වෙබ් ලිපිනය:

Friday, August 4, 2017

දෙවෙනි ඉනිමේ ගුරුතුමියට විනය මතක් වුනේ බ්ලොග් නිසාද?


දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය මේ දින වල ප්‍රචාරය වන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයකි. එය 13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලෙහි ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙසද තේරී ඇත. නාට්‍යයේ ජනප්‍රියත්වයට හේතුව ඒ තුළ ලංකාවේ පාසැල් ජීවිතය බොහෝ දුරට යථාරූපී ලෙස නිරූපණය වීම විය හැකිය. 

පසුගිය කාලයේ ලංකාවේ දකින්නට ලැබුණු ජනප්‍රිය රැල්ලක් වූයේ මැදි වයසේ ගැහැණුන් හා මිනිසුන් පාසැල් නිල ඇඳුම් ඇතුළට රිංගා නැවතත් පාසැල් යාමයි. බැලූ බැල්මටම විකාරයක් මෙන් පෙනෙන මේ හැසිරීමෙන් පිළිබිඹු වූයේ ලංකාවේ මැදි වයසේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ එක්තරා ආකාරයක නොසන්සිඳුණු ඉල්ලුමකි. 

එක පැත්තකින් පාසැල් කාලය දැන් මැදි වයසේ සිටින බොහෝ දෙනෙකුගේ සුන්දර සිහිනයකි. අතේ සතේ නැතිව ගෙවුණු ඒ කාලයේ කරගන්නට බැරි වුනු දේවල් වල වටිනාකම හොඳින්ම තේරෙන්නේ යහමින් අතේ සල්ලි ගැවසෙන මැදි වයසේදීය. නැවතත් පාසැල් යන්නට මෙසේ සුදු ඇඳුමට රිංගන වැඩි දෙනෙකු දැන් යමක් කමක් ඇති, එහෙත් පාසැල් කාලයේ විවිධ සීමාවන් නිසා හිතේ තිබුණු ආශාවන් බොහොමයක් ඉටු කරගන්නට ඉඩ නොලැබූ අයයි. අනෙක් පැත්තෙන්, අද පාසැල් සිසුන් භුක්ති විඳින සම්පත් හා නිදහස ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට තිබුණේ නැත. (හරියටම කල්පනා කළොත් ඒ පරම්පරාව තමන්ගේ නිදහස භුක්ති වින්දේ තරමක් වෙනත් ආකාරයකටය.) මේ නිසා දැනෙන අඩුවක්ද බොහෝ දෙනෙකුට තිබේ.

දෙවෙනි ඉනිම කණ්ඩායම විසින් ඉතා දක්ෂ ලෙස මේ නොසන්සිඳුණු ඉල්ලුම හඳුනාගෙන තිබේ. එහි ජනප්‍රියත්වයේ රහස එයයි. 

පසුගිය ජූලි 14 වෙනි දින "තම්බපන්ණියේ අපි" බ්ලොග් අඩවියේ  "මොණරි" විසින් මේ ටෙලි නාට්‍යය ගැන "දෙවෙනි ඉනිම වෙනසකට වඩා විනාශයකි" යන මාතෘකාව යටතේ විචාරයක් පළ කළ තිබුණේය. එහිදී ඇය මේ ලිපියේ චරිත හැසිරවීම් විවේචනය කර තිබුණේ මෙසේය.

"මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?"

ඉහත ලිපිය වත්පොත හරහාද හුවමාරු වූ අතර මොණරිගේ අදහසට පක්ෂව හා විපක්ෂව තවත් අය අදහස් පළකර තිබුණේය. (මේ ලිපියේ අරමුණ එවැන්නක් නොවේ). එසේ අදහස් පළකර තිබුණු පිරිස අතර දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණිද විය. ඔහුගේ අදහස් දැක්වීම හා එයට ප්‍රතිචාරයක්ද සමඟ "තම්බපන්ණියේ අපි" බ්ලොග් අඩවියේ තවත් ලිපියක් පළ වී තිබුණේය.

මේ සංවාදයට තවත් බ්ලොග්කරුවෙකු වන සුරෝෂණ ඉරංගද එකතු වී තිබුණේය. ඔහු පළකර තිබුණේ මොණරිගේ අදහසට වඩා වෙනස් අදහසකි. 

සමාජජාලා වල වටිනාකම වන්නේ අස්සයා පැන යන්නට පෙර ඉස්තාලයේ අයිතිකරුවාට අනතුරු අඟවන්නට ඒවාට ඇති හැකියාවයි. මේ ඇතැම් අනතුරු ඇඟවීම් අනවශ්‍ය අනතුරු ඇඟවීම් (false alarm) විය හැකි වුවත් බොහෝ විට දුමක් නඟින්නේ ගින්නක් නිසා බැවින් අනතුරු ඇඟවීම් වලට සංවේදී වී සිටීම වැදගත්ය. සමාජ ජාලා හරහා කෙරෙන අනතුරු ඇඟවීම් නොසලකා හරින හෝ ඒවාට සංවේදී නැති කලාකරුවන්, දේශපාලනඥයින් මෙන්ම අවශේෂ පුද්ගලයින්ද සුනාමි වලට අහුවෙන්නට වැඩි ඉඩක් තිබේ.

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අද (අගෝස්තු 04) විකාශනය වුණු කොටසේ දැකිය හැක්කේ පාසැලේ විනය භාර ගුරුතුමිය විසින් නාට්‍යයේ ප්‍රධාන චරිත වන ගැහැණු ළමුන්ගේ ගවුම්, නියපොතු ආදිය පරීක්ෂා කරන දර්ශනයකි (2:13 මිනිත්තුව බලන්න).

මේ කොටස ටෙලිනාට්‍ය පිටපතේ මුල සිටම තිබුණු කොටසක්ද?


(Image: http://www.saaravita.lk/On-location/524300/on-location-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8)

Thursday, August 3, 2017

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති


මේ වන විට ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ ඉතා සීමිත පිරිසකි. ආණ්ඩුව පිහිටවීමට මුල් වූ, ආණ්ඩුවට සෘජුව සම්බන්ධ පමණක් නොව ආණ්ඩුවේම කොටස් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙක්ද දැන් ආණ්ඩුව වෙනුවෙන් කතා කරනු නොපෙනේ.

මෙය දෙවසරකට පෙර පැවති තත්ත්වයෙන් විශාල ලෙස අපගමනය වීමකි. ඒ දවස් වල රැල්ල තිබුණේ කලින් ආණ්ඩුවේ වැරදි පෙන්වන පැත්තේය. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම ඒ දවස් වල ජනප්‍රිය රැල්ලයි. දැන් රැල්ල ආණ්ඩුවට බැනීමයි.

රටින් බැහැරව ජීවත් වන ඉකොනොමැට්ටාට ලංකාවේ වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු සෘජු සම්බන්ධයක් නැත. පරණ ආණ්ඩුවවට සම්බන්ධව සිටි, මේ ආණ්ඩුවට සම්බන්ධ නැති අය සමඟද කිසිදු සෘජු සම්බන්ධයක් නැත. අඩු වශයෙන් ලංකාවේ ජීවත් වූ කාලයේදීවත් ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධව සිටි හෝ නොසිටි කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සෘජු සම්බන්ධයක් තිබුණේ නැත.

කෙසේ වුවද, ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම ඉකොනොමැට්ටාට ලංකාවේ දේශපාලනය ගැනත්, ලෝක දේශපාලනය ගැනත් උනන්දුවක් තිබුණේය. ඒ උනන්දුව තවමත් එසේම තිබේ. ලංකාවේ ජීවත්ව සිටියදීද අපට ලංකාවේ දේශපාලනය දෙස එයින් බාහිරව සිටිමින් බලන්නට හැකියාව තිබුණේය. රටින් බැහැරව සිටිද්දී එය වඩාත් පහසුවෙන් කළ හැකිය.

ආර්ථික විද්‍යාව යනු ඉකොනොමැට්ටා ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම අතැඹුලක් සේ දැන සිටි විෂයයක් නොවේ. එය අප පසුව හැදෑරූ විෂයයකි. එයට අමතරව එක පැත්තකින් මේ විෂයයේ ආකෘති (න්‍යාය) ගොඩනඟන්නට සුළු හෝ දායකත්වයක් දෙන්නටත්, අනෙක් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබන්නටත් අපට ඉඩකඩ ලැබී තිබේ. ඒ නිසා, ලංකාවේ ආර්ථිකය ගැන විමසන්නට අපට අනුන්ගේ කන්නාඩි අවශ්‍ය නැත.

එහෙත් එයින් කියවෙන්නේ අප මේ විෂයයේ කෙළ පැමිණ ඇති බව හෝ අප මෙහි ලියන හැම දෙයක්ම සර්ව සම්පූර්ණ බව නොවේ. අප ලියන්නේ අපේ නැණ පමණිනි. අප ලියන්නේ අප දන්නා දේ මත පදනම්වය. අප ලියන දෙයෙහි වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඇත්නම්, ඕනෑම කෙනෙක් විසින් නාමිකව හෝ නිර්නාමිකව එවැනි දේ පෙන්වාදීම පිළිබඳව අප අවංකවම සතුටු වන අතර පිළිගත හැකි අයුරින් පෙන්වා දුන් විටක එවැනි වැරැද්දක් හෝ අඩුපාඩුවක් පිළිගැනීමට අප පැකිලෙන්නේ නැත.

ප්‍රශ්නයක් විග්‍රහ කිරීමට වඩා සුදුසු ආර්ථික විද්‍යා ආකෘතියක් යොදා ගන්නටත්, එවැනි සුදුසු ආකෘතියක් නැති විට ප්‍රථම මූලධර්ම අනුව යමින් ගැලපෙන ආකෘතියක් හදා ගන්නටත් අපට බැරිකමක් නැත. එහෙත්, එසේ ආකෘති තෝරාගන්නට හෝ හදාගන්නට වෙන්නේ අප දන්නා තොරතුරු වලට සාපේක්ෂව වීම වැළැක්වීමට නොහැකිය. ඒ නිසා, නොදන්නා තොරතුරු දැනගන්නට ලැබෙන විට අප හිතන හා ප්‍රශ්න විග්‍රහ කරන ආකාරයද වෙනස් වන්නට ඉඩ තිබේ. අපට වඩා වැදගත් වන්නේ වඩා නිවැරදි දෙය සොයා යාම මිස ප්‍රතිරූප ගොඩනගාගැනීම හෝ පවත්වාගැනීම නොවේ.

අප නොදන්නා දේ බොහෝ වුවත්, මෙහි පළවන ඇතැම් බ්ලොග් ලිපි වල මාතෘකාවට අදාළ හැම දෙයක්ම පුළුල් ලෙස සාකච්ඡා නොකිරීමට එකම හේතුව එය නොවේ. බ්ලොග් ලිපි ලියන්නේ ඒවා කියවන සාමාන්‍ය පාඨකයින් ඉලක්ක කරමිනි. සිංහලයන් නොවන සුළු පිරිසක් මෙය කියවන පාඨකයින් අතර සිටියත්, මේ බ්ලොග් කියවන වැඩි දෙනෙකු සිංහලයෝ වෙති. මෙහිදී සිංහලයන් ලෙස අදහස් කරන්නේ වැඩි වශයෙන්ම සිංහලෙන් හිතන අයයි. මේ සිංහලයන් අතර ශ්‍රී ලාංකිකයින් නොවන සැලකිය යුතු පිරිසක්ද සිටිති.

ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන රටවල් අය අතරින් 40%ක් පමණම ලංකාවෙන් පිට ජීවත් වන අයයි. වෙනත් බොහෝ සිංහල බ්ලොග් වල පාඨක සංයුතියද මීට සමානය. මේ අය අතර, තාවකාලිකව රටින් පිටව සිටින්නන් මෙන්ම ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටක් තෝරාගෙන ඇති ශ්‍රී ලාංකිකයෝද විශාල පිරිසක් සිටිති. ඔවුන්ගෙන් ඇතැම් අය මේ වන විට ශ්‍රී ලාංකිකයෝ නොවෙති. එහෙත්, ඔවුහු තවදුරටත් සිංහලයෝ වෙති. ජීවත් වන හෝ ඉපදුණු රට කුමක් වුවත් සිංහලයෙකුට හොඳින්ම තේරෙන්නේ සිංහලෙන් කියවන විටය.

ඉංග්‍රීසියෙන් කියවන අයට කියවන්නට දේවල් අඩු නැතුව තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් සිංහලෙන් ලියා ඇති දේ පමණක් කියවන අයට කියවන්නට එතරම්ම දේවල් නැත. ලංකාවේ සිට ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන බොහෝ දෙනෙක් කියවීම සඳහා සිංහලෙන් ලියා ඇති දේ සොයන අයයි. ඔවුන් බොහෝ විට හොයන්නේ සිංහලෙන් කියවන්නට නොලැබෙන දේවල්ය.

ලංකාවෙන් පිට ජීවත් වන අය අතරත් වැඩිපුරම ලංකාවේ පත්තරම බලන, ලංකාවේ ටෙලිනාට්‍ය නැරඹීම සඳහා විශාල කාලයක් යොදවන, තමන් ජීවත් වන රටේ ජනමාධ්‍ය සාපේක්ෂව අඩුවෙන් පරිශීලනය කරන සැලකිය යුතු පිරිසක් සිටිති. එමෙන්ම, ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් ලියා ඇති දේ වැඩිපුර කියවන, ඒ අතරට සිංහල බ්ලොග් වැනි දේ වෙනුවෙන්ද යම් කාලයක් වැය කරන අයත් සිටිති. මේ අය සිංහල බ්ලොග් කියවන්නේ ලංකාවේ සංස්කෘතිය සමඟ තමන්ගේ ඇති ඓන්ද්‍රීය සම්බන්ධතාව නොකඩවා පවත්වා ගැනීම පිණිසය. ඔවුන්ට ලංකාවේ දේශපාලනය ගැනද උනන්දුවක් තිබේ.

අප බ්ලොග් ලිපි ලියන්නේ මේ සියලු වර්ග වල පාඨකයින් වෙනුවෙනි. බොහෝ විට, ඔවුන් උනන්දුවක් දක්වන මාතෘකා අපට පහසුවෙන් හඳුනාගත හැකිය. ඇතැම් විට, ඇතැම් දේවල් විස්තර කරන මෙන් අපට පෞද්ගලික (ඊමේල් හෝ ඉන්බොක්ස් හරහා) හෝ පොදු (කමෙන්ට් ලෙස) ඉල්ලීම් ලැබේ. අප අපේ අදහස්, විමර්ශන හෝ තොරතුරු ඉදිරිපත් කරන්නේ කාගේවත් පෞද්ගලික තීරණ බලහත්කාරයෙන් වෙනස් කිරීමට නොවේ. අපට එවැන්නක් කළ නොහැකිය.

අප විශ්වාස කරන පරිදි, ඒකීය පුද්ගලයන්ට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමට ස්වභාවික හැකියාවක් තිබේ. ඒකීය පුද්ගලයින් වෙනුවෙන් හිතන්නට සුවිශේෂී පුද්ගලයින් අවශ්‍ය නැත. එහෙත්, ඕනෑම පුද්ගලයෙකුට තමන්ට හොඳම දෙය තෝරා ගන්නට වෙන්නේ තමන්ගේ දැනුමට හා අත්දැකීම් වලට සාපේක්ෂවය. මේ දැනුම හා අත්දැකීම් සීමිතය. අප නොදන්නා දේ දන්නා දේ වලට වඩා බොහෝ වැඩිය. වෙනත් අයගේ දැනුම් හා අත්දැකීම් මගේ නිම්වළලු පුළුල් කරයි. එය වඩා හොඳ තීරණයක් ගැනීම පහසු කරයි. මෙහි ලියන ලිපි මඟින් ඉකොනොමැට්ටා අපේක්ෂා කරන්නේද එවැන්නක් අනෙකුත් අය වෙනුවෙන් පෙරළා කිරීමයි. ඉකොනොමැට්ටා විසින් ඉදිරිපත් කරන තොරතුරු හෝ විමර්ශන මත කැමති කෙනෙකුට කැමති තීරණයක් ගන්නට නිදහස තිබේ. කියන දේ අපැහැදිලිනම් පැහැදිලි කිරීමටත්, වැරදිනම් නිවැරදි කිරීමටත් ඉකොනොමැට්ටා සූදානම්ය.

මෙහි පළවන ලිපි කියවන හැම දෙනෙක්ම එක්කෝ තමන් විසින් මේ බ්ලොග් එක හොයාගත් අයෙකි. එසේ නැත්නම්, වෙනත් අයෙකුගේ මඟපෙන්වීම අනුව පැමිණි අයෙකි. ඉතා සීමිත අවස්ථා කිහිපයකදී හැර, ඉකොනොමැට්ටා විසින් ඔහුගේ පෞද්ගලික මිතුරන් තබා පවුලේ සමීපතම සාමාජිකයින් අතරවත් මෙය ප්‍රචාරණය කර නැත. ඒ ප්‍රචාරණයේ වැරැද්දක් ඇතැයි ඉකොනොමැට්ටා සිතන නිසා නොවේ. අප වැඩි බරක් තබන්නේ තබන්නේ මිනිසුන්ගේ රුචිකත්වයන් වෙනස් කර ගන්නට බලපෑම් කරමින් කෘතීම ලෙස ඉල්ලුමක් ඇති කිරීම කෙරෙහි නොව පවතින ස්වභාවික ඉල්ලුම හඳුනාගැනීමින් පවතින ඉල්ලුම සැපිරීම කෙරෙහි බැවිනි.

අපට ලංකාවේ ආණ්ඩු වෙනස් කරන්නට අවශ්‍ය නැත. ආණ්ඩු පවත්වාගෙන යන්නට උදවු කරන්නටද අවශ්‍ය නැත. ඒ තීරණ ලංකාවේ ඡන්දදායකින් විසින් සාමූහිකව ගත යුතු තීරණයි.

එහෙත්, ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ජීවත් වන මිනිසුන්ගේ අනාගත ජීවිත වඩා යහපත් වනු දකින්නට අප කැමතිය. ලංකාවෙන් බැහැරව සිටියත් ලංකාව යනු අපට තවත් එක් රටක් නොවේ. ලංකාවේ ආර්ථිකය හෝ සංස්කෘතිය විනාශ වනු දැකීම අපේ අභිප්‍රාය නොවේ.

ලංකාවේ ආර්ථිකය හා එහි විවිධ සංරචක පිළිබඳව අපේ න්‍යායාත්මක දැනුම, අපට ලැබී ඇති අත්දැකීම් හා අප විසින් පරිශීලනය කර ඇති සංඛ්‍යාලේඛණ මත පදනම් වූ විග්‍රහයක් අපට තිබේ. අප ලංකාවේ ආර්ථිකය ගැන ලියන්නේ මේ මූලික විග්‍රහය මත පදනම්වය.

අප දකින පරිදි, ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්න සියල්ලකම වාගේ මුල මූලික අසමතුලිතතාවන් දෙකකි. පළමුවැන්න, රාජ්‍ය අයවැය හිඟයයි. දෙවැන්න, ගෙවුම් ශේෂ හිඟයයි. අනෙක් ප්‍රශ්න බොහොමයක්ම මේ මූලික ප්‍රශ්න දෙකේ ව්‍යුත්පන්නයි. බොහෝ දෙනෙකු විසින් කතා කරන ණය අර්බුදයද හේතුවක් නොව ඵලයකි.

මේ මූලික ප්‍රශ්න දෙක මේ ආණ්ඩුව කාලයේ හෝ පසුගිය ආණ්ඩුව කාලයේ ඇති වූ ප්‍රශ්න නොවේ. ජේආර් විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ඇති වූ ප්‍රශ්නද නොවේ. ලංකාව නිදහස ලැබූ කාලයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රශ්න දෙකකි.

පැවති ආණ්ඩු විසින් වරින් වර මේ ප්‍රශ්න වලට විවිධ ආකාර වල විසඳුම් සෙවුවේය. ඒ විසඳුම් වලින් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බැව් අප නොකියමු. එහෙත්, සමස්තයක් ලෙස මේ ප්‍රශ්න කාලයත් සමඟ වර්ධනය වී තිබේ.

ඇතැම් අය අසන්නේ ධනවාදය නිසා ලංකාවට ලැබුණු දේ මොනවාද යන්නයි. ධනවාදය නිසා ලංකාවට මොනවා ලැබුණේද යන්න ප්‍රශ්නයක් වන්නේ කවදා හෝ ලංකාවේ ධනවාදයක් තිබුණේනම් පමණි. ලංකාවේ සාතිශය බහුතරය ධනවාදය කියා කියන්නේ කුමක්දැයි නොදන්නා බව මේ ප්‍රශ්නය විසින්ම පැහැදිලි කරයි.

වෙනත් අය තබා මේ ගැන බොහෝ කලක් යන තුරු අප දැන සිටියේද නැත. සමාජවාදය උගන්වන්නට ලංකාවේ බොහෝ අය සිටියත්, ධනවාදය කුමක්දැයි කියා දිය හැකි අය ලංකාවේ නොසිටි තරම්ය. ඒ නිසා, ධනවාදය ගැන අප දැන සිටියේද සමාජවාදීන් විසින් ඒ ගැන කියා දුන් දෙයයි. දුප්පතුන්ට මූලික පහසුකම්වත් නැතිව මැරෙන්නට අරිමින්, ධනවතුන්ට පමණක් රිසි සේ මුදල් සොයන්නට උදවු කරන ක්‍රමයක් වෙනුවෙන් කවර හෝ හෘද සාක්ෂියක් ඇති පුද්ගලයෙකුට පෙනී සිටින්නට නුපුළුවන. ධනවාදය ගැන සමාජවාදීන් විසින් කියා දුන් මේ දේවල් ගැන මෙන්ම ඇමරිකාව ගැනත්, වෙනත් බටහිර රටවල් ගැනත් අප "දැන සිටි" බොහෝ දේවල් ගැන අපට සැබෑවටම දැනගන්නට ලැබුණේ ඒ රටවල සමාජයන් හා ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආකාරය හරියටම නිරීක්ෂණය කරන්නට ලැබීමෙන් පසුවය.

අප ලංකාවේ පමණක් ජීවත්ව සිට තිබුණු කාලයේ උගත් බොහෝ ආර්ථික න්‍යායයන් සැබෑ ලෝකයේදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවක් අපට නොපෙණුනේය. වෙනත් බොහෝ අය මෙන්ම අප මෙය අවබෝධ කරගත්තේද න්‍යායයන්හි පවතින අඩුපාඩු ලෙසිනි. එහෙත්, මේ බොහෝ න්‍යායයන් වැරදි නොවන බවත්, ඒවා ක්‍රියාත්මක වන තැන් ලෝකයේ ඇති බවත් දැන් අප දනිමු. ලංකාවේදී, මේ දේවල් කියන අයුරින්ම සිදු නොවන්නේ ඇයිද යන්නත් අපට මේ න්‍යායයන් ඇසුරින්ම තේරුම් ගන්නට පුළුවන.

ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට පෙර ප්‍රශ්නයක් නිවැරදිව හඳුනාගත යුතුය. ඒ සඳහා ප්‍රශ්නයේ මුලට යා යුතුය. ප්‍රශ්නය හඳුනාගත්තද, ප්‍රශ්නයකට විසඳුම් ඇත්තේ එකක් පමණක් නොවේ. නිවැරදි විසඳුම් ගණනාවක් තිබෙන්නට පුළුවන. මේ විසඳුම් අතරින් හොඳම විසඳුම ඇතැම් විටක පැහැදිලිව පෙනෙන්නට තිබුණත් බොහෝ විට එය එසේ නැත.

කිසිවකු විසින් හෝ සාර්ථක ලෙස ධනවාදය ලංකාවට හඳුන්වා දෙනු නොලැබුවත්, බොහෝ දෙනෙකු විසින් පසුගිය සියවසේ මුල සිටම ලංකාවට සමාජවාදය හඳුන්වා දෙනු ලැබුණේය. මා මේ කතා කරන්නේ දාස් කැපිටාල්හි හෝ වෙනත් පොතක ඇති සමාජවාදයක් ගැන නොවේ. (කාල වේලා ලැබෙන පරිදි ඒ පැත්තත් කතා කිරීම වැදගත්යයි සිතන නමුත් මෙය විශාල කාලයක් වැය කළ යුතු කටයුත්තකි.) ලෝකයේ බොහෝ රටවල පැවති, විවිධ දේශපාලන පක්ෂ විසින් ලංකාවේද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ හා කරන මධ්‍යගත සැලසුම් ක්‍රමය ගැනය.

ඓතිහාසිකව ලංකාවට සමාජවාදය පැමිණියේ ධනවාදයේ අනෙකා ලෙස නොවේ. අධිරාජ්‍යවාදයේ අනෙකා ලෙසය.

යුරෝපීයයන් ලංකාවට පැමිණෙන්නට පෙර ලංකාවේ රාජ්‍යය වූයේ රජු හා ඔහු වටා සිටි සීමිත පිරිසකි. එහෙත්, මේ කාලයේ වුවද රාජ්‍යයේ අඬුපඬු සමාජ ජීවිතයේ සෑම අස්සක් මුල්ලකටම පැතිරී තිබුණේ නැත. මේ කාලයේ රටේ ජනතාවට නඩත්තු කරන්නට වූ රාජ්‍යය එතරම් විශාල නොවූ නිසා එහි ලොකු බරක් නොතිබුණේය. මෙයින්  අදහස් වන්නේ එසේ වූ කාල වකවානු නොතිබුණු බව නොවේ. සමාජයේ ස්ථර අතර පැහැදිලි ධුරාවලියක් තිබුණත් රජා බොහෝ විට "අපේම එකෙක්" විය. ඒ නිසා, ඒ රජාව නඩත්තු කිරීමෙන් ජනතාවට ලැබුණු මොනවා හෝ දෙයක් තිබුණේය. අඩු ගානේ "අපට රජෙක් ඉන්නවා" කියා කියන්නට හෝ හැකි විය. රජු  "අපේම එකෙක්" නොවූ විට එවැනි රජුන් එළවන්නට ජනතාව ඉදිරියට ආවේය. (එය සිදුවුණු ආකාරය පැහැදිලි කරන්නට අප මෙහි උත්සාහ දරන්නේ නැත.)

පැවති ධුරාවලිය රටේ මිනිසුන් විසින් පවතින තත්ත්වය ලෙස පිළිගෙන තිබුණු නිසා ඒ හේතුවෙන් ජනතාව පීඩනයකින් සිටියේ නැත. පීඩනයක් දැනෙන්නේ පවතින තත්ත්වය පැවතිය යුතු සාමාන්‍ය තත්ත්වය නොවන බව දැනගත් විටය. අතීතයේ ජීවත් වූ මිනිසුන් හිතූ පැතූ ආකාරය අද සංස්කෘතිය තුළ ජීවත් වන කෙනෙකුට අතීතයට රිංගා නිරීක්ෂණය කළ නොහැකිය.

රජුට රටේ ඉඩම් වල හිමිකම තිබුණු නිසා, ඕනෑම ගැටිස්සියක අන්තඃපුරයට කැඳවිය හැකිව තිබුණු නිසා හෝ රාජ සභාවේ කිවිසුමක් යැවූ අයෙකුගේ හිස ගසා දැමිය හැකිය වූ නිසා ලංකාවේ රාජ්‍යය අදට වඩා විශාල රාජ්‍යයක් වූ බව අයෙකුට කියන්නට පුළුවන. ඉහත වාක්‍යයේ ඇති බොහෝ දේ අර්ධ සත්‍යයි. රජවරුන්ට අභිමතය ක්‍රියාත්මක කරන්නට ලැබුණු පැහැදිලි රාමුවක් තිබුණේය.

යුරෝපීයයන් එන්නට පෙර ලංකාවේ වැසියන් හා රජු අතර තිබුණේ ඉතා ලිහිල් සම්බන්ධතාවයකි. සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දේවල් ඒ කාලයේදී රජය විසින් කළේ නැත. රජය මඟින් අවධානය යොමු කළේ විදේශ වෙළඳාම ඇතුළු විදේශ ප්‍රතිපත්තිය, නීතිය හා සාමය රැකීම, නියාමනය (තහනම් කැලෑ ආදිය) ආදී රාජ්‍ය මැදිහත්වීමක් නැතිවම බැරි කරුණු කෙරෙහිය. වැව් අමුණු හැදීම හා වෙහෙර විහාර හැදීම වැනි මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජන වෙත රජය යොමු වුණේ සමාජ අතිරික්තයක් තිබුණු අවස්ථාවලදී මිස බදු වැඩි කරමින් හෝ ණය ගනිමින් නොවේ. (වෙහෙර විහාර හැදීම ආයෝජනයක් වන්නේ කෙසේද යන්න තමන් දැන් ජීවත් වන සංස්කෘතික රාමුවෙන් පිටත දැකිය නොහැකි අයට ප්‍රශ්නයක් විය හැකිය.) රජයේ ආරක්ෂක වියදම් වැඩි කෙරුණේ රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ කාල වලදී පමණි. එවැනි කාල වලදී ඒ වියදම් දරන්නට ජනතාව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.

යුරෝපීයයන් ලංකාවට පැමිණීමත්, අන්තිමේදී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් වීමත් සමඟ ඉහත තත්ත්වයේ ආකෘතිමය වෙනසක් සිදු විය. 1815න් පසුව, ලංකාවේ රජය යනු බ්‍රිතාන්‍ය රජයේ කොටසක් විය. රජු තවදුරටත් "අපේ එකෙක්" නොවූ අතර, ඒ ගැන සතුටට පත් නොවූ රටේ ජනතාව විසින් තත්ත්වය වෙනස් කරගන්නට දැරුණු උත්සාහයන් සාර්ථක වුනේද නැත. ප්‍රායෝගිකව ලංකාවේ ජීවත් වූ හැම "සුද්දෙක්ම" වාගේ (බ්‍රිතාන්‍ය) රජයේ නියෝජිතයෙක් විය. ඔවුන් රජයේ රැකියාවක නිරතව සිටීම හෝ නොසිටීම මෙහිදී අදාළ කරුණක් නොවේ. සුද්දා සිවිල් සේවකයෙකු වුවත්, මිෂනාරියෙකු වුවත්,  වැවිලිකරුවෙකු වුවත් ඔවුන් සියල්ලන්ම විසින් කළේ බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාවේ පවත්වාගෙන යාමයි.

ඉංග්‍රීසින් විසින් ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහයද විශාල ලෙස වෙනස් කළේය. මෙයින් සමස්තයක් ලෙස ලංකාවේ ආර්ථිකයේ නිෂ්පාදන ඵලදායීතාවය වැඩි විය. එහෙත්, එහි අතිරික්තය හිමි කර ගත්තේ ඉහතින් විස්තර කළ රජයේ පාර්ශ්වකරුවන් විසිනි. ඒ අතිරික්තයෙන් කොටසක් යටිතලපහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කෙරුණු අතර එවැනි ආයෝජන සිදු කළේ අනාගත ආදායම් ප්‍රවාහ අපේක්ෂා කරමින් මිස පාඩු ලබන්නට නොවේ. ආර්ථික ව්‍යුහයේ සිදුවූ වෙනස්වීම් නිසා රටේ ජනජීවිතයද සැලකිය යුතු ලෙස වෙනස් වූ අතර ඒ කෙරෙහි රාජ්‍යයේ බලපෑම තවදුරටත් නොසලකා නොහළ හැකි තරමට ව්‍යාප්ත විය.

ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේදී රාජ්‍යය යනු ඉංග්‍රීසින් විය. ජනතාව වූයේ ලාංකිකයින්ය. ඒ නිසා, එක පැත්තකින් රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට විරුද්ධ වීමක් විය. රාජ්‍යය නඩත්තු කිරීම සඳහා ජනතාවට ගෙවන්නට වූ මිලට සරිලන දෙයක් ඉල්ලා සිටීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණේය. ජනතාවට ආපසු දිය යුතු දෙය තීරණය කළේ රජයයි. යුරෝපීයයන් පැමිණෙන්නට පෙර තිබුණු රාජ්‍යය තුළද මෙය සිදු වුනේ මේ ආකාරයෙන්ම වුවත්, ඒ කාලයේ රාජ්‍යය එතරම් පුළුල්ව නොතිබුණු නිසා මෙය ප්‍රශ්නයක් වූයේ නැත.

ඉංග්‍රීසි පාලනය ව්‍යාප්ත වෙද්දී, ඇතැම් ලාංකිකයින්ටද ලංකාවේ පැවති (ඉංග්‍රීසි) රාජ්‍යයේ කොටස් බවට පත් වෙන්නට හැකි විය. නිදහස ලැබෙන කාලය වන විට ලංකාවේ පැවති ඉංග්‍රීසි රාජ්‍යයේ ඉංග්‍රීසින්ට වඩා සිටියේ ස්වදේශිකයින්ය.

පෙර කී පරිදි, ඉංග්‍රීසින්ගේ ආර්ථික උපාය මාර්ග හේතුවෙන් ලංකාවේ නිෂ්පාදන ඵලදායීතාවය සැලකිය යුතු ලෙස වැඩි විය. එහෙත්, මේ අතිරික්තයෙන් විශාල කොටසක් වත්මන් ලංකාවේ භූමි සීමා ඇතුළත නොරැඳුනේය. ඇමරිකාවේ කොලනි වල පදිංචිව සිටි ඉංග්‍රීසින්ගෙන් බ්‍රිතාන්‍ය රජය විසින් එකතු කරගත් බදු මුදල් වෙනුවෙන් පවා ප්‍රමාණවත් යමක් බ්‍රිතාන්‍ය රජය වෙතින් ඔවුන්ට ආපසු නොලැබුණු පසුබිමක, ලංකාවේ එවැන්නක් සිදුවන්නට ඉඩක් නොතිබුණේය.

ඉංග්‍රීසින් විසින් ලංකාව ලාභ මධ්‍යස්ථානයක් (profit center) ලෙස දිගටම පවත්වා ගැනුණු අතර, අතිරික්තයෙන් සැලකිය යුතු කොටසක් බ්‍රිතාන්‍යයට ගියේය. ඉතිරිය බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාව තුළ පවත්වා ගෙන යන්නට උදවු කළ ලාංකිකයින් හා මෙහි ජීවත් වූ යුරෝපීයයන් අත ඉතිරි විය. මේ ක්‍රමය තුළ ඉංග්‍රීසි රාජ්‍යයෙන් බැහැරව සිටි විශාල ලාංකිකයින් පිරිස, විශාල ලෙස නොවූවත්, ශුද්ධ අලාභ විඳින්නෝ වූහ. පසුගිය සියවසේ මුල වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයකි.

ඉහත තත්ත්වය තුළ, වැඩ වර්ජන හා විරෝධතා වැනි "සමාජවාදී උපක්‍රම" ජනප්‍රිය වීම තේරුම් ගන්නට අපහසු නැත. නිදහසට පෙර ලංකාවේ සමාජය සියල්ලන්ටම සමාන අවස්ථා තිබුණු සමාජයක් නොවීය. (එය තවමත් එසේමය.) සාමාන්‍ය ජනතාවට පෙනුණු පරිදි පීඩකයා වූයේ සුද්දාය. සුද්දා සමඟ කළු සුද්දෝද සිටියහ. සුද්දා මෙන්ම සුද්දා වටා සිටි කළු සුද්දන් විසින්ද නියෝජනය කළේ රජයයි. ඒ නිසා, සාමාන්‍ය මිනිසුන්ට පෙනෙන්නට තිබුණු පරිදි රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට එරෙහි විරෝධයක්ද විය. මේ ආක්‍රමණිකයාව ඉතිහාසයේ වෙනත් ආක්‍රමණිකයින්ව එළෙවුවාක් මෙන් දුනු ඊතල වලින් සටන් කර එළවිය නොහැකි බව මේ වන විට ඔවුහු දැන සිටියහ. විකල්පයක් නැතිව සිටි මිනිසුන්ට පැරණි වාමාංශික පක්ෂ වල නායකයින් විසින් සතුරාව මෙල්ල කළ හැකි අලුත් ආයුධ හඳුන්වා දුන්නේය. ලංකාවේ වර්ජන හා විරෝධතා ජනප්‍රිය වුණේ එවැනි පසුබිමකය.

පැරණි වාමාංශික පක්ෂ වල හෝ වෘත්තීය සමිති වල මෙහෙයවීමෙන් වර්ජන හා විරෝධතා වලට එක් වුනු බොහෝ ලාංකිකයින්ට ලංකාවේ සමාජවාදය බිහි කරන්නට උවමනාවක් තිබුණේ නැත. එහෙත්, රාජ්‍යය හා වැසියන් අතර විශාල පරතරයක් තිබුණු මේ කාලයේ වර්ජන හා විරෝධතා යනු ඔවුන්ට තිබුණු අඩු හෙට්ටු කිරීමේ හැකියාව වැඩි කරගත හැකි සාර්ථක ක්‍රමයක් විය. සහනාධාර යනු තමන්ගෙන් එකතු කර ගන්නා බදු මුදල් වලින් කොටසක් ආපසු ලබාගත හැකි ක්‍රියාවලියක් විය.

වඩාත්ම නිවැරදිව කියනවානම් ලංකාවට වර්ජන සංස්කෘතිය හඳුන්වා දුන්නේ වාමාංශික පක්ෂ විසින්ද නොවේ. එක්සත් ජාතික පක්ෂයේ මූල පක්ෂයක් ලෙස සැලකිය හැකි කම්කරු පක්ෂය හා එයට අනුබද්ධ වූ වෘත්තීය සමිති විසිනි. වාමාංශික පක්ෂ වෘත්තීය සමිති තුළ පෙරමුණට පැමිණියේ කම්කරු පක්ෂය විසින් සංවිධානය කළ 1929 ලේක්හවුස් වර්ජනය අසාර්ථක වීමෙන් පසුවය. ඊට පෙර, කම්කරු පක්ෂයේ මෙහෙයවීම යටතේ සිදුවුණු වරාය, දුම්රිය සේවක ඇතුළු වර්ජන ගණනාවක් සාර්ථක ලෙස අවසන් විය. 1920 දශකයේදී ඇරඹුණු ඇතැම් වර්ජන පොලීසිය සමඟ ගැටී පොලීසි ගිණි තැබීම දක්වා දුර දිග ගියේය. (මේ කාලය ගැන අපේ පවුලේ දැනට ජීවත්ව නැති වැඩිහිටියන්ගෙන් දැනගත් තොරතුරුද අපේ මතකයේ තිබේ.) මේ කාලයේ ආණ්ඩුව "අපේ" නොවූ නිසා මේ වර්ජන සිදු වුණේ රජයට එරෙහිව මෙන්ම ආක්‍රමණිකයෙකුටද එරෙහිවය.

නිදහස ලබා ගැනීමෙන් පසුවද ලංකාව විසින් පවත්වා ගෙන ගියේ ඉන් පෙර පැවති සාර්ව ආර්ථික ආකෘතියමය. එහෙත්, එක් පැහැදිලි වෙනසක් සිදු විය. ඒ, විදේශ සමාගම් සතුව පැවති ව්‍යවසායයන් ක්‍රමයෙන් ලංකාවේ රජයේ පාලනය යටතට ගනු ලැබීමයි.

උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ලංකාවම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වුවත්, එය එසේ වූ පමණින්ම එක රැයකින් ලංකාව ඉංග්‍රීසි ජාතිකයින්ට හෝ වෙනත් බටහිර රටවල උපන් අයට පැමිණ ජීවත් වන්නට හෝ ව්‍යාපාර කරන්නට සුදුසු ක්ෂේම භූමියක් වුනේ නැත. බටහිර රටක සිට ලංකාවට පැමිණ ජීවත්වීම ගැන හෝ ව්‍යාපාර කිරීම ගැන සිතන බොහෝ දෙනෙකුට අද මුහුණ පාන්නට සිදු වන ප්‍රශ්න බොහොමයක් එදාත් තිබුණේය. ඔවුන්ට සෞම්‍ය දේශගුණයක් වෙනුවට කටුක දේශගුණයක් තෝරාගන්නට සිදු විය. තමන්ගේ සංස්කෘතියෙන් දුරස් වන්නට සිදු විය. ලංකාවට රැගෙන එන ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ නිශ්චිත සහතිකයක් නොවීය. මේ සියල්ල පිළිබඳවම යම් තරමකින් සෑහීමකට පත් විය හැකි වුවත්, ලෝකය පුරා තිබුණු වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි වෙනත් බොහෝ තැන් සමඟ සසඳමින් තේරීමක් කළ යුතු විය.

මුල් කාලයේදී ඉංග්‍රීසි රජයට ලංකාවේදී දරන්නට සිදුවූ වියදම් ඔවුන් විසින් සොයාගත්තේ අසීරුවෙනි. ලංකාවේ ව්‍යාපාර කරන්නට, ජීවත් වන්නට හා සංචාරය කරන්නට මවු රටේ ජීවත් වූ ඉංග්‍රීසීන්ව පෙළඹවීමට ඔවුන්ට විශාල උත්සාහයක් දරන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජයේ මිලිටරි හෝ සිවිල් සේවකයින් නොවූ සාමාන්‍ය ඉංග්‍රීසි ජාතිකයෝද ක්‍රමයෙන් ලංකාවට පැමිණීමටත්, ව්‍යවසාය ඇරඹීමටත් පටන් ගත්තේය. මේ ඇතැම් ව්‍යවසාය අසාර්ථක විය. තවත් ඒවා සාර්ථක විය. පසුකාලීනව, ඉංග්‍රීසින් අනුයමින් වෙනත් බටහිර රටවල වැසියන්, ජාතික සමාගම් හා බහුජාතික සමාගම් ලංකාවේ ව්‍යාපාර ඇරඹුවේය.

නිදහසට පෙර ලංකාවේ පැවති විදේශිකයින්ට අයත් වූ ව්‍යාපාර බොහොමයක් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කෙරුණු ලාභ ලැබූ ව්‍යාපාරයි. කිසියම් ව්‍යාපාරයක් ලාබ ලැබීම යනු ශ්‍රමය සූරාකෑමේ ප්‍රතිඵලයක් ලෙස ලඝු කළ හැකි දෙයක් නොවේ. එයට අවදානම් කළමනාකරණය, නවීන තාක්ෂනය, ව්‍යවසායකත්වය වැනි විවිධ කරුණු බලපායි.

සමස්තයක් ලෙස, බටහිර රටවල සිට ලංකාවට පැමිණ ව්‍යාපාර ඇරඹුවේ අවදානම් ගන්නට කැමති වුනු, ව්‍යවසායකත්වය අතින් ඉදිරියෙන් සිටි අයයි. මේ අය විසින් ඉපැයූ ලාභ සියල්ලම නොවේනම්, අඩු වශයෙන් එයින් වැඩි කොටසක් ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළ ධනයයි. එසේ නැතුව, ලංකාවෙන් හෝ වෙනත් අයගෙන් සූරාගත් ධනයක් නොවේ. ඔවුන් ලංකාවට පැමිණ ව්‍යාපාර නොඇරඹුවේනම් එවැනි ධනයක් ලංකාව තුළ නිර්මාණය නොවිය හැකිව තිබුණි.

කෙසේ වුවද, ඉහත කී අයුරින් ලංකාව තුළ විදේශිකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් සෑහෙන කොටසක් ඔවුන්ගේ මවු රටවලටම ගියේය. ලංකාව තුළ ඉතිරි වුණේ එයින් කොටසක් පමණි. එසේ වූ පමණින් ලංකාවට අයහපතක් වුණේද නැත. ව්‍යවසායයන්හි නැවත ආයෝජනය කළ ප්‍රාග්ධනය ලෙසත්, රජය විසින් බදු හරහා අය කරගෙන යටිතලපහසුකම් වෙනුවෙන් වැය කළ මුදල් ලෙසත්, රට ඇතුළත සිදු කෙරුණු පරිභෝජන වියදම් ලෙසත් ලාබයෙන් කොටසක් රට තුළ ඉතිරි විය. මේ ව්‍යවසායයන් වෙත ශ්‍රමය විකිණූ ලාංකිකයින් විසින් ලබාගත් අතිරික්තයක් ඇත්නම් එයත් ලංකාවට ලැබුණු ශුද්ධ ලාභයකි.

නිදහස ලැබෙන තුරු ලංකාවේ පැවතුණේ ලංකාවට විදේශ ප්‍රාග්ධනය ගලා එන රැල්ලකි. නිදහසින් පසු මේ ප්‍රාග්ධන ප්‍රවාහ ආපසු හැරුණේය. ලංකාවේ දේශපාලනය හා සංස්කෘතික සාධක මෙහි ජීවත් වූ ඉංග්‍රීසින් ඇතුළු බටහිරයන්ගේ අපේක්ෂිත අවම තත්ත්වයන්ගෙන් විතැන් වෙද්දී මෙය අපේක්ෂා කළ යුතු දෙයකි. කෙසේ වුවද, ලංකාවේ ආණ්ඩු විසින් ගත් ඇතැම් ක්‍රියාමාර්ග නොවීනම් මෙය සුමට ලෙස හා හානිකර නොවන ලෙස සිදු විය හැකිව තිබුණි.

ලංකාවේ ව්‍යවසායයක් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි ජාතිකයෙකු කවර හෝ හේතුවක් නිසා එය විකුණා දමා රටින් පිටවන්නට හිතන්නේනම්, එසේ විකුණන්නේ තමන්ට එය විකිණිය හැකි වැඩිම මිලටය. ලංකාව නිදහස ලැබීමෙන් පසුව ආසන්න කාලය වැනි, රට තුළ සංස්කෘතික වෙනස්කම් සිදුවන කාලයක මෙවැනි ව්‍යවසායයක් මිල දී ගන්නට බොහෝ විට ඉදිරිපත් වන්නේ දේශීය ව්‍යවසායකයින්ය. එවැනි දේශීය ව්‍යවසායකයින් අතරින් වැඩිම මිලක් ගෙවන්නට සූදානම් වන පුද්ගලයා යනු අදාළ ව්‍යාපාරයෙන් වැඩිම ලාභ අපේක්ෂා කරන්නාය. මේ පුද්ගලයා දේශීය ව්‍යවසායකයින් අතරින් අදාළ ව්‍යාපාරය වඩාත්ම කාර්යක්ෂම ලෙස කරගෙන යා හැකි පුද්ගලයාද වේ. ඒ නිසා, එවැනි පුද්ගලයෙකු විසින් මෙහෙයවෙන ව්‍යාපාරයක් පෙර තරම් ලාභ නූපයනු ඇති වුවත්, ලාබ විශාල ලෙස අඩු වන්නේද නැත. අනික් අතට ලංකාවේ දිගටම ජීවත් වන්නට අදහස් නොකරන විදේශිකයකු විසින් තමන්ගේ ලාභ වලින් කොටසක් හෝ රටින් පිටතට ගෙන යන නිසා ඉහත කී ආකාරයේ නිදහසේ සිදුවන ව්‍යාපාර හිමිකම් සම්ප්‍රේෂණයකදී ලංකාවේ නිර්මාණය වී ලංකාව තුළ ඉතිරිවන නව ප්‍රාග්ධනය ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබුණේය.

මෙයට අමතරව, සිදුවෙමින් පැවති සංස්කෘතික වෙනස්කම් හමුවේ වුවද තවදුරටත් කිසියම් විදේශික ව්‍යවසායකයින් පිරිසක් රට තුළ රැඳී සිටිනු ඇති අතර ඔවුන් තවදුරටත් ලාභ ලැබුවත්, ඒ ලාභ රට තුළම රැඳෙනු ඇත. ඔවුන් කෙසේ වුවත්, ඔවුන්ගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන් ක්‍රමයෙන් ලාංකික සංස්කෘතිය තුළට අවශෝෂණය වනු ඇත. නිදහස ලැබෙන විට ලංකාවේ සිටි බර්ගර් ජාතිකයින් ලෙස හැඳින්වුණු අයගෙන් පැවතෙන්නන් මෙන්ම විප්ලවයෙන් පසු චීනයෙන් සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන්ද බොහෝ දෙනෙකු මේ වන විට සංස්කෘතික ලෙස සිංහලයෝය.

කෙසේවුවද, මේ ව්‍යවසාය හිමිකම් සම්ප්‍රේෂණය ඇත්තටම සිදුවුනේ මේ තරම් සුමට ලෙස නොවේ. ව්‍යවසාය ජනසතු කිරීමේ නාමයෙන් රජය සතු කිරීම ඇරඹුනේය. ඒ නිසා, රජය සතු වූ ව්‍යවසායයන්ගේ කළමණාකරුවන් වුණේ ස්වභාවික ලෙස මේ හුවමාරුව සිදුවන්නට ඉඩ හැරියේනම් ඒවායේ කළමණාකරුවන් විය හැකිව තිබුණු රට තුළ සිටි දක්ෂම ව්‍යවසායකයින් නොවේ. ජනසතු කිරීම් හමුවේ ඇතැම් විදේශිකයින් විසින් සිය ව්‍යවසායයන් කඩිමුඩියේ කීයකට හෝ විකුණා යද්දී ඒවා හිමි කරගත් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් වුවද, බොහෝ විට, ඒ ව්‍යවසායයන් කළමනාකරණය කිරීමට වඩාත්ම සුදුසු අය නොවීය.

එහෙත්, ජනසතු කිරීම් ලෙස හැඳින්වුනු රජය සතු කිරීම් ඒ කාලයේ ජනප්‍රිය තේරීම් විය. බොහෝ දෙනා මේ ක්‍රියාවලිය දැක්කේ ආක්‍රමණිකයා සතුව තිබූ සම්පත් "අපේ රජය" වෙත ලැබීමක් ලෙසය. මේ "අපේ රජය" තවදුරටත් අපේ නොවන රජයක් බව වැඩි දෙනෙකු තේරුම් ගෙන නොසිටි අතර මේ තත්ත්වය වසර හැත්තෑවකට පසුවද ලොකුවට වෙනස් වී නැත.

ජනසතු කිරීම් වලින් පසුව සිදු වූ හොරකම්, දූෂණ හා නාස්ති ගැන බොහෝ දෙනෙක් කතා කරති. මේවා විශාල ප්‍රශ්න බව ඇත්තකි. එහෙත්, මේ ජනසතු කිරීම් වල තිබුණු ලොකුම ප්‍රශ්නය හොරකම්, දූෂණ හා නාස්ති නොවේ. හොරකම් හා දූෂණ නිසා රජය සතු විය යුතු ධනයක් වෙනත් අයෙකු අතට යයි. එහෙත්, රටක් ලෙස සැලකූ විට මේ ධනය රට තුළ කාගේ හෝ අතේ තිබේ. නාස්ති සම්බන්ධව මේ තර්කය සම්පූර්ණයෙන් නිවැරදි නොවන නමුත් නාස්තියේ ස්වභාවය අනුව නාස්ති කරන මුදල් වලින් වුවද කොටසක් රට තුළ ඉතිරි විය හැකිය.

හොරකම්, දූෂණ හා නාස්ති ආදිය අප කිසිසේත්ම අනුමත නොකරන නමුත් රජයේ අකාර්යක්ෂමතාවය ලෙස අප හඳුන්වන්නේ මේ දේවල්ම නොවේ. හොරකම්, දූෂණ හා නාස්ති ආදිය හේතුවෙන් රජයට අහිමි වන්නේ කවුරු හෝ විසින් නිර්මාණය කළ ධනයයි. වෙනත් අයුරකින් කියනවානම් දිගින් දිගටම හොරකම්, දූෂණ හා නාස්ති කිරීම පිණිස වුවද අලුතින් ධනය නිර්මාණය කළ යුතුය. එසේ අලුතින් ධනය නිර්මාණය නොවේනම් කලක් යද්දී හොරකම් කරන්නටවත් දෙයක් ඉතිරි නොවේ.

රජයේ අකාර්යක්ෂමතාවය ලෙස අප මූලික වශයෙන් හඳුන්වන්නේ ඉහත කී අයුරින් කවරෙකු හෝ විසින් නිර්මාණය කළ ධනයක් රජයට සම්බන්ධ පිරිස් විසින් හොරකම් කිරීම හෝ විනාශ කිරීම නොවේ. රජයේ පාලනය හේතුවෙන්, වෙනත් අයෙකු විසින් නිර්මාණය කළ හැකිව තිබුණු අලුත් ධනයක් නිර්මාණය වීම සිදු නොවීමයි.

මෙය පැහැදිලි කර ගැනීමට අපි උදාහරණයක් දෙස බලමු.

අපේ උදාහරණය ලෙස අපි "නිල් මොණරා" නම් වූ මනඃකල්පිත ගුවන් සේවයක් ගැන සිතමු. මේ ගුවන් සේවය වෙනුවෙන් රජය විසින් රුපියල් බිලියනයක ආයෝජනයක් කර තිබේ. ගුවන් සේවය වසරකට රුපියල් මිලියන 10ක පමණ සාමාන්‍ය ලාභයක් උපයයි. ගුවන් සේවය සාමාන්‍යයෙන් පාඩු නොලබයි. එහි පරිපාලකයෝ කිසිවෙකු හොරකම් නොකරති. දූෂණ නොකරති. එසේනම්, මෙය කාර්යක්ෂමද?

රජය භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් වසරකට 10%ක පොලියක් ගෙවන්නේයැයි සිතමු. එසේනම්, රුපියල් බිලියනයක් වසරක් හිරකර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් මිලියන 100කි. එහෙත්, "නිල් මොණරා" ගුවන් සේවයට හිරකර ඇති රුපියල් බිලියනය වෙනුවෙන් වසරකට ලැබෙන්නේ රුපියල් මිලියන 10ක් පමණි. මෙවැනි ව්‍යවසායයක් පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් කිසි විටකත් නඩත්තු කරන්නේ නැත. රජයකට වුවද එවැන්නක් දිගින් දිගටම නඩත්තු කිරීමේ හැකියාවක් නැත.

රජය දැන් මේ දිගටම ලාබ ලබන ගුවන් සමාගම රුපියල් මිලියන 800 කට විදේශ සමාගමකට විකුණයි. (රජය ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියනයක් හෙවත් මිලියන 1000කි.) එය එම සමාගම විකිණිය හැකි ඉහළම මිලයි. මෙය නරක තීරණයක්ද?

නැත. බැලූ බැල්මට රජයට රුපියල් මිලියන 200ක අලාභයක් සිදු වේ. එහෙත්, එය ගනුදෙනුවේ නියම අලාබය හෝ ලාබය නොවේ.

ගුවන් සේවය විකුණා ලැබුණු මුදල් නිසා රජයේ ණය බර රුපියල් මිලියන 800කින් අඩු කරගත හැකි වන අතර වාර්ෂික පොලී වියදම රුපියල් මිලියන 80කින් පහළ යයි. ගුවන් සේවයෙන් ලැබුණු වාර්ෂික ලාබය වූ රුපියල් මිලියන 10 අහිමි වී ඇතත්, ගනුදෙනුව නිසා රජයට රුපියල් මිලියන 70ක වාර්ෂික ශුද්ධ වාර්ෂික ලාබයක් ලැබේ. ඒ නිසා, මේ ගනුදෙනුව නරක නැත.

විදේශ සමාගම විසින් "නිල් මොණරා" ගුවන් සේවය මිල දී ගන්නේ ඔවුන්ට එයින් ලාබ ලැබිය හැකි බව දන්නා නිසාය. ඔවුන්ගේ කළමනාකරණය යටතේ එහි වාර්ෂික ලාභ රුපියල් මිලියන 200 දක්වා ඉහළ යයි. එහෙත්, ඔවුන් ලාබ වැඩි කරගන්නේ සමාගමේ සේවය කළ ලාංකිකයින්ව "සූරාකෑම" මඟින් නොවේ. සමාගම යටතේ සේවක වැටුප්ද ඉහළ යන අතර ගුවන් සේවයේ ගුණාත්මක භාවයද ඉහළ යයි. වාර්ෂික ලාභයෙන් රුපියල් මිලියන 50ක් බදු ලෙස රජයට ගෙවන අතර ඉතිරි රුපියල් මිලියන 150 රටෙන් එළියට යයි. එහෙත්, සමාගම විසින් එසේ රටෙන් එළියට ගෙන යන්නේ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළ ධනයයි.

සමාගම විසින් ගෙවන බදු මුදල්ද සමඟ ගුවන් සේවය නිසා රජයට ලැබෙන වාර්ෂික වාසිය රුපියල් මිලියන 120 දක්වා ඉහළ  යයි. එහෙත්, විදෙස් සමාගම විසින් උපයන ඉහළ ලාභ දකින රජය සිය ගුවන් සේවය ආපසු මිල දී ගන්නට තීරණය කරයි. ඒ වෙනුවෙන්, රජයට රුපියල් මිලියන 1,500ක් ගෙවන්නට සිදු වේ. ඊට වඩා අඩුවෙන් එය ආපසු විකිණීමට සමාගම එකඟ කර ගත නොහැකිය.

රජය විසින් පත් කළ අලුත් විධායකයින් විසින් ගුවන් සේවයේ ලාබ සමාගම යටතේ පැවති මටටමේම දිගටම පවත්වා ගන්නා නමුත් මේ අය අවංක පුද්ගලයෝ නොවෙති. ඔවුන් යටතේ හොරකම් හා මූල්‍ය වංචා සිදු වේ. ඒ නිසා, සැබෑ ලාභය රුපියල් මිලියන 200ක් වුවත් ගුවන් සේවය විසින් පෙන්වන ලාබය රුපියල් මිලියන 100ක් පමණි. විදෙස් සමාගම විසින් ගුවන් සේවය පාලනය කරද්දී රජයට බදු ලෙස වාර්ෂිකව ලැබුණේ රුපියල් මිලියන 50ක් පමණි. මුලින්ම සිටි හොරකම් නොකරන අවංක විධායකයින් විසින් වාර්ෂිකව උපයා දුන්නේ රුපියල් මිලියන 10ක් පමණි. එසේනම්, අලුත් විධායකයින් විසින් හොරකම් කළත් ආණ්ඩුවට ලාබද?

ගුවන් සේවය විසින් රුපියල් මිලියන 100ක වාර්ෂික ආදායමක් උපයන නමුත් ගුවන් සේවය වෙනුවෙන් කර ඇති ආයෝජනයේ ආවස්ථික පිරිවැය (10%ක පොලිය) රුපියල් මිලියන 150කි. ඒ නිසා, ඇත්තටම දැන් රජයට සිදුවන්නේ රුපියල් මිලියන 50ක අලාබයකි. විදෙස් සමාගම විසින් ගුවන් සේවය පාලනය කරද්දී ලැබුණු, දැන් නොලැබෙන රුපියල් මිලියන 50ක බදු මුදලද සැලකූ විට ශුද්ධ අලාභය රුපියල් මිලියන 100කි.

රජය විසින් පත්කළ අලුත් විධායකයා විසින් හොරකම් නොකළේනම් ගුවන් සමාගමේ ලාබ රුපියල් මිලියන 200ක් විය හැකිව තිබුණේය. එහෙත්, ඔහු හොරෙකි. ඔහුට එසේ අවංකව කටයුතු කරන්නට උවමනාවක් නැත. හොරෙක් වුවත් දක්ෂයෙකු වන ඔහු සමාගම හොඳින් කළමනාකරණය කර ලාබ වැඩි කර ඇත්තේ ඔහුට හොරකම් කරන්නට ලැබුණු ඉඩප්‍රස්තාව නිසාමය.

එසේනම්, මේ හොරාව ඉවත් කර මුලින්ම සිටි අවංක විධායකයාව නැවත පත් කළ යුතුද? ඔහු හොරෙක් නොවේ. එහෙත්, ඔහු දෙවන්නා තරම් දක්ෂ පුද්ගලයෙකුද නොවේ. ඔහු විසින් හොරකම් නොකළත්, ඔහු යටතේ සමාගම විසින් උපයනු ඇත්තේ රුපියල් මිලියන 10ක ලාබයක් පමණි. ඒ නිසා, අවසාන වශයෙන් සිදුවන්නේ රජයේ වාර්ෂික ශුද්ධ අලාභය තවත් රුපියල් මිලියන 90කින් වැඩි වීම පමණි.

ජාතික අවශ්‍යතා වැනි වෙනත් කවර හෝ හේතුවක් නිසා ඉහත විකල්ප දෙක අතරින් ආර්ථික වශයෙන් වාසිදායක විකල්පය වන විදෙස් සමාගමකට ගුවන් සමාගම දීම අත හැරියොත් ඉතිරි වන විකල්ප දෙකම රජයට අවාසිදායක නරක විකල්පයි.  ඇතැම් වෙලාවට තේරීමක් කිරීම යනු නරක විකල්ප දෙකක් අතරින් අඩු නරක තෝරා ගැනීමයි. මේ උදාහරණයේදී මෙන්, ඇතැම් විටෙක දක්ෂ හොරෙක්, අවංක එහෙත් අදක්ෂ පුද්ගලයෙකුට වඩා හොඳ තේරීමක් වන්නට පුළුවන.

කෙසේ වුවද, ජනතාවගේ සිහිනය අවංක හා දක්ෂ පුද්ගලයින්ය. එසේ සිතා තෝරා ගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙකු කලින් හිතූ තරම් දක්ෂ නැති බව, අවංක නැති බව හෝ දෙකෙන් එකක්වත් නැති බව දැනගන්නට ලැබෙන්නේ තේරීම කිරීමෙන් පසුවය. එවිට එවැනි පුද්ගලයෙකු ඉවත් කර වෙනත් පුද්ගලයෙකු තෝරා ගන්නට සිදුවේ. මෙය රාජ්‍යය සම්බන්ධ මූලික ප්‍රශ්නයකි. රාජ්‍යය විශාල වන තරමට එවැනි තේරීම් වැඩි ගණනක් කරන්නට සිදුවේ. මධ්‍යගත පාලන ක්‍රමයක් අකාර්යක්ෂම වීමට බලපාන ප්‍රධාන හේතුව මෙයයි.

නිදහස් වෙළඳපොළ ක්‍රමය මේ ප්‍රශ්නය ස්වභාවික ලෙසම විසඳයි. මෙහිදී පුද්ගලයින් ස්වඅභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම වෙනත් අයට ප්‍රශ්නයක් නොවනවා පමණක් නොව, එයම පද්ධතිය කාර්යක්ෂමතාවය කරා මෙහෙයවන යාන්ත්‍රනය බවටද පත්වේ. අදක්ෂ පුද්ගලයින් ස්වභාවික ලෙසම ඉවතට විසිවන අතර, පුද්ගලයින් කටයුතු කරන්නේ තමන්ගේම අභිවෘද්ධිය වෙනුවෙන් නිසා මධ්‍යගත පාලන ක්‍රමයකදී මෙන් වංක භාවය ප්‍රශ්නයක් වන්නේ නැත. මෙවැනි ක්‍රමයක කාර්යක්ෂමතාවය සමඟ මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට කෙසේවත් තරඟ කළ නොහැකිය.

සැබෑ තත්ත්වය මෙවැන්නක්නම්, මුල් යුගයේ වාමාංශික නායකයින් විසින් ලංකාව රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් වෙත තල්ලු කළේ ඇයි?

මෙය ඇත්තටම ඔවුන් විසින් ඒ කාලයේ කළ "වැරැද්දක්" බව කියන්නට නුපුළුවන. මේ නායකයින්ගෙන් බොහෝ දෙනෙකු රට වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් යමක් කරන්නට අවංකවම සිතූ හා ඒ වෙනුවෙන් ක්‍රියා කළ අයයි. මේ පරමාර්ථය වෙනුවෙන් ඔවුහු තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය වැය කළහ. ඉතිහාසය විසින් පෙන්වා දී ඇති පරිදි ඔවුන් මහන්සි වී ඇත්තේ අවසාන වශයෙන් අකාර්යක්ෂමතාවයට හා රටේ ජනතාවගේ අයහපතට හේතුවෙන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වීම වෙනම කතාවකි.

ආර්ථික දියුණුව කරා යාමේදී සමාජවාදී ප්‍රතිසංස්කරණ අකාර්යක්ෂම වුවත්, සමාජවාදී ප්‍රතිසංස්කරණ හරහා ආර්ථික විෂමතාවයන් අවම කිරීම වැනි වෙනත් ඉලක්ක කරා ළඟා වන්නට පුලුවන. කෙසේ වුවද, අඩු වශයෙන් විප්ලවයෙන් පසුව ගත වුනු මුල් අඩ සියවසක පමණ කාලය තුළ සෝවියට් දේශයට කැපී පෙනෙන ආර්ථික ජයග්‍රහණයයන්ද අත්පත් කරගත හැකි විය. සමාජවාදය මුල් කාලයේදී ජනප්‍රිය වීමට හේතු වුනේ මෙසේ ආර්ථික ජයග්‍රහණ හා වෙනත් ආර්ථික නොවන ඉලක්ක එකවර ළඟා කරගනිමින් සෝවියට් දේශය විසින් පෙන්වූ සාර්ථකත්වයයි. මේ ක්‍රමය යටතේ රජයේ මධ්‍යගත පාලනය යටතේ සිදුවුණු නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලිය හරහා රජය විසින් උපයාගත් ලාභය රටේ ජීවත් වූවන්ගේ සමාජ සුබසාධනය වෙනුවෙන් වැය කෙරුණේය. මෙය සමාජයේ පහළ ස්ථර වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් රටේ ආදායම් විෂමතාවයන් අඩු කිරීමටත් හේතු විය.

රාජ්‍ය සුබසාධන ප්‍රතිපත්ති හේතුවෙන් රටේ පහළ ස්ථර වෙත සම්පත් සම්ප්‍රේෂණය වන විට එවැන්නන්ට තමන්ගේ රටේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක බව දැනේ. එහෙත් රජයකට සම්පත් නිර්මාණය කළ නොහැකිය. රජයක් විසින් සුබසාධනය හරහා බෙදා හරින්නේ, අදාළ සමාජයේම කිසියම් පිරිසක් විසින් නිර්මාණය කරන සම්පත් වලින් කොටසකි. එවැනි සම්පත් දායකයින් තමන්ගේ සම්පත් වලින් කොටසක් රජය විසින් උදුරා ගනු ලැබීම පිළිබඳව සතුටු නොවුවත්, ඒ පිරිස විශාල ධනයක් උපයන සුළු පිරිසක් හා ඔවුන් උපයන දෙයින් වාසි ලබන කණ්ඩායම විශාල පිරිසක්නම් එවැනි ක්‍රමයකට සැලකිය යුතු කාලයක් බිඳ නොවැටී පැවතෙන්නට පුළුවන. එහෙත්, කාලයත් සමඟ මෙසේ ධනය උපයන සුළු පිරිස අධෛර්යමත් වීමත්, ඔවුන්ගේ ධනය  ක්‍රමයෙන් ක්ෂය වීමත් සමඟ මෙවැනි ක්‍රමයක් අර්බුදයට යයි.

සුබසාධන ප්‍රතිපත්ති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන සමාජවාදී නොවන රටවල් අදටත් තිබේ. ඒ අතර, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්කැන්ඩිනේවියානු රටවල් හා මැදපෙරදිග ඇතැම් රටවල් ඉහළින්ම සිටී. මේ රටවල පුරවැසියන්ට කිසිදු ආදායමක් නූපදූවත් රජයෙන් බොහෝ දේ ලැබේ. මේ රටවල් හා විප්ලවයෙන් පසු සෝවියට් දේශය එකතු කළ හැකි පොදු කුලකයක් තිබේ. ඒ, මේ රටවල් සියල්ලම එම රටවල ජනගහණයට සාපේක්ෂව විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයකට හිමිකම් කීමයි.

කිසියම් රටක අලුතින් ධනය නිර්මාණය වීමට හේතුව වන්නේ ඒ රටේ මිනිසුන්ගේ මහන්සියට වඩා වාසනාවනම්, එනම් කිසියම් රටක විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇත්නම්, එවැනි රටක මිනිසුන්ගේ ව්‍යවසායකත්වය අඩු වුවද යහපත් ජීවන මට්ටමක් කාලයක් පවත්වා ගැනීමට බැරිකමක් නැත. එවැනි ස්වභාවික සම්පත් වල ප්‍රතිලාභ රටේ කිහිප දෙනෙකු අත තිබෙනවාට වඩා සියලු දෙනා අතර බෙදීයාම සාධාරණ වනවා පමණක් නොව එවැනි සම්පත් රජය විසින් කළමනාකරණය කිරීම හේතුවෙන් අකාර්යක්ෂමතා වැඩි වීමක් සිදුවන්නේද නැත (සාපේක්ෂ ප්‍රකාශයකි). මේ ස්වභාවික සම්පත් වලට ඉඩම්ද ඇතුළත්ය.

ලංකාව ඉහත කී රටවල් තරම් වාසනාවන්ත රටක් නොවේ. කුඩා ඉඩක සැලකිය යුතු ජනගහණයක් ගාල් වී සිටින ලංකාවේ මිනිසුන්ගේ බඩවල් පුරවන්නට ස්වයංජාත හාල් පහළ වන්නේ නැත. පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් රටට අලුතින් ධනය නිර්මාණය කිරීමට රටට ව්‍යවසායකයින් අවශ්‍යය. ව්‍යවසායකයින් දිරිමත් වන්නේ ඔවුන්ට ලාබ ලැබීමට ඇති හැකියාව තුළය. මේ ලාබ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කරන ධනය මිස වෙනත් අයගෙන් සූරාකන හෝ හොරාකන ධනයක් නොවේ. එසේ කරන්නෝ ව්‍යවසායකයෝ නොවෙති.

ලංකාවට සාපේක්ෂව විශාල ස්වභාවික සම්පත් සංචිතයකට හිමිකම් කියන ඇමරිකාවේ ආර්ථිකය ඉදිරියට එළවන්නේ ඒ සම්පත් වලින් නොවේ. ව්‍යවසායකත්වය තුළිනි. සමාජවාදී රටක් වුවත් දැන් චීනයේ සිදුවන්නේද එයයි.

සෝවියට් දේශයේ රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථිකය අවසානයේදී බිඳ වැටුනත් එය සෑහෙන කාලයක් අල්ලා සිටියේය. එහෙත්, සමාජවාදය හේතුවෙන් වෙනත් රටවලට එවැනි ආර්ථික දියුණුවක් ලැබුණේ නැත. චීනය හැර අනෙක් සෑම සමාජවාදී රටක්ම වාගේ සෝවියට් දේශයෙන් අඩු වැඩි වශයෙන් යැපුණු පරපෝෂිතයෝ වූහ. කෙසේ වුවද, නිදහසෙන් පසු පළමු දශක තුන තුළ ලංකාවේ ආර්ථිකය සැලසුම් කළ ඇතැම් අයට සෝවියට් දේශය පරමාදර්ශී රාජ්‍යයක් ලෙස පෙනීම අදට සාපේක්ෂව බලා වැරැද්දක්යැයි කිව නොහැකිය.

ඉංග්‍රීසින් විසින් ලංකාව කළමනාකරණය කළේ පාඩු ලබමින් නොවේ. ලංකාවේ ආර්ථිකය හොඳින් කළමනාකරණය ඔවුහු එයින් සැලකිය යුතු ලාබයක් ලැබූහ. ලංකාවේ අනාගත යහපත ගැන හිතමින් නොවූවත් ඔවුහු ඒ ලාබයෙන් කොටසක් මෙහි ආයෝජනය කළෝය. ඉතිරිය රටෙන් පිටට රැගෙන ගියහ. මෙසේ රටෙන් පිටට ගෙන ගිය කොටස ගැන කතා කරන බොහෝ දෙනෙක් අමතක කරන්නේ ඔවුන් එසේ රැගෙන ගියේ ඔවුන් විසින් නිර්මාණය කළ ධනය බවයි. (මේ කියන්නේ ආර්ථික වටිනාකමකට වඩා වෙනත් වටිනාකම් ඇති, ලංකාවෙන් රැගෙන ගිය, ඔවුන් විසින් නිර්මාණය නොකළ ඇතැම් දේ ගැන නොවේ.)

නිදහසින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවට "අපේ ආණ්ඩුවක්" ලැබීමෙන් පසු ලාංකිකයින්ට අවශ්‍ය වුනේ කලින් සුද්දා රැගෙන ගිය අතිරික්තය තමන් අතරේ බෙදාගෙන හැකි ඉක්මණින් භුක්ති විඳින්නටය. සුබසාධන ආණ්ඩු වලින් මේ ලාබ මිනිස්සුන්ට ලැබුණේය. ඒ නිසා, ආණ්ඩුව තමන්ගේ එකක් බව මිනිස්සුන්ට දැනුණේය.

ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණේ අද මෙන් අයවැය හිඟයක් හෝ ගෙවුම් ශේෂ හිඟයක් තිබුණු ආර්ථිකයක් නොවේ. දේශීය හෝ විදේශීය ණය ගොඩ ගැසුණු ආර්ථිකයක්ද නොවේ. රටේ සීමිත විදේශ ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විශාල විදේශ සංචිත ප්‍රමාණයක් ඉතිරිව තිබුණු ශක්තිමත් ආර්ථිකයකි. ඒ නිසා, සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාම මුල් කාලයේදී ගැටලුවක් වූයේ නැත. ඒ කාලයේ රටේ සිටි දුප්පත් මිනිස්සුන්ට රජයෙන් ඇත්තටම යමක් ලැබුණේය.

මේ තත්ත්වය වෙනස්  වන්නට වැඩි කලක් නොගියේය.

(ඉන්පසු සිදුවුණේ කුමක්ද? මාතෘකාව ගැන කතා නොකරම වචන 5000ක් පමණ ලියැවී ඇත. ඒ නිසා, සෙස්ස පස්සට තබමු.)

(Image: https://www.colombotelegraph.com/index.php/two-immoral-acts-of-sirisena-ranil-government/)

Sunday, July 30, 2017

ඒ බදු දීම, මේ බදු දීම හා වෙනත් බදු දීම්...



ලංකාවේ වර්ජන දෙකක් පසුගිය කාලයේ පුවත් මැවුවේය. පළමුවැන්න, වෛද්‍යවරුන්ගේ වර්ජනයයි. දෙවැන්න, තෙල් සංස්ථා සේවක වර්ජනයයි.

වෛද්‍ය වර්ජනයට හේතු වූ මූලික කරුණ සයිටම් වෛද්‍ය පීඨයයි. මේ හා අදාළව අවසන් වරට සිදුවුනේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට ස්වේච්ඡාවෙන් පවරා දෙනු ලැබීමයි. රජය පැත්තෙන් මේ පුවතට ප්‍රසිද්ධියක් ලබා දෙද්දී සයිටම් විරෝධීන් විසින් ප්‍රචාරය කළේ අදාළ රෝහල වෙනුවෙන් ලංකා බැංකුවෙන් නෙවිල් ප්‍රනාන්දු ලබාගත් ණය ඉදිරියේදී රජයට ගෙවන්නට සිදුවන බවයි.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ අයිතිය වහාම ක්‍රියාත්මක වන පරිදි රජයට පවරා දුන්නේනම් ඒ වෙනුවෙන් ලබාගත් ණය ආපසු ගෙවීම තව දුරටත් නෙවිල් ප්‍රනාන්දුගේ වගකීමක් වන්නේ නැත. ඒ ණය ගෙවන්නට වෙන්නේ රෝහලේ අලුත් අයිතිකරු වන රජයටය. එහෙත්, රජය විසින් නිවේදනය කළ පරිදි ලබාගත් සියලු ණය ආපසු ගෙවන්නේ නෙවිල් ප්‍රනාන්දු විසිනි.

ඉහත තත්ත්වය තරමක් සංකීර්ණ තත්ත්වයකි. රජය විසින් රෝහල භාරගන්නා නමුත් ඒ වෙනුවෙන් ලබාගත් ණය ගෙවීමේ වගකීම තිබිය යුත්තේ නෙවිල් ප්‍රනාන්දු සතුවය. රජය හා නෙවිල් ප්‍රනාන්දු අතර අත්සන් කෙරුණු ගිවිසුම මා දැක නැතත්,  පවතින නීතිය යටතේ මෙය කළ හැකි හොඳම ආකාරයකට එය සිදු කර ඇති බව පෙනේ. මේ අනුව, ණය ගෙවා අවසන් වන තුරු රෝහලේ අයිතිය නෙවිල් ප්‍රනාන්දු සතු වන අතර බදු ගිවිසුමකින් එහි භුක්තිය රජයට හිමිවේ. ණය ගෙවා අවසන් කිරීමෙන් පසු රෝහලේ භුක්තිය මෙන්ම අයිතියද රජයට ලැබේ.

පවතින සංකීර්ණ අවශ්‍යතාවය අනුව බදු ගිවිසුමක් අත්සන් කර ඇතත්, මාධ්‍ය වාර්තා අනුව (නාමිකව ගෙවන රුපියල් 1000ක වාර්ෂික බදු මුදලක් හැර) රජය විසින් නෙවිල් ප්‍රනාන්දුට බදු මුදලක් ගෙවිය යුතු නැත. මේ පවරා ගැනීම නීත්‍යානුකූලව කළ හැකි වෙනත් වඩා හොඳ ක්‍රමයක් ගැන මටනම් සිතාගත නොහැකිය. වෙනත් අයෙකු විසින් එවැන්නක් යෝජනා කරද නැත. එහෙත්, මුලින් නෙවිල් ප්‍රනාන්දු විසින් ණය කන්දක් රජයේ ඇඟේ ගැසූ බව කියූ අයම දැන් මේ පවරාදීම පවරාදීමක් නොව බදු දීමක් පමණක් බව කියති.

තෙල් සංස්ථා වර්ජනයට හේතු වූ කරුණක් වන්නේ වසර හැත්තෑවකට අධික කාලයක් ප්‍රයෝජනයට නොගනිමින් තිබුණු තෙල් ටැංකි ගණනාවක් රජය විසින් විදෙස් සමාගමකට බදු දීමයි. මේ බද්දේ බදු කාලය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ බදු කාලයට වඩා දිගු කාලයකි. කෙසේ වුවද, බදු කාලය අවසානයේ මේ තෙල් ටැංකි වල අයිතිය නැවත ශ්‍රී ලංකා රජයට හිමි වේ.

මීට කලින් තෙල් ටැංකි කිසියම් ප්‍රමාණයක් බදු ගත් ඉන්දියානු තෙල් සමාගම දැන් විශාල ලෙස ලාභ උපයන බව පැවසේ. ඉන්දියානු තෙල් සමාගම උපයන ලාබ වලට ප්‍රධානම හේතුව ඔවුන්ගේ දක්ෂතාවයකටත් වඩා, රජය මඟින් කාලයක් තිස්සේ කරන තෙල් පිරිපහදු කර (හෝ ආනයනය කර) විකිණීමේ ව්‍යාපාරයේ අකාර්යක්ෂමතාවයයි.

තෙල් සංස්ථාව ලංකාවේ රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ හොඳම නිදර්ශනයකි. කාලයක් තිස්සේ මේ ආයතනයේ "පුරප්පාඩු" පිරවුණේ මැතිවරණ වලදී යම් අපේක්ෂකයින්ට උදවු කිරීම හා ගමේකම වැනි කරුණු මත මිස අඩු වශයෙන් අදාළ පුරප්පාඩු තිබීම හෝ නිසා නොවේ. ඇතැම් තනතුරු වලට පුද්ගලයින් බඳවා ගැනීමෙන් පසුව අදාළ තනතුරු වල සේවය කරන්නට පුරප්පාඩුවක් ඇති වන තුරු නිකම් වැටුප් ගනිමින් සිටින්නට සිදු වූ අවස්ථා තිබුණේය. ඇතැම් අය තෙල් සංස්ථාවෙන් වැටුප් ලැබුවේ ඇතැම් මැතිවරණ වලදී ඇතැම් අපේක්ෂකයින්ගේ ගම්පළාත් වල පදිංචි වී ඔවුන්ට උදවු කිරීම වෙනුවෙනි. මේ අකාර්යක්ෂමතාවයන්ගේ මිල ගෙවන්නේ රටේ ඉන්ධන පාරිභෝගිකයින් විසිනි. ජාත්‍යන්තර තෙල් මිල කෙතරම් අඩු වුවත් ලංකාවේ තෙල් මිල සමානුපාතිකව අඩු නොවන්නේ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයන් නිසාය.

ඉන්දියානු තෙල් සමාගම පැමිණීම නිසා තෙල් සංස්ථාවේ ඒකාධිකාරය යම් පමණකින් අඩු වුවත් ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ට සැලකිය යුතු වාසියක් සිදු වී නැත. ඒ, ඉන්දියානු තෙල් සමාගම කැමති වුවත් ඔවුන්ට අඩු මිලට තෙල් විකිණීමට ඉඩක් නැති බැවිනි. ඒ නිසා, ඔවුන්ගේ සාපේක්ෂ කාර්යක්ෂමතාවයේ වාසිය පාරිභෝගිකයන්ට නොගොස් ඔවුන්ගේ ලාභ ලෙස එකතු වෙයි. ඔවුන්ට මිල තීරණය කිරීමට නිදහස ලැබේනම් පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන ලැබෙනු ඇති අතර, ඉන්දියානු තෙල් සමාගමේ ලාභ ආන්තික අඩු වුවත්, ඉල්ලුම වැඩි වීම නිසා ඔවුන්ගේ ලාභ තවත් වැඩි වනු ඇත. එහෙත්, එවිට සිදුවන්නේ තෙල් සංස්ථාවේ අලාභ තවත් ඉහළ යාමයි.

තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවයන් නිසා රටේ ජීවත් වන මිලියන ගණනක් පාරිභෝගිකයින්ගේ පාරිභෝගික අතිරික්තයෙන් කොටසක් අහිමි වී තිබේ. අකාර්යක්ෂමතාවයන් "හොරකම් කිරීම්" වලටද වඩා හානිදායකය. කිසියම් පොදු දේපොලක් කිසිවකු විසින් හොරකම් කළ විට මෙසේ හොරකම් කළ සම්පත් අඩු වශයෙන් හොරා විසින් භුක්ති විඳී. එයින් වෙනස්ව, අකාර්යක්ෂමතාවයන් පවත්වාගෙන යාමේදී සිදු වන්නේ ලැබෙන්නට තිබුණු යම් වාසියක් කිසිවෙකුටත් නොලැබී යාමයි. හොරකමකදී එය ලැබිය යුතු පුද්ගලයාට නොලැබුණත් වෙනත් අයෙකුට හෝ ලැබේ.

ප්‍රයෝජනයට නොගෙන නිකරුණේ තිබෙන සම්පතක් කොයි තරම් වටිනා එකක් වුවත් එයින් කිසිදු අලුත් සම්පතක් ජනනය වන්නේ නැත. ඔබේ ඉඩමේ පැත්තක ඇති පුරන් වූ කුඹුරු කෑල්ල අස්වද්දන්නට වැය කළ යුතු මුදලට වඩා අඩු මුදලකින් ඔබට කඩෙන් හාල් මිල දී ගත හැකිනම් ඔබ විසින් කුඹුර අස්වද්දන එකෙන් ඔබට සිදුවන්නේ ශුද්ධ අයහපතකි. එහෙත්, කුඹුර අස්වද්දා ලාබ ලැබිය හැකි කෙනෙක්ට එය බද්දට දීමෙන් ඔබට බදු මුදලක්ද, ඔහුට ලාබයක්ද ලැබේ. ඔබට බදු මුදල ගෙවීමෙන් පසුවද ඔහු විශාල ලාබයක් ලබන්නට පුළුවන. ඒ ලාබය ඔබට ලැබිය හැකිව තිබුනේයැයි පසුව දුක් වීම තේරුමක් නැති දෙයකි. අවුරුදු ගණනක් අස්වැද්දුවේ නැති කුඹුර තවත් අවුරුදු ගාණක් ගියත් ඔබ විසින් අස්වද්දන්නේ නැත. ඒ නිසා, පුරන් කුඹුරෙන් ඔබට කිසිදු වාසියක් සැලසෙන්නේද නැත. නමුත්, එය බදු දීමෙන් ඔබට බදු මුදල හෝ හිමි වේ. එයට අමතරව, ඇතැම් විට ඔබට එහි නිපදවෙන වී හෝ හාල් තරමක් අඩු මිලකට මිලදී ගන්නට ලැබෙන්නට වුවද ඉඩක් තිබේ. (කුඹුර බදුගත් පුද්ගලයාගේ තරුණ පුතා ඔබේ දුව සමඟ සම්බන්ධයක් ඇති කරගන්නට ඉඩ තිබීම වැනි කරුණුද බදු දෙන්නට පෙර සලකා බැලිය යුතුය.)

ඇතැම් අය කියන පරිදි තෙල් ටැංකි බදු දීම බදු දීමක් නොව පවරා දීමකි. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාදීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු බදු ගිවිසුමක් අත්සන් කිරීම බදු දීමක් යැයි කියමින් විවේචනය කරන අයත්, තෙල් ටැංකි  බදු දීම පවරා දීමක්යැයි කියන අයත් එකම පිරිසක් වීම විශේෂත්වයකි. තෙල් ටැංකි පැවරීම අගය කරන අය අතර කලකට පෙර චීනයට සම්පත් විකිණීම ගැන කනස්සල්ල පලකළ අය රැසක් සිටීම තවත් විශේෂත්වයකි.

ඒ බදු දීමත්, මේ බදු දීමත් හැර තවත් බදු දීම් තිබේද?

Friday, July 28, 2017

නිදහස් අධ්‍යාපනය කා වෙනුවෙන්ද?


නිදහස් අධ්‍යාපනය පිළිබඳ ජනප්‍රිය අදහසක් වන්නේ ඒ හේතුවෙන් සමාජයේ අසමානතා අඩු වන බවයි. නිදහස් අධ්‍යාපනය සමාජයට බරක් වුවත්, එමඟින් ඉහත අරමුණ යම්තාක් දුරකට ඉටුවේ. එහෙත්, නිදහස් අධ්‍යාපනය තිබුණු පමණින් සමාජයේ සියල්ලන්ටම අධ්‍යාපනය ලැබීමට සමාන ඉඩප්‍රස්තා හිමිවන්නේ නැත.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ තීරණ ඔවුන්ගේ දෙමවුපියන්ගේ හෝ භාරකරුවන්ගේ තීරණයි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමවුපියන් විසින් ආයෝජනය කරන්නේ එමඟින් ඔවුන්ගේ අනාගත ශුභ සිද්ධිය සැලසෙන බවට ඇති විශ්වාසය නිසාය. මේ වෙනුවෙන් ඔවුන්ට මිලක් ගෙවන්නට සිදු වේ. එසේ ගෙවන උපරිම මිල තීරණය වන්නේ සිදුවන යහපත හා වැය කරන අරමුදල් වල ආවස්ථික පිරිවැය මතය. අඩු ආදායම් ලබන පවුලක දෙමවුපියෙකුගේ මුදල් වල ආවස්ථික පිරිවැය මුදල් යහමින් ඇති පවුලක දෙමවුපියෙකුගේ මුදල් වල ආවස්ථික පිරිවැයට වඩා වැඩිය. ඒ නිසා, සැලසෙන යහපත සමාන වන තත්ත්වයකදී මුදල් ඇති පවුලක දෙමවුපියන් විසින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් ආයෝජනය කිරීමට වැඩි ඉඩකඩක් තිබේ.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වන යුගයේදී, එය එසේ නොවුනානම්, රටේ දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසකට පාසැල් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් වැඩි පිරිසකට ඒ අවස්ථාව ලැබුණේය. එහි සමාජ පිරිවැය හා යහපත වෙනම කතා කළ යුතු දෙයකි. එය පසුවට තබමු.

නිදහස් අධ්‍යාපනය ආරම්භ වන යුගයට සාපේක්ෂව අද වන විට ලංකාවේ පවුල් වල ආදායම් ව්‍යාප්තිය සැලකිය යුතු තරමින් දකුණට විතැන් වී (වැඩි වී) තිබේ. නිදහස් අධ්‍යාපනය නොතිබුණද, අද වන විට, එදාට සාපේක්ෂව රටේ දරුවන්ගෙන් විශාල පිරිසක් පාසැල් අධ්‍යාපනය ලබනු හැකිව තිබිණි. කෙසේ වුවද, නිදහස් අධ්‍යාපනය නිසා ඒ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.

ඒ අතරම, නිදහස් අධ්‍යාපනය තිබුණද, මූලික අධ්‍යාපනය අනිවාර්ය වුවද, අදටත් රටේ ඇතැම් දරුවන්ට මූලික පාසැල් අධ්‍යාපනයක් නොලැබේ. ඒ, මිල පාලනය කිරීම මඟින් (මේ අවස්ථාවේදී මිල ශුන්‍ය මට්ටම කරා රැගෙන ඒමෙන්) ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් කළ හැකි වුවත්, ඉල්ලුම් සැපයුම් බලවේග තවදුරටත් ක්‍රියාත්මක වන බැවිනි. ඒකීය පුද්ගලයින් විසින් ස්වභිමාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම නියාමනය මඟින් වැළැක්විය නොහැකිය. එහෙත්, නියාමනය හේතුවෙන් පුද්ගලයෙකුගේ තේරීම් අතරින් වඩා හොඳ තේරීම වෙනස් වන්නට පුළුවන.

අද ලංකාවේ පාසැල් වයසේ දරුවෙකුට අවශ්‍ය පාසැල ලබා ගැනීම කෙසේ වෙතත් කුමක් හෝ රජයේ පාසැලක අධ්‍යාපනය ලැබීමට විශාල බාධාවන් නැත. එසේ ලැබෙන පාසැලක පාඨමාලා ගාස්තු නොගෙවා ඉගෙනීමට තිබෙන අවස්ථාවට අමතරව පාසැල් පෙළපොත් හා පාසැල් නිලඇඳුම් ආදී තවත් බොහෝ දේ රජයෙන් ලැබේ. එහෙත්, ඉතාම "බාල" පාසැලකට දරුවන් යවන දෙමවුපියෙකු වුවත් තවත් අමතර වියදම් රැසක් දැරිය යුතුය. අභ්‍යාස පොත් ඇතුළු පාසැල් උපකරණ හා පාසැල වෙත දරුවා ප්‍රවාහනය කිරීම ආදිය මේ අනෙකුත් මූලික වියදම් අතර වේ. ගමේ පාසැලට දරුවා පයින් ගෙන යන දෙමවුපියෙකු විසින් ඒ සඳහා වැය කරන කාලයද, මුදල් වැය වීමක් නැතත්, ප්‍රවාහන වියදමේ කොටසකි. (ලංකාවේ පාසැල් ළමුන්ගෙන් 33.9%ක්ම පාසැලට පයින් යන අයයි.) දරුවන් තරමක් ලොකු මහත් වූ විට ඔවුන්ගෙන් තමන්ගේ වැඩට උදවු ගන්නට නොලැබීමද (විශ්ව ළමා ප්‍රතිපත්ති ආදියේ මොනවා තිබුණත්) දෙමවුපියන්ගේ අලාභයකි. මේ අමතර වියදම් දැරිය නොහැකි පවුල් වල දරුවන්ට අදටත් පාසැල් වරම් අහිමි වේ.

වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු යුනිසෙෆ් වාර්තාවකට අනුව, අධ්‍යාපනය අනිවාර්යයෙන් ලැබිය යුතු අවුරුදු 5-14 වයසේ ලංකාවේ ළමුන්ගෙන් 1.8%ක් පාසැල් නොයති. වතු අංශයේ මේ ප්‍රතිශතය 4.6%ක් තරම් ඉහළය. මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස කටයුතු කිරීමයි. වාර්තාව අනුව දරුවෝ 107,259ක් ළමා ශ්‍රමිකයෝ ලෙස කටයුතු කළහ. ඔවුන්ගෙන් 60%ක් පමණම යෙදී සිටියේ අනතුරුදායක රැකියා වලය. 2016 ළමා ක්‍රියාකාරිත්ව සමීක්ෂණයේ දත්ත අනුවද, කිසියම් ආර්ථික කටයුත්තක නිරතව සිටින ළමුන් ගණන 103,704කි. මේ ලංකාවේ ආදායම් ව්‍යාප්තියේ පහළම කාණ්ඩයේ තත්ත්වයයි. නිදහස් අධ්‍යාපනය පැවතියද එයින් මේ පහළම ආදායම් කාණ්ඩයේ දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිත ආලෝකමත් වී නැත. එහෙත්, මේ ළමා ශ්‍රමිකයින් හෝ ඔවුන්ගේ දෙමවුපියන් විසින් කිසියම් භාණ්ඩයක් මිලදී ගන්නා හැම විටකම ඔවුන් විසින්ද වක්‍ර ලෙස ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරති.

මේ පහළම කාණ්ඩයට ඉහළින් සිටින දෙමවුපියන්ගේ දරුවන් බොහෝ දෙනෙකු රජයේ පාසැලක අධ්‍යාපනය ලැබුවත් එයින් අදහස් වන්නේ එම දරුවන්ට හොඳ, සමාන, හෝ ගෙවන මුදලට වටින අධ්‍යාපනයක් ලැබෙන බවම නොවේ. ලංකාවේ රජයේ පාසැල් අතර ඇති ගුණාත්මක භාවයේ වෙනස්කම් ඉතා විශාලය.

පාසැල් වෙත ඇති දෙමවුපියන්ගේ ඉල්ලුම පාසැල් වල ගුණාත්මක භාවය පිළිබඳ ඉඟියක් සපයයි. හොඳ පාසලකට යවන්නට හැකියාව තිබේනම් තමන්ගේ දරුවා ගුණාත්මක භාවය අනුව පහළින් ඇති පාසලකට යවන්නට දෙමවුපියෙකු පෙළඹෙන්නේ නැත. ගුණාත්මක භාවය මනින නිර්ණායක එක් එක් පුද්ගලයාට සාපේක්ෂ වීම වෙනම කරුණකි.

ලංකාවේ පාසැල් අතරින් තවමත් වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය ඇරඹෙන්නට පෙර ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් හෝ පරමවිඥාර්ථ සමාගම වැනි සංවිධාන විසින් ස්ථාපිත කර පවත්වාගෙන ගිය පාසැල් වලටය. මේ පාසැල් වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට රජය සතුව ඇති අතර සුළු ප්‍රමාණයක් පෞද්ගලික පාසැල් ලෙසම පවත්වාගෙන යනු ලැබේ. පසුව ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල වලටත් විශාල ඉල්ලුමක් ඇතත් පළමු කාණ්ඩයේ පාසැල් වලට මෙන් සියවසක හෝ එකහමාරක පමණ කාලයක් තිස්සේ උපයාගත් කීර්ති නාමයක් නැති මේ පාසැල් ඉල්ලුම අනුව සමස්තයක් ලෙස තිබෙන්නේ පළමු කාණ්ඩයේ පාසැල් වලට වඩා පිටුපසිනි.

ප්‍රධාන වශයෙන්ම ඉහත කාණ්ඩ දෙකට අයත්, උසස්පෙළ විද්‍යා විෂය හැදෑරීමේ පහසුකම් ඇති රජයේ පාසැල් ගණන රටේ මුළු පාසැල් ගණනින් 10% නොඉක්මවයි. දෙමවුපියෙකු විසින් මේ පාසැලකට දරුවෙකු දමා ගැනීම දරුවාගේ කුසලතාවය තිබූ පමණින්ම කළ නොහැක්කකි. ඒ සඳහා, එතරම් පාරදෘශ්‍ය නොවන තවත් බොහෝ වියදම් දැරිය යුතුය.

රජය මඟින් නොමිලේ ලබා දෙන පොදු පාසැල් අධ්‍යාපනය නොතිබුණේනම් කුමක් විය හැකිව තිබුණේද?

එසේ වීනම්, දෙමවුපියන් විසින් තමන්ගේ ආර්ථික ශක්තිය අනුව දරුවන් හැකි තරම් හොඳ පාසැලකට යැවිය හැකිව තිබුණි. මෙහිදී, වැඩි ආර්ථික ශක්තියක් ඇති දරුවන්ට හොඳ පාසැල් ලැබීම නිතැතින්ම සිදු වන්නකි. එහෙත්, එසේ වූ පමණින් දරුවෙකුට  හොඳ පාසැලක් ලැබීමේ එකම නිර්ණායකය දෙමවුපියන්ගේ ආර්ථික ශක්තිය වෙන්නේ නැත.

නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන්නට පෙර යුගයේ ලංකාවේ තිබුණු ආකාරයේ ලාභ ලැබීම අරමුණු කර නොගත් පාසැල් හැම විටම වාගේ පාසැලට ඇතුළු කරගන්නා දරුවන්ගේ කුසලතා මට්ටම් ගැනද සැලකිලිමත් වන නිසා කුසලතාව අතින් බොහෝ පහතින් සිටින දරුවෙකුට මුදල් තිබූ පමණින්ම හොඳ පාසැලකට යාම අසීරු වනු ඇත. ඒ අතරම, කුසලතාව අතින් බොහෝ ඉහළින් සිටින දරුවන් යම් ප්‍රමාණයකටද ශිෂ්‍යත්ව ආදිය හරහා හොඳ පාසැල් වලට ඇතුළු වීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙවැනි විශේෂ තත්ත්වයන් තිබුණත් ඉතා පැහැදිලිවම වැඩි ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට අඩු ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් සමාන කුසලතා ඇති දරුවෙකුට වඩා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

ලාභ ලැබීම අරමුණු කරගත් පාසැල් පැවතුනේනම් හොඳ පාසැල් වැඩි ආදායම් ලබන දෙමවුපියන්ගේ දරුවන්ට ලැබෙන්නට තිබෙන ඉඩකඩ තවත් වැඩි විය හැකිව තිබුණු නමුත් කුසලතාවය වැඩි, අඩු ආදායම් පවුල් වල දරුවන්ට ශිෂ්‍යත්ව ආදිය හිමි වීම තවදුරටත් සිදුවනු ඇත. එය සිදු වීමට මේ පාසැල් අයිතිකරුවන් ජනහිතකාමීන් විය යුතු නැත. හොඳ දරුවන් කිසියම් ප්‍රමාණයක් ශිෂ්‍යත්ව දී ඇතුළු කරගත් විට පොදුවේ පාසැලේ ගුණාත්මක භාවය ඉහළ යාමත්, ඒ හේතුවෙන් මුදල් ගෙවා පැමිණෙන සිසුන් ආකර්ෂණය කර ගැනීම පහසුවීමත් නිසා ලාභ ලැබීමේ අරමුණ තිබියදීම මෙය සිදු වේ. මේ හේතුව නිසාම, මුදල් ගෙවන්නට සූදානම් වුවත් කුසලතාවයෙන් අඩු දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීම අපහසු වනු ඇත. කෙසේ වුවද, සමස්තයක් ලෙස, ඉතා පැහැදිලිවම, වැඩි ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට අඩු ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් සමාන කුසලතා ඇති දරුවෙකුට වඩා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

නිදහස් අධ්‍යාපනය පැවතියද, ඉහත තත්ත්වයේ විශාල වෙනසක් සිදු වී නැත. දැනටත් හොඳ පාසැල් ලෙස හඳුනා ගැනෙන පාසැල් වලට ඇතුළු වීමට ලැබෙන්නේ කිසියම් අවම ආර්ථික මට්ටමක් ඇති පවුල්වල දරුවන්ට පමණි. මේ ක්‍රියාවලිය තුළ, සිසුවෙකුගේ කුසලතාවයට තැනක් ලැබෙන නමුත් කුසලතාවය තිබූ පමණින්ම කිසියම් සිසුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට නොලැබේ. දෙමවුපියන්ගේ වත්කම් ඉහළ මට්ටමක තිබේනම් දරුවන්ගේ කුසලතාවය කිසියම් තරමකට අඩු වුවද හොඳ පාසැලකට ඇතුළු වීමට අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම ජනප්‍රිය පාසැල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී දරුවන්ගේ කුසලතාවය නිර්ණායකයක් වන්නේ ඉතා අඩුවෙනි. එහිදී, වැඩිපුර බලපාන්නේ දෙමවුපියන්ගේ ආර්ථික තත්ත්වය හා "වැඩක් කරගැනීමේ" හැකියාවයි.

ජනප්‍රිය පාසැල් වල ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන පිරිවැයෙන් විශාල කොටසක් ලැබෙන්නේ දෙමවුපියන්ගේ මුදල් වලිනි. මේ අර්ථයෙන් බැලූ විට මේ පාසැල් බොහොමයක් ආකෘතිමය ලෙස, ඉගැන්වීම සඳහා මුදල් අයකරන, එහෙත් පොදු අරමුදල් වලින් කිසියම් ප්‍රමාණයකට සුබසාධනය වන පාසැල් ලෙස සැලකීමේ වැරැද්දක් නැත. රජය මඟින් මේ පාසැල් පවත්වා ගැනීමට මූලික පිරිවැයක් දැරුවත්, මෙවැනි පාසැලක ගුණාත්මක භාවය තීරණය කරන ආන්තික රුපියල හැමවිටම ලැබෙන්නේ එහි පාරිභෝගිකයින් වන දෙමවුපියන්ගෙනි. ආදි ශිෂ්‍යයන් විසින් බොහෝ විට පාසැල් වෙත අරමුදල් සපයන්නේද පසුකාලීනව තමන්ගේ දරුවෙකු පාසැලට දමාගැනීමේ අරමුණ පෙරදැරිව නිසා ඔවුන්ද වක්‍ර ලෙස සුවිශේෂී පාරිභෝගික කණ්ඩායමක්ම වේ.

දුෂ්කර පාසැල් වල උගන්වන ගුරුවරුන්ට කිසියම් අමතර දීමනාවක් ලැබුණත්, ජනප්‍රිය පාසැල් වල ගුරුවරුන්ට රජයෙන් කිසිදු අමතර දීමනාවක් නොලැබේ. එසේ වුවත්, ජනප්‍රිය පාසැල් වලට එන්නට බොහෝ ගුරුවරු කැමැත්තෙන් සිටිති. ඒ නිසා, ජනප්‍රිය පාසැලකට හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගැනීම අපහසු නැත. දුෂ්කර පාසැල් වල සිදු වන්නේ මෙහි අනිත් පැත්තයි. ජනප්‍රිය පාසැලකට එන්නට බොහෝ ගුරුවරුන් කැමැත්තෙන් සිටින්නේ එහි පිටතට නොපෙනෙන මුදල් හා/හෝ මුදල් නොවන වාසි ඇති බැවිනි.

පාසැල් ලාභ ලබන ව්‍යවසායකයින් විසින් පවත්වාගෙන ගියේනම් ජනප්‍රිය පාසැල් වල ගුරුවරුන්ට වැඩි ප්‍රතිලාභ ලැබිය හැකිව තිබුණි. ඒ වැඩි ප්‍රතිලාභ නිසා වඩා හොඳ ගුරුවරුන් එම පාසැල් වලට ආකර්ශනය විය හැකිව තිබුණි. රජයේ මධ්‍යගත සැලසුම තුළ එයට ඉඩක් නැතත්, වෙළඳපොළ බලයන් විසින් වක්‍ර ලෙස ඒ දෙයම සිදු කරයි.

කෙසේ වුවද, රජයේ ජනප්‍රිය පාසැලකට සෘජුව මුදල් ගෙවා "මුදල් පදනම මත" දරුවෙකු ඇතුළු කර ගැනීමේ නීත්‍යානුකූල අවස්ථාවක් දෙමවුපියන්ට නැත. ඒ නිසා, මුදල් අල්ලස් වල සිට ලිංගික අල්ලස් දක්වා බොහෝ දේ සිදුවන්නේ රටේ නීති රාමුවෙන් පිටතය. රටේ නීති රාමුවෙන් පිට පනින්නට සෑම දෙමවුපියෙක්ම කැමති නැත. ඒ නිසා, සැලකිය යුතු මුදලක් ගෙවා ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළු කරගන්නට කැමති, ඒ සඳහා හැකියාව ඇති, දෙමවුපියන් බොහෝ දෙනෙකුට ඒ සඳහා අවස්ථාව නොලැබේ. ජාත්‍යන්තර පාසැල් වලට ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ මෙවැනි දෙමවුපියන්ගෙනි.

ජාත්‍යන්තර පාසැල් වලට දරුවන් යවන්නේ තමන්ගේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා සැලකිය යුතු මිලක් ගෙවන්නට සූදානමින් සිටින දෙමවුපියන් පිරිසකි. ඔවුන්ට ඇති අනෙක් විකල්පය වන රජයේ පාසලකට දරුවෙකු ඇතුළු කිරීමටද මෙයට කිට්ටු මුදලක් සෘජුව හෝ වක්‍ර ලෙස වැය කරන්නට සිදු වේ. එහෙත්, ඔවුන්ට ඇති ප්‍රශ්නය මේ මුදල ගෙවීම නොවේ. මුදල ගෙවා එවැනි පාසැලකට දරුවෙකු ඇතුළු කර ගැනීමට පාරදෘශ්‍ය ක්‍රමයක් නැති වීමයි.

මුදල් ඇති අයෙකුට තමන්ගේ දරුවෙකු මුදල් ගෙවා ජාත්‍යන්තර පාසැලකට ඇතුළු කර ගත හැකිය. එහෙත්, ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළු කර ගැනීමට කිසියම් මුදලක් මෙන්ම බලයක්ද අවශ්‍ය වේ. මීට අමතරව, මේ අවස්ථා දෙකේදීම දරුවාගේ කුසලතා මට්ටමද නොසලකා හැරෙන්නේ නැත.

රජයේ ජනප්‍රිය පාසැල් වල තත්ත්වය මෙසේ වුවත්, රජයේ පාසැල් වලින් සෑහෙන ප්‍රමාණයක් මෙවැනි "ඉල්ලුමක් ඇති" පාසැල් නොවේ. 2016 පාසැල් සංගණනය අනුව, රජයේ පාසැල් වලින් 30%ක පමණ සිටින්නේ සිසුන් සියයකට අඩු ගණනකි. එයින් අඩක පමණ සිටින්නේ සිසුන් පණහකට අඩු ගණනකි. රජයේ පාසැල් වලින් 30%කම ගුරුවරුන් සිටින්නේ තනි ඉලක්කමේ ගණනකි. ඒ අතර, එක් ගුරුවරයෙකු සිටින පාසැල් 27ක්ද, ගුරුවරුන් දෙදෙනෙකු පමණක් සිටින පාසැල් 108ක්ද තිබේ. පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික පහසුකම් පවා නැති පාසැල් ගණනාවක් තවමත් රටේ තිබේ.

රටේ පහළ ආදායම් ලබන පවුල් වල දරුවන් වැඩි දෙනෙකුට අවසාන වශයෙන් හිමි වන්නේ ඉහත ආකාරයේ අඩු පහසුකම් සහිත පාසැලකි. පවුලේ ආදායම් තත්ත්වය අනුව දරුවන්ට පාසැල් හිමිවීම සිදුවන්නේ පළමු ශ්‍රේණියට ඇතුළු වෙත්දීමය. පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය, ඒ ගැන කවර විවේචන තිබුණත්, සිසුවකුගේ දක්ෂතාවය මත පියවරක් ඉහළට තබන්නට ලැබෙන පළමු අවස්ථාවයි. එහෙත්, ශිෂ්‍යත්ව විභාගයෙන් කුසලතා පෙන්වූ පමණින් දක්ෂ දරුවෙකුට ඔහුගේ කුසලතාවයන්ට ගැලපෙන හොඳම පාසැලට යන්නට ඉඩ ලැබෙන්නේ නැත. පවුලේ ආදායම් තත්ත්වය මෙහිදීද හරහට හිටී.

රජයෙන් නොමිලේ ලැබෙන අධ්‍යාපනය වෙනුවෙන් එක් පුද්ගලයෙකුට දරන්නට සිදුවන පිරිවැය පිළිබඳ දළ ඇස්තමේන්තු කිහිපයක් මගේ පෙර ලිපි වලින් ඉදිරිපත් කළෙමි. මේ මුදල් වලින් වැඩි ප්‍රමාණයක් අය කර ගැනෙන්නේ වක්‍ර බදු ලෙසය. වැඩි ආදායම් ලබන පවුල් වැඩියෙන් පරිභෝජනය කරන නිසා බදු වලට ඔවුන්ගේ දායකත්වය වැඩිය. ඒ නිසා, මතු පිටින් පෙනෙන්නට ඇති පරිදි නිදහස් අධ්‍යාපනය නිසා ඉහළින් පහළට සම්පත් ගලායාමක් සිදුවේ. නමුත්, මෙය පෙනෙන තරම්ම ලොකුවට සිදු වන්නේ නැත.

කිසියම් පවුලක ආදායම ඉහළ යන විට පරිභෝජනයද ඉහළ යයි. එහෙත්, පරිභෝජනය සිදුවන්නේ ආදායමට සමානුපාතිකව නොවේ. ආදායම් මට්ටම කෙතරම් පහත් වුවත් ජීවත් වීම සඳහා මූලික පරිභෝජන මට්ටමක් පවත්වා ගත යුතුය. ආදායම මේ මට්ටමට වඩා අඩුනම් පවුලකට රජයෙන් ලැබෙන සහනාධාර වලින්, වෙනත් අයගේ පරිත්‍යාග වලින් හෝ ණය වලින් වියදම් පියවාගෙන මේ මූලික පරිභෝජන මට්ටම පවත්වා ගන්නට සිදුවේ. පවුලක ආදායම වැඩි වෙද්දී එසේ වැඩි වන ආදායමෙන් කිසියම් ප්‍රතිශතයක් පරිභෝජනය වෙනුවෙන් වෙන් කෙරෙන නමුත් සියල්ල එසේ වෙන් කෙරෙන්නේ නැත. වැඩි ආදායම් මට්ටම් වලදී ඉතිරිය ආයෝජනය කිරීමත්, අඩු ආදායම් මට්ටම් වලදී සෘණ ආයෝජන (ණය ගෙවීම) කිරීමත් සිදුවන බැවිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පවුලක පරිභෝජන මට්ටම් විචල්‍ය වන්නේ ආදායම් විචල්‍ය වනවාට වඩා අඩුවෙනි.

අඩු ආදායම් ලබන බොහෝ දෙනෙක් තමන්ගේ ආදායම් මට්ටමද ඉක්මවා පරිභෝජනය කරති. ඒ නිසා, ඒ අයගෙන් සැලකිය යුතු මුදලක් වක්‍ර බදු ලෙස රජය විසින් එකතු කර ගනී. ඒ වෙනුවෙන්, ඔවුන්ගේ දරුවන්ට කිසියම් පාසැලක් ලැබේ. එහෙත්, මේ පාසැල බොහෝ විට "ඉල්ලුමක් ඇති" පාසැලක් නොවේ.

එක් දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල වැඩි වූ පමණින්ම එම දරුවන්ට ලැබෙන අධ්‍යාපනය වඩා හොඳ එකක් වෙන්නේ නැත. ගුරුවරු එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හා සිසුන් හත් අට දෙනෙක් පමණක් සිටින පාසැල් ලංකාවේ තිබේ. එවැනි පාසැලක එක් දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල ජනප්‍රිය පාසැලක දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදලට වඩා බොහෝ වැඩි විය හැකිය. එහෙත්, එයින් අදහස් වන්නේ එවැනි පාසැල් වල දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලැබෙන බව නොවේ.

රටේ ඉහළ ආදායම් ලබන පවුල් වල සිටින්නෝ පරිභෝජනය පිණිස වැඩි මුදලක් වැය කරති. එහෙයින්, වැඩි බදු මුදලක්ද ගෙවති. එහෙත්, ඒ අතරම මේ බොහෝ දෙනෙක් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් රටේ "හොඳ පාසැල්" කවර ආකාරයෙන් හෝ ලබා ගනිති. ඒ වෙනුවෙන්, විශාල අමතර මුදලක් මේ අය වැය කරන්නේ වුවත්, ගෙවන බදු මුදලට හා අමතර මුදලට වඩා වටිනා අධ්‍යාපනයක් ඔවුහු තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා ගනිති.

රජය මඟින් නොමිලේ ලබා දෙන පාසැල් අධ්‍යාපනය රටේ පවුල් වලට සමස්තයක් ලෙස 'ශුන්‍ය සමස්ත එකතුවක් (zero sum)' ලැබෙන ක්‍රියාවකි. රජයකට සම්පත් නිර්මාණය කළ නොහැකිය. ඒ නිසා, හැම විටම එක් අයෙකුට ලබා දෙන්නට වෙන්නේ තවත් අයෙකුගෙන් ලබා ගන්නා දෙයකි. මේ ක්‍රියාවලියේ ජයග්‍රාහකයින් හා පරාජිතයින් කවුද? (මෙහි පහත ඉදිරිපත් කරන ප්‍රතිශත යොදාගන්නේ කරුණු පැහැදිලි කිරීම පිණිසය. ඒවා ඉතා දළ ඇස්තමේන්තු පමණි.)

ආදායම් ව්‍යාප්තියේ පහළින්ම සිටින පවුල් 2%ක පමණ ප්‍රමාණයක දරුවන්ට නිදහස් අධ්‍යාපනය තිබියදී වුවද අවශ්‍ය මූලික අධ්‍යාපනයවත් නොලැබේ. එහෙත්, ඔවුහු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පරිභෝජනය සඳහා තමන්ට ඇති සීමිත සම්පත් කැප කරති. ඔවුහු මේ ක්‍රියාවලියේ පැහැදිලි පරාජිතයෝය.

ඉන් පසුව සිටින 40%ක පමණ වන පවුල් වල දරුවන්ට (ලංකාවේ පාසැලකට පයින් හෝ බයිසිකලයකින් යන ප්‍රතිශතය 43.3%කි.) ඉගෙන ගන්නට රජයේ කිසියම් පාසැලක් ලැබේ. එහෙත්, එසේ ලැබෙන්නේ "ඉල්ලුමක් නැති" පාසැලකි. මේ ආදායම් කාණ්ඩයේ දරුවන්ව මුදල් වැය කර හෝ "වෙනත් ක්‍රම වලින්" වඩා හොඳ පාසැලකට යැවීමට ඔවුන්ගේ දෙමවුපියන්ට හැකියාවක් නැත. මේ කාණ්ඩය විසින් වක්‍ර බදු ලෙස ගෙවන මුදලට වඩා වැඩි මුදලක් රජය විසින් ඔවුන් අධ්‍යාපනය ලබන පාසැල් වෙනුවෙන් වියදම් කරන්නේයැයි සිතිය හැකිය. එහෙත්, එසේ වූ පමණින් ඔවුන් ගෙවන මුදලට වටිනා අධ්‍යාපනයක් ඔවුන්ගේ දරුවන්ට ලැබෙන්නේද යන්න සැක සහිතය.

නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම්, මේ වන විට වුවද, ඉහත කණ්ඩායමෙන් අඩකට පමණ කිසිදු අධ්‍යාපනයක් නොලැබෙන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් මේ තත්ත්වය වැලක්වී තිබේ. එහෙත්, මෙසේ ලැබුණු අධ්‍යාපනය නිසා මේ කාණ්ඩයේ පවුල් වල ජීවිත විශාල ලෙස සමෘද්ධිමත් වී නැත. මේ කාණ්ඩයේ සිසුවෙකු අධ්‍යාපනය හරහා සමාජයේ ඉහළම ස්ථරයට නැඟීම සිදු නොවන්නක් නොවූවත්, ඒ ඉඩකඩ විශාල නැත. ඒ නිසා, ගෙවන බදු මුදලට සාපේක්ෂව මේ කණ්ඩායම විසින් ලබන පෞද්ගලික ප්‍රතිලාභ එතරම්ම විශාල නැත.

කෙසේ වුවද, ඉහත පිරිස් පාසැල් වෙත යොමු නොවුනේනම් එම සමාජ කාණ්ඩය අතරින් සමාජ විරෝධීන් වැඩි ප්‍රමාණයක් බිහි විය හැකිව තිබුණි. එය එසේ සිදුනොවීම ඔවුන්ගේ අධ්‍යාපනය යම් තරමකින් සුබසාධනය කරන ඉහළ ආදායම් ලබන අයගේ වාසියකි. එයට අමතරව සාක්ෂරතාවය සහිත මූලික ශ්‍රමය සපයන්නන් පිරිසක් සිටීම සමාජ ස්ථරයේ ඉහළින් සිටින ව්‍යවසායකයින්ටද වාසියකි. (මේ ගැන කියන්නට තවත් බොහෝ දේවල් තිබේ. ඒවා පසුවට තබමු.)

අනෙක් අන්තය දෙස බැලුවොත්, ඉහළින්ම සිටින 6-7%ක පමණ ප්‍රමාණයක් තමන්ගේ දරුවන් යවන්නේ ජාත්‍යන්තර පාසැලකට හෝ වෙනත් පෞද්ගලික පාසැලකටය. මේ ස්ථරයේ තවත් පිරිසක් (3-4%ක් පමණ ලෙස සිතමු) සැලකිය යුතු මුදලක් (බොහෝ විට අත යටින්) වැය කර ඔවුන්ගේ දරුවන් රජයේ ජනප්‍රිය පාසැලකට දමා ගත් අයයි. (මේ ප්‍රතිශතය මීට වඩා බොහෝ වැඩි විය හැකිය.) ඔවුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වක්‍ර බදු ලෙස ගෙවා ඇති අයයි. මේ උඩින්ම සිටින ස්ථරයද, පවතින ක්‍රමය තුළ සමස්තයක් ලෙස පරාජිතයෝ වෙති. ඔවුන් ගෙවන බදු මුදල් වෙනුවෙන් ඔවුන්ට සැලසෙන ප්‍රධානම යහපත රටේ සමාජ විරෝධීන් අඩුවෙන් බිහිවීම වැනි වක්‍ර ලාබයි.

නිදහස් අධ්‍යාපනයේ වාසි වැඩිපුරම ඇත්තේ මේ කාණ්ඩ දෙක අතරමැද සිටින 50%ක පමණ පිරිසටය. ඔවුන් අතරද දරුවන් මෝටර් රථයකින් හෝ පාසැල් වෑන් රථයකින් පාසැලට යවන 15%ක පමණ පිරිස වඩා ඉහළින් සිටිති. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා හෝ මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ භාවිතා කරන 35%ක පමණ පිරිස පහළින් සිටිති.

මේ මැද ස්ථර දෙකේ සිටින පවුල් වල අයද රජයට බදු ගෙවනවාට අමතරව, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය කරන අයයි. එහෙත්, ඔවුහු බොරු පදිංචි පෙන්වීම, අත යටින් හෝ අත උඩින් මුදල් ගෙවීම, ආදි ශිෂ්‍ය සංගම් හරහා බලපෑම් කිරීම, පෞද්ගලික සම්බන්ධතා ආදී විවිධ ක්‍රම වලින් දෙපැත්තේ සිටින අඩු ආදායම් හා වැඩි ආදායම් කාණ්ඩ පසු කර පෝලිම පනින්නට සමත් වන අයයි. (මෙයින් කියන්නේ මේ ආදායම් කාණ්ඩයේ සිටින සියල්ලන්ම එසේ කරන බව හෝ වෙනත් ආදායම් කාණ්ඩ වල අය එසේ නොකරන බව නොවේ.) ඒ නිසා, අවසාන වශයෙන් තමන් ගෙවන මුදලට වඩා වටිනා දෙයක් මේ කාණ්ඩයේ අය තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා ගනිති. මේ මැදි ආදායම් කාණ්ඩය තුළ සිටින කාණ්ඩ දෙක අතරින්ද ඉහළ ස්ථරය සිටින්නේ වඩා ඉදිරියෙනි.

ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ වැඩිම වාසි ලබන්නේ 15%ක් පමණ වන ඉහත ඉහළ මධ්‍යම පාන්තික ස්ථරයයි. දෙවනුවට සිටින්නේ 35%ක් වන පහළ මධ්‍යම පාන්තික ස්ථරයයි. ඉහළින්ම සිටින 10%ක පමණ පිරිස පමණක් නොව පහළින්ම සිටින 40%ක පමණ පිරිසද මේ ක්‍රමය තුළ පරාජිතයෝය.

මිනිසුන් තමන්ගේ (හා තමන්ගේ දරුවන්ගේ) යහපත වෙනුවෙන් කටයුතු කිරීම සාමාන්‍ය ස්වභාවයකි. මිනිසුන්ගේ මේ ස්වභාවය ස්වභාවික ලෙසම වෙනස් වන තුරු බලහත්කාරයෙන් යටපත් කළ නොහැකිය. නීතිරීති හරහා සමාජ සාධාරණත්වය ඇති කරන්නට හදන හැම විටකම මිනිස්සු මේ නීතිරීති මඟහැර වාසි ලැබිය යුතු ක්‍රම සොයති. ජනප්‍රිය පාසැල් අසලින් ගෙවල් කුලියට ගෙන, ඡන්ද ලැයිස්තු වල නම් වෙනස් කරගෙන, ආදිශිෂ්‍ය සංගම් හරහා බලපෑම් කරමින්, මුදල් හා ලිංගික අල්ලස් ලබා දෙමින් දෙමවුපියන් විසින් උත්සාහ කරන්නේ පවතින නීතිරීති වලින් කෙසේ හෝ රිංගා තමන්ගේ දරුවන්ට පුළුවන් තරම් හොඳ පාසැලක් ලබාගැනීමටය. අයෙක් එසේ කරන හැම විටකම තවත් දරුවෙකුගේ අවස්ථාව නැති වේ. ඇතැම් අය කියනාවක් මෙන් "සමාජයේ සෑම දරුවෙකුම තමන්ගේ දරුවන් මෙන් සිතන" දෙමවුපියන් සිටින්නේ ආගම් ලෙස අදහන දේශපාලනික විශ්වාස තුළ පමණි. මිනිසුන්ගේ මේ ස්වභාවය වෙනස් වන තෙක් එය නොතකා හදන සැලසුම් සාර්ථක වන්නේ නැත.

නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවේ විෂමතාවයන් අඩුවී ඇතැයි යමෙකු සිතනවානම් එය බොරුවක් නොවුවත්, ඔය කියන දෙය මහා ලොකුවට සිදු වී නැත. ඇත්තටම සිදුවී ඇත්තේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමට පෙර පැවති විෂමතාවයන් තවදුරටත් පවත්වාගෙන යා හැකි පරිදි ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය පරිණාමය වී තිබීමයි.

(Image: http://www.sipsala.com/)

Monday, July 24, 2017

අධ්‍යාපනය අයිතියක් වන්නේ කෙසේද?


පසුගිය ලිපියෙන් මා ඉදිරිපත් කළේ රජය විසින් ලබා දෙන මූලික අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට දරන්නට සිදුවන පිරිවැය පිළිබඳව තේරුම් ගැනීම පහසු කරන ආකෘතියක් හා අදාළ ආකෘතිය අනුසාරයෙන් සකස් කළ දළ ඇස්තමේන්තුවකි. එම ඇස්තමේන්තුව අනුව, රජයේ පාසැල් හරහා ලබාදෙන වසරක අධ්‍යාපනය වෙනුවෙන් එක් පුද්ගලයෙකුට දරන්නට සිදුවන වියදම රුපියල් 24,550ක් පමණ වේ.

ආකෘති උපයෝගී කර ගන්නේ සංකීර්ණ සිදුවීමක් සරලව තේරුම් ගැනීම සඳහාය. ඉහත ඇස්තමේන්තුව පිළියෙළ කිරීමේදීද සරල උපකල්පන ගණනාවක් සිදු කර ඇති නිසා මගේ ඇස්තමේන්තුව පරිපූර්ණ එකක් නොවේ. එහෙත්, එය එසේ නොවීම ලිපියෙන් පෙන්වා දුන් මූලික කරුණ පැහැදිලි කිරීමට බාධාවක් නොවේ.

ඇතැම් අය සිතා සිටිනවාක් මෙන් කිසිවෙකුටත් රජයෙන් "පිනට" අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. අධ්‍යාපනය වෙනුවෙන් රජය විසින් වැය කරන හැම සතයක්ම රජය විසින් රටේ පවුල් ඒකක වලින් අය කර ගෙන තිබේ. ඇත්තටම සිදුවන්නේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වැනි "නොමිලේ" දෙන බව ඇතැම් අය විශ්වාස කරන කැරට් අල පෙන්වමින් රජය විසින් ඒ දේවල් වෙනුවෙන් වැය කරන මුදලටත් වඩා මුදලක් ආපසු ලබා ගැනීමයි. අධ්‍යාපනය විකිණීම රජයට විශාල ලාභයක් ලබා දෙන ව්‍යාපාරයකි. මේ ගැන පැහැදිලි කිරීම ඉදිරියට තබා අපි පෙර ලිපියෙන් මතු කළ මූලික කරුණටම නැවත ආපසු එමු.

-රජය කිසියම් වසරක් තුළ පාසැල් වයසේ දරුවන්ට අධ්‍යාපන සේවා සැපයීම වෙනුවෙන් කිසියම් නිශ්චිත මුදලක් වැය කරයි.
-මේ මුදල අදාළ වසර තුළ මේ දරුවන් විසින් රජයට ගෙවන්නේ නැත. එහෙත්, රජය විසින් මේ මුදල එම දරුවන්ගේ දෙමවුපියන්ගෙන් හා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් අදාළ වසර තුළදීම බදු ලෙස අය කර ගනී. ඒ නිසා, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන ආයෝජනයේ බරපැන දරන්නේ ඔවුන්ගේ වැඩිහිටි පරම්පරා වල පුද්ගලයින් විසින් මිස "රජය" හෝ "පොදු සමාජය" නම් වූ අතාත්වික පුද්ගලයෙකු විසින් නොවේ.
-දෙවන අදියරේදී, මේ දරුවන් වැඩිහිටියන් වී ආදායම් උපදවන විට රජය විසින් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මුදල ඉක්මවන මුදලක් නැවත වටයකින් බදු ලෙස අය කර ගනී. ඊළඟ පරම්පරාවේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන්නේ මේ මුදල්ය.

මේ අනුව, ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ දෙමවුපියන් විසින් වියදම් කරන්නට ඉඩ තිබුණු මුදල් රජය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන රජයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබට ලබා දී තිබේ. දෙමවුපියන්ගේ මුදල් රජය විසින් පැහැර ගැනීම මඟින් ඔවුන්ට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබට ලබා දීමට තිබුණු අවස්ථාව රජය විසින් නැති කර තිබේ.

පසුව ඔබ විසින් ආදායම් උපයන විට එයින් කොටසක් ඔබෙන් පැහැර ගන්නා රජය විසින් ඒ මුදල් වැය කර රජයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබේ දරුවන්ට ලබා දෙයි. ඔවුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔබට අවශ්‍යනම් ඔබට ඒ සඳහා තවත් අමතර මුදල් වැය කරන්නට සිදු වේ. 

ඔබ හෝ ඔබේ දරුවා "පිනට" ඉගෙනගෙන නැත. ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑවටත් වඩා මුදලක් ඔබ විසින් දැනටමත් රජයට ගෙවා තිබේ. එසේ නැත්නම්, ඔබගේ දෙමවුපියන් විසින් ගෙවා තිබේ. 

මිනිස් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී සෑම විටම සිදුවන්නේ පැරණි පරම්පරාව විසින් අලුත් පරම්පරාවේ වියදම් දැරීමයි. අධ්‍යාපන සේවා වෙළඳපොළට රජය මැදිහත් වූවද නොවූවද මෙය සිදුවන්නේ එකම ආකාරයෙනි. රජය මැදිහත් වූ විට සිදුවන්නේ අලුත් පරම්පරාවේ වියදම පැරණි පරම්පරාවේ පුද්ගලයන් විසින් ස්වේච්ඡාවෙන් දරනු වෙනුවට ඔවුන්ගෙන් බලහත්කාරයෙන් උදුරාගනු ලැබීමයි.

ඇතැම් අයට මේ ආකෘතියේ ප්‍රශ්නයක් තිබෙන බව පෙනේ. මෙය හැමවිටම සිදුවන්නේ මේ ආකාරයෙන්නම් පළමු පරම්පරාවේ වියදම් දැරුවේ කවුද?

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇරඹෙන විට පැවති තත්ත්වය බොහෝ දෙනෙකු නොදන්නා දෙයක් විය නොහැකිය. ලංකාවේ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම වසර දහස් ගණනක් තිස්සේ (පන්සල් මූලිකව) සිදුවුවත්, වත්මන් පාසැල් අධ්‍යාපන ආකෘතිය ආරම්භ කළේ ක්‍රිස්තියානි මිෂනාරීන් විසිනි. රාජ්‍යමූලික නිදහස් අධ්‍යාපන ආකෘතිය යෝජනා වන විට ලංකාව පුරා විසිරුණු මිෂනාරි පාසැල් පද්ධතියක් තිබුණේය. මේ පාසැල් සතුව සැලකිය යුතු තරමක භෞතික සම්පත් ප්‍රමාණයක්ද තිබුණේය.

මා විසින් වැඩි හැදෑරීමක් කර නැති නිසා නිවැරදි නොවිය හැකි වුවත්, මා දන්නා තරමින් මේ පාසැල් පද්ධතිය වැඩි දියුණු වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එකතු කරගත් බදු මුදල් යොදවමින් නොව අදාළ එක් එක් ක්‍රිස්තියානි ආගමික නිකාය සතු අරමුදල් යොදවමිනි. ගාල්ලේ රිච්මන්ඩ් විදුහල වැනි ඇතැම් මිෂනාරි පාසැල් ආරම්භ කෙරුණේ උඩරට ගිවිසුම අත්සන් කරන්නටත් පෙරය. 

මේ පාසැල් වෙනුවෙන් අරමුදල් වැඩි ප්‍රමාණයක් යෙදවූයේ බටහිර රටවල ජීවත් වූ අදාළ පල්ලි වල දායකයින් විසිනි. ඒ නිසා, මේ ආයෝජන වෙනත් ලාභ අපේක්ෂා නොකර ස්වර්ග සම්පත් පතා කළ ආයෝජන ලෙස සැලකිය හැකිය. ඒ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අධ්‍යාපනය ලැබීම හා අදාළවනම් "පිනට ඉගෙන ගැනීම" කියා කීමේ එතරම් වරදක් නැත. පසුකාලීනව පරමවිඥාර්ථ සමාගම වැනි ආයතන මේ ආකෘතියේම අධ්‍යාපනයක් ලබා දුන්, එහෙත් මතුපිටින් බෞද්ධ වූ, පාසැල් ගණනාවක්ද ආරම්භ කළේය. මේ පාසැල් වෙනුවෙන් සිදු කළ ආයෝජනද "පිං පිණිස" කළ ඒවාය.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වන විට සැලකිය යුතු තරම් භෞතික සම්පත් ප්‍රමාණයක් හා උපයාගත් කීර්තිනාම තිබුණු ක්‍රිස්තියානි හා බෞද්ධ පෞද්ගලික පාසැල් විශාල ගණනක් රටේ තිබුණේය. මේ පාසැල් වලින් සීමිත ගණනක් හැර ඉතිරි ඒවා රජයට පවරා ගැනුණේය. එයින් අනතුරුව රජය විසින් රට පුරා පැතිරුණු මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක් ඇතුළු තවත් පාසැල් ගණනාවක් අලුතින් හැදුවේය. මේ අලුත් පාසැල් වෙනුවෙන් මෙන්ම රජයට පවරාගත් පැරණි පාසැල් නඩත්තුව වෙනුවෙන්ද බදු මුදල් වැය කෙරුණේය.

නිදහස් අධ්‍යාපන සංකල්පය ආරම්භ වූ අලුත රජය මඟින් මුදල් අය නොකර ලබාදුන් අධ්‍යාපනයේ බර දැරුවේ එවකට වැඩිහිටියන් වූ පරම්පරාවයි. එහෙත්, ඔවුහු රජය මඟින් නොමිලේ ලබාදුන් අධ්‍යාපනයක් ලබා නොසිටියහ. ඒ නිසා, ඉතා පැහැදිලිවම, ඒ පරම්පරාවට වෙනත් අයෙකුට ගෙවිය යුතු සදාචාරාත්මක ණයක් නොතිබුණේය. 

රජය මඟින් නොමිලේ අධ්‍යාපනය ලබා නුදුන්නේනම්, මේ පළමු පරම්පරාවේ සෑහෙන පිරිසක් තමන්ගේ මුදල් වැය කර තමන්ගේ දරුවන්ට තමන් හොඳයැයි සිතන ආකාරයේ අධ්‍යාපනයක් ලබා දිය හැකිව තිබුණේය. එහෙත්, රජය විසින් ඒ කාර්යය භාර ගැනුණු අතර, ඒ වෙනුවෙන් වැය වන මුදල් බදු වශයෙන් ඒ පරම්පරාවේ අයගෙන් එකතු කරගනු ලැබුවේය. 

මේ අනුව, රජය මඟින් මුදල් අය නොකර ලබා දුන් අධ්‍යාපනය ලබාගත් පළමු පරම්පරාවේ අය ඒ සඳහා ණයගැති විය යුත්තේ ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට හා ලංකාවේ පාසැල් වෙනුවෙන් පිං පිණිස මුදල් යෙදවූ අයටය. රජය මැදිහත් නොවී, පාසැල් ආගමික සංවිධාන යටතේම පැවතියද මේ තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැත.

මෙසේ රජය විසින් මුදල් අය නොකර ලබාදුන් පාසැල් අධ්‍යාපනය ලැබූ පළමු පරම්පරාවේ අය වැඩිහිටියන් වී මුදල් උපයන්නට පටන් ගත් විට, ඔවුන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම හේතුවක් ලෙස පෙන්වමින් රජය ඔවුන්ගෙන් බදු මුදල් අය කරගත්තේය. පරම්පරා කිහිපයක් තිස්සේ මෙය මේ අයුරින්ම සිදු වී තිබේ.

නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් රජය හරහා සිදුවන්නේ දෙමවුපියන් විසින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොහොමටත් සිදු කරන ආයෝජනය රජයේ ඒකාධිකාරයට යටත් කර තිබීම පමණි. මේ ක්‍රමය අද වන විට විකාශනය වී ඇති ආකාරය අනුව, රජය විසින් ඔබේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයට වඩා හොඳයැයි ඔබ සිතන විකල්ප අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දීමේ අවස්ථාව දැන් ඔබට තිබේ. එහි මිල ඔබ ගෙවිය යුතුය. එයට අමතරව, රජය හරහා ඔබේ දරුවා වෙනුවෙන් ඔබට ලබාගත හැකිව තිබුණු අධ්‍යාපනයේ මිලද, එය ඔබ විසින් ලබා නොගත්තත්, ඔබට ගෙවන්නට සිදු වේ. ඔබ ආදායම් උපයන තරමට හා වියදම් කරන තරමට වැඩි වැඩියෙන් රජයට බදු ගෙවන්නට ඔබට සිදුවේ. එයින් ඔබට කිසිදු ගැලවීමක් නැත.

පෙර ලිපියේ මා ඉදිරිපත් කළ එක් සිසුවෙකු වෙනුවෙන් එක් වසරකට රජය විසින් වැය කරන (එම සිසුන්ගේ දෙමවුපියන්ගෙන්  අය කෙරෙන) මුදල දළ ඇස්තමේන්තුවක් පමණි. පෙර ලිපියේ විස්තර කළ සම්පූර්ණ ආකෘතියම තේරුම් ගැනීමට උදවු නොකරන නමුත්, ඉහත මුදල ඇස්තමේන්තු කළ හැකි වඩා සරල ක්‍රමයක් වන්නේ රජයේ අධ්‍යාපන සේවා පිරිවැය ඇස්තමේන්තු මුදල රජයේ පාසැල් වල ඉගෙන ගන්නා සිසුන් ගණනින් බෙදීමයි. 2016 සිසුන් ගණනින් බෙදූ විට, 2017 වසර සඳහා එක් සිසුවෙකුගේ බරපැන රුපියල් 18,570කි. 2016 වසර සඳහා එම මුදල රුපියල් 60,939කි.

මේ වසරේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන මුදල් ප්‍රමාණය සැලකිය යුතු තරමින් අඩු කර ඇතත්, ඉහත සංඛ්‍යා දෙක මෙතරම්ම විශාල ලෙස වෙනස් වෙන්නේ 2016 වසරේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබූ ආකාරයේ වෙනසක් නිසාය. කෙසේවුවද, ඒ වෙනස මේ ලිපියේ පෙන්වාදෙන කරුණට අදාළ වෙනසකි.

පළමු සංඛ්‍යාව, පදනම් වන්නේ පාසල් නඩත්තුව වෙනුවෙන් රජය වසර තුළ වැය කරන මුදල මතය. දෙවන සංඛ්‍යාවට, ඊට අමතරව, ලංකාවේ පාසැල් සතුව දැනට ඇති භෞතික ප්‍රාග්ධනයේ වාර්ෂික ප්‍රයෝජ්‍ය වටිනාකමද එකතු කර තිබේ. මේ සංඛ්‍යා පහත විස්තර කර ඇති අයුරින් පැහැදිලි කළ හැකිය.

අනෙක් සියලු තත්ත්වයන් නොවෙනස්ව තිබියදී, රජය විසින් ලංකාවේ සිසුන්ට පාසැල් අධ්‍යාපනය ලබා නොදෙන්නේනම් පාසැල් නඩත්තුව වෙනුවෙන් වැය කරන මුදල පමණක් යොදාගෙන එක් සිසුවෙකු වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට රුපියල් 18,570ක මුදලක් ගෙවිය හැකිය. ඒ, 2017 ඇස්තමේන්තුව හා 2016 සිසුන් ගණන සැලකූ විටය. 2016 ඇස්තමේන්තුව හා සිසුන් ගණන සැලකූ විට මේ මුදල රුපියල් 30,876කි.  ඊට අමතරව, රාජ්‍ය පාසැල් පද්ධතිය සතුව ඇති ගොඩනැඟිලි, ක්‍රීඩාංගන ආදිය වසරක කාලයක් සඳහා බදු දීම මඟින් උපයාගත හැකි ආදායමද මෙසේ බෙදාදෙන්නේනම් රජයට එක් සිසුවෙකු වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට රුපියල් 60,939ක මුදලක් ගෙවිය හැකිය.

ලංකාවේ පාසැල් පද්ධතිය වහාම පෞද්ගලීකරණය කළ යුතුයැයි මා කිසිසේත්ම යෝජනා කරන්නේ නැත. එහෙත්, රජය විසින් එසේ කළේයැයි අපි මොහොතකට හිතමු. දැන් රජයට රජය සතු භෞතික සම්පත් අධ්‍යාපන සේවා සපයන පෞද්ගලික ව්‍යවසායකයන්ට බදු දෙන්නට පුළුවන. එසේ කර උපයන මුදල් හා දැනට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන (බදු හරහා උපයා ගන්නා) මුදල් සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට ලබා දුන්නොත් එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් 60,939ක මුදලක් ඔවුන්ට ලැබේ.

ඉහත උපකල්පිත තත්ත්වය යටතේ ලාභ පිණිස හෝ ලාභ අරමුණු කර නොගෙන පාසැල් අධ්‍යාපන සේවා ලබා දෙන ව්‍යවසායකයින් ඕනෑ තරම් බිහිවනු ඇතැයි සිතිය හැකිය. රජයට අවශ්‍යනම් මේ අධ්‍යාපන සේවා සපයන්නන්ට නියාමන රාමුවක් හඳුන්වා දී, දැන් රජයේ පාසැල් වල නැති පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ආදිය තිබිය යුතු බව අනිවාර්ය කරන්නට වුවද පුළුවන. ගුරුවරුන්ගේ අවම සුදුසුකම් ආදියද ඒ අයුරින්ම නියම කරන්නට පුළුවන. එසේ කළහොත් කුමක් සිදුවනු ඇත්ද?

රජයේ පාසැල් දැනට පවත්වාගෙන යන භෞතික පහසුකම් කුලියට ගෙන ඒ සඳහා රජයට මුදල් ගෙවා, ගුරුවරුන්ට දැනට වඩා වැඩි වැටුප් හා සිසුවන්ට වැඩි පහසුකම්ද සපයා, සිසුවකු වෙනුවෙන් දෙමවුපියන්ගෙන් 60,939ක මුදලකට වඩා අඩු මුදලක් අය කිරීමෙන් පසුවද තමන්ට සැලකිය යුතු ලාබයක් ලබන්නට සමත්වන ව්‍යවසායකයින් සිටිනු ඇති බව ඉඳුරාම කිව හැකිය.

මෙහිදී අධ්‍යාපනය ව්‍යවසායකයින්ගේ අතට යන අතර ඔවුන් ලාබ ලබනු ඇත. එහි කතා දෙකක් නැත. එහෙත්, ඒ අතරම සිසුන්ට දැනට වඩා වැඩි පහසුකම් හා අධ්‍යාපනයක්ද, ගුරුවරුන්ට වැඩි වැටුප්ද හිමි වෙද්දී දෙමවුපියන්ගේ අතේ කිසියම් අමතර මුදලක්ද ඉතිරි වනු ඇත. 

තත්ත්වය මෙසේ තිබියදීත් රජය විසින් අධ්‍යාපන සේවා සැපයීම මා විසින් අධෛර්යමත් නොකරන්නේ, මෙපමණ අකාර්යක්ෂම වූවත්, රජය විසින් කරන වෙනත් බොහෝ කටයුතු වලට වඩා අධ්‍යාපන සේවා සැපයීම කාර්යක්ෂමයැයි මා සිතන බැවිනි.

අධ්‍යාපනය අයිතියකි. එහෙත්, එය එසේ වන්නේ කාගේ හෝ ආගමික නායකයෙක් එසේ කියා ඇති නිසා හෝ වසර දෙතුන් සියයකට පෙර ලියැවී ඇති කිසියම් ආගමික ලියවිල්ලක එසේ ලියැවී ඇති නිසා නොවේ. ඔබ කැමති වුවත්, අකැමැති වුවත්, ඔබේ දරු මුණුපුරන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා රජය විසින් ඔබෙන් මුදල් අය කරගන්නා බැවිනි. එමෙන්ම, ඔබ මිය යන තුරුද එසේ අය කර ගැනීමට නියමිත බැවිනි.

ඔබ පාන් ගෙඩියක් සඳහා මුදල් ගෙවූ විට කල් ඉකුත් නොවූ පාන් ගෙඩියක් ලබා ගැනීමේ අයිතිය ඔබට තිබේ. ඔබ දුම්රිය ප්‍රවේශපත්‍රයක් මිලදී ගත් විට ගමනාන්තය දක්වා යාමේ අයිතිය ඔබට තිබේ. ඒ අයුරින්ම, ඔබ විසින් රජයට ගෙවා ඇති මුදලට සරිලන අධ්‍යපනයක් ඔබේ දරුමුණුපුරන් වෙනුවෙන් ලබා ගැනීම ඔබේ අයිතියකි. කණගාටුවට කරුණ වන්නේ වෙළෙන්දා රජය වූ විට, බඩුව මුදලට නොවටින්නේ වුවත්, වෙන කඩයකට යාමේ නිදහස ඔබට නැති වීමයි.
 
(Image: http://www.globaljustice.org.uk/news/2015/oct/15/british-aid-private-schools-could-violate-human-rights-says-international-coalition)

Sunday, July 23, 2017

නිදහස් අධ්‍යාපනය නොතිබුණානම්...



ලංකාවේ බොහෝ දෙනෙක් බොහෝ විට කියනු ඇසිය හැකි කරුණක් වන්නේ නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් තමන් දැන් සිටින තැනට එන්නට නොලැබෙනු ඇති බවයි. අවස්ථා සීමා වී ඇති බව කවුරුත් දන්නා උසස් අධ්‍යාපනය පැත්තකින් තිබ්බත්, සාමාන්‍ය පිළිගැනීම අනුව ලංකාවේ ඕනෑම දරුවෙකුට පාඨමාලා ගාස්තු නොගෙවා වසර 13ක මූලික අධ්‍යාපනයක් රජය මඟින් පාලනය කෙරෙන පොදු පාසැල් පද්ධතිය හරහා ලබා ගැනීමේ අවස්ථාව තිබේ. ඊට අමතරව, පෙළ පොත්, පාසැල් නිල ඇඳුම් ආදියද සිසුන්ට නොමිලේ ලැබේ.

ඉහත සඳහන් "නොමිලේ දෙන" දේවල් වෙනුවෙන් රජය පිරිවැයක් දැරිය යුතුය. මේ (2017) වසරේ අධ්‍යාපන අමාත්‍යංශයේ වියදම් ලෙස රජය විසින් ඇස්තමේන්තු කර ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 76,943.7කි. රජය විසින් මෙසේ වියදම් කරන්නේ රටේ ජනතාවගෙන් බදු ලෙස අය කරගන්නා මුදල් නිසා අවසාන වශයෙන් නිදහස් අධ්‍යාපනයේ පිරිවැය වැටෙන්නේ රටේ ජීවත්වන මිනිසුන් මතමය. ලංකාවේ ජනගහණය මිලියන 21.2ක්  සැලකූ විට, මූලික අධ්‍යාපන පිරිවැය ලෙස රටේ එක් පුද්ගලයෙකු වසරකට ගෙවන මුදල රුපියල් 3,630ක් පමණ වේ. ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය වසර 75ක් පමණ බව සැලකූ විට, එක් පුද්ගලයෙකු විසින් සිය ජීවිතකාලය තුළ මූලික අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන පිරිවැය, අද මුදලින්, රුපියල් 272,000ක් පමණ වේ.

ඉතා සරල ලෙස කියනවානම් රජය විසින් ලබාදෙන මූලික අධ්‍යාපනය නොලැබේනම්, ජීවිත කාලය තුළ, එක් පුද්ගලයෙකු අතේ රුපියල් 272,000ක් ඉතිරි වේ. රජය මඟින් ලබා දෙන අධ්‍යාපනයේ වටිනාකම සැසඳිය යුත්තේ මෙසේ ගෙවන මුදලට සාපේක්ෂවය. ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම ගෙවන මුදලට වඩා වටීනම් එයින් අදහස් වන්නේ මූලික අධ්‍යාපනය ලබා දීමේදී  රාජ්‍ය යාන්ත්‍රනය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවයි. එසේ නොවේනම්, එයින් අදහස් වන්නේ රජය අකාර්යක්ෂම බවයි. 

මෙසේ එක් පුද්ගලයෙකු විසින් ගෙවන රුපියල් 272,000ක මුදල වෙනුවෙන් ඔහුට හෝ ඇයට ආපසු ලැබෙන්නේ මොනවාද?

ලංකාවේ නීතිය අනුව වයස 14 වන තුරු පාසැල් අධ්‍යාපනය අනිවාර්යය වේ. ඒ නිසා, ඒ වයස් කාණ්ඩයේ දරුවෝ විශාල පිරිසක් පාසැල් අධ්‍යාපනය ලබති. කෙසේවුවද, මේ ප්‍රමාණය 100%ක් නොවේ. අනිවාර්ය පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාවෙන් පසුව පාසැල් හැර යන ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහත වැටේ. මේ සඳහා හේතු වන කරුණු කෙරෙහි මේ ලිපියේ අවධානය යොමු නොකරන නමුත් කරුණක් ලෙස අවධාරණය කළ යුත්තේ වසර 13ක පාසැල් අධ්‍යාපනයක් නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම තිබුණත්, එය ඒ අයුරින්ම සිදු නොවන බවයි.

ලංකාවේ එක් එක් වයස් කාණ්ඩ වල දරුවන්ගෙන් පාසැල් යන ප්‍රතිශතය පහත පරිදිය.

වයස අවුරුදු 6-10 - 99.2%
වයස අවුරුදු 11-14 - 98.3%
වයස අවුරුදු 15-16 - 86.1%
වයස අවුරුදු 17-18 - 59.8%

මේ අනුව, ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත පාසැල් කාලය වසර 11.8කි. මෙය මුළු පාසැල් වසර ගණන වන අවුරුදු 13න් 90.85%කි. 

සෑම ශ්‍රී ලාංකිකයෙකුම අධ්‍යාපනය ලබන්නේ රජය මඟින් පාලනය කරන පොදු පාසැල් පද්ධතිය තුළ නොවේ. මේ වන විට, ලංකාවේ පෞද්ගලික පාසැල්, පිරිවෙන් හා ජාත්‍යන්තර පාසැල් වැනි විකල්ප ගණනාවක් තිබේ. 2014 වසරේදී ලංකාවේ සිසුන් 4,345,810ක් අතරින් රජයේ පාසැලක ඉගෙනුම ලැබූ සිසුන් ගණන 4,077,989ක් පමණි. මේ අනුව, කිසියම් ලාංකික සිසුවෙකු රජය මඟින් පාලනය වන පොදු පාසැලක් තුළ සිටීමේ සම්භාවිතාව 0.9384ක් හෙවත් 93.84%ක් වේ.

කිසියම් හෝ පාසැලක ඉගෙනුම ලබන්නේ පාසැල් යායුතු වයසේ දරුවන්ගෙන් 90.85කි. රජයේ පාසැල් තුළ සිටින්නේ ඔවුන්ගෙන් 93.84ක් හෙවත් පාසැල් යායුතු වයසේ දරුවන්ගෙන් 85.25%කි. මේ අනුව, එක් ශ්‍රී ලාංකිකයෙකු විසින් රජයෙන් ලබා ගන්නා පාසැල් අධ්‍යාපනය සාමාන්‍ය වශයෙන් වසර 11.08කි.

දැන් අපට සැසඳීමක් කිරීම වඩා පහසුය. එක් ශ්‍රී ලාංකිකයෙකු විසින් ජීවිත කාලය තුළ රජයට ගෙවන රුපියල් 272,000ක මුදල වෙනුවෙන් රජයෙන් වසර 11.08ක පාසැල් අධ්‍යාපනයක් ආපසු ලබාගනී. මේ අනුව, එක් පුද්ගලයෙකු එක් පාසැල් වසරක් වෙනුවෙන් රජයට ගෙවන මුදල රුපියල් 24,550ක් පමණ වේ.

දැන් අපට මූලික අධ්‍යාපනය ලබාදීමේදී රජයේ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය වෙනත් අයුරකින් ඇසිය හැකිය. රජය මඟින් බදු මුදල් අය කරගැනීමෙන් අනතුරුව, කිසියම් සිසුවෙකුට පහත විකල්ප දෙක ලබා දෙන්නේයැයි සිතමු. පළමු විකල්පය වන්නේ දැන් සිදුවන පරිදි රජය මඟින් පාලනය වන පොදු පාසැල් පද්ධතියෙන් අධ්‍යාපනය ලබා ගැනීමයි. දෙවන විකල්පය වන්නේ රජය විසින් එක් සිසුවෙකුට ලබාදෙන වසරකට රුපියල් 24,550ක මුදලක් ලබාගෙන වෙනත් තැනකින් පාසැල් අධ්‍යාපනය ලබා ගැනීමයි. රටේ බොහෝ දෙනෙක් මේ රුපියල් 24,550ක මුදල ලබා නොගෙන රජය මඟින් පාලනය වන පොදු පාසැල් පද්ධතියෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ විකල්පය කෙරෙහි යොමු වනවානම් එයින් අදහස් වන්නේ රජය විසින් කාර්යක්ෂම ලෙස මූලික අධ්‍යාපනය ලබාදෙන බවයි.

රටේ ප්‍රධාන නගරයක ඇති ජනප්‍රිය පාසැලකින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලැබෙන අයෙකුට වසරකට රුපියල් 24,550 ඉක්මවන වටිනාකමක් ඇති අධ්‍යාපනයක් ලැබෙන්නේයැයි අපට සිතිය හැකිය. එමෙන්ම, ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබීම සඳහා වසරකට ගෙවිය යුතු ගාස්තුව ඉහත මුදල ඉක්මවන බව මගේ අදහසයි. එවැනි අවස්ථා සැලකූ විට අධ්‍යාපනය ලබාදීමේදී රජය කාර්යක්ෂමය. කෙසේ වුවද, ගුරුවරු සීමිත ගණනක් සිටින, පානීය ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසැල් විශාල ගණනක් ඇති ලංකාවේ 'සාමාන්‍ය' පාසැලක වසරක අධ්‍යාපනය මේ මුදලට තරම් වන්නේද යන්න සැක සහිතය. 

රජය මඟින් ලබාදෙන වෙනත් බොහෝ සේවාවන් මෙන්ම අධ්‍යාපන සේවා සැපයුමද අකාර්යක්ෂම විය හැකි වුවත්, මගේ අදහස වනුයේ අධ්‍යාපන සේවා සැපයීම රජය විසින් කරන වෙනත් කටයුතු වලට සාපේක්ෂව අඩුවෙන් අකාර්යක්ෂම බවයි. එයට එක් හේතුවක් වන්නේ අධ්‍යාපන සේවා සැපයුම පිළිබඳ තීරණ වලට හැටදහසක පමණ පිරිසකගේ දායකත්වය සෘජුව ලැබීමයි. මෙයට අමතරව දෙමවුපියන්, ආදිසිසුන් ආදී කණ්ඩායම් වල වක්‍ර දායකත්වයද මේ තීරණ වලට බලපායි. තමන්ට හොඳම දේ සොයන වැඩි දෙනෙකුගේ අදහස් එකිනෙක ගැටීම (අතළොස්සක පිරිසක් විසින් තීරණ ගැනීමට සාපේක්ෂව) කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වේ. ඒ හේතුව නිසා රජයේ පාසැල් පද්ධතිය හරහා අධ්‍යාපන සේවාවන් සිසුන් වෙත ලබාදීම (delivery of education) සාපේක්ෂව කාර්යක්ෂම වුවත් ලබාදෙන අධ්‍යාපනයේ ස්වභාවය (what to be delivered) තීරණය කරන්නේ විෂය මාලා සංවර්ධනය භාරව සිටින සීමිත පිරිසක් විසින් නිසා තමන් ඉගෙනගත යුතු දේ පිළිබඳවනම් සිසුන්ට ලොකු තේරීමක් නැත.

(Image: https://www.adb.org/news/features/linking-education-jobs-sri-lanka)

Thursday, July 20, 2017

පොලීසිය තවමත් හිටපු තැනමද?


සයිටම් විරෝධය අනවශ්‍ය දුරකට දිග්ගැසෙමින් පවතින බව මගේ පෞද්ගලික අදහසයි. රජය පැත්තෙන් සෑහෙන තරම් නම්‍යශීලී වී සිටියදීද සයිටම් විරෝධීන් සුළුවෙන් හෝ නම්‍යශීලී වන්නට සූදානම් නැත. එහෙත්, ඒ මා මෙය දකින ආකාරයයි. සියළු දෙනාම මා සිතන අයුරින් සිතිය යුතු නැත. සයිටම් යනු විශාල ප්‍රශ්නයක් ලෙස සිතන සැලකිය යුතු පිරිසක් සිටින අතර සයිටම් විරෝධය නොතකා හැරිය යුතු තරම් සිල්ලර එකක් නොවේ.

අවංකවම සයිටම් යනු විශාල පෞද්ගලික හෝ පොදු ප්‍රශ්නයක් සේ දකින අයට පමණක් නොව කිසියම් දේශපාලන අරමුණක් ඇතිව මේ විරෝධය හා බද්ධ වී සිටින අයට පවා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට අයිතියක් තිබේ. අනුමත කළ නොහැක්කේ මෙවැනි විරෝධතා පොදු දේපොළ විනාශ කරන මට්ටමකට යාම පමණි.

පොලීසිය විසින් සිසුවෙකු අත් අඩංගුවට ගැනීමට දරන උත්සාහයක් සිසුන් එක්ව ව්‍යවර්ථ කරන අවස්ථාවක වීඩියෝ දර්ශන මේ වන විට වත්පොතේ වේගයෙන් පැතිරෙමින් තිබේ. ඉතා පැහැදිලිවම, මේ උත්සාහය සමාන කළ හැක්කේ අත් අඩංගුවට ගැනීමකට වඩා පැහැර ගැනීමකටය. සිසුවා අත් අඩංගුවට ගැනීමට පැමිණෙන පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුම් වලින් සැරසී සිටින අතර ඇතැම් අය රැවුල් වවා සිටිති. මේ අය පොලිස් බුද්ධි අංශ වලට සම්බන්ධ නිලධාරීන් විය හැකිය.

හරියටම දන්නේ නැතත්, මෙසේ අත් අඩංගුවට ගැනීමට සැරසෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොදු දේපොළ හානි කිරීම සම්බන්ධව චෝදනා ලබා ඇති සිසුවෙකු විය හැකිය. එවැනි සිදුවීම් අධෛර්යමත් කිරීම සඳහා සිද්ධියට සම්බන්ධ වූ සිසුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුය. එහෙත්, මේ සිදුවීම දේශපාලනික කරුණක් අරභයා පැවති විරෝධතා සටනකදී සිදුවූ දෙයක් බවද අමතක නොකළ යුතුය.

මේ වරද හා අදාළව සිසුවෙකු අත් අඩංගුවට ගැනීමට පෙර වරෙන්තුවක් පෙන්වීම අවශ්‍ය කරුණක් නොවිය හැකිය. එමෙන්ම, ඇතැම් වරදකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසියට මෙවැනි උපාය මාර්ග අනුගමනය කිරීමට සිදුවනවාද විය හැකිය. එහෙත්, මේ අවස්ථාවේදී නිල ඇඳුම් රහිතව පැමිණ විරෝධතා සටනකදී පොදු දේපොළ හානි කිරීමට චෝදනා ලබා සිටින සිසුවෙකු (මා හිතන පරිදි) අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පොලීසිය විසින් අනවශ්‍ය දුරක් යාමකි.

පොදු දේපොළ හානි කිරීම වරදක් වුවත්, විරෝධතා සටනකදී වරක් එසේ කළ අයෙකු නිදැල්ලේ සිටීම මිනීමරුවෙකු හෝ ස්ත්‍රී දූෂකයෙකු නිදැල්ලේ සිටීම තරම් බරපතල ප්‍රශ්නයක් නොවේ. එවැනි චෝදනාවක් ලබා සිටින අයෙකු නිල ඇඳුම් රහිතව පැමිණ අත් අඩංගුවට ගැනීමෙන් පසුව, පොලීසියට තමන් එවැනි අත් අඩංගුවට ගැනීමක් නොකළ බව කියන්නට හැකියාව තිබේ. එවැනි සිදුවීම් ලංකාවට නුහුරු දේ නොවේ. යම් හෙයකින් මේ අවස්ථාවේ එසේ සිදු නොවුනද, පොලීසිය විසින් කරන එවැනි එක් අත් අඩංගුවට ගැනීමක් වෙනත් අයටද සිසුන් පැහැර ගැනීමට ඉඩකඩ සලසයි. එය හොඳ තත්ත්වයක් නොවේ. පොලීසිය විසින් මේ ආකාරයේ අත් අඩංගුවට ගැනීම් සිදු කිරීමෙන් විය හැකි සමස්ත හානිය චෝදනා ලබා සිටින සිසුවා නිදැල්ලේ සිටීමෙන් සිදුවන හානියට වඩා බොහෝ වැඩිය.

අනෙක් අතර මෙවැනි සිදුවීම් වලින් වෙන්නේ සයිටම් විරෝධී සටනට ඉන්ධන හෙලනු ලැබීම හා විරෝධතාකරුවන්ට විරෝධය දැක්වීමට තවත් කරුණු හදා දීමකි. සයිටම් විරෝධය දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය අය අතර වෙනස් දේශපාලනික අරමුණු ඇති විවිධ කණ්ඩායම් සිටින්නට පුළුවන.

https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1038730942934020/

(Image: http://www.salem-news.com/articles/february262012/white-vans.php)

Tuesday, July 18, 2017

ආණ්ඩුව වෙසක් පෝය වරද්දලාද?


ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2018 වසර සඳහා වන රජයේ හා බැංකු නිවාඩු දින නියම කරමින් (සාමාන්‍යයෙන් කරන පරිදි) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මේ අනුව, 2018 වසරේ පෝය නිවාඩු දිනයන් මෙසේය.

ජනවාරි 01- දුරුතු පුර පසළොස්වක
ජනවාරි 31- නවම් පුර පසළොස්වක
මාර්තු 01- මැදින් පුර පසළොස්වක
මාර්තු 31- බක් පුර පසළොස්වක
අප්‍රේල් 29- වෙසක් පුර පසළොස්වක
මැයි 29- පොසොන් පුර පසළොස්වක
ජූනි 27- අධි පොසොන් පුර පසළොස්වක
ජූලි 27- ඇසළ පුර පසළොස්වක
අගෝස්තු 25- නිකිණි පුර පසළොස්වක
සැප්තැම්බර් 24- බිනර පුර පසළොස්වක
ඔක්තෝබර් 24- වප් පුර පසළොස්වක
නොවැම්බර් 22- ඉල් පුර පසළොස්වක
දෙසැම්බර් 22- උඳුවප් පුර පසළොස්වක

මේ අනුව, 2018 වෙසක් පෝය එළැඹෙන්නේ අප්‍රේල් මාසයේදීය. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි විසින් ජනවාරි 31 අධි දුරුතු පුර පසළොස්වක ලෙස නම් කර නවම්, මැදින්, බක්, වෙසක් හා පොසොන් පෝය දින ඉදිරියට තල්ලු කර "වෙසක් පෝය අප්‍රේල් මාසයට වැටීමෙන් සිදු වී ඇති අවුල" නිවැරදි කළ යුතු බව යෝජනා කර තිබේ.

සිංහල චන්ද්‍රමාස හා ග්‍රෙගෝරියන් මාස අතර සෘජු සම්බන්ධයක් නැත. බොහෝ විට වෙසක් පුර පසළොස්වක පෝය යෙදෙන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව මැයි මාසය තුළ වුවත්, එය අප්‍රේල් මාසය තුළද යෙදෙන්නට ඉඩ තිබේ. 1885 වසරේදී පළමු වෙසක් නිවාඩුව සමරනු ලැබුවේද අප්‍රේල් 28 දිනකදීය.

වෙසක් මාසය යනු මැයි මාසය නොවේ. වෙසක් මාසය ඇරඹෙන්නේ සිංහල අවුරුද්දෙන් (මේෂ සංක්‍රාන්තියෙන්) පසුව එළැඹෙන පළමු අමාවක පෝය දිනය ගෙවී යාමෙන් පසුවය. මෙය අප්‍රේල් 13-28 අතර කිසියම් දිනක සිදු විය හැකිය. මේ අමාවක පෝය සිංහල අවුරුද්ද ගෙවී දින දෙක තුනක් ඇතුළත යෙදුනොත් වෙසක් පුර පසළොස්වක පෝය යෙදෙන්නේ අප්‍රේල් මාසය තුළය.

සිංහල චන්ද්‍රමාස හා ග්‍රෙගෝරියන් මාස අතර සම්බන්ධයක් නැතත් චන්ද්‍රමාස හා සූර්ය මාස අතර සම්බන්ධයක් තිබේ. කිසියම් සූර්ය මාසයක් ඇරඹීමෙන් පසු අමාවක පෝය ගෙවී පුර පෑලවිය ලබන විට අළුත් චන්ද්‍රමාසයක් ආරම්භ වේ. මේ චන්ද්‍රමාස නම් කරන්නේ මාසය ඇරඹෙන විට පැවති සූර්ය මාසයට අනුරූපවය. මේෂරවි මාසය තුළ ආරම්භ වන චන්ද්‍රමාසය වෙසක් මාසයයි.

සූර්යමාසයක් චන්ද්‍රමාසයකට වඩා දිග නිසා සෑම සූර්ය මාසයක් තුළම චන්ද්‍රමාසයක් ආරම්භ වන අතර පුර පසළොස්වක පොහොයක්ද යෙදේ. ඇතැම් සූර්ය මාස තුළ චන්ද්‍රමාස දෙකක් ඇරඹෙන අවස්ථා තිබේ. එවිට එයින් එක් මාසයක් අධි මාසයක් ලෙස නම් කෙරේ.

සූර්ය මාසයක් යනු සූර්යයා කිසියම් රාශියක ගමන් කරන කාලයයි. 2018 වසර තුළ සූර්ය මාස ගෙවෙන්නේ පහත පරිදිය.

2017 දෙසැම්බර් 16 සිට ධනුරවි මාසය
2018 ජනවාරි 14 සිට මකරරවි මාසය
2018 පෙබරවාරි 13 සිට කුම්භරවි මාසය
2018 මාර්තු 14 සිට මීනරවි මාසය
2018 අප්‍රේල් 14 සිට මේෂරවි මාසය
2018 මැයි 15 සිට වෘෂභරවි මාසය
2018 ජූනි 15 සිට මිථුනරවි මාසය
2018 ජූලි 16 සිට කටකරවි මාසය
2018 අගෝස්තු 17 සිට සිංහරවි මාසය
2018 සැප්තැම්බර් 17 සිට කන්‍යාරවි මාසය
2018 ඔක්තෝබර් 17 සිට තුලාරවි මාසය
2018 නොවැම්බර් 16 සිට වෘශ්චිකරවි මාසය
2018 දෙසැම්බර් 16 සිට ධනුරවි මාසය

සූර්ය මාස මෙසේ ගෙවී යද්දී, චන්ද්‍රමාස අවසන් කරමින් 2018 අමාවක පෝය යෙදෙන්නේ පහත දින වලදීය.

ජනවාරි 16
පෙබරවාරි 15
මාර්තු 17
අප්‍රේල් 16
මැයි 15
ජූනි 13
ජූලි 13
අගෝස්තු 11
සැප්තැම්බර් 09
ඔක්තෝබර් 09
නොවැම්බර් 07
දෙසැම්බර් 07

ජනවාරි 16 දින අමාවක පෝය එළැඹෙන්නේ ජනවාරි 14 දින මකරරවි මාසය ආරම්භ වීමෙන් පසුවය. මේ අනුව, ජනවාරි 16 දින දුරුතු මාසය අවසන් වී නවම් මාසය ආරම්භ වෙයි. ඒ නිසා, ජනවාරි 31 දිනට යෙදෙන්නේ නවම් පුර පසළොස්වක පෝයයි. එය අධි දුරුතු පෝයක් ලෙස නම් කරන්නේනම් එය වැරැද්දකි.

මේ අයුරින්ම, අප්‍රේල් 16 අමාවක පෝය යෙදෙන්නේ අප්‍රේල් 14 දින සිදුවන මේෂ සංක්‍රාන්තියෙන් පසුවය. ඒ නිසා, එදින වෙසක් මාසය ආරම්භ වෙයි. ඒ අනුව, වෙසක් පුර පසළොස්වක පෝය දිනය අප්‍රේල් 29 දිනට යෙදෙයි. මැයි 15 හා ජූනි 15 අතර ගෙවෙන වෘෂභරවි මාසය තුළ අමාවක පෝය දින දෙකක් ගෙවේ. මේ දින දෙකෙන් පසුව එළැඹෙන චන්ද්‍රමාස දෙකම පොසොන් මාසයි. සම්ප්‍රදාය අනුව යමින්, ඒ මාස දෙකෙන් එකක් අධිපොසොන් මාසය ලෙස නම් කර තිබේ.

මැයි 15 දින පොසොන් මාසය උදාවන අතර මැයි 27 පොසොන් පුර පසළොස්වක පෝයයි. ජූනි 13 අධිපොසොන් මාසය එළැඹෙන අතර එම මාසය තුළ ජූනි 27 දිනට යෙදෙන්නේ අධිපොසොන් පුර පසළොස්වක පෝයයි. මේ අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් පෝය දින නියම කර ඇති ආකාරයේ කිසිදු වරදක් නැත.

කෙසේවුවද, අනෙකුත් බෞද්ධ රටවල වෙසක් දිනය තීරණය කරන්නේ ලංකාවේ ක්‍රමයටම නොවේ. තායිලන්තයේ වෙසක් දිනය තීරණය කරන්නේ වෙසක් පුර පසළොස්වක දින හඳ විසා (විශාඛ) නැකතට ආසන්නව පිහිටීම ගැන සැලකිලිමත් වෙමිනි. ඒ නිසා, මේෂ සංක්‍රාන්තියෙන් දින පහක් ඇතුළත අමාවක පෝයක් යෙදුනොත් ඉන් පසු එළැඹෙන මාසය වෙසක් මාසය ලෙස සලකන්නේ නැත. මේ අනුව, 2018 තායිලන්තයේ වෙසක් දිනය සමරනු ඇත්තේ මැයි 29 දිනයි. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය නිර්ණය කරන්නේද තායිලන්ත ක්‍රමවේදය අනුව යමිනි. ඒ නිසා, ලබන අවුරුද්දේ ලංකාවට ජාත්‍යන්තර වෙසක් දිනය සමරන්නට අවශ්‍ය වුවහොත් එය කරන්නට වෙන්නේ පොසොන් පුර පසළොස්වක පෝය දවසේය.

(Image: http://www.sundayobserver.lk/2017/04/30/spectrum/un-vesak-day-splendour-sri-lanka)

Monday, July 17, 2017

පිටිකර බෙහෙතෙන් සයිටම් බරවාය සනීප වෙයිද?


සයිටම් අර්බුදය විසඳීමේ පියවරක් ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරාගෙන තිබේ. වාර්තා වී ඇති ආකාරයට රුපියල් මිලියන 3,550ක් වටිනා මේ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් ස්ව-කැමැත්තෙන්ම රජයට පවරන්නේ කිසිදු වන්දි මුදලක් ලබා නොගනිමිනි. සත්‍යාසත්‍යතාව පැහැදිලි නැතත්, ඇතැම් වාර්තා අනුව, මේ රෝහල ඉදි කිරීමට ලබාගත් ණය මුදල් පියවීමටද නෙවිල් ප්‍රනාන්දු විසින් එකඟ වී තිබේ. ගිවිසුමේ කොන්දේසි තවමත් හරියටම පැහැදිලි නැතත් එහි එක් පාර්ශ්වකරුවෙකු වන්නේ රජය නිසා ගිවිසුම අවසන් වීමෙන් පසු එහි ඇති දේ පාරදෘශ්‍ය නොවන්නට ඉඩක් නැත.

මෙයින් පෙනෙන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ ජනහිතකාමයද? එසේ නැත්නම් ව්‍යවසායකයෙකු වෙත රජය විසින් සිදුකළ අසාධාරණ බලහත්කාරයක්ද? එසේත් නැත්නම්, මේ දෙකම නොවන වෙනත් දෙකක්ද?

මගේ අදහස අනුව, මේ පැවරීම වාර්තා වී ඇති පරිදිම ස්ව-කැමැත්තෙන් සිදුවන්නක් මිස රජයේ බලපෑම් නිසා නෙවිල් ප්‍රනාන්දුට කරන්නට සිදු වී ඇති දෙයක් නොවේ. ඒ නිසා, මෙහි නරක පූර්වාදර්ශයක් නැත. ඒ අතරම, මෙය නෙවිල් ප්‍රනාන්දුගේ ජනහිතකාමය නිසා ගෙන ඇති තීරණයක්ද නොවේ. කෙතරම් අවාසිදායක තීරණයක් සේ පෙනුණත්, එය මේ වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුට ගත හැකි වඩාත්ම වාසිදායක තීරණයයි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හැදුවේ එමඟින් කෙටි කලකින් ලාභ ලැබීමේ අරමුණ මුල් කරගෙන නොවේ. සයිටම් වෛද්‍ය පීඨය පවත්වා ගෙන යාම සඳහා ශික්ෂණ රෝහලක් අවශ්‍ය වූ බැවිනි. එහෙත්, එයින් අදහස් වන්නේ ඔහු මේ රෝහල වෙනුවෙන් ආයෝජනය කළේ පාඩු ලබන්නට බවද නොවේ.

ලාබ ලැබීම කෙසේ වුවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදු කර ඇති රුපියල් මිලියන 3,550ක ආයෝජනය පියවා ගැනීම වුවද සෑහෙන කලක් ගතවන කටයුත්තකි. ලංකාවේ වෙනත් පෞද්ගලික රෝහල් විසින් ලබන ලාබ ආන්තික දෙස බැලූ විට මෙවැනි ආයෝජනයක් පියවා ගැනීමට අඩු වශයෙන් වසර දහයක් හෝ පහළොවක්වත් යා හැකි බව සිතිය හැකිය.

ආයෝජනය ආවරණය කර ගැනීම සඳහා එක් එක් වසර ඇතුළත මෙහෙයුම් වියදම් ඉක්මවා ආදායම් ලබන්නට හැකි විය යුතුය. එහෙත්, ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් නොපැමිණේනම් ප්‍රාග්ධන ආයෝජනය තබා මෙහෙයුම් වියදම් වුවද ආවරණය කර ගැනීමට නුපුළුවන. මෙහෙයුම් වියදම ආවරණය කිරීමට ප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට හැකි වන තුරු පෞද්ගලික රෝහලක් නඩත්තු කරන්නට වෙන්නේ පාඩු ලබමින්, එයට තවතවත් අරමුදල් පොම්ප කරමිනි.

කෙසේවුවද, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල එහි මෙහෙයුම් කටයුතු වලින් පවා අලාභයක් ලැබුවද සයිටම් වෛද්‍ය පීඨයේ ලාභ වලින් මේ අලාභය පියවා ගැනීමට ඉඩක් තිබුණේය. ශික්ෂණ රෝහල වෙනුවෙන් ආයෝජනය කරන විට නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාපාරික උපාය මාර්ගය වන්නට ඇත්තේ එයයි. සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදෙන විට නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ  පමණක් නොව සයිටම් වෛද්‍ය පීඨයේද මෙහෙයුම් අලාභ දිනෙන් දින ඉහළ යයි.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පැවරීම මඟින් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට එහි මෙහෙයුම් අලාභ ආවරණය කිරීමට දිගින් දිගටම අරමුදල් පොම්ප කරන්නට වීමේ අවාසියෙන් ගැලවෙන්නට හැකිවා පමණක් නොව, සයිටම් වෛද්‍ය පීඨයේ මෙහෙයුම් අලාභ ලාභ වලට හරවා ගැනීමටද පොටක් පෑදේ.

ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදුකළ ආයෝජනය පියවා ගැනීම අරභයා එහි ඇතුළු වන එක් සිසුවෙකුගෙන් මිලියන දෙකක අමතර මුදලක් පාඨමාලා ගාස්තු හරහා අය කළද, මුළු ආයෝජනය පියවා ගැනීමට සිසුන් 1,775කගෙන් මුදල් අය කිරීමට සිදු වේ. මේ සඳහාද වසර පහළොවක් පමණ ගත විය හැකිය. කෙසේ වුවත්, රුපියල් මිලියන 3,550ක ආයෝජනය ගිලුණු පිරිවැයක් නිසා දැන් ගත යුතු හොඳම තීරණය ගැනීමේදී ඒ මුදල ගැන සිතීම තේරුමක් නැත. සයිටම් අර්බුදය දිගින් දිගටම ඇදීමෙන් අවසාන වශයෙන් වෙන්නේ පාඩු තවත් වැඩි වී, ආයෝජනය පියවා ගැනීමට ගතවන කාලය තවත් දිග්ගැසීමයි.

ඉහත කරුණු අනුව, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ස්ව-කැමැත්තෙන් රජයට පැවරීම මේ වෙලාවේ නෙවිල් ප්‍රනාන්දුට ගත හැකිව තිබුණු පවතින තත්ත්වයන්ට සාපේක්ෂව වාසිදායක තීරණයකි. අර්බුදය දිගටම ඇදෙන්නට හැරීමෙන් ඔහුට වන අවාසිය මෙහි ඇති අවාසියට වඩා විශාලය. එක් අතකින් මෙය ජේආර්ගේ රජය විසින් රනිල් වික්‍රමසිංහගේ සොයුරාට අයත්ව තිබුණු ස්වාධීන රූපවාහිණිය රජයට පවරාගැනීම වැනි දෙයකි.

කරුණු එසේනම් නෙවිල් ප්‍රනාන්දු විසින් කර ඇත්තේ කොහේවත් තියෙන කුණු ගොඩක් ආණ්ඩුවේ ඇඟේ ගැසීමද?

මේ ගනුදෙනුවෙන් ආණ්ඩුවටද පාඩුවක් නැත. රජයේ රෝහල් වල වෛද්‍ය සේවා පහසුකම් සපයන්නේ මුදල් අය නොකර වූවත්, දිනෙන් දින වැඩිවන සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම සපුරමින් රෝහල් පහසුකම් වැඩි කිරීම පිණිස රජය විසින් ප්‍රාග්ධන ආයෝජන සිදු කළ යුතුය. රුපියල් මිලියන 3,550ක් වටිනා රෝහලක් රජයට නිකම්ම ලැබීම යනු එපමණක සෘජු වාසියකි. මෙවැනි රෝහලක් වෙනුවෙන් රජය විසින් අරමුදල් යෙදවුවද වෛද්‍ය සේවා වෙනුවෙන් මුදල් අයකිරීමක් නොකරන බැවින් රෝහලෙන් ආදායම් නොලැබීම අදාළ කරුණක් නොවේ.

රජයේ පාලනයේ යටතේ ගුණාත්මක භාවය අවශ්‍ය මට්ටමින් පවත්වා ගන්නවානම් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගීන්ගෙන් අඩුවක් නොවනු ඇත. යම් හෙයකින් එහි ගුණාත්මක භාවය රජයේ වෙනත් රෝහල් වල මට්ටමට නැති වුවද, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේනම් එහි පැමිණෙන්නට රෝගීහු ප්‍රමාණවත් තරම් සිටිනු ඇත.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හා රජය සැලකූ විට මෙය දෙපාර්ශ්වයටම වාසිදායක (win-win) ගනුදෙනුවකි.

එසේනම්, සයිටම් වලට එරෙහිව හඬ නැඟූ වෛද්‍යවරුන්ගේ තත්ත්වය කුමක්ද?

මගේ ලිපි වලට ප්‍රතිචාර දැමූ ඇතැම් මිතුරන්ද ඇතුළු බොහෝ වෛද්‍යවරුන් සයිටම් විශාල ප්‍රශ්නයක් ලෙස දුටුවේ එහි ලබාදෙන සායනික පුහුණුව ප්‍රමාණවත් නැතැයි යන පදනමිනි. ඔවුන් මතු කළ මේ තර්කයට පදනමක් තිබුණේය. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ඇත්තටම සයිටම්හි සායනික පුහුණුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇති වුනු ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයනම්, දැන් ඔවුන්ගේ කණස්සල්ලද සමනය කරන විසඳුමක් ලැබී තිබේ. සයිටම් පුහුණුවේ ගුණාත්මක භාවයට බලපාන තවත් කරුණු තිබේනම් ඒවා සාකච්ඡා කිරීමට ඉඩ සැලසෙන වේදිකාවක්ද දැන් හැදී තිබේ.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පමණින් එහි ගුණාත්මක භාවය ඉහළ නොයන බවත්, එහි තවත් අඩුපාඩු රැසක් ඇති බවත් වෛද්‍යවරුන්ට කියන්නට පුළුවන. එය එසේ වන්නටද පුළුවන. රෝහල රජයට පවරා ගත් පමණින් සයිටම් වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවේ ගුණාත්මක භාවය හා අදාළ සියළු ප්‍රශ්න නොවිසඳෙනු ඇතත්, මේ අතරමැදි පියවර තුළින් වෛද්‍යවරුන්ට රජය සමඟ සාකච්ඡා කර ඉතිරි ප්‍රශ්න විසඳාගැනීම සැලකිය යුතු තරම් පහසු කරයි. එවැනි ඉඩක් සලසමින් රජය හා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මේ තරමට නම්‍යශීලී වීම අගය කළ යුතුය.

කෙසේ වුවද, දේශපාලන අරමුණු සහිතව සයිටම් ප්‍රශ්නය වවාගෙන කන්නට බලා සිටි අයට මේ ගනුදෙනුව සතුටුදායක පුවතක් නොවන්නට ඉඩ තිබේ. එවැනි අයගේ අරමුණු වලට ඉඩ නොලැබෙන පරිදි රජය, සයිටම් බලධාරීන් හා වෛද්‍ය සංගමය යන ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්ව ප්‍රශ්නය අවසන් කරගත හැකිනම් එය රටේ සියල්ලන්ටම සැලසෙන යහපතකි.

මේ පියවරෙන් පසුවද, ප්‍රශ්නය නොවිසඳේනම් වෛද්‍ය සංගමයට හා රජයට කෙසේ වුවත් නෙවිල් ප්‍රනාන්දුට සිදුවන්නේ කබලෙන් ලිපට අඩිය තැබීමටය. එසේ වුවහොත්, එක් පැත්තකින් ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදුකළ ආයෝජනයෙන් කෙටිකාලීනව කෙසේ වුවත් දිගුකාලීනව ලාබයක් ලැබීමට ඔහුට තිබුණු අවස්ථාව අතහැර දැමීමෙන් පසු සයිටම් වෛද්‍ය පීඨය මඟින් ඒ අලාභයෙන් කොටසක් පියවා ගන්නට ඔහුට තිබුණු අපේක්ෂාවද ගිලිහී යන්නට පුළුවන.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ඔහු සිය කැමැත්තෙන් රජයට පවරා දුන්නත් සයිටම් වෛද්‍ය පීඨය ඒ ආකාරයෙන් පවරා දෙන්නට ඉඩක් නැත. අවාසිදායකම තත්ත්වයන් යටතේ වුවද, ඔහු සයිටම් වෛද්‍ය පීඨය රජයට පවරා දෙනු ඇත්තේ රජය විසින් එහි තක්සේරු වටිනාකම ගෙවන්නේනම් පමණි. සයිටම් ආයතනයේ වටිනාකම යනු ඒ වෙනුවෙන් යටකර ඇති මුදල් ප්‍රමාණය පමණක් නොවේ. එමඟින් අනාගතයේදී ලබන්නට අපේක්ෂා කළ ලාභ වල වර්තමාන අගය (present value) එහි නියම වටිනාකමයි. මේ අගය එහි ආයෝජනය කර ඇති මුදල ඉක්මවනු ඇත. එවැනි විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කිරීම රජයට (බදු ගෙවන ජනතාවට) වාසිදායක නොවන තීරණයක් විය හැකිය.

අනෙක් අතට සයිටම් වෛද්‍ය පීඨයේ නියම වටිනාකම එහි අයිතිකරුවන්ට නොගෙවා බලහත්කාරයෙන් එය පවරාගැනීම මේ යුගයට නොගැලපෙන දෙයකි. තෙල් සමාගම් ජනසතු කළ යුගය අවසන් වී දැන් බොහෝ කල්ය. පෞද්ගලික ව්‍යාවසායයක් බලහත්කාරයෙන් රජයට පවරා ගනිමින් වැරදි පූර්වාදර්ශයක් ලබා දුන්නොත් එමඟින් සිදුවන අනාගත හානිය ඉතා විශාල වනු ඇත.

වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්නය අදිමින් මස් රාත්තලම ඉල්ලනවානම් සහ එහි දේශපාලනික අරමුණු නැතැයි ඔවුන් කියනවානම්, වෛද්‍යවරුන් නොවන වෙනත් අයට සංවේදී නොවන කිසියම් ප්‍රශ්නයක් මෙහි තිබිය යුතුය. එහෙත්, එය පොදු සමාජයට පැහැදිලි කිරීමට සමත් අයෙකු වෛද්‍යවරුන් අතර පෙනෙන්නට නැත. යම් හෙයකින් සයිටම්හි ඇති ප්‍රශ්නය වෛද්‍යවරුන් නොවන අයට තේරුම් ගන්නට අසීරු තරම් සංකීර්ණ එකක්නම් එයින් අදහස් වන්නේද එය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් මිස පොදු සමාජයේ ප්‍රශ්නයක් නොවන බවයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...