වෙබ් ලිපිනය:

Tuesday, July 7, 2020

ලෝකයට ණය වීම හා ලෝකයට ණය දීම

කලින් ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ රටක ජංගම ගිණුම ගැනයි. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නා රටකට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ වගේම දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් පවත්වා ගන්නා රටවලින් දිගින් දිගටම ප්‍රාග්ධනය පිටතට ඇදී යනවා.

මේක හරිම සරල දෙයක්. රටවල් පැත්තකින් තියලා තනි පුද්ගලයින් දිහා බැලුවත් ඔය දේ පැහැදිලිව පෙනෙනවා. දිගින් දිගටම ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් අතේ ප්‍රාග්ධනය එකතු වෙනවා. ආදායමට වඩා වියදම් කරන කෙනෙක් සතු ප්‍රාග්ධනය ටිකෙන් ටික ක්ෂය වෙනවා.

සෛද්ධාන්තිකව බැලුවොත් ආදායමට වඩා වියදම් කරන කෙනෙක් ආරම්භයේදී කොයි තරම් ධනවතෙක් වුනත් කාලයක් යද්දී දුප්පතෙක් විය යුතුයි. ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් කාලයක් යද්දී ධනවතෙක් විය යුතුයි.

රටවල් වලටත් මේ කතාව අදාළයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියා කියන්නේ ඒ රටේ සමස්ත පරිභෝජනය සමස්ත නිෂ්පාදිතයට වඩා අඩුයි. නිෂ්පාදිතයේ අතිරික්තය අපනයනය කර ලැබෙන ආදායම අනික් අතට ආනයන වෙනුවෙන් වැය කරන්නේ නැති නිසා රට ඇතුළේ විදේශ වත්කම් ගොඩ ගැහෙනවා. ඒ වගේම මෙහි අනිත් පැත්ත වුනොත්, ඒ කියන්නේ ආනයන ආදායම් ඉක්මවා අපනයන වෙනුවෙන් වියදම් කළොත්, බැරකම් ගොඩ ගැහෙන එකත් සිදු විය යුතුයි. නැත්නම් ආනයන සිදු වෙන්න විදිහක් නැහැ.

කලින් ලිපියේත් කතා කළ මේ කාරණා ඇසුරෙන් රටවල් තුළ ශුද්ධ වත්කම් හා බැරකම් සමුච්ඡය වෙන්න ජංගම ගිණුමේ ශේෂය බලපාන ආකාරය පැහැදිලි කළ හැකියි. නමුත්, මේ කතාව අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා, කාට හරි එසේ නොවන තැන් හොයාගෙන උදාහරණ ලෙස පෙන්වන්න බැරිකමක් නැහැ. ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටක් වුනත් ටිකෙන් ටික ධනවත් වෙන අවස්ථා ඇතැම් විට දකින්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙනත් ටිකෙන් ටික දුප්පත් වන රටවලුත් තිබෙනවා.

තනි පුද්ගල උදාහරණයට නැවත ගියොත් අපි හැම මාසයේම වැටුපෙන් කීයක් හෝ ඉතිරි කරන පුද්ගලයෙක් ගැන හිතමු. හරිනම් මේ පුද්ගලයා අතේ ටිකෙන් ටික ප්‍රාග්ධනය එකතු විය යුතුයි. නමුත්, කාලයකට පෙර පියා විසින් ඉඩම උගස් කර ලබාගත් ණයක පොලිය ගෙවන්න තිබෙනවානම්, මාසයේ වැටුපෙන් ඉතිරි වන මුදල ගෙවිය යුතු ණය පොලියට වඩා වැඩිනම්, මාස්පතා මුදලක් ඉතුරු කළත් කවදාවත් ධනවතෙක් වෙන්න බැහැ. ඒ වගේම, කිසිම රස්සාවක් නොකර කකා බිබී ඉන්න මනුස්සයෙක්ට වුනත් පරම්පරාවෙන් උරුම වූ දේපොළ විශාල තොගයක් තිබෙනවානම්, ඒ දේපොළ වලින් ලැබෙන ආදායම මාසයකදී වියදම් කරන මුදලට වඩා වැඩිනම් අවසාන වශයෙන් වෙන්නේ මේ පුද්ගලයා තවතවත් ධනවත් වෙන එකයි.

මේ කතා රටවල් වලටත් අදාළයි. ලෝකයට ණය වී සිටින රටවල් වලට ඒ වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න වෙනවා. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණත් ඒ අතිරික්තය පොලී ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් වෙන්නේ රට ටිකෙන් ටික දුප්පත් වෙන එකයි. ඒ වගේම ජංගම ගිණුමේ හිඟයක් තිබුණත් ලෝකය පුරා තිබෙන වත්කම් වලින් ඊට වඩා පොලී ආදායමක් එනවානම් අවුලක් නැහැ. ඒ නිසා, අපි ලෝකයේ එක් එක් රටවල් වල අනාගතය තේරුම් ගන්නනම් එම රටවල ශුද්ධ වත්කම් හෝ ශුද්ධ බැරකම් තත්ත්වයන් හඳුනාගත යුතුයි.

Table 1: Net IIP (Billions of Dollars)
2014 2015 2016 2017 2018 2019
Japan 2910.5 2715.2 2879.2 2916.6 3080.4 3339.3
Germany 1449.3 1535.1 1696.8 2191.1 2394.6 2747.7
China, P.R.: Mainland 1602.7 1672.8 1950.4 2100.7 2146.1 2124.0
China, P.R.: Hong Kong 870.2 1003.1 1153.8 1421.2 1282.5 1563.1
Norway 710.3 698.5 736.0 883.3 798.8 996.6
Singapore 591.2 647.1 754.1 867.2 769.9 896.0
Switzerland 661.0 650.4 813.3 866.9 889.4 838.7
Saudi Arabia 791.6 689.8 597.3 623.6 631.8 682.8
Canada 27.4 323.2 304.0 586.8 564.5 774.6
Netherlands, The 391.7 367.5 458.0 525.7 626.6 813.4
2014 2015 2016 2017 2018 2019
United States -6945.4 -7461.6 -8192.2 -7743.2 -9554.7 -10991.4
Spain -1202.3 -1043.1 -1004.3 -1191.5 -1104.3 -1035.5
Euro Area -1676.6 -1463.4 -983.8 -1058.0 -610.4 -77.3
Australia -695.2 -673.7 -701.2 -766.8 -718.4 -624.6
Brazil -705.9 -374.7 -566.6 -645.3 -594.3 -731.9
Ireland -380.4 -556.9 -519.3 -596.0 -612.5 -671.1
Mexico -598.6 -600.8 -532.3 -556.5 -591.3 -655.0
Turkey -446.7 -384.0 -368.4 -462.7 -371.6 -352.0
France -407.6 -309.4 -306.3 -456.8 -440.8 -633.6
India -361.5 -368.4 -367.3 -426.7 -433.7 -432.0

Source: IMF

හරියටම සමාන නැති වුනත් දිගින් දිගටම සෘණ ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් බොහොමයක් ලෝකයට ණය වී සිටින බව, එනම් සමස්ත ජාත්‍යන්තර වත්කම් වලට වඩා සමස්ත ජාත්‍යන්තර බැරකම් වැඩි බව පැහැදිලිව දැකිය හැකි දෙයක්. ඒ වගේම කාලයක් තිස්සේ දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් සතුව ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් තිබෙන බව පෙනෙනවා.


ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් ඇති රටවල් අතර පෙරමුණේ ඉන්නේ ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල්. අනිත් ගොඩේ පෙරමුණේම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. උඩ සිතියමේ තැඹිලි පාටින් දැකිය හැකි රටවල් ලෝකයට ණය වී සිටින රටවල්. නිල් පාටින් දැකිය හැක්කේ ණය හිමියන්. මේ මොහොතේ ලෝක භූ දේශපාලන යතාර්ථයන් අවබෝධ කර ගන්න උත්සාහ කරන කෙනෙක් මේ සිතියම මතක තබා ගත යුතුයි.

තෙල් නිධි ඇති රටවල් බොහොමයක් නිල් පාට රටවල් බව කැපී පෙනෙන කරුණක්. එහෙත්, ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල් ඒ ගොඩේ ඉන්නේ එවැනි ස්වභාවික වාසියක් නිසා නෙමෙයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය විශාල ණයකරුවෙකු වී සිටින්නේ අනෙක් තැඹිලි පාට රටවල් ණය කරුවන් වී සිටින හේතු නිසාම නෙමෙයි.

ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් හා ජංගම ගිණුමේ ශේෂයට අමතරව රටවල් අතර අනාගත ප්‍රාග්ධන ප්‍රවාහ තීරණය කරන වෙනත් සංකීර්ණ සාධකද තිබෙනවා. චීන-ඇමරිකා සීතල යුද්ධය තේරුම් ගන්න ඒ සාධකත් හැදෑරිය යුතුයි. එහෙත්, ලංකාව ඇතුළු වෙනත් බොහෝ රටවල් හා අදාළව මේ නිල්-තැඹිලි භේදයේ බලපෑම ඉතා පැහැදිලියි.

Monday, July 6, 2020

ප්‍රාග්ධන උගුල: ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ

රටවල් අතර ගනුදෙනු සිදුවන එක අද ඊයේ පටන් ගත් දෙයක් නෙමෙයි. ලංකාව සැලකුවත්, ජාත්‍යන්තර ගනුදෙනු සිදු වෙන්නේ සහශ්‍ර ගණනක සිටයි. එහෙත්, ඉතිහාසයේ කවර කාලයකවත් ලෝකයේ රටවල් අද තරමට ජාත්‍යන්තර ගනුදෙනු වලින් බැඳී සිට නැහැ.

ඉතිහාසය පුරා බොහෝ විට ජාත්‍යන්තර ගනුදෙනු සිදු වුනේ භාණ්ඩ හුවමාරු ලෙසයි. භාණ්ඩ හුවමාරුවකදී ගනුදෙනුව සිදු වුනාට පස්සේ එය එතැනින් ඉවරයි. හුවමාරු කර ගත හැකි දෙයක් තමන් සතුව නැත්නම් බොහෝ විට ගනුදෙනුවක් නැහැ. ඒ නිසා රටවල් අතර වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.

පසුව ගනුදෙනු වලදී මුදල් භාවිතයට ගැනුණා. මුලදී මුදල් වුනේ රන් රිදී වැනි වටිනා ලෝහ. ඒ අනුව භාණ්ඩ සමඟ රන් රිදී හුවමාරු වුනා. ලංකාව වගේ රන් ආකාර නැති රටවලටත් ජාත්‍යන්තර වෙළඳාම හරහා රන් ලැබුණා. ඒ රන් වෙනුවෙන් මොනවා හෝ වෙනත් වටිනා දෙයක් දෙන්න වුනා. මුතු, මැණික්, අලි ඇත්තු, පසුව කුරුඳු. මේ ආකාරයට ලැබෙන රන් වලින් ගෙවා වෙනත් ඇතැම් භාණ්ඩ මිල දී ගත හැකි වුනා. නමුත්, උපයාගත් රන් නැත්නම් භාණ්ඩ මිල දී ගත හැකි නොහැකි නිසා තවදුරටත්  වෙළඳාම නෛසර්ගික ලෙසම සමතුලිතයි.

දැන් ජාත්‍යන්තර වෙළඳාම සිදු වෙන්නේ ඉතිහාසයේ සිදු වුනු තරම් සරල ආකාරයකට නෙමෙයි. එක පැත්තකින් භාණ්ඩ එහා මෙහා වෙද්දී අනික් පැත්තෙන් භාණ්ඩ හෝ රන් එහා මෙහා වෙන්නේ නැහැ. ඒ වෙනුවට බැංකු කිහිපයක ගිණුම් සටහන් කිහිපයක් වැටෙන එකයි වෙන්නේ.

කිසියම් රටක් තවත් රටක් එක්ක ජාත්‍යන්තර වෙළඳාමේ නියැලෙමින් සිදු කරන අපනයන වල වටිනාකම හා ආනයන වල වටිනාකම හැම විටම හරියටම සමාන වෙන්නේ නැහැ. රටක ජංගම ගිණුමේ ශේෂයෙන් මේ වෙනස පිළිබිඹු වෙනවා. කිසියම් රටක් වෙනත් රටක් සමඟ වෙළඳාමේ නියැලෙන හැම විටෙකම ජංගම ගිණුමේ හර ගිණුම් සටහනක් හෝ බැර ගිණුම් සටහනක් වැටෙනවා. මේ සඳහා භාණ්ඩ හුවමාරුවක්ම සිදු විය යුතු නැහැ. සේවා හුවමාරුවක් වුවත් සිදු විය හැකියි. ආර්ථික වටිනාකමක් තිබෙන කවර හෝ දෙයක් වෙනුවෙන් මුදල් ලබා ගැනීමක් සිදු වූ විට එය ජංගම ගිණුමේ සටහන් වෙනවා.

මේ ආකාරයේ ගනුදෙනුවක් හරහා එක පැත්තකින් මුදල් සම්ප්‍රේෂණය වෙද්දී අනෙක් පැත්තෙන් කිසියම් ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් සම්ප්‍රේෂණය වන නිසා ගනුදෙනුව එතැනින් අවසානයි. එසේ නොවන ගනුදෙනුත් තිබෙනවා. විදේශ ණයක් ලබා ගැනීම එවැනි ගනුදෙනුවක්. එහිදී ආර්ථික වටිනාකමක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනුව එතැනින් ඉවර වෙන්නේ නැහැ. මේ මොහොතේ සිදු වෙන්නේ ගනු කොටස පමණක් නිසා දෙනු කොටස අනාගතයට ඉතිරි වෙනවා. මේ ආකාරයේ ගනුදෙනු ජංගම ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ සටහන් නොවෙන ඉහත ආකාරයේ ගනුදෙනු සටහන් වෙන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.

කිසියම් රටක් වෙනත් රටක් සමඟ කරන වෙළඳාමේදී ජංගම ගිණුම සමතුලිත විය යුතුම නැහැ. එහි ධන හෝ සෘණ ශේෂයක් තිබෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, ලෝකයේ අනෙක් හැම රටක් එක්කම කරන ගනුදෙනු වලින් පසුව ජංගම ගිණුමේ ශේෂයක් ඉතිරි වෙනවානම් එහි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාව ඇමරිකාව හා යුරෝපය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට වාසිදායක ධන ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. අනෙක් අතට ඉන්දියාව හා චීනය එක්ක කරන ගනුදෙනු වලදී ලංකාවට අවාසිදායක සෘණ ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වෙනවා. මේ ධන ශේෂය හා සෘණ ශේෂය එකිනෙකින් සමතුලිත වෙනවානම් අවසාන වශයෙන් ජංගම ගිණුම සමතුලිතයි.


කිසිම රටක ජංගම ගිණුම් ශේෂය කිසියම් වසරක් ඇතුළත හරියටම සමතුලිත වෙන්නේ නැහැ. භාණ්ඩ හෝ රන් හුවමාරු නොවන ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයකදී ලොකු අහම්බයකින් මිසක් එහෙම වෙන්න විදිහක් නැහැනේ. පොඩි ශේෂයක් හෝ ඉතිරි වෙන්න ඕනෑනේ. ඉහත සිතියමේ පෙන්වා තිබෙන්නේ 2017 වසරේදී ලෝකයේ රටවල් වල ජංගම ගිණුමේ ශේෂය හිඟයක්ද අතිරික්තයක්ද කියන එකයි. 2017න්  පසුව බොහෝ රටවල සංඛ්‍යාලේඛණ යාවත්කාලීන වී නැති නිසයි 2018 හෝ 2019 වෙනුවට 2017 ගත්තේ.

කිසියම් වසරකදී ජංගම ගිණුමේ පොඩි ශේෂයක් ඉතිරි වීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දිගුකාලීනව ගිණුම සමතුලිතනම් කිසියම් වසරක ශේෂය සමතුලිත නොවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෝකයේ ඇතැම් රටවල් ඒ විදිහට තමන්ගේ ජංගම ගිණුම දිගුකාලීනව සමතුලිත ලෙස පවත්වා ගන්නවා. ඒ වුනත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. ඇතැම් රටවල් විසින් දිගින් දිගටම ධන ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගැනීමත්, තවත් ඇතැම් රටවල් විසින් දිගින් දිගටම සෘණ ශේෂයක් පවත්වා ගැනීමත් අපට නිරීක්ෂණය වන සාමාන්‍ය තත්ත්වයයි.

Table 1: Current Account Balance (Billions of US Dollars)
2012 2013 2014 2015 2016 2017 2018
Germany 251.6 245.4 278.7 288.6 295.1 287.2 293.1
Japan 60.1 46.4 36.4 136.5 197 203.2 176.1
China, P.R.: Mainland 215.4 148.2 236 304.2 202.2 195.1 25.5
Netherlands, The 89.5 85.5 76 48.5 62.9 90.2 99.1
Korea, Rep. of 48.8 77.3 83 105.1 97.9 75.2 77.5
Singapore 52.1 48.3 56.5 57.6 56.2 55.6 64.1
Italy -5.1 24 40.1 25.4 48.4 51.4 51.5
Thailand -4.9 -8.8 11.6 27.8 43.4 44 28.5
Switzerland 71.3 79.7 60.6 76.6 66.2 43.6 57.9
Spain 0.7 27.6 22.7 24.1 39.3 35.6 27.3
2013 2014 2015 2016 2017 2018 2019
United States -348.8 -365.2 -407.8 -428.3 -439.6 -491 -498.3
United Kingdom -132.9 -144.6 -143.6 -141.8 -93 -110.2 -106.9
Canada -58.1 -41.9 -54.7 -47.3 -46.4 -43 -35.4
Turkey -55.9 -38.8 -27.3 -26.8 -40.6 -20.7 8.7
India -49.1 -27.3 -22.5 -12.1 -38.2 -65.6 -26.9
Australia -47.9 -43.4 -57 -41 -35.8 -29.3 7.1
Argentina -13.1 -9.2 -17.6 -15.1 -31.2 -27.3 -3.5
Algeria 1.2 -9.3 -27 -26.2 -22.1
Mexico -31.5 -25.4 -31 -24.3 -20.5 -23 -2.4
France -24.4 -37.4 -9.1 -12.2 -16.5 -19 -18.5

Source: IMF

වෙනත් විදිහකින් කිවුවොත් හැම රටකම ජංගම ගිණුමේ අහම්බෙන් පොඩි ශේෂයක් පමණක් ඉතිරි වෙනවානම් ඉහත සිතියමේ පාට වසරින් වසර අහඹු ලෙස මාරු විය යුතුයි. නමුත්, එහෙම වෙන්නේ නැහැ. 2018 හෝ 2019 වසර වල සිතියම බැලුවොත් පාට මාරු වී තිබෙන්නේ ඉතාම සුළු රටවල් ගණනක පමණයි. ලංකාවේ ජංගම ගිණුම් ශේෂය දිගින් දිගටම සෘණ. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය ගත්තත් එහෙමයි. අනෙක් පැත්තෙන් ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල දිගින් දිගටම දැකිය හැක්කේ ධන ජංගම ගිණුම් ශේෂයක්.

මේ ආකාරයේ ජංගම ගිණුම් අසමතුලිතතා දිගින් දිගටම පවතිනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී ප්‍රාග්ධනය ගලා යන නිශ්චිත රටාවක් තිබෙනවා කියන එකයි. ඒ කියන්නේ සෑම වසරකම ජර්මනිය, ජපානය, චීනය, දකුණු කොරියාව වගේ රටවල කිසියම් අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවල ප්‍රාග්ධනය ක්‍රමයෙන් ක්ෂය වෙනවා. මෙවැන්නක් වෙන්න පුලුවන්ද?

කිසියම් රටක ජංගම ගිණුම අසමතුලිතනම් එම අසමතුලිතතාව මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හරහා සමතුලිත විය යුතුයි. වෙනත් විදිහකට කිවුවොත් ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටවල් යම් ආකාරයකින් ඒ හිඟය පියවාගෙන තිබිය යුතුයි. එහෙම නැත්නම් වෙළඳාමක් සිදු වී තිබෙන්නේ බැහැනේ.

ජංගම ගිණුමේ හිඟයක් තිබෙන රටකට ඒ හිඟය පියවා ගන්න වෙන්නේ විදේශ ණය අරගෙනයි. එය එකම ක්‍රමය නෙමෙයි. සෘජු විදේශ ආයෝජන, දේශීය සම්පත් විකිණීම වගේ තවත් ක්‍රමත් තිබෙනවා. මේ හැම අවස්ථාවකම සිදු වෙන්නේ රට ඇතුළේ තිබෙන වත්කම් වල අයිතිය විදේශිකයින්ට හිමි වීමක්. මේ ආකාරයේ ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ.

මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ සටහන් වන ගනුදෙනු එතැනින් කෙළවර වන ගනුදෙනු නෙමෙයි. විදේශ ණය, දේශීය සම්පත් විකිණීම, සෘජු විදේශ ආයෝජන වගේ මොන ක්‍රමයකින් විදේශ ප්‍රාග්ධනය ලබා ගත්තත් අවසාන වශයෙන් සිදු වෙන්නේ අනාගතයේදී රටින් පිටතට ප්‍රාග්ධනය ගලා යන මාර්ගයක් විවෘත වෙන එකයි. අනෙක් අතට ණය දෙන, සෘජු විදේශ ආයෝජන කරන, විදේශ සම්පත් මිල දී ගන්න රටවලට අනාගතයේදී දිගින් දිගටම ආදායමක් ලැබිය හැකි, ප්‍රාග්ධනය ගලා එන මාර්ගයක් විවෘත වෙනවා. මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ දිගින් දිගටම ජංගම ගිණුමේ ශේෂයක් පවත්වා ගනිමින් ප්‍රාග්ධනය එක් රැස් කර ගෙන සිටින රටවලටයි.

අවසාන වශයෙන් වෙන්නේ ජංගම ගිණුමේ අතිරික්තය ප්‍රාග්ධන උල්පතක් බවට පත් වී දිගින් දිගටම තවත් ප්‍රාග්ධනය උපයන්න පටන් ගන්න එකයි. මේ ආකාරයේ ප්‍රාග්ධන ආයෝජන ප්‍රමාණවත් තරමට ඇත්නම් පසුකාලීනව ජංගම ගිණුම් ශේෂය හිඟයක් වුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ජංගම ගිණුමේ හිඟය පියවා ගත හැකි ආදායමක් ලබා දෙන වත්කම් රටෙන් පිට තිබෙන නිසා ඒ වෙනුවෙන් කාගෙන්වත් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, අවසාන වශයෙන් වැදගත් වෙන්නේ කිසියම් රටකට රටින් පිටත තිබෙන වත්කම් හා බැරකම් මොනවාද කියන එකයි.

රටින් පිටත ආදායම් උපදවන වත්කම් ඇති රටවල් ලෝක ණය හිමියෝ. ඒ වගේම රටින් පිටතට බැරකම් ඇති රටවල් ලෝක ණයකරුවෝ. ලෝකයේ සෑම රටකම ජංගම ගිණුම් සමතුලිතව තිබුණත් ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටවලට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ රටවල් එන්න එන්නම පෝසත් වෙනවා. ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටවල් දිගින් දිගටම දුප්පත් වෙනවා. ඒ රටවල් වලින් ප්‍රාග්ධනය දිගින් දිගටම පිටතට ගලා යනවා.

ශුද්ධ ජාත්‍යන්තර වත්කම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ආදායම් එනවා. ඒ වගේම ශුද්ධ ජාත්‍යන්තර බැරකම් ඇති රටක් තව දුරටත් ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්නවානම් ක්‍රම දෙකකින්ම ප්‍රාග්ධනය ක්ෂය වෙනවා. මේ තත්ත්වයන් වසරින් වසර කළමනාකරණය කරන්න යාමේදී සිදු වෙන්නේ ශුද්ධ ජාත්‍යන්තර බැරකම් තවත් ඉහළ ගොස් ප්‍රාග්ධනය වඩා වේගයෙන් ක්ෂය වෙන එකයි. කොයි ආකාරයකින් හෝ මේ චක්‍රයෙන් මිදුනේ නැත්නම් තාවකාලිකව කවර ආශ්චර්යයන් පෙනෙන්න තිබුණත් දිගුකාලීනව රට යන්නේ වල පල්ලටයි.

ජපානය, චීනය, සිංගප්පූරුව, ජර්මනිය වගේ රටවල් මේ චක්‍රයෙන් මිදී සිටිනවා වගේම වෙනත් රටවල් මේ චක්‍රයේ සිර වී සිටීමේ වාසියද ලබා ගන්නවා. ලංකාව දිගින් දිගටම මේ උගුලේ සිර වෙමින් සිටිනවා. කෝවිඩ් වසංගත කාලය මේ ගැන ගැඹුරින් සිතා ක්‍රියාත්මක වීමට සුදුසුම කාලයක්!

Friday, July 3, 2020

කෝවිඩ් වලට අඩුවෙන්ම බය කවුද?


කෝවිඩ් වෛරසය තවමත් ජයටම පැතිරෙනවා. ඊයේ දිනයේ ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකකට වඩා හමු වුනා. එය අලුත් වාර්තාවක්. අනෙක් බටහිර රටවල් බොහොමයක රෝගය පැතිරීම මේ වන විට පාලනය වී ඇතත් ඇමරිකාවෙන් දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යනවා. ඊයේ දිනය තුළ පමණක් අලුත් රෝගීන් 57,236 දෙනෙකු හඳුනා ගැනුණා. ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට දකුණු ඇමරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, චිලී හා මෙක්සිකෝව යන රට වලත්, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලා දේශය යන රටවලත්, දකුණු අප්‍රිකාවේත්, සවුදි අරාබියේත් මේ වන විට ඉතා වේගවත් රෝග ව්‍යාප්තියක් දැකිය හැකියි.

ඇමරිකා එක්සත් ජනපදයෙන් විශාල ලෙස රෝගීන් හමු වීමට පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව වැඩි පරීක්ෂාවන් ප්‍රමාණයක් සිදු වීමද හේතු වී ඇතත් එය එකම හේතුව නොවන බව පැහැදිලියි. රට විවෘත කිරීමෙන් පසුව රෝග ව්‍යාප්තිය නැවත ඉහළ ගොස් තිබෙනවා. මුල් අදියරේදී සෑහෙන තරමින් ජනප්‍රිය වූ රට වසා තැබීමේ අදහස මේ වන විට දේශපාලනිකව පරාජය වී ඇති බැවින් ඉදිරි සති වලදී ඇමරිකාවෙන් දිනකට හමුවන රෝගීන් ගණන ටිකෙන් ටික ඉහළ යයි. ඇමරිකාවෙන් දිනකට කෝවිඩ් රෝගීන් ලක්ෂයක් හමු වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

කෝවිඩ් හමුවේ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය වුනේ සෞඛ්‍ය අර්බුදය හා ඒ මත පාදක වූ ආර්ථික අර්බුදය එක් තනි අර්බුදයක් ලෙස සලකමින් කළමණාකරණය කිරීමයි. මෙහිදී බලයේ සිටින රිපබ්ලිකන් පක්ෂය ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම කෙරෙහි සැලකිය යුතු බරක් දැම්මා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මුදල් ප්‍රතිපත්ති හරහා මෙවර සිදු කළ ආර්ථික ප්‍රසාරණය පෙර නොවූ විරූ තරමේ එකක්. අප්‍රේල් මාසයේදී 14.7% මට්ටම දක්වා ඉහළ ගිය ඇමරිකාවේ විරැකියා අනුපාතය, මැයි මාසයේ 13.3% දක්වාත්, ජූනි මාසයේ 11.1% දක්වාත් අඩු වීමෙන් පෙනෙන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලින් ක්ෂණික ප්‍රතිඵල ලැබී ඇති බවයි.

පසුගිය ආර්ථික අවපාතයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය 10.0% දක්වා ඉහළ ගියා. ඒ 2009 සැප්තැම්බරයේදී. එහෙත්, ඉන්පසුව ඇමරිකන් ආර්ථිකය ක්‍රමයෙන් හිස ඔසොවද්දී විරැකියා අනුපාතයද දිගින් දිගටම ක්‍රමයෙන් පහළ ගියා. කෝවිඩ් අර්බුදය පැමිණෙන්නට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය තිබුණේ 3.5% තරම් පහළ මට්ටමකයි. එය වසර පණහක කාලයක් තුළ දැකිය හැකි වූ හොඳම තත්ත්වයක්. කෝවිඩ් ආක්‍රමණයත් සමඟ දෙමසක් ඇතුළත ඇමරිකාවේ වසර පණහක අවම විරැකියා අනුපාතය වසර පණහක උපරිම විරැකියා අනුපාතය බවට පත් වුනා.


කෝවිඩ් කම්පනයෙන් පසුව ආර්ථිකය නැවත සකස් වීමේදී කිසියම් ආකෘතිමය වෙනස්කමක්ද සිදු වෙමින් තිබෙන බව පෙනෙනවා. උදාහරණයක් විදිහට රැකියා අහිමි වූ සුදු ඇමරිකානුවන්ට නැවත රැකියා ලැබෙන තරම්ම ඉක්මණින් රැකියා අහිමි වූ ආසියානු ඇමරිකානුවන්ට රැකියා ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජීවත්වන ආසියානු ඇමරිකානුවන්ගේ විරැකියා අනුපාතය සුදු ඇමරිකානුවන්ද ඇතුළු අනෙකුත් සියලුම වාර්ගිකයින්ගේ විරැකියා අනුපාතයට වඩා අඩුයි. මෙය වසර 15ක පමණ සිට දැකිය හැකි වූ තත්ත්වයක්. පසුගිය පෙබරවාරි වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයක්.

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 3.1%
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 5.8%
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 2.5%
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 4.4%

අප්‍රේල් මාසය වෙද්දී තත්ත්වය මෙහෙමයි. (වරහන් ඇතුළේ තිබෙන්නේ වෙනස් වීම)

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 14.2% (11.1%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 16.7% (10.9%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 14.5% (12.0%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 18.9% (14.5%)

දැන් ජූනි වෙද්දී තත්ත්වය මෙහෙමයි.

සුදු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 10.1% (7.0%)
කළු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 15.4% (9.6%)
ආසියානු ජාතිකයින්ගේ විරැකියා අනුපාතය - 13.8% (11.3%)
හිස්පැනික්/ ලතීනෝ විරැකියා අනුපාතය - 14.5% (11.1%)


ප්‍රතිශතයක් ලෙස ගත්තොත් පෙබරවාරි-ජූනි කාලය ඇතුළත රැකියා වැඩිපුරම අහිමි වී තිබෙන්නේ ආසියානු ඇමරිකානුවන්ගේ. එයට හේතුව ඔවුන් ආසියානු ඇමරිකානුවන් වීමම නොවෙන්න පුළුවන්. ආසියානු ඇමරිකානුවන් සුදු ඇමරිකානුවන්ට වඩා කෝවිඩ් ගැන සැලකිලිමත් වීමත් මෙයට හේතුවක්ද?


මේ ආකාරයෙන්ම පිරිමින්ගේ හා කාන්තාවන්ගේ රැකියා අහිමිවීම් හා නැවත ලැබීම් වලද වෙනසක් දැකිය හැකියි. පෙබරවාරි මාසයේදී අවුරුදු 20ට වැඩි ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 3.3%ක් වෙද්දී අවුරුදු 20ට වැඩි ඇමරිකානු ගැහැණුන්ගේ  විරැකියා අනුපාතය තිබුණේ 3.1% මට්ටමේ. එහෙත් ජූනි මාසය වෙද්දී ඇමරිකානු පිරිමින්ගේ විරැකියා අනුපාතය 10.2%ක් වන විට ඇමරිකානු ගැහැණුන්ගේ  විරැකියා අනුපාතය 11.2%ක් වෙලා. පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව දැකිය හැකි වුනේ මෙහි අනෙක් පැත්තයි.

පශ්චාත් කෝවිඩ් ඇමරිකානු ශ්‍රම වෙළඳපොළ නැවත සකස් වෙන්නේ සුදු පිරිමින්ගේ වාසියටද? එහෙම නැත්නම් කෝවිඩ් පැතිරෙද්දී බය නැතිව රැකියා සොයාගෙන යන්නේ සුදු පිරිමින්ද?

(Image: https://www.france24.com/en/20200416-usa-donald-trump-coronavirus-covid-19-lockdown-reopen-economy-social-distancing)

Thursday, July 2, 2020

මුදල් මණ්ඩලයේ පුරප්පාඩු පිරවේ!


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වූ පුරප්පාඩු දෙක සඳහා මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිදු කළ ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන දෙදෙනාගේ පත් වීම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබෙනවා. නිල බලයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපති වන්නේ මහ බැංකුවේ අධිපතිවරයායි. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාද නිල බලයෙන් එහි සාමාජිකයෙකු වෙනවා. මුදල් මණ්ඩලයේ ඉතිරි සාමාජිකයින් තිදෙනාව මුදල් ඇමතිගේ  නිර්දේශය මත ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යනු නෛතිකව විශාල බලයක් ඇති ආයතනයක්. ශ්‍රී ලංකා මහ බැංකුව යන නමින් වත්කම් හිමි කර ගැනීමට, එම වත්කම් විකිණීමට, බැරකම් දැරීමට, මහ බැංකුවට සේවකයින් බඳවා ගැනීමට, එම සේවකයින්ගේ වැටුප් හා වරප්‍රසාද තීරණය කිරීමට මෙන්ම මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම ඇතුළු මහ බැංකුව විසින් කරන කුදු මහත් කටයුතු රාශියක් කිරීමට බලය තිබෙන්නේ මුදල් මණ්ඩලයටයි. මහ බැංකුව විසින් කරන කටයුතු වල නිල වගකීම තිබෙන්නේත්, ඒ කටයුතු හා අදාළව සිදුවන වරදකදී නඩු පැවරිය හැක්කේත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයටයි. මුදල් මණ්ඩලය යටතේ කටයුතු කරන නියෝජ්‍ය අධිපතිවරුන් දක්වා සියලු නිලධාරීන් විසින් කරන්නේ මුදල් මණ්ඩලයේ නියෝග ක්‍රියාත්මක කිරීමයි. සරලවම කියනවානම් මහ බැංකුව කියන්නේ මුදල් මණ්ඩලයයි.

පසුව ශ්‍රී ලංකා මහ බැංකුව වූ ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඉතිහාසය මහ බැංකුවේ ඉතිහාසයටත් වඩා පැරණියි. මහ බැංකුව ආරම්භ වුනේ 1950 අගෝස්තු 28 දින වුවත් ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්ථාපිත වුනේ 1950 ජූලි 1 දිනයි. ආරම්භයේදී මුදල් මණ්ඩලයේ සිටියේ සාමාජිකයින් තිදෙනෙකු පමණයි. රටේ මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමට තරම් සුදුසු පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සොයා ගැනීම අසීරු විය හැකි නිසා මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ගණන ආරම්භයේදී තුනකට සීමා කළ බව පැවසෙනවා.

ආරම්භයේදී මුදල් මණ්ඩලයේ සිටි සාමාජිකයින් තිදෙනාගෙන් දෙදෙනෙකුටම එම සාමාජිකත්වය හිමි වුනේ නිල බලයෙන්. ඒ මහ බැංකුවේ අධිපතිවරයා හා මුදල් අමාත්‍යංශයේ ස්ථිර ලේකම් වරයා. තෙවන සාමාජිකයාව අගමැතිගේ නිර්දේශය මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලැබුවා. පසුව අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට ජනාධිපතිවරයා ආදේශ වුනා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සංයුතිය මුලින්ම වෙනස් වුනේ 1974දී ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරයාද නිල බලයෙන් මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වීමත් සමගයි. එහෙත්, නැවතත් 1977දී මුදල් මණ්ඩලයේ සංයුතිය පෙර පරිදිම තිදෙනෙකු බවට පත් වුනා.

මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ගණන පස් දෙනෙකු දක්වා ඉහළ දැමුණේ මුදල් නීති පණතේ 2002 සංශෝධනයෙන් පසුවයි. ඒ අනුව දැන් මහ බැංකුවේ අධිපතිවරයා හා මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයාට අමතරව මුදල් මණ්ඩලය පත් කළ සාමාජිකයින් තිදෙනෙක්ගෙන් සමන්විතයි.

ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසේන මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සේ පත් වන 53 වන හා 54 වන පුද්ගලයින් දෙදෙනායි. මීට පෙර මහ බැංකු අධිපතිවරුන් 15 දෙනෙක්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරුන් ලෙස කටයුතු කළ 24 දෙනෙක්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සේ කටයුතු කළ එක් අයෙක් හා පත් කළ සාමාජිකයින් 18 දෙනෙක් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සේ කටයුතු කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරුන් ලෙස නිල බලයෙන් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ අය අතරින් තිදෙනෙකු ඊට අමතරව මහ බැංකු අධිපති ලෙසත් තවත් තිදෙනෙකු පත් කළ සාමාජිකයෙකු ලෙසත් මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය දරා තිබෙන නිසා අලුත් පත්වීම් වලට පෙර මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති පුද්ගලයින් ගණන 52ක්.

අලුතින් පත් කර තිබෙන ආචාර්ය රාණි ජයමහ මහ බැංකුවේ කාලයක් සේවය කර නියෝජ්‍ය අධිපති ලෙස විශ්‍රාම ගිය මහ බැංකු කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති තැනැත්තියක්. සමන්ත කුමාරසිංහ පෞද්ගලික ව්‍යවසායකයෙක්. ටික කලකට පෙර චණ්ඩි පැන්ඩා සබන් පිළිබඳ වෙළඳ දැන්වීමක් හා සම්බන්ධව යුනිලීවර් සමාගම සමඟ නඩු හබයක පැටලී ජයගත්තේ ඔහුගේ සමාගමයි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලියු. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගල හා පසුගිය පෙබරවාරි මාසයේදී මුදල් මණ්ඩලයේ 52වන සාමාජිකයා ලෙස පත් කරනු ලැබූ සංජීව ජයවර්ධනද සමඟ මේ වන විට මුදල් මණ්ඩලය අංග සම්පූර්ණයි.

Monday, June 29, 2020

හෝම්ලස් මිනිස්සු


ඇමරිකාවේ නිවාස අහිමි ජනතාව අපේ බ්ලොග් එක කියවන සමහර අයගේ විශේෂ අනුකම්පාවට ලක් වන පිරිසක්. ලංකාවේ නිවාස අහිමි අයට නිවාස ලබා දෙන්න ඇමතිලා හිටියත් ඇමරිකාවේ එහෙම නැති නිසා මේ විශේෂ අනුකම්පාව ඇති වෙනවා වෙන්න පුළුවන්.

ඇමරිකාවේ නිවාස අහිමි ජනගහණය පිළිබඳව වාර්ෂික සමීක්ෂණයක් සිදු කරනවා. ඇමරිකාවේ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදු කරන මේ සමීක්ෂණයේදී වසරේ නිශ්චිත දිනක රැය ගෙවන්නට සුදුසු ස්ථිර වාසස්ථානයක් නැති පුද්ගලයින් ප්‍රමාණය ඇස්තමේන්තු කෙරෙනවා. එය බොහෝ විට සිදු කරන්නේ ජනවාරි මාසයේ අවසන් සතියේදී. පසුගිය 2019 වසරේදී මෙසේ ඇස්තමේන්තු සකස් කළ දිනයේ නිවාස අහිමිව සිටි පිරිස 567,715ක්. එයින් 43%ක්ම සිටින්නේ කැලිෆෝර්නියා හා නිවු යෝර්ක් ප්‍රාන්ත වලයි.

කිසියම් දිනක මෙවැනි ගණන් ගැනීමක් කරන විට විවිධ හේතු මත නිවාස අහිමි පුද්ගලයෙකු බවට පත්ව සිටින අය හමු වෙනවා.
- ලැව් ගිණි, සුළි සුළං ආදී කිසියම් ස්වභාවික ආපදාවක් නිසා තාවකාලික නවාතැනක සිටින අය
- පවුල් ප්‍රශ්න නිසා නිවසින් පිටව ගොස් සිටින අය; උදාහරණයක් විදිහට ගෙදරින් පැන යන දරුවන්
- මානසික රෝග, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වැනි හේතු නිසා නිවසින් බැහැරව රැය පහන් කරන අය
- මුදල් ප්‍රශ්න නිසා පාරට වැටී සිටින අය

මේ බොහෝ දෙනෙක් බෝඩ් අල්ලා පාරේ හිඟා කන අය නෙමෙයි. සමහර විට ස්ථිර වාසස්ථානයක් හොයා ගන්නා තුරු හෝටලයක හෝ වෙනත් අයෙකුගේ නිවසක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා එදා රැය බස් නැවතුමක හෝ වෙනත් පොදු ස්ථානයක පහන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් බෝඩ් අල්ලා පාරේ හිඟා කන අයත් මේ අතර ඉන්නවා.

පසුගිය දවස් වල අප කතා කළ රට ගිය ඇත්තෝ කතාවේ සිරිල් සපරමාදු හෝම්ලස් තත්ත්වයට පත් වෙන්නේ ඔහුගේ පුතා ඔහුව අපාර්ට්මන්ට් එකේ තබා පැන ගිය දවසේ නෙමෙයි. ඔහුගේ දුවගේ නිවසේ සිට ඔහු පුතාගේ අපාර්ට්මන්ට් එකට එන දවසේයි. සිරිල් සපරමාදු පුතාගේ අපාර්ට්මන්ට් එකට නොපැමිණ හෝටලයක නැවතුණත් ඔහු හෝම්ලස් පුද්ගලයෙක්. නිවසක් ලෙස හඳුන්වන, මිනිස් වාසයට සුදුසු, නිශ්චිත ස්ථිර වාසස්ථානයක් නැත්නම් එය හෝම්ලස් වීමක්.

ගණනය කළ රැයේ නිවාසයක් අහිමි තත්ත්වයට පත් වී සිටි 567,715 දෙනෙකුගෙන් 396,045 දෙනෙක් තනි පුද්ගලයින්. ඉතිරි පිරිස, එනම් 171,670 දෙනෙක්, නිවාස අහිමිව සිටි පවුලක සාමාජිකයින්.

නිවාස අහිමි අයගෙන් 63%ක්, එනම් 356,422ක්, කවර හෝ සුදුසු වාසස්ථානයක රැය ගෙවන අය වුවත් ඉතිරි පිරිස මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ අයයි. එම ප්‍රමාණය 211,293ක්. මෙසේ මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ වැඩි දෙනෙක්, එනම් 196,514ක්, තනි පුද්ගලයින්. එවැනි තැනක රැය ගෙවූ පවුල් වල සාමාජිකයින් ප්‍රමාණය 14,779ක්. ආසන්න වශයෙන් නිවාස නිවාස අහිමි පවුල් පන්දහසක් පමණ. මේ අයගෙන් බොහෝ දෙනෙක්ද කිසියම් හේතුවක් නිසා තාවකාලිකව නිවාස අහිමි වී සිටින අයයි.

මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ පිරිස අතරින් 119,487ක් සුදු ජාතිකයින් වන අතර 56,381ක් කළු ජාතිකයින්. අඩකටත් වඩා, එනම් 108,432 දෙනෙක් කැලිෆෝර්නියානුවන්.

නිවාස අහිමි ඇමරිකානුවන් අතරින් 96,141 දෙනෙක් ප්‍රවේණිගත නිවාස අහිමි පුද්ගලයින් ලෙස සැලකෙන අයයි. මේ අර්ථකථනයට වැටෙන්නේ පසුගිය වසර තුනෙන් අවම වශයෙන් වසරක කාලයක් එක දිගට හෝ වරින් වර නිවාස අහිමි තත්ත්වයට පත්ව සිටි අයයි. ඒ අය අතරින් 60,941 දෙනෙක් මිනිස් වාසයට නුසුදුසු තැනක රැය පහන් කරන අය. බොහෝ දෙනෙක් හෝම්ලස් පුද්ගලයින් සේ හඳුනා ගන්නා සිරිල් සපරමාදු චරිතයේ අවසන් කාලයේ සිටින තත්ත්වයට පත් වී සිටින අය ඉන්නේ මේ ගොඩේ.

ගණනය සිදු කරන රැයේ කවර හේතුවක් නිසා හෝ නිවාස අහිමිව සිටි මුළු පිරිස ඇමරිකාවේ ජනගහණයෙන් 0.17%ක් වුවත්, ඒ අය අතරින් සිරිල් සපරමාදු ඔහුගේ පුතාගේ නිවසේ සිටියාක් මෙන් වාසයට සුදුසු නිවසක සිටින අය හා තාවකාලිකව නිවාසයක් අහිමිව සිටින පිරිස ඉවත් කිරීමෙන් පසුව, ප්‍රවේණිගත නිවාස අහිමි තත්ත්වයේ සිටි පිරිස මුළු ජනගහණයෙන් 0.02%කට අඩුයි. තාවකාලිකව හෝ වාසයට යෝග්‍ය නොවන තැනක රැය පහන් කළ පිරිසද එකතු කළ විට ජනගහණයෙන් 0.06%ක්.

ඇමරිකාවේ නිවාස අහිමි පිරිස් පිළිබඳව පසුගිය සැප්තැම්බරයේදී ධවල මන්දිරයේ ආර්ථික උපදේශක සභාව විසින් සකස් කළ අලුත්ම වාර්තාවක ඇමරිකාවේ නිවාස අහිමි වූවන්ගේ ප්‍රශ්නයට ප්‍රධාන හේතු හතරක් හඳුනාගෙන තිබෙනවා.

- නිවාස වෙළඳපොල අධි නියාමනය: ප්‍රාන්ත ආණ්ඩු හා ප්‍රාදේශීය ආණ්ඩු විසින් වාණිජ හා නේවාසික ගොඩනැගිලි ඉදි කළ හැකි කලාප තීරණය කිරීම, ගෙවල් කුලී සීමාවන්, නිවාස ප්‍රතිසංස්කරණය පිළිබඳ රෙගුලාසි, බලශක්ති හා ජල භාවිතය කාර්යක්ෂම කිරීම සඳහා වන නීති, උපරිම ජන ඝනත්ව සීමාවන්, ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීම, තෙත්බිම් සුරැකීම ඇතුළු පාරිසරික රෙගුලාසි, වාහන නැවැත්වීම සඳහා අවම ඉඩකඩ ආදී විවිධ ආකාර වලින් නිවාස ඉදි කිරීමේ කර්මාන්තය "ඕනෑවට වඩා" නියාමනය කිරීමේ අවසන් ප්‍රතිඵලය නිවාස මිල ඉහළ ගොස් කිසියම් පිරිසකට එම මිල දරා ගත නොහැකි වීමයි. නියාමනයේ බර ඉහළ යන තරමට නිවාස ඉදි කිරීමේ පිරිවැය හා නිවාස මිල අතර පරතරය ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. වාර්තාවේ ඇස්තමේන්තු අනුව අධි නියමනයේ බර නොවන්නට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ නිවාස අහිමි ජනගහණය 54%කින් අඩු වෙනවා. ඇමරිකාවේ ප්‍රධාන නගර දහයක නිවාස අහිමි ජනගහණය 71,709කින් හෙවත් 31%කින් අඩු වෙනවා.

- පොදු ස්ථාන වල නිදා ගැනීම පාලනය නොකිරීම: එළිමහනේ රැය ගෙවීම අසීරු ප්‍රදේශ වල නිවාස අහිමි පුද්ගලයින් දැකිය හැක්කේ අඩුවෙන්. එයට හේතුව එම ප්‍රදේශ වල එළිමහනේ රැය ගෙවීමට කාලගුණය බාධාවක් වීමයි. එහෙත්, කාලගුණය මේ සඳහා බලපාන එකම සාධකය නෙමෙයි. ඕලන්ඩෝ, ලාස් වේගාස් හා සැන් ෆ්‍රැන්සිස්කෝ නගර තුනේම සාමාන්‍ය ජනවාරි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 50-60 අතර වුවත් ජනගහණය දස දහසකට නිවාස අහිමි ප්‍රමාණය 2, 19, 60 ලෙස සැලකිය යුතු තරම් වෙනස් වීමෙන් පෙනෙන්නේ කාලගුණයට අමරතව වෙනත් සාධක මේ සඳහා බලපාන බවයි.

- නිවාස අහිමි පිරිස් සඳහා නිවාස සැපයීම: නිවාස අහිමි පුද්ගලයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඔවුන්ට නිවාස සැපයීමෙන් තාවකාලිකව නිවාස අහිමි පුද්ගලයන් ප්‍රමාණය අඩු වී ප්‍රශ්නය යටපත් වන නමුත් දිගුකාලීනව එයින් සිදු වන්නේ තවත් බොහෝ පිරිසකට නිවාස අහිමි තත්ත්වයට පත් වීමට දිරි දීමක්. ඒ නිසා දිගුකාලීනව මෙයින් සිදු වන්නේ නිවාස අහිමි පුද්ගලයන්ගේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වීමයි.

- පුද්ගල සාධක: නිවාස අහිමි පුද්ගලයින්ගෙන් 111,122ක් (20%ක්) මානසික ආබාධ වලින් පෙළෙන අයයි. තවත් 86,647ක් (16%ක්) දරුණු ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයයි. සමාජ සම්බන්ධතා බිඳ වැටීම තවත් හේතුවක්. 2017 වසරේදී නිවාස අහිමි අය සඳහා ඇති වාසස්ථාන කරා පැමිණි අයගෙන් 51%ක්ම කෙළින්ම නිවසක සිට පැමිණි අයයි.

මේ වාර්තාවේ විශ්ලේෂණ සිදු කර තිබෙන්නේ ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම්ව වුවත් එම විශ්ලේෂණ තුළින් පිළිබිඹු වන්නේ ඇමරිකාවේ නිවාස අහිමි වූවන්ගේ ප්‍රශ්නය පිළිබඳ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ මතය කියා කිව හැකියි. ඩිමොක්‍රටික් පක්ෂයට නැඹුරුවක් ඇති අය මෙය දකින්නේ නිවාස අහිමි පිරිස් වලට "දඬුවම් කර" ප්‍රශ්නය විසඳීමේ ක්‍රමවේදයක් ලෙසයි.

Saturday, June 27, 2020

ගුණරුවන් වාර්තාව හා MCC සල්ලි වලට වූ දේ


මහ බැංකුවේ අර්බුදය, කෝවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය, ලංකාවේ කෘෂිකර්මය, එළැඹෙන මහ මැතිවරණය, එළැඹෙන ඇමරිකානු ජනාධිපතිවරණය වගේ ගොඩක් දේවල් ගැන ලියන්න අවශ්‍යව තිබුණත් මේ දවස් වල වෙනත් වැඩක හිර වී ඉන්න නිසා ලොකුවට කාලය මිඩංගු කරන්න අමාරුයි. නමුත්, ගුණරුවන් වාර්තාව එළියට පැමිණීමෙන් පසුව ඒ ගැන කිසිවක්ම නොලියාත් බැහැ. බ්ලොග් එක වෙනුවෙන් යෙදිය හැකි කාලය සීමිත නිසා ලියන්න වෙන්නේ ලියන්න අවශ්‍ය දේවල් වලින් ඉතාම සුළු කොටසක් පමණයි.

"සය මසකට ආසන්න කාලයක් පුරා මේ පිළිබඳව කරන ලද අධ්‍යයනයන් හා විමර්ශනයන්හි තොරතුරුද, ඒ මත කරන ලද නිරීක්ෂණයන් හා බැසගත හැකි වූ තාර්කික නිගමනයන්ද, ප්‍රස්තුත ගිවිසුම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබීම යෝග්‍ය බවට කමිටුව විසින් කෙරෙන නිර්දේශයන් ද ඇතුළත් කරමින් කමිටුවේ අවසන් වාර්තාව මෙසේ ඉදිරිපත් කෙරෙයි."

කමිටුව විසින් වාර්තාව සකස් කර තිබෙන්නේ මාස හයක කාලයක් අරගෙනයි. කමිටුවේ අධ්‍යයන ක්‍රමවේදය වාර්තාවේ හය වන පිටුවේ විස්තර කර තිබෙනවා. එහි අධ්‍යයනය සඳහා පාදක කරගත් තොරතුරු ලබාගත් ආකාර අටක් සඳහන්ව තිබෙනවා. එයින් අටවැන්නට අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමද ඇතුළත්.

මා මේ ලිපිය ලිවීමට පාදක කරගන්නා එකම මූලාශ්‍රය අන්තර්ජාලයයි. එමෙන්ම මා මේ සඳහා පැය කිහිපයකට වඩා මිඩංගු කරන්නේ නැහැ. එහෙත්, කමිටු සාමාජිකයින්ට සොයා ගත නොහැකි වූ ඇතැම් දේවල් ඕනෑම කෙනෙකුට ගූගල් සෙවුමක දුරින් හොයා ගන්න පුළුවන්. මේ ලිපියේ ඉදිරිපත් කරන්නේ කියවන ඕනෑම පාඨකයෙකුට එසේ පහසුවෙන් සොයා ගත හැකි තොරතුරුයි.

MCC ගිවිසුමේ ප්‍රධාන ව්‍යාපෘති යෝජනා දෙකම දැනට ලංකාව සිටින තත්ත්වයේ සිට ඉදිරි පිම්මක් පැනීමට ඉඩ සලසන ඉතා හොඳ ව්‍යාපෘති බව මගේ පෞද්ගලික අදහසයි. ඒ බව මා මීට පෙර ද කියා තිබෙනවා. ඒ අවස්ථාවේදී ඇතැම් අය එවැනි ප්‍රකාශයක් දැක්කේ එවකට පැවති එජාප ආණ්ඩුවට වාසිදායක ප්‍රකාශයක් ලෙසයි. දැන් එජාප සාධකය නැහැ. එජාප ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කළ හැකිව තිබුණු ව්‍යාපෘති යෝජනා දැන් මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළත් ඒ වාසි අඩු වන්නේ නැහැ. ඒ නිසා, මගේ පෞද්ගලික අදහස ආණ්ඩු මාරුවෙන් පසුව වෙනස් වී නැහැ.

මා අදටත් මේ ව්‍යාපෘති යෝජනා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ඩොලර් මිලියන 480ක  මුදලක් නිකම් ලැබෙන නිසා නෙමෙයි. නිකම් ලැබෙන නිසා ඕනෑම දෙයක් ගත යුතුයි කියන මතයේ මම නැහැ.

ලංකාව ගොඩ යන්නනම් කළ යුත්තේ කුමක්ද කියන එක බොහෝ දෙනෙක් වරින් වර මගෙන් අහන ප්‍රශ්නයක්. මා විසින් මේ කළ යුතු දේවල් ලැයිස්තුවක් හදනවානම් MCC ගිවිසුමේ ප්‍රධාන ව්‍යාපෘති යෝජනා දෙකම හෝ ඊට ආසන්නව සමාන යෝජනා අනිවාර්යයෙන්ම එහි උඩට එනවා. ඒ යෝජනා දෙක අතරින්ද වඩාත්ම ඵලදායී යෝජනාව ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනාවයි.

මා එසේ හිතන්නේ තනිකරම ලංකාවේ පැත්තෙන් බලලා. MCC ගිවිසුම ක්‍රියාත්මක කරනවානම් එය කරන්නේ රනිල්ගේ නායකත්වයෙන්ද ගෝඨාභයගේ නායකත්වයෙන්ද කියන එක වැදගත් කරුණක් නොවනවාක් මෙන්ම මේ ගිවිසුමේ ඇති ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කරන්නේ MCC ගිවිසුම යටතේද නැද්ද කියන එකත් වැදගත් කරුණක් නෙමෙයි. මා මේ ව්‍යාපෘති යෝජනා වෙනුවෙන් පෙනී සිටින්නේ එම යෝජනා MCC ගිවිසුමේ ඇතුළත්ව තිබෙන නිසා නෙමෙයි. MCC ගිවිසුම ප්‍රශ්නයක්නම් එය ක්‍රියාත්මක නොකර අදාළ ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කළත් ප්‍රශ්නයක් නැහැ.

ලංකාවට දැන් සිටින අදියරේ සිට ඉදිරි පිම්මක් පනින්න විශාල ඉඩම් ප්‍රතිසංස්කරණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඔවුන්ගේ වාසියට ක්‍රියාත්මක කළ ඉඩම් පනත් දෙකක හානිය ආපසු හැරවිය හැක්කේ එසේ කිරීමෙන් පමණයි.  කොහොම වුණත් මේ අවස්ථාවේ ලංකාවේ බොහෝ දෙනෙක් MCC ගිවිසුමේ ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනාවට අකැමැති බව පෙනෙන නිසා රටේ බහුතර ජනතාව විසින් කරුණු අවබෝධ කරගන්නා තුරු එවැනි ප්‍රතිසංස්කරණ සිදු කිරීම යෝග්‍ය නැහැ. ඒ පදනම මත මේ අවස්ථාවේ වත්මන් MCC ගිවිසුම අත්සන් කළ යුතුයැයි මා සිතන්නේ නැහැ. රටේ බහුතර ජනතාවගේ සහයෝගය නැතිව ක්‍රියාත්මක කරන කොයි තරම් හොඳ ප්‍රතිසංස්කරණ යෝජනාවක් වුවත් සාර්ථක නොවෙන්න ඉඩකඩ වැඩියි.

මේ ලිපියෙන් මා MCC ගිවිසුමේ හොඳ නරක හෝ එහි අන්තර්ගතය ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙහි අවධානය යොමු කෙරෙන්නේ වාර්තාවේ පසුබිම් කරුණු වලට පමණයි. ගුණරුවන් වාර්තාවේ දෙවන පිටුවේ මේ පසුබිම් කරුණු සඳහන් වෙනවා.

"එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් MCC පණත අත්සන් කළ මුල් අවදියේම, එනම් 2004 පෙබරවාරි 11 දින, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් MCC ප්‍රදාන ලබා ගැනීම උදෙසා අපේක්ෂකත්වයට ශ්‍රී ලංකාව සුදුසු බව දන්වනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් සිය යෝජනා MCC වෙත ඉදිරිපත් කරන ලද බව 2004 දෙසැම්බර් 29 දාතමින් යුතු අංක 373 සහිත තානාපති සටහනෙහි සඳහන් වුවද එවැනි යෝජනා අඩංගු ලිපි ලේඛන කිසිවක් කමිටුවට ඉදිරිපත් වී නැත. ඉන් අනතුරුව, 2005 දෙසැම්බර් 8 දින 2006 දෙසැම්බර් 7 දින ලිපි මගින්ද මේ බව MCC ආයතනය විසින් එවක ශ්‍රී ලංකා ජනරජයේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නැවතද දන්වනු ලැබ තිබුණද, 2015 වන තෙක් රජය විසින් මේ පිළිබඳව යම් ඉදිරි පියවරක් ගෙන ඇති බවක් කමිටුවට නිරීක්ෂණය නොවේ."

ගුණරුවන් වාර්තාව අනුව ඇමරිකාව  MCC ආධාර දෙන්න කොයි තරම් උත්සාහ කළත් 2015දී ආණ්ඩුව වෙනස් වන තුරුම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එයට කැමති වෙලාම නැති බවයි පෙනෙන්නේ. ඒ ඇත්තද?

ඇමරිකාව MCC ආධාර ලබා දීම සිදු කරන්නේ නිශ්චිත පදනමකින්. මේ පදනම මා පෙර විස්තර කර තිබෙනවා. MCC ආධාර ලබා දෙන ක්‍රමවේදයේ වෙනස්කම් ගණනාවක්ම තිබෙනවා. එක පැත්තකින් බැලුවොත් මේ හරහා වෙන්නේ විදේශ ආධාර හරහා ලෝකයේ රටවලට දේශපාලනික බලපෑම් කිරීමට ඇමරිකාවේ විධායකයට (ජනාධිපතිවරයාට) ඇති හැකියාව සීමා කිරීම. මේ ආධාර ලබා දීමේදී ඉටු වන්නේ ඇමරිකාවේ ව්‍යවස්ථාදායකයේ අභිලාෂයි. ඒ කියන්නේ, පුද්ගල රුචිකත්වයන් වෙනුවට නීති ප්‍රතිපාදන අනුව එහෙමත් නැත්නම් ඇමරිකානුවන්ගේ පොදු අභිලාශ අනුව කටයුතු සිදුවීමයි. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමයට වගේම MCC ආධාර වැඩ සටහනටත් වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා එතරම් කැමැත්තක් නොදක්වන්නේ මේ හේතුව නිසයි.

- ආධාර ලබා දීම සඳහා රටවල් තෝරා ගන්නා ක්‍රමවේදය (MCC rewards performance, not promises.): මේ යටතේ ආධාර ලැබෙන්නේ පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සඳහා නැඹුරුවක් ඇති රටවල් වලටයි. මෙහිදී කිසියම් රටක් විසින් කරන්නට බලාපොරොත්තු වන බව කියන දේවල් වෙනුවෙන් නොව දැනට කර ඇති දේවල් අගය කිරීමක් කෙරෙනවා. ලකුණු ලබා දෙන ක්‍රමවේදය දැනුම් දීමෙන් පසුව ආධාර කිසිවක් ලබා දෙන්න පෙරම ඇතැම් රටවල තත්ත්වයන් හොඳ අතට වෙනස් වී තිබෙනවා.

- ලබා දෙන ආධාර මුදල (MCC assistance is an investment): ඉහත ඉලක්කය අත් කර ගත හැක්කේ දැනෙන තරමේ ලොකු ආධාර මුදලක් රටකට ලබා දීමෙන් පමණයි. එවැනි ලොකු මුදලක් එක් ව්‍යාපෘතියකට ලබා දීමේදී එයින් අවශ්‍ය ප්‍රතිලාභ ලැබෙන බව පෙනී යා යුතුයි.

- ව්‍යාපෘති යෝජනා අදාළ රටවල් විසින්ම සකස් කිරීම (MCC gives responsibility to its partners): සම්ප්‍රදායිකව සිදු වුනේ ආධාර දෙන රටවලට අවශ්‍ය ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමයි. MCC ආධාර වැඩසටහන මේ සම්ප්‍රදායෙන් බැහැර වී එක් එක් රටවල් විසින් ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනා අතරින් කිහිපයක් තරඟකාරී පදනමින් තෝරා ගන්නවා.

- පාරදෘශ්‍යභාවය හා පුළුල් සහභාගීත්වය: ඇමරිකාවේ විශ්වාසය අනුව රටක ආණ්ඩුවට අමතරව විරුද්ධ පක්ෂය, සිවිල් සංවිධාන ආදියත් ව්‍යාපෘති යෝජනා පිළිබඳව එකඟ විය යුතුයි. යෝජනා ඉදිරිපත් කරන ආණ්ඩුව කියන විදිහට මේ යෝජනා වලින් රටේ විශාල පිරිසකට සෙත සැලසෙනවානම් එවැනි පුළුල් සහයෝගයක් නැති වෙන්න හේතුවක් නැහැ.

MCC පණත සම්මත කිරීමෙන් පසුව 2004 ජූලි මාසයේදී මුල් වරට අදාළ ආදායම් සීමාවේ සිටි රටවල් 68ක් තෝරාගෙන එම රටවල "ලකුණු පුවරු" සකස් කිරීමෙන් පසුව අදාළ ලකුණු මට්ටම ඉක්මවා සිටි රටවල් 16ක් 2004 නොවැම්බර් මාසයේදී තෝරා ගැනුණා. ඒ අනුව, 2005 වසරේදී MCC අරමුදල් ලබා ගැනීම සඳහා සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට මේ රට වලට හැකි වුනා. අදාළ රටවල් 16 ට ලංකාවද ඇතුළත් වුනා. එතැන් සිට සෑම වසරකම මේ ලැයිස්තුව යාවත්කාලීන කරනවා. එහිදී ඇතැම් රටවල් ලැයිස්තුවෙන් ඉවත් වෙනවා. වෙනත් රටවල් ලැයිස්තුවට එකතු වෙනවා. 2004 ලැයිස්තුවට ඇතුළත්ව සිටි කේප් වර්ඩ් ඊළඟ වසරේදී ලැයිස්තුවෙන් ඉවත් වුනා. මොන්ගෝලියාව අලුතින් එකතු වුනා.

මුල් වටයේදී හා දෙවන වටයේදී සුදුසුකම් ලැබූ රටවල් 17න් 15ක්ම 2005-2007 කාලය ඇතුළත MCC ආධාර වැඩසටහන යටතේ ආධාර ලබා ගත්තා. එයින් රටවල් ගණනාවක්ම මේ වන විට දෙවන වරටද ආධාර ලබාගෙන තිබෙනවා. ආධාර ලබා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කළ රටවල් අතරින් ආධාර ලබා ගත නොහැකි වුනේ ලංකාවට හා බොලීවියාවට පමණයි.

MCC වැඩ සටහන මුලින්ම ක්‍රියාත්මක වුනේ ලංකාවට සුනාමිය පැමිණීමෙන් පසුව ලෝකය වටෙන්ම ආධාර ලැබෙමින් තිබුණු කාලයේ. සුනාමියෙන් විශාල ජීවිත හානියක් සිදු වුනත් එයින් සිදු වූ ආර්ථික හානිය එතරම් විශාල නැහැ. ලැබුණු ආධාර ප්‍රමාණය සැලකූ විට සමස්තයක් ලෙස ආර්ථික වශයෙන් වාසියකුයි සිදු වුනේ. මේ ආධාර මුදල් යොදා ගත් ආකාරය පිළිබඳව විවිධ ගැටළු තිබුණා. මේ පසුබිමේ ලංකාව MCC ආධාර ලබා ගන්න උත්සාහ කළේත් මේ විශාල මුදල් කන්දරාව ලබා ගැනීමේ අරමුණින් මිසක්, රටේ වැඩි දෙනෙකුට යහපත සැලසෙන පරිදි එම මුදල් යොදවන ආකාරය ගැන ලොකුවට හිතමින් නෙමෙයි. එවර ලංකාවට ආධාර ලබා ගත නොහැකි වීමට එයත් හේතුවක් වුනා.

MCC ආධාර වැඩ සටහන ආරම්භ කරද්දී ආධාර ලබන රටවල් විසින්ම තමන්ට අවශ්‍ය ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම අලුත් දෙයක්. ඒ වන විට, බොහෝ අඩු ආදායම්ලාභී රටවල රජයයන් පුරුදුවී සිටියේ ආධාර දෙන රට විසින්ම ව්‍යාපෘති යෝජනාවද සකස් කර දෙන ක්‍රමයකටයි. සල්ලි ලැබෙනවානම් එතැනින් එහාට මේ ගොඩක් රටවලට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇතැම් රටවල් සල්ලි එක්කම ව්‍යාපෘතියක්ද ඉදිරිපත් කරන මෙන් MCC නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ තත්ත්වය දැනටත් මුළුමනින්ම වෙනස් වී නැහැ. එක් නිල වාර්තාවකට අනුව මුලින් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්‍යාපෘති වාර්තා හෝදන්න දමන රෙදි බාස්කට් එකට දැමිය යුතු තත්ත්වයේ තිබුණු ඒවා. මුලින් සුදුසුකම් ලැබූ රටවල් වලින් දෙකක් හැර අනෙක් සියලු රටවල් අවසාන වශයෙන් ආධාර ලබාගත් නිසා මෙසේ ලොන්ඩරි බාස්කට් එකට දැමිය යුතු මට්ටමේ තිබුණු සංකල්ප පත්‍රිකා ඉදිරිපත් කළේ පෙර කී රටවල් දෙකෙන් එකක් වෙන්න පුළුවන්.

කොහොම වුනත් හරියකට ව්‍යාපෘති යෝජනාවක් හදාගන්න බැරිකම බොහෝ රටවලට තිබුණු පොදු ප්‍රශ්නයක්. ඒ සඳහා කාලය වැය වනවා වගේම විශේෂඥ දැනුමක්ද අවශ්‍ය වෙනවා. අවශ්‍ය විශේෂඥ දැනුම රටේ නැත්නම් විදේශ විශේෂඥයින් යොදා ගන්න වෙනවා. ඒ සඳහා සැලකිය යුතු මුදලක් වියදම් වෙනවා.

MCC ව්‍යාපෘති සඳහා ලබා දෙන විශාල ආධාර මුදල් වලට අමතරව MCC සමාගම විසින් සුදුසුකම් ලත් රටවලට ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේ වියදම් ලෙසත් මුදල් ආධාර ලබා දී තිබෙනවා. මේ අනුව, 2005-2010 අතර කාලය තුළ ලංකාව විසින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සඳහා ඇමරිකාවේ MCC ආයතනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 3.6ක මුදලක් ලබා ගෙන තිබෙනවා. මානව හිමිකම්, යහපාලනය ආදී ක්ෂේත්‍ර වල වූ දුර්වලතා හේතුවෙන් 2007 වසරේදී ලංකාව MCC ආධාර මුදල් සඳහා සුදුසුකම් ලබන රටවල් ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසුව මෙසේ ආධාර ලැබීම නැවතී තිබෙනවා.

නැවතත් ලංකාව MCC ආධාර මුදල් සඳහා සුදුසුකම් ලබන්නේ 2016 වසරේදී. එයින් පසුව නැවතත් ලංකාවට MCC ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සඳහා මුදල් ආධාර ලැබෙමින් පවතිනවා. 2016 වසරේ සිට එසේ ලැබී ඇති මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 4.3ක්. මේ මුදල් MCC ආධාර යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දෙන මුදලෙන් කොටසක් නෙමෙයි. ඒ මුදල් ලබා දෙන්නේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවයි. ඉහත කී ඇමරිකන් ඩොලර් මිලියන 4.3ක මුදලෙන් ඇමරිකන් ඩොලර් 133,135.14ක මුදලක් ලබා ගෙන තිබෙන්නේ 2020 වසරේදීයි. මේ මුදල් අවස්ථා අටකදී ලබා ගෙන තිබෙනවා. ඇතැම් විට ගුණරුවන් කමිටුවේ වියදම් වෙනුවෙන් වැය කළේත් MCC ගිණුමේ වූ ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විය හැකියි.

මේ වන විට MCC ගිවිසුම සඳහා ලංකාවේ පුළුල් ජන සහයෝගයක් නැති බව පැහැදිලියි. එවන් තත්ත්වයක් යටතේ මේ ගිවිසුම ක්‍රියාත්මක කර ඇමරිකාව විසින් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගැනීම අසීරුයි. ඒ නිසා, ඇමරිකාවේ පැත්තෙන් හිතනවානම් මේ වෙලාවේ කළ යුත්තේ ඇමරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති නොකර මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අදහස අත් හැර දැමීමයි. එහෙත්, ලංකාව MCC මුදල් ලබා ගැනීම සඳහා නුසුදුසු තැනකට තවමත් වැටී නොමැති නිසා MCC පණතේ ප්‍රතිපාදන අනුව ඇමරිකාවට මෙය කිරීම අසීරු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා රජය විසින් සෘජුවම නිල වශයෙන් ගිවිසුමෙන් ඉවත් වෙනවානම් ඇමරිකාවට වැඩේ පහසු වෙයි. ගුණරුවන් කමිටු වාර්තාව ඒ සඳහා අවශ්‍ය පසුබිම සපයා තිබෙනවා.

වටේ යන්නේ නැතුව මහින්ද රාජපක්ෂ, පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වගේ කෙනෙක්ගෙන් කෙළින්ම ඇහුවානම් ගුණරුවන් කමිටුවට හොයා ගන්න බැරිවී ඇති ගොඩක් තොරතුරු හොයා ගන්න තිබුණා.

MCC ප්‍රධාන විධායක නිලධාරී පෝල් ඇපල්ගාර්ත් 2005 මාර්තු 29-31 ලංකාවේ සංචාරයක නිරත වෙනවා. එම සංචාරය අතරතුර ඔහු MCC ආධාර ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති සරත් අමුණුගම, මහ බැංකු අධිපති සුනිල් මෙන්ඩිස්, විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් H. M. G. S. පලිහක්කාර හා මුදල් අමාත්‍යංශයේ ලේකම් පී බී ජයසුන්දර ඇතුළු MCC ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සඳහා කටයුතු කරන කණ්ඩායමක් ( MCA working group) හමුවෙනවා. 2005 වසර අවසානයේදී ලංකාවට MCC ආධාර ලැබෙන්න පදනම වැටෙන්නේ මේ රැස්වීමේදී. මහින්ද රාජපක්ෂ මේ රැස්වීම් වලට සහභාගී වන්නේ ඉතා උනන්දුවෙන්. ඇපල්ගාර්ත් පසුව හම්බන්තොට සංචාරයකද නිරත වෙනවා.

"Prime Minister Rajapakse was particularly thoughtful on the MCA process, and was especially articulate in describing his own experience consulting with people in his constituency.  He cited one example in which he visited with local leaders, presuming that electrical power was their primary need, only to learn that it was actually far down the list.  A new road to the local fisheries harbor was what the community perceived as its most pressing need. 

Ambassador and Applegarth urged Rajapakse to share his views and experience widely in order to help push the Government's consultative process along."

මහින්ද රාජපක්ෂ මේ අදහස් පළ කරන්නේ MCC ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී රජය විසින් වඩා යෝග්‍යයැයි සිතන යෝජනා ඉදිරිපත් කරනවා වෙනුවට ජනතා අදහස් මත පදනම්ව ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා වලට ගැලපෙන යෝජනා සකස් කළ යුතු බව පැහැදිලි කරනු ලැබීමෙන් පසුවයි.

"ඇත්ත තමයි, මම වතාවක් ගමකට විදුලි බලය දෙන්න හිතාගෙන හිටියා. නමුත් ගම්මු එක්ක කතා කරලා බැලුවහම ඒ ගොල්ලන්ට ඕනෑ වෙලා තිබුණේ පාරක්."

"MCA's requirements for a broad-based consultative process are proving the highest hurdle to progress on the GSL's compact proposal. The GSL position is that Sri Lanka is different from many of the other MCA eligible countries. It believes its democratic traditions and institutions are stronger and more developed, therefore implying a consultative mechanism that is built directly into their system. In other words, the governance model in Sri Lanka, of a central government whose reach extends down to every village through a network of provincial governments, district secretaries and village-level bodies, guarantees that the needs of the people are well consulted and widely known."

ඇපල්ගාර්ත්ට මේ කාරණාව අවධාරණය කරන්න වෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී පුළුල් ලෙස ජනතා අදහස් ලබා ගැනීමට එතරම් වැදගත් සේ නොසලකන නිසයි. ශ්‍රී ලංකා රජයට අනුව මිනිස්සුන්ට අවශ්‍ය දේ රජය දන්නවා. ශ්‍රී ලංකාව මේ අතින් අනෙක් රටවල් වලටත් වඩා වෙනස්!

හැබැයි රජය කියන කතාව නිවැරදි නැති බව ඇපල්ගාර්ත්ගේ හම්බන්තොට සංචාරයේදී පෙනී යනවා. රජය කියන විදිහට වී වගාව රටේ සංස්කෘතිය හා බැඳී තිබෙන නිසා වී ගොවීන් වී ගොවිතැනින් ඉවත් කිරීම කෙසේවත් කළ නොහැකි දෙයක්. එහෙත්, හම්බන්තොට සංචාරයේදී ඔහුට හමු වන ගොවියෙක් ඔහුගෙන් ඉල්ලා සිටින්නේ වී වෙනුවට වෙනත් බෝග වැවීම සඳහා උපදෙස් ඔවුන්ගේ අවශ්‍යතාවයක් බවයි.

2006 ඔක්තෝබර් පමණ වන විට ඩොලර් මිලියන 590ක ආධාර යෝජනාවක් සඳහා ශ්‍රී ලංකා රජය හා MCC සමාගම එකඟ වෙනවා. ලංකාවට තිබෙන්නේ හැකි ඉක්මණින් මුදල් ලබා ගැනීමේ හදිස්සියක්. එහෙත්, MCC සමාගම විසින් පැහැදිලි කරන්නේ ආධාර ලබා ගැනීමට පෙර සිදු කළ යුතු කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස 12-18 ක කාලයක් ගත වන බවයි. මේ වෙනුවෙන් MCC සමාගම විසින් මුදල් ආධාරද ලබා දෙනවා.

"Senior Millennium Challenge Corporation and Government of Sri Lanka officials agreed to proceed with development of a proposed USD 590 million MCC compact that would include projects on irrigation and agriculture, roads, and small and medium enterprise promotion. MCC officials explained that their due diligence process would continue for at least 12 months and that it would be at least 18 months before a compact, if one is concluded, entered into force. This time span was necessary for completion of international-standard environmental and social impact assessments related to Sri Lanka's proposed construction of dams, and would also allow time for the two sides to identify policy approaches that would ensure the proposed projects delivered sufficient economic returns and would be adequately maintained over the long term."

මේ වන විට ලංකාව වෙනුවෙන් MCC ගිවිසුම හා අදාළ කටයුතු කරන්නේ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්. MCC පාර්ශ්වයට වඩාත්ම ගැටළු සහගත වන්නේ ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර තිබෙන වාරි මාර්ග ව්‍යාපෘතියයි. එම කොටස අත් හැරියොත් ඉතිරි ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 450ක මුදලක් 2007 වසරේදී ලබා ගැනීමේ හැකියාව පෙනෙන්නට ඇතත් වාරිමාර්ග ව්‍යාපෘතියේ ඇති ගැටළු නිරාකරණය කිරීමට කල් යන නිසා ආධාර ලබා ගැනීම 2008 වසර දක්වා කල් යනවා. 2006 සැප්තැම්බර් 27 වනදා MCC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මේ බව අජිත් නිවාඩ් කබ්රාල්ට පැහැදිලි කරනවා.

"Senior Millennium Challenge Corporation (MCC) officials met with Sri Lankan lead MCC liaison Nivard Cabraal (the Governor of the Central Bank) September 27 to discuss critical elements of Sri Lanka's proposed USD 450 million MCC compact. 

The MCC delegation informed Cabraal that ... the proposed dam-supplied irrigation projects would require international-standard environmental and social impact assessments that would take twelve months to conduct. These would have to be completed before a compact could be signed." 

මේ අනුව වාරිමාර්ග ව්‍යාපෘතියද ඇතුළත්ව ඩොලර් මිලියන 590ක ආධාර මුදලක් ලබා ගැනීම සඳහා ලංකාව කටයුතු කරමින් සිටියදී ප්‍රජාත්නත්‍රවාදය හා යහපාලනය ආදිය ඇතුළත් නිර්ණායක මත පදනම්ව MCC අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් 2007 දෙසැම්බර් 12 වන දින ශ්‍රී ලංකාව ආධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති රටවල් ලැයිස්තුවෙන් ඉවත් කරනවා. ඒ නිසා, ලංකාවට MCC ආධාර මුදල් ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී යනවා. ඉන් පසුව නැවතත් ලංකාව MCC ආධාර සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ 2016 දෙසැම්බර් මාසයේදී.

ශ්‍රී ලංකාව මෙතෙක් MCC ව්‍යාපෘති ආධාර ලෙස කිසිදු මුදලක් ලබා ගෙන නැහැ. එහෙත්, MCC ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සඳහා ආධාර ලෙස ඩොලර් මිලියන 7.9ක මුදලක් ලබා ගෙන තිබෙනවා. මේ මුදලින් ඩොලර් මිලියන 3.6ක් ලබා ගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාලයේදී. ඉතිරි මුදල යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී හා එයින් පසුව මේ වසරේදී ලබා ගෙන තිබෙනවා.

කිසියම් රටක් විදේශ ආධාර ලබා දීමේ පියවර කිහිපයක් තිබෙනවා. පළමු අදියර කිසියම් ආධාර මුදලක් ලබා දෙන බවට ස්ථිර පොරොන්දුවක් දීමේ (commitment) අදියරයි. මෙය ගිවිසුමක් අත්සන් කිරීමක් විය හැකියි. එහෙත්, ගිවිසුමක් අත්සන් කළ වහාම මුදල් ලැබෙන්නේ නැහැ. සැබෑවටම මුදල් ලැබීම දෙවන අදියරයි (disbursement). මුලින් පොරොන්දු වූ මුදල බොහෝ විට ලැබෙන්නේ කොටස් වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය අනුවයි. මෙසේ ලැබෙන මුදල් ඇත්තටම වියදම් කිරීම තෙවන අදියරයි (expenditure). මුල් අදියරේ එකඟතා යම් හෙයකින් බිඳ වැටුණු විට පොරොන්දු වූ මුදලින් ඇත්තටම ලබා නොදුන් මුදල් ලබා දීම අත්හිටුවන්න වගේම ඒ වන විට වියදම් කර නොතිබුණු මුදල් ආපසු ලබාගැනීමද සිදු විය හැකියි.

පහත ඇත්තේ ගුණරුවන් කමිටුවට මාස හයක් මහන්සි වී හොයා ගත නොහැකි වූ, ගූගල් සෙවුමක දුරින් තිබෙන, MCC ආධාර සේ ලංකාව විසින් මේ දක්වා ලබාගෙන තිබෙන (disbursement) මුදල්. 2007 වසරේදී ලංකාව සුදුසුකම් සපුරා ඇති ලැයිස්තුවෙන් ඉවත් වී යාමෙන් පසුව වගේම 2019දී ව්‍යාපෘතිය මග නැවතීමෙන් පසුව සෘණ අගයන් කිහිපයක්ද දැකිය හැකියි. ලැබුණු සල්ලි වියදම් කළේ කොහොමද කියන එක ලංකාවේ පැත්තෙන් හොයා ගත යුතුයි.

Year Quarter        Amount (US$) Award Title
2005 4 77,293.93 Due Diligence Fund - Financial Accountability
2006 2 2,500.00 Due Diligence Fund - Financial Accountability
2006 2 11,691.58 Due Diligence Fund - Infrastructure Project
2006 3 8,380.20 Due Diligence Fund - Environmental Assessments
2006 3 121,634.07 Due Diligence Fund - Infrastructure Project
2006 4 637.20 Due Diligence Fund - Environmental Assessments
2006 4 2,305.50 Due Diligence Fund - Agriculture Project
2006 4 7,239.76 Due Diligence Fund - Financial Accountability
2006 4 1,503,780.98 Due Diligence Fund - Infrastructure Project
2007 1 47.06 Due Diligence Fund - Agriculture Project
2007 1 637.20 Due Diligence Fund - Environmental Assessments
2007 1 2,567.51 Due Diligence Fund - Program Development
2007 1 8,845.05 Due Diligence Fund - Private Sector Development Project
2007 1 16,239.22 Due Diligence Fund - Infrastructure Project
2007 2 2,336.40 Due Diligence Fund - Environmental Assessments
2007 2 210,995.36 Due Diligence Fund - Infrastructure Project
2007 3 849.60 Due Diligence Fund - Environmental Assessments
2007 3 4,652.02 Due Diligence Fund - Legal and Regulatory
2007 3 7,244.20 Due Diligence Fund - Program Development
2007 3 7,347.29 Due Diligence Fund - Infrastructure Project
2007 3 9,781.96 Due Diligence Fund - Financial Accountability
2007 4 1,156,030.91 Due Diligence Fund - Infrastructure Project
2008 1 111,473.75 Due Diligence Fund - Infrastructure Project
2008 2 304,497.83 Due Diligence Fund - Infrastructure Project
2008 3 0.08 Due Diligence Fund - Infrastructure Project
2008 4 -12,500.00 Due Diligence Fund - Infrastructure Project
2008 4 -605.15 Due Diligence Fund - Financial Accountability
2009 1 -1,288.10 Due Diligence Fund - Private Sector Development Project
2009 1 17,099.68 Due Diligence Fund - Infrastructure Project
2010 1 24,114.12 Due Diligence Fund - Infrastructure Project
2016 4 9,138.35 Due Diligence Fund - Gender Integration Project
2017 1 12,175.92 Due Diligence Fund - Gender Integration Project
2017 2 7,408.55 Due Diligence Fund - Program Development
2017 2 19,600.44 Due Diligence Fund - Gender Integration Project
2017 3 10,929.97 Due Diligence Fund - Program Development
2017 3 37,725.37 Due Diligence Fund - Gender Integration Project
2017 4 3,592.70 Due Diligence Fund - Program Development
2017 4 4,140.76 Due Diligence Fund - Land Proj
2017 4 12,171.53 Due Diligence Fund - Gender Integration Project
2018 1 6,638.41 Due Diligence Fund - Financial Sector
2018 1 7,006.76 Due Diligence Fund - Program Development
2018 1 7,952.24 609(g) - Program Assessments
2018 1 13,178.09 Due Diligence Fund - Land Proj
2018 1 16,104.66 Due Diligence Fund - Gender Integration Project
2018 1 69,084.49 Due Diligence Fund - Agriculture Project
2018 2 318.52 Due Diligence Fund - Land Proj
2018 2 11,418.66 609(g) - Program Assessments
2018 2 12,124.51 Due Diligence Fund - Program Development
2018 2 16,396.85 Due Diligence Fund - Gender Integration Project
2018 2 62,373.15 Due Diligence Fund - Not Applicable
2018 2 74,596.79 Due Diligence Fund - M&E - Economic Analysis
2018 2 107,447.23 609(g) - Transportation Project
2018 2 142,198.88 Due Diligence Fund - Financial Sector
2018 2 211,675.13 Due Diligence Fund - Agriculture Project
2018 2 313,431.28 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2018 3 -105,592.75 609(g) - Transportation Project
2018 3 -70,192.48 Due Diligence Fund - M&E - Economic Analysis
2018 3 14,735.39 Due Diligence Fund - Program Development
2018 3 15,243.40 Due Diligence Fund - Gender Integration Project
2018 3 25,492.61 609(g) - Program Assessments
2018 3 31,178.53 Due Diligence Fund - Financial Sector
2018 3 50,032.38 Due Diligence Fund - Land Management For Investment Projects
2018 3 65,197.51 Due Diligence Fund - Not Applicable
2018 3 96,697.21 Due Diligence Fund - Agriculture Project
2018 3 968,647.82 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2018 4 15.98 609(g) - Program Assessments
2018 4 817.52 Due Diligence Fund - Land Proj
2018 4 3,935.31 Due Diligence Fund - Country Assessments
2018 4 9,826.92 Due Diligence Fund - Program Development
2018 4 17,959.09 Due Diligence Fund - Agriculture Project
2018 4 20,081.26 Due Diligence Fund - Gender Integration Project
2018 4 33,313.50 Due Diligence Fund - Not Applicable
2018 4 42,540.96 Due Diligence Fund - M&E - Economic Analysis
2018 4 134,556.74 Due Diligence Fund - Financial Sector
2018 4 250,797.41 609(g) - Transportation Project
2018 4 283,969.60 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 1 781.44 Due Diligence Fund - Agriculture Project
2019 1 3,244.27 Due Diligence Fund - Country Assessments
2019 1 5,186.25 Due Diligence Fund - Program Development
2019 1 18,347.57 Due Diligence Fund - Gender Integration Project
2019 1 18,710.50 Due Diligence Fund - Land Proj
2019 1 19,908.70 Due Diligence Fund - M&E - Economic Analysis
2019 1 20,980.64 609(g) - Program Assessments
2019 1 32,845.29 609(g) - Land Proj
2019 1 66,306.92 609(g) - Transportation Project
2019 1 76,581.71 Due Diligence Fund - Financial Sector
2019 1 375,005.07 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 2 350.00 Due Diligence Fund - Program Development
2019 2 2,148.96 Due Diligence Fund - Agriculture Project
2019 2 2,299.64 Due Diligence Fund - Gender Integration Project
2019 2 21,438.45 Due Diligence Fund - Monitoring and Evaluation
2019 2 128,502.06 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 3 -306,728.55 609(g) - Transportation Project
2019 3 1,498.62 Due Diligence Fund - Program Development
2019 3 1,683.16 Due Diligence Fund - Health Project
2019 3 9,116.43 Due Diligence Fund - Gender Integration Project
2019 3 28,846.83 Due Diligence Fund - Monitoring and Evaluation
2019 3 51,590.47 Due Diligence Fund - Not Applicable
2019 3 118,268.80 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 3 307,360.27 609(g) - Program Assessments
2019 4 6,637.35 Due Diligence Fund - Gender Integration Project
2019 4 25,410.66 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2019 4 25,562.99 Due Diligence Fund - Agriculture Project
2019 4 44,998.45 Due Diligence Fund - Monitoring and Evaluation
2020 1 103.53 Due Diligence Fund - Gender Integration Project
2020 1 1,648.42 609(g) - Transportation Project
2020 1 9,210.37 Due Diligence Fund - Agriculture Project
2020 1 38,802.02 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2020 2 158.54 609(g) - Transportation Project
2020 2 917.25 Due Diligence Fund - Program Development
2020 2 4,460.51 Due Diligence Fund - TRANSPORT INFRASTRUCTURE PROJECT
2020 2 77,834.50 Due Diligence Fund - Monitoring and Evaluation

Wednesday, June 24, 2020

ලෝක බැංකුවෙන් තවත් කෝටි 1600ක ණයක්!


ලෝක බැංකුව විසින් කෝවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙරසූදානම් ව්‍යාපෘතිය යටතේ ලංකාවට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 87.24ක හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1626.6ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. මේ ණය මුදල ලැබෙන්නේ මීට පෙර අප්‍රේල් 2 වනදා ශ්‍රී ලංකාව විසින් ලෝක බැංකුවෙන් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 128.60ක ණය මුදලට අමතරවයි.

ශ්‍රී ලංකා රජය විසින් මේ අලුත් ණය ලබා ගෙන තිබෙන්නේ කෝවිඩ්-19 වැළඳීමේ වැඩි අවදානමක් ඇති පිරිස් වලට මුදල් සහනාධාර ලබා දීමට හා රටේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහායි. කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ එක් කොටසක් ක්‍රියාත්මක කරනු ඇති අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය විසින් අනෙක් කොටස ක්‍රියාත්මක කරනවා.

ලෝක බැංකුවට ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති විස්තරය අනුව කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මුදල් වැය කරන්නේ පහත කටයුතු සඳහායි.

-  කෝවිඩ්-19 අර්බුදය හමුවේ මෙතෙක් ආධාර මුදල් නොලැබී පොරොත්තු ලේඛනයේ සිටින ආධාර හිමි විය යුතු අඩු ආදායම්ලාභී නිවාස ඒකක වල ජීවත්වන අයදුම්කරුවන්ට හා අලුතින් අයදුම් කරන වයස්ගත පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින්, නිදන්ගත වකුගඩු රෝගය ඇතුළු නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට සහනාධාර මුදල් ලබා දීම.

- ජ්‍යෙෂ්ඨ පුරවැසි සහනාධාර වැඩ සටහන යටතේ දැනටමත් ආධාර ලබන අයගේ ආධාර මුදල් තාවකාලිකව වැඩි කිරීම.

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය විසින් මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන දේ අතර පහත අයිතමයන් ඇතුළු තවත් දේවල් තිබෙනවා.

- කෝවිඩ්-19 සම්බන්ධීකරණ කටයුතු සඳහා ජාතික මට්ටමේ හදිසි මෙහෙයුම් මධස්ථානයක් ස්ථාපිත කිරීම.
- කෝවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම, රෝග නිවාරණ උපදෙස් ලබා දීම හා සබඳතා හඹා යාම පිළිබඳව වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය සේවකයින් හා වින්නඹු මාතාවන් පුහුණු කිරීම.
- සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම හා සනීපාරක්ෂක කටයුතු ක්‍රියාත්මක කිරීම.
- ස්වයං-නිරෝධායනය වී සිටින පිරිස් ඇතුළු අනෙකුත් අයට සනීපාරක්ෂනය සඳහා අවශ්‍ය දේ සැපයීම
- නිරෝධායන පහසුකම් වැඩි කිරීම

මේ ණය මුදල ආපසු ගෙවිය යුත්තේ වසර 30ක කාලයකින් වන අතර පළමු වාරිකය ගෙවිය යුත්තේ වසර 5කට පසුවයි. ඒ නිසා, ණය ආපසු ගෙවීම අනාගත ආණ්ඩු වලට භාර කටයුත්තක්.

(Image: https://yukthiyanews.com/archives/830)

Monday, June 22, 2020

ඇමරිකාවේ මහ බැංකුව


ඇමරිකාවේ මහ බැංකුව කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් තිබෙනවා- ෆෙඩරල් සංචිත බැංකුව. මේ වගේ ඕනෑම ප්‍රශ්නයකට ලැබෙන පිළිතුරක් කෙනෙක් අවබෝධ කර ගන්නේ තමන් දන්න දේවල් වලට සාපේක්ෂවයි. ඇමරිකාවේ පොලීසිය කියා කිවුවහම ලංකාවේ ඉන්න කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ ඇමරිකාවේ තිබෙන ලංකාවේ පොලීසිය වගේ එකක්. ඉන්දියාවේ කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ ඇමරිකාවේ තිබෙන ඉන්දියාවේ පොලීසිය වගේ එකක්. මහ බැංකුව ගැන වුනත් එහෙමයි.

ඇමරිකාවේ බොහෝ ආයතනික ව්‍යුහයන් ලෝකයේ අනෙක් හැම රටකටම වඩා වෙනස්. ඒ නිසා, ලංකාවේ පමණක් නෙමෙයි බටහිර යුරෝපීය රටවල අය පවා මේ වෙනස්කම් වලට එතරම් සංවේදී නැහැ. එය බොහෝ විට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඇතැම් මූලික කරුණු අතින් බැලුවොත් වෙනසක් නැහැ. ලංකාවේ වගේම ඇමරිකාවෙත් පොලීසිය විසින් කරන්නේ නීතිය හා සාමය රකින එක. මහ බැංකුව විසින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ රටේ මිල ස්ථායීතාවය පවත්වා ගන්න එක.

ඇමරිකාවේ මහ බැංකුව අවම වශයෙන් කරුණු දෙකක් මත ලෝකයේ වෙනත් මහ බැංකු වලින් වෙනස් වෙනවා. පළමු කරුණ ඇමරිකාවේ තිබෙන්නේ මහ බැංකු පද්ධතියක් මිසක් තනි මහ බැංකුවක් නොවීම. දෙවන කරුණ මේ මහ බැංකු පද්ධතිය සෑහෙන තරම් දුරකට පෞද්ගලික අංශයේ පාලනය යටතේ තිබීම. මෙයින් වෙනස්ව ලෝකයේ හැම රටකම වගේ මහ බැංකු රාජ්‍ය අංශය යටතේ තිබෙන මධ්‍යගත ආයතන. හැබැයි ඇමරිකාවේත් මේ තත්ත්වයන් දෙකම ක්‍රමයෙන් වෙනස් වෙමින් ෆෙඩරල් සංචිත පද්ධතිය රාජ්‍ය අංශය යටතේ තිබෙන මධ්‍යගත ආයතනයක් දක්වා ක්‍රමයෙන් රූපාන්තරණය වෙමින් පවතින බවත් කිව යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කළේ 1950 වසරේදී. ශ්‍රී ලංකා මහ බැංකුව කියා කිවුවත් ඒ දවස් ලංකා මහ බැංකුව (The Central Bank of Ceylon). ශ්‍රී ලංකා මහ බැංකුවට දැන් අවුරුදු හැත්තෑවක්. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ස්ථාපිත කළේ 1914 වසරේදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසය එක්ක සංසන්දනය කළොත් ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය අවුරුදු 34කින් මහළුයි. නමුත්, යුරෝපයේ ඇතැම් මහ බැංකු එක්ක සංසන්දනය කළ විට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය සෑහෙන්න තරුණයි.

එංගලන්තයේ මහ බැංකුව වන එංගලන්ත බැංකුව (Bank of England) ආරම්භ කෙරුණේ 1694 වසරේදී. ස්වීඩනයේ මහ බැංකුව (Sveriges Riksbank) ආරම්භ කෙරුණේ 1668 වසරේදී. එහෙත් එයින් අදහස් වෙන්නේ මේ මහ බැංකු අද පවතින්නේ ඒ ආයතන ආරම්භ කළ ස්වරූපයෙන්ම කියන එක නෙමෙයි. එක් එක් මහ බැංකුව හා අදාළ වෙනස් ඉතිහාස කතා තිබෙනවා.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ආරම්භ කරන්න කලින් ඇමරිකාවේ මහ බැංකුවක් ස්ථාපිත කරන්න උත්සාහයන්  කිහිපයක්ම ගත්තත් ඒ උත්සාහයන් සාර්ථක වුනේ නැහැ. එයට හේතු වුනේ රටක මහ බැංකුවකට මිනිසුන්ගේ ජීවිත පාලනය කළ හැකි යම් ඒකාධිකාරයක් ලැබීම හා බොහෝ ඇමරිකානුවන් එවැනි තත්ත්වයක් ඇති වනවාට මනාපයක් නොදැක්වීමයි. ඒ ඉතිහාසය පහු කරලා 1913 වසරට ආවොත්, ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය ස්ථාපිත කෙරුණේ ඇමරිකානු කොංග්‍රසයේ සම්මත වී 1913 දෙසැම්බර් 23 දින ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් අත්සන් කිරීමෙන් පසුව නීතියක් බවට පත් වූ ෆෙඩරල් සංචිත පණතේ ප්‍රතිපාදන අනුවයි.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතියට ප්‍රාදේශීය ෆෙඩරල් සංචිත බැංකු 12ක් අයත් වෙනවා. මේ එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු පද්ධතියේ කොටස් වුවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර හෝ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාල මෙන් බැංකු ප්‍රධාන කාර්යාලය යටතේ තිබෙන ප්‍රාදේශීය කාර්යාල නෙමෙයි. එකිනෙකින් ස්වාධීන ෆෙඩරල් සංචිත බැංකු.  මේවායින් ඇතැම් ෆෙඩරල් සංචිත බැංකු යටතේ ප්‍රාදේශීය ෆෙඩරල් සංචිත බැංකු කාර්යාලත් තිබෙනවා.

ඇමරිකාව ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්ක 12කට බෙදා තිබෙන අතර මේ එක් එක් දිස්ත්‍රික්කයකට වෙනම ෆෙඩරල් සංචිත බැංකුවක් බැගින් තිබෙනවා. ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයකට සාමාන්‍යයෙන් ප්‍රාන්ත කිහිපයක් ඇතුළත් වෙතත්, ප්‍රාන්ත හරහා ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්ක මායිම් වැටී ඇති අවස්ථාද කිහිපයක්ම තිබෙනවා. දිස්ත්‍රික් සීමා සලකුණු වීම ආරම්භක අවස්ථාවේදී සීමා නිර්ණය කරද්දී රට පුරා විසිරී තිබුණු මූල්‍ය ආයතන වල හා ජනතාවගේ රුචිකත්වය අනුව සිදු වී තිබෙන දෙයක්. මේ ෆෙඩරල් සංචිත බැංකු ඒවා පිහිටි නගර වල නම් වලින් හැඳින්වෙනවා.

පළමු දිස්ත්‍රික්කය - බොස්ටන් ෆෙඩරල් සංචිත බැංකුව
දෙවන දිස්ත්‍රික්කය - නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව
තෙවන දිස්ත්‍රික්කය - ෆිලඩෙල්ෆියා ෆෙඩරල් සංචිත බැංකුව
සිවුවන දිස්ත්‍රික්කය - ක්ලීව්ලන්ඩ් ෆෙඩරල් සංචිත බැංකුව
පස්වන දිස්ත්‍රික්කය - රිච්මන්ඩ් ෆෙඩරල් සංචිත බැංකුව
හයවන දිස්ත්‍රික්කය - ඇට්ලන්ටා ෆෙඩරල් සංචිත බැංකුව
හත්වන දිස්ත්‍රික්කය - චිකාගෝ ෆෙඩරල් සංචිත බැංකුව
අටවන දිස්ත්‍රික්කය - සෙන්ට් ලුවිස් ෆෙඩරල් සංචිත බැංකුව
නමවන දිස්ත්‍රික්කය - මිනියාපොලිස් ෆෙඩරල් සංචිත බැංකුව
දහවන දිස්ත්‍රික්කය - කැන්සාස් සිටි ෆෙඩරල් සංචිත බැංකුව
එකොළොස්වන දිස්ත්‍රික්කය - ඩලස් ෆෙඩරල් සංචිත බැංකුව
දොළොස්වන දිස්ත්‍රික්කය - සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් සංචිත බැංකුව

ස්වාධීන ආයතන වන ෆෙඩරල් සංචිත බැංකු අධීක්ෂණය කරන්නේ වොෂින්ටන් ඩීසීහි සිටින "ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය" විසින්. එයට සභාපතිවරයෙකු හා උප සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකු අයත්.

කිසියම් ෆෙඩරල් සංචිත බැංකුවක "අයිතිය" අදාළ ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ බැංකු සතුයි. "අයිතිය" කිවුවත් මේ අයිතිය මොන වගේ එකක්ද කියා මම පැහැදිලි කරන්නම්.

ෆෙඩරල් සංචිත බැංකුවක සාමාජිකත්වය දරන බැංකුවක් විසින් එම බැංකුවේ ප්‍රාග්ධනයෙන් හා පසුව ප්‍රාග්ධන සංචිත වලට එකතු කළ ලාබ වලින් 6%ක මුදලක් යොදවා තමන් අයත් දිස්ත්‍රික්කයේ ෆෙඩරල් සංචිත බැංකුවේ කොටස් මිල දී ගත යුතුයි. එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව සතු ප්‍රාග්ධනය වන්නේ මේ ආකාරයට කොටස් විකුණා ලබන මුදල්. කිසියම් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයක ඇති ලොකු බැංකු වලට අදාළ සංචිත බැංකුවේ වැඩි කොටස් ප්‍රමාණයකුත් පොඩි බැංකු වලට පොඩි කොටස් ප්‍රමාණයකුත් හිමි වෙනවා.

ඒ කියන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකු වල කොටස් හිමිකරුවන් වන්නේ අදාළ දිස්ත්‍රික්කයේ බැංකු. එසේ වුවත්, මේ කොටස් හිමිකරුවන්ට අදාළ ෆෙඩරල් සංචිත බැංකු වල ලාබ රිසි සේ බෙදා ගන්න බැහැ. ලාභාංශ ලෙස ලබා ගත හැක්කේ කොටස් වටිනාකමෙන් 6%ක් පමණයි.

එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව පාලනය කරන්නේ නව දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින්. එම අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගන්නේ පහත ආකාරයටයි.

- කොටස් හිමි බැංකු විසින් ඔවුන්ව නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් තිදෙනෙක්
- කොටස් හිමි බැංකු විසින් තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් නොවන නියෝජිතයින් තිදෙනෙක්
- ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය විසින් පත් කරන නියෝජිතයින් තිදෙනෙක්

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ අනුමැතියට යටත්ව අදාළ ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියාව තෝරා ගන්නවා. අධ්‍යක්ෂවරුන් නව දෙනෙකුගෙන් හය දෙනෙකුම තෝරා පත් කර ගන්නේ බැංකුකරුවන් විසින් නිසා 2010 වසර වන තුරුම ෆෙඩරල් සංචිත බැංකු වල ප්‍රධානීන් තෝරා ගැනීමේදී බැංකු කරුවන්ගේ අභිමතයට වැඩි ඉඩක් ලැබුණා. එහෙත්, ඔබාමා රජය විසින් 2010දී ගෙන ආ සංශෝධනයකට අනුව මේ වන විට ඉහත පළමු කාණ්ඩයේ අධ්‍යක්ෂවරුන්ට, එනම් කොටස් හිමි බැංකු විසින් ඔවුන්ව නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගන්නා බැංකුකරුවන් තිදෙනාට, බැංකුවේ ප්‍රධානියා (ප්‍රධාන විධායක නිලධාරියා) පත් කර ගැනීමේ කටයුත්තට සම්බන්ධ විය නොහැකියි. ඒ සමඟ ෆෙඩරල් සංචිත පද්ධතිය තුළ ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ බලය වැඩි වී තිබෙනවා.

ආරම්භයේදී ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනාගෙන් දෙදෙනෙකු නිල බලයෙන් පත් වුනා. ඒ භාණ්ඩාගාරයේ ලේකම් වරයා සහ මුදල් පාලක වරයා. එවකට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය හැඳින්වුණේ ෆෙඩරල් සංචිත මණ්ඩලය ලෙසයි. එහෙත්, 1935 වසරේ සිට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් පසුව සාමාජිකයින් හත් දෙනාම පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනුයි. මේ පත්වීම් වලට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුයි.

ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයට කිසියම් සාමාජිකයෙකු පත් කිරීමෙන් පසුව එම පත්වීම වසර 14ක කාලයකට වලංගුයි. විශේෂ හේතුවක් නැතිව ධුර කාලය අවසන් වීමට පෙර සාමාජිකයෙකු ඉවත් කළ නොහැකියි.

මේ සාමාජිකයින්ව ජනාධිපතිවරයා විසින් පත් කළත් එය කරන්නේ එක් වර නෙමෙයි. වසර දෙකකට එක් අයෙකු බැගිනුයි. මේ අනුව, සෑම වසර දෙකකට වරක්ම සාමාජිකයින් හත් දෙනාගෙන් එක් අයෙකුගේ ධුර කාලය අවසන් වී ඒ වෙනුවට වෙනත් අයෙක් පත් වෙනවා. ඇමරිකාවේ ජනාධිපති වරයෙකුගේ ධුර කාලය වසර හතරකට සීමා වී ඇති නිසා එක් ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය තුළ සාමාන්‍යයෙන් පත් කරන්න ලැබෙන්නේ ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු පමණයි. ඉතිරි පස් දෙනා කලින් ජනාධිපතිවරුන් විසින් පත් කළ අයයි.

ජනාධිපතිවරයෙක් පිට පිට දෙවරක් පත් වුනොත් අධිපති මණ්ඩල සාමාජිකයින් සිවු දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙනවා. එහෙත්, ඒ දෙවන ධුර කාලයේ අවසාන භාගය වෙද්දී. ඒ නිසා, කිසියම් ජනාධිපතිවරයෙකුට ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයට කළ හැකි බලපෑම සීමා වෙනවා. එහෙත්, යම් අධිපති මණ්ඩල සාමාජිකයෙක් මිය ගියහොත් හෝ ඉල්ලා අස් වුනොත් ඔහුගේ හෝ ඇයගේ ඉතිරිව ඇති ධුර කාලය සඳහා වෙනත් අයෙකු පත් කළ හැකියි. ප්‍රායෝගිකව බොහෝ අධිපති මණ්ඩල සාමාජිකයින් ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස් වෙනවා.

ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින් අතරින් එක් අයෙකු ජනාධිපතිවරයා විසින් සෙනෙට් සභාවේ අනුමැතියට යටත්ව ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සභාපති සේ පත් කරනවා. ඒ වසර හතරක ධුර කාලයක් සඳහා. මේ අයුරෙන්ම උප සභාපති වරයෙක්ද පත් කෙරෙනවා.

ෆෙඩරල් සංචිත බැංකුව පිහිටවූ කාලයේදී එහි ප්‍රමුඛ ඉලක්කය වුනේ අද අර්ථයෙන් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නෙමෙයි. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමයි. මේ ඉලක්කය අරමුණු කර ගනිමින් සංචිත බැංකු විසින් වාණිජ බැංකු සමඟ විවට වෙළඳපොළ කටයුතු කරමින් එක් එක් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කය තුළ ද්‍රවශීලතාව කළමණාකරණය කළා. එහිදී එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් වෙන වෙනම පොලී අනුපාතික තීරණය කළා. නමුත්, රටේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ එක් තනි වෙළඳපොළක් වූ නිසා මේ කටයුත්තේදී ෆෙඩරල් සංචිත බැංකු අතර සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු වුනා.

ෆෙඩරල් සංචිත බැංකු අතරින් වැඩිම ප්‍රාග්ධනයක් හා වත්කම් තිබුණේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවටයි. ඒ නිසා, රටේ පොලී අනුපාතික බොහෝ දුරට තීරණය වුනේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව ක්‍රියා කළ ආකාරය මතයි. අනෙක් ෆෙඩරල් සංචිත බැංකු වලට එවැනි විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා, නිල අවශ්‍යතාවයක් නොතිබුණත් අනෙක් ෆෙඩරල් සංචිත බැංකු නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් හා එම බැංකුවට ප්‍රමුඛත්වය දෙමින් ඇමරිකාවේ පොලී අනුපාතික හා මුදල් සැපයුම පාලනය කළා.

පසුව මේ අවිධිමත් සහයෝගය විධිමත් වැඩපිළිවෙලක් බවට පත් වුනා. ඒ 1935දී ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුව පිහිටුවීමෙන් පසුවයි. එතැන් පටන් මේ දක්වා ඇමරිකාවේ මුදල් ප්‍රතිපත්ති තීරණය කරන්නේ ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුව විසින්. විවට වෙළඳපොල කමිටුවට අවශ්‍ය පරිදි විවට වෙළඳපොල කටයුතු ක්‍රියාත්මක කරන්නේ නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව විසින්. මූල්‍ය පද්ධති අධීක්ෂණය වැනි අනෙකුත් කටයුතු එක් එක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් වෙන වෙනම කරනවා.

ෆෙඩරල් විවට වෙළඳපොල කමිටුවට සාමාජිකයින් දොළොස් දෙනෙකු අයත් වෙනවා. එයින් හත් දෙනෙක් ෆෙඩරල් සංචිත අධිපති මණ්ඩලයේ සාමාජිකයින්. අටවැන්නා නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියා. ඉතිරි සිවුදෙනා තෝරා ගැනෙන්නේ අනෙකුත් ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් එකොලොස් දෙනා අතරින්. ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ආදිය තීරණය කරන්නේ මේ කමිටුව විසින්. වෙනත් විදිහකින් කිවුවොත් ඇමරිකන් ඩොලර් මුද්‍රණය කරන යන්ත්‍රයේ බොත්තම් ඔබන්නේ මේ දොළොස් දෙනා විසින්. එසේ කිරීමේදී උද්ධමනය කළමනාකරණය කරමින්  ඇමරිකන් ඩොලරයේ වටිනාකම පවත්වා ගැනීමේ වගකීම තියෙන්නේත් මේ දොළොස් දෙනා අතේ.

(Image: https://www.connectedtoindia.com/trumps-presidential-takeover-boosts-real-estate-affects-vehicle-sales-in-the-us-241.html)


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...