වෙබ් ලිපිනය:

Wednesday, July 5, 2017

වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය


කොළඹ සරසවියෙන් වෛද්‍ය විද්‍යා ප්‍රථම උපාධියත්, ස්කොට්ලන්තයේ දන්ඩී විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් හා පශ්චාත් උපාධියකුත් (MMedEd) ලබා දැනට කොළඹ සරසවියේ මහාචාර්ය තනතුරක් දරන ඉන්දික කරුණාතිලක විසින් "ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයිද?" යනුවෙන් විමසමින් ලියූ ලිපියක් සමාජ ජාලා වල හුවමාරු වනු දකින්නට ලැබේ. අදාළ ලිපියේ අරමුණ ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා සබැඳි, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පිළිබඳ පවතින පොදු දුර්මත කිහිපයක සත්‍ය, අසත්‍යතාවය එකින් එක සාකච්ඡාවට බඳුන් කිරීමයි. අදාළ "දුර්මත" පහත දැක්වේ.

-ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාවීම දැකිය හැක.
-අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
-ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතී.
-වැඩිපුර වෛද්‍යවරුන් සිටීම වාසිදායක වේ.
-අනෙකුත් ක්ෂේත්‍ර ද පෞද්ගලිකකරණය වී තිබෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය ද එසේ විය යුතුය.
-පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටක ආර්ථිකයට වාසිදායක වේ.

ඉතා කණගාටුදායක කරුණක් වන්නේ ඉන්දික කරුණාතිලක විසින් ඉහත ලිපිය සම්පාදනය කිරීමේදී ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුගෙන් අපේක්ෂා කෙරෙන අපක්ෂපාතීත්වය හෝ ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය ගැන සැලකිලිමත් වී නොතිබීමයි. අදාළ ලිපිය පෞද්ගලික සටහනක් වූවානම් මෙය විශාල ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලිපිය සමඟ ලේඛකයාගේ තනතුරු නාමය, උපාධි හා ඩිප්ලෝමා සහතික හා වෘත්තීය සංවිධාන වල සාමාජිකත්ව ආදිය පිළිබඳ තොරතුරුද පළකර තිබීමත් ලිපියේ අන්තර්ගතය ඔහුගේ විෂය ක්ෂේත්‍රයට අදාළ වූවක් වීමත් තුළ ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකු සතු විය යුතු මූලික ගුණාංග ලිපියෙන් පිළිබිබු නොවීම ප්‍රශ්නයකි.

ඉහත ලිපියේ මා දකින අඩුපාඩු කිහිපයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා දැඩි ලෙස සීමා වීමක් සිදුව ඇත්ද?

ඉන්දික කරුණාතිලකගේ තර්කය වනුයේ එවැනි සීමා වීමක් ඇත්තේ කලා අංශයේ මිස ජීව විද්‍යා අංශයේ නොවන බවයි.

"කලා අංශයෙන් උසස් පෙළ සමත්වන්නන් අතරින් විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරගන්නේ ආසන්න වශයෙන් 10% ක් පමණි. ... ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් 33% ක් විශ්ව විද්‍යාලයට ඇතුළු වේ. ... ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමතුන්ගෙන් 6.3% කට පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව ලැබේ."

මෙහි ඉන්දික කරුණාරත්න විසින් ඉදිරිපත් කර ඇති දත්ත වල විශාල වරදක් නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සංඛ්‍යාලේඛණ අනුව, 2014/15 අධ්‍යයන වර්ෂය තුළ ජීව විද්‍යා අංශයෙන් සරසවියකට ඇතුළු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපිරූ සිසුන්ගෙන් 26.97%කට කිසියම් අභ්‍යන්තර සරසවි පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව ලැබී ඇති නමුත් කලා අංශය තුළ ඒ අවස්ථාව හිමිව ඇත්තේ මූලික සුදුසුකම් ලද සිසුන්ගෙන් 12.57%කට පමණි. මේ අනුව, ඔහු පෙන්වන අනුපාතයට වඩා සැලකිය යුතු තරම් අඩුවෙන් වුවත් පැහැදිලි විෂමතාවයක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. වාණිජ අංශයේ මේ අනුපාතය 13.05%ක්ද, භෞතික විද්‍යා අංශයේ 33.82%ක්ද වේ. 2014/15 අධ්‍යයන වසරේ ජීව විද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් ලද සිසුන්ගෙන් 6.01% කට වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව හිමි වී තිබේ.

දත්ත වල මූලික වරදක් නැතත්, ඉන්දික කරුණාතිලකගේ විශ්ලේෂණය නිවැරදි නැත. මේ සංඛ්‍යාලේඛණ වලින් අදහස් වන්නේ භෞතික විද්‍යා හෝ ජීව විද්‍යා අංශයකින් සරසවිකට ඇතුළු වීම කලා හෝ වාණිජ අංශයකින් ඇතුළු වනවාට වඩා කිහිප ගුණයක් පහසු බව නොවේ.

මේ එක් එක් කුලකය තුළ සිටින්නේ අහඹු සිසු නියැදි නොවේ. තමන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විෂය ධාරාව කිසියම් සිසුවෙකුගේ පූර්ව තේරීමකි. කලා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද තමන්ට වෛද්‍ය පීඨයකට ඇතුළු වන්නට නොලැබෙන බව මුලින්ම තේරුම්ගෙන "තරඟයෙන් ඉවත් වූ" අයයි. එසේ නැතිව වෛද්‍ය වරයෙකු වන්නට කැමැත්තක් නැති නිසා කලා විෂය ධාරාව තෝරාගත් අයම නොවේ. ඒ නිසා, ඉන්දික කරුණාතිලක විසින් කරන සංසන්දනය නිවැරදි නැත. එමෙන්ම, ඉතා කලාතුරකින් අයෙකු හැර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ කරන සිසුන් සියල්ලන්ගේම වාගේ සිහිනය වෛද්‍ය පීඨයකට ඇතුළු වීම මිස අඩු වශයෙන් දන්ත වෛද්‍ය පීඨයකට ඇතුළු වීම හෝ නොවේ. ඒ අවස්ථාව ලැබෙන්නේ මූලික සුදුසුකම් සපුරන අයගෙන් 6%කට පමණි. (මෙහිදී, ඉන්දික කරුණාතිලකගේ තර්කය නිවැරදි නොවන බව පෙන්වා දෙනවා මිස උසස්පෙළ ජීවවිද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් සපුරන සියලු දෙනාටම වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම හිමි විය යුතු බව මා අදහස් කරන්නේ නැත.)

ඉන්දික කරුණාතිලකගේ තර්කයේ ඇති මූලික වැරැද්ද ඉහතින් පෙන්වූ කරුණක් නොවේ. ඔහු විසින් හිතාමතාම නොකියන දෙය සරසවි වරම් නොලබන කලා උපාධිධාරියෙකුට බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස රජයේ සරසවියක ලියාපදිංචි වී උපාධිය සම්පූර්ණ කිරීමට කිසිදු බාධාවක් නැති බවයි. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වන අයෙකුටද එවැනි විකල්ප අවස්ථාවන් තිබිය යුතුය.

පහතින් ඇත්තේ ඉන්දික කරුණාතිලක විසින් පාඨකයින් නොමඟ යැවීම සඳහා හිතාමතාම කරන තවත් වැරදි විශ්ලේෂණයකි.

"ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.


ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

 
පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත."




මේ කොටසින් ඉන්දික කරුණාතිලක විසින් පාඨකයාට පෙන්වන්නට හදන්නේ ඉන්දියාව හා නේපාලය වැනි රටවල ශ්‍රේණිගත කිරීම් පහළට වැටී ඇත්තේ එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගනන වැඩි වීම හේතුවෙන් බවයි.

ඉන්දික කරුණාතිලක විසින් මෙහි පෙන්වන ශ්‍රේණිගත කිරීම් පදනම් වන්නේ වසර 17කට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ පර්යේෂකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පත්‍රිකාවක් මත හෝ එය මූලාශ්‍රය කරගෙන පසුව ලියැවුණු පත්‍රිකාවකින් බව පෙනේ. එම පත්‍රිකාව අනුව අදාළ ශ්‍රේණිගත කිරීම් දත්ත නිවැරදිය.

එහෙත්, ඔහු විසින් හිතාමතා සැලකිල්ලෙන් තෝරා ගෙන ඇති රටවල් කිහිපයේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ඔහුගේ දත්ත හරියටම නිවැරදි නැත. නෙදර්ලන්තයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතැයි ඔහු කීවත් එරට  අඩු වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක් තිබේ. ඕස්ට්‍රේලියාවේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන තුනකි. කෙසේ වුවද ප්‍රශ්නය එය නොවේ.

මෙහි උඩ ලැයිස්තුවේ ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩිපුර නැති, ශ්‍රේණිගත කිරීම් අනුව උඩින් සිටින හිතා මතා තෝරා ගත් රටවල් කිහිපයකි. ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේම උඩින් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ගණනක් ඇති අදාළ පත්‍රිකාවේ ක්‍රමවේදය අනුව 37 වන ස්ථානයේ සිටින ඇමරිකා එක්සත් ජනපදය හෝ 144 වෙනි ඉතා පහළ තැනක ඇති චීනය වැනි රටවල් ඔහු විසින් බැහැර කරයි. අහඹු ලෙස රටවල් තෝරා නොගෙන තමන්ගේ මතය තහවුරු කිරීම සඳහා රටවල් තෝරා ගැනීම ශාස්ත්‍රාලීය වංචාවකි.

ඔහුගේ ක්‍රමවේදයේ ඇති වැරැද්ද පැහැදිලි කිරීමට මට ඉහතින් උපුටා දක්වා ඇති කොටස පහත සඳහන් පරිදි වෙනස් කර පෙන්විය හැකිය.

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් බටහිර වෛද්‍ය අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික  බටහිර වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.


ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික බටහිර වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් බටහිර වෛද්‍ය විද්‍යාව උගන්වන පීඨ වැඩිපුර තිබීම නිසා ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය හරහා ගොස් මා මෙහි ඇති දත්ත ලබාගත්තේ ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියෙනි.

මා මේ අභ්‍යාසය කළේ කිසියම් රටක බටහිර වෛද්‍ය පීඨ ගණන වැඩි වන විට සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය අඩුවන බව පෙන්වීම සඳහා නොවේ. ඉන්දික කරුණාතිලකගේ විග්‍රහය කොතරම් ප්‍රාථමික මට්ටමේ එකක්දැයි පෙන්වීමටය.

තව දුරටත් අවශ්‍යනම්, මට යටින් ඇති මුළු වෛද්‍ය විද්‍යාල ගණනින් උඩින් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන අඩු කර තවත් වගු දෙකක් ඉදිරිපත් කළ හැකිය. එවිට, ඉතිරි වන්නේ එක් එක් රටවල ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ ගණනයි. ඉතා පැහැදිලිවම, මෙහි තෝරාගෙන ඇති රටවල් කාණ්ඩ දෙකෙන් වැඩිම රාජ්‍ය වෛද්‍ය පීඨ ගණන ඇත්තේද ඉන්දියාව ඇතුළු දෙවන කාණ්ඩයේ රටවලය. ඉන්දික කරුණාතිලකගේ තර්කය අනුව යන්නේනම්, මේ රටවල් සෞඛ්‍ය සේවාවන් ශ්‍රේණිගත කිරීම් අනුව පහතට වැටී තිබෙන්නේ රාජ්‍ය වෛද්‍ය පීඨ ගණන වැඩි වීම නිසා බව කියන්නට පුළුවන.

එහෙත්, මා එසේ කියන්නේ නැත. වෛද්‍ය පීඨයක අයිතිය රජය සතුද නැද්ද යන්න එහි ගුණාත්මක භාවය කෙරෙහි බලපාන ආකාරය මේ තරම් සරලව නිගමනය කළ නොහැකිය.

වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවයත්, ඒ වෙනුවෙන් යොදවන සම්පත් ප්‍රමාණයත් අතර සම්බන්ධතාවයක් තිබේ. අනෙකුත් සාධක නියතව ඇත්නම්, සම්පත් වැඩියෙන් යොදවන තරමට ගුණාත්මක භාවය වැඩි වේ. වෛද්‍ය පීඨයක් ලාභ පිණිස පවත්වාගෙන යන විට, ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සම්පත් වැඩියෙන් යෙදවීම හා ලාභ වැඩි කරගැනීම යන අරමුණු අතර ගැටුමක් ඇති වේ. එහෙත්, ගුණාත්මක භාවය අඩුවන විටද ඉල්ලුම අඩු වී ලාභ අඩු වේ. ඒ නිසා, ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය හා ලාභ ප්‍රසස්ථ සමතුලිතතාවයකට පැමිණේ.

ලාභ සඳහා නොවන, එහෙත් මුදල් අයකරන පෞද්ගලික හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මෙයින් වෙනස් වන්නේ කෙසේද? මෙවැනි ආයතනයක අරමුණ ලාභ ලැබීම නොවූවත්, පාඩු ලබමින් ආයතන පවත්වා ගත නොහැකිය. ඒ නිසා, මෙවැනි ආයතනයක ලාභ දිගුකාලීනව ශුන්‍ය මට්ටමේ පවත්වා ගැනේ. ආදායම් හා වියදම් අතින් මෙවැනි ආයතනයක් ලාභ ලබන ආයතනයකින් වෙනස් වන්නේ එම හේතුව නිසා පමණි. ලාභ සඳහා වූ වෛද්‍ය විද්‍යාලයකට සාපේක්ෂව මෙවැනි වෛද්‍ය විද්‍යාලයකට ගුණාත්මක භාවය ඉහළ දැමීම වෙනුවෙන් වැඩිපුර ආයෝජනයක් සිදු කළ හැකිය. මේ නිසා ගුණාත්මක භාවය "සමතුලිත මට්ටමට" වඩා ඉහලින් පවත්වා ගන්නට හැකි වන්නට ඉඩ තිබේ.

තරඟකාරී වෙළඳපොලක ආයතන දෙකක් විසින් එකම මිල අය කරන්නේනම් ගුණාත්මක භාවය වැඩි තැනට මිස අඩු තැනට යන්නට කිසිවෙකු කැමති නැත. එසේනම්, මෙවැනි ආයතන වර්ග දෙකක් පැවතිය හැකිද?

මෙය සිදු විය හැකි ආකාර කිහිපයක් තිබේ.

1. ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීම අපහසු විය හැකිය. සියලු දෙනාගේම පළමු තේරීම එය නිසා එම වෛද්‍ය විද්‍යාලය විසින් හොඳම සිසුන් තෝරා ගන්නා අතර ඉතිරි වන දෙවන පෙළ සිසුන් ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයට යන්නට පුළුවන.

2. ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයේ මිල තරමක් වැඩි විය හැකිය. එවිට සිසුන්ට ඇති වැඩි මිලක් ගෙවා වැඩි ගුණාත්මක භාවයක් ඇති තැනට යාමේ හා අඩු මිලකට අඩු ගුණාත්මක භාවයක් ඇති තැනට යාමේ තේරීම් තුළ වෙළදපොල සමතුලිත වේ.

3. ලාභ අරමුණක් නැති නිසා ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලය වඩා අකාර්යක්ෂම විය හැකිය. ලාභ සඳහා කටයුතු කරන වෛද්‍ය විද්‍යාලය අකාර්යක්ෂම වුවහොත් ඔවුන්ට වෙළඳපොළෙන් ඉවත් වන්නට සිදු වේ. එහෙත්, ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයට පාඩු නොලබන තාක් කල් වෙළඳපොළේ රැඳී සිටිය හැකිය. ගුණාත්මක භාවය ලාභ ලබන ආයතනයක මට්ටමේ පවත්වාගැනීම ප්‍රමාණවත් වන අතර මිලද ඒ මට්ටමේ පවත්වා ගැනීම ප්‍රමාණවත්ය. මෙහිදී ලාභ නොලැබීම නිසා කිසිවකුට වාසියක් නොසැලසේ.

මේ දෙආකාරයේ වෛද්‍ය විද්‍යාල අතර සමතුලිතාවක් ඇති තැන් වල මේ කරුණු තුනම යම් ප්‍රමාණයකට සිදු වන බව පෙනේ.

ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වල ආකෘතිය වෙනත් බොහෝ රටවල ඇති ආකෘතිය නොවේ. මේ වෛද්‍ය විද්‍යාල වලට වැය කරන මුදලට සරිලන දෙයක් ලබා නොදෙන තරමට අකාර්යක්ෂම වුවද තවදුරටත් රැඳී සිටිය හැකිය. මා මෙයින් අදහස් කරන්නේ එය එසේ සිදුවන බව නොවේ.

මේ ආකෘතියේ වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය රඳා පවතින්නේ යොදවන සම්පත් ප්‍රමාණය මතය. සම්පත් වැඩියෙන් යොදවන තරමට (වෙනත් කරුණු නොවෙනස්ව ඇත්නම්) ගුණාත්මක භාවය ඉහළ යයි. එහෙත්, අකාර්යක්ෂමතාවයන් නිසා යොදවන අරමුදල් සියල්ලම ගුණාත්මක භාවය වැඩි කිරීමට හේතු නොවේ,

කාර්යක්ෂම ලෙස කළමනාකරණය කෙරෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයකට වෙළඳපොළ ප්‍රසස්ථ මට්ටම ඉක්මවන තරමට සම්පත් යෙදවීමෙන් එහි ගුණාත්මක භාවය නිදහස් වෙළඳපොළක ඇති සමතුලිත මට්ටමට වඩා වැඩි කළ හැකිය. ඇතැම් සමාජවාදී රටවල් විසින් මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින්ද එසේ කර තිබේ. එහෙත්, මෙහිදී ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා යෙදවෙන්නේ වෙනත් බොහෝ දේ වෙනුවෙන් යෙදවිය හැකි සීමිත සම්පත්ය. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය "ඕනෑවට වඩා" වැඩි කිරීමෙන් යහපතක් සැලසෙන නමුත්, ඒ සඳහා යෙදවුණු මුදල් යෙදවිය හැකිව තිබුණු වෙනත් ව්‍යාපෘතියක් සිදු නොවීම නිසා සිදුවන අයහපත බොහෝ විට ඊට වඩා වැඩිය.

අපේ දකුණු ආසියානු අසල්වැසියන් වෙත නැවත පැමිණියහොත්, එම රටවල සෞඛ්‍ය සේවාවන් වල ශ්‍රේණිගත කිරීම් හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන අතර පෙනෙන්නට තිබෙන සම්බන්ධයට හේතුව දෙවැන්න නිසා පළමුවැන්න සිදු වීම නොවේ. එම රටවල සෞඛ්‍ය සේවා සැපයුම් ඉහළ මට්ටමක නොතිබීම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට අවකාශයක් ඇති වීමයි. මේ අනුව, එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබුනානම් එම රටවල ශ්‍රේණිගත කිරීම් තවත් පහළට වැටෙන්නට ඉඩ තිබුණා වන්නටද පුළුවන.

මේ අයුරින්ම, ඉන්දික කරුණාතිලක ආඩම්බර වන ලංකාවේ 76 වන ස්ථානය ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබීමේ හොඳ ප්‍රතිඵලයක් ලෙස ඔහු පෙන්වා දෙන නමුත්, ලංකාවේත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් තිබුණානම් මේ ස්ථානය මීට වඩා අඩු එකක් (50 හෝ 60 වැනි) විය හැකිව තිබුණු බව මට යෝජනා කරන්නට පුළුවන. එසේනම්, ඇත්තටම 76 ස්ථානය යනු නරක ප්‍රතිඵලයකි. මගේ යෝජනාව තහවුරු කිරීමට මා විසින් වැඩිදුර කරුණු ඉදිරිපත් කර නැති නිසා එය බරපතල ලෙස ගත යුතු නැති වුවත් ඉන්දික කරුණාතිලකගේ තර්කයේද ඊට වඩා කිසිදු බරපතලකමක් නැත.

පහතින් ඇත්තේ ඉන්දික කරුණාතිලකගේ ලිපියෙන් උපුටාගත් තවත් කොටසකි.

"ඉන්දියාව යනු ලෝකයේ වැඩිම පෞද්ගලික සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පවතින රටයි. නමුත්, ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් විදේශගත වන රට වන්නේ ද ඉන්දියාවයි. එය ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය සලකා බැලීමෙන් වටහාගත හැක."


මේ සංඛ්‍යාලේඛණ නිවැරදි විය නොහැකිය. එසේනම්, මූලාශ්‍ර ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව, කැනේඩියානුවන්ට හැර වෙනත් රටවල සිසුන්ට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම ඉතාම අසීරු කටයුත්තකි. ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් කර ගන්නේ වසර හතරක මූලික උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති අයයි. මේ උපාධි පාඨමාලාවට වෛද්‍ය විද්‍යාව හැදෑරීමේදී වැදගත්වන මූලික විෂයයන් ඇතුලත්ව තිබිය යුතුය. තවත් බොහෝ දේ සලකා බැලීමෙන් පසු අවසන් තේරීම කරන්නේ සම්මුඛ පරීක්ෂණයකින් පසුවය.

ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයේ (AAMC) දත්ත අනුව, 2016/17 දී ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කරගැනුණු සිසුන් 21,030ක් අතරින් නීත්‍යානුකූල පදිංචිය ඇමරිකාවේ නොවූ අය සිටියේ 112ක් පමණි. ඇමරිකානු පුරවැසියන් හෝ ස්ථිර නේවාසිකත්වය (Green card) නොලැබූ අය සිටියේද 269 දෙනෙකු පමණි. මේ බොහෝ දෙනෙකුද ඇමරිකාව සිය රට ලෙස තෝරාගෙන ඇති නමුත් තවමත් ස්ථිර නේවාසිකත්වය නොලැබුණු, බොහෝ විට ස්ථිර නේවාසිකත්වය අයදුම්කර බලාපොරොත්තුවෙන් සිටින අයයි.

වෛද්‍ය විද්‍යාල මට්ටමේ දත්ත ඉහත වෙබ් අඩවියෙන් ලබාගත හැක්කේ එහි සාමාජිකත්වය ඇති අයට පමණකි. ඒ දත්ත ඇසුරෙන් වෙනත් අයෙකු පලකළ වගුවක් මෙහි තිබේ.

ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි කර ගන්නා විදේශ සිසුන් ප්‍රතිශතය 1% පමණ වන බව මේ දත්ත අනුව පෙනී යනු ඇති අතර එයින්ද වැඩි පිරිසක් පැමිණෙන්නේ කැනඩාවෙනි.

මා හිතන පරිදි ඉන්දික කරුණාතිලක කතා කරන්නේ ඇමරිකානු ඉන්දියානුවන් ගැන විය යුතුය. ඇමරිකානු වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සිසුන් අතර ඉන්දියානු හා චීන සම්භවයක් ඇති සිසුහු විශාල පිරිසක් සිටිති. එහෙත්, මේ අය ඇමරිකානුවෝ මිස ඉන්දියානුවෝ නොවෙති. ඇමරිකාවේ උපත ලබා ඇති මේ සිසුන් බොහෝ දෙනෙකු ඇතැම් විට ඉන්දියාවට කෙදිනක හෝ ගොස් නැත.

එමෙන්ම, යම් හෙයකින් ඉන්දියානු සිසුන් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විශාල වශයෙන් ඇමරිකාවට ගියේයැයි සිතුවද, එයට විවිධ හේතු තිබිය හැකිය. ඔහුගේ තර්කය අනුව, ලංකාවේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා විශාල වශයෙන් ඉන්දියාවට, බංග්ලා දේශයට හා නේපාලයට යන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න නිසාද?

ඉන්දික කරුණාතිලක විසින් ලියා ඇති සියලු දේ බොරු නොවේ. ඔහුගේ ලිපියේ ඇති බොහෝ දේ සමඟ මට එකඟ විය හැකිය. ඔහු සඳහන් කරන ඉහත "දුර්මත" පැහැදිලි සත්‍යයන්ද නොවේ. එහෙත්, ඔහුගේ විග්‍රහය ඉතා පැහැදිලිවම පක්ෂග්‍රාහීව හා වගකීමකින් තොරව ලියා ඇති ලිපියකි.

ඕනෑම පුද්ගලයකුට තමන්ගේ මතය වෙනුවෙන් පක්ෂග්‍රාහී ලෙස ලියන්නට අයිතියක් තිබේ. බොහෝ දෙනා එසේ ලියති. සමාජ ජාලා ව්‍යාප්තිය සමඟ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ අදහස් විශාල පිරිසක් වෙත ගෙනයාමේ ඉඩකඩ විවරව ඇති අතර මේ තත්ත්වය තුළ ඉන්දික කරුණාරත්න වැනි ශාස්ත්‍රාලීය තනතුරු දරන්නට, විෂය ප්‍රවීණයන්ට හා විශේෂඥයින්ට තිබුණු වටිනාකම අඩු වෙමින් පවතී. පුද්ගලයින්ට තිබුණු තැන අදහස් වලට ලැබී ඇත.

මේ තත්ත්වය දියුණුවක් වන්නා සේම එහි නිශේධනාත්මක පැත්තක්ද තිබේ. ඒ, සාමාන්‍ය පුද්ගලයෙකුට නිවැරදි තොරතුරු තෝරා බේරා ගැනීම අපහසු වීමයි. මේ අලුත් තත්ත්වයට විෂය ප්‍රවීණයන් හා විශේෂඥයින් ප්‍රතිචාර දැක්විය යුත්තේ තමන් ඉදිරියේ ඇති අභියෝගය හඳුනාගෙන තමන්ගේ විශේෂත්වය පෙන්වීමෙනි. එය කළ යුත්තේ ලිපියක අන්තර්ගතය තුළ වෙනස පිළිබිඹු වන්නට හැරීමෙන් මිස, පක්ෂග්‍රාහී හා සැලකිල්ලෙන් නොලියු ලිපියකට තමන්ගේ සුදුසුකම් ඈඳීම හරහා නොවේ.

කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙකු ලෙස ඉන්දික කරුණාතිලක විසින් ලියන ලිපියක් මඟින් ඔහු සමාජයට ප්‍රදර්ශනය කරන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේම පිළිබිඹුවක් බව ඔහු විසින් අමතක නොකළ යුතුය.

(Image: http://blogs.jpmsonline.com/2012/08/13/towards-improving-medical-education-whats-new-in-medicine/)

Monday, June 26, 2017

දොස්තර වර්ජන නිසා ලෙඩ්ඩු මැරෙනවද?


වෛද්‍යවරුන්ගේ සේවා වර්ජන සිදුවන අවස්ථා වලදී මරණ ප්‍රමාණය ඉහළ යන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. එය බැලූ බැල්මටම ඉතා තර්කානුකූල අදහසකි. එහෙත්, පර්යේෂණ අධ්‍යයන විශාල ගණනකින් පෙනී ගොස් ඇත්තේ එහි අනිත් පැත්තයි. වෛද්‍ය වර්ජනයක් සිදුවන බොහෝ අවස්ථා වලදී ඇත්තටම සිදු වී ඇත්තේ මරණ අනුපාතිකය පහත වැටීමයි.

මේ කරුණ අධ්‍යයනය කර පළ කර ඇති පර්යේෂණ පත්‍රිකා පිළිබඳ විමර්ශනයක් 2008 වසරේදී සෝෂල් සයන්ස් ඇන්ඩ් මෙඩිසින් විමර්ශිත ජර්නලයේ පළ විය. එහිදී, විමර්ශනයට ලක් කෙරුණු පර්යේෂණ පත්‍රිකා හතෙන් හතරකින්ම පෙන්වා දී තිබුණේ වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකය අඩු වන බවයි. වෛද්‍ය වර්ජන හේතුවෙන් මරණ අනුපාතිකයට බලපෑමක් නොවන බව ඉතිරි පර්යේෂණ පත්‍රිකා තුනෙන් පෙන්වා දී තිබුණේය. ඉන් පසුව පළ කෙරුණු පර්යේෂණ පත්‍රිකා වලින්ද ඉහත කරුණ තව දුරටත් තහවුරු කර තිබුණු අතර වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකය ඉහළ යන බව මෙතෙක් පෙනී ගොස් ඇත්තේ එක් පර්යේෂණ අධ්‍යයනයකදී පමණි.

එසේනම්, දොස්තරලා වර්ජනය කිරීම ලෙඩ්ඩුන්ට හොඳද?

වෛද්‍ය වර්ජනයක් සිදු වන විට වහාම සිදු කළ යුතු නැති ශල්‍ය කර්ම සිදු නොවේ. මෙවැනි ඇතැම් ශල්‍ය කර්මයක් කිරීමෙන් පසු පළමු දෙසතියක පමණ කාලය තුළ රෝගියා මිය යාමට සැලකිය යුතු ඉඩකඩක් තිබේ. වෛද්‍ය වර්ජනය නිසා එවැනි මරණ සිදු වීම කල් යයි. ඒ හේතුවෙන් කෙටිකාලීනව මරණ අනුපාතිකය පහත වැටේ. ඇතැම් පර්යේෂණ පත්‍රිකා වල පෙන්වා ඇති පරිදි වෛද්‍ය වර්ජනයක් අවසන් වූ පසු මරණ අනුපාතිකය ඉහළ යයි. මේ නිරීක්ෂණය ඉහත පැහැදිලි කිරීම සමඟ සැසඳේ.

ලංකාවේ මෙන්ම වෙනත් බොහෝ රටවලද වෛද්‍ය වර්ජන සිදු කරන අවස්ථා වලදී අසාධ්‍ය ලෙඩුන් සඳහා දිගටම ප්‍රතිකාර සිදු කෙරේ. වෙනත් විදිහකින් කියනවානම් වර්ජනය තිබුණා කියා මැරෙන්නට යන බව පෙනෙන අසාධ්‍ය ලෙඩෙක් මැරෙන්නට හැරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ. මරණ අනුපාතිකය පහත නොවැටීමට මෙයද හේතුවකි.

වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකයට ඇති බලපෑම දිගුකාලීන එකකි. මෙවැනි අවස්ථාවක අසාධ්‍ය නොවන රෝගීන්ගේ රෝග විනිශ්චය කිරීම් සිදු නොවන බැවින් එවැනි දේ කල් දැමේ. මේ හේතුව නිසා, බොහෝ රෝගීන්ගේ එකවර පෙනෙන්නට නැති රෝග තත්ත්වයන් හඳුනා ගනු ලැබීම ප්‍රමාද වේ. එහි අවසන් ප්‍රතිඵලය මරණය වන්නට පුළුවන. කෙසේ වුවද, වෛද්‍ය වර්ජන වල කෙටිකාලීන බලපෑම ගැන මිස දිගුකාලීන බලපෑම ගැන පුළුල් අධ්‍යයනයන් සිදු කෙරී නැත.


(Image: https://www.thelocal.de/20120110/40021)

Friday, June 23, 2017

මරාගෙන මැරෙන්නට පෙර...


සයිටම් විරෝධී අරගලය මරාගෙන මැරෙන සටනක් බවට පරිවර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. එය කණගාටුදායක තත්ත්වයකි. මේ ගැන ලිවිය යුතු බොහෝ දේ වෙනත් තැන් වල ලියැවී ඇතත්, කරුණු සිදුවේගෙන යන ආකාරය පෙනෙන විට යමක් නොලියා සිටිය නොහැකිය.

මේ අරගලයත්, අසූව දශකයේදී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඇරඹුණු අරගලයත් අතර බොහෝ සමානකම් ඇති අතර කැපී පෙනෙන වෙනස්කම්ද තිබේ. සයිටම් විරෝධී අරගලයේ ශක්තිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෛද්‍යවරුන් වුවත්, එහි ගාමක බලවේගය වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ය. ඔවුන් පසුපස සිටින දේශපාලන බලවේගය පෙසපෙ විය යුතුය. එහෙත්, අරගලයට සම්බන්ධ සරසවි සිසුන්ගෙන් බහුතරය වැඩිම වුනොත් පෙසපෙට අනුකම්පාව දක්වන්නන් මිස පෙසපෙ කාඩර් වරුන් හෝ සාමාන්‍ය සාමාජිකයින් විය නොහැකිය.

අරගලය හා සම්බන්ධව සිටින වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වෘත්තීය (ආර්ථික) ප්‍රශ්නයක් වුවත්, සංගමයේ නිලධාරීන්ට දේශපාලන අරමුණුද ඇති බව පෙනේ.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැන නැඟුණු අරගලය හා එයින් පසුව සිදුවුණු ක්‍රියාදාමය අවසන් වුණේ 1989 පමණ වෙද්දීය. පෞද්ගලික අත්දැකීම්ද ඇතුළුව මේ කාලය ගැන ලියන්නට ඕනෑ තරම් දේවල් ඇතත් කෙළවරක් නැති ලියවිල්ලක් විය හැකි මෙය අපි අනාගතයට තබමු. එතැන් සිට, මේ වන තුරු, වසර 28ක් ගෙවී ගොස් තිබේ. අද වයස අවුරුදු 35ක් වන අයෙකු ඒ වන විට අවුරුදු හතක දරුවෙකි. සයිටම් විරෝධී අරගලය වෙනුවෙන් පෙළ ගැසී සිටින සරසවි සිසුන් සියලු දෙනාම වාගේ ඒ යුගයෙන් පසුව ඉපදුණු අයයි. සයිටම් විරෝධී තරුණ වෛද්‍යවරුන්ගෙන් කොටසක්ද ඒ යුගය ගැන මතකයක් නැති අයයි.

එපමණක් නොවේ. සයිටම් විරෝධී සටන් මර්දනය කිරීමට පෙරමුණට යැවෙන පොලිස් නිලධාරීන්ද දශක හතරකට පෙර සිදුවුණු ක්‍රියාදාමය ගැන තමන්ගේම වූ අත්දැකීම් නැති අයයි. වත්මන් ක්‍රියාදාමය තවත් ඉදිරියට ඇදී ගියහොත් මර්දනය සඳහා යොදාගනු ඇත්තේද, එම යුගය ගැන අත්දැකීම් නැති බහුතරයකගෙන් සමන්විත තරුණ ආරක්ෂක හමුදා සාමාජිකයින් කණ්ඩායමකි.

සටනේ ඉදිරිපෙළ තත්ත්වය මෙසේ වුවත්, පසුපෙළ තත්ත්වය එසේ නොවේ. පසුබිමේ සිට අරගලය මෙහෙයවන්නේත්, අරගලයට ප්‍රතිපක්ෂව සිටින්නේත් අසූව දශකය ගැන මනා අත්දැකීම් ඇති අයයි. මේ දෙපිරිසම පසුගිය වර සාර්ථක වූ උපාය මාර්ගයන් නැවත අත්හදා බලන්නටත්, අසාර්ථක වූ උපාය මාර්ග ගැන සැලකිලිමත් වන්නටත් පරිස්සම් වනවා විය යුතුය. නරකම
ත්ත්වයන් යටතේ, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ වඩා දිග්ගැස්සුණු, වඩා විනාශකාරී ඝට්ඨනයකි. කොරහේ කිඹුලන් සිටිය නොහැකි වුවත් හූනන් මෙන් පෙනෙන්නේ කිඹුල් පැටවුන් වන්නට බැරි නැත.

හැත්තෑ එකේ සිට අසූ අට/ අසූ නවය දක්වා පැමිණෙද්දී සිදු වුණේද මෙවැන්නකි. පළමු අවස්ථාවේදී මාස දෙක තුනකින් අවසන් වූ ගැටුම, දෙවන අවස්ථාවේදී වසර දෙක තුනක්ම දිග් ගැසුණේය. දෙවන වර සිදු වූ ආර්ථික හා සමාජයීය විනාශය පළමු වර මෙන් කොපමණ ගුණයක්ද කියා මා මෙහි විස්තර කරන්නට යන්නේ නැත. මේ ගැටුම් දෙකේ දිගුවක් ලෙස යම් හෙයකින් සිදු විය හැකි තෙවන ගැටුමක් ලංකාවේ සමාජය විසින් පෙර අත්දැක නැති තරම් විනාශකාරී විය හැකි අතර, කාලයක් තිස්සේ ලංකාව විසින් ලබාගෙන ඇති කිසියම් ආර්ථික හා සමාජයීය ජයග්‍රහණයන් ඇත්නම් ඒ සියල්ල නැවත විශාල කාලයකට ගොඩනැගිය නොහැකි වන පරිදි ආපසු හරවනු ඇත.

පෙර නොවූ වීරූ අති විශාල ජනවරමක් ලබා ජේආර් ජයවර්ධන බලයට පත් වීමෙන් වසර දෙක තුනකට පසුව, 1980දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙරෙන විට, වසර කිහිපයකට පසුව එයට විරුද්ධව ඇති වූ ප්‍රතිරෝධයට සාපේක්ෂව, එයට විශාල ප්‍රතිරෝධයක් ඇති වුනේ නැත. ජේආර් ජයවර්ධන රජය විසින් එම වසරේ ජූලි මාසයේදී රාජ්‍ය සේවක වැඩ වර්ජනය මර්දනය කර තිබූ ආකාරය අනුව එවැනි ප්‍රතිරෝධයක් දැක්වීමට ලොකු ඉඩක් තිබුණේද නැත. මෙයට සාපේක්ෂව එයින් වසර කිහිපයකට පසු රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසුණු අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධතාවන් රට පුරාම පුළුල් මට්ටමින් සිදු විය. ඇතැම් විට පළමු අවස්ථාව වන විට ජවිපෙ සරසවි තුළ ප්‍රමුඛ බලවේගය ලෙස සංවිධානය වී නොතිබීමත්, දෙවන අවස්ථාව වන විට එසේ සංවිධානය වී තිබීමත් මෙයට හේතු වූවා විය හැකිය. අසූව දශකයේ මුල කාලයේ සරසවි ඇතුළත පැවති දේශපාලන බලතුලනය ගැන මට වැඩි අදහසක් නැත.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධය නැවත මතු වුණේ එහි ඉගෙනුම ලැබූ පළමු ශිෂ්‍ය කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාලයේ MBBS උපාධිය පිරිනැමීමට සූදානම් වීමත් සමඟය. මේ කාලය වන විට (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හැර) ලංකාවේ වෛද්‍ය පීඨ තිබුණේ හතරක් පමණි. ඒ කොළඹ, පේරාදෙණිය, කරාපිටිය (රුහුණ) හා යාපනය වෛද්‍ය පීඨයි. මගේ අදහස පරිදි ඒ වන විට කරාපිටියේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් උපාධිය ලබා පිටවී නොතිබුණු අතර යාපනය වෛද්‍ය පීඨයෙන්ද වැඩිම වුනොත් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් වෛද්‍ය වෘත්තියට පිවිස තිබෙන්නට ඇත.

ඒ කාලයේ, වෛද්‍යවරයෙකු වීමේ සිහිනය තිබූ බොහෝ දෙනෙකුගේ ඉලක්කය වූයේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමයි. ලංකාවේ බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලබාදුන් පැරණිම ආයතනයක් වූ කොළඹ වෛද්‍ය පීඨයේ MBBS උපාධියට ඒ වන විට රටේ විශාල පිළිගැනීමක් තිබුණේය. පේරාදෙණියේ වෛද්‍ය උපාධියටද විශාල පිළිගැනීමක් තිබුණත් පේරාදෙණිය සිටියේ කොළඹට පිටුපසිනි. රටේ බොහෝ දෙනෙක් මෙඩිකල් කොලේජ් එක කියා දැන සිටියේ කොළඹ වෛද්‍ය පීඨයයි.

යාපනය වෛද්‍ය උපාධියට තිබුණු ඉල්ලුම ගැන මට අදහසක් නැතත්, කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ මුල් කණ්ඩායම් වලට තේරුණු මා දැන සිටි බොහෝ දෙනෙක් ඒ කාලයේ සිටියේ කොළඹට හෝ පේරාදෙණියට යන්නට නොලැබීම ගැන කනස්සල්ලෙනි. ඔවුන් වැඩි දෙනෙකුගේ අදහස වුනේ රුහුණෙන් තමන්ට ලබාගන්නට වෙන්නේ කොළඹින් හා පේරාදෙණියෙන් ලැබෙනවාට වඩා "බාල" උපාධියක් බවයි. ඒ වන විට, රුහුණෙන් පිටවූ වෛද්‍යවරුන් රජයේ සේවය තුළ නොසිටි නිසා, අනාගතයේදී රජයේ රැකියා ලබාදීමේදී කොළඹට හා පේරාදෙණියට ප්‍රමුඛතාවය දීමෙන් අනතුරුව දුෂ්කර පත්වීම් පමණක් තමන්ට ඉතිරි වෙනු ඇතැයි වැනි අදහසක්ද ඔවුන්ට තිබුණේය. වෘත්තියෙන් පිටත, විවාහ වෙළඳපොළ වැනි තැන් වලදී හා සමාජ ජීවිතයේදීද (සිංහ හෝ රොටරි සමාජයක සාමාජිකත්වය ගැනීම වැනි) වෛද්‍ය උපාධිය ගත් තැන අනුව වෙනසක් තිබුණා විය හැකිය.

උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට තබා ජීව විද්‍යාව හැදෑරීම සඳහාවත් තේරෙන්නට අසමත්ව සිටියදී, මුදල් ගෙවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ පිරිසකට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනමන්නට සූදානම් වුණේ මෙවැනි පසුබිමකය. මෙය ප්‍රශ්නයක් වුණේ වෛද්‍ය ශිෂ්‍යයන්ට පමණක් නොවේ.

සරසවි සිසුන් විසින් බොහෝ විට මානසිකව උපාධි ධුරාවලිය තුළ තමන්ගේ උපාධියට තිබෙන තැන ස්ථාපනය කර ගත්තේ වෛද්‍ය උපාධියට සාපේක්ෂවය. වෛද්‍ය උපාධි අතරින්ද උඩින්ම තිබුණේ කොළඹ වෛද්‍ය උපාධියයි.
එවක බොහෝ සරසවි සිසුන් විසින් සිතූ පරිදි, උසස්පෙළ විභාගයෙන් සරසවි පිවිසුම් මූලික සුදුසුකම් සැපිරීමටද නොහැකි වූවන්ට මුදල් ගෙවා ඇතුළු විය හැකිව තිබුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන්නන් වෙනුවෙන් ලැබිය යුතුව තිබුණු උපාධිය උපාධි ධුරාවලියේ පහළින්ම තිබිය යුත්තක් විය. පසුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන ඉදිරියට ඇදී යද්දී අන්තරේට සම්බන්ධ සරසවි සිසුන් විසින් අපව දැනුවත් කළ පරිදි, රාගම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවශ්‍ය මූලික සුදුසුකම උසස්පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් වූ අතර, එයද නැති අයත්, ගෘහ විද්‍යාව වැනි විෂයයන්ගෙන් උසස් පෙළ සමත් වූ අයද එහි ඉගෙනුම ලබමින් සිටියහ. මේ තොරතුරු වලට පදනමක් තිබුණේදැයි මා අදටත් දන්නේ නැත.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කොළඹ සරසවියේ උපාධිය දීමේ ඇත්තටම ප්‍රශ්නයක් තිබුණේය. එය පැහැදිලි ප්‍රශ්නයක් විය.


උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධය ඇති වන කාලය වන විටද සරසවිය සමජාතීය සිසුන්ගෙන් සැදුම්ලත් තැනක් නොවීය. වෛද්‍ය පීඨ සිසුන්ට තිබුණු රැකියා සුරක්ෂිතභාවය හා සමාජ පිළිගැනීම කලා පීඨ වල සිසුන්ට නොතිබුනේය. තනි තනිව ගත් විට වෙනස් උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැකි වුවත්, වෛද්‍ය පීඨ සිසුවෙකුගේ සාමාන්‍ය සමාජ ආර්ථික පසුබිමද, කලා පීඨ සිසුවෙකුගේ එම පසුබිමට වඩා තරමක් උඩින් තිබුණේය. මේ ආදී හේතු නිසා ඒ කාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ශිෂ්‍ය සටන් වෙත ආකර්ෂණය වුනේ කලාතුරකිනි. අනෙක් බොහෝ පාඨමාලා වලට සාපේක්ෂව වැඩ අධික හා අමාරු පාඨමාලාවක් හදාරමින් සිටි ඔවුන්ට ශිෂ්‍ය සටන් වලට වඩා වැදගත් වැඩ තිබුණේය. කොළඹ වෛද්‍ය පීඨය තුළ මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුනේය.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය වෙනත් ශිෂ්‍ය සටන් වලින් කැපී පෙනුණු ප්‍රධාන කරුණක් වූයේ (ඇතැම් විට මුල් වරට) වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් විශාල පිරිසක් ශිෂ්‍ය සටනක් වෙත ආකර්ශනය කරගන්නට හැකි වීමයි. ඒ කාලයේ සරසවි සිසුන් වූ ඇතැම් අයගේ වචන වලින් කියන්නේනම් "මෙඩ්ඩෝ එළියට ගත්තා කියන්නේ" ශිෂ්‍ය ව්‍යාපාරයට ලබා ගත හැකිව තිබුණු විශාල ජයග්‍රහණයකි. මේ සමඟම විශ්ව විද්‍යාල ඉතිහාසය පුරාම දේශපාලන මතවාද අනුව බෙදී, විවිධ දේශපාලන පක්ෂ හෝ කල්ලි වටා එකතුව සිටි සිසු කණ්ඩායම් වලින් සමන්විත වූ ශිෂ්‍ය ව්‍යාපාරයට (යාපනය සරසවිය හැර) සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම ව්‍යාප්ත වුනු, ශිෂ්‍ය දේශපාලනයට අමතරව මතු පිටින් පෙනෙන වෙනත් දේශපාලනයක් නැති, තනි ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස හිස ඔසොවන්නට හැකි විය.

ඉහත කී ලෙස මෙඩ්ඩන්ද එළියට බැසීමට හේතු වුණේ පළමු වරට ඔවුන්ටද රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ සැකයක් මතු වීමයි. වඩාත් නිවැරදිව කියනවානම්, එවැනි සැකයක් ඔවුන් තුළ පැල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවන්ට හැකි වීමයි. රස්සා නැතුව වේලෙන ආටන්ගේ තත්ත්වයට පත් වන්නට සිදුවීම මෙන්ම සමාජ ධුරාවලිය තුළ තමන්ගේ තැන පසු කර ඉහළට යාමේ විභවයක් ඇති පිරිසක් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට පිටතින් මතු වීම මෙඩ්ඩන්ට පෙනෙන්නට වූ භයංකාර සිහිනයක් විය. ඒ අනුව, සටන් පෙරමුණට මෙඩ්ඩන්ගේ දායකත්වයද ලැබුණේය.

ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරමුණට ආ මෙඩ්ඩන් ගණන ඉතා විශාල නොවූවත් එසේ පැමිණි අයට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ විශේෂ තැනක් හිමි විය. මෙය ජවිපෙ තුළ සිටින සීමිත දෙමළ, මුස්ලිම් හෝ කාන්තා නියෝජිතයින්ට විශේෂ තැනක් ලැබෙනවාක් වැනි තත්ත්වයකි. ඒ, ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට ගෙන යාමේදී මෙඩ්ඩන්ගේ සංකේතාත්මක වැදගත්කම ඉතා විශාල වූ බැවිනි. සම්ප්‍රදායික "අල පාත්ති" වූ මෙඩ්ඩන්ද සටන් පෙරමුණට පැමිණ සිටිද්දී වෙනත් පීඨයක සිසුවෙකුට මේ "ශිෂ්‍ය ව්‍යාපාරයේ උර මත පැටවුණු ඓතිහාසික වගකීම" මග හැර මෙඩ්ඩෙකුටත් වඩා අලයෙකු වීමේ හැකියාවක් නොතිබුණේය.

අසූව දශකය වන විට ලංකාවේ උපාධිධාරී බටහිර වෛද්‍යවරුන් සිටියේ අද සිටිනවාට වඩා බොහෝ අඩු ගණනකි. ඒ නිසා, ඔවුන්ට වෙළඳපොළ තරඟය ලොකු ප්‍රශ්නයක් වුණේ නැත. වෙළදපොළ තරඟය තුළ ඔවුන්ට පෙර එළියට විසිවෙන්නට නියමිතව සිටි සහකාර වෛද්‍යවරුන් වැනි වෙනත් පිරිස්ද සිටි නිසා ඔවුන්ට ළඟ පෙනෙන තර්ජනයක් නොපෙනුණේය. ඒ නිසා, වෛද්‍ය සිසුන් මුහුණ දුන් තරමේ ප්‍රශ්නයකට එවකට වෘත්තියේ නියැලෙමින් සිටි වෛද්‍යවරුන්ට මුහුණ දෙන්නට සිදු වුනේ නැත.

අද වන විට ලංකාවේ රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ට වඩා පහළින් වෙනත් කණ්ඩායම් නැති අතර ඔවුන් අතර තරඟයද දශක හතරකට පෙර පැවතියට වඩා බොහෝ වැඩි වී තිබේ. ඒ කාලයේ, ලොකු වෙළදපොළ වටිනාකමක් තිබුණු සමාන්තර වෘත්තියක් වූ නීති වෘත්තියට පිවිසෙන්නට සුදුසුකම් ලබන බොහෝ දෙනෙකුට අද රැකියාවක් ලබා ගැනීම අසීරු කාර්යයක් වී තිබේ. වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින සාපේක්ෂව අකාර්යක්ෂම වෘත්තිකයින්ගේ ලාභ ආන්තික තවදුරටත් එසේම පවත්වා ගත හැක්කේ
වෙළදපොළ තරඟය කෙසේ හෝ අවම කර ගැනීමෙන් පමණි. ඒ සඳහා, වෘත්තියට අලුතෙන් පිවිසෙන ප්‍රමාණය සීමා කර ගත යුතුය.

තත්ත්වය එසේනම් රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කර වැඩි පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය. සරලවම කියනවානම්, මෙය සිදු නොවන්නක් බව ඔවුහු දනිති. රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය විශාල ලෙස පුළුල් වීම ප්‍රායෝගිකව සිදු නොවන්නකි.

අනෙක් අතරට සයිටම් යනු අයිස් කන්දක ශිඛරයයි. මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්නට සූදානම් පිරිස් තවත් ලංකාවේ ඕනෑ තරම් සිටිති. සයිටම් සාර්ථක වීම යනු, මේ ඉල්ලීම සපුරාලනු පිණිස තව තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක්  බිහිවීමකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රට තුළ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම ඉහළ ගොස් වෛද්‍ය වෘත්තියේ සුපිරි ලාභ ආන්තික නැති වීමයි. එහෙත්, තරඟය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෛද්‍ය වෘත්තිකයින් යොදන විශාල මූල්‍යමය හා මූල්‍යමය නොවන අවදානම් වෙනුවෙන්ද, ඔවුන් ගන්නා අවදානම් වෙනුවෙන්ද ලැබෙන ලාභ ආන්තික ඔවුන්ට අහිමි වීමට ඉඩක් නැත. සුපිරි ලාභ අහිමි වුවද, මෙසේ ඉතිරිවන ලාභ ආන්තික වෛද්‍යවරුන්ට තවදුරටත් සමාජ ධුරාවලිය තුළ තමන්ට හිමි තැන පවත්වා ගැනීමට තරම් ප්‍රමාණවත් වනු ඇත. තරඟය හේතුවෙන් ඇමරිකාවේ සමාජ ධුරාවලිය තුළ වෛද්‍යවරුන්ගේ ස්ථානය තර්ජනයට ලක්වී නොමැත.


ලංකාවේ සිටින වෛද්‍ය අධ්‍යාපනය ලබා ගන්නට කැමති හා ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් සම්පූර්ණ කිරීමේ ශක්‍යතාවයක් ඇති සියල්ලන්ටම රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ හරහා ඒ අවස්ථාව නොලැබෙන බැවින් ලංකාව තුළ වෛද්‍යවරුන් බිහිවන්නේ සිටිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ වෛද්‍ය සේවාවන් සඳහා වන ඉල්ලුම සැපිරීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය සේවා සැපයුමක් නැත. මේ හේතුවෙන් වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට නියම මිලට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු වන අතර, වෛද්‍ය වෘත්තිකයින්ට ඔවුන් විසින් ගන්නා අවදානමට හා සිදු කරන ආයෝජනයට සරිලන නියම ලාභයට වඩා වැඩි සුපිරි ලාභයක් ලැබීමේ අවස්ථාව හිමිව තිබේ.

සයිටම් නිසා ඉහත තත්ත්වය ක්ෂණිකව විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් ඇති වී නැත. එය තවමත් රටේ විශාල පිරිසකට තෝරාගත හැකි විකල්පයක්ද නොවේ. එහෙත්, රජයේ වෛද්‍ය පීඨයක් හරහා සිය වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට ඉඩක් නැති විශාල පිරිසකට එය සිය ඉලක්කය කරා ලඟා විය හැකි විකල්ප මාර්ගයකි.

සයිටම් ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් , ඒ ආකෘතියේ වෛද්‍ය විද්‍යාල තවත් බිහි වන්නට ඉඩ තිබේ. තරඟය වැඩි වීමත්, රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ අවිනිශ්චිතතාවයන් අඩු වීමත් නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැය කළ යුතු මිල තව දුරටත් පහත වැටෙන්නට ඉඩ ඇති අතර නිසි නියාමනයක් ක්‍රියාත්මක වේනම් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පහත වැටෙන්නටද හේතුවක් නැත. එහි වාසිය අවසාන වශයෙන් ලංකාවේ වෛද්‍ය සේවා ලබාගන්නා පාරිභෝගිකයින්ට හිමි වනු ඇත. එහෙත්, වෛද්‍ය වෘත්තිකයින්ගේ සුපිරි ලාභ වලට එයින් පහරක් වැදේ.

වෛද්‍ය වෘත්තිකයෝ මෝඩයෝ නොවෙති. ඔවුන්ට ඉහත තත්ත්වය ගැන මනා අවබෝධයක් තිබේ. වෛද්‍යවරුන්ගේ සයිටම් විරෝධය මරාගෙන මැරෙන තත්ත්වයට උග්‍ර වී තිබෙන්නේ ඔවුන් විසින් අනාගතයේදී මහ ගසක් වී පැල බෝ කරන්නට නියමිත සයිට්ම් වෘක්ෂය පොරොවකින් තබා බැකෝ යන්ත්‍රයකින්වත් ඉවත් කළ නොහැකි ලෙස පැලපදියම් වන්නට පෙර නියපොත්තෙන් කඩා දැමීමට ගන්නා උත්සාහය තුළදීය.

තනි පුද්ගලයින් වශයෙන් හා කණ්ඩායමක් වශයෙන් තමන්ගේ යහපත පිණිස හේතුවන කරුණක් වෙනුවෙන් පෙනී සිටින්නට හා ඒ වෙනුවෙන් කතා කිරීමට වෛද්‍ය වෘත්තිකයින්ට අයිතියක් තිබේ. එහෙත්, රජයක් විසින් එවැනි ඉල්ලීමකට ඉඩ දිය යුත්තේ එයින් වෙනත් පුද්ගලයින්ගේ හා කණ්ඩායම් වල යහපතට බාධාවක් වන්නේදැයි සලකා බැලීමෙන් පසුවය.

සයිටම් යනු මූලික වශයෙන් ස්වේච්ඡාවෙන් මුදල් ගෙවා එහි ඉගෙන ගන්නා ශිෂ්‍යයන් හා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන එහි පරිපාලකයින් අතර සිදුවන නිදහස් ගනුදෙනුවකි. තෙවන පාර්ශ්වයන්ට හානියක් සිදු නොවන තාක් කල්, රජය එවැනි නිදහස් ගනුදෙනුවකට බාධා නොකළ යුතුවා පමණක් නොව, එවැනි නිදහස් ගනුදෙනුවකට කිසියම් බාධාවක් හෝ බාධාවන් ඉවත් කර දීම රජයක මූලික වගකීමක්ද වේ.

කෙසේ වුවද, වෛද්‍ය අධ්‍යාපනයේ අරමුණ වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරීමයි. සයිටම් මඟින් බිහි කරන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් ඇත්නම් එය ඔවුන්ගෙන් වෛද්‍ය සේවාවන් ලබා ගන්නා තවත් බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නයක්ද වෙයි. මේ අනුව, සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳව සයිටම් විරෝධීන් විසින් මතු කළ විවේචන වලට පදනමක් තිබුණේය.

සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳව මතු කෙරුණු ප්‍රශ්න වලට රජය විසින් මේ වන විට පැහැදිලි විසඳුම් ලබා දී තිබේ. එයට අමතරව, රජයක් විසින් සිදු නොකළ යුතු මට්ටමේ මැදිහත් කිරීමක් කරමින් සයිටම්හි අයිතිය පිළිබඳව මතු කළ විවේචන වලටද විසඳුම් දී තිබේ. එහෙත්, සයිටම් විරෝධීන් එයින් සෑහීමකට පත් වී නැත. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි සහතිකය පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දීමෙන් පසුව එම සටන අවසන් නොවීමට හැම අතින්ම වාගේ සමානය. එවර, උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් දීමෙන් පසුව උතුරු කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නා තුරුම අරගලය දිග්ගැස්සුණු අතර, සයිටම් අරගලයද සයිටම් ආයතනය රජයට පවරා ගන්නා තුරු නොනවතින 'මරාගෙන මැරෙන' සටනක් බවට මේ වන විට පරිවර්තනය වී තිබේ.

සයිටම් ආයතනය ජනසතු කරන මෙන් කෙරෙන ඉල්ලීම රටේ සීමිත පිරිසකගේ ඉල්ලීමක් මිස වැඩි දෙනෙකුගේ අවශ්‍යතාවයක් නොවේ. එහෙත්, සයිටම් විරෝධී බලවේගය පුළුල් බලවේගයකි. මේ බලවේගය සමඟ වෛද්‍ය සංගමය තුළ ගොනුවී සිටින රජයේ වෛද්‍යවරුන්, සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක්ද ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ක්‍රියාත්මකව සිටින බව පෙනේ. කෙසේ වුවද, මේ පුළුල් එකමුතුව හමුවේ වගකිවයුතු රජයකට නම්‍යශීලී විය හැකි උපරිමයටම මේ රජය මේ වන විට නම්‍යශීලී වී තිබේ. මෙය සමාන කළ හැක්කේ උතුරේ ඊළාම් ඉල්ලීම් හමුවේ ෆෙඩරල් විසඳුමක් දෙන තැනකට රජය නම්‍යශීලී වීමෙන් පසුවද තවත් දේ ඉල්ලීමටය. රජයෙන් මස් රාත්තලම ඉල්ලද්දී රජය විසින් එය ලබාදීම තුළ සිදු වන්නට ඉඩ ඇත්තේ රජයෙන් තවත් මස් රාත්තල් දෙකක් හෝ වැඩි ගණනක් ඉල්ලා සිටීම පමණි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදී ජවිපෙ විසින් සිදුකළ කාර්යය අද කරන බව පෙනෙන්නේ පෙසපෙ විසිනි. එදා ශ්‍රීලනිපය සිටි තැන අද ඒකාබද්ධ විපක්ෂය සිටී, එදා පැරණි වාමාංශික පක්ෂ සිටි තැන අද සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් එදා පැවති තත්ත්වය හා අද පවතින තත්ත්වය හරියටම සමාන නැත.


උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය ඇරඹෙන විට ජයවර්ධන රජය සෑහෙන කාලයක් ආණ්ඩු කර තිබුණු අතර රටේ පුළුල් හා සැඟවුණු ජයවර්ධන විරෝධයක් තිබුණේය. එයින් වෙනස්ව, මේ රජය බලයට පත්වී තවමත් වැඩි කලක් ගෙවී නැත. එසේ වුවත්, ජනප්‍රිත්වය අතින් මේ රජය සිටින්නේ එදා ජයවර්ධන රජය සිටියාට වඩා පිටුපසිනි. ජයවර්ධන රජය විසින් පැවැත්වූ මැතිවරණ සර්ව සාධාරණ ලෙස පැවැත්වුනේ නැතත්, එසේ පැවැත්වුනද බොහෝ විට ඉදිරියෙන් සිටින්නට ඉඩ තිබුණේ එජාපයයි.

වත්මන් රජයට මේ වන විට මැතිවරණයකට මුහුණ දෙන්නට තරම්වත් ආත්ම විශ්වාසයක් තිබෙන බව නොපෙනේ. කෙසේ වුවත්, මේ රජයට එරෙහිව රටේ තිබෙන බව පෙනෙන්නේ එදා ජයවර්ධන රජයට එරෙහිව තිබුණු ආකාරයේ සැඟවුණු විරෝධයක් නොව අප්‍රසාදයක් හා බලාපොරොත්තු කඩ වීමකි. ජයවර්ධන රජයට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේගය හරහා එම රජය බිඳ දමා බලයට පත් වීමට එදා ශ්‍රීලනිපය සිහින මැවුවේය. අද ඒකාබද්ධ විපක්ෂයද එවැනි සිහිනයක් තුළ ජීවත් වන බව පෙනේ.

එදා ජවිපෙ සැලසුම වුනේ ශ්‍රීලනිපය පහුරක් කරගෙන ගඟෙන් එගොඩ වී පහුර අත්හැර දැමීමයි. ඔවුහු එය ඒ අයුරින්ම කළෝය. අද සරසවි සිසුන් පිටුපස සිටින දේශපාලන නායකත්වය විසින් ඉව අල්ලනවා විය යුත්තේද එවැන්නකට වන්නට පුළුවන. මේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම නොව ඒ අරගලය හරහා වඩා පුළුල් දීර්ඝකාලීන අරගලයකට මාවත් විවර කර ගැනීමට හා අවසාන වශයෙන් රාජ්‍ය බලය වෙත කෙටි මාර්ගයක් සෙවීමටය. රාජ්‍ය මර්දනය ඉක්මනින් ආරම්භ වන තරමට ඒ කටයුත්ත පහසු වේ.

එක්ටා විරෝධයක් ලෙස මතු විය හැකිව තිබුණු මේ සැලසුම්ගත අරගලය අද වන විට සයිටම් විරෝධය හරහා මතු වී තිබේ. රජය විසින් එක්ටා සැලසුම් මුලින් සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කළේනම් අද වෛද්‍යවරුන් පමණක් සිටින තැන වෙනත් වෘත්තීය කණ්ඩායම් ගණනාවක්ද සිටිනු දැක ගත හැකි විය යුතුව තිබුණි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා අදාළ ඉල්ලීම් ඉටුවීමෙන් පසුව අරගලය තවත් ව්‍යාප්ත වී ඉදිරියට ගියා මිස අවසන් වුනේ නැත. ඒ අරගලය මෙන්ම එයින් පසුව සිදු වූ ලංගම වර්ජනයද ජයග්‍රහණයෙන් අවසන් විය. ඒ කාලයේ හැටියට සැලකිය යුතු මුදලක් වූ රුපියල් 2500ක අවම වැටුපක් ඉල්ලා සිදු කෙරුණු මේ වර්ජනය සම්ප්‍රදායික වර්ජන සිදුවන ආකාරයට සිදු වූවක් නොවේ. පෞද්ගලික බස්ද ඇතුළුව බස් ධාවනය සම්පූර්ණයෙන් තහනම් කරමින් හා සේවයේ යෙදෙන්නන්ට මරණ තර්ජන කරමින් (හා ඇතැම් තැන් වල ඒ මරණ තර්ජන ක්‍රියාත්මක කරමින්) සිදු කළ එකකි. මේ ආකාරයේ බස් වර්ජන එයින් පසුවද අඩුවක් නැතුව සිදු වුණේය.

මට හොඳින්ම මතක තිබෙන්නේ මගේ ඉංග්‍රීසි උපගුරු පත්වීම හා අදාළ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා (සහතික පෙන්වා පත්වීමේ ලිපිය ලබා ගැනීමට) ඉසුරුපායට යන්නට සිදු වුනු ආකාරයයි. දේජව්‍යා විසින් බස් ධාවනය තහනම් කර තිබුණු එදින මා සතුව එවකට තිබුණු හොඳම කමිසය හා කලිසම ඇඳගෙන සූදානම් වුවත්, කොට්ටාව හන්දිය දක්වා සැලකිය යුතු දුරක් යන්නට සිදුවුනේ පාරේ යන ලොරියකට අත දමා නවත්වාගෙන එහි පිටුපස තට්ටුවේ වාඩි වී හතර අතට පැද්දෙමින් හා ගැස්සෙමිනි. බිම වාඩි වෙන්නට එළාගත් දූවිලි පින්තාරු වුනු ලේන්සුව කොට්ටාවේදී වීසි කර දැම්මෙමි. හමුදා නිලධාරියෙකු විසින් ධාවනය කළ බසයක එතැන් සිට බත්තරමුල්ලට යන්නට හැකි විය.

ජාතික හැඳුනුම්පත අතේ නොතිබුනේනම් මේ සම්මුඛ පරීක්ෂනයට යන්නට හෝ පත්වීම ලබාගන්නට ඉඩක් නොලැබිය හැකිව තිබුණු අතර මේ දවස් වල අපේ නිවස අසල පාරවල් වල හැඳුනුම්පත් දේජව්‍යා විසින් එකතු කර ගනිමින් තිබුණේය. හැඳුනුම්පත් එකතු කරගැනීම සඳහා අපේ නිවසටද මේ අය කොයි වෙලාවක හෝ පැමිණෙන්නට ඉඩ තිබුණු නිසා අදාළ සම්මුඛ පරීක්ෂණයට පෙර රාත්‍රිය මා ගතකළේ විශාල මානසික පීඩනයකිනි. අතට ලැබුණු ගුරු පත්වීම අන්තිම මොහොතේ නැති කර ගන්නට මට අවශ්‍ය නොවීය.

මේ කාලය වන විට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම වෙනුවෙන් ඇරඹුණු අරගලයට තවත් ඉල්ලීම් රැසක් එකතු වී තිබුණේය. පළාත් සභා අහෝසි කිරීම, ඉන්දීය "වඳුරු හමුදාව" එළවීම, ජවිපෙ තහනම ඉවත් කිරීම හා රජය ඉල්ලා අස්වීම වැනි ඉල්ලීම්ද ඒ අතර විය. මේ අරගලයෙන් ඉවත්ව සිටීමේ හෝ එයට විරුද්ධ වීමේ හැකියාවක්ද අපට නොතිබුණේය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා රට පුරා පිහිටවූ දෙමවුපිය සංගම් වලට අපේ දෙමවුපියන්ටද සහභාගී වන්නට සිදු විය.

ජවිපෙ පන්ති වලට සහභාගී නොවූ හා ජවිපෙ සාමාජිකයින් නොවූ අපට නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් අලවන්නට සිදුවූ පෝස්ටර් වල තිබුණු සටන් පාඨ මොනවාද කියා අපට දකින්නට ලැබුණේ ඒවා ඇලෙවුවාටද පසුවය. ඒ කාලයේ ජීවිතය මරණයෙන් අවසන් වන්නට මෙවැනි පෝස්ටරයක් අතේ තිබී අසුවන්නට අවශ්‍ය නොවීය. ජවිපෙ කැරැල්ලට පක්ෂපාතී මතයක නොසිටි රාවය සඟරාවක් වැනි දෙයක් හෝ සරසවි ශිෂ්‍ය හැඳුනුම්පතක් වැනි දෙයක් අතේ තිබී හමුවීම වුවද ඒ සඳහා ප්‍රමාණවත් විය.

ඇතැම් ගම් වල ජීවත් වූ "දේශප්‍රේමීන්" සියලු දෙනාටම ඉන්දීය සාමසාධක හමුදා වලට වහාම රටින් ඉවත් වන්නට බල කරමින් පෙළපාලි යන්නට සිදුවුනේ අවසන් ප්‍රතිඵලය පොලිස් වෙඩි පහරට ලක් වන්නට සිදුවීම බව ඉඳුරාම දැන දැනමය. අනෙක් විකල්පය වුනේ මේ පෙළපාලි වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කර "දේශද්‍රෝහීන්" වීමයි. දේශද්‍රෝහීන් හා දේශප්‍රේමීන් හැර අතරමැදියන් සිටිය නොහැකි බව ව්‍යාපාරයේ මතය වූ නිසා ඒ විකල්පයද අනිවාර්ය මරණය කැඳවා ගත හැකි විකල්පයක් විය. පෙලපාලි සංවිධානය කළ අය පෙළපාලි වල ඉදිරියෙන් නොගියේය. එසේ ගියත්, පොලිස් හා හමුදා ඛණ්ඩයක් ළඟ එන විට පෙළපාලිය මැද සැඟවී ව්‍යාපාරය වෙනුවෙන් ආරක්ෂා වීමට තරම් ඔවුහු කුසලතා පූර්ණ වූහ. පෙළපාලි වල ඉදිරියෙන්ම ගොස් දේශප්‍රේමය පෙන්වීමේ අවස්ථාව එජාප සාමාජිකයින් ලෙස ප්‍රසිද්ධව සිටි අයට ලැබුණේය.

දැන් සයිටම් වලට පක්ෂව ලියන ඇතැම් අයව කුලී ලියන්නන් ආදී ලෙස හැඳින්වීම තුළ පෙනෙන්නේද එකල දේජව්‍යා විසින් ඔවුන්ට විරුද්ධ අදහස් දැරූවන් දේශද්‍රෝහී, හොරිකඩ, බත්බැලයන් ලෙස නම් කරමින් සිදු කළ බයිනරි බෙදීමමය.

ඒ දවස්වල ජයවර්ධන රජය හැරුණු විට ජවිපෙට එරෙහිව සිටි ප්‍රධානම කණ්ඩායම වූයේ එක්සත් සමාජවාදී පෙරමුණ තුළ ගොනුවී සිටි පැරණි වම හා ශ්‍රී ලංකා මහජන පක්ෂයයි. එහෙත්, අද වන විට පැරණි වම ලෙස සැලකිය හැකි ජවිපෙ හා පෙසපෙ සයිටම් විරෝධී සටන තුළ එක පිලක සිටිති. සයිටම් විරෝධය විශාල ක්‍රම විරෝධයක් බවට පරිවර්තනය වී රාජ්‍ය බලයට තර්ජනයක් වුවහොත්, මේ දෙපිල අතර බල අරගලය නැවත මතු වන්නට ඉඩ ඇතත් එවැන්නක් ඊට පෙර සිදුවීමේ හැකියාවක් නැත.

ජවිපෙ පැත්තෙන් බැලූ විට ඔවුන්ට අසූව දශකය තුළ හිමිව තිබූ දේශපාලන අවකාශය තුළ මේ වන විට ස්ථානගත වී සිටින්නේ පෙසපෙයයි. ඒ තත්ත්වය තුළ සයිටම් විරෝධී පිල සමඟ එකතු වීම යනු ජවිපෙ පැරණි වම මෙන් නොවැදගත් බලවේගයක් බවට පත් වීමයි. අනෙක් අතට, අරගලය තුළ වැඩි බලයක් ඇති පෙසපෙ ජවිපෙ හා සහයෝගයෙන් සිටීම තුළින් පෙනෙන්නේ ඔවුන්ගේ දීර්ඝකාලීන අභිලාශ මොනවාද යන්නයි. ඉදිරියේදී පැමිණෙන්නට ඉඩ ඇති රාජ්‍ය මර්දනයකදී ජවිපෙ සතුව ඇති පෙසපෙ සාමාජිකයින් පිළිබඳ තොරතුරු ප්‍රතිපක්ෂය අතට පත්වීමේ ඉඩකඩ සැලකූ විට පෙසපෙ සුරක්ෂිත වන්නේ ජවිපෙ සමඟ උපක්‍රමික සන්ධානයක සිටීම තුළය. සයිටම් ආයතනය රජයට පවරා ගැනීමෙන් අවසන් වන සටනකදීනම් මෙවැනි උපක්‍රමික සන්ධානයකට වඩා ජයග්‍රහණයේ වාසි ඔවුන්ට අත්පත් කරගන්නට ඉඩ නොදීම වාසිසහගතය.

සයිටම් අරගලය ඉව අල්ලන්නේ ප්‍රශ්නය ඇදගෙන යන්නට උදවු කරන මිනිස් බිල්ලකටය. ආණ්ඩුව මේ බව තේරුම් ගෙන ප්‍රවේශම්ව සිටින නමුත් කොයිවෙලාවක හෝ ආණ්ඩුවේ සිල් බිඳෙන්නට පුළුවන. එවැන්නක් සිදු වීම වලක්වා ගන්නා තාක් කල් සයිටම් විරෝධය පුළුල් අරගලයක් ලෙස ව්‍යාප්ත වීමද වලක්වා ගත හැකිය.

සයිටම් විරෝධී බලවේගය විශාල බලවේගයක් නොවූවත්, සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට රට තුළ එතරම්වත් පිරිසක් නැත. සයිටම් යනු රටේ බහුතරයකට තිබුනත් කමක් නැති, නැතත් කමක් නැති නොවැදගත් දෙයකි. ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයට හිස නැමිය යුතු නැතත් සයිටම් යනු ආණ්ඩුව විසින් ඕනෑම මිලක් ගෙවා රැකගන්නට තරම් වටිනා දෙයක්ද නොවේ. ඒ නිසා, සයිටම් වෙනුවෙන් තවත් පරම්පරාවක් ගඟේ යවන්නට
අවශ්‍ය නැත.

(Image: http://dailynews.lk/2017/06/22/local/119731/magistrate-issues-order-against-anti-saitm-protesters)

Wednesday, June 21, 2017

වසන්තයත් ඉවරයි!



අද (ජූනි 21) උත්තරාර්ධගෝලයේ රටවලට ගිම්හාන සූර්ය නිවෘත්තිය සිදුවන දිනයයි. මේ අනුව, උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ රට වල වසන්ත සෘතුව අදින් අවසන් වී ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වෙයි. ඒ සමඟම සූර්යයා දක්ෂිණායනය අරඹන නිසා මෙතෙක් කල් ක්‍රමයෙන් දීර්ඝ වුනු දවසක කාලය හෙට සිට නැවතත් ක්‍රමයෙන් කෙටි වන්නට පටන් ගනී. අද උත්තරාර්ධගෝලයේ රටවල දිවාකාලය වැඩිම දවසයි. ඇමරිකාවේ නිවුයෝර්ක් වැනි නගරයකට අද දිවා කාලය පැය 15කට වඩා වැඩිය. දක්ෂිණාර්ධගෝලයේ රටවල සිදුවන්නේ හරියටම මෙහි විරුද්ධ පැත්තයි.

බටහිර රටවල වර්ෂය සෘතු හතරකට බෙදේ. ඒ, වසන්ත (Spring), ග්‍රීෂ්ම (Summer), හේමන්ත (Fall/ Autumn) හා ශිශිර (Winter) වශයෙනි. මේ එක් සෘතුවක කාලය ආසන්න වශයෙන් මාස තුනක් වුවත් බටහිර සෘතු ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ හෝ වෙනත් කැලැන්ඩරයක මාස සමඟ හරියටම සමපාත නොවේ. එමෙන්ම, මේ බෙදීමද ජනප්‍රිය වී ඇත්තේ සියවස් පහකට පමණ පෙරය. ඊට පෙර, වසන්ත හා හේමන්ත සෘතු වලට ලොකු වැදගත්කමක් ලැබී නැත.

ඉන්දියානු කලාපයේ දින දර්ශන වල සෘතු හයක් තිබේ. ඒ, ග්‍රීෂ්ම, වර්ෂා, සරත්, හේමන්ත, ශිශිර හා වසන්ත ලෙසිනි. ඒ නිසා සෘතුවක කාලය ආසන්න වශයෙන් මාස දෙකකි. ඉන්දියානු කලාපයේ ග්‍රීෂ්ම සෘතුව, වසන්ත සෘතුව ආදී ලෙස හඳුන්වන්නේ  බටහිර එසේ හඳුන්වන සෘතුවම නොවේ.

මේ අයුරින් වර්ෂයක කාලය සෘතු හයකට බෙදීම ඉන්දියානු කලාපයේ ඉතා පැරණි භාවිතයක් වන අතර වර්ෂයකාලය මාස වලට බෙදා නම් කිරීමටද පෙර අතීතයට දිව යන්නකි. ත්‍රිපිටකයේ බොහෝ තැන් වල කාලය ගැන සඳහන් වන්නේ කිසියම් සෘතුවක පෙර (පූර්ව) හෝ පසු (පශ්චිම) මාසය වශයෙනි. දීපවංශයේ දකින්නට හැක්කේද මේ භාවිතාවයි. මහාවංශයේ සිංහල පරිවර්තනයක් මිස එහි පාලි ගාථා සහිත ග්‍රන්ථයක් මා සතුව නැති බැවින් එහි මාස සඳහා පරිවර්තනයේදී යොදාගෙන ඇති නම් මුල් ගාථා වල තිබෙන්නේ කෙසේදැයි මා දන්නේ නැත.

වේදය පිළිගත් ආස්තිකයන්ට සාපේක්ෂව බුදු හිමියන් විසින් කාලය එතරම් වැදගත් දෙයක් ලෙස සලකා නැත. උතුරු ඉන්දියාවේ කාලගුණ රටා අනුව වැඩි අපහසුවක් නැතිව හඳුනාගත හැකි සෘතු හා හඳේ කලාව වෙනස්වීම අනුව "හේමන්ත සෘතුවේ පශ්චිම මාසය" වැනි භාවිතාවක් වඩා ප්‍රායෝගික වන්නට ඇත.

පැරණි ඉන්දියානු කැලැන්ඩර වල සෘතු හා මාස අතර සෘජු සම්බන්ධයක් තිබේ. ඒ අනුව, සෘතුවකට මාස දෙකකි. බෙංගාලයේ  හැර උතුරු ඉන්දියාවේ අනෙක් ප්‍රදේශ වල මෑතකාලීනව භාවිතා වී ඇති දිනදර්ශන අනුව ග්‍රීෂ්ම සෘතුවේ පළමු මාසය චෛත්‍ර මාසය වන අතර දෙවන මාසය විශාඛ මාසයයි. එහෙත්, බෙංගාලි දින දර්ශනයේ ග්‍රීෂ්ම සෘතුවේ පළමු මාසය විශාඛ මාසයයි. දෙවන මාසය ජ්‍යෙෂ්ඨ මාසයයි.

උතුරු ඉන්දියාවේ පැහැදිලිව පෙනෙන්නට ඇති සෘතු භේද දකුණු ඉන්දියාවේදී හෝ ලංකාවේදී එසේ නොපෙනේ. ඒ අනුව, දකුණු ඉන්දියාවේ සෘතු සඳහා භාවිතා වන නම් උතුරු ඉන්දියානු (සංස්කෘත) නම් වලින් බිඳී ආ නම් නොවේ. මඳ උණුසුම්, දැඩි උණුසුම්, අඳුරු, ශීතල, මුල් මිහිදුම්, පසු මිහිදුම් යන අදහස් ඇති නම් වලින් මේ සෘතු හැඳින්වේ. ලංකාව මෙහිදී තමන්ට වඩා සමීප දකුණු ඉන්දියානු සෘතු බෙදීම් අනුව ගොස් නැති අතර, දීපවංශයේ ඇති තොරතුරු අනුව ලංකාවේ භාවිතය බෙංගාලයේ වත්මන් භාවිතයට සමානය.

බුද්ධ කාලයේදී වර්ෂය ආරම්භ වී ඇත්තේ වසන්ත විෂුවය ආසන්න දිනක වුවත් එය හරියටම වසන්ත විෂුවය සිදු වන දින සිදු වී ඇති බවක් නොපෙනේ. ඒ වෙනුවට අවුරුද්දේ ආරම්භය ලෙස සලකා ඇත්තේ වසන්ත විෂුවය දිනට ආසන්න අමාවක (අමාන්ත ක්‍රමයේදී) හෝ පුර පසළොස්වක (පූර්ණාන්ත ක්‍රමයේදී) පෝයට පසුව එන දිනයයි. දැනට ඉන්දියානු කලාපයේ භාවිතා වන චෛත්‍ර, විශාඛ ආදී ලෙස නැකැත් වල නම් මත පදනම් වන මාස වල නම් ඒ කාලයේ වේදය උගත් අය විසින් භාවිතා කරන්නට ඇතත් සාමාන්‍ය ව්‍යවහාරයේ නොතිබුණා විය හැකිය.

වේද ග්‍රන්ථ වල මුලින්ම සඳහන් වන මාස නම් කර තිබී ඇත්තේ නැකැත් අනුව නොවේ. මුලින්ම භාවිතා වී ඇති මාස වල නම් වනුයේ මධු, මාධව, ශුක්‍ර, ශුචි, නාභ, නාභත්ස්‍ය, ඉෂා, ඌර්ජා, සහස්, සහස්‍ය, තපස්, තපස්‍ය යන ඒවාය. වසර කිහිපයකට වරක් යෙදී ඇති අධික මාසය අම්හස්පත්‍ය ලෙස නම් කර තිබේ. මධු හා මාධව යනු වසන්ත සෘතුවේ පළමු හා දෙවන මාසයි. මේ නම් අදාළ සෘතුව සමඟ හොඳින් ගැලපේ. මධු මාසය අවසන් වී මාධව මාසය ඇරඹෙන දිනට ආසන්න දිනක් සමඟ වසන්ත විෂුවය සමපාත විය. ඉෂා හා ඌර්ජා යන නම් අදාළ මාස සඳහා ලංකාවේ භාවිතා වන ඉල් හා උඳුවප් යන නම් වලට යාන්තමින් සමානය.

වෛදික යුගය ආරම්භයේදී භාවිතා වී ඇති ඉහත මාස වල නම් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වී පසුව ඒ වෙනුවට දැනට භාවිතා වන නැකැත් වල නම් ආදේශ වී ඇත. බුද්ධ කාලය වන විට මධු, මාධව ආදී නම් භාවිතයේ තිබී නැත. ක්‍රිස්තු පූර්ව පළමු සියවසෙහිදී පමණ ලියැවුණු ග්‍රන්ථයක චෛත්‍ර හා විශාඛ යනු පෙර මධු හා මාධව ලෙස හඳුන්වා ඇති මාසම බව සඳහන්ව තිබේ. ග්‍රීසිය හරහා රාශි චක්‍රය ඉන්දියාවට පැමිණ ඇත්තේත්, කාලය මැනීමට මූලික වශයෙන් යොදාගත් ශාස්ත්‍රයක් වූ  ජ්‍යෝතිෂය ක්‍රමයෙන් අනාවැකි කීමේ ශාස්ත්‍රයක් ලෙස රූපාන්තරණය වී ඇත්තේත් පසුකාලීනවය.

කාලගුණ චක්‍රය මත පදනම් වූ සෘතු ක්‍රමය හා මධු, මාධව ආදී මාස ක්‍රමය වෙනුවට නක්ෂත්‍ර තාරකා මත පදනම් වූ චෛත්‍ර, විශාඛ ආදී මාස ක්‍රමය ආදේශ වන කාලය වන විට වසන්ත විෂුවය සමග සමපාත වී ඇත්තේ සූර්යයා බෙරණ නැකතින් කැති නැකතට සම්ප්‍රාප්ත වීමයි.

කාලගුණ චක්‍රය පදනම් වන්නේ නිවර්තන වසර සමඟ වුවත් නක්ෂත්‍ර තාරකා වල චලනය පදනම් වන්නේ නක්ෂත්‍ර වර්ෂය මතය. මේ දෙක එකක් නොවේ. නක්ෂත්‍ර අවුරුද්දක් නිවර්තන අවුරුද්දකට වඩා විනාඩි විස්සකින් පමණ දිග වැඩි නිසා කාලයක් යද්දී වසන්ත විෂුවය සිදු වන දිනය කැලැන්ඩරයට අනුව වෙනස් වෙයි. ඒ අනුව සියවස් ගණනක් යද්දී චෛත්‍ර මාසය එළැඹෙන්නට පෙර වසන්තය එළැඹී තිබේ. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස පමණ වෙද්දී වසන්ත විෂුවය සිදු වී ඇත්තේ සූර්යයා රේවතී නැකතෙන් අස්විද නැකතට යාමට ආසන්නවය. එනම්, සූර්යයා බෙරණ නැකතින් කැති නැකතට සම්ප්‍රාප්ත වීමට දින 27කට පමණ පෙරය.


පස්වන සියවස වන විට රාශි චක්‍රය ග්‍රීසිය හරහා ඉන්දියාවට පැමිණ තිබුණු අතර ඒ කාලයේදී වසන්ත විෂුවය මේෂ සංක්‍රාන්තිය සමඟ සමපාත විය. එවකට භාවිතයේ පැවති නැකැත් ක්‍රමය අනුව, සූර්යයා රේවතී නැකතින් අස්විද නැකතට යාමද වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය සමඟ සමපාත විය. මේ අනුව, කැති නැකත තෙවන නැකත වී අස්විද නැකත පළමු නැකත බවට පත් විය.

වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය එක වර සිදු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු වර්ෂ 543 මාර්තු 19 වන දින විය හැකි බව පසු ගණනය කිරීමෙන් සොයාගත හැකිය. ඒ වන විටද භාවිතයේ තිබී ඇති සූර්ය සිද්ධාන්තයේ කාලය මැනීමේ ක්‍රමවේදයන් ආර්යභට්ට විසින් සංස්කරණය කරන්නට ඇත්තේ ඒ වසරේදී වන්නට පුළුවන. ආර්යභට්ට ජීවත් වී ඇති ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 476-550 අතරදීය. රාශි චක්‍රය, නැකැත් චක්‍රය හා සෘතු චක්‍රය පසුගිය සියවසට පෙර අවසන් වරට සමචක්‍රීය කර ඇත්තේ ඒ කාලයේදීය.

මේ අනුව, ක්‍රිස්තු වර්ෂ 543දී වසන්ත විෂුවය සූර්යයා රේවතී නැකතෙන් අස්විද නැකතට ගමන් කිරීම සමඟ සමපාත වී තිබිය යුතුය. එසේනම්, වසන්ත විෂුවය සූර්යයා බෙරණ නැකතෙන් කැති නැකතට ගමන් කිරීම සමඟ සමපාත වී තිබිය යුත්තේ ඊට වසර 1905කට පමණ පෙර එනම් ක්‍රිස්තු පූර්ව 1362දී පමණය. නිවර්තන වසර මත පදනම් වූ මධු, මාධව ආදී මාස වෙනුවට නක්ෂත්‍ර වසර මත පදනම් වූ චෛත්‍ර, විශාඛ ආදී මාස භාවිතයට පැමිණෙන්නට ඇත්තේ ඒ කාලයේදීය.
 

ක්‍රිස්තු පූර්ව පළමු සියවස වන විට හිපාර්කස් විසින් වසර දහස් ගණනක් තිස්සේ බැබිලෝනියානුවන් විසින් සටහන් කර තිබුණු ග්‍රහ පිහිටීම් පිළිබඳ වාර්තා අධ්‍යයනය කිරීමෙන් වසර 26,000ක පමණ චක්‍රයක් ලෙස සිදුවන සූර්යයාගේ පූර්වායනය ගැන දැන සිටියේය. මේ දැනුම ඉන්දියාවටද නොලැබෙන්නට හේතුවක් නැත. කෙසේ වුවද, ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යය ක්‍රිස්තු වර්ෂ 543 පමණ සිට සූර්යයාගේ පූර්වායනය නොසලකා හැරියේය. දින දර්ශනය සෘතු මාරුවීම් සමඟ සමපාත කරනවාට වඩා කාලය නිවැරදිව මැනීම ඔවුන්ට වැදගත් වූවා විය හැකිය.

සෘතු විපර්යාස නිවර්තන වර්ෂය මත පදනම් වීමත්, මේෂ සංක්‍රාන්තිය නක්ෂත්‍ර වර්ෂය මත පදනම් වීමත් නිසා වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය අතර පරතරය එන්න එන්නම වැඩි වේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය සැලසුම් කර ඇත්තේ වසන්ත විෂුවය මාර්තු 21 ආසන්න දිනක සිදුවන පරිදි නිවර්තන වසර අනුව නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට සාපේක්ෂව  මේෂ සංක්‍රාන්තිය වසරින් වසර ඉදිරියට ගොස් මේ වන වන විට දින 24ක පමණ පරතරයක් ඇති වී තිබේ. දැන් වසන්ත විෂුවය සිදු වන්නේ සූර්යයා මීන රාශියේ, එසේත් නැත්නම් උතුරුපල් නැකතේ සිටියදීය. සායන හා නිරයන ගණනය කිරීම් අතර මේ වන විට ඇති ඉහත දින 24ක පමණ වෙනස ගිම්හාන හා ශිශිර සූර්ය නිවෘත්තීන් වලටද බලපායි. 


බටහිර ක්‍රමයට ග්‍රීෂ්ම සූර්ය නිවෘත්තිය සමඟ ග්‍රීෂ්ම සෘතුව ඇරඹෙන නමුත් ඉන්දියානු (සායන) ක්‍රමයට එදින ග්‍රීෂ්ම සෘතුව අවසන් වී වර්ෂා සෘතුව ආරම්භ වේ. ලංකාවේ (හා ඉන්දියාවේ) භාවිතා වන නිරයන ජ්‍යෝතිෂ ක්‍රමය අනුව ග්‍රීෂ්ම සෘතුව අවසන් වන්නේ සූර්ය නිවෘත්තියෙන් දින 24කට පමණ පසුව සිදුවන කටක සංක්‍රාන්තියත් සමඟය. ඒ අනුව, මැයි 15 ආසන්න දිනක ඇරඹුණු ලංකාවේ ග්‍රීෂ්ම සෘතුවට අයත් මාස දෙකෙන් දෙකෙන් අඩකටත් වඩා මේ වන විට ගෙවී අවසන්ය. ලංකාවේ ග්‍රීෂ්ම සෘතුව ජූලි 15 පමණ අවසන් වී වර්ෂා සෘතුව ආරම්භ වේ.

ඉන්දියාවෙන් ආනයනය කර ඇති (ජ්‍යෝතිෂයේදී භාවිතා වන) සෘතු ලංකාවේ කාලගුණ රටා සමඟ ගැලපෙන්නේ නැත. ග්‍රීෂ්ම හා වර්ෂා සෘතු මාරු වුනානම් ලංකාවේ කාලගුණ රටාවට වඩා ගැලපේයැයි සිතේ.

ගිම්හාන සූර්ය නිවෘත්තියෙන් පසුව එලඹෙන සිවු මාසයක කාලය එනම් වර්ෂා හා සරත් සෘතු දෙක ඉන්දියානු ආගම් වල විශේෂ කාලයක් ලෙස සලකා තිබේ. බෞද්ධ භික්ෂුන්ගේ වස් කාලය යෙදෙන්නේත් මේ මාස හතර තුළය. මේ මාස හතර අවසානයේ පැරණි ඉන්දියාවේ චතුමාස කෞමුදී ලෙස හැඳින්වුණු විශාල උත්සවයක් පැවැත්වී තිබේ. ශ්‍රී මහා බෝධිය රැගෙන එන්නට පැළලුප් නුවරට ගිය ලංකා නියෝජිත පිරිස එහි ගොස් ඇත්තේද ඒ උත්සවය පැවැත්වෙද්දීය. කඨින පෙරහැර හා උත්සව පැවැත්වෙන්නේද මේ චතුමාස කෞමුදී මහෝත්සවය පවත්වා ඇති දිනමය.

Tuesday, June 20, 2017

වඳුරු කුණුහරුප, ආගමික සාහිත්‍යය හා ඉතිහාසය


පසුගිය දින වල වඳුරු කුණුහරුප කතාවක් සමාජ ජාලා වල හිට් විය. පසුව ගිරවෙකු හා තාපසයෙකුද එකතු වුණු මේ කතාවේ පළමු වර්ෂන් එකේ තිබුණේ බොහෝ දෙනෙකු අසා ඇතැයි සිතන කිඹුලා විසින් කිඹුලිය වෙනුවෙන් සිය මිතුරු වඳුරාගේ හදවත ගලවා ගැනීමට උත්සාහ කිරීමේ කතාවයි. මූලික ආකෘතිය අතින් මේ කතාව අප විසින් පෙර අසා තිබුණු පංචතන්ත්‍රයේ කතාවට වෙනස් නොවූ අතර කතාව හිට් වීමට හේතු වූයේ කවුරු හෝ මේ කතාවට නිර්මාණශීලී ලෙස එකතු කර තිබුණු, අන්තිමේදී කෝපයට පත්වන වඳුරා විසින් කිඹුලාට අමු තිත්ත කුණුහරුප වලින් බණින කොටසයි. (කරුණාකර මේ කතාවේ අලුත් වර්ෂන් කමෙන්ට් වලට කොපි නොකරන්න.)

මේ වඳුරු කිඹුල් කතාවේ සම්භවය යටත් පිරිසෙයින් වසර දෙදහස් පන්සීයක්වත් පැරණිය. කවුරු හෝ විසින් වසර දහස් ගණනකට පෙර මුලින්ම නිර්මාණය කළ මේ
වඳුරු කිඹුල් කතාව, මෙවැනි වෙනත් කතා මෙන්ම, පරම්පරා ගණනාවක් තිස්සේ කටින් කට හා පසුව වෙනත් ආකාර වලින් සම්ප්‍රේෂණය වී අද වන විට අපේ දැනුමක් බවට පත් වී තිබේ. මේ කතාව අපේ ඉදිරි පරම්පරා වෙතද සම්ප්‍රේෂණය වනු ඇත.

මා කුඩා කාලයේ මගේ වැඩිහිටියන් විසින් මට මෙවැනි කතා කියා දී තිබේ. තවත් මෙවැනි කතා මා විසින් කියවා තිබේ. මා අසා හෝ කියවා ඇති මෙවැනි කතා මා විසින් මගේ දරුවන් කුඩා කාලයේ ඔවුන්ටද කියා දී තිබේ. මේ කතා ඔවුන් විසින් ඔවුන්ගේ දරුවන්ට කියා දෙන්නට හෝ නොදෙන්නට ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන්ගේ දරුවන්ටද මේ කතා කියා දෙන්නට අවස්ථාවක් මටම ලැබෙන්නට හෝ නොලැබෙන්නට පුළුවන.

මගේ දරුවන්ට මා කියා දෙන්නේ මා අසා හෝ කියවා ඇති කතාව කියා කීවත් එය හරියටම ඒ කතාවම නොවේ. මා විසින් හිතාමතාම හෝ අවිඥානිකව ඔවුන්ට කියා දෙන්නේ මා අසා හෝ කියවා ඇති කතාව ඇසුරෙන් මා විසින් සංස්කරණය කරනු ලැබූ කතාවකි. ඇතැම් විට, කතා වල ඇති ඔවුන් දැන නොසිටි පළතුරු හෝ රසකැවිලි වෙනුවට ඔවුන් දන්නා දේ ආදේශ කරන්නට මට සිදු වී තිබේ. ඇත්තටම කියනවානම් එකම කතාව දෙවරක් එක ලෙස කියවෙන්නේද නැත.

ජාතක කතා පොතේ ඇති සුංසුමාර හා වානර ජාතක ඇතුළුව, වඳුරු කිඹුල් කතාවේ ප්‍රභේද විශාල ගණනක් ඇතත් සමාජ ජාලා වල මෑතකදී සංසරණය වූ කතාව වඩාත්ම ආසන්න විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රයේ ඇති කතාවටය. පංචතන්ත්‍රය ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී පමණ මුලින්ම ප්‍රබන්ධ කරන්නට ඇතැයි සැලකේ. එහෙත් එහි ඇති කතා බොහොමයක් ඒ වන විට ජන වහරේ තිබී ඇති කතාය.

පංචතන්ත්‍රයේ ඇති කතාවේ සඳහන් පළතුර අඹ නොවේ- දඹයි. මෙය මාදං වැනි පළතුරකි. කතාවේ වඳුරාගේ නම රක්තමුඛ වන අතර කිඹුලාගේ නම කරාළමුඛයි. රක්තමුඛ නම ඇසෙන විට හිතේ මැවෙන්නේ කට රතු වඳුරෙකි. අළුත් කතාව කියවන විට මතක් වෙන්නේනම් වාචාලමුඛ වැනි නමකි.

වානර ජාතකයේ ඇති කතාව පටන් ගන්නේ පංචතන්ත්‍රයේ කතාවේ මැද හරියෙනි. සුංසුමාර ජාතකයේ කතාවද බොහෝ දුරට වානර ජාතකයේ කතාවට සමානය. මේ කතා වල සිටින බෝධිසත්ව වඳුරාගේ හදවත සඟවා ඇති බව කියන්නේ දිඹුල් ගසකය.
වානර ජාතකයේ බෝධිසත්ව වඳුරා කිඹුලාට සිය අප්‍රසාදය පළ කරන්නේ මෙසේය.

"තොපි මා රැවටුව. මම තොප රවටාපීමි. වඳුරන්ගේ හෘදය මාංශයත් දිඹුල් ගස උඩ තිබේද? තා රවටාලා මාගේ ප්‍රාණය ගලවා ගතිමි. තොපගේ උයනේ ඇති අමෘත ඵලාඵලයෙනුත් මට කම් නැත."

බෝධිසත්ව වඳුරෙක් වූ නිසාදෝ මේ වඳුරා කුණුහරුප කියන්නේ නැත. ජන වහරේ පැවති මේ කතාව බුද්ධ කාලයේදීම හෝ බුද්ධ කාලයෙන් සියවස් දෙක තුනකට පසුව බෞද්ධ සාහිත්‍යට එක් වූවා විය හැකිය. ජපානය වැනි රටවලට ගොස් ඇත්තේ (කොන්ජකු මොනොගතරිෂු) මේ බෞද්ධ කතාවයි. අරාබියට ගොස් ඇත්තේ (කලීලා සහ දිම්නා) පංචතන්ත්‍රයේ කතාවයි.


බෝධිසත්ව වඳුරන් විසින් කිඹුලන් හෝ කිඹුලියන් රවටන්නේ ඉහතින් සඳහන් කළ සුංසුමාර හා වානර ජාතක කතා දෙකේ පමණක් නොවේ. වානරින්ද හා කුම්භිල ජාතක වල ඇති කතාද ඉහත කතාවට බොහෝ ආසන්නය. විවිධ වෙනස්කම් සහිතව ලෝකයේ රටවල් ගණනාවකට සම්ප්‍රේෂණය වී ඇති වඳුරු කිඹුල් කතාව හා අදාළව පශ්චාත් උපාධි නිබන්ධන පවා ලියැවී තිබේ.


කොහේ හෝ තැනක කියවූ පරිදි මේ කතාවේ කිඹුලාගෙන් සංකේතවත් වන්නේ සිය බිරිඳගේ අවශ්‍යතා සැපිරිය නොහැකි දුර්වල ස්වාමි පුරුෂයෙකි. වඳුරා යනු බිරිඳට ඔහු පෙන්වන ප්‍රතිරූපයයි. එහෙත්, කිඹුලා ඔහුගේ සැබෑ ප්‍රතිරූපයයි. ඔහු වඳුරා මෙන් ගසට නැග ඇයට පලතුරු කඩා දෙන්නට නොහැකි (ඇයගේ අවශ්‍යතා සැපිරිය නොහැකි) දුර්වල සැමියෙකි. වඳුරු හදවත ඉල්ලීමෙන් සංකේතවත් වන්නේ බිරිඳ සිය සැමියාගෙන් අපේක්ෂා කරන පෞරුෂත්වයයි. වඳුරා සහ කිඹුලා අතර ගැටුම මේ පුරුෂයා විසින් බිරිඳට පෙන්වන්නට උත්සාහ කරන පෞරුෂත්ව මඟින් ඔහුගේ සැබෑ පෞරුෂත්ව යටපත් කිරීමට උත්සාහ කිරීම තුළ ඇති වන ගැටුමයි. එයින් ඔහුට ජය ගැනීමට නොහැකි වන අතර කතාව අවසන් වන්නේ ඔහුව බිරිඳට එළිදරවු වීමෙනි. වඳුරාගෙන් සමච්චලයට ලක්වීමෙන් සංකේතවත් වන්නේ එයයි. මේ අනුව, මෙහි තේමාව ටිකක් දුරට හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න තේමාවට කිට්ටුය. මනෝ විශ්ලේෂණය මා හදාරා ඇති විෂයයක් නොවන නිසා මේ ගැන මා වැඩි දෙයක් දන්නේ නැත.


මට පෙනෙන හැටියටනම් කිඹුලා මුහුණ දී ඇති ප්‍රශ්නය ආවස්ථික පිරිවැය පිළිබඳ ප්‍රශ්නයකි. එක පැත්තකින් කිඹුලිය සතුටු කිරීම නිසා ලැබෙන අනාගත වාසි තිබේ. අනිත් පැත්තෙන් දිගින් දිගටම අඹ (හෝ දඹ) කන්නට ලැබීමේ අවස්ථාව තිබේ. කිඹුලා මේ වාසි සසඳා කෑම වෙනුවට ලෑම තෝරාගෙන ඇතත් අවසානයේදී තොරතුරු අසමමිතිය පිළිබඳ ගැටළුවකට මුහුණ දී කෑමත් ලෑමත් දෙකම නැති කරගෙන තිබේ. අපට කිසියම් අවස්ථාවක අප සතුව ඇති තොරතුරු මත පදනම්ව විශ්ලේෂණය කර වඩාත්ම වාසිදායක තීරණය ගන්නට හැකි වුවත්, අපේ දැනුමේ සීමාවන් නිසා එසේ ගත් තීරණයක් හොඳම තීරණය නොවන බව පසුව අවබෝධ වන්නට පුළුවන.
 

මා කුඩා කාලයේ මගේ වැඩිහිටියන්ගෙන් ඇසූ වඳුරු කිඹුල් කතාවේ වඳුරා හිටියේ ජම්බු ගසකය. පංචතන්ත්‍රයේ කතාවට සමාන මේ කතාවේ දඹ ගස ලංකාවේදී ජම්බු ගසක් වූවා විය හැකිය.

අප එකිනෙකා කතා කරන භාෂාව 'සිංහල' හෝ 'ඉංග්‍රීසි' වැනි නිශ්චිත භාෂාවක් ලෙස හැඳින්වීමෙන් අදහස් වන්නේ අප කතාකරන භාෂාව එකම භාෂාව බව නොවේ. අප කතා කරන භාෂාව වෙනස් වන්නේ ප්‍රාදේශීය ව්‍යවහාර නිසා පමණක්ද නොවේ. අපේ වයස් මට්ටම්, ලබා ඇති අධ්‍යාපනය හා වෘත්තීය ක්ෂේත්‍රය, කතා කරන්නේ කා සමඟද යන්න වැනි විවිධ හේතූන් මත අපේ භාෂාව වෙනස් වේ. ඒ නිසා, එකම අදහස ප්‍රකාශ කිරීම සඳහා අප විසින් "මේ දෑස කුමටද?", "මේ දෑස මක්කටෙයි?" හෝ "මේ ඇස් ගෙඩි දෙක මොන මගුලකටද?" ආදී විවිධ ආකාර යොදාගන්නට පුළුවන.
 

පරම්පරාවක් තුළ භාෂාවක් විශාල ලෙස වෙනස් වේ. ඊට අමතරම, කිසියම් කතාවකින් ගම්‍ය වන අදහසද කාලයත් සමඟ වෙනස් වේ. ඒ නිසා, අපට අපේ දරුවන්ට කියා දෙන්නට වෙන්නේ අපේ වැඩිහිටියන් අපට කියා දුන් කතාවම නොවේ. ඔවුන් තේරුම් ගන්නේ අප ඔවුන්ට කියා දෙන කතාවද නොවේ. පරම්පරා ගණනාවක් මෙය සිදුවන විට කතාවක් සැලකිය යුතු ලෙස වෙනස් වන්නට පුළුවන.

අපේ පෞද්ගලික අත්දැකීම් නොවන අතීතය අප අවබෝධ කරගන්නේ අප අසන හෝ කියවන "කතන්දර" ඇසුරිනි. එහෙත්, මේ කතන්දර අපට ඇසෙන විට අපේ හිතේ මැවෙන්නේ කතාව කියන තැනැත්තාගේ හිතේ ඇති චිත්ත රූපයම නොවේ. පසුව අප විසින් වචන වලට හරවන්නේ මෙසේ අපේ හිතේ මැවෙන චිත්තරූප මිස අපට කතාව කියාදුන් තැනැත්තාගේ හිතේ ඇති චිත්තරූප නොවේ.

කාලයක් තමන් විසින් දුන් අඹ කෑ ගිරවා අන්තිමේදී වඳුරාගේ හදවත කන්නට තැත්කරන කතාව අසන අප බොහෝ දෙනෙකු ඒ වෙලාවේ මනසින් වඳුරාගේ චරිතය තුළට කිමිදේ. එදා
වඳුරා සිටි තත්ත්වයට පත් වූයේනම්, අප බොහෝ දෙනෙකුට අද මතක් වන්නේ සමාජ ජාලා වල ඇති කතාවේ ආකාරයේ කුණුහරුප වැලක් මිස අප කුඩා කාලයේ අසා ඇති කතාවේ තිබුණු හෝ ජාතක කතා පොතේ ඇති වඩා සභ්‍ය වචන නොවේ. වඳුරු කුණුහරුප කතාව සමාජ ජාලා වල හිට් වෙන්නේ ඒ කතාවේ අවසානයට ඇති වචන කියවන බොහෝ දෙනෙකුගේ චිත්තරූප සමඟ සමීපව සමපාත වන බැවිනි.

කතා වලට පරම්පරා ගණනක් තිස්සේ එකතු වී ඇති වඳුරු කුණුහරුප ගැටලුවක් වන්නේ ඉතිහාසය හදාරන්නට යන විටය. සියලුම ආගම් වලට අයත් ආගමික සාහිත්‍යයේද මේ ප්‍රශ්නය තිබේ.

වංශ කතා මත පදනම්ව වසර දෙදහස් පන්සිය ගණනක ඉතිහාසයක් ගැන අප කතා කළත් ඇත්තටම අප සතු ලිඛිත ඉතිහාසය එතරම් පැරණි නැත. ඓතිහාසික කරුණු වාර්තා කිරීමේදී ලේඛකයින් මතිග්‍රාහී වීම පැත්තකින් තිබ්බත්, වංශකතා පොත් වල ඓතිහාසික කරුණු වාර්තා කිරීම පිළිවෙලකට සිදුවී ඇත්තේ පස්වන සියවසේදී පමණ සිටය. ඊට පෙර වසර දහසක පමණ කාලය ගැන අප දන්නේ පස්වන සියවසේ ජීවත්ව සිටි අය දැන සිටි ඉතිහාසයයි. ඒ ඉතිහාසයෙන්ද, මහින්දාගමනයෙන් පසුව කාලයේ සිදුවූ සිදුවීම් මුඛ පරම්පරාවෙන් වුවත් සෑහෙන තරම් නිවැරදිව සම්ප්‍රේෂණය වී ඇතත් ඊට පෙර කාලය පිළිබඳව ඇත්තේ ඉතා අඩු විශ්වසනීයත්වයකි. කාලයත් සමඟ සැබෑ තොරතුරු වලට 'වඳුරු කුණුහරුප' වැඩි වැඩියෙන් එකතු වේ.



බුද්ධ ධර්මයද පරම්පරාවෙන් පරම්පරාවට මුඛ පරම්පරාවෙන් එද්දී අලුත් කොටස් එකතු වීම, පැවති කොටස් වෙනස් වීම හා ඉවත්වීම මෙන්ම අර්ථකතන වෙනස් වීමද දිගින් දිගටම සිදු වී තිබේ. ලංකාවේ සංස්කෘතිය තුළ ජීවත් වන කෙනෙක් බුද්ධ ධර්මය තේරුම් ගන්නේත් සම්ප්‍රේෂණය කරන්නේත් තමන්ගේ දැනුමට සාපේක්ෂවය. මේ වන විට ථෙරවාද බුද්ධාගම ලෙස හඳුනාගන්නා බුද්ධාගමේ ප්‍රභේද සියල්ල කිසියම් අවදියකදී ලංකාව හරහා අදාළ රටවලට සම්ප්‍රේෂණය වී ඇති නිසා ථෙරවාද බුද්ධාගමේ ඕනෑම ප්‍රභේදයක් ලංකාවේ සංස්කෘතික ලකුණු වලින් විනිර්මුක්ත නොවේ.


නිවැරදි ඉතිහාසය කුමක්දැයි තේරුම් ගැනීමට අප අසන හා කියවන ඉතිහාස කතන්දර වලින් මේ වඳුරු කුණුහරුප ඉවත් කරන්නට සිදුවේ. එහෙත්, මෙහි ඇති ගැටළුව සැබෑ ඉතිහාසය කුමක්දැයි හරියටම නොදන්නා අප විසින් අපේ දැනුමට සාපේක්ෂව සිතමින් අප හමුවේ ඇති ඉතිහාසයෙන් වඳුරු කුණුහරුප ඉවත් කරන්නට යාමේදී අවසාන වශයෙන් ඉතිහාසයට අප අතින් වඳුරු කුණුහරුප එකතු වන්නට ඉඩ තිබීමයි. ඒ නිසා, වඩාත්ම සුදුසු දෙය වන්නේ, කෙතරම් විශ්වසනීය නොවූවත්, ඓතිහාසික තොරතුරු විකෘති නොකරන අතරම අපේ කෝණයෙන් එම තොරතුරු විශ්ලේෂණය කිරීමයි. මෙය ආගමික සාහිත්‍යයටද අදාළය.


(Image: http://www.dailymail.co.uk/news/article-1094657/PICTURED-The-Japanese-snow-monkeys-enjoy-hot-bath.html)

Monday, June 19, 2017

ක්‍රීඩා ඇමති නැත්නම් ක්‍රීඩාව ඉවර වෙයිද?


ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම රටක් වශයෙන් මෙන්ම ක්‍රීඩකයෙකුට පෞද්ගලිකවද ලබා ගත හැකි විශාලම ජයග්‍රහණයකි. ලංකාව වෙනුවෙන් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු විසින් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගෙන නැත. එදා මෙදාතුර පැවති ඔලිම්පික් තරඟාවලි වලින් ලංකාවට රිදී පදක්කම් දෙකක් පමණක් හිමි වී තිබේ.

ලංකාව වෙනුවෙන් මුලින්ම ඔලිම්පික් පදක්කමක් දිනා ගනු ලැබුවේ එංගලන්ත සම්භවයක් තිබුණු ලාංකිකයෙකු වූ ඩන්කන් වයිට් විසිනි. කළුතර, ලත්පඳුරේදී උපත ලැබූවකු වූ ඩන්කන් වයිට් විසින් 1948 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත්තේය. ඉන් පසුව, මහරගම ගුරු විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ දේශකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු පසුව නයිජීරියාවේ සරසවි දෙකකද දේශකයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසුව එංගලන්තයේ පදිංචියට ගොස් මිය යන තුරු එහි ජීවත් වී තිබේ.

ලංකාව වෙනුවෙන් දෙවන ඔලිම්පික් පදක්කම හිමි කර දුන්නේ සුසන්තිකා ජයසිංහයි. 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් තරඟයේදී ඇය ලෝකඩ පදක්කමක් දිනාගත්තාය. වසර හතකට පසුව මේ තරඟයේදී ඇයට වඩා ඉදිරියෙන් සිටි මේරියන් ජෝන්ස් විසින් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව තහවුරු වීම නිසා සුසන්තිකාගේ ලෝකඩ පදක්කම රිදී පදක්කමක් විය. මේරියන් ජෝන්ස්ට ඈ විසින් දිනාගෙන තිබුණු ඔලිම්පික් රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් අහිමි වූ අතර ඔලිම්පික් තරඟ වාරණයක්ද පැනවුණු අතර පසුව සයමසක සිර දඬුවමක්ද හිමි විය.

සුසන්තිකා ජයසිංහගෙන් පසුව වෙනත් කිසිවකු විසින් ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නැත.

ඔලිම්පික් තරඟ වලදී වැඩිම දස්කම් දක්වා ඇති රට ඇමරිකා එක්සත් ජනපදයයි. ශිශිර ඔලිම්පික් තරඟාවලිද ඇතුළුව, ඇමරිකාව විසින් ලබාගෙන ඇති ඔලිම්පික් පදක්කම් ගණන 2,800 ඉක්මවන අතර එය මුළු පදක්කම් ගණනින් හයෙන් එකක් පමණ වේ. සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර එරට ඇමරිකාවට හොඳ තරඟයක් දුන්නේය. එහෙත් ඔලිම්පික් තරඟාවලි වැඩි ගණනකදී වැඩිම පදක්කම් හිමි කරගෙන ඇත්තේ ඇමරිකාවයි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇමරිකාව දෙවැනි තැනට වැටුනේ බෙයිජිං තරඟාවලියේදී පමණි.

ඇමරිකා එක්සත් ජනපදය ලංකාව මෙන් 16 ගුණයක ජනගහනයක් සිටින රටකි. ඒ නිසා, ඇමරිකාව ලංකාවට වඩා ඔලිම්පික් පදක්කම් ගැනීම තේරුම් ගත හැකිය. එහෙත්, ඇමරිකාව ඔලිම්පික් තරඟයකදී සාමාන්‍යයෙන් පදක්කම් 100ක් පමණ දිනාගනිද්දී ලංකාවට කලාතුරකින් හැර එක් පදක්කමක් හෝ දිනාගන්නට නොහැකි වීම විමසිය යුතු කරුණකි.

වැඩිපුර ඔලිම්පික් පදක්කම් ගැනීම සඳහා ලංකාව කළ යුත්තේ කුමක්ද? ක්‍රීඩා ඇමති මාරු කළ යුතුද? ක්‍රීඩා ඇමතිව දිරිගැන්වීම සඳහා ඔහුට තවත් වාහන කිහිපයක් ලබා දිය යුතුද? ක්‍රීඩා අමාත්‍යංශයට වෙන්කරන ප්‍රතිපාදන වැඩි කර තවත් නිලධාරීන් බඳවා ගත යුතුද? එසේ නැත්නම්, ඔලිම්පික් තරඟ වලදී ඉදිරියෙන්ම සිටින ඇමරිකාව වැනි රටක් කර
දේ අනුගමනය කළ යුතුද?

ඇමරිකන් රජය ක්‍රීඩාව දිරිගැන්වීම සඳහා කොපමණ මුදලක් හා නිලධාරීන් පිරිසක් වෙන් කරනවාද?

සතයක්වත් නැත. ඇමරිකාවේ ක්‍රීඩා ඇමතිලා හෝ ලේකම්ලා නැත. ක්‍රීඩා අමාත්‍යංශයක් හෝ දෙපාර්තමේන්තුවක්ද නැත. රජයේ වෙනත් ආයතනයක් යටතේ ඒ කටයුතු සිදුවන්නේද නැත. අඩු වශයෙන් ඇමරිකන් රජය විසින් ඇමරිකන් ක්‍රීඩකයින් විසින් උපයන ත්‍යාග මුදල්ද ඇතුළු ආදායමෙන් රටේ අනෙක් අයගෙන් අය කරන බදු මුදල අය නොකර සිටින්නේ හෝ නැත.

ඇමරිකාවේ ඔලිම්පික් ක්‍රීඩකයින් පුහුණු කරන හා ඔවුන්ට ත්‍යාග මුදල් ඇතුළු මූල්‍යමය ආධාර සපයන "ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයකි.
ඇමරිකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ලෙස ක්‍රියා කරන්නේද  රජයට සම්බන්ධයක් නැති මෙම ආයතනයයි. හමුදා සාමාජිකයින් වෙනුවෙන් කරන ඇතැම් කටයුතු වෙනුවෙන් ලබාගන්නා මුදල් හැර එම සංවිධානයට රජයෙන් කිසිදු මුදලක් නොලැබේ. එහෙත්, පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 212.9ක් එම සංවිධානය විසින් ක්‍රීඩාව වෙනුවෙන් වැය කර තිබේ. මේ වියදම් වලට ක්‍රීඩකයින්ගේ සරසවි අධ්‍යාපන වියදම් පියවීම වැනි සුබසාධන කටයුතු සඳහා වන වියදම්ද ඇතුළත්ය.

"ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයක් වුවත්, එයින් අදහස් වන්නේ ඔවුන් පාඩු ලබන බව නොවේ. තමන් සතු විකාශන අයිතිය ඇතුළු අයිතීන් විකිණීමෙන් එම ආයතනය විසින් වසර තුළ ඩොලර් මිලියන 293.9ක ආදායමක් උපයා ඇති අතර මහජන ආධාර හා වත්කම් ආයෝජන ආදායම් ආදියද ඇතුළුව ඩොලර් මිලියන 350.6ක සමස්ත ආදායමක් ලබා තිබේ. පරිපාලන වියදම් ආදිය ඇතුළු සියලු වියදම් ඉවත් කිරීමෙන් පසුව ඩොලර් මිලියන 77.9ක ලාභයක් එම ආයතනයේ ප්‍රාග්ධන වත්කම් වලට වසර තුළදී එකතු වී තිබේ.

ක්‍රීඩාව යනු පහසුවෙන් වැය කරන මුදලට වඩා ආදායම් ඉපයිය හැකි ක්ෂේත්‍රයකි. ඒ නිසා, රටක් ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගෙනයාම සඳහා මහජන මුදල් වැය කිරීම හෝ රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යම කරුණක් නොවේ.

ඩන්කන් වයිට්ගේ කාලයේදී නොතිබුණත්, සෑහෙන කලක සිට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයක් තිබෙන අතර මහජන මුදලින් ක්‍රීඩා ඇමතිවරයෙකු හා විශාල නිලධාරීන් පිරිසක් නඩත්තු කෙරේ. ක්‍රීඩා අමාත්‍යංශයේ වියදම් වෙනුවෙන් 2017 වසර සඳහා රුපියල් මිලියන 4,484ක් වෙන් කර ඇති අතර දළ වශයෙන් ලංකාවේ එක් පවුලක් ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් රුපියල් 900ක් පමණ මේ වසරේදී වැය කිරීමට නියමිතය. මෙය හාල් කිලෝ දහයක්, මස් හෝ මාළු කිලෝවක්, කිරිපිටි කිලෝවක පැකැට්ටුවක්, අලුත් කමිසයක්, චීන අවන්හලකින් කෑම වේලක් නැත්නම් අරක්කු බෝතලයක් වැනි දෙයක් වෙනුවෙන් වැය කළ හැකි මුදලකි.

ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් ලංකාවේ පවුලකට තමන්ට මිලදී ගත හැකිව තිබුණු හාල් කිලෝ දහය, මස් හෝ මාළු කිලෝව, කිරිපිටි කිලෝවක පැකැට්ටුව, අලුත් කමිසය, චීන කෑම වේල නැත්නම් අරක්කු බෝතලය කැප කරන්නට සිදුවන අතර ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නේ මොනවාද යන්න විමසා බැලිය යුතු දෙයකි.

පසුගිය වසර හැට නවයක කාලය තුළ ලබාගත් එකම ඔලිම්පික් පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ විසින්ද කිහිප වරක් කර ඇති චෝදනාවක් වන්නේ රජය ඇය වෙනුවෙන් ප්‍රමාණවත් දෙයක් කර නැති බවයි. ඇතැම් විට ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් රජය විසින් කිසිවක් නොකළද මේ කාලය තුළ අහඹු ලෙස එක් ඔලිම්පික් පදක්කමක් ලංකාවට හිමි වන්නට ඉඩ තිබුණු බව අපට බැහැර කළ නොහැකිය.

සුසන්තිකා විසින් රජයෙන් දිගින් දිගටම වරප්‍රසාද ඉල්ලීම අනුමත කළ නොහැකි වුවත්, ඇගේ ඉල්ලීමේ පදනමක් නැතුවාම නොවේ. ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා ලංකාවේ වෙනත් පවුල් මෙන්ම ඇයද දායක වී තිබේ. මේ පවුල් වලින් වැඩි දෙනෙකුට තමන් වැය කළ මුදල වෙනුවෙන් ප්‍රතිලාභයක් නොලැබෙන හා ලබාගන්නට ඉඩක් නැති පසුබිමක අඩු වශයෙන් ඒ වෙනුවෙන් හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති සුසන්තිකා විසින් හෝ එය කිරීම පෞද්ගලිකව කෙසේවෙතත් රටේ රජයෙන් බැහැරව සිටින පුද්ගලයින්ගේ නියෝජිතයෙකු ලෙස සැලකූ විට තමන්ට අයිති දෙයක් ඉල්ලා සිටීමකි.

ක්‍රීඩාව වෙනුවෙන් කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොකරන හා පොදු අරමුදල් වැය නොකරන ඇමරිකාව ක්‍රීඩාව අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවීම අහම්බයක් නොවේ. රාජ්‍ය මැදිහත්වීම් නිසා හැමවිටම පාහේ ප්‍රායෝගිකව සිදුවන්නේ වඩාත්ම සුදුස්සාට තැන නොලැබී යාමයි. රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයේ කොටසක් වන මෙය ක්‍රීඩා ඇමති මාරු කිරීමෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයට වැඩිපුර ප්‍රතිපාදන ලබා දීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.


රාජ්‍ය මැදිහත්වීම් අවම වන තරමට දක්ෂයින්ට ඉහළට පැමිණීමට ඇති අවකාශ පුළුල් වනු ඇති අතර ක්‍රීඩාවට ලැදි අයට එවැන්නන්ට සෘජුවම උදවු කිරීමටද අවකාශ සැලසෙනු ඇත. ඒ සඳහා අතරමැදියෙකු ලෙස රජය යොදාගත් විට අවසාන වශයෙන් සිදුවන්නේ කොහේවත් ඉන්නා පිරිසක් නඩත්තු කිරීමේ බර මහජනයාට දරන්නට සිදුවීම පමණි.

මෙය ලංකාවේ දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිලිබඳ එක් උදාහරණයක් පමණි. රජය මගින් කරන වෙනත් බොහෝ කටයුතු වල තත්ත්වයේද වැඩි වෙනසක් නැත.

(Image: http://dailynews.lk/2016/08/09/sports/89913)

Sunday, June 18, 2017

බඩගින්නට කන්න බැරි ඔලිම්පික් පදක්කම්


ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ඔලිම්පික් පදක්කම්ලාභියෙකුට ඒ වෙනුවෙන් රටේ ජාතික ඔලිම්පික් කමිටුවෙන් හෝ වෙනත් අරමුදලකින් ලැබෙන ත්‍යාග මුදල වැඩිම වුනොත් මාස දෙක තුනකට වඩා ජීවත් වන්නට ප්‍රමාණවත් මුදලක් නොවේ. ලැබුණු පදක්කම වෙන්දේසි කළද වැඩිම වුනොත් තවත් මාස දෙකකට වඩා ජීවත් වන්නට ප්‍රමාණවත් මුදලක් නොලැබේ. ඒ නිසා, ඔලිම්පික් පදක්කමක් ලැබුණු පමණින් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තමන්ගේ ඉතිරි ජීවිත කාලයම කිරෙන් කා තෙලෙන් අත හෝදා ජීවිතය ගෙවන්නට නොහැකිය. ඔවුන්ට තමන්ගේ මූලික වියදම් පියවා ගැනීම සඳහා කුමක් හෝ රැකියාවක් කරන්නට සිදු වේ.

කුසලතා පූර්ණ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට බොහෝ විට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රැකියාව අදාළ ක්‍රීඩාව පුහුණු කිරීමයි. එහෙත්, අඩු වශයෙන් ඇමරිකාවේ, ඔලිම්පික් පදක්කම්ලාභීන්ට ආණ්ඩුවෙන් ක්‍රීඩා පුහුණුකාර රැකියා දෙන්නේ නැත. ඒ අයට බොහෝ විට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කරන්නට වෙන්නේ ස්වයං රැකියාවකි. මේ සඳහා ඉල්ලුමක් ඇතිවන්නේ එවැනි ක්‍රීඩකයෙකු දක්ෂ ක්‍රීඩකයෙකු වනවාට අමතරව දක්ෂ ක්‍රීඩා පුහුණුකරුවෙකුද වන්නේනම් පමණි. සරසවියක පළමු පන්තියේ සාමාර්ථ ගන්නා ඇතැම් අය විෂයයෙහි දක්ෂයන් වුවත් ඉගැන්වීමෙහි දක්ෂයන් නොවන්නාක් මෙනි.

ඇතැම් ඔලිම්පික් පදක්කම්ලාභීහු දක්ෂ ක්‍රීඩා පුහුණුකරුවෝ නොවෙති. එසේ වූ විට ඔවුන්ට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස සේවය කර ප්‍රමාණවත් ආදායමක් ලැබිය නොහැකි බැවින්, ජීවත්වීම සඳහා විකල්ප රැකියාවක් තෝරාගන්නට සිදුවේ. තවත් ඇතැම් අය සතුව ක්‍රීඩා පුහුණුකරුවන් වශයෙන් කුසලතාවක් ඇතත්, ඊට වඩා දක්ෂතා දක්වන වෙනත් කුසලතාවක් තිබේනම් එවැන්නෙකුගේ තේරීම ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කටයුතු නොකර වෙනත් රැකියාවක් කිරීම විය හැකිය.

ඔලිම්පික් පදක්කම්ලාභීහු විශාල පිරිසක් විවිධ හේතු නිසා ක්‍රීඩාවට සම්බන්ධ නැති වෙනත් රැකියා කරති.

කැරීන් ඩේවිස් 2004 ඇතන්ස් ඔලිම්පික් තරඟයේදී රිදී පදක්කම්ක්ද, 2008 හා 2012 වසර වලදී රන් පදක්කම්ද දිනා ගත්තේ ඇගේ අධ්‍යාපන කටයුතුද දිගටම කරගෙන යන අතරතුරදීය. ඇය 2005දී හාර්වඩ් සරසවියෙන් ප්‍රථම උපාධියද, 2013දී කොලොම්බියා නීති විද්‍යාලයෙන් නීති උපාධියද (JD), 2015දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් MBA උපාධියක්ද ලබාගත් අතර දැනට ව්‍යාපාර නීතිය පිළිබඳ නීතිඥ වරියක ලෙස කටයුතු කරයි.

එරික් හේඩන් විසින් 1980 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී ලෝක වාර්තාවක් හා ඔලිම්පික් වාර්තා හතරක් තබමින් ඇමරිකාව වෙනුවෙන් රන් පදක්කම් පහක් ජයග්‍රහණය කර දුන්නේය. ඉන් අනතුරුව, 1984දී ස්ටෑන්ෆර්ඩ් සරසවියෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගත් ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී 1991 වෙද්දී සිය වෛද්‍ය (MD) උපාධියද සම්පූර්ණ කළේය. ඔහු මේ වන විට විකලාංග විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරයි.

මිනසෝටා ප්‍රාන්තයේ බෙමිජිහි ඇති ඩේව්ස් පීසා අවන්හල 1996 වසරේ සිට කරගෙන යන්නේ පීට් ෆෙන්සන් සහ ඔහුගේ බිරිඳයි. 2006 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී පීට් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. එයින් ඔහුට ලැබුණු අමතර වාසියක් වූයේ ඔහුගේ පීසා අවන්හලට එන පාරිභෝගිකයින් ගණන වැඩි වීමයි. ඔහු තවමත් මේ පීසා අවන්හල කරගෙන යයි.

වරලත් ගණකාධිකාරිනියක හා ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන ග්වෙන් ජෝර්ගෙන්සන් අර්නස්ට් ඇන්ඩ් යං සමාගමේ ගණකාධිකාරිනියකි. ඇය පසුගිය වසරේදී රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත්තාය. මේ වන විට ඇය ඇගේ සම්පූර්න කාලය ක්‍රීඩාව වෙනුවෙන් යොදවයි.

මෙක්සිකානු ඇමරිකානුවෙක් වන ඩෙරික් පැරා 2002 ශිශිර ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් මෙන්ම රිදී පදක්කමක්ද දිනාගත් අයෙකි. ඔහු සෑහෙන කලක් සේවය කළේ හෝම් ඩිපෝ වෙළඳසැලක උද්‍යාන අංශයේ අර්ධකාලීන සේවකයෙකු වශයෙනි. ඊට පෙර ඔහු මැක්ඩොනල්ඩ් අවන්හලකද සේවය කර තිබේ. මේ වන විට ඔහු ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. 

ක්‍රීඩාව විශාල පිරිසකගේ විනෝදාංශයකි. ඇතැම් අය ක්‍රීඩා කිරීමෙන්ද, තවත් අය අනෙක් අය ක්‍රීඩා කරනු නැරඹීමෙන්ද සතුටු වෙති. විනෝදාංශයක් රැකියාවකින් වෙනස් වන්නේ විනෝදාංශ වෙනුවෙන් බොහෝ විට යමෙකුට කාලය හා ශ්‍රමය පමණක් නොව මුදල්ද තමන්ගේ සතුට වෙනුවෙන් වැය කරන්නට වීමෙනි. එයින් වෙනස්ව, රැකියාවක් කරන අයෙකුට තමන් වැය කරන කාලය හා ශ්‍රමය වෙනුවෙන් මුදල් ලැබේ. රැකියාවකින් කෙනෙකුට සතුටු විය හැකි වුවත් රැකියාවක ප්‍රධාන අරමුණ මුදල් ඉපැයීමයි.

රැකියාව පිණිස ක්‍රීඩාව තෝරාගත් අයද සිටිති. එසේ කළ හැක්කේ ක්‍රීඩා කිරීමෙන් වෙනත් බොහෝ පිරිසක් සතුටු කළ හැකි අයෙකුටය. දක්ෂ ක්‍රීඩකයෙකු වන්නට බොහෝ දෙනෙකු කැමති නිසා හොඳ ක්‍රීඩා පුහුණුකරුවෙකුට විශාල ඉල්ලුමක් තිබේ. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල රාජ්‍ය සේවක වැටුප් (අනෙකුත් සියලුම වරප්‍රසාද වල වටිනාකමද ඇතුලුව) පොදු තොරතුරක් වන අතර ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බලාගත හැකිය. මෙසේ දත්ත ප්‍රසිද්ධ කර ඇති ප්‍රාන්ත ගණනාවක වැඩිම වැටුප් ලබන්නේ කිසියම් රාජ්‍ය සරසවියක ක්‍රීඩා පුහුණුකරුවෙකි.

ඉහළ වැටුප් ලබන ක්‍රීඩා පුහුණුකරුවන් බොහෝ දෙනෙකු අදාළ ක්‍රීඩාවේද දක්ෂයින් වුවත්, කිසියම් ක්‍රීඩාවක කුසලතා ඇති සියල්ලෝම ඉහළ වැටුප් ලබන ක්‍රීඩා පුහුණුකරුවෝ නොවෙති.

රැකියාවක් ලෙස ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩා පුහුණුකරුවෙකු වීම පුද්ගලයෙකු සතු විකල්ප රැකියා තේරීම් අතරින් එකක් පමණි. ඇතැම් අයෙකුට එය වඩාත්ම හොඳ තේරීමයි. එහෙත්, වඩා වටිනා වෙනත් කුසලතා ඇති අයෙකුට එය එසේ නොවන්නට පුළුවන.

ක්‍රීඩා අංශයෙන් විශාල දක්ෂතා දක්වා ඇති කැරින් ඩේවිස් විසින් නීතිඥ වෘත්තීය තෝරාගෙන ඇත්තේත්, එරික් හේඩන් විසින් වෛද්‍ය වෘත්තීය තෝරා ගෙන තිබෙන්නේත් ඔවුන්ට ක්‍රීඩාවට වඩා ඵලදායී ලෙස කළ හැකි වෙනත් වෘත්තීය ක්ෂේත්‍රයක් තිබුණු නිසාය. පීට් ෆෙන්සන් පීසා අවන්හලක් කරගෙන යන්නේත් ඒ හේතුව නිසාය.

සාර්ථක ගණකාධිකාරීනියක ලෙස මෑතක් වන තුරුම රැකියාව කළ ග්වෙන් ජෝර්ගෙන්සන් දැන් පූර්ණකාලීනව ක්‍රීඩාව වෙත යොමු වී සිටින්නී, ඇයට එසේ කිරීමෙන් වැඩි ආර්ථික හෝ ආර්ථික නොවන ප්‍රතිලාභ ලැබෙන නිසාය. ඩෙරික් පැරා ක්‍රීඩකයෙකු ලෙස විශාල දක්ෂතා දක්වා තිබියදීද ඔහුට හෝම් ඩිපෝ උද්‍යාන අංශයේ අර්ධකාලීන සේවකයෙකු ලෙස කටයුතු කිරීමට සිදුව තිබුණේ ඔහුගේ කුසලතාවන් ඊට වඩා වැඩි ආදායමක් ඉපැයිය හැකි රැකියාවක් කිරීමට ප්‍රමාණවත් නොවූ නිසාය. එහෙත්, කුසලතා සපුරා ගැනීමෙන් පසුව ඔහුට ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ඉදිරියට යන්නට හැකි විය.

කලාව හා කලාකරුවන් ගැනද ඉහත ආකාරයේ විශ්ලේෂණයක් කළ හැකිය. යමෙකු ක්‍රීඩාව මෙන්ම කලාවද ප්‍රධාන රැකියාව ලෙස තෝරාගත යුත්තේ එය තමන්ට වැඩිම කුසලතා ඇති, වැඩිම ඵලදායිත්වයක් පෙන්විය හැකි රැකියා ක්ෂේත්‍රය ලෙස පෙනෙන විටය. එයින් පසුව, ලැබෙන ආදායම ගැන සතුටු නැත්නම් කළ යුත්තේ අදාළ ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රයක කුසලතාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමයි.

'දිවා රැකියාවක් නොකරන්නෙකු හොඳ කලාකරුවෙකු නොවේ' වැනි අදහසක් ඇති ඇමරිකන් කියමනක් තිබේ. මෙයින් අදහස් වන්නේ හොඳ කලාකරුවෙකුට කලාව වෙනුවෙන් කැපවීමේදී ජීවත් වීම සඳහා වෙනත් රැකියාවක් කරන්නට සිදුවන බවයි. 'කලාකාරයා හැමදාමත් හිඟන්නෙක්' බවට ලංකාවේ ඇති අදහස මෙයට කිට්ටුය.

අඩුම වශයෙන් දේපොළ අයිතිවාසිකම් නිසි ලෙස ආරක්ෂා කෙරෙන, නිදහස් වෙළඳපොළක් ඇති සමාජයකදී, මෙය හොඳ කලාකරුවන්ගේ ප්‍රශ්නයක් නොවේ. තමන් හොඳ කලාකරුවන් කියා සිතා සිටින අයගේ ප්‍රශ්නයකි. හොඳ කලාකරුවෙකු හෝ හොඳ කලාකෘතියක් යනු රසිකයින්ගේ තේරීමක් මිස තමන් සිතා සිටින දෙය නොවේ. රසිකයින් යමෙක් ගැන එසේ නොසිතනවානම්, එවැන්නෙකු විනෝදාංශයක් ලෙස කලාව තෝරා ගත් අයෙකු පමණි. විනෝදාංශ යනු මුදල් වැය කළ යුතු දේ මිස මුදල් ඉපැයීම සඳහා කරන දේ නොවේ.



Saturday, June 17, 2017

ඔලිම්පික් පදක්කමක වටිනාකම කොපමණද?


ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි ඉහළම ජයග්‍රහණයකි. ඔලිම්පික් ජයග්‍රාහකයන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි වන නමුත් ඒ පදක්කම් හදා තිබෙන්නේ අදාළ ලෝහ වලින්ම නොවේ.

ඔලිම්පික් රන් පදක්කමක රත්තරන් තිබෙන්නේ ග්රෑම් 6ක් පමණ හෙවත් 1.2% නොඉක්මවන ප්‍රමාණයක් පමණි. ඉතිරිය රිදී හා තඹ මිශ්‍රණයකි.

රිදී පදක්කමකනම් 92.5%ක් රිදී තිබේ. ඉතිරිය තඹයි. රන් පදක්කමක අඩංගු රිදී හා තඹ මිශ්‍රණයේ රිදී අනුපාතයද මෙයමය.

ලෝකඩ පදක්කමක 97%ක් පමණ තඹද, 2.5%ක් තුත්තනාගම්ද, 0.5ක් ටින් ලෝහයද අඩංගුය.

ඔලිම්පික් රන් පදක්කමක ලෝහ වටිනාකම ඇමරිකන් ඩොලර් 550ක් පමණද, රිදී පදක්කමක වටිනාකම ඩොලර් 300ක් පමණද, ලෝකඩ පදක්කමක වටිනාකම ඩොලර් 2ක් පමණද වේ.

ඔලිම්පික් පදක්කමක් දිනාගන්නා ක්‍රීඩකයෙකුට ඉහත පදක්කම් හැරුණු විට වෙනත් මුදල් ත්‍යාගයක් හිමි නොවේ. එහෙත්, බොහෝ රටවල ඔලිම්පික් කමිටු හෝ රජයයන් මඟින් ඔලිම්පික් පදක්කම් දිනා ගන්නා ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා යම් මුදල් ත්‍යාගයක් ප්‍රදානය කරයි.

අවසන් වරට ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළ සුසන්තිකා ජයසිංහට ඇගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් හිමි විය. මේ මුදල එවක පැවති විණිමය අනුපාතිකය අනුව ඇමරිකන් ඩොලර් 67,500ක පමණ මුදලකි.

මහජන පරිත්‍යාග මත යැපෙන ලාභ නොලබන සංවිධානයක් වන ඇමරිකන් ඔලිම්පික් කමිටුව විසින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභීන්ට පිළිවෙලින් ඇමරිකන් ඩොලර් 25000, 15000 හා 10000 බැගින් ලබා දෙයි. එහෙත්, මේ ත්‍යාග මුදල් වලින් සැලකිය යුතු කොටසක් ක්‍රීඩකයින් විසින් ආදායම් බදු ලෙස රජයට ගෙවිය යුතුය.

මේ අයුරින්ම කැනඩාවේ ක්‍රීඩක විශිෂ්ඨත්ව අරමුදල මඟින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභී කැනේඩියානු ක්‍රීඩකයින්ට  පිළිවෙලින් කැනේඩියන් ඩොලර් 20000, 15000 හා 10000 බැගින් ලබා දෙයි. මේ ත්‍යාග මුදල්ද ආදායම් බදු  වලට යටත්ය.

ඕස්ට්‍රේලියාවේ තත්ත්වයද මීට සමානය. ජයග්‍රාහක ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 20000, 15000 හා 10000 ලෙස ත්‍යාග මුදල් හිමි වේ.

එංගලන්තය ඔලිම්පික් ක්‍රීඩකයන්ට මෙවැනි ත්‍යාග මුදලක් පිරිනමන්නේ නැත.

ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට ලැබෙන මුදල් ත්‍යාගය එම රටවල ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව එතරම් විශාල නොවූවත්, ක්‍රීඩකයින් දිරි ගැන්වීම සඳහා මීට වඩා සැලකිය යුතු ලෙස විශාල මුදල් ත්‍යාග පිරිනමන රටවල්ද තිබේ. මෙවැනි රටවල් බොහොමයක් වැඩිපුර ඔලිම්පික් පදක්කම් නොලබන රටවල්ය. ඒ නිසා, ඔලිම්පික් ක්‍රීඩකයෙකුට වැඩි වාසි තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල නොව ඔලිම්පික් පදක්කම් වැඩිපුර නොලබන රටවලය.

සිංගප්පූරුව විසින් ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගන්නා එරට ක්‍රීඩකයෙකුට සිංගප්පූරු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව කලක සිට නිවේදනය කර තිබුණු අතර 2016 ඔලිම්පික් තරඟයේදී මුල් වලට ක්‍රීඩකයෙකු විසින් මේ ත්‍යාගය දිනා ගත්තේය, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට සිංගප්පූරුව විසින් සිංගප්පූරු ඩොලර් 500,000 හා 250,000 බැගින් ප්‍රදානය කරයි. දන්නා තරමින් ඔලිම්පික් පදක්කම්ලාභීන්ට වැඩිම මුදල් ත්‍යාග ගෙවන රට සිංගප්පූරුවයි.

අසල්වැසි ඉන්දියාව විසින් මෙවර ඔලිම්පික් තරඟයේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගන්නා ක්‍රීඩකයින්ට පිළිවෙලින් ඉන්දියානු රුපියල් ලක්ෂ 50, 30 හා 20 ලෙස ත්‍යාග මුදල් ලබා දෙන බව නිවේදනය කර තිබුණේය. ඉන්දියාවට මෙවර රිදී හා ලෝකඩ පදක්කම බැගින් ලැබුණත් රන් පදක්කමක් හිමි වුණේ නැත.

ඇතැම් ඔලිම්පික් පදක්කම්ලාභීන් විසින් ඔවුන්ගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසි කර තිබේ. බොහෝ විට මෙය කර ඇත්තේ කිසියම් පුණ්‍ය කටයුත්තක් සඳහා මුදල් ඉපැයීමටය. මේ වෙන්දේසි වලදී, ඔලිම්පික් පදක්කමක මිල බොහෝ විට තීරණය වී ඇත්තේ පදක්කම ලබාගත් වසර හා පදක්කම්ලාභියා කෙතරම් ප්‍රසිද්ධද යන්න මතය.

බර්ලින්හි පැවති 1936 ඔලිම්පික් තරඟයේදී ජෙසී අවන්ස් විසින් ලබාගත් ඔලිම්පික් රන් පදක්කමක් 2013දී ඇමරිකන් ඩොලර් 1,466,574 කට වෙන්දේසි වූ අතර දන්නා තරමින් මෙය ඔලිම්පික් පදක්කමක් වෙන්දේසි වී ඇති ඉහළම මිලයි. මළල ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රීඩකයා ලෙස සැලකෙන අප්‍රිකානු ඇමරිකානුවෙක් වූ ජෙසී අවන්ස් විසින් 1936 බර්ලින් ඔලිම්පික් තරඟයේදී මිනිත්තු 45ක් තුළ ලෝක වාර්තා තුනක් තබමින්, ඔලිම්පික් රන් පදක්කම් හතරක් දිනාගත්තේය. ජෙසී අවන්ස්ගේ සුපිරි කාර්ය සාධනය එවකට ජනප්‍රියව පැවති හිට්ලර්ගේ ආර්ය විශිෂ්ඨත්වය පිළිබඳ ප්‍රවාදයට විශාල අභියෝගයක් වූ අතර ඒ හේතුවෙන් ඔහුට ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවිය. ඔහුගේ ඔලිම්පික් රන් පදක්කම මෙවැනි ඉහළ මිලකට වෙන්දේසි වීමට හේතුව වූයේ එයයි.

කලකට පසු සුසන්තිකා ජයසිංහ විසින් ලංකාවටද ඔලිම්පික් ජයග්‍රහණයක් ලබා දුන්, 2000 සිඩ්නි ඔලිම්පික් තරඟයේදී රන් පදක්කමක් දිනාගත් තවත් කළු ඇමරිකානුවෙකු වූ ඇන්තනී අර්වින් විසින් 2004 ආසියානු සුනාමියෙන් විපතට පත් වූවන්ට ආධාර පිණිස ඔහුගේ ඔලිම්පික් රන් පදක්කම ඊබේහි වෙන්දේසි කළ අතර එම පදක්කම ඇමරිකන් ඩොලර් 17,101කට වෙන්දේසි විය. ඉන්පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි ඔහු පසුව නැවතත් පුහුණුවීම් කර 2016දී තවත් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත්තේය. මුල් පදක්කම නැතත් මේ දෙවන පදක්කම තවමත් ඔහු සතුව තිබේ.


සැබෑ ඔලිම්පික් පදක්කම් වලට සමාන අනුකරණ පදක්කම් ඒවායේ ලෝහ අගයට ආසන්න ඉතා අඩු මිලකට ඊබේහි විකිණේ. මෙවැනි අනුකරණ ඔලිම්පික් පදක්කමක් ඩොලර් විස්සකට තිහකට මිල දී ගත හැකිය. එහෙත්, සැබෑ ඔලිම්පික් පදක්කමක් වෙළඳපොළෙන් මිලදී ගැනීම එතරම් පහසු නොවන්නේ සිය පදක්කම විකුණන්නට ඉදිරිපත් වන ක්‍රීඩකයින් ඉන්නේ සීමිත ප්‍රමාණයක් බැවිනි. ඒ නිසා, සැබෑ ඔලිම්පික් පදක්කම් ඒවායේ ලෝහ අගයට වඩා ඉතා වැඩි මිලකට වෙළඳපොලේ අලෙවි වේ.

සැබෑ ඔලිම්පික් පදක්කම් ඒවායේ ලෝහ වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවා මිලදී ගන්නේ විනෝදාංශයක් ලෙස ඔලිම්පික් පදක්කම් එකතු කරන අයයි. වෙන්දේසිකරුවන්ගේ ඇස්තමේන්තු අනුව ලෝකයේ මෙවැනි අය පණහකට වඩා නැත. ඒ නිසා, ඔලිම්පික් පදක්කම් වෙළදපොළේ සැපයුම අඩු වුවත්, ඉල්ලුමද අඩුය. මේ හේතුව නිසා, විශේෂත්වයක් නැති සාමාන්‍ය ඔලිම්පික් පදක්කමක් ඉතා විශාල මිලකට අලෙවි වන්නේද නැත.

යූඑස්ඒටුඩේ විසින් වසර කිහිපයකට පෙර වෙන්දේසිකරුවෙකු හා සාකච්ඡා කිරීමේදී ප්‍රකාශ කර තිබුණු පරිදි විශේෂ ඓතිහාසික සිදුවීමකට සම්බන්ධ නැති රන්, රිදී හා ලෝකඩ ඔලිම්පික් පදක්කම් වෙන්දේසි වන සාමාන්‍ය මිල පිළිවෙලින් ඩොලර් 10000, 8000 හා 6000 පමණ වේ. මේ අනුව, ඔලිම්පික් ක්‍රීඩකයින් වැඩි දෙනෙකුට සිය පදක්කම් වෙන්දේසි කර ලබා ගත හැකි මුදල තමන්ගේ රටේ ඔලිම්පික් කමිටුවෙන් ලැබෙන ත්‍යාග මුදලට
වඩා අඩු මුදලකි.

(Image: http://www.marketwatch.com/story/olympic-gold-medals-come-with-big-cash----if-youre-from-one-of-these-countries-2016-08-10)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...