වෙබ් ලිපිනය:

Thursday, March 10, 2016

බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යාලේඛණ


ගිණුම්කරණ සම්මතයන්ගේ ඇති අවිනිශ්චිතතාවන් උපයෝගී කරගෙන සැබෑ ලෝකයේ යම් නිශ්චිත ආකාරයකින් සිදුවන දෙයක් වෙනස් ආකාර කිහිපයකින් වාර්තා කිරීමේ යම් හැකියාවක් පවතී. පහත උදාහරණය සලකමු.

සිරිපාල කිසියම් රැකියාවක් කර මසකට රුපියල් 20,000ක ආදායමක් ලබයි. ඔහුගේ මාසික වියදම රුපියල් 30,000කි. මේ දෙක අතර ඇති අඩුව පුරවා ගැනීමට සිරිපාලට මාස්පතා වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවේ. ආදායම වැඩියෙන් පෙන්විය හැකිනම් ණය ගැනීම වඩා පහසුය.

ඉහත දත්ත අනුව සිරිපාලගේ අයවැය හිඟය රුපියල් 10,000කි. ඔහුගේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස එය 50%කි.

සිරිපාල ජීවත් වන්නේ දෙමවුපියන්ගෙන් ලැබුණු නිවසේය. මේ නිවස කුලියට දුන්නොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ලබාගත හැකිය. එමෙන්ම, ඔහු එවැනි නිවෙසක් කුලියට ගත්තොත් ඔහුට මසකට රුපියල් 10,000ක් ගෙවන්නට වනු ඇත. ඒ නිසා, සිරිපාලගේ පරිභෝජන වියදම රුපියල් 30,000ක් කීම නිවැරදි නැත. අයිතිය තමන්ටම වුවත් නිවසේ සිටීම මඟින් සිදුකරන පරිභෝජනයද සැලකුවහොත්, ඔහු ඇත්තටම රුපියල් 40,000ක් වටිනා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරයි. එමෙන්ම, ඔහුට තමාගේ දේපල වලින් (නිවසෙන්) කුලිය ලෙස මසකට තවත් රුපියල් 10,000ක ආදායමක්ද ලැබේ. ඒ අනුව, සිරිපාලගේ මුළු ආදායම රුපියල් 30,000කි.

මෙහිදී ඇත්තටම සිදුවන්නේ සිරිපාල විසින් ඔහුට අයිති දේපල එහි වෙළඳපොළ වටිනාකමට ඔහුටම කුලියට දුන් සේ සැලකීමයි. එසේ සැලකීම හෝ නොසැලකීම මත ඔහුගේ සැබෑ ජීවන තත්ත්වයේ කිසිදු වෙනසක් වුනේ නැත. එහෙත්, ඔහුගේ "අයවැය හිඟය" දැන් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 50% සිට 33.3% දක්වා අඩු වී තිබේ.

සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමේදී තාක්ෂණිකව වැරදි නොවන මෙවැනි 'විජ්ජා' කිරීමට පුළුවන. ඒ විජ්ජා සංකීර්ණ වූ විට බොහෝ දෙනෙකුට යම් අවුලක් ඇඟට දැනුණත් සිදුවුනේ කුමක්ද කියා හරියටම මීටර් වෙන්නේ නැත. මෙවැනි සමහර සංඛ්‍යාලේඛණ විජ්ජානම් අතේ මාට්ටු වෙන ඒවාය. එහෙත්, ඒවා වුවත් කෙනෙකුට පෙනෙන්නේ විමසිලිමත් වුවහොත් පමණි.

පැරා විසින් රාවය පුවත්පතෙන් උපුටාගෙන පළ කර ඇති මේ සංඛ්‍යාලේඛණ අනුව, 2016 සඳහා ඇස්තමේන්තු කර ඇති අමාත්‍යංශ සියල්ලේ මුළු වියදම රුපියල් බිලියන 1,661 සිට රුපියල් බිලියන 2,128 දක්වා 28%කින් වැඩි වී ඇත. රජයේ වියදම් ගැන කතා කරන විට බොහෝ දෙනා කතා කරන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැනය. අනෙක් කේෂ්ත්‍ර වලට සාපේක්ෂව අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා කෙරෙන වියදම් ගැන බොහෝ දෙනාගේ ඇත්තේ ධනාත්මක අදහසකි.

ඉහත සංඛ්‍යාලේඛණ අනුව, 2015 වසරට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන 45%කින්ද, සෞඛ්‍යය සඳහා වන ප්‍රතිපාදන 29%කින්ද ඉහළ දමා ඇති අතර සියළු අමාත්‍යාශ වල මුළු වියදමෙන් පිළිවෙලින් 16%ක් හා 11%ක් වෙන් කර ඇත්තේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙනි. මේ අනුව, 2016 වසර තුළ අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍ර වල සැලකිය යුතු දියුණුවක් ඇතිවෙනු ඇතැයි යමෙකුට අපේක්ෂා කළ හැකිය.

ඇත්තටම එහෙම වෙයිද? 

මෙය තීරණය වන්නේ මේ වියදම් වැඩි කර ඇත්තේ කවර අනු අංශයන් යටතේද යන්න මතය. මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වන විටත් ඇති අයවැය ඇස්තමේන්තු සැලකිල්ලෙන් පරීක්ෂා කළහොත් පිළිතුර සොයාගැනීම අපහසු නැත.

අධ්‍යාපනය සඳහා රජය විසින් වැයකෙරෙන මුළු මුදල අමාත්‍යංශ කිහිපයක් අතර බෙදී යයි. මේ අතරින් විශාලම ප්‍රතිපාදන වැඩිවීම පෙනෙන්නට ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේය. එම අමාත්‍යාංශයට 2015දී වෙන් කළ රුපියල් මිලියන 62,134ක මුදල 2016දී රුපියල් මිලියන 185,975 දක්වා තෙගුණයකින් වැඩිකර තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමකි. අධ්‍යාපනය සඳහා වැඩිපුර වෙන්කළ ප්‍රතිපාදන වලින් වැඩි කොටසක් ඇත්තේ මෙතැනය.

කෙසේ වුවද, එක් එක් අනු අංශ පිරික්සීමේදී කොතැනකවත් එවැනි විශාල වැඩි වීමක් පෙනන්නට නැත. එසේනම්, මේ වැඩිවීම සිදුවුනේ කෙසේද?

2106 අයවැය ඇස්තමේන්තු වෙළුම 2 පිටුව 217 වෙත ගිය විට රහස හමු වේ.

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol2.pdf

2016 ප්‍රතිපාදන වෙන් කිරීම් වල 2015දී නොතිබුණු අළුත් කැටගරියක් තිබේ. මේ කැටගරිය නම් කර ඇත්තේ "රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාමේ පිරිවැය- ඉඩම් හා ගොඩනැගිලි" යනුවෙනි. අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර ඇති රුපියල් මිලියන 185,976 ක මුදලින් රුපියල් මිලියන 121,976ක්ම ඇත්තේ ඇත්තේ මේ අළුත් කැටගරිය යටතේය. ඒ මුදල ඉවත් කළහොත් ඉතිරි වන්නේ රුපියල් මිලියන 64,626ක් පමණි. මේ මුදල 2015 ගණන වූ රුපියල් මිලියන 62,624ට වඩා වැඩි වන්නේ යාන්තමිනි.

එතකොට මොකක්ද මේ අළුත් කැටගරිය?

දිවයින පුරා පවත්වාගෙන යන රජයේ පාසැල් 10,121ක් සතුව සැලකිය යුතු ඉඩම් හා ගොඩනැගිලි ප්‍රමාණයක් තිබේ. මේ ඉඩම් හා ගොඩනැඟිලි වෙන කාට හෝ කුලියට දුන්නොත් රජයට විශාල මුදලක් උපයා ගන්නට පුළුවන. එසේ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ ඉඩම් හා ගොඩනැගිලි පාසැල් සඳහා ප්‍රයෝජනයට ගන්නා (හෝ නොගන්නා) නිසාය. එසේනම්, මෙය අධ්‍යාපනය සඳහා වැය කෙරෙන වියදමකි.

අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එකතු වූ ආකාරයෙන්ම මේ කැටගරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂයටද එකතු කර තිබේ. (2016 අයවැය ඇස්තමේන්තු වෙළුම 1 පිටුව 299 බලන්න.)

http://www.treasury.gov.lk/images/depts/nbd/docs/budgetestimates/2016/approved/sin/bdgtestmates2016S-vol1.pdf

සෞඛ්‍ය අමාත්‍යාශයේ පිරිවැයද 2015දී වූ රුපියල් මිලියන 148,184 සිට රුපියල් මිලියන 174,078 දක්වා වැඩි කර ඇත්තේ ඉහත කැටගරිය යටතේ රුපියල් මිලියන 17,878ක් එකතු කිරීමෙනි. එය ඉවත් කළ විට ඉතිරි වන්නේ සුළු වැඩි වීමක් පමණි.

රජයට ස්මාර්ට් විසඳුම් නැතැයි ඇතැම් අය කියති. එහෙත්, මේ තරම් සරල ස්මාර්ට් විසඳුමක්නම් මා දැක ඇති බවක් මතක නැත.

මා පාසැල් යන කාලයේ අපේ පාසලේ පැත්තකද දම් කැලයක් තිබුණේය. දැනටත් බොහෝ ග්‍රාමීය පාසැල් සතුව මෙවැනි ඉඩම් තිබෙනවා විය හැකිය.  අධ්‍යාපනයට වැය කරන වියදම් තවත් මදිනම් දැන් කරන්නට ඇත්තේ මේ ඉඩකඩම් සඳහා අය කරන කුලිය වැඩි කර එය නොගෙන සිටීම පමණි.

මෙහිදී සිදුවී ඇත්තේ ගිණුම්කරණ සම්මත වෙනස්වීමක් නොවේ. හිතාමතාම සිදු කළ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි. එය ගිණුම්කරණ ක්‍රමවේදයේ සිදුවූ වෙනසක්නම් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වල වැය ශීර්ෂ වලට පමණක් බලපෑමට හේතුවක් නැත. වනජීවී, ආරක්ෂක වැනි අමාත්‍යාංශ යටතේද විශාල රජයේ දේපල ප්‍රමාණයක් තිබේ.

පැරා විසින් උපුටාගත් රාවය සංඛ්‍යාලේඛණ පිළියෙළ කළේයැයි මා සිතන අහිලන් කදිරගාමර්ටනම් මෙය අසු වී නැත. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රතිපාදන වැඩි කර තිබීම ඔහු විසින් බොහෝ තැන්වල අගය කර තිබීමෙන් එය පෙනේ. එහෙත්, මෙය පරීක්ෂාවෙන් බලන ඕනෑම කෙනෙකුට අතටම අහුවෙන ඉතාම ලාබ සංඛ්‍යාලේඛණ විජ්ජාවකි.

මෙසේ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ වලට 'නැති' අරමුදල් එකතු කිරීමටනම් රජයේ ආදායමට 'නැති' ඉපයීමක්ද එක් කළ යුතුය. රජයේ බදු නොවන ආදායම් 2015දී පැවති රුපියල් බිලියන 126 සිට රුපියල් බිලියන 378 දක්වා තෙගුණයකින් වැඩි වී ඇත්තේ මේ 'නැති ආදායම' එකතු කිරීම නිසාය. 2016 වසර සඳහා වූ ආදායම් ඇස්තමේන්තු වල ආදායම් කේතය 20.02.01.05 යටතේ "Notional Rent income from Land & Building" යනුවෙන් අළුතින් කැටගරියක් එකතු කර රුපියල් බිලියන 139 ක් (රුපියල් මිලියන 139,230ක්) රජයේ ආදායමට එකතු කර ඇති බව ඔබට බලා ගත හැකිය. මේ මුදල ඉහත අධ්‍යාපන හා සෞඛ්‍ය වැය ශීර්ෂ වලට එකතු කර ඇති අයිතම දෙකේ එකතුවට සමානය.

http://www.treasury.gov.lk/images/depts/fpd/docs/circulars/Revenue_Estimate_%202016.pdf

මේ ආකාරයට නැති ආදායම් පෙන්වීමට හැකි වුවද රජයට ඒ නැති ආදායම් වියදම් කළ නොහැකිය. එමෙන්ම, පළාත් සභා ආදායම් කියා ඇති කොටසද ඇත්තටම නැති ආදායමකි. පළාත් සභා වල වියදම කිහිප ගුණයකින් වැඩි නිසා මේ මුදල් ඇත්තටම මධ්‍යම රජයට ලැබෙන මුදල් නොවේ. රජයේ සැබෑ ආදායම් වන්නේ බදු ආදායම් පමණි. එමෙන්ම, අයවැය යෝජනා නැවත ආපසු හැරවීම නිසා ඒ යෝජනා හරහා මුලින් ලබාගැනීමට අපේක්ෂා කළ බදු ආදායමෙන්ද තුනෙන් එකක් පමණ ලැබීමේ ඉඩක් නැත. ඒ නිසා, රජයට ඉතිරිව ඇති විසඳුම් දෙක වනුයේ තවදුරටත් වක්‍ර බදු වැඩිකිරීම හෝ මුදල් අච්චු ගැසීම පමණි.

මේ ලිපිය අධ්‍යාපනයට හා සෞඛ්‍යට ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වැඩි නොකිරීම ගැන කරන විවේචනයක් නොවේ. පවතින වාතාවරණය යටතේ එය අසීරු දෙයක් විය හැකිය. වෙනත් අයගේ සංඛ්‍යාලේඛණ විජ්ජා ගැන කතාකරන අය ඊට වඩා බාල අතේ මාට්ටු වන විජ්ජා කරන බව පෙන්වා දීමක් පමණි. කරන හොර වැඩක් අහු නොවන ලෙස, වෘත්තීය ලෙස කළ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල නිලධාරීන් වුවද තරමක් දුරට අන්දන්නට බැරිකමක් නැත. එයින්, ඇතැම් විට වාසියක් ගන්නටත් පුළුවන. එහෙත්, මෙවැනි බාල විජ්ජාවන්නම් අතේ මාට්ටු වුවහොත් වෙන්නේ වස ලැජ්ජාවකි.

(Image: davidmcghee.wordpress.com)

Wednesday, March 9, 2016

සංඛ්‍යාලේඛණ බොරුද?

ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මඟින් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණයක් 2003 දී හෝ ආසන්න වසරකදී සිදු කළේය. ඒ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධ මෙවැනි පුළුල් සමීක්ෂණ සිදු කිරීමේ භාවිතාවක් නොවූ බැවින් මෙය ඉතා අභියෝගාත්මක කටයුත්තක් විය. මේ කාණ්ඩයට වැටෙන සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ කරගෙන සිදු කළ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා මඟින් එකතු කරගත් තොරතුරු වල සාරාංශ වාර්තාවක් එළිදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ කොටසක පැවති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ වැඩමුළුවට හා ප්‍රවෘත්ති සාකච්ඡාවට මමද සහභාගී වූයෙමි.

මේ වැඩමුළුව අතරතුර එවකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ලංකාව භාරව සිටි ප්‍රධාන නිලධාරියා විසින් තමන් මේ සමීක්ෂණය සිදු කිරීමේදී මුහුණදුන් අභියෝග විස්තර කළේ මෙසේය.

"ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වල ලාභදායීත්වය පිරික්සන විට තියෙන ලොකුම බාධාව වන්නේ අපි ඔවුන්ගේ ගිණුම් වල තොරතුරු ලබාගත යුත්තේ කොහෙන්ද කියන එකයි. මේ ව්‍යවසායකයින් සාමාන්‍යයෙන් ගිණුම් කට්ටල් තුනක් පවත්වාගෙන යනවා. එකක් බැංකුවට පෙන්වීමට. ණය ලබා ගැනීම සඳහා තමන්ගේ බැංකුවට ඉදිරිපත් කරන කරන මේ ගිණුම් අනුව පාඩු ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"දෙවැනි කට්ටලය පවත්වාගෙන යන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වීමටයි. මේ ගිණුම් අනුව බැලුවොත් ලාභ ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"මේ දෙතැනින්ම පහසුවෙන් දත්ත එකතු කරගැනීමේ හැකියාව තියෙද්දී එසේ නොකර මේ ව්‍යවසායකයින්ව පෞද්ගලිකව හමුවී විස්තර ලබාගැනීමේ පිරිවැය අධික, කාලය ගතවෙන, දුෂ්කර කටයුත්තට අපි අත ගැහුවේ තමන්ගේ බිරිඳට පමණක් පෙන්වන, රහසිගතව පවත්වාගෙන යන තුන් වන ගිණුම් කට්ටලය හොයා ගන්නයි"

මේ ප්‍රකාශයේ වැරැද්දක් ඇත්නම් එසේ ඇතැයි මා සිතන්නේ ඔහු කී බිරිඳට පෙන්වන කතාවේ පමණි. කිසියම් ක්‍රමවේදයක අවිනිශ්චිතතා ඇති විට ඒ අවිනිශ්චිතතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිස්සු පෙළඹෙති.

ඉහත සිදුවීමෙන් වසර පහකට පසු, සති ගණනාවක් පුරා පැවති ජාත්‍යන්තර වැඩමුළුවකදී අප්‍රිකානු රටවල් ගණනාවක මුදල් අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණේය. එහිදී මා දැනගත්, මා විමතියට පත් කළ කරුණක් වූයේ බොහෝ අප්‍රිකානු රටවල ජාතික ගිණුම් හා අදාළවද මෙවැන්නක් සිදුවන බවයි. ඒ අනුව, එක් ගිණුම් කට්ටලයක් පිළියෙළ වන්නේ රටේ ජනතාවට හා මාධ්‍යයට පෙන්වීමටය. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි අඩු ආදායම් රටවලට ණය හා ආධාර ලබාදෙන ජාත්‍යන්තර ආයතන වලට පෙන්වීම සඳහාය. තුන්වැන්නක් ගැන එහිදී කතාබහක් සිදු නොවූවත්, ඇතැම් විට අභ්‍යන්තර තීරණ ගැනීමේදී එවැන්නක්ද ප්‍රයෝජනයට ගන්නවා විය හැකිය.

ඉහත කතාබහ විසින් මා විමතියට පත් කළේ ලංකාවේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හෝ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේතුව විසින් සංඛ්‍යාලේඛණ  සකස් කිරීමේදී මෙවැන්නක් කිසිවිට නොකරන බැවිනි. තවමත්, මේ සංඛ්‍යාලේඛණ පිළියෙළ වන ක්‍රමවේදයේ විශාල ගැටළුකාරී තත්ත්වයන් නැත. එමෙන්ම, රටේ දේශපාලන අධිකාරියට මෙවැනි කටයුතු වලට අතපෙවීමට ඇත්තේ ඉතාම සීමිත, දුරස්ථ හා වක්‍ර හැකියාවක් පමණි.

කෙසේවුවද, ලංකාවේ ආර්ථිකය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළිබඳව බොහෝ දෙනා තුළ යම් අවිශ්වාසයන් පවතී. එයට ප්‍රධානම හේතුව පොතේ ඇති දේ අතේ නැති බව නිතර දකින්නට ලැබීමයි. අප්‍රිකානු රටවල සිදුවන බව මා කී දේවල් ලංකාවේ සිදුනොවුනද මහජනතාව තුළ සංඛ්‍යාලේඛණ පිළිබඳව ඇති අවිශ්වාසය පදනම් විරහිත එකක් නොවේ. එයට හේතුව  සංඛ්‍යාලේඛණ බොරු නොවූවත් මහජනතාවට පෙනෙන්නට සංඛ්‍යාලේඛණ වලින් 'සෙල්ලම් දැමීමට' පුළුවන් කමක් තිබීමයි.

නිවැරදි සංඛ්‍යාලේඛණ වෙනස් ප්‍රවේශ වලින් ඉදිරිපත් කිරීම මෙසේ සෙල්ලම් දැමිය හැකි සරලම ක්‍රමයයි. "මේ වසරේ 6%ක ඉතා හොඳ ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවනු ඇත." කියූ විට සම්ප්‍රේෂණය කෙරෙන අදහස හා "මේ වසරේ ආර්ථික වර්ධනය 6% මට්ටමට කඩා වැටෙන ලකුණු දැන්මම පෙනෙන්නට තිබේ." කියන විට බොහෝ දෙනෙකුට දැනෙන දෙය එකම නොවේ. එහෙත්, විමසිල්ලෙන් කියවන්නේනම් මෙවැනි තොරතුරක ඇති මූලික කරුණ උකහා ගැනීම අමාරු දෙයක් නොවේ.

ඊළඟ මට්ටමේදී සිදුවන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට උදවු වන සංඛ්‍යාලේඛණ පමණක් තෝරා බේරා ඉදිරිපත් කිරීමයි. ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයත් වැඩි වන විට අයෙක් උද්ධමනය ගැන කතා නොකර ආර්ථික වර්ධනය ගැන ලොකුවට කතා කරද්දී තවත් අයෙක් එහි අනෙත් පැත්ත කරයි.

සංඛ්‍යාලේඛණ සමඟ බොහෝ විට දමන මෙවැනි සරල හා සිල්ලර සෙල්ලම් වලට අමතරව වඩා සංකීර්ණ තාක්ෂණික සෙල්ලම් දමන්නටත් පුළුවන. එසේ කළ විට සිදුවී ඇත්තේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට නොතේරේ.


2004-2014 කාලය තුළ ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට 7,390.9 දක්වා වැඩි වූ බව කෙනෙකු කියද්දී වෙනත් අයෙකුට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය මේ කාලය තුළ 102.3 සිට 75.5 දක්වා අඩු වූ බව කියන්නට පුළුවන. මේ දෙදෙනාම කියන්නේ බොරු නොවේ. එකම දෙය දෙයාකාරයකට කියූ විට වෙනස් අරුත් මතුවේ.

ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් අවස්ථාවල යම් සමාගමක් කිසියම් කාලයක් තුළ ලාභ ලැබූ හෝ පාඩු ලැබූ බව පෙන්වීමේ හැකියාවක් තිබේ. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නොවේ. කොයි රටේත් සිදුවන්නකි. එහෙත්, මෙසේ යම් සමාගමක ගිණුමක්  'තාක්ෂණිකව නිවැරදිව' ලාභ ලබන බව පෙන්වූ පමණින් ඒ සමාගමේ 'අතේ ඇති ලාභ' වෙනස් වන්නේ හෝ බංකොලොත් වීමට නියමිතනම් එය සිදු නොවන්නේ නැත. ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගිණුම්කරණ ලාභ හා ආර්ථික ලාභ නිවැරදිව වෙන්කොට හඳුනාගත යුත්තේ එබැවිනි.

කෙසේවුවද, ගණකාධිකාරී වරුන් පුහුණුවක් ලබා ඇත්තේ ඔවුන් දන්නා තාක්ෂනික උපක්‍රම උපයෝගී කරගෙන සිය සේවාදායකයාට අවශ්‍ය පරිදි ලාභය අඩුවෙන් හෝ වැඩියෙන් පෙන්වීමටය. දක්ෂ ගණකාධිකාරීවරයෙකුට මේ කාර්යය වඩා හොඳින් කළ හැකිය.

වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානියා හෝ මුදල් ඇමතිවරයා වූ විට එවැන්නෙකු තමන් ලබා ඇති පුහුණුව අනුව, තමන්ට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට උත්සාහ ගැනීම තේරුම් ගැනීමට අපහසු නැත.


(Image: http://38north.org/2012/07/rfrank071612/)

Tuesday, March 8, 2016

ශාරුක්ගේ ඇමරිකා සංචාර


2012 අප්‍රේල් 12 දින ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පැවැත්වෙන සුවිශේෂී දේශනයකට සවන් දීමට එක් දහස් හත්සියයක පමණ පිරිසක් පැමිණ සිටියහ. දේශකයාට යේල් සරසවිය මඟින් වටිනා සම්මානයකින් පිදීමද මේ දේශනයට සමාන්තරව සිදුවිය. නිවේදිකාවගේ හඳුන්වාදීමෙන් පසු දේශනය ඇරඹිණි. අත්පොලසන් හඬ සිසාරා පැතිරේ.

"ස්තුතියි! ස්තුතියි!! අවසානයේදී කෙසේ හෝ මා පැමිණියා. දීර්ඝ ගුවන් ගමනක්...ගුවන් තොටුපලේ මාව රඳවා ගත්තේ පැය එකහමාරක් පමණයි."

තමන් පැය කිහිපයකට පෙර මුහුණදුන් අපහසුතාවය විහිළුවකට ගනිමින් මෙසේ දේශනය අරඹන්නේ සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ය.

"සමහර වෙලාවට මම ටිකක් අහංකාර වැඩියි වගේ මට හිතුනහම මම කරන්නේ ඇමරිකාවට එන එක. ඇමරිකාවට ගොඩ බැහැපු ගමන් ආගමන විගමන නිලධාරීන් මගෙ රැස් බස්සවල මම තරුවක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක් කියන එක මට මතක් කරල දෙනව."

ඔහු මේ කියන්නේ නිවු යෝර්ක්හි වෙස්ට්චෙස්ටර් ගුවන් තොටුපලට පෞද්ගලික ගුවන් යානයකින් ඉන්දියාවේ සිට පැමිණ ගොඩ බෑ පසු සිදුවූ අකරතැබ්බය ගැනය. අම්බානි පවුලට අයත් මේ පෞද්ගලික ගුවන් යානයේ පැමිණි මුකේෂ් අම්බානිගේ බිරිඳ නීතා අම්බානි ඇතුළු අනෙක් මගීන්ට පහසුවෙන් ගුවන් තොටුපළෙන් පිටවීමට ලැබුණත් ශාරුක් ඛාන්ට ඒ අවසරය ලැබුණේ නැත. ගුවන් තොටුපොළ බලධාරීන් විසින් රඳවා ගැනුණු ඔහුට රටට ඇතුළු වීමට ලැබුණේ විනාඩි 75ක ප්‍රශ්න කිරීම් වලට මුහුණ දීමෙන් අනතුරුවය. මේ හේතුවෙන් කලින් වේලා නියම කර තිබුණු පුවත්පත් සාකච්ඡාවකට මෙන්ම ඉහත දේශනයටද නියමිත වේලාවට සහභාගී වීමට ශාරුක්ට නොහැකි විය. මේ ශාරුක් මෙවැනි අකරතැබ්බයකට මුහුණ දුන් මුල් අවස්ථාව නොවේ. 2009 අගෝස්තු 14 දින නෙවාර්ක්හි ලිබර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීද ඔහුව මේ අයුරින්ම රඳවාගෙන විනාඩි 66ක් තිස්සේ ප්‍රශ්න කරනු ලැබ තිබුණේය.

ඉන්දියාවට ශාරුක් ඛාන් කියන්නේ තවත් සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. ටජ්මහල වැනි ඉන්දියානු සංකේතයකි. ශාරුක් ඛාන්ව ඇමරිකාවේදී මෙසේ පාච්චල් වීම ඉන්දියානුවන්ගේ බොක්කටම වදින කේස් එකක් බව කියන්නත් දෙයක් නැත. ඔවුන් සිතා ඉන්නේ ශාරුක් ඛාන්ව නොහඳුනන අය ලෝකයේ කොහේවත් සිටිය නොහැකි බවයි. හරිනම් මේ ආගමන විගමන නිලධාරීන් කළ යුත්තේ තමන්ගේ ලේන්සු වලින් ශාරුක් ඛාන්ගේ දාඩිය පිසදමා ඒවා සිහිවටන ලෙස තබා ගැනීමය. එහෙත්, සිදු වුණේ වෙන දෙයකි. ඒ අනුව, ඇමරිකාවට එරෙහි ඉන්දියානු විරෝධතා මතු වීමට ගතවුණේ පැය ගණනකි. අන්තිමේදී, මෙය ඉන්දියාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වී ඇමරිකාවට ඉන්දියාවෙන් සමාව ගැනීමට සිදුවිය.


කෙසේවුවද, මේ සිද්ධියෙන් අනතුරුව එයට සම්බන්ධ වූ ආගමන විගමන නිලධාරීන්ට රුපවාහිනී නාලිකා පිරිවරා පැමිණි මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට, රැකියා අහිමි කර ගැනීමට හෝ අඩු වශයෙන් විනය පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවූයේ නැත. ඒ, ඔවුන් කළේ ඔවුන් විසින් පිළිපැදිය යුතු සාමාන්‍ය ක්‍රියාදාමයේ කොටසක් වූ බැවිනි.

*** 

බොහෝ දෙනෙක් බොහෝ තැන් වල කතා කර ඇති දේවල් ගැන නැවත නැවත තව දුරටත් කතා කිරීම එතරම් ප්‍රියජනක හෝ ඵලදායී කටයුත්තක් නොවූවත් ඒ බොහෝ දෙනෙකුට නොපෙනුණු පැති ඇත්නම් එවැනි පැති වෙතද අවධානය යොමු කිරීමේ වැදගත්කමක් තිබේ.

දරුවෙකුට පාසැලක් ලබා දීමේ කටයුත්තට අවසානයේදී රටේ
ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය. මීටත් වඩා සුළු ප්‍රශ්න ලොකු ප්‍රශ්න බවට පත් කර අවසානයේ රටේ ජනාධිපතිවරයා විසින් විසඳූ ඉතිහාසය අවසන් වී වැඩි කලක් නැති නිසා මෙහි අමුත්තක් එක් වර නොපෙනේ. එහෙත්, වැදගත් කරුණ වන්නේ එවැනි දේ තවමත් සිදුවීමයි.

රාජාණ්ඩුවක බලයේ ප්‍රභවය රටේ රජුය. රටේ මහජනතාව කළ යුත්තේ හැකිතාක් හොඳින් රජුගේ කැමැත්ත ඉටු කිරීමයි. එවැනි ක්‍රමයක් පවතින විට යම්කිසි ප්‍රශ්නයක් මතුවූ විට අවසන් තීරණය රජු විසින්ම ගත යුතු වීම තේරුම් ගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රටේ බලයේ ප්‍රභවය ජනතාවයි. එවැනි ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ සියළු දෙනාටම පිළිගත හැකි රාමුවක් යටතේ සෑම පුද්ගලයෙක් විසින්ම තම තමන්ට අයත් කාර්යය නිසි සේ කිරීම මතය. ඒ නිදහස රැකියාවක් කරන සෑම පුද්ගලයෙකුටම තිබේනම් සහ එය අනිසි ලෙස නොයෙදවේනම්, අවශ්‍ය තීරණ අවශ්‍ය මට්ටමේදී ගන්නවා මිස ඉහළ මට්ටමකට යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ කලාතුරකිනි. මෙහිදී, කිසියම් රැකියාවක් කරන අයෙකු තමා සතු යම් බලයක් අනිසි ලෙස යොදවනවාද යන්න තීරණය කළ හැක්කේ එවැන්නෙකුගේ කාර්යභාරය විධිමත් ලෙස අර්ථ දක්වා ඇත්නම් පමණි.

ඇතැම් විට, ප්‍රායෝගික තත්ත්වයන් මත මෙසේ නිශ්චිත ලෙස අර්ථ දැක්වීමක් කිරීම අපහසු විය හැකිය. එවිට, අදාළ පුද්ගලයාට අවස්ථාවෝචිතව තීරණයක් ගැනීමට නිදහසක් ලැබේ. උදාහරණයක් ලෙස ගුවන් තොටුපොළක සේවය කරන ආගමන විගමන නිලධාරියෙකු 'සැක සහිත' පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කළ යුතුනම්, මෙවැනි 'සැක සහිත' පුද්ගලයෙකු අර්ථ දක්වා ගැනීම ඔහුගේ හෝ ඇයගේ රැකියාවේ කොටසකි. ඒ අයිතිය ඔහුට හෝ ඇයට ලබා දිය නොහැකිනම් කළ යුත්තේ 'සැක සහිත' පුද්ගලයෙකු යනු කවරෙක්දැයි නිශ්චිත උපදෙස් මාලාවක් එවැන්නෙකුට ලබාදීමයි.

සංවර්ධිත රටක සහ දියුණු වෙමින් පවතින රටවල් අතර මා දකින එක් පැහැදිලි වෙනසක්නම් සංවර්ධිත රටවල කවර මට්ටමේ හෝ රැකියාවක් කරන අයෙකුට තමාගේ විෂය රාමුවට අයත් කටයුත්තක් ගැන නිදහසේ තීරණ ගැනීමේ හැකියාවක් තිබීමයි. දියුණු වෙමින් පවතින රටවල බොහෝ විට තීරණ ගැනීමට කල් පසුවීම, ධුරාවලියේ ඉහළ තැනකින් අනුමැතිය පැතීම වැනි දේ සිදුවේ. මෙය සමාජයේ පහළ ස්ථර වල සිටින අයගේ අධ්‍යාපනයේ හෝ ලබා ඇති පුහුණුවේ අඩුවක්යයි මා සිතා සිටියත් එය එසේම නොවන බව පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ ඉහළ ස්ථර වල සිටින අය පහළ රැකියා කරන්නන් ගැන සිතන අයුරු දැනගත හැකි, පසුගිය දිනවල සිදුවූ සිදුවීම් දෙක තුනක් නිරීක්ෂණය කරන විටය.

තමන්ට නීත්‍යානුකූලව කිරීමට බලය ඇති දේ ගැන අයෙක් කටමැත දොඩවයි. එහෙත්, ඒ බලය තමන්ට ලැබුනේ කෙසේද. කුමක් සඳහාද   යන කරු
ණු අමතක කරයි. තවත් අයෙක් සිතන්නේ නීති හැදීමේ බලය ඇත්තේ තමන්ට බවත්, රටේ මහජනතාව කළ යුත්තේ ඒවා තමන් අර්ථ දක්වන ආකාරයට පිළිපැදීම පමණක් බවත්ය. ඒ පදනම මත, ඔහු විසින් ධුරාවලියේ පහළ රැකියාවක් කරන අයෙකු තමන්ගේ වපසරිය තුළ ඔහුගේ අභිමතය ක්‍රියාත්මක කිරීම ප්‍රශ්න කරයි. තමන් විසින් මහජනතාවට ලබා දුන් නිදහසක් ගැන කතා කරන ඔහු ඇත්තටම ඒ නිදහස තමන් විසින් ප්‍රශ්න කෙරෙන ආරක්ෂක නිලධාරියා, ඔහුව ප්‍රශ්න කළ කාන්තාව ඇතුළු පිරිස් විසින් නියෝජනය කරන ජනතාව විසින් ලබාගත් නිදහසක් බවත්, තමන්ගේ තාවකාලික තනතුර එහි අතුරු ඵලයක් බවත් අමතක කරයි.

එක් අතකින් බොහෝ දෙනෙකු
තමන්ගේ අයිතීන් පිළිබඳව හඬ නැගීමට හැකිවීම විශාල ප්‍රගතියකි. පැරාගේ වචන වලින් කියනවානම් 'හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ගෙන් ගේම ඉල්ලන්නට පුළුවන්කම තිබේ'. මෙය අමතක කළ යුතු නැතත්, එය රටක තිබිය යුතු තත්ත්වයක් මිස විශේෂ තත්ත්වයක් හෝ පාරිතෝෂිකයක් නොවේ.

රජු දැහැමි, නිදහස් මතධාරී හෝ ඉදිරිගාමී වූ පමණින් රාජාණ්ඩුවක් ජනරජයක් වන්නේ නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියන්නේ එක් එක් පුද්ගලයාට තමාගේ වපසරියට යටත් කටයුතු පිලිබඳ නිවැරදි තීරණ නිදහසේ ගතහැකි, ඒ වපසරිය නිශ්චිතව අර්ථ දක්වා ඇති සමාජයක් මිස සෑම කුඩා තීරණයක්ම ඉහළ සිට පහළට සම්ප්‍රේෂණය වන සමාජයක් නොවේ. එමෙන්ම, වෙනත් අය ලොකු වැරදි කර තිබීම හේතුවෙන් පොඩි වැරදි සාධාරණීකරනය වන්නේද නැත.  


සරසවියක අංශ ප්‍රධානීන්ගේ සිට පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකු දක්වා කවර හෝ රැකියාවක යෙදෙන පුද්ගලයෙකුට තමන්ගේ රැකියාවට අදාළ සීමාවන් තුළ අභිමතය ක්‍රියාත්මක කිරීමට රටේ දේශපාලන අධිකාරියෙන් ඇති බලපෑම් විසින් සාමාන්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තීරණ ගැනීම අධෛර්යය කරනු ලැබීමත්, රටේ සාමාන්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තීරණ නොගැනීම හේතුවෙන් කොහේ හෝ සිදුවන සිල්ලර සිදුවීමකට අදාළ තීරණයක් ගැනීමට විධායකයේ ප්‍රධානියාට මැදිහත්වීමට සිදුවීමත් එකිනෙකින් වියුක්ත සිදුවීම් නොවේ.

(Images: sonsofmalcolm.blogspot.com, rkhyd.wordpress.com, www.lokvani.com)

Sunday, March 6, 2016

ෆ්ලැමින්ගෝලා සහ ගජමෑන්



මේ තියෙන්නේ ෆ්ලැමින්ගෝ රංචුවක සිටි ෆ්ලැමින්ගෝලා තිදෙනෙකුගේ සමීප ඡායාරූපයකි. ඔයවල් අසබඩ ෆ්ලැමින්ගෝලා වැඩිපුර සිටිති. මේ ඡායාරූපයේ පෙනෙන පරිදි, කරන්නට විශේෂ වැඩක් නැති සාමාන්‍ය තත්ත්වයන් යටතේ ෆ්ලැමින්ගෝලාට ඇත්තේ එක් පයක් පමණි. ඒ නිසා, ෆ්ලැමින්ගෝලා එවැනි තත්ත්වයන් යටතේ 'පොදු ජනතාව' වෙනුවෙන් තනි පයින් පෙනී සිටිති.

පේන්නට නැතත් ෆ්ලැමින්ගෝලාට තවත් පයක් තිබේ. එය බලාගන්නටනම් ෆ්ලැමින්ගෝලාට කරන්නට වැඩක් භාර දිය යුතුය. ඡායාරූපයේ සිටින ෆ්ලැමින්ගෝ රංචුව මැද්දට කෑමක් විසි කළොත් ඒ අනිත් පය වගේම හංගාගෙන සිටින මූණත් හරියටම බලාගන්නට පුළුවන.


***



මේ  ගජ මෑන්.
ඔහු පොදු ජනයෙක්.
ඔහු දුගීයෙකුත් නොවේ, පෝසතෙකුත් නොවේ.
ඔහු උසත් නැත, කොටත් නැත.
කළුත් නැත , සුදුත් නැත.
ඔහු ලොවෙත් නැත.
ලොවි ගහෙත් නැත. 

උපුටා ගැනීම: http://pinchpoints.blogspot.com/2016/03/2.html

*** 
ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති ගජමෑන් ඇත්තටම ඉන්නා තැනක් තිබේ. ඒකට කියන්නේ නැති රට කියලාය. ඒ රට ඇති තැන දැනගන්නට ඕනෑ කෙනෙක්ට ලස්සන වසීලිස්සා පොත කියවා විස්තර හොයාගන්නට පුළුවන. නැති රටට වී ගජමෑන් නැති දේ හොයයි. හොයනවා කිවුවාට හොයන්නේත් නැත. එය හොයන්නට ෆ්ලැමින්ගෝලා ටිකක් ඔයක් මැද්දේ දූපතකට යවා නැති දේ අතටම ගෙනත් දෙන තුරු බලා සිටී. වැඩේට ෆ්ලැමින්ගෝලාවම තෝරාගත්තේ ඒ අය නැති දේ ගෙනත් දෙන බව එක පයින් කියා සිටි නිසාය.

***


ගජමෑන් නාන්නට බාත්රූම් එකට ගියේය. දොර වසාගෙන සරම ගලවා කොක්කක එල්ලා කරාමය ඇරියේය. වතුර නැත. ගජමෑන්ගේ බාත්රූම් එකට වතුර එන්නේ පැත්තක ඇති ලිඳකිනි. බාත්රූම් එකේ වතුර නැත්තේ වහලය උඩ ඇති ටැංකිය හිඳී ඇති බැවිනි. නැවත සරම ඇඳගත් ගජමෑන් වතුර මෝටරය ක්‍රියාත්මක කර ටැංකියට වතුර පිරෙන තුරු සාලයේ හාන්සි පුටුවකට හේත්තු වී රූපවාහිනිය ක්‍රියාත්මක කළේය.

රූපවාහිනියේ ෆ්ලැමින්ගෝලා අටෝරාසියකි. ඉස්සරනම් හිටියේ කණ කොක්කුය. කිරි කොක්කු කියා හිතාගෙන ගජමෑන්ලා දූපතට යවා ඇත්තේ කණ කොක්කු බව දැනගන්නට ලැබුණේ උන් ඉගිල්ලෙන්නට පටන් ගත් විටය. මෙය දැනගත් වහාම ගජමෑන්ලා කළේ කණ කොක්කුන් ආපසු කැඳවා ෆ්ලැමින්ගෝලා දූපතට යැවීමයි. සමහර පරණ කොක්කුත් දැන් පිහාටු පේන්ට් කරගෙන ෆ්ලැමින්ගෝලාට එක් වී සිටිති. තවත් පරණ කොක්කු දැන් තටු අකුලාගෙන නැවතත් කිරි කොක්කු වෙන්න හදති.

***

නැති දේවල් පමණක් ඇති නැති රටේ
නැති ආර්ථිකය දැන් අර්බුදයක බව ගජමෑන්ට නිතර අසන්නට ලැබේ. එහෙමනම්, නැති රටේ නැති රජයට වියදම් කපන්නට සිදු වී ඇති බව නිසැකය. ෆ්ලැමින්ගෝලාගේ නිල නිවාස වල ජල බිල්පත් සීමා කර ඇති නිසා දැන් ඒ අයට පොදු ලිඳෙන් නාන්නට වී ඇති බව කවුදෝ කියා තිබුණේ විහිළුවට වෙන්නට පුළුවන. ෆ්ලැමින්ගෝලා පොදු තැන් වල නාන නෑමේ හැටියට කතාව විහිළුවක්ම වෙන්නත් බැරිය. කොහොම වුණත් කාලෙකින් තමා පොදු ලිඳෙන් නා නැති බව ගජමෑන්ට සිහිවිය.

***

ලිඳ කිට්ටුවටම යන විට ගජමෑන්ට අමුත්තක් දැනුණේය. ලිඳ වටේ ආරක්ෂක නිලධාරීන්ය. ෆ්ලැමින්ගෝ කෙනෙක් පොදු ලිඳට නාන්නට ඇවිත්ය. ගුවන් විදුලි නිවේදකයෙක් වතුර ඇද දෙයි. ෆ්ලැමින්ගෝ හොඳට නා ගනී.

"නැති රටේ නැති පණතේ නැති වගන්තිය අනුව ෆ්ලැමින්ගෝ කෙනෙක්ට අයිතියක් තියෙනව රටේ ඕනෑම තැනකින් නාන්න. තමුසේ ඒක දන්නෙ නැද්ද?"

"අනේ අප්පේ, කිරි කල සීයක් උණු කරලා ටැංකිය පුරෝගෙන කිරි පැනින් නාන්න පුළුවන්කම තියෙන රාම කුමාරයගෙ මල්ලි වගෙ උත්තමයෙක් නේද මේ ජරා වතුර නාන්නේ?" ගජමෑන්ට හිතුණේය.

"තමන්ට කරන්න බලය තියෙන දේවල් ගැන ඔය තරං හොඳට මතක තියෙන එක කොච්චර දෙයක්ද? ඒ වුනාට ඒ බලය ලැබුනෙ කාගෙන්ද ඒ මොකටද කියන එකත් ඔය වගේම මතක තිබුණනම් තවත් හොඳයි!"

කොහොම වුණත් ෆ්ලැමින්ගෝ ස්නානය කර අවසන් වන තුරු ගජමෑන්ට බලා ඉන්නට සිදු වී ඇත.

"ෆ්ලැමින්ගෝ කෙනෙක් පොදු ළිඳකින් නාන එක කොයි තරම් ආදර්ශයක්ද? පොඩි අවුලකට තියෙන්නේ නාන්නේ බාත්රූම් එක ඇතුලෙ දොර වහගෙන කියන එක ෆ්ලැමින්ගෝට අමතක වෙලා තියෙන එකයි."

***

මේ අතර, ආරක්ෂක නිලධාරීහු කාටදෝ තගක් දමති.

"මේක පොදු ළිඳක්! ඔය දෙන්නට මෙතන එකට ඇවිත් නාන්න බෑ. ළමයෙක්වත් හිටියනං නාන්න දෙන්න තිබුණා."

සෝමපාල සහ සිරියාවතී ආපසු හැරී යයි.

"තව මාස පහක් තියෙනව මෙයාට. එහෙනං අපිට ඊට පස්සේ ඇවිත් නා ගන්න බැරුවයැ..."

***

දඩාස් ගා ජීප් රථයක් ඇවිත් ලිඳ අසළ නතර විය.

"අම්මටසිරි තව ෆ්ලැමින්ගෝ කෙනෙක්!"

ගජමෑන්ට නිකම්ම කියාවුනේය. මේ දෙවෙනි ෆ්ලැමින්ගෝනම් ආරක්ෂක භටයින් හෝ රියදුරෙකු නැතිව තනියම වාහනය එලවාගෙන පැමිණ තිබේ.

"බලනවකො, ගජමෑන්! මේ හරක් රංචුවක් ගාල කඩාගෙන දුවන ගමන් එකෙක් මේ ජීප් එකටත් ඇන්නනේ..."

"මම මේ වාහනේ හෝදගන්න කියල ආව."

ෆ්ලැමින්ගෝ සරම ඔළුවෙන් ගැලෙව්වේ පොදු ලිඳක් කියා ගාණක්වත් නැතුවය.


***

ඒ එක්කම තවත් වාහනයක් බරාස් ගා බ්රේක් ගැසුවේය. තවත් ෆ්ලැමින්ගෝ කෙනෙකි.

"ඔබතුමත් නාගන්නද?" ගජමෑන් ඇසුවේ පොදු ලිඳට ෆ්ලැමින්ගෝ කෙනෙකු වුණත් එන්නේ මාළු බාන්නට විතරක්ම නොවන නිසාය.

"ඔව්, අයිසේ! වැඩි පරිස්සමට මම පොල් සම්බෝල හදන්නෙ වත්තෙ ගස් වල පොල් වලින් විතරයි. අද උදේට පානුයි සම්බෝලයි කෑවට පස්සෙයි දැනගත්තේ පොල් කඩපු මනුස්සයගෙ යාලුවෙක්ගෙ මල්ලිට ඒඩ්ස් හැදිල කියල කටකතාවක් තියෙන බව."

"ඉතිං මේ තකහනියක්ම ආවේ විසබීජ ටික යවාගන්න හොඳට නාගන්න කියලා!"

ෆ්ලැමින්ගෝ විනාඩියට කලිසම සහ යට ඇඳුම එක පාරම ගලවා අවසානය.

"නාගන්න නාගන්න ආයේ කාගෙන් බාධාවක්ද?"

***

"මට කියන්න මොකද්ද වුනේ කියලා...කපල් වලට ඉඩ දෙන්නෙ නෑ?"

"කොහෙද තියෙන්නෙ කපල් වලට පොදු ලිඳෙන් නාන්න බෑ කියලා...?"

ඒ පාර තවත් ෆ්ලැමින්ගෝ කෙනෙකි. මේ ෆ්ලැමින්ගෝ දූපතට යන්නට පෙරනම් නැති රටේ
නැති ආර්ථිකේ ගැන කතා නොකළ දවසක් නැත. දූපතට ගිය පසු ඒ පරණ කතා නැත. නමට මුලින් එකම ටයිටලයත්, අගට එකම වාසගමත් ඇති කුරුල්ලෝ ටයිටලය උපයා ගත්තේ දුක් මහන්සියෙන්ද නැත්නම් පිනටදැයි භේදයක් නැතිව, එකම විදිහට නාන ආකාරය ගැන නැති රටේ නැති ප්‍රස්ථා පිරුළක් ගජමෑන්ට සිහිවිය.

ෆ්ලැමින්ගෝලා පෝලිමේ ඇවිත් පොදු ලිඳෙන් නාන විදිහට ගජමෑන්ට අදනම් නාන්න වෙන පාටක් නැත.

***

"මෝටරේ ගහල ඇවිත් මෙතන නිදිද? අන්න ටැංකිය උතුරනව!"

ඒනම් ෆ්ලැමින්ගෝ කෙනෙකු නොවේ. ගජමෑන්ගේ හාමිනේය.

Saturday, March 5, 2016

මරණය දුකක් වන්නේ කාටද?


දුක විස්තර කෙරෙන "තත්‌ථ කතමං දුක්‌ඛං අරියසච්‌චං? ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛා, මරණම්‌පි දුක්‌ඛං, සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසාපි දුක්‌ඛා, අප්‌පියෙහි සම්‌පයොගො දුක්‌ඛො, පියෙහි විප්‌පයොගො දුක්‌ඛො, යං පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං, සංඛිත්‌තෙන පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා දුක්‌ඛා." යන සච්ච විභංග පාඨය අප බොහෝ දෙනෙකු බොහෝ වර අසා ඇත. මෙහි කියවෙන්නේ දුකට හේතු වන කරුණු ගැනය.

මේ කරුණු වලින් දෙකක් හැර අනෙත්වා සම්බන්ධව බෞද්ධයෙකු නොවන කෙනෙකුට වුණත් ලොකු අවුලක් තිබිය නොහැකිය. වයස්ගත වීම, අප්‍රියයන් හා එක්වීම වැනි කරුණු දුකට හේතුවන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයන්ය. එහෙත්, ටිකක් හිතා බැලුවොත් උපත හෝ මරණය දුකක් වන බව එවැනි ප්‍රත්‍යක්ෂ සත්‍යය නොවේ. කිසිවෙකු අපට කියා දී ඇති නිසා හෝ තර්කානුකුල හේතූන් මත විශ්වාස කරනු මිස උපත හෝ මරණය දුකක් බව අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද?

මේ ගැන කතා කරන්නට පෙර වියාචනයක් (රවිගෙන් උගත් වචනයකි.) කරන්නට සිදුවේ. මේ ලිපියෙන් කිසිවෙකුගේ ආගමික විශ්වාසයන්ට අපහාසයක් කිරීමේ අරමුණක් නැතත් එසේ සිදුවනවානම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනු හැර වෙනත් කළ හැකි දෙයක් නැත. මා හිතන දේවල් මා නොලිවුවොත් ඒවා ලියන්නට වෙන කෙනෙක් නැති විය හැකිය. 

මේ දෙකෙන් මරණය ගැන පළමුව කතා කළහොත්, මියයන අයෙකුගේ අවසාන අත්දැකීම කුමක්ද කියා හරියටම දැනගැනීමට අපට කිසිම ක්‍රමයක් නැත. මේ තත්ත්වයට කිට්ටුවම අපට ඇති පළමෝත නිරීක්ෂන වන්නේ කිසියම් හේතුවකින් මරණය කිට්ටුවටම ගොස් ආපසු පැමිණි අයගේ මරණාසන්න අත්දැකීම්ය. මේ වන විට එවැනි අත්දැකීම් ලැබූ දහස් ගණනක් විසින් වාර්තා කර ඇති අත්දැකීම් වල කිසියම් සමානත්වයක් තිබේ.

මාසයකට පමණ පෙර රසික විසින් ඔහු ලැබූ මෙවැනි අත්දැකීමක් විස්තර කර තිබුණේය. එය වෙන
ත් අය ලැබූ එවැනි අත්දැකීම් වලින් ලොකුවට වෙනස් නොවේ.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.


මෙවැනි අත්දැකීම් වාර්තා එකතුවක් පවත්වාගෙන යන http://www.nderf.org වෙබ් අඩවියේ මේ වන විට එවැනි සිදුවීම් පිලිබඳ වාර්තා 4100ක් සටහන්ව ඇත. ඒ අත්දැකීම් පැහැදිලි කිරීම පසෙකට තබා දැනට යම් සාරාංශගත කිරීමක් පමණක් කළහොත් බොහෝ දෙනා ලබා ඇති අත්දැකීම් මෙසේය.

-ඉතා දීප්තිමත් ආලෝකයක්
-හැම දිශාවම දර්ශනය වන පෙනීමක් (panoramic view)
-තමන්ගේ සිරුරින් ඉවත්ව සිටිනාවක් වැනි හැඟීමක්
-කාලය නොයන බව හෝ කාලය පිලිබඳ හැඟීමක් නොමැති තත්ත්වයක්
-වඩාත්ම වැදගත් කරුණ: වේදනාවක් නැති සහනදායී හැඟීමක් 


මරණාසන්න මොහොතේදී තමන්ට ඉවසන්නට අමාරු තරමේ වේදනාවක් දැනුනු බවක් බොහෝවිට වාර්තා වී නැති අතර වාර්තා වී ඇත්තේ එහි අනිත් පැත්තයි. කෙසේවුවද, තමන් ජීවත්ව සිටියදී බැඳී සිටි යමක් සිහිව නැවත හැරී ආ බවද බොහෝ විට කියැවී ඇති දෙයකි.

මරණාසන්න අත්දැකීම් වාර්තා කර ඇති අය ඒ තත්ත්වයට පත් වූවන්ගේ අහඹු නියැදියක් ලෙස අපට නිශ්චය කිරීමට නුපුළුවන. මරණයට පත්වන අයගේ අත්දැකීම්, ඇතැම් විට, මෙසේ මරණය ආසන්නයටම ගොස් ආපසු හැරී එන අයගේ අත්දැකීම් වලින් වෙනස් වන්නට පුළුවන.

මෙසේ ආපසු හැරී එන අය වෙනස් වන්නේ මේ ක්‍රියාදාමය අතරතුර යම් මොහොතක ඇතිවන ජීවත්වීමේ ආශාව නිසාද? එසේනම්, මියයන අය අවසන් මොහොතේ එවැනි ආශාවක් ඇති නොවූ, අර රසික විස්තර කළ සැන්ශේෂණල් ෆීලින් එකෙන්ම මරණයට පත්වූ අයද? එසේ නැත්නම්, තමන් ආශා කළ දේ සිහි කරමින්, ආපසු ඒමට නොහැකි වීම ගැන විශාල දුකකින් ඔවුන් මරණයට පත් වනවාද?

අප දැඩි සේ ආදරය කරන කෙනෙකු සදහටම වෙන්වීම අපට විශාල දුකකි. ඇතැම් විට මියයන පුද්ගලයෙකුටද තමන් ආශා කළ සියළු දෙයින් සදහටම වෙන්වීමට සිදුවන බව සිහිවීම මරණාසන්න මොහොතේ ඇතිවන විශාල දුකක් වන්නට පුළුවන. ඒ හැරුණු විට මරණය හා අදාළ විශාල ශාරීරික වේදනාවක් ඇති බවක්නම් පෙනෙන්නේට නැත. මරණාසන්න අත්දැකීම් වලින්ද පසුවට එන මේ අවසන්ම අවසන් මොහොත කවරක් වුවද, ඒ ගැන විශ්වාස කරනු මිස ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමේ හැකියාවක් අපට නැත.

මේ මරණය ගැනය. එසේනම්, ඉපදීම දුකක්දැයි අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකිද?


(Image: www.desktopwallpapers4.me)

Friday, March 4, 2016

ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...


පළමු කොටස

දෙවන කොටස  


පසුගිය ලිපි දෙකෙන් විස්තර කළ පරිදි රටවල් දෙකක් අතර නිදහස් වෙළඳාමකින් දෙරටටම වාසි සැලසේ. එහි පදනම තුලනාත්මක වාසියයි. කිසියම් රටකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධව පරිපූර්ණ වාසියක් නැත්තේ වුවද තුලනාත්මක වාසි අනිවාර්යයෙන්ම තිබේ.

අපි දැන් අපේ පළමු ආකෘතියට ආපසු යමු. එම ආකෘතිය අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල (අල වලට සාපේක්ෂව) මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

මේ අනුව, මාළු කිලෝඑක අල කිලෝ 0.333කට වැඩි හා කිලෝ 3කට අඩු ඕනෑම පදනමකින් රටවල් අතර සාර්ථක වෙළඳාමක් සිදුවිය හැකිය. කෙසේවුවද, විවිධ බාධාවන් නිසා මෙය මේ අයුරින්ම සිදු නොවීමට ඉඩ තිබේ. මේ ඇතැම් බාධා ස්වභාවික බාධාවන්ය. තවත් ඒවා කෘතීම බාධාවන්ය.

මේ අතරින් පළමුවැන්න ප්‍රවාහන වියදමයි. මෙය පැහැදිලි කිරීමට පළමුව මම මුදල් ඒකක දෙකක්ද හඳුන්වා දෙමි. අල්ලංකාවේ මුදල් අලර් වන අතර ගලවංකාවේ මුදල් ගලර් නම් වේ. අල්ලංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම අලර් එකකි. ගලවංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම ගලර් එකකි. නාමික විනිමය අනුපාතිකය අලර් එකකට ගලර් එකකි.

එක් එක් රටේ මිල ගණන් මෙසේය.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.

ප්‍රවාහන වියදම් නොමැතිනම් අල්ලංකාවෙන් ආනයනය කරන මාළු වල මිල ගලවංකාවේදී ගලර් 0.333ක් වනු ඇත. එමෙන්ම, ගලවංකාවෙන් ආනයනය කරන අල වල මිල අල්ලංකාවේදී අලර් 0.333ක් වනු ඇත.

රටකින් තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනයේදී වියදමක් දැරීමට සිදුවේ. අපනයනය කරන භාණ්ඩයක් වෙනත් රටක විකුණන විට මේ ප්‍රවාහන වියදමද ආවරණය කර ගැනීමට සිදුවේ. ඉහත උදාහරණදී අල හෝ මාළු කිලෝවක් අනිත් රටට ප්‍රවාහනය කිරීමට යන වියදම අලර් (හෝ ගලර්) 0.667කට වඩා වැඩිනම් දෙරට අතර වෙළඳාමක් සිදු නොවේ. ප්‍රවාහන වියදම් ඊට වඩා අඩුනම් වෙළඳාම සිදුවේ.

එමෙන්ම, මේ භාණ්ඩ කල් තබා ගත හැකි, නරක් නොවන භාණ්ඩද විය යුතුය. ප්‍රවාහනය කිරීමට ගතවන කාලය තුළ මාළු නරක් වෙනවානම් එවැනි භාණ්ඩයක් අපනයනය කිරීම අපහසු කරුණකි. යම් හෙයකින් අපනයනය කරන්නේනම් ප්‍රවාහනය කරන කාලය තුළ මාළු නරක් වීමේ අවදානම නිසා වන පාඩුවද විකිණුම් මිලට එකතු කිරීමට හැකි වන තරමේ මිල වෙනසක් පැවතිය යුතුය.

මෙවැනි ස්වභාවික බාධා නිසා යම් රටක නිපදවන සෑම භාණ්ඩයක්ම අපයනය කිරීමක් සිදු නොවේ.  කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව සමඟ ප්‍රවාහනයට ගතවන කාලය අඩුවීම හා ප්‍රවාහන වියදම් අඩුවීමත්, කල්තබා ගතහැකි ක්‍රම සහ ඇසුරුම් ක්‍රම දියුණු වීමත් සිදුවන විට මේ ස්වභාවික බාධා වල බලපෑම අඩුවේ.

මෙවැනි ස්වභාවික බාධක වලට අමතරව ජාත්‍යන්තර වෙළඳාමට කෘතීම බාධකද තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත බාධකය ආනයන හා අපනයන බදුය.

ආනයන හා අපනයන බදු පැනවීම මඟින් යම් රටක රජයකට ආදායමක් ලැබිය හැකිය. කෙසේවුවද, එමඟින් සිදුවන්නේ සමස්තයක් ලෙස වැඩි දෙනෙකුට යහපතක් සැලසෙන ගනුදෙනුවක් කෘතීම ලෙස වලක්වනු ලැබීමයි. උදාහරණයක් ලෙස පහත තත්ත්වය සලකමු.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.
නාමික විනිමය අනුපාතිකය: අලර් එකකට ගලර් එකකි.
ප්‍රවාහන, ඇසුරුම් හා කල්තබාගැනීම සඳහා වන වියදම් සහ ව්‍යවසායකයාගේ ශ්‍රමයේ වටිනාකම: මාළු කිලෝඑකක් සඳහා අලර් 0.167කි. අල කිලෝඑකක් සඳහා ගලර් 0.067කි.

දැන් අල්ලංකාවේ මාළු නිෂ්පාදකයෙකුට ගලවංකාවට මාළු ප්‍රවාහනය කර එහි පාරිභෝගිකයෙකුට ගලර් 0.500 කට මාළු විකිණිය හැකිය. ඉන්පසු, ඒ මුදලින් අල කිලෝ 1.5ක් මිල දී ගත හැකිය. ඒ අල අල්ලංකාවට ප්‍රවාහනය කර කිලෝව අලර් 0.400 බැගින් විකිණිය හැකිය.

මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතන අල්ලංකාවේ රජයට අල සඳහා ආනයන බද්දක් පැනවිය හැකිය. මෙය අල කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවේ අල කිලෝවක් විකිණෙන්නේ අලර් 0.600කටය. ගලවංකාවේ නිෂ්පාදකයින්ට කිසිදු පාඩුවක් වී නැත. එහෙත්, අල්ලංකාවේ රජය ආදායමක් ලබයි. කලින් දේශීය අල කිලෝ එක අලර් 1.000කට මිලදී ගත් ලංකාවේ පාරිභෝගිකයින්ටද ආනයනික අල කිලෝව අලර් 0.600කට මිල දී ගැනීමට හැකි වීම වාසියකි. කෙසේවුවද, මෙහිදී අල්ලංකාවේ රජය විසින් නැති කර ඇත්තේ තම රටේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකිව තිබුණු වාසියකින් කොටසකි. එසේ එකතු කර ගන්නා බදුමුදල් නැවත රටේ යහපත වෙනුවෙන්ම යොදවනවානම් මේ බද්දට අල්ලංකාවේ ජනතාව විරුද්ධ නොවන්නට පුළුවන.

එමෙන්ම අල්ලංකාවේ රජයට මාළු සඳහා අපනයන බද්දක් පැනවීමටද පුළුවන. මෙය මාළු කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවෙන් අපනයනය කරන මාළු ගලවංකාවේ විකිණෙන්නේ ගලර් 0.700 කටය. මේ මිල ගලවංකාවේ දේශීය මාළු මිල වූ ගලර් 1.000ට වඩා තවදුරටත් අඩු නිසා මේ මිලට එහි මාළු විකිණීම ප්‍රශ්නයක් නොවේ. දැන් අල්ලංකාවේ රජයට අපනයන බදු වලින් ආදායමක් ලැබෙන නමුත් අල්ලංකාවේ කිසිවෙකුට එයින් අවාසියක් සිදුවී නැත. අවාසිය ඇත්තේ ගලවංකාවේ පාරිභෝගිකයින්ටය. වැඩේ නරක නැත!

ප්‍රශ්නය තියෙන්නේ  අල්ලංකාවේ රජය මෙසේ බදු පනවන විට ගලවංකාවේ රජයද එකට එක කිරීමයි. අන්තිමේදී දෙරටේම මාළු හා අල කිලෝවක මිල අලර් (හෝ ගලර්) 1.000ක් වන තුරු, එනම් තවදුරටත් බදු ඉහළ නැංවීමෙන් ලාභයක් නැති වන තුරු, රජයයන් දෙකම බදු ඉහළ නංවනු ඇත. අන්තිමට දෙරටින් එක් රටකටවත් විශේෂ වාසියක් නැත.

ඉහත ආකාරයෙන් දෙරටක් 'තරඟයට' ආනයන අපනයන බාධක දැමීමෙන් දෙරටේම පාරිභෝගිකයින් ගෙවන මිල අන්තිමේදී වැඩි වේ. මේ වැඩි මිලේ වාසිය යන්නේ ඒ රටවල රජයන්ටය. තමන්ගේ රටේ වැසියන්ට හැකි තරම් අඩුවෙන් අවාසියක් වන පරිදි ආනයන අපනයන බදු පැනවීමට දෙරටම උත්සාහ කළත් අවසානයේ සිදුවන්නේ එක් රටකටවත් එවැනි විශේෂ වාසියක් නැති වී අකාර්යක්ෂමතාවයන් වැඩිවීම පමණි. එහෙත්, මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය වෙනස් කිරීම පහසු නැත. එක් රටක් ඒක පාර්ශ්වීය ලෙස බදු ඉවත් කළ විට ඒ වාසිය අනිත් රටට ලබා ගැනීමට පුළුවන. එය සිදු නොවන පරිදි, දෙරටම එක් වර මෙවැනි බාධක ඉවත් කිරීම ප්‍රායෝගිකව සිදු වන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟිනි.



(Image: d4nations.com)

Wednesday, March 2, 2016

මරණය දුකකි!


පසුගිය දෙසතිය තුළ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මරණ ගැන අසන්නට ලැබුණේය. ජනප්‍රිය ගායකයෙකු වූ ඇන්ටන් ජෝන්ස් වසර 79ක් ආයු වළඳා පසුගිය පෙබරවාරි මස 21 වන දින මිය ගියේය. දියවැඩියාව ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිමින් සිට මිය ගිය ඔහු ගැන සඳුන් සෙවණේ චන්දන හා මාතලන් විසින් සටහන් තබා තිබුණේය. ලංකාවේ සිදුවන මරණ වලින් 8%කට පමණ හේතු වන්නේ දියවැඩියාවයි.

පෙබරවාරි 27 වන දින තවත් මරණ දෙකක් ගැන අසන්නට ලැබුණේය.  පේරාදෙණිය සරසවියේ දේශපාලන විද්‍යා අංශාධිපති සහ මහාචාර්යවරයෙකු ලෙසද, කැබිනට් ඇමතිවරයෙකු ලෙසද කලක් සේවය කළ ආචාර්ය විශ්වා වර්ණපාලගේ මරණය එයින් පළමුවැන්නයි. ඔහුද වසර 79ක් ආයු වළඳා මිය ගොස් තිබේ. මරණයට හේතුව මා දන්නේ නැත. එංගලන්තයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන විශ්වා වර්ණපාල ගැන රසික විසින් සටහනක් තබා තිබුණේය. [නොදන්නා කෙනෙක් ඉන්නවානම් මහාචාර්ය (Professor) යනු තනතුරු නාමයකි. ආචාර්ය (Doctor) යනු අධ්‍යාපන සුදුසුකමකි. සරසවියක සේවය කරන ආචාර්ය උපාධිධාරියෙකු හෝ ඇතැම් විට ඊට වඩා අඩු අධ්‍යාපන සුදුසුකමක් ඇත්තෙකු මහාචාර්යවරයෙකු විය හැකිය.]

පෙබරවාරි 27 වන දිනම සිදුවූ අනෙක් මරණය ආචාර්ය අජන්තා රණසිංහගේ මරණයයි. වසර 76ක් ආයු වළඳා ඔහු මියයන්නේ නිවසේ සිදුවූ වැටීමක් හේතුවෙනි. මෙවැනි වැටීම් නිසාද ලංකාවේ සිදුවන මරණ වලින් 1.5%ක් පමණ සිදුවේ. බොහෝ කලාකරුවන් මියයාමට පෙර ජීවත්ව සිටියදී ඔවුන් ගැන කතාකරන චන්දන විසින් අජන්තා රණසිංහ ගැන මරණයට පෙර හා පසු සටහන් දෙකක්ම තබා තිබුණේය. රවී විසින් ඔහුගේ නිදහස් සිතිවිලි වියුණුවේ තවත් සටහනක් තබා තිබුණේය. කලාකරුවෙකු ලෙස අජන්තා රණසිංහගේ ප්‍රතිභාව ගැන මා හොඳින් දන්නා නමුත් ඔහුගේ ආචාර්ය උපාධිය ගැනනම් වැඩි විස්තරයක් දන්නේ නැත.

මොවුන් තිදෙනාම ඉපදුනු 1930 දශකයේදී ලංකාවේ පිරිමියෙකුගේ අපේක්ෂිත ආයුකාලය පිලිබඳ නිවැරදි සංඛ්‍යාලේඛණ නැතත් පසුකාලීන ප්‍රවණතා අනුව එය පනස් ගණනකට නොවැඩි විය යුතු බව ඇස්තමේන්තු කිරීමට පුළුවන. දැනටද එය වසර 71.6කි. මේ පදනම මත, මේ තිදෙනාම ඔවුන්ගේ වයස් කාණ්ඩයේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කලක් ජීවත් වී තිබේ.

ඊයේ මට තවත් දුක්බර පුවතක් අසන්නට ලැබුණේය. ඒ, ඉහත පුද්ගලයින් මෙන් ජනප්‍රිය චරිතයක් නොවූවත්, සරසවියේ මට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිටි මිතුරෙකුගේ අකල් මරණයයි. මා මෙය අකල් මරණයක්යැයි කියන්නේ හැටේ දශකයේ උපන් ලාංකිකයෙකු මේ වන විට තමන් උපදින විට තිබූ අපේක්ෂිත ආයුකාලය කරා ලඟා වී නොමැති බැවිනි. ඔහු මියගොස් ඇත්තේ පිළිකාවකිනි. ලංකාවේ සිදුවන මරණ වලින් 10.65%ක් පමණ ප්‍රමාණයකට හේතු වන්නේ පිළිකාවකි. මෙය දෙවැනි වන්නේ හෘදයාබාධ නිසා ඇතිවන මරණ (25.74%) වලට පමණි. මෙයට මුඛ පිළිකා (1.51%), පෙනහළු පිළිකා (1.11%), පියයුරු පිළිකා (1.07%), ගලනාල පිළිකා (1.03%), ආමාශ පිළිකා (1.0%), අක්මා පිළිකා (0.61%), ගැබ්ගෙල පිළිකා (0.55%), ගුද මාර්ගයේ පිළිකා (0.45%), ගර්භාෂ පිළිකා (0.38%), මුත්රාශ පිළිකා (0.17%) ආදී ශරීරයේ විවිධ ස්ථාන වල ඇතිවන පිළිකා ඇතුළත්ය.

තමන් දැන සිටින කෙනෙකු මියගිය විට අපට යම් කම්පනයක් ඇතිවේ. මරණය අකල් මරණයක් වූ විට මෙන්ම තමන්ට පාලනය කළ නොහැකි හේතුවකින් සිදුවූවක් වූ විට මේ කම්පනය වඩා වැඩිය. එසේ මරණයට පත්වූ පුද්ගලයා තමන්ගේ වයස් කාණ්ඩයට සමීප පුද්ගලයෙකු වූ විට, ඇතැම් විට 'අත්තානං උපමං කත්වා' පදනමින්, මේ කම්පනය වඩාත් වැඩියෙන් දැනේ. මෙයට හේතුව අපට ජීවත් වීමට ඇති ආශාව විය යුතුය.


මරණය දුකකි. එහෙත්, මරණය දුකක් වන්නේ කාටද?

(Image: www.pinterest.com)

Tuesday, March 1, 2016

ඉතිහාසයේ ටක්කෙටම හරිගිය අනාවැකි


ඒ මීට අවුරුදු 512කට පෙර හැන්දෑවකි. ස්වදේශීය අරවක් ගෝත්‍රිකයින් විසින් ක්ෂේමයිකා ලෙස එවකට හැඳින්වූ ජැමෙයිකාවේ මුහුදුබඩ පෙදෙසක යුරෝපීයයන් කණ්ඩායමක් සහ ස්වදේශිකයින් අතර රැස්වීමකි.

"තමුසෙලට මම කිවුවනේ, පැහැදිලි කරලා. කෝ ඇහුවද?"

ක්‍රිස්ටෝපර් කතා කරයි. පරිවර්තකයෙකු එය ස්වදේශිකයින්ට විස්තර කරයි.

"අපේ දෙවියන් වහන්සේ හොඳටම කෝප වෙලයි ඉන්නේ. මට කිවුවා තව ටිකකින් තමුසෙලගෙ 'කාරායා'ව පුච්චල නැති කරල දානව කියලා."

ඇතැම් ස්වදේශිකයින්ගේ මුහුණෙහි බියක සලකුණු ඇඳී ඇත. කාරායාව පුච්චල නැති කරල දාන්න? මනුස්සයෙකුට පුළුවන්ද එච්චර දෙයක් කරන්න. ඔහු අහස දෙස බලයි. 'නී' තාමත් අහසේ සිටී. රෑ බෝ වී නී ගුහාවට රිංගූ පසු කාරායා ගුහාවෙන් එළියට එනු ඇත.

රැස්ව සිටින ස්වදේශිකයින් කණ්ඩායමේ එක් අයෙකු වන මකාකා වටපිට බලයි. ඔහු මෙන් බය වී සිටින්නේ ඔහුගේ සගයන් කිහිප දෙනෙකු පමණි. අනිත් අයගේ මුහුණේ ඇත්තේ සම්ච්චලයකි.

"මොකද කියන්නෙ? ගිහින් අපිට කන්න බොන්න මොනව හරි ටිකක් අරං එනවද? නැත්තං..."

"මේ වැඩේ දැන් අපි මාස හයක් තිස්සෙම කළානේ?" මකාකා සිතයි.

"මොකක්ද අපිට ලැබුන ප්‍රයෝජනේ? දිගටම වුනේ අපිව රවට්ටන එකයි අපේ තියෙන දේවල් හොරකම් කරන එකයි. දැන්  'කාරායා'ව පුච්චල නැති කරල දාන්න කතා කරනවා. මේ ගොල්ලන්ගේ ඔය කියන දෙයියෝ ඔය තරං බලවත්ද? ඇරත් අද කාරායා හොඳටම බලවත් දවස. ඒක කොහොමවත් වෙන්න බෑ."

"නෑ. ආයෙනම් කෑම දෙන්නේ නෑ. ඔහේ මැරිල ගියාවෙ බඩගින්නෙ..."

මකාකාගේ සගයින් කවුරුත් හිතන්නේ මකාකා හිතන විදිහටමය.

නී ගුහාවට රිංගුවේය. කළුවර වැටීගෙන එයි. කාරායා ගුහාවෙන් එළියට ඇදේ.

"මොනව මේක වෙන්න පුලුවන්ද?"

කාරායා වෙනදා මෙන් කහ පාටින් බැබළෙන්නේ නැත. තනිකරම ලේ රතු පාටය. ගිණිගෙන දැවෙනවා වගේය. දැන්නම් මකාකාගේ අනිකුත් සගයින්ගේ මුහුණුවල ඇත්තේත් බියකි.

කාරායා හිමිහිට උඩට මතු විය. එහෙත්, ඇගේ මුහුණේ ඇත්තේ වෙනදා ඇති ප්‍රසන්න පෙනුම නොවේ. රතු වූ වේදනාබර මුහුණකි.

"දැක්ක නේද මොකද වෙලා තියෙන්නේ කියල?" ක්‍රිස්ටෝපර්ගේ මුහුණේ පෙනෙන්නට ඇත්තේ ලොකු යුද්ධයක් දිනුවාක් වැනි හැඟීමකි.

"මොකද කියන්නෙ දැන්වත් ගිහිං කෑම අරං එනවද?"

"මේ මනුස්සය ඇත්තනෙ කියල තියෙන්නේ.." මකාකා සිතයි. එහෙත්, කවුරුත් කෑම ගෙනෙන්නට යන පාටක් නැත. සියල්ලෝම විමතියෙන් කාරායා දෙස බලා සිටිති. දැන් ටිකෙන් ටික කාරායාගේ පැත්තක් අඩුවෙන්නට පටන්ගෙන තිබේ. හරියට කවුරු හරි ගිල දමනවා වගේය.

"යමු යමු ගිහින් කෑම මොනව හරි අරගෙන එමු."

මකාකා ගෙදර දුවන්නට සැරසේ. තවත් අය ඔහු පසුපසය.

"ආ ගෙනාවද? කොහෙද ඕක කරන්න දෙවියෝ කෝප වෙනකම්ම හිටියනේ..."

මකාකා කෑම මල්ලක්ම ගෙනත් ගොඩ ගැහුවත් ක්රිස්ටෝපර්ගේ මුහුණේ තාමත් හිනාවක් නැත. තවත් අයත් කෑම ගෙනත් ගොඩගසති.

මකාකා අහස දෙස බැළුවේය. දැන් පෙනෙන්නට ඇත්තේ කාරායාගේ කුඩා තීරුවක් පමණි. මොහොතකින් එයද නොපෙනී ගියේය.

"අනේ පිං අත්වෙයි. කරුණාකරලා මේ දේව කෝපෙන් අපිව ගලවල දෙන්න!"

"අපි බලමු එහෙනං දෙවියන්ට යාඥා කරලා.."

කාමරයට ගොස් දොර වසාගත් ක්‍රිස්ටෝපර් දෙවියන්ට යාඥා කර ප්‍රශ්නය විසඳන තුරු මකාකා ඇතුළු පිරිස අඳුරේ බලා සිටිති. කාමරයට ගිය ක්‍රිස්ටෝපර්  රෙගියෝමොන්ටනස් නම් වූ ආරුඪ නමකින් ප්‍රකාශ කර ඇති ජොහැන්නස් වොන් කොනින්බර්ග්ගේ ලිත නැවතත් අතට ගත්තේය. මීටත් වඩා බලගතු දෙවි කෙනෙක් සිටිය හැකිද? යාන්තම් වැඩේ ගොඩය.

ලිත අනුව මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය විනාඩි 48ක් පවතිනු ඇත. ක්‍රිස්ටෝපර් කොලොම්බස් වැලි ඔරලෝසුව විනාඩි 48ක ප්‍රමාණයට පුරවා අනිත් පස හැරවීය. දැන් ඇත්තේ බලා සිටින්නටය.

මේ ක්‍රිස්ටෝපර් විසින් නව ලෝකයට සිදුකළ සිවුවන මුහුදු චාරිකාවයි. ඔහුගේ මුහුදු යාත්‍රාවේ දැවමය කොටස් පණුවන් වර්ගයක් බෝවීමෙන් සිදුරුව යාත්‍රා කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති නිසා දැන් මාස හයක් තිස්සේ ඔහු මේ ජැමෙයිකා වෙරළේ සිය නාවිකයින් සමඟ සිර වී සිටී. පසුගිය කාලය මුළුල්ලේම ස්වදේශිකයෝ ඔවුන්ට බොහෝ උපකාර කළහ. එහෙත්, ඔහුගේම කණ්ඩායමේ පිරිස් ස්වදේශිකයින්ව රවටන්නටත්, ඔවුන්ගේ බඩු සොරා ගැනීමට හා පැහැර ගැනීමටත් පටන් ගැනීම නිසා දැන් මාස හයකට පසු ස්වදේශිකයින්ගෙන් ලැබුණු උදවු උපකාර නැවතී තිබේ. අන්තිමේදී, ක්‍රිස්ටෝපර්ට තම කණ්ඩායම පාලනය කර ගැනීම පවා අමාරු වන තත්ත්වයක් ඇති විය. ඔවුන් සූදානම් වූයේ ආයුධ රැගෙන ගොස් ස්වදේශිකයින්ගේ ආහාර පැහැර ගැනීමටය.

ආධාරක නැවක් පැමිණෙන තුරු මාස හයක්වත් බලා ඉන්නට සිදුවනු ඇත. ඒ නිසා දැන්මම ස්වදේශිකයින් සමඟ ගැටුම් ඇති කර ගැනීම නුවණට හුරු කරුණක් නොවේ. ක්‍රිස්ටෝපර් හැමවිටම පරිහරණය කරන ලිත අනුව පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව දැන සිටි ඔහු සිය කණ්ඩායමේ නාවිකයින්ගෙන් ඉල්ලා සිටියේ තමන් දින තුනකින් මෙම ප්‍රශ්නය විසඳන තුරු ඉවසා සිටින ලෙසය. ලිතේ ඇත්තේ යුරෝපයට මෙම චන්ද්‍රග්‍රහණය පෙනෙන වෙලාව නිසා, තමන් සිටින තැනට මෙය පෙනෙන වෙලාව පිළිබඳව තමන් විසින් සිදු කළ ගණනය කිරීම් ගැන ක්‍රිස්ටෝපර්ට සැකයක් නොතිබුණා නොවේ. කෙසේවුවද, දැන්නම් බයවෙන්නට දෙයක් නැත.

අන්තිම වැලි ටික වැටෙන්නට දැන් ඔන්න මෙන්නය. තව ටික වෙලාවකින් සඳ නැවත මතු වනු ඇත. ක්‍රිස්ටෝපර් කාමරයෙන් එළියට ආවේය.

"යාඥාව ඉවරයි වගේ"

මකාකා සැනසුම් සුසුමක් හෙලයි.

"දෙවියන් වහන්සේ සමාව දෙන්න සූදානම්. මොකද කියන්නේ දිගටම අපිට කෑම බීම ගෙනත් දෙනවද?"

නොවරදවා එසේ කරන බව ස්වදේශික අරවක් ගෝත්‍රිකයෝ එකාවන්ව සපථ කරති.

"ඔන්න එහෙනම් කාරායාට ආපහු පණ ලැබෙයි!"

ක්‍රිස්ටෝපර් අහසට අත් දිගුකර කිසියම් යාඥාවක් කරයි. ස්වදේශිකයින්ගේ ඇස් අහසට යොමු වූ ගමන්ය.

විනාඩියක්වත් ගතවුණේ නැත. සඳ නැවතත් හිමිහිට මතුවන්නට පටන්ගෙන ඇත. ස්වදේශික අරවක් ගෝත්‍රිකයෝ ප්‍රීති ඝෝෂා නඟති. ටික වෙලාවක් යද්දී සම්පුර්ණයෙන් මතු වුනු පූර්ණ චන්ද්‍රයා අහසේ බබලයි. ස්වදේශිකයෝ සතුටින් විසිර යති. තවත් මාස හයකට පසු පැමිණෙන නැවකින් නැවත යුරෝපයට යනතුරු ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ කණ්ඩායමට ආහාර හිඟයක් නොවේ. මේ කොලොම්බස්ගේ අවසන් චාරිකාවයි.

කෙසේවුවද, යුරෝපීයයෝ ජැමෙයිකාවේ සහ යාබද පෙදෙස් වල සිය බලය පතුරුවති. අරවක් ගෝත්‍රිකයෝ ඔවුන් වෙනුවෙන් හරි හැටි කෑමක්වත් නොලබමින් වැඩ කරති. යුරෝපීයයන් ගෙන එන වසංගත රෝග වලට ඔවුහු ගොදුරු වෙති. යුරෝපීයයන්ගේ බලගතු දෙවියන් යුරෝපීයයන්ව මේ වසංගත වලින් බේරාගත්තත් ස්වදේශිකයින්ගේ දෙවියන්ට එවැනි බලයක් නැති නිසා ඉතා කෙටි කලකින් අරවක් ගෝත්‍රිකයෝ එකා පසු පස එකා වැටී මිය යති. ලක්ෂ හෝ මිලියන ගණනක ජනගහණයක් සිටි අරවක් ගෝත්‍රය දශක කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම වඳ වී යයි.

ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට උදවු කළ රෙගියෝමොන්ටනස්ගේ ලිත වැනි ලිත් යුරෝපයේ නොකඩවා වාර්ෂිකව පළවේ. මේ වන විට නාසා ආයතනයන් නිකුත් කරන  දත්ත ඇසුරින් සකස්වන, දැනට එංගලන්තයේ මුද්‍රණය කෙරෙන, වසර දෙසියයක පමණ ඉතිහාසයක් ඇති රපායෙල්ගේ ලිත වැනි ග්‍රහ වස්තූන්ගේ චලන හා අදාළ දත්ත වගු සහිත වාර්ෂික ප්‍රකාශන වලින් එසේ උපුටාගත් බවවත් සඳහන් නොකරමින් උපුටාගන්නා දත්ත වගු සියවස් එකහමාරකට වැඩි කාලයක් තිස්සේ නොකඩවා ඈත පෙරදිග දිවයිනක දේශීය භාෂාවකට පරිවර්තනය වී පංචාංග ලිත් නමින් පළවේ. අවුරුද්දකට වරක් මේ ප්‍රකාශනයක් මිලදී ගන්නා වෘත්තිකයෝ පිරිසක්, ඒවා ඇසුරෙන් මේ දිවයිනේ වැසියන්ට අනාගතයේ සිදු විය හැකි දේ ගැන ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට කියන්නට බැරි වූ බොහෝ දේ කියා දෙති. 

(Image:http://aerospace.wcc.hawaii.edu/shadows.html)

Monday, February 29, 2016

අගවිනිසුරුතුමාට සුබ උපන් දිනයක්!


ලංකාවේ පාලන ව්‍යුහය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ තුනකින් සමන්විතය. ජනාධිපති, අගමැති හා අගවිනිසුරු පිළිවෙලින් මේ අංශ තුනේ ප්‍රධානියෝ වෙති. මේ තනතුරු තුනෙන් දීර්ඝතම ඉතිහාසයක් ඇති තනතුර අගවිනිසුරු ධුරයයි.

ලංකාවේ අගවිනිසුරු ධුරය ඇති කෙරුණේ, උඩරට ගිවිසුම අත්සන් කිරීමටද පෙර, ලංකාවේ පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් රටේ මුහුදුබඩ පළාත් පාලනය කළ කාලයේ, 1801 අප්‍රේල් මස 18 දින නිකුත් කෙරුණු නීති ප්‍රඥප්තිය මඟිනි. මේ අනුව, එඩ්මන්ඩ් කැරින්ටන් (Edmund Carrington) ලංකාවේ පළමු
අගවිනිසුරු ලෙස පත් විය.

මේ වන විට ලංකාවේ අගවිනිසුරු ධුරය හොබවන කනකසබාපති ශ්‍රීපවන් (கனகசபாபதி சிறீபவன்) ලංකාවේ 44 වන අගවිනිසුරු වරයාය. ඔහුට පෙර මේ ධුරය හෙබවූයේ ශිරාණි බණ්ඩාරනායකයි. ඇය 2011 මැයි 18 වන දින ලංකාවේ 43 වන අගවිනිසුරු ලෙස පත් වී 2015 ජනවාරි 28 වන දින ඉල්ලා අස්වනතුරු එම ධුරයේ කටයුතු කළාය. මේ මා අද දන්නා නිවැරදි ඉතිහාසයයි.

අතීතය ලෙස අප දන්නේ මේ මොහොතට පෙර සිදුවූ බව අප දැන් සිතා සිටින දෙයයි. එය කලකට පෙර අප අත්විඳි වර්තමානයම නොවිය හැකිය. එමෙන්ම, අනාගතයේ දිනෙක අතීතය ලෙස දකින මේ මොහොත අප දැන් අත්විඳින මේ මොහොතම නොවිය හැකිය.

අද මා දන්නා ඉතිහාසය අනුව, මොහාන් පීරිස්නම් වූ පුද්ගලයෙකු කිසිදා ලංකාවේ අගවිනිසුරුව සිට නැත. එහෙත්, යම් හෙයකින් දෙවසරකට පෙර මා මේ සටහන ලිවුවානම් එය වෙනස් අයුරකින් ලියවෙනු ඇත. මේ අයුරින්, අද අපි දන්නා පරිදි ඉතිහාසයේ කවදාවත් සිදුනොවුණු දේ එසේ සිදුවූ බව අපි යම් කාල වල විශ්වාස කළෙමු. උදාහරණයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර හතකට අහිමි වූ බව, සරත් ෆොන්සේකා කිසියම් වරදකට සිර දඬුවමක් විඳි බව මෙන්ම වික්‍රමබාහු කරුණාරත්නගේ රැකියාව අහිමි කරනු ලැබූ බව වැනි සිදු නොවූ දේ සිදුවූ බව අපි කලක් විශ්වාස කළෙමු. 2013 හා 2014 වසර වල ලංකාවේ ආර්ථික වර්ධනය පිළිවෙලින් සියයට 7.2 ක් හා 7.4 ක් බව අපි කලකට පෙර 'දැන සිටියෙමු'. මේ අයුරින්ම මේ මොහොතේ සිදුවන බව අපට දැනෙන දේ වෙනත් අයුරකින් සිදුවී ඇති බව අපට අනාගතයේදී 'දැන ගන්නට' ලැබිය හැකි වීම සිදු විය හැක්කකි. මේ මොහොත අනන්‍ය වන්නේ ඒ නිසාය.

මෙය කියවන සියල්ලෝම පාහේ මේ වන විට සිය 16 වන උපන් දිනය පසුකර ඇත්තෝයැයි මම සිතමි. බොහෝ දෙනෙකුට තමන්ගේ 16 වන උපන් දිනයට පෙර වාහනයක් එළවීමට, විවාහ වීමට, මත්පැන් මිලදී ගැනීමට හෝ ඡන්දය දීමට නීතියෙන් අවසර නොලැබේ.

තමන්ගේ 16 වන උපන්දිනය රටේ අගවිනිසුරු ලෙස සැමරීමට හැකි වීමේ දුර්ලභ වාසනාව ලබා ඇත්තේ ලෝකයෙන්ම එක් අයෙක් පමණක් විය යුතු බව මගේ විශ්වාසයයි. වත්මන් අගවිනිසුරු කනකසබාපති ශ්‍රීපවන් මේ දුර්ලභ වාසනාව ලබා ඇති පුද්ගලයාය.

පෙබරවාරි 29 දිනක උපදින අයෙකු සිය වයස 18, 21 වැනි කඩඉම් අවස්ථාවක් සම්පූර්ණ කරන්නේ කවදාද යන්න ගැටළු සහගත කරුණකි. ඇතැම් රටවල මෙය පෙබරවාරි 28 ලෙසත් තවත් රටවල මාර්තු 1 ලෙසත් නිර්වචනය කර තිබේ. ලංකාවේ මෙවැනි නිර්වචනය කිරීමක් සිදුවී ඇති බවක් මා දන්නේ නැත. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය අනුව අගවිනිසුරු වරයෙකු විශ්‍රාම ගත යුත්තේ වයස 65 සම්පූර්ණ වූ විටය. මේ අනුව, අද 64 වන විය සපුරන ශ්‍රීපවන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය අවසන් වියයුත්තේ ලබන වසරේ පෙබරවාරි 28 දිනද මාර්තු 1 වැනි දිනද යන්න මා දන්නේ නැත. කෙසේවුවද, නීතියේ ඇති වෙනත් අවුල් සමඟ සැසඳූ විට මෙය එතරම් බරපතල කරුණක් නොවේ.

අගවිනිසුරුතුමාට සුබ උපන් දිනයක්!

Saturday, February 27, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2


පළමු කොටස

පෙර ලිපියෙන් මම ජාත්‍යන්තර වෙළඳාමට අදාළ 'පරිපූර්ණ වාසිය' නම් වූ සංකල්පය හඳුන්වා දුන්නෙමි. ඒ සඳහා මා උදාහරණයට ගත්තේ ප්‍රමාණයෙන් සමාන ආර්ථිකයන් ඇති රටවල් දෙකකි. මගේ උදාහරණයේදී මා රටවල් දෙකේ ජනගහණය සමාන ලෙස සැලකුවද, එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැත. උදාහරණයක් ලෙස ගලවංකාවේ ජනගහණය 100ක් නොවී 1000ක් වීනම් සහ එක් පුද්ගලයෙකුගේ නිෂ්පාදන හැකියාව අල ග්‍රෑම් 300ක් හා මාළු ග්රෑම් 100ක් වූයේනම් ලැබෙන්නේද එකම ප්‍රතිඵලයයි. මෙහිදී අදාළ වන්නේ ආර්ථිකයේ ප්‍රමාණයයි. කෙසේ වුවද, ප්‍රමාණයෙන් වෙනස් ආර්ථිකයන් දෙකක් අතර සිදුවන වෙළඳාම මගේ පළමු ආකෘතිය මඟින් තේරුම් ගැනීමට නොහැකි විය හැකිය.

ප්‍රමාණයේ වෙනස ගැන කතා කිරීමට පෙර මේ උදාහරණයේදී දෙරටටම වාසි ලැබුණේ කෙසේද යන කරුණ සාකච්ඡා කළ යුතුය. යම් රටක ආර්ථිකයක් හුදෙකලාව ඇති විට එහි විවිධ භාණ්ඩ හා සේවාවන්හි සාපේක්ෂ මිල මට්ටම් සකස් වන්නේ රට තුළ එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා නිෂ්පාදන සාධක වල ඵලදායීතාව අනුවය. ඒ අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

රටවල් දෙකටම වාසියක් ලැබීමට හේතු වූයේ මේ වෙනසයි. මාළු කිලෝඑක අල කිලෝ 0.333 කට වැඩි ඕනෑම මිලක් අල්ලංකාවට වාසිදායකය. මාළු කිලෝඑක අල කිලෝ 3 කට වඩා අඩු ඕනෑම මිලක් ගලවංකාවට වාසිදායකය. මේ පරාසය තුළ ඕනෑම මිලකට රටවල් දෙක අතර ගණුදෙණුවක් සිදුවීමේ ඉඩකඩක් පවතී. මගේ උදාහරණයේදී එය සිදුවුනේ මාළු කිලෝඑකකට අල කිලෝඑකක් යන පදනමිනි. එහිදී, දෙරටේම ජාතික ආදායම් දෙගුණ විය. වෙනත් අයුරකින් කිවහොත් දෙරටටම සමාන වාසියක් ලැබුණේය.

රටවල් දෙකක් අතර සිදුවන ගණුදෙණුවලදී ඉහත උදාහරණයේ මෙන් හැම විටම දෙරටටම සම වාසි සිදුනොවේ. උදාහරණයක් වශයෙන් හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 0.333-1.00 අතර (0.5 හෝ 0.75 වැනි) අනුපාතයකින්නම් ගලවංකාවට වැඩි වාසි ලැබේ. එමෙන්ම, හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 1.00-3.00 අතර (1.5 හෝ 2.5 වැනි) අනුපාතයකින්නම් අල්ලංකාවට වැඩි වාසි ලැබේ. එය තීරණය වන්නේ දෙපාර්ශ්වය අතර සිදුවන හෙට්ටු කිරීම් මතය. කෙසේ වුවද, කවර තත්ත්වයක් යටතේ වුවද ස්වේච්ඡාවෙන් කරන ගනුදෙණුවකින් එහි එක් පාර්ශ්වයකටවත් අවාසියක් සිදු නොවේ. සිදු විය හැක්කේ ලැබෙන වාසියේ අඩු වැඩි වීමකි.

සාමාන්‍යයෙන් ඕනෑම රටකට තවත් රටකට සාපේක්ෂව පරිපූර්ණ වාසියක් ඇති නිෂ්පාදන යම් ප්‍රමාණයක් තිබේ. ජාත්‍යන්තර වෙළඳාම වාසිදායක වන්නේ එවැනි පරිපූර්ණ වාසි ඇති විට පමණක්ද? එමෙන්ම, රටවල් දෙකේ ආර්ථික ප්‍රමාණයෙන් අසමාන වූ විට සිදු වන්නේ කුමක්ද?

යම් රටකට කිසිදු නිෂ්පාදනයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැතත් 'තුලනාත්මක වාසියක්' ඇති නිසා එවැනි තත්ත්වයක් යටතේ වුවද ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන්නේ වාසියකි. දැන් අපි මේ 'තුලනාත්මක වාසිය' නම් වූ සංකල්පය ගැන කතා කරමු.

මේ දෙවන ආකෘතියේද අල්ලංකාව පළමු ආකෘතියේ අල්ලංකාවට සමානය. ජනගහණය 100කි. එයින් 25 දෙනෙකු මාළු අල්ලද්දී 75 දෙනෙකු අල ගලවති. අල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් (පෙර මෙන්ම) මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 1 බැගින් කිලෝ 75 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3 බැගින් කිලෝ 75 කි.

අල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 3කට හුවමාරු වේ.

මේ දෙවන ආකෘතියේ අල්ලංකාව වෙළඳාම් කරන්නේ හොල්ලංකාව නම් වූ වඩා විශාල ආර්ථිකයක් ඇති රටක් සමඟය. එහිද ජනගහණය 100කි. එහෙත්, හොල්ලංකාවේ වැසියෙකු අල මෙන්ම මාළු නිෂ්පාදනය අතින්ද අල්ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. හොල්ලංකාවේ 50 දෙනෙකු මාළු අල්ලද්දී 50 දෙනෙකු අල ගලවති. හොල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 2.25 බැගින් කිලෝ 112.5 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3.5 බැගින් කිලෝ 175 කි.

හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට (3.5/2.25) හුවමාරු වේ.

මේ රටවල් දෙක අතරින් අල වලින් මෙන්ම මාළු වලින්ද පරිපූර්ණ වාසිය ඇත්තේ හොල්ලංකාවටය. එසේනම්, හොල්ලංකාව සමඟ ගණුදෙනු කිරීමෙන් අල්ලංකාවට වාසියක් ලබා ගත නොහැකිද?

පරිපූර්ණ වාසියක් නැතත් අල්ලංකාවට තුලනාත්මක වාසියක් ලබා ගැනීමට බාධාවක් නැත.

අල්ලංකාවේ අල කිලෝ 1ක් හුවමාරුවන්නේ මාළු කිලෝ 3කටය. හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට හුවමාරු වේ. මාළු කිලෝ 3ක් දී අල්ලංකාවෙන් අල කිලෝවක් ගන්නවාට වඩා මාළු කිලෝ 1.556 කට හොල්ලංකාවෙන් අල කිලෝවක් ගැනීම අල්ලංකාවට වාසිදායකය. එමෙන්ම, අල කිලෝවකට හොල්ලංකාවෙන්  මාළු කිලෝ 1.556ක් ගන්නවාට වඩා අල්ලංකාවෙන් මාළු කිලෝ 3ක් ගැනීම හොල්ලංකාවට වාසිදායකය. ඒ නිසා, අල කිලෝවකට මාළු කිලෝ 1.556-3.00 අතර, දෙරට එකඟවන ඕනෑම අනුපාතයකට හුවමාරුවක් කිරීම දෙරටටම වාසිදායකය. මෙසේ එකඟවන අනුපාතය අපි අල කිලෝවකට මාළු කිලෝ 2.333 වැනි අතරමැදි ගණනක් ලෙස සලකමු.

දැන් අල වලට පරිපූර්ණ මෙන්ම තුලනාත්මක වාසියක්ද ඇති හොල්ලංකාව අල ගලවයි. මාළු වලට පරිපූර්ණ වාසියක් නැතත්, තුලනාත්මක වාසියක් ඇති අල්ලංකාව මාළු අල්ලයි.

අල්ලංකාව මාළු කිලෝ 300ක් (3.0x 100)නිපදවයි.
හොල්ලංකාව අල කිලෝ 350ක් (3.5x 100) නිපදවයි.

අල්ලංකාව හොල්ලංකාවට මාළු කිලෝ 210ක් අපනයනය කර අල කිලෝ 90ක් (210/2.333 = 90) ආනයනය කරයි.

දැන් අල්ලංකාවේ පරිභෝජනය මාළු කිලෝ 90ක් (300 - 210) සහ අල කිලෝ 90 කි. වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 75ක් සහ අල කිලෝ 75 ක් විය. මේ අනුව, අල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

හොල්ලංකාවේ සිදුවන්නේ කුමක්ද? එහි පරිභෝජනය මාළු කිලෝ 210ක් සහ අල කිලෝ 135 කි (225-90). වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 175ක් සහ අල කිලෝ 112.5 ක් විය. මේ අනුව, හොල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

මේ උදාහරණයේදී රටවල් දෙකේම අල හා මාළු පරිභෝජනය එකම ප්‍රතිශතයකින් වැඩි වුවද එය හැම විටම එසේ සිදු නොවේ. හුවමාරු අනුපාතය වෙනස් වන විට දෙරටේ වාසි අවාසි වෙනස් වෙයි. එහෙත්, සමස්තයක් වශයෙන් දෙරටටම හැම විටම සිදුවන්නේ වාසියකි.

(Image: www.yourarticlelibrary.com)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...