වෙබ් ලිපිනය:

Showing posts with label නවමු පුවත්. Show all posts
Showing posts with label නවමු පුවත්. Show all posts

Thursday, February 11, 2016

වසර බිලියන 1.3ක අතීතයට සවන් දෙමු!

මා පෙර ලිපියේ සටහන් කළ පරිදිම ඊළඟ ලිපිය ලියා පැය විසි හතරකින් පසු ස්වයංක්‍රීයව පළවෙන්නට ඉඩ හැර තිබුණේය. එහෙත්, අනාගතය නිශ්චිත නැත. මගේ වත්මන් විෂය ක්ෂේත්‍රයට දුරස්ථ විෂයකට අදාළ කරුණක් වුවත්, මීට ටික වේලාවකට පෙර සිදු වූ අසිරිමත් සිදුවීමක් ගැන කෙටියෙන් හෝ සටහනක් දැමීමට ඉඩක් ගැනීමට ඒ ලිපිය පසුපසට තල්ලු කර හැරීම නොකර සිටිය නොහැකි දෙයකි.

දිනය: 2016 පෙබරවාරි 11
වේලාව: පෙරවරු 10:35
ස්ථානය: ජාතික පුවත් සමාජය, හෝල්මන් ලෝන්ග්, 13වන මහල, 529 වයඹ 14 වන වීදිය, වොෂින්ටන් ඩීසී.
ශ්‍රී ලංකා වේලාව: පස්වරු 9:05
කථක: ෆ්‍රැන්සිස් කෝර්ඩෝවා (ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ)

"නෝනාවරුනි මහත්වරුනි, අපි ගුරුත්ව තරංග නිරීක්ෂනය කළා!!! අපි එය කළා!!!!!!!!!!!! "

වසර බිලියන 1.3කට පෙර, පෘථිවිය මත බහුසෛලික ජීවීන් ව්‍යාප්ත වීම යාන්තම් ඇරඹුණු අළුත, කළු කුහර දෙකක් එකිනෙක වෙත ආකර්ෂණය වී එක් කළු කුහරයක් බවට පත් විය. මෙයින් එක් කළු කුහරයක් සූර්යයා මෙන් 36 ගුණයක්ද අනෙක සූර්යයා මෙන් 29 ගුණයක්ද විශාල විය. එකිනෙක වෙත ආකර්ෂණය වූ මේ කළු කුහර දෙක ඔවුනොවුන් වටා ආලෝකයේ වේගයෙන් අඩක පමණ වේගයෙන් භ්‍රමණය වෙමින් වේගයෙන් ලං විය. අවසානයේදී මේ කළු කුහර දෙක
කිලෝමීටර 210ක පමණ කුඩා ඉඩකඩක් තුළ, සූර්යයා මෙන් 62 ගුණයක ස්කන්ධයක් සහිත තනි කළු කුහරයක් බවට පත් වුනේ සූර්යයා මෙන් තෙගුණයක ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය කරමිනි. මේ සිදුවීම නිසා ඇති වූ ගුරුත්ව තරංග වසර බිලියන 1.3කට පසු, පසුගිය සැප්තැම්බර් 14 දින ග්‍රිනිච් වේලාවෙන් උදේ 09:50:45ට පෘථිවිය වෙත ලඟා විය.

ඇල්බට් අයින්ස්ටයින් විසින් ගුරුත්ව තරංග පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ වසර සියයකට පෙර 1916දීය. එදාමෙදාතුර න්‍යායාත්මක පදනම මත ගුරුත්ව තරංග වල පැවැත්ම භෞතික විද්‍යාඥයින් විසින් විශ්වාස කළත්, කිසිවෙකු ගුරුත්ව තරංග නිරීක්ෂණය කර නොතිබුණේය. 




පසුගිය සැප්තැම්බර් 14 වන දින ඇමරිකාවේ ලුසියානාහි වේලාවෙන් අළුයම 02:50ට ලුසියානා ප්‍රාන්තයේ ලිවින්ස්ටන්හි පිහිටි විද්‍යාගාරයක සිට අභ්යාවකාශය නිරීක්ෂනය කරමින් සිටි විද්‍යාඥයින් පිරිසකට සංඛ්‍යාතය 35ක් වූ 'අමුතු' සංඥාවකට සවන් දීමට හැකි විය. තත්පර 0.25ක පමණ කාලයකට පසු මේ ශබ්දයේ සංඛ්‍යාතය 250 පමණ දක්වා ක්‍රමයෙන් වැඩි වී නෑසී ගියේය.

මේ වන විට වොෂින්ටන් ප්‍රාන්තයේ වේලාව අළුයම 04:50 විය. තත්පර 0.007කට පසුව මේ සංඥාව සැතපුම් දෙදහසක් පමණ දුරින් වොෂින්ටන් ප්‍රාන්තයේ හැන්කොක්හි සිට අභ්යාවකාශය නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥ කණ්ඩායමකටද අසන්නට හැකි විය. ලිවින්ස්ටන් සිට හැන්කොක් දක්වා මේ දැනුණේ වසර බිලියන 1.3කට පෙර එකට ගැටුණු කළු කුහර දෙකේ කම්පනයයි.

මෙවැනි නිරීක්ෂණ හා අදාළව වැරදීම් සිදු වීමට ඕනෑ තරම් ඉඩ ඇති නිසා නිරවද්‍යතාවය හරියටම තහවුරු කරගන්නා තෙක් වැඩිපුර කෑගහන්නට මේ විද්‍යාඥ කණ්ඩායම් හදිස්සි වුනේ නැත. මාස හතරකට පසු දැන් ඔවුන් මේ ශබ්දය වසර බිලියන 1.3කට පෙර කළු කුහර ගැටීම නිසා
ඇතිවුණු ගුරුත්ව තරංග හේතුවෙන් ඇති වූ හඬක් බව තහවුරු කරගෙන තිබේ. වැරදීමක් ඇති වීමට ඇති සම්භාවිතාව 203 000 කට එකක් පමණි.

මේ ඇරී ඇත්තේ විශ්වය දෙස බැලිය හැකි අළුත්ම අළුත් කවුළුවකි. මෙහි වටිනාකම තවම හරියටම හිතාගන්නත් නොහැකිය.

පහතින් ඇත්තේ වසර බිලියන 1.3ක අතීතයක් ඇති ඒ හඬයි.



(Image: www.iflscience.com)

Tuesday, January 5, 2016

විහිළු සපයන ආර්ථික විද්‍යාඥයෝ

කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි ඉපදුණු යොරම් බෝමන් ගණිතය පිළිබඳව ප්‍රථම උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා සියටල්හි පිහිටි වොෂින්ටන් සරසවියට ඇතුළු විය. ඔහු එහිදී 2000 වසරේදී ආර්ථික විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධියද, ඉන් අනතුරුව 2003 වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියද සම්පුර්ණ කළේය.

වොෂින්ටන් සරසවිය වැනි තැනක ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් සම්පුර්ණ කරන කෙනෙකු බොහෝ විට වෙනත් සරසවියක අධ්‍යයන කාර්ය මණ්ඩලයට, රජයේ ඉහළ තනතුරකට හෝ පෞද්ගලික සමාගමක පර්යේෂණ අංශයක රැකියාවකට යොමු වේ. එහෙත්, යොරම් තෝරාගත්තේ වෙනත් මඟකි. ඒ සිය ප්‍රධාන ජීවනෝපාය ලෙස ජනතාවට විහිළු සැපයීමය.

ජනතාවට විහිළු සපයන ආර්ථික විද්‍යාඥයෝ ඕනෑ තරම් සිටිති. එහෙත්, මේ බොහෝ දෙනෙකු තමන් කරන්නේ ජනතාවට විහිළු සැපයීම බව නොදනිති. දැනගත්තත් එය ප්‍රසිද්ධියේ කීමට මැලි වෙති. යොරම්ගේ විශේෂත්වය ඔහු එසේ නොකිරීමයි.

යොරම්ගේ විහිළු නිකම් විහිළු නොවේ. ආර්ථික විද්‍යා විහිළු හෙවත් ඉකොනොමික් ජෝක්ය. මේ විහිළු විහිළු වන්නේ සැලකිය යුතු ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයටය. කොහොමටත් ආර්ථික විද්‍යා විහිළු වල හැටි එහෙමය. ආර්ථික විද්‍යා විහිළු සපයන වෙනත් ඇතැම් ආර්ථික විද්‍යාඥයින්ගේ විහිළු වලට ගොඩක් අයට හිනා යන්නේ නැත්තේත් මේ හේතුව නිසාය. මෙවැනි ඇතැම් විහිළු වලට හිනා නොගියත් සමහර වෙලාවට ඇඬේ.

යොරම්ගේ විහිළු සියල්ලන්ටම නොතේරෙන නිසා ඔහුට සංදර්ශන පවත්වන්නට වෙන්නේ ආර්ථික විද්‍යාඥයින් සිටින හෝ එක්රැස්වන තැන්වලය. අද (ජනවාරි 5 දින) අවසන් වූ ඇමරිකානු ආර්ථික විද්‍යා සංගමයේ වාර්ෂික සමුළුවේදීද යොරම්ගේ සංදර්ශනයක් පැවැත්වුනේය. ලොව පුරා නන්දෙසින් පැමිණි ආර්ථික විද්‍යාඥයින් 12,859 දෙනෙකු සහභාගී වූ, පර්යේෂණ සැසි ගණන 520 ඉක්මවූ, මේ දැවැන්ත සමුළුවේ යොරම්ගේ සභාපතිත්වයෙන් පැවති ආර්ථික විද්‍යා විහිළු සැසිය විශාල සහභාගිත්වයක් පැවති සැසියකි. මේ සැසිය දැන් වසර ගණනාවක සිට පැවැත්වෙයි.

යොරම්ගේ සැසියේ ජනප්‍රියත්වයෙන් පෙනී යන්නේ විහිළු සපයන ආර්ථික විද්‍යාඥයින් කොයිතරම් සිටියත් ඒ කිසිවෙකුට විහිළු සැපයීමවත් හරියට කරන්නට නොහැකි බවයි.

(Image: http://standupeconomist.com/)

Monday, January 4, 2016

මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර හතකට අධික කාලයක් පුරා පවත්වාගෙන ගිය ලිහිල් මුදල් ප්‍රතිපත්තියෙන් ඉවත් වී දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වී තිබේ. මහ බැංකුව විසින් පසුගිය බදාදා නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය අනුව, 2016 ජනවාරි මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6% සිට 7.5% දක්වා 1.5%කින් ඉහළ දමා තිබේ. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාතික වල වෙනසක් කර නැත.

රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය වන්නේ අදාළ රටේ ජාතික මුදල් ඒකකයේ අගය සුරක්ෂිත කිරීමයි. මිල ස්ථායීතාව පවත්වාගැනීම කියන්නේද මෙයටය. ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ යම් රටක උද්ධමනය 'අවශ්‍ය ප්‍රමාණයට' වඩා වැඩි වන්නට ඉඩ නොදී ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමනය මහ බැංකුව මඟින් නිදහස් කරන මුදල් ප්‍රමාණයට කෙලින්ම සම්බන්ධ නිසා මුදල් සැපයුමට තිරිංග යෙදීමෙන් උද්ධමනය පාලනය කිරීමට පුළුවන. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ මෙසේ ආර්ථිකයට මුදල් ගලා ඒම සීමා කරන ප්‍රතිපත්තියකි. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ එසේ මුදල් ගලා ඒම දිරිමත් කරන ප්‍රතිපත්තියකි.

රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය වැඩිවීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීමටනම් එක්කෝ වැඩි වැඩියෙන් මූලික සම්පත් ලැබිය යුතුය. උදාහරණයක් ලෙස, සවුදි අරාබි ආර්ථිකය ඉදිරියට යන්නේ සවුදියේ තෙල් ලිං වල තවමත් හොඳින් තෙල් උනන නිසාය. ඒත්, හැම රටකටම හැම කාලයකම මෙවැනි ස්වීප් ඇදෙන්නේ නැත. දිගුකාලීනව බොහොමයක් ආර්ථිකයන් වර්ධනය වෙන්නේ ඵලදායීතාව දිගින් දිගටම ඉහළ නංවා ගැනීම නිසාය. මෙතැනදී,  ඵලදායීතාව කියා කියන්නේ දැනට තිබෙන මූලික සම්පත් වලින්ම වැඩි අගයක් ඇති නිෂ්පාදන සිදුකිරීමයි. මෙය සිදු කළ හැකි වන්නේ තාක්ෂණ දියුණුවේ උපකාරයෙනි. ඒ හැරුණු විට, රාජ්‍යමූල හෝ මුදල් ප්‍රතිපත්ති මඟින් දිගුකාලීනව සෘජු ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැක.

දිගුකාලීනව ලොකු දෙයක් කළ නොහැකි වුවත්, මුදල් හා රාජ්‍යමූල ප්‍රතිපත්ති මඟින් රටක කෙටිකාලීන ආර්ථික වර්ධනයට බලපෑමක් කළ හැකිය. ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් පොම්ප කර ආයෝජන හා පරිභෝජන වියදම් තාවකාලිකව දිරිමත් කිරීම මඟින් (කෘතිමව වියදම් වැඩි කරවීම මඟින්) ආර්ථික වර්ධනය තරමක් වැඩි කරගැනීමටත්, රැකියා වියුක්තිය අඩු කරගැනීමටත් පුළුවන. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ආයෝජනය හෝ පරිභෝජනය වැඩිකිරීමට නිෂ්පාදනය වැඩිවීමක් සිදු විය යුතුය. නිෂ්පාදනය වැඩිවීමක් සිදු නොවන්නේනම් රටේ මුදල් වැඩි වුණත්, වැඩි වන ඉල්ලුමට ගැලපෙන තරමේ සැපයුමක්  සිදු නොවන නිසා අවසානයේදී සිදුවන්නේ මිල මට්ටම වැඩිවීම (උද්ධමනය) පමණි. ඒ නිසා, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුත්තේ යම් රටක නිෂ්පාදන ධාරිතාව තිබියදී අවශ්‍ය තරම් ඉල්ලුමක් නොතිබීම නිසා ධාරිතාවේ මට්ටමට නිෂ්පාදනයක් සිදුනොවන විටය. පසුගිය කාලයේ ඇමරිකාවේ තිබුණේ එවැනි තත්ත්වයකි.

2008 වසරේ ඔක්තෝබර් මස සිටම මහ බැංකුව විසින් පවත්වාගෙන ගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මහ බැංකුව මෙසේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමෙන් පෙනී ගියේ අදාළ කාලය තුළ මහ බැංකුවේ ස්ථාවරය අනුව උද්ධමනය තර්ජනයක් නොවූ බවයි. එමෙන්ම, රටේ නිෂ්පාදන ධාරිතාව නිෂ්පාදනය පැවති මට්ටමට වඩා වැඩි බවයි.

කොළඹ පාරිහෝගික මිල දර්ශකයේ වැඩිවීම අනුව මේ කාලය තුළ උද්ධමනය මෙසේ විය.
2009- 5.0%
2010- 6.8%
2011- 4.9%
2012- 9.2%
2013- 4.7%
2014- 2.1%
2015- 2.8%

මේ දත්ත අනුව, සමස්තයක් ලෙස ගත් විට මේ කාලය තුළ උද්ධමනය අඩු මට්ටමක පැවතී ඇත. ඒ නිසා ඒ කාලය තුළද රුපියලේ වටිනාකම අඩුවුනත් එය සිදුවුනේ සෙමිනි. ලංකාවේ වෘත්තීය සමිති, මාධ්‍ය හා රජයට සම්බන්ධ නැති දේශපාලන පක්ෂ මෑත දශක කිහිපය තුළ උද්ධමනය ප්‍රශ්නයක් ලෙස දැක ඇත්තේ එය 15% මට්ටමටවත් වැඩි වූ විටය. තනි අංකයේ උද්ධමනයක් ලංකාවේදී නරක දෙයක් ලෙස සැලකෙන්නේ නැත. අනෙක් අතට මහ බැංකුවේ ප්‍රකාශිත දිගුකාලීන ඉලක්කය උද්ධමනය 4-6% සීමාවේ රඳවා ගැනීමයි. මේ අනුව, අදාල කාලයේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තේරුම් ගතහැකිය.

එමෙන්ම, 2014 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වී ඇත්තේ මෙසේය.
2009- 3.5%
2010- 8.0%
2011- 8.2%
2012- 6.3%
2013- 7.2%
2014- 7.4%

මේ සංඛ්‍යා නරක සංඛ්‍යා නොවේ. ඒ අනුවපෙනී යන්නේ පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට උදවු වී ඇති බවය.

දැන් මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් වෙත මාරු වී ඇත. මෙමඟින් ආර්ථික වර්ධනයට බාධා කෙරේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙවැනි තීරණයක් ගන්නට වෙන්නේ එසේ නොකළහොත් සිදුවන හානිය ඊට වඩා වැඩි බව පෙනෙන විටය.

මෙසේ සිදුවිය හැකි ලොකු හානිය කුමක්ද? උද්ධමනය දැනටනම් ඇත්තේ පහළ මට්ටමකය. එහෙත්, ඉදිරියේදී උද්ධමනය වැඩිවීමේ ලකුණු මහ බැංකුව විසින් නිරීක්ෂණය කර තිබේ. මෙයට එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා මේ වන විට අවශ්‍ය මට්ටමත් ඉක්මවා මුදල් සැපයුම ප්‍රසාරණය වීමයි. අනෙක් අතට, ඩොලරයේ අගය ඉහළ යාම නිසා ආනයනික භාණ්ඩ වල මිල වැඩිවීමේ බලපෑමද උද්ධමනය වැඩි වීමට හේතු විය හැකිය. මෙයට අමතරව, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම මඟින් ප්‍රාග්ධනය රටෙන් පිටතට ගලායාම සීමා කිරීමටද අපේක්ෂා කරන බව පෙනේ.


(Image: www.livescience.com)

පළමු පළකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_3.html

Thursday, December 17, 2015

ඇමරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාතික ඉහළට...

ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද දින (16 බදාදා) පැවති ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුවේ ඒකමතික තීරණය පරිදි ෆෙඩරල් පොලී අනුපාතික 0.25-0.50% මට්ටම දක්වා ඉහළ නැංවීය.

පසුගිය දශකයක පමණ කාලය පුරාවට ෆෙඩරල් සංචිත බැංකුව ගෙනගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මීට පෙර අවසන් වරට ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ දැමීමක් සිදු වූයේ 2006 ජුනි මස 26 වෙනිදාය. ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අවපාතයට ප්‍රතිචාර දක්වමින්, 2007 සැප්තැම්බර් සිට, ඒ වන විට 5.25% මට්ටමේ පැවති ෆෙඩරල් පොලී අනුපාතිකය කෙටි කාලාන්තර තුළ වරින් වර පහත හෙලනු ලැබූ අතර, හරියටම වසර හතකට පෙර 2008 දෙසැම්බර් මස 16 වන දින නාමික පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වා අඩු කෙරිණි. එදා මෙදා තුර වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතියේ 0-0.25% මට්ටමේය.

මහ බැංකුවක නාමික පොලී අනුපාතික ශුන්‍ය මට්ටමට පහත හෙළූ විට මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ඵලදායී නොවේ. මෙය එක්තරා ආකාරයකින් මහ බැංකුවේ අවි ගබඩාවේ ඇති අවි අවසන් වීමකි. පොලී අනුපාතික සෘණ අගයකට ගෙන ආ විට බැංකුවක මුදල් තබනවාට වඩා මුදල් අතේ තබා ගැනීම වාසිදායක වන බැවිනි. පොලී අනුපාතික මේ අවම සීමාවට රැගෙන ඒමෙන් අනතුරුවත් ආර්ථික අවපාතයක් අවසන් නොවීම ශුන්‍ය අවම සීමා ගැටළුව (Zero lower bound problem) ලෙස හැඳින්වේ. මෙවැනි තත්ත්වයකට පත් වූ විට ආර්ථික අවපාතයකින් ඉක්මණින් ගොඩ ඒම සඳහා රටකට ඇති එකම ප්‍රායෝගික ක්‍රමය ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල (ෆිස්කල්) ප්‍රතිපත්තියයි. පසුගිය කාලයේ ඇමරිකාව අනුගමනය කළ ක්‍රමෝපායය වූයේ මෙයයි. කෙසේ වුවද රාජ්‍ය මූල ප්‍රතිපත්තිය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මෙමඟින් කෙටිකාලීනව ලැබෙන වාසියට වඩා දිගුකාලීන හානියක් විය හැකිය.

රාජ්‍ය මූල ප්‍රසාරණය හේතුවෙන් 2009 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් 9.8%ක් දක්වා ඉහළ ගියේය. එහෙත්, 2014 වසර වනවිට මේ හිඟය 2.8% මට්ටමට අඩු කර ගැනුණු අතර ලබන වසර වන විට 2.5% මට්ටමට අඩු කර ගැනීමට සැලසුම් කර තිබේ. එමෙන්ම, ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ක්‍රියාමාර්ග ගත් පසුගිය කාලය තුල පටු මුදල් සැපයුම (M1) එ.ජ. ඩොලර් බිලියන 1.4 පමණ සිට බිලියන 3 මට්ටම පසුකරමින් දෙගුණය ඉක්මවා වර්ධනය විය. මුදල් සැපයුමේ මේ විශාල වර්ධනය තවමත් මිල මට්ටම් ඉහළ යැවීමට හේතු වී නැත. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වීමෙන් ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරන්නේ මුදල් සැපයුමේ වර්ධනය සීමා කරමින් උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. මේ ආරම්භක පියවරෙන් අනතුරුව ඉදිරි කාලයේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ දමනු ලැබීම අපේක්ෂා කළ හැකි දෙයකි.

පසුගිය කාලයේදී ඇමරිකාව අනුගමනය කළ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල ප්‍රතිපත්ති සහ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් අයවැය හිඟය මෙන්ම ෆෙඩරල් බැංකුවේ සංචිත මුදල් සැපයුමද විශාල ලෙස ඉහළ ගියේය. ඇතැම් අය අනාවැකි පළකළේ මේ හේතුවෙන් ඇමරිකාව වඩා විශාල, ගොඩ යා නොහැකි ආර්ථික අර්බුදයක හිරවනු ඇති බවයි. කෙසේවුවද, ඇමරිකානු ආර්ථිකය නැවතත් සාර්ථක ලෙස හිස ඔසොවා ඇති බව දැන් පැහැදිලිය. 2009 ඔක්තෝබර් වන විට 10% මට්ටමට ඉහළ ගිය විරැකියා අනුපාතිකය මේ වන විට 5% මට්ටම දක්වා අඩුවී තිබේ. මෙය ඇමරිකාවේ පියවි විරැකියා අනුපාතිකය ලෙස ඇස්තමේන්තු කර ඇති  5.2%ට වඩා අඩු අගයකි. එමෙන්ම මේ වසරේදී 2% ඉක්මවූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරෙන අතර ලබන වසරේදී මේ වර්ධනය 2.2-2.6% මට්ටමට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට ඇමරිකාවේ උද්ධමනය ඇත්තේ 0.5% මට්ටමේය. මෙය දිගුකාලීන ඉලක්කය වන 2% මට්ටමට වඩා තවමත් බෙහෙවින්ම පහළින් ඇතත් මේ වන විට ඉතා අඩු මට්ටමක ඇති ඉන්ධන මිලෙහි බලපෑම ඉවත් වූ විට උද්ධමනය ඉලක්ක මට්ටමට ළඟා වනු ඇතැයි ෆෙඩරල් සංචිත බැංකුව අපේක්ෂා කරයි. ඒ අනුව, දශකයකට ආසන්න කාලයක් පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා පළමු පියවර මෙසේ තබා තිබේ. මේ වැඩිවීම මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරීන් බලාපොරොත්තුවෙන් සිටි බැවින් කොටස් වෙළඳපොළ අගයේ සුළු වැඩිවීමක් හැරුණු විට මේ තීරණයෙන් මූල්‍ය ක්ෂේත්‍රයෙහි සැලකිය යුතු  කම්පනයක් ඇති වූයේ නැත.

ඇමරිකා ආර්ථිකය මෙසේ ශක්තිමත් වූවද යුරෝපා ආර්ථිකය තවමත් ඔවුන්ගේ අර්බුද වලින් මිදී නොමැති නිසා යුරෝ කලාපයේ මෙවැනි පොලී අනුපාතික ඉහළ යාමක් ළඟකදී බලාපොරොත්තු විය නොහැක. මේ අනුව ඇමරිකාව සහ යුරෝ කලාපය අතර පොලී අනුපාතික වෙනස ඉහළ යාම හේතුවෙන් ප්‍රාග්ධනය යුරෝ කලාපයේ ඇමරිකාව වෙත ඇදී ඒම නිසා ඇමරිකානු ඩොලරය යුරෝවට සාපේක්ෂව තව දුරටත් ශක්තිමත් වනු ඇත. ඇත්තටම, මේ පොලී අනුපාතික ඉහළ යාම අපේක්ෂා කළ එකක් වූ බැවින් විණිමය අනුපාතික ෆෙඩරල් තීරණයට පෙරම ප්‍රතිචාර දැක්වීය. අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක සියල්ලටම පාහේ සාපේක්ෂව ඇමරිකානු ඩොලරය පසුගිය මාස කිහිපය තුල ශක්තිමත් විය.

මෙසේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම පසුගිය මාස ගණනාවක් මුළුල්ලේම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වීමට හේතු වනු ඇත. ඇමරිකාවට සිදු කරන ආනයන ඉහළ යාමෙන් ගෙවුම් ශේෂයට යම් වාසිදායක බලපෑමක් සිදුවිය හැකි වුවත් රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට මේ බලපෑම ප්‍රමාණවත් නොවනු ඇත.

මේ ලිපිය දිනක් පසු වී 17 දින පළ වනු ඇත.

(Image: http://www.financemagnates.com/)


Thursday, December 3, 2015

ගල් බලකායට රන් පදක්කමක්?


අද දිවයින පුවතකට අනුව ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ලෝකයේ මුල්තැන සිටින්නේ ශ්‍රී ලංකාවයි. මේ පුවත පදනම් වී ඇත්තේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක එරන්ද ශ්‍රීලාල්ගේ දේශනයක් මතය. ඔහුට අනුව,

"ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් අංක එකට ඉන්නේ ශ්‍රී ලංකාව. ලෝක වාර්තාව අපි සතුයි. ඒ වගේම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතරින් 4 වන ස්‌ථානයට ඉන්නේ ශ්‍රී ලංකාව."

මේ ප්‍රකාශයට අදාළ මූලාශ්‍රය කුමක්දැයි මා දන්නේ නැත. එවැනි අළුත්, වඩා නිවැරදි මූලාශ්‍රයක් තිබීමට පුළුවන. එහෙත්, මා දන්නා මූලාශ්‍ර අනුවනම් මේ ප්‍රකාශය නිවැරදි නැත.

මසකට පෙර ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සදහා වන සංවිධානය (OECD) මඟින් එලි දැක්වූ නවතම වාර්තාවේ රටවල් ගණනාවක ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය පිලිබඳ දත්ත අඩංගුය. මේ අනුව, උඩින්ම ඉන්නේ ලිතුවේනියාවයි. ලිතුවේනියානුවෙකු වසරකට ඇල්කොහොල් ලීටර 14 ක් පමණ පරිභෝජනය කරයි. මේ ගල් බෝතල් 56 ක පමණ ප්‍රමාණයකි. මත්පැන් පරිභෝජනය අතින් කොහොමටත් ඉදිරියෙන් සිටින්නේ නැගෙනහිර යුරෝපීය රටවල්ය.



කෙසේ වුවද, සෑම ලිතුවේනියානුවෙකුම බේබද්දෙකු නොවේ. ලිතුවේනියානුවන් අතරින්ද තුනෙන් එකක් මත්පැන් පානයෙන් වැලකී සිටිති. එමෙන්ම, පිරිමින්ගේ මත්පැන් පරිභෝජනය සාපේක්ෂව වැඩිය. මත්පැන් පානය කරන ලිතුවේනියානු පිරිමියෙකු වසරකට ඇල්කොහොල් ලීටර 33ක් පමණ පරිභෝජනය කරයි. මෙය ගල් බෝතල් 133 කට පමණ කිට්ටුය.

මේ වාර්තාවේ ශ්‍රී ලංකාව පිලිබඳ සංඛ්‍යාලේඛණ ඇතුලත්ව නැත. එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව මේ වාර්තාවේ නැති ලංකාව වැනි තවත් බොහෝ රටවල් වල ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය හා අදාල දත්ත තිබේ. මේ දත්ත ඉහත වාර්තාවේ දත්ත සමඟ ආසන්න වශයෙන් සැසඳේ. ඒ අනුව, උඩින් කියූ OECD වාර්තාවේ නැති බෙලාරුස් හා මෝල්දෝවා රටවල් ලිතුවේනියාවත් වඩා උඩින්ය. අදාල දත්ත අනුව ලංකාව මධ්‍යස්ථ ලෙස (මඳ පමණට?) මත්පැන් පානය කරන රටකි. ඉන්දියාවද සිටින්නේ මේ ගොඩේය. මත්පැන් පරිභෝජනය අඩු රටවල්, විය යුතු පරිදිම, මුස්ලිම් රටවල්ය.


ලංකාව මෙසේ මධ්‍යස්ථ ගොඩට වැටෙන්නේ බොහෝ ලාංකිකයින් මත්පැන් නොබොන නිසාය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් අතර මත්පැන් පානය සාපේක්ෂව අඩුය. ඒ නිසා "සුරාවෙහි අගයත් එහි ඇති මනා රසයත් බොන සුදනෝ මිසක් නොබොන අනුවන දනෝ නොදනිත්" කියා දෙකක් හලා ගන්නා අය කරටි කැඩෙන්නට බිවුවත් ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය ලීටර 3.5ක් පමණි. ලිතුවේනියානු  ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය මේ වගේ හතර ගුණයකි. ඒ නිසා දිවයින පුවතේ කියන පරිදි මුල් තැනට එන්නටනම් තව සෑහෙන්න බොන්න වේ.

කෙසේ වුවද, මා මේ කරන්නේ මත්පැන් ප්‍රචාරණයක් නොවේ. ලිතුවේනියානුවන් තරමට නොබිවුවත් මේ බොන බීම හොඳ එකක්යැයි කියන්නට නුපුළුවන. ලාංකිකයින් පරිභෝජනය කරන ඇල්කොහොල් ප්‍රමාණයෙන් 40% ක්ම ලබා ගන්නේ නීති විරෝධී ලෙස පෙරූ මත්පැන් වලිනි. එමෙන්ම 85% ක්ම සැර වැඩි මත්පැන් වර්ග වලිනි.

ශ්‍රී ලාංකික වැඩිහිටි පිරිමින්ගෙන් (15+) මත්පැන් පානය කරන්නෝ 27%කි. ගැහැණුන්ගෙන් 10% කි. බොන ටික ඔක්කොම බොන්නේ මේ පිරිසයි. බොන පිරිමියෙකු ඇල්කොහොල් ලීටර 27ක් පමණ පරිභෝජනය කරයි. එනම්, ගල් බෝතල් 108 පමණ ප්‍රමාණයකි. සතියකට බෝතල් 2ක පමණ ප්‍රමාණයකි. මේ අනුව සාමාන්‍ය ලාංකිකයා කෙසේ වුවත් ගල් බලකායේ සාමාජිකයෝනම් ලිතුවේනුවානුවන් සමඟ ජාත්‍යන්තර තරඟයකට යැවීමට අවශ්‍ය පරිසාධන මට්ටම් ඉක්මවා තිබේ.

Tuesday, November 3, 2015

බිඳ වැටුණු ටකෝමා පාලම


ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනය මා දන්නා තරමින් ආරම්භයේ සිට දිගටම සිදුකෙරුණේ ඉංග්‍රීසි බසිනි. මෙය කවර අවදියක හෝ සිංහලෙන් හෝ දෙමළෙන් සිදුවූ බවක් මා දන්නේ නැත. සිංහලෙන් හෝ දෙමළෙන් වසර දොළහක පාසැල් අධ්‍යාපනය නිමකර සරසවියට ඇතුළු වන ඉංජිනේරු සිසුවකුට මෙසේ එක්වරම සිදුවන සංක්‍රාන්තිය සැලකිය යුතු අභියෝගයකි. මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් නොතිබුණත් සරසවියකට ඇතුළු වන විට රජයේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි මටද මේ සංක්‍රාන්තිය විශාල අභියෝගයක් වීනම්, හරියකට ඉංග්‍රීසි ගුරුවරයෙකු හෝ නොසිටි පාසැල් වලින් පැමිණි සිසුන් මුහුණ දුන් අභියෝගයේ තරම සිතාගැනීම අපහසු නැත.

ඉහත තත්ත්වයට යම් විසඳුමක් ලෙස ඉංජිනේරු විද්‍යා දේශන ආරම්භ කිරීමට පෙර මාස කිහිපයක ඉංග්‍රීසි පුහුණුවක් සිදු කෙරුණේය. සරසවි දොරවල් ඇරී තිබෙනවාට වඩා වැසී තිබුණු, මා සරසවි පිවිසුම් ලබා සිටි සමයේ මේ පුහුණුවේ මුල් කොටස සරසවි වලින් පිටතදීත් දෙවන කොටස සරසවි තුළත් සිදු කෙරුණේය. මුල් කොටස සාමාන්‍ය ඉංග්‍රීසි පුහුණුවක් වූ අතර මෙය විවිධ විෂයයන් හදාරන සිසුන්ට පොදුවේ ඒ ඒ දිස්ත්‍රික්ක වලම පැවැත්වුණු අතර දෙවන කොටසින් ආවරණය කෙරුණේ ඉංජිනේරු විද්‍යා (හෝ පීඨය අනුව තමන් හැදෑරු වෙනත්) විෂයයන් ඉගෙනීමට අවශ්‍ය වන ඉංග්‍රීසි දැනුමයි.

මේ ඉංග්‍රීසි පන්ති පැවැත්වුණේ කුඩා කණ්ඩායම් වශයෙනි. මේ අනුව, අපට මුලින්ම අඳුනා ගැනීමට ලැබුණු සරසවි සගයන් වූයේ තමන් ඇතුලත්ව සිටි ඉංග්‍රීසි පන්තියට සහභාගී වූ සිසුන්ය. එමෙන්ම, පේරාදෙණියේ අපේ කාණ්ඩයේ සිසුන්ගේ පළමු ගුරුවරයා වූයේ මෙසේ ඉංග්‍රීසි ඉගැන්වූ යම් අයෙකි. මගේ කණ්ඩායමට මෙසේ ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරිය මහාලිංගම් මහත්මියයි. ගුණවර්ධන මහත්මිය මෙවැනි තවත් ඉංග්‍රීසි ගුරුවරියක් විය.

දිවා කාලයේදී ඉංග්‍රීසි පන්තියේ එකට සිටි බැචාලාව අඳුනා ගන්නා අතර රාත්‍රී කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටි වෙනත් බැචාලාද හඳුනාගන්නට ලැබුණේ නවකවද අත්දැකීම්ද සමඟ කලවමේය. වලස්මුල්ල පැත්තෙන් පැමිණි අබරන් (සැබෑ කාඩ්එක නොවේ) ඇතුළු මගේම බැචාලා කිහිපදෙනෙකු මුල්සතියේම මට හඳුන්වා දුන්නේ ඒ ප්‍රදේශයෙන්ම පැමිණි ජේෂ්ඨ උත්තමයෙකි. ඉහත සඳහන් කළ මගේ බැචාලාට දිනපතා සවසට ඉංග්‍රීසි පන්තියක් පවත්වන ලෙස මේ ජේෂ්ඨ උත්තමයා මට නියෝග කළේ නවකවදයේ කොටසක් වශයෙන්ම නොව, එයින් ඉහත සිසුන්ට යම් පිටිවහලක් ලැබේයැයි අවංකවම අදහස් කරමින් විය යුතුය. කෙසේ වුවද, මේ හේතුවෙන් අබරන් මුල් කාලයේම මගේ මිතුරෙක් විය.

ඉංග්‍රීසි දැනුම අතින් පිටුපසින් සිටියත් අබරන් නොදන්නා මගුලක් නැත. තුන්වන උත්සාහයෙන් සරසවි පැමිණ සිටි මට වඩා වසර කිහිපයක් වැඩිමලෙකු වූ ඔහුට භීෂණ සමයේ සිදුවීම් ගැනත්, කාන්තා පාර්ශ්වය සමඟ සිදු කළ ගණුදෙනු ගැනත් කියන්නට තිබුණු රසවත් කතා හිල්ඩා ශාලාවේ තෙවන මහලේ සඳළුතල-කොරිඩෝවේ ඈඳිගෙන, මැදියම් රැයද පසුවනතුරු කට ඇරගෙන අසා සිටීම කිසිසේත්ම වෙහෙසකර කටයුත්තක් නොවීය. ඔහුගේ ඇතැම් පාසැල් සගයින් ඉංජිනේරු පීඨයේ අපට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වල සිටි බැවින් පීඨය පිලිබඳ නොදන්නා බොහෝ දේ මා මුලින්ම දැනගත්තේ ඔහුගෙනි. මේ අනුව, අපේ ඉංග්‍රීසි ගුරුවරියන් වූ මහාලිංගම් මහත්මියගේත්, ගුණවර්ධන මහත්මියගේත් සැමියන් ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරුන් බවත්, 'සිරා පොරවල්' බවත් මා මුලින්ම දැනගත්තේ අබරන්ගෙනි.

කාලය වේගයෙන් ගෙවී ගියේය. ඉංග්‍රීසි මධුසමය අවසන් වී ඉංජිනේරු විද්‍යා පාඨමාලා සමඟ ගෙවන සැබෑ කම්මල් ජීවිතය අපේ ජීවිත හිර කර අගුළු ලූයේය. මේ වන විට මා හඳුනාගෙන සිටි අපේ තවත් බැචෙක් වූ අණ්ඩරයා (නැවතත්, සැබෑ කාඩ් එක නොවේ.) ඔහුගේ ගොන්පාට් වලින් අපේ ඒකාකාරී ජීවිත වල නීරස තරමක් නොව බොහෝ දුරට අඩු කළේය. මහාලිංගම් මහත්මියගේ සැමියා වූ මහාචාර්ය මහාලිංගම්වද මේ වන විට අපි හඳුනාගෙන සිටියෙමු.

අපේ කාලයේදී යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ අධිපති වූයේ මහාචාර්ය මහාලිංගම්ය. පැසුණු හිසෙන් යුතු, සුදුවතින් සැරසුණු මේ උත්තුංග දේහධාරියා පෞරුෂයේ සංකේතයක් බඳුවිය. එවකට විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ අධිපති වූයේ මහාචාර්ය ජයසේකරයි. මහාචාර්ය මහාලිංගම් මෙන් උසමහත පුද්ගලයෙකු නොවූවත් ඔහුද බොහෝ විට සුදුවතින් සැරසුණු ප්‍රසන්න පුද්ගලයෙකි. මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්‍රය කම්පනය සහ අනුනාදය හා අදාල වූ අතර මහාචාර්ය ජයසේකර ඉගැන්වුයේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර පිලිබඳවය.

මේ කාලයේ බොහෝ දිනවල හවස් වරුවේ මහාචාර්ය මහාලිංගම්, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ සිට කොරිඩෝව දිගේ දිගු පියවර තබමින් විද්‍යුත් ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයසේකරගේ කාර්යාලය වෙත ඇවිද ගොස් දිගු වේලාවක් සාමිචියේ යෙදීම විශේෂ සැලකිල්ලක් නොදැක්වූ සිසුවෙකුට වුවද හොඳින් නිරීක්ෂණය වන දසුනක් විය.

සාමාන්‍ය ආචාර්ය උපාධියකට වඩා ඉහළ උපාධියක් ලෙස සැලකෙන, තම ක්ෂේත්‍රය වෙනුවෙන් සැලකියයුතු කාර්යභාරයක් සිදුකළ අයෙකුට පිරිනැමෙන,  'ඩීඑස්සී' ගෞරව උපාධියක් ලබාගත් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයේ ලංකාවේ පළමුවැන්නා මහාචාර්ය මහාලිංගම් බව එවකට අපි දැන සිටියෙමු. එමෙන්ම, ඇව්රෝ ජෙට් එන්ජිමෙහි වූ කිසිවෙකුට සොයාගත නොහැකි වූ දෝෂයක් ඔහු විසින් සොයාගත් බවත්, ඒ වෙනුවෙන් ලැබුණු බොහෝ වරදානයන් ප්‍රතික්ෂේප කර, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර ඇති රොකට් එන්ජිම පමණක් ඔහු ඉල්ලා සිටි බවත් වැනි දේ මේ වෙද්දී අපි අසා සිටියෙමු.

මේ දිනයේදීත් මහාචාර්ය මහාලිංගම් කොරිඩෝව දිගේ ඇවිද යන්නේ මහාචාර්ය ජයසේකර හමු වීමට විය යුතුය.

"මචං, ඔය ප්‍රොෆෙසර් මහලිංගම් හැමදාම හවසට හවසට ප්‍රොෆෙසර් ජයසේකර හම්බ වෙන්න යන්නෙ ඇයි කියල දන්නවද?"

අබරන් තවත් බැචාලා කිහිප දෙනෙකුට කියනු ඇසී මාද ඔලුව දැම්මේ ඔහුගේ කතා සාමාන්‍යයෙන් රසවත් නිසාය. ඒ වගේම, ඔහු නොදන්නා ඕපාදූපයක් නැත.

"පොර අලුතින් තියරියක් හොයාගෙන ප්‍රොෆෙසර් ජයසේකරත් එක්ක. වයර් නැතුව වයිබ්‍රේෂන් යූස් කරලා ඉලෙක්ට්‍රිසිටි ට්‍රාන්ස්මිට් කරන්න."

"අනේ පලයන් බන් යන්න."

"නෑ මචං, සිරාවට!"

මෙසේ කියමින් ඔහු පැත්තක සිටි අණ්ඩරයා දෙස බැලුවේ සිය මතය තහවුරු කිරීමට උදවුවක් බලාපොරොත්තුවෙන් මෙනි.

"ඒ වුනාට තවම තියරියේ පොඩි අවුල් ටිකක් තියෙනවලු නේද?"

අණ්ඩරයා අබරන්ට නොපෙනෙන්නට ඉඟියක් කළ නිසා සිදුවී ඇති දේ හිතා ගැනීම කිසිවකුට අමාරු වුනේ නැත. මෙවැනි අණ්ඩර ලස්සනට ඇඹරීම අණ්ඩරයාගේ විශේෂ දක්ෂතාවයකි. අණ්ඩරයාගේ පේටන්ට් කළ හැකි අදහස අබරන් දැන් පොර වාගේ හතර අතට දෙන්නේ ඇත්තටම ඇණගෙනය.

"සිරානේ මචං. දැන් ඔය වැඩෙන් අපිට අහක ඉඳලා කරන්ට් වදින එකක් නැද්ද?"

මමත් පැත්තක සිට අබරන්ව ෆෝම් කළෙමි.

"එහෙම වෙන්නේ නැහැල්ලු. කරන්ට් එක යවන්නේ ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව්ස් විදිහටලු."

අබරන් ගිරවා වගේ දෙන්නේ අණ්ඩරයාගේ වචන බව කාට වුණත් පැහැදිලිය. අණ්ඩරයාගේ මෙවැනි ගොන්පාට් ඒ දිනවල අපේ එදිනෙදා ජීවිතයේ කොටසකි.

ඒ දවස්වල ගොන්පාට් එකක් වූ මේ කතාව ගොන්පාට් එකක්ම නොවේ. තවමත් පර්යේෂණ මට්ටමේ වුවත් මෙවැනි තාක්ෂණයක් තවදුරටත් සිහිනයක් නොවන අතර ඉදිරියේදී 'වයර්ලස්' ලෙස විදුලිබල්බයක් දැල්වීම සිහිනයක් නොවිය හැකිය.

රැහැන් රහිතව විදුලිය සම්ප්‍රේෂණය කරන අයුරු සොයා නොගත්තත් මහාචාර්ය මහාලිංගම් ඒ කාලයේ අපේ වීරයෙක් මෙන්ම අතීත මතකයේද කොටසකි. ඔහු පාවිච්චි කළ මෝටර් රථය එවකට භාවිතයේ පැවති මාදිලියක නවීන මෝටර් රථයක් නොවූවත් හැමවිටම ඉතා හොඳ තත්ත්වයෙන් නඩත්තු කර තිබුණේය. එමෙන්ම, ශාරීරික ව්‍යායාම සඳහා දිනපතාම සරසවිය හරහා සැලකිය යුතු දුරක් ඇවිදීම මහාචාර්ය මහාලිංගම් නොවරදවා කළ දෙයකි. මහාලිංගම් මහත්මියද මේ කටයුත්තට බොහෝ විට එක්විය. මහාචාර්ය මහාලිංගම් උපන් දිනය මා හරියටම නොදන්නා නමුත් ඔහු විසින් විඳ ඇතැයි මා සිතන දීර්ඝායුෂ ඔහුගේ මෙවැනි යහපත් ජීවන විලසිතාවන්හි ප්‍රතිඵලයක් මිස අහම්බයක් නොවේ.

මැලේසියානු ලාංකිකයෙකු වූ තරුණ මහාලිංගම් 1946දී ලංකාවට පැමිණෙන්නේ ලංකා තාක්ෂණික විද්‍යාලයෙහි උපාධි අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යා බාහිර උපාධියක් ලබාගැනීම සඳහාය. මේ කාලයේදී වත්මන් සිංගප්පුරුවද ඇතුළත් නිදහස ලබා නොතිබුණු මැලේසියාව තුල සරසවි අධ්‍යාපනය ලබාදෙන ආයතන කිසිවක් තිබුණේ නැත.

මේ කාලයේදී යමක් කමක් තිබුණු මැලේසියානුවන්ගේ සිහිනයක් වූයේ සිය දරුවන් එංගලන්තයට හෝ ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබා දීමයි. විශේෂයෙන්ම එවකට මැලේසියාවේ රජයේ ඉහළ තනතුරු බොහොමයක් දැරූ උගත් ලාංකිකයෝ සිය දරුවන් ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබාදුන්හ. ලංකාවේ නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය, යුනිවර්සිටි කොලීජිය මෙන්ම තාක්ෂනික විද්‍යාලයද කලක සිට කලාපයේ නමක් දිනාගෙන සිටි අධ්‍යාපන ආයතනයි. වෛද්‍ය විද්‍යාලය සහ යුනිවර්සිටි කොලීජිය 1942දී ලංකා විශ්ව විද්‍යාලය තුලට අවශෝෂණය වී තිබුණත් ඉංජිනේරු පීඨය ඇරඹුණේ වසර ගණනක් පමාවී 1950 වසරේදීය.

අධ්‍යාපනය සඳහා ලංකාවට පැමිණි මැලේසියානුවන් බොහෝ දෙනෙකු ආපසු සිය ගම්බිම් බලා පිටත් වූ නමුත්, එවකට සේවය කිරීමට හා වාසයට ඉතා යෝග්‍ය තැනක් වූ ලංකාවේ දිගටම රැඳෙන්නට මහාලිංගම් තරුණයා තීරණය කළේය. 1950 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පිහිටවන විට එහි ආරම්භක කථිකාචාර්යවරයෙක් ලෙස මහාලිංගම් සේවයට බැඳුණේය. පසුව ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය බවට පත් වූ අතර එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (PhD ) ලබා ආපසු පැමිණි ආචාර්ය මහාලිංගම් පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් DSc ගෞරව ආචාර්ය උපාධියක්ද ලබා මහාචාර්යවරයෙකු ලෙස දිගටම සේවය කළේය.

1940 වසරේ නොවැම්බර් 07 දින ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ටකෝමාහි ඉදිකර තිබුණු එවකට ලෝකයේ තිබූ තෙවන දිගම එල්ලෙන පාලම, එය විවෘත කර මාස හතරකට පසුව පැයට සැතපුම් 42ක සුළඟකට ඔරොත්තු දිය නොහැකිව බිඳ වැටුණේ ඉංජිනේරුවන් මවිතයට පත් කරවමිනි. මේ පාලම සැලසුම් කර තිබුණේ පැයට සැතපුම් 120ක සුළඟකට වුවද ඔරොත්තු දිය හැකි පරිදිය. පසුව සොයාගැනුනේ පාලම බිඳවැටීමට හේතුව අනුනාදය (resonance) බවයි. මේ සිදුවීම අලලා සකස් කෙරුණු වාර්තා චිත්‍රපටයක් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදී නිතර ප්‍රදර්ශනය කෙරුණේය. මෙය මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්‍රය විය.

ටකෝමා පාලම බිඳවැටීමේ 75වන සංවත්සරයට දින හතරක් ඉතිරිව තිබියදී, මහාචාර්ය මහාලිංගම් අද දින යාපනයේ රෝහලකදී  සිය දිවිසැරිය නිමාකර තිබේ. ඔහුගේ අවසන් කටයුතු හෙට දින (නොවැම්බර් 04 බදාදා) යාපනයේ අලවෙඩ්ඩිහිදී පැවැත්වේ.

Friday, September 18, 2015

කොයිසිටදෝ අපි එන්නේ? කොයිබටදෝ අපි යන්නේ?

හෝමෝ සේපියන්ලා වන අපේ ආරම්භය කොතැනද? ඉදිරියේදී හෝමෝ සේපියන්ලා වන අපට කුමක් වේද?

මේ ප්‍රශ්න කාලයක් තිස්සේම අප විසින් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටිමු. සහශ්‍ර ගනනක් තිස්සේ විවිධ ආගම් හා දර්ශන මඟින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට උත්සාහ කර තිබේ. පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මේ අඛණ්ඩ උත්සාහය ඉදිරියට ගෙන ගියේ පරිණාමවාදීන්, පුරා විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් වැනි අයයි. මෑතකදී ජාන විශ්ලේෂකයින්ද මේ පිරිසට එකතු වූහ.

ඉතා මෑතක් වනතුරුම අපට සිතාගත හැකිව තිබුණු හොඳම පරිණාමයේ කතන්දරය උඩින් ඇති රූපයේ දැක්වෙන ආකාරයේ එකකි. මේ කතාවේ හැටියට වානරයෙකුගේ සිට නූතන මිනිසා දක්වා අප ක්‍රමයෙන් 'රේඛීයව' පරිණාමය වී තිබේ. කතාවේ මුල සිටින ඒක සෛලිකයෙකුගේ සිට වානරයා දක්වාද මේ රේඛාව දික් වේ. මේ අනුව, අප දැනටත් උපයෝගී කරගන්නා පරිණාම ආකෘතිය ගසක් වැනි එකකි. එහි කඳෙන් ලොකු අතුත්, ලොකු අතු වලින් පොඩි අතුත්, පොඩි අතු වලින් ඊටත් වඩා පොඩි අතුත් බෙදේ. ඒවායින් කුඩා රිකිලි බෙදී යයි.

මේ එක් එක් රිකිල්ල අග වෙනස් ජීවී විශේෂයක් සිටී. අප සිටින කුඩා රිකිල්ලේ සිට සිට ආපසු ගිය විට අප වෙනත් ජීවී විශේෂ වලින් වෙන්වූ මං සන්ධි හමුවේ. මේ ආකෘතිය අනුව බෙදී යන රිකිලි දෙකක් නැවත එක්වී අත්තක් වන්නේ නැත.

ඉහත ආකෘතියේ එක් එක් අදියරේදී අප පසු කළ මං සලකුණු ගැන හරියටම දැන ගැනීම සඳහා අපට පොසිල සාක්ෂි උපකාරී විය. එහෙත්, මේ පොසිල එකතු වල අඩුපාඩු තිබුණු නිසා ආකෘතිය සම්පුර්ණ කර ගැනීමට අපට වැඩි වැඩියෙන් පොසිල අවශ්‍ය විය. කෙසේ වුවද, අළුතෙන් හමුවන සංකීර්ණ පොසිල සාක්ෂි වලින් අපේ දැනුම වැඩි වෙද්දී අප දැන සිටි ආකෘතිය වඩාත් ප්‍රශ්නකාරී වී තිබේ.

දැනට වඳ වී ගොස් ඇති වෙනත් මිනිස් වර්ගයක් වන නියන්ඩතාල්ලා ගැන අඩු වශයෙන් සියවස් එකහමාරක සිට අපි දැන සිටියෙමු. ඔවුන් ගැන මෑතකදී අප දැනගත් කරුණු වන්නේ ඔවුන්ද හෝමෝ සේපියන්ස්ලා මෙන්ම දියුණු බුද්ධියක් ඇති කොටසක්ව සිට ඇති බවයි. හෝමෝ සේපියන්ස්ලා අප්‍රිකාවේ සිට මැදපෙරදිග හරහා ආසියාවට සහ යුරෝපයට සංක්‍රමණය වෙද්දී ඒ ප්‍රදේශ වල පැතිරී සිටියේ හෝමෝ නියන්ඩතාලන්සිස්ලාය. ඔවුහු යුරෝපයේ ශීත දේශගුණයට ඔරොත්තු දිය හැකි පරිදි විශාල ශරීර මෙන්ම හෝමෝ සේපියන්ස්ලාටත් වඩා විශාල මොලයක්ද සහිතව සිටි අතර හෝමෝ සේපියන්ස්ලා මෙන්ම ආයුධ තැනීම වැනි කටයුතුද කර තිබේ.

මෑතකාලීනව මේ ක්ෂේත්‍රයේ සිදුවූ අළුත් පොසිල සොයාගැනීම් සමඟ සේපියන්ස්ලාට අමතරව නියන්ඩතාල්ලා වැනි හෝමෝ ගණයේ වෙනත් විශේෂ දුසිමක් පමණ මිහිමත ජීවත් වී ඇති බව දැන් පෙනීයයි. 2010 වසරේදී සයිබීරියාවේ සේපියන්ස්ලා සහ නියන්ඩතාල්ලාද වාසය කළ ගුහාවකින් සොයාගත් ඩෙනිසෝවියන් මානවයා උදාහරණයකි.

මේ වෙනස් මිනිස් විශේෂ කලින් කලට ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වලට උචිත ලෙස අනුවර්තනය වූ අයයි. බාහිර ලෝකය සමඟ සම්බන්ධ නොවී ඉන්දුනීසියාවේ කුඩා දුපතක වෙනම පරිණාමය වූ හෝමෝ ෆ්ලොරසියෙන්සිස් වසර 12,000කට පමණ පෙර වඳ වන විට කිලෝග්‍රෑම් 25 කට වඩා බර නැති අඩි තුනහමාරක් පමණ උස මිනිස් විශේෂයකි. පරිභෝජනය සීමා කර, දිවයින තුළ ඇති සීමිත සම්පත් වලින් යැපීමට හැකි පරිදි කුඩා සිරුරු සහිතව ඔවුහු පරිණාමය වූහ.

මේ කණ්ඩායමට හෝමෝ නැලඩි දැන් අළුතින්ම එකතු වී සිටී. වසර දෙකකට පමණ පෙර දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් පොසිල මත පදනම්ව මේ මානවයා ගැන තොරතුරු පසුගිය සතියේ එළිදැක්වුනේය.

හෝමෝ සේපියන් මොළයක ප්‍රමාණයෙන් අඩකටත් වඩා කුඩා මොලයක් හිමි හෝමෝ නැලඩි ඔස්ට්‍රලොපිතකස් මෙන් වානරයෙක් ලෙස නොව මිනිස් විශේෂයක් ලෙස වර්ග කෙරී ඇත.

දැනට හමු වී ඇති පොසිල සැකිලි පහළොවක පමණ ප්‍රමාණය සමඟ වෙනත් සතුන්ගේ පොසිල මුසු වී ඇත්තේම නැති තරම්ය. එමෙන්ම, මේ සැකිලි වල වයස් සීමා සුසාන භූමියක ඇති සැකිලි වල වයස් සීමා සමඟ සැසඳේ. ඒවා එකවර තැන්පත් වූ ඒවා හෝ වතුරෙන් ගසාගෙන විත් තැන්පත් වූ ඒවාද නොවේ. මේ අනුව මේ සිරුරු සිතා මතාම එක් තැනෙක තැන්පත් කළ ඒවා බැව් අදහස් කෙරේ. මෙය සාපේක්ෂව දියුණු සමාජ ලක්ෂණයකි.

මින් පෙර මෙවැනි අවමංගල චාරිත්‍ර දක්නට ලැබී ඇති පැරණිම කාලය වසර ලක්ෂයකට පෙරය. ඒ නියන්ඩතාල්ලාගේය. හෝමෝ නැලඩි සැකිලි මීට වඩා බොහෝ පැරණියයි අදහස් කෙරේ. කෙසේ වුවද, දැනට දන්නා තොරතුරු අනුව හෝමෝ හෙවත් මිනිස් කුලයේ පළමු සාමාජිකයා ලෙස සැලකිය හැකි හෝමෝ නැලඩි ජීවත් වූ කාලය තවමත් හරියටම නිශ්චය කර නැත. රේඩියෝ කාබන් ක්‍රමයෙන් කාලය නිශ්චය කිරීමටද නොහැකි තරම් මේවා පැරණි වීම එක් හේතුවකි.

කෙසේ වුවද සාපේක්ෂව විශාල මොළයක් නැති, මෙතරම් කලකට ඉහත මිහිමත සිටි ජීවී විශේෂයකගෙන් අවමංගල චාරිත්‍ර වැනි සංකීර්ණ චර්යාවන් දක්නට ලැබීම පර්යේෂකයින්ව විමතියට පත් කර තිබේ. මේ ඇතැම් විද්‍යාඥයින් සිතන්නේ අප දැනට භාවිතා කරන අතු බෙදුණු ගසක් වැනි පරිණාමික ආකෘතිය තව දුරටත් ප්‍රමාණවත් නොවන බවයි.

දැන් පෙනෙන පරිදි පරිණාමයේදී අතු රිකිලි වී බෙදීමට අමතරව රිකිලි එකතු වී අතු නිර්මාණය වීමද සිදු වී තිබේ. අපි කිසිවෙකු කලින් සිතා සිටි පරිදි පිරිසිදු හෝමෝ සේපියන්ස්ලා නොවේ. නියන්ඩතාල්, ඩෙනිසෝවියන් වැනි ජානද අඩු වැඩි වශයෙන් අපට මුසුවී තිබේ. මේ හේතුව සහ වෙනත් හේතුන්ද නිසා අපි උපදින්නේම හරියටම සමාන පුද්ගලයින් ලෙස නොවේ.

ඒ නිසා අපට වෙනස් රුචි අරුචිකම් තිබීමද විය යුත්තකි.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

Saturday, August 8, 2015

2050දී අපිත් පොරවල්ය




තව වසර තිස්පහකින් ලෝකයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය අනුව ශ්‍රී ලංකාව පස්වෙනි තැනට පත් වනු ඇත. මේ අනුව, 2050දී අපේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 65,910ක් වනු අතර අපට ඉදිරියෙන් සිටින රටවල් හතර වනුයේ, පිළිවෙලින්, ස්වීඩනය, ජර්මනිය, ඉතාලිය හා ජර්මනියයි. ඇමරිකාව, එක්සත් රාජධානිය, ජපානය වැනි දැනට උඩින් සිටින රටවල් මෙන්ම ඉන්දියාව, චීනය හා රුසියාව වැනි නැගී එන රටවල්ද මේ අනුව අපට වඩා දුප්පත් රටවල් බවට පත් වීමට නියමිතය.

 
මේ ප්‍රවෘත්තිය මෙවැනි කතා මේ දවස් වල හෝල්සේල් ඇසෙන මැතිවරණ වේදිකාවකින් අහුලාගත් එකක් නොවේ. විස්තර ඇත්තේ 'දී ඉකොනොමිස්ට්' සඟරාවට අනුබද්ධ 'ආර්ථික බුද්ධි අංශය' විසින් එළිදක්වා ඇති 'දිගුකාලීන සාර්ව-ආර්ථික පුරෝකථන' නම් වූ විශේෂ වාර්තාවකය. සැම සතියකම පාඨකයින් මිලියන 5.3ක් විසින් කියවන 'දී ඉකොනොමිස්ට්' සඟරාව ආර්ථික විද්‍යා විෂයයයෙහි පළවන ජනප්‍රියම සඟරාවයි. එහි ආර්ථික බුද්ධි අංශයට මෙවැනි පුරෝකථන පිලිබඳ මනා විශේෂඥතාවක්, දිගු පළපුරුද්දක් මෙන්ම ලොකු කීර්තිනාමයක්ද ඇති අතර ඇතැම් ආර්ථික විද්‍යා සංකල්ප මුල්වරට ඉදිරිපත් කිරීම පිලිබඳ ගෞරවයද හිමිවේ. (කෙසේ වුවද මෙය විමර්ශිත ජර්නලයක් නොවන අතර ඔවුන්ගේ විශ්ලේෂණයන් සාපේක්ෂව සරලය.)

ඉකොනොමැට්ටා කලබල වුණාට බලාගෙන ගියාම ණය ගැනීමේ ප්‍රශ්නයක් නැත. ඒක පුද්ගල අදායම ඩොලර් 65,910ක් වුණොත් ඩොලර් හත්අට දාහක පරණ ණය ලෝස් නැතිව ගෙවා දැමීම කජ්ජකි. දැන් අපිට තියෙන්නේ 2050දී අපේ රටට බෝට්ටු වලින් හොරෙන් පනින්නට එන ඇමරිකන් කාරයින්, ඉංග්‍රීසීන්, ඕස්ට්‍රේලියානුවන් වැනි දුප්පත් පොරවල් නැවැත්වීමට රටවටේ වැටක් ගහන එක ගැන හිතන්නටය.


මේ වාර්තාවේ තවත් බොහෝ දේ ඇති අතර එයින් ප්‍රධානම කරුණක් වන්නේ 2050 වන විට ලෝක ආර්ථිකය තුළ ආසියාවේ පංගුව 53% දක්වා ඉහළ යන බවයි. එමෙන්ම, 2026දී ඇමරිකාව අභිබවන චීනය 2050දීත් ලෝක ආර්ථික බලවතා වනු ඇති අතර ඇමරිකාවට වඩා 50%කින් විශාල ආර්ථිකයකට හිමිකම් කියනු ඇත. ඇමරිකාව දෙවන ස්ථානය රැකගනිද්දී තෙවන තැනට පත්වන ඉන්දියානු ආර්ථිකය ඇමරිකානු ආර්ථිකයෙන් 90%ක් පමණ විශාල වනු ඇත. මේ රටවල් තුන හැරුණු විට 2050දී විශාලම ආර්ථිකයන් හය වන (පිළිවෙලින්) ඉන්දුනීසියාව, ජර්මනිය, ජපානය, බ්‍රසීලය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය යන රටවල් සියල්ලම එකතු කළද ඉන්දියාවේ ආර්ථිකයට වඩා කුඩා වනු ඇත. මේ අනුව, චීනය, ඇමරිකාව සහ ඉන්දියාව 2050දී අනෙක් සියළු රටවල් වලට ඉහළින් යෝධයින් ලෙස නැගී සිටින ලෝක ආර්ථික බලවතුන් තිදෙනෙකු වනු ඇත.

ආර්ථික බුද්ධි අංශ විශ්ලේෂණය අනුව ලංකාවට ඒක පුද්ගල ආදායම අතින් ඉහළට පැමිණීමට හැකිවන්නේ ඉන්දියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි කලාපීය ආර්ථික බලවතුන් සමඟ එක පිම්මේ වර්ධනය වන අතරම ජනගහන වර්ධනය ඒ රටවලට වඩා අඩුවෙන් පවත්වාගැනීම නිසා විය යුතුය.
අදාළ වාර්තාව මෙහි ඇත.

(මීළඟ සටහන "අගෝස්තු 17 මොකක් වෙයිද?")

Sunday, May 24, 2015

සොඳුරු සිත සමුගනී


ආර්ථික විද්‍යාව, ගණිතය ඇතුළු ක්ෂේත්‍ර රැසක දැවැන්තයෙකු, තීක්ෂණ බුද්ධිමතෙකු, නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙකු හා සොඳුරු මිනිසෙකු වූ ජෝන් ෆෝර්බ්ස් නෑෂ් ඊයේ සිදු වූ රිය අනතුරකින් සිය ජීවන සහකාරියද සමඟම සදහටම මෙලොව හැරදා ගියේය. 'අ බියුටිෆුල් මයින්ඩ්' (සොඳුරු සිතක්) නම් වූ අතිශය ජනප්‍රිය චිත්‍රපටය ඔහුගේ ජීවිත කතාව අලලා සැකසුනෙකි.

ජෝන් නෑෂ්ගෙන් ලොකුම දායකත්වයක් සැපයුනේ ක්‍රීඩා න්‍යායය (ගේම් තියරි) විෂයය කෙරෙහිය (වෙනත් පාරිභාෂික වචනයක් තිබිය හැකිය). පුද්ගලයන්ගේ මෙන්ම ආයතන වල ක්‍රමෝපායික චර්යාවන් අධ්‍යයනය කිරීම සඳහා ආර්ථික විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාව, පරිණාමික ජීව විද්‍යාව, දේශපාලන විද්‍යාව, කෘතීම බුද්ධිය (ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස්), ආරක්ෂක හා සංග්‍රාමික විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර රැසක ක්‍රීඩා න්‍යායය යොදා ගැනේ.  ක්‍රමෝපායික චර්යාවන් අවසාන වශයෙන් නිශ්චිත ලෙස සමතුලිතතාවකට පත්වෙන (සංකීර්ණ න්‍යායයක් පිලිබඳ දළ අදහසක් පමණි.) නෑෂ් සමතුලනය ඔහුගේ ඉදිරිපත් කිරීමක් වන අතර ඔහු අනුව නම් කර ඇත. මේ සඳහා වූ නෑෂ්ගේ දායකත්වය සලකා 1994 දී ආර්ථික විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය ඔහු වෙත පිරිනැමිණි. මෙයට අමතරව (ටිකක් බර දේවල් වන) අවකලනාත්මක ජ්‍යාමිතිය සහ නිර්රේඛීය අවකලනාත්මක සමීකරණ හා අදාළවද ඔහු විශාල දායකත්වයක් ලබා දී ඇත.


සාමාන්‍ය ජනතාව අතර නෑෂ් ප්‍රසිද්ධ වූයේ ඔහු කලක් පෙළුණු මානසික ආබාධයක් හේතුවෙන් දැක්වූ අසාමාන්‍ය චර්යාවන් නිසාය.මේ කාලයේදී රතු කරපටි පැළඳි සියළු දෙනාම ඔහුට පෙනුණේ ඔහුට එරෙහි රුසියානු කුමන්ත්‍රණකරුවන් ලෙසය. ඒ අනුව මේ ගැන ඇමරිකානු රජය දැනුවත්කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමටද ඔහු නොපැකිලුනේය. කෙසේ වුවද ඔහුගේ බිරිඳගේ ආදර සත්කාර හා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා මේ මානසික ආබාධය සුවකරගත් නෑෂ් ඉන් පසුවත් විද්‍යාත්මක දැනුමට එක් කළ දේ බොහෝය.

බියුටිෆුල් මයින්ඩ් කතා පුවත ගෙතෙන්නේ ඉහත සිදුවීම් මුල් කරගෙනය. ජනප්‍රිය සංස්කෘතියේ හමුවන ඉතා බුද්ධිමත්, එහෙත් සරල දේවල් පිලිබඳ අවබෝධයක් නැතිව පිස්සු කෙළින මහැදුරු චරිතය මෙන්ම, ඉතා රූමත් නමුත් එතරම් බුද්ධිමත් නොවන නිළියක හා විවාහ වන එතරම් කඩවසම් නැති එහෙත් ඉතා බුද්ධිමත් මහැදුරු චරිතයද බිහිවීම සඳහා නෑෂ්ගේ ජීවන තොරතුරු පාදක වීයැයි සැලකේ.

අසූ හය වසරක් ආයු වළඳා කුලීරථ රියදුරකුගේ නොසැලකිලිමත්කම නිසා ඊයේ හදිසියේ අපෙන් සමුගත් මහැදුරු ජෝන් නෑෂ් වෙනුවෙන් කෙටි සටහනකි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...