වෙබ් ලිපිනය:

Showing posts with label ජ්‍යෝතිෂය. Show all posts
Showing posts with label ජ්‍යෝතිෂය. Show all posts

Tuesday, April 18, 2017

වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා

ජාන වලින් එන බලපෑමක් නිසා හෝ පුරුද්ද නිසා හෝ වෙනත් කවර හෝ හේතුවක් නිසා සමහර අයට බොහෝ වෙලාවටත්, බොහෝ අයට සමහර වෙලාවටත් රාත්‍රීය උදාවී බොහෝ වෙලාවක් අවදිව සිටින්නට සිදුවේ. රෑ බෝ වී ඇතත් නිදිමත අහලකවත් නැත්නම් මොකද කරන්නේ?

මේ වගේ වෙලාවට පොඩ්ඩක් මිදුලට බැස අහස නිරීක්ෂණය කරන එක එතරම් නරක පුරුද්දක් නොවේ.

"නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ..."

එච් ආර් ජෝතිපාල ගයන මේ ගීතයේ මුල් හින්දි තනුවට ගී පද ලියා ඇත්තේ අජන්තා රණසිංහයන් විසිනි. ගීතය ලියැවුණු පසුබිම මෙහි තිබේ.  



මුල් හින්දි ගීතය ඇරඹෙන්නේ මෙසේය. 

"චෞද්හවිං කා චාන්ද් හෝ
යා ආෆ්තාබ් හෝ
ජෝ භී හෝ තුම්, ඛුදා කී කසම්, ලාජ්වාබ් හෝ...

चौदहवीं का चाँद हो, या आफ़ताब हो
जो भी हो तुम खुदा कि क़सम, लाजवाब हो...

ඔබ පසළොස්වක සඳද?
නැත්නම් ඉරද?
ඔබ කවුරු වුවත්, දෙයියම්පල්ලා, ඔබට සමාන කළ හැකි කිසිවෙක් නෑ..."

සිංහල ගීතයේ මෙන්ම හින්දි ගීතයේද පදවැල් මිහිරිය. එහෙත්, අරුත් සමාන නැත. හින්දි ගීතයේ පසළොස්වක සඳ හා ඉර වෙනුවට, අජන්තා රණසිංහ විසින් අරුන්දතී තාරකාව ගීතයට එකතු කර තිබේ.



නින්ද නේන රාත්‍රියේ අහසේ සිටි අරුන්දතිය ගැන කතා කළ එච් ආර් ජෝතිපාලයන් විසින්, වෙසක් මහේ දොසක් නොමැති නැකතක් බලා ගෙට කැන්දාගෙන එන්නට බලාපොරොත්තුවෙන් සිටි පොළොවේ සිටි අරුන්දතියක්ද විය.

"දොළොස්මහේ පහණ වාගේ පැලට එළිය දුන්න
මවයි පියයි සනස්සමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතී මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පස්සේ මේ පාරෙන් ඔබ තනියම යන්න..."


මේ අරුන්දතී තාරකාව ගැන අමරදේවයෝද ගැයූහ.

"තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා.."

මේ මියුරු ගීයේ පදමාලාවද අජන්තා රණසිංහයන්ගේය. 



අරුන්දතී තාරකාව ගැන ගී ලියා ඇත්තේ අජන්තා රණසිංහ පමණක් නොවේ. වික්ටර් රත්නායක ගයන අරුන්දතී තාරකාව සේ ගීතය සුනිල් ආරියරත්නයන්ගේ වියමනකි.

"අරුන්දතී..තාරකාව සේ දිලී දිලී
නුවන් පෙතී..විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී.. නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී..රුවින් සිනාසෙයි නැගී නැගී..."

මේ ගීතයේ අරුන්දතී තාරකාව සමඟ පැත්තකින් බ්‍රහස්පති ග්‍රහයා හා දවස්පති හෙවත් සූර්යයාද පෙනෙන්නට සිටී.


ඉර, හඳ, බ්‍රහස්පති ඇතුළු ග්‍රහයන්, දොළොස්මහ හා වෙසක් මහ මෙන්ම නැකැත් ගැනත් අපි බොහෝ දෙනෙකු දනිතත් අහසේ තාරකා අතර දිදුලන අරුන්දතී තාරකාව ගැන වැඩි දෙනෙක් නොදන්නවා විය හැකිය.

අරුන්දතී තාරකාව රෑ අහසේ පෙනෙන සිය දහස් ගණනක් තාරකා අතරින් තවත් එක් තාරකාවකි. වැඩි දීප්තියක් නැති, කුඩා තාරකාවක් වන අරුන්දතී තාරකාව තනිව ගත් කළ එහි විශේෂත්වයක් නැත. එහෙත්, ඒ සමීපයේම ඇති වඩා දීප්තිමත් වශිෂ්ඨ තාරකාව හේතුවෙන් මේ කුඩා තාරකාවට වසර දස දහස් ගණනක් තිස්සේ ලෝකයේ සෑම ප්‍රධාන ශිෂ්ඨාචාරයකම වාගේ වැදගත් තැනක් ලැබී තිබේ. වශිෂ්ඨ තාරකාව සප්තාර්ශී තාරකා මණ්ඩලයට අයත් තාරකා හතෙන් එකකි. ඉතිරි තාරකා මරිචි, පුලස්ති, පුලහ, අංගීරස, අත්‍රි හා ක්‍රතු ලෙස හැඳින්වේ.



ඇත්තටම ආලෝක වර්ෂ 0.5-1.5 පමණ ඈතින් පිහිටියත්, පොළොවට පෙනෙන පරිදි, වසර දහස් ගණනක් තිස්සේ ඈත් නොවී එක ලඟින්ම හිඳින වශිෂ්ඨ තාරකාව හා අරුන්දතී තාරකාව සදා වෙන් නොවී පෙමින් බැඳී සිටින ආදරබර යුවලක් ලෙසත්, සාර්ථක විවාහයක සංකේතයක් ලෙසත් ලොව පුරා විවිධ සංස්කෘතීන්හි හඳුනා ගෙන තිබේ. ලොකු විශේෂත්වයක් නැති බිරිඳකට බලවත් සැමියෙකු නිසා ලැබෙන ආකර්ෂණය වැනි ආකර්ෂණයක් වශිෂ්ඨ තාරකාව නිසා අරුන්දතී තාරකාවට ලැබී තිබේ. අනෙක් අතට, එක සේ දීප්තිමත් සප්තාර්ශි තරු අතරින් සමීප සහකාරියක් සිටින එකම තරුව වන වශිෂ්ඨ තාරකාවටද අරුන්දතී තාරකාව නිසා විශේෂ අවධානයක් ලැබී තිබේ.

සප්තාර්ශී තාරකා අතරින් පුලහ හා ක්‍රතු තාරකා දෙස බලා ඒ එල්ලේම ඉහළට ඇස ගෙන ගිය විට ධ්‍රැව තාරකාව හමුවේ. ආසන්න ලෙස පොළොවේ උත්තර ධ්‍රැවය කෙළින් පිහිටි ධ්‍රැව තාරකාව වසර දස දහස් ගණනක් තිස්සේ නාවිකයින්ට හා කාන්තාර වල සංචාරය කරන්නට මඟ පෙන්වා ඇත. එහි පිහිටීම හේතුවෙන් පොළොව භ්‍රමණය වෙද්දී මේ තාරකාව ස්ථිර තැනක පවතින සේ පෙනේ. ලෝකයේ විවිධ සංස්කෘතීන්හි සප්තාර්ශී තාරකා මණ්ඩලය ගැන ඇති ජනශ්‍රැති පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව මේ සියළු ජනශ්‍රැති වසර 13,000කට පමණ පෙර එකම මූලයකින් ඇරැඹී තිබේ.




ඇමරිකාවේ හතළිස් නවවන ප්‍රාන්තය වන ඇලස්කාවේ කොඩියේ තිබෙන්නේ මේ සප්තාර්ශී තාරකා මණ්ඩය හා ධ්‍රැව තාරකාව අහසේ දිදුලන ආකාරයයි. එහෙත්, එහි අරුන්දතී තාරකාව දැකිය නොහැක. 


සප්තාර්ශී තාරකා මණ්ඩලය බටහිර රටවල මහ වලහා ලෙසත්, බිග් ඩිපර් ලෙසත්, අර්සා මේජර්  (Ursa Major) ලෙසත් හැඳින්වේ. වශිෂ්ඨ තාරකාව බටහිරදී මිසාර් ලෙසත් අරුන්දතී තාරකාව ඇල්කෝර් (Mizar and Alcor) ලෙසත් ඒවායේ අරාබි නම් අනුව හැඳින්වේ. මේ තාරකා මණ්ඩලය ආධුනික තාරකා නිරීක්ෂකයින් අහස අධ්‍යනය කිරීම අරඹන විට මුලින්ම වාගේ හඳුනා ගන්නා තාරකා මණ්ඩලයකි.

සමකය කෙළින් නොව වඩා උතුරෙන් පිහිටි අරුන්දතී තාරකාව රාශි චක්‍රයේ හෝ නැකැත් චක්‍රයේ කොටසක් නොවේ.

සමහර බරපතල දේවල් වෙනත් අයෙකුට එකවර කී විට නොතේරේ. එවිට හොඳ ගුරුවරයෙකු කරන්නේ මුලින්ම තේරුම් ගැනීම අපහසු නැති සරල දෙයක් කියා දීමයි. එය ධාරණය කරගත් පසු තරමක් ගැඹුරු දෙයක්ද, එයත් ධාරණය කරගත් පසු වඩාත් ගැඹුරු දෙයක්ද කියා දෙන්නට පහසුය. මේ ප්‍රවේශය සංස්කෘත බසින් හඳුන්වන්නේ අරුන්දතී තාරකාව පෙන්නන්නාක් මෙන් (අරුන්ධතී දර්ශන්‍යායඃ) යනුවෙනි. ලොකු දීප්තියක් නැති අරුන්දතී තාරකාව යමෙකුට පෙන්වීමටනම් පළමුව සප්තාර්ශි
තාරකා මණ්ඩලය (Ursa Major constellation) පෙන්විය යුතුය. ඉන්පසුව, වශිෂ්ඨ තාරකාවද, එයට ඇස හුරුවූ පසු ඒ ලඟින්ම ඇති දීප්තියෙන් අඩු අරුන්දතී තාරකාවද දැකිය හැකිය.

යමෙක් මිය යන්නට ආසන්න වන විට අරුන්දතී තාරකාව නොපෙනී යන බව බොහෝ ආසියාතික රටවල ඇති විශ්වාසයකි. මේ කතාවේ ඇත්තක් තිබේ. එතරම් දීප්තිමත් නැති අරුන්දතී තාරකාව නොපෙනේනම් හෝ එය වශිෂ්ඨ තාරකාවෙන් වෙන් කර හඳුනාගත නොහැකි තරමට බොඳ වී පෙනේනම් එයින් පෙනෙන්නේ පිනක් දහමක් කරගන්නට කාලය හරි බවයි. මේ පිනක් දහමක් කතාව එක් එක් අය තේරුම් ගන්නේ වෙනස් ආකාරයෙන් නිසා, තමන්ගේ මරණයෙන් පසුව ඉතිරි වන ලෝකය වෙනුවෙන් යමක් කිරීම ලෙස එය පුළුල් ලෙස අර්ථ දක්වන්නට මා වඩා කැමතිය. කෙසේ වුවත්, දැන් ලේසර් ප්‍රතිකර්ම ආදියෙන් ඇස් පෙනීම දියුණු කරගෙන වැඩි කලක් අරුන්දතී තාරකා දකින්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසී තිබේ.



(Image: https://soundcloud.com/vimasuma-com/victor-rathnayaka-to-release-a-cd-with-hindi-songs-vimasumacom)

Sunday, April 16, 2017

අවුරුදු නැකැත් හා මීතොටමුල්ලේ ඛේදවාචකය


අවුරුද්ද දවසේ, මේෂ සංක්‍රාන්තිය සිදු වීමට පෙර, මම මගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ලෝක ගෝලයේ හරියටම අනිත් පැත්තේ පිහිටි ඇමරිකාවේ සිට ලංකාවේ සිටින්නෙකුට කතා කිරීමේදී දෙපාර්ශ්වයටම අපහසුවක් නොවන පරිදි මෙය කිරීමට හැක්කේ උදේ හා හැන්දෑවේ සීමිත කාල පරාසයන් දෙකක් තුළ පමණි. එදින මා සේවය සඳහා නිවසින් බැහැර යායුතු දිනයක් වූ අතර රාත්‍රී කාලයේද නවය පසුවන තුරු කාලසටහන පිරී තිබුණු බැවින් දුරකථන ඇමතුම සඳහා වෙන් කළ හැකි වූයේ උදය කාලයේ සුළු වේලාවක් පමණි.

මා ලංකාවට කතා කරන විට මේෂ සංක්‍රාන්තිය සිදුවී නොතිබුණා පමණක් නොව, නොනගතයද ඇරැඹී නොතිබුණේය. මෙවර අවුරුදු නැකැත් සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් පැවති බව මම ඒ වන විට සමාජ ජාල හරහා දැනුවත්ව සිටියෙමි. පෞද්ගලිකව මට වැදගත් කරුණක් නොවූවත්, මගේ පියා මා දන්නා කාලයේ සිට අවුරුදු නැකැත් වැරැද්දුවේ නැති අයෙකු වූ නිසා මම ඔහුගෙන් මේ අවුරුද්දේ නැකැත් වේලාවන් ගැන විමසුවෙමි.

"මේ පාර ආණ්ඩුව මහා අවුලක් කරගෙනනේ තියෙන්නේ. ලොකු පුතා පොඩ්ඩක් දන්න නිසා කියන්නේ. අටේ චන්ද්‍රයා නීච කරල නැකත හදල තියෙන්නේ. මෙහෙම නැකැත් හදන්නේ මිනී පෙට්ටි උස්සන්න."

ජීවිතයේ නවවන දශකය ගෙවන මගේ පියා සමඟ මෙවැනි දේවල් ගැන වාදකර මා දැන් ඔහුගේ හිත රිදවන්නේ නැත. "දැන්" කියා කීවේ බොහෝ කාලයක් එවැනි දේ කර ඇති බැවිනි.

මා කුඩා කාලයේ සිටම අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර හරියටම වෙලාවට සිදු කෙරුණේය. මෙය අද දක්වාම එසේම සිදුවේ. මේ කියන්නේ මගේ දෙමවුපියන් ජීවත්වන නිවස ගැන මිස දැන් මා ජීවත්වන නිවස ගැන නොවේ.

සාමාන්‍යයෙන් අපේ ජීවිත වලට කුඩා කාලයේදී වුවත් වැඩිපුර ඇඟිලි නොගැසූ මගේ පියා මේ චාරිත්‍ර අනුගමනය කළ යුතු බවට අපට නීති පනවා නොතිබුණත්, අඩු වශයෙන් අවුරුද්ද දවසේවත් නැකැත් පිළිපදිනු දැකීමෙන් සතුටු විය. මේ කාලයේදී අපට ඇසුරු කිරීමට ලැබුණු අපේ අසල්වැසි හෝ ඥාති නිවෙස් බොහොමයක අවුරුදු "සැමරීමට" මිස නැකැත් පිළිපැදීමට ප්‍රධාන තැනක් නොලැබුණේය. ඒ අතින්, මත්පැන් සාද ආදිය පවත්වමින් අවුරුද්ද සැමරුවේ නැති අපේ ගෙදර තරමක් වෙනස් විය.

අපේ ගෙදර තිබුණු මේ සුවිශේෂී තත්ත්වයට අමතරව, හැමදාමත් පොදු තැනක් වූ, තවමත් එසේම වන අපේ ගෙදර අවුරුද්ද දවසේද පොදු තැනක්ම විය. අපේ වෙනත් ඥාතීන් හෝ පවුලේ මිතුරන් කවුරු හෝ කිහිප දෙනෙකු සෑම අවුරුදු කාලයකම වාගේ අපේ නිවසේ ගත කළේය. අවුරුදු නැකැත් වෙලාවට මේ ටීම් එකට තවත් අසල්වැසියෝ කිහිප දෙනෙක්ද එකතු වූහ.

නොනගතය වෙලාවේ ආහාර ගැනීම අපට තහනම් කර තිබුණේ නැත. එහෙත්, මේ වෙලාවේ අපට වෙනදා මෙන් පිඟානට බෙදා බත් එකක් ලැබුණේ නැත. ගෙදර කුස්සියෙන් කාගෙවත් අතින් කෑම නොලැබුණත් අවශ්‍යනම් මේසය මත වූ රසකැවිල්ලක් හෝ කෙසෙල් ගෙඩියක් භුක්ති විඳීමට අපට බාධාවක් තිබුණේ නැත.

නොනගතය ලැබීමට නියමිතව තිබුණේ කෑම ගන්නා වෙලාවකට ආසන්නවනම් අපේ බත් පිඟන් වෙනදාට වඩා කලින්ම මේසයට ආවේය. මෙවැනි අවස්ථා වල මම බොහෝ විට හිතාමතාම ආහාර ගැනීම ප්‍රමාද කළෙමි.

"තාම කෑවේ නෑ නේද? කාල හිටියනම් හරිනේ?"

මගේ කාමරයට ඔළුව දැමූ දෙමවුපියන්ගෙන් කෙනෙකු එසේ කීවේ නොනගතය ලබන්නට ආසන්න බව කෙළින්ම ප්‍රකාශ නොකරමිනි. ඒ, එසේ කීවේනම් ලැබිය හැකිව තිබුණු ප්‍රතිචාරය දැනගෙන සිටි නිසාය. එහෙත්, මේ එන්නේ මොකාටදැයි දැන සිටි බැවින් මේ කියන කාලයේදී මා බඩගින්න තිබුණත් එය ඉවසාගෙන නොනගතය ලබන තුරුම බලා සිටියේ නොනගතය වෙලාවේ ආහාර අනුභව කොට සම්මතය බිඳීමෙන් සතුටක් ලැබීමටය.

නොනගතය තුළ ඒ අයුරින් ක්‍රියා කළත්, අඩුම වශයෙන් ගැටවර වියට පෙර කාලයේදී, පොතක පිටු කිහිපයක් කියවීමෙන් වැඩ අල්ලා පියාගේ අතින් ලැබෙන තල, හකුරු, ගිතෙල් වැනි මොනවා හෝ මිශ්‍ර කිරිබත් ගුලියක් කා දෙමවුපියන්ට වැඳීමනම් නොකර සිටි දෙයක් නොවේ. ඒ, මෙසේ වැඳුම් ලබන වැඩිහිටියන් සියළු දෙනාම කිසියම් මුදලක් අතේ තැබූ නිසාය. මේ මුදල් රැගෙන බොහෝ විට කළේ, පැරදී මුදල් අවසන් වන තුරු කැට ගැසීමයි. ඇතැම් අවුරුදු වල කලින්ම මුදල් ඉවර කරගෙන ගෙදර පැමිණ බුම්මාගෙන සිටින විට තවත් කීයක් හෝ අත මිට මෙලවුණේය.

මෙයට අමතරව පවුලේ වැඩිමලා වූ මට අපේම පවුලේ අනෙක් අයත්, මගේ පියාගේ අතින් අවුරුදු බත් ගුලිය කන්නට බලාසිටි ඥාති, හිතමිත්‍ර, අසල්වැසි කණ්ඩායමක් අතරින් පෝලිමේ මුල් තැන ලැබීමේද පොඩි ගතියක් තිබුණේය.

සම්මතය කඩා වැඩිහිටියන්ගේ හිත රිදවීමේ අරමුණින් හිතාමතා නැකැත් වැරැද්දීම ආසන්න වශයෙන් පාසැල් කාලය අවසන් වන තුරු කළත්, ඉන්පසුව මා එසේ කර නැත. නැකැත් වෙලාවට සිය දරුවන් සියළු දෙනාටම බත් කටක් කවන්නට ලැබීමෙන් මගේ පියා විශාල ලෙස සතුටු වූ අතර ඒ සතුට බිඳින්නට මට අවශ්‍ය නොවීය. මට පෙර විවාපත් වූ මගේ බාල සොයුරා ඇතැම් වසර වල අවුරුදු දවස ඔහුගේ බිරිඳගේ මහගෙදර ගත කිරීම ගැන වුවද මගේ පියා පහන් සිතකින් පසු නොවුණේය. ඒ නිසා, හැකි හැම විටකම අවුරුදු දවස මගේ දෙමවුපියන්ගේ නිවසේ ගතකිරීමට මම උත්සාහ කළෙමි.

රටින් බැහැරව සිටියදීද, හැකි හැම විටෙකම අළුත් අවුරුද්දේ වැඩ අල්ලන වෙලාවට ගෙදරට දුරකථන ඇමතුමක් දීමට මම උත්සාහයක් දැරුවෙමි. ඒ, ඒ වෙලාවේ ලංකාවේ අපේ ගෙදර සිදුවන දේ සිතින් මවාගෙන නොස්ටැල්ජික් වීමට නොවේ. එසේ කිරීමෙන් මගේ මුල් පවුලේ සමීපතමයින් බොහෝ දෙනෙකු සතුටු වූ බැවිනි.

බොහෝ විට මේ දුරකථන ඇමතුම දිගු එකක් වූයේ, අපේම පවුලේ අයට අමතරව ඒ අවුරුද්දේ මගේ මහගෙදර අවුරුදු නැකැත් ඇල්ලූ, සාමාන්‍යයෙන් මා දුරකථනයෙන් කතා නොකරන, වෙනත් ඥාතීන්, හිතමිතුරන් කිහිප දෙනෙකු සමඟද කථා කරන්නට මේ අවස්ථාවේදී ඉඩ සැලසෙන බැවිණි. කෙසේ වුවත්, මේ අවුරුද්දේ අවුරුදු නැකැත් යෙදී තිබුණු ආකාරය හා ඒ කාලය තුළ මා ඉතා කාර්ය බහුලව සිටීම නිසා මෙය කරන්නට ඉඩක් නොතිබුණේය. මෙවර අවුරුදු නැකැත් වලට කලින්ම ගෙදරට කතා කළේ එබැවිනි.

පියා සමඟ කළ කතාවෙන් පැහැදිලි වූ පරිදි ඔහු මෙවර ආණ්ඩුවේ නැකැත් වලට වැඩ ඇල්ලීමට සූදානම්ව නොසිටියේය. මට තේරුණු විදිහට ඔහු වැඩ අල්ලන්නට ලෑස්ති වී සිටියේ කලක් ලේක්හවුස් ආයතනය විසින් පළ කරන
ජ්‍යෝතිෂ පුවත්පත්කද ප්‍රධාන කතෘ වරයාව සිටි පියසේන රතුවිතාන විසින් සකස් කළ නැකැත් වලටය. අවුරුදු නැකැත් සම්බන්ධව මගේ පියා මට කියූ කරුණු වලට බොහෝ සමාන කරුණු සතියකට පෙර පියසේන රතුවිතාන මහතා විසින් දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබුණේය.

අද ඉරිදා මගේ නිවාඩු දිනයක් බැවින් හා මෙවර අවුරුදු නැකැත් වේලාවේ ගෙදරට කතාකරන්නටද නොහැකි වූ බැවින් ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තෙමි. මේ වේලාවේ මගේද හදවත දැඩි ලෙස සසල කළ පුවතක් වූ මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන මගේ පියා අදහස් පළ කළේ අවුරුදු නැකැත් වල පැවති අවුල ඒ සමඟ සම්බන්ධ කරමිනි. මා ඔහු සමඟ තර්ක කරන්නට නොගිය බව කිවයුතු නොවේ.

කෙසේවුවද, මීතොටමුල්ලේ ඛේදවාචකය ආණ්ඩුවේ අවුරුදු නැකැත් හැදිල්ලෙන් සම්පූර්ණයෙන් පරිබාහිර සිදුවීමක් නොවේ. මේ දෙක අතර පැහැදිලි සම්බන්ධතාවයක් තිබේ.

නැකැත් යනු ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත වල අවියෝජනීය කොටසකි. ඒ අයට නැකැත් කියන්නේ මොනවාද කියා මුල සිට කියා දෙන්නට අවශ්‍ය නැත. එහෙත්, මා කුඩා කාලයේදී මෙන්ම දැනුත් නැකැත් සතපහකට ගණන් නොගන්නා විශාල පිරිසක්ද ලංකාවේ සිටිති. මේ අය, වෙනුවෙන් මුලින්ම මේ නැකැත් යන වචනය පිළිබඳ ඉතා කෙටි පැහැදිලි කිරීමක් කළ යුතුය.

නැකැත් යන සිංහල වචනයෙන් මෙන්ම නක්ෂත්‍ර යන සංස්කෘත වචනයෙන්ද අඩුම වශයෙන් එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් තේරුම් තුනක් හෝ හතරක් මතු කරයි. නක්ෂත්‍ර යන වචනය සම්භාව්‍ය සංස්කෘතය බිහිවන්නට පෙර එහි මුල් ස්වරූපය වූ වෛදික සංස්කෘත භාෂාවේද භාවිතා වී ඇති වචනයකි. ලිඛිත භාෂාවක් නොවූ, සම්භාව්‍ය සංස්කෘත භාෂාවේ මෙන් දැඩි ව්‍යාකරණ නීති නොතිබුණු, වෛදික සංස්කෘත භාෂාව භාවිතා වුණේ බ්‍රාහ්මී අක්ෂර මාලාව දියුණු වීමටද බොහෝ කලකට පෙරය. මේ භාෂාව නැගෙනහිර ඉරානීය භාෂා ප්‍රභේදයට අයත් ඉතා පැරණි මළ භාෂාවක් වන අවෙස්තා භාෂාවෙන් බිඳී ආවකි. ශරතුෂ්ත්‍ර ආගමික ගාථා ලියා ඇත්තේ මේ අවෙස්තා භාෂාවෙනි.

නක්ෂත්‍ර යන වචනයේ පළමු අදහස තාරකාව යන්නයි. ජ්‍යෝතිෂයේදී තාරකා අහසේ ස්ථිර තැන් වල පිහිටා ඇති සේ සලකා එම තාරකා වලට සාපේක්ෂව ඉර, හඳ හා ග්‍රහයින්ගේ පිහිටීම් හඳුනා ගැනේ. "න
ක්‍ෂරති න සරති ඉති ක්‍ෂත්‍රඃ"  (न क्षरति न सरति इति नक्षत्रः) ලෙස විස්තර කෙරෙන පරිදි (අනෙකුත් තාරකා වලට සාපේක්ෂව) චලනය නොවන්නේද, (දීර්ඝ කාලයක්) ආලෝකය නැති වී නොයා ස්ථිරව පවතින්නේද නක්ෂත්‍ර නම් වේ. මේ අර්ථය අනුව, අහසේ පෙනෙන සියළුම තාරකා නක්ෂත්‍ර නමින් හැඳින්විය හැකිය. නැකැත් යන සිංහල වචනය වර්තමානයේදී මේ මුල් අර්ථයෙන් නොයෙදේ.

දෙවන අර්ථය අනුව මේ වචන අහසේ හඳුනාගත් සුවිශේෂී තාරකා හෝ තාරකා රාශි විසි හතක් වෙනුවෙන් භාවිතා වේ. මේ තාරකා වල සිංහල නම් එකවර පෙනෙන්නට තිබෙන අරුතින් තේරුම් ගැනීම අපහසු වුවත් ඒවායේ මුල් සංස්කෘත නම් වෛදික සාහිත්‍යය සමඟ මනාව ගැලපේ. 


ඇතැම් වචන අදාළ තාරකා පන්තියේ හැඩයට සම්බන්ධය. උදාහරණයක් ලෙස විසා යන නැකතේ නමත්, වෙසක් යන මාසයේ නමත් දෙකම හැදී ඇත්තේ විශාඛ යන වචනය මුල් වීමෙනි. විශාඛ යන්නෙන් දහස් වන්නේ ගසක අතු වලින් බෙදුණු රිකිල්ලකි (ශාඛ → විශාඛ). අදාළ තාරකා පන්තියේ මේ හැඩය අදත් හඳුනාගන්නට පුළුවන.

තෙවනුව, රාශි චක්‍රය ලෙස අපට දැකිය හැකි අහස කොටස් 12කට බෙදා ඇති පරිදිම නක්ෂත්‍ර හෝ නැකැත් ලෙස හඳුන්වන කොටස් 27කටද බෙදා තිබේ. මේ නැකැත් හා ලග්න අතර ඇති සම්බන්ධයද, නැකැත් සංකල්පය විකාශනය වූ ආකාරයද දීර්ඝ ලෙස විස්තර කළ යුතු බැවින් මා එය දැන් කරන්නේ නැත. මේ තෙවන අර්ථදැක්වීම අනුව නක්ෂත්‍ර හෝ නැකැත් යනු කාලය මනින ඒකකයකි.

අවුරුදු නැකැත් ගැන කතා කරන විට අදහස් කරන අර්ථය ඉහත අරුත් තුනටම වඩා වෙනස්ය. මෙයින් අදහස් කරන්නේ කිසියම් කටයුත්තක නිරතවීම සඳහා ශුභ මුහුර්ථයක් යන්නයි.

මේෂ සංක්‍රාන්තිය යනු නිශ්චිත වෙලාවක සිදුවන භෞතික සිදුවීමකි. ඒ නිසා, ගණනය කිරීමේ වැරැද්දක් නැත්නම් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතු නොවේ. මේ අයුරින්ම, කිසියම් පුද්ගලයෙකුගේ කේන්ද්‍රයේ ඇති බොහෝ තොරතුරු පදනම් වන්නේද නිශ්චිත භෞතික කරුණු මත නිසා කේන්ද්‍ර සටහනක් සැදීම ජ්‍යෝතිෂය විශ්වාස කිරීමට හෝ නොකිරීමට සම්බන්ධයක් නැති තාක්ෂණික කටයුත්තකි. එය පරිගණ
වැඩසටහනක් යොදා ගනිමින් ඉතා පහසුවෙන් කළ හැකිය.

එහෙත්, ශුභ මුහුර්ත සෑදීම යනු භෞතික සිදුවීම් වන ග්‍රහ චලන මත පාදක වුවත්, ඉහත ආකාරයේ තාක්ෂණික කටයුත්තක් නොව විශ්වාස මත පදනම් වන්නකි. නැකැත් හැදීමේ ක්‍රමවේදය ජ්‍යෝතිෂ සිද්ධාන්ත මත පදනම් වූවත් එම සිද්ධාන්ත වල නිරවද්‍යතාවය කිසිවෙකු විසින් පර්යේෂණාත්මකව තහවුරු කර නොමැත. ඒ නිසා ඒ සිද්ධාන්ත පිළිගන්නා අය එසේ කිරීමේ පදනම වන්නේ මේ සිද්ධාන්ත දීර්ඝ කාලයක් තිස්සේ යොදාගෙන තිබීම හා පැරණි පොත් වල සටහන්ව තිබීමයි.

ජ්‍යෝතිෂයේ  තාරකා විද්‍යාත්මක කොටස බටහිර විද්‍යාව සමඟ ගැලපෙනවා පමණක් නොව බටහිර විද්‍යාව දියුණු වන විට ඒ සමඟ වෙනස් වේ. එසේ ගතික ලෙස වෙනස් නොවන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත සමඟ සම්බන්ධ කොටස පදනම් වන්නේ සම්ප්‍රදායික දැනුම් මත නිසා විවිධ ගුරුකුල අතර පොදුවේ එකඟ වන කරුණු මෙන්ම මතභේදද තිබේ.

සිංහල අවුරුදු උත්සවය දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ පැවැත්වී ඇති උත්සවයක් වුවත්, ඓතිහාසිකව මේ උත්සවය පැවැත්වී ඇත්තේ එය අද පැවැත්වෙන ආකාරයෙන්ම නොවේ. අවුරුදු උත්සවයට සමගාමීව සිදුවී ඇති එක් වැදගත් දෙයක් වන්නේ චන්ද්‍ර දින දර්ශනය හා සූර්ය දින දර්ශනය අතර රිද්මය පවත්වා ගැනීමයි (synchronize). මේ ගැනද වැඩි විස්තර බොහෝ ලිවිය යුතු වුවත් දැනට නොලියමි. 


සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ පළමුවෙන්ම ඇත්තේ අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සඳ බැලීම හා අභිනව සූර්ය වර්ෂය සඳහා සඳ බැලීමයි. දිවා රාත්‍රී වෙනස නිසා දවස වෙනස් වීමත්, හඳේ රටාව අනුව මාසය වෙනස් වීමත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකි වුවත් දැන් මෙන් අයිපෑඩ් තබා මුද්‍රිත දින දර්ශන හෝ නොතිබුණු කාලයේ අවුරුද්ද මාරුවීම ඒ තරම් පහසුවෙන් දැන ගත නොහැකිය. මාසයක් පුරා පැවැත්වුණු සිංහල අවුරුදු උත්සවය හේතුවෙන් අවුරුද්දක් ගත වුනු බව පහසුවෙන් මතකයේ රඳවා ගත හැකි විය.

ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට පෙර අපරදිග රටවලද දින දර්ශනය දේශපාලනික කරුණක් වූ අතර අවුරුද්දක් ගෙවුණු බව හරියටම දැන ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට ක්‍රමයක් නොතිබුණේය. මෙහි වාසිය ගත් පාලකයෝ දින දර්ශනය ගණනය කළ පූජකයින්ට සන්තෝෂම් දී තමන්ගේ අභිමතය පරිදි අවුරුද්දේ දිග අඩු වැඩි කළහ. ජුලියන් කැලැන්ඩරය හඳුන්වාදීමට පෙර බටහිර දින දර්ශන වල තිබුණේ මාස දහයක් පමණි. ඉන්පසුව එළඹුණු මාස දෙකක පමණ දීර්ඝ ශීත කාලයට නමක් තිබුණේ නැත. පෙරදිග දින දර්ශන වල ඒ තරම්ම අවුලක් නොතිබුණත් ඒවායේද ප්‍රශ්න තිබුණේය. ඒ කොටසද පසුවට තබමු.

මාසයක් පුරා පැවැත්වුණු අවුරුදු සැමරීම දැන් දිනකට හෝ දෙකකට කෙටි වී තිබේ. මේ සමඟම ඒ දින දෙක තුළ සිදු කරන කටයුතු වලට වැඩි වැදගත්කමක් ලැබී ඇත. නව සඳ බැලීම, රැකියා සඳහා පිටත් වීම වැනි දේ සඳහා සුබ නැකැත් අවුරුදු නැකැත් සීට්ටුවේ ඇතත් ඒවා භාවිතා කරන අය සිටින්නේද යන්න සැකයකි.

අවුරුදු දහස් ගණනක් පුරා ලංකාවේ සිංහල අවුරුදු උත්සවය සමරන්නට ඇතත් අද මෙන් රටම එක නැකතකට වැඩ ඇල්ලීමේ සිරිතක් ඉතිහාසයේ තිබුණේ නැත. එය දේශපාලනික හේතු මත මෑතකදී එකතු වූ දෙයකි. ඓතිහාසිකව මෙය අද මෙන් රජය විසින් කරන මධ්‍යගත කටයුත්තක් නොව ගම් මට්ටමින් විමධ්‍යගත ලෙස සිදුවූ කටයුත්තක් විය. කුල ක්‍රමය මත සංවිධානය වී සිටි ගම් වල සිටි නැකතියෝ අවුරුදු මාසය ඇරඹෙන්නට පෙර ගමේ ගෙවල් වලට නැකැත් සීට්ටුව බෙදා ගෙන ගියේය. එහි හිලවුවට ඔහුගේ මල්ලට වී සේරු කිහිපයක් වැටුණේය.

කේන්ද්‍රය යනු නිශ්චිත මොහොතක් හා නිශ්චිත ස්ථානයක් අනන්‍ය ලෙස හඳුනාගැනීමට උපකාරී වන සටහනකි. ඒ නිසා ඒ මත පදනම්ව හදන නැකැත්ද, එකම සිද්ධාන්ත අනුගමනය කළත් රටක හැම තැනකටම සමාන වන්නේ නැත. ලංකාව වැනි රටක මේ වෙනස්කම් විශාල නොවුණත්, උතුරේ හා දකුණේ ඉර පායන වෙලාවල් හරියටම සමාන නැත. ගමේ නැකතියා නව සඳ බැලිය යුතු දවස ඇතුළු නැකැත් හැදුවේ මේ කරුණු සැලකිල්ලට ගැනීමෙනි. ඒ නිසා එකම දින රටේ සියල්ලන්ටම නව සඳ බලන්නට නොහැකි වීම වැනි දේ ප්‍රශ්නයක් වුනේ නැත.

1854 හෝ ආසන්න වසරකදී ඈපා පංචාංග ලිත මුද්‍රණය කිරීමට පටන් ගැනීමත්, පසුව ඈපා බිත්ති ලිත මුද්‍රණය කිරීමට පටන් ගැනීමත් සමඟ අවුරුදු නැකැත් සම්බන්ධව කිසියම් ඒකාධිකාරයක් ඇති වෙන්නට පටන් ගත්තත් වසර පණහකට හැටකට පෙර කාලයේත් ඇතැම් ගම්වල නැකැත් සීට්ටු බෙදා හැරුණේය. 1975 පමණ කාලයේදී දෛවය, ශ්‍රීධර ආදී වෙනත් පංචාංග ලිත් කරලියට ආවත් ඈපා ලිතට අවුරුදු නැකැත් සම්බන්ධව වූ ඒකාධිකාරිය නැති වුණේ නැත. රජයේ ගුවන් විදුලියේ ඒකාධිකාරය හරහා ගම්වල පැවති විමධ්‍යගත නැකැත් සීට්ටු ක්‍රමය නැත්තටම නැති වී ගියේය. කෙසේ වුවද, 1980 දශකයේ පමණ සිට වෙනත් පංචාංග ලිත් ඈපා ලිතට තරඟයක් දෙන්නට පටන්ගත්තේය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ කිසියම් වසරක අවුරුදු නැකැත් සම්බන්ධව ලංකාවේ විශාල පිල් බෙදීමක් ඇති වුණේය. මේ අවුරුද්දේ ප්‍රධාන පංචාංග ලිත් දෙකකින් නැකැත් සීට්ටු දෙකක් ඉදිරිපත් කළ අතර කණ්ඩායම් දෙක අතර විශාල විවාදයක් ඇති විය. පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නොතිබුණු මේ යුගයේ අවුරුදු නැකැත් ජනගත කිරීමේ ඒකාධිකාරය හිමිව තිබූ රජයේ ගුවන් විදුලිය හා රූපවාහිණියද මේ වෙලාවේදී ප්‍රශ්නයකට මුහුණ පෑවා වන්නට පුළුවන.

දේශපාලනඥයින් බලා සිටින්නේ මේ ජාතියේ ප්‍රශ්නයක් එන තුරුය. ලේසියෙන් ගොඩ දැමිය හැකි මේ වගේ ප්‍රශ්නයක් අල්ලාගත් විට සැබෑ ප්‍රශ්න ගණනාවක් අමතක කර තමන් මහා ලොකු සේවයක් කරන බව පහසුවෙන් රටට ඒත්තු ගන්වන්නට පුළුවන. මේ කාලයේ සංස්කෘතික ඇමතිවරයා වූ වි.ජ.මු. ලොකු බණ්ඩාර විසින් ඒ අනුව රාජ්‍ය නැකැත් කමිටුවක් පිහිටුවා අවුරුදු නැකැත් හැදීමේ කටයුත්ත බදු ගෙවන ජනතාවගේ මුදලින් සිදුකරන රජයේ කටයුත්තක් බවට පත් කළේය. අද දක්වාම ඒ තත්ත්වය නොවෙනස්ව පවතී.

ලොකු බණ්ඩාර ඇමතිවරයාගේ මුල් අකුරු ඒ දවස්වල ඇතැම් අය කියෙවුවේ "විජ්ජාවෙන් ජනතාව මුලාකරන" යනුවෙනි. ඔහුට පෞද්ගලිකව කෙසේවුවත් පොදුවේ ලංකාවේ මෙන්ම වෙනත් රටවලද බොහෝ දේශපාලනඥයින්ට මේ යෙදුම ගැලපේ. රටේ වෙනත් මිනිසුන්ට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමට හැකියාවක් නැති බවත්, ඔවුන්ට හොඳම දේ තෝරා දෙන්නට දන්නේ තමන් බවත් ඔවුහු සිතති. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය නඩත්තු කළ යුතු බවද ඔවුහු සිතති. දේශපාලනඥයින් නොවන බොහෝ දෙනෙක්ද මේ අයුරින්ම සිතමින් තමන්ට තනිව හෝ සාමූහිකව කරගත හැකි දේ වෙනත් අය කර දෙන තුරු බලා සිටින නිසා එහි මිලද එය කර දෙන දේශපාලනඥයින්ට ගෙවීමට ඔවුන්ට සිදුවේ. පොඩි අවුලකට තියෙන්නේ එසේ නොසිතන අයටද මේ මිල ගෙවන්නට වී තිබීමයි.

රටේ සාමාන්‍ය ජනතාව දුම්වැටි භාවිතා කිරීමෙන් සිදුවන සෞඛ්‍යමය හානි ගැන නොදන්නා බැවින් දේශපාලනඥයෝ ඒ බව ඔවුන්ට පැහැදිලි වන පරිදි මිල වැඩි කරති. ඔවුන් ආරක්ෂාකාරී නොවන වාහන භාවිතා කරන නිසා එය වැළැක්වීමට ආනයන බදු වැඩි කරති. ඔවුන් ඖෂධ වෙනුවෙන් වැඩිපුර මුදල් වියදම් කරන නිසා මිල අධික ඖෂධ වෙළඳපොළට පැමිණීමේ ඉඩකඩ අහුරා ඒ තත්ත්වය වළක්වති. නිවැරදි අවුරුදු නැකැත් සීට්ටුව තෝරාගැනීමට මේ නැකැත් පිළිපදින අයට නොතේරෙන බැවින්, නැකැත් විශ්වාස නොකරන අය ඇතුළු සියළු දෙනා රජය නඩත්තු කිරීමට ගෙවන බදු මුදල් වැය කරමින් ඔවුන්ට නැකැත් තෝරා දෙති. මේ අතර ඔවුන් ජනතාව වෙනුවෙන් ගොඩගසන කුණු කඳු වලට යටවී මිනිස්සු මිය යති.


(Image: http://www.dailymail.co.uk/news/article-4414116/16-killed-Sri-Lankan-rubbish-mountain-collapse.html)

Saturday, April 15, 2017

සෙනසුරු, බ්‍රහස්පති හා ඇමරිකාවේ දේශපාලනය


ලංකාවේ බොහෝ දෙනෙකු සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සමරමින් කාර්ය බහුල වී සිටියදී, මේෂ සංක්‍රාන්තියට දෙතුන් පැයකට පෙර, ඇමරිකාවේ නාසා ආයතනය විසින් සෙනසුරු හා බ්‍රහස්පති ග්‍රහයන්ගේ චන්ද්‍රයන් වෙත නුදුරු දිනක සිදුවිය හැකි නෑදෑ ගමන් ගැන ඉඟි පළ කරමින් විශේෂ පුවත් සාකච්ඡාවක් පැවැත්වුවේය.

සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයේ සිට තොරතුරු එවන මිනිසුන් රහිත කැසිනි අභ්‍යවකාශ යානය හා හබල් දුරේක්ෂය උපකාරයෙන් ලබාගත් අළුත් තොරතුරු මේ සාකච්ඡාවට පදනම් විය. මෙහිදී අනාවරණය කෙරුණු ප්‍රධාන කරුණ වූයේ ජලය යනු අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ පෘථිවියට පමණක් විශේෂ වූ දුලබ දෙයක් නොවන බවයි.

කැසිනි අභ්‍යවකාශ යානය මඟින් සෙනසුරුගේ එන්සලඩස් චන්ද්‍රයා මත ජීවය පවතින බවට සාක්ෂි කිසිවක් සොයාගෙන නැතත්, ජීවය පැවතීමට අවශ්‍ය මූලික තත්ත්වයන් ගණනාවක් එහි පවතින බව හඳුනාගෙන තිබේ. පෘථිවියේ ඇති ආකාරයේ කාබනික ජීවයක පැවැත්ම සඳහා ද්‍රව තත්ත්වයේ පවතින ජලය, ආහාර ලෙස සුදුසු ශක්ති ප්‍රභවයක් හා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස් හා සල්ෆර් යන මූලද්‍රව්‍ය තිබිය යුතුය.

එන්සලඩස් චන්ද්‍රයා මත පොස්පරස් හා සල්ෆර් මූලද්‍රව්‍ය හැර අනෙකුත් අවශ්‍ය සාධක ඇති බව හඳුනාගෙන ඇති අතර චන්ද්‍රයාගේ මධ්‍යයේ මේ මූලද්‍රව්‍ය දෙකද ඇති බව නාසා විද්‍යාඥයෝ සිතති. එහි පෘෂ්ඨයේ සිට ඉහළට විදින වාෂ්ප විශ්ලේෂණය කිරීමෙන් පසුව එම වාෂ්ප වල 98%ක් ජලයද, 1%ක් හයිඩ්‍රජන් වායුවද, ඉතිරිය කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා ඇමෝනියා ආදිය අඩංගු මිශ්‍රණයක් බවද හඳුනාගෙන තිබේ.

කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත යවන විට එන්සලඩස් මත ජීවය ඇති බව සොයා බැලීමේ අදහසක් නොවූ අතර එහි පෘෂ්ඨයෙහි වාෂ්ප විදින තැන් (Plumes) ඇති බව එහි යන තුරුම නොදැන සිටි දෙයකි.

මේ අතර, හබල් දුරේක්ෂය මඟින් ලබා ගත් ඡායාරූප අනුව බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත
මෙසේ වරින් වර සැතපුම් ගණනක් ඉහළට වාෂ්ප විදින නිශ්චිත උණුසුම් ස්ථාන ඇති බව හඳුනාගෙන තිබේ. ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කිහිපයකමද බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය පැවතිය හැකි බවට අදහස් පළ කෙරී තිබිණි.

මාස කිහිපයකට පෙර නාසා ආයතනය විසින් ආලෝක වර්ෂ 40ක දුරින් ජීවය පැවතීමේ ඉඩකඩ ඇති ග්‍රහලෝක තුනක් සහිත සූර්යයෙකු හඳුනාගත් බව නිවේදනය කළේය.  ආලෝක වර්ෂ හතළිහක් විශ්වයේ ප්‍රමාණයට සාපේක්ෂව ළඟ දුරක් වුවත්, දැන් අපට ජීවය ඇති බවට සාක්ෂි ලැබී ඇත්තේ අපේම අසල්වාසී ගෙදරකිනි.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහයෙකු වෙත යානයක් යැවීම ග්‍රහයන්ගේ සාපේක්ෂ චලනයන් සියුම් ලෙස හදාරමින් සිදු කළ යුතු සංකීර්ණ කාර්යයකි. කෙසේ වුවද, ග්‍රහයින්ගේ පිහිටීම් සැලකිය යුතු තරමින් නිවැරදිව හඳුනා ගැනීම මිනිසුන්ට වසර දහස් ගණනකට පෙරද  කරන්නට හැකි වූ දෙයකි. කැසිනි වැනි යානා සෙනසුරුගේ චන්ද්‍රයින් වෙත යැවීමට හැකි වී තිබෙන්නේ මේ දැනුම අවුරුදු දහස් ගණනක් තිස්සේ දියුණු කළ සියළු විද්‍යාර්ථීන්ගේ කැපකිරීම් නිසාය. 


අභ්‍යවකාශ නිරීක්ෂණය යනු වසර දහස් ගණනකට පෙරද වසර ගණනාවක පුහුණුවක් ලබා ප්‍රගුණ කළ යුතු විද්‍යාවක් විය. එවැනි කැප කිරීමක් කිරීමට මේ කටයුතු වල නිරත වූ ආදි විද්‍යාර්ථින්ට ලැබුණු මහජන සහයෝගය හා රාජ්‍ය අනුග්‍රහයද උදවු වෙන්නට ඇත.

තාරකා විද්‍යාවට සාපේක්ෂව මිනිසාගේ සම්භවය ගැන අපේ දැනුම බොහෝ අළුත් දැනුමකි. ජීවය බිහිවීම පැහැදිලි කිරීමට අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩ නැඟුණු විවිධ ප්‍රවාද අතර තාරකා විද්‍යා ප්‍රවාද වල තරම් ඒකමිතියක් දකින්නට නොලැබුනේය. එන්සලඩස් හා යුරෝපා චන්ද්‍රයින් මත අප ජීවය සොයන්නේද ජීවයේ සම්භවය පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීමටය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසුව නාසා ඇතුළු බොහෝ පර්යේෂණ ආයතන වලට සපයන අරමුදල් කපා හැරීමට යෝජනා කර ඇතත් නාසාහි ග්‍රහලෝක අධ්‍යයන අංශය වෙනුවෙන් ලබාදෙන අරමුදල් ඩොලර් බිලියන 1.6 සිට 1.9 දක්වා වැඩි කර තිබීම විශේෂත්වයකි. මේ අරමුදල් වලින් කොටසක් බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය ඇත්දැයි පිරික්සීම සඳහා වෙන් කෙරෙනු ඇත.



Image: http://www.politicalgarbagechute.com/donald-trump-says-president-hed-annex-jupiter/

Thursday, April 13, 2017

මේෂ සංක්‍රාන්තිය දැක තිබේද?

මෙය ලියන විට සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණ සුළු වේලාවක් ගතවී තිබේ. මේ අවස්ථාව විශේෂ සිද්ධියක් ලෙස සලකා සමරන ලොව පුරා ජීවත්වන බොහෝ අය ඒ සඳහා දැන් සූදානම් වනවා විය යුතුය. මේ සමරන අය අතරින් කී දෙනෙක් මීන රාශිය හෝ මේෂ රාශිය දැක තිබේද?

පසළොස්වක පෝය යාන්තම් පහුවුනා පමණක් නිසා මේ දවස් වල අහසේ වැඩිපුර තාරකා දැකිය නොහැකිය. ඒ නිසා අද හෝ හෙට අහස දෙස බලා මීන රාශිය හෝ මේෂ රාශිය හඳුනා ගත හැකි නොවනු ඇත. එහෙත් තව දෙසතියකින් පමණ ඉර පායන්නට කිට්ටුව නැගෙනහිර ක්ෂිතිජය දෙස බැලුවොත් මීන රාශිය හඳුනාගැනීමට හැකි වනු ඇත.




© T. Credner & S. Kohle, AlltheSky.com

ඉහත පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවයි. හඳුනාගැනීමේ පහසුව සඳහා අදාළ තාරකා ඉරිවලින් යා කර තිබේ. මේ තාරකා රටාව නූලකින් බැඳුණු මාළුන් දෙදෙනෙකු ලෙස මුලින්ම බැබිලෝනියානුවන් විසින් හඳුනා ගනු ලැබූ අතර මීන යන සංස්කෘත නම මෙන්ම ඒ සඳහා බටහිර භාවිතා වන ලතින් නමද (Pisces) මාළුවා/ මාළු යන අරුත සපයයි.



මේ තාරකා එක් පොකුරක් ලෙස පොළොවට මෙසේ පෙනුණත් ඒවා ඇත්තටම තියෙන්නේ එකිනෙකට ආලෝක වර්ෂ ගණනක් දුරිනි. එම තාරකා වලින් දහයකම හඳුනාගත් ග්‍රහලෝක තිබේ. මීන රාශි මණ්ඩලයේ දීප්තිමත්ම තාරකාව වන ඊටා පිසියම් (Eta Piscium) ආලෝක වර්ෂ 294ක් ඈතින් පිහිටා ඇති කහ යෝධයෙකි. ඉර මෙන් 26 ගුණයක් විශාල, 3.5-4 ගුණයක ස්කන්ධයක් ඇති එහි දීප්තිය ඉරේ දීප්තිය මෙන් 316 ගුණයකි [1].

දෙවෙනියට දීප්තිමත්, ඉර මෙන් දහ ගුණයක් විශාල හා 61 ගුණයක් දීප්තිමත් ගැමා පිසියම් තාරකාවද කහ යෝධයෙක් වන අතර ආලෝක වර්ෂ 138ක් දුරින් පිහිටා ඇත. ආලෝක වර්ෂ 106ක් දුරින් පිහිටා ඇති ඔමේගා පිසියම් ඉර මෙන් 20 ගුණයක් විශාල වන අතර, අයෝටා පිසියම් තරුව ආලෝක වර්ෂ 44.73ක් දුරින් පිහිටා ඇති ඉරට වඩා තරමක් විශාල තරුවකි.

මේ තාරකා පද්ධතියේ ඉතිරි තාරකා ඔමික්රොන් පිසියොන්, ඇල්ෆා පිසියම්, එප්සිලෝන් පිසියම්, ඩෙල්ටා පිසියම්, තීටා පිසියම්, නියු පිසියම්, බීටා පිසියම් (අරාබි බසින් ෆුම් අල්-සම්මක් හෙවත් මාළු කට), කප්පා පිසියම්, ලැම්ඩා පිසියම්, සීටා (zeta) පිසියම්, 19 පිසියම් (TX පිසියම්), 107 පිසියම්, 96G පිසියම්, 54 පිසියම්, 6G පිසියම් හා වැන් මානන්ගේ තරුව ලෙස නම් කර තිබේ. තාරකා රටාවේ ෂඩාශ්‍රය සැදී ඇත්තේ ගැමා, කප්පා, ලැම්ඩා, අයෝටා, තීටා හා 19 පිසියම් තරු හයෙනි. ආලෝක වර්ෂ 148ක් ඈතින් පිහිටි සීටා පිසියම් (ζ Psc) යනු ජ්‍යෝතිෂයේදී රේවතී නැකත ලෙස හඳුනාගන්නා තාරකාවයි.



මේෂ රාශියට අදාළ තරු රටාව සාපේක්ෂව ඉතා සරල එකකි. මෙය බැබිලෝනියානුවන් විසින් මුලින්ම ගොවියෙකු ලෙස හඳුනාගත් නමුත් පසුව ගොවියා එළුවෙකු විය. 

මේ තාරකා මණ්ඩලයේ හඳුනාගත් ග්‍රහලෝක සහිත තාරකා පහක් තිබේ. මෙහි ප්‍රධාන තාරකා ඇල්ෆා ඒරියටිස්, බීටා ඒරියටිස්, ඩෙල්ටා ඒරියටිස්, ගැමා ඒරියටිස්, සී ඒරියටිස් හා එප්සිලෝන් ඒරියටිස් ලෙස හැඳින්වේ. බීටා හා ගැමා ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ පළමු නැකත වන අස්විද නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකාවන්ය. 35 ඒරියටිස්, 39 ඒරියටිස් හා සී ඒරියටිස් හෙවත් 41 ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ දෙවන නැකත වන බෙරණ නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකාවන්ය. 

අරාබි බසින් රාස්-අල්-හමාල් (එළු හිස) ලෙස හැඳින්වෙන ඇල්ෆා ඒරියටිස් තරුව ආලෝක වර්ෂ 66ක් දුරින්ද, බීටා ඒරියටිස් ආලෝක වර්ෂ 59.6ක් දුරින්ද, ගැමා ඒරියටිස් ආලෝක වර්ෂ 160ක් දුරින්ද, ඩෙල්ටා ඒරියටිස් ආලෝක වර්ෂ 168ක් දුරින්ද, සී ඒරියටිස් හෙවත් බෙරණ තරුව ආලෝක වර්ෂ 160ක් දුරින්ද, එප්සිලෝන් ඒරියටිස් ආලෝක වර්ෂ 293ක් දුරින්ද පිහිටා තිබේ.

මීන හා මේෂ රාශි ඇතුළු රාශි දොළහත්, නැකැත් ලෙස සිංහලෙන් හඳුන්වන නක්ෂත්‍ර තාරකා මණ්ඩල විසිහතත් අහසේ ස්ථානගත වී ඇති ආකාරය අනුව නැගෙනහිර ක්ෂිතිජයෙන් චක්‍රීය රටාවකට මතු වේ. අද වැනි හඳ එළිය වැඩි දවසක නොහැකි වුවත්, තවත් සති දෙකකින් පමණ අහස නිරීක්ෂණය කළොත් මේ රාශි දොළහ මෙන්ම නැකැත් විසිහතද හඳුනාගැනීමට බැරිකමක් නැත.

මේෂ රාශිය මෙන්ම මීන රාශියද අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිය. සූර්යයාද අපට නිරීක්ෂනය කළ හැකිය. එහෙත්, මේෂ සංක්‍රාන්තිය අපට පොළොවේ එක් නිශ්චිත තැනක සිට එසේ නිරීක්ෂණය කළ නොහැක. අද මේෂ සංක්‍රාන්තිය සිදු වන විට මා සිටින නගරයට හවස් කාලයයි. ඒ වෙලාවේ ඉර අහසේ පෙනෙන්නට තිබුණත්, ඉර එළිය නිසා මීන රාශිය හෝ මේෂ රාශිය පියවි ඇසින් දැකිය නොහැක. ලංකාවට මේෂ සංක්‍රාන්තිය සිදු වුණේ රාත්‍රී කාලයේදීය. ඒ වෙලාවේ, මීන හා මේෂ රාශි මෙන්ම ඉරද තිබුණේ පොළොවේ අනෙක් පැත්තේ නිසා මේෂ සංක්‍රාන්තිය දෑසින් දකින්නට කෙසේවත් ඉඩක් නැත.

වසර දහස් ගණනකට පෙර ජීවත් වූ විද්‍යාර්ථින්ටද මේෂ සංක්‍රාන්තිය පියවි ඇසින් දැකිය නොහැකි විය. එහෙත්, දිවා කාලයේ ඉරේ ගමනත්, රාත්‍රී කාලයේ තාරකා වල ගමනත් නිරීක්ෂණය කිරීමෙන් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව හරියටම නිගමනය කිරීමට ඔවුන්ට හැකි විය. වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට එසේ කිරීමට හැකි වීම අපූරු දෙයකි.


මේෂ සංක්‍රාන්තිය සමරන සියල්ලන්ටම සුබ අළුත් අවුරුද්දක්!

(Image: pinrest.com)

Wednesday, April 12, 2017

පහන් තරුව ඔබ...

මේ ලිපිය සමඟ පළවන්නේ දැන් ටික වෙලාවකට කලින් ගත් ඡායාරූප තුනකි. දිනය අප්‍රේල් 11 ලෙස සටහන්ව ඇත්තේ කැමරාවේ දිනය නිවැරදිව සකස් කර නැති බැවිනි. නිවැරදි දිනය අප්‍රේල් 12 විය යුතුය. එමෙන්ම, ඡායාරූප ගත් කැමරාව හොඳ එකක් නොවීමත්, ඉකොනොමැට්ටා හොඳ ඡායාරූප ශිල්පියෙකු නොවීමත් නිසා මේ ඡායාරූපනම් කිසිම කමකට නැත.



අද උදේ 6.45ට පමණ එළියට බහින විට නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ඉහළින් දීප්තිමත්ව දකින්නට ලැබුණු පහන් තරුව හෙවත් සිකුරු ග්‍රහයා මනරම් දසුනක් විය. සැලකිල්ලෙන් බැලුවොත් පළමු ඡායාරූපයේ මැද තරමක් දකුණට වන්නට කුඩා තිතක් ලෙස ඔබට සිකුරු ග්‍රහයා දැකිය හැකිය.

අද අපට ඉර උදාවුණේ උදේ 7.10 ටය. නැවත නිවසට පැමිණ කැමරාව එළියට ගෙන ඉහත පළමු ඡායාරූපය ගන්නා විට උදේ 6.50ට පමණ විය. ඒ අනුව, ඒ වන විට අපේ ඉර උදාව සිදුවීමට මිනිත්තු 20ක් පමණ තිබුණේය. පොළොව මිනිත්තු 20ක් තුළ අංශක 5ක් පමණ භ්‍රමණය වෙයි. ඒ නිසා ඉර උදාවීමටනම් පොළොව තවත් අංශක 5කින් භ්‍රමණය විය යුතුය. වෙනත් විදිහකින් කියනවානම් මේ වෙලාවේ ඉර තිබිය යුත්තේ නැගෙනහිර ක්ෂිතිජයට අංශක 5ක් පමණ පහළිනි.

අප දන්නා පරිදි, ඉර මේ දවස්වල ගමන් කරන්නේ මීන රාශියේය. තවත් දින දෙකකින් ඉර මේෂ රාශියට ගමන් කිරීමට නියමිතය. මේ එක් රාශියකට අංශක 30ක් අයත් වේ. මේෂ රාශියේ මුල සිට ගණන් ගත් විට මීන රාශියට අයත් වන්නේ අහසේ අංශක 330-360 අතර කොටසයි.

ඉර තවමත් මීන රාශියේ ගමන් කළත් මේ වන විට එහි අවසන් කොටසට පැමිණ සිටී. ඉර ආසන්න වශයෙන් දිනකට එක් අංශකයක් ගමන් කරන අතර දින දෙකකින් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමට නියමිත නිසා මේ වන විට ඉන්නේ 358වන අංශකයේ හෙවත් මීන රාශියේ 28 වන අංශකයේය.

මේ දවස් වල සිකුරු ග්‍රහයා සිටින්නේද මීන රාශියේය. එහෙත්, මීන රාශියේ මුලම හරියේ දෙවන අංශකයේය. එනම්, ඉරට අංශක 26ක් දුරින් 332 අංශකයේය. පළමු ඡායාරූපය ගත්තේ ඉර උදාවීමට මිනිත්තු 20කට පෙර හෙවත් ඉර නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවීමට අංශක 5ක් තිබියදීය. ඒ අනුව, මේ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි.

මීන රාශියේ 28වන අංශකයේ සිටි ඉර මේ වන විටද තිබුණේ ක්ෂිතිජයට පහළින් වුවත්, මීන රාශියේ දෙවන අංශකයේ සිටි සිකුරු ඒ වන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි අංශක 21ක් ගමන් කර අවසන්ය. ඒ අනුව, පළමු ඡායාරූපයේ සිකුරු ග්‍රහයා දක්නට ලැබෙන්නේ නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 21ක් ඉහළිනි.

මේ ඡායාරූපය ගෙන ආපසු හැරෙන විට දකින්නට ලැබුණු අනෙක් මනහර දසුන බටහිර ක්ෂිතිජයෙහි ගිලී යන්නට පෙර අහසේ බැබළෙමින් සිටි පූර්ණ චන්ද්‍රයාය. ඊයේ බක් පුර පසළොස්වක දිනයයි. පුර පසළොස්වක දින හඳ තිබෙන්නේ පොළොවෙන් ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේය. එනම් ආසන්න වශයෙන් අංශක 180ක දුරිනි. 




ආසන්න ලෙස වසරක් තුළ නක්ෂත්‍ර තාරකා හරහා වටයක් සම්පූර්ණ කරන ඉර දවසකට ගමන් කරන්නේ එක් අංශකයක් වුවත්, මසකට පමණ වරක් වටයක් සම්පූර්ණ කරන හඳ දිනකට අංශක 12කට මඳක් වැඩියෙන් ගමන් කරයි. ඊයේ 180 වැනි අංශකය අවසානයේ දැකිය හැකි වූ හඳ අද පෙනෙන්නේ 193 වන අංශකය එල්ලේය. මෙය හත්වන රාශිය වන තුලා රාශියේ 23 වන අංශකයයි.

මෙහි දෙවන ඡායාරූපය ගත්තේද පළමු ඡායාරූපය ගත් වහාම, උදේ 6.50ට පමණය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා බටහිර ක්ෂිතිජයේ තිබුණේ එයට ප්‍රතිවිරුද්ධ 173 වන අංශකය හෙවත් හයවන රාශිය වන කන්‍යා රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා, 193 වන අංශකයේ වූ හඳ තිබෙන්නේ බටහිර ක්ෂිතිජයට අංශක 20ක් ඉහළිනි.

ඡායාරූප ගන්නා වෙලාවේ සිකුරු ග්‍රහයා හා හඳ අහසේ දෙපැත්තේ ආසන්නව සමාන ඉහළකින් පෙනුණේ සිකුරු ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ අංශක 21ක් ඉහළිනුත්, හඳ බටහිර ක්ෂිතිජයේ අංශක 20ක් ඉහළිනුත් පැවති නිසාය. හඳ හා සිකුරු අතර අංශක 139ක කෝණයද මේ වෙලාවේ ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. මේ කෝණය එළෙසම පැවතෙද්දී, සිකුරු ග්‍රහයා ක්‍රමයෙන් නැගෙනහිර අහසේ ඉහළට නැඟීමත්, හඳ බටහිරින් බැස යාමත් ඡායාරූපය ගැනීමෙන් පසුව නිරීක්ෂණය කළ හැකි වුවත්, ඉර උදාව ආසන්න වෙද්දී ඉර එළිය හේතුවෙන් සිකුරු ග්‍රහයා නොපෙනී ගියේය.

හරියටම උදේ 7.10ට ඉර උදාව සිදු වූ අතර තෙවන ඡායාරූපය ගත්තේ ඒ මොහොතේය.




උදෑසන ව්‍යායාම පිණිස හෝ වෙනත් කටයුත්තක් සඳහා ඇවිදින්නට යන අයෙකුට අහස නිරීක්ෂණය කිරීම නරක විනෝදාංශයක් නොවේ. මෙය ලෝකයේ පැරණිම විනෝදාංශයක් ලෙසද සැලකිය හැකිය. මේ දවස්වල අනෙකුත් ග්‍රහයින්ද නිරීක්ෂණය කිරීම එතරම් අමාරු නැති අතර, විශේෂයෙන්ම බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් ඉර බැස යාමෙන් පසුව හඳ ආසන්නව දකින්නට පුළුවන.


පසු එකතු කිරීම:

අද අපේ ඉර බැස්සේ පස්වරු 8.20ටය. අද උදේ 358 වන අංශකයේ වූ ඉර බටහිර ක්ෂිතිජයෙන් බැස යන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 178 අංශකයයි. ඉර බැස පැයකට පසු මා අහස නිරීක්ෂණය කරන විට තවත් අංශක 17කින් පමණ රාශි චක්‍රය භ්‍රමණය වී ඇති නිසා නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 195 අංශකය හෙවත් තුලා රාශියේ මැදයි. බටහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 15 අංශකය හෙවත් මේෂ රාශියේ මැදයි.

මේ දිනවල කන්‍යා රාශියේ 23 වන අංශකයේ හෙවත් මේෂ රාශියේ මුල සිට 173වන අංශකයේ සිටින බ්‍රහස්පති ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 22ක් ඉහළින් ඉතා පැහැදිලිව දැකිය හැකිය. වෘෂභ රාශියේ මුල, 30 වන අංශකයේ සිටින අඟහරු ග්‍රහයාද බටහිර ක්ෂිතිජයේ අංශක 15ක් ඉහළින් රතු පැහැයෙන් දැකිය හැකිය. පියවි ඇසින් ඉතා පැහැදිලිව  හැකි වුවත් මගේ කැමරාව එතරම් හොඳ එකක් නොවන නිසා මේ ග්‍රහයින් දෙදෙනා ඡායාරූප වල පැහැදිලිව සටහන් වී නැත.

මීන රාශියේ හා මේෂ රාශියේ ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වුවත් පසළොස්වක පෝය අවසන් වුනා පමණක් නිසා අහසේ තරු රටා බොහොමයක් පැහැදිලිව දර්ශනය නොවේ.

ඔබ මේ ගැන උනන්දුවක් දක්වනවානම් හෙට දිනයේද ඉර පායන්නට ආසන්නව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් සිකුරු ග්‍රහයාද, ඉර බැස ගොස් පැයකට පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් බ්‍රහස්පති ග්‍රහයාද, බටහිර ක්ෂිතිජය ආසන්නව රතු පැහැයෙන් අඟහරු ග්‍රහයාද දැක ගන්නට පුළුවන් වනු ඇත. තාරකා මෙන් නිවී නිවී නොදැල්වෙන බැවින් හා ප්‍රමාණයෙන් සාමාන්‍ය තාරකාවකට වඩා විශාල නිසා (පොළොවට පෙනෙන පරිදි) මේ ග්‍රහයින් පහසුවෙන් හඳුනාගත හැකිය. අඟහරු ග්‍රහයා ප්‍රමාණයෙන් විශාල නොවූවත් එහි වෙනස් පැහැය නිසා හඳුනාගත හැකිය. 



දෙවන පසු එකතු කිරීම:

අද උදේ ඉර උදාව ආසන්නව 193 අංශකයේ තිබුණු හඳ පැය 16කට පමණ පසුව ඉහත ඡායාරූපය ගන්නා විට 200 වන අංශකයට පැමිණ ඇත. ඉර බැස ගොස් දෙපැයක් ගෙවී ඇති බැවින් දැන් නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 208 වන අංශකයයි. ඒ අනුව, නැගෙනහිර ක්ෂිතිජයට අංශක 8ක් පමණ ඉහළින් හඳ දර්ශනය වේ. මේ වන විට බ්‍රහස්පති ග්‍රහයා දැකිය හැක්කේ අංශක 35ක් ඉහළිනි. ඡායාරූපයේ පැහැදිලිව සටහන් වී නැත. තවත් දෙපැයක් පමණ බලා සිටියහොත් සෙනසුරු ග්‍රහයාද දැකගන්නට පුළුවන් විය හැකිය.

Sunday, April 2, 2017

ගෑණු කේන්දර හා නොවරදින අනාවැකි

ලංකා හේතුවාදී සංගමයේ මූලාරම්භක හා පළමු සභාපති වූ ඒබ්‍රහම් ටී කොවූර් විසින් 1963 වසරේදී ප්‍රසිද්ධ අභියෝගයක් කරමින් සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි, එහෙත් ඇතැම් පුද්ගලයින්ට කළ හැකියැයි බොහෝ දෙනෙකු සිතන දේවල් 23ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මේ ලැයිස්තුවේ ඇති දේවල් වලින් එකක් පිළිගත හැකි තත්ත්වයන් යටතේ සිදු කර පෙන්වන අයෙකුට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බව ප්‍රසිද්ධ කළේය. 1978දී කොවූර් මියයන තුරුත් විවෘතව පැවති මේ අභියෝගය කිසිවකුට ජයගත නොහැකි විය.

කොවූර්ගේ ලැයිස්තුවේ අවසාන අයිතමය වූයේ ඔවුන් විසින් මිනිත්තුවක නිරවද්‍යතාවයක් සහිතව ලබාදෙන පුද්ගලයින් දහදෙනෙකුගේ (හෝ විසිදෙනෙකුගේ) උපන් වේලාවන් හා ඔවුන් උපන් ස්ථාන භාවිතා කරමින් එම පුද්ගලයින්ගේ කේන්ද්‍ර පිටපත් සාදා ඒ අනුසාරයෙන් (හෝ ඔවුන් විසින් ලබා දෙන හස්ත රේඛා සටහන් අනුසාරයෙන්) අදාළ පුද්ගලයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හා ජීවත්ව සිටිනවාද නැද්ද යන්න 95%ක නිරවද්‍යතාවයක් සහිතව පැවසිය යුතු බවයි. මෑතකදී, කාලෝ ෆොන්සේකා විසින් ත්‍යාග මුදලද ඉහළ දමමින් මේ අභියෝගය නැවත අළුත් කළ බව වාර්තා වී තිබුණු අතර මා සිතන පරිදි එම අභියෝගය තවමත් විවෘතව පවතී.

පුද්ගලයෙකුගේ උපන් වේලාව ඇසුරෙන් එම පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය 95%ක නිරවද්‍යතාවයකින් කියන්නට පුළුවන් කමක් නැත. මෙය දරුවන්ගේ උපන් වේලාවන් පරීක්ෂා කිරීමෙන් සංඛ්‍යානමය ලෙස තහවුරු කරගත හැකි දෙයකි. ඒ නිසා, අද වුවද මේ අභියෝගය භාර ගැනීමට කිසිදු ජ්‍යෝතිර්වේදියෙකු ඉදිරිපත් වේයැයි සිතිය නොහැකිය.

මේ සම්බන්ධව අද බොහෝ ජ්‍යෝතිර්වේදීන් විසින් ලබාදෙන ජනප්‍රිය පිළිතුරක් තිබේ. ඒ, තමන්ගේ සේවාදායකයින් කිසිවකු කේන්ද්‍රය හිමි පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය දැන ගැනීමට ජ්‍යෝතිර්වේදියෙකු වෙත නොපැමිණෙන බවයි. මේ කතාව ඇත්තකි. එමෙන්ම, බොහෝ විට කේන්ද්‍ර සටහන සහිත ලේඛණයක උපන් වේලාව සමඟ ස්ත්‍රී පුරුෂ භාවයද සටහන් කරන නිසා ජ්‍යෝතිර්වේදියෙකුට මෙය අනුමාන කරන්නට අවශ්‍යතාවයක්ද නැත.

කෙසේ වුවද, කොවූර්ගේ අභියෝගය මුලින්ම ප්‍රකාශයට පත් කරන්නට දශක කිහිපයකට පෙර කාලය දක්වාම ලංකාවේ ජ්‍යෝතිර්වේදියෙකුට එම කාලයේ ජීවත්ව සිටි අයෙකුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ භාවය සැලකිය යුතු තරම් නිවැරදිව අනුමාන කරන්නට පුළුවන්කම තිබුණේය. ජ්‍යෝතිර්වේදියෙකු වෙත පැමිණෙන සේවාදායකයෙකු එසේ පැමිණෙන්නේ කේන්ද්‍රහිමියාගේ ස්ත්‍රී-පුරුෂ භාවය දැනගන්නට නොවූවත්, එය නිවැරදිව පැවසීම මඟින් ජ්‍යෝතිර්වේදියෙකුට තමන් ප්‍රකාශ කරන අනෙකුත් අනාවැකි වල නිරවද්‍යතාවය පිළිබඳව සිය සේවාදායකයා තුළ විශ්වාසය තහවුරු කළ හැකිය.

අඩ සියවසකට පමණ පෙරත් ලංකාවේ බොහෝ ජ්‍යෝතිර්වේදීන්ට තිබුණු ඉහත හැකියාව අද වන විට නැති වී ඇත්තේ ඇයි?

වසර දහස් ගණනකට පෙරද, ඉර හඳ හා අනෙකුත් ආකාශ වස්තූන්ගේ චලනයන් ගැන හොඳ දැනීමක් පෙර අපර දෙදිග විද්‍යාර්ථීන් සතු විය. එහෙත්, ඒ දැනුමට සාපේක්ෂව ජීව විද්‍යාව පිළිබඳව තිබුණේ ඉතා අඩු මට්ටමක දැනුමකි. අළුත ඉපදෙන දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන ආකාරය තබා දරුවකු බිහිවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ඉතා මෑතක් වන තුරු පෙර අපර දෙදිගම තිබුණේ සීමිත දැනුමකි.

ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන ආකාරය පමණක් නොව, දෙමවුපියන්ගේ ලක්ෂණ දරුවන්ට ලැබීම, කාලයකට පෙර මියගිය පවුලේ වැඩිහිටියෙකුගේ ලක්ෂණ අළුත ඉපදෙන දරුවෙකුට ලැබීම මෙන්ම ඇතැම් දරුවන් උපතින්ම යම් රෝගාබාධ සහිතව බිහිවීම සඳහා හේතුවන කරුණු මිනිසුන් විසින් නිවැරදිව තේරුම් ගෙන සියවස් කිහිපයකය වඩා ගත වී නැත. මේ ඇතැම් දැනුම් තවමත් බහුතරයකගේ දැනුමක් බවට පත් වී නැත.

මිනිසාගේ ජීවී ක්‍රියාවලිය මිනිසුන් විසින් මෑතක් වන තුරුම නිවැරදි ලෙස අවබෝධ කරගෙන නොතිබුණත්, මේ කරුණු ගැන මිනිසාගේ කුතුහලය වසර දහස් ගණනක් තිස්සේම නොඅඩුව පැවතුණේය. ඒ නිසා, මේ නොදන්නා කරුණු ගැන පැහැදිලි කිරීම් කරමින් කලින් කලට ප්‍රවාද ඉදිරිපත් විය. ඒ ඇතැම් ප්‍රවාද කලින් කලට සමාජයේ පිළිගැනීමට ලක් විය. මෙසේ පිළිගැනුණු ප්‍රවාද වලින් ඇතැම් ඒවා පසුව ප්‍රතික්ෂේප විය. තවත් ඒවා වැඩි කාලයක් ප්‍රතික්ෂේප නොවී පැවතුණේය.

අළුත උපන් දරුවෙකුගේ ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වන ආකාරය උපන් වේලාව මත තීරණය වන බවට ප්‍රවාදයක් යම් අවස්ථාවක කිසිවෙකු අතින් ඉදිරිපත් වුණු අතර, මේ සංසිද්ධිය පැහැදිලි කළ හැකි වඩා හොඳ ප්‍රවාදයක් නොතිබුණු බැවින් එම ප්‍රවාදයට යම් පිළිගැනීමක් ලැබිණි.

පෙර ලිපියකින් විස්තර කළ පරිදි, කිසියම් පුද්ගලයෙකුගේ උපන් ලග්නය තීරණය වන්නේ ඔහු හෝ ඇය උපන් වේලාව ඇතුළත් වන ආසන්න වශයෙන් පැය දෙකක කාල පරාසය මතය. මේ කියන කාලයේදී, බොහෝ දෙනෙකුට කාලය අද මෙන් නිවැරදිව දැන ගැනීමට හැකියාවක් නොතිබුණත්, පැය දෙකක කාල වෙනසකට සමාජය සංවේදී විය. ඒ නිසා, පැය දෙකක කාලය තුළ, එකම ලග්නය හා ලග්න කේන්ද්‍රය සහිතව ගැහැණු හා පිරිමි දරුවන් ඉපදෙන බව බොහෝ දෙනෙකුට රහසක් නොවීය. එසේනම්, ගැහැණු පිරිමි උපත් තීරණය වීම ඊට වඩා කුඩා කාල පරාසයක් තුළ සිදුවන දෙයක් විය යුතුය.

පුද්ගලයෙකුගේ කේන්ද්‍ර සටහනක ලග්න කේන්ද්‍රයට අමතරව නවාංශක කේන්ද්‍රය නම් වූ තවත් සටහනක් තිබේ. මෙයින් කරන්නේ ආසන්න වශයෙන් පැය දෙකක් පමණ වන ලග්නයක කාලය තවත් කොටස් නවයකට බෙදීමයි. ඒ අනුව, නවාංශකයක් ගෙවීමට ගතවන කාලය ආසන්න වශයෙන් මිනිත්තු 13ක් පමණ වේ. ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වීම පිළිබඳව කිසියම් අයෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රවාදය අනුව කිසියම් නවාංශකයක් ගෙවීමට ගතවන විනාඩි 13කට මඳක් වැඩි කාලය තුළ ඉපදෙන්නේ ගැහැණු හෝ පිරිමි දෙවර්ගයෙන් එක් වර්ගයකට අයත් දරුවන් පමණි.

ඉහත ප්‍රවාදය ඉදිරිපත් වන කාලයේදී මෙන්ම, බොහෝ දරු උපත් නිවෙස් වලම සිදුවුණු පසුගිය සියවසේ මුල් කාලය දක්වාත් රෝහල් වලින් පිටත සිදුවූ ලංකාවේ දරු උපත් සිදුවූ වේලාවන් හරියටම සටහන් කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා, ජ්‍යෝතිර්වේදියෙකු වෙත යන අයෙකු ඉදිරිපත් කළේ ආසන්න වෙලාවක් මිස උපත සිදුවූ නිවැරදිම වෙලාව නොවේ. අද වුවත් අප බොහෝ විට වෙලාව සටහන් කරන්නේ මිනිත්තුවකට ආසන්නව මිස හරියටම තත්පරයට නොවේ. සියවසකට පෙර, ඔරලෝසු භාවිතා නොකළ ලංකාවේ බොහෝ නිවෙස් වල වෙලාව සටහන් වන්නට ඇත්තේ පැය භාගයකට පමණ ආසන්නව වන්නට පුළුවන.

ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වීම පිළිබඳව කලකට පෙර පිළිගැනුණු ප්‍රවාදය අනුව ස්ත්‍රී නවාංශක හා පුරුෂ නවාංශක මාරුවෙන් මාරුවට ගෙවෙන බව බොහොමයක් ජ්‍යෝතිර්වේදීහු විශ්වාස කළහ. තමන් වෙත වේලාපත්කඩයක් (තාවකාලික කේන්ද්‍ර සටහනක්) සාදා ගැනීමට එන අයෙකු බොහෝ විට දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයද දැනුම් දුන් බැවින් මෙය පරීක්ෂා කිරීම අපහසු නොවීය. සේවාදායකයා දැනුම්දෙන වෙලාවට අදාළ නවාංශකය ඇතැම් විට (50%ක සම්භාවිතාවකින්) දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය සමඟ ගැලපුණේය. ඇතැම් විට එය එසේ නොවුණේය.

මේ කාලයේදී දරුවාගේ උපත සිදුවූ වේලාව ලෙස සේවාදායකයා දැනුම් දෙන වෙලාව හරියටම නිවැරදි නොවන බව පොදු දැනුමක් විය. ජ්‍යෝතිර්වේදියාගේ කාර්ය භාරයේ කොටසක් වූයේ මේ "වෙලාව සුද්ද කිරීමයි". තමන් පිළිගත් ප්‍රවාදය අනුව, දරුවාගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධ නිරීක්ෂණ උපයෝගී කරගනිමින්, දරුවාගේ ලිංගය සමඟ ගැලපෙන නවාංශකයක් දරුවාට ලැබෙන පරිදි මිනිත්තු හතකට නොවැඩි කාලයක් සේවාදායකයා විසින් දැනුම් දුන් වෙලාවට එකතු කරමින් හෝ අඩු කරමින් ජ්‍යෝතිර්වේදියා දරුවා ඉපැදුණු වෙලාව "හරියටම" හොයාගත්තේය. දරුවා අඩු වයසින් මිය නොගියේනම්, පසුව  ස්ථිර කේන්ද්‍ර ලේඛණයක් පුස්කොළයක ලිවුවේ මුලින් මෙසේ "සුද්ද කරනු ලැබූ" දරුවාගේ "නිවැරදි" වෙලාව උපයෝගී කර ගනිමිනි.

ඉහත පරිදි ජ්‍යෝතිර්වේදීන් බහුතරයක් කේන්ද්‍ර සටහන් හැදුවේ දරුවන්ගේ උපන් වේලාවන් "නිවැරදි කිරීමෙන්" පසුව නිසා, බොහෝ විට ගැහැණු දරුවෙකු ඉපදී ඇති බව පෙනෙන්නට තිබුණේ ස්ත්‍රී නවාංශකයක් තුළය. පිරිමි දරුවෙකු ඉපදී ඇති බව පෙනෙන්නට තිබුණේ පුරුෂ නවාංශකයක් තුළය. ඒ නිසා, ජ්‍යෝතිර්වේදියෙකුට තමන් අතට ලැබෙන කේන්ද්‍ර සටහනක් පරීක්ෂා කර අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂ භාවය හරියටම වාගේ කියන්නට පුළුවන් විය.

ඉහත පරිදි, කලාතුරකින් හෝ උපන් වෙලාවක් හරියට සුද්ද කර නොතිබුණේනම් ස්ත්‍රී-පුරුෂ භාවය ගැන ජ්‍යෝතිර්වේදියාගේ අනාවැකිය වැරදුණු අතර, බොහෝ විට සේවාදායකයා එවිට කළේ වෙනත් ජ්‍යෝතිර්වේදියෙකු වෙත යාමයි. එහෙත්, දෙවැන්නාත් ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය කරන්නේ වැරදියටය. එවිට, වැරැද්ද ඇත්තේ ජ්‍යෝතිර්වේදියාගේ නොව කේන්ද්‍රයේ බව මේ පුද්ගලයා අවබෝධ කරගනී. ඒ අනුව, ජ්‍යෝතිර්වේදියෙකු හමු වී පසුව හෝ කේන්ද්‍රය හරියට හදා ගනී. ඉන්පසුව, නැවත ජ්‍යෝතිර්වේදියෙකු වෙත ගිය විට ස්ත්‍රී-පුරුෂ භාවය නොවරදී.

ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ නවාංශක ප්‍රවාදය සෑහෙන කාලයක් සමාජයේ පොදු දැනුමක් වී තිබුණේය. මේ පොදු දැනුම ආධිපත්‍යය උසුලන තාක් කල්, ඒ ප්‍රවාදය මත පදනම්ව තීරණද ගැනුණු නිසා ප්‍රවාදය "වැඩ කළේය".  එහෙත්, දරුවකු ඉපදෙන වෙලාව වෙනස් කර ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක හැකියාවක් නොතිබුණු නිසා, රජෙකුට වුවද මේ  දැනුම උපයෝගී කරගෙන  දුවෙකු වෙනුවට පුතෙකු ලබා ගැනීමට හැකියාවක් නොතිබුණේය.

කොවූර්ගේ අභියෝගය පිළිගත් අයෙකු වෙත ඉදිරිපත් කෙරුණු උපන් වේලාවන් ලබා ගත්තේ පසුගිය සියවසේ මුල භාගයේ හෝ ඊට පෙර ඉපදුණු පුද්ගලයින්ගේ කේන්ද්‍ර සටහන් වලින්නම්, කොවූර්ගේ රුපියල් ලක්ෂය අහිමි වන්නට වුවද කිසියම් ඉඩක් තිබුණේය!

කේන්ද්‍ර සටහන පරීක්ෂා කර පුද්ගලයෙකු ජීවත්ව සිටිනවාද යන්න පැවසීම එතරම්ම සරල නැතත්, එහි ග්‍රහ පිහිටීම් අනුව පුද්ගලයෙකු මේ වන විට ජීවත්ව සිටීමට ඉඩක් නොමැති බව ස්ථිරව කියන්නට ඇතැම් විට බැරිකමක් නැත. ඒ, ග්‍රහ පිහිටීමක් නැවත ඒ ආකාරයෙන්ම ඇති වීමට ගත වන කාලය මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයට වඩා බොහෝ වැඩි නිසාය.

මිනිසුන් හා සමාජය සම්බන්ධ අනාවැකි වල නිරවද්‍යතාවය කිසියම් සමාජයක මිනිසුන් හැසිරෙන ආකාරයට, පොදු දැනුමට හා සංස්කෘතියටද සාපේක්ෂය. බහුතරයක් විසින් නිදහස් වෙළඳපොළ ක්‍රමය පිළිබඳව විශ්වාසය තබන ඇමරිකාව වැනි රටක කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වන ඉල්ලුම හෝ එහි මිල ගැන පුරෝකථනය කළ හැකි තරම් පහසුවෙන් ලංකාවේදී එය කළ නොහැක්කේ ලංකාවේ බොහෝ දෙනෙකු අතාර්කික හා අහඹු තීරණ ගන්නා බැවිනි. (ඒ තීරණ ගන්නා අයට මේවා තාර්කික තීරණ ලෙස පෙනෙනවා විය හැකිය.) ඒ නිසා, ලංකාවේ පොලී අනුපාතික, විණිමය අනුපාතික ආදී සාර්ව ආර්ථික විචල්‍ය වල උච්ඡාවචනයන් සිදුවිය හැකි ආකාරය පිළිබඳව ඇත්තේ විශාල අවිනිශ්චිතතාවයකි.

මිනිසුන් බොහෝ දෙනෙකු කිසියම් විශ්වාසයක එලැඹ සිටින විට ඒ මත පදනම්ව ඇතැම් "අනාවැකි" කියන්නට පුළුවන. ලංකාවේ බොහෝ දෙනෙකු දරුවන්ට නම් තැබීමේදී, උපන් වෙලාව අනුව ශුභ අකුරු තෝරා ගනිති. මේ පුරුද්ද නිසා දරුවෙකුගේ නම පරීක්ෂා කිරීමෙන් පමණක් වුවත්, එම දරුවා ගැන ඇතැම් දේ දැනගන්නට පුළුවන. සේතික සේනිය වැනි නමක් ඇති දරුවෙකු පුවපුටුප නැකතේ ප්‍රථම පාදයෙන් ඉපදී තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඒ ඔත්තුව ඔස්සේ තවත් දේවල් සොයාගන්නට පුළුවන. එහෙත්, දරුවෙකුට නම තබා ඇත්තේ උපන් වෙලාව නොසලකමින්නම් එවැන්නක් කිරීමේ හැකියාවක් නැත.

මේ වන විට ආසන්න මිනිත්තුවට වෙලාව දැනගැනීම සරල කරුණකි. ඒ නිසා දරුවෙකු උපන් වෙලාව නිවැරදි නොවන බව සිය සේවාදායකයාට තහවුරු කිරීමට ජ්‍යෝතිර්වේදියෙකුට නුපුළුවන. ඒ නිසා, ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ නවාංශක ප්‍රවාදය තවදුරටත් වැඩ නොකරන අතර කේන්ද්‍ර පිටපතක් පරීක්ෂා කර ස්ත්‍රී-පුරුෂ භාවය නිවැරදි ලෙස පැවසීමේ හැකියාවක් දැන් ජ්‍යෝතිර්වේදියෙකුට නැත.

කෙසේවුවද, ඇතැම් මිනිසුන් ඇතැම් දේ විශ්වාස කිරීම මතම ඇතැම් සිදුවීම් ගැන නිවැරදි අනාවැකි පළ කරන්නට පුළුවන. යාපනය සරසවියේ මානව හිමිකම් සඳහා වන සරසවි ඇදුරු සංසදයේ නිරීක්ෂණ අනුව, එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාන්විත අරඹා ඇත්තේ 5, 14, 23 වැනි එකතුව පහක් වන දින වලදීය. රජයේ ආරක්ෂක හමුදා විසින් එසේ කර ඇත්තේ 8, 17, 26 වැනි එකතුව අටක් වන දින වලදීය. ඒ නිසා, උතුරේ සාමාන්‍ය ජනතාව එවැනි දින වල වඩා සුපරීක්ෂාකාරීව සිට "මාරක වලින් බේරී" තිබේ.


(Image: www.123rf.com/)

Monday, March 20, 2017

සුරලොව ඔරලෝසුව


දෙවුලොව කාලය ගැනත්, දෙවියන්ගේ ආයුෂ ගැනත් ප්‍රවාද අපට බොහෝ තැන් වලින් අසන්නට ලැබී තිබේ. මේ බොහෝ ප්‍රවාද අනුව, දෙවුලොව කාලය ගෙවෙන්නේ මිනිස් ලොවට වඩා බොහෝ සෙමිනි.

අනෙක් තැන් වල කෙසේ වෙතත්, සූර්ය සිද්ධාන්තයේනම් සුරයන්ගේ හා අසුරයන්ගේ කාලය ගැන පැහැදිලි, පිළිගත හැකි ප්‍රවාදයක් ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවාදය අනුව, සුරයන්ගේ හා අසුරයන්ගේ දවසක් මිනිසුන්ගේ වසරකි. ඔවුන්ගේ රැයක් හෝ දවාලක් ගෙවෙන විට මිනිස් ලොව මාස හයක් ගෙවී අවසන්ය.

එසේනම්, සුරයන්ගේ හා අසුරයන්ගේ ඔරලෝසු කැරකෙන්නේ මිනිසුන්ගේ ඔරලෝසු වලට වඩා 365 ගුණයක් හෙමින්ද?

සුරයන්ගේ හා අසුරයන්ගේ දවසක දිග සමාන වුවත් ඔවුන් දෙපිරිසට කාලය ගෙවෙන්නේ එකම අයුරින් නොවේ. සුරයන්ට ඉර උදාවන විට අසුරයන්ට ඉර බසී. අසුරයන්ට ඉර උදාවන විට සුරයන්ට ඉර බසී. සුරයන්ගේ දවාල අසුරයන්ගේ රැයයි. අසුරයන්ගේ දවාල සුරයන්ගේ රැයයි. සුරයන්ගේ මධ්‍යහ්නය අසුරයන්ගේ මැදියම් රැයයි. අසුරයන්ගේ මධ්‍යහ්නය සුරයන්ගේ මැදියම් රැයයි.

කාලය පිළිබඳ සූර්ය සිද්ධාන්ත ප්‍රවාදය තේරුම් ගන්නටනම් සූර්ය සිද්ධාන්ත කතුවරයා දැන සිටි ලෝකය ගැන මුලින්ම තේරුම් ගත යුතුය.

සූර්ය සිද්ධාන්ත ලෝකයේ මධ්‍යය ලෙස සැලකුණේ ලංකාවයි. සමකය මත පිහිටි ලංකාව සූර්ය සිද්ධාන්ත කතුවරයාට හොඳින් හුරුපුරුදු උදේනි, රෝහිතක හා කුරුක්ෂේත්‍ර යන නගරවලට හරි කෙළින් දකුණේ පිහිටියේය. ලංකාවේ සිට ඉහත නගර හරහා අඳින සෘජු රේඛාවක් දිගේ උතුරට යන විට මහාමේරුව (උත්තර ධ්‍රැවය) පිහිටියේය. පොළොවේ මහාමේරුවට ප්‍රතිවිරුද්ධ පැත්තේ වඩවානාලය (දක්ෂිණ ධ්‍රැවය) පිහිටියේය.

සමකය මත ලංකාවට ප්‍රතිවිරුද්ධ පැත්තේ වූයේ සිද්ධපුරයයි. ලංකාවට බටහිරින්, සමකය මත, ලංකාවට හා සිද්ධපුරයට සමදුරින් රෝමකපට්ටනයද, රෝමකපට්ටනයට ප්‍රතිවිරුද්ධ පැත්තේ යමකෝටියද පිහිටියේය. මහාමේරුව සුරයන්ගේ වාසභවන වූ අතර, වඩවානාලය දෛත්‍ය නම් වූ අසුරයන්ගේ වාසභවනය විය.

ලංකාවට ඉර පායන විට, යමකෝටියට ඉර මුදුන් වූ අතර සිද්ධපුරයේ ඉර බසින වෙලාවද, රෝමකපට්ටනයේ මැදියම් රැයද විය.

ප්‍රවාහනය ඉතා නොදියුණු මට්ටමක තිබුණු, සූර්ය සිද්ධාන්තය ලියැවුණු යුගයේදී කිසියම් රටක ජීවත්වූ විද්‍යාර්ථිකුට භූගෝල විද්‍යා දැනුම ලබා ගත හැකිවූයේ දේශ සංචාරයේ යෙදුණු නාවිකයින් ලබා ගන්නා හෝ නාවිකයින්ගෙන් තොරතුරු ලබාගත් වෙනත් අයගෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්වය. උදේනි නුවර ආසන්නයේ ජීවත් වූ විද්‍යාර්ථිකුට හිමාල කඳු පන්තියට දකුණින් හා ලංකාවට උතුරින් වත්මන් ඉන්දියානු උපමහාද්වීපයට අයත් බිම් පෙදෙස් වල පිහිටීම ගැන සාපේක්ෂව තරමක් නිවැරදි තොරතුරු ලැබෙන්නට ඇති අතර, බටහිරින් පිහිටි රෝමකපට්ටනය වැනි ඈතින් පිහිටි නගර ගැනද යම් දැනුමක් ලබා ගන්නට හැකිවන්නට ඇත.

එහෙත්, පොළොවේ උතුරු හා දකුණු ධ්‍රැව වල හෝ ප්‍රතිවිරුද්ධ පැත්තේ (වත්මන් ඇමරිකානු මහාද්වීපයේ) පිහිටි පෙදෙස් ගැන එවැනි දැනුමක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නට ඉඩක් නැත. මේ පෙදෙස් ගැන සූර්ය සිද්ධාන්තයේ සඳහන් භූගෝලීය තොරතුරු නිවැරදි නොවන්නේ එබැවිනි.

කෙසේ වුවත්, අහසේ ලෝකය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ ඉවසීම හා තියුණු ඇසක් පමණි. ඒ සඳහා දේශාටනයේ යෙදෙන්නට අවශ්‍ය නොවේ. මේ නිරීක්ෂණ හා ගණිත දැනුම භාවිතා කරමින් පොළොවේ උතුරු හා දකුණු ධ්‍රැව ආසන්නයේ දිවා රෑ මාරු වන්නේ සමකයේ දින වලින් සමසකට වරක් බව අවබෝධ කරගන්නට සූර්ය සිද්ධාන්ත කතුවරයාට හැකි වී තිබේ. සුරයන්ගේ හා අසුරයන්ගේ දිවා කාලයක් හා රාත්‍රී කාලයක් ගෙවෙන්නට මිනිස් වසරක් ගෙවෙන බව ඔහු කියන්නේ එබැවිනි.

Sunday, March 19, 2017

අහසේ රිද්මය හා පොළොවේ රිද්මය


හෙට දිනය (මාර්තු 20) අහසේ ලෝකයටත්, පොළොවේ ලෝකයටත් සුවිශේෂී දවසකි. හෙට දින ලෝකයේ උත්තරාර්ධගෝලයේ බොහෝ තැන් වල වසන්ත විෂුවය සිදුවෙද්දී, දක්ෂිණාර්ධගෝලයේ බොහෝ තැන්වල හේමන්ත විෂුවය සිදුවේ. සමකය ආසන්නයේ පිහිටි රටවලට මෙන්ම සමකයෙන් ඈත්ව, සමකය දෙපැත්තේම පිහිටි රටවලටද මේ දවස් වල ගෙවෙන්නේ ආසන්න වශයෙන් සමාන දිවා හා රෑ කාලයන්ය.

දෙසැම්බර් 21 දින සිට ජූනි 21 දින දක්වා උත්තරායනයෙහි යෙදෙන හිරු මේ වන විට සිය ගමනින් අඩක් නිමවා තිබේ. සූර්ය උත්තරායනයේ දෙවන අර්ධය තුළ ලෝකයේ උතුරු අර්ධ ගෝලයේ රටවල දිවාකාලය ක්‍රමයෙන් දිගුවෙමින් රාත්‍රී කාලය කෙටි වෙද්දී, දකුණු අර්ධ ගෝලයේ රටවල එහි අනිත් පැත්ත සිදුවේ. උතුරු අර්ධ ගෝලයේ රටවල් ක්‍රමයෙන් උණුසුම් වෙද්දී දකුණු අර්ධ ගෝලයේ රටවල් ක්‍රමයෙන් ශීතල වේ. උතුරේ රටවල වසන්තය උදාවී තුරු ලතා දළු හා මලින් කෝටු සිරුරු වසා ගනිද්දී,  දකුණේ රටවල තුරු ලතා සිය පත් හලා දමමින් නිරුවත් වෙන්නට පටන් ගනී.

ලංකාව වැනි සමකය ආසන්න රටක වෙසෙන්නෙකුට සෘතු විපර්යාස එතරම් ලොකුවට නොදැනේ. එහෙත්, ලංකාව වැනි රටකින් කිසිදා බැහැර නොවී සිය ජීවිත කාලයම ගෙවා ඇති අයෙකුට වුවත් වාර්ෂික රටාවකට සිදුවන වර්ෂා හා වියලි කාලගුණයන් හොඳින් පුරුදුය. මේ පොළොවේ රිද්මයයි.

මේ පොළොවේ රිද්මය සමඟ සම්පාත වන අහසේ රිද්මයක්ද තිබේ. ඒ අහසේ රිද්මය, විවිධ, වෙනස් ආකෘති හරහා තේරුම් ගන්නට පුළුවන. සහස්වස් ගණනක් බොහෝ දෙනෙක් මේ රිද්මය තේරුම් ගත්තේ පෘථිවි කේන්ද්‍ර ආකෘතියක් යොදා ගනිමිනි. සියවස් කිහිපයකට පෙර මේ පෘථිවි කේන්ද්‍ර ආකෘතිය විස්ථාපනය කරමින් සූර්ය කේන්ද්‍ර ආකෘතියක් ජනප්‍රිය ආකෘතිය ලෙස මතු විය. සූර්යයාගේත්, අනෙකුත් ග්‍රහයන්ගේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය කේන්ද්‍ර කරගත් ආකෘතියක් මේ වන විට ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එහෙත්, තවමත් වැඩි දෙනෙකු පිළිගන්නට කැමති සූර්ය කේන්ද්‍ර ආකෘතියයි. තවත් කලකදී, වෙනස්ම ආකෘතියකින් අද අප යොදාගන්නා සියළු ආකෘති විස්ථාපනය වී යන්නට පුළුවන.

අනාගත ආකෘතියක පදනම වෙනස්ම එකක් විය හැකි වුවත්, දැනට මිනිසුන් අතර වඩාම ජනප්‍රියව ඇති හා පැවතී ඇති සූර්ය කේන්ද්‍ර ආකෘතියේ මෙන්ම පෘථිවි කේන්ද්‍ර ආකෘතියේත් පදනම සාපේක්ෂ චලිතයයි. සූර්ය කේන්ද්‍ර ආකෘතියෙහි සූර්යයා නිසලව ඇති ලෙස සලකමින් සූර්යයාට සාපේක්ෂවද, පෘථිවි කේන්ද්‍ර ආකෘතියෙහි පෘථිවිය නිසලව ඇති ලෙස සලකමින් පෘථිවියට සාපේක්ෂවද, අනෙකුත් ආකාශ වස්තුන්ගේ පිහිටීම් විස්තර කෙරේ.

පෘථිවි කේන්ද්‍ර ආකෘතිය අනුව,
-සූර්යයා පොළොව වටා කැරකේ.
-ඈතින් පිහිටි නක්ෂත්‍ර තාරකා සූර්යයාට වඩා මඳක් වැඩි වේගයකින් පොළොව වටා කැරකේ.
-හඳ පොළොව වටා කැරකේ.
-බුධ හා සිකුරු වරෙක සූර්යයාගෙන් ඈත් වෙමින් හා වරෙක ලං වෙමින් සූර්යයා සමඟ පොළොව වටා කැරකේ.
-අඟහරු, බෘහස්පති, සෙනසුරු ඇතුළු අනෙකුත් ග්‍රහයෝ සූර්යයාගෙන් ස්වායත්තව පොළොව වටා කැරකේ.

සූර්ය කේන්ද්‍ර ආකෘතිය අනුව,
-පොළොව සිය අක්ෂය වටා කැරකේ.
-පොළොව සූර්යයා වටා කැරකේ.
-හඳ පොළොව වටා කැරකේ.
-බුධ හා සිකුරු පොළොවට වඩා සූර්යයාට කිට්ටුවෙන් සූර්යයා වටා කැරකේ.
-අඟහරු, බෘහස්පති, සෙනසුරු ඇතුළු අනෙකුත් ග්‍රහයෝ පොළොවට වඩා සූර්යයාට ඈතින් සූර්යයා වටා කැරකේ.

මේ ආකෘති දෙකෙන් ඕනෑම එකක් යොදාගනිමින් දිවා රෑ ඇතිවීම, "දවස" යන සංකල්පය මෙන්ම "වර්ෂය" යන සංකල්පයද (යම් වෙනස්කම් සහිතව) පැහැදිලි කළ හැකිය. ඊට අමතරව පොළොවේ රිද්මය, පොළොවේ සෘතු විපර්යාස සිදුවන රටාව, හඳුනා ගැනීමට හා පැහැදිලි කිරීමටම මේ ආකෘති දෙකෙන් ඕනෑම එකක් යොදාගත හැකිය.


අප යොදාගන්නේ පෘථිවි කේන්ද්‍ර ආකෘතිය වුවත්, සූර්ය කේන්ද්‍ර ආකෘතිය වුවත්, "දවස" හා "වර්ෂය" යන සංකල්ප පැහැදිලි කිරීමට සරල ද්විමාන ආකෘතියක් යොදාගත හැකිය. එහෙත්, දවසේ දිවා රෑ පැය ගණන් වෙනස් වීම හා සෘතු විපර්යාස පැහැදිලි කිරීමට ද්විමාන ආකෘතියක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා, ත්‍රිමාන ආකෘතියක් යොදාගන්නට සිදුවේ.


සූර්ය කේන්ද්‍ර ආකෘතියෙන් මෙය පැහැදිලි කරන්නේ ඉර වටා පොළොව කැරකෙන තලයත්, පොළොව සිය අක්ෂය වටා කැරකෙන තලයත් අතර ඇති ආනතිය ඇසුරෙනි. පොළොව ඉර වටා ගමන් කරන (ආකෘතිය අනුව) තලයට හරියටම ලම්බකව පොළොව තමන් වටා භ්‍රමණය වන අක්ෂය පැවතියේනම් පොළොවේ ඕනෑම තැනක, වසරේ ඕනෑම දිනක දිවා රෑ පැය ගණන් සමානව පැවතිය හැකිව තිබුණි. එහෙත්, එය එසේ නොවන බැවින් වසරේ විවිධ කාල වල පොළොවේ විවිධ තැන් වලට ඉර එළිය ලැබෙන පැය ගණන වෙනස් වේ.



සමකය ආසන්න පෙදෙස් වල වසර පුරාම ආසන්න ලෙස සමාන දිවා හා රෑ කාල පවතී. එහෙත්, සමකයෙන් ඈත් වෙද්දී මේ තත්ත්වය වෙනස් වේ. උත්තරාර්ධගෝලයේ රටවල දිවා කාලය දෙසැම්බර් 21 සිට ජූනි 21 දක්වා කාලය තුළ ක්‍රමයෙන් දිගුවේ. රාත්‍රී කාලය ඒ අනුරූපව කෙටි වේ. උත්තර ධ්‍රැවයට ආසන්නවම පිහිටි ආක්ටික් වලයට අයත් වන පෙදෙස් වලට මේ මාස හයම එක් දිගු දිවා කාලයකි. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වලට මාස හයක දීර්ඝ රාත්‍රියකි. මේ කාලය තුළ දක්ෂිණාර්ධගෝලයේ රටවල රෑ කල දිගු වේ. දිවා කල කෙටි වේ. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වලට මේ කාලය මාස හයක දීර්ඝ රාත්‍රියකි.

ඉතිරි වර්ෂාර්ධය තුළ මෙහි විලෝමය සිදුවේ. ඒ මාස හය තුළ, උත්තර ධ්‍රැවය ආසන්න පෙදෙස් වල මාස හයක දිගු රාත්‍රියකි. දක්ෂිණ ධ්‍රැවය ආසන්න පෙදෙස් වල මාස හයක දිගු දවාලකි. දිගු දිවා කල් සමඟ දක්ෂිණ අර්ධගෝලයේ රටවල් රත් වෙද්දී, උතුරු අර්ධ ගෝලයේ රටවල රාත්‍රිය දිගු වී කාලගුණය සිසිල් වේ.

ඉහත සංසිද්ධිය පෘථිවි කේන්ද්‍රීය ආකෘතියෙන්ද, වෙනස් ලෙසකින්, එහෙත් නිවැරදිව විස්තර කෙරුණේය.  පෘථිවි කේන්ද්‍රීය ද්විමාන ආකෘතියක ඉර, හඳ හා තාරකා පොළොව වටා යන්නේ නැගෙනහිර, ඉහළ, බටහිර, පහළ දිශා සම්බන්ධ කෙරෙන තලයකය. සෘතු විපර්යාස පැහැදිලි කිරීමට මේ තලයට ලම්බකව ඇති උතුරු දකුණු අක්ෂයද ආකෘතියට එකතු කර එය ත්‍රිමාන ආකෘතියක් ලෙස පුළුල් කළ යුතුය. මේ ආකෘතිය අනුව, ඉර පොළොව වටා නැගෙනහිර, ඉහළ, බටහිර, පහළ ලෙස කැරකෙන අතරම උතුරු දකුණු අක්ෂයේද චලනය වේ. මෙය හරියටම මාරක ලිඳක මෝටර් සයිකලයක් පදවන්නෙකු ලිඳේ බිත්තිය වටේ රවුමට ගමන් කරන අතරම ඉහළට හෝ පහළටද ගමන් කර ආකාරයට සමානය.

පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව, මේෂරවි හා තුලාරවි මාස වල ආරම්භයේදී ඉර පොළොව වටා කැරකෙන්නේ සමකයට ආසන්නවය. සූර්ය කැලැන්ඩරය අනුව, මාස නම් කෙරෙන්නේ මේෂරවි, වෘෂභරවි ආදී වශයෙන් අදාළ මාසය තුළ ඉර උදාවන විට නැගෙනහිර ක්ෂිතිජය එල්ලේ පැවති තාරකා රාශිය අනුවය. මේෂරවි මාසයේ සිට මාස තුනක් ඉර (පොළොව වටා කැරකෙන අතරම) පොළොවේ උතුරු දෙසට ගමන් කරයි. මාස තුනකට පසු, කටකරවි මාසය ඇරඹෙන විට ඉර පොළොව වටා කැරකෙන්නේ සමකයට උතුරෙන් පිහිටි කටක නිවර්තනය (Tropic of Cancer) හරහාය.

කටකරවි මාසයේදී ඉර සිය උතුරු ගමන හෙවත් උත්තරායනය අවසන් කර දකුණු ගමන හෙවත් දක්ෂිණායානය අරඹයි. තවත් මාස තුනකට පසු තුලාරවි මාසය ඇරඹෙන විට ඉර නැවතත් පොළොව වටා කැරකෙන්නේ සමකය වටාය.

එතැන් සිට මකරරවි මාසයේ ආරම්භය තෙක් ගතවන මාස තුන තුළ ඉර තවත් දකුණට ගොස් අවසානයේදී මකර නිවර්තනය
(Tropic of Capricorn) හරහා පොළොව වටා කැරකේ. ඉන්පසු නැවතත් උත්තරායනය අරඹයි.

ඉර පොළොව වටා කැරකෙන්නේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි සමකය හා කටක නිවර්තනය අතර අක්ෂාංශයක් හරහානම් උතුරු අර්ධගෝලයේ රටවල දිවාකාලය රාත්‍රී කාලයට වඩා දිගුය. ඉර පොළොව වටා කැරකෙන්නේ දකුණු අර්ධ ගෝලයේ පිහිටි සමකය හා මකර නිවර්තනය අතර අක්ෂාංශයක් හරහානම් දකුණු අර්ධගෝලයේ රටවල දිවාකාලය රාත්‍රී කාලයට වඩා දිගුය.


පෘථිවි කේන්ද්‍රීය පැරණි ආකෘතිය හා සූර්ය කේන්ද්‍රීය අළුත් ආකෘතිය වෙනස් වන එක් තැනක් තිබේ. සූර්ය කේන්ද්‍ර ආකෘතිය හා ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව, දැනට උත්තරාර්ධගෝලයේ වසන්ත විෂුවය, ගිම්හාන සූර්ය නිවෘත්තිය, හේමන්ත විෂුවය හා ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවන්නේ පිළිවෙලින් මාර්තු 20, ජූනි 21, සැප්තැම්බර් 22, දෙසැම්බර් 21 ආසන්න දින වලය. එහෙත්, ලංකාව ඇතුළු ඇතැම් පෙරදිග රටවල භාවිතා කෙරෙන පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය අනුව මේ සිදුවීම් වලට අනුරූප මේෂ සංක්‍රාන්තිය, කටක සංක්‍රාන්තිය, තුලා සංක්‍රාන්තිය හා මකර සංක්‍රාන්තිය මේ කාලයේ සිදුවන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 14, ජූලි 16, ඔක්තෝබර් 17 හා ජනවාරි 14 ආසන්නව දින 25කට පමණ පසුවය. ඒ ගැන අපි වෙනත් ලිපියකින් කතා කරමු.

(Image: http://scijinks.gov/solstice/, http://www.bolton.govoffice.com)

Friday, March 17, 2017

කේන්ද්‍රය හා ග්‍රහයෝ


පෙර ලිපියෙන් අපි ලග්න ගැන කතා කළෙමු. රාශි නමින්ද හැඳින්වෙන ලග්න වලින් අදහස් වෙන්නේ පෘථිවියට පෙනෙන පරිදි අහසේ තැනින් තැන දැකිය හැකි තරු රාශීන්ය. ලංකාවේ භාවිතාවෙන ජ්‍යෝතිෂය අනුව කිසියම් පුද්ගලයකුගේ ජන්ම ලග්නය හෝ ජන්ම රාශිය ලෙස හැඳින්වෙන්නේ මේ තරු රාශී දොළොස අතරින්, ඔහු හෝ ඇය ඉපදෙන විට නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නවම පැවති තරු රාශිය හඳුනා ගන්නා නමයි. 

ලග්න ගැන කතා කරද්දී කේන්ද්‍ර හා ග්‍රහයින් ගැනද කතා නොකර සිටිය නොහැකිය. ජනකලා කේන්ද්‍රය, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආදී විවිධ කේන්ද්‍ර ගැන අපි අසා ඇත්තෙමු. මේ තැන්වල කේන්ද්‍ර යන වචනය හැදෙන්නේ "සෙන්ටර් (center)" යන ඉංග්‍රීසි වචනයෙනි. ඒ වචනයේ තේරුම කිසියම් පද්ධතියක මධ්‍යය නැත්නම් "රෙෆරන්ස් පොයින්ට් එක" යන්නයි. ජ්‍යෝතිෂයේ කතා කරන කේන්ද්‍රය යන වචනයේ ඇත්තේද එම තේරුමමය.

ජ්‍යෝතිෂයේ කේන්ද්‍ර සටහන ලෙස පිළියෙළ කරන රූප සටහන යනු කිසියම් නිශ්චිත මොහොතක් හා ස්ථානයක් කේන්ද්‍ර කරගෙන එසේ නැත්නම් "රෙෆරන්ස් පොයින්ට් එක" කරගෙන පිළියෙළ කරන අහසේ සිතියමකි. මේ නිශ්චිත මොහොත හා තැන කිසියම් පුද්ගලයෙකු උපන් මොහොත හා තැන වූ විට අදාළ රූප සටහන එම පුද්ගලයාගේ ජන්ම කේන්ද්‍රය ලෙස හැඳින්වේ. රූප සටහනේ කේන්ද්‍රය ඔබ දැන් සිටිනා මොහොත හා තැන වූ විට එය තත්කාල කේන්ද්‍ර සටහන ලෙස හැඳින්වේ.

පොළොවට නිරීක්ෂණය වන පරිදි ඉර, හඳ හා රාශි තාරකා ඇතුළු තාරකා ගමන් කරනු පෙනෙන්නේ නැගෙනහිර ක්ෂිතිජය, හිස් මුදුන හා බටහිර ක්ෂිතිජය යන රටාවටය. අනෙකුත් ග්‍රහ වස්තූන් බොහෝ විට ගමන් කරනු පෙනෙන්නේත් මේ අයුරිනි. ආකාශ වස්තූන්ගේ චලනයේ මේ කොටස නැවත නැවත නිරීක්ෂණය කළ හැකි, ප්‍රත්‍යක්ෂ දැනුමකි. බටහිර ක්ෂිතිජයෙහි ගිලී නොපෙනී යන මේ පෙනෙන දේවල් නැවත නැගෙනහිර ක්ෂි
තිජයෙහි මතුවන තෙක් සිදුවන දෙය එසේ සෘජුව නිරීක්ෂණය කළ නොහැකි 'අබිරහසකි'.

බොහෝ කාලයක් මිනිසුන්ගේ කුතුහලය දැනවූ මේ අබිරහස විසඳීමට පැරණි තාරකා විද්‍යාඥයින් විසින් කළේ තමන්ට ප්‍රත්‍යක්ෂ නිරීක්ෂන අනුසාරයෙන් ප්‍රවාද ගොඩ නඟමින් නිගමනයන්ට එළැඹීමයි. ඉර, හඳ හා රාශි තාරකා නැගෙනහිරින් මතුවී, ආසන්න ලෙස පැය හයක පමණ කාලයක් ඉහළ නැඟ මුදුන් වී, තවත් පැය හයක කාලයක් තිස්සේ පහළට බැස බටහිරින් බැස යන ආකාරයෙන්ම, තමන්ට නිරීක්ෂණය කළ නොහැකි ඉතිරි පැය දොළොස තුළ පොළොවේ අනිත් පැත්තෙන් බටහිර සිට නැගෙනහිරට ගමන් කරනවා විය යුතු බව ඔවුහු නිගමනය කළෝය. මේ ප්‍රවාදය ග්‍රහ වස්තූන් නොපෙනෙන විටද අහසේ ඒවා ඇති තැන නිවැරදිව පුරෝකථනය කිරීමට ප්‍රමාණවත් ප්‍රවාදයක් විය. කේන්ද්‍ර සටහනේ ඇත්තේ මෙසේ සෘජු නිරීක්ෂණ මඟින් හෝ ප්‍රවාද මඟින් දැනගත් විවිධ ග්‍රහවස්තූන්ගේ පිහිටීම් ඇතුළත් සිතියමකි.

කේන්ද්‍ර සටහන් අඳින විවිධ ආකෘති ඇතත් ලංකාවේ වඩා ජනප්‍රිය ආකෘතිය පහත රූප සටහනේ ( රූප සටහන 1) ඇති ආකෘතියයි. ආකෘතිය මෙය වුවත්, වෙනකක් වුවත්, එහි කේන්ද්‍රය වටා පැතිරුණු ප්‍රධාන කොටස් 12කි. මේ කොටස් ඉහළින්ම (ඉහළ මැද) ඇති කොටුවෙන් (හෝ කොටසින්) පටන්ගෙන වාමාවර්තව (ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට විරුද්ධ අතට) අනුපිළිවෙලින් නම් කෙරේ.




කේන්ද්‍ර සටහනක ඉහළ මැද ඇති පළමු කොටුවෙන් නැගෙනහිර ක්ෂිතිජයත්, පහළ මැද ඇති හත්වන කොටසින් බටහිර ක්ෂිතිජයත්, දකුණුපස මැද ඇති දහවන කොටුවෙන් අහසේ මුදුනත් අදහස් කෙරේ. හත්වන කොටුවේ සිට පළමු කොටුව දක්වා පිහිටීම් පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිවුවත් පළමු කොටුවේ සිට හත්වන කොටුව දක්වා පිහිටීම් සාමාන්‍යයෙන් එසේ නිරීක්ෂණය කළ නොහැකිය.

අප පෙර දැනගත් පරිදි, පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව, රාශි තාරකා දොළොස චලනය වන්නේ එකම පද්ධතියක් ලෙස මිස තනිතනිව නොවේ. ඒ නිසා මේ රාශි තාරකා (ලග්න) වල පිහිටීම කේන්ද්‍ර සටහනේ වෙනවෙනම
ලකුණු කිරීම අවශ්‍ය නැත. එක් රාශියක පිහිටීම සලකුණු කළ විට අනෙක් සියළු රාශි පිහිටා ඇති තැන් අපට පැහැදිලිය. ලංකාවේ භාවිතා කරන ජ්‍යෝතිෂයේ සම්මතයක් ලෙස මෙසේ කේන්ද්‍ර සටහනේ ලකුණු කරන්නේ පළමු කොටුවට අයත් තාරකා රාශියේ නමයි. මෙය මැද කොටුවේ (කේන්ද්‍රයේ) සටහන් කෙරේ. ජන්ම කේන්ද්‍රයක මැද, ලග්නය ලෙස සටහන් කර ඇත්තේ මෙයයි. මේ අනුව, ඉතිරි කොටු දොළහට අයත් රාශි පහසුවෙන් දැනගන්නට පුළුවන.

රාශි තාරකා ඇතුළු තාරකා එක් පද්ධතියක් ලෙස චලනය වුවත්, ඉර, හඳ හා අනෙකුත් ග්‍රහ වස්තූන්ට ඇත්තේ තාරකා වල චලිතයෙන් ස්වායත්ත චලිතයකි. ඒ නිසා, ඒවායේ පිහිටීම කේන්ද්‍ර සටහනක වෙනම ලකුණු කරන්නට සිදුවේ.

කේන්ද්‍ර සටහනක රවි ලෙස හෝ 'ර' අකුරෙන් සටහන් කෙරෙන්නේ ඉරේ පිහිටීමයි. උදෑසන හයට පමණ ඉපැදුණු අයෙකුගේ රවි පළමු කොටුවේත් (ලග්නයේ), මධ්‍යහ්නය ආසන්නයේ ඉපදුනු අයෙකුගේ රවී ග්‍රහයා
දහවන කොටුවේත්, හවස හයට පමණ උපන් අයෙකුගේ රවි ග්‍රහයා හත්වන කොටුවේත්, මැදියම් රැයේ ඉපදුණු කෙනෙකුගේ රවි ග්‍රහයා හතරවන කොටුවේත් සලකුණු කෙරේ. රසික වැනි උදේ දහයට පමණ ඉපදුණු කෙනෙකුගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයා සිටිය යුත්තේ එකොළොස්වන කොටුවේය.

මේ ආකාරයෙන්ම චන්ද්‍ර ලෙස හෝ 'ච' අකුරෙන් සඳුගේ පිහිටීමද ලකුණු කළ හැකිය. ඔබ දැන සිටිය යුතු පරිදි, අමාවක පෝය ඇතිවන්නේ ඉර හා හඳ පොළොවේ එකම පැත්තක පිහිටි විටය. ඒ නිසා, අමාවක පෝය ආසන්න දිනක ඉපදුණු කම්මල වැනි අයෙකුගේ කේන්ද්‍රයේ රවි සිටින කොටුවේම චන්ද්‍රයාත් සිටිය යුතුය. එමෙන්ම, පසළොස්වක පෝය දින ඉර හා හඳ පිහිටන්නේ පොළොව දෙපස නිසා පසළොස්වක පෝය ආසන්නයේ ඉපදෙන අයෙකුගේ චන්ද්‍රයා සිටිය යුත්තේ රවි සිටින කොටුවේ සිට හත්වන කොටුවේ රවිගෙන් ප්‍රතිවිරුද්ධ පැත්තේය. අටවක දිනක උපදින අයෙකුගේ චන්ද්‍රයා රවි සිටින කොටුවේ සිට හතරවන හෝ දහවන කොටුවක සිටිය යුතුය.

බුධ ග්‍රහයා ඉරට ආසන්නවම සිටින ග්‍රහයාය. ඒ නිසා පොළොවට පෙනෙන පරිදි බුධ ග්‍රහයා දැකිය හැක්කේ ඉරට ඉතා ආසන්නවය. ඒ නිසා බුධ ග්‍රහයා කේන්ද්‍රයක රවි සිටින කොටුවේම හෝ දෙපස ඇති කොටුවක සිටිය යුතුය. මේ ආකාරයෙන්ම සිකුරු, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු වැනි අනෙකුත් ග්‍රහයන් පොළොවට සාපේක්ෂව සිටින තැන්ද ඈතින් පිහිටි තරු රාශි 'රෙෆරන්ස් පොයින්ට්' කර ගනිමින් කේන්ද්‍ර සටහනක ලකුණු කළ හැකිය.


(Image: https://www.mytravelaffairs.com/jyotish-horoscope/)

Thursday, March 16, 2017

ඔබේ ලග්නය කුමක්ද?

වලාකුළු අඩු රාත්‍රියක පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන ඔබට අහසේ ඇති සියදහස් ගණනක් තරු පහසුවෙන් දැකගත ගත හැකි වනු ඇත. මෙසේ ඔබ අහස නිරීක්ෂණය කරන්නේ අර කම්මල ඉපදුණු දවස වැනි මාසෙ පෝය ආසන්න දවසකනම් මේ නිරීක්ෂණය තවත් පහසු වනු ඇත. මේ කටයුත්ත දින ගණනක්, පැය ගණනක්, සති මාස ගණනක් එක දිගට කළහොත් ඔබට අහසේ ඇති එක් එක් තාරකා පිහිටා ඇති තැන් සහ ඒවා පොළොවට සාපේක්ෂව චලනය වන ආකාරය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එහෙත්, මේ සියදහස් ගණනක් වූ තාරකා එකින් එක අහසේ තියෙන තැන හරියටම මතක තියා ගන්නේ කොහොමද?

අද අහස නිරීක්ෂණය කරන අයෙකු මේ කටයුත්ත කරන ආකාරයේත්, වසර දහස් ගණනකට පෙර අහස නිරීක්ෂණය කළ අයෙකු ඒ දෙයම කළ ආකාරයේත් ලොකු වෙනසක් නැත. මෙහිදී, අප කරන්නේ පොළොවට පෙනෙන තරු රටා හඳුනාගෙන ඒ රටා මතක තබා ගැනීමයි. එක ළඟ පිහිටි සේ පෙනෙන (එහෙත් ඇත්තටම ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටි) මෙවැනි තරු කිහිපයක් සරල රේඛා වලින් යා කළ විට මනසින් මවා ගත හැකි රූපය, අප දන්නා සතෙකු හෝ වෙනත් වස්තුවක් සමඟ සසඳමින් නම් කිරීම මේ තරු පිහිටි තැන් මතක තබා ගැනීම පහසු කරයි.


රාත්‍රී අහසේ දක්නට දක්නට ලැබෙන විවිධ රටා ඇසුරින් අහස හඳුනාගත් පසු නිරීක්ෂකයෙකුට මේ තරු රටා අහසේ චලනය වන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. වසර දහස් ගණනකට පෙරද අපේ මුතුන් මිත්තන් විසින් හඳුනා ගත් පරිදි මේ තාරකා මණ්ඩල චලනය වුණේ තනි තනිව නොවේ. එක් පද්ධතියක් ලෙසිනි.

හැන්දෑවේ බටහිරින් හිරු බැස යද්දී නැගෙනහිරින් තරු පායා ආවේය. මෙසේ හැන්දෑවේ නැගෙනහිරින් පායා ආ තාරකාවෝ රෑ මැදියම වෙද්දී අහසේ  මුදුන් වී උදෑසන බටහිරින් බැස ගියෝය. ඇඳිරි වැටෙන විට අහසෙහි මුදුන්ව පැවති තාරකාවෝ රෑ මැදියම වෙද්දී බටහිර ක්ෂිතිජයෙහි ගිලී නොපෙනී ගියේය. රෑ මැදියම වෙද්දී නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවුනු තාරකාවෝ උදෑසන වන විට අහසේ මුදුන්ව සිටියෝය. කිසියම් දිනෙක හැන්දෑවේ බටහිර ක්ෂිතිජයෙන් නොපෙනී යන තාරකාවක් පසුදින උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයෙහි දකින්නට ලැබුණේය. මේ නිසා, මේ තාරකා සියල්ලම එකම පද්ධතියක් ලෙස පොළොව වටා ගමන් කරන බවත්, දිවා කාලයේ අපට නොපෙනුණත් මේ තාරකා අහසේ නිශ්චිත තැනක ඇති බවත් සියවස් ගණනාවකට පෙර ජීවත් වූ භෞතික විද්‍යාඥයෝ දැන සිටියහ.

හඳුනා ගැනුණු විවිධ තාරකා පද්ධති හා තාරකාවන් අතර ඒවා සමඟ එක්ව චලනය නොවෙමින්, වෙනස් වේගයකින් චලනය වුනු වස්තූන් කිහිපයක්ද හඳුනා ගැනුණු අතර මේවා ග්‍රහ වස්තූන් ලෙස හැඳින්වුනේය. මේ ග්‍රහ වස්තූන්ගේ චලිතයද රාත්‍රී කාලය තුළ නිරීක්ෂණය කිරීමෙන් ඒවා දිවා කාලය තුළ අහසේ චලනය විය යුතු ආකාරය පුරෝකථනය කිරීමටද ඔවුන්ට හැකිවිය.

කෙසේ වුවද, සෑම දිනකම හැන්දෑවේ නැගෙනහිරින් පායා ආවේ එකම තාරකා සමූහය නොවේ. කිසියම් දිනක උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබුණු තාරකාවක් පසු දින හැන්දෑවේ දකින්නට ලැබුණේ අහසේ මඳක් ඉහළිනි. තවත් දිනකට පසු එම තාරකාව දකින්නට ලැබුණේ වඩාත් ඉහළිනි. ඒ තාරකාවම තෙමසකට පසුව හැන්දෑවේ අහස මුදුනේ පෙනෙන්නට තිබුණු අතර සමසකට පසුව හැන්දෑ වෙද්දී බටහිර ක්ෂිතිජයෙන් බැස යනු දැකිය හැකි විය.

අහසේ තාරකා සියල්ල එක් පද්ධතියක් ලෙස පොළොව වටා ගමන් කළත් සෑම දිනකම රෑ මැදියම හෝ වෙනත් නිශ්චිත වෙලාවක අහසේ දක්නට ලැබුණු තරු පිහිටීම සමාන නොවීය. එය දිනෙන් දින ක්‍රමයෙන් වෙනස් විය. කෙසේවුවද, කිසියම් දිනෙක නිශ්චිත වෙලාවක අහසේ දැකිය හැකි වූ තරු රටාවන්ම තවත් කලකට පසු නැවතත් එසේම දකින්නට ලැබුණේය. සූර්ය වර්ෂයක් ලෙස හඳුනා ගැනුනේ මෙසේ නිශ්චිත වෙලාවක අහසේ දකින්නට ලැබෙන තරු රටාව ඒ අයුරින්ම නැවත දැකගන්නට ලැබීමට ගත වන කාලයයි.

සූර්ය වර්ෂයක් සූර්ය මාස දොළහක් ලෙස සැලකුනේය. මේ සූර්ය මාස නම් කෙරුණේ උදෑසන හිරු නැඟෙන විට නැඟෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබුණු, හෝ තිබිය යුතුයැයි (නිවැරදිව) පුරෝකථනය කෙරුණු තාරකා පන්තියක නමිනි. පොළොව වටා නිශ්චිත අනුපිළිවෙලකට ගමන් කරන මෙවැනි තාරකා පන්ති දොළහක් හඳුනාගෙන තිබුණු අතර ඒ එක් එක් තාරකා පන්තිය එහි අඩංගු තාරකා වලින් මැවෙන රටාවෙන් සිතේ ඇඳෙන රුවක නමින් නම් කෙරුණේය. මේ එක් තරු රටාවක් ආසන්න වශයෙන් දින තිහක කාලයක් උදෑසන නැඟෙනහිර ක්ෂිතිජයෙන් මතුවෙයි. ඉන්පසුව උදෑසන අහසේ දකින්නට ලැබෙන්නේ වෙනත් තරු රටාවකි. වසරකට පසුව නැවතත් උදෑසන අහසේ මුල් තරු රටාව දකින්නට ලැබේ.

ජ්‍යෝතිෂය නොපිළිගන්නා ලාංකිකයින් වුවත් අසා පුරුදු ලග්න දොළොසේ නම් වලින් හඳුනා ගැනෙන්නේ මේ තරු රටාවන් දොළොසයි. ඒවා පිළිවෙලින් මෙසේය. 


මේෂ- එළුවා
වෘෂභ- ගවයා
මිථුන- ස්ත්‍රීපුරුෂ යුවලක් (මෛථුන්‍යය)
කටක- කක්කුට්ටා
සිංහ- සිංහයා
කන්‍යා- කන්‍යාව
තුලා- තරාදිය
වෘශ්චික- ගෝනුස්සා
ධනු- දුනුවායා
මකර- මකරා
කුම්භ- කලය
මීන- මාළුවා

ආසන්න වශයෙන් සිංහල අවුරුදු දින සිට දින තිහක පමණ කාලයක් ඉර උදාවෙද්දී ඉර හා ආසන්නව ක්ෂිතිජයේ දැකිය හැක්කේ මේෂ රාශියට අයත් තරු පංතියයි. ඊළඟ දින තිහ තුළ වෘෂභ රාශියට අයත් තාරකා පංතියද, තවත් දින තිහකින් පසුව මිථුන රාශියට අයත් තාරකා පංතියද සූර්යයා හා සම්පාතව අහසේ දැකිය හැකිය.

කිසියම් දිනක උදෑසන ඉර උදාව ආසන්නව ඉපදෙන කෙනෙකුගේ ලග්නය වන්නේ මෙසේ අදාළ දින තිහක කාලය තුල ඉර හා සම්පාත වී තිබුණු තරු පන්තියේ නමයි. වෙනත් වෙලාවක ඉපදෙන කෙනෙකුගේ ලග්නය වන්නේ ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයෙහි පෙනෙන්නට තිබුණු හෝ දිවා ආලෝකය නිසා නොපෙනුණත් තිබිය යුතු තරු පන්තියේ නමයි. මේ තරු පන්ති දොළහම දවසේ කිසියම් වෙලාවක නැගෙනහිර ක්ෂිතිජය හා සම්පාතව තිබෙන නිසා දවසක් තුළ ඉපදෙන අයට මේ ලග්න දොළහෙන් කවරක් වුවද ලග්නය ලෙස හිමි විය හැකිය.

උදෑසන නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබෙන තරු පන්තිය ආසන්න ලෙස පැය විසිහතරකට පසුව නැවතත් එහි දැකිය හැකි අතර
ක්ෂිතිජයෙහි එක් තරු පන්තියක් දර්ශනය වී පැය දෙකකට පමණ පසුව ඊළඟ තරු පන්තිය දර්ශනය වේ. ඒ නිසා කිසියම් දිනක ආසන්න ලෙස පැය දෙකක කාලයක් තුළ ඉපදෙන දෙදෙනෙකුට හිමි වන්නේ එකම ලග්නයයි. පැය දෙකක පරතරයක් ඇතිව ඉපදෙන අයෙකුට එක ළඟ ලග්න දෙකක් ලැබේ.

සිංහල අවුරුද්ද පසුවී මාස හයකට පසුව දිනක රසික ඉපදුණු දින වැනි දිනක ඉර උදාවන විට ක්ෂිතිජයෙහි දක්නට ලැබෙන්නේ හත්වන ලග්නය වන තුලා ලග්නයයි. එහෙත්, (මගේ උපකල්පන අනුව) රසික ඉපදී ඇත්තේ ඉර උදාවී පැය හතරකට පමණ පසුව නිසා ඒ වන විට තුලා හා වෘශ්චික ලග්න වලට අයත් තරු රටා ක්ෂි
තිජයෙන් මතු වී අවසානය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජය එල්ලේ ඇත්තේ ධනු ලග්නයට අයත් තරු පන්තියයි.

රාශි දොළහට අයත් තාරකා පන්ති ඇතුළු තාරකා පොළොවට සාපේක්ෂව චලනය වන්නේ එක් පද්ධතියක් ලෙස වුවත්, ඉර, හඳ හා අනෙකුත් ග්‍රහයන් චලනය වන්නේ වෙනත් වේගයන්ගෙනි. කිසියම් මොහොතක පොළොවට සාපේක්ෂව මේ වස්තූන්ගේ පිහිටීම නැවතත් හරියටම සමාන ලෙස පිහිටන්නේ ඉතා විශාල කාලයකට පසුවය. ඒ නිසා, කිසියම් මොහොතක පොළොවට සාපේක්ෂව මේ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම සෑහෙන දුරකට අනන්‍ය පිහිටීමකි.

කේන්ද්‍ර සටහනක් යනු කෙනෙකු ඉපදෙන මොහොතේ හෝ වෙනත් නිශ්චිත වෙලාවක පොළොවට හා නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව ඉර, හඳ හා තවත් ග්‍රහ වස්තු කිහිපයක පිහිටීම පෙන්වන සටහනකි. මේ සටහනෙන්, නිරවද්‍යතා සීමාවකට යටත්ව, යම් පුද්ගලයෙකු උපන් මොහොත වැනි කිසියම් මොහොතක් අනන්‍ය ලෙස හඳුනා ගැනීමට හැකියාවක් තිබේ. 


 (කලකට පෙර ලියා පළ නොකළ ලිපියකි. කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණකින් ලියන්නක් නොවේ.)

(Image: http://wuwm.com/post/tips-how-observe-night-sky#stream/0)

Wednesday, September 28, 2016

බාබර්ලා දෙන්නා

"එක් ව්‍යාපාරිකයෙක් කිසියම් කටයුත්තක් සඳහා ප්‍රත්‍යන්ත නගරයකට ගියේය. තමන් පැමිණි කටයුත්ත අතරවාරයේ ලැබුණු මඳ ඉසිඹුවකින් ප්‍රයෝජනයක් ගන්නට සිතූ මේ ව්‍යාපාරිකයා පාරට බැස කොණ්ඩය කපා ගැනීම සඳහා කෙස් කැපුම්හලක් ඇත්දැයි සොයා බැළුවේය. ඔහුට දැනගන්නට ලැබුණු පරිදි මේ කුඩා නගරයේ කෙස් කැපුම්හල් තිබුණේ දෙකක් පමණි. ඔහුට තවදුරටත් දැන ගන්නට ලැබුණේ මේ කෙස් කැපුම්හල් දෙකම නගරයේ එකම තැන පාර දෙපස මුහුණට මුහුණ ලා පිහිටා ඇති බවයි.

දැන ගන්නට ලැබුණු පරිදි ව්‍යාපාරිකයා සිටි තැන සිට මේ කියන තැනට වැඩි දුරක් නොතිබුණු බැවින් ඔහු හෙමින් ඇවිදගෙන එහි ළඟා විය. පළමු කෙස් කැපුම්හලට ඇතුළු වූ ඔහුට දකින්නට ලැබුණේ තැන තැන කෙස් කොට වැටී තිබුණු අපිළිවෙල තැනකි. ඒ මදිවාට කරණවෑමියාගේ හිසකේ කපා තිබුණු ආකාරයද කිසිම කමකට නැත.

ව්‍යාපාරිකයා පාර පැන දෙවන කෙස් කැපුම්හලට ඇතුළු විය. එය පළමු කෙස් කැපුම්හල මෙන් නොව මනා පිළිවෙලකින් යුතු තැනක් විය. කරණවෑමියාගේ හිසකේද ඉතා ක්‍රමානුකූල ලෙස කපා සකස් කර තිබුණේය. ක්‍ෂණිකව කෙස් කැපුම්හල් දෙක සැසඳූ ව්‍යාපාරිකයා පාර පැන නැවත පළමු කෙස් කැපුම්හලට ගොස් සිය හිසකේ කොට කරගත්තේය.

ඔහු කොණ්ඩය කැපීමට පළමු කරණවෑමියාව තෝරාගත්තේ ඇයි?"



ඉහතින් ඇත්තේ ඉතා ප්‍රසිද්ධ "රිඩ්ල්" එකක් නැත්නම් "බ්‍රේන්ටීසරයකි". (ගූගල් ගොස් "Two barbers" ලෙස සර්ච් කර බලන්න.) මෙහි සම්මත පිළිතුර මෙවැන්නකි.

"කිසිවකුට තමන්ගේ හිසකේ කපාගත නොහැකිය. නගරයේ සිටින්නේ කරණවෑමීන් දෙදෙනෙකු පමණක් නිසා පළමු කරණවෑමියාගේ හිසකේ අපිළිවෙල ලෙස කපා ඇත්තේ දෙවන කරණවෑමියා විය යුතුය. දෙවන කරණවෑමියාගේ හිසකේ ක්‍රමානුකූලව කපා ඇත්තේ පළමු කරණවෑමියා විය යුතුය."



තිලකසිත ලියන තිලක් පදිංචිව සිටි අගනුවර ආසන්න නගරයකත් ඔය වගේම කරණවෑමීන් දෙදෙනෙකු සිටියේය. පළමුවැන්නා ඌව පළාතෙන් සංක්‍රමණය වූ අයෙකි. දෙවැන්නා සබරගමු පළාතෙන් ආ අයෙකි. මේ දෙන්නා ගැන වැඩි විස්තර මා මෙහි නැවත ලියන්නේ නැත. කියවා නැත්නම් කරුණාකර එහි ගොස් ඒ ලිපිය කියවා නැවත එන්න. සබැඳිය පහත තිබේ. හැබැයි ඔන්න ආපහු එන්න ඕනෑ!

කරණවෑමි දෙපළ හෙවත් ඒ බාබර් හා මේ බාබර්

කියවල ආපහු ආවද? දැන් දන්නවනේ ඒ බාබර්ගේ හා මේ බාබර්ගේ වෙනස. අර තිලක්ට තියන ප්‍රශ්නය තවත් අයටත් තියෙන්නට පුළුවන.

"මේ බාබර්ලා දෙන්නාගේ ඉරණම් මේ ආකාරයන්  වෙනස් වූයේ කෙසේද?"

මේ කතාව කියවූ වහාම මට හිතුනේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක පරිච්ඡේදයක ආරම්භයට සුදුසු කතාවක් බවයි. රුවන් ජයතුංග කොහේදෝ සටහන් කර තිබුණාක් මෙන් මිනිහෙක් කියන්නේ තනිකරම පාඨ ග්‍රන්ථයකි. බාබර්ලාත් මිනිස්සු නිසා මෙතන දෙකකි.

මුදල් වල වටිනාකම අපි කවුරුත් දන්නෙමු. ඒ වගේම කාලයේ වටිනාකම ගැනත් දන්නෙමු. (බ්ලොග් වලට මේ තරම් කාලය යොදවන්නේ ඒ නිසාය.) මම අද මුලින්ම කියන්නට යන්නේ "මුදලේ කාල වටිනාකම" හෙවත් "Time value of money" කියන එක ගැනය.

අපි කිසිවෙකුට අවුරුද්දකින් ලැබෙන්නට නියමිත රුපියල් සීයක් අද අතේ තියෙන රුපියල් සීයක් තරම් වටින්නේ නැත. අනාගතයේ ලැබෙන්නට නියමිත රුපියල් සීයක් වටින්නේ අද ලැබෙන රුපියල් සීයකට වඩා වඩා කීයක් අඩුවෙන්ද? මෙය එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි. එක් අයෙකුට අනාගතයේ ලැබෙන රුපියල් සීයක අද වටිනාකම රුපියල් අනූ නවයක්ද, තවත් අයෙකුට අනූ පහක්ද, තුන් වැන්නෙකුට අසූවක්ද වන්නට පුළුවන. එය පුද්ගල ස්වභාවය අනුව තීරණය වන්නකි. කිසියම් පුද්ගලයෙකු ඉතිරි කරන්නෙකු වෙනවාද නැත්නම් ණය කාරයෙකු වෙනවාද යන්න තීරණය වන්නේ මෙසේ පුද්ගලයෙකු අනාගතයට සාපේක්ෂව වර්තමානයට බර තබන අනුපාතය අනුවය.

දැන් අපි වෙළඳපොළෙහි පොලී අනුපාතිකය සියයට පහක් යැයි සිතමු. පළමුවැන්නා අද රුපියල් අනූ පහක් ණයට ගත්තොත් ඔහුට වසරකින් පසු ගෙවන්නට වෙන්නේ රුපියල් සියයකට ආසන්න මුදලකි. (හරියටමනම් රුපියල් 99.75කි. සත විසිපහ අතාරිමු.) එමෙන්ම, අද රුපියල් 95ක් ඉතිරි කළොත් වසරකින් (ආසන්නව) රුපියල් සියයක් ලැබේ. එසේනම් කළ යුත්තේ ණය ගැනීමද නැත්නම් ඉතිරි කිරීමද?

මෙය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ මුදලේ කාල වටිනාකම අනුවය. මෙහි පළමුවැන්නාට වැඩි යහපතක් වන්නේ ඉතිරි කිරීමෙනි. අනාගතයේ ගෙවිය යුතු රුපියල් සියයේ ඔහුගේ අද වටිනාකම රුපියල් 99කි. එයින් රුපියල් 95ක් පමණක් ඉතිරි කර ඔහුට අනාගතයේ රුපියල් සියයක්, එනම් අද වටිනාකම අනුව රුපියල් 99ක් ලැබිය හැකිය. එවිට, ඉතිරිවන රුපියල් 4 ඔහුට ලැබෙන වාසියකි. දෙවැන්නාට ණය වීමෙන් හෝ ණය ගැනීමෙන් සිදුවන විශේෂ වාසියක් නැත. තෙවැන්නාට වැඩි යහපතක් වෙන්නේ ණය වීමෙනි. අද රුපියල් අනූ පහක් ණය වුවහොත් ඔහුට අනාගතයේදී රුපියල් සියයක් ගෙවන්නට වේ. ඔහුට අනුව ඒ රුපියල් සීයේ අද වටිනාකම රුපියල් අසූවකි. එහෙත්,
අද ඔහු අතට රුපියල් අනූපහක් ලැබේ. මේ වැඩිපුර රුපියල් පහළොව ඔහුට ලැබෙන වාසියකි.

මෙහි පළමුවැන්නා වර්තමානයට සාපේක්ෂව අනාගතයට වැඩි බරක් තබයි. තෙවැන්නා අනාගතයට තබන්නේ ඉතා අඩු බරකි. සමාජයක ජීවත් වන පුද්ගලයින් අතරින් අනාගතයට වැඩි බරක් තබන අය බොහෝ විට ඉතිරි කරන්නෝ නැත්නම් ආයෝජකයෝ වෙති. ඔවුහු සිය අනාගත පරිභෝජනය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් වර්තමාන පරිභෝජනය කැප කරති. එසේම, අනාගතයට අඩු බරක් තබන්නෝ ණයකරුවෝ වෙති. ඔවුන් බොහෝ විට බලන්නේ වර්තමානය තුළ ණය වී හෝ හැකිතාක් පරිභෝජනය කිරීමටය.

සමාජයක මේ දෙවර්ගයේම පුද්ගලයින් සිටින නිසා ඔවුන් අතර ණය ගණුදෙනු සිදුවේ. ණය පොලිය තීරණය වන්නේ සමාජයේ විවිධ පුද්ගලයින්ගේ මුදලේ කාල වටිනාකම අනුවය. මේ පරාසය තුළ සිටින ණය දෙන්නන් හා ණය ගන්නන් අතර සමතුලිතතාවයක් ඇති වන සේ පොලී අනුපාතිකය සකස් වේ.

මෙහි පළමුවැන්නා වැනි අය සිය අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි දේ ගැන සැලකිලිමත් වීමේ ඉඩකඩ වැඩිය. තෙවැන්නා වැනි අය බලන්නේ අද දවස හැකිතාක් සතුටින් ගත කරන්නටය. තිලක්ගේ කතාවේ කරණවෑමියන් දෙදෙනාගේ පුද්ගල ස්වභාවය පැහැදිලි කරන තවත් කරුණු තිබේ.

"මුලින්ම මම සැලුන් එකක වැඩ කරා. ඊට පස්සේ මම කොණ්ඩේ කැපීම ගැන පුහුණුවකට  ගියා. පස්සේ මමම සැලුන් එකක් දැම්මා."

මේ අනුව දෙවැනි කරණවෑමියා මානව ප්‍රාග්ධනය ලබාගැනීමට මෙන්ම භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන්ද ආයෝජන කර ඇත. ඒ ඔහු අනාගත පරිභෝජනයට වැඩි බරක් තබන නිසාය.

තිලක්ගේ ගම් පළාතෙන් පැමිණි පළමු කරණවෑමියා එහි අනික් පැත්තයි.

"මාගේ කොණ්ඩය කපමින්  සිටියදී තවත් පාරිභෝගිකයකු පැමිණීම නිසා ඔහු ඕනිවට එපාවට කඩිමුඩියේ මගේ වැඩය නිම කරන්නට  උත්සාහ කළේය. ඔහුට ඕනි වුනේ අනෙක් කස්ටමර් වෙන සැලුනයක් සොයා යෑම වලක්වා ගැනීමටය. මගේ මේ පැමිණීම ඔහුට වැදගත් වී නැති සැටියකි."

ඔහු උත්සාහ කරන්නේ අද දවසේ අර අළුතින් පැමිණි පාරිභෝගිකයාගෙන් ලැබෙන මුදල කෙසේ හෝ අය කරගන්නටය. ඒ උත්සාහයේදී ඔහුට ඔහුගේ වත්මන් පාරිභෝගිකයෙකු නැති වන නිසා දිගුකාලීනව වෙන්නේ අවාසියකි. එහෙත්, එය ඔහුට මහ ලොකු ප්‍රශ්නයක් නොවේ. අනාගතයේ මේ පාරිභෝගිකයා නැති වීම ප්‍රශ්නයක් වන්නේ අනාගතයට වැඩි බරක් තබන කෙනෙකුටය. ඔහු ලබාගෙන ඇති ණය මුදලට ගෙවන පොලී අනුපාතිකය අනුව පෙනෙන්නේ මේ පළමු කරණවෑමියා වර්තමානයට සාපේක්ෂව අනාගතයට තබන බර ඉතාම කුඩා බවයි.



(Images: layton.wikia.com, twitter.com)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...