වෙබ් ලිපිනය:

Wednesday, April 12, 2017

පහන් තරුව ඔබ...

මේ ලිපිය සමඟ පළවන්නේ දැන් ටික වෙලාවකට කලින් ගත් ඡායාරූප තුනකි. දිනය අප්‍රේල් 11 ලෙස සටහන්ව ඇත්තේ කැමරාවේ දිනය නිවැරදිව සකස් කර නැති බැවිනි. නිවැරදි දිනය අප්‍රේල් 12 විය යුතුය. එමෙන්ම, ඡායාරූප ගත් කැමරාව හොඳ එකක් නොවීමත්, ඉකොනොමැට්ටා හොඳ ඡායාරූප ශිල්පියෙකු නොවීමත් නිසා මේ ඡායාරූපනම් කිසිම කමකට නැත.



අද උදේ 6.45ට පමණ එළියට බහින විට නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ඉහළින් දීප්තිමත්ව දකින්නට ලැබුණු පහන් තරුව හෙවත් සිකුරු ග්‍රහයා මනරම් දසුනක් විය. සැලකිල්ලෙන් බැලුවොත් පළමු ඡායාරූපයේ මැද තරමක් දකුණට වන්නට කුඩා තිතක් ලෙස ඔබට සිකුරු ග්‍රහයා දැකිය හැකිය.

අද අපට ඉර උදාවුණේ උදේ 7.10 ටය. නැවත නිවසට පැමිණ කැමරාව එළියට ගෙන ඉහත පළමු ඡායාරූපය ගන්නා විට උදේ 6.50ට පමණ විය. ඒ අනුව, ඒ වන විට අපේ ඉර උදාව සිදුවීමට මිනිත්තු 20ක් පමණ තිබුණේය. පොළොව මිනිත්තු 20ක් තුළ අංශක 5ක් පමණ භ්‍රමණය වෙයි. ඒ නිසා ඉර උදාවීමටනම් පොළොව තවත් අංශක 5කින් භ්‍රමණය විය යුතුය. වෙනත් විදිහකින් කියනවානම් මේ වෙලාවේ ඉර තිබිය යුත්තේ නැගෙනහිර ක්ෂිතිජයට අංශක 5ක් පමණ පහළිනි.

අප දන්නා පරිදි, ඉර මේ දවස්වල ගමන් කරන්නේ මීන රාශියේය. තවත් දින දෙකකින් ඉර මේෂ රාශියට ගමන් කිරීමට නියමිතය. මේ එක් රාශියකට අංශක 30ක් අයත් වේ. මේෂ රාශියේ මුල සිට ගණන් ගත් විට මීන රාශියට අයත් වන්නේ අහසේ අංශක 330-360 අතර කොටසයි.

ඉර තවමත් මීන රාශියේ ගමන් කළත් මේ වන විට එහි අවසන් කොටසට පැමිණ සිටී. ඉර ආසන්න වශයෙන් දිනකට එක් අංශකයක් ගමන් කරන අතර දින දෙකකින් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමට නියමිත නිසා මේ වන විට ඉන්නේ 358වන අංශකයේ හෙවත් මීන රාශියේ 28 වන අංශකයේය.

මේ දවස් වල සිකුරු ග්‍රහයා සිටින්නේද මීන රාශියේය. එහෙත්, මීන රාශියේ මුලම හරියේ දෙවන අංශකයේය. එනම්, ඉරට අංශක 26ක් දුරින් 332 අංශකයේය. පළමු ඡායාරූපය ගත්තේ ඉර උදාවීමට මිනිත්තු 20කට පෙර හෙවත් ඉර නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවීමට අංශක 5ක් තිබියදීය. ඒ අනුව, මේ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි.

මීන රාශියේ 28වන අංශකයේ සිටි ඉර මේ වන විටද තිබුණේ ක්ෂිතිජයට පහළින් වුවත්, මීන රාශියේ දෙවන අංශකයේ සිටි සිකුරු ඒ වන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි අංශක 21ක් ගමන් කර අවසන්ය. ඒ අනුව, පළමු ඡායාරූපයේ සිකුරු ග්‍රහයා දක්නට ලැබෙන්නේ නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 21ක් ඉහළිනි.

මේ ඡායාරූපය ගෙන ආපසු හැරෙන විට දකින්නට ලැබුණු අනෙක් මනහර දසුන බටහිර ක්ෂිතිජයෙහි ගිලී යන්නට පෙර අහසේ බැබළෙමින් සිටි පූර්ණ චන්ද්‍රයාය. ඊයේ බක් පුර පසළොස්වක දිනයයි. පුර පසළොස්වක දින හඳ තිබෙන්නේ පොළොවෙන් ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේය. එනම් ආසන්න වශයෙන් අංශක 180ක දුරිනි. 




ආසන්න ලෙස වසරක් තුළ නක්ෂත්‍ර තාරකා හරහා වටයක් සම්පූර්ණ කරන ඉර දවසකට ගමන් කරන්නේ එක් අංශකයක් වුවත්, මසකට පමණ වරක් වටයක් සම්පූර්ණ කරන හඳ දිනකට අංශක 12කට මඳක් වැඩියෙන් ගමන් කරයි. ඊයේ 180 වැනි අංශකය අවසානයේ දැකිය හැකි වූ හඳ අද පෙනෙන්නේ 193 වන අංශකය එල්ලේය. මෙය හත්වන රාශිය වන තුලා රාශියේ 23 වන අංශකයයි.

මෙහි දෙවන ඡායාරූපය ගත්තේද පළමු ඡායාරූපය ගත් වහාම, උදේ 6.50ට පමණය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා බටහිර ක්ෂිතිජයේ තිබුණේ එයට ප්‍රතිවිරුද්ධ 173 වන අංශකය හෙවත් හයවන රාශිය වන කන්‍යා රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා, 193 වන අංශකයේ වූ හඳ තිබෙන්නේ බටහිර ක්ෂිතිජයට අංශක 20ක් ඉහළිනි.

ඡායාරූප ගන්නා වෙලාවේ සිකුරු ග්‍රහයා හා හඳ අහසේ දෙපැත්තේ ආසන්නව සමාන ඉහළකින් පෙනුණේ සිකුරු ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ අංශක 21ක් ඉහළිනුත්, හඳ බටහිර ක්ෂිතිජයේ අංශක 20ක් ඉහළිනුත් පැවති නිසාය. හඳ හා සිකුරු අතර අංශක 139ක කෝණයද මේ වෙලාවේ ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. මේ කෝණය එළෙසම පැවතෙද්දී, සිකුරු ග්‍රහයා ක්‍රමයෙන් නැගෙනහිර අහසේ ඉහළට නැඟීමත්, හඳ බටහිරින් බැස යාමත් ඡායාරූපය ගැනීමෙන් පසුව නිරීක්ෂණය කළ හැකි වුවත්, ඉර උදාව ආසන්න වෙද්දී ඉර එළිය හේතුවෙන් සිකුරු ග්‍රහයා නොපෙනී ගියේය.

හරියටම උදේ 7.10ට ඉර උදාව සිදු වූ අතර තෙවන ඡායාරූපය ගත්තේ ඒ මොහොතේය.




උදෑසන ව්‍යායාම පිණිස හෝ වෙනත් කටයුත්තක් සඳහා ඇවිදින්නට යන අයෙකුට අහස නිරීක්ෂණය කිරීම නරක විනෝදාංශයක් නොවේ. මෙය ලෝකයේ පැරණිම විනෝදාංශයක් ලෙසද සැලකිය හැකිය. මේ දවස්වල අනෙකුත් ග්‍රහයින්ද නිරීක්ෂණය කිරීම එතරම් අමාරු නැති අතර, විශේෂයෙන්ම බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් ඉර බැස යාමෙන් පසුව හඳ ආසන්නව දකින්නට පුළුවන.


පසු එකතු කිරීම:

අද අපේ ඉර බැස්සේ පස්වරු 8.20ටය. අද උදේ 358 වන අංශකයේ වූ ඉර බටහිර ක්ෂිතිජයෙන් බැස යන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 178 අංශකයයි. ඉර බැස පැයකට පසු මා අහස නිරීක්ෂණය කරන විට තවත් අංශක 17කින් පමණ රාශි චක්‍රය භ්‍රමණය වී ඇති නිසා නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 195 අංශකය හෙවත් තුලා රාශියේ මැදයි. බටහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 15 අංශකය හෙවත් මේෂ රාශියේ මැදයි.

මේ දිනවල කන්‍යා රාශියේ 23 වන අංශකයේ හෙවත් මේෂ රාශියේ මුල සිට 173වන අංශකයේ සිටින බ්‍රහස්පති ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 22ක් ඉහළින් ඉතා පැහැදිලිව දැකිය හැකිය. වෘෂභ රාශියේ මුල, 30 වන අංශකයේ සිටින අඟහරු ග්‍රහයාද බටහිර ක්ෂිතිජයේ අංශක 15ක් ඉහළින් රතු පැහැයෙන් දැකිය හැකිය. පියවි ඇසින් ඉතා පැහැදිලිව  හැකි වුවත් මගේ කැමරාව එතරම් හොඳ එකක් නොවන නිසා මේ ග්‍රහයින් දෙදෙනා ඡායාරූප වල පැහැදිලිව සටහන් වී නැත.

මීන රාශියේ හා මේෂ රාශියේ ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වුවත් පසළොස්වක පෝය අවසන් වුනා පමණක් නිසා අහසේ තරු රටා බොහොමයක් පැහැදිලිව දර්ශනය නොවේ.

ඔබ මේ ගැන උනන්දුවක් දක්වනවානම් හෙට දිනයේද ඉර පායන්නට ආසන්නව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් සිකුරු ග්‍රහයාද, ඉර බැස ගොස් පැයකට පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් බ්‍රහස්පති ග්‍රහයාද, බටහිර ක්ෂිතිජය ආසන්නව රතු පැහැයෙන් අඟහරු ග්‍රහයාද දැක ගන්නට පුළුවන් වනු ඇත. තාරකා මෙන් නිවී නිවී නොදැල්වෙන බැවින් හා ප්‍රමාණයෙන් සාමාන්‍ය තාරකාවකට වඩා විශාල නිසා (පොළොවට පෙනෙන පරිදි) මේ ග්‍රහයින් පහසුවෙන් හඳුනාගත හැකිය. අඟහරු ග්‍රහයා ප්‍රමාණයෙන් විශාල නොවූවත් එහි වෙනස් පැහැය නිසා හඳුනාගත හැකිය. 



දෙවන පසු එකතු කිරීම:

අද උදේ ඉර උදාව ආසන්නව 193 අංශකයේ තිබුණු හඳ පැය 16කට පමණ පසුව ඉහත ඡායාරූපය ගන්නා විට 200 වන අංශකයට පැමිණ ඇත. ඉර බැස ගොස් දෙපැයක් ගෙවී ඇති බැවින් දැන් නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 208 වන අංශකයයි. ඒ අනුව, නැගෙනහිර ක්ෂිතිජයට අංශක 8ක් පමණ ඉහළින් හඳ දර්ශනය වේ. මේ වන විට බ්‍රහස්පති ග්‍රහයා දැකිය හැක්කේ අංශක 35ක් ඉහළිනි. ඡායාරූපයේ පැහැදිලිව සටහන් වී නැත. තවත් දෙපැයක් පමණ බලා සිටියහොත් සෙනසුරු ග්‍රහයාද දැකගන්නට පුළුවන් විය හැකිය.

Monday, April 10, 2017

වරාය සමඟ ඉඩම් තොගයක්!

පෙර ලිපියෙන් කතා කළ පරිදි, ඇමරිකා එක්සත් ජනපදය භූමි ප්‍රමාණය අනුව ලෝකයේ පස්වන විශාලතම රට නොවී තෙවන විශාලතම රට වන්නේ 1867 වසරේදී අක්කරය ඩොලර් සත දෙකකටත් අඩුවෙන් ඇලස්කාව මිල දී ගැනීම හේතුවෙනි. රුසියාවෙන් ඇලස්කාව මිල දී ගැනීම ඇමරිකාව විසින් සිදු කළ මේ ආකාරයේ පළමු හෝ එකම ගනුදෙනුව නොවේ.

ඇමරිකා එක්සත් ජනපදය අද වන විට දැකිය හැකි විශාල රට බවට පත් වීමේදී ඇලස්කාව මිලදී ගැනීමට වඩා බොහෝ වැඩි බලපෑමක් සිදුවුණේ 1803 වසරේදී ප්‍රංශයෙන් ලුවිසියානා බිම් පෙදෙස් මිලදී ගැනීමයි. අක්කරයක් ඩොලර් සත තුනකටත් අඩුවෙන් ලංකාව මෙන් 33 ගුණයක් විශාල මේ බිම් පෙදෙස මිල දී ගැනීමට ඇමරිකාව ප්‍රංශයට ඩොලර් මිලියන 15ක් ගෙවුවේය.

මේ මිල අද වටිනාකම අනුව ඩොලර් මිලියන 309ක් පමණ වන අතර ඒ අනුව එක් අක්කරයක් වෙනුවෙන් අද වටිනාකම අනුව ඇමරිකන් සත 58ක් පමණ ගෙවා තිබේ. මේ අනුව, ලුවිසියානා ගනුදෙනුවේදී අක්කරයකට ගෙවා ඇති මිල ඇලස්කාවේ අක්කරයට ගෙවා ඇති මිල මෙන් දෙගුණයක් පමණ වේ. මේ මිලදී ගැනීම නිසා එවකට ඇමරිකාව සතු වූ භූමි ප්‍රමාණය දෙගුණ විය.

ලුවිසියානා ගනුදෙනුව නිසා ඇමරිකාව සතු වූ බිම් පෙදෙස් අද ඇමරිකාවේ ප්‍රාන්ත 15ක හා කැනඩාවේ පළාත් දෙකක විසිරී තිබේ. මේ ගනුදෙනුව මේ ආකාරයෙන් සිදුවීම ඇමරිකාව බලාපොරොත්තු නොවූ, හදිසියේ ලැබුණු වාසියකි.

දාහත්වන සියවසේ අවසානයේ සිට දහඅට වන සියවසේ මැද දක්වා මිසිසිපි නදියේ දෙපස විශාල ප්‍රදේශයක පැතිරුණු වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ විශාල ප්‍රදේශයක් පැවතියේ ප්‍රංශයේ අණසක යටතේය. ඒ වන විට උතුරු ඇමරිකාවේ ප්‍රධානම යුරෝපීය බලය වූයේ ප්‍රංශයයි. මේ බිම්
පෙදෙස ප්‍රංශයේ ලුවී රජු නමින් ලුවිසියානා ලෙස නම් කෙරී තිබුණේය.

බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් අතර සිදුවුණු හත් අවුරුදු යුද්ධය නිමා කරමින් 1763දී අත්සන් කෙරුණු පැරිස් සම්මුතියේ ප්‍රතිඵලයක් ලෙස කැනඩාවේ හා මිසිසිපි නදියෙන් නැගෙනහිර බිම් පෙදෙස් බ්‍රිතාන්‍යයටත්, මිසිසිපි නදියෙන් බටහිර බිම් පෙදෙස් හා නිව් ඕර්ලියන්ස් නගරය ස්පාඤඤයටත් අයිති විය. ඇමරිකාවේ මුල් ජනපද බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙද්දී මිසිසිපි නදියෙන් නැගෙනහිර කොටස් බොහොමයක් ඇමරිකාව සතු විය. මිසිසිපි නදිය භාවිතා කර නිදහසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මෙන්ම එවකට ස්පාඤඤය සතු වූ නිවු ඕර්ලියන්ස් වරාය ඇමරිකාවේ වර්ධනය වෙමින් පැවති වෙළඳ කටයුතු සඳහා ඉතාම වැදගත් විය. මේ වරාය භාවිතා කිරීම අදාළව ඒ වන විටද ප්‍රශ්න මතුවී තිබුණි.

ප්‍රංශ විප්ලවය අවසානය වී 1799දී නැපෝලියන් බලයට පත් වීමෙන් පසුව ස්පාඤඤය හා ප්‍රංශය අතර රහසිගතව අත්සන් කෙරුණු සැන් ඉල්දෙෆොන්සෝ සම්මුතිය අනුව ලුවිසියානා බිම්පෙදෙස් නැවතත් ප්‍රංශය සතු විය. උතුරු ඇමරිකානු භූමිය තුළ නැවතත් ප්‍රංශ බලය ගොඩනැඟීමට නැපෝලියන්ට වූ අපේක්ෂාවන් හා විභවය ඇමරිකාව කනස්සල්ලට පත් කළේය.

ඩොලර් මිලියන දහයක මුදලකට නිවු ඕර්ලියන්ස් නගරය හා උතුරු ෆ්ලොරීඩාවේ ප්‍රංශය සතුවූ බිම් පෙදෙස් මිල දී ගැනීම සඳහා උත්සාහයක් දැරීමට ඇමරිකන් ජනාධිපති තෝමස් ජෙෆර්සන් විසින් (පසුව ඇමරිකන් ජනාධිපති ධුරයට පත් වූ) ජේම්ස් මොන්රෝව ප්‍රංශයට පිටත් කර හැරියේය. මේ වන විට සෙන්ට් ඩොමිනික්හි (වත්මන් හයිටි) පැවති කැරැල්ල මර්දනය කිරීමට අසමත්ව උතුරු ඇමරිකාවේ සිය බලය නැවත ගොඩ නැඟීම පිළිබඳ වූ ප්‍රංශයේ අපේක්ෂා බිඳ වැටී තිබුණේය.

නිවු ඕර්ලියන්ස් නගරය විකිණීමට ප්‍රංශය එකඟ වනු ඇතැයි ඇමරිකාව විශ්වාසයෙන් නොසිටි අතර, අදාළ හෙට්ටු කිරීම් සාර්ථක නොවීනම් ගත යුතු ද්වීතියික ක්‍රියාමාර්ගය ලෙස මේ වන විට ඇමරිකාවේ දිගුකාලීන මිතුරෙකු වූ ප්‍රංශය අතහැර  බ්‍රිතාන්‍යය සමඟ සන්ධානයකට යාම ගැන පවා තීරණය කර තිබුණේය.

කෙසේවුවද, සිදුවුණේ බලාපොරොත්තු නොවූ දෙයකි. ප්‍රංශය මිලියන පහළොවක මුදලකට ඔවුන් සතුව පැවති මුළු ලුවිසියානා බිම්පෙදෙසම ඇමරිකාවට විකිණීමට ඉදිරිපත් විය. ජේම්ස් මොන්රෝව යවා තිබුණේ නිවු ඕර්ලියන්ස් ආශ්‍රිත සාපේක්ෂව කුඩා බිම් පෙදෙසක් මිලදී ගැනීමට පමණක් වුවත්, අදහාගත නොහැකි තරම් වාසිදායක මේ ගනුදෙනුව ගැන නැපෝලියන්ගේ අදහස් වෙනස් වෙන්නට පෙර එය ඉක්මණින්ම අහවර කෙරුණේය.

බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර යටත් කරගැනීමේ අරමුණින් විශාල හමුදාවක් හැදීමට හා පුහුණු කිරීමට නැපෝලියන් විසින් මේ මුදල වියදම් කළත් ඒ ආක්‍රමණය කිසිදා සිදුවුණේ නැත. ඇමරිකාවට ඉතා වාසිදායක මිලකට විශාල බිම් පෙදෙසක් ලැබුණත් ප්‍රායෝගිකව ඇමරිකාවට ලැබුණේ ප්‍රංශය සතු වූ 'නිරවුල්' ඉඩමක් නොවේ.

ඉතා සුළු පෙදෙසක ජනපද පිහිටුවාගෙන සිටි යුරෝපීයයන්ගෙන් බදු අයකර ගැනීමේ අයිතිය ඇමරිකාවට ලැබුණත්, ඉතිරි බිම් පෙදෙස් ස්වදේශීය ඉන්දියානුවන් සමඟ සම්මුතියෙන් හෝ බලහත්කාරය යොදවා අයිතිකර ගත යුතු විය. මේ බොහෝ බිම්පෙදෙස් ප්‍රංශයෙන් මිලදී ගැනීමෙන් අනතුරුව, අයිතිවාසිකම් කී ස්වදේශීය ඉන්දියානු ගෝත්‍ර එකකින් හෝ ඇතැම් විට වැඩි ගණනකින් ඇමරිකාවට නැවත නැවතත් මිලදී ගැනීමට සිදුවී තිබේ.


කොහොම වුණත්, නිවු ඕර්ලියන්ස් වරායේ වටිනාකම සලකා එය මිලදී ගැනීමට සැලසුම් කළ ඇමරිකාවට අන්තිමේදී අර කළුහාමිගේ කතාවේදී මෙන් වරායට අමතරව අක්කර මිලියන 530ක්ද ඉතා අඩු මිලකට මිලදී ප්‍රංශයෙන් ගන්නට හැකි වෙද්දී ප්‍රංශය විසින් මේ ඉඩම් විකුණා ලබාගත් මුදල් නිකරුණේ නාස්ති කර දැම්මේය.

Thursday, April 6, 2017

රුසියානු ඇමරිකාව


ඇමරිකාවේ හතලිස් නවවන ප්‍රාන්තය වන ඇලස්කාව භූමි ප්‍රමාණය අනුව ඇමරිකාවේ ලොකුම ප්‍රාන්තයයි. එය ලංකාව මෙන් 26 ගුණයක් විශාල වන අතර ඇමරිකාවේ දෙවෙනියට විශාලම ප්‍රාන්තය වන ටෙක්සාස් ප්‍රාන්තය මෙන් 2.5 ගුණයක්ද, තෙවෙනියට විශාල කැලිෆෝර්නියාව මෙන් සිවුගුණයක්ද විශාලය. ඇලස්කාව නොවීනම් ඇමරිකාව චීනයට හා බ්‍රසීලයට වඩා කුඩා ඕස්ට්‍රේලියාවට වඩා යාන්තමින් විශාල රටකි. 

ඇලස්කාව මහාද්වීපික ඇමරිකාව ලෙස හැඳින්වෙන ඇමරිකාවේ මුල් ප්‍රාන්ත 48න් භූගෝලීය වශයෙන් වෙන්ව කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට බටහිරින්ද, රුසියාවට නැගෙනහිරින්ද පිහිටියේය. ඇලස්කාවේ උතුරු කොටස් සමසකට වරක් දිවා රෑ මාරුවන ආක්ටික් වලයේ පිහිටා ඇති අතර ලෝකයේ බටහිර හා නැගෙනහිර වෙන් කරන රේඛාවද ඇලස්කාවට අයිති දිවයිනක් හරහා ගමන් කරයි. ඒ නිසා, ඇමරිකාව සතු වඩාත්ම උතුරට, වඩාත්ම නැගෙනහිරට හා වඩාත්ම බටහිරට වන්නට ඇති බිම්කඩවල් තිබෙන්නේ ඇලස්කාවේය.

ඇලස්කාව ඇමරිකාවේ කොටසක් බවට පත් වුණේ 1867 වසරේදී රුසියාව විසින් මෙම විශාල භූමි ප්‍රදේශය ඇමරිකන් ඩොලර් මිලියන 7.2කට ඇමරිකාවට විකිණීම හේතුවෙනි. මෙය අද ඩොලරයක වටිනාකම අනුව වුවද ඇමරිකන් ඩොලර් මිලියන 113ක මුදලකි. ඇලස්කාවෙන් අක්කරයක් මිලදී ගැනීමට ඇමරිකාවට වැය වී ඇත්තේ ඇමරිකන් සත දෙකකටත් අඩු මුදලකි. අද වටිනාකම අනුව වුවද, ඇලස්කාවේ අක්කරයකට ඇමරිකාව ගෙවා ඇත්තේ ඇමරිකන් සත විසිපහක පමණ මුදලකි.

ඇලස්කාව මිලදී ගැනීමට ගත් තීරණය ඒ දවස් වල  ඇතැම් ඇමරිකානුවන්ගේ හා මාධ්‍ය වල විවේචනයට හා සමච්චලයට හේතු වී තිබේ. රුසියාව විසින් සියළු සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙන් පසුව, වැඩකට නැති අයිස් ගොඩක් ඇමරිකාවේ ඇඟේ ගැසූ බව ඒ දවස්වල මේ විවේචකයින් විසින් පවසා තිබේ.

මෙවැනි විවේචන මධ්‍යයේ සිදුකළ ගණුදෙනුවක් වුවත්, ඇලස්කා ගණුදෙනුව ඇමරිකාවට ඉතාම වාසිදායක ගණුදෙනුවක් විය. ඇලස්කාව සතු වූ සත්ත්ව සම්පත් වලින් පමණක් වුවද ඇලස්කාව වෙනුවෙන් වැය කෙරුණු මුදල සොයාගන්නට ඇමරිකාවට වැඩි කාලයක් ගතවී නැත. එහෙත්, ඇලස්කා පොළොවේ හා ඇලස්කාවට අයත් මුහුදු ප්‍රදේශ තුළ සැඟවී තිබී මේ වන විට මුදල් කර ඇති ඇති ස්වභාවික සම්පත් වල වටිනාකම ඊට වඩා බොහෝ විශාලය. ඇලස්කාවේ දැනටත් ඉතිරිව ඇති ඇති හඳුනාගත් රන්, තඹ මෙන්ම ස්වභාවික වායු හා ඛනිජතෙල් සංචිත වල වටිනාකම පමණක් වුවද ඇලස්කාව වෙනුවෙන් ගෙවූ මිල මෙන් දහස් ගුණයකටත් වඩා වැඩිය.

එසේනම් රුසියාව විසින් ඇලස්කාව විකුණා දැමීම අදූරදර්ශී ක්‍රියාවක්ද?

ඇලස්කාව ඇමරිකාවට විකිණීමට ආසන්න කාලයේදී ඇලස්කාව මෙන්ම වත්මන් ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ තවත් බිම් පෙදෙස්ද රුසියාව සතුවිය. මෙම ප්‍රදේශ පොදුවේ රුසියානු ඇමරිකාව ලෙස හැඳින්වුනේය.

ක්‍රිමියන් යුද්ධයෙන් හෙම්බත්ව සිටි රුසියාවට තමන්ගේ රටෙන් ඈතින් පිහිටි ඇමරිකන් බිම් ආරක්ෂා කරගැනීම අසීරු හා වියදම් අධික කාර්යයක් විය. ඉතිරි පෙදෙස් අතහැර දැමීමෙන් පසුව තවදුරටත් රුසියාව සතු වූ ඇලස්කාව කොයි වෙලාවක හෝ බ්‍රිතාන්‍යය විසින් පහසුවෙන් අල්ලා ගත හැකිව තිබුණේය. බ්‍රිතාන්‍යය සමඟ සිදුවිය හැකිව තිබුණු යුද්ධයකදී ඇලස්කාව ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් රුසියාව සතු නොවීය.

මේ කාලයේ රුසියාවේ ප්‍රධාන සතුරා වූයේ බ්‍රිතාන්‍යය මිස ඇමරිකාව නොවේ. තමන්ගේ ප්‍රතිවාදියා විසින් යටත් කර ගැනීමට ඉඩ තිබුණු ඇලස්කාව, ස්වාධීන රටක් ලෙස එවකට රුසියාව විසින් සැලකූ ඇමරිකාව සතු වීම එක අතකින් රුසියාවට යුදමය ලෙස වාසිදායක වූ අතර අනෙක් අතින් මේ ගණුදෙනුව රුසියාවේ අහිතකර මූල්‍ය තත්ත්වයට පිළියමක්ද විය. වෙනත් විදිහකින් කියනවානම් රුසියාව විසින් ඒ වෙලාවේ මේ ගණුදෙනුව සිදු නොකළද ඇලස්කාව බොහෝ දුරට රුසියාවට අහිමි විය හැකිව තිබුණි. එවැනි පසුබිමක ඇලස්කාව විකිණීමෙන් ලැබුණු මුදල රුසියාවටද විශාල වාසියක් විය.

ඒ අතරම, රුසියාව ඇමරිකාවට විකුණුවේ "අනුන්ගේ ඉඩමකි". සියවස් එකහමාරක පමණ සිට රුසියානුවන් ඇලස්කාවේ ජනපද හදමින් සිටියත් මේ ගණුදෙනුව සිදුවන විටත් එහි වැඩිපුර ජීවත් වුණේ ඇලස්කාව නිජබිම කරගත් ඇස්කිමෝවරුන්ය. එවකට ඇලස්කාවේ පදිංචිව සිටි රුසියානුවන් හා රුසියන්-ඇස්කිමෝ මිශ්‍ර විවාහ වල දරුවන් ගණන දෙදහසක් පමණ වෙද්දී ඇලස්කාවේ රුසියාවේ පාලනයට නතුව නොපැවති පෙදෙස් වල ජීවත්වූ ඇස්කිමෝ ජනගහණය අඩු වශයෙන් පනස් දහසක් පමණවත් විය. මෙය සමාන කළ හැක්කේ ලංකාවේ වෙරළබඩ නගර කිහිපයක් අල්ලා ගැනීමෙන් පසු පෘතුගීසීන් විසින් මුළු ලංකාවම ඉංග්‍රීසින්ට හෝ ලන්දේසීන්ට විකුණා දැම්මේනම් ඇති විය හැකිව තිබුණු තත්ත්වයටය.

ඇලස්කා පොළොවේ සැඟව තිබුණු ස්වභාවික සම්පත් පිළිබඳව ඇලස්කාව විකිණූ රුසියාව මෙන්ම එය මිලදී ගත් ඇමරිකාවද දැන සිටියේ නැත. එවකට දැනසිටි පරිදි ඇලස්කාවෙන් ලබා ගත හැකිව තිබුණු ප්‍රධාන වාණිජ භාණ්ඩ වූයේ එහි විසූ දළ තල්මසුන්ගේ (walrus) දළ හා වලස් සම් වැනි දේවල්ය. ඇලස්කාව ඇමරිකාවට විකුණන කාලය වන විට රුසියානුවන් මේ සතුන් සෑහෙන දුරකට දඩයම් කර අවසන්ය.

ඇමරිකාව පැත්තෙන් ගත් විට ඇලස්කා ගණුදෙනුව නිසා රුසියාව ඇමරිකානු මහාද්වීපයෙන් ඈත්ව සිටීම තහවුරු වුණේය. ඇමරිකාව බලාපොරොත්තු වුණේ මේ උපක්‍රමික වාසියයි. ඒ අතරම, ඇමරිකාවට ආසියා පැසිෆික් කලාපය වෙත ව්‍යාප්ත වීමටත්, ලෝක බලවතෙකු ලෙස මතුවීමටත් මේ ගණුදෙනුව නිසා ඉඩක් සැලසුණේය.

මේ අතර ඇලස්කාවේ ජීවත් වූ ඇස්කිමෝ වරුන් විසින් දිගින් දිගටම කියා සිටියේ තමන් විසින් තමන්ගේ නිජ භූමිය වන ඇලස්කාව කිසිවෙකුට විකුණා නැති බවයි. සියවසකටත් පසුව, ඔවුන්ගේ දුක් ගැනවිලි ගැන සැලකිල්ලට ගැනුණේ 1971දී කොංග්‍රසයේ සම්මත කෙරුණු පණතක් මඟින් ඇලස්කා ඉඩම් සඳහා ඇස්කිමෝ වරුන්ට ඇති අයිතිය පිළිගැනීමෙන් පසුවය.

ඇමරිකාවේ ආර්ථිකය අර්බුදයට ලක්ව තිබුණු පසුගිය කාලයේ ඇලස්කාව විකුණා දමා ඇමරිකාවේ රාජ්‍ය ණය පියවිය යුතුයැයි යෝජනා කළ අයද සිටියේය.

Wednesday, April 5, 2017

වලිගය ගිලින තැනට වැටී ඇති ආණ්ඩුව

රජය විසින් රජය වෙනුවෙන් වාහන මිලදී ගැනීම පිළිබඳ කතිකාවේදී මතුවන එක් අදහසක් වන්නේ අමාත්‍යාංශ වෙනුවෙන් ගෙන්වන වාහන සඳහා වන බදු කොටස රජය තුළම එක් අමාත්‍යාංශයකින් තවෙකෙකට සිදුවන හුවමාරුවක් පමණක් බවයි. එමෙන්ම, මේ අයුරින් අදාළ වියදම් හා ආදායම් සටහන් කිරීම මෑතකදී පටන්ගත් භාවිතාවක් බවද කියැවේ.

කිසියම් භාණ්ඩයක් හිමි කර ගැනීම සඳහා වැය කළ යුතු පිරිවැයෙහි සැබෑ අගය වන්නේ ඒ වෙනුවෙන් කැප කළ යුතු දේවල වටිනාකම හෙවත් ආවස්ථික පිරිවැයයි. ගිණුම්කරණයේදී සටහන් කෙරෙන, තාක්ෂණික සම්මතයක් වන, සෘජු මූල්‍ය පිරිවැය ඉහත සැබෑ පිරිවැය සමඟ සමපාත වන්නට හෝ නොවන්නට පුළුවන. බොහෝ විට ගිණුම් වල සටහන් වන පිරිවැය සැබෑ පිරිවැයේ එක් සංරචකයක් පමණි. මේ ගැන පෙර ලිපි ගණනාවකම කතා කර ඇති නිසා මේ ලිපියේදී ඒ ගැන අවධානය යොමු කෙරෙන්නේ නැත. මෙහි අවධානය යොමුකෙරෙන්නේ ඉහත පරිදි ගිණුම් සටහන් කරන ක්‍රමවේදය වෙනස් කිරීමට රජය පෙළඹීමේ පදනමයි.

මේ ගැන විශේෂයෙන් කතා කරන්නේ ලංකාව මේ වන විට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේ තවත් පැතිකඩක් ගැන අවධානය යොමු කිරීමටය. සම්මත යෙදුමක් නොවූවත්, මෙය රජය බදු උගුලක සිරවීමක් හා ඒ හේතුවෙන් ඇති වී ඇති ආදායම් අර්බුදයක් ලෙස හඳුන්වන්නට මා කැමතිය. තවත් පැහැදිලිව කියනවානම් රජයට බදු වැඩිකර සිය ආදායම් ඉහළ නංවාගත හැකි උපරිම සීමාවක් ආසන්නයට මේ වන විට පැමිණ තිබේ. මෙය කාලයක් තිස්සේ සිදුවූ රජය ප්‍රසාරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි.

කතාව පටන්ගන්නට වෙන්නේ පසුගිය රජය කාලයේ ලංකාවේ ආර්ථිකයේ සිදු වූ වර්ධනය හා රාජ්‍ය ආදායම් හා වියදම් වල සිදුවූ ඉහළයාම් වලිනි.

පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2004-2014 කාලය තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 107,581 සිට රුපියල් 503,032 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,090,841 සිට රුපියල් මිලියන 10,448,479 දක්වා 500%කින් වර්ධනය විය මෙය 17.46%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයකි. (නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීමට උද්ධමනය නිසා සිදුවන භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ බලපෑමද ඇතුළත් නිසා මෙය ආර්ථික වර්ධනය හෙවත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීමට සමාන නැත.)

සාමාන්‍යයෙන් රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යන විට රජයේ බදු ආදායමද සමානුපාතිකව ඉහළ යයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට හේතුව මූර්ත ආර්ථික වර්ධනය වුවද, උද්ධමනය වුවද බදු ආදායම සමානුපාතිකව ඉහළ යා යුතුය.

උදාහරණයක් ලෙස අපි වැට් බද්ද ගනිමු. රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොවුනේනම්, රජයේ වැට් බදු ආදායම රටේ විකිණෙන භාණ්ඩ හා සේවාවන් වල පිරිවැටුමට සමානුපාතිකව ඉහළ යා යුතුය. උද්ධමනය නිසා මිල ඉහළ ගියද, ආදායම් වැඩිවීම නිසා ඉල්ලුම වැඩිවී විකිණෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වුවද මෙය මෙසේ සමානුපාතිකව ඉහළ යා යුතුය.

ආදායම් බදු ගත්තද ඇත්තේ මෙවැනිම තත්ත්වයකි. උද්ධමනය සමඟ ගැලපීම හේතුවෙන් හෝ සමාගම් වල ලාභ වැඩි වීම නිසා සේවක වැටුප් වැඩි වුවද, එසේ සේවක වැටුප් ඉහළ නොයවා සමාගමේ කොටස් හිමියන් තමන්ගේ ආදායම වැඩි කර ගත්තද, අවසාන වශයෙන් රජයට ලැබෙන ආදායම් බදු සමානුපාතිකව වැඩි විය යුතුය. ආනයන බදු සැලකුවද ඇත්තේ මෙවැනිම තත්ත්වයකි.

කෙසේ වුවද, 2004-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය වැඩිවුණු 500% අනුපාතයට රජයේ බදු ආදායම් ඉහළ ගියේ නැත. බදු ආදායම් ඉහළ ගියේ 373%කින් පමණි. බදු ආදායම්, බදු නොවන ආදායම් හා විදේශ ආධාර වල එකතුව ඉහළ ගියේද 376%කිනි. මෙය 14.17%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකි. එනම්, රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට වඩා 3.29%කින් අඩු වර්ධන වේගයකි.

මේ වෙනසේ ප්‍රතිඵලයක් ලෙස, 2004දී රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.3%ක්ව පැවති රජයේ ආදායම් 2014 වන විට 11.5% මට්ටම දක්වා අඩුවිය. රජයේ ආදායම් රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මේ තරම් පහළ මට්ටමකට වැටුණේ නිදහසින් පසු (ලංකාවේ ජාතික ගිණුම් ගණනය කිරීම පටන් ගැනීමෙන් පසු) ප්‍රථම වරටය.

කෙසේ වුවද, 2004-2014 කාලය තුළ රජයේ වියදම් වර්ධනය වුනේද ආදායම් වර්ධනයට සමානුපාතිකව හරියටම 376%කිනි. ඒ නිසා, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ වියදම්ද 2014 වසරේදී ඉතිහාසයේ සටහන් වූ පහළම අගය වන 17.2% මට්ටමට වැටුණේය. ආදායම් හා වියදම් එකම අනුපාතයකින් වර්ධනය වූ නිසා, අයවැය හිඟය වැඩි වූයේද එම අනුපාතයෙනි. මේ අනුපාතය (376%)නාමික දළ දේශීය අනුපාතය වර්ධන වූ 500%න් හතරෙන් තුනක් පමණ වූ නිසා 2004-2014 කාලය තුළ රජයේ අයවැය හිඟයද දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 7.5% සිට 5.7% දක්වා හතරෙන් තුනකට අඩු විය.

පසුගිය ආණ්ඩුව කාලයේ රජයේ වියදම් වර්ධනය වුණේ ආදායම් වර්ධනය වුණු අනුපාතයෙන්ම වීමෙන් පෙන්වන්නේ ඒ කාලයේ රජයේ ආදායම් හා වියදම් සමතුලිතව පැවති බව නොවේ. 2004දී, රජයේ වියදම් රජයේ ආදායම් වලට වඩා 49%කින් වැඩි විය. ආදායම් හා වියදම් එකම අනුපාතයකින් වර්ධනය වීම නිසා 2014දීද රජයේ වියදම් රජයේ ආදායම් වලට වඩා 49%කින් වැඩි විය. කෙසේ වුවද, අඩුම වශයෙන් මේ කාලය තුළ රජයේ ආදායම් හා වියදම් අතර අනුපාතය තවදුරටත් පුළුල් වුණේ නැත.

රටක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව රජයේ බදු ආදායම් වැඩිවන්නේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල රටේ ජනතාව අතර බෙදීයාම, ඔවුන්ගේ ආදායම් හා වියදම් වැඩිවීම හා ඒ මත අයකෙරෙන බදු ඉහළ යාම යන චක්‍රය අනුවය. මෙය මෙළෙස සිදුවී නැත්නම්, එයින් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රජය විසින් සිය බදු ප්‍රතිපත්ති ලිහිල් කර ඇති බවයි. 2004-2014 කාලයේදී, බදු ප්‍රතිපත්ති යම් තරමකින් ලිහිල් වූවා විය හැකිය. කෙසේ වුවද, මා සිතන පරිදි දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව රජයේ බදු ආදායම් වැඩි නොවීමට හේතුව බදු ප්‍රතිපත්ති ලිහිල් වීමම නොවේ.

රටේ ජාතික ආදායමේ වැඩිවීම හා රජයේ ආදායම වැඩිවීම අතර මේ වෙනසින්, පසුගිය කාලයේ සිදුවූ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල බෙදී ගිය ආකාරයද පිළිබිඹු කරයි. රජයේ බදු ආදායම ඉහළ යන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් බැහැරව සිටින පෞද්ගලික අංශයේ සේවකයින්, ස්වයං රැකියා කරන්නන් හා ව්‍යාපාරිකයින් ආදී පිරිස් වල ආදායම් හා පරිභෝජනය ඉහළ යන විටය. ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවන් වන පිරිස් ආදායම් බදු නොගෙවති. එමෙන්ම, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වෙනුවෙන් ගෙන්වන වාහනය වැනි රජය වෙනුවෙන් රජය කරන මිලදී ගැනීම් වලින්ද රජයට බදු ආදායමක් නොලැබේ. රාජ්‍ය පරිභෝජන වියදම් වෙනුවෙන් බදු අය නොකෙරෙන සන්දර්භයක, රජයේ බදු ආදායම් ඉහළ නංවා ගත හැක්කේ රටේ ජාතික ආදායම රජයේ වපසරියෙන් පිටතට සම්ප්‍රේෂණය වන තරමටය. එය ඒ අයුරින් සිදු නොවේනම් ජාතික ආදායම වර්ධන වන අනුපාතයට රජයේ ආදායම ඉහළ නොයයි.

පසුගිය දෙවසර තුළ මේ ආණ්ඩුව බදු ඉහළ දමමින් රජයේ ආදායම් වැඩි කරගැනීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබුණේය. 2015 වසර තුළ රජයේ බදු ආදායම 29.1%කින් වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම වසර තුළ රජයේ සමස්ත ආදායම 21.3%කින් ඉහළ ගියේය. 2015 වසර තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගියේ 7.0%කින් පමණි. මේ සංඛ්‍යාලේඛණ මඟින් පෙන්වන පරිදි, 2015 වසර තුළ රජයෙන් බාහිර පාර්ශ්වයන් මත පැනවෙන බදු බර විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

එහෙත්, මා සිතන පරිදි, රජයේ බදු ආදායම වසරක් තුළ මේ තරමින් ඉහළ ගොස් ඇත්තේ බදු අනුපාතික ඉහළ දැමීම නිසාම නොවේ. රජයේ ගිණුම්කරණ ක්‍රමවේදයන් වෙනස්කරමින් රජය වෙනුවෙන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා වෙනුවෙන්ද බදු ආදායම් ගිණුම් වල සටහන් කිරීම මේ විශාල වැඩිවීමට හේතු වූවා විය හැකිය. මෙසේ ගිණුම්කරණ ක්‍රමවේදය වෙනස් කිරීමේ මූලික පරමාර්ථය ආණ්ඩුව විසින් රජයේ ආදායම් සැලකිය යුතු ලෙස වැඩි කරගැනීමට සමත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වීම වන්නට පුළුවන.

රජය වෙනුවෙන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා වෙනුවෙන් අය විය යුතු බදු රජයේ ආදායමක් ලෙස ගිණුම් වල සටහන් කරන විට, එයට සමාන්තරව එම ආදායමට සමාන මුදලක් වියදම් ලෙසද සටහන් කරන්නට සිදුවේ. එහෙත්, 2015 ආරම්භයේදී රජයේ වියදම් රජයේ ආදායම් වලට වඩා 49%ක් වැඩි වූ නිසා, සමාන මුදලක් ආදායම් වියදම් දෙපැත්තේම සටහන් කළ විට වියදම ඉහළ යන ප්‍රතිශතයට වඩා 49%ක් වැඩියෙන් ආදායම ඉහළ යන නිසා බැලූ බැල්මට රජයේ මූල්‍ය කළමනාකරණය හොඳ අතට හැරී ඇති බව පෙනෙන්නට තිබිය යුතුය. උදාහරණයක් ලෙස රජයේ ආදායම 21.3%කින් වැඩි වීමට එකම හේතුව ගිණුම්කරණ ක්‍රමවේදයේ සිදුකළ වෙනසනම්. රජයේ වියදම් වැඩි විය යුත්තේ 14.2%කින් පමණි.

සිදුවිය යුත්තේ ආදායමට වඩා අඩුවෙන් වියදම වැඩිවීම වුවත්, 2015 වසර තුළදී රජයේ වියදම ඇත්තටම 27.5%කින් වැඩි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2015දී රජයේ වියදම රජයේ ආදායමට වඩා 56.8%ක් මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය 2016 වසර තුළදීද මේ තත්ත්වයේ යහපත් වෙනසක් සිදුවී තිබීම සැක සහිතය. රජයේ වියදම් මේ තරමින් ඉහළ ගොස් ඇත්තේ ගිණුම්කරණ ක්‍රමවේදය වෙනස්කිරීම නිසා වියදම් අඩුවෙන් පෙනෙන්නට තිබිය යුතුව ඇති පසුබිමකය.

එසේනම්, එක්කෝ රජයේ සැබෑ ආදායම් (ගිණුම්කරණ ක්‍රමවේදය නිසා සිදුවී ඇති බව පෙනෙන වැඩිවීම හැර) සැලකිය යුතු ලෙස අඩුවී තිබිය යුතුය. නැත්නම්, රජයේ වියදම් විශාල ලෙස වැඩි වී තිබිය යුතුය. අප දන්නා පරිදි, පසුගිය දෙවසර තුළ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය දැඩි වූ නිසා ආදායම් අඩුවීමක් සිදුවීමට ඇත්තේ අඩු ඉඩකඩකි.

කෙසේවුවද, බදු අනුපාතික විශාල ලෙස ඉහළ දැමීම නිසා ක්ෂේත්‍ර ගණනාවකම රජයේ ආදායම් අඩු වී තිබේ. පරිභෝජනය මත අය කරන බදු අනුපාතික ඉහළ දැමූ විට පාරිභෝගිකයෝ පරිභෝජනය සීමා කිරීමට පෙළඹෙති. කිසියම් අංශයක බදු අනුපාතික ඉහළ ගිය වේගයට වඩා වැඩි වේගයකින් පරිභෝජනය පහත වැටුණොත් රජයේ බදු ආදායම් වැඩිවීම වෙනුවට සිදුවන්නේ අඩුවීමකි. ලොතරැයි හා වාහන ආනයනය හා අදාළව මේ අයුරින් රජයේ බදු ආදායම් අඩුවී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණේය.

මෙයින් පෙනෙන්නේ බදු වැඩිකර රජයේ ආදායම් වැඩි කරගැනීමේ හැකියාව රජය විසින් මේ වන විට ප්‍රයෝජනයට ගෙන අවසාන බවයි. රටේ ආර්ථිකය විශාල ජවයකින් වර්ධනය නොවන නිසා රජයෙන් බාහිර පාර්ශ්වයන්ගේ ආදායම් වැඩිවන්නේ ඉතා සෙමිනි. එම ආදායම මත අය කරන බදු අනුපාතික ඉහළ යද්දී පෞද්ගලික අංශයේ සේවකයින්, ස්වයං රැකියා කරන්නන් වැනි බදු ගෙවන පිරිස් වලට සිය පරිභෝජනය සීමා කරනු හැර වෙනත් විකල්පයක් නැත. එසේ නොවිය හැක්කේ, අත්‍යවශ්‍ය භාණ්ඩ මත අය කෙරෙන බදු අනුපාතික ඉහළ යන්නේනම් පමණි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මත අය කෙරෙන බදු අනුපාතික ඉහළ දැමීමද රජයට කළ නොහැක්කකි. එක අතකින් එය දේශපාලන ප්‍රශ්න ඇති කරයි. ඒ පැත්ත අමතක කළත්, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම උද්ධමනය වැඩි වීමටත්, ඒ හේතුවෙන් පොලී අනුපාතික ඉහළ යාමටත්, අවසාන වශයෙන් පොලී වියදම් වැඩිවීම හේතුවෙන් රජයේ වියදම් වැඩිවීමටත් හේතුවන නිසා රජයට ශුද්ධ වාසියක් අත් නොවේ. එමෙන්ම, බදු අනුපාතික ඉහළ යාම හා පොලී අනුපාතික වැඩිවීම අනාගත ආර්ථික වර්ධනය අඩාල කිරීම නිසා රජයේ අනාගත ආදායම් වර්ධනය කෙරෙහිද අහිතකර ලෙස බලපායි.

සරලවම කියනවානම් රජයට ගොදුරු කරගත හැකි සියල්ල ගොදුරු කරගනිමින් මේ වන විට පුළුවන් තරම් මහත් වී තිබේ. ඒ නිසා, බදු වැඩි කර ආදායම් වැඩි කරගැනීමද තව දුරටත් ශක්‍ය විකල්පයක් නොවන අතර, රජයේ නාස්තිකාර වියදම් සීමා කිරීම මේ වන විට ඉතිරි වී ඇති එකම විකල්පයයි. වෙනත් විදිහකින් කියනවානම් රජයට දැන් ගොදුරු කරගන්නට ඉතිරි වී ඇත්තේ තමාගේම වලිගය පමණි.


(Image: https://www.quora.com/Why-does-a-snake-eat-its-own-tail)

Sunday, April 2, 2017

ගෑණු කේන්දර හා නොවරදින අනාවැකි

ලංකා හේතුවාදී සංගමයේ මූලාරම්භක හා පළමු සභාපති වූ ඒබ්‍රහම් ටී කොවූර් විසින් 1963 වසරේදී ප්‍රසිද්ධ අභියෝගයක් කරමින් සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි, එහෙත් ඇතැම් පුද්ගලයින්ට කළ හැකියැයි බොහෝ දෙනෙකු සිතන දේවල් 23ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මේ ලැයිස්තුවේ ඇති දේවල් වලින් එකක් පිළිගත හැකි තත්ත්වයන් යටතේ සිදු කර පෙන්වන අයෙකුට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බව ප්‍රසිද්ධ කළේය. 1978දී කොවූර් මියයන තුරුත් විවෘතව පැවති මේ අභියෝගය කිසිවකුට ජයගත නොහැකි විය.

කොවූර්ගේ ලැයිස්තුවේ අවසාන අයිතමය වූයේ ඔවුන් විසින් මිනිත්තුවක නිරවද්‍යතාවයක් සහිතව ලබාදෙන පුද්ගලයින් දහදෙනෙකුගේ (හෝ විසිදෙනෙකුගේ) උපන් වේලාවන් හා ඔවුන් උපන් ස්ථාන භාවිතා කරමින් එම පුද්ගලයින්ගේ කේන්ද්‍ර පිටපත් සාදා ඒ අනුසාරයෙන් (හෝ ඔවුන් විසින් ලබා දෙන හස්ත රේඛා සටහන් අනුසාරයෙන්) අදාළ පුද්ගලයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හා ජීවත්ව සිටිනවාද නැද්ද යන්න 95%ක නිරවද්‍යතාවයක් සහිතව පැවසිය යුතු බවයි. මෑතකදී, කාලෝ ෆොන්සේකා විසින් ත්‍යාග මුදලද ඉහළ දමමින් මේ අභියෝගය නැවත අළුත් කළ බව වාර්තා වී තිබුණු අතර මා සිතන පරිදි එම අභියෝගය තවමත් විවෘතව පවතී.

පුද්ගලයෙකුගේ උපන් වේලාව ඇසුරෙන් එම පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය 95%ක නිරවද්‍යතාවයකින් කියන්නට පුළුවන් කමක් නැත. මෙය දරුවන්ගේ උපන් වේලාවන් පරීක්ෂා කිරීමෙන් සංඛ්‍යානමය ලෙස තහවුරු කරගත හැකි දෙයකි. ඒ නිසා, අද වුවද මේ අභියෝගය භාර ගැනීමට කිසිදු ජ්‍යෝතිර්වේදියෙකු ඉදිරිපත් වේයැයි සිතිය නොහැකිය.

මේ සම්බන්ධව අද බොහෝ ජ්‍යෝතිර්වේදීන් විසින් ලබාදෙන ජනප්‍රිය පිළිතුරක් තිබේ. ඒ, තමන්ගේ සේවාදායකයින් කිසිවකු කේන්ද්‍රය හිමි පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය දැන ගැනීමට ජ්‍යෝතිර්වේදියෙකු වෙත නොපැමිණෙන බවයි. මේ කතාව ඇත්තකි. එමෙන්ම, බොහෝ විට කේන්ද්‍ර සටහන සහිත ලේඛණයක උපන් වේලාව සමඟ ස්ත්‍රී පුරුෂ භාවයද සටහන් කරන නිසා ජ්‍යෝතිර්වේදියෙකුට මෙය අනුමාන කරන්නට අවශ්‍යතාවයක්ද නැත.

කෙසේ වුවද, කොවූර්ගේ අභියෝගය මුලින්ම ප්‍රකාශයට පත් කරන්නට දශක කිහිපයකට පෙර කාලය දක්වාම ලංකාවේ ජ්‍යෝතිර්වේදියෙකුට එම කාලයේ ජීවත්ව සිටි අයෙකුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ භාවය සැලකිය යුතු තරම් නිවැරදිව අනුමාන කරන්නට පුළුවන්කම තිබුණේය. ජ්‍යෝතිර්වේදියෙකු වෙත පැමිණෙන සේවාදායකයෙකු එසේ පැමිණෙන්නේ කේන්ද්‍රහිමියාගේ ස්ත්‍රී-පුරුෂ භාවය දැනගන්නට නොවූවත්, එය නිවැරදිව පැවසීම මඟින් ජ්‍යෝතිර්වේදියෙකුට තමන් ප්‍රකාශ කරන අනෙකුත් අනාවැකි වල නිරවද්‍යතාවය පිළිබඳව සිය සේවාදායකයා තුළ විශ්වාසය තහවුරු කළ හැකිය.

අඩ සියවසකට පමණ පෙරත් ලංකාවේ බොහෝ ජ්‍යෝතිර්වේදීන්ට තිබුණු ඉහත හැකියාව අද වන විට නැති වී ඇත්තේ ඇයි?

වසර දහස් ගණනකට පෙරද, ඉර හඳ හා අනෙකුත් ආකාශ වස්තූන්ගේ චලනයන් ගැන හොඳ දැනීමක් පෙර අපර දෙදිග විද්‍යාර්ථීන් සතු විය. එහෙත්, ඒ දැනුමට සාපේක්ෂව ජීව විද්‍යාව පිළිබඳව තිබුණේ ඉතා අඩු මට්ටමක දැනුමකි. අළුත ඉපදෙන දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන ආකාරය තබා දරුවකු බිහිවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ඉතා මෑතක් වන තුරු පෙර අපර දෙදිගම තිබුණේ සීමිත දැනුමකි.

ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන ආකාරය පමණක් නොව, දෙමවුපියන්ගේ ලක්ෂණ දරුවන්ට ලැබීම, කාලයකට පෙර මියගිය පවුලේ වැඩිහිටියෙකුගේ ලක්ෂණ අළුත ඉපදෙන දරුවෙකුට ලැබීම මෙන්ම ඇතැම් දරුවන් උපතින්ම යම් රෝගාබාධ සහිතව බිහිවීම සඳහා හේතුවන කරුණු මිනිසුන් විසින් නිවැරදිව තේරුම් ගෙන සියවස් කිහිපයකය වඩා ගත වී නැත. මේ ඇතැම් දැනුම් තවමත් බහුතරයකගේ දැනුමක් බවට පත් වී නැත.

මිනිසාගේ ජීවී ක්‍රියාවලිය මිනිසුන් විසින් මෑතක් වන තුරුම නිවැරදි ලෙස අවබෝධ කරගෙන නොතිබුණත්, මේ කරුණු ගැන මිනිසාගේ කුතුහලය වසර දහස් ගණනක් තිස්සේම නොඅඩුව පැවතුණේය. ඒ නිසා, මේ නොදන්නා කරුණු ගැන පැහැදිලි කිරීම් කරමින් කලින් කලට ප්‍රවාද ඉදිරිපත් විය. ඒ ඇතැම් ප්‍රවාද කලින් කලට සමාජයේ පිළිගැනීමට ලක් විය. මෙසේ පිළිගැනුණු ප්‍රවාද වලින් ඇතැම් ඒවා පසුව ප්‍රතික්ෂේප විය. තවත් ඒවා වැඩි කාලයක් ප්‍රතික්ෂේප නොවී පැවතුණේය.

අළුත උපන් දරුවෙකුගේ ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වන ආකාරය උපන් වේලාව මත තීරණය වන බවට ප්‍රවාදයක් යම් අවස්ථාවක කිසිවෙකු අතින් ඉදිරිපත් වුණු අතර, මේ සංසිද්ධිය පැහැදිලි කළ හැකි වඩා හොඳ ප්‍රවාදයක් නොතිබුණු බැවින් එම ප්‍රවාදයට යම් පිළිගැනීමක් ලැබිණි.

පෙර ලිපියකින් විස්තර කළ පරිදි, කිසියම් පුද්ගලයෙකුගේ උපන් ලග්නය තීරණය වන්නේ ඔහු හෝ ඇය උපන් වේලාව ඇතුළත් වන ආසන්න වශයෙන් පැය දෙකක කාල පරාසය මතය. මේ කියන කාලයේදී, බොහෝ දෙනෙකුට කාලය අද මෙන් නිවැරදිව දැන ගැනීමට හැකියාවක් නොතිබුණත්, පැය දෙකක කාල වෙනසකට සමාජය සංවේදී විය. ඒ නිසා, පැය දෙකක කාලය තුළ, එකම ලග්නය හා ලග්න කේන්ද්‍රය සහිතව ගැහැණු හා පිරිමි දරුවන් ඉපදෙන බව බොහෝ දෙනෙකුට රහසක් නොවීය. එසේනම්, ගැහැණු පිරිමි උපත් තීරණය වීම ඊට වඩා කුඩා කාල පරාසයක් තුළ සිදුවන දෙයක් විය යුතුය.

පුද්ගලයෙකුගේ කේන්ද්‍ර සටහනක ලග්න කේන්ද්‍රයට අමතරව නවාංශක කේන්ද්‍රය නම් වූ තවත් සටහනක් තිබේ. මෙයින් කරන්නේ ආසන්න වශයෙන් පැය දෙකක් පමණ වන ලග්නයක කාලය තවත් කොටස් නවයකට බෙදීමයි. ඒ අනුව, නවාංශකයක් ගෙවීමට ගතවන කාලය ආසන්න වශයෙන් මිනිත්තු 13ක් පමණ වේ. ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වීම පිළිබඳව කිසියම් අයෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රවාදය අනුව කිසියම් නවාංශකයක් ගෙවීමට ගතවන විනාඩි 13කට මඳක් වැඩි කාලය තුළ ඉපදෙන්නේ ගැහැණු හෝ පිරිමි දෙවර්ගයෙන් එක් වර්ගයකට අයත් දරුවන් පමණි.

ඉහත ප්‍රවාදය ඉදිරිපත් වන කාලයේදී මෙන්ම, බොහෝ දරු උපත් නිවෙස් වලම සිදුවුණු පසුගිය සියවසේ මුල් කාලය දක්වාත් රෝහල් වලින් පිටත සිදුවූ ලංකාවේ දරු උපත් සිදුවූ වේලාවන් හරියටම සටහන් කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා, ජ්‍යෝතිර්වේදියෙකු වෙත යන අයෙකු ඉදිරිපත් කළේ ආසන්න වෙලාවක් මිස උපත සිදුවූ නිවැරදිම වෙලාව නොවේ. අද වුවත් අප බොහෝ විට වෙලාව සටහන් කරන්නේ මිනිත්තුවකට ආසන්නව මිස හරියටම තත්පරයට නොවේ. සියවසකට පෙර, ඔරලෝසු භාවිතා නොකළ ලංකාවේ බොහෝ නිවෙස් වල වෙලාව සටහන් වන්නට ඇත්තේ පැය භාගයකට පමණ ආසන්නව වන්නට පුළුවන.

ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වීම පිළිබඳව කලකට පෙර පිළිගැනුණු ප්‍රවාදය අනුව ස්ත්‍රී නවාංශක හා පුරුෂ නවාංශක මාරුවෙන් මාරුවට ගෙවෙන බව බොහොමයක් ජ්‍යෝතිර්වේදීහු විශ්වාස කළහ. තමන් වෙත වේලාපත්කඩයක් (තාවකාලික කේන්ද්‍ර සටහනක්) සාදා ගැනීමට එන අයෙකු බොහෝ විට දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයද දැනුම් දුන් බැවින් මෙය පරීක්ෂා කිරීම අපහසු නොවීය. සේවාදායකයා දැනුම්දෙන වෙලාවට අදාළ නවාංශකය ඇතැම් විට (50%ක සම්භාවිතාවකින්) දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය සමඟ ගැලපුණේය. ඇතැම් විට එය එසේ නොවුණේය.

මේ කාලයේදී දරුවාගේ උපත සිදුවූ වේලාව ලෙස සේවාදායකයා දැනුම් දෙන වෙලාව හරියටම නිවැරදි නොවන බව පොදු දැනුමක් විය. ජ්‍යෝතිර්වේදියාගේ කාර්ය භාරයේ කොටසක් වූයේ මේ "වෙලාව සුද්ද කිරීමයි". තමන් පිළිගත් ප්‍රවාදය අනුව, දරුවාගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධ නිරීක්ෂණ උපයෝගී කරගනිමින්, දරුවාගේ ලිංගය සමඟ ගැලපෙන නවාංශකයක් දරුවාට ලැබෙන පරිදි මිනිත්තු හතකට නොවැඩි කාලයක් සේවාදායකයා විසින් දැනුම් දුන් වෙලාවට එකතු කරමින් හෝ අඩු කරමින් ජ්‍යෝතිර්වේදියා දරුවා ඉපැදුණු වෙලාව "හරියටම" හොයාගත්තේය. දරුවා අඩු වයසින් මිය නොගියේනම්, පසුව  ස්ථිර කේන්ද්‍ර ලේඛණයක් පුස්කොළයක ලිවුවේ මුලින් මෙසේ "සුද්ද කරනු ලැබූ" දරුවාගේ "නිවැරදි" වෙලාව උපයෝගී කර ගනිමිනි.

ඉහත පරිදි ජ්‍යෝතිර්වේදීන් බහුතරයක් කේන්ද්‍ර සටහන් හැදුවේ දරුවන්ගේ උපන් වේලාවන් "නිවැරදි කිරීමෙන්" පසුව නිසා, බොහෝ විට ගැහැණු දරුවෙකු ඉපදී ඇති බව පෙනෙන්නට තිබුණේ ස්ත්‍රී නවාංශකයක් තුළය. පිරිමි දරුවෙකු ඉපදී ඇති බව පෙනෙන්නට තිබුණේ පුරුෂ නවාංශකයක් තුළය. ඒ නිසා, ජ්‍යෝතිර්වේදියෙකුට තමන් අතට ලැබෙන කේන්ද්‍ර සටහනක් පරීක්ෂා කර අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ භාවය හරියටම වාගේ කියන්නට පුළුවන් විය.

ඉහත පරිදි, කලාතුරකින් හෝ උපන් වෙලාවක් හරියට සුද්ද කර නොතිබුණේනම් ස්ත්‍රී-පුරුෂ භාවය ගැන ජ්‍යෝතිර්වේදියාගේ අනාවැකිය වැරදුණු අතර, බොහෝ විට සේවාදායකයා එවිට කළේ වෙනත් ජ්‍යෝතිර්වේදියෙකු වෙත යාමයි. එහෙත්, දෙවැන්නාත් ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය කරන්නේ වැරදියටය. එවිට, වැරැද්ද ඇත්තේ ජ්‍යෝතිර්වේදියාගේ නොව කේන්ද්‍රයේ බව මේ පුද්ගලයා අවබෝධ කරගනී. ඒ අනුව, ජ්‍යෝතිර්වේදියෙකු හමු වී පසුව හෝ කේන්ද්‍රය හරියට හදා ගනී. ඉන්පසුව, නැවත ජ්‍යෝතිර්වේදියෙකු වෙත ගිය විට ස්ත්‍රී-පුරුෂ භාවය නොවරදී.

ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ නවාංශක ප්‍රවාදය සෑහෙන කාලයක් සමාජයේ පොදු දැනුමක් වී තිබුණේය. මේ පොදු දැනුම ආධිපත්‍යය උසුලන තාක් කල්, ඒ ප්‍රවාදය මත පදනම්ව තීරණද ගැනුණු නිසා ප්‍රවාදය "වැඩ කළේය".  එහෙත්, දරුවකු ඉපදෙන වෙලාව වෙනස් කර ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක හැකියාවක් නොතිබුණු නිසා, රජෙකුට වුවද මේ  දැනුම උපයෝගී කරගෙන  දුවෙකු වෙනුවට පුතෙකු ලබා ගැනීමට හැකියාවක් නොතිබුණේය.

කොවූර්ගේ අභියෝගය පිළිගත් අයෙකු වෙත ඉදිරිපත් කෙරුණු උපන් වේලාවන් ලබා ගත්තේ පසුගිය සියවසේ මුල භාගයේ හෝ ඊට පෙර ඉපදුණු පුද්ගලයින්ගේ කේන්ද්‍ර සටහන් වලින්නම්, කොවූර්ගේ රුපියල් ලක්ෂය අහිමි වන්නට වුවද කිසියම් ඉඩක් තිබුණේය!

කේන්ද්‍ර සටහන පරීක්ෂා කර පුද්ගලයෙකු ජීවත්ව සිටිනවාද යන්න පැවසීම එතරම්ම සරල නැතත්, එහි ග්‍රහ පිහිටීම් අනුව පුද්ගලයෙකු මේ වන විට ජීවත්ව සිටීමට ඉඩක් නොමැති බව ස්ථිරව කියන්නට ඇතැම් විට බැරිකමක් නැත. ඒ, ග්‍රහ පිහිටීමක් නැවත ඒ ආකාරයෙන්ම ඇති වීමට ගත වන කාලය මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයට වඩා බොහෝ වැඩි නිසාය.

මිනිසුන් හා සමාජය සම්බන්ධ අනාවැකි වල නිරවද්‍යතාවය කිසියම් සමාජයක මිනිසුන් හැසිරෙන ආකාරයට, පොදු දැනුමට හා සංස්කෘතියටද සාපේක්ෂය. බහුතරයක් විසින් නිදහස් වෙළඳපොළ ක්‍රමය පිළිබඳව විශ්වාසය තබන ඇමරිකාව වැනි රටක කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වන ඉල්ලුම හෝ එහි මිල ගැන පුරෝකථනය කළ හැකි තරම් පහසුවෙන් ලංකාවේදී එය කළ නොහැක්කේ ලංකාවේ බොහෝ දෙනෙකු අතාර්කික හා අහඹු තීරණ ගන්නා බැවිනි. (ඒ තීරණ ගන්නා අයට මේවා තාර්කික තීරණ ලෙස පෙනෙනවා විය හැකිය.) ඒ නිසා, ලංකාවේ පොලී අනුපාතික, විණිමය අනුපාතික ආදී සාර්ව ආර්ථික විචල්‍ය වල උච්ඡාවචනයන් සිදුවිය හැකි ආකාරය පිළිබඳව ඇත්තේ විශාල අවිනිශ්චිතතාවයකි.

මිනිසුන් බොහෝ දෙනෙකු කිසියම් විශ්වාසයක එලැඹ සිටින විට ඒ මත පදනම්ව ඇතැම් "අනාවැකි" කියන්නට පුළුවන. ලංකාවේ බොහෝ දෙනෙකු දරුවන්ට නම් තැබීමේදී, උපන් වෙලාව අනුව ශුභ අකුරු තෝරා ගනිති. මේ පුරුද්ද නිසා දරුවෙකුගේ නම පරීක්ෂා කිරීමෙන් පමණක් වුවත්, එම දරුවා ගැන ඇතැම් දේ දැනගන්නට පුළුවන. සේතික සේනිය වැනි නමක් ඇති දරුවෙකු පුවපුටුප නැකතේ ප්‍රථම පාදයෙන් ඉපදී තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඒ ඔත්තුව ඔස්සේ තවත් දේවල් සොයාගන්නට පුළුවන. එහෙත්, දරුවෙකුට නම තබා ඇත්තේ උපන් වෙලාව නොසලකමින්නම් එවැන්නක් කිරීමේ හැකියාවක් නැත.

මේ වන විට ආසන්න මිනිත්තුවට වෙලාව දැනගැනීම සරල කරුණකි. ඒ නිසා දරුවෙකු උපන් වෙලාව නිවැරදි නොවන බව සිය සේවාදායකයාට තහවුරු කිරීමට ජ්‍යෝතිර්වේදියෙකුට නුපුළුවන. ඒ නිසා, ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ නවාංශක ප්‍රවාදය තවදුරටත් වැඩ නොකරන අතර කේන්ද්‍ර පිටපතක් පරීක්ෂා කර ස්ත්‍රී-පුරුෂ භාවය නිවැරදි ලෙස පැවසීමේ හැකියාවක් දැන් ජ්‍යෝතිර්වේදියෙකුට නැත.

කෙසේවුවද, ඇතැම් මිනිසුන් ඇතැම් දේ විශ්වාස කිරීම මතම ඇතැම් සිදුවීම් ගැන නිවැරදි අනාවැකි පළ කරන්නට පුළුවන. යාපනය සරසවියේ මානව හිමිකම් සඳහා වන සරසවි ඇදුරු සංසදයේ නිරීක්ෂණ අනුව, එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාන්විත අරඹා ඇත්තේ 5, 14, 23 වැනි එකතුව පහක් වන දින වලදීය. රජයේ ආරක්ෂක හමුදා විසින් එසේ කර ඇත්තේ 8, 17, 26 වැනි එකතුව අටක් වන දින වලදීය. ඒ නිසා, උතුරේ සාමාන්‍ය ජනතාව එවැනි දින වල වඩා සුපරීක්ෂාකාරීව සිට "මාරක වලින් බේරී" තිබේ.


(Image: www.123rf.com/)

Friday, March 31, 2017

තිලීපන්ගේ මාරාන්තික උපවාසය

ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකි 1987-89 කාලය පසුකර පැමිණ, අද දක්වා ජීවත් වීමට වාසනාව ලබා ඇති අපේ පරම්පරාවේ අයට ඒ කාලය ජීවිතයේ අමතක කළ නොහැකි කාලපරිච්ඡේදයක් වුවත්, ඒ කාලයෙන් පසුව ඉපැදුණු හා ඒ කාලයේ කුඩා දරුවන්ව සිටි අද සිංහල බ්ලොග් කියවන බොහෝ දෙනෙකුට ඒ කාලයේ ලංකාවේ පැවති තත්ත්වය ගැන නිසි අවබෝධයක් නැති වීම තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ මුල්ව බිහි කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ භීෂණය හා එයට එරෙහිව ක්‍රියාත්මක වූ රජයේ නිල ආරක්ෂක අංශ වල හා ප්‍රා, කහ බළල්ලු වැනි නිල නොවන මිනීමරු කල්ලි වල ප්‍රති භීෂණය හමුවේ වරක් හෝ මරණ භය නොදැනුණු අයෙක් ඒ කාලයේ දකුණේ සිටියාදැයි සැක සහිතය.

දකුණේ තත්ත්වය මෙසේ වෙද්දී, මේ කාලයේ උතුරේ ජනතාව ජීවත් වුනේ එල්ටීටීඊ සංවිධානය ඇතුළු වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා සටන් කළ දෙමළ සංවිධාන රාශියක, ඉන්දීය සාමසාධක හමුදාවේ හා ලංකාවේ ආරක්ෂක අංශ වල භීෂණයට මුහුණ දෙමිනි. දැන් සිංහල බ්ලොග් කියවන බොහෝ දෙනෙකුට ප්‍රභාකරන්ගේ මරණයෙන් අවසන් වුනු ඊළාම් අරගලයේ පසුකාලීන අදියර ගැන අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැතත් එහි මුල් යුගය ගැන හරි හැටි නොදන්නා අය ඕනෑ තරම් සිටින්නට පුළුවන.

ලංකාවේ ඊළාම් අරගලයේ ඓතිහාසික විකාශනය ගැන සාකච්ඡා කිරීම පැත්තකින් තැබුවොත්, ඊළාම් යුද්ධයේ ආරම්භය 1983 බව පුළුල් ලෙස පිළිගැනෙන කරුණකි. එම වසරේදී, උතුරේදී හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මරා දමනු ලැබීමත්, එයින් පසුව දකුණේ ඇති වූ ජාතිවාදී කෝලාහල ගැනත් ඕනෑ තරම් කතා කෙරී තිබේ. මේ සිද්ධියෙන් පසුව, උතුරේ සන්නද්ධ සංවිධාන වලට අළුත් සාමාජිකයින් ආකර්ශනය කර ගැනීම වඩා පහසු වූ අතර එය එම සංවිධාන වල සීඝ්‍ර වර්ධනයට හේතුවිය.

මෙහිදී, එල්ටීටීඊ සංවිධානය නොකියා උතුරේ සන්නද්ධ සංවිධාන ලෙස සඳහන් කළේ ඒ කාලයේ එවැනි සංවිධාන ගණනාවක් තිබුණු බැවිනි. මෙම සංවිධාන අතර උමා මහේෂ්වරන්ගේ ප්ලොට් සංවිධානය, වී බාලකුමාර්ගේ ඊරෝස් සංවිධානය, ශ්‍රී සභාරත්නම්ගේ ටෙලෝ සංවිධානය හා කේ පත්මනාභගේ ඊපීආර්එල්එෆ් සංවිධානය ඊළාම් යුද්ධයේ මුල් අදියරේදී එල්ටීටීඊ සංවිධානය සමඟ යම් තරමකින් කරට කර සිටි සංවිධානයි. 1987-89 කාලය එල්ටීටීඊ සංවිධානය විසින් අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් සමූලඝාතනය කිරීමෙන් හෝ තම සංවිධානය තුළට අවශෝෂණය කර ගැනීම හරහා දියකර හරිමින් උතුරේ ප්‍රධාන සන්නද්ධ කණ්ඩායම ලෙස ඒකාධිකාරයක් අත්කරගත් යුගයයි.

අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් යටපත් කිරීමෙන් පසුව එල්ටීටීඊ සංවිධානය උතුරේ ශ්‍රී ලංකා රජයට එරෙහි ප්‍රබල බලවේගයක් ලෙස ඉස්මතු විය. එවක ජනාධිපති වූ ජේ ආර් ජයවර්ධනගේ රජයේ ජාතික ආරක්ෂක ඇමති ධුරය ලලිත් ඇතුලත්මුදලි විසින් දැරූ 1987 මැද භාගයේදී, බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා කර්නල් විජය විමලරත්න වැනි හමුදා නායකයන්ගේ මෙහෙයුමෙන් සිදු කෙරුණු වඩමාරච්චි මෙහෙයුම ඒ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් සිදු කර තිබුණු සාර්ථකම මෙහෙයුමක් වූ අතර ජූනි මාසයේ මුල වන විට එල්ටීටීඊ සංවිධානය සෑහෙන දුරකට පසුබැස සිටියේය.

යුද මෙහෙයුම නවතා එල්ටීටීඊ සංවිධානය සමඟ දේශපාලන සාකච්ඡා පවත්වන මෙන් ඉන්දියාව ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටියද ජයවර්ධන රජය ඒ ඉල්ලීම ගණනකට ගත්තේ නැත. මෙය ඉන්දියාවේ සතුටට හේතු නොවූ අතර, එම නොසතුට පෙන්වමින් ඉන්දියාව විසින් 1987 ජූනි 2 වන දින මානුෂික ආධාර රැගත් නිරායුධ බෝට්ටු යාපනයට එවුවද, ලංකාවේ නාවුක හමුදාව මුල්වී එම බෝට්ටු ආපසු හරවා යැවිණි.

ඉන්දියාවේ බෝට්ටු සාර්ථක ලෙස ආපසු හරවා යැවුනද ලංකාවට ඒ ගැන සතුටු වන්නට ලැබුණේ දින දෙකක කාලයක් පමණි. ප්‍රහාරක ගුවන් යානාද සමඟ ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දියාව මුහුදෙන් එවන්නට බැරි වූ ආහාර හා ඖෂධ උතුරට ගුවනින් හෙළුවේය. ඉන්දියාවේ මේ බලහත්කාරය හමුවේ ජයවර්ධන රජයට ඉන්දියාව හමුවේ හිස නමා සිය යුද මෙහෙයුම් නතර කරන්නට සිදුවිය.

ඉන්දියාව විසින් ගුවනින් "පරිප්පු හෙළීමෙන්" පසු ඉතා කෙටි කාලයක් තුළ 1987 ජූලි 29 දින ජේ ආර් ජයවර්ධන හා රජීව් ගාන්ධි විසින් ඉන්දු-ශ්‍රී ලංකා  ගිවිසුම අත්සන් කළ අතර, ලංකාවට පළාත් සභා හඳුන්වා දුන් දහතුන්වන ආණ්ඩුක්‍රම සංශෝධනය මෙන්ම ලංකාවට ඉන්දීය සාමසාධක හමුදාව පැමිණීම මේ ගිවිසුමේ ප්‍රතිඵලය. ගිවිසුම අත්සන් කිරීමට පැමිණි රජීව් ගාන්ධිට නාවික සෙබල විජිත් විජයමුණිගේ රයිපල් පහර කන්නට සිදුවූ අතර පසුව එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ගොදුරුව ජීවිතය නිමා කරන්නට විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් දකුණේ ඉන්දීය විරෝධය රාජ්‍ය විරෝධය සමඟ සාර්ථක ලෙස බද්ධ කරමින් ඇරැඹු සන්නද්ධ අරගලය එම පක්ෂයේ නායකත්වය මුළුමනින්ම විනාශ වීමෙන් අවසන් විය.

ඉන්දීය සාමසාධක හමුදාව ලංකාවට පැමිණියේ දිග්ගැසුණු යුද්ධයක යෙදීමට නොවේ. ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව ලංකාවේ පළාත් සභා ක්‍රියාත්මක කරන අතර උතුරේ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම ඉන්දියාවේ ආරම්භක අභිප්‍රාය විය. කෙසේවුවද, මෙය අවසන් වූයේ එල්ටීටීඊ සංවිධානය විසින් ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිවද යුද්ධ ප්‍රකාශ කිරීමෙනි.

එවකට විසිතුන් හැවිරිදි සරසවි සිසුවකු වූ රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ මාරාන්තික උපවාසය ඇරඹුණේ ලංකාවේ දෙමළ ප්‍රශ්නය විසඳීම ඉන්දියාව විසින් භාර ගැනීමෙන් පසුව, එල්ටීටීඊ සංවිධානය හා ඉන්දීය සාමසාධක හමුදාව අතර අර්බුද පැන නඟිමින් පැවති වාතාවරණයකය. මේ වන විට තිලීපන් එල්ටීටීඊ සංවිධානයේ යාපනය දේශපාලන නායකයාව සිටියේය.

උතුරේ සන්නද්ධ කණ්ඩායම් විසින් ඔවුන් සතුව තිබුණු ආයුධ ඉන්දීය සාමසාධක හමුදාව වෙත භාරදෙනු ලැබ ඔවුන් විසින් උතුරේ සිය බලය තහවුරු කර ගනිමින් සිටිද්දී සිය අපේක්ෂාවන් ඉටුවන බවක් පෙනෙන්නට නොතිබීමෙන් කණස්සල්ලට පත් එල්ටීටීඊ සංවිධානය විසින් 1987 සැප්තැම්බර් 15 දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස් වෙත ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් පැය 24ක් ඇතුළත පිළිතුරක් ඉල්ලා සිටියේය. මේ ඉල්ලීම් පහත ඒවාය.

1. හදිසි නීතිය යටතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම
2. පුනරුත්ථාපනය යන ලේබලය යටතේ ශ්‍රී ලංකා රජය විසින් කරන සිංහල ජනපදකරණය නැවැත්වීම
3. අන්තර්වාර පරිපාලන ඒකකයක් ඇති කරන තුරු සියළු පුනරුත්ථාපන කටයුතු අත්හිටවීම
4. උතුරු නැගෙනහිර පළාත් වල අළුතින් පොලිස් ස්ථාන ඇති කිරීම අත්හිටවීම
5. ග්‍රාමාරක්ෂක භටයින් නිරායුධ කිරීම හා හමුදා/ පොලිස් භාරයේ ඇති පාසැල් ගොඩනැඟිලි මුදාහැරීම.

මේ ඉල්ලීම් වලින් පෙනෙන්නේ ඉන්දීය සාමසාධක හමුදාව විසින් උතුරේ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කරමින් සිටියදී ශ්‍රී ලංකා රජය විසින්ද උතුරේ සිය බලය තහවුරු කර ගනිමින් සිට ඇති ඇති බවයි.

එවක ඉන්දීය මහ කොමසාරිස් වූ ජේ එන් ඩික්සිත් විසින් ලිපියට ප්‍රතිචාර ලබාදෙනු තබා අඩුවශයෙන් ලිපිය ලැබුණු බව හෝ දැනුම් නොදුන්නේය. දින දෙකකට පසු 1987 සැප්තැම්බර් 15 දින නල්ලූර්හි කන්දසාමි කෝවිලේදී තිලීපන් විසින් මාරාන්තික උපවාසයක් අරඹන්නේ ශ්‍රී ලංකා රජය ලවා ඉහත ඉල්ලීම් ඉටුකරගැනීම පිණිස ඉන්දියාව පෙළඹවීමේ අවිහිංසාවාදී ක්‍රියාමාර්ගයක් වශයෙනි.

මාරාන්තික යන වචනයේ තේරුම මරණයෙන් අවසන් වන යන්නයි. එහෙත්, මාරාන්තික උපවාස ලෙස ප්‍රචාරණය කරමින් ආරම්භ කරන බොහෝ උපවාස එලෙස මරණයෙන් අවසන් නොවේ.

තිලීපන්ගේ උපවාසය දින දොළහක කාලයක් පැවති අතර මේ කාලය තුළ ඔහුගේ ප්‍රකාශ ඇතුළු සිදුවීම් එල්ටීටීඊ සංවිධානයේ නිදර්ශනම් රූපවාහිණී නාලිකාව මඟින් යාපනය අර්ධද්වීපය තුළ ප්‍රචාරය කෙරුණේය. ආහාර හෝ ජලය ලබා නොගනිමින් දින දොළහක කාලයක් පුරා තිලීපන් විසින් කළ මේ මාරාන්තික උපවාසය දෙමළ ජන විඥානයේ නොමැකෙන සලකුණක් ඇති කළත්, උපවාසය නිසා එයට පාදක වූ ඉල්ලීම් කිසිවක් ඉටු නොවුණේය.

තිලීපන්ගේ මාරාන්තික උපවාසය 1987 සැප්තැම්බර් 26 දින අවසන් විය. ඒ, එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් දෙළුම් යුෂ පෙවීමෙන් පසුව හෝ නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජකයා විසින් ඔහුගේ නළලේ තිරුනීරු ගෑමෙන් පසුව නොවේ. ක්‍රමයෙන් අවයව දුර්වල වී කෝමා තත්ත්වයකට පත්ව සිටි තිලීපන් අවසානයේ සිය තරුණ ජීවිතය තමන් විශ්වාස කළ අරමුණු වෙනුවෙන් කැප කළ බැවිනි.

නිරපේක්ෂ වීරයින් මෙන්ම ද්‍රෝහීන්ද නැත. 1987-89 කාලයේ විවිධ දේශපාලන බලවේග සමඟ සිටි ලලිත් ඇතුලත්මුදලි, රාජිත සේනාරත්න, රෝහණ විජේවීර, වේලුපිල්ලේ ප්‍රභාකරන් වැනි පුද්ගලයින් ඇතැම් පුද්ගලයින්ගේ වීරයින් හෝ විමුක්තිදායකයින් වෙද්දී තවත් අයට අනුව කෲර මිනීමරුවන් වන්නේ එබැවිනි.

තිලීපන්ගේ කැපකිරීම නිසා ඔහුගේ උපවාසයට මුල්වූ කරුණු ඉටු නොවුණත්, දෙමළ ජනතාවගේ වීරයෙකු වන්නට ඔහුට හැකි විය. එල්ටීටීඒ සංවිධානයට තවත් වසර විසිදෙකක් පුරා සාමාජිකයින් බඳවාගැනීමට තිලීපන්ගේ කැපකිරීම ඉමහත් පිටිවහලක් විය. මහවිරුවෙකු ලෙස සැමරුණු තිලීපන්ගේ සිරුර යාපනය වෛද්‍ය විද්‍යාලයට ලබාදෙනු ලැබූ අතර, ඔහු වෙනුවෙන් දශක ගණනක් පුරා විරු ගී ලියැවිණි.

දෙමළ ඊළාම් අරගලය යුදමය ලෙස පරාජය කෙරුණේය. එහෙත්, ඒ හේතුවෙන් දෙමළ ඊළාම් මතවාදය පරාජය කෙරුණේ නැත. සීමා මායිම් නැති බ්ලොග් අවකාශය නිසා  ඊළාම් අරගලයෙන් ආශක්තව සිටින්නන්ටද සිය අදහස් නිදහසේ පළ කිරීමට ඉඩ සැලසී තිබේ. තිලීපන්ගේ අවසන් දින දොළහ ගැන සටහන් බ්ලොග් අඩවි වල ලියැවෙන්නේ එබැවිනි.


(Image: Wikipedia)

Monday, March 27, 2017

කරු පරණවිතානගේ වාහනය


අප විසින් මීට පෙරද කතා කර ඇති, ඇමැතිවරුන් තිදෙනෙකුට, නියෝජ්‍ය ඇමැතිවරුන් හතරදෙනෙකුට, රාජ්‍ය ඇමැතිවරයකුට හා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනූහත් දහසක (37,10,97,000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ වැඩිදුර තොරතුරු  පසුගිය දිනවල දිවයින හා ලක්බිම වැනි ජාතික පුවත්පත් ඇතුළු ප්‍රධාන හා අප්‍රධාන මාධ්‍ය වල පළ විය.

දිවයින පුවත අනුව, "අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. එස්‌. රාධාක්‍රිෂ්ණන් මහතා වෙනුවෙන් රුපියල් තුන්කෝටි අනූඅට ලක්‌ෂ අනූහත්දහසක්‌, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය ඇමැති ෆයිසල් කාසිම් යන මහත්වරුන්ට රුපියල් අටකෝටි විසි ලක්‌ෂයක්‌, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා වෙනුවෙන් රුපියල් හාර කෝටියක්‌, ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්. එම්. එම්. පාරිස්‌ මහතාට රුපියල් තුන්කෝටි අසූ දෙලක්‌ෂයක්‌, පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතාට රුපියල් හාර කෝටි තිස්‌ ලක්‌ෂයක්‌, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ එම නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් අටකෝටි හැට ලක්‌ෂයක්‌ද, කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෙක්‌කලනාදන් මහතාට රුපියල් හාර කෝටි විසි ලක්‌ෂයක්‌ද වශයෙන් වාහන මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ."

තවමත් සිය වියුණුව යාවත්කාලීන කරන සිංහල බ්ලොග්කරුවෙකුද වන පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන විසින් ඔහුගේ සතර දිගන්තය වියුණුව හරහා මේ ගැන පැහැදිලි කිරීමක් කර තිබේ. පරණවිතානගේ අදහස් දැක්වීමෙහි ඇති මූලික කරුණු මෙසේ සාරාංශගත කළ හැකිය.

1. වාහනය ගෙන්වන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් මිස කරු පරණවිතාන වෙනුවෙන් නොවේ.
2. රජයෙන් රජයට ගෙවන බදු ඉවත් කළ විට වාහනයේ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණි.
3. ප්‍රතිපාදන වෙන් කිරීමේදී මීට පෙර වාහනයේ බදු රහිත වටිනාකම පමණක් සැලකුවත්, දැන් එම ක්‍රමවේදය වෙනස් කර වාහනයේ බදු සහිත වටිනාකම අමාත්‍යාංශයේ වියදමක් ලෙස දක්වා තිබේ.
4. කරු පරණවිතාන විසින් දැනට පාවිච්චි කරන්නේ වෙනත් අමාත්‍යාංශයකින් ණයට ගත් වාහනයකි. එය ආපසු දීමට සිදුවී ඇති අතර ඔහු දැන් ඒ වෙනුවට ගෙන්වන්නේ ඒ වර්ගයේම වාහනයක් මිස වඩා මිල අධික වාහනයක් නොවේ.
5. කරු පරණවිතානට "රථගායක්  හෝ අලුත් වාහනමේනියාවක්" නැත. මේ වාහනය ඔහුට පැවරුණු වගකීම් ඉටුකිරීම සඳහා අවශ්‍ය වන මූලික උපකරණයකි.
6. මෙවැනි පුවත් පළකරන අය මීට වඩා වගකීමෙන් මාධ්‍ය භාවිතා කළ යුතුය.


සිය වියුණුව හරහා මේ පිළිබඳව අදහස් දැක්වීම අප අගය කරන අතර, ඔහු ඉහත ඉදිරිපත් කරන බොහෝ කරුණු පිළිබඳව අපට මූලික ප්‍රතිවිරෝධතාවන් නොමැත. එහෙත්, මේ වාහන භාවිතය පිළිබඳ කතිකාව හරහා ඉස්මතු කෙරෙන ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ පුළුල් කතිකාවේ වලංගු භාවය කරු පරණවිතාන විසින් ඉදිරිපත් කරන මේ කරුණු වලින් නිශේධනය වන්නේ නැත.

පරණවිතාන කියන පරිදි මේ වාහන ගෙන්වන්නේ අදාළ තනතුරු දරන්නන් වෙනුවෙන් මිස පුද්ගලයින් වෙනුවෙන් නොවේ. ඒ නිසා, ඒ නිසා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස වෙනත් අයෙකු පත් වුවහොත් දැන් පරණවිතාන වෙනුවෙන් ගෙන්වන වාහනය භාවිතා කිරීමට ලැබෙන්නේ එසේ පත් වන පුද්ගලයාට මිස පරණවිතානට නොවේ.

මේ කතාව බොරුවක් නොවේ. සිය බදු රහිත වාහන බලපත්‍රය යොදාගනිමින් කරු පරණවිතාන විසින් වාහනයක් ආනයනය නොකළේදැයි අප ස්ථිරව නොදන්නා නමුත් ප්‍රස්තුත කරුණට අදාළ වාහනය ඔහුගේ තනතුරට අදාළ වූවකි. එහෙත්, එසේ වූ පමණින් මෙය රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ පුළුල් කතිකාවෙන් බැහැර කරුණක් නොවන්නේ කිසියම් තනතුරක් දරන්නෙකු වෙනුවෙන් මෙවැනි වාහන මිලදී ගැනීමේ තීරණ බොහෝ විට අදාළ තනතුර දරන පුද්ගලයාගෙන් ස්වායත්ත තීරණ නොවන බැවිනි.

මේ අවස්ථාව උදාහරණයක් ලෙස ගතහොත්, තමන් දැනට භාවිතා කරන මාදිලියේම වාහනයක් ගෙන්වීමට ගෙන ඇති තීරණයට තමන් හවුල් වී නැති බවක් කරු පරණවිතාන විසින් නොකියයි. මේ තීරණය ටෙන්ඩර් කමිටුවක තීරණයක් බව කියන්නට හැකි වුවත්, එවැනි ටෙන්ඩර් කමිටුවකට ඇමතිවරයාගේ කැමැත්ත නොසලකා හැරීමේ හැකියාවක් ප්‍රායෝගිකව නැත. දැනට භාවිතා කරන මාදිලියේම, ඊට වඩා මිල අඩු හෝ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සීමාවන්ට යටත්ව ඊට වඩා මිල වැඩි වාහනයක් තමන් දැනට දරන තනතුර වෙනුවෙන් මිලදී ගැනීමේ හැකියාව දැනට තනතුර දරන පුද්ගලයා සතුව තිබේ.

එමෙන්ම, ලංකාවේ අමාත්‍යාංශ යනු නිශ්චිත ආයතන නොවන අතර ඒවා නම් කෙරෙන්නේ පවතින අමාත්‍ය තනතුරු අනුවය. මේ අමාත්‍ය තනතුරු තීරණය වන්නේ දේශපාලනික කරුණු ප්‍රධාන පුද්ගලබද්ධ සාධක අනුව මිස රජයේ කාර්යක්ෂමතාවය ප්‍රශස්තිකරණය කෙරෙන පරිදි නොවේ. ඒ නිසා, කරු පරණවිතානගෙන් පසුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධුරයක් ඒ අයුරින්ම නොපවතින්නට විශාල ඉඩකඩක් තිබේ. ඔහුම සටහන් කර ඇති පරිදි, "2015 වන තුරු ජනමාධ්‍ය අමාත්‍යංශයේ සෑහෙන කාලයකට නියෝජ්‍ය ඇමතිවරයකු සිටියේ නැත". ඒ නිසා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෙනුවෙන් ගෙන්වන වාහනය යම්තාක් දුරකට කරු පරණවිතාන වෙනුවෙන් ගෙන්වන වාහනයක්ද වේ.



මේ අළුත් තනතුරු වෙනුවෙන් වාහන ගෙන්වීමට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම හරහා මතු වන තවත් ප්‍රශ්නයක් වන්නේ මේ වන විට ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ගණන සමස්තයක් ලෙස පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ගණන ඉක්මවා ඇත්ද යන්නයි. එසේ නැතුව තනතුරු වෙනස් වීමක් පමණක් සිදුවී ඇත්නම් සාමාන්‍යයෙන් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙන පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට අමතරව අළුත් තනතුරු වෙනුවෙන් අළුතින්ම වාහන මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් මතු වන්නට නුපුළුවන.

දෙවනුව, කිසියම් භාණ්ඩයක හා සේවාවක සැබෑ මිල වන්නේ එහි වෙළඳපොළ මිල මිස නිෂ්පාදන පිරිවැය හෝ වෙනත් යමක් නොවේ. කරු පරණවිතානගේ තනතුර වෙනුවෙන් ගෙන්වන වාහනය රුපියල් ලක්ෂ 400කට මිස රුපියල් ලක්ෂ 70කට ලංකාවේ වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාවක් නැත. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වියදමක් ලෙසත්, මුදල් අමාත්‍යාංශයේ ආදායමක් ලෙසත් සටහන් වන, කරු පරණවිතාන සඳහන් කරන වාහනයට අදාළ රුපියල් ලක්ෂ 330ක බදු මුදල ඔහුගේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය තනතුර වෙනුවෙන් දැරෙන සැබෑ වියදමේ කොටසකි. ඇත්තටම කියනවානම් රාජ්‍ය සේවයේ නිරතව සිටින්නන් විසින් සිය වැටුප් මත නොගෙවන ආදායම් බදුද ඔවුන් වෙනුවෙන් දැරෙන වියදමේ කොටසකි.

මීට පෙර අමාත්‍යාංශ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමේදී වාහන සඳහා වැය වන බදු මුදල් එකතු කිරීමක් සිදු නොවුනේනම් එය දැන් හෝ එකතු කිරීම වඩා නිවැරදි වන්නේ එසේ කිරීමෙන් එක් එක් අමාත්‍යාංශය වෙනුවෙන් දැරෙන වියදම වඩා නිවැරදි ලෙස නිරූපණය වන බැවිනි. මෙහිදී මාධ්‍ය විසින් කරු පරණවිතාන වෙනුවෙන් ගෙන්වන වාහනයේ වටිනාකම රුපියල් ලක්ෂ 400ක් හෝ කෝටි 4ක් බව පැවසීමේ කිසිම වැරැද්දක් නැත. පෙර එම තනතුර දැරූ අයෙකු පාවිච්චි කළ වාහනයක බදු රහිත වටිනාකම සමඟ සසඳමින්, කරු පරණවිතාන විසින් පෙර වියදම් කළ මුදලට වඩා හතරපස් ගුණයක් මිල වැඩි වාහනයක් ගෙන්වා ඇති බව යමෙක් කියනවානම් පමණක් එය නිවැරදි නැත. මෙහිදී එවැන්නක් සිදුවී නැත.

ඉහත රුපියල් ලක්ෂ 330ක බදු මුදල රජයේ ගිණුම් තුළ එක් අමාත්‍යාංශකින් තවත් එකකට සිදුවන හුවමාරුවක්ය යන්න ඇත්තකි. ඒ නිසා, ගිණුම්කරණ සම්මත අනුව රජයට ශුද්ධ වියදමක් සිදු නොවන බවද ඇත්තකි. කෙසේවුවද, මෙහි සැබෑ වියදම තේරුම් ගත යුත්තේ ලංකාවේ රජය මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ දිග පළල අමතක නොකරමිනි.



රාජ්‍ය ණය අර්බුදය හරහා පුළුල් වෙමින් පවතින අයවැය හිඟයත්, පුළුල් වෙමින් පවතින වෙළඳ ශේෂය සමඟ දිනෙන් දින උග්‍ර වන ගෙවුම් ශේෂ අර්බුදයත් පිළිබඳව රජයේ පාර්ශ්වයන් විසින්ම පුළුල් ලෙස ප්‍රචාරණය කරමින් සිටින අතර මේ අර්බුදයන්ට මුහුණ දීම සඳහා විවිධ උපාය මාර්ග ගනිමිනි සිටී. ගෙවුම් ශේෂ අර්බුදය මූලික වශයෙන්ම රජයේ (මහ බැංකුවේ) විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වුවත්, රජයේ තෝරාගැනීම වී ඇත්තේ විණිමය අනුපාතිකය නිවැරදි කිරීම මඟින් වෙළඳපොළ සාධක හරහා ආනයන අපනයන පරතරය අඩු කර ගැනීම වෙනුවට, සෘජු මැදිහත්වීම් මඟින් ආනයන සීමා කිරීමයි. මෙහිදී රජය විසින් වාහන ආනයනය සීමා කිරීම සඳහා ප්‍රමුඛතාවය දී ඇති අතර බදු ප්‍රතිපත්ති හා ණය සීමා හරහා පසුගිය 2016 වසර තුළ වාහන ආනයනය විශාල ලෙස සීමා කිරීමට සමත්වී තිබේ.

රජයේ ඉහත උපාය මාර්ගය ගෙවුම් ශේෂ අර්බුදය කෙරෙහි යහපත් බලපෑමක් කර ඇතත් ඒ මඟින් රාජ්‍ය අයවැය අර්බුදය තවත් උග්‍ර කරගෙන තිබේ. ඉකොනොමැට්ටාගේ ඇස්තමේන්තු අනුව, පසුගිය 2016 වසර තුළ වාහන ආනයන බදු ලෙස රජය ඉපැයූ ආදායම 2015 වසරේ ඉපැයූ එම ආදායමට වඩා සැලකිය යුතු ලෙස පහත වැටී තිබිය යුතුය. නුදුරු දිනෙකින්, මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා පළ වූ පසුව මේ කරුණ සනාථ කර ගැනීමට හැකි වනු ඇත.

මෙහිදී ඉකොනොමැට්ටාට පෙන්වා දෙන්නට අවශ්‍ය කරුණ වන්නේ ඉකොනොමැට්ටා එකඟ නොවුවත්, රජය විසින් ආර්ථික උපාය මාර්ගයක් ලෙස හඳුනා ගෙන ඇති වාහන ආනයනය සීමා කිරීම වෙනුවෙන් සැලකිය යුතු තරමින් ලැබිය හැකිව තිබුණු රාජ්‍ය ආදායම් කැප කර ඇති බවයි. ඒ අනුව, අළුතින් ගෙන්වන සෑම වාහනයක් නිසාම රජයට වැඩිවන ගෙවුම් ශේෂය හරහා අවාසියක් සිදුවන අතර, මේ නිශේධනාත්මක බලපෑම තුලනය වන්නේ අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් ඇතැම් පුද්ගලයින් විසින් ආනයනය කෙරෙන වාහන මත අයකෙරෙන බදු වලිනි. රජය වෙනුවෙන් රජය විසින්ම ආනයනය කරන වාහන වලින් මේ වාසිය නොසැලසෙන නිසා අමාත්‍යවරුන් වෙනුවෙන් ගෙන්වන වාහන මත ගණනය කෙරෙන බදු රජයේ සැබෑ වියදමක් නොවේයැයි කිව නොහැකිය.

අනෙක් අතට රජයේ ආදායම් හිඟය තුලනය කර ගැනෙන්නේ බදු ඉහළ දැමීම හරහාය. මේ ඉහළ යන බදු බර දරන්නේ, සරල ලෙස, රජයට සෘජු සම්බන්ධයක් නැති පාර්ශ්වයන් වන ව්‍යපාරිකයින් හා ස්වයං රැකියා වල යෙදෙන්නන්ද ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයින් විසිනි. රජය නඩත්තු කිරීම සඳහා ඔවුන්ට කැප කරන්නට සිදුවී ඇත්තේ තමන් විසින් උපයන, තමන්ට අයිති, තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් යෙදවිය හැකි අරමුදල්ය. ඒ නිසා, අඩුම වශයෙන් රජයේ නඩත්තුව වෙනුවෙන් රජයට සම්බන්ධ නොමැති පාර්ශ්වයන් කරන අමතර කැපකිරීමට සමානුපාතික කැප කිරීමක් හෝ කිරීමට රජයට සෘජුව සම්බන්ධ පාර්ශ්ව වලට යුතුකමක් තිබේ. තමන්ට පෙර තනතුර දැරූ පුද්ගලයා පාවිච්චි කළ මාදිලියේම වාහනයක් වෙනුවට අඩු වශයෙන් ප්‍රදර්ශනාත්මකව හෝ සුළුවෙන් හෝ මිල අඩු වාහනයක් මිලදී ගැනීමට රජයේ ඇමති වරයෙකුට හැකියාව තිබියදී "කලින් භාවිතා කළ මාදිලියේම වාහනයක් මිලදී ගැනීම" වුවද අගය කළ හැකි දෙයක් නොවන්නේ මේ සන්දර්භය තුළය.


කරු පරණවිතානට "රථගායක්  හෝ අලුත් වාහනමේනියාවක්" ඇතැයි අපි නොකියමු. එමෙන්ම, මෙය ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ රජයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ පුළුල් කතිකාවක කොටසක් ලෙස පළ කරන සටහනක් මිස ඔහුව ඉලක්ක කර කෙරෙන පෞද්ගලික විවේචනයක්ද  නොවේ.

අමාත්‍යවරයෙකු හෝ රජයට සම්බන්ධ වෙනත් පුද්ගලයෙකු විසින් සිය කාර්යභාරය කාර්යක්ෂම ලෙස කිරීම සඳහා සම්පත් අවශ්‍යය. මෙහිදී, කරු පරණවිතාන විසින් මිලදී ගත යුතු වාහනයේ උපරිම මිල පිළිබඳව සීමා පැනවීම අසීරු කරුණකි. මිල අධික වාහනයක් භාවිතා කිරීම, ඒ හේතුව නිසාම වැරැද්දක් වන්නේද නැත. වැදගත්ම කරුණ වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවකු වන ඇමතිවරයෙකු හෝ වෙනත් අයෙකු විසින් තමන් වෙනුවෙන් වැය කෙරෙන මුළු වියදම ඉක්මවන අගය එකතු කිරීමක් කරන්නේද යන්නයි. රජයට සම්බන්ධ සියළු දෙනා විසින්ම එවැනි ශුද්ධ අගය එකතු කිරීමක් කරන්නේනම් සමස්තයක් ලෙස රාජ්‍ය යාන්ත්‍රණය අකාර්යක්ෂම වන්නට හෝ රජයට සිය පිරිවැය ආවරණය කර ගැනීම අසීරු වන්නට හේතුවක් නැත.

කරු පරණවිතාන හෝ වෙනත් එවැනි අයෙකු විසින් සිය කාර්යක්ෂමතාවය පෙන්විය යුත්තේ ඔවුන්ට පෙර එම තනතුර දැරූ පුද්ගලයින්ට සාපේක්ෂව නොවේ. තමන් වෙනුවෙන් වැය වන මුළු පිරිවැයට සාපේක්ෂවය.

Sunday, March 26, 2017

අධික තත්පරය


පෙර ලිපියෙන් විස්තර කළ පරිදි අවුරුද්දක් යනු පොළොවට ඉර වටා රවුමක් යාමට ගතවන කාලයය යන්නද සරල කතන්දරක් පමණි. ඇත්තටම කියනවානම් මේ කතන්දරය ඉරට තාරකා මණ්ඩල හරහා වටයක් යාමට ගතවන කාලය යන සංකල්පයටත් වඩා අවිනිශ්චිත හා අවුල් සහගත සංකල්පයකි. ඒ, පොළොව ඉර වටා ගමන් කරන එවැනි නිශ්චිත පථයක් නැති බැවිනි. එකම ගඟ දෙවරක් දැකිය නොහැකි අයුරින්ම, පොළොව දෙවරක් එකම පථයේ ඉර වටා නොයයි.

පොළොව ඉර වටා යන නිශ්චිත පථයක් නොමැති නිසා අපට ඇතැම් කටයුතු වලදී අපේ පහසුවට එවැනි පථයක් ඇති බව උපකල්පනය කිරීමට සිදුවේ. මේ උපකල්පනය හරියටම නිවැරදි නොවන නිසා අපට මේ පථය කිසියම් ආකාරයකින් අර්ථදැක්වීමට සිදුවේ. එවැනි අර්ථදැක්වීම් එකකට වඩා තිබිය හැකි හා තිබෙන නිසා පොළොව ඉර වටා යාමට ගතවන කාලය ලෙස අපට මිනුම් එකකට වඩා තිබේ. නක්ෂත්‍ර වසරක් හා ඇනෝමලිස්ටික් වසරක් අතර ඇති මිනිත්තු  4කුත් තත්පර 42ක වෙනසට හේතුවද මෙවැනි අර්ථදැක්වීම් වල ඇති වෙනසකි.

කෙසේ වුවද, නක්ෂත්‍ර වසරක් හා ඇනෝමලිස්ටික් වසරක් අතර වෙනස ප්‍රායෝගිකව ජනජීවිතය හා අදාළව විශාල ප්‍රශ්නයක් ඇති නොකරයි. ඒ අතරම, පොළොවේ, විශේෂයෙන්ම සමකයෙන් ඈත ප්‍රදේශ වල කාලගුණ රටා සමඟ මේ වසරක කාලය මැනවින් ගැලපේ. ඒ නිසා, සහශ්‍ර ගණනකට පෙර පෙරදිග මෙන්ම අපරදිග ලෝකයේත් අවුරුද්ද ලෙස බොහෝ විට සැලකුණේ නක්ෂත්‍ර වර්ෂයයි. වසරේ ආරම්භය ලෙස සැලකුණු දින ඉර හා දිශානුගතව පැවති තාරකාව වෙනස්වීම නිසා අවුරුද්දේ ආරම්භය
වෙනස් වුවත් මේ පදනම මත ගණනය කෙරුණු අවුරුද්දක කාලය ගිණිය හැකි තරමින් වෙනස් වුණේ නැත.

පොළොවේ කාලගුණ රටා, විශේෂයෙන්ම සෘතු, වෙනස්වන චක්‍රය නක්ෂත්‍ර වර්ෂයක කාලය සමඟ ආසන්න ලෙස ගැලපීමට හේතු වන්නේ පොළොව තමන් වටා භ්‍රමණය වන අක්ෂයෙහි අංශක 23.5කට මඳක් අඩු (23°26′13.4″) ආනතියයි. මේ ආනතිය හේතුවෙන් පොළොවේ සමකයෙන් ඈත පෙදෙස් වල ශිශිර, වසන්ත, ගිම්හාන හා හේමන්ත සෘතු ඇති වන ආකාරයත්, දිවා රාත්‍රී කාල වල දිග වෙනස් වන ආකාරයත් පෙර ලිපියකින් විස්තර කර තිබේ.

සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, පොළොව ඉරවටා යද්දී ඉරේ බලපෑම පොළොවේ උතුරු හා දකුණු අර්ධගෝල වලට සමමිතික ලෙස සිදුවන්නේ අවස්ථා දෙකකදී පමණි. ඒ වසන්ත විෂුවය හා හේමන්ත විෂුවය සිදුවන (මේ වසරේ මාර්තු 20 හා සැප්තැම්බර් 22) දින වලදීය. ඉතිරි දින වල පොළොවේ උතුරු හා දකුණු අර්ධගෝල වලට ඉරේ බලපෑම සිදුවන්නේ අසමමිතිකවය. මේ අසමමිතිය වඩාත්ම විශාල වන්නේ ගිම්හාන හා ශිශිර සූර්ය නිවෘත්තීන් සිදුවන (මේ වසරේ ජූනි 21 හා දෙසැම්බර් 21) දිනවලදීය. මෙය වාර්ෂික චක්‍රයක් ලෙස සිදුවන අතර ග්‍රෙගෝරියන් දින දර්ශනයටද පදනම් වන නිවර්තන වර්ෂය යනු මේ චක්‍රය සම්පූර්ණ වීමට ගතවන කාලයයි.

පොළොව ඇද වුවත්, පොළොවේ ඇදය වෙනස් නොවී එක විදිහකට තිබුණානම් නිවර්තන වර්ෂයක් නක්ෂත්‍ර වර්ෂයකට සමාන විය හැකිව තිබුණේය. එහෙත්, පොළොවේ මේ ඇදයත් හැමදාම එක විදිහට තියෙන්නේ නැත. කලකදී මේ ඇදය අංශක 22.1 පමණ දක්වා අඩුවන අතර තවත් කාලයකදී අංශක 24.5 පමණ දක්වා වැඩි වේ. මේ වන විට මේ ඇදය අංශක 23.5 පමණ  වුවත් එය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. ක්‍රිස්තු වර්ෂ 11,800 පමණ වන තුරු මේ ඇදය ටික ටික ටික අඩුවී අවම මට්ටමට පැමිණීමෙන් පසු නැවත වැඩි වන්නට පටන්ගනු ඇති අතර මෙය (nutation) වසර 41,000කට පමණ වරක් චක්‍රීය ලෙස සිදුවේ. (රූප සටහනේ පොළොව කැරකෙන දිශාව ලකුණු කර ඇති ආකාරය නිවැරදි නැත.)



මේ කාලයේ පොළොවේ ඇදය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා පොළොවේ ඉර සෘජුව මුදුන් වන උතුරු හා දකුණු සීමාවන්ද වසරින් වසර සමකය දෙසට විතැන් වේ. උතුරු හා දකුණු ධ්‍රැව ආශ්‍රිතව ඇති සමකයට සාපේක්ෂව සමසකට වරක් දිවා රෑ මාරුවන, සුරයන්ගේ හා අසුරයන්ගේ අඩවි ටිකෙන් ටික කුඩා වේ. කෙසේ වුවද, ඉහත හේතුව නිසාද නිවර්තන වසර දිගුකාලීනව නක්ෂත්‍ර වර්ෂයකින් වෙනස් විය යුතු නොවේ.

පොළොවේ ඇදය වෙනස් වන එකම ආකාරය ඉහත ආකාරය නොවේ. මේ ආනතිය වසර 26,000කට පමණ වරක් තුන්වන මානයක බමරයක් සේ වාමාවර්තව (දක්ෂිණාවර්තව භ්‍රමණය වන පොළොවට ප්‍රතිවිරුද්ධව) කැරකේ. චක්‍රීය ලෙස සිදුවන මේ වෙනස්වීම පූර්වායනය (precession) ලෙස හැඳින්වේ.


 
පූර්වායනය හේතුවෙන් එක් හේමන්ත විෂුවයක සිට තවත් හේමන්ත විෂුවයකට හෝ එක් ශිශිර සූර්ය නිවෘත්තියක සිට තවත් ශිශිර සූර්ය නිවෘත්තියකට ගතවන්නේ නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව පොළොවට ඉර වටා රවුමක් යාමට ගත වන කාලයට වඩා වසර 1/26,000කින් හෙවත් මිනිත්තු 20කුත් තත්පර 25කින් පමණ කෙටිය.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ජීවත් වූ ග්‍රීක විද්‍යාර්ථියෙකු වූ (වත්මන් බෙදීම් අනුව ඔහු ජීවත් වූ පෙදෙස අයත් වන්නේ තුර්කියටය) හිපාර්කස් විසින් ආකාශ නිරීක්ෂණ සටහන් කර තිබුණු පැරණි ලේඛණ පරීක්ෂා කරමින් සූර්යය නිවෘත්ති හා විෂුවයන් සිදුවන දින කාලයත් සමඟ වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළේය. ඔහුගේ ගණනය කිරීම් අනුව, එවකට භාවිතා කළ නක්ෂත්‍ර වසර මත පදනම් වූ දින දර්ශනය වසර 100කට පමණ වරක් දවසක් 'වැඩියෙන්' ගමන් කළේය. අද අප දන්නා පරිදි මේ වෙනස වසර 71කට (26,000/365) දවසකි.

හිපාර්කස්ගේ නිරීක්ෂණ මත පදනම්ව බටහිර දින දර්ශනය සෘතු වෙනස්වීම් සමඟ ගැලපෙන පරිදි 'නිවැරදි' කෙරුණේය. ඒ අනුව, ජුලියන් දින දර්ශනයට මෙන්ම ග්‍රෙගෝරියන් දින දර්ශනයටත් සූර්ය නිවෘත්ති මත පදනම් වූ නිවර්තන වසර යොදා ගැනුණේය.

ග්‍රීසියෙහි සිදුවුණු හිපාර්කස්ගේ නිරීක්ෂණ පිළිබඳ දැනුම භාරතීය විද්‍යාර්
ථින්ටද රහසක් නොවීය. එහෙත්, සමකය ආසන්නයේ පිහිටි (වත්මන්) ඉන්දියාවට සිය දින දසුන සෘතු වෙනස්වීම් සමඟ ගැලපීම එතරම් වැදගත් නොවූ නිසා භාරතීය දිනදසුන් තවදුරටත් නක්ෂත්‍ර වසර මතම පදනම් විය.

ග්‍රෙගෝරියන් දින දසුන නිවර්තන වසර මත පදනම් වුවත් ග්‍රෙගෝරියන් සැලසුම නිවර්තන වසර සමඟ වුවද හරියටම නොගැලපේ. ග්‍රෙගෝරියන් වසරක් නිවර්තන වසරකට වඩා තරමක් දිගය. ඒ නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ වසරක් හා නිවර්තන වසරක් අතරද තත්පර 27ක වෙනසක් තිබේ. මේ නිසා අප දැනට භාවිතා කරන කැලැන්ඩරයත්, නක්ෂත්‍ර වසර මත පදනම් වූ සිංහල අවුරුද්ද ගණනය කිරීමට හා (ඉන්දියානු) ජ්‍යෝතිෂයේදී යොදාගන්නා කැලැන්ඩරයේ වසරක් අතර ඇති වෙනස මිනිත්තු 19කුත් තත්පර 58කි.

සාමාන්‍ය වෙනස මෙය වුවත්, මේ වෙනස සෑම වසරකදීම සමාන නොවේ. එයට හේතුව නක්ෂත්‍ර වසරක දිග බොහෝ දුරට සමාන වුවත්, නිවර්තන වසරක දිග වසරින් වසර වෙනස් වීමයි. මෙයට හේතුව පොළොව ඉර වටා ගමන් කරන පථය ඉලිප්සාකාර නොවීම හා එහි වෙනස් තැන් හරහා ගමන් කරන්නේ එකම වේගයකින් නොවීමයි.

කෙසේවුවද, වඩා ස්ථිර නක්ෂත්‍ර වසරක කාලය හා දවසක පැය ගණන වුවද කිසිදා වෙනස් නොවන දේවල් නොවේ. ඉතා සුළුවෙන් වුවත් මේවාත් වෙනස් වේ. පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන වේගය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර මේ නිසා පොළොවට සිය අක්ෂය වටා වටයක් කරකැවීමට දැන් ටික කලකට ගතවුණාට වඩා වැඩි කාලයක් ගතවේ. මේ වෙනස දිනකට මිලිතත්පර 1.7ක් පමණ ඉතා සුළු වෙනසක් වුවත් මේ සුළු වෙනස එකතු වීම නිසා මාස 19කට පමණ වරක් තත්පරයක වෙනසක් ඇති වේ. මෙය නිවැරදි කරගැනීම සඳහා කලින් කලට අධික තත්පරයක් එකතු කරන්නට සිදුවේ.

පසුගිය වසර 46ක කාලය තුළ 27 වරක් මේ අයුරින් අධික තත්පර එකතු කරමින් දැනට භාවිතා කරන සම්මත කාලය නිවැරදි කරනු ලැබ ඇති අතර අවසන් වරට මෙවැනි නිවැරදි කිරීමක් කෙරුණේ පසුගිය දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රියේදීය. ඒ අනුව, පසුගිය 2016 දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රී 11:59:59 තත්පරයෙන් පසුව එළඹුණු තත්පරයේදී 2017 නව වසර උදාවුණේ නැත. ඒ වෙලාවේ එළඹුණේ 11:59:60 තත්පරයයි. 2017 නව වසර උදාවුණේ තත්පර 61ක් දිගින් යුතු වූ මේ අන්තිම මිනිත්තුවෙන් පසුවය. සමහර වෙලාවට මිනිත්තුවක කාලයක් අපට තත්පර 60කට වඩා දිගු ලෙස දැනේ. ඒ, ඇත්තටම ඒ මිනිත්තුව තත්පර 60කට වඩා දිග නිසා වෙන්නටත් පුළුවන. 


වෙනස්වීම් තේරුම් ගැනීම සඳහා අප හදාගෙන ඇති කාලය නම් වූ සංකල්පය පදනම් වන්නේ අප ඇතැයි සිතන කිසියම් නොවෙනස් වන දෙයක් මතය. එහෙත්, වඩා හෙමින් වෙනස් වන දේවල් මිස එවැනි නොවෙනස් වන දේවල් නැත.


විල් මත නෙළුම් හෙලුවත් කැළුම්
ගල් පර තලයි රැළි මෙන් හැඟුම්...
වෙරළේ තෙරේ අප හමුවෙනා
කිසිවෙකු නෑ දන්නේ ආදරේ...
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...
ඔබ හා මා ඉන්නා තත්පරේ...
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...

ඊයේ පැවති නෙළුම්යාය සම්මාන ප්‍රදානෝත්සවයේදී ඉකොනොමැට්ටාගේ බ්ලොග් අඩවි අගය කර ඇති බව මේ දැන් දැනගන්නට ලැබුණු අතර ඒ පිළිබඳව සංවිධායකයින්ට ස්තුතිවන්ත වන අතර සියළුම සම්මානලාභීන්ට සුභපතමු!

(Image: http://www.theskepticsguide.org/the-leap-second-insertion, http://sciences-physiques.ac-dijon.fr/astronomie/lexique/lexique_astro/p/precession_equinoxes.htm, wikipedia)

Friday, March 24, 2017

අවුරුද්දේ ඇනෝමලිය

සියවස් කිහිපයකට පෙර ඉර, හඳ හා තාරකා වල චලනය විස්තර කළ පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය ප්‍රතිස්ථාපනය කරමින් සූර්ය කේන්ද්‍රීය ආකෘතියක් ජනප්‍රිය විය. මේ සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව පොළොව සිය අක්ෂය වටා කැරකේ. එසේ කැරකෙන අතර ඉර වටාද කැරකේ. දවස හා වර්ෂය යන සංකල්ප සරල ලෙස පැහැදිලි කරන්නට මේ ආකෘතිය ප්‍රමාණවත්ය. පොළොවේ අක්ෂයේ අංශක 23.5ක ඇලය ඉහත මූලික ආකෘතියට එකතු කළ විට වසර තුළ පොළොවේ වෙනස් තැන්වල වෙනස් ලෙස සිදුවන සෘතු වෙනස්වීම්ද, දිවා රෑ කාලවල වෙනස්වීම්ද පැහැදිලි කළ හැකිය.

කෙසේවුවද, සූර්ය කේන්ද්‍රීයව විමසිය හැකි ඉර හා පොළොව අතර සාපේක්ෂ චලිතය වුවද මේ සරල ආකෘතියෙන් විස්තර කරනවාට වඩා බොහෝ සංකීර්ණය.
-පොළොව ඉර වටා ගමන් කරන්නේ වෘත්තාකාර පථයක නොව ඉලිප්සාකාර පථයකය.
-මේ ඉලිප්සාකාර පථයේ විවිධ කොටස් හරහා පොළොව ගමන් කරන්නේ එකම වේගයකින් නොවේ.
-ඉලිප්සාකාර පථයේ දිගු අක්ෂයේ දිශානතියද චක්‍රීය ලෙස වෙනස් වේ.
-ඉලිප්සාකාර පථයේ හැඩය කලින් කලට චක්‍රීය ලෙස වඩාත් ඉලිප්සාකාර හා අඩුවෙන් ඉලිප්සාකාර (ආසන්න ලෙස වෘත්තාකාර) වේ.
-පොළොවේ අක්ෂයේ ඇලයේ දිශානතියද චක්‍රීය ලෙස වෙනස් වේ.
-පොළොවේ අක්ෂයේ ඇලයද චක්‍රීය ලෙස වෙනස් වේ.

මේ බොහෝ වෙනස්කම් සිදුවන්නේ සෙමෙන් වුවත් නොසලකා හැරිය හැකි තරම් සෙමින් නොවේ. ඇතැම් සුළු වෙනස්වීමක් නිසා වුවත් පොළොවේ කාලගුණය මත සිදුවන බලපෑම ඉතා විශාලය.

ඇත්තටම කියනවානම් මේ චක්‍රීය වෙනස්වීම් සියල්ල අප හදාගත් කතන්දරයි. එසේ කීමෙන් මේ ප්‍රවාද වල වැදගත්කම අවතක්සේරු වන්නේ නැත. මේ කතන්දර කිසිදු පදනමක් නැති හිතින් මවාගත් කතන්දර නොවේ. නිරීක්ෂණය කළ හැකි සංසිද්ධි සමඟ ගැලපෙන කතන්දරයි. ඊට පෙර තිබුණු කතන්දර වලට වඩා හොඳ කතන්දරයි. වඩා හොඳ කතන්දරයක් හදාගන්නා තුරු අපට මේ කතන්දර වලින් ප්‍රයෝජන ගන්නට පුළුවන.

පොළොවත් ඉරත් අතර නිරීක්ෂණය කළ හැකි සාපේක්ෂ චලිතයක් තිබේ. සිය අක්ෂය වටා ආනතියක් සහිතව භ්‍රමණය වන අතර ඉර වටා යන පොළොවක් පිළිබඳ ආකෘතියකින් මේ සාපේක්ෂ චලිතය සෑහෙන දුරකට පැහැදිලි කළ හැකි වුවත් එසේ පැහැදිලි කළ නොහැකි කොටසක්ද තිබේ. ඉතිරි කොටස් එකතු කෙරෙන්නේ මෙසේ නිරීක්ෂණය කළ හැකි සාපේක්ෂ චලිතයත්, මුල් ප්‍රවාදයෙන් පුරෝකථනය කළ හැකි සාපේක්ෂ චලිතයත් අතර වෙනස පැහැදිලි කිරීමටය.

පොළොවට සිය අක්ෂය වටා රවුමක් කරකැවීමට ගතවන කාලය පැය 23 ක් මිනිත්තු 56 ක් හා තත්පර 4ක් පමණ වුවත් දවසක කාලය පැය 24කි. දවසක් කියන්නේ හරියටම පොළොවට සිය අක්ෂය වටා රවුමක් කරකැවීමට ගතවන කාලය නොවේ. පොළොවට ඉර හා නැවත සම්මුඛ වීමට ගතවන කාලයයි. පොළොව සිය අක්ෂය වටා කරකැවෙන අතරම ඉර වටාද ගමන් කරන බැවින් හරියටම රවුමක් කැරකී මුල් පිහිටුමට එන විට ඉර වටා යන පථයේද යම් දුරක් ඉදිරියට ගොස් සිටින නිසා ඉර සම්මුඛ නොවේ. ඒ සඳහා තවත් ටිකක් වැඩිපුර කැරකෙන්නට සිදුවේ. මේ වැඩිපුර ප්‍රමාණය කැරකීමට මිනිත්තු 3ක් හා තත්පර 56ක් ගත වේ. මේ ආකාරයෙන් දින 365ක් ගෙවෙන විට පොළොව සිය අක්ෂය වටා 366 වරක් කැරකී අවසන්ය.

මිනිසුන් විසින් දවසනම් වූ සංකල්පය හදාගන්නා කාලයේ පෙරදිග මෙන්ම අපරදිග රටවලද ජනප්‍රියව තිබුණේ පොළොව වටා ඉර ගමන් කරන්නේය යන ප්‍රවාදයයි. ඒ ප්‍රවාදයට අනුව දවස යනු ඉරට පොළොව වටා වටයක් ගමන් කර නැවත ක්ෂිතිජයෙන් මතු වීමට ගතවන කාලයයි. මේ සංකල්පය සරල වන අතරම නිවැරදි සංකල්පයකි. පොළොවට වටයක් කරකැවීමට පැය විසිහතරක් ගත නොවූවත් ඉරට පොළොව වටා වටයක් යාමට පැය විසිහතරක් ගත වේ.

පෙරදිග මෙන්ම අපරදිගද අවුරුද්ද නම් වූ සංකල්පය බිහිවුනේද පෘථිවි කේන්ද්‍රීය ආකෘතියක් ජනප්‍රියව පැවතෙද්දීය. මේ අනුව, අවුරුද්දක් යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව ඉර ඈතින් පිහිටි කවර හෝ නක්ෂත්‍ර තාරකාවක් සමඟ දිශානුගතව සිටින අවස්ථා දෙකක් අතර ගතවන කාලයයි. මේ ආකාරයෙන් අර්ථදක්වන 'නක්ෂත්‍ර අවුරුද්දක' කාලය නොවෙනස්වන ලෙස සැලකිය හැකි නිශ්චිත කාලයකි. පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන වේගය අඩුවීම නිසා දවසේ කාලය දිගුවීම, පොළොව හා ඉර අතර දුර ක්‍රමයෙන් වැඩිවීම ආදී හේතූන් නිසා නක්ෂත්‍ර අවුරුද්දක කාලයද දිගුකාලීනව වෙනස් නොවන නමුත් ඒ වෙනස්වීම නොගිණිය හැකි තරම් සුළු වෙනසකි.

දවස යන සංකල්පය මෙන්ම අවුරුද්ද යන සංකල්පයද වඩා සංකීර්ණ සූර්ය කේන්ද්‍රීය ආකෘතියක් හා ගලපන විට අමතර ප්‍රශ්න මතුවේ. අවුරුද්දක් යනු සරලව පොළොවට ඉර වටා ගමන් කිරීමට ගතවන කාලය බව අපට කියන්නට පුළුවන. එහෙත්, මේ ප්‍රවාදය අංග සම්පූර්ණ නැත.


පොළොව ඉර වටා ගමන් කරන්නේ හරි රවුමක නොවේ. ඉලිප්සාකාර පථයකය. ඊට අමතරව ඉර පිහිටා ඇත්තේ මේ ඉලිප්සාකාර පථයේ මධ්‍යයේද නොවේ. බිත්තර බාගයක කහමදය මෙන් පැත්තකට වෙන්නටය. ඒ නිසා, මේ පථය දිගේ ඉර වට ගමන් ගන්නා පොළොව වරෙක ඉරට ලං වේ. වරෙක ඈත් වේ. මේ වසරේ ඉරත් පොළොවත් අතර දුර අඩුම ජනවාරි 4 දිනයි. දුර වැඩිම ජූලි 4 දිනයි. ජනවාරි මාසයේ ඉර, ජූලි මාසයේදීට වඩා 3.4%ක් පොළොවට ආසන්න වන අතර පොළොවට ලැබෙන ඉර එළියේ තීව්‍රතාවය 6.4%කින් පමණ වැඩිය.

කෙසේවුවද, පොළොවේ සෘතු වෙනස්කම් වලට හේතුවෙන්නේ මෙසේ ඉර සහ පොළොව අතර දුර වෙනස්වීම නොවේ. පෙර ලිපියකින් පැහැදිලි කළ පොළොව කරකැවෙන අක්ෂයේ ආනතියයි. මේ ආනතියේ බලපෑම වැඩි නිසා, පොළොවට ලැබෙන ඉර එළියේ තීව්‍රතාවය සමස්තයක් ලෙස වැඩිම දිනය වන ජනවාරි 4 වෙනිදා වන විට ශිශිර සෘතුව ගෙවෙන උත්තරාර්ධ ගෝලයේ රටවල උෂ්ණත්වය ඉර පොළොවට වඩාත්ම ඈතින් සිටින ජූලි 4 වෙනිදා තරම් උණුසුම් නොවේ.

උත්තරාර්ධගෝලයේ රටවල් වලට කෙළින් ඉර එළිය වැටෙන ග්‍රීෂ්ම සෘතුවේදී ඉර තිබෙන්නේ පොළොවට ඈතින් වීම හා ශිශිර සෘතුවේදී ඉර තිබෙන්නේ පොළොවට ළඟින් වීම නිසා උත්තරාර්ධගෝලයේ රටවල කාලගුණය උණුසුම් හා සිසිල් අන්ත වලට යාම යම් තරමකින් හෝ අඩු වේ. එහෙත්, දක්ෂිණාර්ධගෝලයේ වෙන්නේ එහි අනිත් පැත්තයි. මේ අනුව, දකුණු අර්ධයේ රටවල ග්‍රීෂ්ම සෘතුව හා ශිශිර සෘතුව උතුරේදීට වඩා නරක විය යුතු වුවත් එය එසේ නොවන්නේ පොළොවේ දකුණු අර්ධගෝලයේ වැඩිපුර ඇත්තේ ගොඩබිම් නොව සාගර නිසාය.


පෙර කී ලෙසම පොළොව ඉර වටා කැරකෙන ඉලිප්සාකාර පථය හැම විටම නොවෙනස්ව නොපවතී. කාලයකදී එහි දිගු අක්ෂය හැකිලී ආසන්න ලෙස වෘත්තාකාර පථයක් බවට පත් වේ. තවත් කාලයකදී එහි දිගු අක්ෂය වඩාත් දිගු වේ. පෘථිවියේ ගමන් මාර්ගය මේ අයුරින් හැකිලීම හා දික්වීම ආසන්න ලෙස වසර 100,000කට පමණ වරක් චක්‍රීය ලෙස සිදුවේ. දැන් තිබෙන්නේ මේ චක්‍රයේ අතරමැද තත්ත්වයකි.

පෘථිවියේ පථය වඩා වෘත්තාකර වන විට වසරේ විවිධ දින තුළ පොළොවට වැටෙන හිරුඑළියේ තීව්‍රතාවය එතරම් නොවෙනස්ව පවතින අතර එහි හැඩය වඩා දිගටි වන විට වසර තුළ හිරු එළිය වැටීමේ තීව්‍රතාවය වෙනස්වීම තවත් වැඩි වේ.

පොළොව ඉර වටා යන ඉලිප්සාකාර අක්ෂය වරෙක වඩා රවුම් වුවත්, එහි දිගු අන්තයක් හැම විටම තිබෙන නිසා පොළොවට ඉර වටා රවුමක් යාමට ගතවන කාලය මැනිය හැකි එක් ක්‍රමයක් වන්නේ මේ පොළොව දිගම අන්තයේ සිට ඉර වටා රවුමක් ගොස් නැවත එතැනට පැමිණීමට ගත වන කාලය අවුරුද්දක් ලෙස සැලකීමයි. මේ අයුරින් අර්ථදක්වන අවුරුද්ද අක්‍රමික (ඇනෝමලිස්ටික්) වසරක් ලෙස හැඳින්වේ.

එසේනම්, ඇනෝමලිස්ටික් වසරක් නක්ෂත්‍ර වසරකට සමානද?

පොළොව ඉර වටා යන පථය ඇකිලීම හා දිගුවීම චක්‍රීය ලෙස සිදු වුවත්, මේ පථයේ දිගු අන්තය හැමවිටම යොමුවී පවතින්නේ එකම දිශාවකටනම් එය එසේ විය යුතුය. එහෙත්, මේ පථයේ සිදුවන එකම චක්‍රීය වෙනස්කම ඉලිප්සයේ හැඩය වඩා දිගටි හා රවුම් වීම පමණක් නොවේ. එහි දිගු අන්තය යොමුවී ඇති දිශාවද චක්‍රීය ලෙස වෙනස් වේ. පහත රූප සටහනෙහි මෙන් පෘථිවිය ඉර වටා යන පථයේ දිගු අන්තය වාමාවර්තව කැරකෙන අතර නැවත මුල් තැනට පැමිණෙන්නේ වසර 112,000කට පසුවය. (රූප සටහනෙන් පෙන්වන්නේ චක්‍රයෙන් කොටසක් පමණි.)


 

කිසියම් වසරක පෘථිවිය මේ පථයේ දිගු අන්තයේ සිටින විට ඉර හා කෙළින් ඉතා දුරින් යම් නක්ෂත්‍ර තාරකාවක් තිබුණේයැයි සිතමු. නක්ෂත්‍ර වසරක් ගත වූ බව අප සලකන්නේ පොළොව නැවතත් හරියටම මේ මුලින් ඉර හා කෙළින් තිබුණු නක්ෂත්‍ර තාරකාව එල්ලයට පැමිණි විටය. එහෙත්, පොළොව වටයක් ගොස් එතැනට එන අතර පොළොවේ ගමන් මාර්ගයද වෙනස් වී ඉලිප්සයේ දිගු අන්තය තරමක් ඉදිරියට ගොස් ඇති නිසා, නක්ෂත්‍ර වසරක් සම්පූර්ණ වෙද්දී ඇනෝමලිස්ටික් වසරක් සම්පූර්ණ නොවේ. ඒ සඳහා පොළොව තවත් ඉදිරියට ගමන් කළ යුතුය. මෙසේ ඉදිරියට ගමන් කළ යුතු අමතර කාලය අවුරුද්දක කාලයෙන් 112,000කින් කොටසක් හෙවත් මිනිත්තු 4කුත් තත්පර 42ක් පමණ වේ.

ඉහත හේතුව නිසා පෘථිවිය ඉර වටා ගමන් කරන පථයේ කිසියම් තැනක සිට ඉර වටා වටයක් ගමන් කර සිටි තැනට පැමිණීමට ගතවන කාලය හෙවත් ඇනෝමලිස්ටික් වසරක කාලය, පොළොවට ඈතින් පිහිටි නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව ඉර වටා වටයක් යාමට ගතවන කාලය වන නක්ෂත්‍ර වසරක කාලයට වඩා මිනිත්තු 4කුත් තත්පර 42කින් වැඩිය.

අප දැනට භාවිතා කරන ජනප්‍රිය දිනදසුන වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට පාදක වී ඇත්තේ පොළොවට ඉර වටා වටයක් යාමට ගතවන කාලය මනින මිනුම් දෙකක් වන නක්ෂත්‍ර වසර හෝ ඇනෝමලිස්ටික් වසර යන දෙකෙන් එකක්වත් නොවේ. පොළොවේ සෘතු වෙනස්වීම් සමඟ වඩා හොඳින් ගැලපෙන නිවර්තන වසරයි. නක්ෂත්‍ර වසරකට වඩා මිනිත්තු 20කින් පමණත්, ඇනෝමලිස්ටික් වසරකට වඩා
මිනිත්තු 25කින් පමණත් කෙටි නිවර්තන වසර ගැන ඉදිරි කොටසකින් කතා කරමු.

(Images: Wikipedia, http://www.ces.fau.edu, http://www.thesuntoday.org/solar-facts/happy-aphelion-2015/) 

Monday, March 20, 2017

සුරලොව ඔරලෝසුව


දෙවුලොව කාලය ගැනත්, දෙවියන්ගේ ආයුෂ ගැනත් ප්‍රවාද අපට බොහෝ තැන් වලින් අසන්නට ලැබී තිබේ. මේ බොහෝ ප්‍රවාද අනුව, දෙවුලොව කාලය ගෙවෙන්නේ මිනිස් ලොවට වඩා බොහෝ සෙමිනි.

අනෙක් තැන් වල කෙසේ වෙතත්, සූර්ය සිද්ධාන්තයේනම් සුරයන්ගේ හා අසුරයන්ගේ කාලය ගැන පැහැදිලි, පිළිගත හැකි ප්‍රවාදයක් ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවාදය අනුව, සුරයන්ගේ හා අසුරයන්ගේ දවසක් මිනිසුන්ගේ වසරකි. ඔවුන්ගේ රැයක් හෝ දවාලක් ගෙවෙන විට මිනිස් ලොව මාස හයක් ගෙවී අවසන්ය.

එසේනම්, සුරයන්ගේ හා අසුරයන්ගේ ඔරලෝසු කැරකෙන්නේ මිනිසුන්ගේ ඔරලෝසු වලට වඩා 365 ගුණයක් හෙමින්ද?

සුරයන්ගේ හා අසුරයන්ගේ දවසක දිග සමාන වුවත් ඔවුන් දෙපිරිසට කාලය ගෙවෙන්නේ එකම අයුරින් නොවේ. සුරයන්ට ඉර උදාවන විට අසුරයන්ට ඉර බසී. අසුරයන්ට ඉර උදාවන විට සුරයන්ට ඉර බසී. සුරයන්ගේ දවාල අසුරයන්ගේ රැයයි. අසුරයන්ගේ දවාල සුරයන්ගේ රැයයි. සුරයන්ගේ මධ්‍යහ්නය අසුරයන්ගේ මැදියම් රැයයි. අසුරයන්ගේ මධ්‍යහ්නය සුරයන්ගේ මැදියම් රැයයි.

කාලය පිළිබඳ සූර්ය සිද්ධාන්ත ප්‍රවාදය තේරුම් ගන්නටනම් සූර්ය සිද්ධාන්ත කතුවරයා දැන සිටි ලෝකය ගැන මුලින්ම තේරුම් ගත යුතුය.

සූර්ය සිද්ධාන්ත ලෝකයේ මධ්‍යය ලෙස සැලකුණේ ලංකාවයි. සමකය මත පිහිටි ලංකාව සූර්ය සිද්ධාන්ත කතුවරයාට හොඳින් හුරුපුරුදු උදේනි, රෝහිතක හා කුරුක්ෂේත්‍ර යන නගරවලට හරි කෙළින් දකුණේ පිහිටියේය. ලංකාවේ සිට ඉහත නගර හරහා අඳින සෘජු රේඛාවක් දිගේ උතුරට යන විට මහාමේරුව (උත්තර ධ්‍රැවය) පිහිටියේය. පොළොවේ මහාමේරුවට ප්‍රතිවිරුද්ධ පැත්තේ වඩවානාලය (දක්ෂිණ ධ්‍රැවය) පිහිටියේය.

සමකය මත ලංකාවට ප්‍රතිවිරුද්ධ පැත්තේ වූයේ සිද්ධපුරයයි. ලංකාවට බටහිරින්, සමකය මත, ලංකාවට හා සිද්ධපුරයට සමදුරින් රෝමකපට්ටනයද, රෝමකපට්ටනයට ප්‍රතිවිරුද්ධ පැත්තේ යමකෝටියද පිහිටියේය. මහාමේරුව සුරයන්ගේ වාසභවන වූ අතර, වඩවානාලය දෛත්‍ය නම් වූ අසුරයන්ගේ වාසභවනය විය.

ලංකාවට ඉර පායන විට, යමකෝටියට ඉර මුදුන් වූ අතර සිද්ධපුරයේ ඉර බසින වෙලාවද, රෝමකපට්ටනයේ මැදියම් රැයද විය.

ප්‍රවාහනය ඉතා නොදියුණු මට්ටමක තිබුණු, සූර්ය සිද්ධාන්තය ලියැවුණු යුගයේදී කිසියම් රටක ජීවත්වූ විද්‍යාර්ථිකුට භූගෝල විද්‍යා දැනුම ලබා ගත හැකිවූයේ දේශ සංචාරයේ යෙදුණු නාවිකයින් ලබා ගන්නා හෝ නාවිකයින්ගෙන් තොරතුරු ලබාගත් වෙනත් අයගෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්වය. උදේනි නුවර ආසන්නයේ ජීවත් වූ විද්‍යාර්ථිකුට හිමාල කඳු පන්තියට දකුණින් හා ලංකාවට උතුරින් වත්මන් ඉන්දියානු උපමහාද්වීපයට අයත් බිම් පෙදෙස් වල පිහිටීම ගැන සාපේක්ෂව තරමක් නිවැරදි තොරතුරු ලැබෙන්නට ඇති අතර, බටහිරින් පිහිටි රෝමකපට්ටනය වැනි ඈතින් පිහිටි නගර ගැනද යම් දැනුමක් ලබා ගන්නට හැකිවන්නට ඇත.

එහෙත්, පොළොවේ උතුරු හා දකුණු ධ්‍රැව වල හෝ ප්‍රතිවිරුද්ධ පැත්තේ (වත්මන් ඇමරිකානු මහාද්වීපයේ) පිහිටි පෙදෙස් ගැන එවැනි දැනුමක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නට ඉඩක් නැත. මේ පෙදෙස් ගැන සූර්ය සිද්ධාන්තයේ සඳහන් භූගෝලීය තොරතුරු නිවැරදි නොවන්නේ එබැවිනි.

කෙසේ වුවත්, අහසේ ලෝකය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ ඉවසීම හා තියුණු ඇසක් පමණි. ඒ සඳහා දේශාටනයේ යෙදෙන්නට අවශ්‍ය නොවේ. මේ නිරීක්ෂණ හා ගණිත දැනුම භාවිතා කරමින් පොළොවේ උතුරු හා දකුණු ධ්‍රැව ආසන්නයේ දිවා රෑ මාරු වන්නේ සමකයේ දින වලින් සමසකට වරක් බව අවබෝධ කරගන්නට සූර්ය සිද්ධාන්ත කතුවරයාට හැකි වී තිබේ. සුරයන්ගේ හා අසුරයන්ගේ දිවා කාලයක් හා රාත්‍රී කාලයක් ගෙවෙන්නට මිනිස් වසරක් ගෙවෙන බව ඔහු කියන්නේ එබැවිනි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...