වෙබ් ලිපිනය:

Showing posts with label බුදු දහම. Show all posts
Showing posts with label බුදු දහම. Show all posts

Thursday, May 12, 2016

අලි මදිවට හරක් ප්‍රශ්න


ගව මස් කෑම හා ඒ නිසාම අනියමින් ගව ඝාතනයට අනුබල දෙන ඇතැම් අය දම්වැලින් කකුල් බැඳ පෙරහැරක ගෙන යන අලියෙකුගේ හෝ ඇතෙකුගේ 'මානව අයිතිවාසිකම්' ගැන කණගාටු වන්නේ ඇයිද යන්න ඇතැම් අයට ප්‍රශ්නයකි. ගව ඝාතනය වැළැක්වීමේ අරමුණින් ගිණි තබාගෙන සියදිවි නසාගැනීමට නොපැකිළෙන අයෙකු හෝ එවැනි ක්‍රියාවක් උත්කර්ෂයට නංවන අයෙකු කැලේ සිටින අලි පැටවෙකු මවගෙන් වෙන් කර රැගෙන විත්  'සමාජගත කිරීම' සඳහා 'නවක වදයට' ලක් කිරීම ප්‍රශ්නයක් ලෙස නොදකින්නේ ඇයිද යන්න තවත් අයට ප්‍රශ්නයකි. (සියදිවි නසාගැනීමක් නොකියා ජීවිත පූජාවක් කරන අයෙකු කියා වෙනස් අයුරකින් කිව හැකිය. කෙසේ හැඳින්වුවද, මා අදහස් කරන්නේ යම් පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් තම ජීවිතය අවසන් කර ගැනීමයි.)

මේ ආකාරයේ 'අලි මදිවට හරක්' ප්‍රශ්න වලට පිළිතුර ඇත්තේ ප්‍රශ්නය තුළමය. වෙනත්, අයුරකින් කිවහොත් ප්‍රශ්නය අසන සන්දර්භය තුළය. ඉහත ප්‍රශ්න මතුවන්නේම යම් නිශ්චිත ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂවය. ඒ නිසා, වෙනත් ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂව ඇතැම් විට මේ ප්‍රශ්නයට පිළිතුර අවිවාදිත එකක් විය හැකි අතර තවත් රාමුවකට සාපේක්ෂව මෙහි පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් නොතිබෙන්නට වුවත් පුළුවන.


ඉහත ප්‍රශ්න ඇසෙන්නේ අලියෙකුගේ ජීවිතය සහ හරකෙකුගේ ජීවිතය සමාන ලෙස සලකන රාමුවකට සාපේක්ෂවය. මෙය තවත් දිගු කළහොත් මේ රාමුව යනු පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුවයි. සංස්කෘතිකව ලංකාවේ බොහෝ දෙනෙකු කාලයක් ජීවත් වී ඇත්තේත්, දැනට ජීවත් වන්නේත් මෙවැනි සංස්කෘතික රාමුවක් ඇතුළේය. මේ රාමුවේ පදනම ප්‍රාග්-බෞද්ධ වෛදික මතවාදී රාමුවයි.

බුද්ධ කාලයට පෙර සිට වත්මන් ඉන්දියාවේ පැවති විශ්වාසයන්හි මෙන්ම අදටත් බොහෝ දෙනකු අදහන හින්දු හා ජෛන ආගම් වල භෞතික සිරුරට වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ භෞතික සිරුර තුළ ඇතැයි සැලකෙන අධ්‍යාත්මික සිරුරට නැත්නම් ආත්මයටය. මේ විශ්වාස අනුව, 'සැබෑ' පුද්ගලයා යනු මේ ආත්මයයි. භෞතික සිරුර යනු මේ 'සැබෑ' පුද්ගලයා තාවකාලිකව ජීවත් වන නිවෙසයි. මේ අතින් මේ අදහස ආබ්‍රහමික ආගම් වල දැනට පිළිගැනෙන ආත්මය පිළිබඳ සංකල්පය සමඟ ගැලපේ. (ඇතැම් දේවධර්මාචාර්යවරුන්ට අනුව ආත්මය යන අදහස ආබ්‍රහමික ආගම් වලට පසුව එකතු වූවකි. මුලදී තිබී ඇත්තේ ශුද්ධාත්ම සංකල්පය පමණි.) කෙසේවුවද, පැරණි ඉන්දියානු ආගම් ආබ්‍රහමික ආගම් සමඟ සම්පාත වන්නේ පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා පමණි.

සංසාර සංකල්පය බෞද්ධ සංකල්පයක් නොවේ. එය බුද්ධ කාලයට බොහෝ පෙර සිට පැවති සංකල්පයකි. මේ අනුව, 'සත්ත්වයා' ගිණිය නොහැකි වාර ගණනක් සංසාරයේ මැරි මැරී උපදී. මෙසේ මැරි මැරී නැවත නැවතත් උපදිද්දී විනාශ වන්නේ භෞතික සිරුර පමණි. මිය යන වාරයක් පාසා අළුත් 'නිවසක්' සොයා ගන්නා ආත්මය මරණය හේතුවෙන් විනාශ නොවේ. මරණින් මතු ලැබෙන අළුත් නිවස ගව සිරුරක් හෝ ඇත් සිරුරක් විය හැකිය. අවසානයේ විමුක්තිය ලබන්නේ මෙසේ අස්ථිර සිරුරු නිවෙස් කර ගනිමින් කාලාන්තරයක් සසර සැරි සරන ආත්මයයි.


ජීවිතය ස්වභාව ධර්මය සමඟ කරන නිරන්තර සටනක් වූ මැදපෙරදිග කාන්තාර දේශගුණයේ ජීවිතයට සාපේක්ෂව පැරණි ඉන්දියාවේ ජන ජීවිතය වඩා සුමට හා සාමකාමී එකක් විය. මේ පරිසරය තුළ ජීවත් වූ මිනිසුන්ට අලින් හා හරකුන් යනු තමන්ගේ ආහාරයක් ලෙස නොපෙනී තමන්ට දැනෙන හැඟීම් දැනීම් එලෙසින්ම දැනෙන තමන්ගේම අනෙකා ලෙස පෙනෙන්නට ඇත.

කිසියම් මතවාදී හෝ සංස්කෘතික රාමුවක් වෙනත් රාමුවකට සාපේක්ෂව ප්‍රශ්නකාරී වුවත්, අදාළ රාමුව තුළ එවැනි ප්‍රශ්නයක් නැත්නම් ඒ රාමුව කාලයක් ස්ථායීව පවතී. එවැන්නක් වෙනස් වන්නේ වෙනත් බාහිර  සංස්කෘතික රාමුවක් සමඟ ගැටුණු විටය. එහෙත්, යම් රාමුවක් එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන විට, අදාළ රාමුව ස්වාධීනවම පැවතුණේ වුවද එවැනි අභ්‍යන්තර විසංවාද ඉවත් කරගැනීම සඳහා, ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුව එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන්නකි. පළමු මූලික ගැටළුව වන්නේ පණ ඇති සත්ත්ව ජීවිතයක් යනු කුමක්ද යන්නයි. මෙහිදී ඕනෑම විශ්ලේෂණයක් ඇරඹෙන්නේ තමන්ට සාපේක්ෂවය. 'මම' යනු 'පණ ඇති ජීවියෙක්' වේනම් මා තරමට 'දියුණු' නැති මගේ අළුත උපන් දරුවාද පණ ඇති ජීවියෙක් විය යුතුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ 'මගේ ජීවිතය තරමටම වටිනා' ජීවිතය මගේ ජීවිතය තරමටම හෝ ඊට වඩා යහපත් කර ගැනීමට ලබාදෙන උදවුවක් වශයෙන් මා මගේ දරුවාව මා හොඳයයි සිතන ආකාරයට පුහුණු කළ යුතුය. මේ සංකල්පය ඉන්පසුව මගේ පවුලෙන් පිටතට හා මගේ කුලයෙන්, ජනවර්ගයෙන් පිටතට ආදී වශයෙන් පළල් කළ හැකිය. ඉන්පසු මගේ බල්ලා, පූසා, හරකා හෝ අලියා දක්වාත් මගේ නොවන වෙනත් බල්ලන්, පූසන්, හරකුන් හා අලින් දක්වාත් පුළුල් කළ හැකිය. ඇසට පෙනෙන සියළු සතුන් දක්වාත්, ඇසට නොපෙනෙන සතුන් දක්වාත් පුළුල් කළ හැකිය. සතුන් නොවන ගස්වැල් දක්වාත් පුළුල් කළ හැකිය. 



මෙසේ මා හඳුනාගන්නා මට මෙන්ම ආත්මයක් ඇති පණ ඇති සතුන් පරාසය පුළුල් කරගෙන යන විට තවත් බාධකයක් හමුවේ. ඒ මගේ ආහාර යනු මොනවාද යන්නයි.

මිනිසෙකුට ඔහුගේ පවුලේ සාමාජිකයෙකුව හෝ වෙනත් මිනිසෙකුව මරා මස් ආහාරයට ගන්නට බැරිකමක් නැත. එහෙත්, එවැනි දේ සිදුවන්නේ ඉතා කලාතුරකිනි. තමන්ගේම වර්ගයා (තමන් සමඟ සංසර්ගයෙන් සරු ජනිතයෙකු බිහි කිරීමට හැකි තරම් සමානත්වයක් ඇති ජාන දරන අය) විනාශ කරන සත්ත්ව වර්ගයකයට දීර්ඝකාලීනව වඳ වී නොසිටිය හැක්කේ කෙටි කලක් තුළ ඉතා විශාල ජනිතයන් සංඛ්‍යාවක් බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැකියාවක් ඇත්නම් පමණි. මෙවැනි හැකියාවක් ඇති සතුන් සුලභ නැත. ඒ නිසා තමන්ගේම වර්ගයාගේ මස් ආහාර ලෙස නොසැලකීමේ පදනම පැහැදිලි එකකි. එසේනම්, හෝමෝ සේපියන්ස්ලාට සංසර්ගයෙන් සරු ජනිතයින් බිහි කළ නොහැකි අනෙක් සතුන්ගේ මස්?



භෞතික සිරුර විනාශ වීමෙන් පසු තව දුරටත් ඉතිරි වන ස්ථිර ආත්මයක් ඒ තුළ තිබේයැයි සිතූ විට එවැනි ආත්මයක් සහිත ජීවියෙක් ආහාරය පිණිස හෝ වෙනත් හේතුවකට මරණයට පත් කිරීම ප්‍රශ්නයක් වේ. ඒ නිසා, ආත්මයක් සහිත "පණ ඇති" හා ආත්මයක් රහිත "පණ නැති" දේ වෙන් කර ගැනීමට නිර්ණායකයක් අවශ්‍ය වේ. ඒ සඳහා, කොතනින් හෝ ඉරක් අඳින්නට සිදු වේ. එහෙත්, මේ ඉර කාටත් එකඟ විය හැකි පැහැදිලි එකක් නොවේ.  


ආබ්‍රහමික ආගම් වල මේ ඉර ඇඳ ඇත්තේ මිනිසුන් අනෙකුත් සියළුම සතුන් හා ශාක වලින් වෙන් කරමිනි. මේ අනුව, එක්කෝ අනෙකුත් සතුන්ට මිනිසුන්ට මෙන් ආත්මයක් නැත. එසේ නැත්නම්, සතුන්ට ඇත්තේ මිනිසුන්ට ඇති ආත්මයට වඩා වෙනස් ආත්මයකි. මේ අනුව, ආහාරය පිණිස සතෙකු මැරීමේ හා තිරිඟු ගසක් කපා තිරිඟු ඇට සූරා ගැනීමේත් බිත්තරයක් තැම්බීමේ හා අර්තාපල් අලයක් තැම්බීමේත් ආකෘතිමය වෙනසක් නැත. බෞද්ධ ඉගැන්වීම් වලට වඩා පරම්පරාවකින් පරණ, පරම අවිහිංසාවාදී ධර්මයක් වන ජෛන ඉගැන්වීම් අනුව ආහාරය පිණිස සතෙකු මැරීම මෙන්ම ශාකයක් විනාශ කිරීමද වරදකි. මේ නිසා ජෛනාගමිකයෝ ආහාරයට ගන්නා කොටස ලබා ගැනීම සඳහා ජීවී ශාකයක් 'මරා දැමිය යුතු' අල වර්ග හා ළූණු වර්ග ආහාරයට නොගනිති. 

සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඉගැන්වීම් අනෙකුත් සමකාලීන මෙන්ම පසුකාලීන ආගමික ඉගැන්වීම් වලින් මූලික වශයෙන්ම වෙනස් වන්නේ භෞතික සිරුර තුළ ඇති ස්ථිර හෝ සදාකාලික ආත්මයක් පිලිබඳ අදහස ප්‍රතික්ෂේප කිරීම නිසාය. (ආත්මවාදය ප්‍රතික්ෂේප කළ වෙනත් ශාස්තෘවරුද බුද්ධ කාලයේ මෙන්ම ඊට පෙරත් සිටියහ.)

"කොයි සතාගේ පණත් සමානය" යන  වෛදික අදහස බෞද්ධ ඉගැන්වීම් සමඟ ගැලපෙන්නක්යයි මා සිතන්නේ නැත. බුද්ධ දේශනා වලින් බොහෝ විට ඉස්මතු වන්නේ වෙනත් සත්ත්ව ජීවිත වලට සාපේක්ෂව මිනිස් ජීවිතයක ඇති වැඩි වටිනාකම පිලිබඳ අදහසයි. සිද්ධාර්ථ ගෞතමයින් විසින් දකින මිනිසා බුද්ධිය අතින් අනෙක් සියළු සත්ත්ව වර්ග වලට වඩා ඉදිරියෙන් සිටින සතෙකි.

බෞද්ධ අවිහිංසාවාදයේ පදනම වනුයේ වැඩි බුද්ධි මට්ටමක් ඇති මිනිසුන් විසින් තමන්ට මෙන්ම හැඟීම් දැනීම් ඇති, මරණය හා දඬුවම් හේතුවෙන් බියට හා තැති ගැන්මට පත්වන තවත් සතෙකුව එසේ වේදනාවට පත් කිරීම නොතරම් දෙයක් බවයි. එය පුද්ගල නිදහස පිළිබඳ සංකල්පය හැඟීම් දැනීම් ඇති වෙනත් සත්ත්ව කොටස්ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීමක් මිස හරකෙකුගේ හෝ අලියෙකුගේ ජීවිතය මිනිස් ජීවිතයක් සමඟ සමාන කිරීමක් නොවන බව මගේ අදහසයි.


ප.ලි. උඩ ඇති රූපයේ ඔබට පෙනෙන්නේ අලි ඔළුවක්ද නැත්නම් හරක් ඔළුවක්ද?

(Image: www.alamy.com)

Saturday, March 19, 2016

කවදාක කොහොම කොයි ලෙසකද මා බිහි වූයේ?



මේ ලිපිය කලින් "මරණය දුකක් වන්නේ කාටද?" මාතෘකාව යටතේ පළකළ ලිපියට සම්බන්ධය. එමෙන්ම, ඒ ලිපියේ මුලින් ඇති වියාචනය මේ ලිපියටද අදාළය. පෙර ලිපියෙන් මා කතා කළේ මරණය දුකක්ය යන කරුණ විශ්වාසය හෝ තර්කනය මත මිස ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගත නොහැකි බවයි. ඒ, අප කවුරුත් තවම මියගොස් නැති බැවිනි.

අප කිසිවෙකු තවම මියගොස් නැත්තේ වුවද ඉපදී සිටින්නෙමු. එසේනම්, අපට ඉපදීම දුකක්ය යන්න විශ්වාසය හෝ තර්කනය මත පිළි නොගෙන ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගැනීමේ හැකියාවක් තිබේද?

බුද්ධ දේශනා අනුව, ඉපදීමේ දුක ලෙස දක්වා ඇති කරුණු බොහොමයක් ඇත්තටම ඉපදීමෙන් පසුව ජීවත්වීමේදී ඇතිවන දුක්ය. මේ අර්ථයෙන්, ඉපදීම දුකක් වන්නේ ඉපදීම නිසා වෙනත් දුක් ඇතිවන බැවිනි. ඒ හැරුණු විට, ඉපදීම හා කෙළින්ම අදාළ වන කරුණු කිහිපයක්ද විස්තර වේ.

ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ- මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිදු වීම.
ගර්භ පරිහරණ මූලික දුක්ඛ - මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක.
වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ- අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වීම.


ඉපදීම හා සෘජුවම අදාළ වන මේ දෑ දුක්යැයි අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද? අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, ඒ දුක උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වන දුකට සමාන කරන්නට වන්නේ තර්කනයෙන් හෝ විශ්වාසයෙනි. අප කවරෙකුට හෝ මාස නවයක් නොව දවසක් වුවද අතපය හකුළුවා කුඩා අවකාශයක සිර වී සිටින්නට සිදුවුවහොත් විඳින්නට වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, අපට එය දුකක් වන්නේ අතපය දිගහැර ගෙවන නිදහස් ජීවිතයකට අප පුරුදු වී සිටින නිසාය. එවැනි අවකාශයක සිටීමට හුරු වී සිටින කෙනෙකු ඒ ගැන ඒ අයුරින්ම සිතනු ඇත්ද? ගර්භාෂයෙන් එළියට පැමිණ නිදහසේ වසර ගණනක් දිවි ගෙවා ඇති වැඩිහිටියෝද බොහෝ විට තමන් වටකර අදෘශ්‍යමාන කාල්පනික ගර්භාෂ බිත්තියක් මවාගෙන ඒ තුළ සිරවී සිටීමට කැමැත්තක් දක්වනු අපට බොහෝවිට නිරීක්ෂණය කළ හැකි දෙයකි.

අවාසනාවකට මේ අවස්ථා කිසිවක් අපට මතක නැත. ගර්භ කාලය හෝ ඉපදෙන අවස්ථාව තබා තමන්ගේ ජීවිතයේ මුල් වසර දෙක තුළ සිදුවූ සිදුවීමක්වත් හරිහැටි මතක ඇති කිසිවෙකු මේ ලිපිය කියවන්නන් අතර ඇතැයි මම නොසිතමි. පර්යේෂණ අනුව පෙනී යන්නේ වැඩිහිටියෙකුට විස්තරාත්මකව මතක ඇති මුල්ම සිද්ධිය වයස 2-4 අතර කාලයේදී සිදුවූවක් බවයි. මගේ වයස වසර 2 1/2 දී පමණ අපේ පවුලට අළුතින් සාමාජිකයෙකු එක්වීම මට කිසිසේත්ම මතක නැතත් වයස වසර 3 1/2 දී අළුත් සාමාජිකයෙකු එකතු වනු මට හොඳින් මතක තිබේ. එමෙන්ම, මේ සිදුවීම් දෙක අතර කිසියම් අවස්ථාවක සිදුවූ ගෙවල් මාරු කිරීමක්ද මට මතක තිබේ. මට දැනට මතක ඇති පැරණිම සිදුවීම මේ ගෙවල් මාරුවයි.


එසේනම් ඊට පෙර සිටියේ මා නොවේද?

මා නමැති පුද්ගලයා මා විසින් අර්ථ දක්වා ගන්නේ මගේ වර්තමාන මතකයට සාපේක්ෂවය. මෙය කාටත් පොදුය. මේ මොහොතේ ඔබ ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවයි. ඊයේ හෝ පෙර දිනකද ඔබ එය කියවූ බව ඔබට මතක තිබේ. ඒ අනුව, අද ජීවත්වන්නේ ඊයේ හෝ එදා ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවූ ඔබමයැයි ඔබට සිතේ.

දශක හතරකට පමණ පෙර තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පරකන්දෙණිය ගමේ කොල්ලෙක් බිම වැටී තිබූ රුපියල් දෙකේ කොළයක් දැක හිමිහිට සාක්කුවට දමාගනී. පසුව එම මුදල ඔහුගේ බැංකු ගිණුමේ තැන්පත් කරයි. තවත් දවසක් හෝ කිහිපයක් සිය නැන්දා විසින් දෙන කෑම කන්නට එන බල්ලන්ට ගල් වලින් ගසා උන් වේදනාවෙන් කෑගසමින් දුවනු දැක සතුටුවේ. මේ සිදුවීම් මතකයේ ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මැදිවිය ඉක්මවූ වැඩිහිටි පුද්ගලයෙකු දශක හතරකට පෙර මේ දේවල් කළ කොල්ලා තමායැයි සිතා අනුන්ගේ මුදලක් වැරදි ලෙස ගැනීම ගැනත්, අසරණ සතෙකුට හිරිහැර කිරීම ගැනත් වරදකාරී හැඟීමක් ඇති කරගනිමින් පසු තැවේ. මේ දෙදෙනා එක් අයෙකු වන්නේ වැඩිහිටියාගේ අඛණ්ඩ මතකය තුළය. එසේනම්, මම මා වන්නේ මගේ මතකය තුළද? මා විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යනු දුටු බව බොහෝ දෙනෙකුට මතක ඇතත් මට ඒ බව අමතකනම් ඇත්තටම මා එවැන්නක් කළෙම්ද? 


බොහෝ වැඩිහිටියන්ට තමාගේ වයස 2-4 පමණ කාලයට පෙර සිදුවීම් මතක නැතත් එය එසේ වන්නේ වයස 4-5දී හෝ ආසන්න කාලයකදී කුඩා කාලයේ මතක ක්ෂය වී යන බැවිනි (Childhood amnesia). කුඩා දරුවෙකුට වයස අවුරුදු 1-2 අතර කාලය පිලිබඳ යම් මතකයක් තිබේ. එහෙත්, ඊට පෙර කාලය පිලිබඳ එවැනි පැහැදිලි මතකයක් ඇති බවක් තහවුරු වී නැත. එසේනම් ඊට පෙර සිටියේ මමමද?

මමයැයි මා සිතන ජීවත්වන, මියයාමට නියමිත පුද්ගලයෙකු සිටීනම් ඔහු (හෝ ඇය) ඉපදුනු අවස්ථාවක්ද තිබිය යුතුය. මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන විට මම ඉපදී සිටියෙමි. එමෙන්ම, මගේ පියාගේ ශුක්‍රාණුවක් හා මවගේ ඩිම්බයක් එකට එකතුව යුක්තානුවක් ඇති වන තුරු මා ඉපදී සිටීමේ ඉඩකඩක් නැත. මා යනු මගේ සිරුර නොවුවද මගේ සිරුර නැත්නම් මා යනුවෙන් පුද්ගලයෙකු සිටීමේ ඉඩක් නැත. එසේනම්, පිළිසිඳගැනීම සිදුවූ තැන් සිට මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන අවස්ථාව අතරතුර යම් මොහොතක මගේ උපත සිදුව තිබිය යුතුය.

මේ මොහොත මා මවුකුසින් එළියට පැමිණි මොහොතද?

ඇත්තටම ඒ අවස්ථාවේ වෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් කිහිපයක් පමණි. මගේ මව හා පැවති ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය බිඳ දමා ඇතැම් ජීව විද්‍යාත්මක කරුණු අතින් ස්වාධීන සිරුරකට හිමිකම් කීමට හැකිවීම මගේ උපතනම්, ඉපදීම යනු ජීව විද්‍යාත්මක හා භෞතික කරුණක් පමණි. එසේනම්, මා යනු මගේ සිරුර විය යුතුය. එය එසේ විය නොහැකි බව පෙර ලිපියක අපි කතා කළෙමු.

උපන් අළුත කුඩා දරුවෝ මෙන්ම ගර්භාෂයේ සිටින දරුවෝද බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, මතකයේ ආරම්භක සීමාවට පෙර මා නම් වූ පුද්ගලයෙකු නොපැවති බව කිවනොහැක. එමෙන්ම මොළයක් හා/හෝ ස්නායු පද්ධතියක් වර්ධනය වන තුරු මම නම් වූ පුද්ගලයෙකු සිටිය නොහැකිය. බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට මොළය පුහුණු වෙද්දී යම් කිසි අවස්ථාවක මමනම් වූ මැරෙන තුරු ජීවත්වන පුද්ගලයා උපදී.

එය සිදුවන නිශ්චිත මොහොතක් තිබේද?


(Image: www.themotherish.com)

Saturday, March 5, 2016

මරණය දුකක් වන්නේ කාටද?


දුක විස්තර කෙරෙන "තත්‌ථ කතමං දුක්‌ඛං අරියසච්‌චං? ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා, මරණම්‌පි දුක්‌ඛං, සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසාපි දුක්‌ඛා, අප්‌පියෙහි සම්‌පයොගො දුක්‌ඛො, පියෙහි විප්‌පයොගො දුක්‌ඛො, යං පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං, සංඛිත්‌තෙන පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා දුක්‌ඛා." යන සච්ච විභංග පාඨය අප බොහෝ දෙනෙකු බොහෝ වර අසා ඇත. මෙහි කියවෙන්නේ දුකට හේතු වන කරුණු ගැනය.

මේ කරුණු වලින් දෙකක් හැර අනෙත්වා සම්බන්ධව බෞද්ධයෙකු නොවන කෙනෙකුට වුණත් ලොකු අවුලක් තිබිය නොහැකිය. වයස්ගත වීම, අප්‍රියයන් හා එක්වීම වැනි කරුණු දුකට හේතුවන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයන්ය. එහෙත්, ටිකක් හිතා බැලුවොත් උපත හෝ මරණය දුකක් වන බව එවැනි ප්‍රත්‍යක්ෂ සත්‍යය නොවේ. කිසිවෙකු අපට කියා දී ඇති නිසා හෝ තර්කානුකුල හේතූන් මත විශ්වාස කරනු මිස උපත හෝ මරණය දුකක් බව අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද?

මේ ගැන කතා කරන්නට පෙර වියාචනයක් (රවිගෙන් උගත් වචනයකි.) කරන්නට සිදුවේ. මේ ලිපියෙන් කිසිවෙකුගේ ආගමික විශ්වාසයන්ට අපහාසයක් කිරීමේ අරමුණක් නැතත් එසේ සිදුවනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනු හැර වෙනත් කළ හැකි දෙයක් නැත. මා හිතන දේවල් මා නොලිවුවොත් ඒවා ලියන්නට වෙන කෙනෙක් නැති විය හැකිය. 

මේ දෙකෙන් මරණය ගැන පළමුව කතා කළහොත්, මියයන අයෙකුගේ අවසාන අත්දැකීම කුමක්ද කියා හරියටම දැනගැනීමට අපට කිසිම ක්‍රමයක් නැත. මේ තත්ත්වයට කිට්ටුවම අපට ඇති පළමෝත නිරීක්ෂන වන්නේ කිසියම් හේතුවකින් මරණය කිට්ටුවටම ගොස් ආපසු පැමිණි අයගේ මරණාසන්න අත්දැකීම්ය. මේ වන විට එවැනි අත්දැකීම් ලැබූ දහස් ගණනක් විසින් වාර්තා කර ඇති අත්දැකීම් වල කිසියම් සමානත්වයක් තිබේ.

මාසයකට පමණ පෙර රසික විසින් ඔහු ලැබූ මෙවැනි අත්දැකීමක් විස්තර කර තිබුණේය. එය වෙන
ත් අය ලැබූ එවැනි අත්දැකීම් වලින් ලොකුවට වෙනස් නොවේ.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.


මෙවැනි අත්දැකීම් වාර්තා එකතුවක් පවත්වාගෙන යන http://www.nderf.org වෙබ් අඩවියේ මේ වන විට එවැනි සිදුවීම් පිලිබඳ වාර්තා 4100ක් සටහන්ව ඇත. ඒ අත්දැකීම් පැහැදිලි කිරීම පසෙකට තබා දැනට යම් සාරාංශගත කිරීමක් පමණක් කළහොත් බොහෝ දෙනා ලබා ඇති අත්දැකීම් මෙසේය.

-ඉතා දීප්තිමත් ආලෝකයක්
-හැම දිශාවම දර්ශනය වන පෙනීමක් (panoramic view)
-තමන්ගේ සිරුරින් ඉවත්ව සිටිනාවක් වැනි හැඟීමක්
-කාලය නොයන බව හෝ කාලය පිලිබඳ හැඟීමක් නොමැති තත්ත්වයක්
-වඩාත්ම වැදගත් කරුණ: වේදනාවක් නැති සහනදායී හැඟීමක් 


මරණාසන්න මොහොතේදී තමන්ට ඉවසන්නට අමාරු තරමේ වේදනාවක් දැනුනු බවක් බොහෝවිට වාර්තා වී නැති අතර වාර්තා වී ඇත්තේ එහි අනිත් පැත්තයි. කෙසේවුවද, තමන් ජීවත්ව සිටියදී බැඳී සිටි යමක් සිහිව නැවත හැරී ආ බවද බොහෝ විට කියැවී ඇති දෙයකි.

මරණාසන්න අත්දැකීම් වාර්තා කර ඇති අය ඒ තත්ත්වයට පත් වූවන්ගේ අහඹු නියැදියක් ලෙස අපට නිශ්චය කිරීමට නුපුළුවන. මරණයට පත්වන අයගේ අත්දැකීම්, ඇතැම් විට, මෙසේ මරණය ආසන්නයටම ගොස් ආපසු හැරී එන අයගේ අත්දැකීම් වලින් වෙනස් වන්නට පුළුවන.

මෙසේ ආපසු හැරී එන අය වෙනස් වන්නේ මේ ක්‍රියාදාමය අතරතුර යම් මොහොතක ඇතිවන ජීවත්වීමේ ආශාව නිසාද? එසේනම්, මියයන අය අවසන් මොහොතේ එවැනි ආශාවක් ඇති නොවූ, අර රසික විස්තර කළ සැන්ශේෂණල් ෆීලින් එකෙන්ම මරණයට පත්වූ අයද? එසේ නැත්නම්, තමන් ආශා කළ දේ සිහි කරමින්, ආපසු ඒමට නොහැකි වීම ගැන විශාල දුකකින් ඔවුන් මරණයට පත් වනවාද?

අප දැඩි සේ ආදරය කරන කෙනෙකු සදහටම වෙන්වීම අපට විශාල දුකකි. ඇතැම් විට මියයන පුද්ගලයෙකුටද තමන් ආශා කළ සියළු දෙයින් සදහටම වෙන්වීමට සිදුවන බව සිහිවීම මරණාසන්න මොහොතේ ඇතිවන විශාල දුකක් වන්නට පුළුවන. ඒ හැරුණු විට මරණය හා අදාළ විශාල ශාරීරික වේදනාවක් ඇති බවක්නම් පෙනෙන්නේට නැත. මරණාසන්න අත්දැකීම් වලින්ද පසුවට එන මේ අවසන්ම අවසන් මොහොත කවරක් වුවද, ඒ ගැන විශ්වාස කරනු මිස ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමේ හැකියාවක් අපට නැත.

මේ මරණය ගැනය. එසේනම්, ඉපදීම දුකක්දැයි අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකිද?


(Image: www.desktopwallpapers4.me)

Thursday, July 30, 2015

අහිංසකට ලැබුණු ආන්තික තල්ලුව

අද ඇසළ පෝයයි. ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥයෙකු වූ ගෞතම බුදුන් වහන්සේ සිය විශිෂ්ඨ සොයාගැනීමේ සාරාංශය මුල් වරට ප්‍රකාශයට පත් කළේ ඇසළ පෝ දිනකයැයි  සඳහන්ය.

සිද්ධාර්ථ ගෞතමයන් අසහාය බුද්ධිමතෙකු වූ බව අවිවාදිතය. ඔහු උපන් කාලයේ හැටියට, පරිපූර්ණ විධිමත් අධ්‍යාපනයක් ලබා විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික දැනුමක් ලබා ගැනීමටද ඔහුට හැකිවිය. එහෙත්, මෙසේ ලබා ගත් දැනුමෙන් ඔහු සෑහීමකට පත් නොවීය.

සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිතයේ දෙවන යුගය කැප කළේ එක්තරා නිශ්චිත ප්‍රශ්නයකට පිළිතුර සොයා ගැනීමටය. ඒ, මිනිසාගේ අතෘප්තියට හේතුව කුමක්ද යන්නයි.

මේ ප්‍රශ්නය අනෙකුත් කුදු මහත් සියළු ගැටළු වලට වඩා වැදගත් ලෙස ඔහුට පෙනුණේය. දුකට හේතුව සැප විඳීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් සම්පත් නොමැති වීම බව මේ යුගයේ බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නට ඇත. අදත් ප්‍රධාන ධාරාවේ චින්තනය මෙයයි.

භෞතික සම්පත් හා හෝමෝ සේපියන්ස්ලා තෘප්තියයැයි සිතන දෙය අතර සම්බන්ධතාවක් තිබේ. එහෙත්, මේ සම්බන්ධතාව නිර්-රේඛීය සම්බන්ධතාවකි. ව්‍යතිරේඛ ඇතත්, භෞතික සම්පත් වැඩිවන විට බොහෝ දෙනෙකු අත් විඳින තෘප්තිය වැඩිවේ. එහෙත්, භෞතික සම්පත් වැඩි වන විට තෘප්තිය වැඩිවන්නේ අඩු රේට්ටුවකිනි.

මේ නිසා භෞතික සම්පත් වැඩි කර ගැනීමෙන් පුද්ගලයෙකුට පූර්ණ තෘප්තියකට පත් වීමේ හැකියාවක් නැත. ආර්ථික විද්‍යාව මඟින් කියා දෙන්නේ හෝමෝ සේපියන්ස්ලාගේ ජානගත පුද්ගල ස්වභාවය වෙනස් නොකර සීමිතව ඇති භෞතික සම්පත් කළමනාකරණය මඟින් තෘප්තිය වැඩි කරගන්නා ආකාරයයි. එසේ කිරීමේදී, පුද්ගල රුචිකත්වය ස්වභාවිකත්වය ලෙස සලකන අතර එය වෙනස් කිරීමට උත්සාහයක් නොදැරේ.

සිද්ධාර්ථ ගෞතමයන්ට සමකාලීන සමාජයේ අනෙකුත් බොහෝ දෙනෙකුට වැඩියෙන් භෞතික සම්පත් භුක්ති විඳීමේ අවස්ථාව ලැබුණේය. එහෙත්, මේ භෞතික සම්පත් නිසා ලැබුණු තෘප්තිය ඔහුව සෑහීමකට පත් නොකළේය. කුඩා කාලයේදීම සිය මව අහිමිවීමත් මේ අතෘප්තිය තීව්‍ර කළාදැයි මම නොදනිමි.

සිද්ධාර්ථ ගෞතමයන් ඉදිරියේ නිශ්චිත පර්යේෂණ ගැටළුවක් තිබුණේය. අද පර්යේෂකයෙකු කරන අයුරින්ම, ඔහු මුලින්ම කළේ මේ ගැටළුවට ඒ වන විට යෝජනා කර තිබුණු පැහැදිලි කිරීම් හා විසඳුම් සියල්ල අධ්‍යයනය කිරීමයි. අද භාෂාවෙන් මෙය සාහිත්‍ය සමීක්ෂණයකි. (ලිට්රචර් සර්වේ එකකි.) ඒ විසඳුම් කිසිවක් ඔහුගේ ශාස්ත්‍රඥ මනසට නිසි පැහැදිලි කිරීම් හෝ විසඳුම් ලෙස පෙනුනේ නැත. මේ නිසා අළුතින් දැනුම නිර්මාණය කිරීමට ඔහුට සිදුවිය. ඔහුගේ විසඳුම වූයේ තමන් සතු බාහිර සම්පත් වලින් තෘප්තිමත් නොවී, වැඩි වැඩියෙන් සම්පත් ලුහු බඳින පුද්ගල ස්වභාවය අභ්‍යන්තරයෙන් වෙනස් කිරීමයි.

අද කාලයේ පර්යේෂකයෙක් කරන්නක් මෙන්ම, මූලික වශයෙන් තමන්ගේ ශාස්ත්‍ර පිපාසය නිවා ගැනීම සඳහා පර්යේෂණයක් කර තමන්ට සෑහීමකට පත් විය හැකි විසඳුමක් සොයාගත් ගෞතම බුදුන්ට මුලින්ම මේ පර්යේෂණ ප්‍රතිඵලය වෙනත් අයට ඉදිරිපත් කිරීමට උනන්දුවක් ඇති වූයේ නැත. එයට හේතු වූයේ ප්‍රායෝගිකව එය පහසු කටයුත්තක් නොවන බවට වූ තක්සේරුවයි.

කෙසේ වුවද, ගෞතම බුදුන් ලෙස සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිතයේ තෙවන යුගය ගෙවුණේ මේ පර්යේෂණ ප්‍රතිපලය වෙනත් පුද්ගලයින් හරහා තහවුරු කර පෙන්වීමටය. (රෙප්ලිකේට් කිරීමටය.)

ගෞතම බුදුන් තමන් ස්ව-අධ්‍යනයෙන් ලබා ගත් දැනුම සම්ප්‍රේෂණය කළ ප්‍රධාන ආකාර දෙකක් විය. මීටරෙන් ගොඩ යන අයට මීටරෙන් ගොඩ යාමට සැලැස්වීම සහ මෝටරෙන් ගොඩ යන අයට මෝටරෙන් ගොඩ යාමට සැලැස්වීමයි. ඔය දෙආකාරයෙන්ම ගොඩ දැමිය නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි දෙන දෙයක් කා කියන දෙයක් අහගෙන සිටින බහුතර හුදී ජනයා තවත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ටවත් ගොඩ නොයන බව පැහැදිලි නිසා ඒ අයටත් මොනවා හෝ කියාදීමට කාරුණික වුවත් ගෞතම බුදුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ගොඩ දැමිය හැකි සුළු පිරිසයි.

අද කාලයේත් තත්ත්වය මේ වගේමය. විභාගයක් කියන්නේ අවබෝධය නොවූවත් විභාගයක් උදාහරණයට ගත්තොත් ඇතැම් අය අවුරුද්දම පිස්සු කෙළ කෙළ හිටියත්, අන්තිම සුමානේ වැඩ කර මීටරෙන් ගොඩ දමති. තවත් සමහර අය අවුරුද්ද පුරා එක දිගට මහන්සියෙන් වැඩ කර මෝටරෙන් ගොඩ දමති. මීටරයත්, මෝටරයත් දෙකම හොඳින් වැඩ කරන විට යා හැකි දුර බොහෝය. දෙකෙන් එකක්වත් නැත්නම් ගොඩයාම පහසු නැත.

අහිංසක අම්බානක මීටරයකි. තක්ෂිලාවේ බැච් ටොපාය. කොච්චර මීටර් වුණත් සමාජ ජීවිතයේදී ඇනගැනීම දුලබ නැත. අහිංසකත් එකට කාගෙන බීගෙන සිටි යාළුවන්ගේ වෘත්තීය ඊර්ෂ්‍යාවට ලක්විය. ඒ වගේම අහිංසකගේ මෝටරයත් හොඳින් වැඩ කළේය. ඉලක්කයක් දුන් විට එයට ලඟා වන තුරු ඔහුට ඉවසිල්ලක් නොතිබුණේය.

අහිංසකට ලැබුණු ඉලක්කය ඇඟිලි දහසක මාලයකි. ඒවා නිකම්ම ඇඟිලි වුනානම් පනහෙන් වැඩේ ගොඩය. එහෙත්, අවශ්‍ය වුනේ දකුණු අතේ මාපට ඇඟිලි නිසා දාහක්ම ඕනෑ විය. ගැල් කණ්ඩායම් වැනි තැන් වලට පහර දීමෙන් ඔහුට එකවර ඇඟිලි ගොඩක් එකතු කර ගත හැකි විය. මේ අතර තනි තනි අයත් අහු වුණේය.

අද වාගේම එදත් නීතිය ක්‍රියාත්මක වුණේ අස්සයා ඉස්තාලෙන් බොහෝ දුර ගියාට පස්සේය. කොසොල් රජතුමා අංගුලිමාල වූ අහිංසකව අල්ලා ගැනීමට හමුදා ක්‍රියාන්විතයක් අරඹන විට අංගුලිමාල ඔහුගේ අවසන් ඉලක්කයටත් කිට්ටුය. කොසොල් රජතුමාගේ හමුදාවට අංගුලිමාලව හමුවුනානම් ඔහුට ආයුධ පෙන්නන්නට යන්නට වෙන එක අහන්නත් දෙයක් නොවේ.

ගෞතම බුදුන් එයට පෙර ඉස්සර විය. රටේ සිටි හැම අපරාධකාරයෙක් ඉදිරියටම ගෞතම බුදුන් මේ අයුරින් ගියේ නැත. අඩුගානේ අල්ලපු වත්තේ සිටි මස් කඩ කාරයාටවත් බණ කියන්නට ගියේ නැත. එසේ තිබියදී, ගෞතම බුදුන් අවදානම නොතකා අංගුලිමාල ඉදිරියට ගියේ තමා පිළිබඳවත් අංගුලිමාල නම් වූ අහිංසක පිළිබඳවත් වූ විශ්වාසය නිසාය. නොමඟ ගිය බුද්ධිමතෙකු වූ අහිංසකව නිසි මානසික ප්‍රතිකාර දී සුවපත් කළ හැකි බව ගෞතම බුදුන් දැන සිටියේය.

"මහණ, නොදුව!"

අහිංසක කෑ ගැසුවේය.

"මම නොදුවමි. දුවන්නේ ඔබය."

අංගුලිමාලගේ පිස්සු ඩබල් විය. තක්ෂිලාවේ බැච්ටොප් වූ අහිංසක ගෞතම බුදුන් ගැන සහ ඔහුගේ ඉගැන්වීම් ගැන හොඳින් දැන සිටියේය. ඒ ගෞතම බුදුන් බොරුවක් කීමට විදිහක් නැත. එහෙත්, ඇස් දෙකට පෙනෙන්නේ වෙන දෙයකි.

වෙන ටියුබ් ලයිට් එකකටනම් මළාට නොතේරෙන ගෞතම බුදුන්ගේ පණිවුඩය අහිංසකට පටස් ගා මීටර් විය. ඒ පණිවුඩයෙන් ඔහුට අවශ්‍ය ආන්තික තල්ලුව ක්ෂණිකව ලැබුණේය. කොසොල් රජුන්ට සිදුවුණේ අංගුලිමාල තෙරුන්ට පසඟ පිහිටුවා වැඳ ඔහුගේ හමුදා සේනාංකද සමඟ ආපසු යන්නටය.

මෙසේ පොඩි ආන්තික තල්ලුවකින් ගොඩ දැමිය හැකි මානසික තත්වයක සිටි, අවශ්‍ය සහජ බුද්ධියට හිමිකම් කියූ එක් තැනැත්තෙකු හෝ වෙනුවෙන් බොහෝ දුර කතර ගෙවා වුවද යමින් තම කාලය යෙදවීමට ගෞතම බුදුන් නොපැකිලුනේ එහි ඵලදායීතාව වැඩි නිසාය. මෝටරෙන් ගොඩයාමේ හැකියාව තිබූ වෙනත් අයට ලැබුණේ වරකට එක බැගින් වූ ක්‍රමික උපදෙස් පන්තියකි.

පසුකාලීනව බුද්ධ ශ්‍රාවකයින් තමන් උගත් දෙය වෙනත් අයට කියා දෙද්දී බොහෝ විට භාවිතා කළේ තමන් ගොඩ ගිය ක්‍රමයයි. මේ ක්‍රම දෙකම කාලයක් සමාන්තරව පැවතුණේය.

අද ඇති ථෙරවාද සම්ප්‍රදාය පුද්ගලයෙකු ටිකින් ටික පරිවර්තනය කර දිගු කාලයකින් ගොඩ දමන ක්‍රමයකි. සෙන් සම්ප්‍රදායේදී සිදුවන්නේ ගුරුවරයා විසින් ශිෂ්‍යයා නිසි මානසික තත්ත්වයේ සිටින බව හඳුනාගෙන පොඩි ආන්තික තල්ලුවක් යෙදීමයි.

(ඡායාරූපය එහි සඳහන් කර ඇති තැනිණි. ඉකොනොමැට්ටාගේ ශෛලියෙන් කාගේ හෝ විශ්වාසයන්ට රිදුණේනම් කණගාටුව ප්‍රකාශ කරමි.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...