වෙබ් ලිපිනය:

Sunday, August 23, 2015

මා ඡන්දය නොදැම්මේ ඇයි?


(අසාත්මිකතා අවවාදය: ඉකොනොමික්ස් වලට කැමති, පොලි-ට්‍රික්ස් අසාත්මිකතා ඇති අයට වුවද මේ ලිපිය යෝග්‍යය.)

උඩින් ඇති ප්‍රශ්නයේ 'මා' යන්නෙන් අදහස් වෙන්නේ ඉකොනොමැට්ටානම් ඔය ප්‍රශ්නයේ ලොකු වැදගත්කමක් නැත. ඔය 'මා' කෑල්ල ඇතුළට ජනවාරියේ ඡන්දය දා අගෝස්තුවේදී නොදැමූ මිලියනයක් පමණ පිරිසත්, අගෝස්තුවේදී මෙන්ම ජනවාරියේදීත් ඡන්දය නොදැමූ තවත් මිලියන ගණනක පිරිසත් ඇතුළත් කළ විට ප්‍රශ්නයට වැදගත්කමක් එකතු වේ. ලෝකයේ කොහේ හෝ කවදා හෝ පැවති මැතිවරණ සියල්ලේදීම ඡන්දය නොදැමූ පිරිස එකතු කරගතහොත් ඔය වැදගත් කම තවත් වැඩිවේ.


ප්‍රශ්නයට ඇති උත්තරය පුද්ගලයාට සාපේක්ෂය. නොකී කතා ලියන හෙන්රි ඡන්දය නොදා ඇත්තේ "ඡන්දෙන් කොරයි බම්බුවක් රටට. මෙච්චර කාලෙකට කොරල තියෙනවද?" යනුවෙන් සිතමිනි. "දැං කියයි ඡන්දෙ දාන්න ලැබෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියල..." යනුවෙන් ලිපිය අවසන් කරන හෙන්රි තුන් පාරක් පමණක් ඡන්දය පාවිච්චි කළ බව කියා තිබේ.

ඉකොනොමැට්ටා හිතන හැටියටනම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට අවශ්‍ය පක්ෂයකට ඡන්දය දැමීමට හෝ ඡන්දය නොදාම සිටීමට ඇති අයිතියි. ඡන්දය දැමීමට එරෙහිව හෝ ඡන්දය නොදමා සිටීමට එරෙහිව බලය යෙදවේනම් එය පුද්ගල නිදහසට බාධාවකි.

ඡන්දය නොදා සිටින අය එසේ කිරීම සාධාරනීකරණය කරමින් තම තමන්ටම දෙන පිළිතුරු සියල්ල සාරාංශගත කළහොත්, ඔවුන් මොන විදිහකින් වෙන අයට කීවත්, උඩින් ඇති ප්‍රශ්නයට ඇති පොදු පිළිතුර වනුයේ "ඔය මොකාට දුන්නත් මට ඇති වැඩක් නෑ" යන්නයි. මගේ මේ තර්කය අනුව, යමෙක්  කවර  ආකාරයකින් හෝ ඡන්දය ප්‍රකාශ කරන්නේ  "මට වැඩියෙන්ම වැඩක් වෙන්නේ" එසේ කළ විට නිසාය.

මේ සිතීමෙහි කිසිම වැරැද්දක් නැත. හෝමෝ සේපියන්ස්ලා සාමාන්‍යයෙන් තීරණ ගන්නේ තමන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙනි.

යම් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඡන්දය දීමෙන් කෙනෙකු බලාපොරොත්තු වෙන්නේ,
- එවෙලේම අතට ලැබෙන රුපියල් පන්සීයක් සහ බුරියානි පැකට් එකක් විය හැකිය.
- මීළඟ අයවැයෙන් රුපියල් පන්දාහක පඩි වැඩිවීමක් විය හැකිය.
- රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීමේ වැඩි ඉඩ ප්‍රස්තාවන් විය හැකිය.
- තමන්ගේ දරුවෙකු ජනප්‍රිය පාසලකට දමා ගැනීමට උපකාරී වන රෙකමදාරු ලිපියක් විය හැකිය.
- ගමේ පාරට තාර වැටුණු විට හෝ ආසන්නම නගරය කරා අධිවේගී මාර්ගයක් ඉදිවූ විට ගමන් පහසුව වැඩිවීම නිසා තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- තැන් තැන් වල බෝම්බ පිපිරීම නැවතීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- තමන්ගේ ජන වර්ගයට එරෙහිව යම් කණ්ඩායමක් නිරන්තරයෙන් මුදා හරින භීෂණය නැවතීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- වෙනත් ජනවර්ගයක් රටෙන් අතුගා දැමීමෙන් සහ තමාගේ ජනවර්ගයට වැඩි තැනක් ලැබීමෙන් තමන්ට සැලසෙන වාසිය විය හැකිය.
- මෙතෙක් ලෝකයේ කොහේවත් බිහිවී නැති සමානාත්මතාව රජයන පරිපූර්ණ සමාජයක ජීවත් වීමට ලැබීමෙන් තමන්ට ලැබෙන වාසිය විය හැකිය.
- රටේ ආර්ථිකය සහ පුද්ගල නිදහස දියුණු වීම නිසා තමන්ට සැලසෙන වාසිය විය හැකිය.

වැදගත් කරුණනම් සලකා බලන්නේ සෘජුව හෝ වක්‍රව 'තමන්ට' සැලසෙන වාසිය බවයි.

ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ 'තාර්කිකව සිතන පුද්ගලයෙකු තීරණ ගන්නේ තමන්ගේ ශුභ සිද්ධිය උපරිමයක් වන ආකාරයටය' යන්නයි. ඒ අනුව, තමන්ගේ ශුභ සිද්ධිය උපරිමයක් වන ආකාරයට තීරණ ගන්නා අය තාර්කික පුද්ගලයින්ය. එසේ සිතා තීරණ නොගන්නෝ අතාර්කික පුද්ගලයෝය.

නිරීක්ෂණ මඟින් පෙනෙන්නේ බොහෝ පුද්ගලයින් බොහෝ අවස්ථාවලදී තාර්කික තීරණ ගන්නා බවයි. එහෙත්, බොහෝ පුද්ගලයින් සමහර අවස්ථා වලදීත්, සමහර පුද්ගලයින් බොහෝ අවස්ථා වලදීත් අතාර්කික තීරණද ගනිති.

පුද්ගලයින් තාර්කික පුද්ගලයින් ලෙස සලකමින් බොහෝ සංසිද්ධි පැහැදිලි කිරීමට පුළුවන. ඒ නිසා බොහෝ අවස්ථාවලදී මේ 'අතාර්කික ව්‍යතිරේඛය' අතහැර සරල ආකෘතියක් සකස් කර ගත හැකිය.

අලියෙකු කිවූ විට එක්වරම අපේ මතකයට එන්නේ අළු හෝ දුඹුරු පැහැයට හුරු සතෙක් මිස කොළ හෝ රතු පැහැති සතෙක් නොවේ. ඒ නිසා බොහෝ විට අපි චිත්‍රයක් අඳින විට අලියෙකු වර්ණ ගන්වන්නේ එවැනි පැහැයකිනි. එහෙත්, මේ වර්ණය ලබා දෙන ජානය නැති සුදු හෝ රෝස පැහැති ඇල්බිනෝ අලි ඉඳ හිට බිහිවෙති. එක්තරා ප්‍රාදේශීය දෙවිකෙනෙකුගේ වාහනය සුදු අලියෙකි.


අලියෙකු අළු හෝ දුඹුරු පැහැතියැයි සැලකීම අලියෙකු සුදු, රෝස, අළු හෝ දුඹුරු පැහැති විය හැකියැයි සලකනවාට වඩා සරල, ප්‍රායෝගිකව හොඳ උපකල්පනයකි. කෙසේ වුවද, ප්‍රාදේශීය දෙවිවරුන් වැඩි වී මේ අයගේ වාහන ලෙස සුදු අලි ගොඩක් පෙනේනම් අපට අපේ සරල උපකල්පනය වෙනස් කිරීමට සිදු විය හැකිය.

පුද්ගලයෙකු ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ආකෘතිගත කිරීමේදී ඔවුන් තාර්කික පුද්ගලයින් ලෙස සලකමින් අපට සරල ආකෘතියක් ගොඩ නැංවිය හැකිය. මේ අනුව මේ පුද්ගලයාගේ තෝරාගැනීම වනුයේ ඔහු හෝ ඇය සිතන පරිදි තමන්ගේ පුද්ගල ශුභ සාධනය උපරිමයක් වන විකල්පයයි.

මෙහිදී වාසි අවාසි ගණනය කිරීමේදී සලකා බැලිය යුත්තේ මුදලින් අගය කෙලින්ම සටහන් වන සාධක පමනක් නොවේ. යම් පුද්ගලයෙකු ලබන මානසික තෘප්තිය හෝ අතෘප්තිය වැනි දේද මෙයට ඇතුළත් විය යුතුය.

මුදලින් අගය කෙලින්ම සටහන් නොවන සාධකයක 'මිල' ගණනය කරන්නේ කෙසේද? මෙය තරමක් සංකීර්ණ වුවත් නොකළ හැක්කක් නොවේ. ඔබ සිනමාහලකට ගොස් චිත්‍රපටයක් නැරඹු විට ඔබට යම් තෘප්තියක් ලැබේ. ඒ සඳහා ඔබ නිශ්චිත මිලක් ගෙවන්නේ එයින් ලැබේයයි ඔබ අපේක්ෂා කරන තෘප්තියේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. සිනමාහල්කරු මෙවැනි නිශ්චිත මිලක් නියම නොකර චිත්‍රපටිය පෙන්වීම වෙනුවෙන් අය කරන මිල ඔබ සමඟ කේවල් කරයිනම් අපේක්ෂිත තෘප්තිය පරයා සිනමාහල්කරු ඉල්ලා සිටින මිල වැඩි වන මොහොතේ ඔබ චිත්‍රපටය නොබලා ආපසු හැරීයාමට තීරණය කරයි. මෙවැනි නිරීක්ෂණ උපකාරයෙන් කෙලින්ම මුදලින් අගය සටහන් නොවන සාධකයක වුවද සැබෑ වටිනාකම මුදලින් ගණනය කළ හැකිය.

ඡන්දය භාවිතා කිරීමෙන් යම් පුද්ගලයෙකුට සැලසෙන වාසියේ (හෝ අවාසියේ) ප්‍රධාන කොටස් දෙකකි.
1. තමන්ගේ ඡන්දය මඟින් ලැබිය හැකිව තිබුණු ප්‍රතිඵලය වෙනස් කර ගැනීම හේතුවෙන් දීර්ඝකාලීනව ලැබෙන වාසිය.
2. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය මඟින් ලැබෙන වාසිය (හෝ අවාසිය).

මෙයින් පළමුවැන්න හැමවිටම ධන අගයක් හෝ ශුන්‍ය වේ. එය සෘණ අගයක් විය නොහැක. මා ඡන්දය නොදැම්මත් වෙනත් අය ඡන්දය භාවිතා කරනු ඇති අතර යම් පක්ෂයක්, කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු ජයග්‍රහණය කරනු ඇත. මෙමඟින් මට යම් නිශ්චිත වාසියක් හෝ අවාසියක් සැලසෙනු ඇත. මා ඡන්දය භාවිතා කරන්නේ මේ ප්‍රතිඵලය වෙනස් කර ගැනීම සඳහාය. ඒ මඟින් අපේක්ෂා කරන්නේ මේ වාසිය වැඩි කර ගැනීමට හෝ අවාසිය අඩු කර ගැනීමටය. කවරක් වුවද මගේ අපේක්ෂාව සෘණ වෙනසක් නොවේ. තාර්කික පුද්ගලයෙක් වශයෙන් මගේ තෘප්තිය අඩුකරවන තෝරා ගැනීමක් කිරීමට මට අවශ්‍ය නැත.

කෙසේ වුවද, ඉහත දෙවැන්න ධන හෝ සෘණ අගයක් ගත හැකි අතර බොහෝ විට සෘණ අගයකි.
- මට කාගෙන් හෝ රුපියල් පන්සීයක් සහ බත් පැකට් එකක් ලැබේනම් එය ධන අගයකි.
- මගේ පළමු ඡන්දය කාට හෝ දමා පොරක් වීමෙන් ලැබෙන තෘප්තිය ධන අගයකි.
- රසිකොලොජිස්ට්ට ඡන්දය දැමීමට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමට ගුවන් ටිකට්පතට වියදම් වන ඩොලර් දෙදහස සහ ඔහුගේ කාලයේ ආවස්ථික පිරිවැය ඇතුළු විශාල වියදම සෘණ අගයකි.
- කල්‍යාණමිත්‍රට බදුල්ලට යාමට වැයවන මුදල සහ කාලය මීට වඩා අඩු සෘණ අගයකි.
- ඡන්දපොළට අකැමැත්තෙන් විනාඩි දහයක් පයින් ඇවිදගෙන යාමද සුළු වුවත් සෘණ අගයකි.

පළමු කෑල්ල පොඩි ධන අගයක් වුවත් දෙවන කෑල්ල එයට වඩා වැඩි සෘණ අගයක්නම් මුළු එකතුව සෘණ අගයකි. එසේ වූ විට තාර්කික පුද්ගලයෙකු ස්වභාවිකවම ඡන්දය නොදා සිටීමට පෙළඹේ.

දැන් අපි මේ පළමු කෑල්ල තව ටිකක් විශ්ලේෂණය කරමු. මෙහි ඇති වාසිය දෙවන කෑල්ලේ වාසිය හෝ අවාසිය මෙන් පැහැදිලි එකක් නොවේ. දීර්ඝකාලීන සංසිද්ධියක් නිසා අවිනිශ්චිතතාව වැඩිය. ගාන හදා ගැනීම සඳහා තාර්කික පුද්ගලයෙකු තමාගෙන්ම අසා ගන්නේ මේ වගේ ප්‍රශ්න කිහිපයකි.
- මා ඡන්දය නොදැම්මොත් ලැබිය හැකි ප්‍රතිඵලය කුමක්ද?
- ඒ ප්‍රතිඵලය ලැබුනොත් මට ඇති වාසිය (හෝ අවාසිය) කොපමණද?
- මට ඊට වඩා වැඩි වාසියක් (හෝ අඩු අවාසියක්) ලැබිය හැකි විකල්ප ප්‍රතිඵල මොනවාද?
- මගේ ඡන්දය මඟින් ලැබිය හැකි ප්‍රතිඵලය වෙනස් කර මේ එක් එක් විකල්ප ප්‍රතිඵලය ලබා ගැනීමට ඇති ඉඩකඩ කුමක්ද?

මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගත් පසු උඩින් සඳහන් කළ පළමු කෑල්ල ගණනය කර ගැනීම පහසුය. එය මෙවැන්නකි.

වාසියේ පළමු කොටස = (a1 - a0)p1
a0 - මා ඡන්දය භාවිතා නොකළහොත් ලැබෙන ප්‍රතිඵලය යටතේ මට ඇති වාසිය හෝ අවාසිය.
a1 - පළමු විකල්පය වෙනුවෙන් මා ඡන්දය භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය යටතේ මට ඇති වාසිය හෝ අවාසිය.
p1- පළමු විකල්පය වෙනුවෙන් මා ඡන්දය භාවිතා කළහොත් ලැබෙන ප්‍රතිඵලය සැබැවින්ම පළමු විකල්පය වීමට ඇති සම්භාවිතාව.

විකල්ප කිහිපයක් ඇති විට (a1,p1) වෙනුවට (a2,p2),(a3,p3) ලෙස යොදමින් වැඩිම වාසිය ලැබෙන විකල්පය තෝරාගත හැකිය.

දෙවන කෑල්ල ගණනය කළයුත්තේද ඡන්දය නොදීමෙන් ලැබෙන වාසියට සාපේක්ෂවය.

වාසියේ දෙවන කොටස = b1 - b0

b1- ඡන්දය දැමීමෙන් ලැබෙන වාසිය හෝ අවාසිය
b0- ඡන්දය නොදැමීමෙන් ලැබෙන වාසිය හෝ අවාසිය

b1 සහ b0 අගයයන් බොහෝ විට අප ඡන්දය දීමට තෝරාගන්නා විකල්පය අනුව වෙනස් නොවන අතර බොහෝ අවස්ථාවල b0 අගය ශුන්‍යයකි. ඇතැම් රටවල ඡන්දය දීම අනිවාර්යය කර ඡන්දය භාවිතා නොකරන්නන්ට දඩයක් නියම කිරීමේදී කරන්නේ b0 හි අගය විශාල ශුන්‍ය අගයක් කිරීමයි. එවිට පොඩි සෘණ අගයක් වන b1 වලින් වඩා ලොකු සෘණ අගයක් අඩුවී දෙවන කෑල්ල ධන අගයක් වේ. මේ නිසා බොහෝ දෙනා ඡන්දය දමති.

කෑලි දෙක එකතු කළ විට මුළු වාසිය මෙසේය.

ඡන්දය දැමීමේ වාසිය = (a1 - a0)p1 + (b1 - b0).

මේ වාසිය අවාසියක්නම් තාර්කික පුද්ගලයෙක් ඡන්දය දාන්නේ නැත.

දැන් අපේ ආකෘතිය සම්පුර්ණය. මේ ආකෘතිය වැඩ කරනවාද කියා අපට දැන් සලකා බැලිය හැකිය.

රසිකලොජිස්ට් කියා ඇති හැටියට මේ මැතිවරණයට පෙර ලංකාවේ පැවති වාතාවරණය සලකමින් ප්‍රායෝගිකව ඔහු දැකීමට කැමති වූ ප්‍රතිඵලයක් තිබේ (a1). ඒ ජවිපෙට ආසන 40ක් සමඟ ප්‍රධාන පක්ෂ දෙකටම සුළුතරයක් ලැබෙන ප්‍රතිඵලයකි. ඔහු ඡන්දය භාවිතා නොකළේ වුවද ප්‍රධාන පක්ෂ දෙකටම සුළුතරයක් ලැබෙන බවට අවබෝධයක් ඔහුට වූ බව මගේ අදහසයි. ජවිපෙ සම්බන්ධව ඔහුගේ සැබෑ තක්සේරුව මීට වඩා සැලකිය යුතු ලෙස අඩු ආසන ගණනක් වන්නට ඇත (a0). යම් හෙයකින් ලංකාවට ආවානම් ඔහු ජවිපෙට ඡන්දය ප්‍රකාශ කරන්නේ ප්‍රතිඵලය a0 සිට a1 දක්වා තල්ලු කර ගැනීමේ අපේක්ෂාවෙනි. මෙය සිදු වීමට ඇති සම්භාවිතාව පිළිබඳව ඔහු මනසින් ගණනය කිරීමක්ද කරයි.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන රසිකට ප්‍රතිඵලය a0 සිට a1 දක්වා වෙනස්වීම නිසා සෘජු මුදල් වාසියක් ලැබේයැයි මා සිතන්නේ නැත. මෙහි ඔහුට ඇති වාසිය බොහෝ දුරට ඔහු ලබන මානසික තෘප්තියයි. කෙසේ වුවද මේ මානසික තෘප්තියට මිලක් තිබේ. රසිකගේ (a1 - a0)p1 ඔහුගේ ගුවන්ටිකට් පත් වියදම, කාලයේ ආවස්ථික පිරිවැය ඇතුළු දෙවන කෑල්ලේ සෘණ අගයට සාපේක්ෂව කුඩා අගයකි.

කල්‍යාණමිත්‍ර සිතන ආකාරයත් රසිකලොජිස්ට් සිතන ආකාරයට ආසන්නය. ඔහුගේ දෙවන කෑල්ලේ සෘණ අගය රසිකලොජිස්ට්ගේ අගයට වඩා කුඩා වුවත් ඔහුගේ පළමු කෑල්ලේ අගයට වඩා වැඩිය. එසේ නොවීනම් ඔහුත් මාතලන් මෙන් ජවිපෙට ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

මේ මැතිවරණයේදී හෙන්රිගේ දෙවන කෑල්ලේ සෘණ අගය වැඩි වුනත් ඔහු ඡන්දය නොදමා ඇත්තේ ඔහුගේ පළමු කෑල්ල කුඩා නිසා බව මගේ අදහසයි. දෙවන කෑල්ල විශාල නොවූ අවස්ථාවලත් ඔහු ඡන්දය දමා නැත්තේ ඒ නිසාය. එයට හේතුව ඔහුට අනුව (a1 - a0) පරතරය ශුන්‍යයට ආසන්න නිසා විය හැකිය. ඇතැම් විට (a1 - a0) පරතරය තරමක් විශාල වන විකල්ප වලට අදාළ p1 අගය ශුන්‍යයට ආසන්න වන විටද පුද්ගලයෝ මෙසේ හැසිරෙති.

එසේනම්  හෙන්රි තෙවරක් ඡන්දය ප්‍රකාශ කළේ ඇයි?

ඔහුගේ පළමු ඡන්දයේදී ඔහුගේ දෙවන කෑල්ල ධන අගයක් ගන්නට ඇත. මෙය බොහෝ දෙනෙකුට පොදු දෙයක් වන අතර යමෙකු තමාගේ පළමු ඡන්දය නොදා සිටින්නේ කලාතුරකිනි.

දෙවන අවස්ථාවේදී "එවකට නාවික හමුදාවෙ සේවය කරමින් උන්න නිසා ඡන්දෙ නොද‍ා ඉන්න එක සැකයට තුඩු දෙන්න පුළුවන් බැවින්" ඔහුගේ b0 විශාල සෘණ අගයක් විය.

තුන්වන අවස්ථාවේදී, ඔහුගේ a0 විශාල සෘණ අගයක් වූ නිසාත් a1 අඩු සෘණ අගයක් වූ නිසාත් (a1 - a0) පරතරය විශාල විය.

මගේ පෙර සටහනකට කමෙන්ටුවක් දමන ඇනෝවියක් මෙසේ කියයි.

"මං මේ කල්පනා කලේ 2001,2002 කාලෙදි වි.වි. ශිශ්‍යාවක් වෙලා හිටපු මගේ අතීතය අද හදිසියෙ මාව මුණ ගැහිල මං අලියට ඡන්දෙ දුන්න කියල දැන ගත්තොත් මොනවා නොකියයිද කියලා"

තවත් ඇනෝවෙකු (හෝ ඇනෝවියක්) "ඔබ කිවු කරුණු ඒ විදිහටම මට අදාළයි" ලෙස සටහනක් තැබීමෙන් පෙනෙන්නේ මේ, මේ ආකාරයෙන් ඡන්දය භාවිතා කළ, තවත් බොහෝ දෙනෙකුගේ හඬ  බවයි.

මේ අය ජවිපෙ අතහැර එජාපෙට ඡන්දය දෙන්නේ ඇයි?

ජවිපෙට ඡන්දය දුන් විට ලැබෙන වාසිය  = (a1 - a0)p1
එජාපෙට ඡන්දය දුන් විට ලැබෙන වාසිය = (a2 - a0)p2

මේ අය එජාපෙ සහ ජවිපෙ සසඳන්නේ මහින්ද (එජනිස) විකල්පය සමඟය (a0). එය විශාල සෘණ අගයකි. a1 ධන අගයක් වුවත් p1 විශාල නැත. අනෙක් අතට a2 අගය a1 වලට වඩා අඩු වූවත්, ඇතැම් විට සෘණ අගයක් විය හැකි වුවත්, a0 වලට වඩා විශාල ලෙස වැඩිය. එමෙන්ම p2 සම්භාවිතාව p1 වලට වඩා බොහෝ විශාලය.

ටිකක් ග්‍රීක් වගේ නිසා අපි උදාහරණයක් ගනිමු.

a0= එජනිස දිනුවොත් (අ)වාසිය = -100
a1= ජවිපෙ දිනුවොත් වාසිය = 1000
a2= එජාපෙ දිනුවොත් (අ)වාසිය = -50

p1 = ජවිපෙ දිනීමේ සම්භාවිතාව = 2%
p2 = එජාපෙ දිනීමේ සම්භාවිතාව = 50%

ජවිපෙට ඡන්දය දීමෙන් අපේක්ෂිත වාසිය = (a1 - a0)p1 = (1000 - (-100))*2% = 22
එජාපෙට ඡන්දය දීමෙන් අපේක්ෂිත වාසිය = (a2 - a0)p2 = ((-50) - (-100))*50% = 25

තමන් ඉතා කැමති ජවිපෙ අත්හැර තමන් අකැමති එජාපෙට ඡන්දය දීමට තාර්කික පුද්ගලයෙකු පෙළඹීම මේ අනුව අහම්බයක් නොවේ. මේ ආකාරයෙන්ම එජාපෙ නැවත බලයට ආවොත් නැවතත් උතුරේ කොටි ඔළුව උස්සනු ඇතැයි සිතමින් එම විකල්පයට විශාල සෘණ අගයක් දීම නිසා තමන් අකැමැති එජනිසයට ඡන්දය දුන් පිරිස්ද සිටිය හැකිය.

ඕනෑම දේශපාලන පක්ෂයකට තමන්ගේ ගොඩ ලොකු කර ගැනීමට උදවු විය හැකි කරුණු මෙහි තිබේ. ඒවා වැඩිපුර පැහැදිලි කර නැත.

(උඩින්ම ඇති ඡායාරූපය සරත් විමලසූරියගේ වත්පොත් පිටුවෙනි. දෙවැන්න rediff.com වෙතිනි.)

Thursday, August 20, 2015

සුළඟට පසු..




ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුවේ ඇල වී සිටි විමලරත්න ඉස්කෝලෙ මහත්තයා ඉදිරියට නැමී කනප්පුව මත වූ බුලත්අත අතට ගත්තේය. කොළයෙන් කොළය පිරික්සා හොඳින් මේරූ බුලත් කොළයක් තෝරාගත් ඔහු ඉතිරි බුලත් කොළ ටික කනප්පුව උඩටම අතහැරියේය. ඇඟිල්ලේ අගිස්සට ගත් හුණු ටික දෙකොණ කැඩූ බුලත් කොළයේ පිට පැත්තේ තැවරුණි. පැත්තක වූ හෙප්පුවෙන් ගත් පුවක් කෑලි දෙක තුන සීරුවෙන් බුලත් කොළයේ එතූ විමලරත්න ඉස්කෝලෙ මහත්තයා එය කටේ රුවා ගත්තේය.

විටට දුම්කොළ එකතු කිරීම ඔහු නැවැත්තුවේ දැන් අවුරුදු දහයකට පමණ කලිනි. දුම්කොළ පාවිච්චිය මුඛ පිළිකා වලට හේතුවන බව පහදා දී ඔහුව කෙසේ හෝ ඒ සඳහා පොළඹවා ගත්තේ දැන් කොළඹ කිට්ටුව ජීවත් වන දෙවෙනි පුතාය. වෛද්‍යවරයෙකු වන දෙවෙනි පුතාත්, ඉංජිනේරුවකු වන ඕස්ට්‍රේලියාවේ සිටින ලොකු පුතාත් දෙදෙනාම කොතරම් ඇවිටිලි කළත් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාටත්, ලීලාවතී ඉස්කෝලෙ හාමිනේටත් ඔවුන්ගේ මල්කඩුවාවේ නිවෙස හැර යාමට හිත් දෙන්නේම නැත.

විමලරත්න ඉස්කෝලෙ මහත්තයා අත දිගහැර කුඹුරු උදැල්ලට ධන රේඛා මැකී ඇති ඔහුගේ අල්ල වෙත බැල්මක් හෙළුවේය. ඇඟිල්ලේ තවත් හුණු ඉතිරි වී තිබේ. කනප්පුව උඩින් තවත් බුලත් කොළයක් ගත් ඔහු ඇඟිල්ලේ ඉතිරිව තිබූ හුණු ටික එහි අතුල්ලා බුලත් කොළය නැවත කනප්පුව උඩටම අත හැරියේය. හුණු පාරවල් ටික පෙනෙන්නේ හරියටම ඇස් දෙකක් සහ නහයක් වගේය.

විශ්‍රාම සුවය විඳින විමලරත්න ඉස්කෝලෙ මහත්තයාට බුලත් අතක් ලැබුනේ සෑහෙන කාලයකිනි. දරුවෙකුට අකුරු කියවා ගැනීමට පැමිණි අසල්වැසියෙක් බිස්කට් ටින් එකක් සමඟ බුලත් අතක්ද ගෙන ඒමට අමතක කළේ නැත. කුරුණෑගල රෝහලේ ඖෂධවේදියෙකු වන මේ අසල්වැසියා විමලරත්න ඉස්කෝලෙ මහත්තයාගේ පැරණි සිසුවෙක්ද වේ. ඔහුට අකුරු කියෙව්වේත් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාමය. ඒ මැතිණියගේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ දවස්වලනම් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාට සතියකට බුලත් අතක් වැරදුනේ නැත.

විමලරත්න ඉස්කෝලෙ මහත්තයා මුල සිටම සිරි ලංකා කාරයෙකි. සිංහල වෙද මහත්තයෙකු වූ විමලරත්නගේ අප්පච්චී පනස් හයේදී වෙලගෙදර උන්නැහේව පරද්දන්නට මොන්නේකුලමට බැහැලා වැඩ කරද්දී ගමේ ශ්‍රී ලංකා තරුණ සමිතියේ සභාපති වුණේ විමරලත්නයි. එදා මෙදා තුර කවදාවත් වෙන පාටියකට කතිරේ ගසා නැතත් පක්ෂයට දැන් විමලරත්නලාගෙන් වැඩක් නැත. අළුත් පරපුරට විමලරත්නලා චමින්දලාය. එහෙම තියෙද්දී කාලයකට පසු ළමයෙකුට අකුරු කියවා ගැනීමට අසල්වැසියෙකු පැමිණීම ඔහුට විශාල සතුටකි. මේ පැරණි සිරිත් දැන් එතරම් අගය කෙරෙන්නේ නැත.

කාලෙකින් එළියට ගත් ගණදෙවි රූපය කනප්පුව උඩින් අතට ගත් විමලරත්න ඒ දෙස මොහොතක් බලා සිට පැත්තක තිබුණු පුටුවක් උඩින් තිබ්බේය. අහස පැහැදිලිය. නිල් පාටින් බැබලේ.

බණ්ඩාරනායක උන්නැහේ හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාටත් නිල්ය. ලකුණ අතයි. පහුකාලෙකදී උන්නැහේගේ දෝණියන්දෑ අත කඩා පුටුවක් හැදුවේය. දැන් පුටුවත් නැත. බණ්ඩාරනායකලාත් නැත. ඇත්තේ බුලත් කොළයකි.

බුලත් කොළයට කතිරය ඉල්ලා ආයෙමත් සටනකි. සිල් ගන්නට ගිය ලීලාවතී ඉස්කෝලෙ හාමිනේට කාගෙන්දෝ මනාප ලකුණු කළ සිල් රෙද්දක්ද ලැබී තිබේ. විමලරත්නටනම් පන්සල පැත්තේ යන්නට තරම්වත් උනන්දුවක් නැත. එහෙව් එකේ අලියාගෙන් ඉල්ලූ වෙලගෙදර උන්නැහේව පරද්දන්නට පනස් හයේදී තිබුණු ඇම්ම දැන් නැති එක අහන්නත් දෙයක් නොවේ.

දැන් නිල් පාටින් ඉල්ලන්නේ විමලරත්න මෙන් මුල සිටම සිරි ලංකා එකේ හිටි අය නොවේ. මේ අය හිතෙන හිතෙන හැටියට පක්ෂ මාරු කරති. ඡන්දය ඉල්ලන සමහර අයගේ කටයුතු ගැන අහන්නත් ඇත්තේ අප්පිරියාවකි. එහෙම කියා, ජීවිත කාලෙටම ඡන්දය නුදුන් පක්ෂයකට කතිරය ගහන්නත් නොහැකිය. මේ සැරේ ඡන්දය නොදා ගෙදරටම වී සිටින්නට විමලරත්න හිත හදා ගත්තේය.

හදිස්සියේම අහස අඳුරු විය. ලොකු හුළඟක් එන්නට වගේය.

ලීලාවතී ඉස්කෝලෙ හාමිනේ මොකක්දෝ වැඩකට විමලරත්නට කතා කරයි. විමලරත්න ඉස්තෝප්පුවෙන් කුස්සිය පැත්තට ඇවිදගෙන ගියේය.

හුළඟක් ටිකක් වෙලා හැමුවත් අහස අඳුරු කළ තරමට මහා ලොකු දෙයක් වුණේ නැත. විමලරත්න ඉස්කෝලෙ මහත්තයා නැවත ඉස්තෝප්පුවට එන විට වැස්සක් නැතුවම හුළඟ ඉවර වෙලාය. කනප්පුව උඩ තිබුණු බුලත්අත විසිරී කොළ හත අටක් බිම වැටී ඇත. රටාවක් මවමින් බිම වැටී ඇති බුලත් කොළ අතර උඩින්ම ඇති කොළයේ විමලරත්නගේ හුණු පාරවල් කිහිපය හොඳින් පෙනේ.

විමලරත්න හුළගට බිම නොවැටී පුටුව උඩම තිබුණු ගණදෙවි පින්තුරය දෙස බැලුවේය. බිම වැටී ඇති බුලත්කොළ වලින් මැවෙන රටාවේත්, ගණදෙවි රූපයේත් ඔහුට සමාන කමක් පෙනෙන්නේ ඇයිදැයි ඔහුටම නොතේරේ.

***
පසුගිය සටහනෙන් පෙන්වා දුන් පරිදි ජනවාරියේ මහින්ද ලබාගත් ඡන්ද වලින් 17%ක් පමණ මෙවර එජනිසය වෙතින් ගිලිහී ඇති නමුත් මෛත්‍රී ලබාගත් ඡන්ද ගොඩ තෙගොඩකට බෙදෙනු හැර සැලකිය යුතු වෙනසක් වී නැත. රටේ සමස්ථ ප්‍රතිඵලය ලෙස බැලූ විට පෙනෙන චිත්‍රය එසේ වුවත්, ඇතැම් දිස්ත්‍රික්ක වල එජනිස ඡන්ද එජාපෙ වෙත යම් තරමකට මාරු වී ඇති අතර, වෙනත් දිස්ත්‍රික්ක වල එජාපෙ ඡන්ද අඩුවීම නිසා මේ වෙනස නොපෙනී ගොස් තිබේ.

එජනිස ඡන්ද ජනවාරි පදනම ඉක්මවා සුළු වශයෙන් හෝ වැඩි වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේදී පමණි. දකුණේ නාගරික දිස්ත්‍රික්ක වලදී 14-17% පමණ ප්‍රමාණයක්ද, ග්‍රාමීය දිස්ත්‍රික්ක වලදී 19-24% දක්වාද, නැගෙනහිරදී 22-26% දක්වාද, උතුරේදී 30% ඉක්මවාද එජනිස ඡන්ද අඩුවී තිබේ. මෙහිදී ඊපීඩීපී සහ කම්කරු කොන්ග්‍රසයේ ඡන්දද මා එජනිස ලෙස සලකා තිබේ.

එජනිස ඡන්ද මෙසේ අඩුවෙද්දී, බොහෝ ප්‍රදේශ වල එජාපෙ ඡන්ද සුළු වශයෙන් වුවත් වැඩි වී ඇත. මෙහිදී ඇතැම් දිස්ත්‍රික්ක වලදී වෙනම තරඟ කළ මුස්ලිම් කොන්ග්‍රසයේ සහ රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ (அகில இலங்கை மக்கள் காங்கிரஸ்) ඡන්දද එජාපෙ ලෙස සලකා ඇති අතර මෛත්‍රීගේ ජනවාරි ඡන්ද වලින් ජවිපෙ, ටීඑන්ඒ සහ ප්‍රපෙ අගෝස්තුවේදී ගත් ඡන්ද අඩුකර ඉතිරිය එජාපෙ ජනවාරි ඡන්ද සේ සලකා තිබේ. කෙසේ වුවද, අම්පාර හැර උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක වලදීත්, නුවරඑළියේදීත්, පුත්තලමේදීත්, පොළොන්නරුවේදීත් එජාපෙ ඡන්ද අඩුවී තිබේ.

එජනිසයෙන් ගිලිහුණු ජනවාරි ඡන්ද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේදී එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී ඇත්තේ ඉතාමත්ම සුළුවෙනි. මහනුවර, මාතලේ, අම්පාර, කුරුණෑගල හා අනුරාධපුරදී 1-2% ප්‍රමාණයකුත්, ගාල්ල, මාතර හා රත්නපුරේදී 3-4% ප්‍රමාණයකුත්, කෑගල්ලේදී 5% පමණත් මෙසේ එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී ඇති අතර හම්බන්තොට, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක වලදී මේ ප්‍රතිශතය 11-12% තරම් ඉහළය. මේ වෙනස්කම් වලට ප්‍රාදේශීය සාධකද යම් තරමකට ඉවහල් වී තිබිය හැකිය. එහෙත්, බොහෝ දුරට මෙහිදී සිදු වී ඇතැයි මා සිතන්නේ ජනවාරි වන විට නාගරික ප්‍රදේශ වල සිදුවී තිබුණු පරිවර්තනය තරමක් පසු වී ග්‍රාමීය පෙදෙස් වලද සිදු වීමයි. මේ නිසා සජිත්ගේ සංවිධාන ශක්තිය හෝ මහින්ද හම්බන්තොටින් ඉවත්වීම වැනි සාධක වලට මා මේ ප්‍රවණතාව ලඝු කරන්නේ නැත.

නුවරඑළියේ වෙනසට හේතුව ලෙස මා දකින්නේ ජනාධිපතිවරණයේදී එතරම් වැදගත් නොවූ ප්‍රාදේශීය සහ ජනවාර්ගික සාධක ඉස්මතු වී ඇති බවයි. කම්කරු කොන්ග්‍රසයේ ඉල්ලීමට මහින්දට ඡන්දය දීමට කඳුකර දෙමළ ඡන්දදායකයින් සූදානම් නොවූවත් ඔවුන් ජනවාරියේදී පෙනුණු තරමටම කම්කරු කොන්ග්‍රසය හැරගොස් නැත. මෙය සාපේක්ෂව පසුගාමී මේ ජන කොටසේද සවිඥානක බව වර්ධනය වී ඇති බව පෙන්වයි. අනෙක් අතට, තමන්ගේ ඡන්ද පදනම ගිලිහෙනු දැක බියට පත් වූ ආරුමුගම් තොන්ඩමන්ගේ කණ්ඩායම මහ මැතිවරණයේදී වඩා ක්‍රියාශීලී වන්නට ඇත.


ඇතැම් දිස්ත්‍රික්ක වලදී එජනිස මෙන්ම එජාපෙ ඡන්දද අඩුවීම විමසිය යුත්තකි. මුලින්ම උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ගතහොත්, දෙමළ ජාතික සන්ධානයේ ඡන්දද ඉවත් කර ඇති පසුබිමක එජාපෙ මෙන්ම එජනිස ඡන්දදද අඩුවේනම් ඒ සඳහා වෙනත් හේතු තිබිය යුතුය. මෙවැනි එක් සාධකයක් වන්නේ මන්ත්‍රීධුරයක් ලබා නොගත්තත් ඒ ආසන්නයටම ලං වූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය (அகில இலங்கைத் தமிழ்க் காங்கிரஸ்) විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයයි. අනෙක් කරුණ, ඉතා විශාල ප්‍රමාණයක් වන ප්‍රතික්ෂේපිත ඡන්දයි. දකුණේ ග්‍රාමීය දිස්ත්‍රික්ක වල පවා ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය 2-3% මට්ටම නොඉක්මවද්දී යාපනයේ ඡන්ද වලින් 7.83%ක් සහ වන්නි ඡන්ද වලින් 9.43%ක් ප්‍රතික්ෂේප වී තිබේ. මේ ඡන්ද විරෝධාකල්ප ඡන්ද ලෙස සැලකීම අපහසු වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය වන්නියේදී 1.86% සහ යාපනයේදී 2.86% ලෙස අඩු මට්ටමක පැවති බැවිනි. මෙය මැතිවරණ පළපුරුද්ද පිලිබඳ ප්‍රශ්නයක් විය හැකිය.

මා වැඩි තොරතුරක් නොදනිතත්, පුත්තලමේ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා ඇති ඡන්ද 9,547 ජනවාරියේදී මෛත්‍රී ලැබූ ඡන්ද ලෙස සැලකිය හැකිනම් පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද අටදහස් ගණනක අඩුව පැහැදිලි කළ හැකිය.

මා විශේෂ අවධානයට යොමු කරන්නේ කුරුණෑගල සහ පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රතිඵලයි. කුරුණෑගලින් එජනිසය ජනවාරියේදී ලබාගත් ඡන්ද වලින් 14.86%ක් අඩු වී ඇති අතර මේ අඩුව දකුණේ වෙනත් දිස්ත්‍රික්ක තුළ එජනිස අඩුවට වඩා විශාල ලෙස වෙනස් නැත. උදාහරණයක් ලෙස කළුතරින් එජනිස ඡන්ද අඩුවී ඇත්තේ 14.42%කි. අනෙක් අතට, කුරුණෑගලදී එජනිස ඡන්ද එජාපෙ වෙත මාරුවීමද එවැනි අනෙකුත් දිස්ත්‍රික්ක වලට වඩා විශාල ලෙස වෙනස් නැත. මේ අනුව, ඉතා පැහැදිලිවම කුරුණෑගල මහින්ද රැල්ලක් තිබී නැත. උපරිම තක්සේරුවක් යටතේ වුවත් මහින්දගේ පැමිණීම නිසා එජනිස ඡන්ද වලින් වැඩිපුර රඳවාගෙන ඇත්තේ 2%ක පමණ ප්‍රමාණයකි.


කුරුණෑගලට සාපේක්ෂව, පොළොන්නරුවේදී මෛත්‍රී සාධකය කැපී පෙනේ. පොළොන්නරුවේ එජනිස ඡන්ද අඩුවී ඇත්තේ 2.34%ක් පමණක් වන අතර කම්කරු කොංග්‍රසයේ බලපෑම පෙන්වන නුවරඑළිය දිස්ත්‍රික්කය හැරුණු විට අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම, මහින්ද තරඟ කළ කුරුණෑගල (14.86%) සහ ඔහුගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටද (19.04%) ඇතුළුව, මේ ප්‍රතිශතය 14% ඉක්මවයි. එමෙන්ම, පොළොන්නරුවේදී එජාපෙ ඡන්ද වලින් 11.62%ක් ගිලිහී තිබේ.

රටේ අනෙකුත් ප්‍රදේශ වල පැවති ප්‍රවණතාව අනුව පොළොන්නරුවේදී එජනිස ඡන්ද 17%ක් පමණ අඩුවිය යුතු වුවත් එසේ වී නැත්තේ මෛත්‍රී සාධකය නිසාය. මේ අනුව අවශ්‍ය දිසාවට නොවූවත්, නුවරඑළිය හැර දිවයින පුරාම හමා ගොස් ඇති මහින්ද සුළඟ පොළොන්නරුවේදී මඳ පවනක් වී ඇත.

පොළොන්නරුවේ එජනිස ජනවාරි ඡන්ද වලින් 17% පමණ (බොහෝ විට භාවිතා නොවී) අඩුවෙද්දී මේ අඩුවෙන් සෑහෙන ප්‍රමාණයක් එජාපෙ වෙත ජනවාරියේදී මෛත්‍රී විසින් රැගෙන ගිය ඡන්ද වලින් පිරවී තිබේ. එහෙත්, එජාපෙන් අඩු වූ සියලුම ඡන්ද මෙසේ එජනිසයට ආපසු පැමිණ නැත. මා විසින් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව කරන ලදුව ජූලි පළවැනිදා පලකළ විශ්ලේෂණය පරිදි, පොළොන්නරුවේ ප්‍රකාශිත ඡන්ද වලින් 12.6%ක් පමණ වූ, ප්‍රමාණාත්මකව තිස්දහසකට මඳක් වැඩි මේ ඡන්ද වලින් අඩක් පමණ එජනිසට මාරු වී ඇතත් ඉතිරි ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයේදී භාවිතා වී නැත.

රටේ අනෙක් ප්‍රදේශවලදී මහින්දවාදී නොවූ ශ්‍රීලනිප ඡන්ද වලටත් සිදුවූවායැයි මා සිතන්නේ මේ සන්තෑසියමය. ඒ අනුව ජනවාරි එජනිස ඡන්ද වලින් තුනෙන් එකකට ආසන්න විය හැකි මහින්දවාදී නොවන ඡන්ද වලින් අඩක් පමණ පාවිච්චි නොවන්නට ඇත. මේ නිසා කොහොමටත් උඩට එන මහින්දවාදීන්ට මනාප තරඟයේදී තවදුරටත් වාසියක් වූ අතර මහින්දවාදී නොවන අපේක්ෂකයින් රැසකටම ඔවුන්ගේ සීමිත ඉඩ ප්‍රස්තාවන්ද අහිමි වී තිබේ.

Tuesday, August 18, 2015

අපි නොදන්න චෙස්!

මහ මැතිවරණයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ. තර්කානුකුලව සිදුවිය යුතු පරිදි, කිසිදු පක්ෂයක් බහුතරය ලබාගෙන නොමැති නමුත් මන්ත්‍රී ධුර 107ක් ලබා ඇති (මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කර ලබාගත් මන්ත්‍රී ධුරයද සමඟ) එජාපෙට එජනිසයේ මන්ත්‍රීවරුන් කොටසකගේ සහාය ලබා පහසුවෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තිබේ. ඊපීඩීපීයෙන් තරඟ කළ ඩග්ලස් දේවානන්දගේ මන්ත්‍රී ධුරයද ඇතුළුව එජනිසය මන්ත්‍රී ධුර 96කට සීමාවී ඇති අතර ජවිපෙය මන්ත්‍රී ධුර 6කට සීමා වී ඇත. ඉතිරි මන්ත්‍රීධුර 16 ද්‍රවිඩ සන්ධානයට හිමි වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය මත පදනම්ව ඉකොනොමැට්ටාගේ විශ්ලේෂණයන් ප්‍රධාන වශයෙන් පසුගිය ලිපි දෙකක පළ විය. මැතිවරණයට සති පහකට පෙර ජූලි 11 දින පළ කළ, එයින් පළමු ලිපියෙන් මා පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලැබූ ඡන්ද ලක්ෂ හැටදෙක මෙන්ම මහින්ද ලැබූ ඡන්ද ලක්ෂ පනස් අටද සෙරමික් මිස ඇලුමිනියම් නොවන බවයි.

ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලැබූ ඡන්ද ගණන 6,217,162කි. මහ මැතිවරණ ප්‍රතිඵල අනුව එජාපෙ, ජවිපෙ, ටීඑන්ඒ, ප්‍රපෙ ලබාගත් ඡන්ද වලට මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කළ දිස්ත්‍රික් දෙකේ ඡන්දද එකතු කළ විට 6,231,603ක් වන අතර මේ අනුව ජනවාරියේ මෛත්‍රී ලබා ගත් ඡන්ද මල්ල වැඩිවී ඇත්තේ යාන්තම් ඡන්ද 14,441කින් පමණි. මේ අනුව සිදුවී ඇත්තේ තර්කානුකූලව සිදුවිය යුතු පරිදිම මේ සෙරමික් හැටදෙක කෑලි වලට කැඩීයාමයි.

ජනාධිපතිවරණයේදී මහින්ද ලැබූ ඡන්ද ගණන 5,768,090කි. මහ මැතිවරණ ප්‍රතිඵල අනුව එජනිස සහ ඊපීඩීපී ලබාගත් ඡන්ද වලට කම්කරු කොන්ග්‍රසය තනිව තරඟ කළ දිස්ත්‍රික් තුනේ ඡන්දද එකතු කළ විට 4,783,252ක් වන අතර මේ අනුව ජනවාරියේ මහින්ද ලබා ගත් ඡන්ද මල්ලෙන් 17%ක් පමණ ගිලිහී තිබේ. එහෙත්, මේ ඡන්ද එජාපෙට, ජවිපෙට හෝ වෙනත් පක්ෂයකට ලැබුණු බවක් සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ. සිදුවී ඇත්තේ මේ ඡන්ද භාවිතා නොවීමයි.

මුළු ඡන්ද ප්‍රමාණයෙන් 4.87%ක් ලබමින් ජවිපෙ තෙවන තැනට පැමිණි අතර මෙය ඔවුන් තනිව තරඟකර ලබා ගත් හොඳම ඡන්ද ප්‍රතිශතය වන, 2001 මැතිවරණයේදී ලබාගත් 9.10% ප්‍රතිශතයෙන් 53.5%කි.

මා ජූලි 11 ලිපියෙන් පෙන්වා දුන් පරිදි ජනවාරියේ මහින්ද ලබාගත් පනස් අටේ ගොඩේ කොටස් තුනක් සිටියේය.
-මහින්ද මහින්ද වීම නිසා මහින්දට කැමති වූ අය.
-මහින්ද (ඇතුළු පිරිස) ශ්‍රීලනිපය වන නිසා මහින්දට ඡන්දය දුන් අය.
-මහින්ද රටේ ජනාධිපති වූ නිසාත්, මහින්ද වටා දේශපාලන බලය තිබුණු නිසාත්, මහින්ද පැරදවීම සිතීමටවත් නොහැකි නිසාත් මහින්දට ඡන්දය දුන් අය.

මෙයින් පළමු ගොඩ ස්ථිර ඡන්ද වූ අතර මහින්ද ඇතුළු කණ්ඩායම එජනිසයේ බලය අල්ලා ගැනීම මඟින් තහවුරු කර ගත්තේ දෙවන ගොඩයි. තෙවන ගොඩ ගිලිහීයාම වලක්වා ගැනීමටනම් මෛත්‍රීගේ තනි අයිතිය ලබා ගැනීම එජනිසයට අත්‍යාවශ්‍ය සාධකයක් විය. මේ සඳහා මහින්ද පිල විශාල පරිශ්‍රමයක් දැරූ නමුත් දෙවන වටයේදී උපක්‍රමික ලෙස පසු බෑ මෛත්‍රී කල් යල් බලා එල්ල කළ ප්‍රහාර වලින් මහින්දගේ පනස් අටෙන් දහයක්ම ගිලිහී තිබේ.

පාර්ලිමේන්තුව විසිරුවන අවස්ථාව වන විට තිබුණේ එජාපෙ සහ එජනිස අතර එක්තරා ආකාරයක බල තුලනයකි. මෛත්‍රීගේ හැටදෙකෙන් ටීඑන්ඒ සහ ජවිපෙ ඉවත් වීමට නියමිතව පැවති අතර මහින්දගේ පනස් අටේ තෙවන ගොඩින්ද කොටසක් ඉවත් වන බව තත්ත්වය තුල තියුණු තරඟයක් පෙනෙන්නට තිබුණේය. මෙවැනි තියුණු තරඟයක් ඇති විට තෙවන පාර්ශ්ව වලට සාමාන්‍යයෙන් හිමි වන්නේ ඔවුන්ගේ අවමයයි. කෙසේ වුවද මැතිවරණ දිනය ආසන්න වෙද්දී ජවිපෙ වෙතට රැල්ලක් පෙනෙන්නට පටන් ගත්තේය. ඉකොනොමැට්ටාගේ දෙවන විශ්ලේෂණය පළ කෙරුණු අගෝස්තු 10 දින වන විට පැවති තත්ත්වය මෙයයි.

ඉකොනොමැට්ටාගේ දෙවන විශ්ලේෂණය සංවේදීතා අධ්‍යයනයක් (sensitivity analysis) විය. එය පැරණි මැතිවරණ ප්‍රතිඵල හැර වෙනත් සමීක්ෂන දත්ත මත පදනම් වූවක් නොවීය. මෙහිදී අවධානය යොමුකෙරුණු ප්‍රධාන කරුණ වූයේ පැරණි රෙජීමය නැවත පැමිණීමට ඇති ඉඩකඩ කවරේද යන්නයි. මේ අනුව, එම ලිපිය සමඟ ඉදිරිපත් කළ පළමු වගුව පිළියෙළ කෙරුණේ එජනිසය ජනවාරි ඡන්ද පදනම මුළුමනින්ම රඳවාගෙන මෛත්‍රීගේ ඡන්ද උපරිම ප්‍රමාණයක් ජවිපෙ සහ ටීඑන්ඒ වෙත කැඩී යන තත්ත්වයක් තුළ වුවද එජනිසයට බහුතරයක් ලබා ගත නොහැකි වන බව පෙන්වීමටය.

පළමු වගුවෙන් පෙන්වූ ප්‍රතිඵලය ලිපියේ උඩින් විස්තර කර තිබුණු පරිදි එම අවස්ථාව වන විටද සිදු වීමට ඉඩකඩක් නොතිබුණු තත්ත්වයකි. ඒ, ඒ වන විටත් එජනිසය භේද භින්නව සිටි නිසාය. කෙසේ වුවද මා දැනටත් සිතන පරිදි පළමු වගුවේ ඇති ප්‍රතිඵලය මහින්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවී මෛත්‍රී විසින් එජනිසය මෙහෙයවූවානම් ලබා ගත හැකිව තිබුණු තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් පැවතියේනම් එජාපය ජාතික රජයකට යාම ඡන්දදායකයින්ට පැහැදිලි නිසා විපක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජවිපෙ වෙත උපරිම බලය යෙදෙනු හැකිව තිබුණි. කෙසේ වුවද මේ උපරිම බලය වුවද 2001 ජවිපෙ ශක්තිය ඉක්මවීමේ ඉඩකඩක් නොපැවතුනි. එමෙන්ම සරත් ෆොන්සේකාගේ පක්ෂයටද කිසියම් ඡන්ද ප්‍රමාණයක් ලැබිය හැකිව තිබුණි.

මහින්ද විසින් නාමයෝජනා ලබා ගැනීමෙන් අනතුරුව වුවද මෛත්‍රී එජනිසය වෙනුවෙන් එකහිතින් ක්‍රියාකාරී ලෙස පෙනී සිටියේනම් සහ මහින්ද-මෛත්‍රී කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධතා මතු නොවීනම් එජනිස සහ ජවිපෙ දෙපසින්ම එජාපෙට ප්‍රහාර එල්ල වී මේ ප්‍රතිඵලය ලැබිය හැකිව තිබුණි. එහෙත්, එවැන්නක් සිදු වීමේ ඉඩකඩක් පෙනෙන මානයකවත් නොවීය.

දෙවන වගුව පිළියෙළ කෙරුණේ මහින්දගේ ජනවාරි ඡන්ද වලින් 15%ක් ඉවත් කර එයින් තුනෙන් එකක් (5%ක්) එජාපෙ ගොඩට එකතු කරමිනි. මෙහිදී ජවිපෙ ඡන්ද ප්‍රතිශත 2001 උපරිමයෙන් 50%කට සීමා කෙරිණි. එජාපයට සහ ශ්‍රීලනිපයට මෙන්ම ජවිපෙටද දශක දෙක තුනක සිට ගොඩනගාගත් ඡන්ද පදනමක් ඇති නිසා මා සිතන පරිදි මේ ජවිපෙට වැටිය හැකි පහළම මට්ටමයි. මේ තත්ත්වය එජාපෙට ලඟා විය හැකිව තිබුණු උපරිමයක් වූ අතර ඒ සඳහා වුවද මෛත්‍රීව නියෝජනය වන්නේ එජාපෙ මඟින් පමණක්ය යන්න ඡන්දදායකයා වෙත ඒත්තු ගැන්විය යුතුව තිබුණි. මැතිවරණයට සතියකට පෙරත් මෙවැනි සංඥාවක් මෛත්‍රී වෙතින් නිකුත්ව නොපැවති අතර ඔහු ස්වාධීන පුද්ගලයෙකු ලෙස පෙනී සිටින බවක් පෙනෙන්නට තිබුණි. අනෙක් අතට එවැනි සංඥාවක් සෘජුව නිකුත් කරමින් එජනිස ඡන්ද ජයග්‍රහණය තමන්ගේ අපේක්ෂාව නොවන බව පෙන්වා දීම එජනිස 'අප්පච්චි මළෝ' කණ්ඩායම අනතුරේ හෙලීමක් විය.

එජනිස බහුතරය ලබා නොගත්තත් එජාපෙට වඩා එක් මන්ත්‍රී ධුරයක් හෝ ලබා ගත්තේනම් මහින්දව අගමැති කරන ලෙස ඉල්ලමින් හඬක් නැඟෙනු ලැබීම නොවැලැක්විය හැක්කකි. මතුපිටින් පෙනෙන්නට තිබුණු ජවිපෙ රැල්ල මඟින් තල්ලු කෙරුණේ එවැනි ප්‍රතිඵලයක් කරාය. මගේ ලිපිය හා ඉදිරිපත් කළ තෙවන වගුවෙන් හඳුනා ගැනීමට උත්සාහ කළේ පරණ රෙජීමය නැවත පැමිණීමේ අවදානමට මුහුණ නොදී ජවිපෙ ඡන්ද පදනම ඉහළ දැමිය හැකි සුරක්ෂිතතා සීමාවයි. මේ අනුව 2001 මට්ටමෙන් 75%ක් දක්වා ජවිපෙ ඡන්ද පදනම ඉහළ ගියේ වුවද රනිල්ගේ අගමැති සිහිනය බොඳ නොවිය හැකිව තිබුණි. මැතිවරණයට සතියකට පෙරද තෙවන වගුවේ ප්‍රතිඵලය ලැබීමේ සම්භාවිතාවක් වූ බව මගේ අදහසයි.

ජවිපෙ අවසානයේදී ලඟා වූ සීමාව ඉතා අකාර්යක්ෂම සීමාවකි. සමානුපාතික ක්‍රමය අනුව මේ මට්ටමේදී ඡන්ද වැඩිම ප්‍රමාණයක් නාස්ති වේ. මන්ත්‍රීධුර 16ක් හිමි කරගත් ද්‍රවිඩ සන්ධානයට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට මන්ත්‍රී ධුර 6ක් පමණක් හිමිවෙන්නේ මේ නිසාය. ඡන්ද ප්‍රතිශතය 2001 මට්ටමෙන් 75%ක් දක්වා වැඩි වූවානම් මේ මන්ත්‍රී ධුර ගණන ඡන්ද වැඩි වූ අනුපාතිකය ඉක්මවා 14ක් පමණ දක්වා වැඩි විය හැකිව තිබුණි. මෙය එසේ වීනම් මේ මන්ත්‍රීධුර ගණන අඩුවෙන්නේ එජාපෙ ගොඩෙනි. ජවිපෙ ඡන්ද ඔවුන්ගේ අවමයට සීමාකර එජාපෙ ගොඩ ඔවුන්ගේ උපරිමය දක්වා තල්ලු කිරීමෙන් පරණ රෙජීමය නැවත පැමිණීමේ අවදානම අඩුකිරීම මඟින් මා තේරුම් ගන්නේ ශ්‍රී ලංකික ඡන්දදායකයා ලොකු විශ්ලේෂණ නොකළත් සවිඥානකව නිසි තීරණය ගෙන ඇති බවයි. තමන්ගේම ඡන්ද පදනමක් නැති ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බිංදුවටම වැටීමෙන්ද පෙනෙන්නේ මෙයයි.

අවසාන සතියේ සැලසුම්සහගතව එල්ල කළ ප්‍රහාරයකින් මෛත්‍රී විසින් එජාපෙ ඔවුන්ට ලබා ගත හැකි හොඳම ප්‍රතිඵලය වෙත තල්ලු කරනු ලැබීය. මහින්ද වෙත යැවුණු විවෘත 'පෙම් හසුනේ' කියන්නට ඇති සියල්ල කෙලින්ම තිබුණේය. රාජ්‍ය බලය ඇත්තේ එජාපෙ සමඟ බව ඡන්දදායකයන්ට තහවුරු කෙරිණි.

මගේ දෙවන වගුවේ ඇති ප්‍රතිපලය සැබෑ ප්‍රතිඵලයෙන් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙනි. බස්නාහිර, දකුණු, සබරගමු, ඌව, වයඹ පළාත් වල සියලුම දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල වගුවේ පරිදිමය. මා සිතන පරිදි ප්‍රාදේශීය සාධක මත, මධ්‍යම පළාතේ මාතලේදී එජනිසයෙන් එකක් අඩුවීත් නුවරඑළියෙන් එකක් වැඩිවීත් ඇතත් පළාතේ සමස්ත ප්‍රතිඵලය නොවෙනස්ව ඇත. මා අංක අට යටතේ සඳහන් කළ පොළොන්නරුවේ මෛත්‍රී සාධකය සහ වන්නියේ බදුර්දීන් සාධක වල බලපෑමක් සිදුවී නොමැත. යාපනයේදී එජනිස ලෙස මා වගුවේ සටහන් කළේ ඊපීඩීපියේ ඩග්ලස් දේවානන්දයි. එමෙන්ම, මඩකලපුවේදී එජාපෙ ලෙස මා සඳහන් කළේ එහිදී තනිව තරඟ වැදුණු මුස්ලිම් කොන්ග්‍රසයයි. මඩකලපුවෙන් එජනිසයට මන්ත්‍රීධුරයක් ලැබේයැයි මා ගණනය කළත් එජාපෙ එජනිසට වඩා ඡන්ද 127ක් වැඩියෙන් ලබමින් යන්තමින් තවත් මන්ත්‍රීධුරයක් ලබාගෙන තිබේ. අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ අම්පාර ප්‍රතිඵලද වගුවේ පරිදිමය. මේ අනුව දිස්ත්‍රික් මන්ත්‍රී ධුර එකතුව වගුවේ පරිදිමය. ජාතික ලැයිස්තුවේ කොටය එජනිසයට ලැබේයැයි මා සිතුවත් එය යාන්තමින් දෙමළ සන්ධානය විසින් හිමි කරගෙන ඇති නිසා දෙමළ සන්ධානයේ මන්ත්‍රී ධුර ගණන 16ක් දක්වා එකකින් වැඩිවී එජනිස ගණන 96 දක්වා අඩුවී තිබේ.

මා මේ විස්තර ලිවුවේ මා හොඳ අනාවැකිකරුවෙකු බව කියන්නට නොවේ. මා එවැන්නක් කළේ නැත. මගේ වගු තුනෙහි විශාල පරාසය තුළ ලොකු ඉඩක් පැවති අතර වෙනත් බොහෝ දෙනාද බලාපොරොත්තු වූයේ මේ පරාසය තුල ප්‍රතිඵලයකි. ලැබී ඇත්තේ ලැබිය හැකිව තිබුණු ප්‍රතිඵල කිහිපයකින් එකකි. එම ප්‍රතිඵලය අහම්බයක්ද නොවේ. බොහෝ දුරට, අනපේක්ෂිත ලෙස අන්තිම ඕවරයේදී මෛත්‍රී එල්ල කළ දැවැන්ත හයේ පහරේ ප්‍රතිඵලයකි. මේ හයේ පහරින් මහින්දගේ පනස් අටෙන් ලොකු කෑල්ලක් ගැලවී ගියේය. ලකුණු සටහන් වූයේ රනිල්ගේ පුවරුවේය.

එක් තැනෙක ලියවී තිබුණු අයුරින් මහින්ද දාන් අදිද්දී මෛත්‍රී චෙස් ක්‍රීඩා කර රජා බ්ලාස් කර ඇත.

කෙසේ වුවද මෛත්‍රීගේ හයේ පහරේ අතුරු ප්‍රතිඵලද තිබේ. එජනිස ගොඩෙන් 17%ක් හැලී මහින්ද පාක්ෂිකයින් ඉතිරි වෙද්දී උඩට මතුවෙන්නේ විවිධ චෝදනා වලට ලක් වූවන්ය. මේ අනුව (තවමත් මනාප ප්‍රතිඵල සියල්ල නොදන්නා නමුත්) මුතුහෙට්ටිගම, රත්තරං, චොකා මල්ලි ආදීන්ද, විමල් වීරවංශගේ කණ්ඩායමේ අයද උඩට මතුවී 'අප්පච්චි මළෝ' සාමාජිකයින් හැලී යාම සිදුවනු ඇත. මේ අතර, සිංහල බ්ලොග් රචකයෙකු වන සතර දිගන්තයේ කරුණාරත්න පරණවිතානත් මීළඟ පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටී. ඔහුට සුබ පැතුම්!

Monday, August 17, 2015

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්!

ජනතා කැමැත්තෙන් අගමැති වී, ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ව්‍යවස්ථා වෙනසක් මඟින් තමන්වම පත් කරගත් ජේ ආර් ජයවර්ධන, 1982දී ජනතා කැමැත්තෙන් නැවතත් ජනාධිපති විය. කෙසේ වුවද, 1983දී මහ මැතිවරණයක් වෙනුවට ජේආර්ගෙන් ජනතාවට ලැබුණේ ජනමත විචාරණයකි. මේ නිසා කොහොමටත් ජයග්‍රහණය ලැබීමට නියමිතව තිබුණු නමුත් තිබුණු තුනෙන් දෙක රැක ගැනීමට හැකියාවක් නොතිබුණු ජේආර්ගේ ආණ්ඩුවට තවත් අවුරුදු හයකට තුනෙන් දෙක පරිස්සම් කරගැනීමට හැකිවිය.

ජේආර්ගේ කාලයේදී යූඇන්පිය පැරැද්දවීම හිතන්නටවත් අමාරු කාර්යයක් විය. ඒ දවස් වල කියැවුණු එක් කතාවක් වූයේ ප්‍රධාන වශයෙන්ම එජාප පාක්ෂිකයින් වූ ග්‍රාම සේවා නිලධාරීන් මඟින් මිය ගිය සහ රට හැර ගිය පුද්ගලයන්ගේ යම් නිශ්චිත නම් ප්‍රමාණයක් සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම අයත් වපසරිය තුළ ඡන්ද ලැයිස්තු වලින් ඉවත් නොකර පවත්වා ගැනීම සහ මේ නම් යටතේ වෙනත් අය සැලසුම්සහගතව ඡන්දය දැමීම මඟින් එජාපයට සෑම ඡන්ද පොලකින්ම තල්ලුවක් ලබා ගත් බවයි. ග්‍රාම සේවා නිලධාරීන් බොහෝ දෙනෙකු එජාප හිතවතුන් වුනේ ග්‍රාම සේවා කොට්ඨාශ කුඩා කරමින් 1977දී උදවු කළ පාක්ෂිකයින් වෙනුවෙන් මන්ත්‍රී චිට් මඟින් ලබා දුන් රැකියාවක් වූ විශේෂ සේවා නිලධාරීන් වැනි වෙනත් කොටස් ග්‍රාම සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය කරගැනීම නිසාය. පසු කාලයකදී පොදු පෙරමුණු පාක්ෂිකයින් එක් වී මෙවැනි ඡන්ද හඳුනාගෙන ඒවා හොරට දැමීම වැළැක්වීමටද සංවිධානාත්මකව කටයුතු කළේය.

මැතිවරණ සිතියම් අකුලා තබන කතා කියූ, රාජ්‍ය මාධ්‍ය මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් ලැජ්ජා සහගත ලෙස යොදාගත් ජේආර්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඒ දවස් වල රසවත් කතා තිබුණේය. මේ කතා නැගලා ගිය එක් තැනක් වූයේ පෞද්ගලික උපකාරක පන්තිය. සමහර සිසුන් උපකාරක පන්ති තෝරා ගත්තේ දවසකට එක බැගින් අසන්නට ලැබෙන මෙවැනි කතා වලටත් බර තබමිනි. සමහර කතා දේශපාලන උපහාස වූ අතර අනෙක් වර්ගය වූයේ ඇම්ඩන් මාදිලියේ වැල කතාය.

පහත කතාව බොහෝ දෙනා අසා ඇතුවා නිසැකය.

ජේආර්, එවකට ඇමරිකාවේ, සෝවියට් දේශයේ සහ ඉන්දියාවේ රාජ්‍ය නායකයින් වූ රේගන්, ගොර්බචෝෆ් සහ රජීව් ගාන්ධි සමඟ හෙලිකොප්ටරයකින් ගමන් කරමින් සිටිද්දී හෙලිකොප්ටරයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිවිය. මේ ආකෘතියේ කතා හැම එකකම සිදුවන ආකාරයට හෙලිකොප්ටරයේ තිබුණේ එක පැරශූටයක් පමණි.

"මම හිතන්නේ මේ පැරශූටය හිමි විය යුත්තේ මටයි" රේගන් පවසයි. "ඇමරිකාව කියන්නේ ලෝකයේ විශාලම ආර්ථිකය. ඇමරිකාව වැටුණොත් ලෝකෙම විනාශයි. මම නැත්නම් කවුද ඇමරිකාව මෙහෙයවන්නේ?" රේගන් හෙලිකොප්ටරයේ නියමුවාගෙන් පැරශූටය ඉල්ලා සිටියේය.

රේගන් එහෙම කිවුවාට ඔහුට පැරශූටය එසේ නිකම්ම දීමට හෙලිකොප්ටරයේ නියමුවා පමණක් නොව අනිත් අයද එකවර කැමති වුණේ නැත.

"දැනට මිහිපිට තියෙන හොඳම පාලන ක්‍රමය තියෙන්නේ සෝවියට් දේශයේ. මම නැති වුනොත් සෝවියට් දේශයේ සමාජවාදයත් නැතිවෙලා යයි. ඒක නිසා ඕක මට දෙන්න." ගොර්බචෝෆ් පවසයි.

හෙලිකොප්ටරයේ නියමුවා සමාජවාදය නැත්නම් මරණය වර්ගයේ බුවෙකි. සෝවියට් දේශයේ සමාජවාදය වෙනුවෙන් ජීවිතය වුණත් කැප කිරීමට සූදානම් ඔහු ගොර්බචෝෆ්ට පැරශූටය දීමට ලෑස්ති වුණත් රජීව් ගාන්ධිගෙන් එයට ඉඩක් නොලැබුණේය.

"පොඩ්ඩක් මම කියන දෙයත් අහන්න. දැන් තමන්ගේ රටේ නායකයා නැති වුනාම වැඩිම දෙනෙක් කණගාටු වෙන්නේ මොන රටේද? ඇමරිකාවේ ඉන්නේ මිලියන් දෙසිය හතළිහයි. සෝවියට් දේශයේ ඉන්නේ මිලියන් දෙසිය හැටයි. ඉන්දියාවේ එහෙමද? මිලියන් අටසීයකටත් වැඩියි. අපි නායකයෝ විදිහට ගන්න ඕනෑ වැඩිම දෙනෙක් සතුටු වන තීරණයක්."

ජේආර්ට දැන් නෝ හෝප්ස් වාගේය. කොහොම වුණත් පොරත් ඇරියේ නැත.

"එහෙම නෙමෙයි. අපි කෙරෙන දෙයක් කතා කොරමු. ලෝකයේ හොඳම ප්‍රොජාතන්ත්‍රවාදය තියෙන රටේ ජනාධිපති හැටියට මම යෝජනා කොරනවා රහස් ඡන්දයකින් මේක තීරණය කොරමු කියලා."

කට්ටියම වාද කිරීම නවත්වා ජේආර්ගේ අදහසට එකඟ වූ අතර ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්දය ගණන් කිරීම ඇරඹුණි. ප්‍රතිඵලය මෙසේය.

රේගන් - 1
රජීව් ගාන්ධි - 1
ගොර්බචෝෆ් - 2
ජේආර් - 53

ජේආර් ඡන්ද කළේ එහෙමය. කොහොම වුණත් ලංකාවේ ජේආර්ගේ කාලයෙන් පසුව පැවති බොහෝ ඡන්ද දෙස බැලූ විට ජේආර්ගේ ඡන්ද කෙරුවාව සාපේක්ෂව හොඳය. ඔය අතර සාපේක්ෂව සාධාරණව පැවති මැතිවරණත් අතරින් පතර තිබුණේය. ජනාධිපති විජේතුංගගේ කාලය උදාහරණයකි.

මෙවර පැවති මැතිවරණය සෑම අතින්ම සම්පූර්ණව කිසිදු අඩුපාඩුවක් නැතිව පැවැත්වුණු එකක් නොවේ. එහෙත්, පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ පැවති මැතිවරණ වලට සාපේක්ෂව මේ මැතිවරණය සාමකාමී ලෙස සහ අඩුවෙන් මැතිවරණ නීති කඩකෙරුණු මැතිවරණයක් ලෙස හැඳින්වීම නිවැරදි වියයුතුය. මෙය පොදුජනතාවගේ මහන්සියෙන් උපයාගත් ඉතා වැදගත් මැතිවරණ ප්‍රතිඵලයකි. ඡන්ද ප්‍රථිපල ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුවද මේ ප්‍රතිඵලය වෙනස් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

Sunday, August 16, 2015

පියවරු, පුත්තු සහ බූරුවෝ


එකෝමත් එක රටක පියෙක් සහ පුතෙක් තමන් දෙදෙනාගේ ශ්‍රමය මාස ගණනාවක් මුළුල්ලේ වැයකොට ලබාගත් අස්වැන්න මුදල් කර ගැනීමට සිදාදියට පැමිණියහ. බලාපොරොත්තු වූ තරම් නොවූවත් සැලකිය යුතු මුදලක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.

"අපි මේ මුදල් බුද්ධිමත් විධියට ආයෝජනය කරන්ඩ ඕනෑ" පුතා කිවු වචන තාත්තාට නොතේරුණත් එහි අරුත ඔහුට වැටහිණි.

"අපි ෆිනෑන්ස් කරල ප්‍රයිවෙට් බස් එකක් ගම්මු".

"හරියන්නෙ නෑ. එක ප්‍රයිවෙට් බස් එකක් අරගෙන ලාබ ලබන්න අමාරුයි. අපි කොහොමද බස් පණහක් සීයක් එක පාර ගන්නේ".

"එහෙමනම් අපි ඉඩම් අක්කර හත අටක් අරගෙන..."

"කෙරෙන්නෙ නෑ. මේ තරම් සුළු මුදලකට ඉඩම් අක්කර හත අටක් ගන්ඩ හැමෝටම හැමදාම ලැබෙන්නේ නෑ".

තමන් සතු මුදලින් කළ හැක්කේ ඉතා සුළු දෙයක් පමණක් බව තාත්තාත් පුතාත් තේරුම් ගත්හ. එබැවින් එම මුදලින් බූරුවකු මිලදී ගැනීමට දෙදෙනාම එකඟ වූහ.

තාත්තාත්, පුතාත් බූරුවා දක්කාගෙන ටික දුරක් පැමිණියහ. මුලදී,දෙදෙනා තුළම වූයේ මේ තමන්ගේ මාස ගණනක ශ්‍රමයෙහි ඵලයය යන සිතුවිල්ල පමණි. එහෙත් මඳ දුරක් යද්දී මේ බූරුවෙක්ය යන්න තාත්තාට මතක් විය. බූරුවා මිලදී ගත්තේ පිට උඩ යාමට මිස දක්කාගෙන යාමට නොවේ.

"පුතා, නගින්ඩ බූරුවගෙ පිටේ".

"නෑ තාත්තම නගින්ඩ. මම තව ටිකක් දුර පයින් එන්නම්".

ඒ අනුව, තාත්තා බූරුවාගේ පිට නැග්ගේය. එහෙත්, එක් අතකින් තාත්තාට බූරුවන් පිට යාමෙහි වැඩි පළපුරුද්දක් නොවීය. අනෙක් අතට ඌ මහා 'එපා කරපු' හිතුවක්කාර බූරුවෙකු විය. කිසිවෙකු තමාගේ පිට උඩ යාම ඌට රිසි නොවීය.

බූරුවාගේ දැඟලිල්ල තාත්තාට මහත් වදයක් විය. දෙතුන් වරක් නොවැටී හිටියත් අන්තිමේදී බූරුවා තාත්තාව බිම දැම්මේය.

"මූනම් මහා එපාම කරපු බූරුවෙක්. තව පොඩ්ඩෙන් මගෙ කොන්දත් කඩනවා".

"තාත්තා ඉන්ඩ. මම ඌව මෙල්ල කරන්නම්".

පුතා බූරුවා පිට නැග්ගේ ඌ මොන විදියේ බූරුවෙක්දැයි නොදැන නොවේ.

නොසෑහෙන්නට වද දී තාත්තාව බිම දමාගත් බූරුවා පුතාවද බිම දැමීම සඳහා උගේ සුපුරුදු උපාය මාර්ග ක්‍රියාත්මක කළේය. ඒ කෙසේ වුවද කිහිප වරක්ම වැටෙන්නට ගියත්, වැටුනේ පුතා නොවේ. පුතාව බිම දැමීම ලෙහෙසි නොවන බව තේරුම් ගත් බූරුවා දැඟලිල්ල නවතා දැමීය. ඒත් නිතරම ඌ සිටියේ පුතාව බිම දැමීමට සුදුසු අවස්ථාවක් සොයමිනි.

"දැන් ඉතින් මූ තවත් දඟලන එකක් නෑ තාත්තේ.තාත්තත් බය නැතුව පිටිපස්සෙන් නගින්ඩ"

පුතා කෙසේ කීවත් බූරුවාගේ තරම තාත්තා දනී. උගේ පිටට නැගීමට තාත්තා අදිමදි කළේ ඒ නිසාය. එහෙත් අන්තිමේදී තාත්තා පුතා සමඟ එකඟ විය.

බූරුවාට තරු පෙනුනේය. තාත්තාත්, පුතාත් දෙදෙනාම පිට උඩ තබාගෙන යාම ලෙහෙසි නැත. එහෙත් බූරුවා කලබල නොවීය. ඉවසීය.

සිදාදිය පසුවිය. දැන් ඔවුන් ඉදිරියේ ඇත්තේ කැලෑබද පාරකි. බූරුවා වෙහෙස බවක් අඟවා තප්පුලන්නට පටන් ගත්තේය. කැලෑවේදී වැඩි සද්ද-බද්ද හොඳ නැත. මේ බව දත් තාත්තාත් පුතාත් බූරුවා පිටින් බටහ. බූරුවා සැණෙකින් පිම්මක් පැන්නේය. ඌ ලෑස්ති වූයේ ලද අවසරයෙන් ප්‍රයෝජන ගෙන කැලෑ වැදීමටය. එහෙත්, පුතා ඉක්මන් විය. බූරුවාගේ කකුල් බැඳ දමනු ලැබුවේය.

"ඔය කිට්ටුවදි මූ දඟලන්ඩ බැරි නෑ. ඒ නිසා අපි දැනට මූව කුදලාගෙන යමු. ඔය පහු වුනාම ආයෙමත් අපිට මුගේ පිටේ නැගලා නැගලා ගියෑකි"

බූරුවා දැන් තාත්තාගේත් පුතාගේත් කර උඩින් යයි. දාඩිය හලමින්, හති දමමින් බූරුවා කුදලාගෙන යන අතරත් ඔව්හු කල්පනා කළෝ අනාගතයේදී බූරුවාගෙන් ලබා ගන්නා ප්‍රයෝජන ගැනය.

ඔව්හු ඔය අසබඩට පැමිණුනහ. ඔය දෙපස කැලෑවේද බූරුවෝ සිටිති. ඔය මැද පිහිටි දූපත බූරුවන්ගේ රජදහනකි. හදිසියේම ඒ දෙසින් බූරු රංචුවකගේ තප්පුලෑම ඇසිණි.

බූරුවා කලබල විය. ඌට අමුතුම ශක්තියක් ලැබී තිබුණි. බැමි ලෙහෙන තුරුම දඟලා කැලෑවට පැනගත් උගේ වලිගයවත් අල්ලා ගැනීමට එවරනම් තාත්තාටවත් පුතාටවත් නොහැකි විය.

රංචුවට එකතු වුනු බූරුවාගේ ජයග්‍රාහී තප්පුලෑම ඔය මැද පිහිටි දූපත දෙසින් තාත්තාටත්, පුතාටත් පැහැදිලිවම ඇසුණේය.

"අපරාදේ! අපේ මාස ගානක මහන්සිය වතුරේ" තාත්තා දුක් විය.

"මටනම් දුක ඒක හින්දම නෙවෙයි. බූරුවා මේ තරම් දුරක් අපේ කරපිටින් ආපු එක ගැනයි"

කෙසේ හෝ අවසානයේදී, තාත්තලාගේත් පුතාලාගේත් කරපිටින් බූරුවා ඌට අවශ්‍ය තැනට පැමිණුනේය.

***
උඩින් ඇති මැටිකතාව සියවස් කාලකට පමණ පෙර දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූවකි. ඒ කාලයේ තාත්තලා සමඟ බූරුවන් කරේ තබාගෙන ගිය පුතාලා දැන්  තාත්තලා වන අතර ඔවුන්ගේ පුතාලාත් දැන් බූරුවෙකුට කර ගැහීමට තරම්ලොකු මහත් වී ඇත. ඒ ඇරුණු විට කතාවේ අනෙක් කොටස් වෙනස් වී ඇත්තේ කෙසේදැයි තවමත් පැහැදිලි නැත.
 
(සිතුවම් අන්තර්ජාලයෙනි.)

Friday, August 14, 2015

ඊළාම් ඡන්ද කොයිබටද?


පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ඊළාම් ඡන්ද සිය පරාජයට හේතු වූ බවයි. මේ ඊළාම් ඡන්ද මොනවාද? එවැනි ඊළාම් ඡන්ද තිබේනම් ජාතික මැතිවරණයකදී එවැනි ඊළාම් ඡන්ද වල ඇති බලපෑම කුමක්ද?

මහින්ද රාජපක්ෂ විසින් ඊළාම් ඡන්ද ලෙස ඔහු අදහස් කරන්නේ මොනවාදැයි විස්තර කළේ නැත. ඊළාම් යන වචනයේ නිරුක්ති සෙවීම පසෙක තබා ප්‍රායෝගිකව සිතුවොත් ඊළාම් යනුවෙන් අදහස් වන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ කොටසක පිහිටුවීමට අපේක්ෂා කළ ස්වාධීන රාජ්‍යයකි. ඒ සඳහා වූ සන්නද්ධ අරගලය 2009දී පරාජය කෙරිණි. මෙසේ පරාජය කෙරුණු ඊළාම් අපේක්ෂාවන් වෙනුවෙන් තවදුරටත් වෙහෙසෙන කොටස් ඊළාම්වාදීන් ලෙස සරලව හැඳින්විය හැකිය.

ස්වාධීන ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් වූ සන්නද්ධ අරගලය යුදමය ලෙස පරාජය කරනු ලැබුවත් ඒ සඳහා මුල් වූ සාධක තවමත් පවතීය යන්න පුළුල් එකඟතාවක් ඇති කරුණකි. එකඟතාවක් නැත්තේ මේ සාධක කවරේද සහ ප්‍රශ්නයට විසඳුම කුමක්ද යන තැන්හිදීය.

ඇතැම් ශ්‍රී ලාංකිකයින්ට අනුව ප්‍රශ්නය වනුයේ වත්මන් ශ්‍රී ලංකාවේ කොටසක පැවති දෙමළ නිජබිම එහිම අනෙත් කොටසේ පැවති සිංහල රාජ්‍යය විසින් බලහත්කාරයෙන් යටත් කරගෙන සිටීමයි. තවත් ශ්‍රී ලාංකිකයින්ට අනුව අනුව මෙහි ඇති සැබෑ ප්‍රශ්නය දෙමළ දේශපාලනඥයින් විසින් සැබෑවක් නොවන ඉහත නිජබිම් සංකල්පය සාමාන්‍ය දෙමළ ජන විඥානය තුළ බලෙන් පැලපදියම් කරනු ලැබ තිබීමය. තවත් අයට අනුව, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම, අධ්‍යාපන ප්‍රමිතිකරණය, ආර්ථික ප්‍රශ්න ආදී විවිධ හේතු තිබේ.

උතුරේ ප්‍රශ්නය විවිධ පුද්ගලයින් විසින් හඳුනා ගන්නා ආකාරය අනුව විසඳුම් ලෙස විවිධ යෝජනා ඉදිරිපත් කෙරී ඇති අතර මේ විසඳුම් කාණ්ඩ හතරක් යටතේ වර්ග කළ හැකිය.
1. රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැංවූ සිංහල බෞද්ධයන්ගේ අනන්‍යතාව (මහා සංස්කෘතිය) තුළට සියළු සුළුතර කොටස් අවශෝෂණය කරගැනීම.
2. අළුත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් (ජාතියක්) ගොඩ නංවා සිංහල, දෙමළ ප්‍රධාන සියළු කොටස් මේ අනන්‍යතාවය යටතේ එකතු කිරීම.
3. සිංහල හා දෙමළ ලෙස වෙනස් අනන්‍යතාවන් දෙකක් රටේ දෙකොටසක පැවතීම පිළිගනිමින් මේ වෙනස් කොටස් දෙකේ එකතුවක් ලෙස ඉදිරියට යාම.
4. සිංහල හා දෙමළ ලෙස වෙනස් අනන්‍යතාවන් දෙකක් රටේ දෙකොටසක පැවතීම පිළිගනිමින් මේ වෙනස් කොටස් දෙක වෙන්වෙන්ව ඉදිරියට යාම.

මා සිතන පරිදි සිංහලයින් අතර වැඩිම පිරිසක් මේවනවිට සිටින්නේ දෙවන කණ්ඩායමේය. පළමු කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක්ද, තෙවන කණ්ඩායමේ සුළු පිරිසක්ද සිටින අතර සිවුවන කණ්ඩායම තුළ සිංහලයින් නැති තරම්ය. අනෙක් අතට ශ්‍රී ලාංකික දෙමළුන් අතරින් වැඩිම පිරිසක් මේ වනවිට  සිටින්නේ තෙවන කණ්ඩායමේ වියහැකි බව මගේ අදහසයි. දෙවන හා සිවුවන කණ්ඩායම් වලද සැලකිය යුතු ශ්‍රී ලාංකික දෙමළුන් පිරිසක් සිටින අතර පළමු කාණ්ඩය තුළනම් නැත්තේම නැති තරම්ය. සීඝ්‍රයෙන් නොවූවත් සිවුවන කණ්ඩායමේ ශ්‍රී ලාංකික දෙමළුන් තෙවන කණ්ඩායම දෙසටත්, තෙවන කණඩායමේ සිටින්නන් දෙවන කණ්ඩායම වෙතටත් මේවන විට අපගමනය වෙමින් සිටින්නේය යන්න මගේ අදහසයි. මේ තත්ත්වය දිගටම මේ අයුරින් තිබේදැයි මා දන්නේ නැත.

මා ඊළාම්වාදීන් ලෙස හඳුනාගන්නේ ඉහත සිවුවන කාණ්ඩයයි. තෙවන කාණ්ඩය ෆෙඩරල්වාදීන්ය.

වෙනම රාජ්‍යයක් විසඳුම ලෙස යමෙකුට පෙනී යන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ-දේශපාලනික රාමුව තුළ තමන්ගේ සැබෑ හෝ සිතින් මවාගත් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමේ කිසිදු ඉඩකඩක් නොමැති බව පැහැදිලි වූ විටය. එවැන්නෙකු හඳුනාගත හැකි එක් ක්‍රමයක් වන්නේ යමෙකු පවතින දේශපාලන රාමුවට කෙතරම් පිටස්තරයෙක් වන්නේද යන්නයි. මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමට එරෙහිව බලහත්කාරය නොයෙදෙන අවස්ථාවකදීත් ඒ සඳහා උනන්දුවක් නොදක්වන පිරිස් අතර, පවතින සමස්ත දේශපාලන ක්‍රමය ගැන කළකිරුනු, මෙවැනි පිටස්තරයින් සිටීමේ වැඩි ඉඩකඩක් පවතී.

1978දී ජේ ආර් ජයවර්ධන ජනාධිපති වූයේ ව්‍යවස්ථා වෙනසකිනි. ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණේ 1982දීය. මේ ජනාධිපතිවරණය කෙසේවත් සර්ව සාධාරණ මැතිවරණයක් වූයේ නැත. මේ මැතිවරණයේ ලසසප අපේක්ෂකයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඡන්ද පොළට පැමිණෙන විට ඔහුගේ ඡන්දයත් හොරට දමා තිබුණු අතර ඔහුට ලැබුණේ ද්විත්ව (නිල්) ඡන්ද පත්‍රිකාවකි. මේ අනුව, බොහෝ විට මේ ජනාධිපතිවරණයේදී කොල්වින්ගේ ඡන්දයත් වැටෙන්නට ඇත්තේ ජේආර්ටමය. එමෙන්ම, පුද්ගලික මාධ්‍ය නොතිබුණු මේ කාලයේ සියළුම රුපවාහිනී හා ගුවන් විදුලි නාලිකා වල මෙන්ම පුවත්පත් වලත් පෙනුනේ එජාප ඒකාධිකාරියකි.

කෙසේ වුවද, පසුගිය ජනාධිපතිවරණය දක්වාම පසුව පැවති සියළුම ජාතික මැතිවරණ වලට සාපේක්ෂව 1982 ජනාධිපතිවරණයේදී ජනමතය හොඳින් පිළිබිඹු වූයේයැයි මම සිතමි. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපය දෙකඩ වී භේද භින්නව සිටීමත්, සමඟි පෙරමුණු යුගය ජනතාවට මේ වන විටත් අමතක නොවී තිබීමත් නිසා මැතිවරණය සර්ව සාධාරණව පැවැත්වුණේ වුවද ජේආර් ජයග්‍රහණය කරනු ඇති අතර 50% සීමාවටද අනිවාර්යයෙන්ම ලඟා වනු ඇත.

පළමු ජනාධිපතිවරණය පැවති 1982 වන විට එල්ටීටීඊ සංවිධානය හෝ උතුරේ වෙනත් සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව රටේ බොහෝ දෙනෙක් අසා නොතිබුණේය. එමෙන්ම ඡන්දය දැමීමට රටේ කිසිදු ප්‍රදේශයක විශේෂ බාධාවක් වූයේද නැත. මේ නිසා මේ මැතිවරණයේදී භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය 81.06% තරම් ඉහළ මට්ටමක පැවතුණේය. කෙසේ වුවද, මේ මැතිවරණයේදී පවා උතුරේ ඡන්ද වැටුණේ අනෙක් ප්‍රදේශ වලට වඩා අඩුවෙනි. භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය යාපනයේදී 46.31%ක් සහ වන්නියේදී 61.45%ක් ලෙස සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණේය. මෙයින් පෙනෙන්නේ 1983 කළු ජූලියටත් මාස නවයකටත් පෙර පළමු ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදීත් ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ව්‍යුහය තුළින් පිළිතුරු සපයාගැනීමට නොහැකියැයි පෙනුණු ප්‍රශ්න උතුරේ සැලකිය යුතු දෙමළ පිරිසකට තිබුණු බවයි.

1982න් පසු උතුරේ යුද්ධය නිමා වනතුරු කාලය තුල දිවයින පුරා ඡන්දදායකයින්ට නිදහසේ ඡන්දය දිය හැකි ජාතික මැතිවරණයක් පැවැත්වුණේ නැත. ජවිපෙ තර්ජන මැද ඉතා අමාරුවෙන් ඇදගත් 1988 ජනාධිපතිවරණය නිදහසින් පසු පැවැති අඩුම සහභාගිත්වයක් පැවති ජාතික මැතිවරණයයි. මෙහිදී ප්‍රකාශ වූයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 55.32%ක් පමණක් වූ අතර, ජවිපෙ අපේක්ෂා කළ පරිදිම, නිදහස් ඡන්දයකදී අපේක්ෂා කළ හැකිව තිබුණු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය වෙනස් කර ගැනීමට ඔවුන්ට හැකි විය. එයින් අනතුරුව පැවති 1989 මැතිවරණයේදී මේ තත්ත්වය සුළු වශයෙන් හොඳ අතට හැරුණත් භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය 63.60%කට සීමා විය.

බලහත්කාරයෙන් ඡන්ද වැළැක්වීම මඟින් ජාතික මැතිවරණයක සමස්ථ ප්‍රතිඵලය වෙනස් කළ හැකිය යන ජවිපෙ ඉගැන්වූ පාඩම එල්ටීටීඊ සංවිධානය විසින් හොඳින් ඉගෙන ගත්තේය. ඉන් අනතුරුව එල්ටීටීඊ සංවිධානය පරාජය කෙරෙන තුරු පැවති කිසිදු මැතිවරණයකදී උතුරේ ජනමතය නිසියාකාරව පිළිබිඹු වූයේ නැත.

එජාපයේ දාහත් වසරක පාලනය අවසන් කළ 1994 මහා මැතිවරණයේදී යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය තුළ භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය 2.32%ක් පමණක් වූ අතර යාපනයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වූයේ ඡන්ද 1,500ක් පමණි. ඉන් අනතුරුව පැවති, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විශාල ජනමතයක් ලබා ගත්, 1994 ජනාධිපතිවරණයේදීද භාවිතා වූයේ යාපනයේ ඡන්ද වලින් 2.97%ක් පමණි. මේ ඡන්ද ප්‍රකාශ වූවද ඇය ලබා ගත් ජනවරම ආපසු නොහැරවෙන බව වෙනම කරුණකි.

මගේ මතකය නිවැරදිනම් 1994දී උතුරේ ඡන්ද භාවිතය මේ තරමටම අඩුවුණේ ඡන්ද වර්ජනයක් සිදුවීම නිසා නොවේ. මේවන විට උතුරේ විශාල භුමි ප්‍රදේශයක් ශ්‍රී ලංකා රජයේ සෘජු පාලනයෙන් ගිලිහී පැවතීම නිසාය. සාමය වෙනුවෙන් ජනවරමක් පැතූ චන්ද්‍රිකාටද වැඩිකල් නොයා යුද්ධය තෝරා ගැනීමට සිදුවූ අතර රිවිරැස මෙහෙයුම මඟින් උතුරේ විශාල ප්‍රදේශයක් මුදාගනු ලැබිණි. මේ අනුව 2000, 2001 හා 2004 මහ මැතිවරණ වලදී උතුරේ ඡන්ද භාවිතය ක්‍රමයෙන් ඉහළ ගියේය. කෙසේ වුවද, මේ ඡන්ද ප්‍රතිශත තවදුරටත් පැවතුණේ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලට වඩා සැලකිය යුතු ලෙස අඩුවෙනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වූ 2005 ජනාධිපතිවරණයේදී යාපනයේ ඡන්ද ප්‍රතිශතය නැවතත් 1.21% දක්වා පහත වැටුණේය. මේ වන විට යාපනයේ විශාල භුමි ප්‍රදේශයක් ශ්‍රී ලංකා රජයේ පාලනයට නතුව තිබුණත් ඡන්ද භාවිතය මෙතරම් පහල වැටුනේ මේ ජනාධිපතිවරණය වර්ජනය කිරීමට එල්ටීටීඊ සංවිධානය ගත් උපක්‍රමික තීරණය නිසාය. මේ තීරණය මඟින් සමස්ථ ප්‍රතිඵලය වෙනස් කෙරුණු බව බොහෝ දුරට පිළිගත හැකි මතයකි. මෙසේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෘතිමව වෙනස් කිරීම මඟින් වේළුපිල්ලේ ප්‍රභාකරන් උපයාගත්තේ 1988 ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෘතිමව වෙනස් කිරීම මඟින් පටබැඳිගේ නන්දසිරි විජේවීර උපයාගත් දෙයමය.

2010 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වෙන විට මුළු දිවයිනම ශ්‍රී ලංකා රජයේ ආධිපත්‍යයට නතුව පැවතියත් උතුරේ අවතැන්වූ අය නැවත පදිංචි කිරීම අවසන්ව නොතිබීම වැනි කරුණු නිසා මේ මැතිවරණ වලදීද ශ්‍රී ලාංකික දෙමළ ජනමතය නිසි ලෙස පිළිබිඹු වූයේ නැත. එහෙත්, අවසන් ප්‍රතිඵලයට එයින් විශාල බලපෑමක් නොවීය.

ද්‍රවිඩ ජාතික සංධානයට තීරණාත්මක ජයග්‍රහණයක් හිමිකර දුන් 2013 උතුරු පළාත් සභා ඡන්දයේදී ඡන්ද භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර සාමාන්‍යයෙන් පළාත් සභා ඡන්දයකදී දකුණේදී දැකගත හැකි මට්ටමට ආසන්න විය. ජනවාරියේදී පැවති ජනාධිපතිවරණයේදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක දෙකේම ඡන්ද භාවිතය සුළු වශයෙන් වුවත් තව දුරටත් ඉහළ ගියේය.

පහත පළමු වගුවෙන් පෙන්වා ඇත්තේ 1982 ජනාධිපතිවරණයේ සිට 2015 ජනාධිපතිවරණය දක්වා පැවති ජාතික මැතිවරණ වලදීත්, අවසාන පළාත් සභා මැතිවරණ වටයේදීත් සමස්ථ දිවයිනේ සහ තෝරාගත් දිස්ත්‍රික් පහක ඡන්ද භාවිතය වෙනස් වූ ආකාරයයි. වගුවේ ඇති දිස්ත්‍රික්ක අතර දකුණේ සිංහල ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්ක දෙකකුත්, උතුරේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්ක දෙකකුත්, ජවිපෙ හෝ එල්ටීටීඊ සංවිධානය සමඟ සැලකිය යුතු සම්බන්ධතාවක් නොතිබුණු ඉන්දියානු දෙමළ ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කයකුත් තිබේ.


දෙවන වගුවේ පෙන්වා දී ඇත්තේ සාපේක්ෂව නිදහස් ඡන්ද භාවිතයක් සිදුවූ ලෙස සැලකිය හැකි 1982 සහ 2015 ජනාධිපතිවරණ වලදී දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙක තුළ ඡන්ද භාවිතය වෙනස් වූ ආකාරයයි.


පුද්ගලයෙකු මැතිවරණයකදී ඡන්දය භාවිතා නොකිරීමට බලපාන විවිධ සංකීර්ණ සාධක තිබේ. ඡන්දය භාවිතා නොකිරීම මඟින් හැම විටම පවතින සමාජ-දේශපාලන ක්‍රමය කෙරෙහි ඇති කළකිරීම පිළිබිඹු නොවේ. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂගේ දෙවන ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව පැවති, 2010 මහ මැතිවරණයේදී දිවයින පුරාම ඡන්ද භාවිතය අඩු වූයේ ඒ ඡන්දයේදී ඡන්දායකයකුගේ ආන්තික බලය ඉතා සුළු වූ බව පැහැදිලිව තිබුණු නිසාය. එහෙත්, රටේ ප්‍රදේශ අතර මේ ප්‍රතිශතයේ ඇති වෙනස්කම් මඟින් යම් දුරකට එවැන්නක් පිළිබිඹු විය හැකිය.

පහත ඇති ප්‍රස්ථාර වලින් පෙන්වා දී ඇති පරිදි සහ සංඛ්‍යානමය විශ්ලේෂණයකින් තහවුරු වන පරිදි 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව මැතිවරණයෙන් බැහැරව සිටීමේ ඉඩකඩ ශ්‍රී ලාංකික දෙමළ නොවන කොටස් වලට වඩා 32.4%ක් වැඩි විය. 2015 වන විට මේ පරතරය 16.13% දක්වා අඩු වී තිබේ. මෙය සිදුවූයේ ශ්‍රී ලාංකික දෙමල නොවන අනෙකුත් ප්‍රජාවන්ගේ ඡන්දය දීමේ ප්‍රතිශතය 1982දී 85.68% සිට 2015දී 83.09% දක්වා අඩුවන පසුබිමකය. මෙයින් පෙනෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව සන්නද්ධ අරගලයක් සඳහා යොමු වීමට ආසන්නව පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට ඔවුන් ශ්‍රී ලාංකිකයින් ලෙස ඉදිරි ගමනක් යාමට සැලකිය යුතු තරමේ වැඩි සූදානමක් ඇති බවයි.



ඡන්ද භාවිතය 1982 සිට පැවති ජාතික මැතිවරණ සියල්ලටම වඩා වැඩියෙන් පැවති පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට යාපනයෙන් 21.85%ක් සහ වන්නි දිස්ත්‍රික්කයෙන් 19.07%ක් ලෙස සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි විය. දකුණේදී මහින්ද රාජපක්ෂට ලැබෙන ඡන්ද කෙසේ වුවත් මෙසේ උතුරේදී ඔහුට ලැබෙන ඡන්ද බොහෝ දුරට ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන, ජාතිවාදයට එරෙහි ඡන්දයි.

මෙවර මහ මැතිවරණයේදී ජාතික පක්ෂ වන එජනිසට හෝ එජාපෙට (හෝ ජවිපෙට) ශ්‍රී ලාංකික දෙමළුන්ගේ ඡන්ද වැඩි කරගත හැකිනම්, අවසන් ප්‍රතිඵලයට එයින් වන බලපෑම කුමක් වුවත් එය හොඳ ප්‍රවණතාවයකි. එමෙන්ම, පෙර භාවිතා නොවූ ශ්‍රී ලාංකික සමාජ-දේශපාලන ව්‍යුහයෙන් තවමත් පිටස්තරව සිටින කොටස් වල ඡන්ද ද්‍රවිඩ සංධානය වෙත ආකර්ෂණය වේනම් එයද හොඳ ප්‍රවණතාවයකි.


Monday, August 10, 2015

අගෝස්තු 17 මොකක් වෙයිද?



ඡන්දයට තව ඇත්තේ සුමානයකි. එහෙත්, සාපේක්ෂව ඇත්තේ නිහඬතාවයකි. මේ නිහඬතාවයට යහපාලන ප්‍රතිපත්ති යම් තරමකට දායක වී ඇතත් ප්‍රතිඵලය පිළිබඳව ඇති අවිනිශ්චිතතාවද මෙයට හේතු වී ඇති බව මගේ අදහසයි. මෙවර රත්නපුර දිස්ත්‍රික්කයේ එජාපෙ අපේක්ෂකයෙකු වන සතර දිගන්තයේ කරුගේ වචන වලින් මේ තත්ත්වය ඇවිලී ඇති දහයියා ගොඩකි. දහයියා ගොඩක් ඇවිලුණු විට මතුපිටින් ගිණිදැල් නොපෙනේ. ඒ නිසා ඇතුලින් සිදුවන දෙය දැනගැනීම අපහසුය. එහෙත්, ඇවිලුණු දහයියා ගොඩක් ලේසියෙන් නිවෙන්නේ නැති අතර එහි රස්නයද සුළුපටු නැත.

ජනාධිපතිවරණය ආසන්නයේදීනම් මේ වන විට බොහෝ විශ්ලේෂණ කෙරී තිබුණේය. එහෙත් මෙවර තමන් කැමති ප්‍රතිඵල, සංඛ්‍යාත්මක නොවන විශ්ලේෂණ හා පැහැදිලි පදනමක් නොමැති සංඛ්‍යාත්මක විශ්ලේෂණ කිහිපයක් හැරුණු විට වැඩි දෙයක් පෙනෙන්නට නැත. මෙයට එක් හේතුවක්නම් අපේ වත්මන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වන සමානුපාතික නියෝජන ක්‍රමය ජනාධිපති මැතිවරණ ක්‍රමය මෙන් සරල එකක් නොවීමය. එක් එක් පක්ෂය ලබාගන්නා ඡන්ද ගණන හරියටම දැනගැනීමෙන් පසුව වුවද ඒ ඒ පක්ෂ වලට හිමිවන මන්ත්‍රී ධුර ගනන නිශ්චය කිරීම තරමක් අසීරු ගණිතමය කාර්යයකි.

සතියකින් ලිහන්නට ඇති මල්ල දැන් එබීමෙන් ලොකු වැඩක් නොවේ. එහෙත්, අගෝස්තු 17 ලැබිය හැකි ප්‍රතිඵලය ගැන යම් විශ්ලේෂණයක් කිරීමේ පොඩි ෆන් එකක් තිබේ.

අපේ සමානුපාතික ක්‍රමය සංකීර්ණ එකකි. මෙහිදී මන්ත්‍රී ධුර වෙන් කෙරෙන්නේ දිස්ත්‍රික්ක පදනමකිනි. දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර ගණනින් එකක් අදාළ දිස්ත්‍රික්කය තුළ ඉදිරියෙන්ම සිටින පක්ෂයට හිමිවන අතර ඉතිරි මන්ත්‍රීධුර ලබාගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව බෙදීයයි. කෙසේ වුවද, දිස්ත්‍රික්කයකින් 5%ක ඡන්ද ලබා සල්ලන් නොවන පක්ෂයකට හෝ කණ්ඩායමකට මන්ත්‍රීධුර හිමි නොවේ. මේ අතර මන්ත්‍රී ධුරයක් සඳහා අවශ්‍ය ඡන්ද ගණන නොමැතිව 'කොටෙන් ගොඩයාමේ' හැකියාවක්ද තිබේ. මේ ක්‍රමය අනුව දිස්ත්‍රික්කයක වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට සාපේක්ෂව වැඩි වාසියක් අත්වන අතර බොහෝ විට ඡන්ද ප්‍රතිශත සුළු වශයෙන් වෙනස් වුවත් දිස්ත්‍රික්කයක මන්ත්‍රී ධුර බෙදෙන ආකාරය වෙනස් නොවේ.

මෙය උදාහරණයකින් පැහැදිලි කිරීම පහසුය. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මන්ත්‍රීධුර ගණන 7කි. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන පක්ෂයට හිමිවන අතර ඉතිරි මන්ත්‍රීධුර හය එක් එක් පක්ෂය හෝ කණ්ඩායම ලබාගන්නා ඡන්ද ප්‍රමාණය අනුව තීරණය වේ. මේ අනුව, මන්ත්‍රීධුරයක් ලබාගැනීම සඳහා 'අදාල ඡන්ද සංඛ්‍යාවෙන්' 1/6ක් ලබා ගත යුතුය. අදාල ඡන්ද සංඛ්‍යාව වනුයේ 5% ඉක්මවන පක්ෂ හා කණ්ඩායම් විසින් ලබාගන්නා ඡන්ද වල එකතුවයි. මැතිවරණ කොමසාරිස් විසින් මේ ගණනය කිරීම ව්‍යවස්ථාවේ ඇති ආකාරයට ඡන්ද සංඛ්‍යාව අනුවම කළත් ඡන්ද ප්‍රතිශත යොදාගත් විටද ගණිතමය ලෙස සිදුවන්නේ මේ දෙයමය. ඒ නිසා පහසුව සඳහා අපි ඡන්ද ප්‍රතිශත යොදාගනිමු.

පසුගිය ජනවාරි සිට මේ දක්වා දේශපාලන පෙළගැස්මේ විශාල වෙනසක් සිදුවී නොමැත. ඒ නිසා ජනවාරි ප්‍රතිඵලය විශ්ලේෂණයක් සඳහා හොඳ ආරම්භක ප්‍රවේශයකැයි මම සිතමි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද බෙදුනේ පහත පරිදිය.
මහින්ද- 63.02%
මෛත්‍රී- 35.93%
වෙනත්- 1.05%

පාර්ලිමේන්තු මැතිවරණයේදී සිදුවී ඇති ප්‍රධානම වෙනස මෛත්‍රීට හිමි වූ 35.93% එජාපෙ සහ ජවිපෙ අතර බෙදී යාමයි. මෑතකාලීන මැතිවරණ සියල්ලේදීම හම්බන්තොටින් ජවිපෙ මෙන්ම එජාපයද 5%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ. ඒ අනුව මෙවරද මේ කණ්ඩායම් දෙකම සල්ලන් වනු ඇත. මේ අනුව 'අදාල ඡන්ද ප්‍රතිශතය' 98.95%ක් වේ. එමෙන්ම එජනිසය හම්බන්තොටින් දෙවන තැනට වැටීම සිදුවිය නොහැකි තරම්ය. ඒ අනුව බෝනස් මන්ත්‍රී ධුරය හිමිවන්නේ එජනිසයටය. ඉතිරි ආසන හයෙන් එකක් ලබාගැනීමටනම් 16.49%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය වේ. එජනිසයට තවත් මන්ත්‍රී ධුර තුනක් වෙන් කිරීමෙන් පසුවද (63.03 - 16.49x3) තවත් 13.56%ක ඡන්ද ප්‍රතිශතයක් ඉතිරිවේ. එමෙන්ම එජාපෙ ප්‍රතිශතය 16.49% ඉක්මවන බව පැහැදිලි නිසා ඔවුන්ටද මන්ත්‍රී ධුරයක් වෙන් කළ පසු මෛත්‍රී ලැබූ ඡන්ද වලින් (35.93-16.49) 19.44%ක් ඉතිරි වේ. මේ 19.44% කුමන අයුරකින් එජාපෙ සහ ජවිපෙ අතර බෙදුනත් එජනිසයට ඉතිරිව ඇති 13.56%ට වඩා විශාල කොටස් දෙකක් නොසෑදෙන බැවින් එජනිසයේ 13.56%ට තවත් මන්ත්‍රී ධුරයක් හිමිවේ. දැන් එජනිසයට මන්ත්‍රීධුර 5කි. එජාපෙට 1කි. ඉතිරි මන්ත්‍රී ධුරයේ හිමිකම තීරණය වන්නේ ජවිපෙ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුවය. ප්‍රතිශතයක් වශයෙන් ජවිපෙ ඡන්ද ප්‍රමාණය (19.44/2) 9.72%ට වැඩිනම් ජවිපෙට මන්ත්‍රී ධුරයක් හිමිවන අතර එසේ නැතහොත් එජාපෙට තවත් මන්ත්‍රී ධුරයක් හිමිවී එජාපෙ මන්ත්‍රීධුර ගණන 2ක් වනු ඇත. පසුගිය මැතිවරණයේදේ ජවිපෙට හම්බන්තොටින් මේ ඡන්ද ප්‍රමාණය ලබාගත නොහැකි වූ අතර මෙවර ජවිපෙට ඇති රැල්ල සහ හම්බන්තොට ජවිපෙ අතීතය අනුව මෙවර හම්බන්තොටින් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට ජවිපෙට අවස්ථාවක් ඇතත් යම් අවිනිශ්චිතතාවක්ද පවතී.

වැදගත් කරුණනම් ජනවාරි ඡන්ද පදනම් එසේම පැවතුණහොත් එජනිස-එජාපෙ-ජවිපෙ කඳවුරු අතර හම්බන්තොට මන්ත්‍රී ධුර බෙදෙන්නේ 5-1-1 හෝ 5-2-0 ලෙස බවයි. ජනවාරි උපකල්පනය යටතේ එජාපෙ ජවිපෙ අතර බෙදීම අවිනිශ්චිත වුවත් එජනිසයට 5/7ක් ලැබීම ස්ථිරය.

කෙසේ වුවද, ජනවාරි ඡන්ද පදනම එජනිසයේ උපරිම සීමාවයි. රාජ්‍ය බලය උපරිම ලෙස යොදා ගනිමින් සහ ගම් පළාතේ කෙනෙකු වීම තුළ මහින්ද ලබාගත් මේ ඉහළ ඡන්ද ප්‍රතිශතය මෙවර ලබා ගැනීම අපහසු විය හැකිය. ප්‍රතිඵලය වෙනස් වීමටනම් එජනිස ඡන්ද ඉවත්වීම හෝ එජාපෙ-ජවිපෙ ඡන්ද ඉහළයාම සිදුවිය යුතුය. රාජ්‍ය බලයේ බලපෑම ඉවත් වූ විට බොහෝ විට සිදුවන්නේ පාක්ෂිකයින් ඡන්ද පොලට ආකර්ශනය වීම අඩුවීමයි. මේ අනුව මහින්දට ලැබුණු ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් මෙවර භාවිතා නොවීමේ ඉඩකඩක් ඇති අතර එයින්යම් ප්‍රමාණයක් එජාපෙ සහ ජවිපෙ වෙත ආකර්ශනය විය හැකිය. මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට රැල්ල ඇති බව පෙනෙන්නේ ජවිපෙ දෙසටය. එහෙත්, ජවිපෙට රැස්වීම් වලට සෙනඟ එන තරමට ඡන්ද නැති බවද මතයකි. මේ නිසා ජවිපෙ විසින් තනිවම තරඟකර 'අරගෙන පෙන්වූ' හොඳම ප්‍රතිඵලය වන 2001 මැතිවරණයේදී ජවිපෙ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණයක් සඳහා හොඳ ආරම්භයකි. 2001දී ජවිපෙට හම්බන්තොටින් 21.33%ක් ලබා ගත හැකි විය.

ජවිපෙ දැනට තනිව ලඟා වී ඇති උපරිමය වන 21.33%ක් ලබා ගත්තද ඔවුන්ට හම්බන්තොටින් ලැබෙන්නේ එක් මන්ත්‍රීධුරයක් පමණි. මෙවැනි තත්ත්වයක් යටතේ අපේක්ෂිත ප්‍රතිඵලය වන 5-1-1 වෙනස් කිරීමටනම් කොපමණ එජනිස ඡන්ද ප්‍රමාණයක් (ප්‍රතිශතයක් ලෙස) එජාපෙ වෙත සම්ප්‍රේෂණය විය යුතුද?

හම්බන්තොටින් මහින්ද ලබාගත් එජනිස ඡන්ද වලින් 12%ක් එනම්, 7.56%ක් එජාපෙ වෙත මාරු වූයේයැයි සිතමු. දැන් එජනිස-එජාපෙ-ජවිපෙ ඡන්ද බෙදීම 55.46%-22.06%-21.33% ලෙසිනි. සමානුපාතික ක්‍රමය අනුව මේ තත්ත්වය යටතේ වුවද එජනිස-එජාපෙ-ජවිපෙ අතර මන්ත්‍රී ධුර බෙදෙන්නේ 5-1-1 වශයෙන්මය. ප්‍රතිඵලය 4-2-1 ලෙස වෙනස්වීමට එජනිස ජනවාරි ඡන්ද වලින් 15%ක් පමණ ඉවත් විය යුතු අතර එජනිසට මීටත් වඩා අඩු මන්ත්‍රී ධුර ගණනක් ලැබීමටනම් ඉතා විශාල පරිවර්තනයක් සිදුවිය යුතුය.

අනෙත් දිස්ත්‍රික්ක සඳහාද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිය. මෙහිදී යම් උපකල්පන කිරීමට සිදුවේ. උපකල්පන පදනම් වන්නේ නිරීක්ෂණ මතය. ඒවා මෙසේය.
1. ජනවාරි මාසයේදී මෛත්‍රීට ඡන්දය දුන් කොටස් පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට ඡන්දය දීමේ රැල්ලක් නැත. මහින්ද ලබාගත් ඡන්ද ලක්ෂ 58 එජනිසයට ලබා ගත හැකි උපරිම සීමාවකි. රාජ්‍ය බලය මැතිවරණය සඳහා යොදා ගැනීමේ අපහසුතාව නිසා මෙයින් කොටසක් ගිලිහෙනු ඇත. එහෙත්, යහපාලන ප්‍රතිපත්ති මත රාජ්‍යබලය අයුතු ලෙස යොදාගැනීමට එජාපෙටටද නොහැකි නිසා මේ ඡන්ද වැඩි ප්‍රමාණයක් එජාපෙට මාරු නොවී භාවිතා නොවූ ඡන්ද බවට පත් වනු ඇත.
2. මෛත්‍රීට ඡන්දය ලබා දුන් ඡන්ද ලක්ෂ 62 ප්‍රධාන වශයෙන්ම එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ කඳවුරු අතර බෙදී යනු ඇත. ලක්ෂ 62න් (දිස්ත්‍රික් පදනම මත) ජවිපෙ සහ ටීඑන්ඒ ඡන්ද ඉවත්කළ විට ඉතිරිවන ප්‍රමාණය එජාපෙට ලබා ගතහැකි ප්‍රමාණයයි. මෛත්‍රීට ලැබුණු ඡන්ද එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ ඡන්ද ලෙස විසංයෝජනය කිරීම තරමක් අසීරු කාර්යයයකි. ඒ සඳහා යම් උපකල්පන අවශ්‍ය වේ.
3. සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කිසිදු දිස්ත්‍රික්කයකින් 5% සීමාවට ලඟා නොවනු ඇති අතර ලක්ෂ 62න් යම් ඡන්ද ප්‍රමාණයක් 'නාස්ති කරනු' ඇත. මේ ඡන්ද වලින් ජාතික ලැයිස්තුවේ කොටයක් ලැබීමේ ඉඩකඩක් පවතී. පහසුව තකා මේ සාධකය නොසලකා හැර ඇත.
4. ජවිපෙ දිශාවට රැල්ලක් පෙනෙන්නට තිබේ. එහෙත්, මේ ඡන්ද ජනවාරි මාසයේදී මෛත්‍රීට ලැබුණු ඡන්ද මිස මහින්දට ලැබුණු ඡන්ද නොවේ. ඒ නිසා හානිය ඇත්තේ මහින්දට නොව එජාපෙටය. එජනිසට මෙන්ම එජාපෙටද රාජ්‍ය සම්පත් යුතු ලෙස යොදා ගැනීමට සහ මැතිවරණ නීති උල්ලංඝනයට ඉඩ ඇහිරී තිබීමේ වාසියද සම්ප්‍රදායික සහ වෙනස් මාදිලියක ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරන ජවිපෙටය.
5. විනිශ්චය කිරීමට අපහසුම ජවිපෙ ඡන්ද පදනමයි. මා සිතන පරිදි පසුගිය මැතිවරණයේදී ප්‍රපෙ යටතේ ජවිපෙ ලැබූ ඡන්ද එහි අවම සීමාවයි. සන්ධානය යටතේ තරඟ කර ජවිපෙ ලැබූ මන්ත්‍රීධුර ගණන ජවිපෙට තනිව තරඟ කර ලඟා විය නොහැකි සීමාවකි. 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිඵලය ජවිපෙට තනිව තරඟ කර ලඟා විය හැකි ඉලක්කයකි.
6. විනිශ්චය කිරීම වඩාත් පහසු ටීඑන්ඒ ඡන්ද පදනමයි. ප්‍රාදේශීය මැතිවරණයක් වූ උතුරු පළාත් සභා ඉලක්කයට ඔවුන් ලඟා නොවනු ඇත. එහෙත්, 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ද්‍රවිඩ සන්ධානයට අයත් පක්ෂ සියල්ල එකතුව ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් ඔවුන් ඉක්මවනු ඇත.
7. හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු කණ්ඩායම්ද, ශ්‍රීලනිප මෛත්‍රී පිලේ ඡන්ද පදනමක් තිබුණු කිහිපදෙනාද ජනවාරියේද සිටියේ මෛත්‍රී සමඟ නිසාත් දැනට සිටින්නේ එජාපෙ සමඟ නිසාත් ඡන්ද වලට බලපෑමක් නැත. මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කරන මඩකලපුවේ ප්‍රතිඵලයද එජාපෙ යටතේම දක්වා තිබේ.
8. දුමින්ද දිසානායක මෛත්‍රී සමඟ සිටියදීද අනුරාධපුර ජයග්‍රහණය කළේ මහින්දයි. ඔහු එජනිසයේ සිටීමෙන් එජාපෙට විශේෂ අවාසියක් නොවන අතර ශ්‍රීලනිපයේ මෛත්‍රී පිලට වාසියක් වීම පමණක් සිදුවේ. මෛත්‍රී නිසා වෙනස් වූ පොලොන්නරුව ඡන්ද ප්‍රතිඵලය පමණක් එජනිසයට වාසිදායක ලෙස වෙනස් වනු ඇත. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් එජනිසට වාසිදායක ලෙස වෙනස් වේ. (මෛත්‍රී පොලොන්නරුවේදී එජාපෙට යටින් උදවු කරනවානම් මෙය එසේ නොවිය හැකිය.)
9. රිෂාඩ් බදුර්දීන් සාධකය නිසා මහින්දට ලැබුණු වන්නි ඡන්ද එජාපෙට මාරුවනු ඇත. මෙයින් එක් මන්ත්‍රී ධුරයක් එජාපෙට වාසිදායක ලෙස වෙනස් වනු ඇත.
10. කම්කරු කොන්ග්‍රසයේ ඡන්ද තවදුරටත් එජනිසය සමඟ රැඳෙනු ඇත. ඔවුන් තනිව තරඟ කරන දිස්ත්‍රික් තුනේදී මහින්දගේ ඡන්ද යම් ප්‍රමාණයක්ද, මෛත්‍රීට ලැබුණු ඉන්දියානු දෙමල ඡන්ද යම් ප්‍රමාණයක්ද 'නාස්ති කරනු' ඇත.
11. බොදුබලසේනාවද යම් ගිනිය හැකි ඡන්ද ප්‍රමාණයක් නාස්ති කරනු ඇති බව මගේ අදහසයි. මේ ප්‍රමාණය පෙසප ලබාගන්නා ඡන්ද ප්‍රමාණය ඉක්මවනු ඇති අතර ප්‍රධාන වශයෙන් මහින්දගේ ඡන්ද සහ සුළු ප්‍රමාණයක් මෛත්‍රීට ලැබුණු හෙළ උරුම ඡන්ද වනු ඇත. විශේලේෂණයේදී මේ සාධක නොසලකා හැර ඇත.

බොහෝ දෙනෙකුට ඇති ප්‍රධානම ප්‍රශ්නය මහින්ද නැවත අගමැති වේද යන්නයි. මහින්දගේ අපේක්ෂාව එජනිසයට ආසන 117කි. මේ අනුව, මගේ පළමු විශ්ලේෂණය කෙරෙන්නේ එජනිසයට වඩාත්ම වාසිදායක තත්ත්වයන් යටතේය. මෙහිදී, මහින්දගේ ජනවාරි ඡන්ද පදනම නොවෙනස්ව තබා මෛත්‍රීගේ ඡන්ද එජාපෙ, ජවිපෙ සහ ටීඑන්ඒ අතර බෙදා තිබේ. එජනිසට වඩාත්ම වාසි සහ එජාපෙට වඩාත්ම අවාසි වන්නේ මෛත්‍රීගේ ඡන්ද වැඩිම ප්‍රමාණයක් ජවිපෙ විසින් කඩාගත් විටය. මේ අනුව ජවිපෙ මෙතෙක් තනිව ලබාගත් හොඳම ඡන්ද ප්‍රතිශත වන 2001 මැතිවරණයේදී ලබාගත් ප්‍රතිශත ඔවුන්ට වෙන්කර ඇත. ටීඑන්ඒ ඡන්ද වෙන්කිරීම ඉහත අංක 6 අනුවය. මෙයට අමතරව පොළොන්නරුවේ මෛත්‍රී සාධකය සහ වන්නියේ බදුර්දීන් සාධකය සලකා බලා තිබේ. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.



දෙවන විශ්ලේෂණය පිළියෙළ කර ඇත්තේ එජාපෙට වාසිදායක වන ලෙසින්ය. මෙහිදී මහින්දගේ ඡන්ද වලින් 15%ක් ඉවත් කර එයින් 1/3ක් එනම් 5% එජාපෙ ගොඩට එක් කර තිබේ. ජවිපෙ ඡන්දද 2001 උපරිමයෙන් 50%කට සීමා කර ඇති අතර මේ අනුව ඉතිරි 50% එජාපෙ ගොඩෙහි රැඳේ. අනෙතුත් සාධක සියල්ල නොවෙනස්ව තබා ඇත. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.


තෙවන විශ්ලේෂණය ඉහත තත්වයයන් දෙකට වඩා තරමක් ප්‍රායෝගිකයැයි මා සිතන අතරමැදි තත්ත්වයකි. මේ විශ්ලේෂණය දෙවන වගුව පිළියෙළ කිරීමට යොදාගත් විශ්ලේෂණයෙන් වෙනස් වන්නේ එක් කරුණකින් පමණි. දෙවන වගුව පිළියෙළ කිරීමේදී 2001 උපරිමයෙන් 50%කට සීමා කර ඇති ජවිපෙ ඡන්ද ප්‍රතිශත දෙවන වගුව පිළියෙළ කිරීමේදී එම උපරිමයෙන් 75% දක්වා ඉහළ නංවා තිබේ. අනෙතුත් සාධක සියල්ල නොවෙනස්ව තබා ඇත. අවසන් ප්‍රතිඵලය පහත වගුවේ තිබේ.


වඩා ප්‍රායෝගික තෙවන විශ්ලේෂණය අනුව පමණක් නොව දෙවන වගුවේ ඇති එජාපෙට වාසිදායක තත්ත්වය තුළ වුවද එජාපෙට බහුතරය ලබාගත නොහැකිය. එජාපෙට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමටනම් මහින්ද ලබාගත් ඡන්ද පදනමේ ඉතා විශාල නායයාමක් සිදුවිය යුතුය. කෙසේ වුවද, එජනිසයේ මෛත්‍රී පිලේ සහයෝගය ලබා රජයක් පිහිටුවීමේ හැකියාව තෙවන වගුවේ ඇති ප්‍රතිඵලය යටතේද එජාපෙට තිබේ. වත්මන් පෙළගැස්ම අනුව දෙවන හා තෙවන ප්‍රතිඵල යටතේ එජනිසයට රජයක් පිහිටුවීම අසීරු කාර්යයකි.

අනෙක් අතට පළමු වගුවේ ඇති එජනිසට වාසිදායක තත්ත්වය යටතේ වුවද මහින්දගේ කණ්ඩායමට බහුතරයක් නොලැබේ. එජනිසට බහුතරය ලබාගැනීමටනම් ජනවාරි ඡන්ද පදනම ඉක්මවිය යුතුය. එහෙත් ජනවාරි ඡන්ද පදනම රැකගත හැකිනම් එජනිසට බහුතරයට ආසන්න විය හැකිය. එජනිස මන්ත්‍රී ධුර ගණන මේ තරමට වැඩිවනවිට මහින්ද විරෝධීන් සැලකිය යුතු පිරිසක්ද තෝරා පත් වීම නොවැලැක්විය හැකිය. රනිල්ට අගමැති වීමටනම් මේ අයගෙන් අඩුවශයෙන් 31 දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වේ. මහින්ද විරෝධීන් මෙපමණ ප්‍රමාණයක් එජනිස ලැයිස්තු වලින් තෝරා පත්වීම අවිනිශ්චිතය.

එජාපෙ කණ්ඩායම තුලින්ද මහින්ද විරෝධී ශ්‍රීලනිප, හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය වැනි පසුගිය රජයේ පාර්ශ්වකරුවන් වූ මන්ත්‍රීවරු පත්වන නිසාත්, පිල් මාරුවට සුදානම් එජාපෙ මන්ත්‍රීවරුන්ද සිටින නිසාත් මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප රජයක් බිහිවීමේ වැඩි හැකියාවක් පවතී. විශේෂයෙන්ම මහින්ද නොවන වෙනත් ශ්‍රීලනිප සාමාජිකයෙකු අගමැති ධුරයට පත්කරගැනීම සඳහා එකඟතාවක් ඇතිවීමට පුළුල් ඉඩකඩක් තිබේ. මහින්ද අගමැති නොවන එවැනි ශ්‍රීලනිප රජයක් වුවද මහින්ද ප්‍රධාන කණ්ඩායමේ විශාල බලපෑමක් ඇති රජයක් වනු ඇත.

අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය තවමත් විවෘත බවයි. එජාපෙට රජයක් පිහිටුවීමට වැඩි ඉඩකඩක් ඇතත් එය නිශ්චිත ඉඩකඩක් නොවේ. වඩාත් ඉඩකඩ ඇත්තේ මේ පරාසය තුළ ප්‍රතිඵලයකට වුවත් දහයියා ගොඩ ඇතුලෙන් ඇවිලී ඇති ප්‍රමාණය නොපෙනෙන බැවින් මේ පරාසයෙන් පිටත විශාල ලෙස වෙනස් ප්‍රතිඵලයක් ලැබීමද සිදුවිය නොහැකි දෙයක් නොවේ.

Saturday, August 8, 2015

2050දී අපිත් පොරවල්ය




තව වසර තිස්පහකින් ලෝකයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය අනුව ශ්‍රී ලංකාව පස්වෙනි තැනට පත් වනු ඇත. මේ අනුව, 2050දී අපේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 65,910ක් වනු අතර අපට ඉදිරියෙන් සිටින රටවල් හතර වනුයේ, පිළිවෙලින්, ස්වීඩනය, ජර්මනිය, ඉතාලිය හා ජර්මනියයි. ඇමරිකාව, එක්සත් රාජධානිය, ජපානය වැනි දැනට උඩින් සිටින රටවල් මෙන්ම ඉන්දියාව, චීනය හා රුසියාව වැනි නැගී එන රටවල්ද මේ අනුව අපට වඩා දුප්පත් රටවල් බවට පත් වීමට නියමිතය.

 
මේ ප්‍රවෘත්තිය මෙවැනි කතා මේ දවස් වල හෝල්සේල් ඇසෙන මැතිවරණ වේදිකාවකින් අහුලාගත් එකක් නොවේ. විස්තර ඇත්තේ 'දී ඉකොනොමිස්ට්' සඟරාවට අනුබද්ධ 'ආර්ථික බුද්ධි අංශය' විසින් එළිදක්වා ඇති 'දිගුකාලීන සාර්ව-ආර්ථික පුරෝකථන' නම් වූ විශේෂ වාර්තාවකය. සැම සතියකම පාඨකයින් මිලියන 5.3ක් විසින් කියවන 'දී ඉකොනොමිස්ට්' සඟරාව ආර්ථික විද්‍යා විෂයයයෙහි පළවන ජනප්‍රියම සඟරාවයි. එහි ආර්ථික බුද්ධි අංශයට මෙවැනි පුරෝකථන පිලිබඳ මනා විශේෂඥතාවක්, දිගු පළපුරුද්දක් මෙන්ම ලොකු කීර්තිනාමයක්ද ඇති අතර ඇතැම් ආර්ථික විද්‍යා සංකල්ප මුල්වරට ඉදිරිපත් කිරීම පිලිබඳ ගෞරවයද හිමිවේ. (කෙසේ වුවද මෙය විමර්ශිත ජර්නලයක් නොවන අතර ඔවුන්ගේ විශ්ලේෂණයන් සාපේක්ෂව සරලය.)

ඉකොනොමැට්ටා කලබල වුණාට බලාගෙන ගියාම ණය ගැනීමේ ප්‍රශ්නයක් නැත. ඒක පුද්ගල අදායම ඩොලර් 65,910ක් වුණොත් ඩොලර් හත්අට දාහක පරණ ණය ලෝස් නැතිව ගෙවා දැමීම කජ්ජකි. දැන් අපිට තියෙන්නේ 2050දී අපේ රටට බෝට්ටු වලින් හොරෙන් පනින්නට එන ඇමරිකන් කාරයින්, ඉංග්‍රීසීන්, ඕස්ට්‍රේලියානුවන් වැනි දුප්පත් පොරවල් නැවැත්වීමට රටවටේ වැටක් ගහන එක ගැන හිතන්නටය.


මේ වාර්තාවේ තවත් බොහෝ දේ ඇති අතර එයින් ප්‍රධානම කරුණක් වන්නේ 2050 වන විට ලෝක ආර්ථිකය තුළ ආසියාවේ පංගුව 53% දක්වා ඉහළ යන බවයි. එමෙන්ම, 2026දී ඇමරිකාව අභිබවන චීනය 2050දීත් ලෝක ආර්ථික බලවතා වනු ඇති අතර ඇමරිකාවට වඩා 50%කින් විශාල ආර්ථිකයකට හිමිකම් කියනු ඇත. ඇමරිකාව දෙවන ස්ථානය රැකගනිද්දී තෙවන තැනට පත්වන ඉන්දියානු ආර්ථිකය ඇමරිකානු ආර්ථිකයෙන් 90%ක් පමණ විශාල වනු ඇත. මේ රටවල් තුන හැරුණු විට 2050දී විශාලම ආර්ථිකයන් හය වන (පිළිවෙලින්) ඉන්දුනීසියාව, ජර්මනිය, ජපානය, බ්‍රසීලය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය යන රටවල් සියල්ලම එකතු කළද ඉන්දියාවේ ආර්ථිකයට වඩා කුඩා වනු ඇත. මේ අනුව, චීනය, ඇමරිකාව සහ ඉන්දියාව 2050දී අනෙක් සියළු රටවල් වලට ඉහළින් යෝධයින් ලෙස නැගී සිටින ලෝක ආර්ථික බලවතුන් තිදෙනෙකු වනු ඇත.

ආර්ථික බුද්ධි අංශ විශ්ලේෂණය අනුව ලංකාවට ඒක පුද්ගල ආදායම අතින් ඉහළට පැමිණීමට හැකිවන්නේ ඉන්දියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි කලාපීය ආර්ථික බලවතුන් සමඟ එක පිම්මේ වර්ධනය වන අතරම ජනගහන වර්ධනය ඒ රටවලට වඩා අඩුවෙන් පවත්වාගැනීම නිසා විය යුතුය.
අදාළ වාර්තාව මෙහි ඇත.

(මීළඟ සටහන "අගෝස්තු 17 මොකක් වෙයිද?")

Wednesday, August 5, 2015

අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කළ හැකිද?


රූපවාහිණිය අපේ ගම් පළාත් වල ප්‍රචලිත වීමට පෙර යුගයේදී ජනප්‍රියව පැවති මධුමාදවී, අම්බිගා ගීතයෙන් ගීතය වැනි ගුවන් විදුලි වැඩසටහන් අතර නම හරියටම මතක නැති තවත් ජනප්‍රිය වැඩ සටහනක් වූයේ යම් තරඟ කොන්දේසි යටතේ ලබා දෙන මාතෘකාවක් ගැන විනාඩි දෙකක් (හෝ එවැනි වෙනත් නිශ්චිත කාලයක්) එක දිගට කතා කිරීමයි. මෙසේ කතා කිරීමේදී භාවිතා නොකළ යුතු තහනම් වචනයක්ද තරඟකරුට ලැබේ. උදාහරණයක් ලෙස වතුර ගැන කතා නොකර ලිඳ ගැන කතා කිරීමට තරඟකරුවෙකුට සිදු විය හැකිය. තරඟ කොන්දේසි අනුව වතුර සඳහා වන පර්යාය වචන භාවිතයද, එක දිගට තත්පර පහක් (හෝ එවැනි වෙනත් නිශ්චිත කාලයක්) නිහඬව සිටීමද, එකම වචනය තෙවරකට වැඩියෙන් යොදා ගැනීමද තරඟයෙන් ඉවත් වීමට හේතුවේ. මේ කොන්දේසි යටතේ වතුර අතහැර ලිඳ ගැන කතා කිරීම අරක්කු මඟහැර සැන්ඩි ගැන කතා කිරීම තරම් පහසු කටයුත්තක් නොවේ.

තවත් තීරණාත්මක ජාතික මැතිවරණයක් අත ළඟ ඇති මේ වෙලාවේ දේශපාලනය මඟ හැර බ්ලොග් ලිවීමද හරිම අමාරු වැඩකි. කොයි තරම් උත්සාහ කළත් ටයිප් වෙන්නේ තහනම් වචනමය.

රසිකොලොජිස්ට්ගේ සටහනකින් මම පහත වැකි දෙක උපුටා ගනිමි.

"ඡන්දය සම්බන්ධයෙන් ගත් කළ, ලංකාවේ අද පවතින ලොකුම ප්‍රශ්නය ලෙස මා දකින්නේ ඡන්දදායකයින් සෑහෙන ප්‍රතිශතයක් කැපුවත් යූඇම්පී, කැපුවත් සිරිලංකා වැනි දැඩි මතධාරීන් වීමයි."

"මා අධ්‍යයනය කර ඇති ආකාරයට 1947 සිට 1970 දක්වා කාලය තුළ රටේ ආණ්ඩු මාරු සාමාන්‍ය ක්‍රමයට ඇති විය." ඔහු ඒ ලෙසම ලියා නැතත් අදහස් කරනවායැයි මා සිතන පරිදි, "ඉන් පසුව මේ ප්‍රවණතාව වෙනස් විය."

මේ සටහනින් මා අදහස් කරන්නේ ඉහත කරුණු දෙක සඳහා හේතු වූ ඇතැම් කරුණු සාකච්ඡා කිරීමටය.

1931දී ඩොනමෝර් ව්‍යවස්ථාවෙන් අපට සර්වජන ඡන්ද බලය ලැබුණේය. මේ කාලයේදී පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ වලදී අපේක්ෂකයා මිස දේශපාලන පක්ෂය එතරම් ඉස්මතු වුයේ නැත. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ 1947දී ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු කාලයේදී ලංකා සමසමාජ පක්ෂය සහ කම්කරු පක්ෂය වැනි ඇතැම් පක්ෂ වලට යම් නිශ්චිත ජන පදනමක් තිබුණත් ආසන මට්ටමින් පැවති මැතිවරණ වලදී වඩාත් ඉස්මතු වූයේ අපේක්ෂකයා මිස පක්ෂය නොවේ.

රසිකොලොජිස්ට් සඳහන් කරන, සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මැතිවරණ පැවැත්වුණු, 1947-1970 යුගය මූලික වශයෙන් ද්වි පක්ෂ ක්‍රමයක් වූ ලංකාවේ පක්ෂ ක්‍රමය පැහැදිලි ලෙස පරිණාමය වූ කාලය ලෙස සැලකිය හැකිය. සමසමාජ පක්ෂය ප්‍රධාන වාමාංශික පක්ෂ වල තර්ජනය හමුවේ සමාජවාදී පාලන ක්‍රමයකට අකැමති වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්සත් ජාතික පක්ෂය ලෙස එකතු වීමත්, පසුව මේ පක්ෂයෙන් බිඳී ගිය කණ්ඩායමක් විසින් ශ්‍රීලනිපය ගොඩ නැඟීමත් අද වන තුරුත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන මේ පක්ෂ දෙකේ ආරම්භයයි.

දේශපාලනයේදී තමන්ගේ වාසියට තරඟ නීති සකස්කර ගැනීමේ අතීතය නිදහසින් පෙර යුගය දක්වා දිවයයි. සැලකිය යුතු දේශපාලන බලවේගයක් වූ ඉන්දියානු දෙමළුන්ගේ ඡන්ද බලය අහෝසි කරනු ලැබුවේ සමසමාජ පක්ෂය ප්‍රධාන වාමාංශික පක්ෂ වලට ඔවුන් අතර වූ පදනම නිසාය. මේ අනුව, පළමු සෝල්බරි පාර්ලිමේන්තුවේ බලය එජාපය විසින් ලබා ගත්තේය. සමසමාජය විපක්ෂය විය.

එජාපයෙන් කැඩී ගිය ශ්‍රීලනිපය සහ එජාපය අතර වූ ප්‍රතිවිරෝධතා මුල සිටම වුවද වාමාංශික පක්ෂ හා එජාපය අතර වූ ප්‍රතිවිරෝධතා තරම් විශාල නොවීය. "අම්මා අප්පා නොඅඳුනන, රුවන්වැලි සෑය පොළොවට සමතලා කර වී වවන්නට යන" සමසමාජය සමඟ හෝ "ධනපති පක්ෂයක් වන" එජාපය සමඟ එකතු වීමට අමාරු බොහෝ දෙනෙකුගේ තෝරාගැනීම ශ්‍රීලනිපය වූ අතර දෙවන පාර්ලිමේන්තුවේ බලය ශ්‍රීලනිපය ප්‍රධාන සභාගයක් වූ මහජන එක්සත් පෙරමුණට හිමිවිය. එවකට 12%ක් පමණ වූ ඉන්දියානු දෙමළුන් බැහැර කිරීමෙන් පසුවද මුල් පාර්ලිමේන්තුවේ මෙන්ම දෙවන පාර්ලිමේන්තුවේද විපක්ෂ නායකවරයා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන් ඇම් පෙරේරාය.

අපේ දේශපාලනයේ මුල සිටම පැවති ලක්ෂණයක් වූයේ ඡන්ද ජයග්‍රහණයෙන් පසු 'කළගුණ සැළකීම'යි. මේ අනුව, තමන් සහයෝගය දුන් පක්ෂය ජයග්‍රහණය කළ විට රජයේ රැකියා, රජයේ ඉඩම් වැනි සම්පත් භාවිතයට ඇති අවස්ථා ආදිය ලබා ගැනීමට පුද්ගලයෙකුට වැඩි අවස්ථා හිමි වේ. එසේ සහයෝගය නුදුන් අයට මේ ප්‍රතිලාභ නොලැබෙන අතර පසුකාලීනව දේශපාලන පලිගැනීම් වලට ලක්වීමට සිදුවීම දක්වා වර්ධනය විය. මා සිතන පරිදි මෙය අප විසින් ජාති, ආගම්, කුල ලෙස පුද්ගලයින් ලේබල් කිරීමේම දිගුවකි. ඒ අනුව, තමන්ගේ ජාතිය, ආගම, කුලය හෝ දේශපාලන පක්ෂය ගැන කිසිදු අදහසක් නොමැති ළදරුවෙකුට වුවද තම දෙමවුපියන් ලේබල් කෙරී ඇති කණ්ඩායම අනුව ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය හැකිය. ශ්‍රීලංකා ආණ්ඩුවක් යටතේ නිවස ගිණි  තබනු ලැබූ, රැකියාව අහිමි වූ යුඇන්පී පියෙකුගේ දරුවෙකු වැඩෙන්නේ ශ්‍රීලංකා කාරයින් ගැන තරහකිනි. තමන්ට නොලැබෙන සෙල්ලම් බඩු හෝ ඇඳුම් පැළඳුම්  වලට හේතුව ශ්‍රීලංකා ආණ්ඩුව වන නිසා ඡන්දය නැති මේ කෙලි පැටික්කියගේ හෝ කොලු පැටියාගේද අපේක්ෂාව යුඇන්පී ආණ්ඩුවකි. තමන්ට යුඇන්පීය සමඟ කොතරම් ප්‍රශ්න තිබුණත් දෙමවුපියන් යුඇන්පී ලෙස ලේබල් වී ඇත්නම් ශ්‍රීලංකා ආණ්ඩුවකින් සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් ලබා ගැනීම බොරුය. ඒ නිසා ප්‍රායෝගිකව හොඳම ක්‍රමය දෙමවුපියන්ගේ පක්ෂයේම සිටීමයි.

පක්ෂ සම්බන්ධතා මත දේශපාලන පලිගැනීම් සහ ලාභ ප්‍රයෝජන තීරණය වුවද එජාප ශ්‍රීලනිප තට්ටුමාරුව යටතේ වසර පහක් අල්ලාගෙන සිටීම මේ පක්ෂ දෙකේම සාමාජිකයින්ට අමාරු නොවූ නිසා "පක්ෂපාතීව" කාලයක් සිටීම හොඳ ක්‍රමෝපායයක් විය. මේ යුගයේදී, සීයලාගේ කාලයේ සිට යූඇම්පී කාරයෙක් වීම ළඟදී පක්ෂේ මාරු කළ දෙපිටකාට්ටුවෙකු වීමට වඩා මහත්පල මහානිශංශ ගෙනදුන්නේය. කෙසේ වුවද, මේ තට්ටුමාරු දේශපාලනයෙන් බැට කෑවේ වාමාංශික පක්ෂයි. රාජ්‍ය බලය හා බැඳුනු වරප්‍රසාද රහිතව හැමදාමත් එක දිගට ප්‍රහාරයටම ලක්වෙන, ප්‍රහාරකයා වීමේ බලාපොරොත්තුවක් පෙනෙන්නට නැති පක්ෂ සාමාජිකයින් රඳවා ගැනීම ප්‍රායෝගික නොවූ නිසා වාමාංශික පක්ෂ වලට සභාග වලට එක් වීමට සිදුවූ අතර පසුව සභාග තුල දියවී යාමටද සිදුවිය.

මේ තත්ත්වය වෙනස් වුනේ 1977න් පසු යුගයේදීය. 1977න් පසු යුගයේදී බොහෝ විට වරප්‍රසාද හිමිවන්නේ පාක්ෂිකභාවයටම නොවේ. නියෝජිතයින් තෝරා පත් කරගැනීම සඳහා මුදල් ආයෝජනය කරන හෝ අනාගතයේ මුදල් ආයෝජනය කිරීමේ විභවයක් ඇති අයටය. මේ අනුව, "කැපුවත් යූඇම්පී, කැපුවත් සිරිලංකා වැනි දැඩි මතධාරීන්" සෙමින් වුවත් දිය වී යාම මෑත කාලීන ප්‍රවණතාව බව මගේ අදහසයි.

එජාප ශ්‍රීලනිප තට්ටුමාරුව වසර පහෙන් පහට සිදුවුණත්, 1956දී හැර, තනි පක්ෂයක් ලෙස 1947-1977 දක්වා සෑම මැතිවරණයකදීම වැඩිම ඡන්ද ලබා ගත්තේ එජාපයයි. ශ්‍රීලනිප-ලසසප-කොප එක්වී තුනෙන් දෙකක බලයක් සහිත සමඟි පෙරමුණු රජය පිහිටුවාගත් 1970 මැතිවරණයේදීද එජාපය මුළු දිවයිනෙන්ම ලබාගත් ඡන්ද ප්‍රමාණය ශ්‍රීලනිපය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි විය. සාමාන්‍යයෙන් මාක්ස්වාදී පක්ෂයකට ඇති ලැදියාව අදාල පක්ෂයේ පුද්ගල ප්‍රතිරූප වලට ඇති ලැදියාවට වඩා වැඩි විය යුතු වුවත් සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වලට පැවති ආකර්ෂණය පුද්ගල ප්‍රතිරූප මත බොහෝදුරට පදනම් වූ බව පෙනීයයි. රටේ ඇතැම් තැන් වල පැවති 'රතු බලකොටු' වල විශාල ඡන්ද පදනමක් තිබුණු වාමාංශික පක්ෂ වලට ඒ බලකොටු වලින් පිටත සැලකිය යුතු ඡන්ද පදනමක් නොතිබුණේය. සංසන්දනාත්මකව, එජාපයට උතුරේ හැර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ සැලකියයුතු ඡන්ද පදනමක් තිබුණේය. මේ ඡන්ද බොහෝ දුරට ගොනුවී තිබුණේ පුද්ගල ප්‍රතිරූප වටා නොව පක්ෂය වටාය.

ශ්‍රීලනිප-ලසසප-කොප එකතුව තුලින් නිදහසින් පසු ප්‍රථම වරට ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලබාගත හැකි වූ අතර මේ 'විශාල' බලයේ එක් ප්‍රතිපලයක් ලෙස මහජනතාව විසින් වසර පහකට පත් කර ගනු ලැබූ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස තවත් වසර දෙකක් බලයේ සිටියේය. තමාගේ වාසියට ව්‍යවස්ථාව වෙනස් කරගැනීම සඳහා ජේආර්, මහින්ද ඇතුළු පසුකාලීන පාලකයින්ට ආදර්ශයක් සැපයූ මේ ක්‍රියාව ලංකාවේ පසුකාලීන දේශපාලනය මුළුමනින්ම වෙනස් කළේය.

1947-1977 පැවති සියළුම ආණ්ඩු වසර තුනක් පමණ යනවිට ජනප්‍රියතාවයෙන් පිරිහීමට පටන්ගෙන වසර පහ අවසාන වන විට ගෙදර යන තරමටම  පිරිහුණත්, යම් තරමක ජනප්‍රියතාවක් තවදුරටත් රඳවා ගත්තේය. එහෙත්, ඡන්දය පැවැත්විය යුතුව තිබුණු 1975 වන විටත් ජනප්‍රියතාවයෙන් පිරිහී තිබුණු සමඟි පෙරමුණු රජය 1977 වන විට මහජනතාවට හොඳටම එපා වී තිබීමේ ප්‍රතිපලය වූයේ 1977 මැතිවරණයේදී යූඇම්පියෙන් ඉල්ලන පොල්පිත්තකට වුවද ජයග්‍රහණය නළලේ කෙටී තිබීමයි. මේ අනුව ජෙආර්ට තුනෙන් දෙක නොව හයෙන් පහක්ම ලැබුණේය.

ජේආර් 1978 ව්‍යවස්ථාව හැදුවේම යූඇන්පියට සදාකාලිකව බලයේ සිටීමටය. මෙහිදී අතීතයේ පැවති ප්‍රවණතාවන් අනාගතයේදීද එලෙසෙන්ම පවතිනු ඇතැයි ඔහු උපකල්පනය කළේය. සමානුපාතික ක්‍රමය ගෙන ආවේ මේ අනුවය. මේ උපකල්පනනම්,
1. එජාපය සදාකාලිකවම දෙමළ බහුතර දිස්ත්‍රික්ක වල හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇත.
2. ශ්‍රීලනිපය හැර (සමසමාජ, කොමියුනිස්ට් වැනි) වෙනත් පක්ෂයකට දිස්ත්‍රික්කයකින් ලබාගත හැකි ඡන්ද ප්‍රතිශතය 12.5%කට වැඩි නොවනු ඇත.

මේ වන විට 19 වරක් සංශෝධනය වී ඇති 1978 ව්‍යවස්ථාව මුලින්ම සම්මත කිරීමේදී නීතිගත කෙරුණු මැතිවරණ ක්‍රමය අද ඇති ක්‍රමයම නොවන අතර එය ඒ ආකාරයෙන්ම කිසිදා ක්‍රියාත්මක නොවීය. මේ ක්‍රමය ගැන විස්තර 1978 ව්‍යවස්ථාවේ 96 සිට 100 දක්වා ඡේද වල තිබේ. මේ අනුව, 1972 ව්‍යවස්ථාවේ මන්ත්‍රී ධුර ගණන 160 සිට 196 දක්වා වැඩි කෙරිණි. 160 දෙනෙකු ජනගහණය අනුව දිස්ත්‍රික් අතර සමානුපාතිකව බෙදෙන අතර ඉතිරි 36 හතර බැගින් පළාත් නවයට බෙදීයයි. මේ වැඩිපුර 36 අවශ්‍ය වූයේ ජනගහන අනුපාතය අනුව දිස්ත්‍රික් අතර මන්ත්‍රී ධුර 160 බෙදීමේදී ඇතැම් දිස්ත්‍රික්ක වලට  එවකට හිමි වූ මන්ත්‍රී ධුර ගණන අඩුවීම වැළැක්වීමටය.

මේ ආරම්භක ක්‍රමය අනුව සල්ලන් වීමට දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් ඡන්ද 12.5%ක් ලබා ගත යුතුය. එසේ ලබා ගන්නා පක්ෂ අතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර ගණනට වඩා එකක් අඩු ප්‍රමාණයක් සමානුපාතිකව බෙදීයන අතර මෙසේ පැත්තකින් තබාගත් 'බෝනස්' මන්ත්‍රී ධුරය වැඩිම ඡන්ද ගත් පක්ෂයට හිමිවේ. සල්ලන් සීමාව 5% දක්වා අඩු වී ඇතත් අදද මන්ත්‍රී ධුර බෙදී යන්නේ මේ ක්‍රමයටමය. ජේආර්ගේ ආරම්භක සමානුපාතික ක්‍රමය අනුව 1947-1977 දක්වා 1956 හැර සියළු මැතිවරණ වලදී ජයග්‍රාහකයා එජාපයයි. එසේම සමසමාජය විපක්ෂය වූ යූඇන්පිය අටට වැටුණු 1956දීද එය ප්‍රබල විපක්ෂයක් වනු ඇත.

1978 ව්‍යවස්ථාව අනුව මනාප භාවිතයක් තිබුණේ නැත. එක් එක් පක්ෂය මඟින් අපේක්ෂකයින් ලැයිස්තුවක් ඉදිරිපත් කරන අතර මන්ත්‍රී ධුර හිමිවන්නේ ලැයිස්තුවේ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුවය. පක්ෂයෙන් ඉවත්වීම හෝ ඉවත් කරනු ලැබීම මන්ත්‍රී ධුරය අහෝසි වීමට හේතුවකි.

කෙසේ වුවද මේ ආරම්භක ක්‍රමයට කිසිදු මැතිවරණයක් පැවැත්වුණේ නැත. 1983දී පැවැත්විය යුතුව තිබුණු මැතිවරණය කලගෙඩි ලාම්පු සෙල්ලම මඟින් කල් දමනු ලැබූ අතර නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 1989දීය. ඒ වන විට මේ ආරම්භක ක්‍රමය බොහෝ සේ වෙනස් වී අවසානය.

1978 ව්‍යවස්ථාවේ ආරම්භක ක්‍රමයට වඩාත් ආසන්නව පැවති එකම මැතිවරණය 1981 සංවර්ධන සභා ඡන්දයයි. ශ්‍රීලනිප ඇතුළු දකුණේ ප්‍රධාන පක්ෂ විසින් වර්ජනය කෙරුණු මේ මැතිවරණයේදී ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණව සිටි ජවිපෙ මුල් වරට දිවයින පුරා පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දෙමින් යම් ජයග්‍රහණයන් ලබා ගත් අතර කුප්‍රසිද්ධ යාපනය පුස්තකාලය ගිණි තැබීමද සිදු විය. මේ මැතිවරණය පැවැත්වුණේ 1980 අංක 35 දරන සංවර්ධන සභා පණත අනුවය. සංවර්ධන සභා මැතිවරණ ක්‍රමය එවකට ව්‍යවස්ථාපිතව පැවති පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට බොහෝ සේ සමාන වූ අතර එක් සැලකිය යුතු වෙනසක් විය. එහි බෝනස් ආසන වෙන් කිරීමක් නොවූ අතර ආසන හරියටම සමානුපාතිකව බෙදුණේය. උතුරේ ආසන දෙමළ පක්ෂ වලට හිමිවන නිසා පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු කර ගැනීමට යූඇන්පියට බෝනස් ආසන අවශ්‍ය වුවත් ප්‍රාදේශීය මැතිවරණයකදී මෙය ප්‍රශ්නයක් නොවේ. එහෙත්, 12.5% සල්ලන් සීමාව එහිද පැවතුණේය.

සංවර්ධන සභා ඡන්දයෙන් ජේආර් බොහෝ දේ ඉගෙන ගත්තේය. ලැයිස්තු ක්‍රමය යටතේ පක්ෂය දිනවීමට වැඩ කිරීමට මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ට ලොකු උවමනාවක් නැත. නම ඇත්තේ ලැයිස්තුවේ උඩින්මනම් දිනුම නළලේ කෙටී ඇත. නම යටින්මනම් මළාට දිනිය නොහැක. මහන්සිවීමෙන් ප්‍රයෝජනයක් තිබිය හැක්කේ මැද හරියේ සිටින 'ආන්තිකයින්ට' පමණි. අනෙක් අතට, 12.5% සීමාව 5% දක්වා ගෙන ආවා කියා මේ වන විට හොඳටම හාමත් වී සිටි පැරණි වාමාංශික පක්ෂ වලට හෝ තවමත් විශාල ජනපදනමක් නැති 'අළුත් වම' වන ජවිපෙට ලොකු හානියක් කිරීමට ඉඩක් නැත.

ජේආර්ගේ ව්‍යවස්ථාව අනුව පැවැත්වුණු පළමු ඡන්දය වන 1989 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර 1988දී තකහනියේ ගෙන ආ 14වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සමානුපාතික මැතිවරණ ක්‍රමය සැලකිය යුතු ලෙස සංශෝධනය විය. මේ අනුව ලැයිස්තු වෙනුවට මනාප ක්‍රමය ආවේය. ජාතික ලැයිස්තුවෙන් 29ක් එක් වී මන්ත්‍රී ධුර ගණන 225 දක්වා වැඩි විය. සල්ලන් සීමාව 12.5% සිට 5% දක්වා අඩුවිය. මේ සියළු වෙනස්කම් කළේ යූඇන්පියේ වාසියටය. අන්තිමේ ඒ ඡන්දයෙන්නම් යූඑන්පිය බලාපොරොත්තු වූ ලෙසටම දිනුවේය.

ජේආර් බලාපොරොත්තු වූ පරිදි අතීතයේ සිදු වූ ආකාරයට හැමදේම දිගටම සිදු වුනේ නැත. වසර දාහතක් බලයේ සිටි එජාපය අන්තිමේදී පැරදෙන විට එජාපය මහජනතාවට හොඳටම එපා වෙලාය. මේ නිසා එජාපයට බලයේ සිටියාටත් වඩා වැඩි කාලයක් එක දිගට විපක්ෂයේ සිටීමට සිදුවිය.

කෙසේ වුවද සංශෝධිත 1978 ව්‍යවස්ථාව අනුව වුවත් පක්ෂ මාරුවට ඉඩ සැලසුනේ නැත. මෙය වෙනස් වුනේ පසුකාලීන අධිකරණ තීන්දු කිහිපයක් නිසාය. පක්ෂ වලට ඡන්ද ලබාදීම යන අදහස මත පදනම් වූ සමානුපාතික නියෝජනයක් පැවතෙද්දී පක්ෂ මාරුවට ඉඩ ලැබුණු විට සිදුවන්නේ විශාල විකෘතියකි.

රටක ව්‍යවස්ථාදායකයේ කර්තව්‍යය මහජනතාවගේ ශුභ සාධනය සලකා නීති සම්පාදනය කිරීමයි. අධිකරණය මේ නීති විශ්ලේෂණය කර අර්ථදක්වයි. මෙවැනි අර්ථදැක්වීමක් නීතියේ මුල් පරමාර්ථ හා ගැටෙන විට නීතිය වඩා පැහැදිලි වන ලෙස සංශෝධනය කිරීම ව්‍යවස්ථාදායකයේ වගකීමයි. එහෙත්, පසුගිය කාලයේදී එවැන්නක් සිදු නොවූ අතර එහි වාසිය ආණ්ඩු පක්ෂය ලබාගත්තේය.

ජේආර් මෙන්ම මහින්දගේ ආණ්ඩුද අමතක කළ කරුණක් වූයේ ආණ්ඩු මාරු වූ විට මෙවැනි තාවකාලික වාසි අවාසි බවට පෙරලෙන බවයි.

පවතින සමානුපාතික ක්‍රමයේ ගණිතය අනුව එළැඹෙන මැතිවරණයේදී කවර පක්ෂයකට හෝ බහුතර බලයක් ලබාගැනීමටනම් ඡන්දදායකයින්ගේ චර්යාවේ ඉතා විශාල වෙනසක් සිදුවිය යුතුය. එහෙත්, ජනවාරි සිට සිට මේ දක්වා කාලයේ සිදුවූ එවැනි විශාල වෙනසක් පෙනෙන්නට නැත. මහින්ද සමඟ තවදුරටත් සිටින සියල්ලන්ම පාහේ ජනවාරියේද මහින්ද සමඟ සිටි අයයි. එජාපෙ, ජවිපෙ හෝ දෙමල සන්ධානය සමඟ සිටින්නේ ජනවාරියේ මෛත්‍රී සමඟ සිටි අයයි. වෙනස්කම් සිදු වී ඇතත් ඒවා විශාල වෙනස්කම් ලෙස නොපෙනේ. මේ අනුව, 'සම්මත ක්‍රමයට' බහුතර ආණ්ඩුවක් පිහිටුවීම පහසු නොවනු ඇත.

මැතිවරණයෙන් පසුව පිල් මාරු කිරීම් සුලභ වනු ඇති අතර මන්ත්‍රී වරුන් ඉහල මිලකට වෙන්දේසි වනු ඇත. මෙහිදී ඡන්දදායක අපේක්ෂාවන් කඩ වන බව කිව යුතු නොවේ. මෙය අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ දැනට ඇති ලොකුම විකෘතියයි.

Sunday, August 2, 2015

රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර

පසු ගිය පෙබරවාරි මාසයේදී "මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළ" බව වාර්තා විය. අදාළ පුවත අනුව "දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය."

මගේ අදහස මහින්දගේ භාරය ගැන කතා කිරීම නොවේ. දෙවියන්ට වුවත් තවමත් කඩදාසි මුදල් වලට වඩා විශ්වාස, භාරය ඔප්පු කිරීමට යොදාගත් රන් හා රිදී ගැන කතා කිරීමය.

පෙර ලිපියෙහි සඳහන් කළ පරිදි, භාණ්ඩ හුවමාරුවෙන් වෙළඳාම ඇරඹු හෝමෝ සේපියන්ස්ලා පසුව මුදල් භාවිතය ඇරඹුහ. මුදල් ලෙස මුලින්ම භාවිතයට ගැනුණේ ධාන්‍ය වර්ග, එළුවන්, ගවයින් වැනි දේය. මේ දේවල් වල මුදල් නොවන වටිනාකමක්ද සෑම දෙනෙකුටම වාගේ තිබුණේය. අඩුවශයෙන් සහශ්‍ර නවයකට පෙර මෙවැනි ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කෙරී ඇත.

මුදල් වශයෙන් ලෝහ භාවිතය ජනප්‍රිය වෙන්නේ සහශ්‍ර තුනකට පමණ පෙරය. රන්, රිදී වැනි ලෝහ වල මුදල් නොවන වටිනාකමක්ද ඇතත් එය සීමිත වටිනාකමකි. රන් හැන්දෙන් රිදී පිඟානක ආහාර ගැනීමේ අවස්ථාව හැමෝටම නොලැබේ. රන් ගෑරුප්පුවකින් ඇණ චොකලට් සෝස් තැවරූ තෝර මාළු පෙති කෑමටද හැමෝටම නොලැබේ. එහෙත්, එවැනි අය සීමිත පිරිසක් හෝ සිටින බව සියළු දෙනාම දන්නා නිසා තමාගේ ශ්‍රමය හා හුවමාරුවට රන් හෝ රිදී වැනි දෙයක් භාර ගැනීමට බොහෝ දෙනා සූදානම් වූහ.

හරියටම කියනවානම් බොහොමයක් සාමාන්‍ය ජනතාවට රන් කාසියක් අතගෑමේ අවස්ථාව ජීවිත කාලයටම නොලැබුණු අතර බොහෝ විට ඔවුන්ගේ වත්කම මැනුනේ රිදී කාසි වලිනි. 'රිදී තිහක්' කියා අවිච්චියා කෑගසන්නේ අවිච්චියන් වූ සාමාන්‍ය ජනතාවගේ මුදල් රිදී වූ නිසාය. පැරණි භාෂාවන් වන ලතින් භාෂාවේ 'ආජෙන්ටුම්' යන වචනයත්, 'කෙසේ' යන හීබෘ වචනයත් මුදල් මෙන්ම රිදී යන තේරුම් දෙකෙන්ම යෙදෙන්නේ මේ නිසාය. සෑම බලවත් රටකම ධනවතුන්ටනම් රිදී වලට අමතරව රත්තරනින් රන් මාල බැඳීමට හැකි විය.

ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා වූ සහශ්‍ර දෙක තුළ ප්‍රධාන වශයෙන් ලෝකයේ භාවිතා වුයේ මුදල් වර්ග දෙකකි. ඒ රන් සහ රිදීය. චීනයේදී, පර්සියාවේදී හෝ රෝමයේදී රන් සහ රිදී වෙනත් භාණ්ඩ වෙනුවෙන් හුවමාරු කිරීමෙහි කිසිදු අපහසුතාවක් නොවීය. මේ යුගයේදී රටවල් අතර වෙළඳ පරිමාව අඩු වුවත්, ලෝකයම එකම වෙළඳපොළක් වූ ලෙස සැලකීම නිවැරදිය.

මේ කාලයේදී රන් හෝ රිදී ආකාර සොයාගත් හෝ යුද්ධයෙන් අයිති කරගත් ජාතීන්ට අනෙක් ජාතීන් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි විය. ග්‍රීසියේ සෞභාග්‍යයේ ඇරඹුම එහි රිදී ආකාරයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙනු ලැබ තිබුණු ග්‍රීසියේ රිදී ආකාර වල ආදායමද රජුට පමණක් අයිති නොවී සියලු දෙනාටම අයිති වූ නිසා රිදී කැනීමට ජනතාව පෙළ ගැසුණේ විශාල උනන්දුවකිනි.


මේ කාලයේ රටවල් සතුව ස්ථිර හමුදා නොපැවති අතර හමුදා වල සේවය කළෝ ගොවීහුමය. එනිසා හමුදා නඩත්තු කිරීම වියදම් අධික කාර්යයක් වූයේ නැත. ග්‍රීසියේදී මේ තත්ත්වය වෙනස් වූ අතර ස්ථිර නාවික හමුදාවක් සාදා නඩත්තු කිරීම වෙනුවෙන් තම රිදී ලාභාංශ යෙදවීමට ග්‍රීක වැසියන් කැමති වීම අවසන් වූයේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ අධිරාජ්‍යය ඉන්දියාවේ මායිමටම ව්‍යාප්ත වීමෙනි.

මහා ඇලෙක්සැන්ඩර් රජු පර්සියාව යටත් කර අත්පත් කරගත් රත්රන් සංචිත නැවත ග්‍රීසියට ගෙන ආ විට එහි රන් මිල 50%කින් අඩු වූ බව පැවසේ. එල්ටීටීඊ රත්තරන් ඒ තරම් නොතිබුණු නිසා ලංකාවේනම් එසේ වූයේ නැත.

 'ස්කන්ධ' නමින් ඉන්දියාවේදී හැඳින්වෙන කතරගම දෙවියන් යනු මහා ඇලෙක්සැන්ඩර් රජු බව එක් මතයකි. මේ මතය අනුව රණ ශූර ඇලෙක්සැන්ඩර් 'ඇලෙස්කන්ඩ' වී පසුව  'ස්කන්ධ' බවට පත් වී තිබේ. ඒ දවස් වල ගෑරුප්පු පාවිච්චිය ඇරඹී නොතිබුණ නිසා රන් ගෑරුප්පු නොතිබුණත් ඇලෙක්සැන්ඩර් වයින් බිවුවේත්, කෑම කෑවෙත් රනින් වැඩ දැමූ රිදී බඳුන් වලය. (ඔව්, දැකල තියෙනවා.) එය එසේ වී නම් රන් හා රිදී වලට ඇති කතරගම දෙවියන්ගේ කැමැත්ත තේරුම් ගැනීමට අපහසු නැත.

විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු පියවීම සඳහා ලෝහ යොදා ගැනීම අපහසු වූ නිසා ලෝහ වල අයිතිය සඳහන් කල පොරොන්දු පත්‍රයක් ලබා දීම පසුව මුද්‍රිත මුදල් දක්වා විකාශනය විය. එහෙත් මේ මුල් කාලීන මුද්‍රිත මුදල් වලට රන් (හෝ රිදී) වලින් මැනිය හැකි නිශ්චිත වටිනාකමක් තිබුණේය. මේ නිශ්චිත වටිනාකම නිසා රටවල් අතර වෙළඳාම තවදුරටත් කාර්යක්ෂම ලෙස පවත්වා ගත හැකි විය.

කෙසේ වුවද මෙවැනි කඩදාසි මුදල් ව්‍යාප්තිය වැඩි වෙද්දී එක් එක් රට වෙන වෙනම මුදල් නෝට්ටු නිකුත් කිරීම නිසා ඒවායේ හුවමාරු වටිනාකම පිලිබඳ අවිනිශ්චිතතාවක් ඇති විය. රන් සම්මුතිය හෝමෝ සේපියන්ස්ලා මේ ප්‍රශ්නයට සොයාගත් විසඳුමයි. මේ සම්මුතිය අනුව එක් එක් මුදල් ඒකකයේ වටිනාකම රනින් මිල කෙරුණු අතර ඕනෑම රටකට මුදල් නිකුත් කළ හැකි වූයේ තමන් සතුව ඇති රන් සංචිත වල ප්‍රමාණයටය.

රන් සම්මුතිය යටතේ රටවල් අතර උද්ධමනයේ වෙනසක් තිබීමට ඉඩක් නැති අතර යම් භාණ්ඩයක මිල සෑම රටකම වැඩි හෝ අඩු වන්නේ සමාන ආකාරයකටය. උදාහරණයක් ලෙස එක් රටක තිරිඟු නිෂ්පාදනය හදිසියේම වැඩි වුවහොත් ඒ රටේ තිරිඟු මිල අඩු වෙයි. එවිට අනෙතුත් රටවලින් තිරිඟු මිල දී ගැනීම (ලාබෙට ඇති නිසා) නිසා ඒ රටට වැඩියෙන් රන් සංචිත එකතු වේ. රන් වැඩි වී, තිරිඟු අඩු වීම නිසා (කොටසක් අපනයනය කිරීමෙන්) තිරිඟු මිල නැවත වැඩි වේ. එහෙත් මුලින් පැවති මිලටම වැඩි නොවේ. අනෙකුත් රටවල රන් සංචිත අඩු වී තිරිඟු සංචිත වැඩි වන නිසා ඒ රටවල තිරිඟු මිලද මේ මට්ටමටම පැමිණේ.

එක් රටක අලුතින් රන් සංචිත හමුවූ විටද සිදු වූයේ මෙවැන්නකි. එවිට ඉල්ලුම වැඩිවී ඒ රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වේ. එවිට ඒ රට අනෙකුත් රටවලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රන් සංචිත අනෙකුත් රටවලට බෙදී යයි.

මේ ක්‍රමය යටතේ එක් එක් රටවල වෙනස් මුදල් ඒකක තිබුණත් ඒවායේ වටිනාකම වෙනස් වූයේ ලෝකයේ කොහේ හෝ අලුතින් හමුවන රන් ප්‍රමාණය සහ ලෝකයේම සමස්ත නිෂ්පාදිතය අනුව එකම ආකාරයකටය. මේ ක්‍රමය බිඳ වැටී අද පවතින ක්‍රමය ඇති වූ ආකාරය පසුව සාකච්ඡා කරමු.

(පළමු හා තෙවන ඡායාරූප අන්තර්ජාලයෙනි. අනිත් දෙක ඉකොනොමැට්ටාගේය.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...