්ගෙන් ලැබුණු පිළිතුරු විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ඔවුන් අතර ඇදහිය නොහැකි මට්ටමේ එකඟතාවක් ඇති බවයි. යම් තරමකට අඩු එකඟතාවක් පැවතියේ වැඩිපුර පර්යේෂණ සිදු කෙරී නොමැති කරුණු හා අදාලවය. මේපර්යේෂණ පත්රිකාව මේ වර්ගයේ එකමප්රකාශනය නොවේ. වෙනත් මෙවැනි සමීක්ෂණ කිහිපයකින්ම මේ කරුණ තහවුරුකර තිබේ. මේ අනුව මේමතය සවිමත් පදනමක් මත ගොඩ නොනැඟුණුසම්මුතියකි.


ආර්ථික විද්යාව නිශ්චිත විද්යාවක් නොවන්නේය යන්නද සත්‍යයක් වුවත් එය එසේ වන්නේ ආර්ථික විද්‍යාවේ ප්රායෝගික භාවිතයේදීය. න්යායාත්මක තලයේදීආර්ථික විද්යාඥයන් අතර බොහෝ දුරට පුළුල් එකඟතාවක් ඇත. එය ගණිතය වැනිසම්පුර්ණයෙන්ම න්යායාත්මක විෂයයකදීතරම් නොවූවත් භෞතික විද්යාව වැනි විෂයයකදී ඇති එකඟතාවට තරමක් ආසන්න මට්ටමේ එකකි. කෙසේ වුවද ආර්ථික විද්යාව ඉංජිනේරු විද්යාව හා වෛද්විද්යාව වැනි ප්රායෝගික විෂයයක් වේ. එබැවින් එවැනි ප්රායෝගික විද්යාවක පොදු ලක්ෂණයක් වන අවිනිශ්චිතතාව ආර්ථිකවිද්යාඥයකුවද පෙළයි.


යම් සසඳා බැලීමක් සඳහා අතිශයින්ම ශුද්ධ විද්යාවක් වන ගණිතයෙන් පටන්ගනිමු. පයිතගරස් ප්රමේයය අපකවුරුත් දන්නා සරල ගණිත සමීකරණයකි. අදාල උපකල්පන යටතේ මෙම නියමයේ සත්යතාව පිළිබඳව ගණිතඥයන් අතර පුළුල් එකඟතාවක් ඇත. බුලත්කොහුපිටියේ කලුවාගේ නිවස සදා දීමට කොන්ත්රාත් ගන්නා මල්වානේ නිවුටන් බාස් අත්තිවාරම ලකුණු කිරීමේදී මේ නියමය ප්රායෝගිකව යොදා ගනී. දිග ලනුපොටක් භාවිතයෙන් මුළු ලකුණු කරන නිවුටන් බාස් තමා ප්රායෝගිකව භාවිතයටගන්නේ පයිතගරස් ප්රමේයය බවනොදනී. (මෙය අපේ සම්ප්රදායික දැනුමක්ද නැත්නම් 'බටහිර අධ්යාපනයෙන්' ලීක් වූ දැනුමක්ද යන්නඉකොනොමැට්ටා හරියටම නොදන්නා නමුත් පයිතගරස්ගේ කාලයේම හෝ ඊටත් පෙරපෙරදිග විද්යාර්ථින් සතුව මේ දැනුම පැවතිබවනම් හොඳාකාරවම දනී. චරක සංහිතාවේ හෝ සූර්ය සංහිතාවේමීටත් වඩා සංකීර්ණ ගණිත කරුණු තිබුණු බැව් මතකය.)


අප දන්නා සරල පයිතගරස් සමීකරණය මෙසේ ප්රායෝගිකව යොදාගැනීමටනම් අත්තිවාරම් ලකුණු කරන බිම පරිපූර්ණ ද්විමාන තලයක් විය යුතුය. බිම මට්ටම් කිරීම සාමාන්යයෙන් පළමුව සිදුවන කරුණක් නිසා බොහෝ විට ලොකු අවුලක් නොවේ. එහෙත්, බිම මට්ටම් කිරීමේදීත් මුළු ලකුණු කිරීමේදීත් ඇතිවිය හැකි මිනුම් දෝෂ වලින් නිවුටන් බාස්ට ගැලවෙන්න්නට පහසු නැත. මේ නිසා කලුවාගේනිවසේ මුළු හරියටම අංශක අනූවක් වූයේ නැත.


චැලෙන්ජර් යානය කක්ෂගත කිරීමේ සැලසුම්කරුවන් වූ නාසා විද්යාඥයන් සිදුකල කාරිය නිවුටන් බාස් සිදු කල දෙයින් වෙනස්වන්නේ සංකීර්ණත්වයෙන් පමණි. ඔවුන්ට සමීකරණ රාශියක් එක් වර විසඳීමට සිදුවිය. අවසානයේ ක්රිස්ටා මැකලීෆ්ට අභ්යවකාශයේ සිට නිවුටන් නියම කියා දීමට තිබුණු අවස්ථාව අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේය.


ගණිතය, භෞතික විද්යාව සහ තවත් බොහෝවිද්යාවන්හි නියමයන් ප්රායෝගිකව යොදාගන්නා ඉංජිනේරු විද්යාවේදී සැලසුම්කරුවෝ සුරක්ෂිතතා ගුණකයක් (සේෆ්ටි ෆැක්ටර්) යොදා ගනිති. න්යාය සහමිනුම් පිලිබඳ අවිනිශ්චිතතාවයකට වඩා මෙහි ඇත්තේ ආර්ථික කරුණකි. පාලමක් සැලසුම් කිරීමේදී න්යායාත්මකව අවශ් වන ප්රමාණයට වඩා වැඩියෙන් එය සවි බලගැන්වීමෙන් පාලම කඩාවැටීමේ අවදානම අඩු කල හැකිය. එසේකිරීම පිරිවැය ඉහල දමයි. එහෙත් පාලම කඩා වැටීමේ හානිය ඉතා විශාල නිසා එම සම්භාවිතාව සුළුවශයෙන් හෝ අඩු කරගැනීමෙන් අපේක්ෂා කළ හැකි වාසියඉහත වියදම ඉක්මවයි. මේ සුරක්ෂිතතා ගුණකයපදනම් වන්නේ වෙනත් නිශ්චිත න්යායයක් අනුවනොවේ. නැහැසුම්-සීහුම් ක්රමෝපායයක් ලෙසිනි.


ගෘහස්ත විදුලියේ වෝල්ටීයතාව (ලංකාවේදී) දෙසිය තිහක් වී, රථවාහන වේගසීමාව පැයට කිලෝමීටර හැත්තෑවක් වන්නා සේම මේ සුරක්ෂිතතා ගුණකයදඑක්තරා ආකාරයක අහඹු සංගුණකයකි. එහෙත් ප්රයෝගිකව එය'වැඩ කරයි'. උද්ධමන ඉලක්ක වැනි දේද මෙවැනි අහඹු සංගුණක වූවත් ගෘහස්ත විදුලියේ වෝල්ටීයතාව මෙන්ම උද්ධමන ඉලක්කද තෝරා ගැනෙන්නේ එක්තරා පරාසයක් තුලය. පරාසයේ දෙකෙලවරම ඇති අන්ත මේ තෝරාගැනීම සඳහානුසුදුසු බවට පුළුල් එකඟතාවක් ඇත. ශල්‍ය වෛද්‍යවිශේෂඥ පරාක්‍රම වල්ගම්පාය සහ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යනිළධාරී වෛද්‍ය සුදර්ශන් එකඟනොවන්නේද බොහෝ විට මේ පරාසය තුළය.


රෝගියාගේ කුණුවී ඇති කකුල කපා දැමීම හෝ නොකැපීම ආර්ථිකතීරණයකි. මෙහිදී 'ආර්ථික' යන්න භාවිතා වන්නේ මුදල් යන පටු අර්ථයෙන්නොවේ. මේ අවස්ථාවේදීම කකුලකපා දැමුවහොත් රෝගියාගේ ජීවිතය බේරාගත හැකි වීමේ සම්භාවිතාව ඉතා ඉහළය. කකුලක් නොමැතිව ගෙවන ජීවිතයක ආර්ථික වටිනාකම කකුලක් සහිත ජීවිතයකට වඩා බොහෝ සෙයින් අඩුවුවත් එය ශුන්නොවන ධන අගයකි. අනෙක්අතට දැන්ම කකුල නොකැපුවහොත් රෝගියාගේ ජීවිතය අහිමි වීමේ අවදානම ඉහළ යන අතර එසේවුවහොත් එහි ආර්ථික අගය ශුන්යයකි.


මේ අනුව කකුලකපා දැමීමේ ප්රතිපලය වටිනාකමින් අඩුඑහෙත් (අනෙක් විකල්පයට සාපේක්ෂව) නිශ්චිත අගයකි. කකුල කපා දැමුවහොත් මේ ආර්ථික අගයශුන්යයක් හෝ (සාපේක්ෂව) වටිනාකමින් වැඩි අගයකි. ප්රතිපලය අවිනිශ්චිතය. අවසන් තීරණය ගැනීමේදී මේ සමිකරණයේ නොදන්නාසංගුණක රැසක් සඳහා අගයයන් ආදේශ කිරීමට සිදුවේ. ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය සහ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය සුදර්ශන් මෙයකරන්නේ එක් ආකාරයකින්ම නොවේ. ඔවුන්ගේ අත්දැකීම්, දැනුම මෙන්ම සිතුම් පැතුම් වලද ඇති වෙනස්කම් නිසාය. මෙහිදී රෝගියා මුලින් පත්තු බැඳීම පිළිබඳව ඇති වල්ගම්පායගේ ද්වේශය මේ සමීකරණයේ කොටසක්නොවීනම් ඔහුගේ තීරණය බොහෝ දුරට වැඩි නිවැරදි තීරණය වියහැකිව තිබුණි. වෛද් සුදර්ශන්ගේ තීරණයනිසා රෝගියාගේ කකුල බේරාගත හැකිවීම තුලින්ම ඔහුගේ තීරණය නිවැරදි වන්නේ නැත. රෝගියාව හෙලනු ලැබූ අවදානම ඔහුගේ වාසනාව (සම්භාවිතාව) මත ලැබුණු වාසියටතරම් නොවන තරමේ ඔට්ටු තැබීමක් විය හැකි බැවිනි.


මේ සන්දර්භය තුල පසුගිය අවදියේ ලොකු කතිකාවකට මුල් වූ මහ බැංකුතීරණ වන හෙජිං ගණුදෙනුවත්, ග්රීක් බැඳුම්කර ආයෝජනයත් 'වඳින්නට ගිය දේවාල ඉහේ කඩාවැටීම්' (වෙල් ඉන්ටෙන්ෂන්ඩ් මිස්ටේක්ස්) වීමේ වැඩි ඉඩකඩක් පවතී. සිදුවීම් හාඅදාල සියළුම කරුණු නොවේ. මෑතකාලීන බැඳුම්කර වෙන්දේසි සිදුවීම තරමක් මීට වඩා සංකීර්ණය.


අපට ඉංජිනේරුවන්, වෛද්යවරුන්, නීතිඥයන් හා ආර්ථික විද්යාඥයන් වැනි විශේෂඥයන් අවශ් වන්නේ බොහෝප්රායෝගික විෂයයන්හි ඇති තීරණ ගැනීමේදී ඇතිවන අවිනිශ්චිතතාව නිසාය. මෙහිදී සිය පළපුරුද්ද තුලින් අවදානම් පරාසය අඩු කර ගැනීමට මේවිශේෂඥයන්ට ඇති හැකියාව පිළිබඳව අපි විශ්වාසය තබමු. යම් කිසි තිරණයක් ගැනීමේදී අපට සැලකිල්ලට ගත හැකි විවිධවිකල්ප ක්රියාමාර්ග වලින්අපේක්ෂිත අවසාන ප්රතිපලය වෙතසිදුවන බලපෑම්හි වෙනස අවමයක් වන විට අපටවිශේෂඥයන් අවශ් නොවේ.


කෙතරම් අන්තගාමී ලෙස පෙනුනත් තමන් විශ්වාස කරන කවර මතවාදයක් වෙනුවෙන් හෝ අවංකව පෙනීසිටින, තමන්ට හෘද ශාක්ෂියට අනුව නිවැරදියයි පෙනෙන තීරණ ගන්නා පුද්ගලයන්ව ඉකොනොමැට්ටා හැමවිටම අගය කරන්නේ නිවැරදි දෙය හැමවිටම සාපේක්ෂ සංකල්පයක් වන බැවිනි. තමාසිටින්නේ ප්රාදේශීය උපරිමයක (ලෝකල් ඔප්ටිමම්) නොවන බව තහවුරු කරගතහැකි නිශ්චිත ක්රමවේදයක් (යම්උපකල්පන යටතේ ශුද්ධ විද්යාවන්හිදී හැර) ඉකොනොමැට්ටා නොදන්නා බැවිනි. එහෙත්, නිවැරදි ලෙස තමන්ටම නොපෙනෙන විකාර තහවුරු කිරීමට දඟලන මුදල් පසුම්බියක් නැති වට්ටක්කයින් ගැනනම් ඉකොනොමැට්ටාට ඇත්තේ අනුකම්පා සහගත නොකැමැත්තකි (වයස නිසාදෝ දැන් ඉස්සර මෙන් මළ පනින්නේ නැත.) ඔවුන් නිගා කරන්නේ සාමාන් ජනතාවගේ පොදුඅවබෝධයට (කොමන් සෙන්ස්) බැවිනි.

ආර්ථික විද්යාවේ නැහැසුම්-සීහුම් ක්රමෝපාය භාවිතයවෙත නැවත පිවිසෙමු.


නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයකින් වස්තූන් දෙකක් එකිනෙක වෙත ආකර්ෂණය වන අයුරු පැහැදිලිකෙරේ. මෙහිදී ඇතිවන 'ගුරුත්වාකර්ෂණ' බලය එක් එක් වස්තුවේ ස්කන්ධයට අනුලෝමවත් ඒවා අතර දුරෙහි වර්ගයට ප්රතිලෝමවත් සමානුපාතිකවේ. යම් ප්රයෝගික ගණනයකිරීමකදී මේ කතන්දරයට අමතරවතවත් යමක් අවශ් වේ. මේ සම්බන්ධතාවය සමීකරණයක් බවට පත් කරන සංගුණකයයි. මේ සංගුණකයේ අගයසොයාගැනෙන්නේ න්යායාත්මකව නොවප්රයෝගිකව නිරීක්ෂණ ඇසුරිණි. ඇතැම් විට මේ නියතය නියතයක්නොවිය හැකිය. එය විචල්යයක්වන සාධක අපේ නිරීක්ෂණ පරාසය තුළ නොවෙනස්ව පැවතෙනවා විය හැකිය. (මෙහිදී මා නිවැරදි නොවීමේලොකු ඉඩකඩක් පවතී. එසේනම් කරුණාකර කමෙන්ට් කරන්න. මෙය එසේ නොවුනත් මා කියන ඊළඟකරුණට එය ප්රශ්නයක්නොවේ.)


ආර්ථික විද්යාවේද ජාත්යන්තර වෙළඳාම හා අදාලව මෙවැනිමන්යායක් තිබේ. මේ අනුව රටවල්දෙකක් අතර සිදුවන වෙළඳාමේ පරිමාව එක් එක් රාජ්යයේ ආර්ථිකයේ ප්රමාණයට (දළජාතික නිෂ්පාදනයට) අනුලෝමවත්, රටවල් දෙක අතර දුරට ප්රතිලෝමවත් සමානුපාතිකවේ. නියමය ප්රයෝජනයට ගැනීමටනම්අදාළ සංගුණකයේ අගය අවශ්යය. මෙය ඇස්තමේන්තු කරන්නේ නැහැසුම්-සීහුම් ක්රමෝපාය හෝනිරීක්ෂණ මත පදනම් වූවෙනත් ක්රමවේදයක් භාවිතයෙනි. එහෙත් භෞතික විද්යාඥයෙකුට ගුරුත්වාකර්ෂණ නියතය ගණනය කිරීම සඳහා ලැබෙන තරමේ පිරික්සුම් අවකාශයක් ආර්ථික විද්යාඥයෙකුට නොලැබේ. මේ නිසා අදාළනියතයේ මිනුම් වරද සාපේක්ෂව විශාලය.


වඩා සංකීර්ණ ගැටළුවක් විශ්ලේෂණය කිරීමේදී ආර්ථික විද්යාඥයෙකුට මෙවැනි සංගුණක රැසක් සඳහා නිශ්චිත අගයයන් උපයෝගී කර ගැනීමට සිදුවේ. මෙහිදී එකම පරාසයක් තුලින් වුවත්, එක් එක් ආර්ථික විද්යාඥයාගේ අත්දැකීම්, දැනුම සහ විශ්වාස මතවෙනස් අගයයන් තෝරා ගැනෙන අතර මේ හේතුවෙන් එක්එක් ආර්ථික විද්යාඥයා දකින අවසාන ප්රතිපලයන්හි සැලකියයුතු විචලනයක් තිබීමට ඉඩ තිබේ.


යම්කිසි ආර්ථික විද්යා ආකෘතියක් මඟින්පුරෝකථනය කෙරෙන ප්රතිපලයත් සැබෑප්රතිපලයත් අතර වෙනස අවශ් තරමට වඩාවිශාල වන විට (බොහෝවිට සිදු වන පරිදි) ආර්ථිකවිද්යාඥයන් කරන්නේ තවත් විචල්යයන් එම ආකෘතියට එක්කරමින් මූලික ආකෘතිය වඩාත් නිවැරදි කිරීමයි. උදාහරණයක් ලෙස පිළිගත් ආර්ථික විද්යා න්යායන්අනුව රටක දල ජාතික නිෂ්පාදිතය(සහ ආර්ථික වර්ධනය) මූලික වශයෙන්ම තීරණය වන්නේ අදාල රට සතු භෞතිකසම්පත් (භූමිය, ස්වභාවික සම්පත්, ප්රාග්ධනය), මානවසම්පත් (වැඩ කරන ජනගහණය, සාමාන් අධ්යාපනහා කුසලතා මට්ටම) සහ තාක්ෂනය අනුවය. එහෙත් මේ කරුණු වලින්පමණක්ම රටවල් අතර ආර්ථික තත්ත්වයන්හි ඇති විචලනයන් පැහැදිලි නොකෙරේ.


මේ අනුව රටක දල ජාතික නිෂ්පාදිතයපැහැදිලි කරන සමීකරණය වඩාත් නිරවද් කරගැනීම සඳහාඅලුත් විචල්යයන් පරික්ෂා කර එකතු කරමින්සහ එහි සංගුණක වඩා නිවැරදිව මනිමින් ආර්ථික විද්යාඥයෝ අඛණ්ඩ මෙහෙයුමක නිරතව සිටිති. මේ අනුව රටකආයතනික ව්යුහය, දේශපාලනසංස්කෘතිය, අධිරාජ්යවාදී සම්බන්ධතා, විවෘත භාවය වැනි කරුණු රැසක් මේ සමීකරණයේ අමතරකාරණා ලෙස හඳුනාගෙන තිබේ.




යම් රටක ජීවත්වන පිරිමින්ගේ පුරුෂ ලිංගයේ සාමාන් දිග රටේදල ජාතික නිෂ්පාදිතය තීරණය කිරීමේ හැකියාවක් පවතීද? බැලූ බැල්මටම මෙය පිස්සු විකාර අදහසක් සේ පෙනේ.


හෙල්සින්කි විශ්ව විද්යාලයේ ටාටු වෙස්ට්ලින්ග්ටනම් එසේ සිතුනේ නැත. පුරුෂ ලිංගයේ දිග සහ ටෙස්ටොස්ටරෝන් හෝමෝනනිෂ්පාදනයේ ඇති සම්බන්ධතාවත්, අවදානම් දැරීම සහ ආත්ම විශ්වාසයගොඩ නැගීම කෙරෙහි ඇති ටෙස්ටොස්ටරෝන් වල බලපෑමත් පදනම්කරගෙන පුරුෂ ලිංගයේ දිග සහ දල  තිබිය හැකි සම්බන්ධතාව පිරික්සූ වෙස්ට්ලින්ග්ට පෙනී ගියේ පුරුෂ ලිංගයේ දිගෙහි බලපෑම රටේ දේශපාලන ව්යුහයේ බලපෑමටත්වඩා වැඩි බවයි. ඔහුගේ පර්යේෂණයේ ප්රතිපලය අනුවපුරුෂ ලිංගයේ දිග එක්තරා සීමාවක් දක්වා ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මකව බලපා පසුව සෘණාත්මකව බලපායි. දල ජාතික නිෂ්පාදිතයඋපරිමයක් වන්නේ පුරුෂ ලිංගයේ සාමාන් දිග සෙන්ටිමීටර 13.5ක් වූ විටය. එනම් අඟල් 5.3 ක් පමණ වූවිටය.



වෙස්ට්ලින්ගේ පර්යේෂණ පත්රිකාවේ දත්ත අනුව සහ වෙනත් දත්තඅනුව පුරුෂ ලිංගයේ දිග අනුව ශ්රේණිගත කිරීමේදීශ්රී ලංකාව සිටින්නේඉතා පහලිනි. (මීළඟ මහ මැතිවරණය සඳහාහොඳ ඡන්ද පොරොන්දුවක් සඳහා අදහස් මෙහි තිබේ.) අපේ සාමාන්යය සෙන්ටි මීටර10.9ක් නොහොත් අඟල් 4.3 කි. අඟලක්ම අඩුය. ඉතින් අපි කුමක් කරමුද?


(පළමු ඡායාරූප දෙක අන්තර්ජාලයෙනි. තෙවැන්න Freakonomics වෙබ් අඩවියෙන් වන අතර අවසන් රූපසටහන වෙස්ට්ලින්ගේ පර්යේෂණ පත්‍රිකාවෙනි.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...