මහ බැංකුව විසින් නිකුත් කර ඇති අළුත්ම පුවත් නිවේදනයකට අනුව පෙනී යන්නේ ඇමරිකානු ඩොලරය රුපියල් 150 මට්ටමේ රඳවා තබා ගැනීමට ටික කලක සිට දැරූ උත්සාහයෙන් මහ බැංකුවට හති වැටී ඇති බවයි. මේ අනුව, රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා විදේශ සංචිතයේ ඩොලර් විකුණමින් සිටි මහ බැංකුව එසේ විණිමය අනුපාතිකය වෙත මැදිහත්වීම් කිරීමෙන් වැළකෙන්නට තීරණය කර තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී කෙටි කාලයක් තුළ රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වනු ඇත.
විණිමය අනුපාතිකය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නට ඉඩ හරින්නේනම් රටක් ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ පාන්නට ඇති ඉඩකඩ ඉතා සීමිතය. එහෙත්, මහ බැංකුව විසින් විණිමය අනුපාතිකයේ තාවකාලික උච්ඡාවචනයන් වැළැක්වීමේ අරමුණින් විදේශ විණිමය වෙළදපොලට කරන මැදිහත්වීම් බොහෝ විට අවසන් වන්නේ රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීමේ උත්සාහයන්ගෙන් හා ඒ පසුපස ගොනු පසුපස ඇදෙන ගැලමෙන් පැමිණෙන ගෙවුම් ශේෂ අර්බුද වලිනි.
පසුගිය වසර කිහිපය තුළ ඇමරිකන් ඩොලරය රුපියල් 100, 115, 130 හා 145 සීමාවන්හි දිගු කලක් රැඳී තිබුණේ මහ බැංකුව විසින් මැදිහත්වීම් කරමින් එම සීමා ආසන්නයේ ඩොලරය සෑහෙන කලක් ස්ථාවරව තබාගත් බැවිනි. මේ එක් එක් අවස්ථාවේදී, මෙසේ ඩොලරය අදාළ මට්ටමේ රඳවා ගැනීම අසීරු වන විට මහ බැංකුව විසින් විණිමය අනුපාතිකය වෙත මැදිහත් වීම නැවැත්වීමත්, ඉන් පසු ඉතා කෙටි කලක් තුළ රුපියලේ අගය විශාල ලෙස පහත වැටීමත් සිදුවිය.
මෙවරද, මහ බැංකුව විසින් මැදිහත්වීම් නැවැත්වීමත් සමඟ ඉදිරි මසක පමණ කාලය තුළ ඩොලරයේ අගය රුපියල් 160 පමණ දක්වා ඉහළ යන්නට ඉඩ තිබේ.
රුපියල අවප්‍රමාණය වන්නට ඉඩහැරීම මහ බැංකුව විසින් ගෙන ඇති නිවැරදි තීරණයකි. රුපියලේ වටිනාකම කෘතීම ලෙස ඉහළින් තබා ගැනීම නිසා ලංකාවේ ආර්ථිකයට සිදුවී ඇති හානිය විශාලය. මේ තීරණය වුවද තරමක් කලින් ගත්තේනම් පසුගිය කාලයේදී විදේශ සංචිතයෙන් වැය කෙරුණු විදේශ විණිමය ප්‍රමාණය ඉතිරි කරගත හැකිව තිබුණි.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ මෑතකාලීන ශක්තිමත් වීම හමුවේ රුපියල අවප්‍රමාණය වන්නට නොදී තබාගැනීම රටේ අපනයන තරඟකාරිත්වයට ඉතා නරක ලෙස බලපායි. ඒ නිසා, මෙසේ රුපියල අවප්‍රමාණය වන්නට ඉඩ හැරීම අපනයනකරුවන්ට වාසිදායකය. අනෙක් අතට, මෙය ආනයනික භාණ්ඩ වල මිලගණන් ඉහළ යාමටත්, රජයේ විදේශ ණය වල රුපියල් අගය ඉහළ යැවීමටත් හේතු වනු ඇත.
මහ බැංකුවේ මැදිහත්වීම නැවැත්වීමෙන් පසුව රුපියල එහි වෙළදපොළ අගය දක්වා සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී නැවත ස්ථාවර වනු ඇත. ඉන් පසුව, මහ බැංකුව විසින් කළ යුත්තේ මේ චක්‍රය නැවතත් පුනරාවර්තනය නොකරමින් එතැන් සිට රුපියලට වෙළදපොළ සාධක අනුව නිදහසේ අවප්‍රමාණය වන්නට ඉඩහැරීමයි. රටකට ගෙවුම් ශේෂ අර්බුද වලට නිතර මුහුණ පාන්නට සිදුවේනම් එය එම රටේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයකි.
Saturday, December 24, 2016
ඩොලරය කීයට යයිද?
Labels:
ආර්ථික විද්‍යාව,
නවමු පුවත්,
මහ බැංකුව
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
කේප්ප හරක් 226 හොඳ ගානකට විදේශයකට දී ගත්තොත් ඕක පහලට ගන්න බැරි වෙයිද ?
ReplyDeleteඇත්තටම ඕක පහළට ගන්න අවශ්‍ය නැහැ. ගොඩක් ප්‍රශ්න වලට මුල තේරුමක් නැතුව එහෙම කරන්න උත්සාහ කිරීමයි. රුපියල අවප්‍රමාණය වන එක හැමවිටම නරක දෙයක් නෙමෙයි.
Deleteඔය එක එක මට්ටම්වල විනිමය අනුපාතිකය රඳවා ගැනීමට උත්සාහ කිරීම හරියට ක්‍රිකට් තරඟයකදි පිතිකරුවෙක් ළකුණු 90 ට ලඟාඋනහම සුපුරුදු ක්‍රීඩා විලාශය අතඇරල පරිස්සමින් ක්‍රීඩා කිරීම වගේ කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteශතකය ගැහුවම ආයම පුරුදු විදිහට ක්‍රීඩාවට එළඹෙනව,150 ලංවෙනකොට සහ 200 ලංවෙනකොට ආයම ප්‍රවේශම්කාරී පිතිහරඹ මෝඩ් එකට එන්ටර් වෙනවා.. :)
රවීගේ උදාහරණය අදාළ කරගන්න බැරිකමක් නැහැ. කොහොම හරි ශතකයක් දාන්න ඕනෑ නිසා 90ට ආපු වෙලාවේ ඉඳල ලෑල්ල දදා ඕවර ගානක් නාස්ති කරන එක පිතිකරුගේ පැත්තෙන් මිසක් දිනන්න ලකුණු ඔන වෙලා ඉන්න ටීම් එකේ පැත්තෙන් හොඳ දෙයක් නෙමෙයි වගේ මේකෙනුත් අන්තිමට වෙන්නේ අවාසියක්. (අසූ ගණන් වල මුල හරියේදී මහානාම රෙකෝඩ් එකක් තියමින් නොදැවී 150ට කිට්ටු ගාණක් ගහපු ආනන්ද නාලන්ද මැච් එකකදී ආනන්ද පිතිකරුවෙක් ඔහොම කර කර ඉඳල 99ට අවුට් වුණා වගේ මතකයකුත් තියෙනවා. නම මතක නැහැ. රවීට මට වඩා හොඳට මතක ඇති!)
Deleteඔබ හරි ඉකෝන්, රොෂාන් මහානාම ලකුණු 144 ලබාගෙන වාර්තාවක් පිහිටවූ වසරෙ (1984) ආනන්දය වෙනුවෙන් මංජුල කාරියප්පෙරුම ලකුණු 99 ලබාගෙන තියනව. මම හිතන්නෙ ඔබ කියන්නෙ ඔහු ගැන වෙන්න ඕන.
Deleteඔය තියෙන්නේ. කීප සැරයක්ම කාරියප්පෙරුමට වෙච්ච දේ නොවී බේරුණේ අයිඑම්එෆ් එක නිසයි.
Deleteඑකඟයි
ReplyDeleteCan you please publish explain article for this, "රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා විදේශ සංචිතයේ ඩොලර් විකුණමින්"
ReplyDeleteඇනෝ, මහ බැංකුවේ අදාළ පුවත් නිවේදනය (පහළ ලින්ක් එකේ ඇති) මේ ගැන සහ තවත් බොහෝ කරුණු සහිත අධ්‍යාපනික වැදගත්කමක් ඇති එකක්. එය බර වැඩිනම් මට සරලව පැහැදිලි කළ හැකියි.
Deletehttp://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/information_series_note_20161223s.pdf
Thank you!
ReplyDeleteAnd one more Question,is CBSL publish correct Inflation rate? just take Ex. last 5 yrs Inflation rate not correct with market price. do you have any explain article? i don't think its 100% correct but it should be some accuracy.(if you visit another country after few yrs price not change like SL i mean $ price not Rs. :D)
ReplyDelete