වෙබ් ලිපිනය:

Wednesday, February 15, 2017

චමින්ද පුස්වෙඩිල්ලගේ සිට සල් සපුනා සුරේන් ඇමති දක්වා...

අපේ රුචිකත්වයන් හා එම රුචිකත්වයන් මත පදනම් වූ තේරීම් වලට අප ජීවත්වන මෙන්ම හැදුනු වැඩුණු හා පෙර ජීවත්වුණු සංස්කෘතික වටපිටාවන්ගේ බලපෑම ඉමහත්ය. මම නම් වන ප්‍රපංචය ගොඩ නැඟෙන්නේ අපට දෙමවුපියන්ගෙන් උරුම වන පරම්පරා ගණනාවක ආදිතමයින්ගේ ජාන වලින් මෙන්ම, අප විසින් අපේ ජීවිත කාලය තුළ අත් දකින වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් මෙන්ම මිනිසුන්ගේ පූර්වජයින් විසින් ඔවුන්ගේ රුචිකත්වයන් අනුව සිදුකළ තේරීම් හා අන්තර් සබඳතාවන් අනුව ගොඩ නැඟී අපේ වත්මන් ජීවිතය නියාමනය කරන සංස්කෘතික පරිණාමයකද ප්‍රතිඵලයක් ලෙසිනි. අපේ වත්මන් තේරීම් අපේ ස්වාධීන තේරීම් වුවත්, මේ "ස්වාධීන" තේරීම් අපට උපතින් උරුම වන ජාන වලින් මෙන්ම සංස්කෘතික වටපිටාවෙන්ද ස්වායත්ත නැත.

අප ලංකාවෙන් පිටවී මේ වන විට වසර ගණනාවක් වුවත් මගේ බිරිඳ තවමත් වැඩිපුර බලන්නේ ලංකාවේ ටෙලි නාට්‍යයි. මේ දවස් වල ඇය නරඹන එක් ටෙලිනාට්‍යයක් වන්නේ සිරස රූපවාහිනියේ විකාශනය වන සල් සපුනා ටෙලි නාට්‍යයයි. මා මෙය මුල සිට හෝ පිළිවෙලකට නරඹා නැතත්, අතරින් පතර කොටස් කිහිපයක් පසුගිය සති දෙක තුනේදී ඇය සමඟ නැරඹුවෙමි.

සිරස නාලිකාවේ බොහෝ විට විකාශනය වන අනෙක් ටෙලි නාට්‍ය මෙන්ම මෙයද මහා ලොකු ගැඹුරක් ගැඹුරක් ඇති ටෙලි නාට්‍යයක් නොවූවත් නරඹන්නට ලැබුණු කොටස් කිහිපය තුළ හමු වූ සුරේන් ඇමතිගේ චරිතය අවධානය ඇද ගන්නකි. මේ ඇමති චරිතය බොහෝ විට සිංහල ටෙලි නාට්‍ය වල හා චිත්‍රපට වල මෙන්ම කාටුන්, චිත්‍ර කතා ඇතුළු අනෙකුත් දෘශ්‍ය මාධ්‍ය වල  දකින්නට ලැබෙන ඇමති චරිතයට වඩා ආකෘතිමය ලෙස වෙනස් චරිතයකි.

එක විදිහක පරමාදර්ශී චරිතයක් වන සුරේන් ඇමතිට තඩි බඩක් නැත. මැදි විය නොඉක්මවූ තරුණයෙකු වන ඔහු දිනපතා ව්‍යායාම කරමින් ඇඟේ හැඩය පවත්වා ගනී. සුරේන් ඇමති හොරකම් නොකරයි. මිනී නොමරවයි. අනෙක් මිනිසුන්ගේ ප්‍රශ්න වලට සංවේදීය. සිය පවුලේ සමීපතම ඥාතීන් ගැනත් සොයා බලයි. ස්ත්‍රී ඇසුර වෙනුවට ප්‍රේමය සොයයි.

සොයා යන්නේදෝ ප්‍රේමයක්...

කැමිලස්ගේ මෙහෙව් රටේ මගෝඩිස් තුමාගේ සිට සුනිල් පෙරේරාගේ "පැරදුණු අපේ මැතිතුමා" හා ෆෙරෝස් කමාර්ඩීන්ගේ  චමින්ද පුස්වෙඩිල්ල දක්වා අපට දෘශ්‍ය මාධ්‍ය වල බොහෝ විට දකින්නට ලැබුණු ඇමති චරිතය සුරේන් ඇමතිගේ චරිතය වැනි එකක් නොවේ. ඒ චරිත උස ගොස් තිබුණේ සුරේන් ඇමති මෙන් දික් අතට නොව හරස් අතටය. එමෙන්ම, මේ සම්ප්‍රදායික ජනප්‍රිය ඇමති චරිතය කොමිස් ගැහීමට, බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට, ස්ත්‍රී ඇසුරට, මිනී මැරවීමට සැදී පැහැදී සිටි මැදි විය ඉක්මවූ චරිතයකි.

රටේ ඇත්තටම සිටි බොහෝ ඇමැතිලාගේ කල්ක්‍රියාවද මේ සම්ප්‍රදායික ඇමති චරිතයට කිට්ටුවෙන් ගියේය. ඒ නිසා, චමින්ද පුස්වෙඩිල්ල හෝ මගෝඩිස් තුමා වැනි චරිත ගැන ලොකු විවේචනයක් අදාළ පාඨකයින්ට හෝ ප්‍රේක්ෂකයින්ට තිබුණේද නැත. වසර කිහිපයකට පෙර 'දී ඉකොනොමිස්ට්'හි පළ වූ ලිපියකට අනුව, බොහෝ ශ්‍රී ලාංකිකයින් විසින් චමින්ද පුස්වෙඩිල්ල චරිතය සලකා තිබුණේ අතිශයෝක්තියෙන් යුතුව මහින්ද රාජපක්ෂ චරිතය අනුකරණය කිරීමක් (පැරඩියක්) වශයෙනි.

ඇමති වරයෙකුගේ හෝ වෙනත් දේශපාලනඥයෙකුගේ සැබෑ චරිතය චමින්ද පුස්වෙඩිල්ල චරිතය වන්නක් වීම ලංකාවේ බොහෝ දෙනෙකුට කාලයක් තිස්සේම ලොකු ප්‍රශ්නයක් වුනේද නැත. මෙය බොහෝ ලාංකිකයින් විසින් හඳුනාගෙන තිබුණු සැබෑ දේශපාලනඥයාය. ඒ නිසාම බොහෝ දේශපාලනඥයින්ට තමන්ගේ සැබෑ ස්වරූපය එවැන්නක් නොවන බව බොරුවට පෙන්වන්නට අවශ්‍යතාවයක්ද නොතිබුණේය. එසේ නොපෙන්වීම නිසා එවැනි දේශපාලනඥයින්ට බොහෝ විට අවාසියක්ද සිදු නොවුණේය. වඩා වැදගත් කාරණය වුණේ "අපේ නියෝජිතයා කරන්නේ මොනවාද?" යන්න නොව "අපේ නියෝජිතයා අපට කරන්නේ මොනවාද?" යන්නයි.

කෙසේ වුවද, දේශපාලනයේ චමින්ද පුස්වෙඩිල්ලලා බොහෝ දෙනෙක් සිටියත් දේශපාලනයේ සිටි සියල්ලෝම චමින්ද පුස්වෙඩිල්ලලා නොවූහ. සල් සපුනා සුරේන් ඇමති තරම් පරමාදර්ශී නොවූවත්, සම්ප්‍රදායික ඇමති චරිතයට නොගැලපෙන දේශපාලනඥයින්ද අතරින් පතර සිටියේය. සැබෑ ලෝකයේදී ඒකාකාරී පුස්වෙඩිල්ල චරිත එපා වීමත්, ඡන්දදායකයින් විසින් වෙනස් දේශපාලන චරිත සොයා ගවේශනයක යෙදෙමින් අළුත් පර්යේෂණ කරන්නට පටන් ගැනීමත් මෑතකාලීන ප්‍රවණතාවයකි. හරියටම මේ සන්දර්භයේම නොවූවත්, ඇමරිකානු දේශපාලනය තුල ඔබාමා මෙන්ම ට්‍රම්ප්ද ඉදිරියට පැමිණීම තුළ සිදුවූයේ ඇමරිකාවේ සම්ප්‍රදායික දේශපාලන චරිතය බහුතරය තුළ ප්‍රතික්ෂේප වීමකි. එහෙත්, ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන චරිතය ලාංකීය බහුතරය විසින් තවමත් ප්‍රතික්ෂේප කර නැත.

සිරස වැනි නාලිකාවක් ටෙලි නාට්‍යයක් ප්‍රචාරණය සඳහා තෝරා ගන්නේ එහි ජනප්‍රියත්වය ගැන සැලකිය යුතු විශ්වාසයක් ඇත්නම් පමණි. ටෙලි නාට්‍යයක ජනප්‍රියත්වයට එහි ප්‍රධාන චරිත ගොඩ නඟා ඇති ආකාරය විශාල ලෙස බලපායි. මේ අනුව පෙනෙන පරිදි, සම්ප්‍රදායෙන් වෙනස්ව ගොඩ නඟා ඇති සල් සපුනා සුරේන් ඇමතිගේ චරිතය එවැනි වර්ගයේ ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින්ගේ පිළිගැනීමට ලක් වී ඇති, ප්‍රේක්ෂක ඉල්ලුමක් ඇති චරිතයකි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

Saturday, February 11, 2017

චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (දෙවන කොටස)

පෙර ලිපියේ කතා කළ පරිදි විජේපාල හෙට්ටිආරච්චි හෝ සුජීව සේනසිංහ වැනි මහජන නියෝජිතයෙකු සිය බදු රහිත වාහන ආනයන බලපත්‍රය හරහා ලබන වාසිය හේතුවෙන් රජය විසින් අහිමි කර ගන්නා එක්සයිස් බදු මුදල රුපියල් 33,457,500.00කි. මීට අමතරව, වාහනයක් මිලදී ගන්නා වෙනත් අයෙකු විසින් ගෙවිය යුතු වැට් වැනි අනෙකුත් බදු මුදල්ද සැලකූ විට මෙසේ රජයට අහිමි වන මුළු බදු ආදායම මීටත් වඩා විශාල විය යුතුය.

එසේ රජයට අහිමි වන බදු ආදායමින් විශාල කොටසක් මේ මහජන නියෝජිතයකුට සෘජු ආදායමක් ලෙස ක්ෂණිකව අතට ලැබෙන අතර පක්ෂ භේදයක් නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පස් වසරකට වරක් උපයන මේ මුදල අඩු වශයෙන් ලක්ෂ 300ක්වත් විය යුතුය. වාහන ආනයන උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 50,000 සිට 62,500 දක්වා වැඩි කර ගැනීමෙන් මෑතකදී මේ ආදායම් ඉපයීමේ හැකියාව 25%කින් වැඩි කර ගැනීමට පෙරද මෙවැනි බදු රහිත වාහන ආනයන බලපත්‍රයක් රුපියල් ලක්ෂ 250කට පමණ විකිණුන බව වාර්තා වී ඇති බැවින් මෙය නරක ඇස්තමේන්තුවක් නොවේ.

එසේනම්, මේ ආදායම මාසයකට රුපියල් ලක්ෂ 5ක පමණවත් ආදායමකට සමානය. මේ වරප්‍රසාදය දැනට ලබන අයෙකු සිය කැමැත්තෙන් එය අතහැර දමනු ඇත්තේ අඩු වශයෙන් එපමණ මුදලක්වත් ඔවුන්ගේ අතට ලැබෙන්නේනම් පමණි. මහජන නියෝජිතයකුට සෘජුවම ලක්ෂ 300 බැගින් දුන්නේ හෝ රුපියල් ලක්ෂ 5ක අමතර මාසික දීමනාවක් ලබා දුන්නේ වුවද රජයට ශුද්ධ වශයෙන් වෙන්නේ වාසියක් වුවත් අයවැය යෝජනාව ඒ මට්ටමට දුර දිග ගියේ නැත. මහජන විරෝධයට මුහුණ නොදී එවැනි මුදලක් ලබා ගැනීම අපහසු බව මේ මහජන නියෝජිතයෝ දනිති. පාරදෘශ්‍ය නොවන ලෙස වාහන බලපත්‍රය මුදල් කර ගැනීම ඔවුන්ගේ පැත්තෙන් වඩා සුරක්ෂිතය.

අයවැය යෝජනා ගැන පැවති වැඩමුළුවකදී එජාප මන්ත්‍රීවරුන්ගෙන්ම මේ අයවැය යෝජනාවට විරුද්ධත්වය පළ වුනු බව මාධ්‍ය වල වාර්තා වී තිබුණේය. ඒ හේතුවෙන් හෝ වෙනත් හේතුවකින් අයවැයෙන් පසුව මහජන නියෝජිතයින්ගේ වාහන බලපත්‍ර අයිතිය අහිමි කිරීමට (දන්නා තරමින්) කිසිදු ප්‍රායෝගික ක්‍රියා මාර්ගයක් ගැනුණේ නැත. එහෙත්, අයවැය යෝජනාව පරිදි රජයේ සේවකයින්ගේ වාහන බලපත්‍ර අහෝසි කරමින් චක්‍රලේඛයක් නිකුත් විය.

රජයේ සේවකයින්ගේ වාහන බලපත්‍ර අයිතිය නැති කිරීමට විරුද්ධව සටන් කළ කණ්ඩායම් අතරින් රජයට වැඩිම පීඩනයක් එල්ල කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එම සංගමය ලංකාවේ රජයට වැඩිම බලපෑමක් කළ හැකි පීඩක  කණ්ඩායම වන්නට පුළුවන. මෙහිදී ඔවුන්ගේ සටන් පාඨයට තර්කානුකූල පදනමක්ද පැවති අතර ඔවුන් විමසා සිටියේ මහජන නි
යෝජිතයින් විසින් සිය වරප්‍රසාදය අහිමි කර නොගනිමින් වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ගේ වාහන ආනයන බලපත්‍ර වරප්‍රසාදය අහිමි කිරීමේ ඇති වැරැද්දයි. අවසානයේ මේ "වැරැද්ද" නිවැරදි කෙරුණු අතර එය සිදු වූයේ රජයට වාර්ෂිකව සිදුවන පාඩුව තවත් සැලකිය යුතු ලෙස වැඩි කරමින් මහජන නියෝජිතයින්ගේ මෙන්ම රජයේ සේවකයන්ගේද වාහන බලපත්‍ර වරප්‍රසාදය තව දුරටත් පුළුල් කිරීමෙනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු සිය සාමාජිකයින්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් කාටලයක් ලෙස කටයුතු කරන විශාල ඒකාධිකාරයකි. එහෙත් මෙහිදී අමතක නොකළ යුතු කරුණ වන්නේ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රජය යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වඩා කිහිප ගුණයක් විශාල තවත් දැවැන්ත ඒකාධිකාරයක් බවයි. රජයේ වෛද්‍යවරු යනු රජයේම කොටසක් බව බැහැර කළ නොහැකි තර්කයක් වුවත් එම සංගමයේ සාමාජිකයින්ගේ සාංගමික අනන්‍යතාවය රාජ්‍ය සේවකයින් ලෙස වන ඔවුන්ගේ අනන්‍යතාවයට වඩා බොහෝ ප්‍රබලය.

මේ ඒකාධිකාර දෙක අතර වරින් වර ඇති වන ගැටුම් වලදී මහජනතාවගේ වැඩි සහයෝගය හිමි වන්නේ රජයට වීම විමසිය යුත්තකි. වඩා විශාල ඒකාධිකාරයක් සමඟ සටන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මහජන අනුකම්පාව හිමි නොවන්නට ප්‍රධාන හේතුව වන්නේ මේ ඒකාධිකාර දෙකේ ක්‍රමෝපායයන්ගේ ඇති වෙනසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බොහෝ විට අනුගමනය කරන්නේ ඔවුන්ට සහයෝගයක් ලබා ගැනීමේ වැඩිම ඉඩක් ඇති කණ්ඩායම් වුවද බැහැර කිරීමේ ප්‍රතිපත්තියකි. එයින් වෙනස්ව, රජයේ ඉහළ ස්ථරය විසින් අනුගමනය කරන්නේ "බෙදාගෙන කෑමේ" ප්‍රතිපත්තියකි.

හැන්ද අතේ ඇති මහජන නියෝජිතයින් විසින් බදු රහිත වාහන බලපත් ලබා ගනිද්දී රජයේ ඉහළ නිලධාරීන්ටද කටුවක් විසි කිරීම මඟින් මේ ක්‍රියාවට එරෙහිව නැඟෙන ප්‍රතිරෝධය අඩු කරගනී. කටුවක් කීවද මේ කටුවේ සෑහෙන්න මස් තිබේ!

අළුත් චක්‍රලේඛය අනුව මේ වරප්‍රසාදය ලබන රජයේ නිලධාරියෙකුට එක්සත් ජනපද ඩොලර් 30,000 දක්වා වටිනා වාහනයක් බදු මුදලින් 50%ක් පමණක් ගෙවා මිල දී ගත හැකිය. ඒ අනුව, මේ වර්ගයේ බලපත්‍රයක "වටිනාකම" රුපියල් ලක්ෂ 65ක් පමණ වන අතර වසරකට වාහන බලපත් 9000ක් පමණ නිකුත් කෙරී ඇති බව සැලකූ විට රජය විසින් මෙවැනි බලපත් නිකුත් කිරීම මඟින් අය කර නොගනු ලබන බදු ප්‍රමාණය රුපියල් බිලියන 60ක් පමණ වනු ඇත. බලපත් හිමිකම හේතුවෙන් වාහන වැඩි ප්‍රමාණයක් ආනයනය කෙරෙන නිසා මේ මුළු මුදලම රජයට සිදුවන අලාභයක් බව කීම නිවැරදි නොවූවත් බලපත් සඳහා ලැබෙන වරප්‍රසාද පුළුල් කිරීම හේතුවෙන් රජයට අහිමි වන බදු ආදායම තව දුරටත් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව පෙනේ.

රජයේ ඉහළ නිලධාරීන්ට දැන් හිමිවන වාහන ආනයන බලපත්‍රය පෙර ලබා දුන් බලපත්‍රයට සාපේක්ෂව "විකුණා ගන්නටම දෙන" බලපත්‍රයකි. පෙර බලපත්‍ර ක්‍රමය ය‍ටතේ සිදු වූ තමන්ගේ පාවිච්චියට වාහනයක් ගැනීම දිරිමත් කිරීමක් මේ අළුත් ක්‍රමයේ නැත. රජයේ නිලධාරීන්ගේ වාහන බලපත් සඳහා පෙර පැවති උපරිම සීමාව එක්සත් ජනපද ඩොලර් 25,000ක් වූ අතර එම සීමාවට යටත්ව වුවද 50%ක බදු සහනයක් ලැබුණේ එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර 1000 නොඉක්මවූ වාහන සඳහා පමණි. වාහනයේ එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර 2600 උපරිමය දක්වා ක්‍රමයෙන් වැඩි වෙද්දී ලැබෙන බදු සහනයද 30% දක්වා ක්‍රමයෙන් අඩු විය. අළුතෙන් ලබාදෙන බලපත් වල උපරිම වටිනාකම් සීමාව වැඩි කර ඇතුවා පමණක් නොව එන්ජින් ධාරිතාව මත වෙනසක් නොකරමින් සියළුම වාහන සඳහා 50% බදු සහනය හිමිවේ.

සාමාන්‍යයෙන් වාහනයක එන්ජින් ධාරිතාවය වැඩි වෙද්දී මිලද ඉහළ යයි. රජයේ සේවකයෙකුට අඩු මුදලකට මිලදී ගත හැක්කේ එන්ජින් ධාරිතාව අඩු වාහනයකි. පෙර පැවති ක්‍රමය යටතේ එවැන්නෙකු 50%ක බදු සහනයක් ලැබීය. යම් හෙයකින් මේ බලපත්‍රය වැඩි මුදලක් අතේ ඇති අයෙකුට විකුණුවේනම් එය යොදාගෙන වැඩි එන්ජින් ධාරිතාවයක් ඇති වැඩි මිල වාහනයක් ආනයනය කළ හැකි වුවත් එවිට ලැබෙන්නේ අඩු බදු සහනයක් බැවින් වාහන බලපත්‍රය විකිණීම එතරම් වාසිදායක කටයුත්තක් නොවූ අතර අතේ ඇති මුදලට තමන්ගේ පාවිච්චියට වාහනයක් මිලදී ගැනීම වඩා වාසිදායක විය. ඒ නිසා වාහන බලපත්‍රය යොදාගෙන වැඩි මිල වාහනයක් ගන්නට පෙළඹුණේ ඇත්තටම එවැනි වාහනයක් අවශ්‍යව සිටි, අතේ මුදල් ඇති අයෙකු පමණි.

අළුත් බලපත්‍ර ක්‍රමයෙන් ඉහත තත්ත්වය වෙනස් කර ඇත. දැන් කොයි වාහනයටත් ලැබෙන්නේ 50%ක බදු සහනයක් නිසා උපරිම සීමාව වන එක්සත් ජනපද ඩොලර් 30,000ට වඩා අඩු මිල වාහනයක් ගෙන්වීම මෝඩ වැඩකි. ඒ සඳහා අතේ සල්ලි නැත්නම් සහ එවැනි වාහනයක අවශ්‍යතාවයක් ලොකුවට නැත්නම් ලොකු වාහනයක් අවශ්‍ය කෙනෙකුට බලපත්‍රය විකිණීම වඩා වාසිදායකය. මෙය පෙර නොවූ තත්ත්වයකි. ඒ නිසා ඉදිරියේදී සිදුවනු ඇත්තේ වාහන බලපත්‍ර හිමි රජයේ සේවකයින් හෝ ඔවුන්ගේ බලපත් නියමින් හෝ අනියමින් මිලදී ගන්නා තැනැත්තන් විසින් මහජන නියෝජිතයින් විසින් කරන්නාක් මෙන් හරියටම ඩොලර් 30,000 මට්ටම ගලපමින් වාහන ආනයනය කිරීමයි. ඒ නිසා රජයට අහිමි වන බදු මුදල ඉහළ යනවාක් මෙන්ම ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් පීඩා විඳිමින් සිටින ලංකාවේ ආනයන වියදම් වැඩිවීමටද මෙය හේතුවක් වනු ඇත.

මේ බලපත් ක්‍රමය මඟින් ඇත්තටම කරන්නේ කුමක්ද?

ආදායම් විෂමතාවය වැඩි කරමින් ධුරාවලියක් අනුව සමාජය සකස් කිරීමට උදවු කරන මේ වාහන බලපත් වලින් කරන්නේ ලංකාවේ කුල භේදයක් පවත්වා ගැනීමට රුකුල් දීමකි. මෙය ගොවිගම, කරාව ආදී වශයෙන් ලංකාවේ පැවති හා තවමත් පවතින කුල භේදයට සම්බන්ධ දෙයක් නොවන අතර වඩා සමීප වන්නේ පැරණි භාරතයේ චතුර්වර්ණ කුල ක්‍රමයටය.

සමාජ ධුරාවලියේ උඩින්ම සිටින ක්ෂත්‍රියයෝ හෙවත් පාලකයෝ දැහැමින් සෙමෙන් කෙසේ වෙතත් "ධර්ම ටෝක් වලින්" පමණක් රාජ්‍ය විචාරමින් අතිරික්තයක් නොනිපදවන රටේ "නැතිරික්තය" තමන්ටම  බෙදාගනිති. එසේ පූර්ණ බදු රහිත වාහන බලපත් ලෙස සෘජු මුදල් වාසි බෙදා ගන්නේ අනාගතයේ ඉපදෙන්නට සිටින්නන්ගේ ගිණුම් වල බැරට ණය ගනිමිනි. දෙවන පෙල සිටින බමුණෝ මේ ක්‍ෂත්‍රියයන් සමඟ සහජීවනයක් පවත්වා ගනිමින් සියයට පණහේ බදු සහන ලබා ගනිති. තෙවන පෙළ සිටින වෛශ්‍යයෝ මේ ක්ෂත්‍රියකුගෙන් හෝ බමුනෙකුගෙන් හෙට්ටු කර වාහන බලපතක් මිලදීගෙන එහි උදවුවෙන් බදු පැහැර හරිමින් තමන්ටත් කිසියම් වාසියක් ලබා ගනිති. මේ සියළු බරපැන අන්තිමේදී පැටවෙන්නේ කාටද කියන එක කියන්නට අවශ්‍ය නැත. මෙසේ චතුර්වර්ණ ධුරාවලිය අනුව බෙදාගන්නා මේ වාහන යොදා ගැනෙන්නේද මහපාරේදී මෙන්ම වෙනත් බාහිර තැන් වලදීත් මේ චතුර්වර්ණ ධුරාවලිය පවත්වා ගැනීම සඳහාය.

අවසාන වශයෙන් මතක් කරන්නට තියෙන්නේ අග්ගික භාරද්වාජ සූත්‍රයේ
චතුර්වර්ණ අර්ථ දැක්වීමයි.

Sunday, February 5, 2017

චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (පළමු කොටස)

පසුගිය 2016 වසර සඳහා වූ රජයේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා විසින් ඒ වන විට මහජන නියෝජිතයින්ට බදු රහිතව සහ රජයේ ඉහළ නිලධාරීන්ට බදු සහනයක් සහිතව වාහන ආනයනය කිරීම සඳහා වූ වරප්‍රසාදය ඉවත් කිරීමට යෝජනා කළේය. මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවේ 563 වන ඡේදය මෙවැන්නකි. පරිවර්තනය මගේය.

"ගරු කතානායක තුමනි, වාහන බලපත්‍ර යෝජනා ක්‍රමය මේ වන විට දේශපාලනීකරණය වී හා අවභාවිතා වී ඇති අතර එමඟින් රජයට වසරකට රුපියල් බිලියන 40ක අති විශාල ආදායමක් අහිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන ආනයන බලපත්‍රද ඇතුළුව විවිධ යෝජනා ක්‍රම යටතේ ලබා දෙන සියළුම වාහන ආනයන බලපත්‍ර අහෝසි කරන මෙන් මම යෝජනා කරමි. කෙසේ වුවද, මේ මඟින් අවාසියක් සිදුවන සියළුම රාජ්‍ය නිලධාරීන්ට ඒ වෙනුවෙන් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා දෙන බවට මම සහතික වෙමි. මෙයට අමතරව රජය වෙනුවෙන් මිල දී ගන්නා සියළුම වාහන සඳහාද අදාළ සියළු බදු ගෙවිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර තිබේ."


මේ යෝජනාව හොඳ යෝජනාවකි. කෙසේ වුවද, මෙම යෝජනාවේ සඳහන් රාජ්‍ය නිලධාරීන්ට සිදුවන මූල්‍යමය ප්‍රතිලාභයේ ප්‍රමාණය ගැන සඳහනක් හෝ එම ප්‍රතිපාදන වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් කර ඇති බවක් අයවැය යෝජනා අතර පැහැදිලිව පෙනෙන්නට නැත. එමෙන්ම, මේ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වූයේද නැත


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් සංගමය ඇතුළු සංවිධාන රැසක් විසින් මේ අයවැය යෝජනාවට එරෙහිව දැක්වූ විරෝධතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස හෝ එම විරෝධතාවන් හේතුවක් ලෙස පෙන්වමින් රජය විසින් වාහන බලපත්‍ර ක්‍රමය නැවතත් ස්ථාපිත කළේය. මේ අනුව, අළුතින් ක්‍රියාත්මක කර ඇති සංශෝධිත වාහන බලපත්‍ර ක්‍රමය හරහා සමාජයේ වරප්‍රසාද ලත් කොටසක් විසින් අඩු වරප්‍රසාද ලබන්නන්ගේ වියදමින් කලක් තිස්සේ ලැබූ මේ ප්‍රතිලාභය හා ඒ හේතුවෙන් රටේ ආදායම් විෂමතාවයට ලබාදුන් දායකත්වය තව දුරටත් පුළුල් කර ඇත. 

දැන් නැවතත් මහජන නියෝජිතයින්ට බදු රහිතව සහ රජයේ ඉහළ නිලධාරීන්ට බදු සහනයක් සහිතව වාහන ආනයනය කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත. මේ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකුට වටිනාකම, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු (CIF අගය) ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක්, යුරෝ 55,000ක් හෝ යෙන් මිලියන 7ක් නොඉක්මවන වාහනයක් බදු රහිතව ආනයනය කිරීමේ වරප්‍රසාදය හිමි වී තිබේ. මහජන නියෝජිතයෙකුගේ බදු රහිත වාහන ආනයන බලපත්‍ර හා අදාළ වූ මේ උපරිම සීමාව 2010 දක්වා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 35,000ක්ද, එතැන් සිට එක්සත් ජනපද ඩොලර් 50,000ක් ද විය.

මගේ පෙර ලිපියෙහි විශ්ලේෂණය තුළ පුරෝකථනය කළ පරිදි මෙවැනි වරප්‍රසාදයක් හිමි වූ විට උපරිම සීමාවට වඩා අඩු වටිනාකමක් ඇති වාහනයක් ආනයනය කිරීම තර්කානුකූල තීරණයක් නොවේ. පෙනෙන්නට ඇති තොරතුරු අනුව පෙනෙන්නේ මේ උපකල්පනය නිවැරදි බවයි.
 

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හා අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් ජර්මනියෙන් ආනයනය කර ඇති ඇමරිකාවේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් GLS350 රථයේ වටිනාකම යුරෝ 53,727.42 ක්ද, නැව් ගාස්තු යුරෝ 1,253.00ක්ද රක්ෂණ ගාස්තු යුරෝ 19.58 ක්ද වන අතර එකතුව අහම්බයෙන් මෙන් හරියටම යුරෝ 55,000.00කි.

එමෙන්ම, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් සිංගප්පූරුව හරහා ආනයනය කර ඇති ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 61,400 ක්ද, නැව් ගාස්තු ඩොලර් 936 ක්ද රක්ෂණ ගාස්තු ඩොලර් 464 ක්ද වන අතර එකතුව පුදුම සහගත ලෙස හරියටම ඩොලර් 62,500 කි.

මලික් සමරවික්‍රම විසින් අමාත්‍ය ධුරය දරන ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති වරයා වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් ඕස්ට්‍රේලියාව හරහා ආනයනය කරනු ලැබ දින තුනක් ඇතුළත අලි අක්බාර් සලේබායි වෙත පැවරෙන රථයද විජේපාල හෙට්ටිආරච්චි විසින් සිංගප්පූරුව හරහා ආනයනය කර ඇති මාදිලියේ 2016 නිෂ්පාදිත ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයකි.

නීතිය අකුරටම පිළිපදින අතර, තමන්ට නීතියෙන් හිමි වී ඇති වාසිය හරියටම අන්තිම සතයටම ලබාගැනීමෙන් මේ මහජන නියෝජිතයින් විසින් පෙන්වන කුසලතාවය අනුවනම් ඔවුන් වෙනත් අය වෙනුවෙන් ගන්නා අනෙකුත් තීරණ ගැන සැක සිතන්නට කිසිම හේතුවක් නැත.


වාහන බලපත්‍ර හිමිකම නිසා මලික් සමරවික්‍රමට වෙනත් අයෙකු 290% ක බදු මුදලක් ගෙවා ලක්ෂ 394.3 කට මිලදී ගන්නා වාහනයක් ලක්ෂ 303.3 ක් අඩුවෙන්, එනම් ලක්ෂ 91.0 කට මිල දී ගන්නට ලැබේ. මේ අයුරින්ම, විජේපාල හෙට්ටිආරච්චිට හා සුජීව සේනසිංහට රුපියල් ලක්ෂ 334.6 ක බදු වාසියක් ලබමින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 92.3 කට හා ලක්ෂ 89.8 කට මිල දී ගන්නට ලැබෙන්නේ ලක්ෂ 420 ඉක්මවන වෙළඳපොළ වටිනාකමක් ඇති වාහනයි. 

විජේපාල හෙට්ටිආරච්චි විසින් සිය වාහනය විවෘත වෙළඳපොළේ විකිණීම පිණිස පළ කර ඇති වෙළඳ දැන්වීම අනුව පෙනෙන්නේ ඔහු වෙළඳපොළ මිලට වඩා ලක්ෂ 30 ක් පමණ අඩුවෙන් මේ වාහනය විකුණන්නට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව සිය බදු රහිත වාහන ආනයන වරප්‍රසාදය වෙනුවෙන් ඔහු බලාපොරොත්තු වන මිල රුපියල් ලක්ෂ 300 ක් ඉක්මවන බව පෙනේ. ඔහු තරම් ඉවසිලිමත් නැති, ඉක්මණින් අතට සල්ලි ගන්නට බලාපොරොත්තු වන, වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් මෙවැනි වාහන බලපත්‍රයක් ඇත්තටම අලෙවි කරන මිල තරමක් අඩු විය හැකිය.

බදු රහිතව වාහනයක් ආනයනය කිරීමට ලැබීමෙන් මහජන නියෝජිතයෙකුට ලැබෙන වාසිය රුපියල් මිලියන 30 ඉක්මවන බව පෙනේ. පෙර ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, මේ වාහන බලපත්‍රයකින් සිදුවන ප්‍රධානම කාර්යය වන්නේ මහජන නියෝජිතයෙකුට ක්ෂණිකව මුදලක් උපයා ගැනීමට ඉඩ ලැබීම නිසාත්, මෙසේ ආනයනය කෙරෙන වාහන "කොහොමටත් ගෙන්වන්නට තිබුණු" වාහන නිසාත් මේ කාණ්ඩයේ බලපත්‍ර හේතුවෙන් රජයට සිදුවන අවාසියද නොලැබී යන බදු මුදලට සමානය. 


වෙනත් අයුරකින් කිවුවොත්, සුජීව සේනසිංහට වාහන බලපත්‍රයක් නොලැබුණද අලි අක්බාර් සලේබායි විසින් ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයක් මිල දී ගනු ඇත. අලි අක්බාර් සලේබායි විසින් සිය වාහනය එසේ සෘජුවම මිල දී ගත්තේනම් ඔහු විසින් රජයට ගෙවිය හැකිව තිබුණු බදු මුදල රුපියල් 33,457,500.00 ක් වන අතර සුජීව සේනසිංහ හරහා එම වාහනය මිල දී ගැනීමෙන් ඔහු ඒ බදු මුදලින් කිසියම් මුදලක් ඉතිරි කර ගනී. එසේ අලි අක්බාර් සලේබායි විසින් ලබන ලාභය හැරුණු විට රජයට නොලැබී යන ලක්ෂ 334.6ක බදු මුදලින් ඉතිරි ප්‍රමාණය සුජීව සේනසිංහ විසින් සිය වාහන බලපත්‍රය වෙනුවෙන් ලබන මුදලයි.

කෙසේ වුවද, මෙසේ මහජන නියෝජිතයින්ට පූර්ණ බදු රහිතව නිකුත් කෙරෙන වාහන ආනයන බලපත් ප්‍රමාණය සීමිත ප්‍රමාණයකි. මේ ගණන හරියටම නොදන්නා නමුත් වසරකට මෙසේ නිකුත් කෙරෙන බලපත් ප්‍රමාණය 200-300 නොඉක්මවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අනුව, මේ "දෙවන කාණ්ඩයේ" බලපත් හේතුවෙන් රජයට සිදුවන අවාසිය රුපියල් බිලියන 6-10 මට්ටම නොඉක්මවයි.

රවී කරුණානායක විසින් කියා ඇති පරිදි මෙන්ම මුදල් අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වන පුවත්පත් වාර්තා අනුව වාහන බලපත් හේතුවෙන් වසරකට රජයට අහිමි වන බදු ආදායම රුපියල් බිලියන 40ක් පමණ වේ. එසේනම්, රජයට සිදුවන මේ පාඩුවෙන් වැඩි කොටස සිදු වෙන්නේ රජයේ ඉහළ නිලධාරීන්ට ලබා දෙන "පළමු කාණ්ඩයේ" වාහන බලපත්‍ර හේතුවෙන් විය යුතුය.


රජයේ නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍ර ගැන කතා කිරීම අපි දෙවන කොටසකට ඉතිරි කරමු.

Thursday, February 2, 2017

ඔය පර්මිට් ප්‍රශ්නය දීපං ළමයෙකුට

ඉහත මාතෘකාව යටතේ ලසන්ත වික්‍රමසිංහ නැමැත්තෙකු විසින් වසරකට පමණ පෙර යුතුකම සංවාද කවය වෙබ් අඩවියේ පළ කර තිබුණු ලිපියක් වෙත පාඨකයෙකු ඉකොනොමැට්ටාගේ අවධානය යොමු කර තිබුණේය. ලිපියට මුල් වූ රජයේ ප්‍රතිපත්ති තීරණය එලෙසම ක්‍රියාත්මක වුනාද නැත්නම් පසුව වෙනස් වුනාද යන්න මට හරියටම මතක නැත. කෙසේ වුවද, තීරුබදු රහිත වාහන බලපත්‍ර නිසා සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට එය මා බාධාවක් කර ගන්නේ නැත.

ලසන්ත වික්‍රමසිංහගේ ලිපිය මෙසේ ඇරඹේ.

"වාහන බලපත්‍රය නිසා වසරකට කෝටි 40 ක ආදායමක් රජයට අහිමි වන බව රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිත්යෙන් 5.4% ක් වෙන් කළ බව ඔහු පැවසීය. පසුව හෙළි වූයේ කාලයක් පුරා පැවති පාසල් ගොඩනැගිලි හා ඉඩම් වල වටිනාකමද (ඒවා පවතින වසර ගණනට බෙදා) එකතු කර මේ ඉලක්කම ඔහු සාදා ගත් බවයි. ඒ අනුව ඔහුගේ කිසිදු ඉලක්කමක් විශ්වාස නැතත්, මේ කෝටි හතළිහ හදා ගන්නට ඇත්තේ වසරකට නිකුත් කරන බලපත්‍ර ගණනට සමාන ප්‍රමාණයක් බලපත්‍ර රහිතව වාහන ගෙන්වූවා නම් දළ වශයෙන් කීයක් බදු වශයෙන් රජයට වැඩිපුර ලැබෙනවාදැයි බැලීමෙන් විය හැකිය. නමුත් සත්‍යය වශයෙන්ම බලපත්‍ර නොතිබුනා නම් එම වාහන ප්‍රමාණය හා ගෙන්වන වාහනවල වටිනාකමද අඩුවනවා ඇත. ඒ නිසා බලපත්‍ර දීමෙන් රජය මඟින් අඩු කරන බදු මුදලම බලපත්‍රය නොදීම මඟින් රජයට ලැබෙන්නේ නැත. එනිසා එම සම්පූර්ණ බඳු මුදල රජයේ පාඩුව ලෙස හැඳින්වීම දෝෂ සහගතය."

රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ පළමු අයවැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යට වැඩිපුර මුදල් වෙන්කර තිබීම ඒ දවස්වල බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්විය. මේ සල්ලි වෙන් කිරිල්ලේ ඇත්ත නැත්ත ගැන ඉකොනොමැට්ටා විසින් පසුගිය මාර්තු මාසයේදී පෙන්වා දෙනු ලැබීය. මේ ගැන බන්දුල ගුණවර්ධන විසින් කතානායක වරයාව දැනුවත් කරනු ලැබ ඒ ගැන කතිකාවක් ඇති වී ඇති බව මෑතකදී බන්දුල ගුණවර්ධන සහභාගී වූ රූපවාහිනී සාකච්ඡාවකදී කියවුනේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන විට අදාළ 'සංඛ්‍යාලේඛණ විජ්ජාව' නිසා විකෘති වූ සංඛ්‍යා නිවැරදි කර තිබුණේය. ඇණයා විසින් දමා තිබුණු කමෙන්ටුවකින් පෙනෙන පරිදි ඉකොනොමැට්ටා විසින් පෙන්වා දෙන්නට පෙර බන්දුල ගුණවර්ධන විසින් මේ සංඛ්‍යාලේඛණ විජ්ජාව තේරුම් ගෙන සිටියා විය හැකිය. එවැනි එක් අයෙකු හෝ පාර්ලිමේන්තුවේ සිටීම සතුටට කරුණකි.

අයවැය සංඛ්‍යාලේඛණ මත පදනම්ව ලසන්ත වික්‍රමසිංහ විසින් රවී කරුණානායකගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය කියා කියන කියමනෙහි ගතයුත්තක් නැත්තේ නොවේ.

දෙවනුව ලසන්ත වික්‍රමසිංහ විසින් හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයක් වෙත අවධානය යොමු කරයි. හර්ෂ ද සිල්වාගේ එම ප්‍රකාශයෙන් වාහන බලපත්‍රය වෙනුවට රාජ්‍ය සේවකයින්ට සෘජුව මුදලක් ගෙවීමට රජය විසින් ගත් තීරණය ගැන කියැවේ. ලසන්ත වික්‍රමසිංහ විසින් මූලිකවම විචේචනයට ලක්වන්නේ මෙසේ වාහන බලපත්‍රය වෙනුවට රාජ්‍ය සේවකයින්ට සෘජුව මුදලක් ගෙවීමට රජය විසින් ගෙන ඇති තීරණයයි. ඒ ගැන ඔහු මෙසේ කියයි.

"මහදැන මුත්තා එලුවාගේ බෙල්ල කැපුවා මිස එළුවාගේ අයිතිකාරයාගේ (ගමරාළගේ) බෙල්ල කපා ගත්තේ නැත. නමුත් මේ ආර්ථික ඔස්තාර්ලා එළුවාගේ බෙල්ල කපා නවතින්නේ නැත. එළුවාට අහිමි කළ හිස සවි කරන්නට උත්සාහ කරන්නේ ගමරාළගේ බෙල්ල කපාගෙනවිත්ය."

ඉන්පසුව ඔහු මේ ප්‍රශ්නය ළමයෙකුට දුන්නොත් ලැබෙන පිළිතුරු ඉදිරිපත් කරයි. ඒ පිළිතුරු පහත උපුටා පළ කෙරෙන අතර, ඉකොනොමැට්ටාගේ පිළිතුරුද ඒ සමඟම පළවේ.

1). වාහන බලපත්‍ර ලබා දීම සදහා රජයට වැයවන මුදල කීයද? (කඩදාසි සහ මුද්‍රණ වියදම් ආදිය නොසළකා හරින්න)

ළමයා: බිංදුවයි.

ඉකොනොමැට්ටා: වාහන බලපත්‍ර ලබා දීම සදහා රජය විසින් සෘජුව කිසිදු මුදලක් වෙන් කළ යුතු නැත. එහෙත් එයින් අදහස් වන්නේ වාහන බලපත්‍ර දීමෙන් රජයට කිසිදු අවාසියක් සිදු නොවන බව නොවේ. වාහන බලපත්‍ර දීමේ වියදම වන්නේ එහි ආවස්ථික පිරිවැයයි. එනම්, වාහන බලපත්‍ර නොදී සිටීමේ විකල්පයට සාපේක්ෂව රජයට සිදුවන වාසිය හා අවාසියයි. මෙහි සාකච්ඡා වී ඇති රජයේ ප්‍රතිපත්ති තීරණයට රට මුහුණ දෙන ගෙවුම් ශේෂ අර්බුදයද සම්බන්ධ නිසා මේ තීරණයෙන් ගෙවුම් ශේෂයට වන බලපෑම ගැනද අපි කතා කරමු.

ලංකාවේ වාහන බලපත්‍ර ලබාගන්නා පිරිස් එහි ආර්ථික බලපෑම අනුව කණ්ඩායම් දෙකකට වර්ග කළ හැකිය.

පළමු කණ්ඩායම තමන්ගේ පාවිච්චියට වාහනයක් මිලදී ගැනීමට මේ බලපත්‍රය පාවිච්චි කරන අයයි. වෛද්‍යවරුන් බහුතරයක් වැටෙන්නේ මේ පළමු කණ්ඩායමටය. ලංකාවේ වෛද්‍යවරයෙකුට වාහනයක් නැතුවම බැරි ඇයි කියාත්, වඩා මිල අධික වාහන ඕනෑ වෙන්නේ ඇයි කියාත් පෙර ලිපියකින් පැහැදිලි කර තිබේ.

දෙවන කණ්ඩායම බලපත්‍රය විකුණා මුදලක් හොයා ගන්නා අයයි. දේශපාලනඥයින් බොහෝ දෙනෙකු සිටින්නේ මේ කාණ්ඩයේය. තමන්ගේ වාහන අවශ්‍යතාවය රජයේ වාහන වලින් පිරිමසා ගන්නා මේ බොහෝ දෙනෙක් වාහන බලපත්‍රය යොදා ගන්නේ ක්ෂණික ආදායම් මාර්ගයක් වශයෙනි. මේ කාණ්ඩයේ ඇතැම් රජයේ සේවකයෝද සිටිති.

මේ එක් එක් කණ්ඩායමට වාහන බලපත්‍ර ලබා දීමේ ප්‍රතිඵලය ගැන හැදෑරීමට පළමුව සරල උපකල්පනයක් ලෙස සියලුම වාහන සඳහා රජය විසින් වාහනයේ වටිනාකම මෙන් 100%ක බද්දක් අයකරන බවත්, වාහන බලපත්‍රය ඇති අය මේ බදු මුදල ගෙවිය යුතු නැති බවත්, වාහන හා අදාළ වෙනත් බදු නැති බවත් අපි උපකල්පනය කරමු. මේ අනුව, බලපත්‍රයක් ඇත්නම් සාමාන්‍ය වෙළඳපොළ මිලෙන් 50%කට වාහනයක් මිලදී ගත හැකිය.

පළමුව, අපි පළමු කණ්ඩායම දෙස බලමු. බලපත්‍රය ඇති විට රුපියල් ලක්ෂ 40ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 80ක් ගෙවන්නට සිදුවේ. එමෙන්ම, බලපත්‍රය ඇති විට රුපියල් ලක්ෂ 20ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 40ක් ගෙවන්නට සිදුවේ. වාහන බලපත්‍රය මඟින් මෙවැන්නෙකුට ලැබෙන වාසි කිහිපයකි. පළමුව, බලපත්‍රය නොතිබුණේනම් තමන්ට පාවිච්චි කරන්නට නොලැබෙන මිල අධික වාහනයක් පාවිච්චි කරන්නට ලැබේ. දෙවනුව, මෙය විකුණන විටක සැලකිය යුතු ලාබයක් ලැබිය හැකිය. මේ වාසි දෙකම වැඩි වන්නේ වාහනයේ මිල වැඩි වූ තරමටය. ඒ නිසා, වාහන බලපත්‍රයක් ඇති මේ කණ්ඩායමේ අයෙකු හැම විටම වගේ කරන්නේ තමන්ට යෙදවිය හැකි උපරිම මුදල වාහනය වෙනුවෙන් යෙදවීමයි.

මේ අනුව, රුපියල් ලක්ෂ 40ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා වාහන බලපත්‍රයක් ඇති අයෙකුට බලපත්‍රය නැත්නම් රුපියල් ලක්ෂ 80ක් ගෙවා එම වාහනයම මිල දී ගැනීමේ හැකියාවක් නැත. ඒ, ඔහුට හෝ ඇයට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 40ක් බැවිනි. ඒ නිසා මේ තැනැත්තා කරන්නේ එයින් අඩක වටිනාකම ඇති වාහනයක් මිලදී ගැනීමයි. එනම්, බදුද සමඟ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් හා බදු රහිත වටිනාකම රුපියල් ලක්ෂ 20ක් වන වාහනයක් මිල දී ගැනීමයි.

මේ අනුව, බලපත්‍රය අහෝසි කළහොත් රටෙන් පිටතට ඇදී යන ඩොලර් ප්‍රමාණය 50%කින් අඩු වේ.  එමෙන්ම, දැනට මේ කාණ්ඩයේ අයෙකු ආනයනය කරන වාහනයකට ගෙවිය යුතු බදු මුදල රජයට නොලැබෙන නමුත්, ඒ මුදලින් අඩක් රජයට බදු ලෙස ලැබේ. මේ කණ්ඩායමේ අයට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට සිදුවන පාඩුව මෙසේ අහිමි වන බදු මුදලයි. එය දැනට තීරු බදු රහිතව ආනයනය කරන වාහනයකට ගෙවිය යුතු බදු මුදලට නොව එයින් අඩකට සමානය.

මේ කණ්ඩායමේම සිටින රුපියල් ලක්ෂ 20ක් ගෙවා වාහනයක් මිල දී ගන්නා වාහන බලපත්‍රයක් ඇති අයෙකු වෙත දැන් අවධානය යොමු කරමු. බලපත්‍රය අහිමි වූ විට මේ පුද්ගලයාට ආනයනය කරන්නට එයින් අඩක වටිනාකමට ගත හැකි (එනම් තීරු බදු රහිතව රුපියල් ලක්ෂ 10කට ගත හැකි) සුදුසු වාහනයක් නැත. ඒ නිසා ඔහුට වාහනයක් මිලදී ගැනීමේ අදහස අත්අරින්නට සිදුවේ. රටට ඩොලර් ඉතුරු වේ. එහෙත් රජයට වැඩිපුර බදු මුදලක් නොලැබේ.

පළමු කණ්ඩායම යටතේ වැටෙන ඉහත අවස්ථා දෙකම සැලකූ විට තමන්ගේ පාවිච්චිය සඳහා වාහන ගෙන්වන අයට බලපත්‍ර දීම නිසා රජයට අහිමි වන බදු ආදායම එම කාණ්ඩයේ වාහන සඳහා අයවිය යුතු තීරුබදු වලින් අඩකට වඩා අඩුය. ඒ නිසා බලපත්‍ර දීම නැවැත්වුවහොත් රජයට සිදුවන පාඩුව බලපත්‍ර යටතේ ආනයනය කර ඇති වාහන සඳහා වන තීරුබදු වලින් අඩකට වඩා අඩුය. රටට ඉතිරි වන ඩොලර් ප්‍රමාණය මේ ආනයන වියදමෙන් අඩකට වඩා වැඩිය.

දැන් අපි දෙවන කණ්ඩායම වෙත හැරෙමු. මේ කණ්ඩායමේ සිටින්නෙකු වාහන බලපත්‍රය යොදා ගන්නේ එය වෙනත් අයෙකුට විකුණා, ඒ වෙනුවෙන් හැකි ඉහළම මිල ලබා ගැනීම සඳහාය. එවැන්නෙකු තමන්ගේ මුදල් යොදවා වාහනයක් මිල දී නොගන්නා බැවින් පළමු කණ්ඩායමේ අයෙකුට මෙන් "අතේ ඇති මුදල" සීමාකාරී සාධකයක් නොවේ.

වාහන බලපත්‍රයක මිල තීරණය වන්නේ කෙසේද? ඉල්ලුම හා සැපයුම අනුවය. සැපයුම ඇති වන්නේ වාහන බලපත්‍ර හිමි එහෙත් තමන්ටම වාහනයක් මිල දී ගැනීමට අවශ්‍යතාවයක් නැති දෙවන කණ්ඩායමේ අයගෙනි. ඉල්ලුම ඇතිවන්නේ අළුත් වාහනයක් තමන්ගේ මුදලින් ආනයනය කිරීමේ අවශ්‍යතාවය ඇති අයගෙනි.

කිසියම් මුදලක් ගෙවා වාහනයක් තමන්ගේ පාවිච්චියට ආනයනය කරන වාහන බලපත්‍රයක් අහිමි අයෙකු මේ වාහනය සඳහා (අපේ පෙර උපකල්පනය අනුව) 100%ක බදු මුදලක් ගෙවිය යුතුය. වාහන බලපත්‍රයක් ලබා ගැනීමෙන් මේ බදු මුදල නොගෙවා ඉතිරි කර ගත හැකි වුවත්, බලපත්‍රය මිල දී ගැනීම සඳහා එයින් කොටසක් ගෙවිය යුතුය. මෙහිදී බලපත්‍රය මිල දී ගන්නා පුද්ගලයා හැකි අඩුම මිලකට එය ගන්නට උත්සාහ කරද්දී විකුණන පුද්ගලයා වැඩිම මිලක් සොයයි.

රුපියල් ලක්ෂ 20ක බදු රහිත වටිනාකමක් ඇති වාහනයක් මිල දී ගන්නට සිටින අයෙකු වාහන බලපත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ 20 ඉක්මවන මිලක් කිසිසේත්ම නොගෙවන බව පැහැදිලිය. එහෙත්, රුපියල් ලක්ෂ 40ක බදු රහිත වටිනාකමක් ඇති වාහනයක් මිල දී ගන්නට සිටින අයෙකු වාහන බලපත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ 40 ක් දක්වා මිලක් ගෙවන්නට ඉඩ තිබේ. ඒ නිසා, වාහන බලපත්‍රයකට වැඩිම මිලක් ගෙවන්නට ඉදිරිපත් වන්නේ වැඩිම මිලකට වාහනයක් ගෙන්වන්නට සූදානමින් සිටින අයෙකි. වාහන බලපත්‍රයෙන් ලැබෙන උපරිම බදු සහනය ලක්ෂ 100නම් (උදාහරණයක් ලෙස) අවසානයේදී සියළුම බලපත් හිමියන් නවතින්නේ එවැනි අධික මිලකට වාහනයක් ගෙන්වන්නට අවශ්‍යව සිටින අයෙකු හමුවේය. වාහන බලපත්‍රය නිසා එවැන්නෙකුට ලක්ෂ 100ක බදු මුදලක් ඉතිරි වේ. ඒ නිසා වාහන බලපත්‍රය සැලකිය යුතු මුදලකට මිලදී ගත්තද එවැන්නෙකුට ලාභයක් තිබේ.

මේ අවස්ථාවේදී රජයට සිදුවන අලාභය වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනයට සමානය. නමුත්, වාහන බලපත්‍රය විකිණෙන්නේ ඊට වඩා අඩු මිලකටය. ආනයනය කෙරෙන්නේ කොහොමටත් ආනයනය කෙරෙන්නට තිබුණු වාහනයක් බැවින් මෙහිදී ගෙවුම් ශේෂයට බලපෑමක් නොවේ.

2). අළුතෙන් යෝජනා වී ඇති පරිදි බලපත්‍රය වෙනුවට රජයේ නිලධාරීන්ට මුදල් ලබා දීමට රජයට මුදලක් වැය වේද?

ළමයා: නැතුව. මුදල් දෙන්න මුදල් වැය වෙනවා නේන්නම්. ගොන් ප්‍රශ්නයක්නේ.

ඉකොනොමැට්ටා: මුදල් දීමට මුදල් වැය වුවත්, ඒ හේතුවෙන් මුදල් ඉතිරියක් වේනම් ශුද්ධ ලෙස රජයට මුදල් වැයවීමක් සිදු නොවේ. රජයට මුදල් වැය වනවාද යන්න තීරණය වන්නේ බලපත්‍රයක් වෙනුවෙන් ගෙවන මුදලේ ප්‍රමාණය අනුවය. මෙසේ ගෙවන මුදල වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනය වන රුපියල් ලක්ෂ 100ක් යැයි සිතමු. දැන් දෙවන කාණ්ඩයේ අයගේ අවශ්‍යතාවය ඉටුවී ඇති නිසා ඔවුන් මේ මුදල තියාගෙන ඉන්නවා මිස වාහන ගන්නට යන්නේ නැත. වාහන බලපත්‍රය විකුණා ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ඔවුන්ට ලැබී ඇත. බලපත්‍රය නැති වුනා කියා බලපත්‍ර මිලදී ගෙන වාහන ගෙන්වන්නට සිටි අය එය නොකර ඉන්නේ නැත. ඒ නිසා, ඔවුන් වාහන ගෙන්වන අතර එමඟින් රජයට කලින් නොලැබුණු බදු මුදලක් ලැබේ. රජය වැය කළ මුදලට ඉතා ආසන්න මුදලක් රජයට බදු ලෙස නැවත ආපසු ලැබේ. ගෙවුම් ශේෂයට විශේෂ බලපෑමක් නැත.

පළමු කාණ්ඩයේ අයට දැන් සැලකිය යුතු මුදලක් අතට ලැබී ඇති නිසා වැඩි වටිනාකමක වාහනයක් ගෙන්වන්නට පුළුවන. එහෙත්, බදු මුදල් ගෙවිය යුතුය. බදු රහිතව ලක්ෂ 40ක වාහනයක් ගන්නට සිටි තැනැත්තා අතේ දැන් ලක්ෂ 140ක් ඇති නිසා ලක්ෂ 70ක වාහනයක් ගෙන්වා තවත් ලක්ෂ 70ක් බදු ගෙවන්නට පුළුවන. එමෙන්ම, බදු රහිතව ලක්ෂ 20ක වාහනයක් ගන්නට සිටි තැනැත්තා අතේ දැන් ලක්ෂ 120ක් ඇති නිසා ලක්ෂ 60ක වාහනයක් ගෙන්වා තවත් ලක්ෂ 60ක් බදු ගෙවන්නට පුළුවන. අවසානයේ රජය ගෙවූ ලක්ෂ 100න් කොටසක් පමණක් ආපසු රජයට ලැබේ. පෙරට සාපේක්ෂව, වැඩි මිල වාහන ආනයනය කෙරෙන නිසා ගෙවුම් ශේෂයට ඇති වන්නේ නරක බලපෑමකි.

වාහන බලපත්‍රයක් වෙළදපොලේ විකිණෙන්නේ එයින් ලැබෙන උපරිම බදු සහනයට වඩා අඩු මිලකටය. රටේ විකිණෙන වාහන බලපත්‍ර ප්‍රමාණය මිල අධික වාහන සඳහා වන ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩියයි සිතුවොත් බලපත්‍රයක් විකුණන අයෙකුට සැලකිය යුතු හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති නිසා සිය බලපත්‍රයට තරඟකාරී මිලක් ලබා ගත හැකි වීමට ඉඩ තිබේ. මෙහිදී බලපත්‍රයකට ලැබෙන උපරිම බදු සහනය රුපියල් ලක්ෂයක්නම් ඒ මුදලින් අනුන්ගේ බලපත්‍රයකින් වාහනයක් මිලදී ගැනීම නිසා සිදුවන අපහසුතාවය වෙනුවෙන් මුදලක් අඩු කළ පසු ඉතිරි මුදල බලපත්‍රයක වෙළඳපොළ මිල වනු ඇත. මේ මිල ලක්ෂ 75ක් ලෙස සලකමු. ඒ නිසා, රජයට රුපියල් ලක්ෂ 100ක්ම නොගෙවා ලක්ෂ 80ක් වැනි මුදලක් පමණක් ගෙවන්නට බලපත්‍ර හිමියන් කැමති කරගන්නට බැරිකමක් නැත. එවිට පළමු කාණ්ඩයෙන් රජයට වන අවාසිය අඩුවන අතර දෙවන කාණ්ඩයෙන් ලාභයක් ලැබීමට පුළුවන. ගෙවුම් ශේෂ බලපෑමද අවම කර ගැනීමට හෝ හොඳ අතට හරවා ගැනීමට පුළුවන.

3) වාහන බලපත්‍ර ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් කීයක් වෙන් කළ යුතුද?

ළමයා: ඒ මොකටද? කීයක් වත් වෙන් කරන්න ඕනා නෑ. බලපත්‍රය අච්චු ගහලා දෙන එකනේ.

ඉකොනොමැට්ටා: වාහන බලපත්‍ර ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතු නැති වුවත් පළමු ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි කළ පරිදි රජයට ලැබෙන ආදායම් අඩුවන නිසා වෙනත් කටයුතු සඳහා වන මුදල් වෙන් කිරීම් සීමා කිරීමට සිදුවේ.

4) නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුද?

ළමයා: නැතුව. සල්ලි දෙන්නේ පොලීසියෙන්ද?

ඉකොනොමැට්ටා: නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුය. එහෙත්, දෙවන ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිළි කළ පරිදි, මෙසේ වෙන් කරන මුදලෙන් කොටසක්, එම මුදලම, හෝ වැඩි මුදලක් බදු ආදායම් ලෙස රජයට ආපසු ලැබේ. මෙය තීරණය වන්නේ බලපත්‍රලාභියෙකු වෙනුවෙන් ගෙවන මුදල, වාහන බලපත්‍රයකින් ලැබෙන උපරිම බදු සහනය,  බලපත්‍රහිමියෙකු විසින් ලබා ගන්නා සාමාන්‍ය බදු සහනය හා බදු අනුපාතිකය යන කරුණු මතය.

5) ඒ මුදල සොයා ගත යුත්තේ කෙසේද?

ළමයා: අපේ අම්මලා තාත්තලා කඩෙන් ගන්න බඩු ටිකට බදු ගහලා තමා ඉතින්. ලංකාවේ වක්‍ර බදුනේ වැඩි.

ඉකොනොමැට්ටා: මේ තීරණය නිසා රජයේ වියදම වැඩි වුවහොත් එය පියවෙන්නේ බදු මුදලිනි. වියදම අඩු වුවහොත් වාසියද එසේමය. අමතර මුදල් සොයා ගැනීමට අවශ්‍ය වන්නේ වියදම වැඩි වුවහොත් පමණි.

6) කොහොමද රවීල හර්ෂල මලික්ල රනිල්ල එකතු වෙලා රාජ්‍යය වියදම අඩු කරපු හැටි?

ළමයා: වෙනස සැපද?

ඉකොනොමැට්ටා:සිදුවී ඇත්තේ රාජ්‍ය වියදම අඩුවීමක්ද නැත්නම් වැඩිවීමක්ද කියන්නට තරම් කරුණු ප්‍රමාණවත් නැත. කෙසේ වුවද, මේ තීරණය හේතුවෙන් රජයේ අයවැය හිඟයට හෝ ගෙවුම් ශේෂ හිඟයට සිදු විය හැකි හොඳ හෝ නරක බලපෑම එතරම් විශාල විය නොහැකිය. ලාබ පාඩු කෙසේ වුවත් වාහන බලපත්‍රය වෙනුවට සෘජුව මුදල් දීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි.

(Image: https://www.colombotelegraph.com/index.php/mp-tax-free-vehicle-permits-abuse-ciaboc-charged-for-condoning-corruption/)

Tuesday, January 31, 2017

ලාංකිකයෙකුගෙන් පෘථිවියට අළුත් ලෝහයක්!

ජලකර හෙවත් හයිඩ්‍රජන් වායුව ගැන අපි බොහෝ දෙනෙකු අසා ඇත්තෙමු. හයිඩ්‍රජන් වායු අනුවක් සැදී ඇත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වීමෙනි. ආවර්තිතා වගුවේ පළමු හා සැහැල්ලුම මූල ද්‍රව්‍යය වන හයිඩ්‍රජන් විශ්වයේ සුලභම මූල ද්‍රව්‍යයද වේ. අඩු උෂ්ණත්වයකදී හා වැඩි පීඩනයකදී හයිඩ්‍රජන් වායුව ද්‍රව තත්ත්වයට පත්වේ. කෙසේ වුවද, මෙසේ ද්‍රව තත්ත්වයට පත්වීමේදී එහි අනුක ස්වභාවය වෙනස් නොවේ.

හයිඩ්‍රජන් වායුවක් හා ද්‍රවයක් ලෙස පෘථිවියේ තිබුණත් ඝන හයිඩ්‍රජන් යනු මෙතෙක් කලක් පෘථිවියේ නොතිබුණු ද්‍රව්‍යයකි. හයිඩ්‍රජන් ඝන ලෝහයක් ලෙස වෙනත් ස්වභාවයකින් පැවතිය හැකි බව 1935 දී සෛද්ධාන්තිකව පෙන්වා දෙනු ලැබ තිබුණත් මේ ලෝහය ස්වභාවිකව පවතිනු සොයා ගැනීමට හෝ විද්‍යාගාර තුළ නිර්මාණය කිරීමට මෙතෙක් හැකි වුනේ නැත.

තරුණ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන රංග ඩයස් ඇතුළු හාවඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් දැන් මේ කටයුත්ත කරමින් මෙතෙක් පෘථිවියේ නොතිබුණු මේ අළුත් ලෝහය නිර්මාණය කර තිබේ. මේ බව එළිදරවු කරමින් ආචාර්ය රංග ඩයස් විසින් මහාචාර්ය අයිසැක් සිල්වේරා සමඟ එක්ව ලියූ පර්යේෂණ පත්‍රිකාව දින කිහිපයකට පෙර විමර්ශකයන්ගේ අනුමැතිය සහිතව ප්‍රමුඛතම විමර්ශිත ජර්නලයක් වන 'සයන්ස්' සඟරාවේ පළ විය.

මේ කටයුත්ත කිරීම සඳහා විශේෂයෙන් සැකසූ දියමන්ති කුටීරයක සිර කෙරුණු අණුක හයිඩ්‍රජන් ගිගා පැස්කල් 495ක පීඩනයකට භාජනය කෙරුණේය. මෙය එක් වර්ග සෙන්ටිමීටරයක් මත කිලෝග්‍රෑම් මිලියන පහක පමණ බරක් තැබූ විට ඇතිවන තරමේ පීඩනයකි. පෘථිවි මධ්‍යයේ ඇති පීඩනයද මීට වඩා අඩුය. මෙවැනි අධික පීඩනයකදී හයිඩ්‍රජන් අනුවේ පරමාණු අතර සම්බන්ධය ලිහිල් වී පරමාණුක හයිඩ්‍රජන් බවට පත් වේ. සෛද්ධාන්තිකව පුරෝකථනය කර ඇති පරිදි මෙහි විශේෂත්වය වන්නේ පීඩනය ඉවත් කිරීමෙන් පසුවද මෙය කාමර උෂ්ණත්වයේදී ස්ථායී ලෝහයක් ලෙස පැවතීමයි. මෙය සුපිරි සන්නායකයක් ලෙසද සැලකේ.

කෙසේ වුවද, රංග ඇතුළු පර්යේෂකයින් තවමත් සිය ලෝහ හයිඩ්‍රජන් සාම්පලය මත ඇති පීඩනය අඩු කර නැති නිසා කාමර උෂ්ණත්වයේදී හා සාමාන්‍ය පීඩනයක් යටතේ එය ස්ථායීව පවතිනු ඇති බව සහ සෛද්ධාන්තිකව එහි පැවතිය යුතු අනෙකුත් ලක්ෂණ තවමත් තහවුරු කර නැත. සිය පර්යේෂණය ජර්නලයක පළ වන තුරු මේ අවදානම නොගෙන සිටි ඔවුන් ඉදිරි සති වලදී සිය පර්යේෂණ ප්‍රතිඵලය තහවුරු කරන අමතර සාධක ගැන සොයා බලනු ඇත.

කොළඹ සරසවියේ ප්‍රථම උපාධිය හැදෑරු රංග 2013 වසරේදී වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

රංගට අපේ සුබ පැතුම්!

Saturday, January 28, 2017

සේනා සිංහ ප්‍රශ්නය

සමරිසි අයිතීන් ගැන ඇති වූ කැබිනට් සාකච්ඡාවකදී අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඇසුවේයැයි මාධ්‍ය වල වාර්තා වී තිබුණු ප්‍රශ්නයක් නිසා සුජීව සේනසිංහ සමාජ මාධ්‍ය තුළ බයිට් වී තිබුණේය. වාර්තා වී ඇති පරිදි අදාළ ප්‍රශ්නය මෙවැන්නකි.

"දැන් මේ නීතිමය වෙනසින් පසුව සතුන් සමග ලිංගිකව හැසිරීමත් නීතිගත වෙනවාද?"

ඇතැම් අය මේ ප්‍රශ්නය අර්ථකථනය කර තිබුණේ සුජීව සේනසිංහගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් ලෙසිනි. තවත් අය මෙය ඔහුගේ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබුණේය.

සේනාසිංහගේ ප්‍රශ්නය කලින් කලට ඇතැම් සේනා වල අයිතිකාරයින් සිංහයින් වන්නට අසන ආකාරයේ ගොංපාට් ප්‍රශ්නයක් නොවන්නට ඉඩ තිබේ. නීති විද්‍යාලයේ ඉගෙනුම ලබා නීති වෘත්තිකයෙකු ලෙස කටයුතු කරන සේනාසිංහගේ ප්‍රශ්නය තේරුමක් තිබුණු, ඇසිය යුතු ප්‍රශ්නයක් වූවා විය හැකිය. උඩ පාවෙන කොස් කොළ, ක්‍රෝටන් කොළ මෙන් පරිධියේ ඇති දේවල් මාධ්‍ය තුළ උඩට පැමිණීම අමුතු දෙයක් නොවේ. පාඨකයින්ගේ ඉල්ලුම ඇත්තේ මෙසේ උඩ පාවෙන කොස් කොළ හා ක්‍රෝටන් කොළ වලටය.

සමලිංගික සම්බන්ධතා පැවැත්වීම ලංකාවේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථ දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය මත පදනම්වය. ඉංග්‍රිසීන් විසින් 1883දී හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව "පිරිමියෙකු, ගැහැණියක හෝ සතෙකු සමඟ සිය කැමැත්තෙන් අස්වාභාවික (against the order of nature) ලෙස ලිංගික සේවනයේ යෙදෙන ඕනෑම තැනැත්තෙකුට වසර දහයක් දක්වා වන බරපතල වැඩ සහිත හෝ රහිත සිර දඬුවමක් ලබා දිය හැකි අතර එයට අමතරව දඩයක්ද නියම කළ හැකිය."

මුල් පණතේ 365A වගන්තිය අනුව ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව පිරිමියෙකු සමඟ අවිනීත ලෙස හැසිරෙන වෙනත් පිරිමියෙකුට වසර දෙකක් දක්වා වන බරපතල වැඩ සහිත හෝ රහිත සිර දඬුවමක් ලබා දීම, දඩයක් නියම කිරීම හෝ මේ දඬුවම් දෙකම ලබා දිය හැකි වූ අතර ඊට අමතරව කසපහර දීමද කළ හැකි විය.

දණ්ඩ නීති සංග්‍රහය මේ වන විට වාර ගණනක් සංශෝධනය වී ඇතත් ඉහත 365 වගන්තිය තවමත් එසේම පවතී. එම මුල් වගන්තියට අමතරව බාලවයස්කරුවන් සමඟ පවත්වන ලිංගික සම්බන්ධතා සඳහා දඬුවම් වඩා දැඩි කරමින් අමතර කොටසක් ඉහත වගන්තියට එකතු වී තිබේ. ඒ අතර, 365A වගන්තිය සැලකිය යුතු ලෙස පුළුල් වී ඇති අතර "පිරිමියෙකු" යන්න "පුද්ගලයෙකු" ලෙස වෙනස් කර තිබේ. දඬුවමින් කසපහර දීම ඉවත් කර ඇත.

මට හිතෙන හැටියටනම් මේ "අස්වාභාවික" හා "අවිනීත" ආදී යෙදුම් වල තියෙන්නේ සංස්කෘතික අර්ථයකි. අස්වාභාවික ලිංගික හැසිරීම් ගැන කතා කළ හැක්කේ ස්වභාවික ලිංගික හැසිරීම් යනු කවරේදැයි නිශ්චිතව හඳුනාගත හැකිනම් පමණි. එහෙත්, සෑම කලකම, සෑම සංස්කෘතියක් තුළම ස්වභාවික ලිංගික හැසිරීම් ලෙස හඳුනා ගැනෙන්නේ එකම දෙයම නොවේ. 

රෝස කැලෙන් ළමයි ඇහිඳ මිනිස් ජනගහණය ස්ථාවරව තබා ගත නොහැකි බව කලක සිටම පොදු දැනුමක් වූ නිසා දරුවන් බිහි කිරීමේ හැකියාව ඇති ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමක් ස්වභාවික ලෙස සැලකිය හැකි වුවත් මේ අදහස වුවද අදටත් එක ලෙස සෑම සමාජයකම පිළි නොගැනේ. විවාහයෙන් බාහිර සම්බන්ධතාවක් වීම, අවම වයස් සීමාවන්, වයස් පරතරයේ වෙනස්කම්, ලේ ඥාතිත්වයේ සීමාවන්, කැමැත්ත ප්‍රකාශ කිරීමෙහි සීමාවන් ආදී විවිධ හේතු මත ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමක් කිසියම් සංස්කෘතියක් තුළ "අසම්මත" "අසාමාන්‍ය" හෝ "අස්වාභාවික" හැසිරීමක් ලෙස අර්ථ දැක්වෙන්නට පුළුවන.

ලංකාවට දණ්ඩ නීති පණත හඳුන්වාදෙන කාලයේ ඉංග්‍රීසින් විසින් ස්වභාවික ලිංගික හැසිරීමක් ලෙස සැලකුවේ විවාහය තුළ ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමකි. මේ අනුව, විවාහය තුළ වුවද ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන වෙනත් ආකාරයේ ලිංගික හැසිරීම් "අස්වාභාවික" හැසිරීම්ය. එමෙන්ම, සමරිසි හා සත්වරිසි  හැසිරීම් "ස්වභාවික" නැත. මේ දැක්ම තනිකරම වාගේ එවක ඉංග්‍රීසි සදාචාරය මත පදනම් වූවකි. කෙසේවුවද, මෙවැනි ඇතැම් හැසිරීම් "අස්වාභාවික" ලෙස නීතියෙන් හඳුනාගන්නට සිදුවීමෙන්ම පෙනෙන්නේ එවැනි හැසිරීම් "ස්වභාවික" ලෙස කාලයක් තිස්සේ සමාජයේ පැවතී ඇති බවයි.

අස්වාභාවික ලිංගික ක්‍රියාවන්ට දඬුවම් පමුණුවන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියෙන් ප්‍රායෝගිකව ඉටු වූ කාර්යයක් හෝ සිදු වූ බලපෑමක් ඇතැයි ම
නොසිතමි. දෙදෙනෙකු අතර ස්ව කැමැත්තෙන් පෞද්ගලිකව සිදුවන ලිංගික කාර්යයන් සොයා බලමින් අස්වාභාවිකත්වය පදනම් කරගෙන නඩු පැවරීම ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. මෙය මේ නීතිය ඉවත් කර දැමිය යුතු එක් හේතුවකි. ක්‍රියාත්මක නොවන, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නීති පොතේ පමණක් තබාගෙන සිටීමෙන් වෙන්නේ සමස්තයක් ලෙස නීතිය හෑල්ලුවට ලක්වීම පමණි.

කෙසේ වුවද, මේ නීතිය ඉවත් කරන්නට හදන්නේ (GSP කතාව පැත්තකින් තිබ්බොත්) ඉහත පදනමින් නොවේ. සමරිසි හැසිරීම් "ස්වභාවික" හැසිරීම්ය යන මතය මුල් කර ගනිමිනි. මේ මතය අනුව, කිසියම් පුද්ගලයෙකුගේ සමරිසි චර්යාව මුළුමනින්ම හෝ යම් කිසි දුරකට ඔහුගේ හෝ ඇයගේ උපතින් ගෙන ආ මිනිස් ස්වභාවය සම්බන්ධ එකකි. එය එසේනම්, ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ඉවත් කරන්නට අවශ්‍ය වන්නේද නැත. ඒ, එම වගන්තිය යටතේ "ස්වභාවික" ලිංගික හැසිරීමකට දඬුවම් කළ නොහැකි බැවිනි.

ස්වභාවික ලිංගික හැසිරීම් පිළිබඳ බටහිර මතය පසුගිය සියවසකට වැඩි කාලය තුළ සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. සමරිසි හැසිරීම් ස්වභාවික බව අද පිළිගැනෙන අතර සමරිසි අයිතීන් තහවුරු කරන නීති හඳුන්වා දීමේ රැල්ලක්ද බටහිරින් ඇරඹී පැතිරී යයි. වසර දහයකට පෙර ලෝකයේ රටවල් 92 ක සමරිසි හැසිරීම් නීති විරෝධී ලෙස සැලකුණු අතර ඉහත රැල්ලේ ප්‍රතිඵලයක් ලෙස දැන් මේ රටවල් ගණන 72 දක්වා අඩු වී තිබේ. 


අනෙක් අතට, සත්වරිසි චර්යාවන් සම්බන්ධව රැල්ල හමන්නේ තනිකරම ප්‍රතිවිරුද්ධ අතටය. සතුන් සමඟ ලිංගික හැසිරීම් තහනම් කරමින් නීති පැනවීමේ රැල්ලක්ද පසුගිය දශකය තුළ බටහිර රටවල් තුළ හමායමින් පවතී. එමෙන්ම මෙවැනි හැසිරීම් මානසික රෝග ලෙසද හඳුනා ගැනේ. සත්ව හිංසනයේ සීමාවන්ගෙන් ඔබ්බට මෙවැනි චර්යාවන්ට එරෙහිව පැනවෙන නීති සැලකිය හැක්කේ සදාචාරාත්මක නීති වශයෙනි. සදාචාරාත්මක නීති සඳහා ඉල්ලුමක් ඇති වන්නේ කිසියම් සංස්කෘතියක් තුළය. ලංකාවේ පොහොය දින මත්පැන් නොවිකිණීම උදාහරණයකි.

ලංකාවේදී සත්වරිසි ලිංගික චර්යාවක් වරදක් වන්නේ සමරිසි චර්යාවන් හා "අස්වාභාවික" විෂමලිංගික චර්යාවන් නීති විරෝධී ලෙස නම් කෙරෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුවය. සමරිසි චර්යාවන්ට හා "අස්වාභාවික" ලෙස සැලකෙන විෂමලිංගික චර්යාවන්ට ඉඩ සලසනු පිණිස ඉහත වගන්තිය මුළුමනින්ම ඉවත් කළහොත් සත්වරිසි චර්යාවන්ටද නීතිමය ආවරණයක් ලැබේ. සුජීව සේනසිංහ විසින් විමසුවේ මේ කරුණ වන්නට පුළුවන.

Wednesday, January 25, 2017

බාස්මතී කමු සතොසේ!

බාස්මතී කියන්නේ මා කුඩා කාලයේ අසා තිබුණු එහෙත් කා නොතිබුණු හාලකි. ඒ කාලයේ මේ බාස්මතී හාල් ගැන අසා තිබුණේ ඉතා රසවත්, සියුම්, සුවඳැති එමෙන්ම ඉතා මිල අධික සහල් වර්ගයක් වශයෙනි. වැඩිහිටියන්ගේ කතාබහ තුළ අසා තිබුණු මේ පුදුම හාල් වර්ගය කන්නට තබා ආසන්න නගර වල පිහිටි වෙළදසැල් කිසිවක විකුණන්නට හෝ නොතිබුණු බැවින් ඒ කාලයේ බාස්මතී යනු සිතින් සිතාගත යුතු සංකල්පයක් පමණක් විය.

බාස්මතී තබා සම්බා හෝ සුදුහාල් වලින් ඉවූ බතක් වුවද කන්නට ඒ දවස්වල අපට නිතර ඉඩ ලැබුණේ නැත. ඒ, බොහෝ විට ගෙදර ඉදුණේ අපේම කුඹුරු වල වී තම්බා, වේලා, කොටා සකසා ගත් හාල් බැවිනි. ඒ නිසා ඒ දවස් වල සුදු "රටහාලේ" බතක් කන්නට වුවද තිබුණේ ලොකු පෙරේත කමකි. පසුව මේ කුඹුරු මවගේ හා පියාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් අතර බෙදී යාමත්, අපට අයිති වුනු කුඹුරු කෑලි විකුණා දැමීම හෝ පුරන්වීමත් නිසා අපේ පවුලේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හාල් කඩෙන් ගන්නට සිදුවුවත් අපේ ගෙදර ඇත්තන්, විශේෂයෙන්ම මගේ පියා, රතු හාලට ඇබ්බැහි වී සිටි නිසා හැමවිටම වාගේ මෙසේ කඩෙන් ගත්තේත් රතු හාල්ය.

කලක් යද්දී අනෙක් හාල් වර්ග මෙන්ම බාස්මතී හාල්ද අපේ පැත්තේ වෙළඳසැල් වල දකින්නට පුළුවන් වුණත් මේ හාලට විශේෂ ආකර්ශනයක් ඇති නොවුණේ  බාස්මතී හාල් සාපේක්ෂව මිල අධික වූ නිසාම නොවේ. බාස්මතී හාලේ කියන තරම් අමුතු විශේෂත්වයක් නොතිබුණු නිසාය. ඇතැම් විට එවැනි විශේෂයක් නොපෙනුණේ ඒ වන විට අප නිතර ආහාරයට ගත් හාල් වර්ග වලට ඇබ්බැහි වී සිටීම නිසා විය හැකිය.

තාවකාලිකව හෝ ස්ථිරව විදේශ රටක පදිංචියට එන ලාංකිකයින් බොහෝ දෙනෙකු මුල් කාලයේ මුහුණ දෙන 'දැවෙන' ප්‍රශ්නයක් වන්නේ ලංකාවේදී හුරු වී සිටින ආහාර රටාව පවත්වා ගැනීමයි. ජීවත් වන නගරය අනුව, තමන් කැමති හාල් වර්ගය සොයාගැනීම තබා අමාරුවෙන් හෝ කන්නට හැකි හාල් වර්ගයක් සොයා ගැනීම වුවද විශාල අභියෝගයක් වන්නට පුළුවන.

ලෝකයේ සහල් අපනයනය කරන රටවල් අතරින් තෙවන තැන ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙන් සිවු ගුණයක් පමණ සහල් නිපදවන ඇමරිකාව ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවයට ආසන්න ප්‍රමාණයක් සහල් අපනයනය කරයි. එහෙත්, මේ ඇමරිකන් හාල් ලංකාවේ හාල් වලට ඇබ්බැහි වී සිටින අයෙකුට හොඳ ආදේශකයක් නොවේ. එමෙන්ම, අග්නිදිග ආසියාතික රටවලින් ආනයනය කෙරෙන ඇලෙන සුළු සහල් වර්ගද ලාංකිකයෙකුගේ ආහාර රුචිය සමඟ හොඳින් පෑහෙන්නේ නැත.

ඇමරිකාවේ (මෙන්ම වෙනත් බොහෝ රටවලද) ප්‍රධාන නගරයක් ආසන්නව ජීවත් වන අයෙකුට ලංකාවෙන්ම ආනයනය කරන විවිධ සහල් වර්ග මිලදී ගැනීමට අවස්ථාවක් ලැබුණත් ප්‍රත්‍යන්ත ජනපදයක වෙසෙන්නෙකුට බොහෝ විට ඒ වාසනාව නැත. එවැන්නෙකුට, ඇති හොඳම විකල්පය වන්නේ අඟහරු ලෝකයට ගියත් හොයා ගන්නට අමාරු නැති ඉන්දියන් කඩයකින් හෝ තායි, වියට්නාම් වැනි වෙනත් ආසියාතික කඩයකින් ලාංකික රුචියට ගැලපෙන හාල් වර්ගයක් මිල දී ගැනීමයි. මෙසේ තෝරා ගන්නවායැයි කීවත් බොහෝ විට ඇත්තේ එකම විකල්පයකි. ඒ බාස්මතී හාලයි.

අනෙක් හාල් වර්ග කෙසේ වුවත්, බාස්මතී හාල්නම් නොවරදවාම ආසියාතික කඩවලත් බොහෝ විට වෙනත් ඇමරිකන් සුපිරි වෙළදසැල් වලත් විකුණන්නට තිබෙන අතර දිනපතා බත් කන පවුලකට ඇති ලාබම විකල්පය වන්නේද බාස්මතී හාලයි. ලංකාවෙන් ආනයනය කළ රතු කැකුළු හෝ සම්බා වැනි හාලක් හෝ ඉන්දියාවෙන් ආනයනය කළ එවැනි හාලක් මිලදී ගැනීම සඳහා වැය කළ යුතු මුදල බාස්මතී මිල මෙන් දෙගුණයක් පමණ වේ.

කෙසේ වුවද, ලංකාවේ තවමත් බාස්මතී කියන්නේ මැක්ඩොනල්ඩ්ස් කෑම වගේම සුඛෝපභෝගී කෑමකි. තමන්ගේ තරාතිරම පෙන්වන සංකේතයකි.

පසුගිය ලිපියට කමෙන්ටුවක් දමමින් සරස විසින් සටහන් කර ඇති පරිදි පකිස්තානයෙන් ගෙන්වන බාස්මතී කිලෝවක් සතොසෙන් 145-150 කට මිලදී ගත හැකි වුවත් එයම වෙනත් තැන්වල විකිණෙන්නේ රුපියල් 175කටය. ප්‍රභේදය හා වෙළඳ නාමය අනුව
බාස්මතී සහල් වල මිල විශාල ලෙස වෙනස් වේ. කීල්ස් සුපර්හි විකිණෙන බාස්මතී කිලෝ පහේ පැකට්ටුවක මිල රුපියල් 1500-3000 අතර පුළුල් පරාසයක පැතිර ඇත. කෙසේවුවද, සරස සටහන් කර ඇති පරිදි එකම වර්ගයේ බාස්මතී සහල් සතොසේ අඩුවටත් වෙනත් තැන්වල වැඩි මිලටත් විකිණෙන්නේය යන්න සිදුවිය නොහැක්කක් නොවේ.

මෙය පැහැදිලි කළ හැකි පළමු ආකාරය වන්නේ සතොසට පාඩුවට හාල් විකුණන්නට හැකි වුනත්, පෞද්ගලික ව්‍යවසායකයෙකුට එසේ කළ නොහැකිය යන කරුණයි. ලෝකයේ සහල් අපනයනය කරන රටවල් අතරින් සිවුවන තැන සිටින පකිස්ථානයෙන් බාස්මතී ආනයනය කර, සියළු බදු ගෙවා අවසන් කළ විට බාස්මතී කිලෝවක මිල රුපියල් 145ට වඩා අඩු විය හැකිය. උදාහරණයක් ලෙස මේ මිල රුපියල් 130ක් බවත්, සතොසේ බාස්මතී විකිණෙන්නේ රුපියල් 145 බැගින් බවත් සිතමු. එයින් අදහස් වන්නේ සතොස ලාබ ලබන බව නොවේ.

භාණ්ඩයක් මිලදී ගැනීමට හා ප්‍රවාහනයට වැයවන මුදලේ එකතුවත් විකුණුම් මිලත් අතර වෙනස අදාළ ආයතනයේ ලාබය නොවේ. සේවක වැටුප්, ජල හා විදුලි ගාස්තු, වෙළඳ දැන්වීම් ගාස්තු, ගොඩනැඟිලි සඳහා ගෙවිය යුතු කුලී ආදී අමතර වියදම් සියල්ල ආවරණය කරගන්නට වෙන්නේද විකුණුම් මිල හා පිරිවැය අතර වන මේ වෙනසිනි. එමෙන්ම, කිසියම් ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරන අයෙකු එම මුදල් ආයෝජනය නොකර බැංකුව ඉතිරි කළේනම් ලැබෙන පොලිය ව්‍යපාරයේ ලාබ වලට වඩා වැඩිනම් කිසිවෙකු ව්‍යාපාරයක ආයෝජනය නොකරනු ඇත. ඒ නිසා ආයෝජකයන්ට නිසි ප්‍රතිලාභයක් වෙන් කරන්නට වෙන්නේද විකුණුම් මිල හා පිරිවැය අතර වන මේ වෙනසිනි. මේ සියල්ල එකතු කළ විට බාස්මතී කිලෝවක් විකිණිය හැකි මිල රුපියල් 175ක් පමණ වන්නට පුළුවන.

සියළු වියදම් නිසි ලෙස ආවරණය කරගෙන බාස්මතී කිලෝවක් විකිණිය හැක්කේ රුපියල් 175කටනම්, රුපියල් 145-150කට බාස්මතී කිලෝවක් විකුණන සතොස කරන්නේ දාහට අරන් පන්සීයට දීමකි. සතොස වාර්ෂික ලාභ පිරික්සූ විට මෙය පැහැදිලි වේ.

මේ වාර්තාවට අනුව පසුගිය ජූනි මාසයේ පමණක් සතොස විසින් රුපියල් මිලියන 98ක ලාභ වාර්තා කර තිබේ. මෙය වැදගත් පුවතක් වී තිබෙන්නේ සාමාන්‍යයෙන් සතොස එවැනි ලාභ වාර්තා නොකරන නිසාය. එම වාර්තාවටම අනුව 2016 පළමු මාස හය තුළ සතොස ලබා ඇති ලාභය රුපියල් මිලියන 38.2කි. මාස හයක ලාභ ජූනි මාසයේ ලාබ වලට වඩා අඩු වීමෙන් පෙනෙන්නේ පළමු මාස පහ තුළ රුපියල් මිලියන 59.8ක පාඩුවක් වාර්තා වී ඇති බවයි. මාධ්‍ය වාර්තා දකින්නට නොහැකි වීමෙන් පෙනෙන්නේ ජූනි මාසයෙන් පසුව සතොස නැවතත් පාඩු ලබන බව වෙන්නටද බැරිකමක් නැත. එමෙන්ම, 2015දී සතොස ලබා ඇති පාඩුව රුපියල් බිලියන 1.7කි.

මාස හයකට රුපියල් මිලියන 38.2ක ලාබයක් කියන්නේ සතොස වැනි ආයතනයක ප්‍රාග්ධන සංචිතයේ වටිනාකම සැලකූ විට සොච්චමකි. පර්පෙචුවල් ට්‍රෙෂරිස් වැනි සමාගම් එක ගණුදෙනුවෙන් උපයන ආදායම් වලට සාපේක්ෂව නොගිණිය හැකි මුදලකි. එමෙන්ම, 2015 පළමු මාස හය තුළ සතොස පිරිවැටුම වූ රුපියල් බිලියන 13.7න් 0.3% තරම් සොච්චමකි. සතොස බඩු තොගය මුදල් කර ඒ අරමුදල් රජයේ අයවැය හිඟයෙන් කොටසක් පියවා ගැනීමට වැය කළේනම් රජයට ඉතිරි වන පොලී මුදල ඉතා විශාල මුදලකි. මෙය එසේ කරන්නට කරන යෝජනාවක් නොවේ. මා මෙයින් පෙන්වන්නේ සතොස සැබෑ පාඩුව ගිණුම් වල පෙන්වන පාඩුව පමණක් නොවන බවයි. සතොස තුළ හිර වී ඇති විශාල ප්‍රාග්ධනය වෙනුවෙන් නොලැබී ගිය පොලියද මේ පාඩුවට එකතු විය යුතුය.

බාස්මතී කියන්නේ ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් නොවේ. බාස්මතී කන්නේ ආදායම් ඉනිමඟේ තරමක් උඩින් ඉන්නා අයයි. සතොස මේ අයට පාඩුවට බාස්මතී විකුණයි. සියළු සෘජු හා වක්‍ර වියදම් පියවාගෙන ප්‍රාග්ධනය වෙනුවෙන් නිසි ප්‍රතිලාභයක්ද ලබමින් බාස්මතී කිලෝවක් විකිණිය හැක්කේ රුපියල් 175 කටනම්, කිලෝවක් රුපියල් 145 බැගින් විකුණන විට සතොසට රුපියල් 30ක අලාභයක් සිදු වේ. බාස්මතී මිල දී ගන්නා පාරිභෝගිකයාට රුපියල් 30ක වාසියක් වේ.

පාරිභෝගිකයාට වාසියක් වේනම් මෙහි ඇති වැරැද්ද කුමක්දැයි කෙනෙකුට අහන්නට පුළුවන. වැරැද්ද වන්නේ මේ රුපියල් 30 වෙනත් අයෙකු විසින් ගෙවිය යුතු වීමයි.

මෙය මේ විදිහට විස්තර කළ හැකිය. බාස්මතී කිලෝවක් රුපියල් 175 බැගින් විකිණුවේනම් සතොසටද වෙනත් ව්‍යවසායකයෙකු ලබන තරමේ ලාභයක් ලැබිය හැකිව තිබුණේය. එසේනම්, එම ලාභය රජයේ ආදායමට එකතු වී රජයේ අයවැය හිඟය පහත බැසිය හැකිව තිබුණි. එසේ වුණානම්, රජයට ණය ගන්නට වෙන්නේ අඩුවෙනි. ඒ නිසා පොලී ගෙවන්නට වෙන්නේද අඩුවෙනි.

කෙසේවුවද, සතොස බාස්මතී කිලෝවක් මිල කර ඇත්තේ රුපියල් 145-150කටය.  ඒ නිසා සතොසට අනෙක් ව්‍යවසායකයින් ලබන නියම ලාභය නොලැබේ. ඒ නිසා රජයේ අයවැය හිඟය ඉහළ මට්ටමක පවතී. මේ හිඟය පියවා ගැනීමට රජය විසින් එක්කෝ ණය ගත යුතුය. නැත්නම් බදු වැඩි කළ යුතුය. ණය ගත් විට පොලියත් සමඟ ආපසු ගෙවිය යුතුය. ඒ සඳහාද බදු වැඩි කරන්නට සිදුවේ. අවසාන වශයෙන් මේ පාඩුව ආවරණය වන්නේ මහජන බදු මුදල් වලිනි.

වැට් වැනි බද්දක් ඉහළ දැමූ විට එය ගෙවන්නේ බාස්මතී කන ඉහළ ආදායම්ලාභීන් පමණක් නොවේ. බාස්මතී කෑම සිහිනෙන් දිව ගෑ සුවඳක් පමණක් වූ අඩු ආදායම්ලාභීන්ටද මේ බරට උරදෙන්නට සිදුවේ. ඒ නිසා, ඉහළ ආදායම්ලාභියෙකු සතොසෙන් රුපියල් 30ක් අඩුවට බාස්මතී කිලෝවක් මිලදී ගන්නා විට ලැබෙන ලාබය වෙනුවෙන් රතු කැකුළු කන සාමාන්‍ය ජනතාවටත් කිසියම් මුදලක් ගෙවන්නට සිදු වේ.

මේ නිරීක්ෂණය තවත් ප්‍රශ්නයක් මතු කරයි. සතොසේ රුපියල් 145-150 මිලකට බාස්මතී විකිණෙද්දී වෙනත් කඩවල එම බාස්මතී හාලම රුපියල් 175 බැගින් විකිණෙන්නේ කෙසේද?

මෙයට පිළිතුර ඇත්තේ ලංකාවේ බාස්මතී කන අය බාස්මතී කන්නේ ඇයි කියන කරුණේය. බොහෝ දෙනෙකු වැඩි මිලක් ගෙවා බාස්මතී කන්නේ එහි ඇති විශේෂ රසයක් හෝ ගුණයක් නිසා නොවේ. බාස්මතී කෑම මඟින් තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමටද හැකි නිසාය. මෙසේ බාස්මතී කෑම මඟින් යමෙකුට තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමට හැකි වී තිබෙන්නේම බාස්මතී මිල අධික හාලක් බැවිනි. මෙවැනි ආකාරයට සිතන ඇතැම් අයට අනුව, සුපිරි වෙළඳසැලකින් බඩු නොගෙන සතොසේ රස්තියාදු වීම මඟින් කෙනෙකුගේ සමාජ තත්ත්වයට වෙන්නේ හානියකි. ඒ නිසා, බාස්මතී කෑම පමණක් ප්‍රමාණවත් නැත. 'පොඩි ගාණක්' වැඩියෙන් ගියත් සතොසේ රස්තියාදු නොවී සුපිරි වෙළඳසැලකින්ම බාස්මතී මිල දී ගත යුතුය!


(Image: https://realisticcookingideas.com/2013/02/25/basmati-rice-with-spices/)

Tuesday, January 24, 2017

රතු කැකුළු අසූඅටයි සම්බා අනූපහයි!


මේ දවස්වල හාල් මිල ගැන වැඩිපුර අදහස් පළවේ. මහ බැංකුවේ දත්ත අනුව, ජනවාරි 19 වෙනිදායින් අවසන් වූ සතියේ රතු කැකුළු කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 88 ක්ද, සම්බා කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 95 ක්ද ලෙස පැවතී ඇත.

පසුගිය වසරේ ජනවාරි 21න් අවසන් වූ සතියේදී රතු කැකුළු කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 73 ක්ද, සම්බා කිලෝවක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 98 ක්ද ලෙස පැවතී ඇත. මේ අනුව පෙනී යන්නේ රතු කැකුළු කිලෝවක මිල වසරක් තුළ 20.5%කින් ඉහළ ගොස් තිබියදී, සම්බා කිලෝවක මිල 3.1% කින් සුළු වශයෙන් අඩු වී ඇති බවයි.

ලාංකිකයෙකු වසරකට හාල් කිලෝ 112 ක් පමණ පරිභෝජනය කරයි. සාමාන්‍ය ලාංකිකයෙකුගේ කැලරි අවශ්‍යතාවයෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නේ බත් වලිනි. මේ වන විට රටේ වාර්ෂික සහල් ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 2.3 ක් පමණ වේ. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ලංකාවේ සහල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ ගියේය. කෙසේ වුවද, කාලගුණ තත්ත්වයේ වෙනස්වීම් නිසා ඇතැම් වසර වල රටේ අවශ්‍යතාවය රට තුළ නිපදවුණේ නැති නිසා කිසියම් සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු විය.

යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර කුඹුරු අස්වැද්දී රටේ සහල් නිපැයුම ඉහළ යාම නිසා 2009 වසරේ සිට ලංකාවේ සහල් නිෂ්පාදනය සහල් ඉල්ලුම ඉක්මවන්නට විය. 2008 වසරේදී ඇති ලෝක ආහාර අර්බුදය හා ධාන්‍ය මිල ඉහළ යාම හමුවේ ලංකාවේ සහල් මිල විශාල ලෙස ඉහළ යාමත්, ඒ හේතුවෙන් උද්ධමනය විශාල ලෙස වැඩි වීමත් සලකා බලමින් රජය විසින් සහල් නිෂ්පාදනය දිරිමත් කිරීමද ඊට හේතු වන්නට ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2009 වසරේදී රටේ වාර්ෂික අවශ්‍යතාවයෙන් 7.3%ක් පමණ වූ අතිරික්ත සහල් සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් 2013 අවසානය වන විට 42.2% මට්ටම දක්වා වැඩි විය. මෙසේ සැපයුම ඉල්ලුම ඉක්මවීම නිසා දේශීය සහල් මිල අඩු මට්ටමක පැවතුණේය.

කෙසේ වුවද, 2014 වසරේදී රටේ සහල් නිෂ්පාදනය පහත වැටුණු නිසා මේ සංචිත ප්‍රමාණය රටේ වාර්ෂික අවශ්‍යතාවයෙන් 29.6% මට්ටමට පහත වැටුණේය. 2015 වසරේද සහල් අතිරික්තයක් පැවතියත් මේ වන විට සහල් ආනයනය නොකර රටේ අවශ්‍යතාවය පිරිමසාගත නොහැකි තරමට සංචිත පහත වැටී ඇති බව පෙනේ.

රතු කැකුළු ලංකාවේ, විශේෂයෙන්ම දකුණේ, ඉතා ජනප්‍රිය සහල් ප්‍රභේදයකි. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ලංකාවේ රතු කැකුළු හාලේ ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. ලෝකයේ ජනගහණයෙන් අඩක පමණ ප්‍රමාණයකගේ ප්‍රධාන ආහාරය සහල් වුවත්, රතු කැකුළු හාල වෙනත් කිසිම රටක ලංකාවේ තරම් ජනප්‍රිය නැති බව මගේ අදහසයි. ලංකාවේ රතු කැකුළු අවශ්‍යතාවය මුළුමනින්ම වාගේ නිපදවෙන්නේ රට තුළ විය යුතුය. තරමක් මහන්සි වුනොත් ඕනෑම රටක නිපදවන ආහාරයක් මිල දී ගැනීමට බැරිකමක් නැති ඇමරිකාවට ලංකාවේ රතු කැකුළු වලට හරියටම සමාන ආනයනික හාලක් ලංකාව හැර වෙනත් රටකින් පැමිණ තිබෙනු මා දැක ඇත්තේ මැඩගස්කරයෙන් පමණි. මෙයට සාපේක්ෂව සම්බා හාල, වෙනත් රටවලද නිපදවෙන වැඩි අපහසුවකින් තොරව ආනයනය කළ හැකි සහල් ප්‍රභේදයකි.

බත් කෑම ඇබ්බැහියකි. බත් කා පුරුදු වූ කෙනෙකුට බත් නැතුවම බැරිය.එයට අමතරව බොහෝ දෙනෙකුට තමන් කන්නට පුරුදු වී සිටින හාල් වර්ගයද නැතුවම බැරිය. රතු කැකුළු වැනි රට තුළ නිපදවෙන හා රට තුළම පරිභෝජනය කෙරෙන සහල් වර්ගයක මිල බොහෝ දුරට තීරණය වන්නේ රටේ එම සහල් වර්ගයේ නිෂ්පාදනය මතය. මෙවැනි සහල් වර්ගයක් ආනයනය කිරීමේ හැකියාව ඉතා සීමිත වන අතරම, අපනයන ඉල්ලුමක්ද නැති වීම එයට හේතුවයි. දේශීය සහල් නිෂ්පාදනය ඉහළ යන විට රතු කැකුළු වැනි සහලක මිල විශාල ලෙස පහත වැටේ.

සම්බා වැනි සහලක තත්ත්වය මෙයට වෙනස්ය. ලංකාවේ නිපදවන සම්බා සහල් වලට ඉතා සමාන ආදේශක ආනයනය කිරීමේ හැකියාවක් ඇති නිසා, 2008දී මෙන් ලෝක මට්ටමේ ආහාර හිඟයක් නොපවතීනම්, සම්බා හාල් වල මිල ස්ථාවරව තබාගැනීම අපහසු නැත.

මේ දිනවල කාලගුණික හේතු මත ලංකාවේ සහල් නිෂ්පාදනය පහත වැටී ඇත. සහල් සැපයුම පහත වැටුණද ලංකාවේ සහල් වලට ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු නොවේ. මේ ඉල්ලුම සැපිරීමට සහල් ආනයනය කළ හැකි වුවත්, එසේ ආනයනය කළ හැක්කේ රටේ වැඩි දෙනෙකු කැමැත්තක් දක්වන සහල් ප්‍රභේදම නොවේ. ඒ නිසා ආනයනික සහල් සැපයුම එක් වූ විට සමස්තයක් ලෙස සහල් ඉල්ලුම හා සැපයුම අතර හිඟය නැති වී ගියත්, රතු කැකුළු ඉල්ලුම හා සැපයුම අතර හිඟය අඩු නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රතු කැකුළු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

වසරකට පෙර සම්බා කිලෝවක මිල රතු කැකුළු කිලෝවක මිලට වඩා රුපියල් 25කින් වැඩි විය. බොහෝ විට රතු කැකුළු කිලෝවක මිල සම්බා කිලෝවක මිලට වඩා අඩුය. එයට හේතුව නිෂ්පාදන වියදමේ වෙනසක් විය හැකිය. රතු කැකුළු වලට ඇති කැමැත්ත නිසා රතු කැකුළුම කන අයට අමතරව මේ මිල වෙනස නිසා රතු කැකුළු ආහාරයට ගත් අයද සිටින්නට ඇත. එවැනි අයට රතු කැකුළු වෙනුවට සම්බා සහල් ආදේශ කර ගැනීම අපහසු නැත. කෙසේ වුවද, රතු කැකුළු මිල සම්බා මිලට ආසන්න වන තුරු එය සිදු නොවේ.

රතු කැකුළු වලට ඇබ්බැහි වී සිටින අය මිල ඉහළ ගියද සිය තෝරා ගැනීම වෙනස් නොකරති. එහෙත්, සම්බා වලට කැමති, මිල වෙනස නිසා රතු කැකුළු පරිභෝජනය කරන අය මේ මිල වෙනස කිසියම් මට්ටමකට පැමිණි වහාම රතු කැකුළු වෙනුවට සම්බා ආදේශ කරගනිති.

නිෂ්පාදනය පහත වැටීම හා ආනයනික රතු කැකුළු සැපයුමක් නැති වීම හමුවේ රතු කැකුළු සැපයුම විශාල ලෙස අඩු වී ඇති නිසා මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත්, ආනයනික සම්බා සහල් මඟින් දේශීය සැපයුමේ අඩුව පුරවන නිසා සම්බා සහල් මිල ස්ථාවරව පවතී.


(Image: http://images.desigrub.com/tag/eggplant-curry/)

Saturday, January 21, 2017

ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය හා ශනි මාරුව

අද 2017 ජනවාරි 21යි.  2014 නොවැම්බර් දෙවෙනිදා සිට වෘශ්චික රාශියේ සිටි ශනි ග්‍රහයා තව දින පහකින්, ජනවාරි 26 දින, වෘශ්චික රාශියෙන් ධනු රාශියට ගමන් කිරීමට නියමිතය. කෙසේ වුවද, මෙසේ ධනු රාශිය බලා ඉදිරියට යන ශනි ග්‍රහයා අප්‍රේල් 7 වනදා නැවත ආපසු හැරේ. එසේ ආපස්සට එන ශනි ග්‍රහයා ජූනි 21 දින ආපසු වෘශ්චික රාශියට ඇතුළු වේ. ඉන්පසු නැවතත් දිශාව මාරුකර ඉදිරියට ගොස් ඔක්තෝබර් 26 වනදා ධනු රාශියට නැවත ඇතුළු වේ. එසේ ඇතුළු වීමෙන් පසුව නැවතත් කිහිප වරක් ආපසු හැරුණත්, 2020 ජනවාරි වන තුරු ශනි ග්‍රහයා ධනු රාශියෙන් පිටවන්නේ නැත.

ශනි ග්‍රහයා වෘශ්චික රාශියට පැමිණ දෙමසකින් 2015 ජනවාරි 8 දින පැවැත්වුණු ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රීපාල සිරිසේන පසුදින ලංකාවේ හත්වන ජ
නාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරදා මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීම බොහෝ දෙනා විප්ලවයක් ලෙස හඳුන්වති.

විප්ලව ගැන කතා කරන විට ප්‍රංශ විප්ලවය හා රුසියන් විප්ලවය ගැන කතා නොකරම බැරිය. කාලයක් තිස්සේ ස්ථාපිතව පැවති රාජාණ්ඩු ක්‍රමයේ අවසානය සනිටුහන් කරන තීරණාත්මක කඩඉමක් වන්නේ ප්‍රංශ විප්ලවයයි.

ඇමරිකානු ජනපදිකයින් බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව යුද ප්‍රකාශ කරමින් ඇමරිකා එක්සත් ජනපදය පිහිටවීමට දෙවසරකට පෙර, 1774 වසරේදී, එවකට එකුන් විසි වියැති ලාබාල තරුණයෙකුව සිටි ලුවී-ඔගස්තේ දහසයවන ලුවී නමින් ප්‍රංශයේ ඔටුනු පළන් නමුත් ඔහුට හිමි වුණේ පිරුණු භාණ්ඩාගාරයක් නොවේ.

සිය ආධිපත්‍යය ලෝකය පුරා පවත්වා ගැනීම හා තවදුරටත් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කාලයක් තිස්සේ රටේ සම්පත් වැයකරමින් සිටි ප්‍රංශය දහසයවන ලුවී රජවන විටත් ණය බරින් බොහෝ හෙම්බත්ව සිටියේය. 1763දී අවසන් වූ  සත්-අවුරුදු යුද්ධයෙන් බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුධ සන්ධානය හමුවේ පැරදී සිටි ප්‍රංශයට එම යුද්ධයේදී ඇමරිකාවේ හා කැනඩාවේ විශාල භූමි ප්‍රමාණයක් මෙන්ම උතුරු ඉන්දියාවේ ඔවුන් සතුව පැවති බිම් පෙදෙස්ද අහිමිවීම සතුටු විය හැකි කරුණ
ක්ව නොපැවතියේය. මෙයට එකට එක කිරීමක් ලෙස, බ්‍රිතාන්‍යයට එරෙහිව සිදුකළ ඇමරිකානු නිදහස් අරගලයේදී සෘජුව හා වක්‍රව ඇමරිකානු ජනපදිකයින්ට උදවු කිරීම හේතුවෙන් ප්‍රංශයේ ආර්ථික ශක්තිය තවදුරටත් දුර්වල විය.

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා බදු දැඩි ලෙස වැඩිකරමින් දහසයවන ලුවී රජු විසින් ගත් උත්සාහය රටේ බොහෝ දෙනෙකු විශාල ලෙස පීඩාවට පත් කළේය. සාමාන්‍ය ජනතාවට මෙසේ පටි තදකර ගැනීමට සිදු වුවත් රජ පවුල හෝ ඔවුන් වටා සිටි පූජකයින් හා ඉඩම් හිමියන් වෙතින් එවැනි කැපකිරීමක් සිදු වුනේ නැත. මේ අතර සිදුවූ ආර්ථික පීඩනය හමුවේ ජනතාව පාන් ඉල්ලා මැසිවිලි නඟද්දී, පාන් නැත්නම් කේක් කන ලෙස දැනුම් දුන් මාරි ඇන්ටනොයිට්, දහසයවන ලුවී රජුගේ බිසව, ගැන කවුරුත් වාගේ අසා තිබේ. මෙවැනි කතාවක් මාරි ඇන්ටනොයිට් විසින් කියූ බවට කිසිදු සාක්ෂියක් නැති අතර එය දැන් සැලකෙන්නේ මාධ්‍ය මඟින් දිගින් දිගටම ප්‍රචාරණය කෙරුණු ජනප්‍රිය ප්‍රබන්ධයක් වශයෙනි. කෙසේ වුවද මේ කතාවෙන් පෙන්වන්නට හදන ප්‍රංශයේ එවකට පැවති තත්ත්වය ව්‍යාජයක් නොවේ.

ලාංකිකයින්ගේ ප්‍රධාන ආහාරය බත් වනවාක් මෙන් ප්‍රංශ ජාතිකයින්ගේ ප්‍රධාන ආහාරය පාන්ය. ප්‍රංශ රජු 'රටේ ප්‍රධාන බක්කරේ' (ජාතියට පාන් සැපයීමේ වගකීම ඇති ප්‍රධාන තැනැත්තා) ලෙසද හැඳින්වුනේය. ආර්ථික අර්බුදයට සමාන්තරව රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයද පහත වැටීම විසින් රට තුළ ඇති කළේ සුළුපටු අර්බුදයක් නොවේ. මේ වන විට ප්‍රංශයේ හඳුන්වා දී තිබුණු ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් තරඟකාරී ධාන්‍ය වෙළඳපොළක් ඇති වනවා වෙනුවට ඇති වී තිබුණේ කතිපයාධිකාරී වෙළඳපොළකි. ධාන්‍ය නිෂ්පාදනය පහත වැටී ඉල්ලුම් සැපයුම් වෙනස පුළුල් වෙද්දී, ධාන්‍ය මිල වේගයෙන් ඉහළ යන්නට විය. ධාන්‍ය වෙළඳපොළ තුළ බලපෑමක් කළ හැකිව සිටි අය මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් පසුව වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් ධාන්‍ය මිලදී ගෙන වෙළදපොළට නිකුත් නොකර ගබඩා කරගැනීම නිසා ජනතාවට ආහාර හිඟය මෙන්ම ආහාර මිලද ඉතා දරුණුවට දැනෙන්නට විය.

මේ කරුණු හා තවත් කරුණු ප්‍රංශ විප්ලවයට පසුබිම සැකසීය. දහසයවන ලුවී රජු බලයෙන් පහකෙරුණු අතර අදට හරියටම අවුරුදු 224 කට පෙර 1793 ජනවාරි 21 දින ඔහුට ගිලටීනයට හිස තබන්නට විය. එම වසරේ ඔක්තෝබර් 16 දින මාරි ඇන්ටනොයිට් බිසවටද ඒ ඉරණමම අත් විය.

දහසයවන ලුවී රජුට හා මාරි ඇන්ටනොයිට් බිසවට මරණ දඬුවම හිමි කරදුන් ප්‍රංශ විප්ලවය විසින් පසුකාලීන ලෝක දේශපාලනය වෙත කළ බලපෑම ඉතා විශාලය. 1789දී එළිදැක්වුණු මිනිස් හා පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය අද ජනප්‍රිය මාතෘකාවක් වී ඇති මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බිහි කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය. එමෙන්ම, ප්‍රංශ විප්ලවයෙන් පසුව ගත වුනු කාලය තුළ රාජාණ්ඩු ක්‍රමයට විකල්ප ලෙස ලිබරල්, ජාතිකවාදී, සමාජවාදී ආදී විවිධ අදහස් වේගයෙන් වර්ධනය විය.

යුරෝපයේ හා යුරෝපයෙන් පිටත රාජාණ්ඩු විස්ථාපනය කරමින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් ජනරජ බිහිවෙද්දී, 1917 දී සිදු වූ රුසියන් විප්ලවය ලෝක දේශපාලනය නැවතත් වෙනස් කළේය. සමාජවාදී රුසියාවේ හා සෝවියට් දේශයේ පළමු නායකයා වූ ව්ලදිමීර් ලෙනින් විසින් මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදී මිශ්‍ර ආර්ථිකයක් සමඟ තනි පක්ෂයක පාලනයට නතු වූ, පසුව ලෙනින්වාදය ලෙස හඳුනාගැනුණු, දේශපාලන ක්‍රමයක් හඳුන්වා දුන්නේය.

අදට හරියටම වසර 93 කට පෙර 1924 ජනවාරි 21 දින ලෙනින් මිය ගියේය. ලෙනින්ගෙන් පසුව බලයට පැමිණි ජෝශප් ස්ටාලින් සෝවියට් ආර්ථිකය මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් ජාතික සමාජවාදයක් කරා යොමු විය. ස්ටාලින් යටතේ මෙන්ම ඉන් පසුවත් විවිධ වෙනස්කම් වලට බඳුන් වුනු එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය අවසානයේදී බිඳ වැටුණේය.

දහසයවන ලුවී රජුට මරණ දණ්ඩනය හිමි වුනු හා ලෙනින් මියගිය ජනවාරි 21 දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ අදට හරියටම වසර 156 කට පෙර 1861දී එවකට මිසිසිපි ප්‍රාන්තය නියෝජනය කළ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු වූ ජෙෆර්සන් ඩේවිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. තවත් සති හතරකට පසුව, 1861 පෙබරවාරි 18 දින ජෙෆර්සන් ඩේවිස් ඇමරිකා සහසන්ධීය රාජ්‍යයන්හි (Confederate States of America) පළමු (හා එකම) ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඇමරිකානු සිවිල් යුද්ධය ඇමරිකා එක්සත් රාජ්‍යයන්ට (ජනපදයට) ජයග්‍රහණය හිමි කරදෙමින් අවසන් වූ බැවින් ජෙෆර්සන් ඩේවිස්ගේ ඉල්ලා අස්වීමට ලෝක ඉතිහාසයේ හිමි වී ඇත්තේ අඩු වැදගත් කමකි.

ඊයේ, 2017 ජනවාරි 20, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් රාජ්‍යයන්හි 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වැඩි දෙනෙකු (විශේෂයෙන්ම ඇමරිකාවෙන් පිටත) අපේක්ෂා කළ එකක් නොවේ. කෙසේ වුවද, විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති, ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහණ විජේමුණිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන ස්ථිරවම කියන්නට පුළුවන්කම තිබුණේය. මීට පෙර, මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ ජනාධිපති වන බවද ඔහු හරියටම කියා තිබේ.


විජිත රෝහණ විජේමුණි විසින් කියා ඇති තවත් අනාවැකියක් වන්නේ (ශනි මාරුව සිදුවන) 2017 ජනවාරි 26 දිනට පෙර අනිවාර්යයයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනයට ලක් වන්නට ඉඩ ඇති බවයි. මේ මාරකයෙන් ගැලවීම සඳහා ලංකාවේ ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කර, මී හරකුන් 19 දෙනෙකු නිදහස් කළ යුතු බවත් එවැනි දෙයක් නොකළහොත් මේ මරණය කිසිදු ජගතෙකුට වැළැක්විය නොහැකි බවත් ඔහු පවසා තිබුණේය.

ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීම අඩුම වශයෙන් 50%ක ඉඩකඩක් තිබුණු දෙයකි. ඒ නිසා, කිසිදු පදනමක් නැතිව වුවද ඔහුගේ ජයග්‍රහණය ගැන නිවැරදි අනාවැකියක් කීමට විශාල ඉඩකඩක් තිබුණේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන තිබුණේ මීට වඩා අඩු තක්සේරුවකි. බොහෝ ජනමත සමීක්ෂණ වලින් හිලරි ක්ලින්ටන්ට ට්‍රම්ප්ට වඩා වැඩි කැමැත්තක් ඇති බව පෙන්වූයේය. ඇත්තටම හිලරි ක්ලින්ටන් ලැබූ ජනප්‍රිය ඡන්ද ප්‍රතිශතය සැලකූ විට මේ සමීක්ෂණ වැරදි නැත. කෙසේ වුවද, මාධ්‍ය මඟින් අවධාරණය නොකෙරුණද හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරන බව පෙන්වූ ජනමත සමීක්ෂණ වැඩි ප්‍රමාණයක්ද ට්‍රම්ප් ජයග්‍රහණය කරන්නට 20-40%ක ඉඩක් ඇති බව පෙන්වුවේය. ඒ අනුව, ට්‍රම්ප් ජයගන්නා බවට අහඹු ලෙස කියන අනාවැකියක් හරියන්නට වුවද අඩුම වශයෙන් 20%ක පමණවත් ඉඩක් තිබුණේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ උපන් වයස 65ක් වන පිරිමියෙකුගේ ඉතිරි වී ඇති අපේක්ෂිත ආයුකාලය වසර 15කි. එනම්, එවැන්නෙකු වසර 15ක් ඇතුළත මියයාමට 50%ක පමණ ඉඩක් තිබේ. එමෙන්ම වසර 5ක් ඇතුළත මිය යාමට ඇති ඉඩකඩ 12.4%ක් පමණ වන අතර වසරක් තුළ මියයාමට ඇති ඉඩකඩ 2.6%ක් පමණ වේ. කෙසේ වුවද, 2.6%ක ඉඩකඩක් යනු රුපියල් 30ක් ගෙවා මහජන සම්පත ලොතරැයියක් මිල දී ගන්නා අයෙකුට රුපියල් 60ක ත්‍යාගයක් හිමි වන්නට ඇති ඉඩකඩට වඩා දෙගුණයකටත් වඩා වැඩි ඉඩකඩකි. අහඹු ලෙස කරන මෙවැනි ප්‍රකාශයක් හරියන්නට 1/40ක පමණ ඉඩක් තිබේ.

රාජ්‍ය නායකයෙකු ඝාතනය වන්නට ඇති ඉඩකඩ සාමාන්‍ය පුද්ගලයෙකු මිය යාමට ඇති ඉඩකඩට වඩා බොහෝ විශාලය. විවිධ සාධක ඇසුරින් තර්කානුකූලව කරුණු පෙළගස්වමින් කිසියම් රාජ්‍ය නායකයෙකු ඝාතනය වීමට ඇති ඉඩකඩ ගැන අදහස් පළ කරන්නට යමෙකුට පුළුවන්කම තිබේ.

නිදහසින් පසු ලංකාවේ සිටි රාජ්‍ය නායකයින් දොළොස්දෙනෙකුගෙන් දෙදෙනෙකුම ඝාතනය වී ඇති අතර අඩු වශයෙන් තවත් රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ දැරුනේය. අසල්වැසි ඉන්දියාවේද රාජ්‍ය නායකයින් දෙදෙනෙකු පසුගිය කාලයේ ඝාතනය වී ඇති අතර එයින් අයෙකු වන රජීව් ගාන්ධිව ඝාතනය කිරීම සඳහා උත්සාහ දැරූ අය අතර රෝහණ විජේමුණිද සිටී. ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ 44 දෙනෙකුගෙන් සිවු දෙනෙකු ඝාතනය වී ඇති අතර තවත් 16 දෙනෙකු පමණ ඝාතනය කිරීමට උත්සාහ කරනු ලැබ තිබේ. වෙනත් බොහෝ රටවල වාර්තාවන්ද මීට වඩා විශාල ලෙස වෙනස් නැත. ඒ නිසා රාජ්‍ය නායකයෙකු සිය ධුරය උසුලන කාලය තුළ ඝාතනය වන්නට ඉඩ ඇතැයි යමෙකු පළකරන අහඹු අනාවැකියක් හරියන්නට 10-20%ක පමණ ඉඩක් ඇතැයි සිතීම එතරම් නරක ඇස්තමේන්තුවක් නොවේ.


ඉතා වයස්ගත නොවූ නිරෝගී පුද්ගලයෙකු කිසියම් නිශ්චිත දිනයක මිය යාමට ඇති සම්භාවිතාව එතරම් විශාල නැත. වයස අවුරුදු 65ක පිරිමියෙකු සඳහා මේ සම්භාවිතාව 1/10000 පමණ වේ. මෙය මහජන සම්පත ලොතරැයියකින් රුපියල් 10,000ක ත්‍යාගයක් හිමිවීමට ඇති තරමේ ඉඩකඩකි. ඒ නිසා යමෙකු මිය යන දිනය ලෙස හරියටම නිශ්චිත දිනයක් අහඹු ලෙස ප්‍රකාශ කළද එය නිවැරදි වීමට මහජන සම්පතක් ගන්නා අයෙකුට රුපියල් 10,000ක මුදලක් ඇදෙන තරමේ ඉඩකඩක් තිබේ. ලොතරැයි මිල වැඩි කරන්නට පෙර මහජන සම්පත මඟින් සතියකට 500 ඉක්මවා රුපියල් දහදාහේ තෑගි ලබා දුන්නේය.

අනාවැකිය මඟින් ආවරණය වන දින ගණන වැඩිවෙද්දී මෙවැනි අහඹු ප්‍රකාශයක් හරියන්නට ඇති ඉඩකඩ විශාල වේ. ජනවාරි 26 ආසන්න වෙද්දී තමන් විසින් මුල් ප්‍රකාශය කරන විටද දැන සිටි, එහෙත් සැලකිල්ලට ගනු නොලැබූ සංසිද්ධියක් (ශනි ග්‍රහයාගේ ආපසු හැරීම හෙවත් පෘථිවියේ සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන පරිදි ඈතින් පිහිටි නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂ ශනිගේ චලිතයේ දිශානතිය වෙනස් වීම) ඉදිරියට දමමින්, මේ අනාවැකිකරුවා විසින් සිය අනාවැකියේ කාලපරාසය දිගු කරගෙන තිබේ. ජ්‍යෝතිෂ අනාවැකි වල සත්‍යාසත්‍යභාවය පැත්තකින් තිබ්බත් මෙයින් පෙනෙන්නේ මේ පුද්ගලයා විසින් අඩු වශයෙන් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කිරීම හෝ කර නැති බවයි.

ලංකාවේ ලොතරැයි වලට මෙන්ම අනාවැකි කියන්නන්ටත් විශාල ඉල්ලුමක් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මාරකයෙන් බේරීම සඳහා මීහරක් දහනව දෙනෙකු සොයාගන්නට වැඩිපුර මහන්සි වන්නට අවශ්‍ය නොවනු ඇත.

Thursday, January 19, 2017

'අපි වෙනුවෙන් අපි' ණය...

ආණ්ඩු විසින් කරන ප්‍රධානම කාර්යයක් වන්නේ රටේ ජනතාව වෙනුවෙන් ණය වීමයි. පසුගිය සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුයියල් බිලියන 9,402.0ක් විය. මේ අනුව 2016 ජූනි මාසයේ වූ රුපියල් බිලියන 9,062.2ක ණය මල්ල තවත් රුපියල් බිලියන 339.8කින් වැඩි වී තිබේ. මේ වැඩි වූ ණය වලට මුළුමනින්ම දායක ඇත්තේ විදේශ ණය වැඩි වීමයි. ලංකාවේ විදේශ ණය ප්‍රමාණය සැප්තැම්බර් අවසානය වන විට රුපියල් 4,069.7 දක්වා වැඩි වී ඇති අතර දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,332.3කි. 

මෙසේ අපි වෙනුවෙන් ආණ්ඩුව ණය වන අතර අපි වෙනුවෙන් අපිද ණය වෙමු.

ලංකාවේ බොහෝ දෙනෙකුට කඩේ යාම නුපුරුදු දෙයක් නොවේ. ඉකොනොමැට්ටා මුලින්ම කඩේ යන්නට පටන් ගත්තේ ඉකොනොමැට්ටාට වයස අවුරුදු හතක් පමණ වූ කාලයේදීය. ඉකොනොමැට්ටාව මුලින්ම කඩේ යැව්වේ ඉකොනොමැට්ටාගේ අප්පච්චීය. අප්පච්චිලාට කොහොමටත් කඩේයාම පුරුදු කිරීමට මනා ප්‍රවීණතාවයක් තිබේ. ලාබාල වයසකදී කඩේ යන්නට අවස්ථාවක් ලැබුණු විට එය වදයක් ලෙස නොසිතේ. ඒ වෙනුවට හිතෙන්නේ තමන්ට ලොකු පොරක් වෙන්නට අනගි අවස්ථාවක් ලැබුණු බවයි.

ඒ කාලයේ ඉකොනොමැට්ටා කඩේ ගොස් ගෙන ආ මොනවා හෝ දේ බොහෝ විට ගෙන ආවේ අත්පිට මුදලට නොවේ. පොතටය. රැගෙන එන්නට නියම කරනු ලැබූ දේ මුදලාලිගෙන් ඉල්ලා සිටීමෙන් පසුව "පොතට දාන්න" කියා කියන එක මුදලාලිට සල්ලි දී ඉතුරු සල්ලි ආපසු රැගෙන එනවාට වඩා පහසුය. මේ ෂොපින් බෑග් යුගයට පෙර පත්තර පිටු ගොටු වල දුඹුරු සීනි පැක් කර හණ නූලකින් ඔතා ගැට ගසා දුන් යුගයයි.

අනූව දශකය පමණ දක්වා පැවති මේ පොත් ක්‍රමය වැඩිපුර හැදෑරීම් සිදු කෙරී නැති පුළුල් ක්ෂුද්‍ර ණය (මයික්‍රෝ ක්‍රෙඩිට්) ක්‍රමයකි. ස්වභාවිකවම පරිණාමය වී පැමිණි ක්‍රමයකි. අනූව දශකයේ පමණ සිට ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ව්‍යාප්ත වෙද්දී මුදලාලිලාගේ පොත් වෙනුවට ක්‍රමයෙන් ක්‍රෙඩිට් කාඩ් ආදේශ විය. මේ ක්‍රෙඩිට් කාඩ් වලින් කරන්නේද හරියටම මුදලාලිගේ පොතෙන් කළ කාර්යයයි.

පසුගිය සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ වාණිජ බැංකු විසින් නිකුත් කරනු ලැබ සක්‍රියව පැවති ක්‍රෙඩිට් කාඩ්පත් ගණන 1,276,698කි. ලංකාවේ නිවාස ඒකක ගණන මේ ප්‍රමාණය මෙන් සිවු ගුණයක් පමණ වීමත්, ක්‍රෙඩිට් කාඩ්පත් හිමි බොහෝ දෙනෙකු සතුව කාඩ්පත් එකකට වඩා තිබීමත් සැලකූ විට පෙනීයන්නේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය තවමත් බහුලව සිදුවන්නේ මධ්‍යම පාන්තික, නිශ්චිත මාසික වැටුපක් ගන්නා, නාගරික හෝ අර්ධ නාගරික සමාජ ස්ථරය තුළ බවයි. බැංකුවට පෙන්විය හැකි නිශ්චිත මාසික ආදායමක් නොමැති අයෙකුට ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීම අපහසු වීම මෙය පැහැදිලි කරයි.

ඉහත ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නන් විසින් සැප්තැම්බර් අවසානය වෙද්දී ලබාගෙන තිබුණු මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 68,556 කි. මේ අනුව, ක්‍රෙඩිට් කාඩ් ගිණුමක සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් 53,698 කි. මේ 'අපි වෙනුවෙන් අපි' ගන්නා ණයයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...