වෙබ් ලිපිනය:

Showing posts with label නීතිය. Show all posts
Showing posts with label නීතිය. Show all posts

Sunday, December 22, 2019

ජුනයිඩ් හෆීස්


ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනා මත වසර හතකට ආසන්න කාලයක් අත් අඩංගුවේ සිටි පකිස්ථාන සරසවියක දේශකයෙකු වූ ජුනයිඩ් හෆීස්ට පකිස්ථාන අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ජුනයිඩ් හෆීස් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු ලෙස ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජැක්සන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබා ගත් අයෙක්. 2010 වසරේදී නැවත පකිස්ථානයට යාමෙන් පසුව ඔහු පන්ජාබයේ මුල්තාන් බහඋද්දින් සකරියා සරසවියේ දේශකයකු ලෙස සේවය අරඹනවා.

ජුනයිඩ් හෆීස්ගේ නිදහස් මතධාරී අදහස් හේතුවෙන් පකිස්ථානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටින ජමාතේ ඉස්ලාමී පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය ඇතුළු අන්තවාදී ශිෂ්‍ය කණ්ඩායම් මුල සිටීම ජුනයිඩ් හෆීස්ව සරසවියට බඳවා ගැනීමට විරුද්ධ වෙනවා. මේ කණ්ඩායම් විසින් හෆීස්ට ඉස්ලාම් ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා කරන්නේ වත්පොත් පළ කිරීමක් ඉදිරියට දමමිනුයි.

චෝදනාවට හේතු වූ පළ කිරීම කර තිබෙන්නේ ජුනයිඩ් හෆීස් විසින් නෙමෙයි. එහෙත් එය පළ වූ වත්පොත් කණ්ඩායම් පිටුවේ ඇඩ්මින් වරයා ලෙස ඔහු එම පෝස්ටුව ඉවත් නොකිරීම මත ඔහුට චෝදනා නගා තිබෙනවා. ශිෂ්‍ය කණ්ඩායම් වල චෝදනා වලට අනුව "So-Called Liberals of Pakistan" සහ "Mulla Munafiq" නම් ෆේස්බුක් පිටු පවත්වා ගෙන ගොස් තිබෙන්නේත්, එම නම් වලින් කමෙන්ට් දමා තිබෙන්නේත් ජුනයිඩ් හෆීස් විසිනුයි.  ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටින අයට අනුව මෙය තහවුරු කළ කරුණක් නොවන අතර හෆීස්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුවද මේ වත්පොත් පිටු සක්‍රියව ක්‍රියාත්මක වී තිබෙනවා. කුරානයේ ඇති දේ පැරණි මෙසපොතේමියානු ජනකතා මත පදනම් වන බව ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව තිබෙන තවත් චෝදනාවක්.

ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ආගමික අන්තවාදීන්ගෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වුනා. පකිස්ථානයේ ස්වාධීන මානව හිමිකම් කොමිසමේ මුල්තාන් කාර්යාලයේ අධ්‍යක්ෂ රෂීඩ් රෙහ්මන් විරෝධතාකරුවන්ට අවනත නොවී ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහුට වසර කිහිපයකට පෙර ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුනා.

ජුනයිඩ් හෆීස් වැනි නිදහස් මතධාරී ඉස්ලාම් ආගමිකයින්ව එක අතකින් ඉස්ලාම් අන්තවාදීන්ගේ විරෝධයට පාත්‍ර වන අතරම අනික් පැත්තෙන් ඔවුන්ට ඉස්ලාම් වීම නිසාම ඉස්ලාම් නොවන ලෝකය තුළ වෙනස් ලෙස සැලකීමට භාජනය වෙන්න සිදු වී තිබෙනවා. ඉන්දියාවේ අලුත් පණත උදාහරණයක්. ඉස්ලාම් නොවන වෙනත් මධ්‍යස්ථ මතධාරීන්ට මුහුණ දෙන්න වී තිබෙන ගැටළුවත් මෙයමයි. ලෝකයේ හැම පැත්තේම වගේ මධ්‍යස්ථ මතධාරීන්ට වෙන් වුනු ඉඩකඩ එන්න එන්නම පටු වෙනවා.

(Image: https://www.voanews.com/south-central-asia/pakistani-scholar-sentenced-death-blasphemy)

Monday, October 28, 2019

ගෝඨාභයගේ කැලිෆෝර්නියා නඩුව


ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව චෝදනා නගමින් ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් ලොස් ඇන්ජලීස්හි, කැලිෆෝර්නියා මධ්‍යම දිස්ත්‍රික්කයට අයත් ඇමරිකන් දිස්ත්‍රික් අධිකරණයෙහි පවරා තිබුණු සිවිල් නඩුව පසුගිය 17 වනදා විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරනු ලැබුවා. එම නඩුව මේ අයුරින් නිෂ්ප්‍රභා කරනු ලැබුවේ නඩුව විභාගයට ගැනීම සඳහා අදාළ අධිකරණයට අධිකරණ බලයක් නැති බවට ගෝඨාභය පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ විරෝධතාව සැලකිල්ලට ගනිමිනුයි. අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව අහිංසා වික්‍රමතුංග පාර්ශ්වය ප්‍රකාශ කර තිබෙනවා.

අහිංසා වික්‍රමතුංග ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හා පදිංචිකාරියක්. ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුව පවරනු ලබන විට ඇමරිකන් පුරවැසියෙක්. එමෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වූ 2009 ජනවාරි 9 වන විටත් ඔහු ඇමරිකන් පුරවැසියෙක්. මෙම සිද්ධිය සිදුවන විට ඔහු ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. අදාළ කාලයේ ආරක්ෂක ඇමති ධුරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරු හා එවක විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ වූ නිසාත්, රටේ සිවිල් යුද්ධයක් පැවතීමත් නිසා එම තනතුර සමඟ විශාල බලයක් කේන්ද්‍රගතව තිබූ බව නොරහසක්.

ඇමරිකාවේ ආරක්ෂක ලේකම් යනු ලංකාවේ ආරක්ෂක අමාත්‍ය තනතුරට සමාන තනතුරක්. ඇමරිකාවේ කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ ආරක්ෂක ලේකම්, රාජ්‍ය ලේකම්, භාණ්ඩාගාර ලේකම් ඇතුළු ලේකම් වරුන්ගෙන්. ගෝඨාභය රාජපක්ෂගේ තනතුරද බොහෝ විට ආරක්ෂක ලේකම් ලෙස හැඳින්වුනත්, එය ඇමරිකාවේ ආරක්ෂක ලේකම් තනතුර සමඟ සැසඳිය හැකි තනතුරක් නෙමෙයි. අදාළ කාලයේම පී බී ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස මිස මුදල් ලේකම් ලෙස හැඳින්වුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණයේ පවරා තිබුණු නඩුවේ ලේඛන වලද ඔහුගේ තනතුර සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබුණු නඩුව සිවිල් නඩුවක්. යම් හෙයකින් එම නඩුව විභාගයට ගෙන ඔහුව වරදකරු කරනු ලැබුවානම් ඔහුට අගතියට පත් පාර්ශ්වයට වන්දියක් ගෙවීමට සිදු විය හැකිව තිබුණු නමුත් සිර දඬුවමක් පැනවෙන්නේ නැහැ.

නඩුව විභාගයට ගැනීම තාවකාලිකව අත් හිටවන මෙන් ඉල්ලමින් හා නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ විසින් මෝසම් දෙකක් ඉදිරිපත් කළා. පළමුවන මෝසමෙන් ඉල්ලා සිටියේ ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු හා එම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වුවහොත් ධුරය භාර ගන්නා තුරු නඩු විභාගය අත් හිටවන ලෙසයි. මේ ඉල්ලීම සාධාරණීකරණය කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමට විශාල ඉඩකඩක් තිබීම හා එසේ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුට රාජ්‍ය නායක මුක්තිය ලැබෙන නිසා මෙම නඩුව ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නොමැති වන බව පෙන්වා දෙමිනුයි.

දෙවන මෝසමෙන් කරුණු හතරක් ඉදිරිපත් කරමින් මෙම කරුණු වලින් එකක් හෝ කිහිපයක් මත මෙම නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉල්ලා සිටියා.
1. ගෝඨාභය රාජපක්ෂ චෝදනාවට අදාළ සිද්ධියට වගකිවයුතුනම් එසේ වගකිව යුත්තේ ස්වාධීන විදේශ රජයක නිලධාරියෙකු ලෙස තනතුරට අදාළව සිදුකළ දෙයක් වෙනුවෙනුයි.
2. පෞද්ගලික හා පොදු යහපත සැලකූ විට මෙම නඩුව විභාග කිරීම වඩාත්ම පහසු ලංකාවේයි.
-ශ්‍රී ලංකාවේ ස්වාධීන හා හොඳින් ස්ථාපිත අධිකරණ පද්ධතියක් තිබෙනවා.
-අහිංසා වික්‍රමතුංග ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් හා පදිංචිකාරියක නිසා ඇමරිකාවේ නඩුව විභාග කළත් ලංකාවේ එය කළත් ඇයට වෙනසක් නැහැ.
-ඒ වගේම, සාක්ෂිකරුවන් වැඩි දෙනෙකු සිටිය හැක්කේ ලංකාවේ.
3. ස්වාධීන විදේශ රාජ්‍යයක් වන ලංකාවට හා එහි නීති පද්ධතියට ගරු කිරීමක් වශයෙන්
4. වෙනත් විවිධ හේතු මත
-මේ සිදුවීමට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නොතිබීම
-පැමිණිලිකාරිය විසින් ලංකාවේදී ගත හැකිව තිබුණු සියලුම නීතිමය ක්‍රියාමාර්ග උත්සාහ කර නොතිබීම
-චෝදනා නගා ඇති පණතේ ඇතැම් (තාක්ෂනික) සීමාවන්

අධිකරණය මඟින් නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට තීරණය කර ඇත්තේ ඉහත පළමු කරුණ, එනම් ගෝඨාභය රාජපක්ෂ චෝදනාවට අදාළ සිද්ධියට වගකිවයුතුනම් එසේ වගකිව යුත්තේ ස්වාධීන විදේශ රජයක නිලධාරියෙකු ලෙස තනතුරට අදාළව සිදුකළ දෙයක් වෙනුවෙන් වීම නිසයි. මේ විරෝධතාව පිළිගැනීමෙන් පසු ඉතිරි කරුණු සලකා බැලීම අවශ්‍ය නොවන නිසා අනෙකුත් කරුණු සැලකිල්ලට ගෙන නැහැ. එමෙන්ම, මේ විරෝධතාව පිළිගැනීමෙන් පසුව අනෙකුත් මෝසමට අදාල නඩු නිමිත්ත අහෝසි වී ඇති නිසා නඩුව තාවකාලිකව අත් හිටුවීම ගැන සලකා බැලීමත් අවශ්‍ය වී නැහැ.

නඩුව නිෂ්ප්‍රභා කිරීමේදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ පළමු කරුණ පමණයි. මේ ආකාරයට පිළිගත් විදේශ රාජ්‍යයක නිලධාරියෙකු ලෙස කළ ක්‍රියාවක් සඳහා මුක්තිය ලැබෙන්නටනම් කරුණු දෙකකින් එකක් සම්පූර්ණ විය යුතුයි.
-අදාළ විදේශ රාජ්‍යය විසින් එවැනි මුක්තියක් ලබා දෙන මෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම එල්ලීම පිළිගැනීම
-අදාළ විදේශ රාජ්‍යය විසින් එවැනි ඉල්ලීමක් කර නැති අවස්ථාවක, යම් හෙයකින් එවැනි ඉල්ලීමක් කර තිබුණේනම් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම ඉල්ලීම පිළිගැනීමට ඉඩකඩ තිබීම

මේ නඩුව හා අදාළව ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය නිලධාරී මුක්තිය ලබා දෙන මෙන් ලංකාවේ රජය විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර නැති නිසා දිස්ත්‍රික් අධිකරණය විසින් සලකා බලා තිබෙන්නේ ඉහත දෙවන කරුණයි. පැමිණිලිකාර පාර්ශ්වය විසින් චෝදනා ගොනු කිරීමේදී ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් ධුරයේ බලතල ගැන විස්තර කිරීමට ලොකු බරක් දී තිබීම හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඔහු වගකිවයුතු බව සඳහන් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් ධුරයේ බලතල යොදාගනිමින් බව කියා තිබීම මෙහිදී ගෝඨාභය රාජපක්ෂගේ වාසියට හේතු වී තිබෙනවා. පැමිණිලිකාර පාර්ශ්වය විසින් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බව මිස සෘජුව සම්බන්ධ වී ඇති බව කියා නැහැ. මේ අනුව දිස්ත්‍රික් අධිකරණයේ මතය වන්නේ යම් හෙයකින් මේ ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතුනම් එසේ වගකිවයුතු වන්නේ එවක ලංකාවේ ආරක්ෂක ලේකම් ලෙස මිස පෞද්ගලිකව නොවන බවයි. ඒ අනුව ඔහුට පිළිගත් විදේශ රාජ්‍යයක නිලධාරියෙකු එම රාජ්‍යය වෙනුවෙන් කළ ක්‍රියාවන් සඳහා පොදු නීතිය යටතේ ලැබෙන මුක්තිය ලැබී තිබෙනවා.

අහිංසා වික්‍රමතුංග පාර්ශ්වය මේ තීන්දුවෙන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන්ගේ මතය වන්නේ ලසන්ත වික්‍රමතුංග හෝ වෙනත් ජනමාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන නැති නිසා ගෝඨාභය රාජපක්ෂ විසින් කර තිබෙන්නේ ලංකාවේ රජය වෙනුවෙන් කටයුතු කිරීමක් නොවන බවයි. ඒ අනුව, ඔවුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. එවැනි අභියාචනා කිරීමකින් පසුව මෙම නඩුව ඉදිරියට ගෙන යාමට තීරණය වුවත්, ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වී සිටියහොත් ඔහුට රාජ්‍ය නායක මුක්තිය ලැබෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා.

(Image: http://asiantribune.com/node/93111)

Tuesday, August 20, 2019

මිනියක් වළලා ගන්න තැනක් නැත්තේ කාගේ වරදින්ද?


"මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මූලික සිද්ධාන්ත තුනක් තිබෙනවා. ඒ මූලික සිද්ධාන්ත තුන හැටියට අපි හඳුන්වන්නේ, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයයි. මේ ආයතන තුනෙන් එකක් හෝ බිඳ වැටීමක්, සෙලවීමක්, වෙනස්වීමක් වුනොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වදින මරු පහරක් හැටියටයි අපි ඒක දකින්නේ. හැබැයි, පසුගිය කාලයේ මේ සිද්ධාන්ත තුනෙන් එකක් වන විධායකය විසින් හිටපු අගවිනිසුරු ශ්‍රියානි බණ්ඩාරනායක මැතිණිය කිසිසේත් නොකළ යුතු ආකාරයට ඉවත් කළා විතරක් නොවෙයි, අලුත්කඩේ උසාවි භූමියට කුඩුකාරයන්, කැසිනෝකාරයන් බුරුතු පිටින් ඇවිල්ලා අධිකරණ භූමියට හූ කියලා, ගල් ගහලා, පිටුපස්ස පෙන්වලා අධිකරණයේ ගරුත්වය හෑල්ලු කරපු විධිය අපි දැක්කා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි, 2015දී වූ නිහඬ විප්ලවයේදී මේ රටේ සියලු පුරවැසියන් පක්ෂ, පාට අත් හැරදාලා අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් ආණ්ඩුවක් බිහිකර ගත්තේ. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙලා තිබෙන්නේ."

ඉහත කොටස උපුටා ගත්තේ 2019 අප්‍රේල් 1 හැන්සාඩ් වාර්තාවේ සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් කළ ප්‍රකාශයකින් (තීරු අංකය 3121). ඔහු ඉඳහිට පාර්ලිමේන්තුවේදී ඔය වගේ කතාවක් කරනවා. මෝඩයාගේ දිනයේ කළ විහිළුවක් නොවේනම්, මේ කතාවේ හැටියට පාලිත තෙවරප්පෙරුමට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ලොකු උවමනාවක් තිබෙනවා.

ඉඳහිට පාර්ලිමේන්තුවේ ඔය වගේ කතාවක් කරන අතරම, කාලයෙන් කාලයට මොකක් හෝ අලුත් පිස්සුවක් නටන පාලිත තෙවරප්පෙරුම විසින් නැවතත් එවැන්නක් කර තිබෙනවා. මෙවර ඔහු කරන්නේ උසාවි නියෝගයක් නොතකමින් පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් මිනියක් වල දමා වීරයෙකු වීම බවයි පෙනෙන්නට තිබෙන්නේ.

පාලිත තෙවරප්පෙරුමගේම ප්‍රකාශය අනුව, සිද්ධියට අදාළ ස්ථානය මතුගම ආසනයේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෝවුඩ් වත්තයි. දෙවසරකට පමණ පෙර මේ වත්ත අලුත් අයිතිකරුවෙකු විසින් මිල දී ගෙන තිබෙන බව පෙනෙනවා. මිය ගොස් තිබෙන පුද්ගලයා අදාළ වත්තේ ඉපදී සිය ජීවිත කාලයම එහි සේවය කර මිය ගොස් ඇති දෙමළ ජාතිකයෙක්. ඔහුගේ මිනිය වත්තේ වැළලීම වළක්වමින් පොලීසිය විසින් උසාවි නියෝගයක් ලබා ගෙන තිබෙනවා. පොලීසියට උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙමින් පාලිත තෙවරප්පෙරුම විසින් වත්තේ මිනිය වළලනවා.

බොහෝ දෙනෙක් මේ සිද්ධිය දකිනවා ඇත්තේ විශාල අසාධාරණයකට ලක් වූ අසරණයෙකුට පාලිත තෙවරප්පෙරුම මුල් වී සාධාරණය ඉටු කර දීමක් ලෙසයි. එසේ බැලුවොත් අසාධාරණය සිදු කර තිබෙන්නේ අධිකරණය හා පොලීසියයි. අධිකරණයේ හා පොලීසියේ දුෂ්ඨයන්ට එරෙහිව පාලිත තෙවරප්පෙරුම ජනතා වීරයා නැගී සිටිනවා. ගැලරියෙන් හුරේ.

මිනිහෙක් මැරුණු විට මිනිය වල දමා ගන්නවත් තැනක් නැහැ කියන්නේ විශාල මානුෂීය ප්‍රශ්නයක්. එය එසේනම්, එහි වැරැද්ද කාගේද? ප්‍රශ්නයට විසඳුම කාට හෝ අයිති පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් මිනිය වල දැමීමද?

පාලිත තෙවරප්පෙරුමට අනුව බෝවුඩ් වත්තේ අදාළ ස්ථානයේ බොහෝ කලකට පෙර එහි අයිතිකරුවෙකුගේ මිනියක් වල දමා තිබෙනවා. කැමති කෙනෙකුට තමන්ට අයිති පෞද්ගලික ඉඩමක මිනියක් වල දා ගැනීමේ අයිතිය තිබෙනවා. මෙවැනි පෞද්ගලික සුසාන භූමි ලංකාවේ ඕනෑ තරම් තිබෙනවා. එහෙත්, එවැනි පෞද්ගලික සුසාන භූමි වල සාමාන්‍යයෙන් වල දමන්නේ පවුලේ අයගේ මිනී පමණයි. ඉඩම අයිතිකරු කැමතිනම් වෙනත් අයෙකුගේ මිනියක් වල දැම්මත් එහි ප්‍රශ්නයක් නැහැ. එවැනි තැනක ඕනෑම අයෙකුට මිනී වල දැමීමේ අයිතියක් නැහැ. එසේ කළ හැක්කේ පොදු සුසාන භූමියක් ලෙස ගැසට් කර ඇති තැනක පමණයි.

පාලිත තෙවරප්පෙරුම විසින් අදාළ ස්ථානය පොදු සුසාන භූමියක් ලෙස ගැසට් කර ඇති බව තහවුරු කරන්නේ නැහැ. උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීමට පැමිණ සිටින පොලිස් නිලධාරියා මේ ප්‍රශ්නය ඔහුගෙන් සෘජුවම අසනවා. ඔහු පෙන්වන්නේ එම ස්ථානයේ ඊට පෙර මිනියක් වළලා ඇති බවට සාක්ෂියකුයි. එහෙත්, එයින් එම ස්ථානය පොදු සුසාන භූමියක් බව තහවුරු වෙන්නේ නැහැ. එක්කෝ ඒ මිනිය වත්තේ පෙර අයිතිකරුවන්ගේ කැමැත්තෙන් එහි වල දමනු ලැබුවා වෙන්න පුළුවන්. එසේ නැත්නම්, ඔවුන්ගේ අනුදැනුමකින් තොරව එය සිදු වුනා වෙන්න පුළුවන්.

සිදු වුනේ ඔය දෙකෙන් කොයි එකක් වුවත්, කිසියම් තැනක මිනියක් වල දැමූ පමණින් එහි ඕනෑම අයෙකුට මිනී වල දැමීමට අයිතියක් ලැබෙන්නේ නැහැ. කලින් සිදු වුනේ කුමක් වුවත් වත්තේ අලුත් අයිතිකරුවන්ට තමන්ට අයත් මේ පෞද්ගලික දේපොළේ මේ මිනිය වල දමනු දැකීමට අවශ්‍ය නැති බවයි පෙනෙන්නේ. උසාවි නියෝගයක් ගැනීමට පෙළැඹී තිබෙන්නේ එවැනි උත්සාහයක් වලක්වා ගැනීමටයි.

අදාළ ස්ථානයේ මේ මිනිය වල දැමීම වලක්වමින් කිසියම් අධිකරණයක් විසින් වාරණ නියෝගයක් පනවා තිබෙනවා. අධිකරණයක් මෙවැනි නියෝගයක් දෙන්නේ රටේ පවතින නීතිය හා ඉදිරිපත්ව තිබෙන සාක්ෂි අනුවයි. අධිකරණයක් අමුතුවෙන් නීති හදන්නේ නැහැ. මේ නීති පනවන්නේ ව්‍යවස්ථාදායකය විසිනුයි. විධායකයේ කොටසක් වන පොලීසිය විසින් මෙහිදී කරන්නට උත්සාහ කරන්නේ අධිකරණය විසින් පනවන ලද නියෝගයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමයි. එහෙත්, තෙවරප්පෙරුමගේ මැදිහත්වීම හමුවේ පොලීසිය උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීමට අසමත් වෙනවා.

දැන් මේ මිය ගිය පුද්ගලයාගේ මිනිය වල දමා ගැනීමට තැනක් නැත්නම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ කාගේ වරදින්ද? අදාළ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අවසන් කටයුතු කර ගන්නට තැනක් නැත්නම් ඒ ප්‍රශ්නය විසඳිය යුත්තේ පාලිත තෙවරප්පෙරුම වැනි මහජන නියෝජිතයින් විසිනුයි. එහෙත් මේ ක්‍රමයට නෙමෙයි.

පාලිත තෙවරප්පෙරුම වැනි මහජන නියෝජිතයින්ට අලුතින් නීති හැදිය හැකියි. ඔහු වැනි අයව පාර්ලිමේන්තුවට යවා තිබෙන්නේ ඒ කාර්යය කරන්නයි. ඔවුන් එසේ අලුතින් නීතියක් හැදූ විට ඒ නීතියට ඔවුන්ද යටත්. නීති කැඩෙනවාද කියා සොයා බැලීම අධිකරණයේ කාර්යයක් මිස ව්‍යවස්ථාදායකයේ කාර්යයක් නෙමෙයි. නීති ක්‍රියාත්මක කිරීමත් එසේමයි. එය විධායකයේ කාර්යයක්.

නමුත්, මෙහි වෙන්නේ කුමක්ද? බූරුවා තමන්ගේ වැඩේ පැත්තක තබා බල්ලාගේ වැඩේ කරන්න යාමයි. බූරුවාගේ වැඩේ කෙරිලත් නැහැ. බූරුවා බල්ලාට බල්ලාගේ වැඩේ කරන්න දෙන්නෙත් නැහැ. පාලිත තෙවරප්පෙරුමට අවශ්‍යනම් තමන්ගේ බල ප්‍රදේශයේ කිසියම් ස්ථානයක් පොදු සුසාන භූමියක් ලෙස ගැසට් කරන මෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. අවශ්‍යනම් වන්දි මුදලක් ගෙවා බෝවුඩ් වත්තේ අදාළ කොටසම රජයට ගන්න වුනත් බැරි කමක් නැහැ.

පාලිත තෙවරප්පෙරුමගේ ඡන්ද කොට්ඨාශයේ අසරණ පුද්ගලයෙකුට මිනියක් වල දමා ගන්න තැනක් නැත්නම් එයින් පෙනෙන්නේ ඔහු තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කර නැති බවයි. මේ ස්ථානය යම් හෙයකින් ඔහු කියන පරිදි සුසාන භූමියක් සේ ගැසට් කර ඇති තැනක් වුවත්, බලහත්කාරයෙන් මිනිය වල දමන්නට පෙර කළ යුත්තේ ඒ බවට සාක්ෂි ඉදිරිපත් කර උසාවි නියෝගය වෙනස් කර ගැනීමයි.

අධිකරණය යුක්තිය පසිඳලන්නේ රටේ පවතින නීති පද්ධතිය අනුවයි. පොලීසිය කරන්නේ මේ නීති ක්‍රියාත්මක කිරීමයි. නීතිය හා සාධාරණත්වය අතර ගැටුමක් ඇති බවක් පෙනේනම් එය පාලිත තෙවරප්පෙරුම වැනි මහජන නියෝජිතයින්ගේ අකාර්යක්ෂමතාවයේ ප්‍රතිඵලයක් මිස අධිකරණයේ හෝ පොලීසියේ වරදක් නෙමෙයි. නීතිය මඟින් සාධාරණත්වය පිළිබිඹු වන පරිදි නීති සංශෝධනය කිරීම ව්‍යවස්ථාදායකය සතු වගකීමයි.

අවාසනාවට පාලිත තෙවරප්පෙරුම වැනි ඇතැම් මහජන නියෝජිතයින්ට තමන් විසින් මහජන නියෝජිතයෙකු ලෙස කළ යුතු කාර්ය භාරය ගැන කිසිදු අදහසක් නැහැ. ඔහු වැනි අයව පත් කර යවන අයටත් ඒ ගැන අදහසක් නැහැ. ඒ නිසා, පාලිත තෙවරප්පෙරුම විසින් තමන්ගේ මන්ත්‍රී රාජකාරිය හරියට නොකිරීම නිසා ඇති වී තිබෙන අවුල වහගන්න යන්නේ තමන්ට අයිති නැති යුක්තිය පසිඳලීමේ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ විධායකයේ හා අධිකරණයේ කාර්යභාරයන් බලහත්කාරයෙන් තමන්ගේ අතට ගැනීම හරහායි. ඔහු මෙසේ කටයුතු කරන පළමු හෝ එකම පුද්ගලයා නෙමෙයි.

මේ සිද්ධියේ සැබෑ වීරයා වන්නේ ඉතා අසීරු තත්ත්වයන් යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන පොලිස් නිලධාරියායි. කණගාටුවට කරුණ ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩක් නොලැබීමයි. අන්තිමේදී වෙන්නේ වීරයා දුෂ්ඨයා වී දුෂ්ඨයා වීරයා වීමයි.

කිසියම් පුද්ගලයෙකු දුප්පතෙකු හෝ සුළු ජාතිකයෙකු වීම හේතුවෙන් අසාධාරණයට ලක් විය යුතු නැහැ. ඒ වගේම, කෙනෙකු ධනවත් ඉඩම් හිමියෙකු වීම හෝ මහ ජාතියට අයත් වීම හේතුවෙන්ද අසාධාරණයට ලක් විය යුතු නැහැ. මගේ වත්ත විශාල එකක් වීම, එහි තැනක මා විසින් කුණු ගොඩ ගසා තිබීම හා නගරයේ වෙනත් අයට කුණු දමන්නට තැනක් නැති වීම යන කරුණු මත මගේ වත්තේ වෙනත් ඕනෑම අයෙකුට කුණු දමන්න අයිතියක් ලැබෙන්නේ නැහැ.

බෝවුඩ් වත්තේ වත්මන් හිමිකරුගේ කැමැත්තෙන් තොරව කිසියම් පිරිසක් මිනියක් වල දමා තිබෙනවා. මිනියක් වල දැමීමෙන් පසුව ප්‍රශ්නය සංකීර්ණ වන නිසා ඔහු කලින්ම නීතියේ රැකවරණය පතා තිබෙනවා. එහෙත්, තෙවරප්පෙරුමගේ බලහත්කාරය හමුවේ ඔහුට නීතියේ රැකවරණය ලැබී නැහැ. වත්ත අයිතිකරුට නීතියෙන් ලැබිය යුතු සමාන රැකවරණය ලැබී සාධාරණය ඉටු විය යුතුයි.


Friday, August 16, 2019

ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද?


ගෝඨාභය රාජපක්ෂව මේ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා. ලංකාවේ දැනට වලංගු නීතිය අනුව වෙනත් රටක පුරවැසිකම හිමි අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ. පසුගිය අප්‍රේල් 17 දින දක්වා ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකුව සිටි බව මේ වන විට අවිවාදිත කරුණක්.

ගෝඨාභය පාර්ශ්වය විසින් ප්‍රකාශ කරන ආකාරයට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු නෙමෙයි. එහෙත්, මේ කතාව විශ්වාස කරන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ 2019 දෙවන කාර්තුව තුළ ඇමරිකානු පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කරගත් පුද්ගලයින්ගේ නාම ලේඛණයක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවීම හේතුවෙන් මේ අවිශ්වාසය තවදුරටත් වර්ධනය වෙමින් තිබෙනවා.

ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද?

මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දීමේ හැකියාවක් අපට නැහැ. එහෙත්, සිදු විය හැකි හා නොහැකි දේ විමසා බැලීමක් කළ හැකියි. මේ කරන්නේ එයයි.

ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද යන ප්‍රශ්නයට අමතරව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඇතුළු වෙනත් කරුණු ගණනාවක් ගැනත් සැක සංකා මතු වී තිබෙනවා. එහෙත්, අප මෙහිදී කතා කරන්නේ ඔහුගේ ඇමරිකන් පුරවැසිකම ගැන පමණයි.

ඇමරිකන් පුරවැසිකම හා ඇමරිකානු ජාතිකත්වය 

ඇමරිකන් පුරවැසියෙකු නෛතික ලෙස හැම විටම ඇමරිකන් ජාතිකයෙකුද වෙනවා. එහෙත්, සියලුම ඇමරිකන් ජාතිකයින් ඇමරිකන් පුරවැසියන් නෙමෙයි. උපතින් ඇමරිකන් පුරවැසියෙකු නොවූ අයෙකු ඇමරිකන් පුරවැසිකම ලබා ගනිද්දී එවැන්නෙකුට ඇමරිකන් ජාතිකත්වයද හිමි වෙනවා. යමෙකුගේ ඇමරිකන් ජාතිකත්වය අහිමි වන අවස්ථාවකදී ඇමරිකන් පුරවැසිකමද අහෝසි වෙනවා.

ඇමරිකන් පුරවැසියකුගේ වගකීම් 

ඇමරිකන් පුරවැසිකමට විශාල ඉල්ලුමක් තිබෙනවා. එහෙත්, ඇමරිකන් පුරවැසියෙකු වීම පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. එසේ වුවත්, සෑම වසරකදීම විශාල පිරිසක් ඇමරිකන් පුරවැසිකම ලබා ගන්නවා. පසුගිය 2018 වසරේදී 756,800 දෙනෙකු අලුතෙන් ඇමරිකන් පුරවැසිකම ලබාගත්තා.

ඇමරිකන් පුරවැසිකමට මෙපමණ ඉල්ලුමක් තිබෙන්නේ ඒ හේතුවෙන් ලැබෙන විවිධ වරප්‍රසාද හා අයිතිවාසිකම් නිසා. එහෙත්, ඒ වරප්‍රසාද හා අයිතිවාසිකම් වලට අමතරව ඇමරිකන් පුරවැසිකම සමඟ විවිධ වගකීම් හා යුතුකම් රැසක්ද එකතු වෙනවා. ඇමරිකන් පුරවැසියෙකු විසින් තමන් විසින් ලෝකයේ කොහේ හෝ රටක උපයන ආදායම් වලට මෙන්ම කොහේ හෝ රටක ඇති වත්කම් වලටත් ඇමරිකානු රජයට බදු ගෙවිය යුතුයි. මේ බදු වගකීම ඇමරිකානු පුරවැසියන්ට මෙන්ම ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන්ටත් තිබෙනවා.

ඇමරිකන් පුරවැසිකම අත් හැරීම 

ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය හිමි අයෙකුට තමන්ගේ මේ අයිතීන් නැති කර ගැනීම මේ දේවල් හිමි කර ගන්නා තරම් අමාරු නැහැ. එහෙත්, ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කර ගැනීමට පෙළඹෙන්නේ සාපේක්ෂව ඉතා සුළු පිරිසක්. මෙසේ 2018 වසර තුළ ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කරගත් 3,974 දෙනෙකුගේ නම් එම වසර සඳහා වූ ෆෙඩරල් රෙජිස්ට්‍රි වල පළ වී තිබුණා.

මේ අයගෙන්, ඇමරිකන් පුරවැසියන් ප්‍රමාණය කොපමණක්ද යන්න ෆෙඩරල් රෙජිස්ට්‍රියෙහි ඇති තොරතුරු වලින් සොයා ගත නොහැකියි. එමෙන්ම, පුරවැසිකම අහිමි කරගත් බොහෝ දෙනෙකුගේ නම් ෆෙඩරල් රෙජිස්ට්‍රියෙහි පළ නොවනවා විය හැකියි. මේ හේතු නිසා වසරකදී ඇමරිකන් පුරවැසිකම අහිමි කරගන්නා පුද්ගලයින් ගණන නිශ්චිතව දැන ගැනීම අසීරු වුවත් එම ප්‍රමාණය වසරකට ඇමරිකන් පුරවැසිකම ලබා ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් බව පැහැදිලියි.

බොහෝ ඇමරිකන් පුරවැසියන් තම පුරවැසිකම ස්වේච්ඡාවෙන් අතහරින්නේ ඇමරිකන් රජයට බදු ගෙවීමේ වගකීමෙන් ගැලවෙන්නයි. උදාහරණයක් විදිහට වසර කිහිපයකට පෙර ඇමරිකන් පුරවැසිකම අත් හළ ෆේස්බුක් සමාගමේ ආරම්භකයෙකු වන එඩුවාඩෝ සවරින් එසේ කළේ තමන්ගේ වත්කම් හා ආදායම් වලින් ඇමරිකන් රජයට ගෙවිය යුතු බදු නොගෙවා සිටීම පිණිස බව පොදු පිළිගැනීමයි.

ඇමරිකන් පුරවැසිකම අහිමි කරගත හැකි ආකාර 

ඇමරිකන් පුරවැසියෙකුට තමන්ගේ පුරවැසිකම අහෝසි කරගත හැකි ආකාර හතක් තිබෙනවා. මෙසේ පුරවැසිකම අතහැරීමට බොහෝ පුද්ගලයින් පෙළඹෙන හේතුවක් වන්නේ ලෝකයේ කොහේ හෝ තිබෙන තමන්ගේ වත්කම් හෝ ලබන ආදායම් මත ඇමරිකන් රජයට බදු ගෙවිය යුතු වීමයි.

ආකාර හතක් තිබුණත් බොහෝ දෙනෙක් ඇමරිකන් පුරවැසිකම අහෝසි කර ගන්නා ක්‍රමය ගෝඨාභය රාජපක්ෂ විසින් ද අනුගමනය කර ඇති ප්‍රචලිත ක්‍රමවේදයයි. මේ ක්‍රමවේදයට පියවර ගණනක් අයත් වුවත්, වඩාත්ම වැදගත් පියවර වන්නේ ඇමරිකාවෙන් පිටත වෙනත් රටක තානාපති කාර්යාලයකදී ස්වේච්ඡාවෙන් තමන්ගේ ඇමරිකානු ජාතිකත්වය හා පුරවැසිකම අත් හැරීමයි. එසේ කරන අයෙකු ඒ අවස්ථාවේදී තමන්ගේ ඇමරිකානු ගමන් බලපත්‍රයද තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට භාර දිය යුතුයි.

මේ ආකාරයෙන් ඇමරිකාවෙන් පිටත කිසියම් ඇමරිකානු තානාපති කාර්යාලයකදී යමෙකු සිය ඇමරිකන් පුරවැසිකම අත් හැරීමෙන් පසුව, අදාළ තානාපති කාර්යාලය විසින් ඒ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. පුරවැසිකම අත් හැරීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීමෙන් පසුව ඇමරිකානු ජාතිකත්වය අහෝසි වූ බව තහවුරු කරමින් සහතිකයක් නිකුත් කරනවා. ඉන් පසුව, අදාළ තානාපති කාර්යාලය විසින් මේ සහතිකය හා අවලංගු කළ ඇමරිකානු ගමන් බලපත්‍රය පුරවැසිකම අත් හළ පුද්ගලයාට භාර දෙනවා.

නෛතික ලෙස කිසියම් පුද්ගලයෙකුගේ ඇමරිකන් පුරවැසිකම අහිමිවීමේ දිනය සේ සැලකෙන්නේ ඉහත කී පරිදි කිසියම් තානාපති කාර්යාලයකදී  ඇමරිකන් පුරවැසිකම අත් හළ දිනය වුවත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එවැනි ඉල්ලීමක් අනුමත කර ඇමරිකානු ජාතිකත්වය අහිමි වීමේ සහතිකය නිකුත් කරන තුරු ගත වන කාලය එක්තරා ආකාරයක ගන්ධබ්බ කාලයක්. මේ කාලය තුළ කිසියම් පුද්ගලයෙකු ඇමරිකන් පුරවැසියෙකු නොවූ බව ස්ථිරව දැනගන්නට ලැබෙන්නේ සහතිකය අතට ලැබුණු පසුව පමණයි.

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහිමි වුනාද?

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු ජාතිකත්වය අහිමි වීමේ සහතිකය ලෙස මුලින් සංසරණය වූයේ කූඨ ලේඛණයක් බව ගෝඨාභය රාජපක්ෂ විසින්ම පිළිගෙන තිබෙන නිසා ඒ ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. එහෙත්, දෙවනුව සංසරණය වූ සහතිකය ව්‍යාජ එකක් බව කිව හැකි පැහැදිලි හේතු නැහැ.

මේ දෙවන සහතිකය අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 අප්‍රේල් 17 දින සිය ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගෙන තිබෙන අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි 3 දින මේ ඉල්ලීම පිළිගෙන අදාළ සහතිකය නිකුත් කර තිබෙනවා. ප්‍රසිද්ධ කර තිබෙන සහතිකය ව්‍යාජ එකක් නොවේනම් 2019 අප්‍රේල් 17 දින සිට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි.

සහතිකය ව්‍යාජ එකක්ද?

ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සම්බන්ධව අහිංසා වික්‍රමතුංග විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ නඩුවක් මේ වන විට ඇමරිකානු අධිකරණයක විභාග වෙනවා. මෙම නඩුව හා අදාළව ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයේ නීතිඥයින් විසින් 2019 ජූනි 27 දින එම අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 අප්‍රේල් 17 දින සිය ඇමරිකානු පුරවැසිභාවය අත් හළ බව සඳහන් කර තිබෙනවා. මෙය විශ්වාසනීය මූලාශ්‍රයක්. මේ දිනය දෙවන සහතිකයේ දිනය සමඟ ගැලපෙනවා. එහෙත්, මේ අත් හැරීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බවක් අදාළ ලේඛණය මඟින් තහවුරු කරන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ විසින් සිය පුරවැසිකම අත් හැර මේ වන විට මාස හතරක් ගත වී තිබෙනවා. විශේෂ හේතුවක් නැත්නම්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙන්න මෙය ප්‍රමාණවත් කාලයක්. යම් කිසිවෙකු ඇමරිකානු පුරවැසිකම අත් හැරීමෙන් පසුව, අදාළ ඉල්ලීම අනුමත නොවීම ඉතා විරල සිදු වීමක්. ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමෙන් පසුවද ඉන් පෙර කළ හෝ පසුව කරන වරදකට කිසියම් පුද්ගලයෙකුට දඬුවම් කිරීමේ හැකියාව අහිමි නොවන නිසා ඇමරිකානු අධිකරණයක විභාග වෙමින් තිබෙන නඩුවක චුදිතයකු වූ පමණින් මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරෙන්නේ නැහැ.

2019 අප්‍රේල් 17 දින ඇමරිකානු පුරවැසිකම අත් හළ අයෙකුට 2019 මැයි 3 වන විට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීම බොහෝ විට සිදු විය හැකි දෙයක්. ඒ නිසා, දෙවන වරට දකින්නට ලැබුණු සහතිකය බොහෝ විට සැබෑ එකක් විය හැකියි.

ඒ වගේම, මේ හා අදාළව ගෝඨාභය කඳවුරේ ප්‍රතිචාරය නිරීක්ෂනය කිරීමත් වැදගත්. ප්‍රතිවාදීන් ගෝඨාභයගේ පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය අල්ලාගෙන දඟලද්දී ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ කණ්ඩායම මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට වද නොවී ජනාධිපතිවරණය ඉලක්ක කර සිය ශක්තිය යොදවනු පෙනීමෙන්ද හැඟී යන්නේ ඔවුන් ප්‍රශ්නය විසඳාගෙන අවසන් බවයි.

එහෙමනම්, ෆෙඩරල් රෙජිස්ට්‍රියේ ගෝඨාභයගේ නම නැත්තේ ඇයි?

ඇමරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් සෑම කාර්තුවක් ඇතුළතම ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය (ග්‍රීන් කාඩ්) ඉවත් කරගත් පුද්ගලයින්ගේ ලේඛණයක් ප්‍රකාශයට පත් කරනවා. 2019 දෙවන කාර්තුව සඳහා වූ ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂගේ නම නැහැ. යම් හෙයකින් එම ලැයිස්තුවේ ඔහුගේ නම තිබුණානම් එය මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු නොවන බව තහවුරු කරනවා. කෙසේ වුවත්, අදාළ ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබූ පමණින් ඔහු තව දුරටත් ඇමරිකානු පුරවැසියෙකු බව තහවුරු වන්නේ නැහැ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන මේ ලැයිස්තුවට නම ඇතුළත් වීම යමෙකුගේ ඇමරිකානු පුරවැසිකම අහිමි වීම පිණිස අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි. මේ හා අදාළ නීතිමය ප්‍රතිපාදනය ඇතුළත් ඇමරිකානු දේශීය ආදායම් පණතේ 6089G(d) වගන්තිය අනුව මෙසේ ප්‍රසිද්ධ කළ යුත්තේ  877(a) හෝ 877A වගන්ති වලින් අර්ථදැක්වෙන පුද්ගලයින්ගේ නම් පමණයි.

"Notwithstanding any other provision of law, not later than 30 days after the close of each calendar quarter, the Secretary shall publish in the Federal Register the name of each individual losing United States citizenship (within the meaning of section 877(a) or 877A) with respect to whom the Secretary receives information under the preceding sentence during such quarter."

මේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමේ අරමුණ වන්නේ කිසියම් පුද්ගලයෙකු බදු පැහැර හැරීමේ අරමුණින් ඇමරිකන් පුරවැසිබව හෝ ස්ථිර පදිංචිය අත් හරින බව සැක කළ හැකි විට එවැනි පුද්ගලයෙකු විසින් බදු පැහැර හැරීම වලක්වා ගැනීමයි. ඒ අනුව, බදු පැහැර හැරීමේ අරමුණින් තොරව පුරවැසිකම අත් හළ බව පෙනෙන අයගේ නම් මේ ලැයිස්තුවට ඇතුළත් නොවිය හැකියි. එවැන්නන් හඳුනා ගැනීම පිණිස නිර්ණායක තුනක් භාවිතා කෙරෙනවා. ඒවානම්, පසුගිය වසර පහේ සාමාන්‍ය ආදායම, මුළු වත්කම් එකතුව හා පසුගිය වසර පහ තුළ නිසි පරිදි බදු ගෙවා තිබීම යන කරුණුයි. 2019 අප්‍රේල් මාසයේදී ඇමරිකන් පුරවැසිභාවය අත් හරින අයෙකු පහත කොන්දේසි තුනම සපුරා ඇත්නම් 877(a) වගන්තියෙන් අර්ථදක්වා ඇති "ආවරණය වන පුද්ගලයෙකු" සේ සැලකෙන්නේ නැහැ.

1) පසුගිය පස් වසරේ සාමාන්‍ය වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් 165,000කට නොවැඩි වීම
2) ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 2කට නොවැඩි වීම
3) 2014 සිට 2018 දක්වා එක් එක් වසර සඳහා ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවා තිබීම

ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ඔහු ඉහත කොන්දේසි තුනම සපුරා ඇත්නම් ඔහුගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ නොවිය හැකියි. කිසියම් පුද්ගලයෙකුගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ වීම හෝ නොවීම එම පුද්ගලයාගේ ආදායම හා වත්කම් මත තීරණය වීමත්, කිසියම් පුද්ගලයෙකුගේ ආදායම හා වත්කම් යනු රහස්‍ය පෞද්ගලික තොරතුරක් වීමත් නිසා මේ හා අදාළ වැඩි විස්තර හෙළිදරවු කිරීම ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනවා විය හැකියි.

කෙසේ වුවත්, ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ වන්නේ "ආවරණය වන පුද්ගලයින්ගේ" නම් පමණක්ද යන්න හරියටම පැහැදිලි නැහැ. මේ හා අදාළව වෙනස් මත පළ කරන නීතිවේදීන්ද සිටින නිසා ගෝඨාභයගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ නොතිබීම ඔහුගේ පුරවැසිකම ඉවත් කරගෙන තිබීම සැක කිරීමට හේතුවක් නොවන බව සියයට සියයක් තහවුරු කළ නොහැකි වුවත්, මගේ අදහස අනුව ඔහු 2019 අප්‍රේල් 17 දින සිට ඇමරිකන් පුරවැසියෙකු නොවන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි 3 දින තහවුරු කර තිබීමට විශාල ඉඩකඩක් තිබෙනවා.

මුලින් අතේ මාට්ටු වන ව්‍යාජ සහතිකයක් එළියට දමා ඒ ගැන අවධානය යොමු වීමෙන් පසුව හරි සහතිකය එළියට දැමීම ගෝඨාභය කඳවුරේ ප්‍රචාරක උපක්‍රමයක් වෙන්න පුළුවන්.

Tuesday, May 28, 2019

නිවාඩු වාඩුව

අද අර්ථයෙන් ගත් විට පොදු නිවාඩු කියන අදහස යුරෝපීයයන් ලංකාවට එන්න කලින් ලාංකිකයින්ට පුරුදු දෙයක් නෙමෙයි. පොදු නිවාඩු වගේම දැන් සිදු වන ආකාරයට ආණ්ඩු විසින් සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු නියාමනය කිරීමත්, දවස් හතේ ස්ථිර සතිය අනුව ජන ජීවිතයේ රටාව සකස් වීමත් සිදු වුනේ ඉංග්‍රීසි කාලයේදීයි.

දවස් හතේ ස්ථිර සතියේ පදනම හා සති අන්ත නිවාඩුව පරණ තෙස්තමේන්තුව මත පදනම් වන්නක්. දෙවියන් වහන්සේ ලෝකය හා මිනිසා මවන්න දවස් හතක් ගන්නවා. දවස් හතක් එක දිගට මැවීම් කරන දෙවියන්ට විවේකයක් අවශ්‍ය වෙනවා.

"දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක."

පරණ තෙස්තමේන්තුවේ කතුවරුන්ට දවස් හතේ සතිය පිළිබඳ අදහස එන්න ඇත්තේත් බැබිලෝනුවන්ගෙන් වුවත් එය ලෝක සම්මතය වුණේ ක්‍රිස්තියානිය ප්‍රධාන ආබ්‍රහමික ආගම් වල බලපෑම නිසයි. ප්‍රධාන ආබ්‍රහමික ආගම් තුන දවස් හතේ සතිය පිළිබඳව එකඟ වුවත්, නිවාඩු දිනය පිළිබඳව එවැනි එකඟතාවයක් නැහැ. යුදෙවුවන්ගේ සබත් දවස සෙනසුරාදා. එහෙත්, වත්මන් ප්‍රධාන ධාරාවේ ක්‍රිස්තියානි නිකායයන් සතියේ ප්‍රධාන ආගමික දවස සේ සලකන්නේ ඉරිදා. ඉස්ලාම් භක්තිකයන්ට වඩා වැදගත් දවස සිකුරාදා. ක්‍රිස්තියානින්ගේ ආගමික දවස ඉරිදා වීමේ ඉතිහාසය දැනට පැත්තකින් තියමුකෝ.

හින්දු හා බෞද්ධ ආගමිකයන්ට දවස් හතේ සතිය ආබ්‍රහමික ආගම් අදහන්නට තරම් වැදගත් නැතත්, එය ඔවුන්ට ආගන්තුක අදහසක් නෙමෙයි. රවිවාරය, චන්ද්‍රවාරය ආදී වූ දවස් හතේ සතිය ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යය අනුව කාලය අර්ථ දක්වන එක් ක්‍රමයක්. නමුත්, එක් ක්‍රමයක් පමණයි. ජ්‍යෝතිෂ්‍යයේ මෙවැනි එක් ක්‍රමයක් වෙනුවට පංචාංගයක්ම තිබෙනවා. යුරෝපීයන්ට පෙර ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු සැලසුම් කෙරුණේ මේ පංචාංගයම සැලකිල්ලට අරගෙනයි. ඒකේ එක් සබත් දවසක් වෙනුවට පෝය දවස්, කෙම්මුර දවස්, රිට්ටා දවස් වගේ විවිධ දවස් තිබුණා. නැකැත් බැලිල්ලේ පොදු දේවල් තිබුණත් එහි පෞද්ගලිකත්වයට වැදගත් තැනක් ලැබුණා. කෙනෙක්ට සුබ දවසක් හැම විටම හැම කෙනෙක්ටම සුබ දවසක් වුණේ නැහැ.

චන්ද්‍ර වර්ෂ ක්‍රමය බෞද්ධ වර්ෂ ක්‍රමය වී තිබෙන්නේ එය බුද්ධ කාලයේ භාවිතයේ වූ සම්මතය නිසා මිසක් බෞද්ධයින්ට ධර්මය අනුව පෝය දින වල අමුතු වැදගත්කමක් තිබෙන නිසා නෙමෙයි (මා වැරදිනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න). පෝය දවසේ ආගමික කටයුතු වල යෙදුණා කියා හෝ නොයෙදුනා කියා බෞද්ධයෙකුට වෙන දවසක ඒ දේවල්ම කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබිය හැකි බවක් මා කොහේවත් අසා හෝ දැක නැහැ. බෞද්ධයින්ට වැදගත් සුවිශේෂී සිදුවීම් පෝය දින වල සිදු වී තිබීම හා එම සැමරුම් පෝය දින වල කිරීම වෙනම කරුණක්. නමුත්, අනෙකුත් බොහෝ ආගම් වල එවැනි සුවිශේෂී දවස් තිබෙනවා.

කොහොම වුනත් හතර පෝයට සිල් ගැනීම සැදැහැවත් බෞද්ධයින් විසින් කාලයක් තිස්සේ කළ දෙයක්. හතර පෝය කියන්නේ බෞද්ධයින්, විශේෂයින්ම සිංහල බෞද්ධයින් කාලයක් තිස්සේම ආගමික කටයුතු වෙනුවෙන් වෙන් කර තිබුණු දවස්. ධර්මය අනුව ඒ දවස් වල විශේෂයක් නොතිබුණත් එය කාලයක් තිස්සේ භාවිතයෙන් ඇතිව තිබුණු සම්මතයක්. පෝය දින වලදී බෞද්ධයින් තමන් අතින් අත් වැරදීමකින් හෝ පවක් සිදුවෙන්න තිබෙන ඉඩ ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවා. සතුන්ට හානි විය හැකි නිසා පොළොව කෙටීම, ගිණි තැබීම වැනි කටයුතු වලින් වැලකී සිටියා. එය රජයක් හෝ රජෙක් විසින් නියම කර තිබුණු දෙයක් නෙමෙයි. අඩු වශයෙන් ආගමෙන් නියම කර තිබුණු දෙයක් හෝ නෙමෙයි.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ක්‍රිස්තියානින්ට වැදගත් දවස් පොදු නිවාඩු දින කිරීම හෝ පෝය දින වල වැඩ කිරීම මුල් කාලයේ සිංහල බෞද්ධයන්ට ප්‍රශ්නයක් වුණා කියා හිතන්න අමාරුයි. මුලදී ඉංග්‍රීසි ආණ්ඩුවේ සේවකයින් වූ බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමිකයින්. ඒ නිසා, තමන්ගේ ගොවිතැන් බතක් හෝ කර්මාන්තයක් කරගෙන හිටපු සිංහල බෞද්ධයින්ට අවශ්‍යනම් හතර පෝයට වැඩ නොකර ආගමික කටයුතු වල යෙදෙන්න ලොකු බාධාවක් තිබුණේ නැහැ. ඉරිදා නිවාඩුව නොසලකා ඉන්න බැරිකමක් තිබුණේත් නැහැ. නමුත්, ලංකාවට නිදහස ලැබෙන කාලය වෙද්දී පෝය නිවාඩු ප්‍රශ්නය රටේ දේශපාලනය තීරණය කළ හැකි තරමේ වැදගත් කරුණක් වෙලා. ඒක එහෙම වුනේ කොහොමද?

මුලදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකියා ලබාගත් සිංහල හෝ දෙමළ බොහෝ දෙනෙක් රැකියාව ලැබෙන විට ක්‍රිස්තියානින් වී නොසිටියානම් එයින් පසුව හෝ ක්‍රිස්තියානින් වුණා. ඒ නිසා, ක්‍රිස්තියානි නිවාඩු දවස් මිසක් පෝය නිවාඩු දවස් රජයේ නිවාඩු දවස් කර ගන්න කාටවත් ලොකු උවමනාවක් තිබුණේ නැහැ. දහනවවන සියවසේ අගභාගය වෙද්දී මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. බෞද්ධ හා හින්දු පුනරුදය සමඟ ක්‍රිස්තියානියට ගොස් සිටි පරම්පරා වල උගත් අය නැවත මුල් ආගම් දෙසට නැඹුරු වීමත්, ක්‍රිස්තියානි ආකෘතියේ බෞද්ධ පාසැල් බිහිවීමත් නිසා ඉංග්‍රීසි ආණ්ඩුවේ ආගමික සංයුතිය වෙනස් වෙන්න පටන් ගත්තා. අනික් පැත්තෙන් ආණ්ඩුව ක්‍රමයෙන් විශාල වෙමින් සාමාන්‍ය ජනජීවිතයට ආණ්ඩුවෙන් සිදුවන බලපෑම් ඉහළ ගියා.

සංඛ්‍යාලේඛණ නොමැතිව ස්ථිරව කියන්නට පුළුවන් කමක් නැතත්, දහනවවන සියවස අගභාගය වන විටත් ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් සෘජුව සේවය කළ බෞද්ධයින් ඉන්න ඇත්තේ රටේ බෞද්ධ ප්‍රතිශතයට වඩා ගොඩක් අඩුවෙනුයි. ක්‍රිස්තියානි ප්‍රතිශතය රටේ ප්‍රතිශතයට වඩා වැඩි වූ බව පැහැදිලි කරුණක්. බොහෝ විට හින්දු හා ඉස්ලාම් ආගමිකයින් වුවත්, ක්‍රිස්තියානින් තරමටම නැතත්, ආණ්ඩුව ඇතුළේ වැඩිපුර නියෝජනය වෙන්න ඇති. ඒ නිසා, පොදු නිවාඩු තීරණය කිරීමේදී එක් බෞද්ධ නිවාඩුවක් දෙන කොට ඉස්ලාම් හා හින්දු නිවාඩුව බැගින්ද දීමේ අමුත්තක් නැහැ.

නිදහස දෙන කාලය වෙද්දී රටෙන් තුනෙන් දෙකක් පමණ වූ බෞද්ධයින්ට ආණ්ඩුවේ තනතුරු වලින් බාගයක පමණවත් නියෝජනයක් ලැබී තිබෙන්න ඇති. ආණ්ඩුව ඇතුළේ තමන්ගේ නියෝජනයට සරිලන සැලකිල්ලක් නැති බව ඔවුන්ට ඇඟට දැනෙන්න ඇති. පෝය නිවාඩුව වැදගත් වෙන්න ඇත්තේ රජයේ රැකියා කළ උගත් සිංහල බෞද්ධයින්ට මිසක් සාමාන්‍ය ගැමි සිංහල බෞද්ධයින්ට නෙමෙයි.

වර්තමාන අර්ථයෙන් ගත් විට ආණ්ඩුව කියන සංකල්පයම බටහිර සභ්‍යත්වය තුළ, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගමික පසුබිමක බිහි වුනු සංකල්පයක්. ඒ නිසා, සෙනසුරාදා ඉරිදා වෙනුවට පෝය හා පෙර පෝය සති අන්ත කළත්, ක්‍රිස්තියානි නිවාඩු අඩු කර බෞද්ධ නිවාඩු වැඩි කළත් ආණ්ඩුවේ මූලික ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් නොවන බව රටේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික කණ්ඩායම වූ සිංහල බෞද්ධයින්ට දැනෙන එකට පිළියමක් ලෙස කරන්න තිබුණේ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන ආණ්ඩුවේ බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් සටන් කරන එකයි. ආණ්ඩුවේ බලපෑම් ක්‍රමයෙන් අඩු වන විට රටක ප්‍රධාන සංස්කෘතිය ඉස්මතු වෙන එක වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

නමුත්, නිදහස ලැබෙන්නත් කලින් ඉඳන්ම සිංහල බෞද්ධයින්ට මාක්ස්වාදී හුළං වැදී තිබුණු නිසා ඔවුන්ගෙන් බොහෝ විට ආවේ ආණ්ඩුව තවත් විශාල කෙරෙන ඉල්ලීම් මිසක් ආණ්ඩුවේ බලපෑම් ලිහිල් කරන සේ වන ඉල්ලීම් නෙමෙයි. නවීන ආණ්ඩු වල ආකෘතිය හැදී තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමික පසුබිමක වුවත් ඒ ආකෘතිය තවදුරටත් ආගමික සේ සැලකිය නොහැකි තරමට පොදු දෙයක් වී ඇති නිසා ලංකාව වගේ පර්යන්තයේ පිහිටි කුඩා රටක් වෙනස්ම ආකෘතියකට යන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඔය ආකෘතිය ඇතුළේම සිටිමින් ආණ්ඩුවේ උදවුවක් නැතුව ප්‍රධාන සංස්කෘතියේ විශේෂත්වය පවත්වා ගත හැකි ආකාරය ගැන ඇමරිකාව හොඳම උදාහරණයක්.

ඇමරිකන් ආණ්ඩුව ලෝකයට කෙසේ වුවත් ඇමරිකන් ජන ජීවිතයට අවම බලපෑමක් කරන ආණ්ඩුවක්. ඒ වගේම, පළමු සංශෝධනයෙන් ඇමරිකාවේ රජය හා ආගම අතර පැහැදිලි ඉරක් ඇඳ තිබෙනවා. නමුත්, අඩු වශයෙන් නත්තල් දවස ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දවසක්. ඒ වගේම, ඇමරිකාවේ ඇතැම් කාසි හා නෝට්ටු වල "ඉන් ගෝඩ් වී ට්‍රස්ට්" කියන බැලූ බැල්මටම ආගමික ස්වරූපයක් තිබෙන පාඨය මුද්‍රණය කර තිබෙනවා. මෙවැනි ඇතැම් දේ පළමු සංශෝධනයට පටහැනි බව කියමින් වරින් වර විවිධ පුද්ගලයින් හා සංවිධාන අධිකරණය වෙත ගොස් ඇති වාර ගණන බොහොමයි. එහෙත්, දිගින් දිගටම මෙන් අධිකරණයේ මතය වී ඇත්තේ මේ දේවල් වලින් කිසියම් ආගමකට විශේෂත්වයක් නොකෙරෙන බවයි.

නත්තල වෙනුවෙන් ෆෙඩරල් නිවාඩු දිනයක් ලබා දීම වාරණය කර සර්ශියෝරාරි රීට් ආඥාවක් නිකුත් කරන සේ ඉල්ලමින් රිචර්ඩ් ගැනුලින් විසින් 2001දී ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය උදාහරණයක් විදිහට පෙන්විය හැකියි. මෙහිදී අධිකරණ මතය වුණේ නත්තල මේ වන විට නිශ්චිත ආගමකට සම්බන්ධ නැති ඇමරිකන් සංස්කෘතිය හා බැඳුනු පොදු සැමරුමක් බවයි. ඒ වගේම, මුදල් නෝට්ටු වල සඳහන් "ඉන් ගෝඩ් වී ට්‍රස්ට්" පාඨය පිළිබඳ අධිකරණ මතය වී තිබෙන්නේත් භාවිතය තුළින් ඒ පාඨයේ ආගමික ස්වරූපය තනුක වී ගොස් ඇති බවයි.

මේ අධිකරණ මතය වැරදි නැහැ. නමුත්, නිවැරදිමත් නැහැ. නත්තල හා පාස්කුව සමරන්නේ කිතුණු ආගමික පසුබිමක් ඇති අය පමණක්ම නෙමෙයි. අපි අපේ දරුවන්ටත් කුඩා කාලයේදී නත්තලට නත්තල් සීයාගෙන් සේ පෙනෙන්න මොනවා හෝ තෑග්ගක් දුන්නා. පාස්කු සති අන්තයේ ඔවුන්ව බිත්තර එකතු කරන්න අරන් ගියා. ඒ දේවල් මේ වන විට පොදු ඇමරිකානු සංස්කෘතියේ කොටස්. නමුත්, කිතුණුවන් මේ දවස් වල කරන්නේ ඔය පොදු දේවල් පමණක් නෙමෙයි. ඔවුන් බොහෝ දෙනෙක් තමතමන්ගේ දේවස්ථාන වල දේව මෙහෙයන්ටත් සහභාගී වෙනවා. අධිකරණ තීන්දු ලබා දෙන්නෙත් නිරපේක්ෂ පදනමකම නෙමෙයි. තීන්දු ලබා දෙන්නේ මිනිස්සු. ඔවුන්ට කිසියම් සංස්කෘතික පසුබිමක් තිබෙනවා. ඒ නිසා, ආගම හා රාජ්‍යය වෙන් කළ විට ප්‍රායෝගිකව සිදුවන්නේ රටක ප්‍රධාන සංස්කෘතිය වඩා ඉස්මතු වීමයි.

කොහොම වුණත්, නිදහසින් පසු සිංහල බෞද්ධයන්ට, මම හිතන විදිහට උගත් සිංහල බෞද්ධයන්ට අවශ්‍ය වුණේ ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමට ලැබුණු ආකාරයේ ප්‍රමුඛතාවයක් ආණ්ඩුව හරහාම බුද්ධාගමට ලබා ගන්නයි. පොදු නිවාඩු ප්‍රශ්නයේදී මේ උවමනාව මතු වුනේ බුද්ධාගමේ විශේෂත්වය කැපී පෙනෙන තරමට බෞද්ධාගමික නිවාඩු වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ උවමනාවක් විදිහටයි. වෙනත් විදිහකින් කිවුවොත් නිදහසට පෙර ඔවුන්ට සිදු වූ නිවාඩු පාඩුව වෙනුවෙන් නිවාඩු වාඩුව ගන්නයි.

නිදහසෙන් පසු අනෙකුත් ආගමික නිවාඩු වල ලොකු වෙනසක් වුණේ නැහැ. නමුත්, බෞද්ධාගමික නිවාඩු ක්‍රමයෙන් ඉහළ ගියා. මුලින්ම, එකතු වුනේ දුරුතු හා උඳුවප් පසළොස්වක පෝය දවස්. පසුව පසළොස්වක පෝය සියල්ලම පොදු නිවාඩු බවට පත් වුණා. ඒ නමසිය පනස් හයේ බුද්ධ ජයන්තිය එක්කයි. නමුත්, වසර තුනක් යද්දී නැවතත් පෝය නිවාඩු අහෝසි කෙරුණා. එසේ අහෝසි කර රජයේ සේවකයින්ගේ අනියම් නිවාඩු ගණන 14 සිට 21 දක්වා ඉහළ දමා අවශ්‍ය කෙනෙකුට අමතර පෝය දින වලදී පෞද්ගලික නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා. මේ විදිහට පෝය නිවාඩු අවලංගු කෙරුණේ අනෙක් ආගමික උත්සව වෙනුවෙන් ලබා දෙන පොදු නිවාඩු ප්‍රමාණයට වඩා වැඩි නිවාඩු ප්‍රමාණයක් බෞද්ධයින්ට ලබා දෙන එක සාධාරණ නැති බව ආණ්ඩුව හිතපු නිසා වෙන්න ඇති.

ලංකාවේ නිවාඩු ක්‍රමයේ ලොකුම පරිවර්තනය කළේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවයි. ඔහුගේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව, ඒ වන විට අහෝසි කර තිබුණු පසළොස්වක පෝය නිවාඩු පමණක් නෙවෙයි හතර පෝයම නිවාඩු බවට පත් කළා. කාලයක් තිස්සේම තිබුණු ඉරිදා නිවාඩුව අහෝසි කෙරුණා. මේ වෙනසින් පසුව, සෙනසුරාදා ඉරිදා වෙනුවට ලංකාවේ සති අන්තය වුනේ හතර පෝය හා පෙර පෝය දවස් හතරයි. ඒ දවස් වල කලින් ඉරිදා පළවූ සිළුමිණ වගේ පුවත්පත් පළ කෙරුණේ පෝය දවස් වල. සඳුදා පළ වූ මිහිර පත්තරේ ආවේ පෝයට පසු දවසේ. සතියක් හැම විටම දවස් හතක් වුණේ නැහැ. සමහර සති වල දවස් අටයි. වැඩ කරන දවස් හයයි.

නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය පුවත වාර්තා කෙරුණු 1969 ජූලි 20 දිනය ඉරිදාවක් වුවත් එදින පෙර පෝය දිනය නිසා සිළුමිණක් වෙනුවට පළවුණේ දිනමිණක්. සිළුමිණ පළවුනේ අටවක පෝය දිනය යෙදුනු 21 සඳුදා. ඇමරිකානු අජටාකාශගාමීන් හඳ වටා රවුම් ගහද්දී, හඳ පොළොව වටා රවුම් ගහන දිහා බලාගෙන ලංකාවේ මිනිස්සු සති අන්ත ගත කළා.


මේ ක්‍රමය නිසා විවිධ ගැටළු රැසක් පැන නැගපු බව කිව යුතු නැහැ. විශේෂයෙන්ම විදේශ රටවල් සමඟ ගණුදෙනු කිරීමේදී. අඟහරුවාදා දවසකට පෝයක් වැටුණු විට සඳුදා හා අඟහරුවාදා දවස් ලංකාවේ සති අන්තය. අනෙක් බොහෝ රටවල සති අන්ත නිවාඩුව සෙනසුරාදා හා ඉරිදා. ඒ නිසා, ඇතැම් විට හදිසි වාණිජ කටයුතු දින හතරකින් කල් ගියා. 1965 අංක 17 දරණ පණතින් කළ වෙනස සමඟි පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසුව 1971 අංක 29 දරණ පණතින් නැවත ආපසු හරවා සෙනසුරාදා හා ඉරිදා දවස් නැවත සති අන්තය බවට පත් කෙරුණා. පසළොස්වක පෝය දින පමණක් දිගටම පොදු නිවාඩු දවස් වුණා.

මේ ආකාරයට 1971දී හඳුන්වා දුන් නිවාඩු ක්‍රමය අද වන තුරුත් ලොකුවට වෙනස් වී නැහැ. නිදහස ලැබෙන විට තිබුණු ක්‍රිස්තියානි ආගමික නිවාඩු දින දෙක වූ මහ සිකුරාදා දිනය හා නත්තල් දින නිවාඩුව තවමත් එළෙසම තිබෙනවා.  නමුත්, නිදහසට පෙර කාලයේදී මෙන් මේ දින ආශ්‍රිතව නිවාඩු දින වැලක් දැන් නැහැ. ජනවාරි පළමුවැනිදා දවසත් දැන් නිවාඩු දිනයක් නෙමෙයි. නිදහස ලැබෙන විට තිබුණු ඉස්ලාම් ආගමික නිවාඩු දින තුන එළෙසම තිබෙනවා. හින්දු අලුත් අවුරුදු නිවාඩුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වී දින දෙකක් වී තිබෙනවා. හින්දු ආගමික නිවාඩුවක්ව පැවති ආඩි අමාවාසෛ දින නිවාඩුව අහෝසි වී ඇතත් ඒ වෙනුවට මහා සිවරාත්‍රී හා දීපාවලි නිවාඩු දින එකතු වී තිබෙනවා. එංගලන්ත රජ පවුල හා සම්බන්ධ නිවාඩු දින අහෝසි වී කම්කරු දින හා ජාතික දින නිවාඩු එකතු වී තිබෙනවා. පසළොස්වක නිවාඩු හේතුවෙන් කලින් තිබුණු බෞද්ධාගමික නිවාඩු තුන  දහතුනක් වී තිබෙනවා. මේ අනුව, නිදහසින් පසු ලංකාවේ පොදු නිවාඩු වල සිදු වී තිබෙන ප්‍රධානම වෙනස නත්තල හා පාස්කුව ආශ්‍රිතව තිබුණු අමතර නිවාඩු අහෝසි වී පෝය දින නිවාඩු එකතු වීමයි.

ඩඩ්ලි සේනානායක රජය විසින් පෝය හතරම නිවාඩු දින බවට පත් කරන්න හේතු වුනු වාතාවරණය ගැන අදහසක් 1964 සැප්තැම්බර් මාසයේදී දවස පුවත්පතෙහි පළ කර ඇතැයි සඳහන් මඩිහේ පඤ්ඤාසීහ​ නාහිමියන්ගේ ලිපියක් කියවීමෙන් අවබෝධ කරගත හැකියි.


මඩිහේ පඤ්ඤාසීහ හිමිගේ ලිපියේ සඳහන් ඉරිදා දින නිවාඩුවත් ක්‍රිස්තියානි ආගමික නිවාඩුවක් ලෙස සැලකූ විට ක්‍රිස්තියානි ආගමික නිවාඩු දවස් 54ක්ම තිබෙනවා කියන එක පදනමක් නැති කතාවක් නෙමෙයි. හතර පෝයම නිවාඩු දින වූ වසර හය තුළ සති අන්ත වලට අමතරව බෞද්ධ නිවාඩුවක් කියා තිබුණේ වෙසක් පෝයට පසු දිනය පමණයි. නමුත්, ඇත්තටම බෞද්ධ නිවාඩු 50ක් පමණ තිබුණා. සිකුරාදා දිනය සති අන්තයට අයත් වන ඉස්ලාම් ආගමික රටවල තත්ත්වයත් එවැන්නක්.

නිවාඩු ගැන සෑහෙන්න කතා කළානේ. දැන් ඉතිං අපිත් ටික දවසකට නිවාඩුවක් ගන්නයි යන්නේ.


Sunday, May 26, 2019

ලංකාවේ ඇන්ග්ලිකන් ආණ්ඩුවේ නිවාඩු

ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ඇමරිකානු රජය හා ආගම අතර පැවතිය යුතු සම්බන්ධයේ ස්වභාවය ඉතා නිශ්චිත ලෙස අර්ථ දැක්වෙනවා. ඒ අනුව, ඇමරිකානු කොංග්‍රසයට කවර හෝ ආගමකට ප්‍රමුඛතාවය ලැබෙන, යමෙකුගේ ආගමික නිදහසට බාධා කෙරෙන හෝ හෘද සාක්ෂියේ නිදහස යටපත් කෙරෙන නීතියක් පැනවීමේ හැකියාවක් නැහැ. ඇමරිකානු රාජ්‍යය පිහිටුවන්නේම මේ ආකාරයට ආගම හා රාජ්‍යය වෙන් කරමිනුයි.

මේ ආකාරයෙන් කැමති ආගමක් ඇදහීමේ (හෝ නොඇදහීමේ) නිදහස ඇමරිකානු ව්‍යවස්ථාවෙන් තහවුරු කෙරෙද්දී ආගම් සේ සැලකුණේ විවිධ ක්‍රිස්තියානි නිකායයන් මිස බුද්ධාගම හෝ හින්දු ආගම වැනි ආසියානු ආගම් නෙමෙයි. ඒ නිසා, විවිධ ක්‍රිස්තියානු ආගම් අදහන අයට වගේම අනෙකුත් ආබ්‍රහමික ආගම් අදහන අයටත් පොදුවේ එකඟ විය හැකි ඇතැම් දේ ඇමරිකානු රාජ්‍යය තුළින් ප්‍රවර්ධනය වීමට මේ ව්‍යවස්ථා ප්‍රතිපාදනය ලොකු බාධාවක් වී නැහැ. එවැනි දේ රජය ආගමට මැදිහත්වීමක් සේ පෙනෙන්නේ බුද්ධාගම වැනි වෙනස් දාර්ශනික පදනමක පිහිටි ආගමක් අදහන අයෙකුට පමණයි. මෙවැනි යම් සීමාවන් තිබුණත්, පොදු වශයෙන් ගත් විට ඇමරිකානු රජය ආගමින් බැහැරව කටයුතු කරන රජයක්.

ඇමරිකා ව්‍යවස්ථාවට පළමු සංශෝධනය එකතු වන්නේ 1791දීයි. ඒ යුගය සැලකූ විට, මේ ආකාරයෙන් ආගම හා රජය පැහැදිලි ඉරකින් වෙන් කිරීම හිතා ගන්නත් අමාරු තරම් ඉදිරිගාමී කටයුත්තක් කියා කියන්න පුළුවන්. ඒ වෙද්දී, ඉංග්‍රීසින් ලංකාවට පැමිණ සිටියේ නැහැ. ඔවුන් ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගත්තේ ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී වසර කිහිපයකට පසුවයි. උඩරට ගිවිසුම අත්සන් කර ලංකාව මුළුමනින්ම ඉංග්‍රීසි පාලනයකට යටත් කෙරුණේ 1815දීයි.

අද අර්ථයෙන් ගත් විට ලංකාවේ ආණ්ඩුවක් පිහිටෙව්වේ ඉංග්‍රීසින් විසින් කියා කීමේ වැරැද්දක් නැහැ. මේ කටයුත්ත සම්පූර්ණ කර ගැනීමට ඔවුන්ට වසර ගණනාවක් ගත වුණා. මේ විදිහට ඔවුන් ලංකාවේ ස්ථාපිත කළේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආණ්ඩුවක්. එසේ කීම අදහස් දැක්වීමක් හෝ ප්‍රවාදයක් නෙමෙයි. නිශ්චිත කරුණක්.

ලංකාවේ පිහිටවූ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ප්‍රමුඛතාවය ලැබුණේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමටයි. එසේ නැතුව ඇමරිකාවේ මෙන් ආගම හා රජය වෙන් කිරීමක් ලංකාවේදී සිදු වුනේ නැහැ. අඩු වශයෙන් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි නොවන අනෙකුත් ආගම් වලට හෝ ආණ්ඩුවෙන් සමාන ප්‍රමුඛතාවක් ලැබුණේ නැහැ. ලංකාවේ ජීවත් වූවන් ඇදහූ විවිධ ආගම් වලට සැලකිලි ලැබුණේ කිසියම් ධුරාවලියකට අනුව බව පැහැදිලියි.

යුරෝපීයයන් පැමිණෙන්න කලින් ලංකාවේ රජුන් හිටියත්, රාජ්‍ය පාලනයක් සිදු වුවත් ඒ රාජ්‍ය පාලනයේ අත් ජනජීවිතයේ හැම මුල්ලකටම දිගු වී තිබුණේ නැහැ. නමුත්, ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රමයෙන් ශක්තිමත් වෙද්දී රටේ මිනිස්සුන්ට තවදුරටත් ආණ්ඩුවේ ග්‍රහණයෙන් මිදී සිටීමේ හැකියාවක් ඉතිරි වුණේ නැහැ.

යුද්ධ හා කැරළි අවස්ථා වලදී ඉංග්‍රීසි හමුදා වල භූමිකාව වඩා ප්‍රබල වුවත්, අනෙකුත් කාල වලදී ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ ජන ජීවිතයට බලපෑම් කලේ ඔවුන්ගේ සිවිල් සේවය හරහායි. එහි ශාඛා ගණනාවක් තිබුණා. ආගමික ශාඛාවත් (ecclesiastical branch) එයින් එකක්. එහි ප්‍රධානියා වූයේ බිෂොප් වරයායි. බිෂොප් වරයාට මෙන්ම ධුරාවලියේ ඔහුට පහළින් සිටි අනෙකුත් ඇන්ග්ලිකන් පූජකවරුන්ටත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නිශ්චිත වැටුප් හිමි වුණා.

ලංකාවේ සිවිල් සේවය ස්ථාපිත කිරීමෙන් පසුව, ඇන්ග්ලිකන් පල්ලි සැලකුණේ ආණ්ඩුවේම කොටසක් ලෙසයි. ආණ්ඩුවේ සිවිල් සේවකයෙකු ලෙස බිෂොප් වරයා (1871දී) ලැබූ පවුම් දෙදහසක වැටුප තවත් එවැනිම ඉහළ නිලධාරියෙකු වූ යටත් විජිත මහලේකම්ගේ වැටුපට සමානයි. සිවිල් සේවයේ නිලධාරීන් අතරින් ඊට වඩා වැඩි වැටුපක් හිමි වුණේ අධිකරණ ශාඛාවේ ප්‍රධානියා වූ අගවිනිසුරුට පමණයි. (සිවිල් සේවයට උඩින් සිටි ආණ්ඩුකාරවරයාගේ වැටුප මෙහිදී සලකා නැහැ.)

1886 අංක 4 දරන නිවාඩු දින පණත සම්මත කෙරෙන තුරු බෞද්ධ, හින්දු හෝ ඉස්ලාම් ආගමික උත්සව පැවැත්වෙන දින ලංකාවේ පොදු නිවාඩු දින වූයේ නැහැ. නමුත්, ක්‍රිස්තියානි නිවාඩු දින ගණනාවක්ම ලංකාවේ පොදු නිවාඩු දින සේ නම් කර තිබුණා. ඉරිදා දිනයද නිවාඩු දිනයක් වුණා. උදාහරණයක් ලෙස 1871 වසරේදී, අළු බදාදා දිනය, මහ සිකුරාදා දිනය, පාස්කුව වෙනුවෙන් දින දෙකක්, උත්ථාන දිනය හා නත්තල වෙනුවෙන් දින තුනක් වශයෙන් ක්‍රිස්තියානි ආගමික කටයුතු වෙනුවෙන් නිවාඩු දින අටක් වෙන් වී තිබුණා. රැජිනගේ උපන් දිනය හා මෞලි මංගල්‍ය සැමරුම් දින වෙනුවෙනුත්, වේල්ස් කුමරුගේ උපන් දිනය වෙනුවෙනුත් තවත් නිවාඩු දින තුනක් ලබා දී තිබුණා. මීට අමතරව ජනවාරියේදී අලුත් අවුරුදු නිවාඩුවකුත් තිබුණා.


1884 වසර වන විටත් තිබුණේ මේ නිවාඩු ටිකයි.


1886 අංක 4 දරන නිවාඩු දින පණතින් ඉහත ලැයිස්තුවට තවත් නිවාඩු දින තුනක් එකතු වුණා. ඒ, හින්දු අලුත් අවුරුද්ද, වෙසක් පසළොස්වක පෝය හා මහමදිකයන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන්. මේ පණතින් අප්‍රේල් අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දක් ලෙස මිස සිංහල අලුත් අවුරුද්දක් සේ හඳුන්වා නොතිබීම කැපී පෙනෙන කරුණක්. මීට අමතරව බැංකු නිවාඩු දින අතරට තයිපොංගල් නිවාඩුවක්ද මේ පණතින් එකතු කෙරුණා. පණත හරහා ඉංග්‍රීසින් විසින් කර තිබෙන්නේ ඇන්ග්ලිකන් ආගම ඇතුළු ක්‍රිස්තියානි ආගම් වලට ප්‍රමුඛතාවය දෙන අතරම ක්‍රිස්තියානි නොවන ආගම් වලට නොකර බැරිකමට ඉතා සුළු සැලකිල්ලක් කිරීමයි.


කොහොම වුනත්, 1880 දශකය කියන්නේ ලංකාවේ ආණ්ඩු ව්‍යුහයේ වෙනසක් සිදු වූ කාලයක්. 1886 අවුරුද්දේ වෙසක් පෝය ලංකාවේ පොදු නිවාඩු දිනයක් වුනේ හෙන්රි ස්ටීල් ඕල්කොට් වැනි අය ඒ වෙනුවෙන් සටන් කළ නිසාම නෙමෙයි. වෙසක් නිවාඩුව එක්කම මහමදිකයින්ට හජ්ජි නිවාඩුවක්, හින්දුන්ට අළුත් අවුරුදු නිවාඩුවක් හා තෛපොංගල් බැංකු නිවාඩුවක්ද ලැබීමෙන් මේ වෙද්දී බ්‍රිතාන්‍ය මහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල සිදුවූ වෙන්සක්කමක ඡායාවන් දකින්න බැරිකමක් නැහැ. ඒ වන තෙක් මිථ්‍යා දෘෂ්ඨීන් සේ හඳුනාගත් ආබ්‍රහමික නොවන ආගම් නිල වශයෙන් විකල්ප ආගම් සේ පිළිගැනීම විශාල සංකේතාත්මක වැදගත්කමක් තිබෙන කරුණක්. ආණ්ඩුව ඒ වන විටත් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආණ්ඩුවක් තමයි. නමුත්, කලින් තිබුණාට වඩා ටිකක් අඩුවෙන්.

ලොකුවට නොවුණත් ලංකාවේ ආණ්ඩුව මේ ආකාරයට නිර්-ආගම්කරණය වෙන්න පටන් ගත්තේ 1881දී පමණ සිටයි. 1870 අංක 14 දරන පනතින්, 1840 අංක 1 දරන පණතේ ඇතැම් ප්‍රතිපාදන අහෝසි කෙරුණු අතර ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආගමික අංශය ක්‍රමයෙන් දිය කර හරින්න පටන් ගැනුණා. ඒ වන සිට තනතුරු දැරූ ඇන්ග්ලිකන් පූජකයින්ට ආණ්ඩුවෙන් ගෙවූ වැටුප් ඔවුන් අදාළ තනතුරු දරන තුරු දිගටම ගෙවන්නටත්, අදාළ තනතුරු පුරප්පාඩු වීමෙන් අනතුරුව නැවත එම තනතුරු නැවත නොපුරවා සිවිල් සේවයේ ආගමික අංශය අහෝසි වී යාමට ඉඩ සැලසීමත් මේ පනතේ අරමුණ වුනා.


1881දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සුළුවෙන් වුවත් නිර්-ආගමික වෙන්න අඩියක් තිබ්බේත්, ඊට දශක නවයකට පෙර ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනයෙන් ආගම හා රාජ්‍යය වෙන් කෙරුණේත් එකම පසුබිමක නෙමෙයි. 1791 කාලයේදී බටහිර ලෝකයේ ක්‍රිස්තියානි ආගම් ආශ්‍රිත දැනුම සැලකුණේ භෞතික විද්‍යාව හා ගණිතය වැනි කිසියම් ආකාරයක නවීන දැනුමක් ලෙසයි. බුද්ධාගම වැනි ආගම් ක්‍රිස්තියානියට විකල්ප දැනුම් සේ සැලකුනේ නැහැ. ඇමරිකාව ආගම් හා රජය වෙන් කිරීමෙන් කළේ ක්‍රිස්තියානි ආගමික දැනුම ඉදිරියට ගෙන ගිය විවිධ පාර්ශ්ව වලට වඩා නිවැරදි දේ සොයා ගැනීමට ඉඩ සලසමින් ආණ්ඩුව පැත්තක් නොගෙන සිටීමයි. ඒ වෙද්දී විද්‍යාව හමුවේ ක්‍රිස්තියානි ආගම් පසුබෑමට ලක් වී තිබුණේ නැහැ.

නමුත්, 1880 වන විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර යුරෝපයේ මේ තත්ත්වය වෙනස් වෙලා ක්‍රිස්තියානි ආගම් වලට අනෙකුත් නවීන දැනුම් එක්ක ඉදිරියට යන්න බැරි තත්ත්වයක් ඇති වී අවසන්. ඒ නිසා, ලංකාවේ සිවිල් සේවයේ අධිකරණ, වෛද්‍ය, විද්‍යාත්මක ආදී අනෙකුත් ශාඛා එක්ක ආගමික ශාඛාවේ නොගැලපීමක් ඇති වී තිබුණා. විද්‍යාත්මක දැනුමක් ලෙස නොසලකා විශ්වාස මත පදනම් වූ දැනුමක් ලෙස පමණක් සලකා ඇන්ග්ලිකන් ක්‍රිස්තියානියට තැනක් දෙන ස්ථාවරයකට ඉංග්‍රීසි ආණ්ඩුව තල්ලු වුනාට පස්සේ එවැනි පදනමකින් ක්‍රිස්තියානි නොවන වෙනත් ආගමක් අදහන අයෙකුට නිවාඩුවක් දීමේ සෛද්ධාන්තික ගැටලුව අහෝසි වී ගියා. ලංකාවට 1886 සිට වෙසක්, අවුරුදු හා හජ්ජි නිවාඩු ලැබුණේ ඒ නිසයි.

Tuesday, April 2, 2019

අර්ධ


වෙනදා වගේම ඊයෙත් ගෙදර ආපු ගමන් කෙළින්ම ගියේ පරිගණකයට. සේවා ස්ථානයේ කාර්යාල කාමරයේ සිට නිවසේ කාර්යාල කාමරය දක්වා එන්න ගතවන කාලය තුළ ලැබී තිබෙන්නට ඉඩ තිබෙන කාල-සංවේදී විද්‍යුත් ලිපි ගැන ගෙදර පැමිණි වහාම සොයා බැලීම මගේ පුරුද්දක්.

ගෙදරින් යන කොට හොඳින් වැඩ කළ පරිගණකයේ මූසිකය දැන් වැඩ කරන්නේ නැහැ. පරිගණකය අක්‍රිය කර නැවත ක්‍රියා කළත් වෙනසක් නැහැ. මූසිකය මධ්‍යම සැකසුම් ඒකකයෙන් ගලවා නැවත සම්බන්ධ කළත් තත්ත්වය එසේමයි.

මේ සතිය අපේ දරුවන්ට නිවාඩු සතියක්. ගෙදර සිටින ඔවුන්ගෙන් කෙනෙක් හෝ බිරිඳ මගේ පරිගණකය භාවිතා කළා වෙන්න පුළුවන්. ඔවුන් සියල්ලන්ටම තම තමන්ගේ ලැප්ටොප් පරිගණක තිබුණත් මගේ පරිගණකයට එන වෙලාවල් තියෙනවා.

බිරිඳගෙන් විමසුවත් ඈ කියන විදිහට මා නිවසේ නැති අතරේ ඈ හෝ දරුවෙකු මගේ පරිගණකය භාවිතා කර නැහැ. එහෙමනම් මූසිකය වැඩ නොකරන්නේ ඇයි?

තවත් හොඳින් සොයා බලද්දී පෙනුණේ මූසිකය යට ලේසර් සෙන්සරය වැහෙන පරිදි ටේප් කෑල්ලක් ඇලී ඇති බවයි. මෙවැන්නක් අහම්බෙන් වෙන්න බැරිකමක් නැතත්, ඔය වගේ පොඩි ටේප් කෑල්ලක් ලියන මේසය උඩ තියෙන්න හේතුවක් නැහැ. මෙය කවුරු හෝ විසින් හිතාමතාම කළ දෙයක්.

අපේ පොඩි එකා සමහර වෙලාවට ඔය වගේ ගොන්පාට් වැඩ කරනවා. සමහර අය අදහස් වාරණය කරන්න කරන බොළඳ වැඩ වගේ මූසිකයේ සෙන්සරය වසා මා ලියන එක නවත්වන්නවත් හිතුවද? ඔවුන් ගෙදර ඉන්න සතියේවත් පරිගණකය අමතක කර ඔවුන් එක්ක වැඩි කාලයක් ගෙවිය යුතුයි කියා සිතා එහෙම කළානම් වැරැද්දක් කියන්නත් බැහැ.

පොඩි එකා ගෙන්නලා ඇහුවහම පොර හිනාවෙනවා.

"මතක නැද්ද අද අප්‍රේල් පළමුවැනිදා!"

ගොඩක් දෙනෙක් අප්‍රේල් පළමුවැනිදාට ඔය වගේ ගොන්පාට් එකක් කරනවා. හැබැයි අප්‍රේල් පළමුවැනිදාට කරන හැමදෙයක්ම ගොන්පාට් ගොඩට දමන්න බැහැ.

ඊයේ පොල්ගහවෙල මහේත්ත්‍රාත් අධිකරණය විසින් ශක්තික සත්කුමාර නමැත්තෙකු විසින් ලියන ලද කෙටිකතාවක් හේතුවෙන් ඔහුව අප්‍රේල් 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වී තිබෙනවා. අප්‍රේල් විහිළුවක් වෙන්න බැහැ.

අප්‍රේල් පළමුවැනිදාවක ලංකාවේ අධිකරණයක් විසින් ලබා දී තිබෙන මේ නියෝගය නිසා මේ වන විට අදාළ කෙටි කතාවට විශාල ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා. මමනම් මේ ලේඛකයා ගැන දැන ගත්තෙත් මේ සිද්ධියෙන් පසුවයි. අදාළ කෙටිකතාව රසිකොලොජියේ හා තවත් තැන් වල සම්පූර්ණයෙන්ම පළ කර තිබෙනවා.

ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately

ට්‍රාන්සිල්වේනියා වියුණුවට අනුව මේ උසාවි තීන්දුව ලබා දී තිබෙන්නේ ICCPR නම් පනත අනුවයි.

කෙටි කතාවක් ලිවීම නිසා ලේඛකයා රිමාන්ඩ්

මොකක්ද මේ ICCPR නම් පනත?

මේ කියන්නේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත ගැනයි. ඒ ගැන කතා කරන්න කලින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ගැන කතා කළ යුතුයි.

නමින්ම කියවෙන පරිදි මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්. අදාළ සම්මුතිය කෙටුම්පත් කිරීමෙන් අනතුරුව 1966 දෙසැම්බර් 16 දින සාමාජික රටවල් වලට අත්සන් තැබීම පිණිස විවෘත කෙරුණු අතර 1976 මාර්තු 23 දින සිට ජාත්‍යන්තර සම්මුතියක් ලෙස බලාත්මක කෙරුණා. 1980 ජූනි 11 දින ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තැබුවා.

ඉහත සම්මුතියට අත්සන් තබා ඇති රටවල් විසින් එම සම්මුතිය අදාළ රට තුළ ක්‍රියාත්මක කෙරෙන පරිදි නීති සම්පාදනය කළ යුතුයි. සම්මුතියට අත්සන් තබන විටත් ලංකාවේ නීති පද්ධතිය තුළ සම්මුතියේ බොහෝ කරුණු ආවරණය වුණා. 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත 2007 නොවැම්බර් 16 දින සම්මත කර ගැනුණේ එසේ ලංකාවේ නීතියෙන් නිසි පරිදි ආවරණය නොවූ දෑ ආවරණය කරගනු පිණිසයි.

මා හිතන ආකාරයට ශක්තික සත්කුමාරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ අදාළ පණතේ තෙවන වගන්තියේ ප්‍රතිපාදන අනුව විය යුතුයි. එය මෙවැන්නක්.

3(1) කිසිම තැනැත්තෙකු විසින්, යුද්ධය පැතිරවීමට හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය. 

(2) (1) වන උපවගන්තියේ සඳහන් වරදක්-
(අ) සිදු කිරීමට තැත්කරන;
(ආ) සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන; හෝ 
(ඇ) සිදුකරන බවට තර්ජනය කරන,

සෑම තැනැත්තෙක්ම මේ පණත යටතේ වූ වරදකට වරදකරු වන්නේය.

මෙහි ඊළඟ උපවගන්ති අනුව, මහාධිකරණයක් විසින් මෙහි සඳහන් වරදකට වරදකරු කරන අයෙකුට බරපතල වැඩ ඇතිව දසවසරකට නොවැඩි සිර දඬුවම් ලබා දිය හැකියි. ඒ වගේම මෙය නීතිය අනුව ඇප දිය නොහැකි වරදක්. මහාධිකරණය විසින් අනෙක් නඩු කල් තබා මෙවැනි නඩුවක් වහාම විභාගයට ගත යුතු අතර නඩු විභාගය අවසන් වන තුරු කල් නොතබා දිගටම නඩුව ඇසිය යුතුයි.

ඉහත සඳහන් අදාළ පණතේ තෙවන වගන්තිය පාදක වෙන්නේ ජාත්‍යන්තර සම්මුතියේ 20වන වගන්තිය මතයි. එය මෙවැන්නක්.

Article 20

1. Any propaganda for war shall be prohibited by law.

2. Any advocacy of national, racial or religious hatred that constitutes incitement to discrimination, hostility or violence shall be prohibited by law.

20 වගන්තිය

1. යුද්ධය වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම ප්‍රචාරණයක් නීතියෙන් තහනම් විය යුතුය.

2. වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට පොළඹවමින් ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම වෙනුවෙන් පෙනී සිටීම නීතියෙන් තහනම් විය යුතුය.

මේ අනුව ලංකාවේ පණතේ 3(1) වගන්තිය ජාත්‍යන්තර සම්මුතියේ 20 වගන්තිය සමඟ සෑහෙන තරමකින් ගැලපෙනවා. නමුත්, මෙහිදී ජාත්‍යන්තර සම්මුතියේ 19 වගන්තියේ සඳහන් කරුණු දෙසත් බැලීම වැදගත්.

Article 19

1. Everyone shall have the right to hold opinions without interference.

2. Everyone shall have the right to freedom of expression; this right shall include freedom to seek, receive and impart information and ideas of all kinds, regardless of frontiers, either orally, in writing or in print, in the form of art, or through any other media of his choice.

3. The exercise of the rights provided for in paragraph 2 of this article carries with it special duties and responsibilities. It may therefore be subject to certain restrictions, but these shall only be such as are provided by law and are necessary:

(a) For respect of the rights or reputations of others;

(b) For the protection of national security or of public order (ordre public), or of public health or morals.

ඉහත වගන්තියේ අරමුණ බාධාවකින් තොරව අදහස් පළ කිරීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේ වුවත් එම වගන්තියෙන්ම අදාළ නිදහස භුක්ති විඳීමේදී අමතක නොකළ යුතු සීමාවන් පිළිබඳවද සඳහන් වෙනවා. ඒ අනුව, කිසියම් අදහස් පළ කිරීමක් නිසා වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් වලට හෝ ගරුත්වයට හානි වන අවස්ථා වලදීත්, ජාතික ආරක්ෂාවට, රටේ නීතිය හා සාමයට හෝ මහජන සෞඛ්‍යට හානිකර වන විටකදීත් එසේ අදහස් පළ කිරීමේ නිදහස සීමා වෙනවා.

සම්මුතියේ 19 වන වගන්තියේ මූලික අරමුණ වන්නේ භාෂණයේ නිදහස තහවුරු කිරීම බව ඉතා පැහැදිලියි. මේ නිදහසේ සීමාවන් ගැන සඳහන් වන්නේ ව්‍යතිරේඛ ලෙසයි. 20 වන වගන්තියෙන් විස්තර කෙරෙන්නේ ඒ ව්‍යතිරේඛ පිළිබඳවයි. ලංකාවේ නීතියේ තිබෙන්නේ දළ වශයෙන් එකම කරුණු වුනත්, එහිදී භාෂණයේ නිදහස යන්නට ප්‍රමුඛතාවය දී ඉහත කී ව්‍යතිරේඛ තත්ත්වය ගැනද කියනවා වෙනුවට ව්‍යතිරේඛ වලට ප්‍රමුඛතාවයක් ලබා දී ඇති සෙයක් පෙනෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ නීතියේ මූලික කාර්ය භාරය අදාළ තත්ත්වයන් යටතේදී භාෂණයේ නිදහස සීමා කිරීම බවට පත්ව තිබෙනවා.

ශක්තික සත්කුමාර සිද්ධියේදී මහේත්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර ඇති ආකාරයේ නීතිමය වරදක් පෙනෙන්න නැහැ. මෙවැනි සංඥය වරදකට පොලීසිය විසින් යමෙක්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුව මහාධිකරණයට ඉදිරිපත් කරන තුරු ඇප දීමේ හැකියාවක් නැති බව මගේ අදහසයි. නීතිය පොඩ්ඩක් ඉගෙනගෙන තිබුණත් මා නීතිඥයෙකු නෙමෙයි. මා වැරදි වෙන්න පුළුවන්.

ලංකාවේදී යමෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම කියන්නේම ලොකු දඬුවමක්. පෙනෙන විදිහට මේ වගේ චෝදනාවක් ඉදිරිපත් වූ අවස්ථාවකදී නීතිය අනුව සිදුවිය යුතු සාමාන්‍ය දෙය එයයි. මගේ අදහස අනුව මෙහි තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක් මිස නීතිය ක්‍රියාත්මක වී ඇති ආකාරයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මෙය ඉදිරියේදී තවත් මෙවැනි නඩු ගොනු වීමට පූර්වාදර්ශයක් සපයන්න පුළුවන්. එවැනි නඩු විවිධ පැති වලට කැරකෙන්න පුළුවන්. භාෂණයේ නිදහස පිළිබඳව වගේම ලංකාවේ දේශපාලනික තත්ත්වයන්ද සැලකූ විට එහි විශාල අනතුරක් තිබෙනවා.

Saturday, March 30, 2019

පොලීසියට රතු එළියක්!


පසුගිය 2018 අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙන් කියා මා ඒ දවස් වල ලිවුවා. ඒ රතු එළිය නොතකා ධාවනය කිරීම පිළිබඳව චෝදනාවක් ලැබීමෙන් පසුව අදාළ පොලිස් නිලධාරියාගේ නිගමනයට අභියෝග කරන්නට මා තීරණය කළ නිසයි. ඒ තීරණයෙන් පාඩුවක් වුනේ නැහැ. අදාළ ලිපිය නොකියැවූ හා අමතක අය වෙනුවෙන් ලින්ක් එකක් පහත තියෙනවා.

දඩ කොළය සමඟ උසාවියට...

ලංකාවේදීත් එසේ පොලිස් නිලධාරියෙකුගේ දඩ කොළයකට අභියෝග කර ඇති අවස්ථාවක් ගැන අද දැනගන්නට ලැබුණා. මෙය සිදුව තිබෙන්නේ වසර හයකට පෙරයි. (මෙවැනි අවස්ථා තවත් ඕනෑ තරම් ඇති!)

මෙසේ පොලීසියට අභියෝග කර තිබෙන්නේ තලංගම කොස්වත්තේ රවීන්ද්‍ර ලසන්ත පතිනායක නම් අයෙක්. අදාළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවේ (SC. FR. No. 367/10) දළ සිංහල පරිවර්තනයක් පහත තිබෙනවා. මේ නඩු තීන්දුවේ සාරාංශයක්  සිංහලට පරිවර්තනය කර බෙදා හැර තිබුණේ නීතිඥ මාධව ලොකුසූරිය විසිනුයි. ඔහුට ස්තුති කරමින් ඔහුගේ පරිවර්තනය සුළු සංශෝධන සහිතව පහත පළ කෙරෙනවා.

රතු එළිය නොසලකා ධාවනය කිරීම නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

රවීන්ද්‍ර ලසන්ත පතිනායක එදිරිව පොලිස්පති ඇතුළු තවත් අය

අධිකරණය :- ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය

නඩු අංකය :- මූලික අයිතිවාසිකම් (FR 367/10)

විනිසුරු මණ්ඩලය :- ගරු ශිරාණි තිලකවර්ධන, ගරු ශ්‍රී පවන් සහ ගරු ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල

තීන්දුව ප්‍රකාශිත දිනය :- 03-05-2013

තීන්දුව කෙටියෙන්

මෙම නඩුවේ පෙත්සම්කරු වන රවීන්ද්‍ර ලසන්ත පතිනායක යන අය වර්ෂ 2010 මැයි 22 දින පෙරවරු 10:15ට පමණ WP-PA 5709 දරන සිය මෝටර් රථය කොල්ලුපිටියේ සිට ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ හෝර්ටන් පෙදෙස දක්වා ධාවනය කරමින් සිටියේය. හෝර්ටන් පෙදෙස හතර මං හන්දියේදී රතු සංඥාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු සිය වාහනය එහි නතර කළේය. එසේ සිය වාහනය නැවැත්වූ වහාම අදාළ මංසන්ධියේ රථවාහන හසුරුවමින් රාජකාරීයේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් දර්ශන (PC 38832) විසින් වාහනය දිගටම ඉදිරියට ධාවනය කරන සේ ලබාදුන් හස්ත සංඥාව අනුව රතු එළිය නොසලකා පෙත්සම්කරු සිය වාහනය ඉදිරියට ධාවනය කළේය. කොළඹ නගරයේ රථවාහන තදබදය වැඩි වූ අවස්ථාවක රථවාහන ආලෝක සංඥා නොසලකා එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාගේ සංඥා අනුව වාහන ධාවනය කිරීම සාමාන්‍ය සිදුවීමකි.

කෙසේ නමුත් රතු එළිය නොසලකා පොලිස් නිලධාරියාගේ අණකිරීම මත පෙත්සම්කරු සිය වාහනය ධාවනය කළද, මංසන්ධිය පසුකරනවාත් සමගම ඉදිරියේ වූ පොලිස් රථවාහන අංශයට අයත් සුදු පැහැති මෝටර් රථයක සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පෙත්සම්කරුගේ වාහනය නවත්වා රතු එළිය නොතකා රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගත්තේය. එම රථයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එවකට කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සාජන්ට් බණ්ඩාර (26433) සහ පොලිස් කොස්තාපල් තෙන්නකෝන් (30032) යන අයයි.

පෙත්සම්කරු මංසන්ධියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ අණකිරීම මත සිය වාහනය ධාවනය කල බව පෙර කී නිලධාරීන් වෙත ප්‍රකාශ කළද එය ඇසීමට මෙම නිලධාරින් දෙදෙනා කාරුණික නොවීය. එකී නිලධාරීන් දෙදෙනා විසින්  පෙත්සම්කරුගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගැනීමෙන් පසුව  වර්ෂ 2010-05-22 දින සිට 2010-06-01 දින දක්වා දින 11 ක කාලයකට පමණක් වලංගු තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කළේය. උසාවි දිනය 2010-06-10 ලෙස එකී බලපත්‍රයේ සඳහන් වුවද, අදාල අධිකරණය පිළිබඳව දැනුම් දීමක් කර නොතිබුණේය. අදාළ දඩකොළය පොලිස් ස්ථානයෙන් ලබා ගෙන දඩය ගෙවන ලෙසට මේ පොලිස් නිලධාරීන් දෙදෙනා පෙත්සම්කරුට අණ කළේය.

පසු දින දඩ කොළය ලබා ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ගිය පෙත්සම්කරු අදාළ දඩය නොගෙවා තමන්ට සිදුවූ අසාධාරණය හා අදාළ පහත කරුණු පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළේය. එනම්,

1. පොලිස් නිලධාරියාගේ සංඥා මත වාහනය ඉදිරියට ධාවනය කිරීම,

2. තාවකාලික රියදුරු බලපත්‍රය දින 14 ක කාලයකට ලබා දිය යුතු වුවත්, දින 11 කට පමණක් ලබා දීම,

3. දින 11 ඉක්ම යාමෙන් පසුව අධිකරණ දිනය තෙක් සිය රථය ධාවනය කිරීමට නොහැකි වීම,

4. ඉහත 2 සහ 3 හේතු මත තාවකාලික රියදුරු බලපත්‍රය සංශෝධනය කර දෙන මෙන් ඉල්ලා සිටීම.

කෙසේ නමුත් පෙත්සම්කරුගේ අරමුණ ඉටු නොවීය.ඉන්පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු විය. නමුත්, සාධාරණය ඉටු නොවීය. මේ අනුව, අධිකරණය වෙත ගොස් සහනයක් ඉල්ලා සිටීමට පෙත්සම්කරු තීරණය කළේය.

ඉන්පසුව, පෙත්සම්කරුට එරෙහිව කොළඹ රථවාහන අධිකරණයේ නඩු අංක 59586/7 යටතේ නඩු පවරන ලදී. නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

ඉහත කී නඩුව පවතින අතරතුර, පෙත්සම්කරු විසින් නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ පෙර කී පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය. මෙහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත කරුණු සලකා බැලීය.

1. තාවකාලික බලපත්‍රය මෝටර් රථ පනතේ 135(4) වගන්තියට පටහැනිව නිකුත් කොට තිබීම,

2. මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් සාක්ෂි වලට පටහැනි ලෙස මෙම නඩුවේ වගඋත්තරකරුවන් විසින් කරුණු ඉදිරිපත් කිරීම.

ඒ අනුව, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව පෙත්සම්කරුගේ වාසියට ලබා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) අනුව්‍යවස්ථාවෙන් තහවුරුකොට ඇති නීතිය ඉදිරියේ සම රැකවරණය යන මූලික අයිතිය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් කඩකොට ඇති බවට තීරණය කරමින් රුපියල් 175,000ක වන්දි මුදලක් වගඋත්තරකරුට ගෙවන ලෙසටත් එකී මුදල් අදාළ පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවටත්, ඊට අමතරව රුපියල් 10,000ක නඩු ගාස්තුවක්ද ගෙවිය යුතු බවත් එකී සියලු මුදල් මාස තුනක් ඇතුළත ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි.

Saturday, March 9, 2019

දෙකට බෙදෙන්නට යන ලොකුම සල්ලි කන්ද


දෙවසරකට පමණ පෙර ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමහර අය තවමත් දිගින් දිගටම උපුටා දක්වනවා. මේ ගැන මම මීට පෙරත් වරින් වර කතා කර තිබෙනවා. මේ සංඛ්‍යාලේඛණය අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමානයි.

ඔය සංඛ්‍යාලේඛණය ප්‍රසිද්ධ කරන කාලයේ ලැයිස්තුවේ ඉහළින්ම හිටියේ බිල් ගේට්ස් වුවත්, දැන් ලෝකයේ ලොකුම ධනවතා ජෙෆ් බෙසෝස්. ඇමසන් සමාගමේ නිර්මාතෘ වන ජෙෆ්ට මේ වන විට එම සමාගමේ කොටස් මිලියන 78.8ක් පමණ අයිතියි. අද (මාර්තු 8) දිනය අවසන් වෙද්දී ඇමසන් කොටසක් විකිණුනේ ඩොලර් 1620.80 බැගිනුයි. මේ කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 127.7ක් පමණ වෙනවා. ඔහු සතු වෙනත් වත්කම්ද ඇතුළුව, අද දිනය අවසන් වන විට ජෙෆ් බෙසෝස් සතු වූ මුළු වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 134.4ක්.

ප්‍රින්ස්ටන් සරසවියෙන් පරිගණක විද්‍යා හා විදුලි ඉංජිනේරු උපාධිධරයෙකු සේ පිටවීමෙන් පසුව, 1994දී ඇමසන් සමාගම ආරම්භ කරන්නට පෙර, ජෙෆ් රැකියා කිහිපයක්ම කළා. 1993 වසරේදී මැකෙන්සි ටට්ල් සමඟ විවාහ වන විට ජෙෆ් වගේම මැකෙන්සිත් සේවය කරමින් හිටියේ නිවුයෝර්ක්හි ආයෝජන කළමණාකරණ සමාගමකයි. එම වසරේදී අන්තර්ජාල පරිශීලනයේ සිදුවූ ඇදහිය නොහැකි තරම් ඉහළ වර්ධන වේගය ජෙෆ්ට ඇමසන් වැනි ව්‍යාපාරයක් අරඹන්න පෙළඹුමක් ඇති කර තිබෙනවා.

ජෙෆ් මුලින්ම ඇමසන් සමාගම පටන් ගන්නේ ඔහුගේ නිවසේ ගරාජයේ සිටයි. තමන් ඉතිරි කරගත් ඩොලර් 10,000ක මුදල් යොදවමින් 1994 ජූලි 5 වෙනිදා ජෙෆ් ඔහුගේ බිරිඳ මැකෙන්සිවත් හවුල් කර ගනිමින් මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඇමසන් සමාගම කියා ලිවුවත් මුලින්ම මේ සමාගම හැඳින්වුණේ ඇමසන් නමින් නෙමෙයි. කඩබ්‍රා ලෙසයි. ඇමසන් ලෙස නම වෙනස් කරන්නේ 1995දී.

මුලින්ම මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිණිස මුදල් ආයෝජනය කළ පිරිස අතරින් ජෙෆ්ගේ දෙමවුපියන් දෙදෙනා කැපී පෙනෙනවා. ඔවුන් විසින් මෙසේ යොදවන්නේ ඔවුන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් එකතු කරගෙන තිබූ ඩොලර් 245,573ක මුදලකුයි. අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් නොදන්නා ජෙෆ්ගේ දෙමවුපියන් තමන් ජීවිත කාලයක් තිස්සේ එකතු කරගත් මුදල් ජෙෆ්ට දෙන්නේ තමන්ගේ පුතා ගැන තිබෙන විශ්වාසය මතයි. ඒ මුදල් නැති වෙන්න 70%ක පමණ ඉඩක් ඇති බව ජෙෆ් ඔවුන්ට පැවසූ බව සඳහන්.

වසරකට පෙර මිය ගිය මගේ පියා ජීවත්ව සිටියදී රජයේ රැකියාවක් කළ අයෙක්. මට මතක ඇති කාලයේ සිටම ඔහුගේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කයක් වුනේ ඔය රස්සාව පරිස්සම් කර ගැනීමයි. ඔහු බොහෝ වර ඒ බව කෙළින්ම කියා තිබෙනවා. යම් හෙයකින් කරමින් හිටපු රස්සාව නැති වුනානම් රස්සාවෙන් ඉපැයූ පමණ ආදායම් ඉපැයිය හැකි වෙනත් දෙයක් කිරීමේ හැකියාවක් නොතිබුණු බව ඔහු විශ්වාස කරන්න ඇති. ඔහු අකුරටම නීතිය පිළිපැදපු කෙනෙක්. එහෙම කළේත් රස්සාව නැති කරගන්න තිබුණු බය නිසා මිසක් යුක්තිගරුක හෝ ප්‍රතිපත්තිගරුක වූ නිසාම නෙමෙයි. නීතියට වෙට්ටු දැමිය හැකි අවස්ථා වලදී ඔහු ඒ සඳහා පැකිළුනේ නැහැ.

කුඩා කාලයේ මා ඇසුරු කළ බොහෝ වැඩිහිටියන් විශ්‍රාම වැටුප් සහිත ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක් දිහා බැලුවේ ජීවිතය ජයගත් කෙනෙක් විදිහටයි. ලංකාවේ වෙනත් ගොඩක් අය වගේම මුල් කාලයේදී මගේ ඉලක්කය වුණෙත් ඔය ආකාරයේ ස්ථිර රස්සාවක්. විශ්‍රාම වැටුප් වරප්‍රසාද රහිත රැකියාවක් කර ජීවිතයේ අවසන් කාලය ගෙවන්නේ කොහොමද කියන එක ඒ කාලයේ මට විශාල ප්‍රහේලිකාවක්.

ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සා කරන අය වැඩිපුර නැහැ. වෙනත් රැකියා කරන බොහෝ දෙනෙක් විශ්‍රාම දිවිය ගෙවීම සඳහා අවශ්‍ය පමණ මුදලක් රැකියා කරන කාලයේදී ඉතිරි කර ගත යුතුයි. නිදහසේ විශ්‍රාම ගත හැක්කේ මේ විදිහට ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගෙන ඇත්නම් පමණයි. රැකියා කරන කාලයේදී සමාජ සංරක්ෂණ බදු සේ අයකරගන්නා මුදල් වලින් විශ්‍රාම වැටුපක් ලැබුණත් එය ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් නෙමෙයි.

බොහෝ ඇමරිකානුවන් රැකියා කරන කාලයේදී කිසියම් මුදලක් විශ්‍රාම වැටුප් අරමුදලකට බැර කරනවා. මෙවැනි අරමුදල් කළමනාකරණය කරන සමාගම් ඒ මුදල් මුලදී කොටස් වෙළඳපොළේත්, විශ්‍රාම වයස ආසන්න වෙද්දී බැඳුම්කර වලත් ආයෝජනය කර අවදානම හා ගලපමින් හැකි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන්න උත්සාහ කරනවා. විශ්‍රාම යාමෙන් පසුව මේ විදිහට ඉතිරි කරගත් මුදල් වලින් කිසියම් මුදලක් මාස්පතා ආපසු ගැනීමෙන් රැකියා කරන කාලයේ පවත්වාගත් ජීවන තත්ත්වය ඒ විදිහටම හෝ ආසන්න මට්ටමක පවත්වා ගන්න පුළුවන්.

ඇමරිකානුවන්ගේ විශ්‍රාම ඉතිරි කිරීම් මුල් කාලයේදී කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ එහි ප්‍රතිලාභ බැඳුම්කර ප්‍රතිලාභ වලට වඩා කිහිප ගුණයකින්ම වැඩි නිසයි. නමුත්, විශ්‍රාම යන්න කිට්ටුව මේ අරමුදල් කොටස් වෙළඳපොළ ආයෝජන වලම රඳවා තැබීම අවදානම අධික කටයුත්තක්. කොටස් වෙළඳපොළ කඩා වැටුණොත් එය විශ්‍රාම ජීවිතයට විශාල සේ බලපානවා.

ජෙෆ් බෙසෝස්ගේ දෙමවුපියන් තමන්ගේ විශ්‍රාම දිවිය ගෙවන්න කාලයක් තිස්සේ එකතු කරගත් අරමුදල් ජෙෆ්ගේ ව්‍යාපාරය වෙනුවෙන් යෙදවීමෙන් විශාල අවදානමක් ගෙන තිබෙනවා. ඔවුන් එසේ කර තිබෙන්නේ විශාල මුදල් ලාභයක් ලැබීමේ අරමුණින්ම නෙමෙයි. ජෙෆ් පටන්ගන්න යන ව්‍යාපාරයේ ස්වභාවය ගැන පමණක් නෙමෙයි අඩු වශයෙන් අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් ඔවුන් දැන සිට නැහැ. මේ අවදානම ඔවුන් විසින් ගන්නට ඇත්තේ තමන්ගේ පුතා පිළිබඳ වූ විශ්වාසය මත හෝ ඔහුගේ අභිවෘද්ධිය පිණිස දරුවා කෙරෙහි වූ ආදරය මත පදනම්ව විය යුතුයි. එසේ කිරීමෙන් අර අවදානම ඉක්මවන සතුටක් ඔවුන් ලබන්න ඇති.

වසර කිහිපයක් පුද්ගලික සමාගමක් සේ ක්‍රියාත්මක වූ ඇමසන් සමාගම 1997 මැයි 15 වෙනිදා පොදු සමාගමක් බවට පත් වෙනවා. කොටස් වෙළඳපොලේ අළෙවිකරන සමාගම් කොටස් මිලියන 3ක් එක් කොටසක් ඩොලර් 18 බැගින් අලෙවි වෙනවා.

මේ වෙද්දී ඇමසන් සමාගම විසින් කොටස් 23,858,702ක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ජෙෆ් බෙසෝස් ඇතුළු මුල් අයිතිකරුවන් අතේ කොටස් 20,858,702ක් තිබෙනවා. ඇමසන් සමාගම (හෝ වෙනත් සමාගමක්) පොදු සමාගමක් වන විට ඒ මුල් කොටසක වෙළඳපොළ වටිනාකම කුමක්ද කියා නිශ්චිතව තීරණය වෙනවා. ඒ වගේම සමාගමේම වෙළඳපොළ වටිනාකමත් දැනගන්නට ලැබෙනවා. එක් කොටසක් ඩොලර් 18ක් සේ සැලකූ විට මේ වෙද්දී සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 430ක් පමණ වුණා.

මේ වන විට නිකුත් කර තිබෙන ඇමසන් කොටස් ප්‍රමාණය මිලියන 491.2ක්. ඒ සියළු කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 796ක්. මුළු කොටස් ප්‍රමාණයෙන් 16%ක පමණ හිමිකම තවමත් තිබෙන්නේ ජෙෆ් බෙසෝස්ටයි.

ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන්නට පෙර සමාගමේ කොටස් වලින් 48.3%ක, එහෙමත් නැත්නම් කොටස් 9,885,000ක හිමිකරු වුනේ ජෙෆ් බෙසෝස්. පොදු සමාගමක් බවට පත් වීමෙන් පසුව මුල් වසර කිහිපය ඇතුළත ඇමසන් කොටසක් 1:2, 1:3 හා 1:2 ලෙස තෙවරක් විභේදනය කරනු ලැබ ඇති නිසා මේ කොටස් ප්‍රමාණය සමාන කළ හැක්කේ වත්මන් ඇමසන් කොටස් මිලියන 118.62කටයි. නමුත්, මේ වන විට ජෙෆ්ගේ ඇමසන් කොටස් හිමිකම කොටස් මිලියන 78.8කට සීමා වන නිසා ඔහු තමන් සතු වූ ඇමසන් කොටස් වලින් තුනෙන් එකක් පමණ වරින් වර විකුණා ඇති බව පැහැදිලියි.

දෙමවුපියන් කියා කිවුවත් ජෙෆ් බෙසෝස්ගේ නීත්‍යානුකූල පියා වන මිගෙල් (මයික්) බෙසෝස් ජෙෆ්ගේ ජීවවිද්‍යාත්මක පියා නෙමෙයි. ඔහුගේ ජීවවිද්‍යාත්මක පියා ටෙඩ් ජෝගන්සන්. ජෙෆ් ඉපදෙන කොට ටෙඩ් ජෝගන්සන් අවුරුදු දහනවයක ගැටවරයෙක්. ජෙෆ්ගේ මව ජැකලයින් (ජැකී) වසර 17ක පාසැල් සිසුවියක්. ජෙෆ් ඉපදෙන විට ඔවුන් විවාහ වී හිටියත් ඒ විවාහය මාස 17කට සීමා වෙනවා. කොහොම වුනත් ජෙෆ්ගේ මුල් නම ජෙෆ් ජෝගන්සන්.

ටෙඩ්ගෙන් දික්කසාද වන ජැකී ඉන්පසුව කියුබාවෙන් පැමිණි සංක්‍රමණිකයෙකු වූ මයික් බෙසෝස් සමඟ විවාහ වෙනවා. මයික් ජෙෆ්ගේ නීත්‍යානුකූල පියා බවට පත් වෙනවා. ඒ අනුව, ජෙෆ් ජෝගන්සන් ජෙෆ් බෙසෝස් වෙනවා. ටෙඩ් ජෝගන්සනුත් වෙනත් කාන්තාවක් විවාහ කරගෙන බයිසිකල් පාට් කඩයක් කරගෙන වෙනම පළාතක ජීවත් වෙනවා. ජෙෆ්ට අවුරුද්දක් පමණ කාලයේදී ජෙෆ්ගෙන් හා ජැකීගෙන් වෙන්වන ඔහුට මිය යන තුරුම අඩු වශයෙන් ජෙෆ්ව හමුවෙන්න හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් තමන්ගේ එකම දරුවා ලොකු තැනක ඉන්න බව අන්තිම කාලයේදී ඔහුට දැනගන්න ලැබී තිබෙනවා.

ජීව විද්‍යාත්මක පියා නොවුනත් ජෙෆ්ගේ සැබෑ පියා මයික් බෙසෝස්. මයික්ගේ පියා ලොකු උගත්කමක් නොතිබුණු, පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ධෛර්යවන්ත කියුබානුවෙක්. මයික් කුඩා කාලයේදී ඔහුත් පියාගේ මේ කඩේ වැඩ වලට හවුල් වී තිබෙනවා. බැටිස්ටා එළවා දමා පිදෙල් කස්ත්‍රෝ කියුබාවේ බලයට පත් වන්නේ මේ කාලයේදීයි.

බැටිස්ටා කියන්නේ කියුබානු විප්ලවය සිදු වන කාලයේ කියුබානුවන් ප්‍රිය කළ නායකයෙක් නෙමෙයි. මයික් බෙසෝස්ගේ පියාත් වෙනත් බොහෝ කියුබානුවන් වගේම බැටිස්ටා එළවා කස්ත්‍රෝට බලයට එන්න උදවු කළ කෙනෙක්. එහෙත්, කස්ත්‍රෝ බලයට පැමිණි පසු බොහෝ දේවල් වෙන්නේ ඔවුන් මුලින් හිතපු විදිහට නෙමෙයි.

මුලින් කස්ත්‍රෝ මාක්ස් ලෙනින්වාදියෙක් නොවුනත් බලයට පැමිණීමෙන් පසුව ඔහු මාක්ස්වාදය වෙත නැඹුරු වෙනවා. කියුබාවේ මැතිවරණ සිතියම අකුළා දමන ඔහු මුලින්ම විදෙස් සමාගම් ජනසතු කරනවා. ඉන්පසුව දේශීය ව්‍යවසාය සියල්ලත් ජනසතු කරනවා. කියුබානු හමුදාව පැමිණ බෙසෝස් පවුල විසින් කාලයක් තිස්සේ කරගෙන ආ පොඩි සිල්ලර කඩයත් ආණ්ඩුවට ගන්නවා.

කියුබාවේ පාසැල් සියල්ල තාවකාලිකව වසා දැමෙන අතර ඒවා නැවත විවෘත වන්නේ මාක්ස්වාදය උගන්වනු පිණිස විෂය නිර්දේශ සියල්ල වෙනස් කිරීමෙන් පසුවයි. එන පොට තේරුම් ගන්නා මයික් බෙසෝස්ගේ දෙමවුපියන් ඔහුව නැවත පාසැල් නොයවා සරණාගතයෙකු සේ ඇමරිකාවට යවන්න තීරණය කරනවා. කුඩා සූට්කේසයක් පමණක් රැගෙන මයික් බෙසෝස් ගැටවරයා ඇමරිකාවට එනවා.

ඇමරිකාවට පැමිණ මුලින්ම සරණාගත කඳවුරක ජීවිතය ගෙවන මයික් ඉන්පසුව කතෝලික පල්ලියෙන් නඩත්තු කරන ළමා නිවාසයක නැවතී පාසැල් අධ්‍යාපනය අවසන් කරනවා. ඉන්පසුව ඔහු කියුබානු සරණාගතයින් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යත්වයක් ලබාගෙන සරසවියකට ඇතුළු වෙනවා. මයික් ජෙෆ්ගේ මව හා විවාහ වන්නේ මේ කාලයේදී. ජෙෆ්ව දරුකමට හදාගන්නා ඔහුට මේ පවුල නඩත්තු කරන්න රැකියාවක් අවශ්‍ය වෙනවා. උපාධිය ලබා ගන්නා මයික් තෙල් සමාගමක රැකියාවක් ලබා ගන්නවා.

මේ තොරතුරු ඉදිරිපත් කළේ ජෙෆ්ගේ මව, ජීව විද්‍යාත්මක පියා හෝ නීත්‍යානුකූල පියා ලොකු ප්‍රාග්ධනයක් එක් රැස් කරගෙන සිටි ධනවතුන් නොවූ බව පෙන්වන්නයි. ජෙෆ්ට ඔහුගේ දෙමවුපියන්ගෙන් ලැබුණු කිසියම් ප්‍රාග්ධනයක් ඇත්නම් ඒ ඔවුන් ජීවිත කාලයක් රැකියා කර විශ්‍රාම දිවිය ගෙවනු පිණිස එකතු කරගත් මුදලින් කොටසක්. එය ඇමරිකානු සම්මත අනුව විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා, දැනට ලෝකයේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ජෙෆ් බෙසෝස් බිංදුවෙන් පටන්ගත් අයෙක් කියා කියන එකේ ලොකු වැරැද්දක් නැහැ.

ජෙෆ් බෙසෝස් හා ඔහුගේ බිරිඳ මැකෙන්සි ඔවුන්ගේ සියවස් කාලක විවාහ ජීවිතය අවසන් කරමින් දික්කසාද වෙන්නට යන බව පසුගිය ජනවාරියේදී දැනුම් දුන්නා. ඇමරිකාවේදී විවාහයක් කියන්නේ නීතිමය ගිවිසුමක් මිසක් මානුෂික සම්බන්ධයක් නෙමෙයි. විවාහයට සමාන්තරව යන මානුෂික සම්බන්ධතාවයක් තිබීම (හෝ නොතිබීම) වෙනම කරුණක්. ගැහැණියක් හා පිරිමියෙකු අතර, එහෙමත් නැත්නම් සමලිංගික යුවලක් අතර අවශ්‍ය ආකාරයක ලිංගික හෝ වෙනත් මානුෂික සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා විවාහ වීම ඇමරිකාවේදී අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. විවාහය කියන්නේ බොහෝ දුරට දේපොළ අයිතිය හා අදාළ ගිවිසුමක්.

විවාහක යුවලක් දික්කසාද වූ පසු සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙදෙනා සතුව ඇති මුළු වත්කම් දෙදෙනා අතර සමව බෙදී යාමයි. විවාහ වීමට පෙර එක් අයෙකු සතු වූ කිසියම් වත්කමක් ඇත්නම් එය මෙසේ බෙදී යන්නේ නැහැ. මෙහිදී විවාහයෙන් පසුව අත්පත් කරගත් වත්කම් තියෙන්නේ කාගේ නමටද කියන එක එතරම් වැදගත් වන්නේ නැහැ. සමලිංගිකයින්ගේ විවාහ වීමේ අයිතියේ පදනම වන්නේත් දේපොළ අයිතිය හා සම්බන්ධව එක්ව ජීවත්වන (ඇමරිකාවේ) ගැහැණියකට හා පිරිමියෙකුට තිබෙන නීතිමය වරප්‍රසාද සමලිංගික යුවලකටත් තිබිය යුතු වීමයි.

ඇමසන් සමාගම පටන්ගෙන තිබෙන්නේ ජෙෆ් හා මැකෙන්සි විවාහ වීමෙන් පසුවයි. ඒ නිසා, දික්කසාදයෙන් පසුව ජෙෆ් සතු ඇමසන් කොටස් බොහෝ විට ජෙෆ් හා මැකෙන්සි අතර සමසමව බෙදී යන්න ඉඩ තිබෙනවා. එසේ වුවහොත්, මැකෙන්සි ලෝකයේ ධනවත්ම කාන්තාව බවට පත් වීමට නියමිතයි. ලෝකයේ ලොකුම ධනවතා ලෙස ජෙෆ්ට හිමි තැන අහිමි වනු ඇති නමුත් තවදුරටත් ලොකුම ධනවතුන් ලැයිස්තුවෙහි ඉහළ ස්ථානයක ඉන්න ඔහුට නොහැකි වන එකක් නැහැ.

(Image: https://www.eonline.com/news/1003894/inside-jeff-bezos-mysterious-private-world-a-dating-flow-chart-that-booming-laugh-and-more-billions-than-anyone-else)

Monday, March 4, 2019

බැලුම පාට වෙයිද?


ඔය ඉඳ හිටලා දවසක අපි යාළුවෝ එක්ක මානුෂික සබඳතා පවත්වලා ආපහු නිවසට එනකොට පොලීසියෙන් නවත්වලා බැලුමක් පුම්බලා දෙන්න කියා ඉල්ලා හිටින්න ඉඩක් තියෙනවනේ. ඒ වගේ වෙලාවක හදිසියේවත් බැලුම කොළ පාට වුනොත් සිද්ද වෙන අවුල ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා කාල් මාක්ස් කියල තියෙන නිසා මාක් කරගෙන හරියටම කාලක් ගැහුවා කියලා පොලිස් නිලධාරියාගෙන් බේරෙන්න බැහැනේ. ඒ නිසා, ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න තිබෙන ඉඩප්‍රස්තා අවම කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක අපි කාටත් හොඳයි.

රථවාහන ආඥාපණතේ 151 වගන්තිය අනුව, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය කිරීම නීතිමය වරදක්. මේ වරද වරදක් වීම සඳහා රිය අනතුරක් සිදුවීම හෝ වාහනය නිසි සේ ධාවනය නොකිරීම වැනි දෙයක් සිදුවිය යුතු නැහැ.

කිසියම් රියැදුරෙක් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියෙකුට සැකයක් ඇති වුවහොත් පොලිස් නිලධාරියාට අදාල රියදුරා මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා "බැලුම් පුම්බන" ලෙස රියදුරාගෙන් ඉල්ලා සිටිය හැකියි. එසේ නැත්නම් අදාළ රියැදුරාව රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙත ඉදිරිපත් කළ හැකියි. රියැදුරා විසින් මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත් පණත අනුව එසේ මත්පැන් පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම මතම රියැදුරා මත්පැන් පානය කර ඇති බව උපකල්පනය කළ හැකියි.

මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය නොකළ හැකි බව කීම අවිනිශ්චිත ප්‍රකාශයක්. මේ විදිහට වාහනයක් ධාවනය කළ නොහැක්කේ මත්පැන් පානය කර කොපමණ කාලයක් ඇතුළතද?

කිසියම් අයෙක් මත්පැන් පානය කර සිටීද යන්න නිගමනය කිරීමේ නිර්ණායකයක් ලෙස බොහෝ රටවලදී කරන්නේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය පරීක්ෂා කර බැලීමයි. බොහෝ බටහිර රටවල යමෙක් මත්පැන් ගෙන වාහනයක් ධාවනය කිරීමේ වරදට වරදකරු කළ හැක්කේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය 0.08% මට්ටම ඉක්මවා ඇත්නම් පමණයි. මේ සීමාව මීට වඩා අඩු හා වැඩි රටවල් හා ප්‍රදේශත් ඕනෑ තරම් තිබෙනවා.

රථවාහන ආඥාපණතේ ප්‍රතිපාදන අනුව අදාළ විෂය භාර ඇමතිවරයාට රියැදුරෙක් මත්පැන් පානය කර තිබේද යන්න නිශ්චිතව නිගමනය කරන ආකාරය සඳහන් කරමින් නියාමන කොන්දේසි සකස් කළ හැකියි. මේ ආකාරයේ නියාමන කොන්දේසි අදාළ විෂය භාර ඇමතිවරයා විසින් 1979 ජූලි 13 දින ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මත්පැන් පානය කර රිය ධාවනය කිරීමට යමෙක් වරදකරු වෙන්නේ රුධිර මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය ග්‍රෑම් 0.08කට එහෙමත් නැත්නම් මිලිග්‍රෑම් 80කට වඩා වැඩිනම් පමණයි. මේ ගැසට් නිවේදනය ඉන්පසුව යාවත්කාලීන කර ඇති බවක් මා දන්නේ නැහැ. ඒ නිසා, එය තවමත් වලංගුයැයි මා හිතනවා.

ඉහත ගැසට් නිවේදනය හා රථවාහන ආඥාපණත එක්ව ගත් විට මත්පැන් පානය කර රිය ධාවනය කළ බවට යමෙකුට චෝදනා කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් හෝ ප්‍රශ්වාස වාත පරීක්ෂාවක් වැනි නිශ්චිත පරීක්ෂාවක් කිරීමෙන් පසුව පමණයි. වෛද්‍යවරයෙකු විසින් එවැනි පරීක්ෂාවක් සිදු නොකර යමෙක් මත්පැන් පානය කර ඇති බව නිගමනය කර ඇති විටක චුදිතයාට වෛද්‍යවරයාගේ එම නිගමනය අභියෝග කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ වෛද්‍ය මතය හා පහළ අධිකරණය ලබාදුන් තීන්දු අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇති අවස්ථාත් තිබෙනවා. කෙසේ වුවත්, මෙවැනි චෝදනාවක් ඉදිරිපත් වූ විට බොහෝ දෙනෙක් එයට අභියෝග කරන්න යන්නේ නැහැ.

රථවාහන පොලිස් නිලධාරියකු අතේ ප්‍රශ්වාස වාත පරීක්ෂණ උපකරණයක් ඇති විට මත්පැන් පානය කර සිටින රියැදුරෙකුට ගැලවෙන එක පහසු නැහැ. බැලුම පුම්බපු ගමන් බඩු මාට්ටු. දැන් ලංකාවේ ගොඩක් රථවාහන පොලිස් නිලධාරීන් අතේ බැලුම් තිබෙනවා. ඒ නිසා, තමන්ගේ රුධිරයේ මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය මිලිග්‍රෑම් 80කට වඩා වැඩියි කියා සැකයක් තිබේනම් සුක්කානමට අත නොතැබිය යුතුයි. එසේ නොකිරීමෙන් නීතියෙන් ගැලවෙන්න වගේම තමන්ගේ හා අනුන්ගේ ජීවිත අවදානමේ නොහෙළා ඉන්නත් පුළුවන්.

ඔහොම කිවුවට අපි මානුෂික සබඳතා පවත්වලා අවසන් කරලා රෑ දෙගොඩ ජාමේ ගෙදර යන්න කලින් බැලුම් පුම්බලා බලන්නේ නෑනේ. එහෙමනම්, ඒ වගේ වෙලාවක දළ වශයෙන් තමන්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඇස්තමේන්තු කර ගත හැකි ක්‍රමයක් තියෙනවද?

වැඩේ ගොඩක්ම අමාරු නැහැ. මුලින්ම තමන් ඇල්කොහොල් මිලිලීටර් කීයක් බිව්වද කියන එක ගණන් හදා ගන්න ඕනෑ.

අපි හිතමු 8.8%ක ඇල්කොහොල් සාන්ද්‍රණයක් තියෙන මිලි ලීටර 625ක බියර් බෝතලයක් බිව්වා කියලා. ඒ කියන්නේ ඇල්කොහොල් මිලි ලීටර 55ක් පමණ රුධිරයට එකතු වෙලා. 33.3%ක සාන්ද්‍රණයක් තිබෙන අරක්කු බෝතලයක් (මිලි ලීටර 750ක්) හතර දෙනෙක් එක්ක බිව්වොත් ඇල්කොහොල් මිලි ලීටර 62.5ක් රුධිරයට එකතු වෙලා.

මේ විදිහට රුධිරයට එකතු වන ඇල්කොහොල් නිසා රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය කොයි තරම් ඉහළ යනවද කියන එක ශරීරයේ බර හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව තීරණය වෙන දෙයක්. එකම ඇල්කොහොල් ප්‍රමාණය බොන බර වැඩි කෙනෙක්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යන්නේ බර අඩු කෙනෙකුට වඩා අඩුවෙන්. සමාන බර තිබෙන පිරිමියෙකුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් ගැහැණියකගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවා.

රුධිර මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් මිලිග්‍රෑම් ප්‍රමාණය හොයා ගන්න බීපු ඇල්කොහොල් මිලි ලීටර ගණන කිසියම් අනුපාතයකින් ගුණ කළ යුතුයි. බර කිලෝ ග්‍රෑම් 76ක් පමණ වන පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.5ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 94ක් පමණ දක්වා ඉහළ යනවා. 8.8% සැර බියර් බෝතලයක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 82.5ක් පමණ දක්වා ඉහළ යනවා. සමාන බර ගැහැණියකගේ සිරුරේ මේ සාන්ද්‍රණය 10%කින් පමණ වැඩියි.

සිරුරේ බර අඩු වැඩි වෙද්දී ඉහත අනුපාතය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් 60ක් බර පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.9ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 119ක් පමණ දක්වා ඉහළ යනවා. අදාළ මිලිග්‍රෑම් ප්‍රමාණය ආසන්න වශයෙන් පහත ආකාරයෙන් සොයාගන්න පුළුවන්.

ඇල්කොහොල් සාන්ද්‍රණය (මිලි ලීටර 100කට මිලි ග්‍රෑම්) = පානය කළ ඇල්කොහොල් ප්‍රමාණය (මිලි ලීටර) * 115/ සිරුරේ බර (කිලෝග්‍රෑම්).

මේ පිරිමියෙක් හා අදාළව. ගැහැණියක් හා අදාළවනම් 115 වෙනුවට 126 යොදාගෙන ගණන හදාගන්න පුළුවන්.

දැන් ඔය විදිහට ගණන හදාගත්තට පස්සේ 80 කිට්ටුවට ඇවිත්නම් ඒ කියන්නේ බීමත්ව රිය පැදවීමේ වරදට අහුවෙන්න ඉඩ තිබෙනවා කියන එකයි. ඒ වෙලාවට, සුක්කානමට අත තැබිය යුත්තේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම අඩුවෙන්න කාලයක් දීමෙන් පසුවයි. ඒ සඳහා කොයි තරම් වෙලාවක් යනවද?

ගැහැණු පිරිමි හෝ මහත කෙට්ටු වෙනසක් නැතුව රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය අඩුවෙන නිශ්චිත වේගයක් තියෙනවා. කෑම කෑවට, දෙහි බිව්වට, තේ කෝපි බිව්වට, නෑවට, ව්‍යායාම කළාට ඒ වේගය වෙනස් කරගන්න බැහැ. රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 15 කින් අඩු වෙන්න පැයක් පමණ යනවා. බීපු අරක්කු ප්‍රමාණයේ හා සිරුරේ බර අනුව (කිලෝ 60ක පිරිමියෙකුට) සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 119ක් පමණ දක්වා නැගලනම් සාන්ද්‍රණය 80 මට්ටමට බස්සගන්න පැය 3කට කිට්ටුව යනවා. නමුත්, ඒ ප්‍රමාණයම බීපු කිලෝ 76ක පිරිමියෙකුට පැයෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

මෙහෙම කිවුවට මේ ගාණ හදාගන්න එකත් ටිකත් බොන්න ඕනෑ ප්‍රශ්නයක් වගේ තේරෙනවා ඇති නේද? එහෙම තේරෙනවනම් ඒත් හොඳම වැඩේ සුක්කානමට අත නොතියා ඉන්න එක. නැත්නම් ලාල්කාන්ත සහෝදරයාට වුණා වගේ අකරතැබ්බ වෙන්න පුළුවන්.

(Image: https://www.chem.wisc.edu/deptfiles/genchem/demonstrations/Gen_Chem_Pages/04chemrxnpage/breathalyzer_test.htm)

Thursday, February 28, 2019

කොටි නැගිටිනු දුටු ගංජා කාරයා


පහුගිය දවස් වල මත්ද්‍රව්‍ය හා අදාළ පුවත් ගණනාවක් ලංකාවේ ජනමාධ්‍ය වල පළ වුනා. ඩුබායි හෝටලයේ උපන් දින සාදයේ විස්තර ඉවර වෙන්නත් කලින් ලංකාවෙන් විශාල මත්ද්‍රව්‍ය තොග අහු වූ බව වාර්තා වුනා.

ගංජා කියන්නෙත් ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්. ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල මේ වන විට ගංජා භාවිතය නීති විරෝධී සේ නොසැලකෙන නමුත් ටෙක්සාස් වගේ ගොඩක් ප්‍රාන්ත වල තවමත් ගංජා කියන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්.

සති දෙක තුනකට කලින් ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් කිට්ටුව පොලීසියකට "වගකිවයුතු පුරවැසියෙකුගෙන්" දුරකථන ඇමතුමක් ලැබී ලැබෙනවා.

"හලෝ, ඔය පොලීසියද?"

"ඔව්, පොලීසිය තමයි. මොකක්ද ප්‍රශ්නේ?"

"පොඩි ඔත්තුවක් දෙන්නයි කතා කළේ..."

"ඔව්, කියන්න."

"මේ හරියේ ගෙදරක කොටියෙක් ඉන්නවා..."

"කොටියෙක්...?"

"ඔව්, කොටියෙක් තමයි!"

කවුරු හරි කෝල් කරලා ගෙදරක කොටියෙක් නැත්නම්, මිනී මෝරෙක් ඉන්නවා කිවුවට පොලීසිය එක පාරටම කලබල වෙන්නේ නැහැනේ. බොරුවක් වෙන්න බැරිද? නැත්නම් මේ කෝල් කරන්නේ මොකක් හරි මානසික ආබාධයක් තියෙන කෙනෙක් වෙන්න බැරිද?

"තව ටිකක් විස්තර කියන්න පුළුවන්ද? කොහොමද කොටියව දැක්කේ?"

පොලීසිය වැඩිපුර විස්තර අහල බලද්දී කෝල් එක දීල තියෙන්නේ ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටින කෙනෙක්. මේ පුද්ගලයා ඔය කොටියා හිටපු ගෙදරට රිංගලා තියෙන්නේ නිවාඩු පාඩුවේ සූස්තියක් අදින්නයි. ගෙදර කවුරුවත් නැති නිසා වැඩේට හොඳ තැනක් කියලා හිතල තියෙනවා. නමුත්, ගේ ඇතුළට රිංගුවට පස්සේ....

"අම්මටසිරි! කොටියෙක් නේද...?"

දැන් මේ ඔත්තුව ලබාගත් පොලිස් නිලධාරියාට ඔය කතාව විශ්වාස කරන්න පුළුවන්ද? මේ කියන්නේ ගංජා මත වැඩිකමට දැකපු දෘෂ්ඨි මායාවක් ගැන වෙන්න බැරිද?

වැඩිදුර විස්තර ඇහුවට පස්සේ පොලිස් නිලධාරියාට තේරෙනවා මේ කතාව බොරුවක්ම වෙන්න බැරි බව. ඒ නිසා කියපු ගෙදරට ගිහින් බැළුවහම මෙන්න බඩු!

ගෙදර ළඟට ගිහින් බලද්දී කොටියගේ සද්දේ පොලිස් නිලධාරීන්ට ඇහෙනවා. කොටි ගඳත් එනවා. ඒත් උසාවි අවසරයක් නැතුව ගේ ඇතුළට යන්න බැරි නිසා ඒ අවශ්‍ය කටයුතු කරගෙන නැවත ආපහු ඇවිත් බලන කොටත් ගරාජ් එක ඇතුලෙ කූඩුවක කොටිය ඉන්නවා.

කොටියට කෑමෙන් බීමෙන්නම් අඩුපාඩුවක් කරලා නැහැ. නමුත් ව්‍යායාම මදිකම නිසා ටිකක් වැඩිපුර මහත් වෙලා. අන්තිමට කොටියට සත්ව නිවහනකට යන්න අවස්ථාව ලැබෙනවා. කොටියා පැත්තක ඉඳිද්දී ගංජා ළඟ තබා ගැනීම හෝ අනවසරයෙන් අනුන්ගේ ගෙදරකට රිංගීම මත ඔත්තුව දුන්න මනුස්සයාව අත් අඩංගුවට අරගෙනනම් නැහැ.

කොටියෙක් දැක්කා කියල කවුරු හරි කිවුවොත්, කිවුවේ ගංජා ගහපු කෙනෙක් වුනත් ටිකක් හොයල බලන එක නරකම නැහැ. නැත්නම් හිර කරලා ඉන්න අහිංසක කොටියෙක්ට නිදහස් වෙන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්.

(Image: https://personalusenyc.wordpress.com/2012/10/02/strain-of-the-day-white-widow/)

Wednesday, January 9, 2019

සාධාරණත්වය උදෙසා අරගලය


අදට වසර හයකට පෙර නීත්‍යානුකූල මිනීමැරුමක ගොදුරක් වූ රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කරමින් නාරද විජයසූරිය විසින් ඔහුගේ වත්පොත් පිටුවේ තබා ඇති සටහනක් එතැනින් උපුටාගෙන පහත පළ කර තිබේ.

"මගේ දෑසේ කඳුලක් තිබේ ... ඒ ඔබ වෙනුවෙනි 
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
දුක කියන්නට කිසිවෙකු නොමැතිව , ළමා දිවියේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වසර 7 ක් තිස්සේ අඳුරු සිර මැදිරියක සිරගතව සිටි ඒ අහිංසක දැරිය අද වැනි දිනයක උදේ 11 . 40 ට තියුණු කඩු පහරින් ගෙළ සිඳ මරා දැමිණි 
ගිණියම් රියාද් වැලි කතර අහිංසක දැරියගේ රුධිරය උරා ගන්නා මොහොතේ භීතියෙන් මුසපත් වූ ඇගේ විවුර්ත වූ දෑස සහිත හිස බිම පතිත විය . 
මට ඇගේ බියපත් දෑස මැවී පෙනෙයි .

වසර ගණනාවක් තිස්සේ නොවියලෙන කඳුලක් මගේ ඇස් කෙවෙණි වල සිර වී තිබේ 
අද ද සිතුම් පාරා ඒ කඳුළු උණුසුමට වැගිරේ . 
ඇගේ මරණයට මා වගකිවයුතුයැයි දැනෙන වරදකාරී හැඟීමෙන් මියෙන තුරු මිදිය නොහැක ,

ඒ අවාසනාවන්ත ජීවිතය බේරා ගැනීමට කරනු ලැබූ නිහඬ සටන පරාජය වූ හැටි මම ඔබට කියමි . 
ඒ 2007 වසරේ ජූනි මාසයේ දවසකි , නෙත් රූපවාහිනී මැදිරියේ රාත්‍රී පහන් කන්ද වැඩ සටහන නිම කර මගේ කාර්යාල කාමරයට ඇතුල් වන විට දුර කථන ඇමතුමක් ලැබිණි , 
සෞදි අරාබියේ සිට කථා කළ ගෘහ සේවිකාවක් බිඳුණු ස්වරයෙන් පැවසුවේ ''දවද්මි '' සිර ගෙදර අපේ ගැහැණු ළමයෙකු මරණ දණ්ඩනයට නියම කර ඇති බවත් තව මාසයක් ඇතුළත අභියාචනයක් නොකළහොත් ඈ මරා දමන බවත්ය . මේ වන විටත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවත්ය .
සිර ගෙදරට යාමට අවකාශ ඇති ඇය දැරිය ගේ සියලු තොරතුරු අසා දැනගෙන මට කීවාය ,

අල් කතයිබි නමැති පොහොසත් පවුලක මාස 4ක් වයසැති දරුවාට කිරි පොවමින් සිටින අතරතුර ශ්වාස මාර්ගයේ කිරි සිරවීමට ලක් වී ඇත , ඇය කෑ ගසමින් දරුවාගේ පිටට වැරෙන් තට්ටු කරන්නට පටන් ගත්තාය , ඒ මොහොතේ ගෙහිමි කාන්තාව එහි පැමිණි අතර , දරුවා නිසලව සිටින අයුරුත් රිසානා පිටට පහර දෙන අයුරුත් දැක වහා කිපී දැරියට නහයෙන් ලේ වැගිරෙන ලෙස පහර දී පොලිසියට භාර දී ඇත .

පොලිසියෙදීත් ඉන බඳින හම් පටියකින් දරුණු පහර දීමට ලක්ව සිටි දැරියට අරාබි භාෂාවෙන් ඔවුන් කියූ කිසිවක් වටහා ගත නොහැකි විය , කාත් කවුරුත් නොමැති රටක ඇය බියෙන් මුසපත් වී සිටියාය ,

දරුවාගේ ගෙල මිරිකා මරා දැමූ බවට ලියු ලිපියකට , අකුරු නොදත් ඇයගේ ඇඟිලි සලකුණ ගෙන තිබිණි , 2005 වසරේ මැයි 4 වනදා රියාද් නගරයට පැමිණි 17 හැවිරිදි දැරිය දින 18 ක සේවයෙන් පසුව 22 වනදා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය .

වසර දෙකක නඩු විභාගයෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කරන තුරු කිසිවෙකු මේ පිළිබඳව දැනුවත් වී නොතිබිණි , එදා රාත්‍රියේ එම ගෘහ සේවිකාව ඒ බව මට නොපවසන්නට එය මාධ්‍යයෙන් වසන් වුන සිද්ධියක් වන්නට ඉඩ තිබිණි .

සිද්ධිය ඇසීමත් සමගම මගේ සිරුර ගිණිගෙන දැවෙන බවක් මට දැනුනි , එවකට විදේශ කම්කරු කටයුතු පිලිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාට ඒ රාත්‍රියේම මම දුර කථන ඇමතුමක් දුන්නෙමි , ඕනෑම මොහොතක ඔහුගේ ලේකම් වරයෙකුට කථා කරන්නට මට පහසුව සලසා තිබිණි . සිද්ධිය කෙටියෙන් පවසා හෙට උදෑසන විශේෂ සජීවී පහන් කන්ද වැඩ සටහනකට සුදානම්ව සිටින ලෙස දැනුවත් කර , එමොහොතේම මම ආසියානු මානව හිමිකම් සංවිධානයට සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට විද්‍යුත් ලිපි දෙකක් යොමු කෙරුවෙමි , පසුදා උදෑසන සජීවී වැඩ සටහනේදී සිද්ධිය අනාවරණය කළ මම සෞදි අරාබි තානාපති වරයාට පිළිතුරු දෙන්නැයි ආරාධනය කළෙමි ,

හොඳින් සිංහල කථා කරණ , ඕනෑම මොහොතක අපේ රුපවාහිනිය සමග සම්බන්ධ වන , මා සමග දැඩි කෝපයකින් පසුවන තානාපති තුමා දුරකතනයෙන් සම්බන්ධ විය . 
ඒ වනවිටත් තානාපති කාර්යාලය , රිසානාගේ සිද්ධිය ශ්‍රිලංකාවේ රජයට වාර්තා කර නොතිබුන බව මට පැහැදිලි විය .

ඔහු මේ සිද්ධිය දන්නා බවත් , අභියාචනයක් ඉදිරිපත් කිරීමට අරාබි නීතිඥයින් සපයා ගැනීමට සහ නීතිමය කටයුතු වලට දැවැන්ත වියදමක් යන බවත් එය අප සිතන තරම් පහසු නොවන බවත් ඔහු පැවසීය ,

මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අතර , මා සිටින්නේ සජීවී වැඩ සටහනක බව මට අමතක විය ,
තානාපති කාර්යාලයේ ගෝනියක් තිබේදැයි මම ගරු තානාපති තුමාගෙන් අවිනීත ලෙස ප්‍රශ්න කලෙමි , 
එතුමා ඒ ඇයි දැයි මගෙන් විමසීය ,
කරුණාකර එම ගෝනිය තානාපති කාර්යාලයේ දොරටුව අසල තබන ලෙස මම ඉල්ලා සිටියෙමි . 
''නාරද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විහිලුවකට ගන්න එපා , මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වන්නට ඔබට ඕනෑම දෙයක් කිව හැකි නමුත් මේ ප්‍රශ්න ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙණු , ඔබ ඔබේ කටයුතු කරගෙන සිටින්න .'' යැයි ඉතා වෘත්තියමය අයුරින් සහ ඉවසීමෙන් ඔහු පැවසීය ,

අපට අපේ දැරියකගේ ජීවිතය පිළිබඳව වේදනාවක් ඇති බවත් , වැසිකිලි හෝදන , කාණු පිරිසිදු කරණ මන්දිර වල බැල මෙහෙවරකම් කරන දිළිඳු මිනිසුන්ගේ රුධිරය කකියන බවත් , ඒ මිනිසුන් ගේ දුප්පත් වැටුපෙන් රියාල් එක බැගින් පෝලිමේ විත් ඔබේ ගෝනිය පුරවා දෙන්නට අප සපථ කරන බවත් මම ඔහුට පැවසීමි . 
මගේ දෑස් වල කඳුළු කැමරාවෙන් වසන් කර ගැනීමට උත්සහ කළද මගේ කටහඬේ බිඳුණු ස්වරය ලෝකයට ඇසුනි . දහස් ගණනක් දෙනා එක හඬින් අසරණ දැරිය වෙනුවෙන් හඬ නගන්නට විය . ඈ ඒ කිසිවක් නොදැන අඳුරු සිරකුටියේ මරණ භයෙන් තැතිගෙන සිටි මොහොතේ අප ඇය බේරා ගැනීමේ සටන අරඹා තිබිණි , 
ඊ ළඟ මොහොතේ ඇමති වරයා දුරකතනයෙන් සම්බන්ධ විය , ඔහු වහාම මේ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නියෝජ්‍ය ඇමති බාහිලා මහතා හෙටම රියාද් නුවරට පිටත් කරන බවත් පොරොන්දු විය , ඉනික්බිති ලංකාවේ දේශපාලකයින් , මාධ්‍ය මේ පිලිබඳ පුවත් මවන්නට විය .

එතැන් පටන් සිදු වූ සිද්ධි දාමය එතරම් ප්‍රීති දායක නොවේ , කොළඹ සරසවියේ නීති පීඨයෙන් පිට වුන අපට වඩා ඉහළ වසරක උගත් නීතිඥයෙක් වූ තානාපති කාර්යාලයේ නීති නිලධාරියා විශාල කැපවීමකින් කටයුතු කළ නමුත් , ලිපි ගොනු සැඟවීම වැනි බාධක ඔහුට එල්ල විය , ඇතැම් විට අපට රහසිගතව මෙහෙයුම් දියත් කරන්නට සිදු විය .

නීතිමය පිළිසරණ ඉතා අල්ප බව වැටහෙන්නට පටන් ගත විට ලාංකික සේවකයන් මාර්ගයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු හඳුනා ගත් මා මියගිය දරුවාගේ දෙමාපියන් වෙත කිට්ටු කලෙමි . 
එරට ශාරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පමණක් ලේ වන්දිය ලෙස මුදලක් රැගෙන රිසානාට සමාව දීමේ හැකියාව තිබිණි . සෞදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකක උසස් නිලධාරීන් වූ මියගිය දරුවාගේ දෙමාපියන් වෙත පණිවුඩ කරුවන් යොමු කළෙමි , එකළ එහි සේව්‍ය කළ බොහෝ දුප්පත් මිනිසුන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබිණි ,

දරුවාගේ පියා විශාල මුදලක් ලේ වන්දිය ලෙස ලබා ගැනීමට කැමැත්ත පල කළද මව එක හඬින්ම කියා සිටියේ රිසානාගේ රුධිරය දැකීමට ඇයට අවශ්‍ය බවයි . 
එහෙත් අප උත්සාහය අත නොහැරියෙමු , ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාත් , බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරාත් සෞදි රජුගෙන් දැරියට සමාව දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි ,
බාල වයස්කාර දැරියට මරණ දඬුවම නියම කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට අපේ නීතිඥයින් තර්ක කරමින් සිටියේය .

සියල්ල තීරණය වන්නේ මවගේ කැමැත්ත මත බව තේරුම් ගත් අප ඇය කැමති කරවා ගැනීමේ වෑයම අත නොහැර කරගෙන යමින් සිටියෙමු .
අවාසනාවට ආර්ථික හේතුන් මත නෙත් රුපවාහිනිය නවතා දැමීමට සිදු විය .

අපේ රුපවාහිනී තිරයේ සංඥා නොමැති බව දක්වන පණිවිඩය දෙස බලාගෙන මගේ කාර්යාල මේසය මත මම හඬමින් සිටියෙමි . ඒ මොහොතේ ගලා ගිය කඳුළු වල වැඩි බරක් රිසානා වෙනුවෙන් වෙන්ව තිබිණි . 
වසර 8 ක නඩු විභාගයකින් පසුව 2013 ජනවාරි 9 වනදා පෙ ව 11.40 ට රියාද් හී දවද්මි වධක භූමියේදී මරා දැමිණි .

රටේ පවතින අනන්ත දරිද්‍රතාවයෙන් මිදෙන්නට තම ලෙයින් මසින් තැනූ දියණිය අඩු වයසක් යොදා මාරු කතරට යැවූ දෙමාපියන්ටත් , දිළිඳු මිනිසුන්ගේ ජීවන වේදනාව මත සුඛෝපභෝගී ජීවිත ගෙවන මුග්ධ දේශපාලකයන්ටත් අද රිසානා අමතක වී තිබිය හැකිය .

එහෙත් ඈ මගේ දියණිය මෙන් . ඈ මගේ සොයුරිය මෙන් මගේ හදවත පතුලේ රිදුම් දෙමින් මා මියයන තුරුම සිටිනු ඇත . අදටත් මේ රටේ මිනිසුන්ට කිසි විටෙකත් අවශ්‍ය නැති කුණු කන්දල් අලෙවි කරණ මාධ්‍ය පිළිබඳව මට පිළිකුලක් තිබේ ,

කාලකන්නි දේශපාලකයන්ට කඩේ යනවා වෙනුවට , රටක ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්නට රුපවාහිනිය වැනි මාධ්‍යයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් සපයන්නට අපට හැකි විය . 
එවැනි මාධ්‍ය සිහිනයක් අවසන් හුස්ම දක්වාම මා තුල තැන්පත්කළ දැරිය අද වැනි දවසක ගෙළ කපා මරා දැමූ , ඒ බියපත් දෑසේ හිමිකාරියයි , 
රිසානා වැනි තවත් දස දහස් ගණනක් අදත් වැලි කතරේ දුක් විඳියි .

ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරමි 
රිසානා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඔබේ සහජාත දියණියට අත් වුවහොත් ඔබ කුමක් කරන්නේද ? 
එහෙත් රිසානා ඔබේ දියණිය නොවේ ,
එහෙයින් ඇගේ මරණය ඔබට ඉවසා දරා ගත හැකිය , 
අප සැබවින්ම මිනිසුන්ද ?

නාරද විජයසූරිය"

රිසානා නෆීක්ව මරා දමනු ලැබීම අත්වැරදීමක ප්‍රතිඵලයක් බව හෝ එක් හුදෙකලා සිදුවීමක් බව යමෙකුට කියන්නට පුළුවන. ඉහත සටහන සමඟම කියවිය යුතුයයි මා සිතන නදීර විජේසිංහගේ පහත බ්ලොග් සටහනේ විස්තර කෙරෙන සිදුවීමනම් කෙසේවත් අත්වැරදීමක් නොවේ.

සාධාරණත්වය උදෙසා අරගලය 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...