වෙබ් ලිපිනය:

Showing posts with label ජාත්‍යන්තර වෙළඳාම. Show all posts
Showing posts with label ජාත්‍යන්තර වෙළඳාම. Show all posts

Friday, November 30, 2018

ආනයන වියදම් අඩු නොවෙන්නේ ඇයි?


මහ බැංකුවේ නිවේදනයකට අනුව 2018 පළමු මාස 9 ඇතුළත ආනයන වියදම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.4%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1587.4ක වැඩි වීමක්.

පසුගිය අගෝස්තු මාසය දක්වා වසරක කාලය තුළ රුපියල එතරම්ම අවප්‍රමාණය වුණේ නැහැ. නමුත්, යම් තරමකින් අවප්‍රමාණය වුණා. එසේ තිබියදීත්, ආනයන වියදම මේ ආකාරයෙන් ඉහළ ගොස් තියෙන්නේ ඇයි?

ඉහත වැඩි වීමෙන් 95%කටම හේතු වී තිබෙන්නේ කාණ්ඩ තුනක ආනයන වියදම් වල සිදු වූ වැඩි වීමයි. ඒ පෞද්ගලික වාහන ආනයනය, ඉන්ධන ආනයනය හා පොහොර ආනයනය යන කාණ්ඩ තුනයි.

වසරේ පළමු මාස නවය ඇතුළත පෞද්ගලික වාහන ආනයන වියදම් 129.6%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 670.2ක වැඩි වීමක්. ඉන්ධන ආනයන වියදම් ඩොලර් මිලියන 713.8කිනුත්, පොහොර ආනයන වියදම් ඩොලර් මිලියන 116.6 කිනුත් (163.8%කින්) ඉහළ ගොස් තිබෙනවා. මේ කාණ්ඩ තුනේ පමණක් ආනයන වියදම් ඉහළ යාම ඩොලර් මිලියන 1,500.6ක්. ඉතිරි කාණ්ඩ සියල්ලේම ආනයන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 86.8කින් පමණයි. එය 0.6%ක සුළු වැඩි වීමක්.

මෙසේ විශාල ලෙස පෞද්ගලික වාහන ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙන්නේ මෝටර් රථ ආනයනය දෙගුණයකින් පමණ ඉහළ යාමයි. ත්‍රිරෝද රථ, ද්විත්ව කාර්ය වාහන හා මෝටර් සයිකල් ආදිය ආනයනය කිරීම කැපී පෙනෙන ලෙස වැඩි වී නැහැ. මෝටර් රථ ආනයනය මෙසේ විශාල ලෙස ඉහළ යාමට හේතුව වසර මුලදී ලබා දුන් තීරු බදු රහිත වාහන බලපත් බව පැහැදිලියි. ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමටත් මෙලෙස අළුතින් ආනයනය කළ, ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් ආදියට සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, පෞද්ගලික වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස දායක වී තිබෙන බව සිතිය හැකියි. අප්‍රේල් මාසයේ සිට පොහොර සහනාධාරය නැවත ලබා දීම පොහොර ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙනවා.

රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දුන් විට සෛද්ධාන්තිකව ආනයන වියදම් අඩු විය යුතුයි. එසේ වෙන්නේ ආනයන භාණ්ඩ වල මිල ඉහළ යාම නිසා ඒ භාණ්ඩ වල දේශීය ඉල්ලුම අඩු වීමෙන්. නමුත්, බදු සහන හෝ සහනාධාර දීම මඟින් මිල ඉහළ යාම වලක්වා මිල තිබුණාටත් වඩා පහළ හෙළුවොත් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කළ පලියට ආනයන වියදම් අඩු වෙන්නේ නැහැ.

(Images: https://auto.economictimes.indiatimes.com/news/passenger-vehicle/cars/higher-import-duty-to-hit-indias-car-exports-to-sri-lanka/55712005)

Wednesday, August 15, 2018

ලංකාවේ ආර්ථිකය විවෘතද?

සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ලංකාව සංවෘත ආර්ථිකයක් බවට පත් කරපු බවත්, හැත්තෑ හතේදී ජේආර් විසින් නැවතත් ලංකාවේ ආර්ථිකය විවෘත කරපු බවත් බොහොම ජනප්‍රිය, හැමෝම වගේ විශ්වාස කරන කතාවක්. එකම කතාව විශාල පිරිසක් විසින් නැවත නැවත කියන කොට එය අවිවාදාත්මක කරුණක් බවට පත් වෙනවා. නමුත්, මේ කතාව අර්ධ සත්‍යයක් පමණයි.

සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ දැඩි ආනයන සීමා කිරීමක් කළා. මේ නිසා, රටේ ගොඩක් මිනිස්සු විශාල පීඩාවකට පත් වුණා. ගොඩක් මිනිස්සු කිවුවට ඒ හැමෝම නෙමෙයි.

මේ කාලය වෙන කොටත් ලංකාවේ ගම් වල සම්ප්‍රදායික කෘෂිකාර්මික ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තිබුණේ නැහැ. දුර ඈත ගම් වල ගොඩක් මිනිස්සු කොහොමටත් කෑවේ බීවේ තමන් වවාගත් දේවල් මිසක් ආනයනය කළ ආහාර නෙමෙයි. වගා කළ හැකි, වගා නොකළ බිම් කට්ටිත් යම් ප්‍රමාණයක් ගම් වල තිබුණා. ඒ නිසා, සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් ලංකාවේ ගම්වල මිනිස්සු පීඩාවට පත් වුනේ නාගරික ප්‍රදේශ වල හිටපු අයට වඩා ගොඩක් අඩුවෙන්. මම මේ කියන්නේ මම ඇහින් දැකලා මතකයේ තිබෙන දේවල්.

හැබැයි ඉතිං මේ කාලයේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින්නම් විශාල අපහසුතාවයන්ට පත් වුණා. සමගි පෙරමුණු ප්‍රතිපත්ති ඒ අයගේ ජීවන රටාවන් සමඟ කොහෙත්ම ගැලපුනේ නැහැ. ඒ වගේම ඒ අයට වවන්න කියලා ලොකු ඉඩම් තිබුණෙත් නැහැනේ. ජේආර් බලයට පත් වීමෙන් පසුව ආනයන සීමා ලිහිල් කිරීමෙන් මේ අයටනම් ලැබුණේ විශාල සහනයක්.

හැත්තෑව අසූව දශක වල (වගේම තවමත්) ලංකාවේ මතවාද හදන්නේ නාගරික හා අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින් මිසක් ගම් වල මිනිස්සු නෙමෙයිනේ. ඒ නිසා, ඔය විවෘත ආර්ථික කතාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු බරක් වැටුණා.

හැත්තෑ හතේදී වුනේ ආනයන වලට තිබුණු සීමාවන් අඩු වීමයි. ඊට පෙර සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේදීත් අපනයන අධෛර්යමත් කළේ නැහැ. ඒ වගේම සමගි පෙරමුණු ආණ්ඩුව විදේශ රටවලින් ප්‍රාග්ධන ආයෝජන හෝ තාක්ෂනය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේ වැඩේදී සමාජවාදී රටවල් වෙත වැඩිපුර නැඹුරු වුනත් සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල නිෂ්පාදන තාක්ෂණ ක්‍රමවේද ලංකාවට සාපේක්ෂව ගොඩක් ඉදිරියෙන් තිබුණු නිසා එයින් යහපතක් මිස අයහපතක් වුනේ නැහැ.

ඒ වගේම හැත්තෑ හතේදී ආර්ථිකයේ සියලු අංශ විවෘත වුනෙත් නැහැ. ජංගම ගිණුම මුලිනුත්, ප්‍රාග්ධන ගිණුම පසුවත් ක්‍රමයෙන් විවෘත වුනේ බොහොම හෙමින්. අදටත් ප්‍රාග්ධන ගිණුම මුළුමනින්ම නිදහස් නැහැ. ඒ වගේම විදේශ වෙළඳාමට තිබෙන බාධාවනුත් සම්පූර්ණයෙන්ම නැති වී නැහැ.

ලංකාව හා අදාළ අධ්‍යයන බොහොමයකම හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වූ සේ සලකන්නේ නැහැ. ඇතැම් අය එය ක්‍රමයෙන් සිදු වූවක් සේ සලකනවා. තවත් අය ඔවුන්ගේ නිර්ණායක අනුව හැත්තෑ හතට ගොඩක් පස්සේ අවුරුද්දකදී විවෘත වූ සේ සලකනවා. ඒ නිසා, හැත්තෑ හතේදී ලංකාවේ ආර්ථිකය විවෘත වුනා කියන එක අවිවාදිත කරුණක් නෙමෙයි.

රටක් කොයි තරම් විවෘතද කියන එක නිර්ණය කිරීමේදී භාවිතා වන විවිධ නිර්ණායක තිබෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත නිර්ණායකය වන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස විදේශ වෙළඳ පරිමාව, එනම් ආනයන හා අපනයන පරිමා වල එකතුව, කොපමණද කියන එක. මේ ප්‍රතිශතය වැඩි වන තරමට ආර්ථිකයක් වඩා විවෘත සේ සැලකෙනවා. මෙහි වැදගත්කම වන්නේ විදේශ වෙළඳාමට තිබෙන නිල හා නිල නොවන බාධාවන් සියල්ල මේ දර්ශකය හරහා පිළිබිඹු වීමයි.

ලෝක බැංකු වෙබ් අඩවියෙන් බාගත කළ හැකි මේ හා අදාළ දත්ත විශ්ලේෂණය කර විස්තර කරන්න කාලය නොයොදවා මම කෙලින්ම රූප සටහනකින්ම පෙන්වන්නම්. රූප සටහන දිහා බැලුවහම කාලයත් එක්ක ලංකාවේ ආර්ථිකයේ විවෘතකමට සිදු වී තිබෙන දේ පැහැදිලි වෙයි කියා හිතනවා.


Sunday, December 31, 2017

ජීඑස්පී සමඟ සුබ නව වසරක්!


තවත් ග්‍රෙගෝරියන් අවුරුද්දක් අවසන් වෙමින් තිබේ. ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවකටම දැනටමත් 2018 අවුරුද්ද ලබා අවසන්ය. එළියේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක බිංදුවක් හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ දහඅටකි. හාත්පස පෙනෙන ගස්වැල්, නිවෙස් වල වහල, නවත්වා ඇති වාහන සියල්ල හිමෙන් වැසී ගොස්ය. අවට පෙනෙන්නේ සුදු පැහැය පමණි. සීතල මැද්දේ එළියට බහින්නට ලොකු කම්මැලිකමක් නැතත් ලබන සතිය වෙද්දී අවසන් කළ යුතු වැඩ තොගයක් ගොඩ ගැසී ඇති නිසා අද අවුරුද්දේ අන්තිම දිනය මෙන්ම ඉරිදා දිනයක්ද වුවත් වෙනත් දෙයක් කරන්නට තරම් හිතේ නිදහසක් නැත. කෙසේවුවත්, අවුරුද්දේ අවසන් බ්ලොග් සටහන ලියන්නට පොඩි වෙලාවක් හෝ මිඩංගු කළ යුතුය.

ලංකාවෙන් ඇමරිකාවට එවන ඇඟලුම්  සඳහා මෙතෙක් ලැබුණු ජීඑස්පී සහනය අදින් පසු නොලැබෙන බව දැනගන්නට ලැබී තිබේ. මේ අනුව, රුසියන් තේ කුරුමිණි අර්බුදය යාන්තමින් ගොඩදාගත් ලංකාවට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය යනු ලංකාවේ ලොකුම අපනයන වෙළඳපොළයි. ලංකාවේ අපනයන වලින් 27.3%ක්ම මිල දී ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එමෙන්ම ඇඟලුම් යනු ලංකාවේ ප්‍රධානම අපනයන නිෂ්පාදනයයි. ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟලුම් වලින් උපයන ආදායම පමණක් ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 20.4%කි. මෙයට සාපේක්ෂව රුසියාවට තේ යැවීමෙන් ලංකාව උපයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 1.4%ක් පමණි. ඒ නිසා, ඇමරිකාවට යවන ඇඟලුම් වලින් ලැබෙන ආදායම 7%කින් පමණ අඩුවුවහොත් එයින් ලංකාවට සිදුවන බලපෑම සමස්ත රුසියානු තේ වෙළඳපොළම අහිමිවීමට වඩා විශාලය.


ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරන්නේ මුළු ආනයන වලින් 2.8%ක් පමණක් වීමත්, ලංකාවේ ගෙවුම් ශේෂයට විශාලම අතිරික්තයක් එකතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ කරන ද්විපාර්ශ්වික වෙළඳාම වීමත් සැලකූ විට ප්‍රශ්නයේ බරපතලකම තවත් ඉස්මතු වී පෙනේ. ලංකාව විසින් වාර්ෂිකව චීනය හා ඉන්දියාව වැනි රටවලින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන්නේ ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් සමඟ කරන වෙළඳාම් හරහා උපයන වෙළඳ ශේෂ අතිරික්තය වැය කරමිනි.

ඇතැම් අය කියන විදිහට ලංකාවට ජීඑස්පී අහිමිවීමත්, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට ලංකාව එරෙහි වීමත් අතර සම්බන්ධයක් තිබේ. මේ කතාවනම්, රුසියන් තේ තහනම හා ඇස්බැස්ටෝස් තහනම සම්බන්ධ කරමින් ටික දිනකට පෙර ගොතා තිබුණු කතාව තරම්වත් පදනමක් නැති කතාවකි.

අදින් ජීඑස්පී සහනය අහිමි වන්නේ ලංකාවට පමණක් නොවේ. භාණ්ඩ 4800ක පමණ ප්‍රමාණයක් අඩු තීරුබදු අනුපාතිකයක් ගෙවමින් ඇමරිකාවට අපනයනය කිරීම සඳහා හිමිකම් ලබා තිබුණු රටවල් හා ප්‍රදේශ 129කට අද සිට සිදුවන ඇමරිකානු ජීඑස්පී සහනය අහිමි වීම බලපායි. එමෙන්ම, මෙය ඇමරිකාව විසින් හදිසියේ ගත් තීරණයක් නිසා සිදුවන දෙයක්ද නොවේ. අඩු ආදායම්ලාභී රටවල දිළිඳුකම අඩුකිරීමේ අරමුණින් නිශ්චිත කාලයකට හඳුන්වා දුන් මේ සහනය අහිමි වන්නේ ස්වභාවික ලෙසම කල් ඉකුත් වීම නිසාය.

අදාළ සහනය තවත් කලකට දීර්ඝ කිරීමටනම් ඇමරිකානු කොන්ග්‍රසයේ ඒ සඳහා යෝජනාවක් සම්මත විය යුතුය. මුලින්ම මේ සහනය හඳුන්වා දුන් 1976 වසරේ සිට වාර ගණනාවක්ම මෙහි කාලය දීර්ඝ කෙරී ඇති අතර අවසන් වරට එය සිදුවුණේ 2015 ජූනි 29 දිනදීය. ඒ 2015 ජූලි 29 දින සිට වසර දෙකහමාරක කාලයකට බලපැවැත්වෙන පරිදිය. මෙවර කල් ඉකුත් වීමට පෙර එය නැවත දීර්ඝ කෙරුණේ නැත.

කෙසේවුවද, මීට පෙරද මේ ජීඑස්පී සහනය මේ අයුරින් ස්වභාවික ලෙසම කල් පිරී අහිමි වීමෙන් පසු කොන්ග්‍රසය විසින් තවත් කලකට බලාත්මක කර ඇති අතර එසේ කරන විට පසුගිය කාලයටද බලපාන පරිදි එය කිරීමට මේ සහනය ලබාදුන් පණතෙන් ප්‍රතිපාදන සපයා තිබේ. බොහෝ විට මේ සහනය අහිමි වී කලකින් නැවත ලබාදෙන නිසාම මේ සහනය අහිමි වීමෙන් පසු ඇමරිකන් රේගුව විසින් එකතු කරන අමතර බදු මුදල් සාමාන්‍යයෙන් වියදම් නොකර වෙනම එස්ක්‍රෝ ගිණුමක තබා ගනී. ඒ නිසා, මෙවරද පෙර මෙන්ම ජීඑස්පී සහනය තවත් කලකට නැවත ලැබෙන්නට විශාල ඉඩක් තිබේ.

ලොකු ඉඩක් නැතත්, මෙවර පෙර මෙන් එසේ නොවන්නට වුවද බැරිකමක්ම නැත. වෙනත් රටවල දිළිඳුකම තුරන් කිරීම ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රමුඛතාවයක් නොවේ. යම් හෙයකින් ඇමරිකාව ජීඑස්පී සහනය නැවත ලබා නොදුන්නොත් ලංකාවට කුමක් වෙයිද?

නිවැරදි සංඛ්‍යා සංඛ්‍යාලේඛණ මා සතුව නැතත්, ලංකාවෙන් ඇමරිකාවට යවන භාණ්ඩ සියල්ලටම ජීඑස්පී සහනය නොලැබෙන බව මගේ අදහසයි. මෙහි බලපෑමක් ඇත්තේ අඩු තීරුබදු පහසුකම් සැලසෙන ඇඟලුම් අයිතමයන් ඇතුළු අනෙකුත් අපනයන වලට පමණි. ඒ ප්‍රමාණය කොපමණදැයි මා දන්නේ නැත. තීරුබදු සහන ලබමින් ඇමරිකාවට අපනයනය කළ භාණ්ඩ දැන් විකුණන්නට වෙන්නේ වඩා වැඩි මිලටය.

කෙසේවුවත්, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ලංකාව පමණක් නොවේ. ලංකාව සමඟ තරඟකරමින් ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන අනෙකුත් බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට එක සමානව මුහුණ දෙයි. ඒ නිසා, ජීඑස්පී සහනය අහිමි වුවද ඒ හේතුව නිසා ලංකාවට හිමිව තිබූ ඇමරිකාවේ වෙළඳපොළ වෙනත් අඩු ආදායම්ලාභී රටකට යන්නේ නැත.

ලංකාවෙන් ඇමරිකාවට යවන්නේ ප්‍රධාන වශයෙන්ම ඇඟලුම්, රබර්, මැණික් හා ස්වර්ණාභරණ, තේ හා කුළුබඩු ආදියයි. මේ භාණ්ඩ ඇමරිකාව තුල හෝ වෙනත් සංවර්ධිත රටවල නිපදවෙන්නේ ඉතා අඩුවෙනි. ඒ නිසා, ලංකාවට හිමිව තිබූ වෙළඳපොළ ඇමරිකාවේ දේශීය නිෂ්පාදකයින්ට හෝ මෙතෙක් ජීඑස්පී සහනය නොලැබූ ඉහළ ආදායම් මට්ටමක සිටින රටකට හිමිවීමටද ලොකු ඉඩක් නැත.

කෙසේ වුවද, ඇමරිකාව තුළට කලින් ජීඑස්පී සහනය යටතේ ආනයනය කළ භාණ්ඩ වල මිල වැඩි වන නිසා ඉල්ලුමෙහි කිසියම් අඩුවක් සිදුවීමට ඉඩ තිබේ. මේ දින වල ඇමරිකාවේ ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයක තිබෙන නිසා සිදුවී ඇති ධනාත්මක බලපෑම හමුවේ මේ අඩුව නොපෙනී යන්නට ඉඩ ඇතත් ජීඑස්පී සහනය අහිමි වුවහොත් ඇතිවන බලපෑම කිසියම්ම හෝ නිශේධනාත්මක එකක් බවට තර්කයක් නැත.

ඇමරිකාව විසින් ජීඑස්පී සහනය නැවත ලබා දුන්නත් නොදුන්නත් එය ලංකාවේ රාජ්‍ය නායකයින්ට ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කර විසඳාගත හැකි රුසියානු තේ තහනම ආකාරයේ ප්‍රශ්නයක් නොවේ. බොහෝ විට, එවැනි මැදිහත්වීමක් නැතත් මේ සහනය නැවත ලැබෙනු ඇත. එසේ සිදු නොවුණත්, එය ලංකාවට වෙනස් කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර කියා ලංකාව විසින් නිල වශයෙන් පිළිගත්තත් ඒ හේතුවෙන් ලංකාවට ජීඑස්පී සහනය නැවත ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ නැත.

ලබන නව වසරේ ලංකාවට නැවතත් ජීඑස්පී සහනය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

ඔබ සැමට සුබ නව වසරක්!

Saturday, December 23, 2017

රුසියා ගිය තේ කුරුමිණියා


තේ කන්ටේනරයක හැංගී අනවසරයෙන් රුසියාවට ඇතුළු වූ කුරුමිණියෙකු නිසා සෑහෙන අලකලංචියක් වී තිබේ. කතාව කවුරුත් දන්නා නිසා ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැත.

රුසියාව හා ලංකාව අතර සම්බන්ධතා වලට මේ වන විට දිගු ඉතිහාසයක් තිබේ. පීටර් රීව්ස්ගේ ශ්‍රී ලංකා ඩයස්පෝරා විශ්වකෝෂයට අනුව රුසියන් තානාපති කාර්යාලයක් ගාල්ලේ පිහිටුවා ඇත්තේ 1882 වසරේදී වන අතර 1891දී එය කොළඹට ගෙනැවිත් තිබේ. නොවැම්බර් විප්ලවයෙන් කලකට පසුව, 1958 පෙබරවාරි 25 දින ලංකාව හා සෝවියට් දේශය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව දෙරට අතර වූ සම්බන්ධතා වඩා පුළුල් වූ අතර එවකට ලංකාවේ ප්‍රධාන අපනයන වූ තේ, රබර් හා පොල් නිෂ්පාදන සෝවියට් දේශයට යැවීම ආරම්භ විය. සෝවියට් දේශය බිඳ වැටුණද රුසියාව හා ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම බිඳ වැටුණේ නැත.

ඇඟලුම් කර්මාන්තය දියුණු වීමට පෙර ලංකාවට වැඩිම අපනයන ආදායමක් ලැබුණේ තේ වලිනි. මෑතක් වන තුරුම ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරු වූයේ රුසියාවයි. දැනටත් රුසියාව ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවෙකි. ඊට අමතරව, රබර් හා රබර් අත්වැසුම් ආදී රබර් නිෂ්පාදනත්, පොල් නිෂ්පාදනත් රුසියාව තවමත් ලංකාවෙන් ආනයනය කරයි.

ඉහත පරිදි රුසියාව ලංකාවෙන් තේ පමණක් නොව රබර් හා පොල් වැනි වෙනත් දේද දිගින් දිගටම ආනයනය කළත්, දශකයකට පමණ පෙර කාලය දක්වාත් ලංකාව රුසියාවෙන් සැලකිය යුතු දෙයක් ආනයනය නොකළේය. ඒ නිසා, දෙරට අතර වෙළඳ ශේෂය දිගින් දිගටම පැවතුණේ ලංකාවේ වාසියටය.

පසුගිය දසවසරක පමණ කාලය තුළ ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම ක්‍රමයෙන් රුසියාවේ වාසියට වෙනස් විය. ඒ සඳහා හේතු වූයේ කුමක්ද යන්න පැහැදිලි නැත. 2009 වසර වන විටද නොගිණිය හැකි මට්ටමක තිබුණු රුසියානු ආනයන ඉන් පසු ඉතා වේගයෙන් ඉහළ ගියේය. එහෙත්, ලංකාවෙන් රුසියාවට සිදු කරන අපනයන ස්ථාවරව පැවතුණේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව හා රුසියාව අතර වූ වෙළඳ ශේෂ අතිරික්තය වසරින් වසර ක්‍රමයෙන් කුඩා වී ගොස් ලංකාවේ අවාසියට හේතු වන මට්ටමටම පැමිණියේය.

මහ බැංකු වාර්තා දත්ත මත පදනම් වන පහත වගුවෙන් පෙන්වා ඇති පරිදි, පසුගිය දෙවසර තුළ ලංකාව හා රුසියාව අතර වෙළඳාම සිදු වී තිබෙන්නේ රුසියාවේ වාසියටය. වෙනත් ලෙසකින් කියනවානම්, පසුගිය දෙවසර තුළ ලංකාව විසින් රුසියාවට තේ ඇතුළු සියලු අපනයන යවා ඉපැයූ මුදලට වඩා වැඩි මුදලක් රුසියානු ආනයන වෙනුවෙන් වැය කර තිබේ. මෙයට අමතරව, විවිධ උපාධි හැදෑරීමට රුසියාවට යන සිසුන් හරහාද සැලකිය යුතු විදේශ විණිමයක් ලංකාවෙන් රුසියාවට යයි.


පසුගිය 2016 වසර තුළ තේ අපනයනයෙන් ලංකාව ලැබූ සමස්ත ආදායම ඩොලර් මිලියන 1,269ක් හෙවත් ඩොලර් මිලියන 10,310ක මුළු අපනයන ප්‍රමාණයෙන් 12.3%කි. එයින් රුසියාවට විකුණා ඇති තේ වලින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 143ක් හෙවත් සමස්ත තේ අපනයන ආදායමෙන් 11.3%කි. මේ අනුව, රුසියාවට තේ යැවීමෙන් ලංකාව උපයා ඇති ආදායම සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට අඩු වන අතර ඒ මුදලද ආනයන වෙනුවෙන් නැවත රුසියාවට ගෙවා තිබේ. (මෙයට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟලුම් වලින් උපයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 20.4%කි.)

කෙසේ වුවද, මේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළේ රුසියානු-ශ්‍රී ලංකා වෙළඳ පරිමාව හා ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසි අවාසි සංසන්දනාත්මක ලෙස පෙන්වීමට මිස රුසියාවට තේ යැවීමේ වැදගත්කම අවතක්සේරු කිරීමට නොවේ. එය ලංකාවට ඉතා වැදගත්ය.

තේ ගැන කතා කරන්නට පෙර රුසියාවෙන් ලංකාවට සිදුවන ආනයන පසුගිය වසර හතක කාලය තුළ ඩොලර් මිලියන 3ක සිට 200ක් දක්වා 66 ගුණයකින් ඉහළ ගොස් ඇත්තේ ඇයිදැයි විමසිය යුතුය. මේ ගැන ස්ථිර අදහසක් පළ කරන්නට තරම් තොරතුරු මා සතුව නැති නිසා, ඒ සඳහා පාදක විය හැකිව තිබුණු හේතු ගැන සිතන්නට සිදු වේ. ඒ, පහත කරුණු වලින් එකක් හෝ කිහිපයක් විය හැකිය.

1. දිගින් දිගටම රුසියාවේ අවාසියට හා ලංකාවේ වාසියට තිබුණු වෙළඳ ශේෂය ගැන රුසියාව සැලකිලිමත් වී එය ඔවුන්ගේ වාසියට හරවා ගන්නට කටයුතු කිරීම.
2. ලංකාවේ විණිමය අනුපාතිකය අවශ්‍ය පමණට අවප්‍රමාණය නොවීම නිසා ලංකාවේ අපනයන තරඟකාරීත්වය ක්‍රමයෙන් අඩු වී රුසියානු අපනයන වල තරඟකාරිත්වය ඉහළ යාම.
3. ලංකාවේ කිසියම් පිරිසක් විසින් රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගෙන රුසියාවෙන් භාණ්ඩ ආනයනය කරන්නට  පටන් ගැනීම.

ලංකාව සමඟ වෙළඳ හිඟයක් දිගින් දිගටම පැවතෙන විට රුසියාවට ඒ වෙනුවෙන් ඩොලර් උපයන්නට සිදු වේ. ඒ ලංකාවට අවශ්‍ය වන්නේ ඩොලර් මිස රූබල් නොවන බැවිනි. එහෙත්, ඩොලර් යනු රුසියාවටද අවශ්‍ය දෙයකි. ඒ නිසා, ඉහත පළමු කරුණ අපට පහසුවෙන් බැහැර කළ නොහැකිය.

කෙසේ වුවත්, 2016 වසරේදී රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ආනයන වියදම ඩොලර් බිලියන 180කි. වෙළඳ ශේෂය ඩොලර් බිලියන 102ක අතිරික්තයකි. මේ ගණන් සමඟ සැසඳූ විට ලංකාව සමඟ වෙළඳාමෙන් රුසියාවට වන අවාසිය ගිණිය හැකි එකක් නොවේ. ඉතිහාසය පුරා විශාල ගෙවුම් ශේෂ අර්බුද වල සිටි අවස්ථා වලදී වුවද රුසියාව ලංකාව වැනි රටක් සමඟ කරන වෙළඳාමෙන් සිදුවන අවාසි ලොකු ප්‍රශ්නයක් ලෙස සිතා නැත.

දෙවැන්නද සලකා බැලිය හැකි කරුණකි. එහෙත්, එය ලංකාවේ විදේශ වෙළඳාමට පොදුවේ බලපාන ප්‍රශ්නයක් මිස රුසියාව සමඟ කරන වෙළදාමට පමණක් විශේෂයෙන් බලපාන තත්ත්වයක් නොවේ. මේ අනුව, ඉහත තෙවන කරුණට අපට සෑහෙන බරක් දෙන්නට පුළුවන.

ලංකාව රුසියාවෙන් ආනයනය කරන්නේ මොනවාද?

මේ හා අදාළවද විස්තරාත්මක දත්ත සොයාගන්නට නැතත් ලෝක වෙළඳ සංවිධානයේ දත්ත අනුව මෙය විවිධාංගීකරණය වූ පැසකි. මාධ්‍ය වාර්තා වල කතා කෙරෙන ඇස්බැස්ටෝස් හෝ ඇස්බැස්ටෝස් නිෂ්පාදන අමුද්‍රව්‍ය ඒ අතර තිබෙනවා විය හැකි වුවත් එය රුසියානු ආනයන සමස්තය නොවේ. රුසියානු ආනයන වලට සාපේක්ෂව ලංකාවෙන් එහි යවන අපනයන විවිධාංගීකරණය වී ඇත්තේ ඉතා අඩුවෙන් වන අතර අපනයන ආදායමෙන් 75-80% පමණම ලැබෙන්නේ තේ වලිනි.

රුසියාවට තේ යවා ලංකාව උපයන්නේ සමස්ත අපනයන ආදායමෙන් 1.4%කට නොවැඩි මුදලක් වුවත් එහි ක්ෂුද්‍ර ආර්ථික බලපෑම් සාර්ව ආර්ථික බලපෑම් වලටද වඩා විශාලය. රුසියාවට තේ අපනයනය කරන නිශ්චිත අපනයනකරුවන් සිටින අතර ඔවුන්ට තේ විකුණන නිශ්චිත අතරමැදියන් පිරිසක් හා නිශ්චිත තේ නිෂ්පාදකයින් පිරිසක් සිටිති. මේ පිරිස් විශාල රැකියා ගණනක් ජනනය කරන අතර ලංකාවේ පවුල් ගණනාවක් රුසියාවට යවන තේ වලින් යැපේ. ඩොලර් මිලියන 143ක සමස්ත අපනයන ආදායමම අහිමි වුවත් රටක් ලෙස ලංකාවට මහා විශාල ප්‍රශ්නයක් වන්නේ නැතත්, රට තුළ තේ කර්මාන්තයේ නියැලෙන්නන්ට එය විශාල ප්‍රශ්නයකි. අනෙක් අතට, රුසියාවෙන් ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ආනයනය කිරීමක් සිදුවේනම් බොහෝ දුරට එහි වාසිය ලබන්නේ පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ගොඩ නඟා ගෙන ඇති ආනයනකරුවෙකු හෝ කිහිප දෙනෙකි.

රුසියාව ලංකාවේ තේ තහනම් කරන්නට හේතු වී ඇත්තේ තේ තොගයක සිට හමු වී ඇති කුරුමිණියෙකි. රුසියාව පැත්තෙන් බැලූ කළ මේ තීරණය තර්කානුකූලය.

ඕනෑම රටක් තමන් විසින් ආනයනය කරන ආහාර හා කෘෂිකාර්මික භෝග වල තත්ත්වය ගැන අතිශයින්ම සංවේදීය. නවසීලන්තයෙන් එන කිරිපිටි තොගයක කුරුමිණියෙකු සිටියොත් ලංකාව ක්‍රියා කරනු ඇති ආකාරය සිතා ගන්නට අපහසු නැත. මෙවැනි සිදු වීමකින් පසු, රුසියාව ලංකාවේ තේ තහනම් නොකළත් ඒ සිදුවීම පමණක් වුවද ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම විශාල ලෙස පහත හෙළන්නට හේතු විය හැකිය.

ලංකාවේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලුම පහත වැටුණු විට එහි වැඩිම බලපෑමකට ලක්වන පිරිස අතර ඉහළින්ම සිටින්නේ රුසියාවට තේ යවන අපනයනකරුවන්ය. ඔවුන් රුසියාවට තේ යවන්නේ පළමුව තේ හැර වෙනත් ආදේශක සමඟත්, දෙවනුව වෙනත් රටවල තේ සමඟත්, තෙවනුව ලංකාවේම වෙනත් අපනයනකරුවන් සමඟත් තරඟ කරමිනි. මේ තරඟයෙන් එළියට විසි නොවන්නටනම් තමන්ගේ අපනයන වල තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබිය යුතු බව ඔවුන් නොදන්නවා නොවේ. රජය මැදිහත්වී තේ අපනයන තහනම ඉවත් කරගත්තත් කුරුමිණියා යැවූ අපනයනකරුට නැවත රුසියාවට තේ යවන්නට නොලැබෙන්නට ඉඩ තිබේ.

ඇතැම් අය විශ්වාස කරන පරිදි රුසියාව ලංකාවේ තේ තහනම් කර ඇත්තේ ලංකාව ඇස්බැස්ටෝස් තහනම් කිරීමට එකට එක කිරීමක් ලෙසිනි. මේ කතාව ඇත්තක්නම්, සැබෑ ප්‍රශ්නය කුරුමිණියෙකු සිටීම නොවේ. ඇස්බැස්ටෝස් තහනම හරහා රුසියාවට රිදවීමයි.

රුසියාවට ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට එකට එක කරන්නට අවශ්‍ය වෙලාවේම ලංකාවෙන් යවන තේ තොගයක කුරුමිණියෙක් හමු විය හැකිද? මේ කුරුමිණියා කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? ඇස්බැස්ටෝස් තහනම් කිරීම ගැන අමනාපයෙන් සිටි රුසියාව හිතාමතාම කුරුමිණි කතාවක් ගෙතුවාද?

ඇස්බැස්ටෝස් තේ සම්බන්ධය ඇත්තක්නම් ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සෑහෙන්න රිදී තිබිය යුතුය. රුසියාවට ඒ තරමටම රිදෙන්නටනම් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට ලොකු පාඩුවක් සිදුවිය යුතුය.

පෙර කී පරිදි රුසියාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 282කි. ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ඇතුළු රුසියාවෙන් ලංකාවට එවන මුළු භාණ්ඩ තොගයේම වටිනාකම ඩොලර් බිලියන 0.2කි. එනම්, රුසියාවේ අපනයන ආදායමෙන් 0.1%කටත් අඩු ප්‍රමාණයකි. ලංකාවට එවන මුළු අපනයන තොගයම නැති වුණත්, එසේ නැත්නම් එය හිටිවනම දෙගුණ වුනත්, රුසියාවට දැනෙන්නේවත් නැත. රූබලයේ බාහිර වටිනාකම (විණිමය අනුපාතිකය) උච්ඡාවචනය වීම නිසා පැයක් වැනි කාලයක් තුළ සිදුවන බලපෑම ඊට වඩා වැඩිය. ඒ නිසා, ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට සැලකිය යුතු ආර්ථික බලපෑමක් සිදු වේයැයි සිතීම පදනම් විරහිතය.

කෙසේ වුවද, ලෝකයේ විශාලතම ඇස්බැස්ටෝස් නිෂ්පාදකයා මෙන්ම අපනයනකරුද රුසියාවයි. ඇස්බැස්ටෝස් නිසාම ප්‍රසිද්ධ වූ ඇස්බැස්ට් වැනි නගර පවා රුසියාවේ තිබේ. එම නගරය කේන්ද්‍ර කර කටයුතු කරන උරල්ඇස්බැස්ට් සමාගම පමණක් රුසියානු ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් නිෂ්පාදිතයෙන් 45%ක් හා ලෝක නිෂ්පාදිතයෙන් 22%ක් නිපදවන අතර එයින් 78%ක් අපනයනය කරයි. 2015 වසරේදී ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත නොවීමට හේතු වූයේද රුසියාව, කියුබාව, කසකස්ථානය, කිර්ගිස්තානය, ඉන්දියාව, පකිස්ථානය හා සිම්බාබ්වේ යන රටවල විරුද්ධත්වයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඇස්බැස්ටෝස් හේතුවෙන් වසරකට සිදුවන මරණ ගණන 107,000කි. වෘත්තිමය සුරක්ෂිතතාව පිළිබඳ ගැටළු නිසා ලොව පුරා සිදුවන මරණ වලින් අඩක්ම සිදුවන්නේ ඇස්බැස්ටෝස් හේතුවෙනි. ඇස්බැස්ටෝස් භාවිතයේ ඇති සෞඛ්‍යමය හානි සලකමින් මේ වන විට ලෝකයේ රටවල් 55ක් පමණ ඇස්බැස්ටෝස් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේ කර නැති ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව වැනි රටවල ඇස්බැස්ටෝස් භාවිතය දැඩි නියාමනයකට ලක් කර භාවිතය සීමා කර තිබේ. ලෝක කම්කරු සංවිධානය විසින් ක්‍රොසයිඩොලයිට් ඇස්බැස්ටෝස් වැනි ඇස්බැස්ටෝස් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතත් ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් තවමත් රටවල් ගණනාවක බහුලව භාවිතා වේ.

මේ වන විට ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් කණින ප්‍රධාන රටවල් වන්නේ රුසියාව, චීනය, බ්‍රසීලය හා කසකස්ථානයයි. ඇස්බැස්ටෝස් අපනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ රුසියාව, බ්‍රසීලය, කසකස්ථානය, චීනය හා ඉන්දියාවයි. ඒ අතරින්ද, ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාවයි. ලෝකයේ වැඩියෙන්ම ඇස්බැස්ටෝස් ආනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය හා ලංකාවයි.

ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර නැති බොහෝ රටවල පවා පසුගිය දශකය තුළ ඇස්බැස්ටෝස් භාවිතය විශාල ලෙස අඩුවී ඇතත් රටවල් කිහිපයක සිදුවී ඇත්තේ එහි අනිත් පැත්තයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය කාලයේදී ඇස්බැස්ටෝස් භාවිතය ඉහළ ගිය රටවල් අතළොස්සට ලංකාවද අයත්ය. මේ තත්ත්වය සලකා බලන විට ලංකාව විසින් ඇස්බැස්ටෝස් ආනයනය ක්‍රමයෙන් නැවැත්වීමට ගත් තීරණයට පැහැදිලි පදනමක් තිබේ.

ලෝක ඇස්බැස්ටෝස් අපනයන වලින් 56%ක්ම කරන්නේ රුසියාව වුවත් මේ අපනයන වලින් රුසියාවට ලැබෙන ආදායම එතරම්ම විශාල නැත. ඒ, සමස්ත ලෝක ඇස්බැස්ටෝස් වෙළඳ පරිමාවම ඇමරිකන් ඩොලර් මිලියන 344ක් පමණක් වන බැවිනි. රුසියාව ඇස්බැස්ටෝස් අපනයනය කර උපයන මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 191ක් පමණක් වන අතර (2015 දත්ත) එම මුදල රුසියාවේ සමස්ත අපනයන ආදායම වන ඩොලර් බිලියන 282න් 0.1%කටත් අඩුය. මගේ ඇස්තමේන්තු අනුව, ලංකාවට අපනයනය කරන ඇස්බැස්ටෝස් ප්‍රමාණයේ සමස්ත වටිනාකමම ඩොලර් මිලියන 20ක පමණ  මුදලක් වන අතර මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රුසියාවෙන් ආනයනය කරනවා වුවත් රුසියන් ලංකා ඇස්බැස්ටෝස් වෙළඳාම ඩොලර් මිලියන 20 නොඉක්මවයි. මේ තරම් සොච්චම් මුදලක් වෙනුවෙන්, බොහෝ රටවල් විසින් දැනටමත් ගෙන ඇති මහජන සෞඛ්‍යය හා අදාළ තීරණයක් ගැනීමට එකට එක කරමින්, ලංකාවට දඬුවම් කරන්නට රුසියාවට අවශ්‍යද යන්න සැක සහිතය.

කෙසේ වුවත්, ක්‍රෛසටයිල් ඇස්බැස්ටස් අන්තරායකර ද්‍රව්‍යයක් ලෙස නම් කරමින් අපනයනය නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට රුසියාව විරුද්ධ විය. ඒ නිසා, අපට දැනට ප්‍රචලිතව ඇති මතය මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, රුසියාව වැනි ප්‍රබල රටක් ලංකාවේ ඇස්බැස්ටෝස් තහනමට සෘජුවම විරෝධය නොපා කුරුමිණියෙක් සම්බන්ධ කරගෙන තේ ආනයනය තහනම් කරන්නට යොමුවීමද තරමක් අසාමාන්‍ය දෙයකි.

ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම නිසා රුසියාවට දැනෙන බලපෑමක් සිදුනොවුණත් එයින් විශාල පාඩුවක් වන කොටස් නැත්තේ නැත. මෙහිදී මුලින්ම සැක මතු වන්නේ ලංකාවට රුසියාවෙන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලාභ ලබන කණ්ඩායම් පිළිබඳවය. පසුගිය වසර කිහිපය ඇතුළත රුසියාව සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගනිමින් රුසියන් ඇස්බැස්ටෝස් ආනයනය කර ලංකාවේ ප්‍රචලිත කළ අයටනම් ඇස්බැස්ටෝස් තහනම නිසා සිදුවන්නේ විශාල හානියකි. ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක කිරීමට ආසන්නව අහඹු ලෙස සිදු වූ කුරුමිණි ගමන හා එයට ප්‍රතිචාර ලෙස රුසියාව විසින් ලංකාවේ තේ ආනයනය කිරීම තහනම් කිරීම සම්බන්ධ කරමින් කතාවක් ගොතන්නට එවැනි අයෙකුට නුවණ පෑදෙන්නට බැරිකමක් නැත. යම් හෙයකින් එය එසේ වූවානම්, ඇස්බැස්ටෝස් තහනම අකුළා ගනිමින් ආණ්ඩුව ලස්සනට ඇඳගෙන තිබේ.

Friday, March 4, 2016

ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...


පළමු කොටස

දෙවන කොටස  


පසුගිය ලිපි දෙකෙන් විස්තර කළ පරිදි රටවල් දෙකක් අතර නිදහස් වෙළඳාමකින් දෙරටටම වාසි සැලසේ. එහි පදනම තුලනාත්මක වාසියයි. කිසියම් රටකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධව පරිපූර්ණ වාසියක් නැත්තේ වුවද තුලනාත්මක වාසි අනිවාර්යයෙන්ම තිබේ.

අපි දැන් අපේ පළමු ආකෘතියට ආපසු යමු. එම ආකෘතිය අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල (අල වලට සාපේක්ෂව) මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

මේ අනුව, මාළු කිලෝඑක අල කිලෝ 0.333කට වැඩි හා කිලෝ 3කට අඩු ඕනෑම පදනමකින් රටවල් අතර සාර්ථක වෙළඳාමක් සිදුවිය හැකිය. කෙසේවුවද, විවිධ බාධාවන් නිසා මෙය මේ අයුරින්ම සිදු නොවීමට ඉඩ තිබේ. මේ ඇතැම් බාධා ස්වභාවික බාධාවන්ය. තවත් ඒවා කෘතීම බාධාවන්ය.

මේ අතරින් පළමුවැන්න ප්‍රවාහන වියදමයි. මෙය පැහැදිලි කිරීමට පළමුව මම මුදල් ඒකක දෙකක්ද හඳුන්වා දෙමි. අල්ලංකාවේ මුදල් අලර් වන අතර ගලවංකාවේ මුදල් ගලර් නම් වේ. අල්ලංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම අලර් එකකි. ගලවංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම ගලර් එකකි. නාමික විනිමය අනුපාතිකය අලර් එකකට ගලර් එකකි.

එක් එක් රටේ මිල ගණන් මෙසේය.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.

ප්‍රවාහන වියදම් නොමැතිනම් අල්ලංකාවෙන් ආනයනය කරන මාළු වල මිල ගලවංකාවේදී ගලර් 0.333ක් වනු ඇත. එමෙන්ම, ගලවංකාවෙන් ආනයනය කරන අල වල මිල අල්ලංකාවේදී අලර් 0.333ක් වනු ඇත.

රටකින් තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනයේදී වියදමක් දැරීමට සිදුවේ. අපනයනය කරන භාණ්ඩයක් වෙනත් රටක විකුණන විට මේ ප්‍රවාහන වියදමද ආවරණය කර ගැනීමට සිදුවේ. ඉහත උදාහරණදී අල හෝ මාළු කිලෝවක් අනිත් රටට ප්‍රවාහනය කිරීමට යන වියදම අලර් (හෝ ගලර්) 0.667කට වඩා වැඩිනම් දෙරට අතර වෙළඳාමක් සිදු නොවේ. ප්‍රවාහන වියදම් ඊට වඩා අඩුනම් වෙළඳාම සිදුවේ.

එමෙන්ම, මේ භාණ්ඩ කල් තබා ගත හැකි, නරක් නොවන භාණ්ඩද විය යුතුය. ප්‍රවාහනය කිරීමට ගතවන කාලය තුළ මාළු නරක් වෙනවානම් එවැනි භාණ්ඩයක් අපනයනය කිරීම අපහසු කරුණකි. යම් හෙයකින් අපනයනය කරන්නේනම් ප්‍රවාහනය කරන කාලය තුළ මාළු නරක් වීමේ අවදානම නිසා වන පාඩුවද විකිණුම් මිලට එකතු කිරීමට හැකි වන තරමේ මිල වෙනසක් පැවතිය යුතුය.

මෙවැනි ස්වභාවික බාධා නිසා යම් රටක නිපදවන සෑම භාණ්ඩයක්ම අපයනය කිරීමක් සිදු නොවේ.  කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව සමඟ ප්‍රවාහනයට ගතවන කාලය අඩුවීම හා ප්‍රවාහන වියදම් අඩුවීමත්, කල්තබා ගතහැකි ක්‍රම සහ ඇසුරුම් ක්‍රම දියුණු වීමත් සිදුවන විට මේ ස්වභාවික බාධා වල බලපෑම අඩුවේ.

මෙවැනි ස්වභාවික බාධක වලට අමතරව ජාත්‍යන්තර වෙළඳාමට කෘතීම බාධකද තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත බාධකය ආනයන හා අපනයන බදුය.

ආනයන හා අපනයන බදු පැනවීම මඟින් යම් රටක රජයකට ආදායමක් ලැබිය හැකිය. කෙසේවුවද, එමඟින් සිදුවන්නේ සමස්තයක් ලෙස වැඩි දෙනෙකුට යහපතක් සැලසෙන ගනුදෙනුවක් කෘතීම ලෙස වලක්වනු ලැබීමයි. උදාහරණයක් ලෙස පහත තත්ත්වය සලකමු.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.
නාමික විනිමය අනුපාතිකය: අලර් එකකට ගලර් එකකි.
ප්‍රවාහන, ඇසුරුම් හා කල්තබාගැනීම සඳහා වන වියදම් සහ ව්‍යවසායකයාගේ ශ්‍රමයේ වටිනාකම: මාළු කිලෝඑකක් සඳහා අලර් 0.167කි. අල කිලෝඑකක් සඳහා ගලර් 0.067කි.

දැන් අල්ලංකාවේ මාළු නිෂ්පාදකයෙකුට ගලවංකාවට මාළු ප්‍රවාහනය කර එහි පාරිභෝගිකයෙකුට ගලර් 0.500 කට මාළු විකිණිය හැකිය. ඉන්පසු, ඒ මුදලින් අල කිලෝ 1.5ක් මිල දී ගත හැකිය. ඒ අල අල්ලංකාවට ප්‍රවාහනය කර කිලෝව අලර් 0.400 බැගින් විකිණිය හැකිය.

මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතන අල්ලංකාවේ රජයට අල සඳහා ආනයන බද්දක් පැනවිය හැකිය. මෙය අල කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවේ අල කිලෝවක් විකිණෙන්නේ අලර් 0.600කටය. ගලවංකාවේ නිෂ්පාදකයින්ට කිසිදු පාඩුවක් වී නැත. එහෙත්, අල්ලංකාවේ රජය ආදායමක් ලබයි. කලින් දේශීය අල කිලෝ එක අලර් 1.000කට මිලදී ගත් ලංකාවේ පාරිභෝගිකයින්ටද ආනයනික අල කිලෝව අලර් 0.600කට මිල දී ගැනීමට හැකි වීම වාසියකි. කෙසේවුවද, මෙහිදී අල්ලංකාවේ රජය විසින් නැති කර ඇත්තේ තම රටේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකිව තිබුණු වාසියකින් කොටසකි. එසේ එකතු කර ගන්නා බදුමුදල් නැවත රටේ යහපත වෙනුවෙන්ම යොදවනවානම් මේ බද්දට අල්ලංකාවේ ජනතාව විරුද්ධ නොවන්නට පුළුවන.

එමෙන්ම අල්ලංකාවේ රජයට මාළු සඳහා අපනයන බද්දක් පැනවීමටද පුළුවන. මෙය මාළු කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවෙන් අපනයනය කරන මාළු ගලවංකාවේ විකිණෙන්නේ ගලර් 0.700 කටය. මේ මිල ගලවංකාවේ දේශීය මාළු මිල වූ ගලර් 1.000ට වඩා තවදුරටත් අඩු නිසා මේ මිලට එහි මාළු විකිණීම ප්‍රශ්නයක් නොවේ. දැන් අල්ලංකාවේ රජයට අපනයන බදු වලින් ආදායමක් ලැබෙන නමුත් අල්ලංකාවේ කිසිවෙකුට එයින් අවාසියක් සිදුවී නැත. අවාසිය ඇත්තේ ගලවංකාවේ පාරිභෝගිකයින්ටය. වැඩේ නරක නැත!

ප්‍රශ්නය තියෙන්නේ  අල්ලංකාවේ රජය මෙසේ බදු පනවන විට ගලවංකාවේ රජයද එකට එක කිරීමයි. අන්තිමේදී දෙරටේම මාළු හා අල කිලෝවක මිල අලර් (හෝ ගලර්) 1.000ක් වන තුරු, එනම් තවදුරටත් බදු ඉහළ නැංවීමෙන් ලාභයක් නැති වන තුරු, රජයයන් දෙකම බදු ඉහළ නංවනු ඇත. අන්තිමට දෙරටින් එක් රටකටවත් විශේෂ වාසියක් නැත.

ඉහත ආකාරයෙන් දෙරටක් 'තරඟයට' ආනයන අපනයන බාධක දැමීමෙන් දෙරටේම පාරිභෝගිකයින් ගෙවන මිල අන්තිමේදී වැඩි වේ. මේ වැඩි මිලේ වාසිය යන්නේ ඒ රටවල රජයන්ටය. තමන්ගේ රටේ වැසියන්ට හැකි තරම් අඩුවෙන් අවාසියක් වන පරිදි ආනයන අපනයන බදු පැනවීමට දෙරටම උත්සාහ කළත් අවසානයේ සිදුවන්නේ එක් රටකටවත් එවැනි විශේෂ වාසියක් නැති වී අකාර්යක්ෂමතාවයන් වැඩිවීම පමණි. එහෙත්, මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය වෙනස් කිරීම පහසු නැත. එක් රටක් ඒක පාර්ශ්වීය ලෙස බදු ඉවත් කළ විට ඒ වාසිය අනිත් රටට ලබා ගැනීමට පුළුවන. එය සිදු නොවන පරිදි, දෙරටම එක් වර මෙවැනි බාධක ඉවත් කිරීම ප්‍රායෝගිකව සිදු වන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟිනි.



(Image: d4nations.com)

Saturday, February 27, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2


පළමු කොටස

පෙර ලිපියෙන් මම ජාත්‍යන්තර වෙළඳාමට අදාළ 'පරිපූර්ණ වාසිය' නම් වූ සංකල්පය හඳුන්වා දුන්නෙමි. ඒ සඳහා මා උදාහරණයට ගත්තේ ප්‍රමාණයෙන් සමාන ආර්ථිකයන් ඇති රටවල් දෙකකි. මගේ උදාහරණයේදී මා රටවල් දෙකේ ජනගහණය සමාන ලෙස සැලකුවද, එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැත. උදාහරණයක් ලෙස ගලවංකාවේ ජනගහණය 100ක් නොවී 1000ක් වීනම් සහ එක් පුද්ගලයෙකුගේ නිෂ්පාදන හැකියාව අල ග්‍රෑම් 300ක් හා මාළු ග්රෑම් 100ක් වූයේනම් ලැබෙන්නේද එකම ප්‍රතිඵලයයි. මෙහිදී අදාළ වන්නේ ආර්ථිකයේ ප්‍රමාණයයි. කෙසේ වුවද, ප්‍රමාණයෙන් වෙනස් ආර්ථිකයන් දෙකක් අතර සිදුවන වෙළඳාම මගේ පළමු ආකෘතිය මඟින් තේරුම් ගැනීමට නොහැකි විය හැකිය.

ප්‍රමාණයේ වෙනස ගැන කතා කිරීමට පෙර මේ උදාහරණයේදී දෙරටටම වාසි ලැබුණේ කෙසේද යන කරුණ සාකච්ඡා කළ යුතුය. යම් රටක ආර්ථිකයක් හුදෙකලාව ඇති විට එහි විවිධ භාණ්ඩ හා සේවාවන්හි සාපේක්ෂ මිල මට්ටම් සකස් වන්නේ රට තුළ එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා නිෂ්පාදන සාධක වල ඵලදායීතාව අනුවය. ඒ අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

රටවල් දෙකටම වාසියක් ලැබීමට හේතු වූයේ මේ වෙනසයි. මාළු කිලෝඑක අල කිලෝ 0.333 කට වැඩි ඕනෑම මිලක් අල්ලංකාවට වාසිදායකය. මාළු කිලෝඑක අල කිලෝ 3 කට වඩා අඩු ඕනෑම මිලක් ගලවංකාවට වාසිදායකය. මේ පරාසය තුළ ඕනෑම මිලකට රටවල් දෙක අතර ගණුදෙණුවක් සිදුවීමේ ඉඩකඩක් පවතී. මගේ උදාහරණයේදී එය සිදුවුනේ මාළු කිලෝඑකකට අල කිලෝඑකක් යන පදනමිනි. එහිදී, දෙරටේම ජාතික ආදායම් දෙගුණ විය. වෙනත් අයුරකින් කිවහොත් දෙරටටම සමාන වාසියක් ලැබුණේය.

රටවල් දෙකක් අතර සිදුවන ගණුදෙණුවලදී ඉහත උදාහරණයේ මෙන් හැම විටම දෙරටටම සම වාසි සිදුනොවේ. උදාහරණයක් වශයෙන් හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 0.333-1.00 අතර (0.5 හෝ 0.75 වැනි) අනුපාතයකින්නම් ගලවංකාවට වැඩි වාසි ලැබේ. එමෙන්ම, හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 1.00-3.00 අතර (1.5 හෝ 2.5 වැනි) අනුපාතයකින්නම් අල්ලංකාවට වැඩි වාසි ලැබේ. එය තීරණය වන්නේ දෙපාර්ශ්වය අතර සිදුවන හෙට්ටු කිරීම් මතය. කෙසේ වුවද, කවර තත්ත්වයක් යටතේ වුවද ස්වේච්ඡාවෙන් කරන ගනුදෙණුවකින් එහි එක් පාර්ශ්වයකටවත් අවාසියක් සිදු නොවේ. සිදු විය හැක්කේ ලැබෙන වාසියේ අඩු වැඩි වීමකි.

සාමාන්‍යයෙන් ඕනෑම රටකට තවත් රටකට සාපේක්ෂව පරිපූර්ණ වාසියක් ඇති නිෂ්පාදන යම් ප්‍රමාණයක් තිබේ. ජාත්‍යන්තර වෙළඳාම වාසිදායක වන්නේ එවැනි පරිපූර්ණ වාසි ඇති විට පමණක්ද? එමෙන්ම, රටවල් දෙකේ ආර්ථික ප්‍රමාණයෙන් අසමාන වූ විට සිදු වන්නේ කුමක්ද?

යම් රටකට කිසිදු නිෂ්පාදනයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැතත් 'තුලනාත්මක වාසියක්' ඇති නිසා එවැනි තත්ත්වයක් යටතේ වුවද ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන්නේ වාසියකි. දැන් අපි මේ 'තුලනාත්මක වාසිය' නම් වූ සංකල්පය ගැන කතා කරමු.

මේ දෙවන ආකෘතියේද අල්ලංකාව පළමු ආකෘතියේ අල්ලංකාවට සමානය. ජනගහණය 100කි. එයින් 25 දෙනෙකු මාළු අල්ලද්දී 75 දෙනෙකු අල ගලවති. අල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් (පෙර මෙන්ම) මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 1 බැගින් කිලෝ 75 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3 බැගින් කිලෝ 75 කි.

අල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 3කට හුවමාරු වේ.

මේ දෙවන ආකෘතියේ අල්ලංකාව වෙළඳාම් කරන්නේ හොල්ලංකාව නම් වූ වඩා විශාල ආර්ථිකයක් ඇති රටක් සමඟය. එහිද ජනගහණය 100කි. එහෙත්, හොල්ලංකාවේ වැසියෙකු අල මෙන්ම මාළු නිෂ්පාදනය අතින්ද අල්ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. හොල්ලංකාවේ 50 දෙනෙකු මාළු අල්ලද්දී 50 දෙනෙකු අල ගලවති. හොල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 2.25 බැගින් කිලෝ 112.5 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3.5 බැගින් කිලෝ 175 කි.

හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට (3.5/2.25) හුවමාරු වේ.

මේ රටවල් දෙක අතරින් අල වලින් මෙන්ම මාළු වලින්ද පරිපූර්ණ වාසිය ඇත්තේ හොල්ලංකාවටය. එසේනම්, හොල්ලංකාව සමඟ ගණුදෙනු කිරීමෙන් අල්ලංකාවට වාසියක් ලබා ගත නොහැකිද?

පරිපූර්ණ වාසියක් නැතත් අල්ලංකාවට තුලනාත්මක වාසියක් ලබා ගැනීමට බාධාවක් නැත.

අල්ලංකාවේ අල කිලෝ 1ක් හුවමාරුවන්නේ මාළු කිලෝ 3කටය. හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට හුවමාරු වේ. මාළු කිලෝ 3ක් දී අල්ලංකාවෙන් අල කිලෝවක් ගන්නවාට වඩා මාළු කිලෝ 1.556 කට හොල්ලංකාවෙන් අල කිලෝවක් ගැනීම අල්ලංකාවට වාසිදායකය. එමෙන්ම, අල කිලෝවකට හොල්ලංකාවෙන්  මාළු කිලෝ 1.556ක් ගන්නවාට වඩා අල්ලංකාවෙන් මාළු කිලෝ 3ක් ගැනීම හොල්ලංකාවට වාසිදායකය. ඒ නිසා, අල කිලෝවකට මාළු කිලෝ 1.556-3.00 අතර, දෙරට එකඟවන ඕනෑම අනුපාතයකට හුවමාරුවක් කිරීම දෙරටටම වාසිදායකය. මෙසේ එකඟවන අනුපාතය අපි අල කිලෝවකට මාළු කිලෝ 2.333 වැනි අතරමැදි ගණනක් ලෙස සලකමු.

දැන් අල වලට පරිපූර්ණ මෙන්ම තුලනාත්මක වාසියක්ද ඇති හොල්ලංකාව අල ගලවයි. මාළු වලට පරිපූර්ණ වාසියක් නැතත්, තුලනාත්මක වාසියක් ඇති අල්ලංකාව මාළු අල්ලයි.

අල්ලංකාව මාළු කිලෝ 300ක් (3.0x 100)නිපදවයි.
හොල්ලංකාව අල කිලෝ 350ක් (3.5x 100) නිපදවයි.

අල්ලංකාව හොල්ලංකාවට මාළු කිලෝ 210ක් අපනයනය කර අල කිලෝ 90ක් (210/2.333 = 90) ආනයනය කරයි.

දැන් අල්ලංකාවේ පරිභෝජනය මාළු කිලෝ 90ක් (300 - 210) සහ අල කිලෝ 90 කි. වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 75ක් සහ අල කිලෝ 75 ක් විය. මේ අනුව, අල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

හොල්ලංකාවේ සිදුවන්නේ කුමක්ද? එහි පරිභෝජනය මාළු කිලෝ 210ක් සහ අල කිලෝ 135 කි (225-90). වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 175ක් සහ අල කිලෝ 112.5 ක් විය. මේ අනුව, හොල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

මේ උදාහරණයේදී රටවල් දෙකේම අල හා මාළු පරිභෝජනය එකම ප්‍රතිශතයකින් වැඩි වුවද එය හැම විටම එසේ සිදු නොවේ. හුවමාරු අනුපාතය වෙනස් වන විට දෙරටේ වාසි අවාසි වෙනස් වෙයි. එහෙත්, සමස්තයක් වශයෙන් දෙරටටම හැම විටම සිදුවන්නේ වාසියකි.

(Image: www.yourarticlelibrary.com)

Friday, February 26, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1



රටවල් දෙකක් අතර ඇති කර ගන්නා වෙළද ගිවිසුමකින් ඒ එක් එක් රටේ විවිධ අංශ වලට සිදුවන බලපෑම හැදෑරීම සංකීර්ණ, කාලය ගත වන වැඩකි. එට්කා ගිවිසුමට පක්ෂ වීමට, විරුද්ධ වීමට හෝ මධ්‍යස්ථව අදහස් දැක්වීමට සදාචාරාත්මක වගකීමක් ඇති ආර්ථික විද්‍යාඥයින් ඕනෑ තරම් සිටින පසුබිමක, විනෝදාංශයක් වශයෙන් කරන කටයුත්තක් වෙනුවෙන් එවැනි ලොකු කාලයක් යෙදවීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් මට නැත. එහෙත්, එට්කා ගිවිසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාම විෂයයෙහි උනන්දුවක් ඇති වී ඇති මේ වෙලාවේ, ඒ හා අදාළ මූලික විෂය කරුණු කිහිපයක් කතා කිරීමනම් එතරම් මහන්සියක් විය යුතු කටයුත්තක් නොවේ.

රටවල් දෙකක් අතර වෙළඳාම නිදහස් කිරීම හොඳද නරකද යන්න සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවක් නොවේ. එය තරමක හෝ ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකුට "කුකුළාගේ කරමල රතුද නැත්නම් සුදුද?" ආකාරයේ, පිළිතුර පිළිබඳ අවිනිශ්චිතතාව අඩු, ප්‍රශ්නයකි. ආර්ථික විද්‍යාඥයෙකු මෙවැනි කරුණක් අරභයා විමසන ප්‍රශ්න වන්නේ "කුකුළාගේ කරමල සුදුවීමට ඇති ඉඩකඩ මොනවාද?" හෝ "කුකුළාගේ කරමල සුදුවුනේ ඇයි?" වැනි ප්‍රශ්නයි.

ජාත්‍යන්තර වෙළඳාම හා අදාළ මූලික සංකල්ප දෙකක් වන්නේ 'පරිපූර්ණ වාසිය (absolute  advantage)' සහ 'තුලනාත්මක වාසිය (comparative advantage)' යන තත්ත්වයන්ය. මේ ලිපියේ අරමුණ මේ සංකල්ප දෙකෙන් පළමුවැන්න පැහැදිලි කිරීමයි. 


දැන් අපි අපේ පළමු සරල ආකෘතියට යමු.

ගලවංකාව සහ අල්ලංකාව කියා රටවල් දෙකක් තිබේ. මේ රටවල් දෙක ජනගහණය අතින් සමානය. එක් රටක 100 බැගිනි. රටවල් දෙකේම ජනජීවිතය හා ආහාර පුරුදු සමානය. රටවැසියෝ එක්කෝ ඉබේ වැවී ඇති අල ගලවති. නැත්නම් මාළු අල්ලති. ඉන්පසු අල සහ මාළු යොදා හදන කෑමක් කා ඇල්වතුර බී නිදාගනිති. රටවල් දෙකේම තත්ත්වය මේ කරුණු අනුව සමානය. කෙසේ වුවද, අල සහ මාළු නිෂ්පාදනය කිරීමට වැය කළ යුතු ශ්‍රමය (නිෂ්පාදන සාධක) අතින් රටවල් දෙක සමාන නැත.

පළමුව අපි අල්ලංකාවට යමු. මෙහි වැසියෙකුට දවසක් මහන්සි වී මාළු කිලෝ 3ක් ඇල්ලිය හැකිය. නැත්නම් අල කිලෝවක් ගැලවිය හැකිය. ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා අල්ලංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම අල කිලෝවකි. නැත්නම්, මාළු කිලෝ තුනකි. ඒ අනුව,
අල්ලංකාව තුල අල කිලෝවක් මාළු කිලෝ තුනකට හුවමාරු වේ. 

අල්ලංකාවේ අල වවන්නෝ අල ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කරති. මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 2250ක් අල ග්‍රෑම් 750කට (අල වවන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ අල්ලංකාවේ කවුරුත් අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

ගලවංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එහි වැසියෙකුට දවසක් මහන්සි වී අල කිලෝ 3ක් ගැලවිය හැකිය. නැත්නම් මාළු කිලෝවක් ඇල්ලිය හැකිය. ගලවංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම මාළු කිලෝවකි. නැත්නම්, අල කිලෝ තුනකි.
ඒ අනුව, ගලවංකාව තුල මාළු කිලෝවක් අල කිලෝ තුනකට හුවමාරු වේ.

ගලවංකාවේ මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 250ක් අල ග්‍රෑම් 750කට හුවමාරු කරති. අල වවන්නෝ අල ග්‍රෑම් 2250ක් මාළු ග්‍රෑම් 750කට (මාළු අල්ලන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ ගලවංකාවේ වැසියනුත් අල්ලංකාවේ වැසියන් මෙන්ම අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

මේ රටවල් දෙකෙන් අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. එමෙන්ම, ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. මෙහිදී පරිපූර්ණ වාසියක් ලෙස හැඳින්වෙන්නේ සමාන නිෂ්පාදන සාධක යොදවා එක් රටකට වෙනත් රටකට වඩා වැඩි නිෂ්පාදනයක් කිරීමට ඇති හැකියාවයි.


තමන්ට පරිපූර්ණ වාසියක් ඇති භාණ්ඩයක් නිපදවා වෙනත් රටකට විකිණීමෙන් ඕනෑම රටකට වාසියක් ලැබේ. උදාහරණයක් වශයෙන් අල්ලංකාවේ සියල්ලෝම මාළු අල්ලද්දී ගලවංකාවේ සියල්ලෝම අල ගලවතැයි සිතමු. දැන් අල්ලංකාවේ මාළු කිලෝ 300ක්ද ගලවංකාවේ අල කිලෝ 300ක්ද නිපදවේ. අල්ලංකාවේ මාළු වලින් කිලෝ 150ක් ගලවංකාවේ අල කිලෝ 150ක් සමඟ හුවමාරු කරයි.

අන්තිමේදී අල්ලංකාවේ වැසියෙකු තමන් අල්ලන මාළු කිලෝ තුනෙන් කිලෝ 1.5ක් ගලවංකාවේ වැසියකුගේ අල කිලෝ 1.5ක් වෙනුවෙන් හුවමාරු කරයි.  අල්ලංකාවේ මෙන්ම ගලවංකාවේ වැසියෝත් අල කිලෝ 1.5ක් සහ මාළු කිලෝ 1.5ක් බැගින් පරිභෝජනය කරති. රටවල් දෙක අතර වෙළඳාම නිසා දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ. මෙහිදී, කිසිවෙකුට අවාසියක් වී නැත.

දෙවන සංකල්පය වන තුලනාත්මක වාසිය පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: lexleader.net)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...