Tuesday, March 15, 2016
නැති පැය හා නැති වූ පැය
පසුගිය ඉරිදා පාන්දර උතුරු ඇමරිකාවේ බොහොමයක් පෙදෙස් වල නැති පැයක් ගෙවී ගියේය. ඒ පාන්දර දෙකේ සිට 2:59:59 දක්වා වන පැයයි. මේ පැය නැති පැයක් වූ බැවින් ඒ කාලය තුල වූ පාන්දර 2.50 වැනි වෙලාවක උතුරු ඇමරිකාවේ පෙදෙස් කිහිපයක හැර වෙනත් තැන් වල කිසියම් දෙයක් සිදුවීයැයි කවුරු හෝ කිවුවොත් එය බොරුවක් බව හොයාගන්නට ෂර්ලොක් හෝම්ස්ම අවශ්‍ය නැත.
ඇමරිකාවේ, කැනඩාවේ සහ බටහිර ඉන්දීය දූපත් රාජ්‍ය ගණනාවක දිවා ආලෝක සුරැකුම් කාලය මේ ඉරිදා ඇරඹුණු නිසා එදින පෙරවරු 1:59:59 පසු වූ පසු එළැඹුණේ දෙකේ කණිසම නොවේ. තුනේ කණිසමයි. මේ නිසා, උතුරු ඇමරිකාවේදී පසුගිය ඉරිදා දිනය පැය විසි තුනකින් ගෙවී ගියේය. කෙසේවුවද, මෙසේ නැති වූ පැය මාස ගණනකින් පසු එළැඹෙන නොවැම්බර් මස හය වනදා නැවත ආපසු ලැබෙනු ඇත. ඒ අනුව, එදින ගෙවී යනු ඇත්තේ පැය විසිපහකට පසුවය. තව දෙසතියකින් යුරෝපයේද, සමකයෙන් ඈත්ව පිහිටි වෙනත් රටවල වෙනත් දිනවලද මීට සමාන දෙයක් සිදුවනු ඇත.
වසර විස්සකට පෙර ලංකාවේත් මෙවැනි නැති පැයක් ගෙවී ගියේය. ඒ, ඒ දිනවල ලංකාව මුහුණ පෑ විදුලි අර්බුදයට එය පිළියමක්යැයි එවකට පැවති රජය විශ්වාස කළ බැවිනි. මේ නැති වූ පැයෙන් බාගයක් මාස කිහිපයකට පසු ආපසු ලැබුණත් ඉතිරි බාගය ආපසු ලබා ගැනීමට අවුරුදු දහයක් බලා ඉන්නට විය. ඊට පෙර දෙවන ලෝක යුද සමයේදීද මෙවැන්නක් ලංකාවේ සිදුවී තිබේ.
ඉරිදා පාන්දර හරියටම දෙකට උතුරු ඇමරිකාවේ බොහෝ පෙදෙස් වල මේ අයුරින් ඔරලෝසු පැයක් ඉදිරියට කරකවනු ලැබුවත් එය සිදුවුණේ එකම මොහොතක නොවේ. ඒ, උතුරු ඇමරිකාවේ පාන්දර දෙක කියන සංකල්පයද තැනින් තැනට වෙනස් වන දෙයක් බැවිනි. ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ කැලිෆෝර්නියා වැනි ප්‍රාන්ත වල මේ නැති පැය එළැඹුණේ ලංකාවේ වේලාවෙන් හවස 3.30ටය. නැගෙනහිර වෙරළබද ප්‍රාන්ත වල මෙය සිදුවුනේ ලංකාවේ වේලාවෙන් ඊට පැය තුනකට පෙර පස්වරු 12.30ය.
ඔය කාලය ඇතුළත උතුරු ඇමරිකාවේ තැන් තැන් වල නැති පැය ගෙවෙද්දී ඔරලෝසු වල එවැනි වෙනසක් සිදු නොවී ලංකාවේ පැය නමයක් නැති වී ගොස් තිබේ. ඒ, ඇත්තටම මේ පැය නවය නොගෙවුනු නිසා නොවේ. විදුලි එළිය නැතුව ඉටිපන්දම් හඳුන්කූරු වලින් පමණක් සැනහී ගෙවන පැයක් බොහෝ දෙනෙකුට නැති වූ පැයක් වන බැවිනි. ලංකාවේ ජාතික විදුලිබල සැපයුම් පද්ධතිය බිඳ වැටී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට පැය නවයක කාලයක් ගත වී තිබේ.
එහෙම වුනේ ඇයි?
දියුණු රටක ජාතික විදුලිබල පද්ධතියේ මේ ආකාරයේ බිඳ වැටීමක් සිදු වන්නේ ඉතා කලාතුරකිනි. එහෙත්, බොහෝ දියුණු වන රටවල මෙය නිතර සිදුවන දෙයකි. ලංකාවේ මෙවැනි බිඳ වැටීම් නිතරම සිදු නොවන නිසා එවැන්නක් සිදුවූ විට විශාල කතාබහක් ඇතිවේ. කෙසේවුවද, රටක ජාතික විදුලිබල පද්ධතිය සාමාන්‍යයෙන් මෙසේ බිඳ නොවැටී පවත්වාගැනීමට හැකිවීමෙන් අදහස් වන්නේ එය සරල කටයුත්තක් බව නොවේ.
ඉතා සීමිත මට්ටමකින් හැර (බැටරි වැනි) විදුලිබල ශක්තිය යනු ගබඩා කර තබාගත හැකි දෙයක් නොවේ. විදුලිබලය පරිභෝජනය කරන අවස්ථාවේදීම නිපදවීමද කළ යුතුය. මූලික වශයෙන් මෙය ඉල්ලුම් සැපයුම් කළමනාකරණය පිලිබඳ ප්රශ්නයකි. ඒ ඒ මොහොතේ ඇති ඉල්ලුමට සපයන සැපයුම අඩුත් නැතිව, වැඩිත් නැතුව ක්ෂණිකව නිපදවිය යුතුය.
රටේ විදුලිබල ඉල්ලුම දවස පුරා ඉතා සුමට ලෙස වෙනස් වන්නකි. ඔබ ඔබේ නිවසේ විදුලි බල්බයක් දල්වන විට රටේ සමස්ථ විදුලිබල ඉල්ලුම වොට් 60කින් හෝ වෙනත් ගණනකින් වැඩි වේ. රූපවාහිනිය ක්‍රියාත්මක කළ විටද එයම සිදුවේ. විදුලි බල්බය ක්‍රියා විරහිත කළ විට ඉල්ලුම අඩුවේ. ඉල්ලුම මේ අයුරින් අඩු වැඩි වන විට සැපයුමද ඒ අනුව වෙනස් කළ යුතුය.
කෙසේවුවද, රටේ විදුලි බල සැපයුම වොට් 60ක් වැනි සුළු ගණනකින් වැඩි කළ නොහැකිය. සැපයුම වැඩි කළ හැක්කේ ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස රන්දෙණිගල ජලවිදුලි බලාගාරයේ මෙගාවොට් 62ක ධාරිතාවක් ඇති විදුලි ජනක යන්ත්‍ර දෙකක් තිබේ. මේ දෙකෙන් එකක් ක්‍රියාත්මක කළ විට මෙගාවොට් 62ක සැපයුමක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වේ. දෙකම ක්‍රියාත්මක කළහොත් මෙගාවොට් 124ක් එකතු වේ. මේ අනුව, එක් විදුලිජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ විට වොට් 60ක විදුලි බල්බ මිලියනයක් දැල්වීමට අවශ්‍ය විදුලි බලය ජනනය වේ.
පෙර කී පරිදි, ලංකාවේ විදුලිබල ඉල්ලුම මොහොතින් මොහොත වෙනස් වේ. වැඩිම ඉල්ලුමක් ඇත්තේ හවස 7-8 අතරය. ඒ කාලය තුළ ඉල්ලුම මෙගාවොට් 2,000 පමණ දක්වා ඉහල යයි. ඉල්ලුම අඩුම පාන්දර 2-3 අතරය. ඒ කාලය තුල ඉල්ලුම මෙගාවොට් 900 පමණ දක්වා අඩුවේ. [ලංකාවේ විදුලිබල පද්ධතිය හා අදාළ නිවැරදිම දත්ත මා සතුව නැත. මෙහිදී මා ගණන් යොදාගන්නේ මා කියන කරුණු පැහැදිලි කිරීම සඳහාය. කෙසේවුවද, මේ ගණන් නිවැරදි ගණන් වලට ආසන්න බව මගේ අදහසයි.] මේ අතර සෑම මොහොතකම ඉල්ලුම අඩු වැඩි වේ. එමෙන්ම, සතියේ දින අනුවද, නිවාඩු දින, ක්‍රිකට් තරඟ, මැතිවරණ කාල, සිංහල අවුරුදු, වෙසක් හා නත්තල් වැනි උත්සව කාල ආදිය අනුවද වෙනස් වේ. මෙසේ අඩු වැඩි වන විට සැලසුම් සහගතව විදුලිජනක යන්ත්‍ර ක්‍රියාත්මක හා අක්‍රිය කිරීම මඟින් මේ ඉල්ලුම හරියටම ගැලපිය යුතුය. උදාහරණයක් ලෙස මෙගාවොට් 10කින් සැපයුම වැඩිකිරීමට මෙගාවොට් 70ක ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර ක්‍රියාත්මකව තිබූ මෙගාවොට් 60ක ජනක යන්ත්‍රයක් අක්‍රිය කිරීම වැනි දෙයක් කරන්නට සිදුවිය හැකිය.
ලංකාවේ ලබාදෙන විදුලියේ සංඛ්‍යාතය 50කි. වෝල්ටීයතාව 230කි. රට තුල භාවිතා කරන ගෘහ විදුලි උපකරණ මෙන්ම කර්මාන්ත සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණද සාදා ඇත්තේ මේ සංඛ්‍යාතයට, වෝල්ටීයතාවයට සහ තවත් සංකීර්ණ තාක්ෂණික තත්ත්වයන් සමඟ ගලපමිනි. ඒ නිසා, සපයන විදුලිය සම්මත තත්ත්වයේ නොපැවතුනොත් මේ උපකරණ වලට හානි වීමේ සිට කාර්යක්ෂමතාව අඩුවීම දක්වා අවාසි සිදුවිය හැකිය. පවතින ඉල්ලුමට වඩා සැපයුම වැඩි වූ විට ජනක යන්ත්‍ර ත්වරණය වීම නිසා (සාමාන්‍ය වේගයට වැඩියෙන් කැරකීම නිසා) විදුලියේ සංඛ්‍යාතය 50 ඉක්මවයි. ඉල්ලුම වැඩි වුවිට සංඛ්‍යාතය අඩුවේ. මා දන්නා තරමින් විදුලිබල මණ්ඩලය උත්සාහ කරන්නේ මේ සංඛ්‍යාතය 49.5-50.5 අතර පවත්වා ගැනීමටය. මෙවැනි පරාසයක් ඇත්තේ සැපයුම හරියටම පාලනය කළ නොහැකි නිසාය.
විදුලිබල පද්ධතියක් විශාල වූ තරමට එය ස්ථාවරව තබාගැනීම වඩා පහසු වේ. එවිට, ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ විට එක් වර ඇතිවන බලපෑම විශාල ප්‍රදේශයක බෙදීයයි. ඇමරිකාව වැනි ඉතා විශාල ලෙස විදුලිය පරිභෝජනය කරන ලංකාව මෙන් සිය ගුණයකටත් වඩා විශාල රටකද (ඇලස්කාව හා හවායි හැර) ජාතික විදුලි බල පද්ධතිය පළමුව තනි පද්ධති තුනක් ලෙස වෙන වෙනමත්, දෙවනුව එක් පද්ධතියක් ලෙසත් සම්බන්ධ කර ඇත්තේ ඒ නිසාය. ලංකාව වැනි කුඩා රටක විදුලි ජනක යන්ත්‍ර සියල්ල සම්බන්ධ කළද එය සාපේක්ෂව කුඩා පද්ධතියක් බැවින් එහි සමතුලිතතාව රැකගැනීම පහසු කටයුත්තක් නොවේ.
මෙය කරන්නේ එක් තැනකිනි. එහි සේවය කරන ඉංජිනේරුවරු පැය විසි හතර පුරාම එහි රැඳී සිටිමින් අවශ්‍ය පරිදි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට හා අක්‍රිය කිරීමට දිවයින පුරා පිහිටි විදුලි බලාගාරවල සිටින ඉංජිනේරුවන්ට උපදෙස් දෙති. ඉල්ලුම සැපයුම කළමනාකරණය කරන්නේ ඒ අයුරිනි.
කෙසේවුවද, මේ ඉල්ලුම් සැපයුම් කළමනාකරණය මීට වඩා බොහෝ සංකීර්ණ කටයුත්තකි. ඉල්ලුම සහ සැපයුම පවතින්නේ එකම ප්‍රදේශයේ නොවන නිසා විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී බලශක්ති හානියක් සිදුවේ. ලංකාවේ මෙසේ සිදුවන තාක්ෂනික හානිය මුළු නිෂ්පාදනයෙන් 10% පමණ වේ. කොළඹට විදුලිය සපයන විට හානිය අඩුය. යාපනයට සපයන විට ඉතා වැඩිය. එමෙන්ම, මෙසේ සම්ප්‍රේෂණය කිරීමේදී වෝල්ටීයතාව අඩුවේ. ජව සාධකය (power factor) වැනි වෙනත් තත්ත්වයන්ද පැවතිය යුතු තත්ත්වයෙන් පිට පනී. ඒ නිසා, රටේ කොතන හෝ ඇති ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර විදුලිය සැපයිය නොහැකිය. රට පුරා වෝල්ටීයතාවය හා ජව සාධකය අවශ්‍ය මට්ටමේ තබා ගනිමින් එය කළ යුතුය. මෙය පහසු නැත.
ඉහත ආකාරයේ තාක්ෂනික කරුණු වලට අමතරව ආර්ථික සාධක ගැනද සැලකිලිමත් වීමට සිදුවේ. ජල විදුලිය ඒකකයක් නිපදවීමට යන වියදම රුපියල් 1-1.50 පමණ වුවත් ගල් අඟුරු වලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 9-10 පමණත් ඩීසල් වලින් නිපදවීමට රුපියල් 15 පමණත් (මා සිතන පරිදි දැනට ඇති අඩු ඉන්ධන මිල ගණන් යටතේ) වැය වේ. එමෙන්ම, විදුලිය නිපදවීම සඳහා ජලය ප්‍රයෝජනයට ගැනීමේදී කෘෂිකාර්මික අවශ්‍යතා ගැනද සැලකිලිමත් වීමට සිදුවේ. මහවැලි සංකීර්ණය වැනි සංකීර්ණ වල ඉහල රඳවා ඇති ජලය ක්‍රමයෙන් පහළට ගෙන එමින් කිහිප වරක්ම ප්‍රයෝජනයට ගන්නා බැවින් ඒ රටා ගැනද සැලකිලිමත් විය යුතුය. මේ සියල්ල කිරීම තබා එහි සංකීර්ණත්වය ඒ පිලිබඳ දැනුමක් නැති දේශපාලනඥකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට පහදා දීම වුවද පහසු කටයුත්තක් නොවේ.
කිසියම් හේතුවක් නිසා සමස්ත විදුලිබල ධාරිතාව සමස්ත විදුලිබල ඉල්ලුමට වඩා අඩුවූ විට විදුලිය කප්පාදු කිරීමට සිදුවේ. මෙහිදී කරන්නේ රටේ කිසියම් ප්‍රදේශයක විදුලිය කපා හැරීම මඟින් සමස්ත ඉල්ලුම අඩුකර සැපයුම සමඟ ගැලපීමයි. මුළු රටේම එක් වර විදුලිය නොකපන්නේ එසේ කිරීමෙන් අවශ්‍ය කටයුත්ත සිදු නොවන නිසාය.
කිසියම් හේතුවකින් පද්ධති බිඳවැටීමක් සිදුවූ විට ක්ෂණිකවම ඉල්ලුම සැපයුම වෙනස් වේ. මෙවැනි අවස්ථාවකදී සිදුවන හානිය අවම කරගැනීම සඳහා වහාම ජනක යන්ත්‍ර එකක් හෝ කිහිපයක් ස්වයංක්‍රීයව අක්‍රිය වන පරිදි ජාතික විදුලිබල පද්ධතියක් සැලසුම් කෙරේ. බිඳවැටීමේ බලපෑම ඉතා විශාලනම් සමස්ත පද්ධතියම ක්ෂණිකව අක්‍රිය විය හැකිය. 2003 අගෝස්තුවේදී සිදු වූ මෙවැනි පද්ධති බිඳ වැටීමකින් ඊසානදිග ඇමරිකාවේ හා කැනඩාවේ ප්‍රාන්ත ගණනාවක වැසියන්ට පැය ගණනක් අඳුරේ සිටීමට සිදුවිය. 2011 දී ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රාන්ත ගණනාවකද මෙවැන්නක් සිදුවිය. 2012 ජූලි මාසයේ ඉන්දියාවේ සිදුවූ මෙවැනි පද්ධති බිඳ වැටීමකින් මුළු උතුරු ඉන්දියාවටම අඳුරේ සිටින්නට සිදුවිය. ලෝක ජනගහණයෙන් 9%ක් අඳුරේ තැබූ මේ පද්ධති බිඳ වැටීම මෙතෙක් ලොව සිදුවූ විශාලම පද්ධති බිඳ වැටීමයි.
ලංකාවේ පද්ධති බිඳ වැටීමට මුල් වූ කරුණ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න ගැන සැලකිලිමත් විය යුතුය. කෙසේවුවද, එක් තැනෙක සිදුවූ බිඳ වැටීමක් නිසා රටේම විදුලිය නැතිවීම අසාමාන්‍ය තත්ත්වයක්නම් නොවේ. මෙසේ වූ විට, ජනක යන්ත්‍ර සියල්ලම එක් වර ක්‍රියාත්මක කළ නොහැකිය. පද්ධතියේ සමතුලිතතාව පවත්වාගනිමින් එකින් එක ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා යම් කාලයක් ගතවන නමුත් පැය නවයක් වැනි විශාල කාලයක් ගතවීමනම් තේරුම් ගැනීමට අපහසුය.
(Image: http://www.ndtv.com/world-news/sri-lanka-suffers-worst-blackout-in-20-years-1286782)
Labels:
කාලය,
තාක්ෂනය,
බලශක්තිය,
භෞතික විද්‍යාව
Monday, March 14, 2016
ශුභ පයි දිනයක්!
ග්‍රීක් භාෂාව ග්‍රීසියේ ප්‍රධාන භාෂාවයි. එය සයිප්‍රසයේත් (තුර්කි භාෂාව සමඟ) ප්‍රධාන භාෂාවකි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජර්මනිය හා කැනඩාව ප්‍රධාන රටවල් ගණනාවක විසිරී සිටින ග්‍රීක ඩයස්පෝරාවට අයත් සැලකිය යුතු පිරිසක්ද ග්‍රීක් බස වහරති. කෙසේ වුවද, ග්‍රීක් බස වහරන සමස්ත ලෝක ජනගහණය සිංහල වහරන ජනගහණයට වඩා ප්‍රමාණයෙන් අඩුය.
ග්‍රීක් භාෂාව සහශ්‍ර ගණනක් තුළ ඉතා අඩුවෙන්ම වෙනස් වූ බසකි. සියවස් විසි හතරකට පෙර මහා පිලිප් රජ කරන කාලයේ ග්‍රීසියේ ජීවත් වූ අයෙකු අද එහි වසන්නෙකු හමුවුවහොත් ඔවුන්ට අපහසුවකින් තොරව අදහස් හුවමාරු කරගත හැකි වනු ඇතැයි සැලකේ. ග්‍රීසියේ පැරණි ලේඛණ කියවීමට නූතන ග්රීකයෙකුට අමුතු වෙහෙසක් දැරීමට සිදු නොවේ. එමෙන්ම, මේ වසර සියවස් විසිහතර තුළ ග්රීකයින්ගේ නම්ද වෙනස් වී නැත.
ලෝකයේ වෙනත් බස් වහරන බොහෝ දෙනෙකුට ග්‍රීක් භාෂාව ග්‍රීක් වගේ වුනත් මේ ගොඩ දෙනෙකුට තමන් ග්‍රීක් අකුරක්වත් නොදන්නා බව කිව නොහැකිය. විද්‍යාව හා ගණිතය වැනි විෂයයන් හදාරන බොහෝ දෙනෙකුට ග්‍රීක් හෝඩිය ග්‍රීක්ම නැත.
ග්‍රීකයින් නොවන වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මාද මුලින්ම උගත් ග්‍රීක් අකුර පයි (π) අකුරයි. එය මුලින්ම උගත්තේ ප්‍රාථමික පංතියකදී වෘත්තයක පරිධියේ දිග හා වර්ග ඵලය සොයන සමීකරණ ඉගෙනගන්නා අවස්ථාවේදීය. පයියාගල කියන්නට ලැජ්ජාවට පයාගල කියා කියන්නාක් මෙන් මේ ග්‍රීක අකුරද බොහෝ විට අපි ෆයි යනුවෙන් උච්ඡාරණය කළෙමු. ග්‍රීක පයි අකුර යෙදෙන්නේ සිංහල පයන්නෙන් එන ශබ්දයට ඉතා ආසන්න ශබ්දයක් හැඟවීමටය. නූතන ග්‍රීක් භාෂාවේ 'ෆ' ශබ්දය හඟවන 'ඵයි' (Φ) නම් වූ තවත් අකුරක් ග්‍රීක හෝඩියේ තිබේ. ෆයි කියා උච්ඡාරණය කළහොත් ග්රීකයෙකු එය තේරුම් ගන්නේ මේ ඵයි අකුර ලෙසින්ය.
ගණිතයේදී ග්‍රීක පයි අකුර යොදාගන්නේ එක්තරා වැදගත් නියතයක් හඳුනාගැනීමටය. මේ නියතය නිශ්චිත අගයක් ඇති අපරිමේය සංඛ්‍යාවකි. මේ අංකයේ නිවැරදිම අගය ආසන්න වශයෙන් මිස දශකමය සංඛ්‍යාවක් ලෙස හරියටම ලියා පෙන්විය නොහැකිය. දශකමය සංඛ්‍යාවක් ලෙස හරියටම ලියා පෙන්වීම අපහසු වෙනත් බොහෝ සංඛ්‍යා තිබේ. එහෙත් මේ බොහොමයක් සංඛ්‍යා 1/3 හා 1/7 වැනි පුනරාවර්තී දශම සංඛ්යාවන්ය. උදාහරණයක් ලෙස 1/3=0.33333333......වන අතර 1/7= 0.142857142857142857...වේ. මෙවැනි පුනරාවර්තී දශම සංඛ්‍යාවක පුනරාවර්තනය වන සංඛ්‍යාව හෝ සංඛ්‍යා කිහිපය උඩින් ඉරක් ඇඳීමෙන් එවැනි සංඛ්‍යාවක් ලියා දැක්වීමට පුළුවන.
කෙසේ වුවද, පයි අකුරෙන් නියෝජනය වන අපරිමේය දශම සංඛ්‍යාව එවැනි පුනරාවර්තී දශම සංඛ්‍යාවක් නොවේ. අනුභූතී උත්තර සංඛ්‍යාවක්ද (Transcendental number) වන මේ සංඛ්‍යාවේ අගය දශමස්ථාන ට්‍රිලියනයක් ඉක්මවා ගණනය කර ඇති අතර ඒ දක්වාම එම සංඛ්‍යාව කිසිදු නිශ්චිත රටාවක් නොපෙන්වයි. (ට්‍රිලියනය ගැනනම් දැන් ලංකාවේ කවුරුත් දන්නවා ඇතැයි සිතමි.) මේ නියතය හරියටම පැවසීම මේ තරම් අමාරු වුවත් ප්‍රායෝගික කටයුතු සඳහා එය බාධාවක් නොවේ. දශමස්ථාන හතරකට එහි අගය 3.1416 වේ.
අද ක්‍රිස්තු වර්ෂයෙන් 2016 මාර්තු 14 වෙනිදාය. සිංහල ක්‍රමයට අප මේ දිනය ලියන්නේ 2016-03-14 හෝ 16-03-14 ලෙසිනි. තර්කානුකූලව වඩා නිවැරදි ක්‍රමය ලෙස සැලකිය හැකි අවුරුද්ද මුලට දමන මෙම ක්‍රමය දැන් ලංකාවේ භාවිතා වන්නේ අඩුවෙනි. එහෙත්, චීනය, ජපානය හා කොරියාව වැනි අග්නිදිග ආසියාතික රටවලත්, ඉරානයේත් තවමත් දිනය ලියන්නේ මේ ආකාරයෙනි.
ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල මේ වන විට ප්‍රධාන වශයෙන්ම දිනය ලියන්නේ ඉංග්‍රීසි (එංගලන්ත) ක්රමයටය. ඒ අනුව දිනය මුලට දමා අද දිනය 14-03-16 ලෙස ලියැවේ. කෙසේ වුවද, ඇමරිකාවේ දිනය ලියන්නේ ඉහත ක්‍රම දෙකටම වඩා වෙනස් ලෙස මාසය මුලට දමමිනි. ඒ අනුව අද දිනය ලියන්නේ 03-14-16 ලෙසිනි. ඇමරිකාව පමණක් භාවිතා කරන මේ ක්‍රමය කිසිදු තර්කානුකූල පදනමක් නොමැති ක්‍රමයක් ලෙස පෙනේ. මේ ක්‍රමය භාවිතා වීමට පාදක වූ හේතුවක්ද දැනගන්නට නැත.
ඇමරිකානු ක්‍රමයට මාර්තු 14 ලියන්නේ 3-14 ලෙස වීමත්, ගණිතයේදී යොදාගන්නා පයි සංකේතයේ දශමස්ථාන දෙකකට ආසන්න අගය 3.14 වීමත් නිසා මාර්තු 14 ඇමරිකාවේ ජාතික පයි දිනය ලෙස සැලකේ. දිනය නම් කිරීමේ අරමුණ ගණිතය පිලිබඳ දැනුම පුළුල් කිරීමයි.
අද දිනය ඇමරිකානු ක්‍රමයට 3-14-16 නිසා ඇත්තටම මේ දිනය දශමස්ථාන හතරකටම නිවැරදිය. කෙසේවුවද, පසුගිය වසරේ මාර්තු 14 දින උදේ 9:26:53ට මේ අගය අංක (digits) දහයක් දක්වාම ගැලපුනේය.
ශුභ පයි දිනයක්!
(Image:http://logcabincooking.com/i-made-you-a-winter-squash-birthday-pi-albert-einstein/pi-day-6-2/)
Labels:
ඇමරිකාව,
ගණිතය,
ග්‍රීසිය,
නවමු පුවත්
Sunday, March 13, 2016
සතර පෙර නිමිති නොදැකීම
පිළිකාවක් හේතුවෙන් සිදු වූ මිතුරෙකුගේ මරණයක් ගැන මම දෙසතියකට පෙර ලිපියක සඳහනක් කළෙමි. වත්පොත හරහා මේ පුවත දැනගන්නා මොහොතේ ඒ මරණය හා අදාළ තවත් කරුණු දෙකක් දැනගන්නට ලැබුණේය.
-ඔහු මේ පුවත දැනගන්නා විට පිළිකාව සුව කළ නොහැකි මට්ටමට වර්ධනය වී තිබී ඇත.
-මේ ගැන වෙනත් අයට කියනවාට ඔහුගේ වැඩි කැමැත්තක් තිබී නැත.
පසුගිය වසර දෙක තුළ ඇමරිකාවේ ජීවත් වූ මගේ වෙනත් මිතුරු මිතුරියන් තිදෙනෙකුට පිළිකා සෑදී මේ වන විට සුවය ලබා සිටිති. එයින්, දෙදෙනෙකු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ය. මගේ පදිංචිය වෙනස්වීම් නිසා ඔවුන් මේ රෝගයට පාත්‍ර වන විට මා මේ මිතුරා හා මිතුරිය දැන හඳුනාගෙන වැඩි කාලයක් නැත. අනෙක් මිතුරිය පිලිපීන සම්භවයක් ඇති තැනැත්තියකි. දශකයක පමණ කාලයක් තිස්සේ මා දන්නා ඇය සමඟ මා රටවල් කිහිපයකදී අවස්ථා කිහිපයක්ම සමීපව කටයුතු කර ඇත.
බටහිර රටවල පිළිකාවකින් සුවය ලැබීමේ ඉඩකඩ (survival rate) දියුණු වන රටවල එම ඉඩකඩට වඩා සැලකිය යුතු ලෙස විශාලය. මෙයට එක් හේතුවක් වන්නේ මුල් අදියරේදීම පිළිකා වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීමයි. එසේ වුවද, බටහිර රටකදී පිලිකාවක් වැළඳීමට ඇති ඉඩකඩ කිහිප ගුණයකින් වැඩි නිසා පිළිකාවකින් මරණයට පත්වීමේ ඉඩකඩද වැඩිවී තිබීම වෙනම කතා කළ යුතු කරුණකි.
අකල් මරණයකට පත් වූ, මුලින්ම සඳහන් කළ මිතුරා මෙන්ම පෙර කී අනෙක් මිතුරා හා මිතුරියද තමන්ගේ රෝග තත්ත්වය ගැන වෙනත් අය දැනගන්නවාට එතරම් කැමැත්තකින් සිට නැති බව පෙනේ. මෙයින් වඩා වයසින් අඩු මිතුරිය ඇගේ පිළිකාව හා සටන් කර ජයගත් බව මා වත්පොත හරහා දැනගත්තේ ඇය විසින්ම අවසානයේ ඒ බව වත්පොත හරහා දැනුම් දීමෙන් පසුවය. ඒ අතරවාරයේදී මට ඇයව කිහිප වරක්ම පෞද්ගලිකව හමුවන්නට ඇත.
දෙවන මිතුරා රෝහල්ගතව සිටින බව මා 'වටෙන් ගොඩෙන්' දැනගත්තත්, ඇතැම් විට ඒ වන විට ඔහු සමඟ මගේ ලොකු සම්බන්ධයක් නොතිබූ බැවින්, වෙනත් මිතුරන් ඒ ගැන මා සමඟ කතාබහ නොකළේය. තමන්ගේ සමීපතම නෑදෑයන් ආදීන්ගෙන් වෙන්ව සිටින අයෙකුට මෙවැනි අවස්ථාවකදී වෙනත් අයෙකුගේ උදවුවක වටිනාකම බොහෝ වැඩිය. මගේ රැකියාවේ ස්වභාවය අනුව මට නිශ්චිත සේවා මුරයක් තුළ සේවය කිරීමට බොහෝ විට අවශ්‍ය නොවන නිසා දිනක් හෝ කිහිපයක් රෝහලේ නැවතී ඔහුට අත් උදවු කිරීමේ හැකියාවක් මට තිබුණේය. එහෙත්, තමන්ගේ රෝගය ගැන 'හැමෝම දැනගන්නවට' ඔහු අකමැති වූ බැවින් ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු නොකර උදවුවක් කිරීමේ හැකියාවක් මට තිබුණේ නැත.
කෙසේ වුවද, පිලිපීන මිතුරියගේ ප්‍රවේශය වූයේ මීට වඩා වෙනස් එකකි. මුලින් පිලිපීන මුදල් අමාත්‍යාංශයේත්, පසුව ලෝක බැංකුවේත් සේවය කළ ඇය මේ සිදුවීම වන විට ඇමරිකානු සරසවියක ආචාර්ය උපාධිය හදාරමින් සිටියාය. පිළිකාව වැළඳෙන විටත් අවිවාහකව සිටි ඇය වෘත්තීය කටයුතු වලට දක්වන සැලකිල්ලම සාමාන්‍යයෙන් රූ සපුව ගැනද දැක්වූ තැනැත්තියකි. පිළිකාවෙන් බේරීමට ඇයට ඇගේ පියවුරක් ඉවත් කිරීමට සිදු විය. විකිරණ ප්‍රතිකාර නිසා ඈ මහත් සැලකිල්ලෙන් නඩත්තු කළ දිගු වරල සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය. මා මේ සියළු දේ දැනගත්තේ ඈ ඇගේ පිළිකාව මුලින්ම හඳුනාගත් තැන් පටන් සියළු අදියරයන් වෙනම බ්ලොග් එකක යාවත්කාලීන කළ බැවිනි.
මේවා පුද්ගලික තේරීම්ය. එහෙත්, මගේ සාමාන්‍ය නිරීක්ෂණය වන්නේ බොහෝ ලාංකිකයින් පිළිකාවක් වැනි රෝගයක් වැළඳුනු විට ඒ බව රහසිගතව තබාගැනීමට උත්සාහ කරන බවයි. වෙනත් රටකට සංක්‍රමණය වී වසර ගණනක් ජීවත් වුවද මෙවැනි පුරුදු ඇතැම් විට වෙනස් නොවේ. වෙනත් අයෙකුගෙන් උදවු උපකාරයක් ලබා ගැනීමට ඇති හැකියාවද නොසලකමින් මෙසේ හැසිරෙන්නේ ඇයිද යන්න විමසිය යුතු කරුණකි.
බටහිර රටකට සාපේක්ෂව ලංකාවේදී වෙනත් අයෙකුගේ රෝගයක් වැනි තත්ත්වයක් ගැන පුද්ගලයින් වැඩිපුර සැලකිලිමත් වේ. මේ නිසා 'වෙන කෙනෙකුට කරදර කළ යුතු නැත' යන මානසිකත්වය මේ තත්ත්වයට මුල් වෙනවා විය හැකිය. එහෙත්, මට සිතෙන පරිදි මෙයට වෙනත් හේතුද තිබේ.
කොයිතරම් මරණයේ අනියත බව ගැන කතා කළත් ලංකාවේ බොහෝ දෙනා මරණයට වගේම මාරාන්තිකයැයි සාමාන්‍යයෙන් සිතන රෝග වලටත් ඇත්තේ පුදුම බයකි. සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, ලංකාවේ කාන්තාවන්ගේ එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ දැනුම් මට්ටම මම පසුගිය ලිපියකින් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළෙමි. මේ වන විට, එච්අයිවී වෛරසය ශරීරගත වීම දශක දෙකකට පෙර මෙන් මාරාන්තික තත්ත්වයක් නොවේ. අධි සක්‍රිය ප්‍රති-වෛරස් ප්‍රතිකාරකය (Highly active antiretroviral therapy - HAART) වැනි සම්බන්ධීකරණය කළ ඖෂධ පංතියක් දිගටම ගැනීමෙන් එච්අයිවී වෛරසය ශරීරගත වූ බොහෝ දෙනෙකු දැන් ඒඩ්ස් තත්ත්වයට එළඹෙන්නේ නැත. ඒ අනුව, එච්අයිවී වෛරසය ශරීරගත වීම කොලෙස්ටරෝල් හෝ සීනි වැඩිවීම වැනි රෝගකාරක තත්ත්වයක් බවට දැන් පත් වී ඇති අතර බටහිර රටවල එච්අයිවී ආසාදිත පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලය සාමාන්‍ය පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලයටම ආසන්නය.
තත්ත්වය එසේ වුවද, එච්අයිවී ආසාදිත පුද්ගලයෙකු සමඟ සාමාන්‍ය සමාජ කටයුත්තක යෙදීමට සූදානම් පිරිස කොතරම් සීමිත විය හැකිද යන්න පසුගිය දින වල ලංකාවේ සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි විය. ඒ සිදුවීම් වසර හයකට පෙර සිදුකළ සමීක්ෂණයේ දත්ත තහවුරු කරයි.
එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ දැනුම් මට්ටම ගැන ඉහත ආකාරයේ සමීක්ෂණයක් සිදුකර තිබුණත් පිලිකා පිලිබඳ දැනුම හා ආකල්ප ගැන මා දන්නා තරමින් මෙවැනි සමීක්ෂණයක් සිදු කර නොමැත. එහෙත්, මගේ පෞද්ගලික අදහසනම් පිළිකා පිලිබඳ දැනුම හා ආකල්ප වුවද එච්අයිවී/ඒඩ්ස් පිලිබඳ තත්ත්වයෙන් විශාල ලෙස වෙනස් නොවන බවයි.
ලංකාවේ යමෙකුට පිළිකාවක් වැළඳුණු විට ඒ බව වෙනත් අය දැනගන්නවාට කැමති අය සිටිනවානම් ඒ බොහෝ අඩුවෙනි. එච්අයිවී/ඒඩ්ස් හැදුණු විටක මෙන්ම මෙහිදීද වන්නේ "ඔය හංගගෙන හිටියට පුෂ්පගෙ හස්බන්ඩ්ට පිළිකාවක්ලු!" ආකාරයේ කටකතා පැතිරීමයි. එමෙන්ම, පිළිකා වාතයෙන්, ආහාර වලින් වැනි ක්‍රම වලින් බෝ නොවුණත්, පිළිකා රෝගියෙකුගේ නිවසට නිතර යන්න එන්නට හෝ එවැන්නෙකු සමඟ කෑම කන්නට බොහෝ ලාංකිකයින් පැකිලෙන බව මගේ උපකල්පනයයි. තමාගේ රෝගය ගැන ප්‍රචාරය වනවාට බොහෝ දෙනෙකු අකැමති වන්නේ මේ හේතුවද නිසාය.
අපි සතර පෙර නිමිති ගැන ඕනෑ තරම් අසා ඇත්තෙමු. සතර පෙර නිමිති ඕනෑ තරම් අපට පෙනෙන්නට තිබේ. එහෙත්, බොහෝවිට අපි සතර පෙර නිමිති නොදකිමු.
(Image: adarawanthaingearamaya.blogspot.com/)
Labels:
මරණය,
සමාජ චර්යා,
සෞඛ්‍යය
Thursday, March 10, 2016
බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යාලේඛණ
ගිණුම්කරණ සම්මතයන්ගේ ඇති අවිනිශ්චිතතාවන් උපයෝගී කරගෙන සැබෑ ලෝකයේ යම් නිශ්චිත ආකාරයකින් සිදුවන දෙයක් වෙනස් ආකාර කිහිපයකින් වාර්තා කිරීමේ යම් හැකියාවක් පවතී. පහත උදාහරණය සලකමු.
සිරිපාල කිසියම් රැකියාවක් කර මසකට රුපියල් 20,000ක ආදායමක් ලබයි. ඔහුගේ මාසික වියදම රුපියල් 30,000කි. මේ දෙක අතර ඇති අඩුව පුරවා ගැනීමට සිරිපාලට මාස්පතා වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවේ. ආදායම වැඩියෙන් පෙන්විය හැකිනම් ණය ගැනීම වඩා පහසුය.
ඉහත දත්ත අනුව සිරිපාලගේ අයවැය හිඟය රුපියල් 10,000කි. ඔහුගේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස එය 50%කි.
සිරිපාල ජීවත් වන්නේ දෙමවුපියන්ගෙන් ලැබුණු නිවසේය. මේ නිවස කුලියට දුන්නොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ලබාගත හැකිය. එමෙන්ම, ඔහු එවැනි නිවෙසක් කුලියට ගත්තොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ගෙවන්නට වනු ඇත. ඒ නිසා, සිරිපාලගේ පරිභෝජන වියදම රුපියල් 30,000ක් කීම නිවැරදි නැත. අයිතිය තමන්ටම වුවත් නිවසේ සිටීම මඟින් සිදුකරන පරිභෝජනයද සැලකුවහොත්, ඔහු ඇත්තටම රුපියල් 40,000ක් වටිනා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරයි. එමෙන්ම, ඔහුට තමාගේ දේපල වලින් (නිවසෙන්) කුලිය ලෙස මසකට තවත් රුපියල් 10,000ක ආදායමක්ද ලැබේ. ඒ අනුව, සිරිපාලගේ මුළු ආදායම රුපියල් 30,000කි.
මෙහිදී ඇත්තටම සිදුවන්නේ සිරිපාල විසින් ඔහුට අයිති දේපල එහි වෙළඳපොළ වටිනාකමට ඔහුටම කුලියට දුන් සේ සැලකීමයි. එසේ සැලකීම හෝ නොසැලකීම මත ඔහුගේ සැබෑ ජීවන තත්ත්වයේ කිසිදු වෙනසක් වුනේ නැත. එහෙත්, ඔහුගේ "අයවැය හිඟය" දැන් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 50% සිට 33.3% දක්වා අඩු වී තිබේ.
සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමේදී තාක්ෂණිකව වැරදි නොවන මෙවැනි 'විජ්ජා' කිරීමට පුළුවන. ඒ විජ්ජා සංකීර්ණ වූ විට බොහෝ දෙනෙකුට යම් අවුලක් ඇඟට දැනුණත් සිදුවුනේ කුමක්ද කියා හරියටම මීටර් වෙන්නේ නැත. මෙවැනි සමහර සංඛ්‍යාලේඛණ විජ්ජානම් අතේ මාට්ටු වෙන ඒවාය. එහෙත්, ඒවා වුවත් කෙනෙකුට පෙනෙන්නේ විමසිලිමත් වුවහොත් පමණි.
පැරා විසින් රාවය පුවත්පතෙන් උපුටාගෙන පළ කර ඇති මේ සංඛ්‍යාලේඛණ අනුව, 2016 සඳහා ඇස්තමේන්තු කර ඇති අමාත්‍යංශ සියල්ලේ මුළු වියදම රුපියල් බිලියන 1,661 සිට රුපියල් බිලියන 2,128 දක්වා 28%කින් වැඩි වී ඇත. රජයේ වියදම් ගැන කතා කරන විට බොහෝ දෙනා කතා කරන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැනය. අනෙක් කේෂ්ත්‍ර වලට සාපේක්ෂව අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා කෙරෙන වියදම් ගැන බොහෝ දෙනාගේ ඇත්තේ ධනාත්මක අදහසකි.
ඉහත සංඛ්‍යාලේඛණ අනුව, 2015 වසරට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන 45%කින්ද, සෞඛ්‍යය සඳහා වන ප්‍රතිපාදන 29%කින්ද ඉහළ දමා ඇති අතර සියළු අමාත්‍යාශ වල මුළු වියදමෙන් පිළිවෙලින් 16%ක් හා 11%ක් වෙන් කර ඇත්තේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙනි. මේ අනුව, 2016 වසර තුළ අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍ර වල සැලකිය යුතු දියුණුවක් ඇතිවෙනු ඇතැයි යමෙකුට අපේක්ෂා කළ හැකිය.
ඇත්තටම එහෙම වෙයිද?
මෙය තීරණය වන්නේ මේ වියදම් වැඩි කර ඇත්තේ කවර අනු අංශයන් යටතේද යන්න මතය. මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වන විටත් ඇති අයවැය ඇස්තමේන්තු සැලකිල්ලෙන් පරීක්ෂා කළහොත් පිළිතුර සොයාගැනීම අපහසු නැත.
අධ්‍යාපනය සඳහා රජය විසින් වැයකෙරෙන මුළු මුදල අමාත්‍යංශ කිහිපයක් අතර බෙදී යයි. මේ අතරින් විශාලම ප්‍රතිපාදන වැඩිවීම පෙනෙන්නට ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේය. එම අමාත්‍යාංශයට 2015දී වෙන් කළ රුපියල් මිලියන 62,134ක මුදල 2016දී රුපියල් මිලියන 185,975 දක්වා තෙගුණයකින් වැඩිකර තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමකි. අධ්‍යාපනය සඳහා වැඩිපුර වෙන්කළ ප්‍රතිපාදන වලින් වැඩි කොටසක් ඇත්තේ මෙතැනය.
කෙසේ වුවද, එක් එක් අනු අංශ පිරික්සීමේදී කොතැනකවත් එවැනි විශාල වැඩි වීමක් පෙනන්නට නැත. එසේනම්, මේ වැඩිවීම සිදුවුනේ කෙසේද?
2106 අයවැය ඇස්තමේන්තු වෙළුම 2 පිටුව 217 වෙත ගිය විට රහස හමු වේ.
http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol2.pdf
2016 ප්‍රතිපාදන වෙන් කිරීම් වල 2015දී නොතිබුණු අළුත් කැටගරියක් තිබේ. මේ කැටගරිය නම් කර ඇත්තේ "රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාමේ පිරිවැය- ඉඩම් හා ගොඩනැගිලි" යනුවෙනි. අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර ඇති රුපියල් මිලියන 185,976 ක මුදලින් රුපියල් මිලියන 121,976ක්ම ඇත්තේ ඇත්තේ මේ අළුත් කැටගරිය යටතේය. ඒ මුදල ඉවත් කළහොත් ඉතිරි වන්නේ රුපියල් මිලියන 64,626ක් පමණි. මේ මුදල 2015 ගණන වූ රුපියල් මිලියන 62,624ට වඩා වැඩි වන්නේ යාන්තමිනි.
එතකොට මොකක්ද මේ අළුත් කැටගරිය?
දිවයින පුරා පවත්වාගෙන යන රජයේ පාසැල් 10,121ක් සතුව සැලකිය යුතු ඉඩම් හා ගොඩනැගිලි ප්‍රමාණයක් තිබේ. මේ ඉඩම් හා ගොඩනැඟිලි වෙන කාට හෝ කුලියට දුන්නොත් රජයට විශාල මුදලක් උපයා ගන්නට පුළුවන. එසේ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ ඉඩම් හා ගොඩනැගිලි පාසැල් සඳහා ප්‍රයෝජනයට ගන්නා (හෝ නොගන්නා) නිසාය. එසේනම්, මෙය අධ්‍යාපනය සඳහා වැය කෙරෙන වියදමකි.
අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එකතු වූ ආකාරයෙන්ම මේ කැටගරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂයටද එකතු කර තිබේ. (2016 අයවැය ඇස්තමේන්තු වෙළුම 1 පිටුව 299 බලන්න.)
http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol1.pdf
සෞඛ්‍ය අමාත්‍යාශයේ පිරිවැයද 2015දී වූ රුපියල් මිලියන 148,184 සිට රුපියල් මිලියන 174,078 දක්වා වැඩි කර ඇත්තේ ඉහත කැටගරිය යටතේ රුපියල් මිලියන 17,878ක් එකතු කිරීමෙනි. එය ඉවත් කළ විට ඉතිරි වන්නේ සුළු වැඩි වීමක් පමණි.
රජයට ස්මාර්ට් විසඳුම් නැතැයි ඇතැම් අය කියති. එහෙත්, මේ තරම් සරල ස්මාර්ට් විසඳුමක්නම් මා දැක ඇති බවක් මතක නැත.
මා පාසැල් යන කාලයේ අපේ පාසලේ පැත්තකද දම් කැලයක් තිබුණේය. දැනටත් බොහෝ ග්‍රාමීය පාසැල් සතුව මෙවැනි ඉඩම් තිබෙනවා විය හැකිය. අධ්‍යාපනයට වැය කරන වියදම් තවත් මදිනම් දැන් කරන්නට ඇත්තේ මේ ඉඩකඩම් සඳහා අය කරන කුලිය වැඩි කර එය නොගෙන සිටීම පමණි.
මෙහිදී සිදුවී ඇත්තේ ගිණුම්කරණ සම්මත වෙනස්වීමක් නොවේ. හිතාමතාම සිදු කළ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි. එය ගිණුම්කරණ ක්‍රමවේදයේ සිදුවූ වෙනසක්නම් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වල වැය ශීර්ෂ වලට පමණක් බලපෑමට හේතුවක් නැත. වනජීවී, ආරක්ෂක වැනි අමාත්‍යාංශ යටතේද විශාල රජයේ දේපල ප්‍රමාණයක් තිබේ.
පැරා විසින් උපුටාගත් රාවය සංඛ්‍යාලේඛණ පිළියෙළ කළේයැයි මා සිතන අහිලන් කදිරගාමර්ටනම් මෙය අසු වී නැත. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රතිපාදන වැඩි කර තිබීම ඔහු විසින් බොහෝ තැන්වල අගය කර තිබීමෙන් එය පෙනේ. එහෙත්, මෙය පරීක්ෂාවෙන් බලන ඕනෑම කෙනෙකුට අතටම අහුවෙන ඉතාම ලාබ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි.
මෙසේ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ වලට 'නැති' අරමුදල් එකතු කිරීමටනම් රජයේ ආදායමට 'නැති' ඉපයීමක්ද එක් කළ යුතුය. රජයේ බදු නොවන ආදායම් 2015දී පැවති රුපියල් බිලියන 126 සිට රුපියල් බිලියන 378 දක්වා තෙගුණයකින් වැඩි වී ඇත්තේ මේ 'නැති ආදායම' එකතු කිරීම නිසාය. 2016 වසර සඳහා වූ ආදායම් ඇස්තමේන්තු වල ආදායම් කේතය 20.02.01.05 යටතේ "Notional Rent income from Land & Building" යනුවෙන් අළුතින් කැටගරියක් එකතු කර රුපියල් බිලියන 139 ක් (රුපියල් මිලියන 139,230ක්) රජයේ ආදායමට එකතු කර ඇති බව ඔබට බලා ගත හැකිය. මේ මුදල ඉහත අධ්‍යාපන හා සෞඛ්‍ය වැය ශීර්ෂ වලට එකතු කර ඇති අයිතම දෙකේ එකතුවට සමානය.
http://www.treasury.gov.lk/images/depts/fpd/docs/circulars/Revenue_Estimate_%202016.pdf
මේ ආකාරයට නැති ආදායම් පෙන්වීමට හැකි වුවද රජයට ඒ නැති ආදායම් වියදම් කළ නොහැකිය. එමෙන්ම, පළාත් සභා ආදායම් කියා ඇති කොටසද ඇත්තටම නැති ආදායමකි. පළාත් සභා වල වියදම කිහිප ගුණයකින් වැඩි නිසා මේ මුදල් ඇත්තටම මධ්‍යම රජයට ලැබෙන මුදල් නොවේ. රජයේ සැබෑ ආදායම් වන්නේ බදු ආදායම් පමණි. එමෙන්ම, අයවැය යෝජනා නැවත ආපසු හැරවීම නිසා ඒ යෝජනා හරහා මුලින් ලබාගැනීමට අපේක්ෂා කළ බදු ආදායමෙන්ද තුනෙන් එකක් පමණ ලැබීමේ ඉඩක් නැත. ඒ නිසා, රජයට ඉතිරිව ඇති විසඳුම් දෙක වනුයේ තවදුරටත් වක්‍ර බදු වැඩිකිරීම හෝ මුදල් අච්චු ගැසීම පමණි.
මේ ලිපිය අධ්‍යාපනයට හා සෞඛ්‍යට ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වැඩි නොකිරීම ගැන කරන විවේචනයක් නොවේ. පවතින වාතාවරණය යටතේ එය අසීරු දෙයක් විය හැකිය. වෙනත් අයගේ සංඛ්‍යාලේඛණ විජ්ජා ගැන කතාකරන අය ඊට වඩා බාල අතේ මාට්ටු වන විජ්ජා කරන බව පෙන්වා දීමක් පමණි. කරන හොර වැඩක් අහු නොවන ලෙස, වෘත්තීය ලෙස කළ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල නිලධාරීන් වුවද තරමක් දුරට අන්දන්නට බැරිකමක් නැත. එයින්, ඇතැම් විට වාසියක් ගන්නටත් පුළුවන. එහෙත්, මෙවැනි බාල විජ්ජාවන්නම් අතේ මාට්ටු වුවහොත් වෙන්නේ වස ලැජ්ජාවකි.
(Image: davidmcghee.wordpress.com)
Labels:
ආර්ථික විද්‍යාඥයෝ,
ගිණුම්කරණය,
සංඛ්‍යාලේඛණ
Wednesday, March 9, 2016
සංඛ්‍යාලේඛණ බොරුද?
ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මඟින් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණයක් 2003 දී හෝ ආසන්න වසරකදී සිදු කළේය. ඒ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධ මෙවැනි පුළුල් සමීක්ෂණ සිදු කිරීමේ භාවිතාවක් නොවූ බැවින් මෙය ඉතා අභියෝගාත්මක කටයුත්තක් විය. මේ කාණ්ඩයට වැටෙන සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ කරගෙන සිදු කළ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා මඟින් එකතු කරගත් තොරතුරු වල සාරාංශ වාර්තාවක් එළිදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මන්ත්රණ ශාලාවේ කොටසක පැවති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ වැඩමුළුවට හා ප්රවෘත්ති සාකච්ඡාවට මමද සහභාගී වූයෙමි.
මේ වැඩමුළුව අතරතුර එවකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ලංකාව භාරව සිටි ප්‍රධාන නිලධාරියා විසින් තමන් මේ සමීක්ෂණය සිදු කිරීමේදී මුහුණදුන් අභියෝග විස්තර කළේ මෙසේය.
"ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වල ලාභදායීත්වය පිරික්සන විට තියෙන ලොකුම බාධාව වන්නේ අපි ඔවුන්ගේ ගිණුම් වල තොරතුරු ලබාගත යුත්තේ කොහෙන්ද කියන එකයි. මේ ව්‍යවසායකයින් සාමාන්‍යයෙන් ගිණුම් කට්ටල් තුනක් පවත්වාගෙන යනවා. එකක් බැංකුවට පෙන්වීමට. ණය ලබා ගැනීම සඳහා තමන්ගේ බැංකුවට ඉදිරිපත් කරන කරන මේ ගිණුම් අනුව පාඩු ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."
"දෙවැනි කට්ටලය පවත්වාගෙන යන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වීමටයි. මේ ගිණුම් අනුව බැලුවොත් ලාභ ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."
"මේ දෙතැනින්ම පහසුවෙන් දත්ත එකතු කරගැනීමේ හැකියාව තියෙද්දී එසේ නොකර මේ ව්‍යවසායකයින්ව පෞද්ගලිකව හමුවී විස්තර ලබාගැනීමේ පිරිවැය අධික, කාලය ගතවෙන, දුෂ්කර කටයුත්තට අපි අත ගැහුවේ තමන්ගේ බිරිඳට පමණක් පෙන්වන, රහසිගතව පවත්වාගෙන යන තුන් වන ගිණුම් කට්ටලය හොයා ගන්නයි"
මේ ප්‍රකාශයේ වැරැද්දක් ඇත්නම් එසේ ඇතැයි මා සිතන්නේ ඔහු කී බිරිඳට පෙන්වන කතාවේ පමණි. කිසියම් ක්රමවේදයක අවිනිශ්චිතතා ඇති විට ඒ අවිනිශ්චිතතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිස්සු පෙළඹෙති.
ඉහත සිදුවීමෙන් වසර පහකට පසු, සති ගණනාවක් පුරා පැවති ජාත්‍යන්තර වැඩමුළුවකදී අප්‍රිකානු රටවල් ගණනාවක මුදල් අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණේය. එහිදී මා දැනගත්, මා විමතියට පත් කළ කරුණක් වූයේ බොහෝ අප්‍රිකානු රටවල ජාතික ගිණුම් හා අදාළවද මෙවැන්නක් සිදුවන බවයි. ඒ අනුව, එක් ගිණුම් කට්ටලයක් පිළියෙළ වන්නේ රටේ ජනතාවට හා මාධ්‍යයට පෙන්වීමටය. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි අඩු ආදායම් රටවලට ණය හා ආධාර ලබාදෙන ජාත්‍යන්තර ආයතන වලට පෙන්වීම සඳහාය. තුන්වැන්නක් ගැන එහිදී කතාබහක් සිදු නොවූවත්, ඇතැම් විට අභ්‍යන්තර තීරණ ගැනීමේදී එවැන්නක්ද ප්‍රයෝජනයට ගන්නවා විය හැකිය.
ඉහත කතාබහ විසින් මා විමතියට පත් කළේ ලංකාවේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හෝ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේතුව විසින් සංඛ්‍යාලේඛණ සකස් කිරීමේදී මෙවැන්නක් කිසිවිට නොකරන බැවිනි. තවමත්, මේ සංඛ්‍යාලේඛණ පිළියෙළ වන ක්‍රමවේදයේ විශාල ගැටළුකාරී තත්ත්වයන් නැත. එමෙන්ම, රටේ දේශපාලන අධිකාරියට මෙවැනි කටයුතු වලට අතපෙවීමට ඇත්තේ ඉතාම සීමිත, දුරස්ථ හා වක්‍ර හැකියාවක් පමණි.
කෙසේවුවද, ලංකාවේ ආර්ථිකය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළිබඳව බොහෝ දෙනා තුළ යම් අවිශ්වාසයන් පවතී. එයට ප්‍රධානම හේතුව පොතේ ඇති දේ අතේ නැති බව නිතර දකින්නට ලැබීමයි. අප්‍රිකානු රටවල සිදුවන බව මා කී දේවල් ලංකාවේ සිදුනොවුනද මහජනතාව තුළ සංඛ්‍යාලේඛණ පිළිබඳව ඇති අවිශ්වාසය පදනම් විරහිත එකක් නොවේ. එයට හේතුව සංඛ්‍යාලේඛණ බොරු නොවූවත් මහජනතාවට පෙනෙන්නට සංඛ්‍යාලේඛණ වලින් 'සෙල්ලම් දැමීමට' පුළුවන් කමක් තිබීමයි.
නිවැරදි සංඛ්‍යාලේඛණ වෙනස් ප්‍රවේශ වලින් ඉදිරිපත් කිරීම මෙසේ සෙල්ලම් දැමිය හැකි සරලම ක්‍රමයයි. "මේ වසරේ 6%ක ඉතා හොඳ ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවනු ඇත." කියූ විට සම්ප්‍රේෂණය කෙරෙන අදහස හා "මේ වසරේ ආර්ථික වර්ධනය 6% මට්ටමට කඩා වැටෙන ලකුණු දැන්මම පෙනෙන්නට තිබේ." කියන විට බොහෝ දෙනෙකුට දැනෙන දෙය එකම නොවේ. එහෙත්, විමසිල්ලෙන් කියවන්නේනම් මෙවැනි තොරතුරක ඇති මූලික කරුණ උකහා ගැනීම අමාරු දෙයක් නොවේ.
ඊළඟ මට්ටමේදී සිදුවන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට උදවු වන සංඛ්‍යාලේඛණ පමණක් තෝරා බේරා ඉදිරිපත් කිරීමයි. ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයත් වැඩි වන විට අයෙක් උද්ධමනය ගැන කතා නොකර ආර්ථික වර්ධනය ගැන ලොකුවට කතා කරද්දී තවත් අයෙක් එහි අනෙත් පැත්ත කරයි.
සංඛ්‍යාලේඛණ සමඟ බොහෝ විට දමන මෙවැනි සරල හා සිල්ලර සෙල්ලම් වලට අමතරව වඩා සංකීර්ණ තාක්ෂණික සෙල්ලම් දමන්නටත් පුළුවන. එසේ කළ විට සිදුවී ඇත්තේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට නොතේරේ.
2004-2014 කාලය තුළ ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට 7,390.9 දක්වා වැඩි වූ බව කෙනෙකු කියද්දී වෙනත් අයෙකුට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය මේ කාලය තුළ 102.3 සිට 75.5 දක්වා අඩු වූ බව කියන්නට පුළුවන. මේ දෙදෙනාම කියන්නේ බොරු නොවේ. එකම දෙය දෙයාකාරයකට කියූ විට වෙනස් අරුත් මතුවේ.
ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් අවස්ථාවල යම් සමාගමක් කිසියම් කාලයක් තුළ ලාභ ලැබූ හෝ පාඩු ලැබූ බව පෙන්වීමේ හැකියාවක් තිබේ. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නොවේ. කොයි රටේත් සිදුවන්නකි. එහෙත්, මෙසේ යම් සමාගමක ගිණුමක් 'තාක්ෂණිකව නිවැරදිව' ලාභ ලබන බව පෙන්වූ පමණින් ඒ සමාගමේ 'අතේ ඇති ලාභ' වෙනස් වන්නේ හෝ බංකොලොත් වීමට නියමිතනම් එය සිදු නොවන්නේ නැත. ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගිණුම්කරණ ලාභ හා ආර්ථික ලාභ නිවැරදිව වෙන්කොට හඳුනාගත යුත්තේ එබැවිනි.
කෙසේවුවද, ගණකාධිකාරී වරුන් පුහුණුවක් ලබා ඇත්තේ ඔවුන් දන්නා තාක්ෂනික උපක්‍රම උපයෝගී කරගෙන සිය සේවාදායකයාට අවශ්‍ය පරිදි ලාභය අඩුවෙන් හෝ වැඩියෙන් පෙන්වීමටය. දක්ෂ ගණකාධිකාරීවරයෙකුට මේ කාර්යය වඩා හොඳින් කළ හැකිය.
වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානියා හෝ මුදල් ඇමතිවරයා වූ විට එවැන්නෙකු තමන් ලබා ඇති පුහුණුව අනුව, තමන්ට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට උත්සාහ ගැනීම තේරුම් ගැනීමට අපහසු නැත.
(Image: http://38north.org/2012/07/rfrank071612/)
මේ වැඩමුළුව අතරතුර එවකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ලංකාව භාරව සිටි ප්‍රධාන නිලධාරියා විසින් තමන් මේ සමීක්ෂණය සිදු කිරීමේදී මුහුණදුන් අභියෝග විස්තර කළේ මෙසේය.
"ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වල ලාභදායීත්වය පිරික්සන විට තියෙන ලොකුම බාධාව වන්නේ අපි ඔවුන්ගේ ගිණුම් වල තොරතුරු ලබාගත යුත්තේ කොහෙන්ද කියන එකයි. මේ ව්‍යවසායකයින් සාමාන්‍යයෙන් ගිණුම් කට්ටල් තුනක් පවත්වාගෙන යනවා. එකක් බැංකුවට පෙන්වීමට. ණය ලබා ගැනීම සඳහා තමන්ගේ බැංකුවට ඉදිරිපත් කරන කරන මේ ගිණුම් අනුව පාඩු ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."
"දෙවැනි කට්ටලය පවත්වාගෙන යන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වීමටයි. මේ ගිණුම් අනුව බැලුවොත් ලාභ ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."
"මේ දෙතැනින්ම පහසුවෙන් දත්ත එකතු කරගැනීමේ හැකියාව තියෙද්දී එසේ නොකර මේ ව්‍යවසායකයින්ව පෞද්ගලිකව හමුවී විස්තර ලබාගැනීමේ පිරිවැය අධික, කාලය ගතවෙන, දුෂ්කර කටයුත්තට අපි අත ගැහුවේ තමන්ගේ බිරිඳට පමණක් පෙන්වන, රහසිගතව පවත්වාගෙන යන තුන් වන ගිණුම් කට්ටලය හොයා ගන්නයි"
මේ ප්‍රකාශයේ වැරැද්දක් ඇත්නම් එසේ ඇතැයි මා සිතන්නේ ඔහු කී බිරිඳට පෙන්වන කතාවේ පමණි. කිසියම් ක්රමවේදයක අවිනිශ්චිතතා ඇති විට ඒ අවිනිශ්චිතතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිස්සු පෙළඹෙති.
ඉහත සිදුවීමෙන් වසර පහකට පසු, සති ගණනාවක් පුරා පැවති ජාත්‍යන්තර වැඩමුළුවකදී අප්‍රිකානු රටවල් ගණනාවක මුදල් අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණේය. එහිදී මා දැනගත්, මා විමතියට පත් කළ කරුණක් වූයේ බොහෝ අප්‍රිකානු රටවල ජාතික ගිණුම් හා අදාළවද මෙවැන්නක් සිදුවන බවයි. ඒ අනුව, එක් ගිණුම් කට්ටලයක් පිළියෙළ වන්නේ රටේ ජනතාවට හා මාධ්‍යයට පෙන්වීමටය. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි අඩු ආදායම් රටවලට ණය හා ආධාර ලබාදෙන ජාත්‍යන්තර ආයතන වලට පෙන්වීම සඳහාය. තුන්වැන්නක් ගැන එහිදී කතාබහක් සිදු නොවූවත්, ඇතැම් විට අභ්‍යන්තර තීරණ ගැනීමේදී එවැන්නක්ද ප්‍රයෝජනයට ගන්නවා විය හැකිය.
ඉහත කතාබහ විසින් මා විමතියට පත් කළේ ලංකාවේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හෝ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේතුව විසින් සංඛ්‍යාලේඛණ සකස් කිරීමේදී මෙවැන්නක් කිසිවිට නොකරන බැවිනි. තවමත්, මේ සංඛ්‍යාලේඛණ පිළියෙළ වන ක්‍රමවේදයේ විශාල ගැටළුකාරී තත්ත්වයන් නැත. එමෙන්ම, රටේ දේශපාලන අධිකාරියට මෙවැනි කටයුතු වලට අතපෙවීමට ඇත්තේ ඉතාම සීමිත, දුරස්ථ හා වක්‍ර හැකියාවක් පමණි.
කෙසේවුවද, ලංකාවේ ආර්ථිකය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළිබඳව බොහෝ දෙනා තුළ යම් අවිශ්වාසයන් පවතී. එයට ප්‍රධානම හේතුව පොතේ ඇති දේ අතේ නැති බව නිතර දකින්නට ලැබීමයි. අප්‍රිකානු රටවල සිදුවන බව මා කී දේවල් ලංකාවේ සිදුනොවුනද මහජනතාව තුළ සංඛ්‍යාලේඛණ පිළිබඳව ඇති අවිශ්වාසය පදනම් විරහිත එකක් නොවේ. එයට හේතුව සංඛ්‍යාලේඛණ බොරු නොවූවත් මහජනතාවට පෙනෙන්නට සංඛ්‍යාලේඛණ වලින් 'සෙල්ලම් දැමීමට' පුළුවන් කමක් තිබීමයි.
නිවැරදි සංඛ්‍යාලේඛණ වෙනස් ප්‍රවේශ වලින් ඉදිරිපත් කිරීම මෙසේ සෙල්ලම් දැමිය හැකි සරලම ක්‍රමයයි. "මේ වසරේ 6%ක ඉතා හොඳ ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවනු ඇත." කියූ විට සම්ප්‍රේෂණය කෙරෙන අදහස හා "මේ වසරේ ආර්ථික වර්ධනය 6% මට්ටමට කඩා වැටෙන ලකුණු දැන්මම පෙනෙන්නට තිබේ." කියන විට බොහෝ දෙනෙකුට දැනෙන දෙය එකම නොවේ. එහෙත්, විමසිල්ලෙන් කියවන්නේනම් මෙවැනි තොරතුරක ඇති මූලික කරුණ උකහා ගැනීම අමාරු දෙයක් නොවේ.
ඊළඟ මට්ටමේදී සිදුවන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට උදවු වන සංඛ්‍යාලේඛණ පමණක් තෝරා බේරා ඉදිරිපත් කිරීමයි. ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයත් වැඩි වන විට අයෙක් උද්ධමනය ගැන කතා නොකර ආර්ථික වර්ධනය ගැන ලොකුවට කතා කරද්දී තවත් අයෙක් එහි අනෙත් පැත්ත කරයි.
සංඛ්‍යාලේඛණ සමඟ බොහෝ විට දමන මෙවැනි සරල හා සිල්ලර සෙල්ලම් වලට අමතරව වඩා සංකීර්ණ තාක්ෂණික සෙල්ලම් දමන්නටත් පුළුවන. එසේ කළ විට සිදුවී ඇත්තේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට නොතේරේ.
2004-2014 කාලය තුළ ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට 7,390.9 දක්වා වැඩි වූ බව කෙනෙකු කියද්දී වෙනත් අයෙකුට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය මේ කාලය තුළ 102.3 සිට 75.5 දක්වා අඩු වූ බව කියන්නට පුළුවන. මේ දෙදෙනාම කියන්නේ බොරු නොවේ. එකම දෙය දෙයාකාරයකට කියූ විට වෙනස් අරුත් මතුවේ.
ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් අවස්ථාවල යම් සමාගමක් කිසියම් කාලයක් තුළ ලාභ ලැබූ හෝ පාඩු ලැබූ බව පෙන්වීමේ හැකියාවක් තිබේ. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නොවේ. කොයි රටේත් සිදුවන්නකි. එහෙත්, මෙසේ යම් සමාගමක ගිණුමක් 'තාක්ෂණිකව නිවැරදිව' ලාභ ලබන බව පෙන්වූ පමණින් ඒ සමාගමේ 'අතේ ඇති ලාභ' වෙනස් වන්නේ හෝ බංකොලොත් වීමට නියමිතනම් එය සිදු නොවන්නේ නැත. ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගිණුම්කරණ ලාභ හා ආර්ථික ලාභ නිවැරදිව වෙන්කොට හඳුනාගත යුත්තේ එබැවිනි.
කෙසේවුවද, ගණකාධිකාරී වරුන් පුහුණුවක් ලබා ඇත්තේ ඔවුන් දන්නා තාක්ෂනික උපක්‍රම උපයෝගී කරගෙන සිය සේවාදායකයාට අවශ්‍ය පරිදි ලාභය අඩුවෙන් හෝ වැඩියෙන් පෙන්වීමටය. දක්ෂ ගණකාධිකාරීවරයෙකුට මේ කාර්යය වඩා හොඳින් කළ හැකිය.
වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානියා හෝ මුදල් ඇමතිවරයා වූ විට එවැන්නෙකු තමන් ලබා ඇති පුහුණුව අනුව, තමන්ට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට උත්සාහ ගැනීම තේරුම් ගැනීමට අපහසු නැත.
(Image: http://38north.org/2012/07/rfrank071612/)
Labels:
ආර්ථික විද්‍යාව,
ගිණුම්කරණය,
සංඛ්‍යාලේඛණ
Tuesday, March 8, 2016
ශාරුක්ගේ ඇමරිකා සංචාර
2012 අප්‍රේල් 12 දින ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පැවැත්වෙන සුවිශේෂී දේශනයකට සවන් දීමට එක් දහස් හත්සියයක පමණ පිරිසක් පැමිණ සිටියහ. දේශකයාට යේල් සරසවිය මඟින් වටිනා සම්මානයකින් පිදීමද මේ දේශනයට සමාන්තරව සිදුවිය. නිවේදිකාවගේ හඳුන්වාදීමෙන් පසු දේශනය ඇරඹිණි. අත්පොලසන් හඬ සිසාරා පැතිරේ.
"ස්තුතියි! ස්තුතියි!! අවසානයේදී කෙසේ හෝ මා පැමිණියා. දීර්ඝ ගුවන් ගමනක්...ගුවන් තොටුපලේ මාව රඳවා ගත්තේ පැය එකහමාරක් පමණයි."
තමන් පැය කිහිපයකට පෙර මුහුණදුන් අපහසුතාවය විහිළුවකට ගනිමින් මෙසේ දේශනය අරඹන්නේ සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ය.
"සමහර වෙලාවට මම ටිකක් අහංකාර වැඩියි වගේ මට හිතුනහම මම කරන්නේ ඇමරිකාවට එන එක. ඇමරිකාවට ගොඩ බැහැපු ගමන් ආගමන විගමන නිලධාරීන් මගෙ රැස් බස්සවල මම තරුවක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක් කියන එක මට මතක් කරල දෙනව."
ඔහු මේ කියන්නේ නිවු යෝර්ක්හි වෙස්ට්චෙස්ටර් ගුවන් තොටුපලට පෞද්ගලික ගුවන් යානයකින් ඉන්දියාවේ සිට පැමිණ ගොඩ බෑ පසු සිදුවූ අකරතැබ්බය ගැනය. අම්බානි පවුලට අයත් මේ පෞද්ගලික ගුවන් යානයේ පැමිණි මුකේෂ් අම්බානිගේ බිරිඳ නීතා අම්බානි ඇතුළු අනෙක් මගීන්ට පහසුවෙන් ගුවන් තොටුපළෙන් පිටවීමට ලැබුණත් ශාරුක් ඛාන්ට ඒ අවසරය ලැබුණේ නැත. ගුවන් තොටුපොළ බලධාරීන් විසින් රඳවා ගැනුණු ඔහුට රටට ඇතුළු වීමට ලැබුණේ විනාඩි 75ක ප්‍රශ්න කිරීම් වලට මුහුණ දීමෙන් අනතුරුවය. මේ හේතුවෙන් කලින් වේලා නියම කර තිබුණු පුවත්පත් සාකච්ඡාවකට මෙන්ම ඉහත දේශනයටද නියමිත වේලාවට සහභාගී වීමට ශාරුක්ට නොහැකි විය. මේ ශාරුක් මෙවැනි අකරතැබ්බයකට මුහුණ දුන් මුල් අවස්ථාව නොවේ. 2009 අගෝස්තු 14 දින නෙවාර්ක්හි ලිබර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීද ඔහුව මේ අයුරින්ම රඳවාගෙන විනාඩි 66ක් තිස්සේ ප්‍රශ්න කරනු ලැබ තිබුණේය.
ඉන්දියාවට ශාරුක් ඛාන් කියන්නේ තවත් සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. ටජ්මහල වැනි ඉන්දියානු සංකේතයකි. ශාරුක් ඛාන්ව ඇමරිකාවේදී මෙසේ පාච්චල් වීම ඉන්දියානුවන්ගේ බොක්කටම වදින කේස් එකක් බව කියන්නත් දෙයක් නැත. ඔවුන් සිතා ඉන්නේ ශාරුක් ඛාන්ව නොහඳුනන අය ලෝකයේ කොහේවත් සිටිය නොහැකි බවයි. හරිනම් මේ ආගමන විගමන නිලධාරීන් කළ යුත්තේ තමන්ගේ ලේන්සු වලින් ශාරුක් ඛාන්ගේ දාඩිය පිසදමා ඒවා සිහිවටන ලෙස තබා ගැනීමය. එහෙත්, සිදු වුණේ වෙන දෙයකි. ඒ අනුව, ඇමරිකාවට එරෙහි ඉන්දියානු විරෝධතා මතු වීමට ගතවුණේ පැය ගණනකි. අන්තිමේදී, මෙය ඉන්දියාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වී ඇමරිකාවට ඉන්දියාවෙන් සමාව ගැනීමට සිදුවිය.
කෙසේවුවද, මේ සිද්ධියෙන් අනතුරුව එයට සම්බන්ධ වූ ආගමන විගමන නිලධාරීන්ට රුපවාහිනී නාලිකා පිරිවරා පැමිණි මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට, රැකියා අහිමි කර ගැනීමට හෝ අඩු වශයෙන් විනය පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවූයේ නැත. ඒ, ඔවුන් කළේ ඔවුන් විසින් පිළිපැදිය යුතු සාමාන්‍ය ක්රියාදාමයේ කොටසක් වූ බැවිනි.
***
බොහෝ දෙනෙක් බොහෝ තැන් වල කතා කර ඇති දේවල් ගැන නැවත නැවත තව දුරටත් කතා කිරීම එතරම් ප්‍රියජනක හෝ ඵලදායී කටයුත්තක් නොවූවත් ඒ බොහෝ දෙනෙකුට නොපෙනුණු පැති ඇත්නම් එවැනි පැති වෙතද අවධානය යොමු කිරීමේ වැදගත්කමක් තිබේ.
දරුවෙකුට පාසැලක් ලබා දීමේ කටයුත්තට අවසානයේදී රටේ ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය. මීටත් වඩා සුළු ප්‍රශ්න ලොකු ප්‍රශ්න බවට පත් කර අවසානයේ රටේ ජනාධිපතිවරයා විසින් විසඳූ ඉතිහාසය අවසන් වී වැඩි කලක් නැති නිසා මෙහි අමුත්තක් එක් වර නොපෙනේ. එහෙත්, වැදගත් කරුණ වන්නේ එවැනි දේ තවමත් සිදුවීමයි.
රාජාණ්ඩුවක බලයේ ප්රභවය රටේ රජුය. රටේ මහජනතාව කළ යුත්තේ හැකිතාක් හොඳින් රජුගේ කැමැත්ත ඉටු කිරීමයි. එවැනි ක්‍රමයක් පවතින විට යම්කිසි ප්‍රශ්නයක් මතුවූ විට අවසන් තීරණය රජු විසින්ම ගත යුතු වීම තේරුම් ගත හැකිය.
ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක රටේ බලයේ ප්රභවය ජනතාවයි. එවැනි ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ සියළු දෙනාටම පිළිගත හැකි රාමුවක් යටතේ සෑම පුද්ගලයෙක් විසින්ම තම තමන්ට අයත් කාර්යය නිසි සේ කිරීම මතය. ඒ නිදහස රැකියාවක් කරන සෑම පුද්ගලයෙකුටම තිබේනම් සහ එය අනිසි ලෙස නොයෙදවේනම්, අවශ්‍ය තීරණ අවශ්‍ය මට්ටමේදී ගන්නවා මිස ඉහළ මට්ටමකට යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ කලාතුරකිනි. මෙහිදී, කිසියම් රැකියාවක් කරන අයෙකු තමා සතු යම් බලයක් අනිසි ලෙස යොදවනවාද යන්න තීරණය කළ හැක්කේ එවැන්නෙකුගේ කාර්යභාරය විධිමත් ලෙස අර්ථ දක්වා ඇත්නම් පමණි.
ඇතැම් විට, ප්‍රායෝගික තත්ත්වයන් මත මෙසේ නිශ්චිත ලෙස අර්ථ දැක්වීමක් කිරීම අපහසු විය හැකිය. එවිට, අදාළ පුද්ගලයාට අවස්ථාවෝචිතව තීරණයක් ගැනීමට නිදහසක් ලැබේ. උදාහරණයක් ලෙස ගුවන් තොටුපොළක සේවය කරන ආගමන විගමන නිලධාරියෙකු 'සැක සහිත' පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කළ යුතුනම්, මෙවැනි 'සැක සහිත' පුද්ගලයෙකු අර්ථ දක්වා ගැනීම ඔහුගේ හෝ ඇයගේ රැකියාවේ කොටසකි. ඒ අයිතිය ඔහුට හෝ ඇයට ලබා දිය නොහැකිනම් කළ යුත්තේ 'සැක සහිත' පුද්ගලයෙකු යනු කවරෙක්දැයි නිශ්චිත උපදෙස් මාලාවක් එවැන්නෙකුට ලබාදීමයි.
සංවර්ධිත රටක සහ දියුණු වෙමින් පවතින රටවල් අතර මා දකින එක් පැහැදිලි වෙනසක්නම් සංවර්ධිත රටවල කවර මට්ටමේ හෝ රැකියාවක් කරන අයෙකුට තමාගේ විෂය රාමුවට අයත් කටයුත්තක් ගැන නිදහසේ තීරණ ගැනීමේ හැකියාවක් තිබීමයි. දියුණු වෙමින් පවතින රටවල බොහෝ විට තීරණ ගැනීමට කල් පසුවීම, ධුරාවලියේ ඉහළ තැනකින් අනුමැතිය පැතීම වැනි දේ සිදුවේ. මෙය සමාජයේ පහළ ස්ථර වල සිටින අයගේ අධ්‍යාපනයේ හෝ ලබා ඇති පුහුණුවේ අඩුවක්යයි මා සිතා සිටියත් එය එසේම නොවන බව පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ ඉහළ ස්ථර වල සිටින අය පහළ රැකියා කරන්නන් ගැන සිතන අයුරු දැනගත හැකි, පසුගිය දිනවල සිදුවූ සිදුවීම් දෙක තුනක් නිරීක්ෂණය කරන විටය.
තමන්ට නීත්‍යානුකූලව කිරීමට බලය ඇති දේ ගැන අයෙක් කටමැත දොඩවයි. එහෙත්, ඒ බලය තමන්ට ලැබුනේ කෙසේද. කුමක් සඳහාද යන කරුණු අමතක කරයි. තවත් අයෙක් සිතන්නේ නීති හැදීමේ බලය ඇත්තේ තමන්ට බවත්, රටේ මහජනතාව කළ යුත්තේ ඒවා තමන් අර්ථ දක්වන ආකාරයට පිළිපැදීම පමණක් බවත්ය. ඒ පදනම මත, ඔහු විසින් ධුරාවලියේ පහළ රැකියාවක් කරන අයෙකු තමන්ගේ වපසරිය තුළ ඔහුගේ අභිමතය ක්‍රියාත්මක කිරීම ප්‍රශ්න කරයි. තමන් විසින් මහජනතාවට ලබා දුන් නිදහසක් ගැන කතා කරන ඔහු ඇත්තටම ඒ නිදහස තමන් විසින් ප්‍රශ්න කෙරෙන ආරක්ෂක නිලධාරියා, ඔහුව ප්‍රශ්න කළ කාන්තාව ඇතුළු පිරිස් විසින් නියෝජනය කරන ජනතාව විසින් ලබාගත් නිදහසක් බවත්, තමන්ගේ තාවකාලික තනතුර එහි අතුරු ඵලයක් බවත් අමතක කරයි.
එක් අතකින් බොහෝ දෙනෙකුට තමන්ගේ අයිතීන් පිළිබඳව හඬ නැගීමට හැකිවීම විශාල ප්රගතියකි. පැරාගේ වචන වලින් කියනවානම් 'හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ගෙන් ගේම ඉල්ලන්නට පුළුවන්කම තිබේ'. මෙය අමතක කළ යුතු නැතත්, එය රටක තිබිය යුතු තත්ත්වයක් මිස විශේෂ තත්ත්වයක් හෝ පාරිතෝෂිකයක් නොවේ.
රජු දැහැමි, නිදහස් මතධාරී හෝ ඉදිරිගාමී වූ පමණින් රාජාණ්ඩුවක් ජනරජයක් වන්නේ නැත. දියුණු ප්රජාතන්ත්රවාදී සමාජයක් කියන්නේ එක් එක් පුද්ගලයාට තමාගේ වපසරියට යටත් කටයුතු පිලිබඳ නිවැරදි තීරණ නිදහසේ ගතහැකි, ඒ වපසරිය නිශ්චිතව අර්ථ දක්වා ඇති සමාජයක් මිස සෑම කුඩා තීරණයක්ම ඉහළ සිට පහළට සම්ප්‍රේෂණය වන සමාජයක් නොවේ. එමෙන්ම, වෙනත් අය ලොකු වැරදි කර තිබීම හේතුවෙන් පොඩි වැරදි සාධාරණීකරනය වන්නේද නැත.
සරසවියක අංශ ප්‍රධානීන්ගේ සිට පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකු දක්වා කවර හෝ රැකියාවක යෙදෙන පුද්ගලයෙකුට තමන්ගේ රැකියාවට අදාළ සීමාවන් තුළ අභිමතය ක්‍රියාත්මක කිරීමට රටේ දේශපාලන අධිකාරියෙන් ඇති බලපෑම් විසින් සාමාන්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තීරණ ගැනීම අධෛර්යය කරනු ලැබීමත්, රටේ සාමාන්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තීරණ නොගැනීම හේතුවෙන් කොහේ හෝ සිදුවන සිල්ලර සිදුවීමකට අදාළ තීරණයක් ගැනීමට විධායකයේ ප්‍රධානියාට මැදිහත්වීමට සිදුවීමත් එකිනෙකින් වියුක්ත සිදුවීම් නොවේ.
(Images: sonsofmalcolm.blogspot.com, rkhyd.wordpress.com, www.lokvani.com)
Sunday, March 6, 2016
ෆ්ලැමින්ගෝලා සහ ගජමෑන්
මේ තියෙන්නේ ෆ්ලැමින්ගෝ රංචුවක සිටි ෆ්ලැමින්ගෝලා තිදෙනෙකුගේ සමීප ඡායාරූපයකි. ඔයවල් අසබඩ ෆ්ලැමින්ගෝලා වැඩිපුර සිටිති. මේ ඡායාරූපයේ පෙනෙන පරිදි, කරන්නට විශේෂ වැඩක් නැති සාමාන්‍ය තත්ත්වයන් යටතේ ෆ්ලැමින්ගෝලාට ඇත්තේ එක් පයක් පමණි. ඒ නිසා, ෆ්ලැමින්ගෝලා එවැනි තත්ත්වයන් යටතේ 'පොදු ජනතාව' වෙනුවෙන් තනි පයින් පෙනී සිටිති.
පේන්නට නැතත් ෆ්ලැමින්ගෝලාට තවත් පයක් තිබේ. එය බලාගන්නටනම් ෆ්ලැමින්ගෝලාට කරන්නට වැඩක් භාර දිය යුතුය. ඡායාරූපයේ සිටින ෆ්ලැමින්ගෝ රංචුව මැද්දට කෑමක් විසි කළොත් ඒ අනිත් පය වගේම හංගාගෙන සිටින මූණත් හරියටම බලාගන්නට පුළුවන.
***
මේ ගජ මෑන්.
ඔහු පොදු ජනයෙක්.
ඔහු දුගීයෙකුත් නොවේ, පෝසතෙකුත් නොවේ.
ඔහු උසත් නැත, කොටත් නැත.
කළුත් නැත , සුදුත් නැත.
ඔහු ලොවෙත් නැත.
ලොවි ගහෙත් නැත.
***
ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති ගජමෑන් ඇත්තටම ඉන්නා තැනක් තිබේ. ඒකට කියන්නේ නැති රට කියලාය. ඒ රට ඇති තැන දැනගන්නට ඕනෑ කෙනෙක්ට ලස්සන වසීලිස්සා පොත කියවා විස්තර හොයාගන්නට පුළුවන. නැති රටට වී ගජමෑන් නැති දේ හොයයි. හොයනවා කිවුවාට හොයන්නේත් නැත. එය හොයන්නට ෆ්ලැමින්ගෝලා ටිකක් ඔයක් මැද්දේ දූපතකට යවා නැති දේ අතටම ගෙනත් දෙන තුරු බලා සිටී. වැඩේට ෆ්ලැමින්ගෝලාවම තෝරාගත්තේ ඒ අය නැති දේ ගෙනත් දෙන බව එක පයින් කියා සිටි නිසාය.
***
ගජමෑන් නාන්නට බාත්රූම් එකට ගියේය. දොර වසාගෙන සරම ගලවා කොක්කක එල්ලා කරාමය ඇරියේය. වතුර නැත. ගජමෑන්ගේ බාත්රූම් එකට වතුර එන්නේ පැත්තක ඇති ලිඳකිනි. බාත්රූම් එකේ වතුර නැත්තේ වහලය උඩ ඇති ටැංකිය හිඳී ඇති බැවිනි. නැවත සරම ඇඳගත් ගජමෑන් වතුර මෝටරය ක්‍රියාත්මක කර ටැංකියට වතුර පිරෙන තුරු සාලයේ හාන්සි පුටුවකට හේත්තු වී රූපවාහිනිය ක්‍රියාත්මක කළේය.
රූපවාහිනියේ ෆ්ලැමින්ගෝලා අටෝරාසියකි. ඉස්සරනම් හිටියේ කණ කොක්කුය. කිරි කොක්කු කියා හිතාගෙන ගජමෑන්ලා දූපතට යවා ඇත්තේ කණ කොක්කු බව දැනගන්නට ලැබුණේ උන් ඉගිල්ලෙන්නට පටන් ගත් විටය. මෙය දැනගත් වහාම ගජමෑන්ලා කළේ කණ කොක්කුන් ආපසු කැඳවා ෆ්ලැමින්ගෝලා දූපතට යැවීමයි. සමහර පරණ කොක්කුත් දැන් පිහාටු පේන්ට් කරගෙන ෆ්ලැමින්ගෝලාට එක් වී සිටිති. තවත් පරණ කොක්කු දැන් තටු අකුලාගෙන නැවතත් කිරි කොක්කු වෙන්න හදති.
***
නැති දේවල් පමණක් ඇති නැති රටේ නැති ආර්ථිකය දැන් අර්බුදයක බව ගජමෑන්ට නිතර අසන්නට ලැබේ. එහෙමනම්, නැති රටේ නැති රජයට වියදම් කපන්නට සිදු වී ඇති බව නිසැකය. ෆ්ලැමින්ගෝලාගේ නිල නිවාස වල ජල බිල්පත් සීමා කර ඇති නිසා දැන් ඒ අයට පොදු ලිඳෙන් නාන්නට වී ඇති බව කවුදෝ කියා තිබුණේ විහිළුවට වෙන්නට පුළුවන. ෆ්ලැමින්ගෝලා පොදු තැන් වල නාන නෑමේ හැටියට කතාව විහිළුවක්ම වෙන්නත් බැරිය. කොහොම වුණත් කාලෙකින් තමා පොදු ලිඳෙන් නා නැති බව ගජමෑන්ට සිහිවිය.
***
ලිඳ කිට්ටුවටම යන විට ගජමෑන්ට අමුත්තක් දැනුණේය. ලිඳ වටේ ආරක්ෂක නිලධාරීන්ය. ෆ්ලැමින්ගෝ කෙනෙක් පොදු ලිඳට නාන්නට ඇවිත්ය. ගුවන් විදුලි නිවේදකයෙක් වතුර ඇද දෙයි. ෆ්ලැමින්ගෝ හොඳට නා ගනී.
"නැති රටේ නැති පණතේ නැති වගන්තිය අනුව ෆ්ලැමින්ගෝ කෙනෙක්ට අයිතියක් තියෙනව රටේ ඕනෑම තැනකින් නාන්න. තමුසේ ඒක දන්නෙ නැද්ද?"
"අනේ අප්පේ, කිරි කල සීයක් උණු කරලා ටැංකිය පුරෝගෙන කිරි පැනින් නාන්න පුළුවන්කම තියෙන රාම කුමාරයගෙ මල්ලි වගෙ උත්තමයෙක් නේද මේ ජරා වතුර නාන්නේ?" ගජමෑන්ට හිතුණේය.
"තමන්ට කරන්න බලය තියෙන දේවල් ගැන ඔය තරං හොඳට මතක තියෙන එක කොච්චර දෙයක්ද? ඒ වුනාට ඒ බලය ලැබුනෙ කාගෙන්ද ඒ මොකටද කියන එකත් ඔය වගේම මතක තිබුණනම් තවත් හොඳයි!"
කොහොම වුණත් ෆ්ලැමින්ගෝ ස්නානය කර අවසන් වන තුරු ගජමෑන්ට බලා ඉන්නට සිදු වී ඇත.
"ෆ්ලැමින්ගෝ කෙනෙක් පොදු ළිඳකින් නාන එක කොයි තරම් ආදර්ශයක්ද? පොඩි අවුලකට තියෙන්නේ නාන්නේ බාත්රූම් එක ඇතුලෙ දොර වහගෙන කියන එක ෆ්ලැමින්ගෝට අමතක වෙලා තියෙන එකයි."
***
මේ අතර, ආරක්ෂක නිලධාරීහු කාටදෝ තගක් දමති.
"මේක පොදු ළිඳක්! ඔය දෙන්නට මෙතන එකට ඇවිත් නාන්න බෑ. ළමයෙක්වත් හිටියනං නාන්න දෙන්න තිබුණා."
සෝමපාල සහ සිරියාවතී ආපසු හැරී යයි.
"තව මාස පහක් තියෙනව මෙයාට. එහෙනං අපිට ඊට පස්සේ ඇවිත් නා ගන්න බැරුවයැ..."
***
දඩාස් ගා ජීප් රථයක් ඇවිත් ලිඳ අසළ නතර විය.
"අම්මටසිරි තව ෆ්ලැමින්ගෝ කෙනෙක්!"
ගජමෑන්ට නිකම්ම කියාවුනේය. මේ දෙවෙනි ෆ්ලැමින්ගෝනම් ආරක්ෂක භටයින් හෝ රියදුරෙකු නැතිව තනියම වාහනය එලවාගෙන පැමිණ තිබේ.
"බලනවකො, ගජමෑන්! මේ හරක් රංචුවක් ගාල කඩාගෙන දුවන ගමන් එකෙක් මේ ජීප් එකටත් ඇන්නනේ..."
"මම මේ වාහනේ හෝදගන්න කියල ආව."
ෆ්ලැමින්ගෝ සරම ඔළුවෙන් ගැලෙව්වේ පොදු ලිඳක් කියා ගාණක්වත් නැතුවය.
***
ඒ එක්කම තවත් වාහනයක් බරාස් ගා බ්රේක් ගැසුවේය. තවත් ෆ්ලැමින්ගෝ කෙනෙකි.
"ඔබතුමත් නාගන්නද?" ගජමෑන් ඇසුවේ පොදු ලිඳට ෆ්ලැමින්ගෝ කෙනෙකු වුණත් එන්නේ මාළු බාන්නට විතරක්ම නොවන නිසාය.
"ඔව්, අයිසේ! වැඩි පරිස්සමට මම පොල් සම්බෝල හදන්නෙ වත්තෙ ගස් වල පොල් වලින් විතරයි. අද උදේට පානුයි සම්බෝලයි කෑවට පස්සෙයි දැනගත්තේ පොල් කඩපු මනුස්සයගෙ යාලුවෙක්ගෙ මල්ලිට ඒඩ්ස් හැදිල කියල කටකතාවක් තියෙන බව."
"ඉතිං මේ තකහනියක්ම ආවේ විසබීජ ටික යවාගන්න හොඳට නාගන්න කියලා!"
ෆ්ලැමින්ගෝ විනාඩියට කලිසම සහ යට ඇඳුම එක පාරම ගලවා අවසානය.
"නාගන්න නාගන්න ආයේ කාගෙන් බාධාවක්ද?"
***
"මට කියන්න මොකද්ද වුනේ කියලා...කපල් වලට ඉඩ දෙන්නෙ නෑ?"
"කොහෙද තියෙන්නෙ කපල් වලට පොදු ලිඳෙන් නාන්න බෑ කියලා...?"
ඒ පාර තවත් ෆ්ලැමින්ගෝ කෙනෙකි. මේ ෆ්ලැමින්ගෝ දූපතට යන්නට පෙරනම් නැති රටේ නැති ආර්ථිකේ ගැන කතා නොකළ දවසක් නැත. දූපතට ගිය පසු ඒ පරණ කතා නැත. නමට මුලින් එකම ටයිටලයත්, අගට එකම වාසගමත් ඇති කුරුල්ලෝ ටයිටලය උපයා ගත්තේ දුක් මහන්සියෙන්ද නැත්නම් පිනටදැයි භේදයක් නැතිව, එකම විදිහට නාන ආකාරය ගැන නැති රටේ නැති ප්රස්ථා පිරුළක් ගජමෑන්ට සිහිවිය.
ෆ්ලැමින්ගෝලා පෝලිමේ ඇවිත් පොදු ලිඳෙන් නාන විදිහට ගජමෑන්ට අදනම් නාන්න වෙන පාටක් නැත.
***
"මෝටරේ ගහල ඇවිත් මෙතන නිදිද? අන්න ටැංකිය උතුරනව!"
ඒනම් ෆ්ලැමින්ගෝ කෙනෙකු නොවේ. ගජමෑන්ගේ හාමිනේය.
Saturday, March 5, 2016
මරණය දුකක් වන්නේ කාටද?
දුක විස්තර කෙරෙන "තත්ථ කතමං දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යං පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා." යන සච්ච විභංග පාඨය අප බොහෝ දෙනෙකු බොහෝ වර අසා ඇත. මෙහි කියවෙන්නේ දුකට හේතු වන කරුණු ගැනය.
මේ කරුණු වලින් දෙකක් හැර අනෙත්වා සම්බන්ධව බෞද්ධයෙකු නොවන කෙනෙකුට වුණත් ලොකු අවුලක් තිබිය නොහැකිය. වයස්ගත වීම, අප්‍රියයන් හා එක්වීම වැනි කරුණු දුකට හේතුවන බව ප්රත්යක්ෂ සත්යයන්ය. එහෙත්, ටිකක් හිතා බැලුවොත් උපත හෝ මරණය දුකක් වන බව එවැනි ප්රත්යක්ෂ සත්‍යය නොවේ. කිසිවෙකු අපට කියා දී ඇති නිසා හෝ තර්කානුකුල හේතූන් මත විශ්වාස කරනු මිස උපත හෝ මරණය දුකක් බව අපට ප්රත්යක්ෂ කළ හැකිද?
මේ ගැන කතා කරන්නට පෙර වියාචනයක් (රවිගෙන් උගත් වචනයකි.) කරන්නට සිදුවේ. මේ ලිපියෙන් කිසිවෙකුගේ ආගමික විශ්වාසයන්ට අපහාසයක් කිරීමේ අරමුණක් නැතත් එසේ සිදුවනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනු හැර වෙනත් කළ හැකි දෙයක් නැත. මා හිතන දේවල් මා නොලිවුවොත් ඒවා ලියන්නට වෙන කෙනෙක් නැති විය හැකිය.
මේ දෙකෙන් මරණය ගැන පළමුව කතා කළහොත්, මියයන අයෙකුගේ අවසාන අත්දැකීම කුමක්ද කියා හරියටම දැනගැනීමට අපට කිසිම ක්‍රමයක් නැත. මේ තත්ත්වයට කිට්ටුවම අපට ඇති පළමෝත නිරීක්ෂන වන්නේ කිසියම් හේතුවකින් මරණය කිට්ටුවටම ගොස් ආපසු පැමිණි අයගේ මරණාසන්න අත්දැකීම්ය. මේ වන විට එවැනි අත්දැකීම් ලැබූ දහස් ගණනක් විසින් වාර්තා කර ඇති අත්දැකීම් වල කිසියම් සමානත්වයක් තිබේ.
මාසයකට පමණ පෙර රසික විසින් ඔහු ලැබූ මෙවැනි අත්දැකීමක් විස්තර කර තිබුණේය. එය වෙනත් අය ලැබූ එවැනි අත්දැකීම් වලින් ලොකුවට වෙනස් නොවේ.
ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.
"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.
මෙවැනි අත්දැකීම් වාර්තා එකතුවක් පවත්වාගෙන යන http://www.nderf.org වෙබ් අඩවියේ මේ වන විට එවැනි සිදුවීම් පිලිබඳ වාර්තා 4100ක් සටහන්ව ඇත. ඒ අත්දැකීම් පැහැදිලි කිරීම පසෙකට තබා දැනට යම් සාරාංශගත කිරීමක් පමණක් කළහොත් බොහෝ දෙනා ලබා ඇති අත්දැකීම් මෙසේය.
-ඉතා දීප්තිමත් ආලෝකයක්
-හැම දිශාවම දර්ශනය වන පෙනීමක් (panoramic view)
-තමන්ගේ සිරුරින් ඉවත්ව සිටිනාවක් වැනි හැඟීමක්
-කාලය නොයන බව හෝ කාලය පිලිබඳ හැඟීමක් නොමැති තත්ත්වයක්
-වඩාත්ම වැදගත් කරුණ: වේදනාවක් නැති සහනදායී හැඟීමක්
මරණාසන්න මොහොතේදී තමන්ට ඉවසන්නට අමාරු තරමේ වේදනාවක් දැනුනු බවක් බොහෝවිට වාර්තා වී නැති අතර වාර්තා වී ඇත්තේ එහි අනිත් පැත්තයි. කෙසේවුවද, තමන් ජීවත්ව සිටියදී බැඳී සිටි යමක් සිහිව නැවත හැරී ආ බවද බොහෝ විට කියැවී ඇති දෙයකි.
මරණාසන්න අත්දැකීම් වාර්තා කර ඇති අය ඒ තත්ත්වයට පත් වූවන්ගේ අහඹු නියැදියක් ලෙස අපට නිශ්චය කිරීමට නුපුළුවන. මරණයට පත්වන අයගේ අත්දැකීම්, ඇතැම් විට, මෙසේ මරණය ආසන්නයටම ගොස් ආපසු හැරී එන අයගේ අත්දැකීම් වලින් වෙනස් වන්නට පුළුවන.
මෙසේ ආපසු හැරී එන අය වෙනස් වන්නේ මේ ක්‍රියාදාමය අතරතුර යම් මොහොතක ඇතිවන ජීවත්වීමේ ආශාව නිසාද? එසේනම්, මියයන අය අවසන් මොහොතේ එවැනි ආශාවක් ඇති නොවූ, අර රසික විස්තර කළ සැන්ශේෂණල් ෆීලින් එකෙන්ම මරණයට පත්වූ අයද? එසේ නැත්නම්, තමන් ආශා කළ දේ සිහි කරමින්, ආපසු ඒමට නොහැකි වීම ගැන විශාල දුකකින් ඔවුන් මරණයට පත් වනවාද?
අප දැඩි සේ ආදරය කරන කෙනෙකු සදහටම වෙන්වීම අපට විශාල දුකකි. ඇතැම් විට මියයන පුද්ගලයෙකුටද තමන් ආශා කළ සියළු දෙයින් සදහටම වෙන්වීමට සිදුවන බව සිහිවීම මරණාසන්න මොහොතේ ඇතිවන විශාල දුකක් වන්නට පුළුවන. ඒ හැරුණු විට මරණය හා අදාළ විශාල ශාරීරික වේදනාවක් ඇති බවක්නම් පෙනෙන්නේට නැත. මරණාසන්න අත්දැකීම් වලින්ද පසුවට එන මේ අවසන්ම අවසන් මොහොත කවරක් වුවද, ඒ ගැන විශ්වාස කරනු මිස ප්රත්යක්ෂයෙන් දැන ගැනීමේ හැකියාවක් අපට නැත.
මේ මරණය ගැනය. එසේනම්, ඉපදීම දුකක්දැයි අපට ප්රත්යක්ෂයෙන් දැනගත හැකිද?
(Image: www.desktopwallpapers4.me)
Friday, March 4, 2016
ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...
පළමු කොටස
දෙවන කොටස
පසුගිය ලිපි දෙකෙන් විස්තර කළ පරිදි රටවල් දෙකක් අතර නිදහස් වෙළඳාමකින් දෙරටටම වාසි සැලසේ. එහි පදනම තුලනාත්මක වාසියයි. කිසියම් රටකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධව පරිපූර්ණ වාසියක් නැත්තේ වුවද තුලනාත්මක වාසි අනිවාර්යයෙන්ම තිබේ.
අපි දැන් අපේ පළමු ආකෘතියට ආපසු යමු. එම ආකෘතිය අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල (අල වලට සාපේක්ෂව) මෙසේ විය.
අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.
මේ අනුව, මාළු කිලෝඑක අල කිලෝ 0.333කට වැඩි හා කිලෝ 3කට අඩු ඕනෑම පදනමකින් රටවල් අතර සාර්ථක වෙළඳාමක් සිදුවිය හැකිය. කෙසේවුවද, විවිධ බාධාවන් නිසා මෙය මේ අයුරින්ම සිදු නොවීමට ඉඩ තිබේ. මේ ඇතැම් බාධා ස්වභාවික බාධාවන්ය. තවත් ඒවා කෘතීම බාධාවන්ය.
මේ අතරින් පළමුවැන්න ප්‍රවාහන වියදමයි. මෙය පැහැදිලි කිරීමට පළමුව මම මුදල් ඒකක දෙකක්ද හඳුන්වා දෙමි. අල්ලංකාවේ මුදල් අලර් වන අතර ගලවංකාවේ මුදල් ගලර් නම් වේ. අල්ලංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම අලර් එකකි. ගලවංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම ගලර් එකකි. නාමික විනිමය අනුපාතිකය අලර් එකකට ගලර් එකකි.
එක් එක් රටේ මිල ගණන් මෙසේය.
අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.
ප්‍රවාහන වියදම් නොමැතිනම් අල්ලංකාවෙන් ආනයනය කරන මාළු වල මිල ගලවංකාවේදී ගලර් 0.333ක් වනු ඇත. එමෙන්ම, ගලවංකාවෙන් ආනයනය කරන අල වල මිල අල්ලංකාවේදී අලර් 0.333ක් වනු ඇත.
රටකින් තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනයේදී වියදමක් දැරීමට සිදුවේ. අපනයනය කරන භාණ්ඩයක් වෙනත් රටක විකුණන විට මේ ප්‍රවාහන වියදමද ආවරණය කර ගැනීමට සිදුවේ. ඉහත උදාහරණදී අල හෝ මාළු කිලෝවක් අනිත් රටට ප්‍රවාහනය කිරීමට යන වියදම අලර් (හෝ ගලර්) 0.667කට වඩා වැඩිනම් දෙරට අතර වෙළඳාමක් සිදු නොවේ. ප්‍රවාහන වියදම් ඊට වඩා අඩුනම් වෙළඳාම සිදුවේ.
එමෙන්ම, මේ භාණ්ඩ කල් තබා ගත හැකි, නරක් නොවන භාණ්ඩද විය යුතුය. ප්‍රවාහනය කිරීමට ගතවන කාලය තුළ මාළු නරක් වෙනවානම් එවැනි භාණ්ඩයක් අපනයනය කිරීම අපහසු කරුණකි. යම් හෙයකින් අපනයනය කරන්නේනම් ප්‍රවාහනය කරන කාලය තුළ මාළු නරක් වීමේ අවදානම නිසා වන පාඩුවද විකිණුම් මිලට එකතු කිරීමට හැකි වන තරමේ මිල වෙනසක් පැවතිය යුතුය.
මෙවැනි ස්වභාවික බාධා නිසා යම් රටක නිපදවන සෑම භාණ්ඩයක්ම අපයනය කිරීමක් සිදු නොවේ. කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව සමඟ ප්‍රවාහනයට ගතවන කාලය අඩුවීම හා ප්‍රවාහන වියදම් අඩුවීමත්, කල්තබා ගතහැකි ක්‍රම සහ ඇසුරුම් ක්‍රම දියුණු වීමත් සිදුවන විට මේ ස්වභාවික බාධා වල බලපෑම අඩුවේ.
මෙවැනි ස්වභාවික බාධක වලට අමතරව ජාත්‍යන්තර වෙළඳාමට කෘතීම බාධකද තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත බාධකය ආනයන හා අපනයන බදුය.
ආනයන හා අපනයන බදු පැනවීම මඟින් යම් රටක රජයකට ආදායමක් ලැබිය හැකිය. කෙසේවුවද, එමඟින් සිදුවන්නේ සමස්තයක් ලෙස වැඩි දෙනෙකුට යහපතක් සැලසෙන ගනුදෙනුවක් කෘතීම ලෙස වලක්වනු ලැබීමයි. උදාහරණයක් ලෙස පහත තත්ත්වය සලකමු.
අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.
නාමික විනිමය අනුපාතිකය: අලර් එකකට ගලර් එකකි.
ප්‍රවාහන, ඇසුරුම් හා කල්තබාගැනීම සඳහා වන වියදම් සහ ව්‍යවසායකයාගේ ශ්‍රමයේ වටිනාකම: මාළු කිලෝඑකක් සඳහා අලර් 0.167කි. අල කිලෝඑකක් සඳහා ගලර් 0.067කි.
දැන් අල්ලංකාවේ මාළු නිෂ්පාදකයෙකුට ගලවංකාවට මාළු ප්‍රවාහනය කර එහි පාරිභෝගිකයෙකුට ගලර් 0.500 කට මාළු විකිණිය හැකිය. ඉන්පසු, ඒ මුදලින් අල කිලෝ 1.5ක් මිල දී ගත හැකිය. ඒ අල අල්ලංකාවට ප්‍රවාහනය කර කිලෝව අලර් 0.400 බැගින් විකිණිය හැකිය.
මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතන අල්ලංකාවේ රජයට අල සඳහා ආනයන බද්දක් පැනවිය හැකිය. මෙය අල කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවේ අල කිලෝවක් විකිණෙන්නේ අලර් 0.600කටය. ගලවංකාවේ නිෂ්පාදකයින්ට කිසිදු පාඩුවක් වී නැත. එහෙත්, අල්ලංකාවේ රජය ආදායමක් ලබයි. කලින් දේශීය අල කිලෝ එක අලර් 1.000කට මිලදී ගත් ලංකාවේ පාරිභෝගිකයින්ටද ආනයනික අල කිලෝව අලර් 0.600කට මිල දී ගැනීමට හැකි වීම වාසියකි. කෙසේවුවද, මෙහිදී අල්ලංකාවේ රජය විසින් නැති කර ඇත්තේ තම රටේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකිව තිබුණු වාසියකින් කොටසකි. එසේ එකතු කර ගන්නා බදුමුදල් නැවත රටේ යහපත වෙනුවෙන්ම යොදවනවානම් මේ බද්දට අල්ලංකාවේ ජනතාව විරුද්ධ නොවන්නට පුළුවන.
එමෙන්ම අල්ලංකාවේ රජයට මාළු සඳහා අපනයන බද්දක් පැනවීමටද පුළුවන. මෙය මාළු කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවෙන් අපනයනය කරන මාළු ගලවංකාවේ විකිණෙන්නේ ගලර් 0.700 කටය. මේ මිල ගලවංකාවේ දේශීය මාළු මිල වූ ගලර් 1.000ට වඩා තවදුරටත් අඩු නිසා මේ මිලට එහි මාළු විකිණීම ප්‍රශ්නයක් නොවේ. දැන් අල්ලංකාවේ රජයට අපනයන බදු වලින් ආදායමක් ලැබෙන නමුත් අල්ලංකාවේ කිසිවෙකුට එයින් අවාසියක් සිදුවී නැත. අවාසිය ඇත්තේ ගලවංකාවේ පාරිභෝගිකයින්ටය. වැඩේ නරක නැත!
ප්රශ්නය තියෙන්නේ අල්ලංකාවේ රජය මෙසේ බදු පනවන විට ගලවංකාවේ රජයද එකට එක කිරීමයි. අන්තිමේදී දෙරටේම මාළු හා අල කිලෝවක මිල අලර් (හෝ ගලර්) 1.000ක් වන තුරු, එනම් තවදුරටත් බදු ඉහළ නැංවීමෙන් ලාභයක් නැති වන තුරු, රජයයන් දෙකම බදු ඉහළ නංවනු ඇත. අන්තිමට දෙරටින් එක් රටකටවත් විශේෂ වාසියක් නැත.
ඉහත ආකාරයෙන් දෙරටක් 'තරඟයට' ආනයන අපනයන බාධක දැමීමෙන් දෙරටේම පාරිභෝගිකයින් ගෙවන මිල අන්තිමේදී වැඩි වේ. මේ වැඩි මිලේ වාසිය යන්නේ ඒ රටවල රජයන්ටය. තමන්ගේ රටේ වැසියන්ට හැකි තරම් අඩුවෙන් අවාසියක් වන පරිදි ආනයන අපනයන බදු පැනවීමට දෙරටම උත්සාහ කළත් අවසානයේ සිදුවන්නේ එක් රටකටවත් එවැනි විශේෂ වාසියක් නැති වී අකාර්යක්ෂමතාවයන් වැඩිවීම පමණි. එහෙත්, මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය වෙනස් කිරීම පහසු නැත. එක් රටක් ඒක පාර්ශ්වීය ලෙස බදු ඉවත් කළ විට ඒ වාසිය අනිත් රටට ලබා ගැනීමට පුළුවන. එය සිදු නොවන පරිදි, දෙරටම එක් වර මෙවැනි බාධක ඉවත් කිරීම ප්‍රායෝගිකව සිදු වන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟිනි.
(Image: d4nations.com)
Labels:
ආර්ථික විද්‍යාව,
ජාත්‍යන්තර වෙළඳාම
Wednesday, March 2, 2016
මරණය දුකකි!
පසුගිය දෙසතිය තුළ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මරණ ගැන අසන්නට ලැබුණේය. ජනප්‍රිය ගායකයෙකු වූ ඇන්ටන් ජෝන්ස් වසර 79ක් ආයු වළඳා පසුගිය පෙබරවාරි මස 21 වන දින මිය ගියේය. දියවැඩියාව ආශ්රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිමින් සිට මිය ගිය ඔහු ගැන සඳුන් සෙවණේ චන්දන හා මාතලන් විසින් සටහන් තබා තිබුණේය. ලංකාවේ සිදුවන මරණ වලින් 8%කට පමණ හේතු වන්නේ දියවැඩියාවයි.
පෙබරවාරි 27 වන දින තවත් මරණ දෙකක් ගැන අසන්නට ලැබුණේය. පේරාදෙණිය සරසවියේ දේශපාලන විද්‍යා අංශාධිපති සහ මහාචාර්යවරයෙකු ලෙසද, කැබිනට් ඇමතිවරයෙකු ලෙසද කලක් සේවය කළ ආචාර්ය විශ්වා වර්ණපාලගේ මරණය එයින් පළමුවැන්නයි. ඔහුද වසර 79ක් ආයු වළඳා මිය ගොස් තිබේ. මරණයට හේතුව මා දන්නේ නැත. එංගලන්තයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන විශ්වා වර්ණපාල ගැන රසික විසින් සටහනක් තබා තිබුණේය. [නොදන්නා කෙනෙක් ඉන්නවානම් මහාචාර්ය (Professor) යනු තනතුරු නාමයකි. ආචාර්ය (Doctor) යනු අධ්‍යාපන සුදුසුකමකි. සරසවියක සේවය කරන ආචාර්ය උපාධිධාරියෙකු හෝ ඇතැම් විට ඊට වඩා අඩු අධ්‍යාපන සුදුසුකමක් ඇත්තෙකු මහාචාර්යවරයෙකු විය හැකිය.]
පෙබරවාරි 27 වන දිනම සිදුවූ අනෙක් මරණය ආචාර්ය අජන්තා රණසිංහගේ මරණයයි. වසර 76ක් ආයු වළඳා ඔහු මියයන්නේ නිවසේ සිදුවූ වැටීමක් හේතුවෙනි. මෙවැනි වැටීම් නිසාද ලංකාවේ සිදුවන මරණ වලින් 1.5%ක් පමණ සිදුවේ. බොහෝ කලාකරුවන් මියයාමට පෙර ජීවත්ව සිටියදී ඔවුන් ගැන කතාකරන චන්දන විසින් අජන්තා රණසිංහ ගැන මරණයට පෙර හා පසු සටහන් දෙකක්ම තබා තිබුණේය. රවී විසින් ඔහුගේ නිදහස් සිතිවිලි වියුණුවේ තවත් සටහනක් තබා තිබුණේය. කලාකරුවෙකු ලෙස අජන්තා රණසිංහගේ ප්‍රතිභාව ගැන මා හොඳින් දන්නා නමුත් ඔහුගේ ආචාර්ය උපාධිය ගැනනම් වැඩි විස්තරයක් දන්නේ නැත.
මොවුන් තිදෙනාම ඉපදුනු 1930 දශකයේදී ලංකාවේ පිරිමියෙකුගේ අපේක්ෂිත ආයුකාලය පිලිබඳ නිවැරදි සංඛ්‍යාලේඛණ නැතත් පසුකාලීන ප්රවණතා අනුව එය පනස් ගණනකට නොවැඩි විය යුතු බව ඇස්තමේන්තු කිරීමට පුළුවන. දැනටද එය වසර 71.6කි. මේ පදනම මත, මේ තිදෙනාම ඔවුන්ගේ වයස් කාණ්ඩයේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කලක් ජීවත් වී තිබේ.
ඊයේ මට තවත් දුක්බර පුවතක් අසන්නට ලැබුණේය. ඒ, ඉහත පුද්ගලයින් මෙන් ජනප්‍රිය චරිතයක් නොවූවත්, සරසවියේ මට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිටි මිතුරෙකුගේ අකල් මරණයයි. මා මෙය අකල් මරණයක්යැයි කියන්නේ හැටේ දශකයේ උපන් ලාංකිකයෙකු මේ වන විට තමන් උපදින විට තිබූ අපේක්ෂිත ආයුකාලය කරා ලඟා වී නොමැති බැවිනි. ඔහු මියගොස් ඇත්තේ පිළිකාවකිනි. ලංකාවේ සිදුවන මරණ වලින් 10.65%ක් පමණ ප්‍රමාණයකට හේතු වන්නේ පිළිකාවකි. මෙය දෙවැනි වන්නේ හෘදයාබාධ නිසා ඇතිවන මරණ (25.74%) වලට පමණි. මෙයට මුඛ පිළිකා (1.51%), පෙනහළු පිළිකා (1.11%), පියයුරු පිළිකා (1.07%), ගලනාල පිළිකා (1.03%), ආමාශ පිළිකා (1.0%), අක්මා පිළිකා (0.61%), ගැබ්ගෙල පිළිකා (0.55%), ගුද මාර්ගයේ පිළිකා (0.45%), ගර්භාෂ පිළිකා (0.38%), මුත්‍රාශ පිළිකා (0.17%) ආදී ශරීරයේ විවිධ ස්ථාන වල ඇතිවන පිළිකා ඇතුළත්ය.
තමන් දැන සිටින කෙනෙකු මියගිය විට අපට යම් කම්පනයක් ඇතිවේ. මරණය අකල් මරණයක් වූ විට මෙන්ම තමන්ට පාලනය කළ නොහැකි හේතුවකින් සිදුවූවක් වූ විට මේ කම්පනය වඩා වැඩිය. එසේ මරණයට පත්වූ පුද්ගලයා තමන්ගේ වයස් කාණ්ඩයට සමීප පුද්ගලයෙකු වූ විට, ඇතැම් විට 'අත්තානං උපමං කත්වා' පදනමින්, මේ කම්පනය වඩාත් වැඩියෙන් දැනේ. මෙයට හේතුව අපට ජීවත් වීමට ඇති ආශාව විය යුතුය.
මරණය දුකකි. එහෙත්, මරණය දුකක් වන්නේ කාටද?
(Image: www.pinterest.com)
Labels:
මරණය,
සංඛ්‍යාලේඛණ,
සෞඛ්‍යය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...