එහෙම පොලේ යන සමහරක් දවස්වලට අම්මා මට කියනවා,
" චූටිපුතා එනකොට මාර්කට් එකේ මැද තියෙන මුස්ලිම් මස් කඩෙන් මස් රාත්තලක් අරන් වරෙන්.. හැබැයි මතක ඇතිව තනිමස් ඉල්ලන්න ඕනේ නැත්නම් උන් කටු තියෙන මස් දානවා" කියලා.
අපේ ගෙදර හරක්මස් කන්නේ අක්කයි, මායි, තාත්තයි විතරයි. අය්යටයි අනික් නංගිලා දෙන්නටයි කරප්පන් දානවා මස් කෑවම. අම්මා මස් කන්නෙත් නෑ ඒ වුණාට අපිට හරි රසට මස් උයලා දෙනවා. මම ඒ කාලෙත් මිල මුදලට, සකසුරුවමට කැමතියි වගේම සල්ලි හොයාගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා.
ඒ වගේ එක උපක්‍රමයක් තමයි අම්මාට තනි මස් රාත්තලක් ගේනවා කියලා ගිහින් තම්බි මුදලාලිගෙන් කටුමස් රාත්තලක් අරන් එන එක. ඉතිරිවෙන රුපියල් කිහිපය මගේ මුදල් එකතුවට යනවා හැම සතිඅන්තයේම වගේ.."
මේ කොටස උපුටා ගත්තේ කවිඳුගේ සොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් එකෙන්. මෙහි ලියා තිබෙන ආකාරයට ලේඛක කොළු ගැටයා පොඩි කාලෙදී පුරුද්දක් විදිහට අම්මට වංචා කරලා තියෙනවා. ඔය වගේ හෝ වෙනත් ආකාර වල වංචා මම පොඩි කාලේ මාව කඩේ යවපු අයට මමත් කරල තියෙනවා. පොඩි කාලේ ඔය වගේ ක්‍රමයකින් සල්ලි හොයා ගත්ත තවත් අය ඇති.
මේ බ්ලොග් එක හරහා දිගින් දිගටම පැහැදිලි කර තිබෙන ආකාරයකට නිදහස් ගනුදෙනුවකින් සාමාන්‍යයෙන් එහි යෙදෙන කිසිදු පාර්ශ්වයකට පාඩුවක් වෙන්නේ නැහැ. නමුත්, ව්‍යතිරේඛ තිබෙනවා. ගනුදෙනුව තමන් විසින්ම නොකර තමන්ගේ නියෝජිතයෙකු හරහා කර ගනිද්දී නියෝජිතයා විසින් වංචා කිරීම නිසා පාඩු සිදු වීම නිතර දැකිය හැකි ව්‍යතිරේඛයක්.
දැන් අපි මේ උදාහරණය ගනිමු. මුස්ලිම් කඩේ කටු රහිත හරක් මස් රාත්තලක් රුපියල් පහකුත්, කටු සහිත මස් රාත්තලක් රුපියල් හතරකුත් වුනා කියමු. ඔය කියන දවස් වල හරක් මස් ඔයිට අඩු මිසක් වැඩි වෙන්න විදිහක් නැහැ. මුදලාලි හරකට ගෙවන්නට ඇතැයි සිතිය හැකි මුදල, මස් කඩ බද්ද, අනෙක් වියදම් ආදිය ගියාට පස්සේ ඔය ගාණට මස් විකුණලා මුදලාලිට පාඩුවක් නැහැ කියන එක පැහැදිලියින්. මුදලාලිට අනිවාර්යයෙන්ම ලාබයි. අපි හිතමු කටු නැති මස් රාත්තලකින් රුපියල් දෙකකුත්, කටු සහිත මස් රාත්තලකින් රුපියල් එකයි පනහකුත් මුදලාලිට ලාබයි කියලා.
කතාවේ හැටියට කවිඳුගේ අම්මා මස් කන්නේ නැහැ. ඇය කවිඳු ලවා මස් ගෙන්වාගන්නේ කවිඳුට, අක්කාට සහ තාත්තාට උයල දෙන්නයි. ඇය එයින් සතුටක් ලබනවා. කටු නැති මස් රාත්තලකට ඇය රුපියල් පහක් ගෙවන්නේ ඇයට එයින් ලැබෙන සතුට රුපියල් පහකට වඩා වැඩි නිසයි. අපි හිතමු මේ සතුටේ වටිනාකම රුපියල් හතක් කියලා. රුපියල් පහකට කටු නැති මස් රාත්තලක් ගත්තහම ඇයට රුපියල් දෙකක් වාසියි. නමුත්, ඇයට කටු සහිත මස් රාත්තලක වටිනාකම රුපියල් පහයි පනහක පමණක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කටු සහිත මස් රාත්තලක් ගත්තොත් ඇගේ වාසිය රුපියල් එකයි පණහක් පමණයි.
කවිඳුගේ අම්මාම මස් ගන්න ගියානම් මෙහි නියෝජිත ප්‍රශ්නයක් නැහැ. ඇයට රුපියල් දෙකක් ලාබයි වගේම මුදලාලිටත් රුපියල් දෙකක් ලාබයි. නමුත්, මස් ගන්න යන්නේ කවිඳු. ඔහු කටු සහිත මස් අරගෙන කටු රහිත තනි මස් වලට ගණන් පෙන්වා රුපියලක වාසියක් ලබනවා. නියෝජිතයෙකු විසින් මේ ආකාරයට වංචාවක් කර ලාබයක් ලබන හැම විටකම වෙනත් කෙනෙකුට පාඩුවක් විය යුතුම නැහැ. පාඩුවක් වුනත් ඒ පාඩුව නියෝජිතයාගේ වාසියට සමාන විය යුතු නැහැ.
මේ අවස්ථාවේදී කවිඳුගේ අම්මාට රුපියල් පහක් වැය කිරීමෙන් පසුව ලැබෙන්නේ රුපියල් හතරකට මිල දී ගත හැකි කටු සහිත මස් රාත්තලක්. කටු සහිත මස් රාත්තලකට ඇගේ වටිනාකම රුපියල් පහයි පනහක්. ඒ කියන්නේ කවිඳුගේ වංචාවෙන් පස්සෙත් ඇයට සත පණහක ලාබයක් තියෙනවා. කවිඳු විසින් දිගින් දිගටම වංචා කරද්දීත් ඇය කවිඳුව නැවත නැවත කඩේ යවන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. නමුත්, ඒ ලාබය ඇයට ලබාගත හැකිව තිබුණු රුපියල් දෙකක ලාබයට වඩා එකයි පණහකින් අඩුයි.
මුදලාලිගේ තත්ත්වය කොහොමද? කටු මස් විකිණුවත්, තනි මස් විකිණුවත් මුදලාලිට ලාබයි. නමුත්, තනි මස් රාත්තලක ලාබයට වඩා සත පණහක් අඩුයි කටු මස් රාත්තලක ලාබය. කටු මස් විකිණීමෙන් මස් කඩ මුදලාලිට පාඩුවක් වී නැහැ. නමුත්, ලබා ගත හැකිව තිබුණු ලාබයක් නැති වී තිබෙනවා.
ගණුදෙනුවක ලාබ පාඩු බලන්න වෙන්නේ විකල්පයකට සාපේක්ෂවයි. ගණුදෙනුවක් නොකර සිටීමේ විකල්පයට සාපේක්ෂව බැලුවොත්,
- මුදලාලිට රුපියල් 1.50ක්,
- කවිඳුගේ අම්මට ශත පනහක්, හා
- කවිඳුට රුපියලක් ලාබයි.
ගනුදෙනුව සිදු වීම නිසා කාටවත් පාඩුවක් සිදු වී නැහැ. එහෙත්, කවිඳුගේ අම්මාම කඩේට ගොස් මස් මිල දී ගැනීමේ විකල්පයට සාපේක්ෂව බැලුවොත්,
- මුදලාලිට ශත පණහක්, හා
- කවිඳුගේ අම්මට රුපියල් 1.50ක් පාඩුයි.
-කවිඳුට රුපියලක් වාසියි.
මීට අමතරව කවිඳුගේ තාත්තාට සහ අක්කාට කටු මස් කන්න වීම නිසා, තනි මස් විකල්පයට සාපේක්ෂව ඔවුන්ටත් පාඩුවක් වෙනවා. අපි හිතමු මේ පාඩුව එක් අයෙකුට ශත විසි පහක් කියලා. ඒ පාඩුවම කවිඳුටත් වෙනවා. ඒ නිසා, ඔහුගේ ශුද්ධ ලාභය ශත හැත්තෑ පහක් පමණයි.
දැන් මේ උදාහරණයේදී කවිඳුගේ වංචාව නිසා ඔහුට ශත හැත්තෑ පහක් ලාබ වෙද්දී වෙනත් අයට රුපියල් 2.50ක් පාඩු වී තිබෙනවා. එයින් රුපියල් දෙකක්ම පාඩු වී තිබෙන්නේ ඔහුගේ පවුලේ අයටයි. මේ උදාහරණයේදී මෙසේ වුවත්, වංචාවකින් කෙනෙක් ලාබයක් ලබද්දී ඒ හේතුව නිසා වෙනත් අයට සිදු වන පාඩුව එම ලාබයට වඩා අඩු එකක් වෙන්නත් පුළුවන්.
කඩෙන් මස් රාත්තලක් ගන්නවා වගේ සරල ගනුදෙනුවක් නියෝජිතයෙකු නැතිව වුවත් කරන්න අමාරුවක් නැහැ. නමුත්, වඩා සංකීර්ණ ගනුදෙනු බොහෝ විට සිදු වන්නේ නියෝජිතයින් හරහා. බොහෝ ව්‍යාපාර වෙනුවෙන් ගනුදෙනු වල නියැලෙන්නේ එම සමාගම් වල සේවකයින් මිසක් අයිතිකාරයින් නෙමෙයි. ඔවුන්ට එම සමාගම් වල අයිතිකාරයන්ට වංචා කර වාසියක් ලබා ගැනීමේ ඉඩක් තිබෙනවා.
සමාගම් වල අයිතිකරුවන් මේ බව දන්නවා. ඒ වගේම සේවකයින් වංචා කළොත් අඩු වෙන්නේ තමන්ගේ ලාබ බවත් දන්නවා. ඒ නිසා, සමාගම් හැම විටම මෙවැනි වංචා වලක්වා ගන්න උත්සාහ කරනවා. තරඟකාරී වෙළඳපොලකදී එසේ වංචා වලක්වා නොගන්නා සමාගමකට අනෙකුත් සමාගම් සමඟ තරඟ කරන්න බැරි වී වෙළඳපොළෙන් විසි වී යනවා. අවසාන වශයෙන් වෙළඳපොළේ ඉතිරි වන්නේ සේවකයින්ගේ වංචා වලක්වා ගන්නා සමාගම්.
හැබැයි මේ ආකාරයට ස්වභාවිකවම වෙළඳපොල යාන්ත්‍රනය විසින් නිවැරදි කරන්නේ කිසියම් සමාගමකට පාඩු සිදුවන ආකාරයේ වංචා මිසක් වෙනත් අයට සිදු වන වංචා නෙමෙයි. උදාහරණයක් විදිහට එයාබස් සමාගම හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම අතර ගනුදෙනුවකදී සිදු වන වංචාවක් නිසා එයාබස් සමාගමට වාසියකුත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට පාඩුවකුත් වෙනවානම් එයාබස් සමාගමට එය නිවැරදි කරන්න පෙළඹවීමක් එන්නේ නැහැ. තරඟකාරී වෙළඳපොලක වංචාව නිසා එළියට විසි වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම මිසක් එයාබස් සමාගම නෙමෙයි. නිවැරදි වීම සිදු වෙන්නේ කොයි පැත්තෙන් වුනත්, අවසානයේදී වෙන්නේ ස්වභාවිකවම වංචාවට තිබෙන අවස්ථාව නැති වී යන එකයි.
බොහෝ විට මේ වැඩේ අවුල් වෙන්නේ එක පැත්තක රජයක් සිටින විටයි. රජයට අයත් ආයතනයක් පාඩු වූ විට ඒ පාඩුව රටේ මහජනතාවටයි. සමාගමක අයිතිකාරයින් විසින් එහි සේවකයින්ට බලපෑම් කරන ආකාරයෙන්ම රජයට බලපෑම් කරන්න මහජනතාවට අසීරුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නියෝජිත ප්‍රශ්න පහසුවෙන් නො විසඳීමයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල අතර ගනුදෙනුවකදී පර්පෙචුවල් සමාගමට වංචාවක් කර පාඩු කරන එහි සේවකයෙකුට දිගුකාලීන පැවැත්මක් නැති වුනත්, සේවක අර්ථසාධක අරමුදලට පාඩු වන ආකාරයේ වංචාවක් කරන එහි සේවකයෙකුට කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන්. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයෙක්ට වුනත් එහෙමයි.