සීනි සීරිස් එකට දවස් ගාණක් යට වුනානේ. අපි නැවතත්
ඊට කලින් කතා කරපු අයිසෙක් නිවුටන්ගේ කාලයට යමු. නිවුටන් විසින් ඉදිරිපත් කරපු, දැනටත් බොහෝ දෙනෙක් ඉගෙන ගන්න, භෞතික විද්‍යා ප්‍රවාද ගොඩක් ප්‍රචලිතයිනේ. නිවුටන් මේ ප්‍රවාද ඉදිරිපත් කළේ පෙනෙන්න තිබෙන දේවල් දිහා වියුක්ත ලෙස බලලා. නිවුටන් කියා කියන්නේ ඒ කාලයේ හැටියට ගොඩක් හොඳින් වියුක්ත ලෙස හිතන්න පුළුවන්කම තිබුණු කෙනෙක්.
අයිසෙක් නිවුටන් 1696 අවුරුද්දේ ඉඳලා අවුරුදු තිස් එකක් එංගලන්තයේ රාජකීය ටන්කනයේ එහෙමත් නැත්නම් රෝයල් මින්ට් එකේ වෝඩන් හා පසුව මාස්ටර් ලෙස සේවය කළ බව මම කිවුවනේ. ඔය කාලයේ එංගලන්තය මුහුණ දුන්න බරපතලම ප්‍රශ්නයක් වුනේ එංගලන්තයේ මුදල් ලෙස භාවිතා කළ රිදී කාසි වක්කඩ කැඩුවා වගේ රටින් පිටතට යන එක. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන එක නිවුටන් හමුවේ තිබුණු අභියෝගයක්.
මුදල් වල ඉතිහාසය දිහා බැලුවොත්, ආරම්භයේදී මුදල් කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වලට වඩා ලොකු වෙනසක් නොතිබුණු දෙයක්. ආභරණ වැනි දේ හදන්න මිනිස්සු රන් හා රිදී භාවිතා කළා. එම ලෝහ වල මිල තීරණය වුනේ පුද්ගලයින්ට සාපේක්ෂව එක් එක් පුද්ගලයාගේ ප්‍රයෝජ්‍ය වටිනාකම් මත පදනම් වූ ඉල්ලුම හා ලෝහ කැණීම මත තීරණය වූ සැපයුම සමතුලිත වීමෙන්. වෙනත් පාරිභෝගික භාණ්ඩයක මිල තීරණය වන ආකාරයටම තමයි. මෙහිදී මිල කියා කියන්නේ හුවමාරු වටිනාකම. හුවමාරුව සිදුවෙන්නේ කුමක් සමඟ හෝ වෙන්න පුළුවන්.
රන් හා රිදී කාසි ලෙස, ආභරණ ලෙස වගේම වෙනත් විවිධ ස්වරූප වලින් තිබුණා. මොන විදිහට තිබුණත් වටිනාකම තීරණය වුනේ (බොහෝ දුරට) ලෝහ ප්‍රමාණය මත. කාසි උණු කරලා ආභරණත්, ආභරණ උණු කරලා කාසිත් හැදුවා. මිනිස්සු පාරිභෝගික භාණ්ඩ මේ කාසි සමඟත්, වෙනත් පාරිභෝගික භාණ්ඩ සමඟත් හුවමාරු කළා. කාසි හදා තිබුණු ලෝහත් පාරිභෝගික භාණ්ඩම වූ නිසා ඔය දෙකේ ලොකු වෙනසක් තිබුණේ නැහැ.
පොල් අවාරෙට පොල් ගණන් යනවා වගේ, වාරකන් කාලෙට මාළු ගණන් යනවා වගේ රන් හා රිදී වල මිල ගණනුත් එකිනෙකින් ස්වායත්තව වෙනස් වුනා. හාල් පොල් මිල ගණන් වගේම මේ මිල ගණන් වෙනස් වීම්ද හැම තැනකම එකම අනුපාතයකින් සිදු වුනේ නැහැ. ඒ නිසා, සමහර රටවල රිදී වලට සාපේක්ෂව රන් මිල ඉහළ යද්දී තවත් රටවල එය ඒ විදිහටම වුනේ නැහැ.
ලංකාවේ සීනි හදනවාට වඩා අඩු මිලකට ඉන්දියාවෙන් සීනි මිල දී ගන්න පුලුවන් නිසා ලංකාව ඉන්දියාවෙන් සීනි ආනයනය කරනවා වගේ එංගලන්තයේ රිදී මිල අඩු වූ නිසා වෙනත් රටවල්, විශේෂයෙන්ම ඉන්දියාව හා චීනය, එංගලන්තයෙන් රිදී ආනයනය කළා. එංගලන්තය රන් වලට හොඳ මිලක් ගෙවපු නිසා රන් එංගලන්තයට අපනයනය කළා. මේ දේවල් සිදු වුනේ ඉල්ලුම හා සැපයුම මත හා මා මගේ ජාත්‍යන්තර වෙළඳාම ගැන ලියද්දී විස්තර කළ සංසන්දනාත්මක වාසිය කියන සංකල්පයෙන් විස්තර කරන ආකාරය අනුවයි. හැබැයි ඔය ප්‍රවාද දෙකෙන් එකකවත් ඔය කාලය වෙද්දී ඉදිරිපත් වී තිබුණේ නැහැ. ඒවා ආවේ පස්සේ.
නිවුටන් වගේම ඊට කලින් හා පසුව සිටි තවත් බොහෝ අය දැනුම සොයනවා කියලා කළේ ලෝකයේ පෙනෙන්නට තිබෙන සිදුවීම් සිදුවන සාධාරණ නීති මොනවාද කියලා එළිදරවු කරගන්න උත්සාහ කරන එකයි. එහෙම කළේ අපි නොදන්නවා වුවත් එවැනි සාධාරණ නීති තිබෙනවා කියන පරම විශ්වාසයෙන්. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇසුරෙන් විවිධ වස්තූන් උඩ සිට බිමට වැටෙන එක සාධාරණ ලෙස පැහැදිලි කළ හැකි වුනා. ඒ වෙද්දී භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයිති බොහෝ නිරීක්ෂණ මෙවැනි සාධාරණ නීති හෝ ප්‍රවාද ඇසුරෙන් සාර්ථකව පැහැදිලි කළ හැකිව තිබුණා.
නිවුටන් එංගලන්තයේ රිදී කාසි ප්‍රශ්නය විසඳන්න අත ගැහුවේත් මෙවැනි ප්‍රවේශයකින්. ඔහු රන් වලට සාපේක්ෂව රිදී වල නියම වටිනාකම හොයන්න උත්සාහ කළා. ස්ටර්ලින් පවුම් 4.25ක වටිනාකම රන් අවුන්සයක වටිනාකමට සමාන සේ ඔහු නිගමනය කළේ මේ ප්‍රවේශය අනුව අධ්‍යයනයක් කරලා.
හැබැයි නිවුටන්ට මේ කටයුත්තේදීනම් වියුක්තව හිතලා වියුක්ත ප්‍රවාදයක් හදන්න බැරි වුනා. ඔහු පවුමක නියම වටිනාකම තීරණය කළේ යුරෝපයේ රටවල් දෙස බලා යුරෝපයේ මිල නියම මිල ලෙස සලකලා. ඒ වෙද්දී එංගලන්තය මුහුණ දුන් ආකාරයේ ප්‍රශ්නයකට යුරෝපය මුහුණ දී සිටියේ නැහැ. නිවුටන්ගේ යුරෝ කේන්ද්‍රීය දැක්ම නිසා ඔහුට ඉන්දියාවේ හා චීනයේ වෙළඳපොළ පරිමාවේ බලපෑම මග හැරුණා. අන්තිමේදී නිවුටන් විසින් තීරණය කළ මිල රිදී වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල නෙමෙයි. ඒ නිසා, එංගලන්තයේ රිදී කාසි සියල්ලම වගේ රටින් පිටතට ඇදී ගොස් එංගලන්තයට රන් සම්මතයකට යන්න වුනා.
මේ වැඩෙන් එංගලන්තය අමාරුවේ වැටුණේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ එංගලන්තය විසින් තමන් වැටී සිටි වලෙන්ද දියමන්ති සොයා ගැනීමයි. එංගලන්තයේ වගේම ලෝකයේ අනෙකුත් බොහෝ රටවල මුදල් ලෙස භාවිතා වුනු රිදී රටෙන් පිටතට ඇදී ගිහින් මුදල් ලෙසද සැලකුනත් බොහෝ දුරට පාරිභෝගික භාණ්ඩයක් වූ රන් එංගලන්තයේ ගොඩ ගැහෙද්දී එංගලන්තය විසින් කළේ රිදී සම්මතය අත ඇරලා රන් සම්මතයකට යන එකයි.
එංගලන්තය මේ වැඩේ සැලසුම් සහගතව නොකළා වෙන්න පුළුවන්. ඒ වන විට එංගලන්තය මුහුණ පා සිටි ගෙවුම් ශේෂ ප්‍රශ්නය හමුවේ ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. හිතාමතා කළ දෙයක් වුනත්, අහම්බයක් වුනත්, මේ වැඩෙන් එංගලන්තයට විශාල වාසියක් සිදු වුනා.
එක පැත්තකින් ලෝකයේම තිබුණු රන් සංචිත එංගලන්තයට එකතු වෙද්දී අනෙක් පැත්තෙන් අළුතෙන් කැනෙන රන් ආකාර බොහොමයක් තිබුණේත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනය යටතේ. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල රන් වලට වඩා රිදී ඉල්ලුමක් තියෙද්දී රන් සැපයුම පාලනය කිරීමේ ඒකාධිකාරය හරහා රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ යවන්න එංගලන්තයට හැකි වුනා.
ඉතිහාසය පුරාම ලෝකයේ විශාලම ආර්ථිකයන් දෙකෙන් එකක් වූ චීනය දිගින් දිගටම රිදී සම්මතයේ හිටියා. අනෙක් විශාලම ආර්ථිකය වූ, ඒ වන විට බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබුණු, ඉන්දියාව තුළද රිදී වෙනුවට රන් ආදේශ කළ හැකි වුනේ නැහැ. මේ රටවල් වල ධනය තිබුණේ රිදී ලෙසයි. එංගලන්තය රන් වඩා වටිනා සේ සැලකූ නිසා ඉන්දියාවේ හා චීනයේ තිබුණු රත්තරන්ද එංගලන්තය වෙතම ඇදී ගියා. පසුකාලීනව අලුත් නිධි හමු වී ලෝකයේ රිදී සැපයුම ඉහළ යද්දී ඉන්දියාව හා චීනය රන් සම්මතයේ සිටි රට වලට සාපේක්ෂව දුප්පත් වී එංගලන්තය පෝසත් වුනා. ඇමරිකාවේ රන් සැපයුම ඉහළ ගොස් ඒකාධිකාරය බිඳෙන තුරු එංගලන්තයට පවුමේ වටිනාකම ඉහළින් තියා ගැනීම අසීරු වුනේ නැහැ.
නිවුටන් විසින් 1717දී හදපු එංගලන්තයේ රන් සම්මතය 1930 පමණ වන තුරු අවුරුදු දෙසීයකටත් වඩා කාලයක් පැවතුණා. මේ සම්මතය කැඩුනේ කේන්ස්ගේ අදහස් මත පදනම්වයි.
රන් සම්මතය තියෙද්දී රජයකට හිතූ මනාපෙට සල්ලි අච්චු ගහන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සල්ලි එළියට දමන්නනම් සල්ලි වල වටිනාකමට රත්තරන් තිබිය යුතු වුනා. ඒ නිසා සල්ලි වල සැබෑ වටිනාකමක් තිබුණා. මේ කාලයේදී පෙනෙන්නට තිබුණු ආකාරය අනුව භාණ්ඩයක වටිනාකමේ මූලය වුනේ රත්තරන්.
පළමුව, වෙළඳපොළේදී කිසියම් භාණ්ඩයක මිල ඩොලර්, පවුම් වගේ මුදල් ඒකකයකින් කියැවුනා. ඒ කියන්නේ පෙනෙන විදිහට භාණ්ඩයේ වටිනාකම එන්නේ මේ මුදල් ඒකක සමඟ හුවමාරුව සිදුවන ආකාරය මතයි. අනෙක් අතට මේ මුදල් ඒකක වල මිල තීරණය වුනේ රත්තරන් වලට සාපේක්ෂවයි. ඒ කියන්නේ ඕනෑම භාණ්ඩයක වටිනාකමේ ප්‍රභවය රත්තරන්.
භාණ්ඩයක වටිනාකම හැදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස සාධාරණ න්‍යායයක් හොයපු අයට වටිනාකම එන්නේ රත්තරන් වලින් කියන එක විකාරයක් වගේ පෙනෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. රත්තරන් වලට අනෙක් කිසිවකට නැති විශේෂ වටිනාකමක් ලැබෙන්න කිසිදු දාර්ශනික හේතුවක් නැහැ. ඒ නිසා රත්තරන් වෙනුවට වඩා යෝග්‍ය ආදේශකයක් ගැන හිතපු ඇඩම් ස්මිත් වගේ අය සියලු වටිනාකම් වල මූලය ඒ මත යොදවන මිනිස් ශ්‍රමය විය යුතුයි කියන අදහස කරා යොමුවුනා.
කාල් මාක්ස් විසින් පසුව ඉදිරියට ගෙන ගියේ ඔහුගේ කාලය වෙද්දී තව දුරටත් වැඩි දියුණු වී තිබුණු, ශ්‍රමය මත පාදක වූ වටිනාකම් පිළිබඳ අදහසයි, ඔහු මනෝරාජික සමාජවාදීන්ගේ අදහස්, හේගල්ගේ දයලෙක්තිකය හා පරිණාමය පිළිබඳ සමකාලීනව වැඩි දියුණු වෙමින් තිබුණු අදහස් එකතු කරමින් මාක්ස්වාදය ඉදිරිපත් කළා.
මේ ශ්‍රම න්‍යාය වටිනාකම් පිළිබඳව දැන් පිළිගැනෙන ප්‍රධාන ධාරාවේ අදහස් සමඟ පසුකාලීනව ප්‍රතික්ෂේප වුවත් මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ එය තවමත් ඉතිරිව තිබෙනවා. ශ්‍රම න්‍යාය බිඳ වැටෙද්දී ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළඳපොළ පිළිබඳ අදහස් වලට හානියක් නොවූවත්, එය මාක්ස්වාදයේ පාදම වන බැවින් මාක්ස්වාදීන්ට ශ්‍රම න්‍යාය කෙතරම් අවලංගු එකක් වුවත් එය අත අරින්න පුළුවන්කමක් නැහැ. එහෙම කළොත් තවදුරටත් මාක්ස්වාදයක් කියා එකක් ඉතිරි වන්නේ නැහැ.
වටිනාකම් සාපේක්ෂ වුවත් ඒ සාපේක්ෂ වටිනාකම් ප්‍රයෝජ්‍ය වටිනාකම් මිසක් අහසෙන් කඩාපාත් වෙන දෙයක් නෙමෙයි. කෝවිඩ් එන්නතක වටිනාකම එකිනෙකාට සාපේක්ෂයි. එහෙත් ඒ වටිනාකමේ මූලය එන්නත මගින් කෝවිඩ් වලට එරෙහිව සපයන හෝ සපයනු ඇතැයි අපේක්ෂිත ආරක්ෂාවයි. එය ප්‍රයෝජ්‍ය වටිනාකමක්. එවැනි ප්‍රයෝජ්‍ය අගයක් නැත්නම් කෝවිඩ් එන්නතකින් වැඩක් නැහැ.
රුපියල් පන්දාහේ නෝට්ටුවක ප්‍රයෝජ්‍ය වටිනාකමක් හෝ නෛසර්ගික වටිනාකමක් නැහැ. ඒ වගේම ඩොලර් සීයේ නෝට්ටුවක වුවත් කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ ආකාරයේ ආඥාප්ති ව්‍යවහාර මුදල් වල වටිනාකම තනිකරම ආරෝපිත වටිනාකමක්. ඒ ආරෝපිත වටිනාකම මුදල් නෝට්ටුවකට ලැබෙන්නේ මුදල් නෝට්ටුව සමඟ හුවමාරු කර ලබා ගත හැකි භාණ්ඩ හෝ සේවා වල ප්‍රයෝජ්‍ය අගය මතයි.
නිව්ටන්ගේ රන් සම්මතයේ සිට වසර 213කට පසුවත් බ්‍රිතාන්‍ය පවුමක වටිනාකම රන් අවුන්සයකින් 4.25කින් පංගුවක් සේ පැවතුණා. මේ අනුපාතය ඉන්දියාවේ හා ලංකාවේ රුපියල් වල වටිනාකමද තීරණය කළා. එය සම්මත නිශ්චිත වටිනාකමක්.
පළමු ලෝක යුද්ධයේ වියදම් වල බරට 1929 ආර්ථික අවපාතයේ බර එකතු වීමෙන් පසුව බ්‍රිතාන්‍ය රජයට අයවැය තුලනය කර ගන්න බැරි වුනා. එංගලන්තය විසින් ඇමරිකාවෙන් යුද්ධය වෙනුවෙන් ගත් ණය පියවිය යුතුව තිබුණා. ඒ සල්ලි අය කර ගත යුතුව තිබුණේ ප්‍රංශයෙන්. ප්‍රංශය ණය අය කර ගත යුතුව තිබුණේ ජර්මනියෙන්. නමුත් ජර්මනිය යුද්ධයෙන් පසුව බංකොලොත් වෙලා. 1931 සැප්තැම්බර් 21 වනදා බ්‍රිතාන්‍ය රජය විසින් නිවුටන්ගේ කාලයේ සිට පැවති රන් සම්මතය බිඳිමින් රන් ප්‍රමාණයේ වටිනාකම ඉක්මවා සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගත්තා.
බ්‍රිතාන්‍යය තමන් සතු වූ රන් ප්‍රමාණයට වඩා පවුම් අච්චු ගසා එළියට දැමීම නිසා රන් වලට සාපේක්ෂව පවුමක වටිනාකම අඩු වුනා. ඒ කියන්නේ පවුම බාල්දු වුනා. කලින් ඩොලර් 4.86ක් වූ පවුම ඩොලර් 3.69ක් වුනා. කලින් පවුම් 4.25ක් වූ රන් අවුන්සය පවුම් 5.60ක් වුනා. ඒ කියන්නේ පවුමක රන් වටිනාකම අවුන්සයකින් 4.25කින් කොටසක සිට අවුන්සයකින් 5.60කින් කොටසක් දක්වා අඩු වුනා. ඇමරිකන් ඩොලර් 4.86ක් වූ පවුම ඩොලර් 3.69ක් දක්වා අඩු වුනා.
පවුම අවප්‍රමාණය කිරීම නිසා බ්‍රිතාන්‍යය නිපදවන බඩු ඇමරිකන් බඩු වලට වඩා ලාබ වී ඇමරිකාවේ අපනයන තරඟකාරීත්වය අඩු වුනා. මේ නිසා ඇමරිකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වුනා. මා කලින් ලිපියක විස්තර කළ "රත්තරන් මංකොල්ලය" කරන්නට ඇමරිකානු රජයට සිදුවුනේ මේ තත්ත්වයට පිළියමක් ලෙසයි.
"රන් මංකොල්ලයෙන්" පසුව, කලින් ඇමරිකන් ඩොලර් 20.67කට සමාන වූ රන් අවුන්සය ඇමරිකන් ඩොලර් 35ක් වුනා. එයට අනුරූපව ඇමරිකන් ඩොලරය පිරිහුණා. පවුමක අගය නැවතත් ඇමරිකන් ඩොලර් 5 ඉක්මවා ඉහළ ගියා. ඇමරිකානු තරඟකාරීත්වය නැවතත් ඇති වුනා. ඇමරිකාව විසින් පවත්වාගත් වෙළඳ ශේෂ අතිරික්තය හරහා වසරින් වසර රන් සංචිත ගොඩ ගැහෙද්දී කාලයක් ලෝක ආධිපත්‍යය දැරූ පවුමට තිබුණු තැන ටිකෙන් ටික පිරිහී ඇමරිකන් ඩොලරය ඒ තැනට එන්න පටන් ගත්තා.
දෙවන ලෝක යුද්ධය ආසන්න කාලය වන විට ඇමරිකන් ඩොලරය පවුමකට ඩොලර් 4.03 මට්ටමට එන තුරු පවුම පිරිහිලා තිබුණා. ලංකාවට නිදහස ලැබෙන කොටත් ඇමරිකන් ඩොලරයක් ස්ටර්ලින් පවුම් 4.03ක්. එහෙත් බ්‍රිතාන්‍යය තවදුරටත් ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණු දෙමින් සිටියා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ ලොකු කෑල්ලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ගැලවුනාට පස්සේ. 1949 සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රිතාන්‍යයට පවුම 30%කින් පමණ අවප්‍රමාණය කරන්න වුනා. ඉන් පසුව පවුමක් ඇමරිකන් ඩොලර් 2.80 වුනා.
බ්‍රිතාන්‍ය පවුම අවප්‍රමාණය වන වාරයක් පාසා ලංකාවේ රුපියලද අවප්‍රමාණය වුනා. ජාත්‍යන්තර ආදායම් බොහොමයක් බ්‍රිතාන්‍ය පවුම් වලින් ඉපැයූ ලංකාවට එසේ නොකර රටේ අපනයන තරඟකාරිත්වය පවත්වා ගන්න බැරි වුනා. 1949දී පවුම හා රුපියල අවප්‍රමාණය කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවද්දී, ඇමරිකන් ඩොලරයක් රුපියල් 4.76යි.
වසර 18ක් පමණ ඔය තත්ත්වය ඔය විදිහට තිබුණා. බ්‍රිතාන්‍ය පවුම ඔය මට්ටමේ වුවත් දිගටම තියා ගන්න පහසු වුනේ නැහැ. 1967 නොවැම්බර් 18 වනදා බ්‍රිතාන්‍යය විසින් නැවතත් පවුම අවප්‍රමාණය කළා. ඩොලර් 2.80ක් වූ පවුම ඩොලර් 2.40ට බැස්සා.
බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවත් රුපියල බ්‍රිතාන්‍ය පවුමෙන් නිදහස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා පවුමට කිඹුහුමක් යන වාරයක් පාසා රුපියලට හෙම්බිරිස්සාව හැදුනා. පවුම 14%කින් අවප්‍රමාණය කරලා දවස් හතරකට පස්සේ 1967 නොවැම්බර් 22 වෙනිදා රුපියල 20%කින් අවප්‍රමාණය කෙරුණා. මේ අනුව එතෙක් රුපියල් 13.33ක් වූ පවුම රුපියල් 14.28ක් වෙද්දී ඇමරිකන් ඩොලරය රුපියල් 5.95ක් වුනා.
ඇමරිකන් ඩොලරයකට තව දුරටත් රන් අවුන්ස 1/35ක වටිනාකමක් තිබුණා. එහෙත් කලින් බ්‍රිතාන්‍ය පවුම් 12.5කට මිල දී ගත හැකිව තිබුණු රන් අවුන්සයක් මිල දී ගන්න අවශ්‍ය පවුම් ප්‍රමාණය 14.59 දක්වා ඉහළ ගියා. රන් ග්‍රේන්ස් 2.88ක හෙවත් රන් අවුන්ස 0.006ක වටිනාකමක් තිබුණු රුපියල රන් අවුන්ස 0.0048 දක්වා පහත වැටුනා. වෙනත් විදිහකින් කිවුවොත් රන් අවුන්සයක මිල රුපියල් 208 දක්වා ඉහළ ගියා.
නිදහස ලැබූ තැන් සිට රුපියල රන් වලට, ඩොලරයට වගේම පවුමටද සාපේක්ෂව යම් තරමකින් බාල්දු වී තිබුණත් මේ වන විටද රන් සම්මතයක් තව දුරටත් එසේම තිබුණා. 1971 අගෝස්තු 15 වනදා ඇමරිකාව විසින් රන් සම්මතය අත හරින විටත් ඇමරිකන් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් නිල වශයෙන් රුපියල් 208යි. ඉතිරි හැම දෙයක්ම සිදු වී අද තිබෙන තැනට රුපියල වැටුනේ ඉන්පසු ගෙවුණු වසර පණහකට යාන්තමින් අඩු කාලය තුළයි.