වෙබ් ලිපිනය:

Showing posts with label ආර්ථික අර්බුදය. Show all posts
Showing posts with label ආර්ථික අර්බුදය. Show all posts

Sunday, May 15, 2022

රනිල්ගේ ගෝටාගෝගම ගමන


සජිත් ප්‍රධාන සජබ විසින් තමන් කිසිසේත්ම ආණ්ඩුව සමඟ එකතු නොවෙන බව දැඩි ලෙස කියනවා. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ අරගලකරුවන්ව පාවා දිය නොහැකි බවයි. එසේ කීමෙන් සජිත් ඇතුළු සජබ විසින් පෙන්වන්න හදන්නේ ඔවුන් අරගලකරුවන් සමඟ ඒකාත්මිකව සිටින බවයි. 

ටික දවසකට කලින් සජිත් ගොටාගෝගම ගිය බවත්, එහිදී සජිත්ට ලැබුණු ප්‍රතිචාරත් කවුරුත් දන්නවා. ඊට සමගාමීව ගොටාගෝගම ගිය අනුර කුමාරට එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනේ නැහැ. මෙය විවිධ ආකාරයන්ගෙන් අර්ථකථනය වුනා. සජබ පැත්තෙන් කියවුනේ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූ බවයි. ඇත්තටම සිදු වුනේ එවැන්නක් වෙන්න පුළුවන්.

වඩා වැදගත් කරුණ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූවාද නැද්ද කියන එක නෙමෙයි. ඔවුන් එසේ කළේනම්, ඔවුන්ට අරගල භූමිය තුළ එසේ කළ හැකි වුනා කියන එකයි. මීට පෙර පාර්ලිමේන්තුව අසලදීත් මීට සමාන දෙයක් සිදු වුනා. මේ සිද්ධි හා අදාළව ජවිපෙට කරන විවේචන ඇත්ත සේ සැලකුවත්, එයින් පැහැදිලිව ගම්‍ය වන්නේ සජබට අරගලය තුළ කළ නොහැකි වූ දෙයක් ජවිපෙ විසින් අරගලය තුළ කර තිබෙන බවයි.

මේ සිද්ධිය හා අදාළව අනුර කුමාර විසින් පැහැදිලි කිරීමක් කළා. එහිදී ඔහු කිවුවේ සජිත් විසින් අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කළ සංස්කෘතිය නියෝජනය කරමින් එහි පැමිණීම හා තමන් එසේ නොකිරීම වෙනස් ප්‍රතිචාර වලට හේතු වූ බවයි. අදාළ සිද්ධිය පැත්තකින් තිබ්බත් අනුර කුමාර කියන මේ කතාව ඇත්තක්. සජිත් විසින් මෙන්ම බොහෝ දුරට සජබ විසින් නියෝජනය කරන්නේද අරගල බිමේ හා එයින් පිටත සිටින අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන සංස්කෘතියයි.

ගෝටාගෝගම බිහිවද්දී ඒ තුළ, රටේ සුළුතරයක් වන, ලිබරල් අදහස් ඇති නාගරික නිරාගමිකයන් බලවත්ව සිටියා. ඔවුන්ගේ සටන් පාඨ වලින් කොටසක්, විශේෂයෙන්ම දූෂණ විරෝධය හා සමානාත්මතාව, ජවිපෙ/පෙසප සටන් පාඨ සමඟ අතිපිහිත වුවත්, ආර්ථික නිදහස හා සම්බන්ධ ජවිපෙ/පෙසප සම්ප්‍රදායික අදහස් අරගලය තුළ කැපී පෙනෙන ලෙස නියෝජනය වූයේ නැහැ. "225ම එපා" කියන ඉල්ලීම රාජපක්ෂලා විසින් ජනගත කළ බොරු ඉල්ලීමක් නෙමෙයි. ප්‍රධාන පක්ෂ වලට තරම් නොවුනත් ජවිපෙ කෙරෙහිද යම් විරෝධයක් හෝ කළකිරීමක් අරගලය තුළ තිබුණා.

කෙසේ වුවත්, මෙවැනි මහජන ව්‍යාපාරයක් හා බද්ධ විය හැකි ආකාරය ගැන ප්‍රධාන පක්ෂ වලට නොතිබුණු අත්දැකීම් ජවිපෙ/පෙසප පක්ෂ වලට තිබුණා. ඔවුන් තමන්ගේ එම දැනුම හා අත්දැකීම් සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගනිමින් අරගලය හා බද්ධ වී තමන්ගේ අදහස් ඒ තුළට පොම්ප කළා. අනුර කුමාර ගෝටාගෝගම යන්නේ අවශ්‍ය පමණ අරගලයේ අරමුණු හා ජවිපෙ අරමුණු සුසර වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඊට පෙර, ජවිපෙ/ජාජබ පාගමන ගෝටාගෝගම යාමේ උත්සාහය හරහා දමා බැලූ මුට්ටියට පොලු පාර වැදීමෙන් ජවිපෙ විසින් පසු එම උත්සාහය අතහැර දමනු ලැබුවා.

මා පෙර ලිපියක සඳහන් කළ පරිදි අරගලයේ දිශානතිය ගැන සෑහීමකට පත් නොවන කෙනෙකු විසින් කළ යුතු වූයේ අරගලය හා බද්ධ වීමයි. අරගලය තුළ ඒ සඳහා දොරටු විවරව තිබුණා. ජවිපෙ/පෙසප මුලින්ම එහි ප්‍රයෝජනය ගත්තා. එම පක්ෂ වලට තිබෙන අත්දැකීම් යම් පමණකින් තිබෙන චම්පිකගේ කණ්ඩායමද ඔවුන්ට හැකි පරිදි අරගලය තුළට රිංගා ගත්තා. අරගලයට බෞද්ධ සංස්කෘතිකාංග එකතු වුනේ ඉන් පසුවයි. එහෙත්, චම්පික විසින් සජිත් ගත් අවදානම ගන්න ගියේ නැහැ.

සජිත් ප්‍රධාන සජබ විසින් මුල සිටම කළේත්, දැන් කරන්නේත්, අරගලයෙන් ආත්මික ලෙස දුරස්ථව සිටිමින් සම්ප්‍රදායිකව ලංකාවේ දේශපාලනඥයින් විසින් කළ ලෙස අරගලයේ නියෝජනය තමන් අතට ගන්න උත්සාහ කරන එකයි. එය හරියන වැඩක් නෙමෙයි. අරගලය හා ආත්මික ලෙස සම්බන්ධ නොවී භෞතික ලෙස ඒ හා සම්බන්ධ විය නොහැකියි. ගෝටාගෝගමින් සජිත්ව හෝ සජබ නියෝජනය නොවනවාක් මෙන්ම ගෝටාගෝගම ගොඩ නැගෙන්නේ සජිත් විසින්ද නියෝජනය කරන දේශපාලන සංස්කෘතියට එරෙහිවයි.

මේ අතින් බැලූ විට රාජපක්ෂලා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන්. අරගලයේ ප්‍රධානම ඉල්ලීම රාජපක්ෂලා වී තිබීම තුළ පවා ඔවුන් අරගලය හා ඒකාත්මික වීමේ උත්සාහය අත ඇරියේ නැහැ. අරගලකරුවන්ගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වෙද්දී  රාජපක්ෂලාගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වීම උදාහරණයක්.

රාජපක්ෂලාට තිබෙන්නේ ජලය වැනි, අඩංගු භාජනයේ හැඩය ගන්නා, ගඳක් සුවඳක් නැති අවර්ණ දේශපාලනයක්. ඔවුන් අවශ්‍ය පරිදි එයට ගඳ සුවඳ හා වර්ණ එකතු කර ගන්නවා. රාජපක්ෂලාගේ ජාතිකවාද, ආර්ථික ප්‍රතිපත්ති ආදී හැම දෙයක්ම මේ විදිහට පිටින් එකතු කරගත් වර්ණ, ගන්ධ හා හැඩතල පමණයි. අවශ්‍ය මොහොතේදී තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් මේ ඕනෑම දෙයක් වෙනස් කර ගන්නවා. මම හිතන්නේ මේ ගැනනම් විපක්ෂයේ සියළු පක්ෂ වලට මෙන්ම බොහෝ අරගලකරුවන්ටද හොඳ අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ අනෙක් හැම ඉල්ලීමකටම උඩින් රාජපක්ෂලා ගෙදර යා යුතු බවට වන ඉල්ලීම තියන්නේ ඒ නිසා.

තමන්ට බලයේ සිටිය හැකි තාක්, පීඩනය හමුවේ, රාජපක්ෂලා අනෙක් ඕනෑම ඉල්ලීමක් ඉටු කරනවා. මේ තත්ත්වය හමුවේ සජබ, ජාජබ වැනි විපක්ෂ දේශපාලන පක්ෂ වල උපක්‍රමය වී තිබෙන්නේ රාජපක්ෂලා සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරු සටන අත් නොහැරීමයි.

කොහොම වුනත්, රාජපක්ෂලා කියන්නේ අහම්බයක් නෙමෙයි. ඔවුන් තේරී පත්ව සිටින්නේ නීත්‍යනුකූල ලෙස මහජන කැමැත්තෙන්. නීතිය අනුව ඔවුන්ගේ ජනවරම නැති වී නැහැ. ඉල්ලා අස් වන සේ බල කිරීම හැර ගෝඨාභයව නීත්‍යානුකූල ලෙස ඉවත් කළ හැකි ක්‍රමයක් නැහැ. මේ කාරණයේදී පවතින නීති රාමුවට පිටින් යාමට ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ පැකිලෙන්නේ නැතත් එය කිසිසේත්ම බහුතර කැමැත්ත නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බිඳ වැටෙනවාට රටේ බහුතරය කැමති නැහැ. එවැනි අපේක්ෂාවන් ඇත්නම් ඒ ඉතා සුළු පිරිසකට පමණයි. අරගලය තුළ වුවද මෙවැනි අදහස් ඇති අයට සාපේක්ෂව වැඩි නියෝජනයක් මිස බහුතරය නියෝජනයක් ඇති බවක් පෙනෙන්නට නැහැ.

මේ අන්ත දෙක අතර රනිල්ගේ ප්‍රවේශය මධ්‍යස්ථ හා ප්‍රායෝගික එකක්. මෙහිදී රනිල් කරන්නේ අරගලය තුළ ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ විසින් කළ දෙයමයි. 

අරගලය ආරම්භ වුනේ අඩු වැඩි වශයෙන් ජවිපෙටද එරෙහිවයි. එහෙත්, අරගලය හා සුසර වීම මගින් ජවිපෙ එහි බල කේන්ද්‍රය සැලකිය යුතු තරමින් තමන් දෙසට ආකර්ෂණය කර ගත්තා. මා ඒ දවස් වලම කියූ පරිදි, අරගලයේ දිශානතියට බලපෑම් කළ යුතු වූ අයෙකු විසින් කළ යුතු වූයේ අරගලයට සහයෝගය දෙමින් ඒ හා එක් වීමයි. දැන් ආණ්ඩුව සම්බන්ධවද මෙයම කළ හැකියි. රනිල් කරන්නේ එයයි.

රනිල් කරන දෙයම විපක්ෂයේ අනෙකුත් පක්ෂ විසින්ද කළේනම් ආණ්ඩුව තුළ රාජපක්ෂලා දුර්වල කර අවසාන වශයෙන් රාජපක්ෂලා ඉවත් කළ හැකිව තිබුණා. එහෙත්, රනිල්ට තනිව ඒ තරම් දුරක් යා නොහැකියි. එවැනි ඉලක්කයක්ද නොතිබිය හැකියි.

ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම නොවුනානම්, මේ වන විට රාජපක්ෂලාත් ගෝටාගෝගම ගිහින්. එහෙත්, ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම වීම තුළ ඔවුන්ට ඒ සඳහා වූ අවකාශය මුළුමනින්ම වාගේ ඇහිරී තිබෙනවා. මෙයට පිළියමක් ලෙස ආණ්ඩුව තුළ සිටි කොටස් එළියට යාමට ඉඩ සැලසුවත් එයින්ද අවශ්‍ය වැඩේ සිදු වුනේ නැහැ. 

රාජපක්ෂලා කොහොම වුනත් රනිල් මේ වෙද්දී ගෝටාගෝගම පදිංචි වෙලා. රනිල් ඒ වැඩේ කර තිබෙන්නේ තනිකරම සජිත්ගේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ලෙසයි. සජිත් අරගලයෙන් අධ්‍යාත්මික ලෙස දුරස්ථව සිටිමින් භෞතිකව එහි යාමට උත්සාහ කර ඇන ගනිද්දී, රනිල් අරගල භූමිය පැත්ත පළාතක නොගොත් එහි අදෘශ්‍යමාන කූඩාරමක් අටවා ගන්නවා. අනුර කුමාරලා මුලින් කරපු දෙයමයි. 

තමන් අරගලය පාවා නොදෙන බව සජබ කිවුවත්, සෛද්ධාන්තික ලෙසම මෙය කළ නොහැකියි. සජබ විසින් නියෝජනය කරන්නේද අරගලයට සක්‍රිය ලෙස සහභාගී වී සිටින්නන් විසින් ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියයි. අරගලය වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලනය මෙන්ම සජබ දේශපාලනයද අවසන් වීමයි.

කොහොම වුනත්, සජබටද අරගලය තුළ නියෝජනයක් තිබෙනවා. එහෙත් එය තිබෙන්නේ සක්‍රිය අරගල භූමිය තුළ නෙමෙයි. අරගලයට සහයෝගය දෙමින් අරගලයෙන් පිට සිටින වැඩිහිටි වයස් කාණ්ඩය තුළයි. ඒ අයට අරගලය තුළ සක්‍රියව සිටින "තමන්ගේ දරුවන්ට" සහයෝගය දෙන්නේ ආර්ථික හේතු මතයි. ඔවුන්ට දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න ඇතත් එය ප්‍රමුඛ ප්‍රශ්නය නෙමෙයි. ඒ වගේම, අරගලයට සහයෝගය දුන්නත්, මේ කණ්ඩායම ප්‍රශ්නයේම කොටසක්. 

තමන්ට නියෝජනය කළ හැකි, අරගලයට පිටින් සිටින අරගලකරුවන් ඉලක්ක කරනවානම් සජබ විසින් කළ යුතුව තිබුණේ ආණ්ඩුවට එකතු වී ආණ්ඩුව තුළ රාජපක්ෂ බලය දුර්වල කිරීමයි. එහෙත්, ඒ වෙනුවට සජබ විසින් සක්‍රිය අරගලකරුවන් නියෝජනය කරන්නට යාමෙන් කරගන්නේ යම් ආකාරයක දේශපාලනික සිය දිවි නසා ගැනීමක්. ඔවුන්ව නියෝජනය කරන්නට අවශ්‍යනම් සජබට තමන්ගේ දේශපාලන සංස්කෘතිය විප්ලවීය ලෙස වෙනස් කර ගන්න වෙනවා. කෙටියෙන් කිවුවොත් ජවිපෙ වගේ වෙන්න වෙනවා. එය ප්‍රායෝගිකව සජබට කළ නොහැකි දෙයක්. එවැනි තත්ත්වයක් යටතේ යම් ආකාරයකින් රාජපක්ෂලා ගෙදර යැවුවොත් එයින් පසුව අනිවාර්යයෙන්ම ඔය විරෝධයම සජබ පැත්තටත් හැරෙනවා.

මේ වන විට සජබට නියෝජනය කළ හැකිව තිබුණු, අරගලය තුළ සක්‍රියව නොසිටින, පැත්තකට වී අරගලයට සහයෝගය දෙන විශාල පිරිසකගේ වීරයා වී ඉන්නේ රනිල් වික්‍රමසිංහයි. ආර්ථික ස්ථායීකරණය සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වීමට සජබට කිසිසේත්ම හැකි වන්නේ නැහැ. ඒ නිසා, එම ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නැගෙන ජනමතයේ වාසිය කිසිසේත්ම සජබට ගත හැකි වන්නේ නැහැ. අනෙක් පැත්තෙන් එම ප්‍රතිසංස්කරණ  නොකරම බැරි බව පිළිගන්නා පිරිසට නායකත්වය දීමේ හැකියාවද සජබ විසින් ප්‍රයෝජනයට අරගෙන නැහැ. 

ජවිපෙට අනුව රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ "කුලී හේවායෙක්". නලින් ද සිල්වා වැනි අය නොකියා කියන්නෙත් ඒකයි. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ සාර්ථක වුවහොත් රාජපක්ෂලා කියනු ඇත්තේ අවශ්‍ය පරිදි "කුලී හේවායින්" යොදාගෙන අවශ්‍ය දේ කර ගැනීමට තමන්ට හැකි බවයි. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ කුලී හේවායෙක්නම් දැන් ඒ කුලී හේවායා ගෝටාගෝගම කූඩාරමකුත් අටෝගෙන.

Thursday, May 12, 2022

රනිලාගමනය

රනිල් වික්‍රමසිංහ විසින් නැවතත් අගමැති ධුරය භාර ගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ රනිල් කියන්නේ මේ වන විට ජනප්‍රියතාව අනුව රටේ අනෙකුත් දේශපාලන පක්ෂ ගණනාවකටම වඩා පසුපසින් සිටින දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු (හා නායකයා) වීමයි. පසුගිය මහ මැතිවරණයේදී 2%කට මඳක් වැඩි ඡන්ද ප්‍රමාණයක් පමණක් ලබාගත් එජාපයට හිමි කර ගත හැකි වූයේ රනිල් වික්‍රමසිංහගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණයි. ආණ්ඩු බලය හිමි පොදුජන පෙරමුණ හා විපක්ෂයේ සිටින සජබ මෙන්ම ජාජබ පමණක් නොව ද්‍රවිඩ සන්ධානය වැනි වෙනත් පක්ෂද මීට වඩා ඡන්ද හා මන්ත්‍රී ධුර හිමි කර ගත්තා. 

මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අංශයේ මෙතෙක් කවදාවත් සිදු නොකෙරෙනු ආකාරයේ වෙනස්කම් සිදු කෙරෙන ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙලක් අනිවාර්යෙයන්ම අවශ්‍ය වෙනවා. පුළුල් මහජන සහයෝගයක් නොමැතිව එවැනි වැඩ පිළිවෙලක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි. එවැනි පුළුල් මහජන සහයෝගයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ පවතින ආණ්ඩුවට තවමත් සහයෝගය දක්වන ජන කොටස් වල නියෝජිතයින්ද ඇතුළත් සියලු දේශපාලන පක්ෂ වල එකතුවකට පමණයි. මෙතෙක් දිගින් දිගටම සිදු වූ පරිදි, එක් එක් දේශපාලන පක්ෂය විසින් තමන්ගේ බල ව්‍යාපෘති වලට ප්‍රමුඛතාවය දීම තුළ මේ කාර්යය කිසිසේත්ම සිදු වන එකක් නැහැ. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ රට නැවත විශාල කාලයකට ගොඩ ගත නොහැකි අගාධයකට පතිත වීම පමණයි.

මා හිතන විදිහට අරගලයට සහයෝගය දැක්වූ නිර්පාක්ෂික කොටස් විසින් අපේක්ෂා කළේ පක්ෂ අනන්‍යතා ඉක්මවා ගිය මෙවැනි එකඟතාවක්. මා මෙහිදී අදහස් කරන්නේ සැබෑ නිර්පාක්ෂික කොටස් මිසක් නිර්පාක්ෂික අරගලය තුළ සිටිමින් දේශපාලන පක්ෂ වල බල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ කොටස් පිළිබඳව නෙමෙයි. අනපේක්ෂිත ලෙස නොවුනත්, අවාසනාවකට මෙන්, එවැනි එකඟතාවක් ඇති වීමේ ඉඩක් මේ වන විට දැකිය නොහැකියි. අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය හා එයින් පසුව ඇති වූ ප්‍රතිප්‍රහාර වලින් පසුව නැවතත් පාක්ෂික අනන්‍යතා බලවත් වී ඇති බව පේනවා.

මේ වෙලාවේ යටපත් වී තිබුණත්, රාජපක්ෂවාදීන්ට හා රාජපක්ෂලා සමඟ විවේචනයක් ඇතත් ආණ්ඩුව වෙනුවෙන් තවමත් පෙනී සිටින සැලකිය යුතු පිරිසකටද ඔවුන්ගේම කතාවක් තිබෙනවා. ඒ වගේම, රාජපක්ෂලාට එරෙහිව නැගී සිටින කණ්ඩායම ඇතුළේද එකිනෙකා සමඟ ප්‍රශ්න තිබෙන කණ්ඩායම් ගණනාවක් සිටිනවා. මට පේන විදිහටනම් මේ සියලු කොටස් වල එකඟතාවයක් ඇති වීම සිදු නොවිය හැකි තරම් දුරස්ථ කරුණක්. 

සාමාන්‍යයෙන් ලංකාවේ දක්ෂිණාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරී පදනම ප්‍රයෝජ්‍යතාවාදයයි. මෙයින් වෙනස්ව ඇතැම් වාමාංශික පක්ෂ තමන්ගේ න්‍යායික පදනම මුල් තැනෙහි ලා කටයුතු කරනවා. එවැනි පක්ෂ විසින් ජන පදනමට වඩා වැඩියෙන් වැදගත් සේ සලකන්නේ තමන් විශ්වාස කරන න්‍යාය මත පදනම් වූ දේශපාලනික නිරවද්‍යතාවයයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ දක්ෂිණාංශික කඳවුර තුළ සිටින මේ දෙවන ගොඩට දැමිය හැකි දුලබ චරිතයක්. ඔහුට තමන් නිවැරදියයි සේ දකින ස්ථාවරය ජනපදනමට වඩා වැදගත්. 

මේ ආණ්ඩුව බලයට පත් වන්නේ රනිල් වික්‍රමසිංහගේ මතවාදය මුළුමනින්ම පරාජය කරමිනුයි. ඊට සමාන්තරව ඔහුට ඔහුගේ ජනපදනමද නැතිව යනවා. දැන් අගමැති සේ නැවතත් පත්ව සිටින්නේ මේ අයුරින් සිය ජනපදනම මුළුමනින්ම අහෝසි කරගත්, පරාජිත මතවාදයක නියෝජිතයෙක්. එහෙම වෙන්නේ කොහොමද?

පසුව වෙනත් දේශපාලනික ඉල්ලීම් එකතු වුනත්, මේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මතු වන්නේ ආර්ථික සාධක නිසා. සාමාන්‍ය මිනිස්සු බහුතරයක් පාරට බහින්නේ ගෑස්, පැට්‍රෝල්, විදුලිබලය ආදිය නැති නිසා මිසක් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් නෙමෙයි. (මෙය දේශපාලන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවය අවතක්සේරු කිරීමක් නෙමෙයි) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස් වී ගෙදර යන්න කියන ඉල්ලීම ඇතුළේ මුලින්ම තිබුණේ "කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න" කියන ඉල්ලීමයි. මහ බැංකුවේ හිටපු අධිපති කබ්රාල්ව ඉවත් කර නන්දලාල්ව පත් කර ගැනීමෙන් පසුව රටේ බොහෝ දෙනෙකු විසින් ඔහුව "කරන්න පුළුවන් කෙනෙක්" ලෙස පිළිගත්තා. 

මහ බැංකු අධිපති වෙනස් කිරීම අරගලකරුවන් විසින් ලබාගත් විශාල ජයග්‍රහණයක්. එය සිදුවන විට නිර්පාක්ෂික කොටස් අරගලයේ ප්‍රධාන බලවේගය ලෙස සිටීම නිසා "කෝකටත් විරෝධීන්ගේ" හඬ යටපත්ව ගියා. එහෙත්, මේ වන විට අරගලය තුළ තවදුරටත් මුලින් ඒ තුළ දැකිය හැකි වූ නිර්පාක්ෂික ස්වරූපය පෙර ලෙසින්ම දැකිය හැක්කේ නැහැ. දැන් එය විවිධ දේශපාලනික කණ්ඩායම් කිහිපයක හා යම් නිර්පාක්ෂික පිරිසකගේ ලිහිල් එකතුවක්. 

මම හිතන විදිහට මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කරලියට එන්නේ අරගලය තුළ සිටින නිර්පාක්ෂික කොටස් වල ඉල්ලීම් වලට  වඩාත්ම ගැලපෙන පුද්ගලයා ලෙසයි. දීර්ඝ දේශපාලන අතීතයක් තිබුණත්, මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කියා කියන්නේ නිර්පාක්ෂික සේ සැලකිය හැකි තරමටම ජනපදනමක් නැති පුද්ගලයෙක්. ඔහු සතුව තිබෙන්නේ මතවාදයක් පමණයි. කොයි තරම් ජනප්‍රියත්වය පිරිහී තිබුණත්, තවමත් රනිල් වික්‍රමසිංහට වඩා සැලකිය යුතු ජනපදනමක් තිබෙන ආණ්ඩුව විසින් මේ වන විට තමන්ගේ මතවාදය හා උපක්‍රම මුළුමනින්ම අතහැර රනිල්ගේ මතවාදය වැළඳගෙන තිබෙනවා. එම මතවාදය අනුව කටයුතු කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස රනිල් වික්‍රමසිංහව පත් කර තිබෙනවා. දැන් ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහට මෙය කළ හැකිද යන්නයි.

අශුභවාදී අදහසක් සේ පෙනෙන්නට හැකි වුවත්, මගේ අදහසනම් රනිල් වික්‍රමසිංහව පත් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන බවයි. මා එසේ කියන්නේ ඔහු නිවැරදි මාර්ගයේ යාමට ඇති ඉඩ ගැන තිබෙන සැකයක් නිසා නෙමෙයි. එම මාර්ගයේ යාම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලබා ගැනීමේ ශක්‍යතාවය පැහැදිලි ලෙස නොපෙනෙන නිසයි.

මේ වෙලාවේ රනිල් අත ගසා තිබෙන්නේ ඉතාම අවදානම් කටයුත්තකටයි. මෙය නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම හා සම කළ නොහැකියි. මහ බැංකු අධිපති ධුරය සඳහා අවශ්‍ය වූයේ පුහුණුව හා අත්දැකීම් ඇති, වෙනත් විදිහකින් කිවුවොත් තාක්ෂණික කුසලතා ඇති අයෙක්. එහිදී කළ යුතුව තිබුණේ නිවැරදි තීරණ ගැනීම පමණයි. එහෙත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළව නිවැරදි තීරණ ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සහයෝගයද අවශ්‍යයි. 

අරගලය තුළ සක්‍රියව සිටින නාගරික, නිර්පාක්ෂික කොටස් විසින් නියෝජනය කෙරෙන ප්‍රතිශතය එතරම් විශාල ප්‍රතිශතයක්යැයි මා හිතන්නේ නැහැ. එහි සිටින විශාල පිරිසක් සජබ, ජාජබ, පෙසපෙ වැනි පක්ෂ වල ආධාරකරුවන්. ඔවුන්ට ඔවුන්ගේම බල ඉලක්ක තිබෙනවා. ඒ වගේම, රනිල්ගේ උදවුවෙන් රාජපක්ෂලා නැවත තමන්ගේ හීරුනු තැන් වෑල්ඩින් කර ගෙන නැගී සිටිනු ඇතැයි යන සහේතුක බියද මේ කණ්ඩායම් සියල්ලකටම වාගේ තිබෙනවා. ඒ නිසා, රනිල් වික්‍රමසිංහට නිවැරදි තීරණ ගෙන ක්‍රියාත්මක කිරීම සඳහා "අරගල කඳවුරෙන්" ලැබිය හැක්කේ සීමිත සහයෝගයක් පමණයි. අනෙක් පැත්තෙන්, ආණ්ඩුවේ ඉහළ තට්ටුව විසින් "නයිට් වොච්මන්" කෙනෙකු ලෙස රනිල්ව එළියට දමා ඇතත්, ආණ්ඩුව සමඟ රැඳී සිටින විශාල පිරිසක්ද රනිල්ගේ කකුලෙන් අදින බව පැහැදිලියි. මේ තත්ත්වය යටතේ රට ගොඩ දැමීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රනිල්ට තිබෙන හැකියාව ඉතා සීමිතයි.

රනිල් මේ විදිහට අහක යන කරුමයකට කර ගහන්නේම ඔහුට ලොකු අනාගත අපේක්ෂා නැති නිසා. තමන් ඒ අවදානම ගන්න බය බව සජිත් ප්‍රේමදාස විසින් පැහැදිලි ලෙසම ප්‍රදර්ශනය කළා. සජිත්ගේ බය සාධාරණයි. මොන විදිහකින්වත් අරගලකරුවන්ගේ ඉල්ලීම් සියල්ල ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි නිසා ආණ්ඩුව සමඟ එකතු වීමෙන් සජිත් ජවිපෙ උගුලෙහි හිරවෙනවා. අනෙක් අතට ජවිපෙ දේශපාලන බලය රැඳී තිබෙන ප්‍රමුඛ සටන් පාඨය වන "හොර ඇල්ලීම" හරහා දේශපාලන බලයක් ගොඩ නගා ගැනීම හා පවත්වා ගැනීම කළ හැක්කේ විපක්ෂ දේශපාලනය තුළ පමණයි.

දැන් ප්‍රශ්නය මේ දේශපාලන වාතාවරණය රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි මොන විදිහට බලපායිද කියන එකයි. IMF යාම ගැන මේ වන විට ආණ්ඩුව, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරා හතරක් හා අරගලකරුවන් අතර කිසියම් සම්මුතියක් තිබෙනවා. එසේ වුවත්, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ප්‍රසිද්ධ වූ වහාම මේ සම්මුතිය කැඩෙන බව ඉතා පැහැදිලියි. ප්‍රධාන දේශපාලන ධාරා අතර රාජ්‍ය අංශයේ මැදිහත්වීම් සම්බන්ධව තිබෙන හා ඉදිරියටත් නඩත්තු වීමට නියමිත ප්‍රතිපත්ති අතර විසම්මුතීන් සියල්ල එක් කළ විට අතිපිහිත වීම් ඉතා අඩුයි. 

අපේක්ෂිත IMF ප්‍රතිසංස්කරණ යෝජනා සමඟ වඩාත්ම එකඟ වනු ඇත්තේ සජබයි. එහෙත්, රනිල්ගේ ආණ්ඩුව තුළ සජබ නියෝජනය මේ වන තුරුද පැහැදිලි නැහැ. ඒ වගේම මේ වෙලාවේ ආණ්ඩුව විසින් රනිල්ව "රස්සාවට ගෙන" තිබුණත්, මේ ආණ්ඩුව බලයට පත් කළ ජනමතය රනිල් පෙනී සිටි හා IMF එකට එකඟ විට හැකි ප්‍රතිපත්තීන්ට එරෙහිව යන ජනමතයක්. මේ තත්ත්වය යටතේ මට පෙනෙන එකම ප්‍රායෝගික විසඳුම හැකි ඉක්මණින් මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඉන්පසුව ජනතා කැමැත්ත පරිදි සාමූහිකව ගොඩ යාම හා සාමූහිකව වැනසීම යන ඕනෑම එකක් කරගත හැකියි. රනිල්ට කළ හැකි එකම දෙය ආණ්ඩුව හා අරගලකරුවන් සමඟ සහයෝගයෙන් කෙටි කාලයකට (මාස කිහිපයකට) ආර්ථිකය ඇද ගෙන යාම සඳහා අවශ්‍ය "හදිසි ප්‍රතිකාර" හා "හදිසි නඩත්තු කටයුතු" කිරීම පමණයි.

#ඉකොනොමැට්ටා 

Wednesday, May 11, 2022

ආපසු පැමිණිය නොහැකි සීමාවේ සිට...

ලංකාවේ තත්ත්වය දවසින් දවස තවතවත් නරක අතට හැරෙන එක ඉතාම කණගාටුදායක කරුණක්. මට පෙනෙන හැටියටනම් මේ වන විටත් ලංකාව ආපසු පැමිණිය නොහැකි සීමාව පහු කරලා. යම් හෙයකින් එය එසේ නොවේනම් මේ වෙද්දී ඉන්නේ ඒ සීමා ඉර උඩ. ගොඩක්ම කණගාටු මේ දේවල් මේ විදිහට වෙයි කියන එක 2013 පමණ සිටම දැකිය හැකිව තිබියදී ඒ තත්ත්වය වෙනස් කර ගැනීමට නොහැකි වීමයි. ඊටත් වඩා කණගාටු මෙයින් ඉදිරියට විය හැකි වඩා භයානක දේවල්ද පැහැදිලිව පෙනෙද්දී ඒ දේවල් වලක්වා ගත හැකි ආකාරයක් දැනටත් නොපෙනීම. තිබෙන එකම සතුට තනි පුද්ගලයෙකු ලෙස පෞද්ගලික මට්ටමින් කළ හැකි සියල්ලක්ම කළ නිසා සහ දැනටත් කරමින් සිටින නිසා නොකළ දේ ගැන පසුතැවිල්ලක් නැති වීම.

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකි ආකාරය ගැන පුළුල් සාකච්ඡාවකට ප්‍රවේශ වෙමින් විපක්ෂ දේශපාලන ධාරා හතරක සාමාජිකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, වෙනත් දේශපාලන ක්‍රියාකාරිකයින් හා මහජන අරගලය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් කරන සමාජ ක්‍රියාකාරිකයින් සහභාගී වූ සමුළුවක් පසුගිය සති අන්තයේදී (මැයි 7) ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුනා. පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ යාම ගැන සැලකූ විට ඉතා හොඳ සංවාද මණ්ඩපයක් වූයේයි සැලකිය හැකි වූ මේ එකතුව දිහා සුබවාදී ඇසකින් බලා සිටියත්, දවසක් යද්දී ඒ තත්ත්වය කණපිට හැරුණා. ඉහත "සඳහන් ගොඩ යාමේ මග (Path to Recovery)" සමුළුව ගැන ලියූ හා ලියන්නට ඇති දේ පළ කිරීම මඳකට කල් අරිමු.

මේ වන විට ලංකාව පිළිබඳව ඉතාම නරක සංඥාවක් ලෝකයටම ගිහින් ඉවරයි. ලංකාව තුළ තමන්ගේ පෞද්ගලික දේපොළ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති බව වගේම අඩු වශයෙන් ජීවිතාරක්ෂාව හෝ සහතික නැති බව ලංකාව විසින් ලෝකයටම ප්‍රදර්ශනය කර තිබෙනවා. ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක වඩා දරුණු කරමින් වසර ගණනක් යන තුරු ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම, විදෙස් ආයෝජන වලටද මේ සිදුවීම් බලපෑම් කරයි. ඒ වගේම, දේශපාලනයට අවතීර්ණ වෙන්න පොඩ්ඩක් හෝ නැඹුරුවක් තිබුණු හොඳ මිනිසුන් මේ වැඩෙන් තවදුරටත් අධෛර්යමත් වෙයි. අවදානම් ගන්න කැමති, ඕනෑම දේකට ඔට්ටු, මැරවරයෝ, හොරු දේශපාලනයට එන එක තවත් ප්‍රවර්ධනය වෙයි.

කොහොම වුනත්, සිදුවීම් පෙළගැසෙමින් තිබුණු ආකාරයට මෙය මෙලෙස සිදුවීම අහම්බයක් නෙමෙයි. අරගලකරුවන් ගිහින් තිබුණු දුරත්, අරගලයට හේතු වූ මූලසාධක තවදුරටත් වර්ධනය වෙමින් තිබීමත් තුළ ඔවුන්ට ආපසු හැරිය හැකි ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ. ඒ වගේම, අරගලකරුවන්ගේ ඉල්ලීම් වල ස්වභාවය අනුව ආණ්ඩුව පහසුවෙන් යටත් වීමේ ඉඩක් තිබුණේත් නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ සාමකාමී පරිවර්තනයක් සිදුකර ගැනීම ඉතාම අභියෝගාත්මක වැඩක්. නීතිඥ සංගමය ප්‍රධාන තවත් අය විසින් ඒ සඳහා විශාල මහන්සියක් දැරූ අතර ඒ උත්සාහයන් තවමත් අතහැර නැහැ. 

සමාජයක් වශයෙන් ගත්තහම සමස්තයක් ලෙස තවමත් ලාංකිකයින් විසින් දේපොළ අයිතිවාසිකම් ගරු කරන්නේ නැහැ. කිසියම් සමාජයක දේපොළ අයිතිවාසිකම් ස්ථිරසාර ලෙස තහවුරු වෙන්නේ අන්‍යොන්‍ය (reciprocal) පදනම මතයි. ඒ කියන්නේ තමන්ගේ දේපොළ ආරක්ෂා වන්නේ තමන් විසින් අනෙකාගේ දේපොළද ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වන තුරු පමණක්ය යන අවබෝධය මිනිස්සු තුළ ඇති වීම සමඟයි. මේ වැඩේ වෙන්නනම්, තමන් අනෙක් අය අතර සමානයෙක් බව මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ. ආරක්ෂා කර ගත යුතු දෙයක් තමන් සතුව නැති බව මිනිහෙක්ට තේරුණාම ඒ මනුස්සයා වෙනත් අයෙකුගේ දේපොළ අයිතිවාසිකම් ගැන වද වෙන්නේ නැහැ. ජීවිත ආරක්ෂාව ගැන වුනත් කතාව ඕකයි.

ඒ වගේම කවුරු හරි භුක්ති විඳින දේපොළකට අදාළ පුද්ගලයා සතු අයිතිය පැහැදිලිව පේන්න තිබිය යුතුයි. අනෙකෙකුගේ දේපොළ අයිතිවාසිකම් පිළිබඳ අදහස එන්නේ මහන්සියෙන්, සාධාරණ ක්‍රමයකට උපයාගත් දේපොළ නේද කියන අදහසත් එක්ක. ඔය විදිහටම මහන්සි වුනානම් මටත් ඔය දේපොළ ඔය විදිහටම අයිති කරගන්න තිබුණා නේද කියන එක පැහැදිලිව පෙනෙන එකත් එක්ක. මේවා මේ විදිහට වෙන්නනම් නීතිය හා අධ්‍යාපනය තුළද සිදු විය යුතු කාර්ය භාරයක් තිබෙනවා.

මේ වෙලාවේ වගකීමෙන් කටයුතු නොකළේ ආණ්ඩුවයි. මම හිතන්නේ හිතූ තරම් ලේසියෙන් හෝ හදිසියෙන් IMF එකෙන් සල්ලි නොලැබෙන බව පැහැදිලි වීමත් සමඟ ආණ්ඩුව දුටු එකම විකල්පය අරගලය මර්දනය කිරීමයි. එහිදී ආණ්ඩුව විසින් කළේ ඔවුන් දිගින් දිගටම කළ වරද වූ "ඉල්ලුම" අමතක කර "මිල" පාලනය කිරීමයි. "මිල" පාලනය කිරීමේ උත්සාහයත් එක්කම "ඉල්ලුම" පුපුරා ගියා. 

කොහොම වුනත්, එක වැරැද්දක් නිසා වෙනත් වැරදි සාධාරණීකරණය වන්නේ නැහැ. ඇතැම් අයට අනුව පසුව උතුරේ (මෙන්ම දකුණේද) ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතු වුනේ 1983 ජාතිවාදී කෝලාහලයයි. අවශ්‍යනම් එම ජාතිවාදී කෝලාහල වලට හේතු වුනේ හමුදා සෙබළුන් 13 දෙනෙකු මරා දැමීම කියා කියන්නත් පුළුවන්. මේ වගේ දේවල් වලදී වැරැද්ද කාගේද කියා හොයනවාට වඩා වැදගත් දෙය එකම වැරැද්ද නැවත නැවත සිදු වීම වලක්වා ගැනීමයි. මම හිතන්නේ එය තේරුම් ගත හැකි තරමට රටේ බහුතරය දැනුවත්. එය සතුටට කරුණක්.

මේ වෙලාවේ ඉතා ඉක්මණින් රටට දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි. ඒ වෙනුවෙන් හැමෝටම යම් තරමකින් හෝ කැපවීමක් කරන්න වෙනවා. දේශපාලන ස්ථාවරත්වය ඇති කරගත්තා කියලත් මේක ලේසියෙන් ගොඩදාන්න බැහැ. එහෙම නැති වුනොත්නම් සමහර විට අවුරුදු පණහකින් සීයකින් අතීතයට යන්න වෙයි. එහෙම වෙච්ච රටවල් ඕනෑ තරම් තියෙනවා.

Saturday, May 7, 2022

පල්ල ගෑවෙන මල්ල හාරන එල්ලයක් නැති සෙල්ලමක්?


මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබෙන විදිහට රටේ තිබෙන ද්‍රවශීල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන පණහකටත් අඩුයි. මට තේරෙන විදිහටනම් IMF එකෙන් සල්ලි ගන්න එකත් ටිකක් දුරස්ථ ඉලක්කයක් වගේ. මහ බැංකුවට IMF එකත් එක්ක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. හැබැයි එක අවස්ථාවක රජය පැත්තට බෝලය පාස් වෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. 

ඉතා පැහැදිලිවම, දේශපාලන ස්ථාවරත්වය IMF එකෙන් ණයක් ගනිද්දී ප්‍රශ්නයක් වෙනවා. දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳුනත්, IMF එක විසින් යෝජනා කරන වැඩ පිළිවෙලකට දේශපාලන සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නය පැහැදිලි ලෙසම මතු වෙනවා. ඔය ප්‍රශ්න දෙකම මතු වෙන්නේ IMF එක විසින් ආර්ථිකය ගොඩ දැමිය හැකි විසඳුමක් යෝජනා කළාට පස්සේ. හැබැයි මට තිබෙන බැරෑරුම් ප්‍රශ්නය මේ තියෙන තැන ඉඳලා IMF එකට වුනත් ආර්ථිකය ගොඩ දැමිය හැකිද කියන එක. වැඩේ ඒ තරමටම ඇනිලයි තියෙන්නේ.

ආණ්ඩුවනම් ඉන්නේ කරකවලා අත ඇරලා වගේ. පහුගිය අවුරුදු දෙක ඇතුළත ආණ්ඩුව විසින් කළේ එදා වේල විසඳුම් හොයන එක. දැන්නම් එදා වේල විසඳුම්වත් නැහැ. රුවල් කැඩිච්ච ඔරුවක් වගේ ආර්ථිකය ඔහේ පාවෙන්න ඇරලා ආණ්ඩුව බලාගෙන ඉන්නවා. එක පැත්තකින් බැලුවහම එහෙම ඉන්න එකත් හොඳයි. 

මේ ප්‍රශ්නයට කිසිදු විපක්ෂ කණ්ඩායමක් සතුවත් පැහැදිලි විසඳුමක් නැහැ. අරගලකරුවන් ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. සමහර අය හිතාගෙන ඉන්නේ රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් ණය ගෙවලා පරණ පුරුදු ජීවිතයට පහසුවෙන් යන්න පුළුවන් වෙයි කියලා. කිසිම බලාපොරොත්තුවක් නැති තැනකට වැටුනට පස්සේ හිත හදාගන්න ඔය වගේ සිහින දකින එක නරකම නැතත් මේ සිහින වලට සිහින ලෝකයෙන් ඔබ්බට යන්න පුළුවන්කමක් නැහැ.

රට මේ තැනට වැටෙන්න දූෂණ, වංචා හේතු වී තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයි. ඒ දූෂණ, වංචා වලට එරෙහිව හඬ අවදි කිරීමත් අවශ්‍යම දෙයක්. හැබැයි හොරකම් කරපු සල්ලි හොයාගෙන ගොඩ යන්න බලා සිටීමනම් දියසෙන් ඇවිත් රට ගොඩදාන තුරු බලා හිටියා වගේම වැඩක්. 

මට පේන විදිහට සිදු වෙන්න වැඩිපුරම ඉඩ තියෙන දෙය වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම ප්‍රශ්නය විසඳන එක. වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ වෙළඳපොළ මූලධර්ම අනුව මිසක් කිසිදු තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය විදිහට නෙමෙයි. ඒ නිසා, වෙළඳපොළ විසඳුම බොහෝ දෙනෙකුට සතුටු විය හැකි විසඳුමක් නොවෙන්න පුළුවන්. එහෙමයි කියලා ඩොලර් මිලියන පණහක්වත් අතේ නැති මහ බැංකුවකට හෝ පොලී ගෙවන්න තරමටවත් ආදායමක් උපයන්නේ නැති රජයකට වඩා හොඳ විදිහට වෙළඳපොළ විසඳුම වෙනස් කර ගත හැකි වීමේ ශක්‍යතාවයක් මේ වෙද්දී පෙනෙන්න නැහැ. 

ඩොලර් ප්‍රවාහ කිසිවක් IMF වැනි මූලාශ්‍රයකින් ක්ෂණිකව රටට ගලා නොඑන තත්ත්වයක් යටතේ වුවත් ඩොලරයේ මිල යම් මට්ටමකට ගියාට පස්සේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙලා ඩොලර් ප්‍රශ්නය විසඳෙයි. ඒ මට්ටම ගැන මට අනාවැකි කියන්න බැහැ. මහ බැංකු අධිපතිවරයාගේම වචන වලින් කිවුවොත් කාටවත්ම ඒ මට්ටම ගැන හරියටම කියන්න බැහැ. හැබැයි යම් මට්ටමකදී මේ වැඩේ අනිවාර්යයෙන්ම වෙනවා.

ඩොලර් එක ඉහළ ගියා කියලා ක්ෂණිකව අපනයන ආදායම් ඉහළ යන්නේ නැහැ. පවතින තත්ත්වය යටතේ සංචාරක ඉපැයීම් විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නත් නැහැ. ප්‍රේෂණනම් බැංකු ක්‍රමයෙන් හෝ වෙනත් ක්‍රමයකින් රටට එයි. සමාජජාලා වල රැළි හදලා ප්‍රේෂණ වැඩි කරන්න බැරුවාක් මෙන්ම අඩු කරන්නත් බැහැ. එහෙම බලපෑම් නිසා සිදුවන අඩුවැඩි වීම් දැනෙන්නේවත් නැති තරමේ සිල්ලර වෙනස්කම්. නමුත් ප්‍රේෂණ වල මිල සංවේදීතාවයේ බලපෑම ඊට වඩා ලොකු, දැනෙන බලපෑමක්. ප්‍රමාණාත්මකව එතරම් විශාල නොවුනත්, ඩොලරයේ මිල ඉහළ යාමට සමාන්තරව කොටස් වෙළඳපොළටත් නැවත විදේශ ආයෝජන එන්න පටන් අරන් තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම වුනේ එහි අනෙක් පැත්ත. 

වෙළඳපොළ සමතුලිත විය හැකි ප්‍රධානම ආකාරය ඩොලරයේ මිල ඉහළ යාමට සමාන්තරව ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගොස් එම ඉල්ලුම අඩු වීමයි.  රටට එන ඩොලර් ප්‍රමාණය දැනෙන තරමකින් වැඩි නොවන නිසා වෙළඳපොළ සමතුලිත වන්නේ රටින් යන ඩොලර් ප්‍රමාණය ඒ මට්ටමට පහළ ගිය පසුවයි. එය වෙන්නනම් පැට්‍රෝල්, ගෑස් ආදිය තව කොපමණ ඉහළ යා යුතුද කියන එක තීරණය වන්නේ රටේ මිනිස්සු අතේ වියදම් කළ හැකි මුදල් (රුපියල්) කොපමණ තියෙනවද කියන එක මතයි. 

මේ වැඩේ වුනාට පස්සේ කලින් ගෑස් වලින් උයපු ඇතැම් අයට දිගටම දර වලින් උයන්න වෙයි. කලින් ත්‍රීවීල් එකේ හන්දියට ගිය අයට පයින් යන්න වෙයි. ඌබර්, පික්මී ගත්ත අයට බස් වල යන්න වෙයි. ඉඳහිට සිංගප්පූරු සාප්පු සවාරියක් ගිය අයට, දඹදිව වන්දනා ගමනක් ගිය අයට ඒ ගමන් සිහිනයක් වෙයි. දරුවන් අධ්‍යාපනය සඳහා විදේශගත කරන්න බලාගෙන සල්ලි එකතු කරපු දෙමවුපියන්ට වෙන විකල්පයක් ගැන හිතන්න වෙයි. වෙළඳපොළ යාන්ත්‍රනය හරහා ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ ඔය ගොඩක් දේවල් වල මිල දරාගත නොහැකි මට්ටමකට වැඩි වුනාට පසුවයි.

රජය ණය ප්‍රතිව්‍යුහගත කරලා, IMF එකෙන් ණය අරගෙන, ඩොලර් ප්‍රශ්නය "විසඳන්න" කලින් බොහෝ විට වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඩොලරයේ මිල ඉහළ යන වේගය හා ඉහත කටයුතු සිදුවීමේ ප්‍රගතිය දිහා සංසන්දනාත්මකව බැළුවහම මට දැනට කළ හැකි නිගමනය ඒකයි.  ඉතා පහසුවෙන් ඩොලරයක මිල රුපියල් 400 ඉක්මවයි. මෙය දෙසතියක් තුළ සිදු විය හැකියි. රුපියල් 450ට පමණ යන එකත් පහසුවෙන්ම සිදු විය හැකි දෙයක්. මොකද ඉතා ඉක්මණින් කාගෙන්වත් ණය ලැබෙන්නෙත් නැත්නම්, මහ බැංකුවේ සංචිතත් පල්ලටම හිඳිලානම්, මිල යාන්ත්‍රනය විසින් ප්‍රශ්නය විසඳන්න පෙර වෙළඳපොළට මැදිහත් වීමක් කරන්න මහ බැංකුවට හෝ රජයට ශක්තියක් නැහැ.

ඩොලරයක මිල ඔය මට්ටමට ගියාම, එයට අනුරූපව ආනයනික භාණ්ඩ වල මිලත් ඉහළ යන්න ඇරියොත්, ඩොලර් වෙළඳපොළ සමතුලිත විය යුතුයි. ඒ වැඩේට ඩොලරයක මිල දිගින් දිගටම ඉහළ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඩොලරයේ මිල ඉහළ යාමට අනුරූපව, ඉන්ධන ආදියේ මිල ඉහළ යාම වැලක්වුවොත් ආනයන ඉල්ලුම අවශ්‍ය පමණ අඩු නොවන නිසා ඩොලර් එක තව තවත් ඉහළ යයි. අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට සහන දීලා, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා, ආනයන පරිභෝජනය පවත්වා ගෙන යන්න උදවු කළොත්, ඒත් වෙන්නේ ඩොලරයක මිල තව තවත් ඉහළ යනවා කියන එකයි. සංක්ෂිප්තව කිවුවොත්, වෙළඳපොළ විසින් මේ ප්‍රශ්නය විසඳනවා කියන්නේ රටේ බොහෝ දෙනෙකුට කලින් මෙන් ජීවත් වෙන්න අමාරු වෙනවා කියන එකයි. මොන විදිහකින් හරි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළටම නොවැටී පවත්වා ගෙන යන්න රජය හෝ මහ බැංකුව විසින් උදවු කරන්න යනවා කියන්නේ ප්‍රශ්නය විසඳෙන එක තවත් කල් යනවා කියන එකයි.

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 400-450 අතර මට්ටමකට යද්දී එදිනෙදා ගනුදෙනු සඳහා අවශ්‍ය වන ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා කියලා. හැබැයි මෙතෙක් ගත් ණය හා පොලී ගෙවීමේ ප්‍රශ්නය තව දුරටත් එලෙසම තිබෙනවා. රජයේ විදේශ ණය පැත්තකින්ම තිබ්බත්, මහ බැංකුවේ හා වාණිජ බැංකු වල ණය පියවන්නම වෙනවා. දළ වශයෙන් ගත්තොත් මේ ණය පසුගිය කාලයේ ආනයනය කර පරිභෝජනය කළ ආනයන වෙනුවෙන් ගෙවිය යුතු මුදල්. වෙනත් විදිහකින් කිවුවොත් පහුගිය අවුරුදු දෙකේ ගත්ත කෙටිකාලීන එදාවේල ණය ටික. මම හිතන්නේ ඔය ණය ටිකත් බිලියන හතර හමාරකට කිට්ටුයි. 

රටේ එදිනෙදා භාණ්ඩ හා සේවා ආනයන අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ඩොලර් ටික හොයා ගන්න පුළුවන් මට්ටමක් ඇති වෙන්න ඩොලර් එක රුපියල් 400-450 මට්ටමකට යාම ප්‍රමාණවත් විය හැකි වුවත්, ඔය එදා වේල ණය ටික පියවන්න අවශ්‍ය ඩොලර් වෙළඳපොළෙන් හොයා ගන්න එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. අනෙත් එක දැනට අමතක කර තිබෙන රජයේ ණයත් අවසාන වශයෙන් ගෙවන්න වෙනවා. ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ ණය ගෙවන කාලය දිගු වෙනවා කියන එක පමණයි. ඔය වැඩේ කරන්න පුළුවන් වෙන්නේ IMF ණය ලැබීමෙන් පසුව පමණයි. එතෙක් කල් දැනට තිබෙන එදා වේල ණය ටික එදා වේල ක්‍රමයටම රෝල් කරන්න වෙනවා. එහෙම රෝලක් ගහන්නේ නැතිව ඩොලරයේ මිල මොන විදිහකින්වත් ස්ථාවර කරන්න බැහැ. 

ඔය හැම දෙයක්ම දැනට අපිට යථාර්ථවාදී ලෙස අපේක්ෂා කළ හැකි හොඳම විදිහට වෙනවා කියලා හිතමු. ඒ කියන්නේ මේ වසර අවසන් වෙන්න කලින් IMF එකෙන් ණය ලැබෙනවා. එතකල් රෝලක් ගහගන්න ඉන්දියාවෙන් හරි වෙන කොහෙන් හරි ණය ලැබෙනවා. රෝලක් ගහගන්න කිවුවේ තව තව ආනයන කරන්න නෙමෙයි. බැංකු පද්ධතියේ හදිසි ණය ගෙවන එක කල් දා ගන්න. එහෙම කළත් IMF එකෙන් බොහෝ විට ලැබෙනු ඇත්තේ ඩොලර් බිලියන තුනක පමණ මුදලක්. ලෝක බැංකුව වගේ තවත් තැන් වලින් ටික ටික එකතු කරලා ඔය ප්‍රමාණය ඩොලර් බිලියන හතර හමාරක් කර ගත්තා කියමු. ඒ ටිකෙන් බැංකු පද්ධතියේ ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. හැබැයි රජයේ ණය ගෙවීමේ ප්‍රශ්නය වගේම IMF ණය ගෙවීමේ ප්‍රශ්නයත් තව දුරටත් ඉතිරි වෙනවා.

රජයේ ණය ගෙවීමේ ප්‍රශ්නය හා IMF ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය අපි දැනට පැත්තකින් තියමු. වසර අවසන් වෙද්දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත අහවර වෙලා, IMF එකේ ණයත් ලැබෙනවා කියා කියන්නේ ඔය ප්‍රශ්න දෙකට විසඳුම් මොන විදිහෙන් ලැබිලා කියන එකනේ. තිබෙන ණය ගෙවන්න වැඩි කාලයක් ලබා ගැනීම හා ඒ අනුව පහළ යන ණය වාරික ගෙවන්න අලුතෙන් වෙළඳපොළෙන් ණය ලබා ගැනීම අනිවාර්යයෙන්ම ඔය විසඳුමේ කොටසක් විය යුතුයි. එහෙම නැතුව ඔය තරම් කෙටි කාලයකින් ණය ගෙවන්න අවශ්‍ය තරමට ඩොලර් උපයා ඉතුරු කර ගන්න බැහැ.

සුබවාදීම තත්ත්වයක් යටතේ වුවත් එදිනෙදා වියදම් වලට අවශ්‍ය ඩොලර් ටික රටට එන ඩොලර් ටිකෙන් පියවිය හැකි තරමට ආනයන ඉල්ලුම අඩු විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන තරමට ආනයන මිල ඉහළින් තිබිය යුතුයි. ඒ කියන්නේ, රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ ආදායමෙන් කලින් තිබුණු පරිභෝජන මට්ටම පවත්වා ගන්න නොහැකි විය යුතුයි. 

මේ වගේ තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින් විසින් වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය අරගල කරන්න ඉඩ තිබෙනවා. නමුත්, ප්‍රශ්නය විසඳෙන යාන්ත්‍රනය තිබෙන්නේම රජයේ සේවකයින්ට ජීවත් වෙන එක අමාරු වීම තුළයි. දැනට රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණයි. 2019 මට්ටමට බදු වැඩි කළා කියලත් ඔය ආදායම ඕනෑනම් රුපියල් ට්‍රිලියන 2ක් කර ගන්න පුළුවන් වෙයි. රජයේ වියදම් රුපියල් ට්‍රිලියන 3.5කට වඩා වැඩියි. ප්‍රාග්ධන වියදම් මුළුමනින්ම වගේ කපා හැරියත්, පොලී වියදම් ඉහළ යන නිසා ඔය වියදම ඔය මට්ටමේම වගේ තියෙයි. ඒ කියන්නේ තව රුපියල් ට්‍රිලියන 1.5ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා කියන එකයි. 

බැංකු අංශයෙන් ණය නොගෙන රුපියල් ට්‍රිලියන 1.5ක පමණ අයවැය හිඟයක් පියවන්න බැහැ. ඔය හිඟයෙන්  රුපියල් ට්‍රිලියනයක්වත් ගන්න වෙන්නේ බැංකු අංශයෙන්. ඒ කියන්නේ කොයි තරම් පාලනය කළත් මුදල් සැපයුම තව දුරටත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක් බවයි. මුදල් සැපයුම තව දුරටත් ඉහළ යනවා කියා කියන්නේ ඩොලරය ඉහළ යද්දී හා ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී වුවත්, එම ආනයන සඳහා ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ කියන එකයි. එහෙම වුනොත්, උද්ධමනය හා ඩොලරයක මිල ස්ථාවර නොවී තව තවත් ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වෙළඳපොළ විසින් ඩොලර් ප්‍රශ්නය විසඳනවා වගේම රාජ්‍ය අයවැය ප්‍රශ්නයත් විසඳනවා. ඒක වෙන්නේ මෙහෙමයි. බදු වැඩි නොකළත්, මිල ඉහළ යද්දී බදු ආදායම් ඉහළ යනවා. ඊට සමාන්තරව ඇතැම් රාජ්‍ය වියදම් වැඩි වුනත් රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය ඉහළ යද්දී රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර සිටීමෙන් අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සැලසුම්සහගතව බදු ආදායම් වැඩි කර නොගත්තොත්, ඔය වැඩේ සිදු වෙලා අයවැය හිඟය ස්වභාවිකවම පියවෙන තුරු මිල ගණන් ඉහළ යයි. ඒ කියන්නේ උද්ධමනය යම් කාලයක් ඉහළ මට්ටමක තියෙයි. හැබැයි පවතින අයවැය පරතරය අනුව ප්‍රායෝගිකව මේ වැඩේ වෙන්න කළින් රාජ්‍ය සේවකයින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගන්නවා. 

මේ සියල්ල කළමනාකරණය කර ගැනීම දේශපාලනික කරුණක්. එය තමන්ට කළ නොහැකි බව ආණ්ඩුව වගේම විපක්ෂයේ පක්ෂද අවබෝධ කරගෙන ඉන්නවා. නමුත් ඒ කවුරුවත් මේක කෙළින්ම කියන්නේ නැහැ. එහෙම කියන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. ඒක හරියට ලෙඩේට හොඳම ප්‍රතිකාරය බෙහෙතක් නොගෙන සුවවන තුරු හෝ මැරෙන තුරු බලා ඉන්න එක කියලා දොස්තර කෙනෙක් කියනවා වගේ වැඩක්. දොස්තරට පැවැත්මක් තියෙන්නේ තමන්ට ලෙඩේ හොඳ කළ හැකි බව පෙන්විය හැකි වන තුරු පමණයි. තමන් සතුව විසඳුමක් තියෙනවා කියලා කවුරු හරි කියනවානම් ඉදිරි දෙවසර තුළ රාජ්ය අයවැය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඇස්තමේන්තු සමඟ පැහැදිලි කරන්න කියලා කියන්න. 

Wednesday, May 4, 2022

ඩොලරය ආපහු පහළ යයිද?


අද වන විට ඩොලරයක මිල රුපියල් 370 දක්වා ඉහළ ගිහින්. උද්ධමනය 29.8%යි. ආහාර උද්ධමනය 46.6%ක්. රටේ තත්ත්වය පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට තිබෙන්නේ විශාල අවිනිශ්චිතතාවයක්. අලුත් මහ බැංකු අධිපතිවරයාට අනුව තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙනවා. 

අලුත් මහ බැංකු අධිපතිවරයා සෑහෙන තරම් විවෘතව හා යථාර්ථවාදී ලෙස කතා කරන පුද්ගලයෙක්. එහෙත්, ඕනෑම රටක මහ බැංකු අධිපතිවරයෙකුට යථාර්ථවාදී විය හැකි සීමාවක් තිබෙනවා. ඕනෑම රටක මහ බැංකු අධිපතිවරයෙකුට යම් තරමකට හෝ යථාර්තයෙන් බැහැර වී ශුභවාදී ලෙස කතා කරන්න වෙනවා. මහ බැංකු අධිපතිවරයෙකු අශුභවාදී වීමේ මිල ගොඩක් වැඩියි. 

ආර්ථික විචල්‍යයන් ඒත් අතට වගේම මේත් අතටත් සම්බන්ධ වෙනවා. මහ බැංකුවට ඒත් අතට සම්බන්ධය හදාරා පුරෝකථන කළ හැකියි. ඒ පුරෝකථන නිවැරදි වුවත්, මහ බැංකුවේ පුරෝකථන වලට අනෙකුත් පාර්ශ්ව ප්‍රතිචාර දක්වන නිසා එම පුරෝකථන පිළිබඳව මහ බැංකුව විසින් දැනුම් දුන් වහාම මේත් අතට සම්බන්ධයක් හැදී අපේක්ෂිත ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම මහ බැංකුවකට හා එහි ඉහළ නිලධාරීන්ට, ඔවුන් ස්වාධීන පුද්ගලයින් වුවද, කට පරිස්සම් කරගන්න වෙනවා. විශේෂයෙන්ම අශුභවාදී පුරෝකථන සම්බන්ධව. මොකද මහ බැංකුව විසින් අශුභවාදී පුරෝකථනයක් කරනවා කියන්නේම එවැන්නක් සිදු වීමට ඉඩ සැලසීමක් විය හැකි නිසා.

මහ බැංකුවට තිබෙන මේ ප්‍රශ්නය මහ බැංකුවට පිටින් සිටින අප වැනි අයට නැහැ. ඒ නිසා, අපට මහ බැංකුවට වඩා යථාර්ථවාදී විය හැකියි. කෙසේ වුවත්, මහ බැංකුව සතු දත්ත සියල්ල අප සතු නැති නිසා අපට නොපෙනෙන පැති මහ බැංකුව දකිනවා විය හැකි බවද කිව යුතුයි.

ලංකාව වැටී සිටින අර්බුදයෙන් ගොඩ යා හැකි කෙටි මාර්ග නැහැ. ආර්ථිකය කඩා වැටෙන්න පෙර පැවති "සෞභාග්‍යය" කරා නැවත යාමට අවුරුදු දහයක් පමණවත් ගත විය හැකියි. එය කරන්න වෙන්නේ පියවරෙන් පියවර. මේ මොහොතේ තිබෙන ප්‍රමුඛ ප්‍රශ්න දෙක ඩොලරයේ ඉහළ මිල යාම පාලනය කර ගැනීම හා උද්ධමනය පාලනය කර ගැනීමයි. මේ දෙකම මහ බැංකුවේ රාජකාරි. මේ අරමුණු කරා මහ බැංකුව කොයි තරම් ලං වෙලාද?

දැනට මහ බැංකුව විසින් පළමු ප්‍රමුඛතාවය සේ සලකන්නේ විදේශ අංශයේ ප්‍රශ්නය විසඳා ගැනීමයි. එය නිවැරදි ප්‍රවේශයක්. ඒ වගේම ඒ වෙනුවෙන් කළ හැකි දේ මහ බැංකුව විසින් කරමින් සිටිනවා. අලුත් අධිපතිවරයාට මේ සම්බන්ධව තිබෙන අත්දැකීම් හා පුහුණුව ඔහු ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා. 

ඩොලරයේ මිල ඉහළ යාම පාලනය කරන එක කොයි තරම් අමාරුද? මම කලින් ලිපි වල සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි 2015-2019 කාලයේදී අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි ඩොලර් ප්‍රමාණය ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. ඩොලර් මදි වුනේ ණය වාරික හා පොලී ගෙවන්නයි. ඒ වෙනුවෙන් අලුතෙන් ණය ගත්තා. අළුතෙන් ණය ගන්න බැරි වූ විට මේ වැඩේ හිර වුනා.

මේ වන විට ණය වාරික හා පොලී ගෙවීම අත් හිටුවා තිබෙනවා. ඒ කියන්නේ, 2015-2019 සමතුලිතතාවට යන්න පුළුවන් විය යුතුයි. එය කළ නොහැකි වී තිබෙන්නේ හේතු දෙකක් නිසා. එකක් සංචාරක ඉපැයීම් අඩු වීම. අනෙක ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම. ඒ කියන්නේ මේ ප්‍රශ්න දෙක විසඳෙනවානම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියන එකයි.

සංචාරක ඉපැයීම් වැඩි කර ගන්න එක මහ බැංකුවට කළ හැකි දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ බාහිර සාධක මත. මේ වන විට සංචාරක ව්‍යාපාරය හිස ඔසොවමින් තිබෙනවා. එහෙත් රටේ තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා සංචාරක ඉපැයීම් "සාමාන්‍ය" තත්ත්වයට පැමිණීමේ ඉඩක් නැහැ. යම් වර්ධනයක් සිදු වුනත්, 2015-2019 කාලයට සාපේක්ෂව 2022දී ලැබෙනු ඇත්තේ අවම වශයෙන් ඩොලර් බිලියනයක්වත් අඩුවෙනුයි. 

ශ්‍රමික ප්‍රේෂණ සම්බන්ධව තිබෙන්නේ තරමක් වෙනස් තත්ත්වයක්. මේ සල්ලි අඩුවෙන් වාර්තා වුනත් එයින් වැඩි කොටසක් ඇත්තටම රටට එනවා. වෙනස බැංකු පද්ධතිය හරහා නොපැමිණීමයි. මේ විදිහට අවිධිමත් මාර්ග හරහා ඩොලර් රටට එන්නේ ඩොලර් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සූදානම් අය රටේ ඉන්න නිසයි. මහ බැංකුව විසින් ඉතාම නිවැරදි ලෙස ඉල්ලුම පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ සඳහා ඉතා ඉක්මණින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග තුනක් ගැන අලුත් අධිපතිවරයා විස්තර කළා.

අධිපතිවරයා විසින් සඳහන් කළ පළමු ක්‍රමය බැංකු පද්ධතිය හරහා මුදල් නොගෙවා ආනයනය කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් නොකිරීමයි. මෙසේ "හොර පාරෙන්" මුදල් ගෙවා සිදු කරන ආනයන ප්‍රමාණය පිළිබඳව මට අදහසක් නැහැ. මහ බැංකුව සතුව සංඛ්‍යාලේඛණ තිබෙනවා විය හැකියි. 

මෙය පවතින තත්ත්වයන් යටතේ හොඳ ක්‍රියාමාර්ගයක්. ඒ හරහා යම් පමණකින් ආනයන පාලනය කර ගන්න ඉඩ ලැබෙයි. ඒ සමඟම අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුමද යම් පමණකින් අඩු වීමට නියමිතයි. එහි ප්‍රතිඵලය වන්නේ අවිධිමත් වෙළඳපොළේ ඩොලරයක මිල හා බැංකු වල මිල අතර පරතරය අඩු වී බැංකු ක්‍රමය හරහා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යාමයි. මේ වැඩෙන් සමස්තයක් ලෙස රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ නැති වුනත්, එන ඩොලර් ටික අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙන් කිරීමට ඉඩ සැලසෙනවා.

ඔහු විසින් සඳහන් කළ දෙවන ක්‍රියාමාර්ගය අධ්‍යාපන කටයුතු ආදිය සඳහා රටින් පිටට යැවිය යුතු මුදල් බැංකු පද්ධතියෙන් ලබා ගැනීමට ඉඩ සැලසීමයි. රටින් පිට දරුවන් සිටින දෙමවුපියන් ඔවුන්ගේ නඩත්තුව සඳහා කෙසේ හෝ මුදල් යැවිය යුතුයි. මේ සඳහා බැංකු පද්ධතියෙන් මුදල් ලබා ගත නොහැකි වූ විට ඉතිරි වන්නේ කීයට හෝ ඩොලර් මිල දී ගෙන  "හොර පාරෙන්" සල්ලි යැවීමේ විකල්පයයි. නියම ක්‍රමයට ඩොලර් ලැබෙනවානම් හොර පාරෙන් යවන්න අවශ්‍ය වන්නේ නැහැ. 

මේ දෙවන ක්‍රියාමාර්ගය නිසාද අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම අඩු වී එම වෙළඳපොළ හා බැංකු අතර මිල පරතරය අඩු වීමට නියමිතයි. එහිදී බැංකු ක්‍රමය හරහා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන නමුත් ඒ ඩොලර් බැංකු වල නොරැඳෙන නිසා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ හෝ වෙනත් වැඩකට යොදා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, උන්ඩියල් ප්‍රේෂණ අඩු කර ගැනීමට හා එමගින් ඩොලරයේ මිල පාලනය කර ගැනීමට එයින් උදවුවක් ලැබෙනවා. 

අධිපතිවරයා විසින් සඳහන් කළ තෙවන ක්‍රියාමාර්ගය අපනයනකරුවන්ගේ ආදායම් බලහත්කාරයෙන් රුපියල් වලට හැරවීම නැවැත්වීමයි. මෙය ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම්ව ගන්නට යන තරමක් එඩිතර ක්‍රියාමාර්ගයක් කියා කියන්න පුළුවන්. පළමුව, මේ බලහත්කාර මුදල් පරිවර්තනයට හේතු වුනේ අපනයන ආදායම් රටට නොගෙන්වා පිටත තියා ගැනීමට ඇතිව තිබුණු පෙළඹුමයි. අපනයනකරුවන් එසේ කරන්නට පෙළඹුණේ ඩොලරයේ මිල නොවටිනා සීමාවක රඳවා ගෙන සිටි නිසයි. මේ වන විට ඩොලරයේ මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, අපනයනකරුවන් විසින් තමන්ගේ ඩොලර් රටින් පිට තබා ගැනීමක් තවදුරටත් ලොකුවට සිදු නොවනු ඇතැයි මහ බැංකුව සිතන බව පේනවා.

මීටත් වඩා වැදගත් කාරණය මේ ආකාරයෙන් භාණ්ඩ අපනයනය කර උපයන ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කර ගත හැකි වුවත්, සේවා අපනයනය කර උපයන ඩොලර් එසේ ගෙන්වා ගත නොහැකි වීමයි. තමන්ගේ ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කෙරෙන තත්ත්වයක් යටතේ බොහෝ සේවා අපනයනකරුවන් තමන්ගේ ඩොලර් රටට ගෙන නොඒමට පෙළඹී සිටිනවා. ඒ නිසා, අවසාන වශයෙන් මේ තීරණයේ ප්‍රතිඵලය ලෙස සිදුව තිබෙන්නේ රටට එන ඩොලර් ප්‍රමාණය තවත් පහළ යන එකයි. 

මේ ක්‍රියාමාර්ග තුනෙන්ම කවර හෝ සාධනීය ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකි වෙයි. ඒ හරහා උන්ඩියල් වෙළඳපොළේ මිල පාලනය වීමට මෙන්ම පහළ වැටෙන්නට වුවද පුළුවන්. මෙහිදී උපක්‍රමය වන්නේ රට ඇතුළේ ඩොලර් වලට තිබෙන අවිධිමත් ඉල්ලුම අඩු කිරීමයි. ඉල්ලුම නැති වන විට නිසගයෙන්ම සැපයුමද අඩු වෙනවා. මෙය මෙතෙක් මහ බැංකුව විසින් අනුගමනය කළ සැපයුම පාලනය කිරීමේ උපක්‍රම වලට වඩා සාර්ථක වෙයි කියා මම හිතනවා.

කෙසේ වුවත්, මේ වැඩේ නිසා සමස්තයක් ලෙස ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර තිබෙන පරතරය විශාල ලෙස අඩු වන්නේ නැහැ. ඒ සඳහා කළ හැකි එකම දෙය අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය කිරීමයි. දෙවන හා තුන්වන උපක්‍රම එයට උදවුවක් නොවුනත්, පළමුවැන්න හරහා එම ඉලක්කය යම් තරමකින් සාක්ෂාත් කරගත හැකියි.

පසුගිය ජනවාරි මාසයේදී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1,959ක් වැය වී තිබුණා. අපනයන ආදායම ඩොලර් මිලියන 1,101යි. ඒ කියන්නේ වෙළඳ ශේෂයේ  ඩොලර් මිලියන 859ක හිඟයක්. ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 259කුත්, සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 148කුත් ලැබී තිබුණා. ඒ කියන්නේ තව ඩොලර් මිලියන 452ක හිඟයක්. 

මාර්තු මාසය වන විට ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 319.4 දක්වාත්, සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 191.5 දක්වාත් ඉහළ ගොස් තිබුණා. මේ තත්ත්වය තවත් ටිකක් හොඳ අතට වෙනස් වෙයි කියා හිතුවත්, අවසාන වශයෙන් මාසයකට ඩොලර් 300ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා. කලින් විස්තර කළ යෝජිත ක්‍රියාමාර්ග වලින් මේ හිඟය කොපමණ දුරකට අඩු කර ගත හැකි වෙයිද?

මගේ අදහසනම් අත්‍යාවශ්‍ය නොවන ආනයන වෙනුවෙන් "හොර පාරෙන්" යවන සල්ලි ප්‍රමාණය වැඩිම වුනොත් ඩොලර් මිලියන 100ක් පමණ වෙයි කියන එකයි. ඒ කියන්නේ, ඔය යෝජිත ක්‍රියාමාර්ග ගත්තත් මාසයකට තවත් ඩොලර් මිලියන 200ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න අවම වශයෙන් තවත් මාස තුනක් පමණ යා හැකි බවකුයි පේන්න තියෙන්නේ. ඔය කාලය ඇදගන්න වෙන්නේ අතමාරු වලින්. හැබැයි ඒ අතර කලින් අතමාරුවට ගත්ත සල්ලිත් ගෙවන්න වෙනවා. මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබෙන තුරු ඩොලරයක මිල ස්ථාවර වෙයි කියලා හෝ පහළ යයි කියලා කොහොමටවත් හිතන්න අමාරුයි. හැබැයි මිල ඉහළ යන වේගය ටිකෙන් ටික අඩු වෙමින් තිබෙනවා. එයත් ස්ථාවර වීමක් තමයි. 

ඉහත තුන්වන යෝජනාව අනුව අපනයනකරුවන් විසින් රටට ගෙන ආ හැකිව තිබෙන ඩොලර් බලෙන් රුපියල් නොකෙරෙන නමුත් ඒ ඩොලර් බැංකු වල ඉතිරි වන නිසා එයින් බැංකු වලට ඔවුන්ගේ ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳාගන්න වඩා පහසු වෙනවා. එයත් ඩොලරයක මිල ස්ථාවර කර ගැනීමට උදවුවක්. 

සමහර විට මහ බැංකු අධිපතිවරයා විසින් ඩොලරයක මිල පහළ යා හැකියි කියන එකෙන් අදහස් කළේ උන්ඩියල් වෙළඳපොළේ මිල ගැන වෙන්න පුළුවන්. ඒකනම් වෙන්න පුළුවන් දෙයක්. ඊට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණු විට බැංකු ක්‍රමය ඇතුළේ වුනත් ඩොලරයක මිල පහළ යාමට යම් තෙරපුමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. සුඛෝපභෝගී භාණ්ඩ සේ සලකා ඇතැම් ආනයන වලට ඉඩ නොදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙයි කියලා හිතන්න අමාරුයි. සමහර විට වාහන ආනයනයට පවා නැවත ඉඩ දෙන්න සිදු විය හැකියි. මේවා දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුවන ආකාරය අනුව තීරණය වන දේවල් නිසා නිශ්චිත අනාවැකි කියන්න බැහැ.

ඩොලර් නිකුත් නොකර හෝ සෘජු වාරණ හරහා ආනයන පාලනය කිරීම නොකරනවානම් ආනයන වියදම අඩු කරගත හැකි ක්‍රමය අවශ්‍ය පමණ මිල ඉහළ යන්න ඉඩ සැලසීමයි. මාර්තු මුල් සතියෙන් පසුව දැනටමත් ඩොලරයක මිල 80%කින් පමණ ඉහළ ගොස් තිබෙන පසුබිමක, එම හේතුව නිසාම සැලකිය යුතු ලෙස ආනයන ඉල්ලුම පහළ නොයන්න හේතුවක් නැහැ. මිල වැඩි වීම නිසාම ගෑස්, පැට්‍රෝල් පෝලිම් නැති වෙන්න පුළුවන්. ඒ වගේම, වාහන ආනයනයට නැවත ඉඩ දුන්නට කලින් තරමටම වාහන ආනයන ඉල්ලුමක් ඇති නොවෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු වාහන ආයෝජනයක් ලෙසද සලකන නිසා මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක්. මොකක් වෙයිද කියලා හරියටම කියන්න අමාරුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණු විට ඩොලරයක මිල පොඩ්ඩක් පහළ යන්න යම් ඉඩක් තිබෙනවා. එහෙත්, බොහෝ විට එසේ නොවෙන්න පුළුවන්. යම් විදිහකින් මිල පහළ යනවානම් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන එය වැළැක්විය යුතුයි. ඩොලරය ඉහළ යද්දී ඉහළ යන බඩු මිල ඩොලරය පොඩ්ඩක් පහළ ගියා කියලා අඩු වෙන්නේ නැහැ. 

කොහොමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ලැබෙන එක ස්ථිර වෙද්දී ඩොලරය ස්ථාවර වෙන බව කාට වුවත් පැහැදිලි වන නිසා ඔය නිවේදනයත් එක්කම එක පාරටම රටින් පිට රඳවාගෙන තිබෙන ඩොලර් රටට එන්න සහ එයින් කොටසක් රුපියල් වෙන්න පුළුවන්. එයින්ද යම් අධිප්‍රමාණ පීඩනයක් එන්න පුළුවන්. ඒ වෙලාවට කළ යුත්තේ පුළුවන් තරමකින් සංචිත ගොඩ නගා ගන්න එකයි. අතමාරු ණය හැමදාම රෝල් කරන්නත් බැහැනේ. ඒවා පියවන්නත් ඩොලර් අවශ්‍ය නිසා කොහොමටත් ඔය වැඩේ කරන්නම වෙනවා.

උද්ධමනය ගැන වෙනම ලිපියකින් කතා කරමු.

Friday, April 15, 2022

අරගලකරුවන් ඉල්ලන්නේ කුමක්ද?


ශ්‍රී ලංකාවේ වත්මන් මහජන අරගලයේ ප්‍රධානම දේශපාලන ඉල්ලීම කුමක්ද කියා ඇසුවොත් දිය හැකි සංක්ෂිප්තම පිළිතුර බටහිර නූතනත්වය යන්නයි. ගෝඨාභය එළවීම හෝ ඔහු ඇතුළු රාජපක්ෂවරුන් එළවීම මේ දේශපාලන ඉල්ලීමේ මතුපිට ස්වරූපයයි. බටහිර නූතනත්වය ඉල්ලමින්, තේරුමක් ඇතිව හෝ නැතිව, පාරට බසින්නට ශ්‍රී ලාංකික මහජනතාවට සිදු වන්නේ ගෝඨාභය ව්‍යාපෘතිය තුළ බටහිර නූතනත්වයට එරෙහි වීමේ ප්‍රවේශයක් තිබීම හා පොදු මහජනතාවගේ ඇසින් බලන විට එම ප්‍රති-නූතනත්ව ව්‍යාපෘතිය අසාර්ථක වී තිබීමයි. ගෝඨාභය විසින් ක්‍රියාත්මක කළ ප්‍රති-නූතනත්ව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘෂ්ඨිවාදය නිර්මාණය කළේ නලින් ද සිල්වා විසිනුයි. එනයින්, මේ අරගලය සඳහා නලින් ද සිල්වා විසින් මූලබීජ සපයා ඇති බවද කිව හැකියි.

අරගලකරුවන් විසින් සෙවූ දේ කාණ්ඩ දෙකක් යටතේ වර්ග කළ හැකියි. පළමු කාණ්ඩයට වැටෙන්නේ බටහිර සංවර්ධනය තුළින් ලබාගත හැකි ආර්ථික සමෘද්ධියයි. දෙවන කාණ්ඩයට වැටෙන්නේ බටහිර රටවල දැකිය හැකි, පුද්ගල අසමානතා පිළිගන්නා, සමානාත්මතාවයයි (egalitarianism). අරගලය තුළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වූයේ අරගලකරුවන් විසින් ඉල්ලා සිටින මේ කාණ්ඩ දෙකටම අයත් දේශපාලන ඉල්ලීම් නියෝජනය කරන දේශපාලන ධාරාවක් ලංකාවේ නොපැවති නිසයි. වෙනත් විදිහකින් කිවුවොත් බටහිර නූතනත්වය වෙනුවෙන් සෘජුව පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ නොතිබීමයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීමෙන් පසු ලංකාවේ දිගටම ක්‍රියාත්මක වූයේ සාපේක්ෂව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පෙනී සිටියේ මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන්. ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේ ජවිපෙ පෙසපෙ වැනි පක්ෂ පමණයි. මේ වෙද්දී ජවිපෙ පවා, ජාජබ ලේබලය යටතේ, ජාතික සමාජවාදයෙන් විතැන් වීමට උත්සාහ කරමින් සිටිනවා.

විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම තුළ රට තුළ භාණ්ඩ හිඟයන් හා පෝලිම් ඇතිවුණේ නැහැ. එසේ තිබියදී, මේ අරගලය පැන නැගීමට ආසන්නම හේතු සපයන්නේ ගෝඨාභය ආණ්ඩුව විසින් නැවතත් ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති කරා යොමු වීමයි. එකම වෙනස සමගි පෙරමුණු කාලයේ සමාජවාදී ලේබලය තුළ මේ ප්‍රතිපත්ති අසුරා තිබීම හා මෙවර ජාතිකවාදී ලේබලය තුළ එම ප්‍රතිපත්ති අසුරා තිබීම පමණයි.

විණිමය අනුපාතය පාලනය කිරීමත්, ඒ හේතුව නිසා ඇතිවූ ඩොලර් හිඟයට පිළියමක් ලෙස ආනයන පාලනය කිරීමත්, ආනයන පාලන හේතුවෙන් භාණ්ඩ හිඟ වීම හා මිල ඉහළ යාමත්, ඉන්ධන ආනයනය කළ නොහැකි නිසා විදුලි බල සැපයුම සීමා වීමත්, අරගලකරුවන්ව පාරට ඇද දමනු ලැබුවා. පහත සටන් පාඨ වලින් කියන්නේ මේ කතාවයි.

1. අපිට කිරි නෑ 

2. මගේ දරුවොත් බොන කිරි පැකට් එක නැති කළාට උඹට වහිනකොට ගහන ඒවා ගහපන් 

3. කිරි ගණන්..යෝගට් ගණන්..චිකන් ගණන්...බිස්කට් ගණන්.. අපටත් කෑම අඩු කරන්න වෙලා

4. කිරිපිටි මිල අඩු කරන්න සර් නැත්නම් මුන් කිරි බොන්ඩ අපේ ගෙවල් පැත්තට එනවා 

5. ගන්න නෑ අපිට කඩේ gas මුන් ගහන්නේ අපිට Teargas 

6. Bring down the cost of living 

7. පැතුවේ සෞභ්යමත් රටක් ලැබුණේ අපායක් 

8. NO FOOD NO ELECTRICITY NO GAS NO MEDICINE NO EDUCATION 

9. මේ බෝඩ් එකත් රු 30/= xත්තෝ 

10. කළුවරේ MAKE-UP එකවත් දාන්න බෑ YAKO!

11. පෝලිම් වල මරණ වලට වග කිවයුත්තේ ගොඨෝ නුඹයි. 

12. ලයිට් කපන්න එපා යකෝ මිනිහගෙන් වදේ

13. CURRENT නැතුව පාඩම් නොකර LAWYERSලා වෙන්න මොකෝ අපි බේබිලාද?

14. නාමල්ට ලිමිණි අපිට චිමිණි 

ලංකාවේ පාලන බලය හෙබවූ ප්‍රධාන පක්ෂ දෙක විසින්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් එම ප්‍රතිපත්ති වල වාසි සමාජයේ සියල්ලන්ටම එක සේ හිමි වුනේ නැහැ. දේශපාලනඥයින් හා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් විසින් හැම විටම වැඩි වරප්‍රසාද භුක්ති වින්දා. ඉහත අවසන් සටන් පාඨ වලින් මේ විෂමතාවයට එරෙහි විරෝධයද පෙන්නුම් කරනවා. පහත සටන් පාඨ මෙම ඉල්ලීම වඩා හොඳින් නිරූපණය කරනවා.

15. මින්පසු මාර්ගයේ VIP විය යුත්තේ ගිලන්රථ පමණයි. 

16. ප්‍රභූවරුන්ගේ ඇම්ම හොඳ කළ පුරවැසියන්ගේ ගැම්මට ජයවේවා!

ලංකාවේ කවදාවත්ම සමානාත්මතා සමාජයක් තිබුණේ නැහැ. ලාංකීය සමාජය තුළ බලය, ධනය හා වෙනත් සංස්කෘතික කරුණු මත පදනම්ව පුද්ගලයින්ව  වර්ග කෙරෙනවා. මෙයින් වෙනස්ව, බටහිර රටවල කවර විෂමතා තිබුණත් පුද්ගලයින්ට පුද්ගලයින් සේ සැලකීම වැදගත් සේ සැලකෙනවා. ගනුදෙනුවක නියැලෙන පුද්ගලයින් දෙදෙනෙකු සමානයින් නොවීම නිදහස් ගනුදෙනුවක් සිදුවීමට බාධාවක්. වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසියම් ව්‍යවසායකත්වයක් ඇති අයට ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ සමාන අවස්ථා ඇති පසුබිමකදී පමණයි. 

රටක සිටින ව්‍යවසායකත්වයක් ඇති සීමිත පිරිසට ඉහළට එන්න ඉඩ ලැබෙන තරමට ඒ කුසලතාවය නැති අනෙකුත් අයටද නිෂ්පාදන කාර්යයට දායක වීමට වැඩි අවස්ථා ලැබෙනවා. සරලව කිවුවොත් රටේ රස්සා ඇති වෙනවා. රස්සා වැඩි වන තරමට ශ්‍රමිකයින් සඳහා වන තරඟය තුළ වැටුප් මට්ටම් ඉහළ ගොස් සියල්ලන්ගේම ආර්ථික තත්ත්වය වඩා යහපත් වෙනවා. බටහිර රටවල ජනතාව අත් විඳින ආර්ථික සෞභාග්‍යයේ රහස මෙයයි.

කිසියම් රටක ධනවාදය දියුණු වෙද්දී මුලින්ම වෙන්නේ සීමිත ධනවතුන් පිරිසක් ඇති වීමයි. ඔවුන් නිසා රට දියුණු වෙනවා. ඉන් පසුව, ඒ දියුණුවේ ප්‍රතිලාභ පහළ ස්ථර වෙත ගලා යනවා. එහෙත්, එය ඒ විදිහටම වෙන්නනම් වෙළඳපොළ පුළුල් වීමට සමාන්තරව සමාජයද සමානාත්මතා සමාජයක් විය යුතුයි. දහනවවන සියවසේ පමණ සිට බටහිර රටවල මෙම පරිවර්තන ක්‍රමක්‍රමයෙන් සිදු වුනා. වෙළඳපොළ පුළුල් වෙද්දී එයට සමාන්තරව සමාජයද සමානාත්මතා සමාජයක් බවට පරිණාමය වුනා.

රජය මුල් වී සමානාත්මතා සමාජයකින් ඔබ්බට ගිය සමානතා සමාජයක් හදන්නට හැදූ සමාජවාදී රටවල මේ පරිණාමය ස්වභාවික ලෙස සිදු වුනේ නැහැ. ඒ නිසා, ඒ රටවල වෙළඳපොළ පුළුල් වෙද්දී ව්‍යවසායකත්වයක් ඇති සියල්ලන්ටම ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ පාලනාධිකාරිය සමඟ සම්බන්ධතා පවත්වා ගත හැකි අයට පමණයි. මේ හේතුව නිසා එවැනි රටවල රස්සා හැදෙන්නේ අඩුවෙන්. ප්‍රමාණවත් තරඟයක් නැති නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු විභව ප්‍රතිලාභය හැම විටම ලැබෙන්නේ නැහැ. මෙහි වාසිය පාලනාධිකාරිය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා සීමිත පිරිසකට ලැබෙනවා. රුසියාවේ මෙන්ම චීනයේද දැකිය හැකි මේ තත්ත්වය ලංකාවේද දැකිය හැකියි.

සමස්තයක් ලෙස ගත් විට ලංකාවේ සමාජවාදී පක්ෂ බොහොමයක් එරෙහි වන්නේ ඉහත තත්ත්වයට වුවත් ඔවුන් එය විග්‍රහ කරන්නේ වෙළඳපොළ විරෝධී පදනමක සිටයි. එහිදී ඔවුන් විසින් ආර්ථිකය කෙරෙහි රජයේ ආධිපත්‍යය පෝෂණය කරමින් පවතින තත්ත්වය එසේම පවත්වා ගැනීම සඳහා මතවාදී සහයෝගයක් ලබා දෙනවා. ලංකාවේ පවතින සමස්ත දේශපාලන ක්‍රමයටම එරෙහි වෙමින් "225ම එපා!" කියන තාරුණ්‍යයට ඉහත තත්ත්වය පිළිබඳ යම් සවිඥානිකත්වයක් ඇති බව ඇතැම් සටන් පාඨ වලින් පැහැදිලි වෙනවා. එහෙත්, මේ අවබෝධය තුළින් ප්‍රධාන දේශපාලන ධාරාවක් බිහි වී නැහැ.

17. ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාව බේරාගමු!

18. අපේම සල්ලි වලින් V8 වලට PRTROL පිනට ගහ රඟපු එවුන් දැන් ගෙවල් අස්සේ...! මං අහන්නේ දැන් සැපද?

ආර්ථික ප්‍රශ්න වලින් පසුව මහජන විරෝධයට ප්‍රමුඛ හේතුවක් වී තිබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ව රවටනු ලැබූ බව බොහෝ දෙනෙකුට අවබෝධ වී තිබීමයි. ආර්ථික ප්‍රශ්නද එහි කොටසක්. බොහෝ සටන් පාඨ වලින් මේ පසුතැවිල්ල සෘජු ලෙසම නිරූපණය වෙනවා. 

19. කරන්න පුළුවන් එකෙක්ට දීලා දැන්වත් පලයව්

20. අපෝ ඇති සීයේ ගෙදර යන්න 

21. PORN HUB එකේවත් මෙහෙම අරිනවා දැකල නෑ හාමුදුරුවනේ 

22. පරණ කෑල්ලවත් මෙච්චර රැවැට්ටුවේ නැහැ 

23. අපට හරි සැපයි. මහී, ගෝඨා ඔයාලට කොහොමද?

24. අර්බුධයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම විනාශ වී යයි.

25. 69න් එකෙක් සමාවෙයන් වැරැද්ද නිවැරදි කරන තුරු අත නොහරිමි 

26. Dr , ස' රටේ මිනිස්සුන්ට හික් ගෑවිලා ඉන්නේ බලෙන් ඉන්න හදන්න එපා!!! PLEASE!!!

27. ඉස්සෙල්ලම විනය කැඩුවේ තොපි 

28. තාමත් හොඳටම කරන්නේ ඔයාද?

29. දැන් සැපද?

30. I've Seen Better Cabinets at Damro!

මේ පසුතැවිල්ල තරුණයින් තුළ විශේෂයෙන්ම කැපී පෙනෙනවා.

31. අද අඳුරු වී ඇත්තේ අපේ අනාගතයයි.

32. YOU MESSED WITH THE WRONG GENERATION 

33. DONT RUIN OUR FUTURE

34. තෝ මගේ පළවෙනි ඡන්දය කෑවා මූසලයා 

රාජපක්ෂලාට එරෙහිව මේ තරම්ම විරෝධයක් මතු වුනේ ඇයි? මෙය බටහිර කුමන්ත්‍රණ වැනි පටු ප්‍රවාදයකින් තේරුම් ගන්න හදනවානම් එය පවතින යතාර්ථය අවබෝධ කර නොගැනීමක්. පසුතැවිල්ලට හේතු වී තිබෙන්නේම බටහිර කුමන්ත්‍රණ මාදිලියේ පටු ප්‍රවාද හරහා තමන්ව රැවටීමට ලක් කරනු ලැබ ඇති බව අවබෝධ වීමයි.

මහජන අරගලය පැන නගින්නේ ආර්ථික හේතු මත බව ඉතාම පැහැදිලි හා බොහෝ විට අවිවාදිත විය හැකි කරුණක්. ඇතැම් සටන් පාඨ වලින් මේ කරුණ පිළිබඳ මහජන මතය හා අවබෝධය පිළිබිඹු වෙනවා.

35. විදෙස් ණය වලට රට සින්න කිරීම නතර කරනු 

36. ගත්තු ණයට කරපු සංවර්ධනයද මේ?

රාජපක්ෂලාට එරෙහි ප්‍රධානම සටන් පාඨය වී තිබෙන්නේත්, ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස අරගලකරුවන් බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නේත් මහජන මුදල් මංකොල්ලයයි.

37. රාජපක්ෂ හොර හැතිකරෙ සොරා ගත්ත ඩොලර් දීල මක බෑවිල පල යන්නට!

38. Stop corruption and stepdown 

39. All Sri Lankans are Extremely United against Extremely Corrupted SL Government

40. රාජපක්ෂ හොරු ගෙදර යවමු.

41. හොරා කාපු සල්ලි දීපං මයිනෝ!

රජයට සම්බන්ධව සිටින අය මහජන මුදල් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් යොදා ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ විතරක් සිදුවන දෙයකුත් නෙමෙයි. රජය බලවත් වෙද්දී ඇතිවන මේ තත්ත්වය ලංකාව තුළ එන්න එන්නම දරුණු වුනා කියා කියන්න පුළුවන්. 

හැත්තෑ හතේදී ලංකාව ලෝකයට (සාපේක්ෂව) විවෘත වුනා. මෙය විවෘත ආර්ථික ක්‍රමය ලෙස පොදුවේ හැඳින්වෙනවා. හැත්තෑ හතෙන් පසුව ලංකාවේ නිෂ්පාදකයාව ජාත්‍යන්තර තරඟයට නිරාවරණය කෙරුණා. එහෙත්, ලංකාව ඇතුළේ සමාන තරඟයක් ඇති වීමේ වාතාවරණයක් ඒ එක්කම හෝ ඉන් පසුව හැදුනේ නැහැ. රට ඇතුළේ කාට හරි පහළ සිට උඩට මතු වෙන්නනම් රාජ්ය යාන්ත්‍රනය සමඟ අශුද්ධ සන්ධානයකට යන එක නොකරම බැරි දෙයක් බවට පත් වුනා. 

ඔය දැන් රටේ මහජනතාව දිගින් දිගටම කතා කරන නාස්ති, දූෂණ, මහජන මුදල් මංකොල්ල පහුගිය කාලය මුළුල්ලේම සිදු වුනා. මේවා කවුරුත් දැන ගෙන හිටපු දේවල්. හැබැයි රටේ වැඩි දෙනෙක්ට ඔය දේවල් ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ දේවල් දිගින් දිගටම නඩත්තු වුනේ ඒ නිසා. "අපේ හොරා අපිට හොඳයි" කියලා එවැනි අයව දැන දැනම තමන්ගේ නියෝජිතයින් සේ පත් කරගන්න සම්ප්‍රදායකුයි ලංකාවේ දිගටම දකින්න ලැබුණේ. ඒක එක පාරටම වෙනස් වුනේ කොහොමද?

හැත්තෑ හතේ සිට පසුගිය වසර දක්වාම ඔය හොරකම් මිනිස්සුන්ට ඇඟට දැනුණේ නැහැ. කවුරු හොරකම් කරගත්තත් තමන්ගේ ජීවිත එන්න එන්නම වඩවඩා යහපත් වෙනවානම් මිනිස්සු හොරකම් ගැන එතරම් වදවෙන්නේ නැහැ. ගොඩක් හොරකම් වුනයි කියන 2004-2014 දශකයේදී රටේ බොහෝ දෙනෙකුගේ ආර්ථික තත්ත්වය බලා ඉඳිද්දී වගේ යහපත් වුනා. රට බලා ඉඳිද්දී වගේ දියුණු වුනා. ඒ විතරක්ද? යුද්දෙත් ඉවර වුනා!

යහපාලන ආණ්ඩුව බලයට පත් වුනේ මිනිස්සු රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කලකිරී හිටපු නිසා නෙමෙයි. රාජපක්ෂලාගේ කාලයේ ගත්ත ණය ගැනත්, රාජපක්ෂලාගේ හොරකම් ගැනත් එජාපය හා ජවිපෙ වැනි පක්ෂ විසින් කියපු දේවල් ප්‍රශ්නයක් කර ගත්තේ ඉතාම සීමිත පිරිසක්. යහපාලන ආණ්ඩුව දිනුවේ කාලයක් ප්‍රකාශ නොවුණු උතුරු නැගෙනහිර ඡන්ද නැවත ප්‍රකාශ වීම නිසා මිසක් දකුණේ ජනමතය ලොකුවට වෙනස් වූ නිසා නෙමෙයි.

කොහොම වුනත් යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ලංකාවේ ආර්ථිකය පුපුරන්න කිට්ටු වී තිබුණු ගිණි කන්දක්. ඒ ගිණි කන්ද උඩ යහපාලන ආණ්ඩුවට රාජපක්ෂලා කරපු සෙල්ලම් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගොඩක් මිනිස්සු මේක දැක්කේ හොඳට තිබුණු ආර්ථිකය රනිල් ඇවිත් විනාශ කිරීමක් විදිහටයි. රාජපක්ෂ කණ්ඩායමේ "ආර්ථික විද්‍යාඥයෝ" ඔය මානසිකත්වයට දිගින් දිගටම පෝර ගැහුවා. ඒ නිසා, මිනිස්සු ගෝඨාභයගෙන් 2004-2014 කාලයේ තිබුණු, 2015-2019 කාලයේ නොතිබුණු, ගෝඨාභය කඳවුර විසින් පොරොන්දු වුනු, සෞභාග්‍යය අපේක්ෂා කළා. 

දකුණේ මිනිස්සුන්ට 2004-2014 ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න නොතිබුණත්, රාජපක්ෂ ක්‍රමය ගැන වෙන ප්‍රශ්න තිබුණා. ඒ මොනවාද කියලා කියන්න ඕනෑ නැහැනේ. නැති වුනු ආර්ථික සෞභාග්‍යය ආයෙත් අරන් එයි කියන එකට අමතරව මිනිස්සු ගෝඨාභය ගෙන් අර රාජපක්ෂ ක්‍රමය වෙනස් කරලා නීතියේ පාලනය ස්ථාපිත කරයි කියන එකත් බලාපොරොත්තු වුනා. වුනේ මොකක්ද කියලා ඉතිං කියන්න ඕනෑ නැහැනේ. ඔය දෙකටම අමතරව තවත් පිරිසක් ගෝඨාභය සමඟ සිංහල බෞද්ධ රාජ්‍යය කරා යන්න බලාගෙන හිටියා. 

ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියා ඉල්ලමින් මිනිස්සු පාරට බහින තැනට වැඩ සිද්ධ වුනේ ආර්ථික සෞභාග්‍යය ආයෙත් අරන් එන එක සහ සිංහල බෞද්ධ රාජ්‍යය කරා යාම කියන ද්විත්ව අරමුණු එකට නොපෑහුණු නිසයි. සෛද්ධාන්තික ලෙසම එකවර අත්කර ගත නොහැකි ඔය අරමුණු දෙක මොන විදිහෙන් හෝ ඉටු වී තිබුනනම් රාජපක්ෂලා හොරකම් කිරීම වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට මේ වගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ආණ්ඩුව සිංහල-බෞද්ධ ජාතිකත්වය මතුපිටින් පමණක් තියා ගෙන, විදේශ ණය වලින් පුම්බා ආර්ථික සෞභාග්‍යය මිනිස්සුන්ට පෙන්නුවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කොයි වෙලාවකවත් බටහිර නූතනත්වයට පිටින් විකල්ප හොයන්න ගියේ නැහැ. විණිමය අනුපාතය පහලින් තියාගෙන කරපු පොන්සි ක්‍රීඩාව වුනත් කළේ බටහිර නූතනත්වයේ නීති යටතේ. 

කලින්ම ඩොලරයේ මිල ඉහළ යන්න දුන්නානම්, කලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියානම්, මේ කඩා වැටීම වෙන්නේ නැහැ. එය වැළැක්වූයේ ආණ්ඩුව මෙහෙයවූ දෘෂ්ඨිවාදයයි. කෙලින්ම සම්බන්ධ වුනත් නැතත් මේ දෘෂ්ඨිවාදයේ නිර්මාණකරු නලින් ද සිල්වා. තවත් විදිහකින් කිවුවොත් ආණ්ඩුව විසින් මේ ගෙවන්නේ නලින් ද සිල්වාගේ දෘෂ්ඨිවාදයේ දුගීකමේ මිල.

බටහිර නූතනත්ව රාමුව ඇතුළේ සිංහල-බෞද්ධ සංස්කෘතිය සමඟ යා හැකි දුර නලින් ද සිල්වා විසින් අසූව දශකයේදී පමණම නිවැරදි ලෙස හඳුනා ගන්නවා. එහෙත්, ඔහු එය තේරුම් ගන්නේ ඔහු දැන සිටි භෞතික විද්‍යාව හා මාක්ස්වාදය ඇසුරෙන්. ප්‍රශ්නයක් වැරදියට විග්‍රහ කරගත් පසු නිවැරදි පිළිතුරු ලැබෙන්නේ නැහැ.

නලින් ද සිල්වාගේ මූලික ප්‍රශ්නය ඔහු දැන් ටික කාලයක සිට නිතර භාවිතා කරන "ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව" කියන පාඨය ඇතුළේ පැහැදිලිව පෙනෙන්න තියෙනවා. තමන් බටහිර විද්‍යාඥයෙකු නොවන බව පුනපුනා කිවුවත් නලින් ද සිල්වා කියන පුද්ගල චරිතය ගොඩ නැගී තියෙන්නේම බටහිර භෞතික විද්‍යා රාමුවක් ඇතුළේ. බටහිර සමාජ විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහ යන්නේය යන මතයේ කාලයක් තිස්සේ ඇලී ගැලී සිටීම නිසාම ඔහුට බටහිර සමාජ විද්‍යා බොහෝ දුරට මග හැරී තිබෙනවා. ආර්ථික විද්‍යාව හා සම්බන්ධව මෙය ඉතාම පැහැදිලියි. භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහ ගියේ නලින් ද සිල්වා විසින් හදාරා තිබෙන සම්භාව්‍ය මාක්ස්වාදයයි. 

ආර්ථික විද්‍යා ආකෘති කියා කියන්නෙම "ඒත් අතට මේත් අතට" ස්වභාවය හඳුනාගෙන ගොඩ නැගිය යුතු ද්වි-දෛශික  ආකෘති. මේ ආකෘති භෞතික විද්‍යාවේ නිතර හමුවෙන ඒක-දෛශික සරල ආකෘති වලට වඩා සංකල්පීය ලෙස සංකීර්ණයි. මම මෙහිදී සංකීර්ණ යන වචනය භාවිතා කරන්නේ නිශ්චිත සීමිත සන්දර්භයකයි.

ඉහත හේතුව නිසා භෞතික විද්‍යාව, ගණිතය හෝ ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයන් හැදෑරු අය ආර්ථික විද්‍යා ආකෘති තේරුම් ගන්න ගිහින් විශාල අවුලක වැටෙනවා. සමහර අය තමන්ගේ රාමුවේ සිට මේ ආකෘති තේරුම් ගන්න උත්සාහ කර අමාරුවේ වැටෙනවා. එයින් ඇතැම් අය තමන්ගේ අනවබෝධය ප්‍රදර්ශනය කරමින් පොරවල් වගේ තේරුමක් නැති විකාර කියවනවා. 

කිසියම් බලයක් යොදා උඩ දැමූ ගලක් ගමන් කරන උස හෝ එය බිම වැටෙන්නට ගත වන කාලය භෞතික විද්‍යා ආකෘතියක් යොදා ගෙන පැහැදිලි කරන්න පුළුවන්. මෙහිදී ගල උඩ යන්නේ එය උඩ දමන පුද්ගලයෙක් ඉන්න නිසා. අවශ්‍යනම් ඉහත ගැටලුවම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කර කිසියම් නිශ්චිත උසක් දක්වා ගමන් කරන පරිදි හෝ කිසියම් නිශ්චිත කාලයකින් පසු බිම වැටෙන පරිදි ගලක් උඩ දැමීම සඳහා යෙදිය යුතු බලය කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. ඔය දෙවිදිහෙන් කොයි විදිහට ඇහුවත් මෙහි තිබෙන්නේ ඒක-දෛශික ගැටලුවක්. මම මෙහිදී මේ වචනය භාවිතා කරන්නේ දෛශික යන්නෙහි ගණිතමය අර්ථයෙන් නෙමෙයි.

කොයි විදිහට ගැටලුව ඉදිරිපත් කළත් ගල උඩ යන උස හෝ ගත වන කාලය තීරණය කරන්නේ ගල විසින් නෙමෙයි. එය උඩ දමන පුද්ගලයා විසින්. ගල කරන්නේ නිෂ්ක්‍රීය කාර්යයක්. ඔයිට වඩා සංකීර්ණ ආකෘතියක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. අඟහරු වෙත යන යානයක් වුවත් කරන්නේ නිෂ්ක්‍රීය කාර්යයක්. එය කෘතීම බුද්ධිය යොදා ගන්නා උපකරණයක් වුවත් බොහෝ ප්‍රායෝගික සන්දර්භයන්හිදී මේ කතාවේ වෙනසක් නැහැ. අනාගතයේ ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. උඩ දමන ගලක් අතරමගදී හිතාමතා ගමන් මග වෙනස් කර වෙන පැත්තකට යන්නේ නැහැ. 

ඕනෑම ව්‍යවහාරික භෞතික විද්‍යා ආකෘතියකදී සිදු වන්නේ මෙවැන්නක්. එක පැත්තක තියෙන්නේ ස්වයං පාලනයක් නැති, හිතන්නේ නැති අජීවී දේවල් ටිකක්. හිතන්නේ පැත්තක ඉන්න ව්‍යවහාරික භෞතික විද්‍යාඥයා පමණයි. ආර්ථික විද්‍යා ගැටලුවක් මීට වඩා වෙනස්. ආර්ථික විද්‍යාඥයා වගේම ඔහු විෂය කර ගන්නා මිනිස්සුත් හිතන පතන මිනිස්සු. ආකෘතිය වෙනස් කරන විට ආකෘතියේ විෂයයත් එයට ප්‍රතිචාර දක්වමින් වෙනස් වෙනවා. පුහුණුවක් නැති අයෙකුට ආර්ථික විද්‍යා ආකෘතියක මේ තත්ත්වය විග්‍රහ කර ගන්නා ද්වි-දෛශික සැකසුම තේරුම් ගන්න අසීරුයි. ඒ නිසාම ආර්ථික විද්‍යාඥයින් විසින් වරින් වර කරන ප්‍රකාශ විසංවාදී නොවන බව තේරුම් ගන්නත් අමාරුයි.

බොහෝ විට භෞතික විද්‍යාව හා ගණිතය හැදෑරූ අයගේ අනන්‍ය ප්‍රශ්නයක් වෙන මේ ප්‍රශ්නය වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව හෝ කෘෂි විද්‍යාව හැදෑරූ අයට නැහැ. ඔවුන්ගේ විෂය (හදාරනු ලබන දෙය) භෞතික විද්‍යාඥයෙකුගේ විෂය මෙන් නිෂ්ක්‍රීය දෙයක් නෙමෙයි. තවමත් සම්භාව්‍ය මාක්ස්වාදය විශ්වාස කරන අයටත් මේ අවුලම තිබෙනවා. දාස් කැපිටාල් ලියන කාලයේ ආර්ථික විද්‍යාවේ ද්වි-දෛශික ආකෘති ගොඩ නැගී තිබුණේ නැහැ. ඒ නිසා, භෞතික විද්‍යාව හැදෑරු අය මෙන්ම සම්භාව්‍ය මාක්ස්වාදය විශ්වාස කරන අයත් ආර්ථික ගැටළු හමුවේ බොහෝ විට තමන්ගෙන් බාහිර සතුරෙකු හඳුනා ගන්න යොමු වෙනවා. එහෙත් ඇත්තම සතුරා ඉන්නේ තමන් තුළයි.

බටහිර දැනුම් ආධිපත්‍යය පිළිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදය හැදී තිබෙන්නේම, සම්භාව්‍ය මාක්ස්වාදයේ මෙන්ම, මූලික වැරැද්දක් සමඟයි. මෙහිදී මේ ද්වි-දෛශික සමාජ විද්‍යා ගැටළුව නලින් ද සිල්වා විසින් තමන්ට හුරුපුරැදු ඒක-දෛශික ආකෘතියක් ඇතුළට රිංගවා ඒ ඇසුරෙන් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරනවා. නලින් ද සිල්වාගේ සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහස මතු වන්නේ ඒ විදිහටයි. 

ගෝඨාභය ව්‍යාපෘතිය ආර්ථික සාධක මත කඩාගෙන වැටෙද්දී සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහසද පරාජය වෙමින් ප්‍රති-සිංහල-බෞද්ධ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් මතු වීම මේ අරගලය තුළ දැකගත හැකි වූ දෙයක්. වෙනම කතා කළ යුතු, වේගයෙන් පරිමාණය වන, අරගලයේ ගතිකත්වය තුළ මේ වන විට මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ ස්වරූපයද වෙනස් වෙමින් තිබෙනවා. කෙසේ වුවත්, මේ අරගලය තුළ සිංහල-බෞද්ධ ව්‍යාපෘතියට එරෙහි නැගී සිටීමක්ද පැහැදිලිව දැකිය හැකි වුනා. 

42. ආණ්ඩුවේ චීවරධාරීනි අන්තවාදී බයිලා එපා!

43. සාටකයයි වටාපතයි හරි අවධානම්!

44. හාමුදුරුවනේ සාටකේ ගලවලා සිවුරක් අඳිමුද?

ලංකාවේ දේශපාලනඥයින් බටහිර විද්‍යා මිනුම් දඬු අනුව මිථ්‍යාවන් සේ සැලකෙන දේ පසුපස යාම අලුත් දෙයක් නෙමෙයි. එහෙත්, සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදය තුළ මේ දේවල් වලට පෙර නොතිබුණු පිළිගැනීමක් ලැබුණා. දැන් ගෝඨාභය ව්‍යාපෘතිය අසාර්ථක වීමට සමාන්තරව අරගලය තුළ මිථ්‍යාවන්ට එරෙහිව බටහිර නූතනත්වය වෙනුවෙන් පෙනී සිටීම පැහැදිලිව දැකිය හැකියි.

45. ඤානක්කා ජනාධිපති කරලා උඹ ආර්යාව වෙයන් නන්දේ 

46. ඥානක්කට දෙන සැප අපේ උන්ට නෑ කැප 

47. ඥාණා අක්කා දිහා බලනවා වගේ රට දිහා බලපං!

වයස අවුරුදු 30 නොඉක්මවූ තරුණ තරුණියන් හා බටහිර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් මේ අරගලයේ පෙරමුණු බල ඇණි දෙකක් සේ සැලකිය හැකියි. මෙතෙක් ලංකාවේ දේශපාලනය තුළ සක්‍රියම කණ්ඩායම වූයේ වයස් අවුරුදු 40-60 අතර පිරිසයි. තරුණ කණ්ඩායම සැලකුණේ ජංගම දුරකථනයේ මුහුණ ඔබා ගෙන සිටින එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසක් ලෙසයි. ඔවුන් එවැන්නන් නොවන බව මේ වන විට පැහැදිලිව පෙන්වා තිබෙනවා. ලංකාවේ අනාගත දේශපාලනය තීරණය කරන්නේ මේ තරුණ පිරිසයි. 

එක පැත්තකින් මෙය මෙසේ සිදු නොවුනානම් පුදුමයක්. දැන් වයස අවුරුදු 40-60 අතර පිරිස "ආතල් ගත්තේ" තමන්ගේ දරුවන්ගේ වියදමින්. බොහෝ විට මේ වන විට ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට ලැබෙන ගණන රුපියල් මිලියනය ඉක්මවා තිබිය හැකියි. ඔය තරුණයින්ට ඒ ණය ගෙවන්න වෙනවා. ඔවුන්ට එවැනි පරිප්පුවක් කන්න වී තියෙන්නේ ඔවුන් කළ කිසිදු වරදක් නිසා නෙමෙයි. දැන් මේ තරුණයින් කතා කරනවා. අපේ පරම්පරාවට නොතිබුණු ලෝකය දැකීමේ අවස්ථාව අන්තර්ජාලය හරහා ඔවුන්ට හිමි වී තිබෙනවා. වැඩිහිටි පරම්පරාවට තවදුරටත් ඔවුන්ට බොරු කළ නොහැකියි. ඔවුන් සොයන්නේ නූතනත්වයයි. අනෙක් පැත්තෙන්, බටහිර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කියන්නේද ලංකාව නූතනත්වයෙන් බැහැරව සිටීම ගැන කණස්සල්ලක් ඇති පිරිසක්. 

මගේ නිරීක්ෂණය අනුව, සමස්තයක් ලෙස බැලුවොත්, මේ විදිහට හදිසියේ පොලා පැන්නේ බටහිර නූතනත්වය සොයා යාමේ ශ්‍රී ලාංකික දේශපාලන අභිලාෂයයි. මේ රැල්ලට දේශපාලන නායකත්වය දිය හැක්කේ එම අවශ්‍යතාවය නියෝජනය කරන දේශපාලන ව්‍යපාරයකටයි. එවැන්නක් එක්කෝ අලුතෙන් බිහිවිය යුතුයි. නැත්නම් දැනට පවතින දේශපාලන ව්‍යාපාර අවශ්‍ය තරමට රූපාන්තරණය විය යුතුයි.

48. TOGETHER අපි ශ්‍රී ලාංකිකයින් 

49. NO PARTIES NO COLORS I am against 225. 225ටම පාරටවත් බහින්න ඉඩ නොදෙමු!

50. GOTA GO HOME SAJITH STAY HOME ANURA DONT EVEN THINK ABOUT IT...RANIL DONT GET YOUR HOPES UP...

අරගලයේ ගතිකත්වය වෙනම කතා කළ යුතු කරුණක්. මේ අරගලය නිර්දේශපාලනික මහජන අරගලයක් වන්නේ එම අරගලය කිසිදු දේශපාලන පක්ෂයකට තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවිය නොහැකිය යන අර්ථයෙන් පමණයි. මේ අරගලය පිටතට පොලා පනින අවස්ථාව වන විට සජබ හා එහි කොටසක් වන 43 බලකායත්, ජාජබ ලේබලය යටතේ ජවිපෙත් දේශපාලන බලය ලබා ගැනීම ඉලක්ක කරගෙන සංවිධාන කටයුතු පුළුල් කරමින් සිටියා. ඇත්තට හෝ බොරුවට ආණ්ඩුව සමඟ සිටි පිරිසක්ද එළියට බැස්සා. පෙසප වෙනම දේශපාලන වැඩ පිලිවෙලක සිටියා.

පෙසප අවසන් දේශපාලන අරමුණු සමඟ කෙතරම් දුරස්ව සිටියත් ආණ්ඩුවෙන් පිටතට දේශපාලනය රැගෙන යාමේ පෙසප ප්‍රවේශය මම කැමති එකක්. බොහෝ විට පෙසපට අවශ්‍ය ආකාරයෙන් නොවිය හැකි වුවත්, අවසාන වශයෙන් සිදු වුනේ පෙසප ඉලක්ක කළ දෙයයි. 

ආණ්ඩුවෙන් ඉවත් වූ එකොළහේ කණ්ඩායමට සැබෑ රාජපක්ෂ විරෝධයක් තිබුණේද යන්න සැක සහිතයි. එහෙත්, ඔවුන් හැර ඉහත කී අනෙකුත් සියලු කණ්ඩායම් වෙත රාජපක්ෂ විරෝධයක් තිබුණා. පක්ෂ ලේබල් නොමැතිව වුවත් ආරම්භයේදී අරගලය හා බද්ධ වූයේ එම දේශපාලන පක්ෂ වලට පක්ෂපාතී වූ පිරිස් හා පාවෙන ඡන්දදායකයින්. ඒ අතර, ගෝඨාභය දිනවීමට ඡන්දය දුන් අයද ඉන්න ඇති. උදාහරණයක් ලෙස 2010දී මහින්දටත්, 2015දී යහපාලනයත්, 2020දී නැවත රාජපක්ෂලාටත් ඡන්දය දුන් අය. 

මගේ අදහස පෙසප විසින් මුල සිටම අරගලයේ සුක්කානම අතට ගැනීමේ අරමුණින් සක්‍රිය වැඩ කොටසක් කළ බවයි. ඉන්දියානු විරෝධය මතු කරමින් පෙළපාලි සංවිධානය කළ කාලයේදී මෙන් එක තැනකට දහ දෙනෙකුට නොවැඩි පිරිසක් යොදවමින් තමන්ට අවශ්‍ය දිශාවට අරගලය මෙහෙයවන්නට ඔවුන් උත්සාහ කළත් පෙර අවස්ථාවේදී මෙන් නොව මේ අවස්ථාවේදී එළියට බැස සිටියේ යම් දේශපාලන අරමුණක් තිබුණු, අනුන්ගේ රූකඩ කරගැනීම පහසු නොවූ පිරිසක්. කොහොම වුනත්, අරගලය ගැන වැඩිම දේශපාලන ඉවක් තිබුණේ පෙසපට කියා කියන්න පුළුවන්.

පෙසපයෙන් පසුව අරගලය හොඳින්ම කියවා ගත්තේ කොළඹ ව්‍යාපාරික ප්‍රජාවයි. රාජපක්ෂලාගේ "අයුතු ලෙස උපයාගත් ධනයට" කොළඹ ව්‍යාපාරික ප්‍රජාව විසින් "අයුතු ලෙස උපයාගත් ධනය"  එකතු කරනු ලැබීමේ අවදානම ඔවුන් කලින්ම හඳුනාගත්තා. අරගලයට සම්පත් අඩු නොවුනේ ඒ නිසයි. 

සජබට මෙන්ම ජාජබටද අරගලය කලින්ම කියවා ගැනීමේ නිවැරදි ඉවක් තිබුණේ නැහැ. කොහොම වුනත්, මේ අරගලය තුළ එම කණ්ඩායම් දෙකේම සාමාජිකයින් විශාල ලෙස නියෝජනය වෙනවා. අරගලකරුවන්ගේ ආර්ථික අභිලාශ සමපාත වන්නේ සජබ සමඟයි. එහෙත්, ඔවුන්ගේ දූෂණ පිටුදැකීමේ අභිලාශය සමපාත වන්නේ ජාජබ සමඟයි. මහ බැංකු අධිපතිමාරුවෙන් හා රජයේ ආර්ථික ප්‍රතිපත්ති සජබ ප්‍රතිපත්ති හා සමපාත වීමෙන් අනතුරුව අරගලයේ සුක්කානම අතට ගැනීම සඳහා සජබ සතු වූ ශක්‍යතාව ගිලිහී ගොස් ජාජබට වඩා වාසිදායක පිටියක් සකස් වී තිබෙනවා.

මහජන අරගලයක් කියා කිවුවත් මෙය ලංකාවේ සියලු ස්ථරයන් නියෝජනය කෙරෙන අරගලයක් නෙමෙයි. තවමත් මෙය නාගරික හා අර්ධ නාගරික පිරිස් වල අරගලයක්. සමාජයේ පහළම ස්ථර හා ග්‍රාමීය කොටස් අරගලය හා බද්ධව සිටින්නේ ඉතා අඩුවෙන්. ඉස්ලාම් භක්තිකයින්, ක්‍රිස්තියානින් හා නිරාගමිකයින්ට සාපේක්ෂව බෞද්ධ හා හින්දු නියෝජනය සීමිතයි. එහෙත් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. 

අරගලයට හේතු වූ සාධක සෑහෙන කාලයකට අහෝසි වන්නේ නැහැ. ඒ නිසා, මේ අරගලය දිගට ඇදී යා හැකි එකක්. අරගලයේ සුක්කානම කිසියම් කණ්ඩායමකගේ අතට යාම වැළැක්විය හැකි එකම ක්‍රමය එසේ වනවාට අකැමැති අය අරගලය හා සම්බන්ධ වීමයි. මේ කාරණයේදී කොළඹ ව්‍යාපාරික ප්‍රජාව දේශපාලන පක්ෂ වලට ආදර්ශයක්.

මේ අරගලයේ සටන් පාඨ කියා කියන්නේ ලංකාවේ නූතන ඉතිහාසය. සරසවි වල ඉතිහාස අධ්‍යයන අංශ විසින් මේවා සංරක්ෂණය කළ යුතුයි. සමහර විට එය සිදුවනවා ඇති. වෙන රටවලනම් එය එසේ සිදු වෙනවා.



















































වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...