වෙබ් ලිපිනය:

Monday, July 9, 2018

පේරාදෙණි කසල...


පේරාදෙණියේ උපාධි ප්‍රධානෝත්සවයකින් පසුව ඉතිරි වූ කසල මේ දවස් වල රටම ගඳ ගස්වයි. කොටසක් මේ ඉතිරි වූ ආහාර තලු මරමින් රස විඳිද්දී, තවත් කොටසක් "බීල හිටියත්, නොබී හිටියත් ඒ ඔබමයි!" පදනමින් මේ ක්‍රියාව සාධාරණීකරනය කරන්නට දඟලති. ඒ අතර, මේ දෙස විවේචනාත්මකව බලන පේරාදෙණියේ ආදි විද්‍යාර්ථීන් කිසියම් ප්‍රමාණයක්ද දකින්නට ලැබේ.

මීට පෙර නවක වදය වැනි වෙනත් කාරණා හා අදාළවද මෙවැනි බෙදීමක් දකින්නට පුළුවන් විය. නවක වද විවේචකයින් අතර වැඩිපුරම සිටියේ ලංකාවේ රජයේ සරසවියකින් උපාධියක් ලබා නොගත් අයයි. රජයේ සරසවියක ඉගෙනුම ලබා තිබුණු බොහෝ දෙනෙකු කළේ තමන්ගේ "උප සංස්කෘතිය ආරක්ෂා කරගැනීම" ඉදිරියට දමමින් සෘජුව හෝ වක්‍රව නවක වදය වෙනුවෙන් පෙනී සිටීමයි.

ඉකොනොමැට්ටා කවර අයුරකින් හෝ ලංකාවේ රජයේ සරසවි වල පවතින නවක වදය අනුමත කරන්නේ හෝ සාධනීය දෙයක් ලෙස සලකන්නේ නැත. අවම වශයෙන් ලංකාවේ සරසවි වල තිබෙන උප සංස්කෘතිය මාාාාර එකක් කියා සිතන්නේද නැත. එසේ වුවත්, ඒ අවස්ථාවේදී නවක වදය ගැන විවේචනාත්මකව පළ වූ අදහස් බොහොමයක් කියවද්දී කිසියම් කොයිල් ගතියක් දැනුණේය. බොහෝ දෙනෙකු විසින් විවේචනය කර තිබුණේ සරසවි වල පවතින නවක වදය සේ ඔවුන් හිතා සිටි දෙයයි. නවක වදය කුමක්දැයි හරියටම දැනගෙනම එය විවේචනය කළේ සාරස නමින් මල්ලේ පොල් වියුණුව ලියූ කුමාර කළුආරච්චි වැනි ඉඳහිට අයෙක් පමණි.

නවක වදයට මුහුණ දී ඇති අයෙකුට එසේ නොවන අයෙකු ඒ ගැන කරන විවේචන වල ඇති අවුල් ගතිය එකවරම පෙනේ. ලංකාවෙන් පිටතට කිසිදා ගොස් නැති අයෙකු ඇමරිකාව විවේචනය කරන විට හෝ ඇමරිකාව ගැන අදහස් පල කරන විට ඒ බව පැහැදිලිව පෙනෙන එක වැලැක්විය නොහැකිය. එහෙත්, ලංකාවේ රජයේ සරසවි ගැන අදහස් පළ කිරීම සඳහා ඒ සරසවියකින් උපාධියක් ලබා තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. ඇමරිකාව විවේචනය කරන්නට ඇමරිකාවට ගොස් තිබිය යුතු නැත. හඳ ගැන කතා කිරීමේ අයිතිය තිබෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන් වැනි හඳට පය ගසා ඇති අතළොස්සකට පමණක් නොවේ.

ලංකාවේ සරසවි වල සිදුවන නවක වදය හෝ වෙනත් ක්‍රියාවක් විවේචනය කෙරෙන විට "කැම්පස් ගිහින් නැති කෙනෙක්ට කොහොමද ඕක තේරෙන්නෙ?" කියා ආපසු ප්‍රශ්න කිරීම විවේචනයට පිළිතුරක් නොවේ. මෙය විවේචකයාට මළ පනින ප්‍රතිචාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, බොහෝ විට සිදු වන්නේද එයයි. මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ලෙස සිදු වී තිබෙන්නේ ලංකාවේ කැම්පස් එකකට ගොස් ඇති අයගේ කල්ට් එකක් ඇති වීම හා ඒ කල්ට් එකෙන් පිට අය කල්ට් එක කෙරෙහි වෛර කරන්නට පටන් ගැනීමයි. මෙය සිදුවන්නේ සරසවි හා අදාළව පමණක්ද නොවේ.

සමාජ ජාලා වල සංසරණය වූ පේරාදෙණිය උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ක්‍රීඩාගාරයේ ඡායාරූපය හිත කම්පනය කරවන්නක් බව කිව යුතු නොවේ. උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුව ක්‍රීඩාගාරයේ තත්ත්වය එවැනි වීනම් එහි කතා කරන්නට දෙයක් තිබේ.

කියවන්නන් අතර නොදන්නා අය සිටීනම්, ඉකොනොමැට්ටා පේරාදෙණිය සරසවියේ වසර හතරකට වැඩි කාලයක් ගෙවා තිබේ. කොළඹ සරසවිය ඇසුරේද එපමණම කාලයක් ගෙවා ඇති අතර මොරටුව, ජපුර, කැලණිය හා රුහුණ සරසවි වලටද බොහෝ වර ගොස් තිබේ. ඇතැම් විට නැවැතී සිට තිබේ. එබැවින්, මේ කරුණ හා ලංකාවේ සරසවි හා අදාළ වෙනත් කරුණු වලදී ඉකොනොමැට්ටාගේ අදහස් ලංකාවේ සරසවි එතරම් ඇසුරු කර නොමැති අයෙකුගේ අදහස් වලට වඩා එවැනි ඇසුරක් ඇති අයගේ අදහස් වලට කිට්ටු වීමට ඉඩතිබීම ස්වභාවිකය. ඒ නිසා ඇතැම් පාඨකයින්ට මේ ලිපිය "මධ්‍යස්ථ" නොවන සේ පෙනෙන්නට පුළුවන.

ඉකොනොමැට්ටා ලංකාවේ සරසවි ඇසුරු කළ කාලයේ ලංකාවේ බොහෝ දෙනෙකු කසළ බැහැර කිරීම ගැන අද තරම් සංවේදීව සිටියේ නැත. ඒ කාලයට සාපේක්ෂව දැන් ලංකාවේ මංමාවත් බොහෝ පිරිසිදුය. කසල බැහැර කිරීම සඳහා පහසුකම් වැඩිය. කසල බැහැර කිරීමේ වැදගත්කම ගැන වැඩි දෙනෙකු දැනුවත්ය. ඉකොනොමැට්ටා පේරාදෙණියේ කල් ගෙවූ කාලය කසල කෙසේ හෝ, කොතැනකට හෝ බැහැර කර නිදහස් වෙන්නට ලංකාවේ බොහෝ දෙනෙක් මැලි නොවූ කාලයකි.

පේරාදෙණි සරසවි බිමේ කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය ඒ කාලයේදීත් ඉතා ප්‍රශස්ත මට්ටමක තිබුණේය. එහි ගෞරවය වැඩි වශයෙන්ම හිමි විය යුත්තේ සරසවි පරිපාලනයට වුවත්, පරිපාලනයට ඒ තත්ත්වය එසේ පවත්වා ගන්නට ඉඩ ලැබුණේ සරසවි සිසුන් අති මහත් බහුතරය ඇතුළු සරසවි ප්‍රජාවේ සහයෝගය නිසාය. ඒ දින වල රටේ බොහෝ තැන් වල සාමාන්‍ය දෙයක් නොවූවත්, සරසවි බිම තුළ අතේ දුරකින් කුණු බක්කියක් හොයා ගැනීම අමාරු දෙයක් වුණේ නැත. ඒ කුණු බක්කියකට කසල බැහැර නොකර කොහේ හෝ තැනක දමා එන අයෙකු වීනම් එය ව්‍යතිරේඛයක් මිස සාමාන්‍ය තත්ත්වය නොවීය.

පොදුවේ ගත් කළ දුම් බොන්නෝ ඉහත රීතියට ව්‍යතිරේඛයක් වූහ. මෙය ඇමරිකාව ඇතුළු බටහිර රටවලදීද නිරීක්ෂණය කළ හැකි චර්යාවකි. එමෙන්ම, පෝස්ටර් ගැසීමේදී සරසවි සිසුන් සුදුසු තැන් හෙව්වේ නැත. ඒ හැර, මගේ පෞද්ගලික අත්දැකීම් අනුව, හිතුමතේ කසල බැහැර කරන සරසවි සිසුන් නොසිටියේයැයි කිව නොහැකි නමුත් එවැන්නන් සිටියේ ඉතා අඩුවෙනි. උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණු සරසවි ක්‍රීඩාගාරය හා පොදු කාමර වැනි තැන් සිසුන් එකතු වන විවිධ කටයුතු වෙනුවෙන් යොදාගත් අවස්ථා ඉතා සුලභ වූ අතර ඉකොනොමැට්ටා පෞද්ගලිකවද මෙවැනි උත්සව, රැස්වීම් හෝ හමු විශාල ගණනක සංවිධායකයෙකුව සිට තිබේ.

එවැනි කටයුත්තක් වෙනුවෙන් පොදු ස්ථානයක් ප්‍රයෝජනයට ගැනීමේදී පූර්ව කොන්දේසියක් වන්නේ අදාළ කටයුත්ත අවසන් වූ පසුව ස්ථානය හොඳින් පිරිසිදු කර මේස පුටු ආදිය කලින් පැවති ආකාරයටම නැවත අසුරා යථා තත්ත්වයට පත් කිරීමයි. පූර්ව කොන්දේසි අලිඛිත වුවද සංවිධායකයින් මේ වගකීමෙන් බැහැර වුනේ නැති අතර අනෙකුත් බොහෝ සිසුන්ගෙන්ද මේ අවසන් කාර්යයට නොමසුරු සහයෝගයක් ලැබුණේය. ඉකොනොමැට්ටා ක්‍රියාකාරීව සිටි විශාල සාමාජිකත්වයක් තිබුණු පේරාදෙණිය සරසවියේ ඇතැම් සංගම් වලින් රටේ වෙනත් තැන් වල කසල ඉවත් කිරීමේ වැඩසටහන් පවා ක්‍රියාත්මක කළ අතර එවැනි දේ තවමත් සිදුවෙමින් පවතී.

උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ක්‍රීඩාගාරය පැවති තත්ත්වය ඉහත කිසිදු කරුණක් හේතුවෙන් සාධාරණීකරණය නොවන බව ඉතා පැහැදිලිය. ඒ නිසා, ඒ ඡායාරූපය දුටු විට සරසවි ඇසුර අඩු අයෙකුට කේන්තියක්ද, ඉකොනොමැට්ටා වැනි සරසවි ඇසුර හුරු අයෙකුට විමතියක්ද ඇති වන්නේ නිරායාසයෙනි.

"පේරාදෙණිය ගැන කැම්පස් ගිහිං නැති එවුං දන්නෙ මොනවද?" කියා ප්‍රශ්නය මඟ හැර යාමෙන් මේ කේන්තිය හෝ විමතිය අඩු වන්නේ නැත. එය එසේ වීමටනම්, කරුණු දන්නා කවරෙකු හෝ විසින් පැහැදිලි කිරීමක් කළ යුතුය.

පේරාදෙණියේ ඉංජිනේරු පීඨ ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන (මගේ පෞද්ගලික මිතුරෙකු නොවන) අයිඑම්එස් සත්‍යප්‍රසාද් විසින් ඔහුගේ වත්පොත් පිටුව හරහා මේ අවශ්‍ය පැහැදිලි කිරීම කර තිබේ. මේ සටහන ඔහු විසින් පොදු අවකාශයට මුදා හැර ඇති නිසා ඔහුගේ අවසර රහිතවම මෙහි පහත පළ කෙරේ.

පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සවය සහ කසළ බැහැර කිරීම
-----------------------------------------------------------------
ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල අතරින් ස්වකීය උපාධි ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාලයය තුළම නොකඩවා පවත්වාගෙන එන විශ්ව විද්‍යාලයය පේරාදෙණි විශ්ව විද්‍යාලයයි. එක් වසරකදී දළ වශයෙන් තුන්දහසක් පමණ වූ වැඩිම සිසු සිසුවියන් පිරිසක් උපාධි ලබන්නේත් මෙහිය. මුලදී එක් සැසියක් ලෙස පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවය දැන් සැසි දෙකක් ලෙස පැවැත්වේ. මේ එක් සැසියකට දෙමාපියන්ද ඇතුළුව දෙදහස් අටසියයක පමණ පිරිසක් ශාලාව ඇතුළත සිට සහභාගිවේ. මේ උපාධි ප්‍රදානෝත්සවය සංවිධානය කිරීම මාස කිහිපයක් තිස්සේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩල වල සාමාජිකයන් විසින් කරනු ලෑබේ. හැම වසරකම එහි සංවිධාන කටයුතු කිසියම් පීඨයක මූලිකත්වයෙන් පත්කරගන්නා කමිටුවක් විසින් සිදුකෙරේ. මම විවිධ අවස්ථාවන් වලදී මෙවන් කමිටු කිහිපයක සේවය කර ඇත්තෙමි. 2015 වසරේ උපාධි ප්‍රදානෝත්සවය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද අතර එහි ප්‍රධාන උප කමිටු පහෙන් එකක් වන ආරක්ෂාව, රථවාහන පාලනය හා ප්‍රථමාධාර සම්බන්ධීකරණය සඳහා වූ උප කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත්තෙමි. මෙය මාස ගණනක් තිස්සේ අභ්‍යන්තර හා බාහිර ආයතන රාශියක සහයෝගය ඇතිව කෙරෙන කටයුත්තකි. ප්‍රධාන කමිටුව මුලදී මාසිකව ද ඉන්පසුව සතිපතාම පාහේද රැස් වී සංවිධාන කටයුතු සමාලෝචනයක් සිදු කෙරේ. කිසියම් වසරක උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු නිසිපරිදි සිදුකර ගැනීමට අවශ්‍යවන තීරණ මෙකී කමිටු විසින් ගනු ලැබේ. මේ ක්‍රමෝපායයන් සාමාන්‍යයෙන් වසරින් වසර මතුවන සුවිශේෂී අවශ්‍යතා අනුව වෙනස් වේ.
මේ සංවිධාන ව්‍යූහය ගැන පවසන්නට අවශ්‍ය වුණේ මෙවර උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ කසල ඉවත්කිරීම නිසි ලෙස සිදු නොවිනැ'යි කියා හෝ සිසුන් විසින් ශාලාව හැඩි කර තිබිණැ'යි නැගෙන මැසිවිලි නිසාය. මම ඒ ගැන මේ වසරේ එහි සංවිධාන කටයුතු සම්බන්ධීකරණය කළ විද්‍යා පීඨයේ සංවිධාන කමිටුවෙන් විමසීමි.
උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන සැසි දෙක අතර පැයක් පමණ වූ කෙටි කාලය තුළ ශාලාව නැවත සකස් කිරීම දැඩි අභියෝගයකි. එසේම උපාධි ප්‍රදානයෙන් පසු ශාලාවෙන් පිටත්වන පෙරහැරේ අභිමානවත් භාවයත් රැකිය යුතු වේ. මෙකී කරුණු සැලකිල්ලට ගෙන උපාධිලාභීන්ට සහ දෙමාපියන්ට දැඩි ලෙස උපදෙස් දී තිබුණේ කිසිදු ආහාරයක් හෝ ජලය ශාලාව තුළට රැගෙන නො එන ලෙසටත් ඒවා ශාලාව තුළ දී බෙදා දෙන බවත් ය. එසේම උත්සවය අවසානයේ කිසිදු අපද්‍රව්‍යයක් ඉවත රැගෙන නොයන ලෙසත්ය. සිසුන් හා දෙමාපියන් විසින් මේ උවදෙස නිසි ලෙස පිළිපැද තිබුණි. අන්තර්ජාලය හරහා වැරදි පැහැදිලි කිරීමක් සහිතව හුවමාරු වුණේ දෙවන සැසිය අවසානයේ පිරිසිදු කිරීමේ කාලය තුළ යම් කිසිවකු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

සත්‍යප්‍රසාද්ගේ පැහැදිලි කිරීමෙහි ඇතැම් කරුණු හා අදාළව විවිධ පුද්ගලයින් විසින් ප්‍රශ්න නඟා ඇති අතර මගේ අදහස අනුව ඔහු ඒ ප්‍රශ්න වලට සතුටු විය හැකි මට්ටමේ පිළිතුරු ලබා දී තිබේ.

සොඳුරු සිත අපරාදෙ හැබැයි තැන තැන දාපු බවක් පෙනුනෙ. කුනු දාන්න හරි, කුනු ටික එකතුකර ගන්න හරි ක්‍රමයක් තිබ්බ නම් තව ලේසි වෙනව.
Manage


2d
Ims Sathyaprasad .
ඔය තියෙන්නෙ පුටු ඉවත් කිරීමෙන් පස්සෙ දර්ශනයක්. ශාලාව තුළ කුණු ඉවත් කරන්න තිබුණු ඉතාම ප්‍රායෝගික සහ හොඳම ක්‍රමය තමයි මේ. මීට අමතරව ශාලාවෙන් ඉවත කුණු දමන භාජන සපයා තිබුණා අවශ්‍ය පරිදි. මේ ගැන කමෙන්ට් කර තිබුණු බොහෝ දෙනෙකුට මේ ඉවෙන්ට් එකේ විශාලත්වය ගැන අවබෝධයක් 
Rasika Harischandra Suriyaarachchi 
මෙහි ඇති වරද නම් කුණු එතැනම බිම දමා යන ලෙස නොකියා, නිසි පරිදි කුණු බැහැර කරලීමට අවශ්‍ය කුණු බක්කි සහ ප්‍රතිචක්‍රීකරණ බක්කි එහි නොතැබීමයි.

Manage


2d
Ims Sathyaprasad .
උපාධි ප්‍රදානෝත්සව ශාලාව තුළ කුණු බක්කි තැබීමට ඉඩක් නැහැ අවශ්‍ය වන පුටු සංඛ්‍යාවත් එක්ක. අනෙක, ඒවා එළියෙන් තිබ්බත් කුණු මළු අරගෙන උපාධි පෙරහැරේ යන එක වැලැක්විය යුතුව තිබුණා. ඒ නිසා අපද්‍රව්‍ය ආසන යටින් තබායන ලෙස උපදෙස් ලබා දී තිබුණා.

Manage


2d

2d
Rasika Harischandra Suriyaarachchi !
ප්‍රශ්නයේ මුළ කෑම බීම සැපයීමයි.
සත්‍යා ඔබ දන්නා පරිදි අපේ කාලේ නම් ඔහොම කෑම දීමක් තිබුණේ නෑ. මා 90 දශකයේ කොළඹ විවියේ සහ කැළනිය විවියේ උපාධි උත්සවවලටත් හි දී සහභාගී වී තියෙනවා. ඒ දිනවල වතුර බෝතල් පානයක් ද තිබුණේ නෑ.

කොටින්ම 2009 දී පමණ මා සහභාගී වුණු උත්සවයකදී හෝ මේ ආකාරයට කෑම පෙට්ටි කුණු ප්‍රශ්නයක් මා දැක්කේ නෑ. වතුර පවා අපි බිව්වා නම් ඒ අප රැගෙන ගිය ඒවා!

Manage


2d
සොඳුරු සිත අන්නේකනේ.කොටින්ම අපට ඒ ටික වෙලාවේ කොහොමත් කෑම කන්න වෙලාවක් නෑ.ආවා කතා ටික ඇහුවා පොළිමට ගියා ගත්තා. ගීය ගැයුවා ගියා. අපි එළියට එද්දිම අනිත් සෙට් එක එන්න සූදානම
Manage


2dEdited
Ims Sathyaprasad .
පැය පහක පමණ කාලයක් ශාලාව තුළ රැඳී සිටින්නට වන නිසා සහ එසේ ආහාර ලබා නුදුන් වසර කිහිපයක සිදුවුණු සෞඛ්‍යමය ගැටලු නිසා තමයි මේ තීරණය ගත්තේ මීට වසර කිහිපයකට කලින්. ඒත් එහි පාලනයක් අවශ්‍ය නිසා දියරමය නොවන හා කුඩු ලෙස විසිරෙන්නේ නැති ආහාර පමණක් කවරයක් තුළ කිරි පැකැට්ටුවක් සහ වතුර බෝතලයක් ලබාදෙනවා. මීට අමතරව වැඩිපුර වතුර ශාලාව තුළ සිටින ප්‍රථමාධාර කණ්ඩායම් වලින් ලබා ගත හැකියි.

Manage


2d
Bertie Ranaweerage ඔබේ පැහැදිලි කිරීම මා කියවූවා .නමුත් එමගින් අප ලිව් කරුණු වල නිවැරදි තාවය වෙනස් වෙන්නේ නැහැ පැමිණි දෙමාපියන් සහ සිසුන් කසල බිම දමා ගොස් ඇති බව පැහැදිලියි . කසල දැමීමට තැනක් නොතිබුනේ නම් එය සංවිධායකයන්ගේ දුර්වල තාවයක් අප විසින් ළමුන්ගේ තෑගි බෙදා දීමේ උත්සව වරින් වර පවත්වා තිබෙනවා එහිදී අප කරන්නේ හිස් බෝතල් සහ දවටන එකතු කිරීම සඳහා සිසුන් වෙත කීප දෙනෙකු යැවීමයි 
.එසේ කසල දැමීමට තැනක් නොතිබුනත් ඒවා තැන තැන විසි කිරීම නොකළ යුත්තක් . එම කසල දෙමාපියනට කෙසේ වෙතත් සිසුන්ට හෝ ශාලාවේ ස්ථාන කීපයක ගොඩ ගැසීමට තරම් වත් සිතීමට නොහැකි වීම පැහැදිලි කරන්නේ පරිසරය පිරිසිඳුව තබා ගැනීම පිළිබඳව ශික්ෂණයක් ඔවුන් ලබා නැති බවයි

Manage


2d
Ims Sathyaprasad .
සිසුන් හා දෙමාපියන් විසින් කර තිබෙන්නේ ඔවුන්ට කරන්නට උපදෙස් දුන් දේ. කුණු ශාලාවෙන් ඉවතට රැගෙන නොයන ලෙසත් ආසන වලට යටින් තබා යන ලෙසත් ඔවුන්ට දැනුම් දී තිබුණා. ඒ සඳහා සංවිධායකයන් අනුගමනය කළ සැලැස්ම මා පෝස්ට් එකේ සටහන් කර තිබෙනවා. එය ඔබට මගහැරෙන්නට ඇති. 
මේ ගැන කමෙන්ට් කරන බොහෝ දෙනෙකුට මේ උත්සවයේ විශාලත්වය ගැන නිසි අවබෝධයක් නැති බව පැහැදිලියි.

උපාධි ප්‍රදානෝත්සව ශාලාව තුළ කුණු බක්කි තැබීමට ඉඩක් නැහැ අවශ්‍ය වන පුටු සංඛ්‍යාවත් එක්ක. අනෙක, ඒවා එළියෙන් තිබ්බත් කුණු මළු අරගෙන උපාධි පෙරහැරේ යන එක වැලැක්විය යුතුව තිබුණා. ඒ නිසා අපද්‍රව්‍ය ආසන යටින් තබායන ලෙස උපදෙස් ලබා දී තිබුණා.

හේතු දෙකක් දක්වා තිබුණා මෙතන. එකක් කුණු පාර්සල් අරගෙන උපාධි පෙරහැරේ යන එක නවත්තන්න. එළියෙ තියෙන බැරල් එකකින් කුණු අරගෙන ගියත් ඇතුළෙන් එකතු කළත් එකම සේවක සමූහයක් යොදාගන්න වෙනව. මෙතනදි ඒ මහත්වරුන්ගෙත් අදහස වුණේ ශාලාව තුළ එකතු කිරීම පහසු බවයි. විශේෂයෙන්ම සැසි දෙක අතරදි කුණු එකතු කිරීම, අයිල්ස් වැකියුම් කිරීම සහ පේළි පිළිවෙලට සකස් කිරීම සඳහා වෙනම කණ්ඩායම් තුනක් යොදාගැනෙනවා. මෙහි විශාලත්වයත් එක්ක වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය පෙයයි.

Manage


2d

2d
Ajit Parakram පිරිසිදු කරන අයත් මිනිසුන් නිස ඔවුන් ගැනත් හිතලා කසල බඳුන් කීපයක් තියන්නට තිබුණා. අනෙක විශ්වවිද්‍යාලයක් නේ. පේරාදෙනියට අපි ඈෂ්ලි ජඩ් එක්ක ආ වෙලාවෙ අපි කළේ එහෙම. කසල බඳුන් අරන් යනවට අපේ අතින් ඒ සේවකයන්ට පොඩි කළගුණ සැලකීමක් කළා.
Manage


LikeShow more reactions
2d
Ims Sathyaprasad .
සිරිතක් වශයෙන් උපාධි ප්‍රදානෝත්සව ශාලාව තුළ කසළ බඳුන් තබන්නේ නෑ. බැල්කනි එකේ හැර. බැල්කනි එකේ කසළ එකතු කරන්නේ එහෙම. මීට අමතරව ශාලාවෙන් පිටත හිඳගෙන සිටින්නට පහසුකම් සපයා තිබූ තාවකාලික මඩු සහ කෑම අලෙවි කළ ස්ථානවලත් සජීව විස්තර ප්‍රචාරය ලබාදුන් දේශන ශාල
ා අසලත් සාමාන්‍ය දිනවලට වඩා විශේෂයෙන් කසළ එකතු කරන බඳුන් සපයා තිබුණා.

අනිත් කාරණය නම් මේ කසළ එකතු කිරීමේ සැලසුම් පිළිබඳ අවසන් තීරණ ගන්නේ ඒ සේවය ලබාදෙන සුළු සේවක මහතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන බවයි. 2016 දී මා සංවිධායක කමිටුවේ සිටියදී ඒ මහත්වරුන් මේ ක්‍රමය වඩා පහසු බව තමන්ම යෝජනා කළා මතකයි. ඒ වාගේම ඒ මහත්වරුන්ට වැඩිපුර සේවය සඳහා විශේෂ ගෙවීමකුත් උදෑසන සිට රාත්‍රිය දක්වා ආහාරත් විශ්ව විද්‍යාලයෙන් සැපයෙනවා.

Manage

සත්‍යප්‍රසාද්ගේ පැහැදිලි කිරීම අනුව පෙනෙන පරිදි, මෙහිදී උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ සිසුන්ගෙන් හා අමුත්තන්ගෙන් වැරැද්දක් සිදු වී නැත. ඔවුන් විසින් කර තිබෙන්නේ සංවිධායක කමිටුව විසින් ලබා දුන් උපදෙස් නිසියාකාරයෙන් අනුගමනය කිරීම පමණි. මෙය පැහැදිලි වීමෙන් පසුව බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න කර තිබෙන්නේ සංවිධායක කමිටුව විසින් අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටියයි.

මෙය සංවිධානය කර ඇති ආකාරය එය කළ හැකි ප්‍රශස්තම ආකාරය කියා මා හිතන්නේ නැත. එහෙත්, සංවිධායක කමිටුව එසේ හිතනවානම් එය එසේ නොවේයැයි කීමේ හැකියාවක් මට නැත. මෙහිදී මතුවන මූලික ප්‍රශ්නය වන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් විසින් ක්‍රීඩාගාරය තුළ තමා සිටි අසුන යට ඉතිරි වූ ආහාර දමා යාම නිසා මතු වූ ප්‍රශ්නය කුමක්ද යන්නයි. 

පළමුව මෙය ප්‍රශ්නයක් වන්නේ පිරිසිදු කරන්නන්ටය. දෙවනුව උත්සව සංවිධායකයින්ටය. වෙනත් තෙවන පාර්ශ්වයකට මෙය ප්‍රශ්නයක් විය හැක්කේ අවසාන වශයෙන් පිරිසිදු කරන්නන් විසින් නිසි පරිදි මේ කසල බැහැර කර නැත්නම් පමණි. මෙහිදී එවැන්නක් සිදු වී නැත. එමෙන්ම පිරිසිදු කරන්නන් හෝ උත්සව සංවිධායකයින් විසින් මෙය ඔවුන්ට ප්‍රශ්නයක් වූ බවට චෝදනා නඟා නැත. සත්‍යප්‍රසාද්ගේ ප්‍රකාශය අසත්‍යයක් නොවේනම්, ඔවුන් දෙගොල්ලන්ම කියන්නේ මේ ක්‍රියා පටිපාටිය ඔවුන්ට පහසුවක් වූ බවයි.

අවුලට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට සංවිධායකයින් විසින් කෑම ලබා දීමයි. එසේ කරන්නට සිදු වී තිබෙන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් පැය පහක හයක කාලයක් නිරාහාරව තැබීමෙන් මතු විය හැකි ප්‍රශ්න වලට මුහුණ දීම සඳහාය. මෙවැනි උත්සවයක් සඳහා විශාල පිරිසක් පැය පහක හයක කාලයක් ගාල් කර තැබීමේදී වෙනත් අතුරු ප්‍රශ්න රැසක් පැන නඟින්නට ඉඩ තිබේ. උපාධි උත්සව සැසි ගණන දෙකේ සිට තුන දක්වා වැඩි කර එක් සැසියක කාලය පැය තුනකට පමණ සීමා කර ගත්තේනම් ඇතැම් විට කෑම ලබා දීමේ අවශ්‍යතාවයක් මතු නොවිය හැකිව තිබුණි. 

සත්‍යප්‍රසාද් විසින් කියන පරිදි දිනක් තුළ තුන්දහසකට ආසන්න පිරිසකට උපාධි ප්‍රදානය කිරීම දැවැන්ත කාර්යයක් වුවත් එමෙන් දෙගුණයකට ආසන්න පිරිසකට දිනක් තුළ උපාධි ලබා දෙන අවස්ථා ගණනාවකට සහභාගී වී ඇති අත්දැකීම් අනුව මෙය නොකළ හැක්කක් නොවේ. එහෙත් ඉතා සැලකිල්ලෙන් සියලු කටයුතු සංවිධානය කළ යුතු සංකීර්ණ කටයුත්තකි. 

ඡායාරූප අවස්ථා ලබා නොදෙන්නේනම් මිනිත්තුවක් තුළ උපාධි දහයක් පමණ ප්‍රදානය කළ හැකි අතර එය ඊට වඩා අඩු කාලයකින් කළ හැකියයි මා සිතන්නේ නැත. එසේ කරන්නේනම්, පැය තුනහමාරක පමණ සැසි දෙකකින් මේ කටයුත්ත අවසන් කළ හැකිය. ඡායාරූප අවස්ථා වෙනුවෙන් සුළු කාලයක් ලබා දෙන්නේනම් මිනිත්තුවක් තුළ ප්‍රදානය කළ හැක්කේ උපාධි හතරක් පමණ ප්‍රමාණයකි. මෙහිදී අවම වශයෙන් මේ වෙනුවෙන්ම පමණක් වුවද පැය දොළහක පමණ කාලයක් අවශ්‍ය වෙයි. ගත වී ඇති මුළු කාලය මත පදනම් වූ දළ ඇස්තමේන්තුවක් ලෙස පේරාදෙණිය උපාධි ප්‍රදානෝත්සවයේදී මේ අතර වේගයකින් (මිනිත්තුවකට 6-8 දෙනෙකුට පමණ) උපාධි ප්‍රදානය කෙරෙන්නට ඇතැයි සිතිය හැකිය.

උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සැසි කිහිපයක් අතර බෙදා හැරීමෙන් එක් සැසියක කාලය කෙටි කරගත හැකි වුවත්, එවිට උත්සව සමාරම්භක කටයුතු හා කතා වෙනුවෙන් වැඩි කාලයක් ගත වන නිසා සැසි ගණනද ඉතා සැලකිල්ලෙන් තීරණය කළ යුතුය. වඩා හොඳ විකල්පය ලෙස මා දකින්නේ කතා ආදිය කෙටි කර, උපාධි ප්‍රදානය කිරීමේ වේගය වැඩි කර සැසියක කාලය උපරිම වශයෙන් පැය හතරකට සීමා කිරීමයි. එය කළ නොහැකිනම් කළ යුත්තේ සැසි ගණන තුනක් කිරීමයි. එවිට ආහාර ලබා දීමේ ප්‍රශ්නයක් මතු නොවේ. 

කෙසේ වුවද, බාහිර නිරීක්ෂකයෙකු පමණක් වන මට දැකිය නොහැකි බොහෝ දේ සංවිධායක කමිටුව විසින් දකින්නට ඇත. ඔවුන් සැසි දෙකක් සේ මේ උත්සවය පවත්වන්නටත්, උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට ආහාර බෙදා දෙන්නටත් තීරණය කර තිබේ. උත්සව ශාලාවට ඇතුළු වෙද්දී ආහාර පාර්සලයක් ලබා දීමෙන් සැසියේ කාලය දිගු වන්නේ නැත. එක් එක් තැනැත්තාට තමන්ට අවශ්‍ය අවස්ථාවේදී ආහාර ගත හැකි නිසා උත්සව ශාලාව තුළ ආහාර ගැනීමද සැසියේ කාලය දිගු නොකරයි.

උපාධි ප්‍රදානෝත්සව සැසියක් නිසි වෙලාවට අවසන් කිරීම සඳහා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සැලසුම්සහගත ලෙස අසුන් ගැන්වීම මෙන්ම ඔවුන්ට බාධාවකින් තොරව උපාධි ප්‍රදානය කරන වේදිකාව වෙත ඉක්මණින් යන්නට හැකි වීම අත්‍යාවශ්‍යය. මෙය සිදුවීමටනම් තමන්ගේ නම කැඳවෙන අවස්ථාව තෙක් එක් එක් තැනැත්තා සැලසුමට අනුව තමන් සිටිය යුතු අසුනේ සිටිය යුතුය. එසේ නැත්නම් සැලසුම අනුව අසුන මාරු කළ යුතුය. (පේරාදෙණියට සාපේක්ෂව විශාල උපාධි ප්‍රමාණයක් පිරිනමන උත්සවයකදී කෙරෙන්නේ දෙවැන්නයි.) එක් අයෙකු හෝ සැලසුම අනුගමනය නොකලහොත් සිදුවන්නේ (පිස්සු කෙළින එක් රියැදුරෙක් නිසා ලංකාවේ මහාමාර්ග වල ඇතැම් විට සිදුවන පරිදි) අවුල් ජාලයකි. 

ආහාර ලබා දීම හේතුවෙන් මතුවන ප්‍රධාන අතුරු ප්‍රශ්නය ඉතිරි වන ආහාර බැහැර කිරීමයි. මේ වෙනුවෙන් ක්‍රීඩාගාරය තුළ තැනින් තැන කුණු බක්කි තැබුවේනම් උත්සවය අවලස්සන වීමට අමතරව වරින් වර එක් එක් තැනැත්තා කුණු දමන්නට යාම නිසා ඇති වන්නේ අවුල් ජාලයකි. එය මෙවැනි උත්සවයක සැලසුම කණපිට හරවයි. ඒ නිසා එය ප්‍රායෝගිකව කළ හැකි දෙයක්යැයි මා සිතන්නේ නැත. දෙවන විකල්පය ලෙස මා දකින්නේ ගුවන් ගමනකදී ආහාර ලබා දීමෙන් පසු කරන අයුරින් පිරිසිදු කරන්නන් කිසියම් පිරිසක් යොදවා (ට්‍රෑෂ් බෑග් එකක් සමඟ අසුනෙන් අසුනට ගොස්) උත්සවය අතරතුරදීම කුණු එකතු කිරීමයි. මේ විකල්පයට ගියද සිදුවන්නේ පිරිසිදු කරන්නන්ගේ කාලය වැඩිපුර අවශ්‍යවීම හා උත්සවයේ රිද්මයට යම් තරමකින් බාධා වීම පමණි. 

මේ අනුව බැලූ විට සංවිධායකයින් විසින් ඉතිරි වූ ආහාර අසුන් යට තබා යන මෙන් සහභාගීවන්නන්ගෙන්  ඉල්ලා සිටීම නරක යෝජනාවක් නොවේ. මේ සැලසුම අනුව උත්සව සැසියක් අවසානයේදී අවම මිනිස් ශ්‍රමයක් යොදවා කසල බැහැර කළ හැකිය. සැලසුම පරිදිම එය සිදු වී තිබෙන අතර මේ සැලසුම හේතුවෙන් කිසිදු පාර්ශ්වයකට විශේෂ අයහපතක් වී නැත.

පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු කසල බැහැර කර ඇති ආකාරයේ පෙනෙන පැහැදිලි ප්‍රශ්නයක් නැත. එහෙත්, මෙය බොහෝ දෙනෙක් විශාල ප්‍රශ්නයක් ලෙස දැක්කේය. කෙසේ වුවත්, මේ සිදුවීමෙන් පසුව වඩා පැහැදිලි වූ පරිදි, ලංකාවේ රාජ්‍ය සරසවියක උගත් හෝ දැනට ඉගෙන ගන්නා අය හැර ඉතිරි පිරිසෙන් කිසියම් පිරිසක් මේ සරසවි වල උපාධි ප්‍රදානෝත්සව දෙස බලන්නේද කසල බැහැර කිරීමක් දෙස බලන අයුරිනි. සරසවි නිෂ්පාදන ගැන රටේ ප්‍රතිරූපය එවැනි තැනකට වැටුණේ ඇයිද යන්න වඩා සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රශ්නයකි.


Saturday, July 7, 2018

දවසින් වැඩේ කරගත්තා!


ලංකාවේ ගත කළ අවසන් දින කිහිපය අප නැවතී සිටියේ බිරිඳගේ වැඩිමල් සොහොයුරියගේ නිවසේය. ඇය සාමාන්‍යයෙන් පාන්දරින් නැඟිට බත් උයා, බත් මුලක්ද බැඳගෙන වැඩට යයි. මේ කියන දවසේ ඇය වැඩට යන්නට තරමක් ප්‍රමාදව සිටින බව පෙනුණේය.

"අද නැගිටින්න පරක්කු වුණාද?"

"අද නිවාඩුවක් දැම්මා. ඩ්‍රයිවින් ලයිෂන් එක අලුත් කරගන්න යන්න."

කල් ඉකුත් වී ඇති සිය රියදුරු බලපතෙහි කාලය දිගු කර ගැනීමේ අරමුණින් ඈ උදේ හතහමාර හෝ අට පමණ වෙද්දී නිවසෙන් පිටත් විය. ඇගේ නිවස පිහිටියේ අදාළ කාර්යාලය පිහිටි තැන සිට මහා දුරක නොවන බැවින් එහි යන්නට ඇයට පැය බාගයක් ප්‍රමාණවත්ය.

කෙසේ වුවත්, මේ කටයුත්තට දවසක්ම ගතවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මා සිතූ පරිදිම ඈ නැවත නිවසට පැමිණෙද්දී හවස පහ පසු වී තිබුණේය. ඇගේ මුහුණේ පෙනෙන්නට තිබුණේ දැඩි විඩාව ඇතුළේ හැංගුනු හීන් තෘප්තියකි.

"කොහොම හරි දවසින් වැඩේ කරගත්තා!"

"දවසම ඉවරයි නේද?"

"ඔව් ඉතිං පෝලිම්ම කීයක කියල යන්නද?"

ඈ විස්තර කරන ක්‍රියාපටිපාටිය වරක් හෝ ලංකාවේ රජයේ කාර්යාලයකට වැඩක් කරගන්නට ගොස් ඇති අයෙකුට විස්මය ගෙනදෙන්නක් නොවේ. අවසන් වරට මා මීට සමාන අත්දැකීමකට මුහුණ දුන්නේ තෙවසරකට පමණ පෙර ලංකාවට පැමිණ සිටි කාලයේදී ආගමන විගමන කාර්යාලයේදීය.

මුලින්ම, අදාළ අයදුම්පත ලබාගැනීම සඳහා පෝලිමකි. අයදුම්පත ලබාදෙන්නේ එය නිකුත් කරන නිලධාරියා විසින් ගමන් බලපත්‍රය පරීක්ෂා කර අයදුම්පතෙහි එම අංකය පිරවීමෙන් පසුවය. එයින් පසු තවත් පෝලිමකි. ඒ පෝලිමෙන් පසු එකතු වන්නට තවත් පෝලිමකි......

මුදල් ගෙවන්නට පෙර අයදුම්පත පරීක්ෂා කරන්නට නිලධාරියෙකි. එහි පෝලිමකි. මුදල් ගෙවන්නට වෙනම පෝලිමකි. මුදල් ගෙවූ රිසිට් පත පරීක්ෂා කරන්නට තවත් නිලධාරියෙකි. එහිද පෝලිමකි. එක පෝලිමකින් පසු එකතු විය යුතු ඊළඟ පෝලිම දැන ගන්නට කිසිදු මාර්ගෝපදේශනයක් නැත. ඇතැම් විට සෑහෙන වෙලාවක් සිටියේ වැරදි පෝලිමක බව දැනගන්නට ලැබෙන්නේ පෝලිමක අන්තයට යාමෙන් පසුවය. ඒ බව දැන ගැනීමෙන් පසු කලින් යා යුතුව තිබුණු පෝලිමට එකතු වී අවශ්‍ය කටයුත්ත කරගෙන මුල් පෝලිමේ අගට නැවත එකතු විය යුතුය.

බිරිඳගේ සොහොයුරිය විස්තර කළ ඇගේ අත්දැකීමද මීට වඩා වෙනස් නොවූයේය.

රජයේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරන විට බොහෝ දෙනෙක් සිතන්නේ මේ කියන්නේ රජයේ සේවකයින් වැඩ නොකර නිකම් සිටීම ගැන බවයි. එය එසේ වූ කාලයක් තිබුණේය. එහෙත්, රාජකාරි වෙලාවේ සොලිටෙයාර් ක්‍රීඩා කරන හෝ පත්තර බලන, දවල් වී වැඩට පැමිණ කලින්ම පනින, කෑම පැය දෙපැයක් කරගන්නා රජයේ සේවකයින් දැන් ලංකාවේ රජයේ කාර්යාල වල දශකයකට දෙකකට පෙර කාලයේ තරම්ම දකින්නට නැත. එසේනම් එයින් අදහස් වන්නේ රජයේ කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි වී ඇති බවද?

රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳව ඇති විවේචන ගැන දැන් බොහෝ ආයතන ප්‍රධානීන් දැනුවත්ය. ඒ නිසා, සිය නිලධාරීන් නිකම් නොතබා වැඩක යොදවන්නට දැන් බොහෝ ආයතන ප්‍රධානීහු කටයුතු කරති. කෙසේ වුවත්, කිසියම් ආයතනයක සේවය කරන නිලධාරීන් වෙලාවට වැඩට පැමිණ මහන්සි නොබලා හවස් වන තුරු වැඩ කළ පමණින් ආයතනයක් කාර්යක්ෂම වන්නේ නැත. ඇතැම් විට අකාර්යක්ෂමතාවයන්ට හේතු වන්නේ මේ වැඩ කිරීමමය.

කාල් මාක්ස්ගේ කතන්දර වල කියා ඇති පරිදි කිසියම් කාර්යයක වටිනාකම ඒ වෙනුවෙන් යෙදූ මිනිස් ශ්‍රමයට සමානුපාතිකනම්  ලංකාවේ රජයේ සේවකයින් ඒ තරම්ම අකාර්යක්ෂම නැත. එහෙත්, එය එසේ නැත. කාර්යක්ෂමතාවය මිනිය හැක්කේ අවසන් වශයෙන් සිදු වූ කාර්යයෙහි ප්‍රයෝජ්‍යතාව මතය.

ලංකාවේ බොහෝ රජයේ ආයතන "කාර්යක්ෂම කිරීමේ" කාර්ය පටිපාටි සකස් වී තිබෙන්නේ සේවකයින් සියල්ලන්ම කිසියම් හෝ කටයුත්තක යෙදවීම අරමුණු කරගෙන මිස සේවාදායකයාගේ අවශ්‍යතාවය හැකි ඉක්මණින් ඉටු කරදීම අරමුණු කරගෙන නොවේ. මේ චින්තනය තුළ "සේවාදායකයාගේ අවශ්‍යතාවය හැකි ඉක්මණින් ඉටු කරදීම" ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නේ අදාළ ක්‍රියාවලියේ කිසියම් නිලධාරියෙකු විසින් කළ යුතු කොටස ප්‍රමාද නොකර කර දීමයි. එහෙත්, ඇතැම් විට මේ නිලධාරියා විසින් "ප්‍රමාදයකින් තොරව" කරන කටයුත්තෙන්  සිදු කෙරෙන ප්‍රධාන කාර්යය සේවාදායකයාගේ අවශ්‍යතාවය ඉටු කිරීම ප්‍රමාද කිරීමයි.

ඒ නිසා, නිලධාරිනිය සම්මතය අනුව කාර්යක්ෂම නිලධාරිනියක් වුවද බොහෝ විට ක්‍රියාවලිය අකාර්යක්ෂමය. ඇය සම්මතය අනුව අකාර්යක්ෂම නිලධාරිනියක් වීනම් ක්‍රියාවලිය වඩාත් අකාර්යක්ෂමය.

ඇමරිකාවේ රියැදුරු බලපතක් ඇති අයෙකුද එය වසර කිහිපයකට වරක් අලුත් කළ යුතුය. අලුත් රියැදුරු බලපතක් නිකුත් කිරීමේ කාර්ය පටිපාටියට අවශ්‍ය ලියකියවිලි පරීක්ෂා කිරීම හා ඒවායේ පිටපත් ලබාගෙන ගොනුගත කිරීම, මුදල් අයකර ලදුපතක් නිකුත් කිරීම, ඇස් පරීක්ෂා කිරීම, ඡායාරූපයක් ලබා ගැනීම, රියදුරු බලපත මුද්‍රණය කිරීම ආදී අංග ගණනාවක් අයත් වේ. එහෙත්, මේ සියලු කටයුතු එක් නිලධාරියෙකු විසින් කරනු මිස සේවාදායකයා නිලධාරීන් ගණනාවක් වෙත යැවීමක් ඇමරිකාවේ රථවාහන කාර්යාංශ වලදී සිදුවන්නේ නැත. ලංකාවේදී නිලධාරීන් ගණනාවක් අතින් සිදුවන කටයුතු මෙන්ම, සේවාදායකයා විසින් කරන අයදුම්පත් පිරවීමේ සිට ඇය මුදල් ගෙවා බාහිර පෞද්ගලික තැනකින් ලබාගන්නා ඡායාපිටපත් හා ඡායාරූප ගැනීම වැනි කටයුතු සියල්ලද සිදුවන්නේ මේ නිලධාරිනිය අතිනි.

ඇමරිකාවේ රථවාහන කාර්යාංශයකට යන අයෙකුටද පෝලිමක සිටින්නට සිදුවේ. එසේ අවශ්‍ය නොවන තරමට නිලධාරීන් මහ පිරිසක් ඒ තැන් වල පුරවා නැත. එහෙත්, ඇත්තේ එවැනි එක් පෝලිමක් පමණි.

පෝලිමට එකතු වීම යනු නොම්මර නිකුත් කරන යන්ත්‍රයකින් නොම්මරයක් ගැනීමයි. ඉන්පසු නොම්මරය කැඳවන තුරු බ්ලොග් සටහනක් කියවීම වැනි තමන්ගේ වැඩක් කර ගත හැකිය. තමන්ට ලැබුණු නොම්මරය අනුව කැඳවීම ලැබෙන්නට ගත විය හැකි කාලය ගැන අදහසක් ගත හැකි නිසා අවශ්‍යනම් කෝපි කෝප්පයක් බී නැවත පැමිණෙන්නට වුවද පුළුවන.

රථවාහන කාර්යාංශයෙහි රියැදුරු බලපත් අලුත් කිරීමට අමතරව අලුතින් රියැදුරු බලපත් නිකුත් කිරීම, වාහන ලියාපදිංචි කිරීම , වාහන අයිතිය මාරු කිරීම ආදී කටයුතු ගණනාවක් සිදු වුවත් ඒ එක එක් කාර්යයන් වෙනුවෙන් වෙනම අංශ හෝ නිලධාරීන් නැත. ඒ නිසා, වැඩ අධීක්ෂණය කරන්නට අංශ ප්‍රධානීන් ගණනාවක්ද නැත.

එක් නිලධාරිනියක සිය කාර්යය නිම කළ පසු ඊළඟ නොම්මරය කැඳවේ. ඒ නිලධාරිනිය එවැනි නිලධාරිනියන් ගණනාවක් අතරින් කවර හෝ අයෙකු විය හැකිය. සේවාදායකයා පැමිණ සිටින්නේ කවර කටයුත්තක් සඳහා වුවද ඒ කටයුත්ත මුළුමනින්ම කර දී සේවාදායකයා හැකි ඉක්මණින් පිටත් කර යවන්නට ඈ සැදී පැහැදී සිටී. මුලින්ම යම් කාලයක් පෝලිමේ ගත කරන්නට සිදු වුවත්, නිලධාරිනිය සම්මුඛ වීමෙන් පසුව විනාඩි ගණනකින් පැමිණි කාර්යය අවසන්ය. ඒ කටයුත්ත කරන්නට අවශ්‍ය අධිකාරී බලය හා හැකියාව සියලු නිලධාරිනියන් සතුව තිබේ.

අවශ්‍ය කටයුත්ත කර දෙන්නට කිසියම් බාධාවක් ඇති සංකීර්ණ අවස්ථාද මේ අතර කලාතුරකින් හෝ තිබෙන්නට පුළුවන. එවැනි විටක ඉහළ නිලධාරිනියක මැදිහත් වීම අවශ්‍ය වුවද මුල් නිලධාරිනිය අසුනින් නැගිට ගොස් ඈ හමුවනු මිස සේවාදායකයාව එහි පිටත් කර හැරීමක් සිදුවන්නේ නැත.

ඇමරිකාවේ වෙනත් බොහෝ රජයේ ආයතන වල කටයුතු කෙරෙන්නේද මීට සමාන අයුරකිනි.

මෙවැනි කටයුතු කරන ඇමරිකන් නිලධාරීන් ලංකාවේ රජයේ සේවකයින්ට නැති ලොකු ඉගෙනුමක් හෝ පුහුණුවක් ලබා ඇති අය නොවේ. එවැන්නෙකු විසින් කරන සීමිත කටයුතු සියල්ල සුළු පුහුණුවක් ලැබීමෙන් පසු ලංකාවේ රජයේ සේවකයෙකුට කරන්නට බැරිකමක් නැත.

ඇමරිකාවේදී එක් අයෙක් කරන දෙය කරන්නට ලංකාවේ රජයේ නිලධාරීන් හත් අට දෙනෙකුවත් අවශ්‍යය. එහි ප්‍රතිඵලය සේවාදායකයාට පෝලිම් ගණනාවක රස්තියාදු වන්නට සිදුවීමයි. අන්තිමේදී මේ රජයේ සේවකයින් නිකම් සිටද නැත. ඔවුන් දවස තිස්සේ මහන්සි වී වැඩ කර තිබේ. එහෙත් හත් අට දෙනෙකු මහන්සි වී කර තිබෙන්නේ එක් අයෙකුට කළ හැකි දෙයකි.

එක් සුළු වැඩක වුවද වගකීම තනි පුද්ගලයෙකුට නොපවරා බොහෝ දෙනෙකු අතර පොදුවේ බෙදා හැරීම ලංකාවට ඉංග්‍රීසින්ගෙන් උරුම වූ ක්‍රමවේදයකි. ඇඟලුම් කර්මාන්ත ශාලාවකට මේ ක්‍රමය ගැලපෙන නමුත් රියදුරු බලපතක් අලුත් කිරීම වැනි කටයුත්තකදී මේ ක්‍රමය ඉතා අකාර්යක්ෂමය.

ඉංග්‍රීසින් ලංකාව ඇතුළු රටවල් ආණ්ඩු කරන්නට පටන් ගැනීමෙන් පසුව මෙවැනි ක්‍රමයක් හඳුන්වා දෙන්නට ඔවුන්ට හේතු තිබුණේය. ඉංග්‍රීසි පාලනයන් යටතේ ආණ්ඩු කරන්නට හවුල් වුණේ ඉංග්‍රීසින් පමණක්ම නොවේ. ලංකාවේදී සුද්දන් ලෙස පොදුවේ හැඳින්වුණු ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් හා මිලිටරි නිලධාරීන් අතර වේතනයක් වෙනුවෙන් සේවය කළ ඉංග්‍රීසි නොවන වෙනත් යුරෝපීයයෝ ඕනෑ තරම් සිටියහ. ඉන්දියාව හා ජාවා රට වැනි අසල්වැසි රටවලින් රැගෙන ආ පිරිස්ද බොහෝ වූහ. ඊට අමතරව තෝරගත් ලාංකිකයෝද සිටියහ. මේ අසමජ්ජාතීන් (අසමජාතීය) කණ්ඩායම කළමනාකරණය කර අවශ්‍ය කටයුතු කර ගැනීමේදී  ඉංග්‍රීසින්ගේ ක්‍රමවේදය නරක එකක් වුණේ නැත. ඔවුන්ට දිගු කලක් ආණ්ඩු කරන්නට ලැබුණේ ඔවුන්ගේ ඉලක්ක වලට සාපේක්ෂව අදාළ ක්‍රමවේදය කාර්යක්ෂම වූ බැවිනි.

පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇති පරිදි ඉංග්‍රීසින් විසින් තමන් සංක්‍රමණය වූ සෑම රටකටම සමාන කාර්ය පටිපාටීන් හඳුන්වා දී නැත. කටුක දේශගුණය, බෝවන රෝග හා ඩීල් කිරීම අමාරු ස්වදේශිකයින් හේතුවෙන් වැඩි අභියෝග වලට මුහුණ දුන් තැන් වලදී ඔවුන් හඳුන්වා දී ඇති කාර්ය පටිපාටි එසේ නොවූ ප්‍රශස්ත දේශ වලදී හඳුන්වා දී ඇති කාර්ය පටිපාටීන්ම නොවේ. පළමු කී තැන් වලදී ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ කෙටි කාලීනව හැකිතාක් ලාබ ලැබීමයි. කවදා හෝ තමන්ට අතහැර දමන්නට සිදුවන බව දැන සිටි එවැනි තැන් වල දේපොළ අයිතිවාසිකම් තහවුරු කරන්නට ඉංග්‍රීසින් විසින් දක්වා තිබෙන්නේ අඩු උනන්දුවකි.

ප්‍රශ්නය වන්නේ ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් අකාර්යක්ෂම ක්‍රමවේදයන් පැරණි ඉංග්‍රීසි යටත් විජිත වල තවමත් පවතින්නේ ඇයිද යන්නයි. ඉංග්‍රීසීන් විසින් තමන්ගේම රටේදී පවා මෙවැනි අකාර්යක්ෂම ලෙස පැහැදිලිව හඳුනාගත හැකි ක්‍රමවේද වෙනස් කර තිබියදී ලංකාව, ඉන්දියාව වැනි රටවල් තවමත් එසේමය. ප්‍රශ්නයේ මුල සුද්දා සිටිනවා විය හැකි වුවත්, නිදහසින් අවුරුදු හැත්තෑවකටත් පසුව සුද්දාට බැනීම තේරුමක් නැති දෙයකි. ප්‍රශ්නය තිබෙන්නේ කොහේද?

මගේ බිරිඳගේ සොයුරියගේ රියැදුරු බලපත මෙන්ම මගේ ලංකාවේ රියැදුරු බලපතද කල් ඉකුත් වී ඇත. මෙය අලුත් කර ගැනීම සඳහා ලංකාවේ සිටින සීමිත කාලයෙන් දවසක් නාස්ති කිරීම තේරුමක් නැති දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

වියානා සම්මුතිය අනුව මගේ ඇමරිකන් රියැදුරු බලපත ලංකාවේදීද භාවිතා කළ හැකි වුවත් එහිදී මතු විය හැකි ප්‍රායෝගික ගැටළු මඟ හරවා ගැනීම සඳහා එක්කෝ ලංකාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හෝ එසේ නැත්නම් ඔටෝමොබයිල් සංගමයේ ලංකාවේ ශාඛාවෙන් අමතර ලියවිල්ලක් ලබාගත යුතුය. ගෙවිය යුතු ගාස්තුව සමානය. මේ දෙකෙන් මගේ තේරීම වූයේ කුමක්ද යන්න කිව යුතු නැත.

අදාළ කටයුත්ත කරගැනීම සඳහා මම  ඔටෝමොබයිල් සංගමයේ ලංකාවේ ශාඛාවට ගියෙමි.

"සර්, ෆොටෝ එකක් ගෙනාවද?"

"ෆොටෝ එකක්නම් ගෙනාවෙ නෑනේ!"

"කමක් නෑ, සර්! අපි මේ ඩ්‍රයිවින් ලයිෂන් එකේ ෆොටෝ එක ස්කෑන් කරල ෆොටෝ එකක් හදා ගනිමු!"

(පසුගාමී මානසික තත්ත්ව විශ්ලේෂණය කිරීමේ විශේෂඥයෙකු වන ඇනෝගේ පහසුව පිණිස ලංකාවේදී මේ නිලධාරිනිය විසින්ද ඉකොනොමැට්ටාට සර් කියා කතා කළ බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.)

ඇමරිකාවේ ඔටෝමොබයිල් සංගමයෙන් ලබාගෙන තිබුණු මගේ අන්තර්ජාතික රියදුරු බලපතෙහි වූ ඡායාරූපය ස්කෑන් කර එමඟින් නැවත ඡායාරූපයක් මුද්‍රණය කර අවශ්‍ය ලියවිල්ල මත අලවා සහතික කරන්නට ඇය වැඩි වෙලාවක් නොගත්තාය. මේ වෙනුවෙන් අමතර මුදලක් අය කෙරුණේද නැත. ඔටෝමොබයිල් සංගමයට නොගොස් අනෙක් විකල්පය තෝරා ගත්තේනම් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නට අසීරු නැත.

ප්‍රශ්නය ලංකාවේ හෝ ලංකාවේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නොවේ. ලංකාවේ රජයේ ප්‍රශ්නයකි. කොහොම වුනත්, ලංකාවේ රජය කියන්නේත් ලංකාවේ මිනිස්සුය. එහෙමනම්, ඔටෝමොබයිල් සංගමයේ තිබෙන කාර්යක්ෂමතාවය රථවාහන කාර්යාංශයේ නැත්තේ ඇයි?

(Image: http://www.dailymirror.lk/105290/Sri-Lanka-Cost-of-Inefficiency-and-ineffectiveness-in-the-Public-Sector-)

Thursday, July 5, 2018

හිරු නැග එද්දී පියුම් ලියුම් බෙදයි!


උදේ පාන්දරම අපේ වත්තට මෝටර් සයිකලයක් හරවනු පෙනේ. ඇමරිකාවේ අපේ වත්තට නොවේ. මගේ දෙමවුපියන් ජීවත් වූ ලංකාවේ අපේ වත්තටය. සති දෙක තුනකට පෙරය.

පුරුදු මූණක් නොවේ. ලංකාවේ අපේ වත්තට පැමිණෙන අමුත්තෙකුගේ මූණ මට නුපුරුදු වීම අමුතු දෙයක්ද නොවේ.

"කවුද මේ උදැහැනැක්කෙම?"

මම තරමක් විපිලිසර වීමි.

"ලියුම්කාරයා ලොකු අප්පච්චී! ඉන්න මම ගන්නම්..."

මල්ලීගේ ලොකු පුතා ලියුම් ගන්නට යයි.

"අම්මටසිරි! දැන් ලියුම් බෙදන්නෙ මෝටර් සයිකලෙන්ද?"

මගේ බිරිඳ අසන්නේ විමතියෙනි.

ලංකාවේ ලියුම් බෙදන්නන් මෝටර් සයිකල් භාවිතා කිරීම කලක සිටම සිදුවන්නක් බවත්, අමුතු දෙයක් නොවන බවත් පෙනේ. එහෙත්, මේ වෙනස අප ලංකාවෙන් සංක්‍රමණය වීමෙන් පසුව සිදු වී ඇති දෙයකි. පාගන බයිසිකල් වලින් මිස මෝටර් සයිකල් වලින් ලියුම් බෙදන්නන් ලංකාවේදී අපට මීට පෙර හමු වී නොතිබුණේය.

සමහරුන් කියන්නේ ලංකාව කවදාවත් දියුණු නොවන රටක් බවයි. එහෙත්, එය එසේ නොවන බව පෙනෙන්නේ වසර කිහිපයක් රටින් පිට ජීවත් වී නැවත ආපසු පැමිණි විටය.

වසර දෙක තුනකට පසු රටට පැමිණෙන විට බොහෝ අංශ වල කිසියම් හෝ දියුණුවක් පෙනේ. තවත් අංශ වල දියුණුවක් කියා හරියටම කිව නොහැකි වෙනස්කම් පෙනේ. මෙය සෙමින් එහෙත් අඛණ්ඩව සිදු වන වෙනස් වීමක ප්‍රතිඵලයකි. වෙනස් වන්නේ සෙමින් නිසා රටේ සිටින බොහෝ දෙනෙකු මේ වෙනසට සංවේදී නැතත් රටින් පිට සිට පැමිණි විට සියුම් වෙනස්කම් වුවද කැපී පෙනේ.

ලංකාවෙන් පිටත ජීවත් වන අයෙකු මානසිකව දකින ලංකාව තමන් රටින් පිටත් වෙද්දී දුටු ලංකාවයි. මේ මානසික ප්‍රතිරූපය තරමක් හෝ වෙනස් වන්නේ රටින් පිටතට සම්ප්‍රේෂණය වන සමාජ ජාලා ඇතුළු මාධ්‍ය වාර්තා වලිනි. නැවත ලංකාවට පැමිණි විට මේ මානසික ප්‍රතිරූපය යම් තරමකින් හෝ වෙනස් කරගන්නට සිදු වේ. දැන හැඳින සිටි අයෙකු වසර ගණනාවකට පසු නැවත හමු වූ විට ඇයගේ දැන සිටි මුහුණ එලෙසම දකින්නට නොලැබෙන අයුරිනි.

ලංකාවට කලකට පසු පැමිණෙන බොහෝ අවස්ථා වලදී ගොඩනැඟිලි, මංමාවත් ආදී පෞද්ගලික මෙන්ම රජයේ අයිතිය යටතේ ඇති භෞතික සම්පත් කලින් තිබුණාට වඩා දියුණු වී ඇති බව පෙනේ. සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන සංවර්ධනය මහ පොළොවේ දැකිය නොහැකිය යන්න බොරු කතාවකි. රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මහ පොළොවේ දකින්නට බැරිකමක් නැත. ආදායම් විෂමතා තිබුණත් ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සමාජයේ පහළ ස්ථර වෙත සම්ප්‍රේෂණය වී නැතැයි කීම මුසාවකි.

භෞතික දියුණුවට අමතරව කලකට පසු නැවත රටට පැමිණි විට ලංකාවේ මිනිසුන්ගේ චර්යාවන්ගේ වුවද හොඳ අතට සිදුව ඇති වෙනස් කම් දැකිය හැකිය. රටේ රැකියා වියුක්තිය පහළ යාම පිළිබිඹු කරමින් තැන් තැන් වල බෝක්කු උඩ රස්තියාදු වූ තරුණ කණ්ඩායම්ද නොපෙනී ගොස් ඇත. පෙර ලිපියක ලියූ පරිදි ලංකාවේ රථවාහන සමාචාර තවමත් බොහෝ අපිළිවෙළ වුවත් එහිද කිසියම් හෝ දියුණුවක් නැතැයි කිව නොහැකිය.

කෙසේ වුවත්, තවමත් ලංකාවේ භෞතික පහසුකම් වල තත්ත්වය මෙන්ම වෙනත් බොහෝ සමාජයීය හැසිරීම්ද බටහිර රටක තත්ත්වයට සාපේක්ෂව බොහෝ පසුපසින් බව කිව යුතු නැත. මිනිසුන්ගේ මූලික ප්‍රශ්න විසඳෙන තරමට ඔවුන්ට අනුන් ගැනත්, සමාජය ගැනත් හිතන්නට වැඩි ඉඩක් ලැබේ. සමස්තයක් ලෙස රටක ආර්ථිකය දියුණු වන තරමට මිනිසුන් වැඩි දෙනෙකුට තමන්ගේ මූලික ප්‍රශ්න විසඳා ගන්නට ඉඩ ලැබේ. බටහිර රටවල අද දැකිය හැකි භෞතික සම්පත් හා සමාජ චර්යාවන් අවුරුද්දකින් දෙකකින් සිදු වූ දියුණුවක ප්‍රතිඵල නොවේ.

"දැන් ලියුම් බෙදන්නේ මෝටර් සයිකල් වලින්ද?"

"ගොඩක් වෙලාවට මෝටර් සයිකලෙන් එනව, ලොකු අප්පච්චී...සමහර වෙලාවට බයිසිකලෙනුත් එනවා."

මල්ලීගේ පුතා පිළිතුරු දෙයි.

"මේල්මෑන්! මෝටර් සයිකලේකින්!!"

මගේ දරුවාද අපේ විමතියට හවුල් වෙයි. එහෙත්, ඔහු විමතියට පත් වන්නේ මා සහ බිරිඳ විමතියට පත් වූ හේතුව නිසාම නොවේ.

ඇමරිකාවේ මේල්මෑන් ලියුම් බෙදන්නේ මේල් වෑන් එකකිනි. ඇය රියෙන් නොබැසම නිවෙස ඉදිරිපිට ඇති මේල්බොක්ස් එකට ලියුම් දමයි. මගේ පුතා විමතියට පත් වන්නේ මේල්මෑන් මේල්වෑන් එකේ නොපැමිණ මෝටර් සයිකලයක පැමිණ ඇති බැවිනි.

මීට පෙර ලංකාවට පැමිණි විටෙක ලංකාවේ පොලිස් නිලධාරියෙකු පෙන්වූ විටද ඔහු මෙසේම විමතියට පත් විය.

"පොලිස් කොප් කෙනෙක්නම් කෝ එයාගෙ පොලිස් කාර් එක?"

ලංකාවේ පොලිස් නිලධාරීන් සියල්ලන්ටම පොලිස් කාර් නැති බව ඔහු මේ වන විට දැන සිටියත් ලංකාවේ මේල්මෑන්ලාට මේල්වෑන් නැති බව ඒ වන විටත් නොදනී.

ලංකාවේ ගෙවල් වලට ලියුම් බෙදන්නට මේල්වෑන් නැතත් අප කුඩා කාලයේ සිටම ලංකාවේ මේල් බස් හා මේල් කොච්චි ගැනනම් දැන සිටියෙමු. මේ සේවාවන් තවමත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේදැයි මා දන්නේ නැත. අපේ නිවස ආසන්නයේ වූ තැපැල් කාර්යාලයට නිශ්චිත වෙලාවකට පැමිණෙන සීඝ්‍රගාමී දුර ගමන් බස් රථයක නැඟී අඩු වෙලාවකින් යාබද ප්‍රධාන නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත යා හැකි බව කුඩා කළ මා අත්දැකීමෙන් දැන සිටියෙමි. ප්‍රධාන නගරයේ පුස්තකාලය තිබුණේ හරියටම තැපැල් කාර්යාලය ඉදිරිපිට නිසා බසයේ ගමන් කාලය අඩු වීමේ වාසියට අමතරව බස් නැවතුමේ සිට පුස්තකාලයට පයින් යාමේ කාලයද ඉතිරි කර ගත හැකි විය.

හිරු නැග එද්දී පියුම් පිපුණත්, පියුම් ලියුම් මල්ලත් රැගෙන බයිසිකලයෙන් පැමිණියේ හිරු නැඟී පැය දෙක තුනකට පසුවය. ජංගම දුරකථන, ස්කයිප් හෝ වයිබර් නොතිබුණු ඒ කාලයේ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා තැපැල් සේවය නැතුවම බැරි දෙයක් විය. එහෙත් අද සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තැපැල් සේවය වෙනුවට වෙනත් විකල්ප ක්‍රම ඕනෑ තරම් තිබේ. ඒ නිසා, ඇමරිකාවට මෙන්ම ලංකාවටද තැපැල් සේවයේ වැදගත්කම අඩු වී ඇත. තැපැල් සේවය හා බැඳුනු මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශද අප කුඩා කාලයේදී තරම් දැන් ජනප්‍රියව නොපවතී.

විද්‍යුත් සන්නිවේදනය දියුණු වීම නිසා තැපැල් සේවයෙහි ඇති වැදගත්කම අඩු වී ඇති බව පෙනෙන්නට ඇතත්, අවම වශයෙන් ඇමරිකානු සන්දර්භයේදී, එහි තවත් පැත්තක් තිබේ. වසර තිහකට පමණ පෙර ජීවත් වූ ඇමරිකානුවෙකු මෙන් අද ඇමරිකානුවෙකු තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ ළඟම ඇති වෙළඳසැලකින් පමණක් නොවේ. ඇතැම් විට සැතපුම් දහස් ගණනක් ඈත වෙනත් ප්‍රාන්තයක හෝ මුහුදෙන් එතෙර රටක සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දෙකුගෙනි. මෙසේ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කළත් ඒ භාණ්ඩ නිවෙසට ප්‍රවාහනය කර දෙන්නට කාර්යක්ෂම ප්‍රවාහකයෙකු අවශ්‍යය.

ඇමරිකානු තැපැල් සේවය විසින් ඉහත ව්‍යාපාරික අවස්ථාව සාදරයෙන් වැළඳගෙන තිබේ. තාක්ෂනය විසින් එක් දොරක් වසන විට තවත් දොරක් අරී. දැන් අප බොහෝ විට මේල්මෑන් එනතුරු බලා සිටින්නේ ලියුමක් නොව පාර්සලයක් ලබා ගන්නටය.

ලංකාවේ තැපැල් සේවය බයිසිකල් වෙනුවට මෝටර් සයිකල් යොදාගෙන ඇති අයුරින්ම, ඇමරිකාවේ තැපැල් සේවයද එක තැන පල් වෙන්නේ නැත. එය විවිධ අමතර සේවාවන් සපයයි. අද දින මට ලැබෙන්නට නියමිත ලිපි, පාර්සල් හෝ වෙළද දැන්වීම් මොනවාදැයි දැනගන්නට මා මේල්මෑන් එනතුරුම සිටින්නට අවශ්‍ය නැත. මේ ලිපි පාර්සල් ආදියේ මුහුණත ස්කෑන් ඡායාරූප දිනපතා මගේ විද්‍යුත් ලිපිනයට එන නිසා ලැබෙන ලිපි හා පාර්සල් ගැන අදහසක් කලින්ම ගන්නට පුළුවන.

මේ සේවාවේ වැදගත්කම තේරෙන්නේ රටින් පිට සිටින විටය. ලංකාවේ මාසයක් ගත කරද්දී ලැබෙන ලියුම් පාර්සල් ආදී සියල්ල දමන්නට තරම් නිවස ඉදිරිපිට ඇති මේල්බොක්ස් එකේ ඉඩ නැත. ඒ නැතත්, ඒ ලිපි පාර්සල් ආදිය තැපැල් කාර්යාලයේම රඳවා තැබීම වඩා ආරක්ෂාකාරිය.

ඇමරිකන් තැපැල් සේවය ඉහත සේවාව සපයයි. රටින් පිට වීමට පෙර (අන්තර්ජාලය හරහා) දැනුම් දීමක් කළ විට ඔවුහු අදාළ මාසය තුළ ලැබෙන සියලු ලිපි, පාර්සල් ආදිය නොබෙදා තැපැල් කාර්යාලයේම රඳවා ගනිති. අදාළ කාලය අවසානයේදී මේ මල්ලම එකවර නිවසට ගෙනත් දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ හැකිය.

ඉහත පහසුකම නිසා නැවත ඇමරිකාවට පැමිණි පසු මාසයේම ලිපි එකවර අතට ලැබුණත් මේ ලිපි අතර කිසියම් හදිසි ලිපියක් තිබුනොත් ඒ ගැන ක්‍රියාකරන්නට ප්‍රමාද වැඩි වී තිබෙන්නට පුළුවන. එහෙත්, ලිපි මුහුණත් විද්‍යුත් තැපෑලෙන් දිනපතා ලැබෙන නිසා දැන් ඒ ප්‍රශ්නයත් නැත.

අන්තර්ජාල වෙළඳාම් වර්ධනය වෙද්දී තැපැල් සේවයට ව්‍යාපාරික අවස්ථාවන් වැඩි වන සේම එහි අනිත් පැත්තද සිදු වේ. තැපැල් සේවය ඇතුළු භාණ්ඩ ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම වන තරමට අන්තර්ජාල වෙළඳාම සඳහා වන ඉල්ලුමද ඉහළ යයි. ඉදිරියේදී ලංකාවේද විශාල ලෙස වර්ධනය වීමට නියමිත අන්තර්ජාල වෙළඳාම් ප්‍රවර්ධනය කිරීම හා එමඟින් ලාභ ලැබීම ගැන සිතන්නේනම් ලංකාවේ තැපැල් සේවයටද නැවත පණ ගසා නැගිටින්නට හැකි වනු ඇත.

Saturday, June 23, 2018

රිස්ස යන්නට තුන් බෑ හකුරු...


ලාංකිකයින්, විශේෂයින්ම ගැමි සිංහලයින්, ආගන්තුක සත්කාරයට ප්‍රියය. ඔවුහු වෙනත් අයෙකුට උදවු කරන්නට ඉදිරිපත් වෙන්නෝ එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසුවම නොවෙති. ස්වේච්ඡාවෙනි. ඇතැම් විට බලෙන්ම වාගේය.

ආගන්තුක සත්කාරය හුරු සංස්කෘතියක හැදුණු අයෙකුට පාරිභෝගික සත්කාරය පහසුය. පාරිභෝගික සත්කාරයෙහි දක්ෂ අයෙකුට නිදහස් වෙළඳපොළක සාර්ථක වීම පහසුය. එහෙත්, පාරිභෝගික සත්කාරයෙහි දක්ෂ වූ පමණින් කිසියම් අයෙකුට නිදහස් වෙළඳපොළක සාර්ථක විය නොහැකිය. ඒ සඳහා, මේ ගුණාංගය ලාබ වලට හැරවීමේ හැකියාවක්ද තිබිය යුතුය. අතින් කයිට් කරගෙන පාරිභෝගික සත්කාර කර නිදහස් වෙළඳපොළක් තුළ සාර්ථක විය නොහැකිය.

සිංහල සංස්කෘතිය තුළ පාරිභෝගික සත්කාරය පුහුණු කෙරෙන නමුත් පාරිභෝගික සත්කාරය ලාබ වලට හරවන්නට පුහුණු කෙරෙන්නේ නැත. කියවන්නන් හැමෝම වාගේ අසා ඇතැයි සිතන තුම්පනේ ඇත්තන්ගේ තුන් බෑ හකුරු කතාවෙන් කියැවෙන්නේද එයයි. සම්මත ආර්ථික විද්‍යා අර්ථයෙන් ගත්තොත් මෙය තාර්කික හැසිරීමක් නොවේ.

ලංකාවේ ජීවත් වෙද්දී සාමාන්‍ය දේවල් වීම නිසා විශේෂ අවධානයට ලක් නොවන්නට ඇතැයි සිතිය හැකි ඇතැම් චර්යාවන් ඇමරිකාවේ කලක් ජීවත් වී නැවත ලංකාවට පැමිණි පසු මනස ඉදිරියේ මතු වී පෙනේ. ලාබයක් උපයද්දී බොහෝ සිංහලයින්ට ඇති වන වරදකාරී හැඟීමද එවැනි චර්යාවකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ විදේශිකයෙකුට, විශේෂයෙන්ම සුදු හම ඇති විදේශිකයෙකුට, භාණ්ඩයක් විකුණා කවර ලාභයක් ලැබුවද සිංහලයින්ට මේ වරදකාරී හැඟීම නොදැනීමයි.

මට සහ මගේ පවුලේ අයට කන්න බොන්න නැතත් අන්තර්ජාල පහසුකම් නොමැතිව දවසක්වත් ගත කළ නොහැකි තරමට අප මේ වන විට අන්තර්ජාලයට ඇබ්බැහි වී අවසානය. ලංකාවේ ගත කරද්දී අප මුහුණ දෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ අන්තර්ජාලය සමඟ රැඳී සිටීම ඇමරිකාවේදී තරම් පහසු නොවීමයි. ඇමරිකාවේදීනම් බොහෝ ව්‍යාපාරික හා පොදු ස්ථාන වලදී නොමිලේ වයිෆයි පහසුකම් ලබාගත හැකිය. එමෙන්ම, ලංකාවේ මේ අංශයේ සේවය කරන මගේ ඇතැම් මිතුරන් සිතන තරම් ලංකාවේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීම ලාබදායකද නැත.

මිල සාධකය තවදුරටත් ප්‍රශ්නයක් වුවත්, මගේ මිතුරෙකුගේ දැනුවත් කිරීම අනුව පෙර ගෙවුම් සම්බන්ධතාවක් සහිත ජංගම දුරකථනයක් වයිෆයි රවුටරයක් සේ සකස් කර ගැනීමෙන් මෙවර අපට එක වර උපකරණ හතර පහකින් අන්තර්ජාලයට පිවිසීම සඳහා වූ තාක්ෂණික බාධාවන්ට මුහුණ නොදී සිටිය හැකි විය. ගොඩ බැසීමෙන් අනතුරුව ගුවන් තොටුපලෙන්ම "ටුවරිස්ට් සිම්පැක්" හා අවශ්‍යනම් ජංගම දුරකථනයක් (කුලී පදනමට) ලබා ගත හැකි බව මගේ මිතුරා විසින් යෝජනා කර තිබුණු අතර ලංකාවට පැමිණෙන්නට පෙරම මගේ සොහොයුරිය විසින් දැනුම් දුන්නේ මගේ පියා ජීවත්ව සිටියදී භාවිතා කළ සිම්පත් දෙකක් සහිත ස්මාර්ට් ජංගම දුරකථනය මේ වෙනුවෙන් යොදාගත හැකි බවයි.

පසුව ඇත්තටම සිදු වී තිබුණු පරිදි මගේ පියා විසින් තෙමසකට පෙර භාවිතා කළ ජංගම දුරකථන සම්බන්ධතා මේ වන විට අක්‍රිය වී තිබිය හැකිව තිබුණු අතර එසේ වීනම්, දුරකථනය තිබුණත්, මට මේ පහසුකම ලබා ගන්නට වන්නේ අලුතින් සිම්පතක් මිල දී ගැනීමෙන් පසුවය. ගුවන් තොටුපොළේදීම සිම්පතක් ලබාගත්තේනම් මේ අවදානම මඟ හැරෙන අතරම ඒ මොහොතේ සිටම "ශිෂ්ඨාචාරය තුළ රැඳී සිටීමේ" අවස්ථාවද හිමි වේ.

ලංකාවේ සිටි කාලයේදී පෙරගෙවුම් අන්තර්ජාල සම්බන්ධතා වෙනුවෙන් වැය කෙරෙන්නට නියමිත තිබුණු (මේ වන විට වැය කර ඇති) මුදල සැලකූ විට රුපියල් දහසක පමණ මුදලක් ගෙවා "ටුවරිස්ට් සිම්පැක්" එකක් මිල දී ගැනීම කිසිසේත්ම නරක තේරීමක් සේ පෙනුණේ නැත. ඒ නිසා, පැමිණීමේ පර්යන්තයේ දිගු කොරිඩෝව පසු කර ආගමන විගමන අංශය කිට්ටුවට පැමිණි වහාම අදාළ කවුන්ටරය වෙත ගොස් "ටුවරිස්ට් සිම්පැක්" එකක් ඉල්ලා සිටියෙමි.

පෞද්ගලික සමාගමක් වෙනුවෙන් සේවය කරන වෙළඳ සේවිකාවට තවත් ගණුදෙනුවක් කර ගැනීමට කිසිදු උනන්දුවක් නැත.

"සර්, මේක මේ ටුවරිස්ට්ලට විකුණන්න තියෙන්නේ! සර්ට මේක ගන්න එක පාඩුයි. දාහක් විතර වෙනවා. එළියට ගියාම ඕනැ තැනකින් අයිඩී එක පෙන්නලා රුපියල් සීයකට සිම් එකක් ගත්තහැකි..."

ඈ කීවේ මා නොදැන සිටි දෙයක් නොවේ. මා මේ වන විට ලංකාවේ ජීවත් නොවන අයෙකු බවත්, සංචාරකයෙකු ලෙස ලංකාවට පැමිණෙන්නෙකු බවත් ඇයට පැහැදිලි කිරීමෙන් පසුවද ඇගේ ආකල්පය වෙනස් වුණේ නැත. තමන් දෛනිකව නියැලෙන ගනුදෙනු වලින් තමන්ට වැටුප් ගෙවන සමාගම අධික ලාභයක් උපයන බවත්, ඒ අයුරින් සුද්දන්ගෙන් සල්ලි කඩා ගැනීමේ වරදක් නැතත්, ලෝකයේ කොහේ හෝ ජීවත් වන සිංහලයෙක්ගෙන් එසේ සල්ලි කඩා ගැනීම නුසුදුසු දෙයක් බවත් ඇය සිතුවා විය හැකිය.

ඉන් පසු, මට අවශ්‍ය වුනේ ඩොලර් රුපියල් කර ගැනීමටය. කොටුවට ගොස් මාරු කළ විට ගුවන් තොටුපොළේදී ලැබෙනවාට වඩා රුපියල් දෙක තුනක්වත් වැඩියෙන් ලැබෙන බව මා දැන නොසිටි දෙයක් නොවූවත් මෙවර මා පැමිණියේ පියාගේ තෙමස් දානය වෙනුවෙන් ඊට දින කිහිපයකට පෙර බැවින් ඊට පෙර කොටුවට යන්නට මගේ කාල සටහනේ ඉඩක් තිබුණේ නැත. ඒ නිසා, ගුවන් තොටුපොළෙහි පිහිටි රාජ්‍ය බැංකුවක කවුන්ටරයෙන් අවශ්‍ය පමණ රුපියල් ලබා ගැනීම සඳහා මා ඒ වෙත ගියෙමි. මා රුපියල් කිරීමට අදහස් කළ ඩොලර් ප්‍රමාණය සාමාන්‍යයෙන් එහි පැමිණෙන ගනුදෙනු කරුවෙකු අත ඇති මුදලට සාපේක්ෂව වැඩි මුදලක් වූවා විය හැකිය.

මගේ අදහස වූයේ ගුවන් තොටුපොළේ පිහිටි කොයි බැංකුවෙන් මාරු කළත් ලැබෙන්නේ එකම මුදල බවත් එය කොටුවේදී මෙන් හෙට්ටු කර ඉහළ දමා ගැනීමේ හැකියාවක් නොමැති බවත්ය. ඒ නිසා, අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දී කෙළින්ම රුපියල් ඉල්ලා සිටියෙමි. මේ වන විට මහ බැංකු දත්ත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 160 මට්ටමට පැමිණ නොතිබුණු අතර අදාළ රාජ්‍ය බැංකුවෙහි ඩොලරයක ගැනුම් මිල මහ බැංකුවේ දත්ත සමඟ ආසන්න වශයෙන් සැසඳුණේය.

මෙවරද කවුන්ටරයේ සිටි සේවකයාට ගණුදෙනුව කරන්නට වැඩි උනන්දුවක් නොතිබුණේය.

"සර්, සල්ලිනම් මාරු කරල දෙන්න පුළුවන්. හැබැයි රිසිට් එකක් දෙන්න විදිහක් නැහැ, සිස්ටම් එකේ අවුලක්!"

ඇතැම් විට ඔහු කීවේ ඇත්ත විය හැකිය. එසේ නැත්නම් අදාළ ගනුදෙනුව ලේඛණගත නොකර කීයක් හෝ වැඩියෙන් නැවත විකුණා ලාබයක් ලබන්නට දැමූ වංගුවක් විය හැකිය. මගේ හිත කීවේ දෙවැන්න වන්නට වැඩි ඉඩක් ඇති බවයි.

"ඇත්තද? එහෙනම් වෙන තැනකින් මාරු කර ගන්නම්!"

වැඩේ වැරදුණු බව බැංකු සේවකයාට තේරුණේය.

"සර් ඔච්චර ගානක් අඩුවට මාරු කරන්නේ අපරාදේ. මේ දවස් වල එළියේ රේට් එක හොඳටම නැගල තියෙන්නේ..."

"මම දන්නවා. ඒත් මට කොටුවට යන්න වෙලාවක් නැති නිසයි එයාපෝර්ට් එකෙන්ම ටිකක් මාරු කරන්නේ..."

"සර්, එහෙමනම් එළියේ තියෙන අපේ කවුන්ටරේට යන්න. මම කෝල් එකක් දාල කියන්නම් හොඳ රේට් එකක් දෙන්න කියල...මේ දවස් වල එළියේ රේට් එක හොඳටම නැගල තියෙන්නේ..."

බැංකු සේවකයාගේ කතාවෙන් පැහැදිලි වූ පරිදි රාජ්‍ය බැංකුවකින් වුවත් හෙට්ටු කර වැඩි මිලක් ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙනේ. ඒ අනුව, ඔහු විසින් යොමු කළ කවුන්ටරයට නොගොස් වෙනත් බැංකුවක කවුන්ටරයකට ගොස් එහි ප්‍රදර්ශනය කර තිබුණු මිලට වඩා රුපියල් දෙකක් වැඩි අනුපාතයකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රුපියල් කළෙමි. පසුව ඉතිරි ඩොලර් ප්‍රමාණය මාරු කරගන්නට කොටුවට යාමෙන් පසු තේරුම් ගිය පරිදි මහ බැංකුව පෙන්වන නිල විකුණුම් මිලටත් වඩා රුපියල් දෙක තුනක්ම වැඩියෙන් (නිල ගැනුම් මිලට වඩා රුපියල් හයක් පමණ වැඩියෙන්) කොටුවේදී ඩොලර් මාරු කළ හැකි තරමේ ඩොලර් ඉල්ලුමක් රට තුළ තිබුණේය.

ඒ වන විට ඩොලරයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 159කුත් ශත ගණනක් වුවත් කොටුවේදී මගේ ඩොලර් රුපියල් 162 බැගින් මාරු කළ හැකි විය. මෙසේ ඩොලර් මිල දී ගන්නා අතරමැදියන් අඩු වශයෙන් රුපියල් 162.50 බැගින්වත් මේ ඩොලර් විකුණනවා විය යුතුය. එසේනම්, නිල සංඛ්‍යාලේඛණ වල නොපෙනෙන, විශාල ඩොලර් ඉල්ලුමක් හා අනුරූපී සැපයුම් හිඟයක් රට තුළ තිබේ.

ගුවන් තොටුපොළේදී මුලින්ම හමු වූ බැංකු සේවකයා තමන්ගේ සේවා ආයතනයේ ලාබ ඉහළ දැමීමට මුල් තැන දුන්නේනම් මා පසුව ලැබූ වැඩි රුපියල් ප්‍රමාණය අදාළ බැංකුවේ ලාබ වලට එකතු විය හැකිව තිබුණේය. ඔහු එසේ නොකළේ මට ලාබයක් සැලසීමේ අරමුණින්ද නැත්නම් තමන්ට ලාබයක් ලබන්නට ගොස් වැරදීම නිසාද යන්න එතරම්ම පැහැදිලි නැත.

ලංකාවට පැමිණෙන බොහෝ අවස්ථා වලදී වයින් හා වෙනත් මත්පැන් බෝතල් කිහිපයක් රැගෙන එන නමුත් මෙවර එය කළේ නැත. ඒ නිසා, මිතුරන් පිරිසක් විසින් සැලසුම් කළ සාදයකට සහභාගී වීම සඳහා යන්නට පෙර සුපිරි වෙළඳ සැලකින් විදේශීය මත්පැන් බෝතලයක් මිල දී ගන්නට අදහස් කළෙමි. ඇමරිකාවේදී ගෙවන ඩොලර් මිල මෙන් තෙගුණයකටත් වඩා වැඩි රුපියල් මිලක් ගෙවිය යුතු වුවත් අවශ්‍ය භාණ්ඩය මිල දී ගැනීම ඊට වඩා වැදගත් බව සිතුණේය.

"සර්, ඔය ගාණටම මේක ගන්න පුළුවන්! ඕකට වඩා මේක ටිකක් ෂුවර්!"

"ඒ කියන්නේ මේක කලවන්ද?"

"ඒ වගෙ තමයි!"

වැඩි මිලක් ගෙවා වුවත් අවශ්‍ය භාණ්ඩය මිස වෙනත් භාණ්ඩයක් මිල දී ගන්නට මට අවශ්‍ය නැත. වෙළඳ සේවකයාටම අනුව අවශ්‍ය භාණ්ඩය සේ වෙස් ගන්වා මෙහි විකුණන්නේ අවශ්‍ය භාණ්ඩය නොවේ. ඒ නිසා, අවසානයේදී කිසිදු ගණුදෙනුවක් සිදුවුණේ නැත.

සුපිරි වෙළඳසැලෙහි සේවකයාට තමන්ගේ සමාගමේ ලාබ ඉහළ දැමීමේ අරමුණට වඩා දුඹුරු හම ඇති, සිංහල කතා කරන පාරිභෝගිකයෙකු රැවැට්ටීම නිසා ඇති වන වරදකාරී හැඟීමෙන් මිදීම වැදගත් වූවා වන්නට ඇත. පාරිභෝගිකයා සුද්දෙක් වුණානම් ඔහු වෙනස් අයුරකින් හැසිරෙන්නට ඉඩ තිබුණා විය හැකිය.

සීගිරියේ විදේශික රථගාල කිට්ටුව සිසිල් බීම විකිණූ අයෙකු ප්‍රදර්ශනය කළේද මෙවැනිම චර්යාවකි. රුපියල් හැටකට මිල කර තිබුණු සිසිල් බීම බෝතලයක් විදේශිකයින් හට රුපියල් දෙසීය බැගින් විකුණමින් සිටි ඔහු එය නියම මිලට හෝ ඔහුගේ සාමාන්‍ය විකිණුම් මිලට මට විකුණන්නට මනාප වූයේ නැත.

"සර්, මෙතන ටිකක් ගාන වැඩියි. ෆොරීනර්ස්ලට විකුණන්නේ...පහළින් අඩුවට ගන්න පුළුවන්!"

විදේශිකයින් වුවත් ඉන්දියානුවන් ගැන බොහෝ ලාංකික වෙළෙන්දන්ට තිබෙන්නේ වෙනස්ම ආකල්පයකි. ඉහත කී ෆොරීනර්ස්ලාට ඉන්දියානුවන් අයත් නැත. ලිපිය දිග්ගැසෙන නිසා ඒ ගැන කතා නොකර මෙය අවසන් කරමි.

(කාලවේලා සීමාවන් හා අන්තර්ජාල භාවිතයේ සීමාවන් නිසා ප්‍රතිචාර වලට පිළිතුරු සැපයීම පමා කරන්නට වීම ගැන කමා කෙරෙත්වා!)

(Image: http://exploresrilanka.lk/2013/10/sweet-by-nature/)

Wednesday, June 20, 2018

දැන වෙළඳාම් නොදැන ගොවිතැන්...


නිදහස් ආර්ථිකයක කාර්යක්ෂමතාවයට හේතුවන යාන්ත්‍රනය වන්නේ නිදහස් ගනුදෙනුය. නිදහස් ගනුදෙනුවකින් එහි නියැලෙන පාර්ශ්ව දෙකටම හැම විටම වාගේ සිදුවන්නේ ලාභයකි. එක් පාර්ශ්වයකට හෝ අලාභයක් වේනම් එම පාර්ශ්වයට ගනුදෙනුවෙහි නොයෙදී ඉවත් වීමට නිදහස ඇති බැවිනි. මෙය මෙසේ නොවන්නේ තොරතුරු අසමමිතියක් තිබීම වැනි විශේෂ අවස්ථා වලදී පමණි.

නිදහස් ගනුදෙනුවක සැපයුම්කරු අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ නිෂ්පාදකයා හෝ ඇයගෙන් එය මිල දී ගත් අතරමැදියෙකු වන්නට පුළුවන. සාමාන්‍ය භාවිතයේදී වෙළෙන්දන් ලෙස හැඳින්වෙන මෙවැනි අතරමැදියන් යනු නිදහස් ආර්ථිකයක පැවැත්මට විශාල ලෙස දායක වන පිරිසකි. ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ නිෂ්පාදකයෙකුගෙන් අඩු මිලට ලබා ගන්නා භාණ්ඩයක් පාරිභෝගිකයෙකුට වැඩි මිලකට විකුණා ලාභයක් ලැබීමයි.

මෙහිදී අතරමැදියාට වාසියක් ලැබෙන නමුත් එයින් අදහස් වන්නේ ඒ හේතුව නිසා පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට අවාසියක් සිදුවන බව නොවේ. අතරමැදියෙකුගේ මැදිහත්වීම නිසා බොහෝ විට නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාටද සැලසෙන්නේ වාසියකි. මෙය මෙසේ වන්නේ කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයින් විසින් ලබාදෙන සාපේක්ෂ වටිනාකම් මිස නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නොමැති බැවිනි.

කිසියම් මීකිරි නිෂ්පාදකයෙකුට රුපියල් 150කට වඩා නොවටිනා කිරි හට්ටියක් කිසියම් පාරිභෝගිකයෙකු විසින් රුපියල් 250කට මිල කරන්නට ඉඩ තිබීම සාමාන්‍ය තත්ත්වයකි. මේ කිරිහට්ටිය අතරමැදියෙකු විසින් රුපියල් 175කට මිල දී ගෙන රුපියල් 200කට විකුණා රුපියල් 25ක ලාබයක් ලබන විට නිෂ්පාදකයාට රුපියල් 25ක ලාබයකුත් පාරිභෝගිකයට රුපියල් 50ක වාසියකුත් සැලසේ. අතරමැදියා මඟහැර නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සෘජුව ගනුදෙනු කළ හැකිනම් අතරමැදියා උපයන රුපියල් 25ද ඔවුන් දෙදෙනාගේ ලාබ වලට එකතු වන බව ඇත්තක් වුවත්, අතරමැදියෙකු නොසිටියේනම් මෙවැනි ගනුදෙනු බොහොමයක්ම සිදු වන්නේ නැත.

අතරමැදියාගේ කාර්යභාරය පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ, විශේෂයෙන්ම සිංහල සමාජයේ, සාම්ප්‍රදායික ආකල්පය තරමක් නිශේධනාත්මක එකකි. පෞද්ගලිකව මටද ඇතැම් අවස්ථා වලදී අඩු මිලට ලබාගන්නා භාණ්ඩයක් වැඩි මිලකට විකිණීමේදී වරදකාරී හැඟීමක් දැනී තිබේ. මෙහි මූලය භාණ්ඩයක වටිනාකම යනු එය නිපදවීම හෝ අත්පත් කර ගැනීම වෙනුවෙන් වැය කළ පිරිවැයය යන අදහසයි. එහෙත්, ඇත්තටම එම වටිනාකම පිරිවැයට වඩා වැඩි වන්නට මෙන්ම අඩු වන්නටද පුළුවන.

මාක්ස්වාදී ආර්ථික විද්‍යාවේ පදනම වන්නේ භාණ්ඩයකට එහි නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ නිශ්චිත වටිනාකමක් තිබේය යන්නයි. එය නිෂ්පාදනයේදී වැය වූ මිනිස් ශ්‍රමය අනුසාරයෙන් සූත්‍රගත කර තිබේ. එහිදී නිෂ්පාදනයේදී යොදාගත් ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ වලට ලැබෙන්නේ අඩු වැදගත් කමකි. භාණ්ඩයක වටිනාකම පිළිබඳ සිංහල සමාජයේ සම්ප්‍රදායික අදහස මාක්ස්වාදී අදහසට කිසියම් අයුරකින් සමාන වුවත් මේ දෙකෙහි විශාල සංකල්පීය වෙනස්කමක් තිබේ. සිංහලයෝ කිසියම් නිෂ්පාදනයක් වෙනුවෙන් යොදවන ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ හිමිවිය යුතු බවද පහසුවෙන් අමතක කරති.

"කීයද මේ කිරි හට්ටියක්?"

"දෙසීයයි..."

"එකසිය හැත්තෑ පහක් ගම්මු!"

"අයියෝ නෝනා! අපිට දාන්නෙත් එකසිය අසූවට. අපි මේ පොඩි ලාබයක් තියාගෙන දෙසීයට විකුණන්නේ..."

අතරමැදියෙකු විසින් භාණ්ඩයක් මිල දී ගන්නා මිල සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුගේ මිල දී ගැනීමේ තීරණයට බලපෑ යුතු කරුණක් නොවේ. එහිදී වැදගත් වන්නේ තමන් ඒ වෙනුවෙන් ගෙවන්නට කැමති මිලයි. එහෙත් ලංකාවේදී එය එසේම නොවේ. අතරමැදියෙකු වැඩි ලාභයක් ලබන බව පෙනෙන විට බොහෝ ලාංකිකයින්ට දැනෙන්නේ තමන් රැවටුණේය යන හැඟීමකි. ඒ නිසා එය එසේ නොවන බව පාරිභෝගිකයින්ට ඒත්තු ගන්වන්නට බොහෝ වෙළෙන්දන්ට සිදුවේ.

මෙයට එක් හේතුවක් වන්නේ ලාංකිකයින් බොහෝ දෙනෙකුට භාණ්ඩයක ප්‍රයෝජ්‍ය වටිනාකම පිළිබඳ තමන්ගේම වූ අදහසක් නොමැති වීමයි. ඒ නිසා, බොහෝ විට ඔවුන් තමන් ගෙවන්නට කැමති උපරිම මිල නිර්ණය කරන්නේ ගනුදෙනුවෙන් අනෙකා උපයන ලාබය දෙස බලමිනි. ඒ ලාබය මානසිකව ගණනය කරන්නේ අනෙකා භාණ්ඩය මිල දී ගැනීමට වැය කළ මුදල පමණක් සලකමින් අනෙකුත් සියලු වක්‍ර වියදම් නොසලකා හරිමිනි.

මෙහිම තවත් මානයක් වන්නේ තමන් විසින් කලකට පෙර මිල දී ගත්, මේ වන විට ප්‍රයෝජ්‍ය වටිනාකමක් හෝ ලොකු වෙළඳපොළ වටිනාකමක් නැති භාණ්ඩ කීයකට හෝ විකුණා නොදමා ගොඩ ගසාගෙන සිටීමේ මානසිකත්වයයි. එසේ කරන්නේ රුපියල් දාහකට මිල දී ගත් දෙයක් රුපියල් සීයකට විකුණා දමන්නට හිත හදාගැනීම අසීරු බැවිනි. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ලැබිය හැකිව තිබුණු රුපියල් සීයත් නොලැබී යාමයි.

(මතු සම්බන්ධයි)


ලංකාවට වාහන වැඩිද?

ගත වෙමින් පවතින්නේ මෙවර ග්‍රීෂ්ම නිවාඩුව තුළ ලංකාවේ ගෙවන අවසන් සතියයි. නිවසෙන් බැහැරව මසක කාලයක් ගෙවන විට සාමාන්‍යයෙන් කරන බොහෝ දේ මඟ හැරී යාම අසාමාන්‍ය දෙයක් නොවේ. ප්‍රමුඛතාවන් වෙනස්වීම, අන්තර්ජාල සම්බන්ධතා වල සීමාවන් ආදී විවිධ හේතු මත ඉකොනොමැට්ටාගේ වියුණු යාවත්කාලීන කිරීමද එසේ මඟ හැරුණු කටයුතු ලැයිස්තුවට එකතු වී ඇති අතර අවසන් වියුණු සටහන ලියා පළ කර තිබෙන්නේ මසකටද පෙරය.

කෙසේ වුවද, මෙවර ලංකාවේ ගත කළ මසකට ආසන්න කාලය සාපේක්ෂව ඵලදායී වූ බැව් කිව මනාය. ජීවිතයේ විවිධ කාල වලදී සමීපව ඇසුරු කළ මිතුරු මිතුරියන් රැසක් නැවත හමු වන්නට ඉඩ සැලසුණු අතර ඉදිරි දින කිහිපය තුළද එවැනි හමු ගණනාවක්  සිදුවීමට නියමිතව තිබේ. එමෙන්ම දිවයිනේ පළාත් හයක් ආවරණය කරමින් ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද මෙවර ඉඩ ලැබුණේය.

මෙවර කළ "වෙනස් දෙයක්" වූයේ සෑහෙන කලකට පසු රියැදුරෙකුගේ සේවය ලබා නොගනිමින් ලංකාවේ දී මෝටර් රථයක සුක්කානම අතට ගැනීමේ සංකීර්ණ කටයුත්තට අත ගැසීමයි. ලංකාවේ වාහන ධාවනය කිරීමේ සමාචාර විධි (etiquette) නැවත අලුතෙන් ඉගෙන ගැනීම මුලින් හිතූ තරම්ම අමාරු වුණේ නැත.

ඇමරිකාව දකුණෙන් වාහන එළවන රටකි. පොතේ හැටියට මෙන්ම ඇත්තටමද එය එසේමය. ඇමරිකාවේ පාරක වම් පැත්තේ වාහනයක් දකින්නට ලැබීම සුලභ සිදු වීමක් නොවේ.

පොතේ හැටියට ලංකාව වමෙන් එළවන රටකි. එහෙත්, වාහන එළවීමේ සමාචාර විධි අනුව පාරේ වාහනයක් ධාවනය කළ යුතු පැත්ත වාහනයේ විශාලත්වය හා එහි වටිනාකම වැනි කරුණු මත තීරණය වේ. පෞද්ගලික මෙන්ම ලංගම බස් රථ වලටත්, මිල අධික ජීප් රථ හා මෝටර් රථ ආදිය සඳහාත් බලපාන්නේ ඇමරිකානු නීතිය බව පෙනේ. ඒ වාහන වැඩි වෙලාවක් තිබෙන්නේ පාරේ දකුණු පැත්තේය. නැත්නම් පාරේ මැදය. මෙවැනි වාහනයක් හෙඩ් ලයිට් ගසා සංඥා කළ විට පාරේ වමෙන් එන වාහන පාරෙන් ඉවත් වී කාණුවට බැස ඉදිරියෙන් එන වාහනයට ඉඩ දිය යුතුය.

ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් වැනි වැනි කුඩා වාහන වලට කැමති පරිදි පාරේ දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් ගමන් කිරීමට තහනමක් නැත. අතුරු පාරවල් වලින් ප්‍රධාන පාරකට ත්‍රිරෝද රථයක් ඇතුළු කිරීමට පෙර ත්‍රිරෝද රථ රියැදුරෙකු සෑහෙන වෙලාවක් පරීක්ෂාකාරීව බලා සිටී. පාරේ වාහනයක් නැත්නම් එසේ සෑහෙන වෙලාවක් බලා සිටින එවැනි රියැදුරෙකු වාහනය පාරට දමන්නේ හරියටම වෙනත් වාහනයක් පැමිණෙන අවස්ථාවකදීය.

ලංකාවේ වාහන වල සංඥා එළි භාවිතය හොඳ තත්ත්වයක තිබේ. කොයි තරම් හොඳද කියනවානම් බොහෝ රියැදුරන් විසින් දකුණු පස සංඥා එළිය වරක් දැල්වීමෙන් පසු එය නැවත නිවා දමන්නේ ගමන අවසන් කිරීමෙන් පසුව විය යුතුය. වාහනය වමට හැරවුවත්, දකුණට හැරවුවත්, දකුණෙන් ඉස්සර කළත්, වමෙන් ඉස්සර කළත් සංඥා එළියනම් දකුණටමය. කිසියම් පාරක මංතීරු දෙකක් සලකුණු කර ඇත්නම් එයින් අදහස් වන්නේ ලොකු වාහන තුනකට ගමන් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් බවයි. ඊට අමතරව ත්‍රිරෝද රථ වලට හා මෝටර් සයිකල් වලට මේ ලොකු වාහන අතරින් රිංගන්නට ඉඩ තිබේ.

බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවේ තිබෙන පාරවල් ප්‍රමාණයට වාහන ඕනෑවට වඩා වැඩි බවයි. මේ කතාවේ කිසියම් ඇත්තක් තිබෙන්නට පුළුවන. පසුගිය කාලයේ සැලකිය යුතු තරමේ මාර්ග සංවර්ධනයක් සිදු වී ඇතත් එයට අනුරූපව වාහන භාවිතයද ඉහළ ගොස් ඇති නිසා වාහන එළැවීමේ සමාචාර ලොකුවට වෙනස් වී නැත. එහෙත්, සාපේක්ෂව පාරවල් හොඳ හා වාහන අඩු කුරුණෑගලින් උතුරේ ප්‍රදේශ වල තත්ත්වයේ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. බෙදාගන්නට ඇති සම්පත් ප්‍රමාණය වැඩි වන විට මිනිසුන්ගේ චර්යාවන්ද වඩා හොඳ වීම සාමාන්‍ය දෙයකි.

මගේ අදහස අනුව ලංකාවේ මහාමාර්ග වල දැකිය හැකි මහා වියවුලට එකම හේතුව පාරවල් ප්‍රමාණවත් නොවීම හා වාහන ප්‍රමාණය වැඩිවීමම නොවේ. වාහන ධාවනය විධිමත් ලෙස සිදුවේනම් පවතින මහාමාර්ග පද්ධතිය මීට වඩා බොහෝ කාර්යක්ෂම සේ භාවිතා කළ හැකි බව මගේ අදහසයි.

පහත වගුවේ තිබෙන්නේ ලෝකයේ එක් එක් රටවල මහා මාර්ග වල දිග, ලියාපදිංචි වාහන සංඛ්‍යාව හා මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණනයි. රට කුඩා වන තරමට මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණන වැඩි වීම සාමාන්‍ය තත්ත්වයකි. මාල දිවයිනේ මහාමාර්ග කිලෝමීටරයකට වාහන 700ක් පමණ තිබේ. (වාහන ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගත් දත්ත වන අතර වසර පහක් පමණ පැරණි දත්ත වේ. මහා මාර්ග වල දිග විකිපීඩියාවෙනි.) සිංගප්පූරුවේ 293කි. දකුණු කොරියාවේ 218ක්ද, මැලේසියාවේ 165ක්ද, ජපානයේ 75ක්ද, නේපාලයේ 68ක්ද වේ. බංග්ලා දේශයේ 61කි. චීනයේ 52කි. ඇමරිකාවේ 39කි. ඉන්දියාවේ හා පකිස්ථානයේ 35ක් පමණ වේ. ලංකාවේ 46කි.

ඉන්දියාව, පකිස්ථානය හා ඇමරිකාව වැනි ලොකු රටවලට මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණනට වඩා ලංකාවේ ගණන තරමක් වැඩි වුවත් ලංකාව සමඟ සැසඳිය හැකි බොහෝ රටවල් වලට සාපේක්ෂව එවැනි වැඩි කමක් පෙනෙන්නට නැත. එහෙත්, මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණන ලංකාවේ ගණනට වඩා වැඩි බොහෝ රටවල දැකිය නොහැකි තරමේ අවුලක් ලංකාවේ මහාමාර්ග වලදී දැකිය හැකිය. ලංකාවේ වාහන එළවීමේ සමාචාර විධිද මෙයට එක් හේතුවක් විය යුතුය.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...