වෙබ් ලිපිනය:

Showing posts with label සංක්‍රමණය. Show all posts
Showing posts with label සංක්‍රමණය. Show all posts

Monday, June 8, 2020

රට ගිය ඇත්තෝ (දෙවන කොටස)


රට ගිය ඇත්තෝ කතාවේ සමන් ජයසිංහ චරිතය ගැන අපි කතා කළා. එහි එන සිරිල් සපරමාදු චරිතය වෙතට දැන් අපි අවධානය යොමු කරමු. කතාව කැරකෙන්නේ මේ චරිතය වටා.

සමන් ජයසිංහට සිරිල් සපරමාදුව මුලින්ම හමු වෙන කොටත් සිරිල් සපරමාදු අවුරුදු පහක් තිස්සේ නිවාසයක් අහිමිව සිටින (හෝම්ලස්) පුද්ගලයෙක්.

"දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙලා?”

"දැනට අවුරුදු 5 කට වඩා.."

සිරිල් සපරමාදු ඇමරිකාවට ඇවිත් තියෙන්නේ අවුරුදු 25 කට පෙරයි.

"දැනට අවුරුදු 25කට ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා."

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී රැකියාවක් කියා කියන්නේ ලංකාවේ සරසවියකින් උපාධියක් ලබා රාජ්‍ය අංශයේ රැකියාවක් හොයන කෙනෙකුගේ සිහින රැකියාවක්. සිවිල් සේවයට ඇතුළු වීමට හා මහ බැංකුවට යාමට අවස්ථාව ලබන  කෙනෙක් බොහෝ විට තෝරා ගන්නේ මහ බැංකුවේ රැකියාවයි.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී තනතුරකට කෙළින්ම යන්නනම් ඉතා තරඟකාරී තරඟ විභාගයකින් සමත් විය යුතුයි. විභාගයට පෙනී සිටිය හැක්කේ පළමු පන්තියේ හෝ දෙවන (ඉහළ) පංති සාමාර්ථයක් ඇත්නම් පමණයි. එසේ නැත්නම් පශ්චාත් උපාධියක් හෝ ගණකාධිකරණය වැනි ක්ෂේත්‍රයක වෙනත් වෘත්තීය සුදුසුකම් තිබිය යුතුයි. මේ කඩ ඉම් පනින්නේ සරසවියේ කණ්ඩායමක දක්ෂතම සිසුන්. මාණ්ඩලික නිලධාරී තනතුරකට යා හැකි අනෙක් ක්‍රමය මාණ්ඩලික නොවන ශ්‍රේණියක සිට ටිකෙන් ටික උසස් වීමයි. එයත් අසීරු හා අවුරුදු පහළොවක් විස්සක් කල් ගත වන කාර්යයයක්. ඔය කොයි ක්‍රමයකින් ගියත් මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී තනතුරක් ලබා ගන්නේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ඇති, දක්ෂ හා/හෝ මහන්සි වී වැඩ කරන පුද්ගලයෙක්.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී තනතුරක සිටින කෙනෙකුට ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටකට ගොස් පශ්චාත් උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. උනන්දුව ඇති අයෙකුට මේ අවස්ථාව ලබා ගැනීම ගොඩක් අසීරු දෙයක් නෙමෙයි. ඒ වගේම වෙනත් රජයේ සේවකයෙකුට වඩා ඉහළ වැටුපක් හා වරප්‍රසාද හිමි වෙනවා. ඒ නිසා, "අපි ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා" කියා සිරිල් සපරමාදු විසින් කරන ප්‍රකාශය සැක කරන්න හේතුවක් නැහැ.

"ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කී දෙනාටද මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක."

මේ කියන්නේ ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයිය ගැනයි. ග්‍රීන්කාඩ් ලොතරැයිය නිකම්ම ඇදෙන්නේ නැහැ. ඒ සඳහා අයදුම් කළ යුතුයි. අයදුම් කරන අයගෙන් ආසන්න වශයෙන් 400-500 කින් එක් අයෙකුටයි අවස්ථාව හිමි වන්නේ. 2018 වසරේදී අවස්ථා 50,000ක් සඳහා අයදුම් කළ පිරිස ලංකාවේ මුළු ජනගහණයට වඩා වැඩියි. අයදුම්කරුවන් 23,182,554 ක්. බොහෝ දෙනෙකුට ලොතරැයිය ඇදෙන්නේ කිහිප වරක් එක දිගටම අයැදුම් කිරීමෙන් පසුවයි.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරීන් බොහෝ දෙනෙකුට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත බටහිර රටකට පහසුවෙන් සංක්‍රමණය විය හැකියි. එසේ කර ඇති අය ඕනෑ තරම් ඉන්නවා. 1990 දශකයේදී කුසලතා පදනම මත කැනඩාව වැනි රටකට යන්න අවස්ථා ඕනෑ තරම් තිබුණා. ඒ වගේම බටහිර රටක ද්විත්ව පුරවැසිකම තිබෙන බොහෝ දෙනෙක් මහ බැංකුවේ රැකියා කරනවා. ඒ ඔවුන් ලංකාවේ තමන්ගේ ජීවිතය පිළිබඳව සතුටු නිසා. එහෙම තත්ත්වයක් තියෙද්දී සිරිල් සපරමාදු තමන්ගේ කැමැත්තෙන් ඇදෙන්න සුළු ඉඩක් තිබෙන ග්‍රීන්කාඩ් ලොතරැයියට අයැදුම් කරනවානම් ඔහුට තමන් ලංකාවේ ගත කළ "හොඳ ජීවිතය" පිළිබඳ මොනවා හෝ ප්‍රශ්න තියෙන්න ඕනෑ.

වසර තුනක සංක්‍රාන්ති කාලයකින් පසුව දැනට තිබෙන ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ආරම්භ වුනේ 1995 වසරේදී. ඒ වසරේදී ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදුණු කෙනෙක්ට බොහෝ විට වීසා ලබාගෙන ඇමරිකාවට එන්න වෙන්නේ 1996 වසරේදී. සිරිල් සපරමාදු 1996 දී ඇමරිකාවට ආවානම් වසර 25කට පසුව ඔහුට සමන් ජයසිංහ හමු විය යුත්තේ 2021දී. නමුත්, මේ කතාව මුලින්ම පළ වී තියෙන්නේ 2011දී. පෙර කොටසේ කතා කළ පරිදි සමන් ජයසිංහ ඇමරිකාවේ සිටි කාලය 2008 ආර්ථික අවපාතයට පෙර කාලයක් විය යුතුයි.

"මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා."

සමන් ජයසිංහ හා සිරිල් සපරමාදු අතර හමුව සිදු වූ පළමු දවසේ සේවය නිම කර යද්දී සමන් ජයසිංහගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනාපු පැනඩෝල් පෙති තියෙනවා. ටයිලනෝල් බ්‍රෑන්ඩ් එකෙන් ඔය බෙහෙතම විකුණන ගෑස් ස්ටේෂන් එකක සේවය කරන මනුස්සයෙක් පැනඩෝල් පෙති සාක්කුවේ තියාගෙන හිටියේ ඇයි කියා පැහැදිලි නැහැ.

"ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා." 

ලංකාවෙන් ගෙනාපුවා නිසා ලංකාවේ කමට කියමු. ඒත් ලංකාවේ පිරිමියෙක් ලංකාවේදී වුනත් හැම වෙලාවෙම සාක්කුවේ පැනඩෝල් තියාගෙන ඉන්නවද? ඒකටත් මොකක් හරි හේතුවක් තිබුණා කියමු.

සමන් ජයසිංහ ඔය වගේ වැඩක් කළානම් ඒ ලංකාවෙන් ආ අලුත වෙන්න ඕනෑ. ඒ කියන්නේ 2003 වගේ කාලයක. ලංකාවෙන් ගෙනා කල් ඉකුත් වූ පැනඩෝල් අවුරුදු හතරක් යනකම් සාක්කුවේ තියෙන්න විදිහක් නැහැනේ. එහෙමනම් සිරිල් සපරමාදු ඇමරිකාවට ඇවිත් අවුරුදු හත අටකට වඩා වෙන්න විදිහක් නැහැ. කතාව මුලින්ම පළ වුනු 2011 අවුරුද්ද ගත්තත් අවුරුදු පහළොවයි. අවුරුදු 25ක් කියන එක තාක්ෂනික ලෙස බැලුවොත් කොහෙත්ම වෙන්න බැරි දෙයක්. ලේඛකයාට ග්‍රීන්කාඩ් ලොතරැයියේ ඉතිහාසය ගැන කිසිම අදහසක් නැති බව ඉතාම පැහැදිලියි. ඒ කියන්නේ මේ කතාව ඉතිහාසයේ ස්ථානගත කරන්න බැරි මනෝමූලික කතාවක්.

"ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක් අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා."

ඔය කාලයේ ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදුනු බව දැනුම් දුන්නේ දැන් වගේ අන්තර්ජාලය හරහා නෙමෙයි. ලියුමකින් තමයි. හැබැයි ලියුම එවුවේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මිසක් එම්බසියෙන් නෙමෙයි. ලියුම එන අවස්ථාවේදී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට අඩු වශයෙන් මෙවැනි ලොතරැයි දිනුමක් පිළිබඳව දැනුම් දීමක් හෝ කර නැහැ. අදාළ එම්බසියට ගොස් වීසා අයදුම් කරන එක පසුව කළ යුතු වැඩක්. ලංකාවේ ජීවත් වන අයෙකු යා යුතු අදාළ එම්බසිය බොහෝ විට කොළඹ එම්බසිය වුනත් ඇතැම් අවස්ථා වලදී එය වෙන එකක් වෙන්නත් පුළුවන්. විශාල පිරිසකට ලියුම ලැබුණා කියලා ඇමරිකාවට එන්න වීසා ලැබෙන්නේත් නැහැ. ඒ සඳහා තවත් බොහෝ දේවල් සම්පූර්ණ විය යුතුයි. බොහෝ දේවල් කළ යුතුයි. ඔය වැඩ වලට අවුරුද්දක් විතර යන්න පුළුවන්. අන්තිමේ වීසා නොලැබෙන්නත් පුළුවන්. රට ගිය ඇත්තෝ රචකයාට ග්‍රීන්කාඩ් ලොතරැයි හරහා වීසා ලැබෙන ක්‍රියාවලිය ගැන කිසිදු අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ.

කතාව අනුව බැලුවොත් ලියුම ලැබුණට පස්සේ සිරිල් සපරමාදුගේ පවුලේ අයට අමුතුවෙන් ඇමරිකන් උණ හැදෙන්න දෙයක් නැහැ. මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරී රැකියාවක් තියෙද්දී ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කළානම් කළින්ම ඇමරිකන් උණ තිබිලා තියෙනවා.

ඒ උණ හදිස්සියේම හැදුණු උණක්ද? ග්‍රීන්කාඩ් ලොතරැයියට අයදුම් කළ පළමු වරම එය ඇදුනද? සිරිල් සපරමාදු තමන්ගේ වෘත්තීය සුදුසුකම් මත හෝ පශ්චාත් අධ්‍යාපනය සඳහා ලංකාවෙන් යන්න කලින් නොහිතුවේ ඇයි? මහ බැංකුවේ බොහෝ මාණ්ඩලික නිලධාරීන් මෙන් ඇමරිකාවේ සරසවියක පශ්චාත් උපාධියක් කරන්න ආවානම් අවුරුදු දෙකක් ඇමරිකාවේ ජීවත් වී ඇමරිකාවේ තත්ත්වය බලාගෙන "ඇමරිකන් උණ" සනීප කරගෙන ආපහු යන්න තිබුණා. යම් විදිහකින් ඇමරිකාවේ ඉන්න හෝ නැවත ආපහු එන්න අවශ්‍ය වුනානම් ඇමරිකන් සුදුසුකමක් තිබෙන නිසා ගෑස් ස්ටේෂන් වල වැඩ කරන්න වෙන්නේ නැහැ. සිරිල් සපරමාදු මේ කිසි දෙයක් තේරුම් ගත නොහැකි වූ මෝඩයෙක්ද? එහෙම කෙනෙක් මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් වුනේ කොහොමද?

"අපිට ළමයි තුන්දෙනයි. වැඩිමළා පුතා. ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට පුතාට 7 යි. දූලට 6 යි, 5 යි."

මේ ප්‍රකාශය අනුව සිරිල් සපරමාදු කියන්නේ දක්ෂ හා මහන්සි වී වැඩ කරන කෙනෙක් වුවත් ජීවිතය සැලසුම් කර ගන්න දක්ෂ නැති කෙනෙක් බවයි පෙනෙන්නේ. හවසට ගෙදර ආවට පස්සෙත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරල තියෙන බවනම් පේනවා. පාසැල් ගුරුවරියක්ව සිට ඇති ඔහුගේ බිරිඳ පද්මිණී උගන්නන්න ඇත්තේ සෞඛ්‍යය වගේ විෂයයක්නම් වෙන්න බැහැ. සිරිල් සපරමාදු ජෝඩුව හදන්නන් වාලේ ඔහේ ළමයි හදපු ජෝඩුවක්ද? ජීවිතයේ හැම තීරණයක්ම ගන්නේ ළමයි හැදුවා වගේම කිසිම සැලසුමක් නැතුවද?

ලොකු දරුවාගේ වයස අවුරුදු හතක් නිසා ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදෙන කොට සිරිල් සපරමාදු විවාහ වෙලා අඩුම ගානේ අවුරුදු 8 ක් වෙන්න ඕනෑ. විවාහ වෙලා කාලයක් ළමයි නැතිව ඉන්න ජෝඩුවකට අවුරුදු ගාණකට පස්සේ හදිසියේ පෝලිමට ළමයි හම්බු වෙන්නේ නැහැ. ඔය වගේ හදිස්සියක් තිබුණානම් ඒ බැඳපු අලුතම වෙන්න ඕනෑ. එහෙමනම් ග්‍රීන්කාඩ් ලොතරැයිය ඇදෙන කොට සිරිල් සපරමාදු විවාහ වෙලා අවුරුදු 8 කට වැඩියි කියා හිතනවාට වඩා අවුරුදු අටයි කියලම හිතන එක සාධාරණයි.

සිරිල් සපරමාදු විවාහ වුනේ වයස කීයේදීද? විශේෂ තොරතුරක් සඳහන්ව නැති නිසා අපි වයස 25-35 පරාසයම ගනිමු. එහෙමනම් සපරමාදු පවුල ඇමරිකාවට එනකොට සිරිල් සපරමාදුගේ වයස අවුරුදු 33-43 අතර විය යුතුයි. අවුරුදු 25කට පස්සේ සමන් ජයසිංහ හමු වෙනකොට ඔහුගේ වයස අවුරුදු 58-68 අතර විය යුතුයි.

"ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බවෙනව නේද?”

"මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන්මට ඉන්න තැනක් නෑ. ඇඩ්‍රස් එකක් නෑ."

කතාවේ හැටියට සිරිල් සපරමාදු හෝම්ලස් වෙන්න කලින් ඔහුට සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ලැබී තිබෙනවා. 1943-1954 අතර කාලයේ ඉපදුනු කෙනෙකුට සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ සාමාන්‍ය මුදල ලැබෙන්නේ වයස අවුරුදු 66 සම්පූර්ණ වීමෙන් පසුවයි. සම්මත විශ්‍රාම වයස සේ සැලකෙන්නේ ඒ වයසයි. විශ්‍රාම වයස 62-70 අතර අඩු වැඩි වීම අනුව ලැබෙන මුදලත් අඩු වැඩි වෙනවා. වයස අවුරුදු 62 සම්පූර්ණ වූ පසු ප්‍රතිලාභ ලබා ගැනීම ආරම්භ කළොත් සාමාන්‍ය ප්‍රතිලාභ මුදලින් 75%ක් ගන්න පුළුවන්.

සපරමාදු සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ගත්තා කියා කියන්නේ සමන් ජයසිංහව හමු වෙන්න අඩු වශයෙන් වසර 5කට කලින්. ඉහත ගණන් බැලීම් අනුව ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 53-63 අතර විය යුතුයි. නමුත්, සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ලබාගත හැකි අඩුම වයස 62 නිසා ඔහුගේ දැන් වයස අඩුම වශයෙන් අවුරුදු 67ක් වෙන්න ඕනෑ. අවම වශයෙන් අවුරුද්දක් සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ලබා ගත්තානම් දැන් වයස අවුරුදු 68 ක්. ඒ කියන්නේ සපරමාදු ඇමරිකාවට එද්දී වයස අවම වශයෙන් අවුරුදු 43ක්. පළමු දරුවා ලැබෙද්දී වයස අවම වශයෙන් අවුරුදු 36ක්. තුන්වන දරුවා ලැබෙද්දී වයස අවුරුදු 38ක්.

සිරිල් සපරමාදුට පළමු දරුවා ලැබුණේ වයස අවුරුදු 36 දී නම් ඔහු විවාහ වුනේ වයස අවුරුදු 35ක් පමණ වෙලා වෙන්න පුළුවන්. අපි හිතමු අවුරුදු තුනකින් ළමයි තුන් දෙනෙක් හදලා ඇරියස් ඇල්ලුවා කියලා. තිස් පහක පිරිමියෙක් සමඟ විවාහ වූ ඔහුගේ බිරිඳ පද්මිණී ඔහුට වඩා අවුරුදු හතරක් පහක්වත් බාල තැනැත්තියක් වෙන්න පුළුවන්.

වයස අවුරුදු 43ක් වෙද්දී මහ බැංකුවේ මාණ්ඩලික නොවන නිලධාරියෙක්ට මාණ්ඩලික නිලධාරියෙක් වෙන්න බැරිකමක් නැහැ. එහෙමනම් මහ බැංකුවේ අවුරුදු 15-20ක් සේවය කරලා. සෘජුවම මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවයට ආවානම් ඒත් අවුරුදු දහයක් පහළොවක් වැඩ කරලා. උසස් වීම් කිහිපයකුත් අරගෙන. බොහෝ විට ගෙයක් හදලා ලෝන් එකෙනුත් සෑහෙන කොටසක් ගෙවලා ඉවරයි.

මහ බැංකුවේ සේවකයෙක්ට වයස 55 න් විශ්‍රාම යා හැකියි. ඉන් පසුව මැරෙන තුරු විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ලංකාවේ හැටියට හොඳ ජීවිතයක් ගෙවන්න ඒ වැටුප ප්‍රමාණවත්. වෛද්‍ය රක්ෂණ වගේ වෙනත් ප්‍රතිලාභත් ලැබෙනවා. සිරිල් සපරමාදුට ඇමරිකාවට යන්න වෙන්නේ මේ විශ්‍රාම වැටුප අත හැරලා. ඔහුගේ බිරිඳ පද්මිණී ගුරුවරියක්. ගුරු රස්සාවත් විශ්‍රාම වැටුපක් හිමි රැකියාවක්. මහ බැංකුවේ හිටියොත් ඉස්සරහට එන්නේ වඩා හොඳ කාලයක්. තව උසස්වීම් දෙකක් විතර ලබා ගන්න කාලය තියෙනවා. ඇමරිකාවට එන්නේ ඔහොම තියෙද්දී.

ඔය වගේ තත්ත්වයක ඉන්න පවුලක් තමන්ගේ රැකියා අත ඇරලා ඔය වගේ වයසකදී ඇමරිකාවට එනවා කියා කියන්නේ විශාල අවදානමක් ගැනීමක්. ඇමරිකාවට පැමිණි පසුව හැම දෙයක්ම නැවත මුල සිට පටන් ගන්න වෙනවා. ඇමරිකාවට එනවානම් ඒ අවදානම ගන්න සූදානමක් තිබිය යුතුයි.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් කියන්නේ බොහෝ විට ආර්ථික විද්‍යාව හදාරා පන්ති සාමාර්ථයක් ලබපු කෙනෙක්. නැත්නම් ගිණුම්කරණය වගේ දෙයක් හදාරපු කෙනෙක්. ඊට අමතරව මේ වයස දක්වා මහ බැංකුවේ හිටියා කියා කියන්නේ ආර්ථික විද්‍යාව හෝ බැංකුකරණය එක්ක අවුරුදු පහළොවක් විස්සක් ඔට්ටු අල්ලපු කෙනෙක්. එහෙම කෙනෙක් හොඳින් හිතා මතා මිස කිසිදු සැලසුමක් නැතිව මේ වගේ බරපතල තීරණයක් ගන්න හේතුවක් නැහැ. එහෙම කළානම් එය සුවිශේෂී තත්ත්වයක් මිස සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

සිරිල් සපරමාදු මොන හේතුවක් නිසා හෝ ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කරනවා. ඉතා අඩු සම්භාවිතාවක් තිබෙන දෙයක් වුනත් ඔහුට ලොතරැයිය ඇදී පසුව ඇමරිකාවට වීසා හම්බ වෙනවා. ඔහු ලංකාවේ ඉඩකඩම් විකුණලා පවුල පිටින්ම එක පාරටම ඇමරිකාවට එනවා. එක්කෝ ඔහු එන්නේ පැහැදිලි සැලසුමක් ඇතුව වුවත් කිසියම් හේතුවක් නිසා සැලසුම සාර්ථක වෙන්නේ නැහැ. එසේ නැත්නම් ඔහු දක්ෂයෙක් වුවත් තමන්ගේ පෞද්ගලික ජීවිතය සැලසුම් කර ගන්න නොදන්නා කෙනෙක්. අසාර්ථක වූ සැලසුමක් ගැන කතාවේ කොහේවත් නැහැ. ඇමරිකාවට ආවේ ඇයි කියලත් නැහැ. රචකයාට අනුව සිරිල් සපරමාදු ලංකාවේ හැම දෙයක්ම අත ඇරලා පවුලත් සමඟ ඇමරිකාවට එන්න එකම හේතුව ඇමරිකන් උණ!

සපරමාදු පවුල ඇමරිකාවට ආවට පස්සේ කතාව ඊළඟ කොටසින් සාකච්ඡා කරමු.

Sunday, June 7, 2020

රට ගිය ඇත්තෝ (පළමු කොටස)


සෑම වසරකදීම ලෝකයේ රටවල් ගණනාවක පුරවැසියන් 50,000කට ආසන්න පිරිසකට ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන් වීමට හා පසුව ඇමරිකානු පුරවැසියන් වීමට ඉඩ සලසන ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයියේ ප්‍රතිඵල ඊයේ (ජූනි 6) ප්‍රකාශයට පත් කෙරුණා. ලොතරැයිය සඳහා අයදුම් කළ අයට සැප්තැම්බර් අවසානය දක්වා තමන්ගේ ප්‍රතිඵලය අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ හැකියි.

වසර ගණනාවක සිටම හරියටම ග්‍රීන්කාඩ් ලොතරැයියේ ප්‍රතිඵල පිටවන කාලයට සමාජ මාධ්‍ය හෝ විද්‍යුත් තැපෑල හරහා සංසරණය වන කතාවක් මෙවරද එසේ සංසරණය වෙමින් පවතිනවා. මේ කතාව අපේ පෙර ලිපියක ප්‍රතිචාර කොටසේ කිසියම් අයෙකු විසින් පළ කර තිබෙනවා. එහි කතාවේ මාතෘකාව හෝ රචකයාගේ නම සඳහන්ව නැහැ.

සොයා ගත හැකි තොරතුරු අනුව මේ කතාවේ රචකයා නිහාල් ගුරුසිංහනම් බ්ලොග්කරුවෙක්. ඔහුගේ "යථාර්ථවාදියා" සිංහල වියුණුව 2018 අවසානය දක්වාම සක්‍රියව තිබුණු එකක්. වසර හත අටක් තිස්සේ එහි ඔහුගේ කෙටි කතා හා කවි රැසක් පළ වී තිබෙනවා. වෙනත් තැන් ගණනාවක තිබෙන නිශ්චිත තොරතුරු අනුව ඔහු මේ කතාව මුලින්ම පළ කර තිබෙන්නේ 2011 ඔක්තෝබර් 23 දිනයි. ඒ ආසන්න දිනයක කවුරු හෝ අයෙක් විසින් පීඩීඑෆ් කර ලේඛකයාගේ නම රහිතව විද්‍යුත් තැපෑල හරහා බෙදා හැර තිබෙනවා.

මේ කතාවේ තාක්ෂණිකව හා/හෝ තර්කානුකූලව නිවැරදි නොවන කරුණු ගණනාවක් තිබෙනවා. මේ වෙද්දී වෙනස් වී තිබෙන දේවල් ගණනාවක්ද තිබෙනවා. ප්‍රබන්ධයක් හැම විටම තාක්ෂනික ලෙස නිවැරදි විය යුතු නැහැ. ප්‍රබන්ධයක් කියන්නේ ලේඛකයෙකුගේ පරිකල්පනයක් මිසක් සැබෑව නෙමෙයි. ඒ නිසා, එවැනි පදනමකින් කෙටි කතාවක් විචාරය කිරීම කිසිම තේරුමක් නැති විහිළුවක්.

කෙසේ වුවත් මේ කතාව සංසරණය වන්නේ ප්‍රබන්ධයක් ලෙස එහි තිබෙන විශිෂ්ඨත්වයට වඩා එහි අඩංගු කරුණු හේතුවෙනුයි. කතාවේ සාරය ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා ඇමරිකාවට සංක්‍රමණය වී විනාශ වී යන පවුලක්. වසර හත අටකට පෙර මෙය මා වෙත මුලින්ම යොමු කළ පුද්ගලයා හිතාගෙන සිටියේ මෙය ප්‍රබන්ධයක් නොව සැබෑ විස්තරයක් බවයි. බොහෝ විට මුල් රචකයා එය ලියා පළ කරන විට එවැනි තත්ත්වයක් අපේක්ෂා කරන්න නැතුව ඇති.

පොදුවේ මේ කතාවෙන් කියන්න හදන්නේ ඇමරිකාවට සංක්‍රමණය වුනා කියා හැමදේම ලැබෙන්නේ නෑ කියන එකයි. ඒ කතාව ඇත්ත. ඇමරිකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් ධනවතුන් වී සිටින නිසා ඇමරිකාව රටක් විදිහට ධනවත් රටක්ව තිබෙනවා මිසක් රට ධනවත් නිසා මිනිස්සු ධනවත් වී නැහැ. ඇමරිකාවට සංක්‍රමණය වන කෙනෙකුට සාධාරණව මුදල් උපයන්න වැඩි අවස්ථාවන් මිසක් මුදල් ලැබෙන්නේ නැහැ. ලංකාව වගේ රටක තිබෙන සමහර අවස්ථා ඇමරිකාවේ නැති වෙන්නත් පුළුවන්. ඉගෙන ගන්න අවස්ථා මිසක් අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. හොඳ වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවස්ථා මිසක් සෞඛ්‍යය ලැබෙන්නේ නැහැ. ඇමරිකාවට හෝ ලෝකයේ වෙනත් රටකට කෙනෙක් සංක්‍රමණය වෙනවානම් එසේ කළ යුත්තේ ලංකාවේදී තමන්ට නොලැබෙන අවස්ථා හොයා ගෙන මිසක් සම්පත් හොයා ගෙන නෙමෙයි.

මුල් ලිපිය පළවී මාස කිහිපයකට පසුව වෙනත් තැනක පළ වී තිබෙන අදාළ කතාව පහත තිබෙනවා.

රට ගිය ඇත්තෝ..

එහිම ඉංග්‍රීසි පරිවර්තයක් මෙහි තිබෙනවා.

Its A 'Big Bite', Sam

කතාවේ තිබෙන තාක්ෂණික වැරදි හා වෙනත් අඩුපාඩු විවිධ පුද්ගලයින් විසින් පෙන්වා දී තිබෙනවා. ඒ හේතුව නිසා හෝ වෙනත් හේතු නිසා මුල් ලිපිය පසුව යථාර්ථවාදියා බ්ලොග් අඩවියෙන් ඉවත් කරගෙන ඇති බව පෙනී යනවා. ඒ අනුව, මේ කතාව මුල් රචකයා විසින් "අයිතිය හැර දැමූ" කතාවක් වෙන්න පුළුවන්.

කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. සමන් ජයසිංහ හා සිරිල් සපරමාදු. සිරිල් සපරමාදුගේ පවුලේ සාමාජිකයින් අවශේෂ චරිත. මේ සියළු දෙනාම ලංකාවෙන් ඇමරිකාවට ආ සංක්‍රමණිකයෝ.

කතාව කියන්නේ සමන් ජයසිංහ. ඔහු කඩවත සිට ඇමරිකාවේ චිකාගෝ නුවරට එන්නේ සිංහ සමාජයේ වාර්ෂික සමුළුවකට සහභාගී වෙන්නයි. ඔහු සමුළුව අවසන් වීමෙන් පසුව නැවත ආපසු යන්නේ නැහැ. වසර හතරක් තිස්සේ ඇමරිකාවේ රැකියාවක් කරමින් සිටින ඔහු තවත් වසරකට පසුව "තව කීයක් හරි හොයා ගෙන" ආපසු ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කිසියම් සමුළුවකට හෝ පුහුණු වැඩ සටහනකට සහභාගී වීම සඳහා සංචාරක වීසා ලබා ගෙන ඇමරිකාවට ඇතුළු වීමෙන් පසුව කිසියම් පුද්ගලයෙකු ආපසු ලංකාවට නොගොස් ඇමරිකාවේ නැවතීම අභව්‍ය සිදු වීමක් නෙමෙයි. එසේ කළ අය මට පෞද්ගලිකවත් හමු වී තිබෙනවා.

කතාවේ හැටියට සමන් ජයසිංහ ඇමරිකාවට ඇවිත් අවුරුදු හතරක් වෙනවා. කතාව මුලින්ම පළ වී තිබෙන්නේ 2011දී නිසා මෙය 2008 ආර්ථික අවපාතයට පෙර කාලයක්.

"දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා."

මේ කතාව තාක්ෂණිකව සම්පූර්ණයෙන්ම වැරදියි. ඇමරිකාවට පැමිණීමට සංචාරක වීසා ලබා දීමේදී වසර පහක කාලයක් සඳහා බහු ගමන්වාර වීසා බලපත්‍රයක් ලබා දෙන නමුත් එම වීසා බලපත්‍රය මත වරක් ඇමරිකාවට ඇතුළු වීමේදී ඇමරිකාවේ රැඳී සිටීමට අවසර ලබා දෙන්නේ මාස හයක කාලයක් දක්වා පමණයි. මාස හය ඉක්මවා දවසක් හෝ රැඳී සිටීම නීති විරෝධී ලෙස රැඳී සිටීමක්.

"මට බැංකු ගිණුමක් අරින්නවත්, වාහනයක් එළවන්නවත් බැහැ." 

ඇමරිකාවේ නීත්‍යානුකූල ලෙස පදිංචි වී නොසිටින විදේශිකයෙකුට ඇමරිකාවේ වාණිජ බැංකුවක පුද්ගලික හෝ ව්‍යාපාරික අනේවාසික ගිණුමක් ආරම්භ කරන්න බැරිකමක් නැහැ. එහෙත්, සාපේක්ෂව අසීරුයි. ඒ සඳහා මුදල් ඉපැයූ ආකාරය ඇතුළු අවශ්‍ය තොරතුරු රාශියක් ලබා දිය යුතුයි. වීසා කල් ඉකුත් වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටින කෙනෙක්ට ඔය වැඩේ කොහොමවත් කරන්න බැහැ. වියානා සම්මුතිය අනුව ඇමරිකාවේ සංචාරය කරන ලාංකිකයෙකුට ඇමරිකාවේදී වාහන එළවන්නත් පුළුවන්කම තිබෙනවා. හැබැයි මාස හයක් යන තුරු පමණයි. නීති විරෝධී ලෙස රැඳී සිටින කෙනෙකු ඇමරිකාවේදී වාහන එළවනවානම් එය කරන්න වෙන්නෙත් නීති විරෝධී ලෙසයි.

"not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා."

"මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්."

"වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්."

නීති විරෝධී සංක්‍රමණිකයෙකු විසින් හදිසියේ රැකියාවක් හොයා ගන්නවා කියන එක කළ නොහැකි තරම් අමාරු දෙයක්. කාලය දිගේ ආපස්සට ගියොත් 2008 ආර්ථික අවපාතය වෙලාවේ බොහෝ ඇමරිකානුවන්ට රැකියා අහිමි වුනා. ඔය කියන විදිහේ රැකියාවක් පුරප්පාඩු වෙන කොට අයදුම්කරුවන් සිය ගානක් ඉල්ලුම් කරනවා. ඉන් පසුව, ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන කොට නීති විරෝධී සංක්‍රමණිකයින් රැකියා කරනවාද කියා පරික්ෂා කරන ක්‍රමවේදය සෑහෙන්න විධිමත් වෙලා. 2008න් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටින්නෙකුට ඇමරිකාවේ රැකියාවක් හොයා ගන්න ඉතාම අඩු ඉඩ කඩකුයි තිබුණේ. ඒ නිසා, අපට සමන් ජයසිංහ විසින් මේ කතාව කියන කාලය 2007 දක්වාවත් පස්සට තල්ලු කරන්න වෙනවා. ඒ කියන්නේ ඔහු පැමිණි කාලය 2003 හෝ පෙර වසරක්. ඒ කාලයේදී වුවත් ගෑස් ස්ටේෂන් වල වැඩිපුරම වැඩ කළේ නීති විරෝධී සංක්‍රමණිකයින් කියන එක බොරුවක්. යම් ප්‍රමාණයක් ඉන්න ඇති.

ගෑස් ස්ටේෂන් එකක සේවය කරන අයෙකු මුහුණ දෙන තත්ත්වයන් ගැන කතාවේ තිබෙන බොහෝ දේවල් නිවැරදියි. එවැන්නෙකුට බොහෝ විට ලැබෙන්නේ අවම වැටුප හෝ ඊට කිට්ටු වැටුපක්.

"තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්."

මෙය තීරණය වන්නේ අදාළ පුද්ගලයාගේ වියදම් කිරීමේ රටාව මතයි. ඔය වගේ රැකියා කරලාත් ගෙවල් අරගෙන ඉන්න, පවුල් නඩත්තු කරන අය ඉන්නවා. හැබැයි නීත්‍යානුකූලව ඉන්න අය. ඒ වගේම, සමන් ජයසිංහගේම කලින් කතාව මේ කතාව සමඟ ගැලපෙන්නේ නැහැ.

"තව කීයක් හරි හොයා ගෙන ආපහුයනවා."

සමන් ජයසිංහගේ ලංකාවේ රැකියාව ගැන කතාවේ සඳහනක් නැතත් සිංහ සමාජයක සාමාජිකයෙක් කියන්නේ ලංකාවේ හැටියට දුප්පතෙක් වෙන්න බැහැ. ලංකාවට සාපේක්ෂව හොඳ සමාජ ආර්ථික තත්ත්වයක් තිබෙන කෙනෙක්. සැලකිය යුතු ආදායමක් ලබන කෙනෙක්. නමුත්, ඔහු නැවත ලංකාවට නොයා මේ "අඩුවෙන් ගෙවන පොඩි රස්සාව" කරගෙන ඉන්නේ ඒ රස්සාව කරලත් ඔහුට ලංකාවේ හොඳ රස්සාව කරලා ඉතුරු කරනවාට වඩා ගානක් ඉතුරු කරගන්න පුළුවන් නිසයි. වෙන රටක රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්කම තිබෙන අය පවා තමන්ගේ කැමැත්තෙන් ඇමරිකාවේ පොඩි රස්සා කරගෙන ජීවත් වෙලා තියෙනවා. "තව කීයක් හරි" කියන එකෙන් අදහස් වෙන්නේ සමන් ජයසිංහ දැනටමත් යම් මුදලක් ඉතිරි කරගෙන තිබෙන බවයි.

"මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස් පීපල්” කියල."

මේක අතිශයෝක්තියක්. ඇමරිකාවේ නිවාස අහිමි පුද්ගලයින් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ වෙන වෙලාවක ලිපියකින් ඉදිරිපත් කරන්නම්.

"අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව. ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි."

මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත.

රට ගිය ඇත්තෝ කතාවේ ඊට පස්සේ තියෙන්නේ සමන් ජයසිංහට සිරිල් සපරමාදු හමු වීම හා සිරිල් සපරමාදුගේ කතාව. රට ගිය ඇත්තෝ කියන්නේ ඇත්තටම සමන් ජයසිංහ විසින් කියන සිරිල් සපරමාදුගේ කතාවයි. සිරිල් සපරමාදු සමන් ජයසිංහ වගේ නීති විරෝධී සංක්‍රමණිකයෙක් නෙමෙයි. ඔහු සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ ස්ථිර පදිංචිය සඳහා ඇමරිකාවට එන්නේ ඇමරිකාවේ ස්ථිර පුරවැසියෙකු හෙවත් ග්‍රීන්කාඩ් හිමියෙකු ලෙසයි. ඇමරිකාවේ ස්ථිර පුරවැසියෙකුට ඇමරිකන් පුරවැසියෙකුට හිමි වන වරප්‍රසාද වලින් විශාල ප්‍රමාණයක් හිමි වෙනවා. වසර පහකට පසුව ඇමරිකන් පුරවැසියෙකු වීමේ අවස්ථාවද ලැබෙනවා.

කතාව අනුව සිරිල් සපරමාදුට ඇමරිකන් ස්ථිර පුරවැසියෙකු වීමේ අවස්ථාව ලැබෙන්නේ ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා අයදුම් කර ජයග්‍රාහකයෙකු වීම නිසයි. කතාව අවසන් වෙන්නේ ග්‍රීන් කාඩ් ලොතරැයිය සමඟ සිරිල් සපරමාදු වෙත ආ වාසනාව අවාසනාවකට පෙරළීමෙන්.

ඒ කොටස පිළිබඳව අපි ඊළඟ කොටසින් කතා කරමු.

Monday, April 27, 2020

චීනෙට ගිය අලි පැටවු

ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව පිළිබඳව පසුගිය වසරේදී මා ලිපියක් ලිවුවා. ලංකාවේ රාජ්‍ය නායකයින් විසින් වරින් වර ලෝකයේ විවිධ රට වලට තෑගි කළ අලි පැටවුන් ගණනාවක් පිළිබඳ තොරතුරු එම ලිපියේ තිබෙනවා. මේ විදිහට ලෝකය පුරා විසිරුණු ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව පිළිබඳ බොහෝ තොරතුරු අමාරුවෙන් වුවත් එක තැනකට එකතු කරන්න පුළුවන් වුනත්, චීනයට ගිය අලි පැටවු පිළිබද තොරතුරු හොයා ගැනීම එතරම් පහසු වුනේ නැහැ.


එම ලිපියේ මා සඳහන් කර ඇති පරිදි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේදී 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයට අලි පැටියෙක් තෑගි කළා. මිගාරනම් වූ මේ අලි පැටවාව චීනයට තෑගි කළේ ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට පනස් වසරක් පිරීමට සමගාමීව මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ චීන සංචාරය අතරතුරයි. 2007 පෙබරවාරි 26 වනදා මහින්ද රාජපක්ෂ විසින් මිගාරව නිල වශයෙන් භාර දෙන විට මිගාර වයස අවුරුදු පහක අලි පැටවෙක්. නිල වශයෙන් භාර දුන්නේ එදින වුවත් මිගාර බෙයිජිං සත්තු වත්තට ගෙනැවිත් තියෙන්නේ ඊට දින 11කට පෙරයි.



ඊට පෙර 1979 අගෝස්තු මාසයේ 12-14 අතර රණසිංහ ප්‍රේමදාස විසින් සිදු කළ චීන සංචාරයේදී ගැහැණු අලි පැටවෙකු  තියාන්ජින් සත්තු වත්තට තෑගි කර තිබෙනවා. මේ අලි පැටික්කියගේ නම සොයා ගන්නට නැහැ.



ඊටත් පෙර 1972 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනයකගේ චීන සංචාරයක් අතරතුර මිතුරා නමැති පිරිමි අලි පැටවෙකු පීකිං සත්ත්වෝද්‍යානයට තැගි කර තිබෙනවා. ඒ දවස්වල චීන අගනුවර හැඳින්වුණේ පීකිං ලෙසයි. 1972 ජූනි 27 දින සිදුව ඇති මේ තෑගි කිරීමේ අවස්ථාවේ රූප රාමු මෑතකදී අන්තර්ජාලයට උඩුගත කර තිබෙනවා. (12 :15 සිට බලන්න)


Sunday, April 26, 2020

අම්බිකා නික්ම ගිහින්!


කෙනෙක් රටකින් රටකට සංක්‍රමණය වෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන මොනවා හරි දේවල් ටිකක් තියෙන නිසයි. එහෙත්, එසේ රටකින් රටකට සංක්‍රමණය වීමේදී අහිමි වන දේවල් ටිකකුත් තියෙනවා. කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් රටකින් රටකට සංක්‍රමණය වෙන්නේ මේ දෙගොඩ කිරා බැලූ පසු සමස්තයක් ලෙස වාසියක් තිබෙන නිසයි.

හැබැයි මේ කතාව අදාළ වෙන්නේ තමන්ගේ කැමැත්තෙන් සංක්‍රමණය වන අයටයි. වෙනත් අයෙකුගේ මන දොල සපුරන්න රටකින් රටකට සංක්‍රමණය වෙන්න සිදු වන කෙනෙක්ට මේ කතාව ඒ විදිහටම වලංගු නැහැ. ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල සිට උතුරු ඇමරිකාවට සංක්‍රමණය වෙන්න සිදුව ඇති අලි ඇතුන් වැටෙන්නේ මේ ගොඩටයි.

වයස අවුරුදු අටක පමණ අලි පැටික්කියකව සිටියදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කැලෑවකින් අල්ලා ගනු ලැබ වසර පහක් කොට ඇදීමේ රාජකාරියේ යෙදී ඇති අම්බිකා ඇමරිකාවට පැමිණ තියෙන්නේ 1961 වසරේදී. ඈ වොෂින්ටන් ඩීසීහි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි හත් දෙනෙකුගෙන් යුත් ආසියානු අලි කණ්ඩායමේ සිටි වයස්ගතම සාමාජිකාවයි. අම්බිකාගේ සැත්තෑ එක් වසක දිවිසැරිය පසුගිය මාර්තු 27 වනදායින් නිමා වී තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ඉතිරිව සිටින ආසියානු අලි පංතියේ සිවු දෙනෙකුම එකම වසරකදී ශ්‍රී ලංකාවේ උපන් අයයි. ඒ ශාන්ති, කමලා, ස්වර්ණා හා බොසී යන සිවු දෙනායි. ඉතිරි දෙදෙනා ඉන්දියාවෙන් හා තායිලන්තයෙන් පැමිණි අයයි. පසුගිය ජූනි මාසයේදී මා අවසන් වරට මේ අයව පියවි ඇසින් දැක ගත්තා. අන්තර්ජාලය හරහානම් ඕනෑම වෙලාවක ඔවුන්ව සජීවීව නැරඹිය හැකියි.

අම්බිකාගේ සෞඛ්‍ය තත්ත්වය කාලයක් තිස්සේම පිරිහෙමිනුයි තිබුණේ. කළ හැකි සියළු ප්‍රතිකාර කිරීමෙන් පසුව සුව වීමේ ඉඩක් පෙනෙන්නට නොතිබුණු බැවින් හා අම්බිකාගේ වයස ගැන සලකමින් පසුගිය මාර්තු 27 වනදා ඇයට සුවදායක මරණයක් ලබා දීමට ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි ආසියානු අලි අතරින් අම්බිකාගේ ළඟම යෙහෙළියන්ව සිටියේ ශාන්ති හා බොසී දෙදෙනායි. අම්බිකා මරණයට පත් වීමෙන් පසුව ඇයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට ලබා දී තිබෙනවා. සාමාන්‍යයෙන් අලින් කරන පරිදි, මිනිත්තු 15-20ක පමණ කාලයක් දේහය වටා පැදකුණු කරමින් හා සිය හොඬයෙන් අම්බිකාගේ කණ, මුඛය හා හොඬ අග ස්පර්ශ කරමින් ඔවුන් දෙදෙනා සිය වැඩිමහල් මිතුරියට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

අම්බිකා ගැනත්, මෙහි සඳහන් ඇගේ යෙහෙළියන් ගැනත් පෙර ලියූ ලිපි කිහිපයක් පහත තිබෙනවා.

අම්බිකාගේ විලාපය


Sunday, November 24, 2019

බ්‍රෙක්සිට් වුනේ කැමරන් පටි තද කළ නිසාද?


තව තෙසතියකින් තිබෙන මහ මැතිවරණය සඳහා මේ වන විට එක්සත් රාජධානිය සූදානම් වෙමින් සිටිනවා. මෙය එරට සාමාන්‍ය මැතිවරණ රටාවෙන් වෙනස්ව කලින් පවත්වන මහ මැතිවරණයක්. මැතිවරණ සටනේ කේන්ද්‍රීය මතවාද නාභිගත වී තිබෙන්නේ එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීම හා අදාළ විවිධ දේශපාලනික කරුණු වෙතයි.

තෙවසරකට පෙර 2016 ජූනි මාසයේදී පැවති ජනමත විචාරණයක ප්‍රතිඵල මත එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වුනා. ජනමත විචාරණයේදී වෙන් වීමට පක්ෂව ඡන්ද 51.9%කුත් විරුද්ධව ඡන්ද 48.1%කුත් ලැබුණා. ස්කොට්ලන්තයේ හැම ප්‍රදේශයකම වගේත්, උතුරු අයර්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ ගණනාවකත් බහුතර කැමැත්ත තිබුණේ වෙන් නොවී සිටීමටයි. ලන්ඩනය ආශ්‍රිත ප්‍රදේශ වල හා එංගලන්තයේ අනෙකුත් නාගරික ප්‍රදේශ වල තිබුණේත් එවැනිම තත්ත්වයක්. එහෙත්, සමස්තයක් ලෙස වැඩි ඡන්ද ලැබී තිබුණේ වෙන් විය යුතුයි යන මතයටයි.

බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ඡන්ද බෙදී ගිය ආකාරය සංස්කෘතික සාධක මත පහසුවෙන් පැහැදිලි කළ හැකියි. ඒ පදනම මත බහුතර ඉංග්‍රීසි ජාතිකයින් වෙන් වීමටත්, ස්කොට්, වේල්ස් හා අයර්ලන්ත ජාතිකයිනුත් විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයින් ඇතුළු අනෙකුත් සුළුතර පිරිසුත් වෙන් නොවී යුරෝපීය සංගමය හා එක්ව සිටීමට කැමැත්තෙන් සිටි බවත් පෙන්වා දිය හැකියි. මේ හැර, ආර්ථික සාධක කොපමණ දුරකට ජනමත විචාරණ ප්‍රතිඵලයට බලපෑවාද?

භාණ්ඩ හා සේවා වෙළඳාමට දේශ සීමාවක් විවෘත කිරීමෙන් දේශ සීමාව දෙපසම සිටින රට වලට යහපතක් සැලසෙන බව පිළිගත් මූලික න්‍යායයක්. මේ ආකාරයෙන්ම ශ්‍රමයට හා ප්‍රාග්ධනයට දේශ සීමාව හරහා නිදහසේ ගලා යන්න ඉඩ දීමෙනුත් දෙරටටම යහපතක් සැලසෙනවා.

ජාත්‍යන්තර වෙළඳාමේ මූලධර්ම ගැන පෙර ලියා පළ කළ ලිපි කිහිපයක් පහත තිබෙනවා.

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2

එහෙත්, මේ ආකාරයට දේශ සීමා විවෘත කිරීම නිසා රටට පොදුවේ යහපතක් සැලසුනත් ඇතැම් කණ්ඩායම් වලට අවාසියක් වෙන්න පුළුවන්. ඒ ගැනත් මා පෙර විස්තර කර තිබෙනවා.

ජාත්‍යන්තර වෙළඳාමෙන් අවාසි කාටද?

සංක්‍රමණයට දොරටු විවර කළොත්?

දේශ සීමා විවෘත වූ විට ඇතැම් කණ්ඩායම් වලට නිරායාසයෙන්ම වාසියක් ලැබෙනවා. වෙනත් ඇතැම් කණ්ඩායම් වලට මේ වාසිය ගන්නනම් තමන් කරන රැකියාව වෙනස් කරන්න වෙනවා. එය එකවර කරන එක පහසු දෙයක් නොවන නිසා පෙර රැකියාවේම දිගටම නියැලෙන අයට දේශ සීමා විවෘත කිරීම නිසා අවාසියක් සිදු වෙනවා. රාජ්‍ය සුබසාධනය නිසා ඒ අවාසි තරමක් දුරට මග හැරෙනවා.

තත්ත්වය මේ විදිහට තියෙද්දී රජය විසින් සුබසාධන වියදම් කපා හැරියොත් මොකද වෙන්නේ?

එක්සත් රාජධානියේ රැකියා යුරෝපීය සංගමයේ අනෙකුත් සාමාජික රටවල ශ්‍රමිකයින්ට විවෘත කිරීමෙන් පසුව බඩේ පාර වැදුණු ජන කොටස් වලට තිබුණු සහනය රාජ්‍ය සුබසාධනයයි. එහෙත්, 2010දී බලයට පත් වූ ඩේවිඩ් කැමරන් ආණ්ඩුව විසින් සුබසාධන වියදම් කපා හැරීම නිසා මේ ජන කොටස් වලට වුනේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්. වොරික් සරසවියේ තියාමෝ ෆෙට්සර් විසින් පෙන්වා දෙන පරිදි, මේ සුබසාධන කප්පාදුව නොවන්නට එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් වෙන් වීම සිදුවිය නොහැකිව තිබුණු දෙයක්. තියාමෝගේ ගණන් බැලීම් අනුව සුබසාධන කප්පාදුව නිසා වෙන් වීමට ඇති සහයෝගය අවම වශයෙන් 6%කින් ඉහළ ගොස් නිබෙනවා. වෙන් වීමට පක්ෂව ලැබුනේ 1.9%ක වැඩි ඡන්දයක් පමණයි.

තියාමෝට අනුව, 2016ට පෙර යුරෝපීය සංගමයෙන් වෙන්වීම ප්‍රධානම මතවාදය කරගත් සැලකිය යුතු ජන පදනමක් තිබුණු එකම පක්ෂය ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයයි. ඔහු පෙන්වා දෙන්නේ 2005-2010 අතර කාලය තුළ  ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂය සතු වූ ජනබලය එකවර විශාල ලෙස ඉහළ ගිය බවයි. 2005-2010 කාලය තුළ රාජ්‍ය සුබසාධන වියදම් මූර්ත පදනමකින් 23.4%කින් පහළ ගොස් තිබෙන අතර විවිධ දිස්ත්‍රික්ක වල මේ පහළ යාම 6.2% සිට 46.3% අතර පරාසයක වෙනස් වෙනවා. තියාමෝ විසින් පෙන්වා දෙන්නේ මේ ආකාරයට කිසියම් දිස්ත්‍රික්කයක සුබසාධන වියදම් පහළ ගිය අනුපාතයට අනුරූපීව ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයේ ඡන්ද පදනමද ඉහළ ගොස් ඇති බවයි.

තියාමෝගේ පර්යේෂණ පත්‍රිකාව ඇමරිකන් ඉකොනොමික් රිවීව්හි නොවැම්බර් කලාපයේ පළ වී තිබෙනවා.


Sunday, December 23, 2018

තාප්පෙට කෙළියද?


ෆීඩ්‍රිශ් (Friedrich) කියන්නේ 1885 අවුරුද්දේ බැවේරියාවේ කල්ස්ටට් නගරයේ ජීවත් වූ තරුණයෙක්. දැන් මේ නගරය තියෙන්නේ ජර්මනියේ. වෘත්තියෙන් කරණවෑමියෙක් වූ ෆීඩ්‍රිශ්ට මේ වෙද්දී වයස අවුරුදු දාසයයි. ඔය කාලයේදී රජය මඟින් සියළු තරුණයින්ට වසර තුනක යුද සේවය අනිවාර්ය කරමින් නීති පනවනවා. දැනටත් බොහෝ රජයයන් විසින් නීත්‍යානුකූලව කරන මේ මානව හිමිකම් කඩකිරීම ඇඟ හොල්ලන්න කම්මැලි, සෝමාරි පුද්ගලයෙකු වූ ෆීඩ්‍රිශ්ගේ සතුටට හේතු වෙන්නේ නැහැ. ඒ අනුව, ඔහු තීරණය කරනවා රටින් පලාගොස් මේ නීතියෙන් ගැලවෙන්න.

මේ කාලයේ රටින් පිටතට සංක්‍රමණය වූ ජර්මානුවන්ගේ ජනප්‍රියම ගමනාන්තය වුනේ ඇමරිකාව. 1880 දශකයේදී ජර්මානුවන් මිලියන එකහමාරක් පමණ ඇමරිකාවට සංක්‍රමනය වී තිබෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් පැමිණ තිබෙන්නේ 1885 ආසන්න වසර වලදී. මේ සංක්‍රමනික කණ්ඩායම් සමඟ එකතු වෙමින්, 1885 ඔක්තෝබර් 7 වෙනිදා ආපසු නොපැමිණෙන දෙවන පංතියේ නාවික ප්‍රවේශපතක් මිල දී ගන්නා ෆීඩ්‍රිශ් දින දහයකට පසුව එස් එස් අයිඩර් නැවෙන් නිවුයෝර්ක් නගරයට පැමිණෙනවා. ඒ වන විටත්  ඔහුගේ සොහොයුරියන් නිවුයෝර්ක් නගරයේ පැලපදියම් වී සිටීම ඔහුට පහසුවක් වෙනවා.

මුලින් පොඩි පොඩි රැකියා කරන ෆීඩ්‍රිශ් විවිධ ව්‍යාපාර වලට අතගසමින් පසුව යහමින් මුදල් ඇති අයෙකු බවට පත් වෙනවා. 1902 ඔක්තෝබර් මාසයේදී තමන්ගේ මුල් ගම් පළාත වූ කල්ස්ටට් නගරයේ අසල්වැසි නිවසකින් ඔහු සහකාරියක් හොයා ගන්නවා. ෆීඩ්‍රිශ්ට වඩා වසර එකොළහක් බාල මේ සහකාරිය වූ එළිසබෙත්වත් කැන්දාගෙන ඔහු නැවත නිවුයෝර්ක් නගරයට එනවා. එහිදී ඔවුන්ට ඔවුන්ගේ පළමු දරුවා ලැබෙනවා.

කොහොම වුවත්, එළිසබෙත්ට මේ අළුත් රට තමන්ගේ මුල් රට තරම් අල්ලන්නේ නැහැ. ඒ නිසා, මේ පවුල 1904දී තමන්ගේ ඇමරිකාවේ දෙපොල විකුණා දමා නැවත බැවේරියාවට යනවා. එහෙත්, අනිවාර්ය යුද සේවය මග හැර නීති විරෝධීව රටින් පලායාම හේතුවෙන් ෆීඩ්‍රිශ්ට ඊළඟ වසරේදීම බැවේරියාවෙන් පිට වෙන්න සිදු වෙනවා. නැවත ඇමරිකාවට පැමිණෙන මේ යුවලට තවත් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා.

ෆීඩ්‍රිශ්ගේ හා එළිසබෙත්ගේ දෙවන දරුවා ෆ්‍රෙඩ්. ෆීඩ්‍රිශ්ගෙන් ලැබුණු ධනය ව්‍යාපාර වල යොදවමින් ෆ්‍රෙඩ් විශාල ධනවතෙකු වෙනවා. 1936 වසරේදී සාදයකදී හමුවන මේරි ඈන් කෙරෙහි ෆ්‍රෙඩ්ගේ හිත බැඳී ඈ හා විවාහ වෙනවා. ඇය ස්කොට්ලන්තයේ සිට පැමිණ සිටි ගෘහ සේවිකාවක්. ඔවුන් දෙදෙනාගේ දරුවන් පස් දෙනෙකුගෙන් සිවුවැන්නා ඩොනල්ඩ්.

ඩොනල්ඩ් තෙවරක් විවාහ වෙනවා. පළමු බිරිඳ ඉවානා චෙකොස්ලෝවැකියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වී සිටි තරුණියක්. දෙවන බිරිඳ මාර්ලා ඇමරිකන්. තෙවන බිරිඳ ස්ලෝවේනියාවේ (පැරණි යුගෝස්ලාවියාවේ) සිට සංක්‍රමණය වී සිටි තරුණියක්. ඈ ඇමරිකන් පුරවැසිකම ගන්නේ 2006 වසරේදී.

ජර්මනියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ ඩොනල්ඩ්ගේ සීයා හා ආච්චි දෙන්නාත්, ස්කොට්ලන්තයේ සිට සංක්‍රමනය වූ ඔහුගේ මවත්, චෙකොස්ලෝවැකියාවේ සිට පැමිණි ඔහුගේ පළමු බිරිඳත්, ස්ලෝවේනියාවේ සිට පැමිණෙන තෙවන හා වත්මන් බිරිඳත් ඇමරිකාවට පැමිණෙන්නේ ඇමරිකාව ඔවුන්ට ජීවත් වන්නට වඩා සුදුසු තැනක් කියා ඔවුන් සිතූ නිසයි. බොහෝ ඇමරිකානුවන් මේ ආකාරයෙන් කිසියම් කාලයක ඇමරිකාවට සංක්‍රමණය වූවන් හෝ ඔවුන්ගෙන් පැවැත එන්නන්.

විවිධ හේතු නිසා ඇමරිකාවට සංක්‍රමණය වෙන්න කැමැත්තෙන් සිටින මිනිස්සු ලෝකය පුරා ඉන්නවා. ජීවිත හා දේපොළ වල ආරක්ෂාව පිළිබඳව සැක සංකා ඉහළ යන තරමට, නීතියේ ආධිපත්‍යය දුර්වල වන තරමට, නිදහස් ගනුදෙනු වලට තිබෙන බාධා ඉහළ යන තරමට, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ පටු වන තරමට, මිනිස්සුන්ට තමන් ජීවත් වන රට එපා වෙනවා. එවිට, ඒ කරුණු අනුව වඩා හොඳ තත්ත්වයක තිබෙනවායැයි හිතන තැනකට සංක්‍රමණය වෙන්න මිනිස්සු පෙළඹෙනවා. නමුත්, එය පහසු හෝ අවදානම් විරහිත කටයුත්තක් නෙමෙයි.

මධ්‍යම ඇමරිකානු රටක් වන හොන්ඩියුරාස් කියන්නේ ලෝකයේ රටවල් අතරින් ජීවිත ආරක්ෂාව පිළිබඳව අවම සහතිකයක් තිබෙන රටක්. 2011-2012 අවුරුදු වලදී මේ රටේ මිනීමැරුම් අනුපාතය ලක්ෂයකට 85ක් තරම් ඉහළ මට්ටමක තිබුණා. ඒ මට්ටමට සාපේක්ෂව දැන් තත්ත්වය ටිකක් හොඳයි. 2016 වෙද්දී මේ අනුපාතය 57 දක්වා පහළ ගිහින් තිබුණා. මෙය දෙවැනි වන්නේ අල්ලපු රට වන එල් සැල්වදෝරයට පමණයි. එහෙම වුනේ ඇයි කියන එක වෙනම විස්තරාත්මකව කතා කළ යුතු කරුණක්.

මාරියෝ කර්තහේනා අවුරුදු දහසයක හොන්ඩියුරන් තරුණයෙක්. 1885දී ජර්මනියේ සිට තවත් විශාල සංක්‍රමණිකයින් පිරිසක් එක්ක නැවු නගින කොට ෆීඩ්‍රිශ් හිටපු වයසේමයි. ඒත් මේ 1885 නෙමෙයි. 2018.

වෙලාව උදේ එකොළහයි. මාරියෝ ගෙදර රූපවාහිණිය නරඹමින් ඉන්නවා. ඔහුට දැනගන්න ලැබෙනවා සංක්‍රමණිකයින්ගේ තවලමක් සංවිධානය වෙමින් පවතින බව. මෙහි ඉලක්ක ගමනාන්තය කිලෝමීටර දෙදහස් ගාණක් උතුරින් තිබෙන ඇමරිකා එක්සත් ජනපදයයි. මාරියෝ තීරණය කරනවා පොරොන්දු දේශය බලා ගමන් කරන මේ තවලමට එකතු වෙන්න. ඔහුගේ අරමුණ සොහොයුරු සොහොයුරියන් හය දෙනෙකු සිටින ඔහුගේ පවුලේ වීරයා වීමයි.

"මට දැනගන්න ලැබුණු විදිහට ඇමරිකන් දේශ සීමාවේදී ඔවුන් ඔබව අත් අඩංගුවට ගන්නවා. කොච්චර කාලෙකටද කියා කියන්න බැහැ. නමුත්, පසුව ඔවුන් ඔබව පාසැල් යවනවා. ඉගෙන ගත්තට පස්සේ රස්සාවක් ලැබෙනවා. එතකොට ඒ ගොල්ලෝ වියදම් කරපු සල්ලි අය කර ගන්නවා. අපේ රටේ අය කියන විදිහට ඔහොමයි වෙන්නේ..."


දකුණු ඇමරිකානු රටක සිට එක්සත් ජනපද දේශසීමාව දක්වා පැමිණීම අභියෝගාත්මක හා බොහෝ අවදානම් සහිත කටයුත්තක්. මේ අවදානම් අවම කර ගැනීමේ උපක්‍රමයක් ලෙස සංක්‍රමණික අභිලාශ තිබෙන විශාල පිරිසක් තවලමක් සේ සංවිධානය වීම වසර කිහිපයක සිට සිදුවන දෙයක්. මාරියෝ එකතු වුනෙත් පසුගිය ඔක්තෝබර් 13 වෙනිදා හොන්ඩියුරාස් රටේ සැන් පේද්රෝ සුලා නගරයෙන් ආරම්භ වූ මේ වගේ තවලමකටයි. ඇමරිකානු දේශ සීමාවකට එන්න කලින් මේ තවලම පළමුව ගෝතමාලාවත් දෙවනුව මෙක්සිකෝවත් පසු කළ යුතුයි. මේ මග දිගේ ගමන් කරද්දී තවලමට තවත් පිරිස් එකතු වී තවලම පන්දහසකට අධික පිරිසක් බවට පත් වෙනවා. ඇතැම් නගර වලදී ඔවුන්ට නගර වැසියන්ගෙන් කෑම බීම ආදී සත්කාර ලැබෙනවා. නමුත්, එතරම් උණුසුම් නොවන පිළිගැනීම් ලැබෙන තැනුත් තිබෙනවා. විශාල පිරිසක් සිටීම නිසා කවර තත්ත්වයකට වුවත් මුහුණ දෙන එක පහසුයි. කොහොම වුනත්, ඇමරිකානු බලධාරීන්ටනම් මේ වගේ විශාල සංක්‍රමණික තවලම් ලොකු හිසරදයක්.

මාරියෝට තමන්ගේ පොරොන්දු දේශයට ඇතුළු වන එක 1885දී ෆීඩ්‍රිශ්ට තරම් පහසු වෙන එකක් නැහැ. ජර්මනියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ ෆීඩ්‍රිශ්ගේ හා එලිසබෙත්ගේ මුණුපුරා, ස්කොට්ලන්තයේ සිට සංක්‍රමණය වූ මේරි ඈන්ගේ පුතා හා චෙකොස්ලෝවැකියාවේ සිට සංක්‍රමණය වූ ඉවානාගේ හිටපු සැමියා හා ස්ලෝවේනියාවේ සිට සංක්‍රමණය වූ මෙලනියාගේ සැමියා වන ඩොනල්ඩ් විසින් මාරියෝ ඇමරිකාවට ඇතුළු වන එක වලක්වන්න හැකි හැම දෙයක්ම කරනවා. ඩොනල්ඩ් දැන් ඇමරිකාවේ ජනාධිපති!

මේ හා අදාළව පොදු ඇමරිකානු මතය වුවත් බෙදුණු මතයක්. රිපබ්ලිකන් පාක්ෂිකයින්ගෙන් 51%ක් හිතන්නේ මේ සංක්‍රමණික තවලම ආපසු හරවා යැවිය යුතු බව වුවත්, ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් 89%ක් හා නිර්පාක්ෂික පුද්ගලයින්ගෙන් 72%ක් හිතන්නේ ඔවුන්ට රටට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දිය යුතු බවයි.

පවතින ඇමරිකන් නීතිය අනුව රට තුළට කවර ආකාරයෙන් ඇතුළු වූයේදැයි නොසලකා සරණාගතයෙකුගේ පෙත්සමක් සලකා බලනු ලැබිය යුතුයි. පසුගිය නොවැම්බර් 9 වනදා ජනාධිපති ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් නිකුත් කරමින්, මේ අවස්ථාව හිමි විය යුත්තේ නිල වශයෙන් රටට ඇතුළු විය හැකි ස්ථාන හරහා පැමිණෙන අයට පමණක් බවට නියෝග කළා. ජාතික ආරක්ෂාව ඉදිරියට දමමින් නිකුත් කළ මේ විධායක නියෝගයට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් දිස්ත්‍රික් උසාවියක නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව ඉහත විධායක නියෝගය වාරණය කරමින් දිස්ත්‍රික් උසාවියක් විසින් රැඳවුම් නියෝගයක් ලබා දුන්නා.

සොලිසිටර් ජනරාල් වරයා විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉහත සඳහන් පහළ උසාවියේ නියෝගයට එරෙහි රැඳවුම් නියෝගයක් නියෝගයක් ඉල්ලා සිටියත්, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ තර්කය වූයේ මෙය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට මිස අධිකරණයට නොවන බවයි. පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද පහළ උසාවියේ තීරණය අනුමත කළා. කෙසේ වුවත්, එය ඒකමතික තීරණයක් වූයේ නැහැ. අග විනිසුරු ඇතුළු නව පුද්ගල විනිසුරු මඩුල්ලේ පස් දෙනෙකු පහළ උසාවියේ තීරණය වෙනුවෙන් පෙනී සිටියත් ඉතිරි සිවු දෙනා සිටියේ විධායකයේ මතය සමඟයි.

මේ අතර ප්‍රධාන වශයෙන්ම සංක්‍රමණික ප්‍රතිපත්තිය හා අදාළව ඇමරිකන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තිබෙන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා සිට ඇමරිකන් ෆෙඩරල් රජයේ කටයුතු වලින් කොටසක් අකර්මන්‍ය වී තිබෙනවා. පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ වලින් පසුව ඇමරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. මෙක්සිකෝ දේශ සීමාව දිගේ තාප්පයක් ඉදි කිරීමට යන වියදම් ඇතුළත් ට්‍රම්ප්ගේ අයවැය යෝජනා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත කරගැනීම ඔහුට පහසු වෙන එකක් නැහැ. ඒ පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති නොවුනහොත්, අනුමත මුදල් අවසන් වෙද්දී, ෆෙඩරල් ර‍ජයේ කටයුතු තවදුරටත් අකර්මන්‍ය විය හැකියි.

Wednesday, October 24, 2018

පඬුවස්දෙව්ගේ දරුවෝ


මහා වංශයට අනුව සිංහල අනන්‍යතාවය පටන් ගන්නේ විජයගෙන්. ඔය කතාවත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් නැහැ. තමන්ව  සිංහලයෙක් ලෙස හඳුන්වාගත් පළමු පුද්ගලයා විජය වෙන්න පුළුවන්. එය ජාතික අනන්‍යතාවයක්ද නැද්ද කියන එක වෙනම කරුණක්. ගොඩක් වෙලාවට එයින් අදහස් වෙන්න ඇත්තේ ඔහුගේ පරම්පරාව.

ඔය ආකාරයට තමන්ගේ පරම්පරාවේ අනන්‍යතාවයෙන් තමන්ව හඳුන්වා ගත්තු මිනිස්සු ඉතිහාසයේ ඕනෑ තරම් ඉන්න ඇති. නමුත්, මහා වංශ ඉතිහාසයේ විජයට ලැබී තිබෙන තැන ඒ වෙනත් අයට ලැබිලා නැහැ.

මහා වංශය ලියා තිබෙන්නේ (දළ වශයෙන්) විජයගේ කාලයෙන් සියවස් අටකට පමණ පසුව වුනත්, මහා වංශය ලියන්න පදනම් කරගෙන තියෙන කතා ඊට වඩා පැරණියි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ඉඳලා මේ ඉතිහාස කතා දිගින් දිගටම යාවත්කාලීන කරමින් කටින් කට ඉදිරියට ගෙනත් තිබෙනවා. ඒ විදිහට ගෙනත් තියෙන්නේ ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසය. මේ කතා වල රජවරුන්ට තැනක් ලැබෙන්නේ බුද්ධ ශාසනයේ ඉතිහාසයට ඔවුන් සම්බන්ධ වන තරමටයි.

මහාවංශ ප්‍රවාදය අනුව ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසය පටන් ගන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයෙන්. කතාවේ ඊට පෙර කොටස තිබෙන්නේ මගධය ඇතුළු වත්මන් ඉන්දියානු අර්ධද්වීපයට අයත් තැන් වල. ඒ කොටසත් එකතු කළොත් කතාව අඛණ්ඩව යාවත්කාලීන වෙන්න පටන් ගන්නේ බුද්ධ කාලයෙන්. නමුත්, මහින්දාගමනය තෙක් මේ විදිහට යාවත්කාලීන වී තිබෙන්නේ මගධයේ ඉතිහාසය මිසක් ලංකාවේ ඉතිහාසය නෙමෙයි.

මහින්දාගමනයට පෙර ලංකාවේ බෞද්ධයින් සිටි බව කාට හෝ මතක් කරන්න පුළුවන්. එය එසේ නොවෙන්න හේතුවක් නැහැ. නමුත්, ඒ බෞද්ධයින්ගේ යම් සම්ප්‍රදායයන් තිබුණානම් ඒවා එක්කෝ නැති වෙලා ගිහින්. එහෙම නැත්නම් අශෝක බුද්ධාගම ඇතුළේ දිය වෙලා ගිහින්. දැන් තිබෙන සම්ප්‍රදාය මගධයේ පරිණාමය වෙලා ලංකාවට ඇවිත් තිබෙන්නේ මහින්දාගමනයත් එක්කයි.

දේවානම්පියතිස්ස කියන්නේ මහා වංශයට මුල් වූ පූර්ව ඉතිහාස කතා අනාගතයට සම්ප්‍රේෂණය කරපු බෞද්ධ භික්ෂූන්ට මුහුණට මුහුණ හමු වූ චරිතයක්. නමුත්, විජය කියන්නේ ඒ විදිහට ඔවුන්ට හමු වූ අයෙක් නොවෙයි. මහා වංශයට විජය වැදගත් පුද්ගලයෙක් වෙන්නේ දේවානම්පියතිස්සගේ පරම්පරාවේ ලංකාව ඇතුළේ හඳුනාගත හැකි පළමුවැන්නා විජය නිසයි.

කොහොම වුනත්, දේවානම්පියතිස්ස කියන්නේ විජයගෙන් කෙළින්ම පැවත එය අයෙක් නෙමෙයි. විජයගේ දරුවන්ට ලංකාවේ සිහසුනට උරුමයක් ලැබෙන්නේ නැහැ. දේවානම්පියතිස්ස පැවත එන්නේ පඬුවස්දෙව්ගෙන්.

දේවානම්පියතිස්සගේ පියා මුටසීව. මුටසීවගේ පියා පණ්ඩුකාභය. පණ්ඩුකාභයගේ මව චිත්‍රා. චිත්‍රාගේ පියා පඬුවස්දෙව්. පඬුවස්දෙව්ගේ පියා විජයගේ සොහොයුරා.

විජය වගේම පඬුවස්දෙව් කියන්නෙත් පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙක්. නමුත්, පඬුවස්දෙව් ලංකාවට එන්නේ විජය පැමිණියා වගේ අහම්බයකින් නෙමෙයි. ඔහුට ලංකාවට එන්න පසුබිම හදන්නේ විජය. ඒ නිසා, දේවානම්පියතිස්ස කියා පුද්ගලයෙක් ලංකාවේ බිහිවෙන්න අඩිතාලම වැටෙන්නේ විජය නිසා. බුද්ධාගම ලංකාවේ ස්ථාපිත වෙන්න අඩිතාලම වැටෙන්නේ දේවානම්පියතිස්ස නිසා.

දේවානම්පියතිස්සගේ පියා මුටසීවනේ. මහා වංශයට අනුව මුටසීවට දරුවන් දොළොස් දෙනෙක්. පුත්තු දහයක් හා දුවලා දෙන්නෙක්. මහා වංශයේ එකොළොස් වන පරිච්ඡේදයේ තියෙන්නේ මෙහෙමයි.

"ඒ රජහට උනුන් හිතෛෂී වූ පුතුන් දස දෙනෙක් වූහ. කුලයට සුදුසු කීකරු වූ දූන් දෙදෙනෙකුද වූ ය. දේවානම් පියතිස්ස (දෙවෙන පෑතිස්ස) යයි ප්‍රසිද්ධ වූ දෙවෙනි පුත්‍ර තෙමේ ඒ සියලු සහෝදරයන් ‍අතුරෙන් පින්පැණ ගුණෙන් අධික වී."

මුටසීවගේ සීයා පණ්ඩුවාසදේවත් දරුවෝ එකොළහක් හදලා තියෙනවා. පුත්තු දහයක් හා දුවෙක්. මහා වංශයේ නවවන පරිච්ඡේදයේ තියෙන්නේ මෙහෙමයි.

"ඒ මෙහෙසිතොමෝ පුතුන් දසදෙනෙකු හා එක් දුවකුදු වැදුවා. සියල්ලන් දෙටුපිත් අභය නම  කණිට්ඨිකා තොම චිත්‍රා නම."

මේ විස්තර අනුව පෙනෙන්නේ ලංකාවට සංක්‍රමණය වූ පඬුවස්දෙව්ගේ පරම්පරාව ඉතා වේගයෙන් ව්‍යාප්ත වී තිබෙන බවයි.

තවත් කරුණක් සමහර විට ඔබ නිරීක්ෂණය කරන්න ඇති. ඒ තමයි මේ පරම්පරාවේ පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැණු දරුවන් ඉපදිලා තිබෙන්නේ අඩුවෙන් බව. එහෙම වුනේ කොහොමද?

මේ ගැන ඉදිරි ලිපියකින් කතාකරමු.

Monday, October 22, 2018

උපන් බිමේ මැරෙන්නට උඩු ගං බලා...


කලින් ලිපියෙන් කතා කළ අභ්‍යාවකාශ තරණය කියන්නේ විශාල වියදමක් දරන්න වෙන වැඩක්. ඒ වියදමට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියන එක පැහැදිලි නැහැ. ඒ වුනත්, මේ වගේ ප්‍රතිලාභ පැහැදිලි නැති දේවල් වෙනුවෙන් මිනිස්සු වියදම් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

අභ්‍යාවකාශ තරණයට මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත පිටුපස තියෙන්නේ තමන් දන්න සීමාවෙන් ඔබ්බට තිබෙන දේවල් ගවේෂණය කරන්න මිනිස්සුන්ගේ තිබෙන ස්වභාවික කැමැත්ත. එය මිනිස්සුන්ව සංක්‍රමණයට පොළොඹවන ප්‍රධාන හේතුවක්ද  වෙනවා. ආර්ථික වාසි හොයාගෙන මිනිස්සු වගේම වෙනත් සත්තුත් උපන් බිමේ සිට දුර බැහැර පෙදෙස් වලට සංක්‍රමණය වනවා වගේම අලුත් දේවල් දැනගන්න තිබෙන ස්වභාවික කුතුහලය නිසා සංක්‍රමණය තෝරා ගන්නා අයත් ඉන්නවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් දවස් කිහිපයකට කලින් ප්‍රසිද්ධ කරලා තිබුණු ලැයිස්තුවේ ඉන්නේ ලංකාවේ සරසවියක සේවය කරමින් සිට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙලා ලංකාවට ආපසු නොපැමිණි අයගෙන් එක් කොටසක් පමණයි. සරසවිය සමඟ බැඳුම්කරයකට අත්සන් නොතබා රටින් පිටව ගිය අය මෙහි නැහැ.

ලංකාවේ සරසවි වල ආචාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙක්ට උසස් අධ්‍යාපනය ලබාගන්න ලංකාවේ රජයෙන් අරමුදල් හෝ ණය දෙනවද කියා මම දන්නේ නැහැ. එහෙම දෙනවනම් ඒ ඉතාම සීමිත පිරිසකට පමණක් විය යුතුයි. බොහෝ දෙනෙක් මේ විදිහට විදේශගත වෙන්නේ අදාළ රටේ මහජන මුදල් වලින් ලබා දෙන ශිෂ්‍යත්ව ලබා ගෙනයි.

විදේශ ශිෂ්‍යත්වයක් ලබා ලංකාවෙන් බැහැර යන කෙනෙක් ඒ වෙලාවේ ආපසු ලංකාවට නොපැමිණීමේ තීරණයේ ඉන්නවානම් මේ විදිහේ බැඳුම්කරයකට අත්සන් කරන්නේ නැහැ. එවැනි අයෙක් ලංකාවේ තමන්ගේ රැකියාවෙන් ඉල්ලා අස්වෙලා විදේශගත වුනා කියා පාඩුවක් වෙන්නේ නැහැ.

බැඳුම්කරයකට අත්සන් කර විදේශගත වෙන්නේ නැවත ලංකාවට එන්න හිතාගෙන රටින් පිටව යන අයයි. රැකියාවෙන් ඉවත් වෙලා විදේශගත වුනොත් නැවත ලංකාවට පැමිණියාට පසුව සුදුසු රැකියාවක් හොයා ගැනීම පහසු නොවන බව දන්නා නිසා ලංකාවේ රැකියාව සුරක්ෂිතව තියාගන්නයි මේ විදිහට බැඳුම්කරයකට අත්සන් කර රටින් පිටවෙන්නේ. නමුත්, ඒ අයගෙන් කොටසක් නැවත ලංකාවට එන්නේ නැහැ.

මුල් තීරණය පසුව වෙනස් වී තමන් ගිය රටේම නවතින්න ගොඩක් අය පෙළඹීමට ආර්ථික වාසි වගේම වෙනත් හේතුත් බලපානවා. තමන් කලින් නොදුටු අවස්ථා දකින්න ලැබෙන විට ඇතැම් අයගේ මුල් තීරණය වෙනස් වෙනවා.

මිනිස්සුන්ට පමණක් නෙමෙයි සත්තුන්ට පවා තමන්ගේ පැවැත්ම සඳහා වඩාත්ම හොඳ තීරණය ගැනීමේ ස්වභාවික ඉවක් තිබුණත් එවැනි තීරණයක් හොඳම තීරණය වෙන්නේ ඒ මොහොතේ තමන්ගේ දැනුමට සාපේක්ෂව. දැනුම අලුත් වෙද්දී කලින් හොඳයි සිතා ගත් තීරණ හොඳම තීරණ නොවන බව පෙනෙන්න පුළුවන්. එහෙම පෙනුනා කියා බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ වගේ අතීතයට ගිහින් කලින් ගත්ත තීරණය වෙනස් කරන්න බැහැ. නමුත්, කලින් සැලසුම් කර තිබුණු අනාගත තේරීම් වෙනස් කරන්න පුළුවන්.

සංක්‍රමණය කියන්නේ අවදානම් කටයුත්තක්. මේ තීරණය ගනිද්දී එහි අනාගත ප්‍රතිඵල සියල්ලක්ම හරියටම දැනගන්න ක්‍රමයක් නැහැ. නමුත්, ඉතිහාසය පුරාම මිනිස්සු ඒ අවදානම අරගෙන තිබෙනවා. මිනිස්සු වගේම ඒ අවදානම ගන්න සත්තුත් ඉන්නවා.

සත්ත්ව ලෝකයේ සංක්‍රමණිකයින් ගැන කතා කරද්දී සැමන් මාළු ගැන කතා නොකරම බැහැ. අපි පොඩි කාලේ සැමන් කියා කිවුවේ පොදුවේ ටින් මාළු වලටයි. මේ සමහර ටින් වල අසුරා තිබුණේ මැකරල් වගේ වෙනත් මාළු වර්ග. මේ කියන්නේනම් ඔරිජිනල් සැමන් මාළු ගැන.

මාළු සාමාන්‍යයෙන් මිරිදිය මාළු හා මුහුදු මාළු විදිහට වර්ග කෙරෙනවා. කරදිය මාළුන්ට මිරිදියේ ජීවත් වෙන්න බැරුවා වගේම මිරිදිය මාළුන්ට මුහුදේ ජීවත් වෙන්නත් බැහැ. මිනිස්සු වගේම සත්තුත් පරිණාමය වෙලා තිබෙන්නේ තමන් පරම්පරා ගණනක් ජීවත් වූ පරිසරයට උචිත ආකාරයටයි.

සැමන් මාළුවාගේ පොඩි වෙනසක් තියෙනවා. සැමන් මාළු ඉපදෙන්නේ වගේම මැරෙන්නත් මිරිදියේ වුවත් වැඩිකලක් ජීවත් වෙන්නේ කරදියේ. ඔවුන්ට තියෙන්නේ අපූරු ජීවන චක්‍රයක්.

මිරිදිය මාළු විදිහට පරිණාමය වෙලා ඉන්න සැමන් මාළුන්ට කුඩා කාලයේ කරදියේ ජීවත් වෙන්න බැහැ. නමුත්, වැඩුණු සැමන් මාළුවෙකුට කරදියට හුරු වෙන්න පුළුවන්.

මුහුද කියන්නේ මාළුවෙකුට ජීවත් වෙන්න අවශ්‍ය සම්පත් විශාල වශයෙන් තියෙන තැනක්. මිරිදිය ජලාශ වල ඒ තරම් සම්පත් නැහැ. තරමක් ලොකු මාළුවෙක් වන සැමන් මාළුවෙකු තමන් උපන් තැනම මුළු ජීවිත කාලයම ගෙවනවානම් එක්තරා ප්‍රමාණයකට වැඩුනට පස්සේ මේ සම්පත් හිඟය අභියෝගයක් වෙනවා. එහෙම වුනොත් තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය බෙදාගන්න සැමන් මාළුන්ට එකිනෙකා එක්ක සෑහෙන තරඟයක් කරන්න වෙනවා. මේ වගේ තරඟයක් කුඩා සැමන් පැටවුන්ට අවාසිදායක සේ බලපාන්න පුළුවන්. තියෙන කෑම ඩිංගිත්ත ලොකු සැමන් මාළු ටික දෙනෙක් උලා කෑවට පස්සේ පොඩි එවුන්ට හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නේ.

කොහොම වුනත්, තමන් උපන් තැනින් ලබා ගන්න පුළුවන් සම්පත් අරගෙන එක ප්‍රමාණයකට ලොකු මහත් වුන සැමන් මාළු වඩා දුර්වල සැමන් පැටවුන්ට ඇණයක් වෙමින් එතැනම ටැග් ගැහි ගැහී ඉන්නේ නැහැ. උන් කරන්නේ විශාල අවදානමකට මුහුණ දෙමින් සම්පත් බහුල මුහුද කරා ගමන් අරඹන එකයි.

සංක්‍රමණය හා අදාළව එකට කතා වෙන වචන දෙකක් වන බුද්ධි ගලනය හා බුද්ධි ජනනය (Brain Drain & Brain Gain) කියන වචන දෙකෙන් දෙවැන්න ගැන කතාබහක් ලංකාවේදී ඇහෙන්නෙම නැති තරම්. මේ දෙකෙන්  බුද්ධි ජනනයේ වාසිය තිබෙන්නේ සංක්‍රමණිකයින් ආකර්ශනය කරගන්නා රටවල් වලට පමණක් නෙමෙයි. සංක්‍රමණිකයින්ගේ මුල් රටවලටත් බුද්ධි ජනනය වාසියක් වෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේදී මේ වාසිය බුද්ධි ගලනයේ අවාසිය ඉක්මවනවා.

සාමාන්‍යයෙන් සංක්‍රමණයට පෙළඹෙන්නේ අවදානම් ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් අය. සමාන කුසලතා තිබෙන දෙදෙනෙකුගෙන් නුහුරු බිමක ජීවත් වන අයෙකුට වඩා උපන් බිමේ ජීවත්වන අයෙකුට ජීවිතය පහසුයි. ඒ නිසා, සංක්‍රමණිකයෙකුට ගමනාන්ත රටේදී තරඟයට මුහුණ දී ජයගන්න පුළුවන් වෙන්නේ කුසලතා අතින් වඩා ඉදිරියෙන් සිටියොත් පමණයි.

සංක්‍රමණයට තිබෙන අවස්ථා පුළුල් වන තරමට කිසියම් රටක ඉන්න ශ්‍රම බලකාය සංක්‍රමණයේ අවදානම් වලට මුහුණ දිය හැකි තරමට කුසලතා වර්ධනය කර ගන්න පෙළඹෙනවා. නමුත්, ඒ විදිහට තමන්ගේ කුසලතා වර්ධනය කර ගන්න හැමෝම අන්තිමේදී සංක්‍රමණයට පෙළඹෙන්නේ නැහැ. මෙය බුද්ධි ජනනයට හේතු වන එක් කරුණක්.

හැබැයි සැමන් මාළුනම් එහෙම නැහැ. සංක්‍රමණයට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගත්තට පස්සේ සැමන් මාළු කිසිවෙක් උපන් තැන නැවතිලා ඉන්නේ නැහැ.

ගඟක ඉහළ ඉපදෙන සැමන් මාළුන්ට මුහුද බලා ගඟ පහළට යන එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් පොඩි මාළු කරන්නේ ඔළුව ගඟ ඉහළට තබාගෙන දිය පාර දිගේ හෙමින් පහළට ගසාගෙන යන්න ඉඩ අරින එකයි. තරමක් ලොකු මාළුනම් ඒ විදිහට දෛවයට ඉඩ දී බලා ඉන්නේ නැතුව ඔළුව දිය පාර දිහාවට හරවලා සක්‍රිය ලෙස පීනනවා. මේ සංක්‍රමණය ආරම්භ කරන්නේ වයස අවුරුද්දක් පමණ වූ සැමන් මාළු. මේ වයස සැමන් ප්‍රභේදය අනුව වෙනස් වෙනවා.

මේ විදිහට හරිත තණ බිම් හොයාගෙන යන සැමන් මාළුන්ට වැඩේ බරපතලකම තේරෙන්න ගන්නේ මිරිදියෙන් කරදියට මාරු වෙද්දී. අලුත් පරිසරයට හැඩගැහෙන අතරේ මේ සැමන් මාළු හොඳට කාලා වේගයෙන් වැඩෙනවා. අලුත් පරිසරයේ සම්පත් වගේම අභියෝගත් වැඩියිනේ. ඒ අභියෝග ජයගන්නනම් තමන්ගේ කුසලතා තවත් හොඳින් වර්ධනය කරගන්න ඕනෑ.

කරදියට හුරුවෙන සැමන් මාළු අවුරුදු හතරක් පහක්ම කර දියේ ගෙවනවා. ඇතැම් විශේෂ අවුරුදු හත අටක්ම. මේ කාලය ඇතුළත මුහුදේ තිබෙන විශාල සම්පත් ප්‍රමාණයේ වාසිය ලබමින් මේ සැමන් මාළු පුෂ්ඨිමත්ව වැඩෙනවා.

පොඩි අවුලකට තියෙන්නේ ලොකු සැමන් මාළුන්ට මේ විදිහට කරදියට හුරු වෙන්න පුළුවන් වුනත් සැමන් බිත්තර වලට හෝ කුඩා සැමන් පැටවුන්ට කරදියේ අභියෝග වලට මුහුණ දෙන්න බැරි වීමයි. මොකද සැමන් මාළු පරිණාමය වෙලා තිබෙන්නේ මිරිදිය මාළු වර්ගයක් විදිහට නිසා.

මේ හේතුව නිසා සංක්‍රමණික සැමන් මාළුන්ට අලුත් පරිසරයේ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නැහැ. අනෙක් අතට සැමන් මාළු ඉපදුණු ගඟ ඉහළ නිජබිම් වල සැමන් පරම්පරාව ඉදිරියට ගෙන යා හැකි වැඩිහිටි සැමන් මාළු කිසිවෙක් ඉතිරි වෙලත් නැහැ. එහෙමනං සැමන් පරම්පරාව වඳ නොවී දිගටම පවතින්නේ කොහොමද?

සැමන් මාළු කියන්නේ යුතුකම් දන්න සත්තු. විශ්වාස නැත්නම් සැමන් මාළුවෙකුගෙන් අහල බලන්න. මුහුදට ඇවිදින් සම්පත් මැද්දේ ජීවත් වුණත් සැමන් මාළු තමන් උපන් තැන අමතක කරන්නේ නැහැ. පරම්පරාව ගෙනියන්න පැටවු බෝ කරන්න අවශ්‍ය බව අමතක කරන්නෙත් නැහැ.

අවුරුදු හතරක් පහක් මුහුදේ සැපට හැදෙන සැමන් මාළු අන්තිමට කරන්නේ තමන්ගේ වර්ගයා බෝ කිරීමේ කටයුත්ත සඳහා නැවත උපන් තැනට ප්‍රති-සංක්‍රමණය වීමයි. නමුත්, මුහුදේ ඉඳන් උපන් තැනට ආපහු යන එක මුහුදට ආපු තරම් පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා සැතපුම් සිය ගණනක් ගඟ ඉහළට පීනන්න ඕනෑ.

මේ විදිහට වර්ගයා බෝ කිරීමේ අරමුණින් ඉතා අමාරුවෙන් සැතපුම් සිය ගණනක් උඩු ගං බලා පීනන සැමන් මාළු මේ දුෂ්කර චාරිකාවේ යෙදෙන්නේ උපවාසයකද යෙදෙමිනුයි. ඇඟේ තැන්පත් වී තිබෙන මේද දහනය වෙද්දී ඔවුන්ට උඩු ගං පීනන්න අවශ්‍ය ජවය ලැබෙන අතරම ඇඟේ බර සැහැල්ලු වීම මේ කටයුත්තට තවත් උදවුවක් වෙනවා.

ගමන අවසන් වන විට මේ සැමන් මාළුන්ගේ ප්‍රජනන පද්ධතියේ අවයව හැර අනෙකුත් අවයව සියල්ලම හොඳටම දුර්වල වෙලා අවසන්. ඒ නිසා, තමන් උපන් තැනට ආපසු පැමිණි වහාම ගැහැණු මාළු කරන්නේ තමන්ගේ වරල් වලින් සුරක්ෂිත තැනක් හදලා බිත්තර දමන එකයි. පිරිමි මාළු ඒ එක්කම වගේ මේ බිත්තර සංසේචනය කරන්න අවශ්‍ය කරන දේ එතැනටම හලනවා.

ඔය යුතුකම ඉටු කරලා ඉවර වෙන කොට ගැහැණු පිරිමි දෙවර්ගයේම සැමන් මාළුන්ගේ හොඳ පණ ගිහිං ඉවරයි. එයින් පස්සේ මේ මාළු වැඩිම වුනොත් සතියකට වඩා ජීවත් වෙන්නේ නැහැ. අන්තිමේදී ඔවුන්ගේ සිරුරු දිරා ගිහින් ඔවුන් මුහුදෙන් රැගෙන ආ පෝෂ්‍ය පදාර්ථ උපන් වතුරට එකතු වෙද්දී අලුතෙන් බිහිවුණු පැටවුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න ඉඩක් ඔවුන්ට සැලසෙනවා.

කොහොම වුනත් හැම සැමන් මාළුවාටම මේ අවසන් චාරිකාව නිමා කරලා උපන් වතුරට නැවත එන්න ලැබෙන්නේ නැහැ. ඒ වාසනාව ලැබෙන්නේ දිය පහර සමඟ සටන් කරමින් උඩු ගං පීනන සැමන් මාළුන්ව ගොදුරු කරගන්න බලාගෙන ඉන්න වලස්සු වගේ සත්තුන්ගෙන් වගේම මිනිස්සුන්ගෙනුත් බේරී ගමන අවසන් කරන්න හැකි වන සැමන්ලාට පමණයි.

උතුරු ඇමරිකාවේ සැමන්ලා මේ විදිහට උඩු ගං බලා පීනීම පටන් ගන්නේ උත්තරාර්ධගෝලය උණුසුම් වෙන්න පටන් ගනිද්දී. උත්තරාර්ධගෝලය ශීතල වෙන්න පටන් ගන්න මේ කාලය සැමන් රන් එකේ අන්තිම කාලය. ඔය මාස හයේ තමයි උතුරු ඇමරිකාවේ සැමන් දඩයම ජයටම කෙරෙන්නේ.

මේ විදිහට අමාරුවෙන් උඩුගං පීනන සැමන් මාළුන්ව දඩයම් කිරීම බලා ඉන්න කණගාටුදායක දෙයක් බවත් සඳහන් කරමින්, මේ ගැන ලියන්න කියා අපේ පාඨකයෙක් මගෙන් ඉල්ලීමක් කළේ හරියටම අවුරුද්දකට කලින්. ඔහු මේ හා අදාළ ගොඩක් විස්තරත් එවලා තිබුණා. ලිපියක් ලියන්නම් කියා පොරොන්දු වුනත් අවුරුද්දකට පස්සේ සිහි කැඳවීමක් ලැබෙනකල්ම වැඩේ කෙරුණේ නැහැ.

හොයලා බැලුවොත් ඔය විදිහට ඉකොනොමැට්ටා පොරොන්දු වෙලා ඉටු නොකරපු දේවල් තව සෑහෙන්න ඇති. පොරොන්දු කියන්නේ ඉතිං ඉටු කරන දේවල්ම නෙමෙයිනේ!

සැමන් මාළු මැරෙන්න කලින් තමන් උපන් තැනට ආපහු එන්නේත් පොරොන්දුවක් ඉටු කරන්න හෝ මුහුද බලා යන්න කලින් බැඳුම්කරයක් අත්සන් කර තිබීම නිසාද කියා දැනගන්න වෙන්නෙත් උන්ගෙන්ම තමයි. කොහොම වුනත් කමක් නෑ ඊළඟ සැරේ හොද්දක් හරි බැදුමක් හරි හදන්න සැමන් ටින් එකක් කඩන කොට මතක තියා ගන්න ඔය ටින් එක ඇතුළේ සැමන් වගේ පැක් වෙලා ඉන්නේ උපන් දියට සහ මව්දියේ සැමන්ලාට ද්‍රෝහියෙක් නොවූ සැමන් කෙනෙක් බව.

පසු එකතු කිරීම: සැමන් මාළු ගැන වසර කිහිපයකට කලින් ඔමා ලියපු ලිපියක මේ හා අදාළ තොරතුරු ගොඩක් තියෙනවා.

රැඩිකල් මාළුවා ('Salmon fish')

(Image: https://healthyeating.sfgate.com/benefits-canned-salmon-4196.html)

Thursday, October 18, 2018

මව්බිමේ ජනතාවට ද්‍රෝහියෙක් නොවනු!


ලංකාවේ රජයේ සරසවියක සේවය කරමින් සිටියදී බැඳුම්කරයකට අත්සන් තබා උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමෙන් පසුව ආපසු නොපැමිණි අය රජයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණ දවස කිහිපයකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ ලැයිස්තුවේ 485 දෙනෙකුගේ නම්, තනතුරු, ලිපින, ගෙවිය යුතු මුදල් ප්‍රමාණ, ඇපකරුවන්ගේ නම් ඇතුළු විස්තර රැසක් ඇතුළත්. 

මා මේ ගැන දැනගත්තේ ගොසිප්ලංකා වෙබ් අඩවියෙන්. එහි සඳහන් විදිහට ජාතික පුවත්පත් වල පිටු 4ක් පුරා දැන්වීමක් ලෙස මේ තොරතුරු පළ කර තිබෙනවා. රජයට අයවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 813ක්. ඩොලර් මිලියන පහකට ටිකක් අඩුයි. මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබා දීම නිසා රජයට අහිමි වූ බදු මුදලෙන් අටෙන් එකකට ආසන්න මුදලක්. වැඩිම මුදල ගෙවිය යුතු තැනැත්තා රුපියල් මිලියන 26.5ක් ගෙවිය යුතුයි. එක වාහනයකින් අහිමි වන බදු මුදලට තරමක් අඩු මුදලක්. රුපියල් 1,127ක් තරම් අඩු මුදලක් ගෙවිය යුතු අයත් ලැයිස්තුවේ ඉන්නවා.

මටනම් මෙය රජයේ අකාර්යක්ෂමතාවය පිළිබිඹු කරන තවත් එක් කටයුත්තක් පමණයි. මම එහෙම කියන්නේ මගේ හෝ මා පෞද්ගලිකව දන්නා කිසිවකුගේ නම් මේ ලැයිස්තුවේ තිබෙන නිසා නෙමෙයි. මෙහි නම් සඳහන් කිසිවකු මා පෞද්ගලිකව දන්නේ නැහැ. ඇතැම් විට මේ කටයුත්ත පසුපස වෙනම ගේමක් තියෙනවා වෙන්නත් පුළුවන්. මේ වගේ පුවත්පත් දැන්වීමකින් රජයට එල්ලවන මිනිස්සුන්ගේ විරෝධය තාවකාලිකව වෙනත් අතකට යොමු කරන්න පුළුවන්. ඉටු කරගත හැකි වෙනත් අරමුණුත් තිබෙනවා.

ගොසිප්ලංකා පුවත අනුව පුවත්පත් දැන්වීමේ මෙවැනි ඉල්ලීමක් තිබෙනවා. 

"මෙරට ජනතාව අනේකවිද දුක්ඛ දෝමනස්සයන් මැද එදා වේල පිරිමසා ගැනීම පිණිස ඉතා වෙහෙසකර ලෙස උපයා ගත් මුදලින් ගෙවන ලද බදු මුදලින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුනි. රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුන්නේ ද ඔවුන්ගේම මුදලෙනි. ඔබ බොහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍ය ආධාර ලබා දුන්නෙමු. ඔබට පශ්චාත් උපාධි සඳහා ණය ආධාරය ලබා දුන්නේ ද එම ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත් මුදලෙනි. 

ඔබ එසේ ලබාගෙන බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 813 ඉක්මවා ඇත.

එසේ ලද මුදල්වලින් ඔබ අද උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිලතල හොබවමින් වැජඹෙන බව අප දනිමු. අනාගත පරම්පරාවට අධ්‍යාපනය ලබාදීම සඳහා ඔබ ජනතාවගෙන් ලබාගත් ණය මුදල මෙම මොහොතේ අපට ඇවැසිව ඇත. උපන් බිමට සහ මව්බිමේ ජනතාවට ඔබ ද්‍රෝහියෙක් නොවනු ඇතැයි අප විශ්වාස කරමු. ණයකරුවනි, ඇපකරුවනි පහත සඳහන් මුදල් සහ ඒ මත පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි."

රජයේ නිවේදනයක් වුවත් ලියල තියෙන්නේ අර අසූ අට අසූ නමය කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අත් පත්‍රිකා වල තිබුණු භාෂාවෙන්. මෙහි මුල් කොටස ප්‍රස්තුතයට සෘජුව අදාළ දෙයක් නෙමයි. මේ මුදල් ගෙවිය යුත්තේ පශ්චාත් උපාධි සඳහා පිටව යාමේදී අත්සන් කර තිබෙන බැඳුම්කරයේ කොන්දේසි අනුව මිසක්, පළමු වසරේ සිට උසස් පෙළ දක්වා හෝ ඉන්පසුව රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඉගෙන ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ කොටස එකතු කර තිබෙන්නේ මේ මුදල් ගෙවිය යුතු අය වෙනුවෙන් නෙමෙයි. එහි ඉලක්කය කුමක්ද කියන එක ඔබම හිතා බලන්න.

මේ ලැයිස්තුවේ ඉන්න බොහෝ දෙනෙකුට එහි කියන ආකාරයට පශ්චාත් උපාධි සඳහා ණය ආධාර ලබා දී තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. අනිවාර්යයයෙන්ම මෙහි සිටින අතිමහත් බහුතරය තමන්ගේ කුසලතා මත විදෙස් රටකින් ශිෂ්‍යත්වයක් ලැබ රටින් පිටවූ අය විය යුතුයි. එහෙම නැතුව රජයේ සරසවි ඇදුරෙකුට පශ්චාත් උපාධි හැදෑරීමේ මුළු වියදමම "ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත්" මුදලින් ලැබෙනවානම් එය ඉතාම කලාතුරකින් සිදුවන්නක් විය යුතුයි. එහෙම නැත්නම් මේ විදිහට ජනතාව කියා කියන්නේ බටහිර රටවල් වල බදු ගෙවන ජනතාව ගැනත් හිතාගෙනද දන්නෙ නැහැ.

මේ අයගෙන් සෑහෙන පිරිසක් වැටුප් සහිත නිවාඩු අරගෙන ගිය අය වෙන්න පුළුවන්. ඒ අනුව, බොහෝ විට මේ ණය කියන්නේ එසේ අධ්‍යාපනය සඳහා රටින් පිටව සිටියදී ලබාගත් වැටුප්.

රැකියාවෙන් අස් නොවී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදෙස්ගත වන සරසවි ඇදුරෙකුගේ බැඳුම්කර මුදලට ඇතුළත් වන්නේ ඒ කාලයේ ලබාගත් වැටුප් පමණක් නෙමෙයි. වැටුප් රහිත නිවාඩු ගත්තත් බැඳුම්කරයට මුදලක් එකතු වෙනවා. ඒ වගේම ඇතැම් විදේශ ශිෂ්‍යත්වලාභීන්ගේ ශිෂ්‍යත්ව මුදලේ වටිනාකමත් බැඳුම්කරයට එකතු වෙනවා. මේ අවස්ථා වලදී ඇත්තටම මහජන මුදල් වැයවීමක් සිදු වෙන්නේ නැහැ.

කොහොම වුනත්, බැඳුම්කරයකට අත්සන් තබා රටින් පිටවන අයෙක් එසේ රටින් යන්නේ නැවත සේවයට වාර්තා නොකළොත් බැඳුම්කරයේ මුළු මුදලම රජයට ගෙවන්න එකඟ වෙලයි. ඒ නිසා, රටට ආපසු එන්නේ නැත්නම් බැඳුම්කරයේ කොන්දේසි අනුව ගෙවිය යුතු මුදල අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. එහි කතා දෙකක් නැහැ.

එහෙම ගෙවුවේ නැත්නම් කළ යුත්තේ කුමක්ද?

බැඳුම්කරය අනුව ගෙවිය යුතු මුදල ආපසු ගෙවීම කවුරු හෝ විසින් පැහැර හරිනවානම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කළ යුත්තේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. රටින් පිට සිටින තැනැත්තාව අල්ලගන්න බැරිනම් ලංකාවේ සිටින ඇපකරුවන්ව අල්ලගන්න පුළුවන්. ඔවුන්ව ඇපකරුවන් සේ පිළිගෙන තිබෙන්නේ අදාළ මුදල ආපසු ගෙවන්න පුළුවන් තරම් ආදායමක් තිබෙන නිසයි. 

බැඳුම්කර අත්සන් කර විදෙස්ගත වී ආපසු නොඑන හැමෝම අදාළ මුදල ගෙවීම පැහැර හරින්නේ නැහැ. නමුත් එසේ පැහැර හරින අය ඉන්නවා. ඒ අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග නොගැනීම රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්. එයින් වෙන්නේ ගෙවිය යුතු මුදල් නිසි පරිදි ගෙවන අයට තමන් මෝඩයින් සේ දැනෙන එකයි. ඒ නිසා, තවත් අය මුදල් ආපසු ගෙවීම පැහැර හරින්න ඉඩ තියෙනවා. හැබැයි මුදල් ආපසු අය කර ගැනීමට ක්‍රියා කළ යුත්තේ ගිවිසුමේ කොන්දේසි අනුව නීතිමය වශයෙන් මිසක් පුවත්පත් දැන්වීම් පළ කිරීම වැනි මහජන මුදල් නාස්ති කරමින් කරන සෝබන වැඩ හරහා නෙමෙයි.

මගේ විශ්වාසය අනුව පුවත්පත් දැන්වීමේ නම් සඳහන් බොහෝ දෙනෙක් තමන් ගෙවිය යුතු මුදල ගෙවීම පැහැර හැර සිටින අය නෙමෙයි. මේ ඇතැම් අය ගොසිප්ලංකා පුවතට ප්‍රතිචාර දක්වමින් ඒ බව සඳහන් කර තිබෙනවා. ගොඩක් අය මුල් ගිවිසුමේ කොන්දේසි අනුව හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ පසුව ඇති කරගත් එකඟතාවයක් මත මාසික වාරික සේ තමන් ගෙවිය යුතු මුදල් පියවමින් සිටිනවා. පුවත්පත් දැන්වීමේ තිබෙන්නේ පසුගිය වසර අවසාන වෙද්දී ඒ අයට ගෙවන්න ඉතිරිව තිබුණු හිඟ ශේෂයයි. ඉන්පසුව ගත වූ මාස අට තුළ මේ ඇතැම් අය හිඟ මුදල් සියල්ලම පියවා අවසන්ව ඇති බව ඔවුන් සඳහන් කරනවා. 

ලැයිස්තුවේ අවසානයට නම් තිබෙන 60 දෙනෙක් පමණ ගෙවිය යුතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක්. 180 දෙනෙක් පමණම ගෙවිය යුත්තේ ලක්ෂ 5කට වඩා අඩු මුදලක්. මේ අය අතර පසුගිය මාස දහය ඇතුළත තමන්ගේ ණය වාරික ගෙවා අවසන් කළ අය ඉන්න පුළුවන්. ඒ නැතත්, ගිවිසුම අනුව වාරික වශයෙන් තමන් ගෙවිය යුතු මුදල් ගෙවමින් සිටින අයෙක් බැඳුම්කරයේ කොන්දේසි අනුව මුදල් ගෙවීම පැහැර හැර තිබෙන අයෙක් සේ සලකන්න බැහැ.

ජාතික පුවත්පතක පිටුවක දැන්වීමක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැය වනවා කියා මම හිතනවා. ඒ අනුව පත්තර හතරක දැන්වීම් දැම්මොත් ලක්ෂ හයක්. එක පිටුවක නම් 120ක් පමණ තිබෙන නිසා එක නමක් පළ කරන්න වියදම රුපියල් පන්දාහක් පමණ වෙනවා. ඊටත් අඩු මුදලක් ගෙවිය යුතු අයත් මේ ලැයිස්තුවේ ඉන්නවා.

බැඳුම්කරයක් අත්සන් කර රටින් පිටවී එහි කොන්දේසි අනුව ගෙවිය යුතු මුදල නොගෙවා සිටීම ඉතා පැහැදිලිවම වරදක්. ඒ වරද කරන්න ඉඩ හැරීමෙන් වෙන්නේ තවත් අය ඒ වරදට පෙළඹවීමක්. නමුත්, බැඳුම්කරයේ කොන්දේසි අනුවම හෝ පසුව ඇති කරගත් එකඟතාවයක් මත වාරික වශයෙන් මුදල් ගෙවමින් සිටින අයගේ නම් මේ ලැයිස්තුවේ තිබෙනවානම් එය අදාළ පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක්. ඒ වගේම මුදල් අය කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසිපරිදි අනුගමනය නොකර පුවත්පත් දැන්වීම් දැමීම තවත් මහජන මුදල් නාස්තියක් පමණයි.

ලංකාවට ආපහු ආපු නැති එක ගැන මේ අයට පොඩි හරි අවුලක් තිබුණනම් ලංකාවේ වෙන මේ වගේ විහිළු වැඩ දැක්කම හිත හදාගන්න පහසුවක් වෙයි.

Wednesday, September 5, 2018

වන් ඇන්ඩ් ඔන්ලි සිලෝන්?


ලංකාව හැඳින්වෙන නිල නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඔය විදිහට හැඳින්වෙන්නේ 1978 වසරේ ඉඳලයි.ඊට කලින් 1972 වසරේ ඉඳලා ලංකාව හැඳින්වුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය වශයෙනුයි. ඊටත් කලින් රටේ නම නිකම්ම ලංකාව. ඉංග්‍රීසියෙන්නම් සිලෝන්.

සිලෝන් කියන ඉංග්‍රීසි නම විකාශනය වෙන්නේ ඊටත් පෙර ලංකාව හැඳින්වුණු සිහලදීප කියන නමෙන් බව සෑහෙන දුරකට පිළිගැනෙන මතයක්. මේ හා අදාළ වෙනත් මතත් තිබෙනවා.

සිලෝන් කියා කියූ විට බොහෝ දෙනෙක් අවුලක් නැතිව හඳුනාගන්නේ ඉන්දියාවට පහලින් තිබෙන දැන් ලංකාව සේ හැඳින්වෙන දිවයිනයි. ඒ වගේම ඒ නම ගෑවී තිබෙන දෙයක් හඳුනාගන්නේ ලංකාවට සම්බන්ධ දෙයක් ලෙසයි. මේ රටේ නම දැන් ඉංග්‍රීසියෙන් ලියන්නේ ශ්‍රී ලංකා කියා වුවත් සිලෝන් කියන නම තවමත් මුළුමනින්ම භාවිතයෙන් ඉවත් වී නැහැ.

උදාහරණයක් විදිහට ලංකා බැංකුව යන්න ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ බෑන්ක් ඔෆ් සිලෝන් කියලයි. ලංකා වාණිජ බැංකුව ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් කියලයි. යම් විදිහකින් ලංකා රාජ්‍ය බැංකුව කියා බැංකුවක් ලංකාවේ තිබුණානම් ඕක ඉංග්‍රීසියෙන් ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් කියා හැඳින්වෙන්න ඉඩ තිබුණා.



ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් ලෙස හැඳින්වෙන බැංකුවක් ලංකාවේ නැතත් ඇමරිකාවේ එලෙස හැඳින්වෙන බැංකුවක් තිබෙනවා. එය තිබෙන්නේ මිනසෝටා ප්‍රාන්තයේ දකුණු කොණේ අයෝවා ප්‍රාන්ත මායිම කිට්ටුව තිබෙන සිලෝන් කියන ප්‍රදේශයේ. ඇමරිකාවේ 42වන උප ජනාධිපති වූ වෝල්ටර් මොන්ඩේලුත් මේ සිලෝන් කියන ප්‍රදේශයේ ඉපදුනු අයෙක්. මේ ප්‍රදේශය සිලෝන් ලෙස නම් කර තිබෙන්නේ ලංකාව හැඳින්වුණු සිලෝන් කියන නම අනුව යමිනුයි.


ලෝකයේ විවිධ රටවල් වල නම් වලින් හැඳින්වෙන ප්‍රදේශ ගණනාවක් ඇමරිකාවේ තිබෙනවා. ඒ බොහෝ ප්‍රදේශ එසේ නම් කර තිබෙන්නේ අදාළ රටවල් වලින් පැමිණි සංක්‍රමණිකයින් එවැනි ප්‍රදේශ වල පදිංචි වීම මත පදනම්ව වුවත් මිනසෝටා ප්‍රාන්තයේ සිලෝන් කියන ප්‍රදේශය එසේ නම් කරන්නට හේතු වී තිබෙන්නේ ඒ කරුණම නෙමෙයි.

ඔය සිලෝන් කියන හරියට සංක්‍රමණය වූ මුල් කණ්ඩායමේ පිරිසක් තමන්ගේ ජනපදයට දමන්න සුදුසු නමක් ගැන කතා කරගන්න කඩපිලකට එක්රැස් වෙලා විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ කතාබහ දිගින් දිගට ඇදෙද්දී උණුසුම් තේ සංග්‍රහයකුත් කෙරී තිබෙනවා. ඔය කාලේ ඉතිං තේ කියන්නේ සිලෝන් ටීනේ.

තේ කෝප්පේ ආපු ගමන්ම එක් අයෙක්ට මතක් වෙලා තිබෙන්නේ තමන්ගේ ජනපදයට සිලෝන් කියන නම නරකද කියන එකයි. යෝජනාවට හැමෝම කැමති වෙලා. ඔන්න ඔහොමයි ඔය ප්‍රදේශයට සිලෝන් කියන නම වැටිලා තියෙන්නේ. ඇමරිකාව හරහට දිවෙන ප්‍රධානම පාරක් වන I-90 පාරේ 93 පිටවුමෙන් 263 පාරට ඇවිත් හැතැම්ම දහයක් දොළහක් දකුණට ආවහම ඔය සිලෝන් කියන හරියට එන්න පුළුවන්.

මිනසෝටා ප්‍රාන්තයේ තිබෙන සිලෝන් කියන්නේ ඇමරිකාවේ තිබෙන එනමින් හැඳින්වෙන එකම ප්‍රදේශය නොවෙයි. අඩුම වශයෙන් තවත් ප්‍රාන්ත තුනක සිලෝන් ලෙස හැඳින්වෙන ගම් තිබෙනවා. ඒ ඔහායෝ, ඉන්දියානා හා පෙනිසිල්වේනියා කියන ප්‍රාන්ත වල.

ඔහායෝ වල තිබෙන සිලෝන් වලට යන්නනම්  I-90 පාරේ 118 පිටවුමෙන් උතුරට යන්න ඕනෑ. මේ ප්‍රදේශය තිබෙන්නේ පංච මහා විල් වලින් එකක් වන ඊරී විලට කිට්ටුව ඇමරිකාවේ උතුරු සීමාවේ.

ඉන්දියානා ප්‍රාන්තයේ සිලෝන් තිබෙන්නේ ප්‍රාන්තයේ නැගෙනහිර පැත්තේ ඔහායෝ මායිම කිට්ටුවට වෙන්න. ෆෝර්ට් වේන් නගරයේ සිට පැයකට අඩු කාලයකින් එහි ලඟා විය හැකියි.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ සිලෝන් තිබෙන්නේ එහි දකුණු මායිමේ වෙස්ට් වර්ජිනියා ප්‍රාන්ත සීමාව කිට්ටුව. පිට්ස්බර්ග් නගරයේ සිට පැයක පමණ කාලයකින් එහි ලඟා විය හැකියි.


ඇමරිකාවේ වගේම කැනඩාවේත් සිලෝන් ලෙස හැඳින්වෙන ප්‍රදේශ අවම වශයෙන් දෙකක් තිබෙනවා. ඒ ඔන්ටේරියෝ හා සැස්කටුවාන් ප්‍රාන්ත වල. ඔන්ටේරියෝ සිලෝන් තියෙන්නේ හූරොන් විල පැත්තට වෙන්න. සැස්කටුවාන් සිලෝන් තිබෙන්නේ ඇමරිකානු දේශ සීමාවට ආසන්නව.



උතුරු ඇමරිකාවේ වගේම එංගලන්තයේත් සිලෝන් නම තිබෙන තැන් තිබෙනවා. ඒ ලන්ඩන් වල හැමර්ස්මිත් හරියේ තිබෙන සිලෝන් රෝඩ් එක සහ නැගෙනහිර වෙරළ කිට්ටුව සවුත්එන්ඩ්-ඔන්-සී වල තිබෙන සිලෝන් රෝඩ් එකයි. සිලෝන් ලෙස හැඳින්වෙන තැනක් වගේම සිලෝන් රෝඩ් හා සිලෝන් ස්ට්‍රීට් ලෙස හැඳින්වෙන පාරවල් කිහිපයක්ම දකුණු අප්‍රිකාවෙත් තියෙනවා.


සිලෝන් රෝඩ් එකක් හා සිලෝන් ලේන් එකක් සිංගප්පූරුවෙත් තියෙනවා. ඒ වගේම මැලේසියාවේ කුවාලාලම්පූර් කිට්ටුව බුකිට් සිලෝන් (ලංකා කන්ද) කියා ප්‍රදේශයක් තිබෙනවා. ලොරොන් සිලෝන්, ජාලන් සිලෝන් ආදී ලෙස හැඳින්වෙන පාරවලුත් ඔය පැත්තේ තියෙනවා.

මේ ප්‍රදේශ ගැන වැඩි විස්තර දන්න අය කියවන අය අතර ඇති.

(ඡායාරූප සියල්ල අන්තර්ජාලයෙනි.)

Friday, August 31, 2018

ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව

ජනාධිපති ජේආර් ජයවර්ධන ඇමරිකන් ජනාධිපති රේගන්ව හම්බු වෙන්න ගිහින් අලි පැටියෙක් තෑගි කරපු කතාව ගැන අපි කලින් කතා කළානේ. ඔය සිද්ධිය වුනේ 1984 ජූනි 18 වෙනිදා. ඊට සතියකට දෙකකට කලින්, ජූනි 4-10 අතර දවස් වල රේගන් එංගලන්ත සංචාරයක නිරත වුනා. මේ ගමනේ අරමුණ වුණේ G7 රටවල් වල ආර්ථික සමුළුවට සහභාගී වීමයි. රොනල්ඩ් රේගන් ඔය සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුරේදී නැන්සි රේගන් ලන්ඩන් සත්ත්වෝද්‍යානය බලන්න ගියා.


(Image: https://abc7chicago.com)

ලන්ඩන් සත්වෝද්‍යානයේ හිටපු සත්තු අතරින් නැන්සි රේගන්ගේ හිත ගොඩක් ඇදිල ගියේ කුඩා අලි පැටික්කියෙක් වූ ඩිල්බර්ටා වෙතටයි. ඩිල්බර්ටා ලංකාවේ අලියන් සාමාන්‍යයෙන් කරන විදිහට (කරන්න පුරුදු කරලා තියෙන විදිහට) හොඬවැල උස්සලා නැන්සි රේගන්ට ආචාර කලා.

මේ ඩිල්බර්ටාත් ඉපදිලා තියෙන්නේ පින්නවලදී. ලංකාවේදී ගීතා ලෙස හැඳින්වුණු ඇය ඩිල්බර්ටා වෙලා තියෙන්නේ එංගලන්තයට ආවට පස්සෙයි. 1980 ඔක්තෝබර් මාසයේදී ඉපදී තිබෙන ඇය එංගලන්තයට පැමිණ තිබෙන්නේ 1982 ජූනි 30 වෙනිදා. මේ සිද්ධිය වෙන කොට ඇයට වයස අවුරුදු හතරයි.

ඩිල්බර්ටා දැනට ජීවතුන් අතර නැහැ. ඒත් ඩිල්බර්ටා වගේ ලංකාවේ සිට ලෝකයේ විවිධ රටවලට යවනු ලැබූ අලි සහ ඔවුන්ගෙන් පැවතගෙන එන අලි විශාල ප්‍රමාණයකගෙන් සමන්විත ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාවක් මේ වන විට ලෝකය පුරා විසිරී සිටිනවා.

ලංකාවේ ඉපදුණු කමලා, ස්වර්ණා හා බණ්ඩාර කැනඩාවේ කැල්ගරි සත්ත්වෝද්‍යානයට එන්නේ 1976 අවුරුද්දේ මැයි 25 වෙනිදා. ඒ වන විට බණ්ඩාරට වයස අවුරුද්දයි. ස්වර්ණාට හා කමලාට මාස නවයක් විතර. මේ තුන්දෙනාගෙන් බණ්ඩාර 1991 නොවැම්බර් 25 වෙනිදා හෘදයාබාධයකින් මිය ගියා. ඒ වන විට බණ්ඩාරගේ වයස අවුරුදු දාසයයි.

බණ්ඩාර එක්ක කැනඩාවට පැමිණි ස්වර්ණා හා කමලා තවමත් ජීවත් වෙනවා. ඒ දෙන්නා දැන් ඉන්නේ ඇමරිකාවේ අගනුවර වන වොෂින්ටන් ඩීසීහි පිහිටි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. දැනට වයස අවුරුදු 43ක් වන මේ දෙන්නා කැනඩාවේ ඉඳලා ඇමරිකාවට එන්නේ 2014 මැයි 22 වෙනිදා. බණ්ඩාර අඩු වයසකින් මිය ගියත් ඊට පෙර කමලා එක්ක එකතු වෙලා දරුවෝ දෙන්නෙක් හැදුවා. ඒ දරුවෝ තවත් දරුවන් ගණනාවක් හැදුවා. දැන් ලෝකය පුරා විසිරිලා ඉන්න බණ්ඩාරගේ හා කමලාගේ දරුවන් හා මුණුපුරන් ගැන පසුව ලියන්නම්.

මේ වන විට ඇමරිකාවේ ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ජීවත්වන වයස අවුරුදු 42ක් වූ ශාන්ති ඇමරිකාවට පැමිණියේත් බණ්ඩාර, කමලා හා ස්වර්ණා කැනඩාවට පැමිණි 1976 අවුරුද්දේදී. ඒ අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා ඈ ඇමරිකාවට පැමිණෙන විට ඇගේ වයසත් අවුරුද්දකට අඩුයි. ශාන්තිටත් දරුවන් දෙදෙනෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා. එක් දරුවෙක්ගේ පියා බණ්ඩාරගේ හා කමලාගේ පුතෙක්.

ශාන්ති ඇමරිකාවට පැමිණෙන්න මාසයකට පෙර, 1976 නොවැම්බර් 3 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නගරයේ පිහිටි ලින්කන් සත්ත්වෝද්‍යානයට පැමිණි බොසී දැන් ඉන්නේත් ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. ඇමරිකාවට ලංකාවේ සිට පැමිණි පෙර කී අලි පැටවුන්ගේ සමකාලීනයෙකු වන බොසීටත් දැන් අවුරුදු 43ක්. ඇයටත් දරුවෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා.

උතුරු ඇමරිකාවට පෙර කී අලි පැටවුන් පස් දෙනා පැමිණි 1976 අවුරුද්දේදී යුරෝපයටත් ලංකාවෙන් අලි පැටවුන් පැමිණිලා තිබෙනවා. ඒ අවුරුද්දේ මාර්තු 24 වෙනිදා ස්විට්සර්ලන්තයේ සූරිච් සත්ත්වෝද්‍යානයට පැමිණි සීලා-හිමාලි එහි පැමිණෙන විට ඇගේ වයස මාස අටයි. දරුවන් හය දෙනෙකු වැදූ සීලා-හිමාලිට මුණුපුරු මිණිපිරියන් විශාල පිරිසක් ඉන්නවා.

ඔය කාලයේදීම පිලිපීනයේ මැනිලා සත්ත්වෝද්‍යානයට ලබා දුන් මාලිටත් දැන් වයස අවුරුදු 44යි. දරුවන්නම් නැහැ.

කලින් කී අලි පැටවුන් සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් පිටරට පටවනු ලැබූ පළමු අලි කණ්ඩායම නෙමෙයි. අනුෂාව සහ කෝමලීව ලංකාවේ සිට සිංගප්පූරු සත්ත්වෝද්‍යානයට එවල තියෙන්නේ 1973 වසරේදී. ඒ වන විට අනුෂාට වයස අවුරුදු 28ක්. කෝමලීටනම් අවුරුදු 3ක් වුණා පමණයි. අනුෂා 1999 සැප්තැම්බර් 27 වෙනිදා මිය යන විට ඇයට වයස අවුරුදු 54ක්. දැන් වයස අවුරුදු 48ක් වන කෝමලී මේ වන විට සිංගප්පූරුවේ සිටින ජ්‍යෙෂ්ඨතම කෙණෙරයි.

යුරෝපයේදී හෝ උතුරු ඇමරිකාවේදී මෙන් මේ කෙණෙරන්ගෙන් පැටවුන් ලබා ගන්න සිංගප්පූරුව සමත් වී නැති නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් කිසිවෙකු නැහැ. ඒ වුනත්, අනුෂා හා කෝමලී ලංකාවේ අලි සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රචලිත කර තිබෙනවා. සිංගප්පූරු සත්ත්වෝද්‍යානයේ දැනට සිටින විවිධ රටවලින් පැමිණි අලින්ගේ සම්බන්ධීකරණ භාෂාව ලංකාවේ අලි භාෂාවයි.

මීටත් කලකට පෙර බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් ජපානයට අවුරුදු තුනක අලි පැටියෙක් ලබා දී තිබෙනවා. හිරෝහිතෝ අධිරාජයාගේ මල්ලී වූ මිකාසා කුමරුට 1957දී තෑගි කෙරුණු, අගමැති පුතු ලෙසින්ම අනුර සේ නම් කර තිබෙන මේ අලි පැටවා දැන් වයස අවුරුදු 65ක අලියෙක්. ජපානයේ තමා සත්ත්ත්වෝද්‍යානයේ ජීවත් වෙනවා.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කෝසල හා අනුලානම් වූ තවත් අලි පැටවුන් දෙදෙනෙකු ජපානයේ හිගශියමා සත්ත්වෝද්‍යානයට ලබා දී තිබෙනවා. 2007 ජූලි 28 වෙනිදා මේ අලි පැටවුන් ලබා දී තිබෙන්නේ රයිනෝසිරස් පැටවුන් දෙදෙනෙකු සමඟ හුවමාරුවක් ලෙසිනුයි. කෝසල ඉපදිලා තියෙන්නේ 2004 මැයි 10 වෙනිදා පින්නවලදී. ඔහුට දැන් වයස 14ක්. ඊට වසර තුනකට පෙර ඉපදුනු අනුලාට දැන් වයස 17ක්. මේ දෙන්නට දැන් ජපානයේදී උපන් සුරතල් දියණියකුත් ඉන්නවා.

ඉන්පසුව නැවතත් මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර හැටක් පිරීම නිමිත්තෙන් 2012 නොවැම්බර් 30 වෙනදා ජපානයේ තමා සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙන්නෙක් ලබා දී තිබෙනවා. ඒ, 2004 ඔක්තෝබර් 29 දා පින්නවලදී උපන් අමරා සහ 2007 අගෝස්තු 25 එහිදීම උපන් විදුර කියන අලි පැටවු දෙන්නා. දැන් මේ දෙන්නට වයස පිළිවෙලින් අවුරුදු 16ක් හා 11ක්.

ඊටත් පස්සේ 2013 සැප්තැම්බර් මාසයේදී ජපානයේ තොකුයමා සත්වෝද්‍යානයට නාමලී හා මිලින්ද නම් වූ තවත් අලි පැටවු දෙන්නෙක් ලබා දී තිබෙනවා. මේ දෙන්නට දැන් පිළිවෙලින් අවුරුදු 12ක් හා 10ක් වෙනවා. මෙයට අමතරව චිබා සත්ත්වෝද්‍යානයේ සිටින සුරතලා නම් වූ අලියාත් ලංකාවෙන් එහි ගිය අලියෙක් වෙන්න පුළුවන්.

රාජපක්ෂ ආණ්ඩුව කාලෙදීම 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයටත් අලි පැටියෙක් දීල තියෙනවා. 2001 ජූනි මාසේදී පින්නවලදී ඉපදිලා තිබෙන, දැනට බීජිං සත්ත්වෝද්‍යානයේ ඉන්න, මිගාර කියන මේ අලි පැටියට දැන් වයස අවුරුදු 17ක්.

දැනට ස්විට්සර්ලන්තයේ ප්‍රාග් සත්ත්වෝද්‍යානයේ ජීවත් වන තමරා සහ ජනිතා ලංකාවේ සිට එහි පැමිණ තිබෙන්නේ 2012 ඔක්තෝබර් 7 වෙනිදා. වැඩිමල් ජනිතාට වයස 14යි. තමරාට 13යි. මොවුන් එහි ගිහින් වැඩි දවසක් යන්න කලින් මියන්මාරයෙන් පැමිණ සිටි අන්කෝර් තමරාට වහ වැටෙද්දී වියට්නාමයේ සිට ආ මීකොන්ගේ කැමැත්ත ලැබෙන්නේ ජනිතටයි. මේ දෙන්නටම දැන් අවුරුදු දෙක පහු කළ පුත්තු ඉන්නවා.

මීට අමතරව 1977දී ලංකාවේ සිට පැමිණි දේවී ඇමරිකාවේ සැන් දියාගෝ සත්වෝද්‍යානයේ ජීවත් වෙනවා. ඇය එහි පැමිණ තිබෙන්නේ මාස නවයක කාලයේදී. දේවී මෙන්ම ඉපදී මාස කිහිපයකින් 1968දී එහි පැමිණි සුමති අඩ සියවසකට ආසන්න කාලයක් ජීවත් වී දෙවසරකට පෙර මිය ගියා.

පසුගිය ආණ්ඩුව කාලයේදී කොරියාවේ සියෝල් ග්‍රෑන්ඩ් පාර්ක් සත්වෝද්‍යානයටත් සුගලා හා ගජබා නම් වූ අලි පැටවු දෙන්නෙක් ලබා දීල තියෙනවා. සුගලා තවමත් ජීවත් වුනත් ගජබා මේ වන විට ජීවතුන් අතර නැහැ. පසුගිය 7 වෙනිදා මද කිපී සිටි වයස 14ක් වූ ගජබා අවාසනාවන්ත ලෙස මිය ගිහින්. කෙසේ වුවත් ගජබා මිය ගියේ පියෙකු වීමෙන් පසුවයි. 2016 ජූනි මාසයේදී උපන් ගජබාගේ හා සුගලාගේ දරුවාව නම් කෙරුණේ කොරිලංකා ලෙසයි.

පකිස්ථානයේ ලාහෝර් සෆාරි උද්‍යානයටත් ලංකාවෙන් අලි පැටවු දෙන්නෙක් ලබා දෙන්න නියමිත බව මාස දෙකකට පෙර වාර්තා වී තිබුණා. මේ වන විට යවල වෙන්නත් පුළුවන්.

ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වන මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න බොහොමයකටම ලංකාවේ සිට වෙනත් රටකට යන්නට සිදුවන අලින්ටත් මුහුණ දෙන්න වෙනවා. මිනිස්සුනම් සංක්‍රමණය වන්නේ තමන්ගේ තීරණයේ තිබෙන හොඳ නරක කිරා මැන බැලීමෙන් පසුව කැමැත්තෙනුයි. නමුත් අලින්ගේ සංක්‍රමණ තීරණය ඔවුන්ගේ කැමැත්තෙන් සිදුවන්නක් නෙමෙයි.

Friday, July 27, 2018

කළුගඟ දිගේ උඩු ගං බලා...


මාස කිහිපයකට පෙර මෙහි අපේ අනන්‍යතාවන් ගැන ලිපි කිහිපයක් ලියා පළ කෙරුණා. සිංහල අනන්‍යතාවය හා බෞද්ධ අනන්‍යතාවය වැනි මාතෘකා යටතේ ටිකක් කතා කළත් මේ හා අදාළව ලියන්න තියෙන දේවල් වලින් ඉතා විශාල කොටසක් තවමත් ලියැවී නැහැ. මෙහි ලිපියක් හෝ කිහිපයක් ලියා පළ කර තිබෙන වෙනත් මාතෘකා බොහොමයක් හා අදාළව වුවත් තත්ත්වය ඔය වගේ තමයි.

එකම දෙයක් ගැන එක දිගටම ලිපි කිහිපයක් පළ කල විට පළමුව කියවන අයට ටිකෙන් ටික එපා වෙනවා. දෙවනුව, ලියන්න මුලින් තිබුණු උද්‍යෝගය අඩු වෙනවා. ඒ වුණත්, ලියන්න වෙනස් වෙනස් මාතෘකා ඕනෑ තරම් තිබෙන නිසා එහෙම වුණා කියා මෙහි ලිපි ලියන එකනම් නැවතෙන්නේ නැහැ. හැමදාම පිටාර නොදැම්මත් කළු ගඟ ගලනවා වගේ කොහොම හරි දිගටම කෙරෙනවා.

මහානාම හිමියන්ගේ සිට සිංහල අනන්‍යතාවය ගැන කතා කරන ගොඩක් අය කරන්නේ කිසියම් නිශ්චිත ස්ථානයක සිට ඉදිරියට එන එකයි. අපට අවශ්‍යනම් එය අනෙක් පැත්තට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අද සිට පසුපසට යන එක. කවුරුත් හරියටම නොදන්නා මුලකින් පටන් ගන්නවාට වඩා එය ප්‍රායෝගිකයි.

ප්‍රබල සිංහල අනන්‍යතාවයක් තිබෙන විශාල පිරිසක් අද ඉන්නවා. මේ අයගෙන් වැඩි පිරිසක් ඉන්නේ ලංකාවේ වුවත්, සැලකිය යුතු පිරිසක් ලෝකයේ හතර දිග් භාගයේම විසිරිලා ඉන්නවා. අද දකින්නට හැකි සිංහල අනන්‍යතාවය දැන් තිබෙන තැනට පැමිණි ගමන් මඟ දිගේ ආපසු ගියොත් අපට හමුවන ප්‍රධාන මඟ සලකුණක් හා හන්දියක් වන්නේ උඩරට සිංහල හා පහතරට සිංහල කියන අනන්‍යතා වල වැදගත්කම අඩු වී දිය වී යාම.

අද තමන් සිංහල සේ හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් උඩරට හෝ පහතරට කියන අනන්‍යතා වැදගැම්මකට ඇති දේ සේ සලකන්නේ නැහැ. විවාහ සම්බන්ධතා වැනි අවස්ථා වලදී මේවා තවදුරටත් එතරම් සීමාකාරී සාධක නෙවෙයි. ඒ නිසා, ගොඩක්ම තරුණ අයෙකුට මේ කියන දේ ඇඟට දැනෙන එකක් නැහැ.

කාල වකවානු අනුව බැලුවොත්, උඩරට පහතරට භේදය පසුගිය සියවසේ මුල් අර්ධය තුළ හෙමිහිටත්, දෙවන අර්ධය තුළ වේගයෙනුත් දිය වී ගියා කියා සැලකිය හැකියි. ඊට පෙර සියවස් දෙක තුනක කාලය තුළ මේ උඩරට පහතරට අනන්‍යතා වල භූමිකාව ඉතා ප්‍රබල එකක්.

යුරෝපීයයන් එන්න කලින් ඔහොම භේදයක් තිබුණේ නැහැ කියා කාට හෝ කියන්න පුළුවන්. ඒක ඇත්ත. සියවස් ගණනක් තිස්සේම ලංකාවේ කුල අනන්‍යතා හා ප්‍රාදේශීය අනන්‍යතා වලට ලොකු වැදගත්කමක් ලැබුණත් උඩරට පහතරට සේ සිදු වුනු බෙදීම යුරෝපීයයන් පැමිණීමෙන් පසුව සිදුවුණු දේශපාලනික බෙදීම හේතුවෙන් සිදු වූ දෙයක්. කොහොම වුනත්, උඩරට පහතරට අනන්‍යතා දියවී යන රැල්ලට කුල හා ප්‍රාදේශීය අනන්‍යතාවනුත් ගසා ගෙන යනවා.

පෘතුගීසින් හා ලන්දේසීන් විසින් ලංකාවේ උඩරට පළාත් පාලනය කළේ නැහැ. ඇතැම් ඓතිහාසික තත්ත්වයන් තරමක් වෙනස් වූවානම් ඉංග්‍රීසින් විසිනුත් උඩරට ප්‍රදේශ යටත් කර නොගනු හැකිව තිබුණා. වත්මන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් පාලනය කලේ නැහැ. එහෙම වුනානම් අද වන විට මොන වගේ තත්ත්වයක් දකින්න ලැබෙයිද?

ආර්ථික වාසි හමුවේ තමන්ගේ චර්යාවන් වෙනස් කර ගැනීම මිනිස්සුන්ගේ ස්වභාවයක්. කලින් ඉහළ ස්ථරයේ සිටි රජු හා ඔහුගේ පාලනය වෙනුවට යුරෝපීයන් යටතේ ජීවත් වන්නට සිදුවීමෙන් පසුව පහතරට පෙදෙස් වල සිටි අය මේ අලුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ ආගම, ආහාර, ඇඳුම් පැළඳුම්, රැකියා, සමාජ චර්යාවන් ආදිය වෙනස් කරගත්තත් උඩරට ප්‍රදේශ වල එවැන්නක් සිදු වුණේ නැහැ. එයට සමාන්තරව මේ කණ්ඩායම් දෙක අතර ආවාහ විවාහ සිදුවීම පවා නැවතීම නිසා මේ සමාජ දෙක කාලයක් පරිණාමය වුණේ වෙන වෙනමයි. ඒ නිසා, භාෂා ව්‍යවහාර පවා යම් තරමකින් වෙනස් වුණා.

ඉංග්‍රීසින් විසින් උඩරට පළාතුත් එකතු කර ගැනීමෙන් පසුව උඩරට පහතරට කණ්ඩායම් වෙන් කළ දේශපාලන තාප්පය බිඳ වැටුණා. එහෙත්, ඒ වන විට මේ සමාජ දෙක කාලයක් තිස්සේ වෙනම ගමන් කර තිබුණු නිසා නැවත එකතු වෙන්නත් සෑහෙන කාලයක් ගියා. මතු පිටින් එකතු වීමක් වගේ පෙනුණත්, මෙහිදී වැඩිපුර සිදුවුණේ පහතරට සංස්කෘතිය උඩරටට ගලායාමක්. එහෙමත් නැත්නම් පහතරට ප්‍රදේශ වල කලින්ම සිදුවූ වෙනස්කම් කාල පමාවකින් පසුව උඩරට ප්‍රදේශ වල සිදු වීමක්.

මේ මිශ්‍ර වීමේදී ඇත්තටම සිදු වුණේ කුමක්ද කියා පැහැදිලි කරන්න උදාහරණයක් සේ අපට උඩරට මුල් ඇඳුම ගන්න පුළුවන්. අද ලංකාවේ පහතරට පෙදෙස්වල බොහෝ පිරිමින් විවාහ අවස්ථා වලදී උඩරට මුල් ඇඳුම අඳිනවා. එහෙත්, දැනට අවුරුදු තිහ හතළිහකට කලින් එවැනි අවස්ථා දැකගන්න ලැබුණේ නැහැ. දැන් මෙහි බැලූ බැල්මටම පේන්නේ උඩරට සංස්කෘතික අංගයක් පහතරටට පැමිණි බවයි. එහෙත්, මේ බැලූ බැල්මටම පෙනෙන වෙනසට යටින් තිබෙන්නේ වෙනස් කතාවක්.

ඔය උඩරට මුල් ඇඳුම කියන එක උඩරට පළාත් වල හැමෝම ඇඳපු ඇඳුමක් නෙමෙයි. එය ඇන්දේ කුල ධුරාවලියේ ඉහළින් සිටි අය පමණයි. කතාවට කිවුවේ මේ ඇඳුම එය ඇඳිය නොයුතු කෙනෙක් ඇන්දොත් වස් වදින බවයි. ඒ නිසා, වෙනත් ඇතැම් දේවල් වගේම මේ ඇඳුමෙනුත් කළේ උඩරට පළාත් වල සමාජ ධුරාවලියේ මැදින් ඉරක් අඳින එකයි. ඒ ඉරට යටින් හිටපු කෙනෙක්ට ධනවතෙකු වූ පමණින් ඉර පනින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. උඩරටට සාපේක්ෂව පහතරටදී යමෙකුට ධනවතෙකු විය හැකිනම් සමාජ ස්ථරයේ ඉහළට පහසුවෙන් නැඟ ප්‍රභූවරයෙකු වීමේ හැකියාවක් තිබුණා.

උඩරට හෝ පහතරට ඕනෑම පිරිමියෙකුට මුල් ඇඳුමක් කුලියට ගන්න මුදල් ගෙවන්න සූදානම්නම් දැන් ඒ අවශ්‍යතාවය සපුරාගන්න බාධාවක් නැහැ. කලින් ප්‍රභූවරුන්ට පමණක් මේ ඇඳුම ඇන්දවූ පරම්පරා වල දරුවෝ වගේම වෙනත් අලුත් අයත් දැන් මුදල් ගෙවන ඕනෑම කෙනෙකුට මේ ඇඳුම අන්දනවා. මතුපිටින් පෙනෙන දේ කුමක් වුවත් ඇත්තටම සිදු වෙලා තිබෙන්නේ උඩරට සම්මත බිඳ වැටී පහතරට සම්මත උඩරටටත් පැතිරීමයි.

ආගම ගත්තත් සිදු වුණේ මේ වගේම දෙයක්. පානදුර ප්‍රදේශය ආශ්‍රිතව ඇති වුනු බෞද්ධ පුනරුදය ගැන ගොඩක් අය කතා කරනවා. මෙහිදී ප්‍රචලිතම අදහස වන්නේ පානදුරා වාදය, අනගාරික ධර්මපාලගේ දේශනා ආදිය නිසා මේ පුනරුදය ඇති වූ බවයි. එය බොරුවක් නොවූවත්, මෙය සිදුවීම් කිහිපයක් හෝ පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා පමණක් ඇති වූ "සැපයුම මත" පමණක් පදනම් වී උඩ සිට පහළට පැමිණි දෙයක් නෙමෙයි. පානදුරා වාදය ඇති වන්නේත්, අනගාරික ධර්මපාල වැනි කෙනෙක් බිහිවන්නේත් ඒ සඳහා අවශ්‍ය "ඉල්ලුම" ඒ කාලය වන විටත් තිබුණු නිසයි. එය පසුපස සිංහලයින් අතරින් කිසියම් පිරිසක් වෙළඳ පංතියක් සේ හිස ඔසොවන්න දැරූ උත්සාහයත් තිබෙනවා වෙන්න පුළුවන්.

උදාහරණයක් ලෙස, අනගාරික ධර්මපාල චරිතය මතුවෙන්න දශකයට හෝ දෙකකට පෙර සිටම පානදුර පැත්තේ තැබෑරුම් එකින් එක වැහෙන්න පටන් ගෙන තිබුණු බව අදාළ කාලයේ ප්‍රාදේශීය සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර දැනගත හැකි දෙයක්. අනගාරික ධර්මපාල වැනි අයට මේ ඉල්ලුම සපුරාලන ප්‍රකාශකයෙකු වෙමින් පානදුර පැත්තෙන් පටන්ගත් රැල්ල රටපුරා පතුරුවන්න හැකි වුණා.

යුරෝපීයයන් යටතේ සිටියදී ආගම වෙනස් කර පසුව නැවත බෞද්ධයින් වූ පිරිස් එසේ ආපසු පැමිණියේ උඩරට පළාත් වල සිටි බෞද්ධයින් සිටි තැනටම නෙමෙයි. උඩරට පහතරට නැවත එකතු වන විට පහතරට නැවතත් බෞද්ධ වන බව මතුපිටින් පෙනුණත් පහතරට නැවත උපන් බෞද්ධයින්ගේ බුද්ධාගම උඩරටට ව්‍යාප්ත වීමක් ඒ අතර සිදු වූ බව අමතක කළ නොහැකියි. ඒ වගේම, පහතරට මිනිස්සුන් මෙන් වාණිජ භෝග වවන්නට උඩරට මිනිස්සුත් පටන් ගැනීමත් මේ සම්මිශ්‍රණය සමඟ සිදු වූ දෙයක්.

උඩරට පහතරට මිශ්‍ර වුණා කිවුවත් මෙය සිදුවන ක්‍රමයක් තිබිය යුතුයිනේ. කළුගඟ කියන්නේ පහතරට සංස්කෘතිය උඩරටට ගෙන ආ ප්‍රධාන නාලිකාවක්.

යාබද උස් කඳු ගණනක් තිබුණත්, සබරගමුවේ ප්‍රධාන නගර දෙකෙන් එකක් වන රත්නපුර නගරය මුහුදු මට්ටමේ සිට වැඩි උසක පිහිටි නගරයක් නෙමෙයි. රත්නපුරේට නිතරම ගංවතුර එන්නත් එය හේතුවක්. රත්නපුර නගරය ආසන්නයේදී වේ ගඟ කළු ගඟට එකතු වන දෙමුවාවත හරියෙන් පටන් ගත්තහම කළුතර දක්වාම වගේ කළු ගඟ ගලන්නේ ලොකු බෑවුමක් සහිතව නෙමෙයි. ඒ වගේම, මේ කොටසේ කළු ගඟේ සැලකිය යුතු තරමේ පළලක් හා ගැඹුරක් තිබෙනවා. ගල්පර, බාධක ආදිය අඩුයි. මේ හේතුව නිසා කළුගඟට කාලයක්ම ප්‍රවාහන මාර්ගයක් සේ විශාල වටිනාකමක් ලැබුණා.

මේ ප්‍රවේශ මාර්ගය පහතරට සංස්කෘතිය උඩරටට මුලින්ම වාගේ ගෙන ආ තැනක්. සියවස් කිහිපයකට පස්සේ උඩරට හා පහතරට අතර මිශ්‍ර විවාහ නැවතත් ආරම්භ වන විට රත්නපුර ඉදිරියෙන්ම සිටියා. [කළු ගඟේ සම්බන්ධයක් නැතත්, ලංකාවේ පසුකාලීන දේශපාලනය තීරණාත්මක ලෙස වෙනස් කරමින් බණ්ඩාරනායක හා රත්වත්තේ පවුල් සම්බන්ධ වීමත් මේ කතාවේ කොනකට ගෑවිය හැකියි.] අනෙක් උඩරට ප්‍රදේශ වලට වඩා කලින් කළු ගඟ දිගේ රත්නපුරේට පහතරට ඇඳුම්, කෑමබීම හා වචන ආදිය ආවා.

කළු ගඟ හරහා උඩු ගං බලා පාරු පදිමින් උඩරට හා පහතරට නැවත යා කිරීමේ පුරෝගාමී කාර්යයට දැන හෝ නොදැන මුල පිරුවේ කළු ගඟ දිගේ උඩු ගං බලා පාරු පැදපු කළුතර, පානදුර පැත්තේ මිනිස්සු. අදාළ දිශාවට නාභිගත වෙමින් නොවූවත්, මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ කතා කරන්නේ මේ පුරෝගාමී මිනිස්සු ගැනයි.

රසික ඇතුළු සමහරු ප්‍රතිචාර හරහා කඩුල්ල ටෙලිනාට්‍යය ගැනත් කතා කරලා තිබුණා. කඩුල්ල කියන්නේ මට අනුව ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසය තුළ හැදුණු හොඳම ටෙලි නාට්‍යයක්. එහි මුල් කොටස් වල කළු ගඟ ආශ්‍රිත ජන ජීවිතය ගැනත්, මිනිරන් කර්මාන්තය ගැනත් කතා කෙරෙනවා. ලංකාවේ ව්‍යාපාරික පන්තියේ නැගීම ගැනත්, මම මෙහි කතා කර ඇති පහතරට හා උඩරට සම්මිශ්‍රණය වීම ගැනත්, සිංහල අනන්‍යතාවය ගැනත් කඩුල්ලේ සාකච්ඡා වෙනවා..

කොහොම වුණත්, කඩුල්ල මිණි ගං දෑළ වගේ කළු ගඟ ඉහළට යන කතාවක් නෙමෙයි. එය කළුගඟේ මෝය කිට්ටුවෙන් පටන් අරගෙන එතනින් ගොඩ වී කොළඹ හරහා එංගලන්තය දක්වාම යන පසුගිය සියවසේ මුල් කාර්තුව ආවරණය කරමින් දශක තුනක පමණ කාලයක් පුරා දිවෙන කතාවක්. කඩුල්ල තිර පිටපත ලියන්න කලින් අදාළ කාලයේ ඉතිහාසය ගැන සැලකිය යුතු තරමේ හැදෑරීමක් කර තිබෙන නිසා එය බැලීම වෙහෙසකර නැහැ.

විචාරක දියණිය විසින් මැණික් නදිය ගලා බසී ටෙලිනාට්‍යය ගැනත් මතක් කර තිබුණා. මුලින්ම සෝමවීර සේනානායකගේ නවකතාව කියවීමෙන් පසුව මේ ටෙලිනාට්‍යයත් මම ඒ දවස් වලම බැලුවා. එය රත්නපුරේ මැණික් කර්මාන්තය ආශ්‍රිත ජීවිතය ගැන කතා කරන ටෙලි නාට්‍යයක් මිස කඩුල්ල වැනි අතීතයකට දිවෙන කතාවක් නෙමෙයි.

මිණි ගං දෑළේ චරිත කළු ගඟ දිගේ උඩහට, රත්නපුරය දක්වාම හෝ ඒ කිට්ටුවටම පාරු පදිනවා. කළු ගඟ දිගේ ඇවිත් නම්බපාන හරිය පහු කළ වහාම දිස්ත්‍රික්කය හා පළාත මාරුවෙනවා වගේම නිල වශයෙන් පහත රට සිට උඩරටට ප්‍රවේශ වෙනවා. ඒ සමඟ ක්‍රමක්‍රමයෙන් ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්නවා. ඒත් ඒ දේවල් කෙරෙහි තිර රචකයා විසින් අවශ්‍ය පමණ අවධානය හෙළා ඇති බවක් පෙනෙන්නේ නැහැ.

මෙහිදී මගේ අරමුණ මඩ බිංදුවක් ඇඟේ නැතිව පතල් පොළෙන් එළියට පැමිණ, අපටත් මතක ඇති කාලයේ වෙළඳපොළට ආ වෛවර්ණ සරමක් ඇඳගෙන සිමෙන්ති බෝක්කුවක් උඩ වාඩි වී සිටින චරිත ගැන කතා කිරීම හෝ අඩු වශයෙන් මේ ටෙලි නාට්‍යයේ ගුණාගුණ කතා කිරීම නොවෙයි. මෙහි සඳහන් සිදුවීම් පාදක කර ගනිමින් පසුගිය සියවසේ මුල කළු ගං නිම්නයේ මේ මේ කොටසේ සිදු වූ වෙනස්වීම් ගැන කතා කිරීමයි. දැනගන්නට ලැබුණු පරිදි ප්‍රියාල් වීරසිංහ තිර පිටපත ලියන්නට පෙර කළු ගං නිම්නයේ පතල් ආශ්‍රිත ජන ශ්‍රැති ආදිය ගැන කිසියම් අධ්‍යයනයක් කර තිබුණත්, ගූගල් සෙවුමක දුරින් තිබෙන ඇතැම් ඓතිහාසික කරුණු මඟ හැර ගොස් ඇති බව පෙනීම එයට හේතුවයි.

කොහොම වුනත්, අදත් අවශ්‍ය තැනට එන්න කලින් වෙනත් දේවල් ගොඩක් ලියැවුණු නිසා ඒ දේවල් ගැන කතා කරන එක තවත් දවසකට ඉතිරි කරමු.

Friday, July 13, 2018

ප්‍රශ්නය පෙම්වතිය වූ විට...


"ගුරුජී මේ ක්‍රිෂ්ට ප්‍රශ්ණ කීපයකට පිළිතුරු හොයාගන්ට උවමනා වෙලා තියනව…...ඒත්…"

"ඔව් මොකක්ද ඒත්?" ගුරුජී ඇහුව.

"ගුරුජී ක්‍රිෂ්ට මෙහෙ, අපේ ආශ්‍රමයෙ ගතකරන්න පුලුවන් පැය දෙකක් විතරයි."

"ඇයි?.... පැය දෙකකට පස්සෙ මොකද වෙන්නෙ? "

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව"

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය.." මම බිම බලාගෙන කිව්ව.

නිදහස් සිතුවිලි ලියන රවී උන්නැහේ දැන් ටික කලක සිට කොටස් වශයෙන් පරිවර්තනය කරන චේතන් භගට් උන්නැහේගේ නවකතාවේ අලුත්ම කොටස ඉවර වී තිබෙන්නේ ඔයාකාරයෙන්ය. කතාවේ ක්‍රිෂ්ට වගේම අපි කාටත් අපි ඉන්නා ආශ්‍රම වල ගත කරන්නට අසීමිත කාලයක් නැත. ඒ නිසා ඒ ඉන්න ටික කාලය තුළ අපට තේරීමක් ඇති හැම විටකම හොටු හූල්ල හූල්ලා නාහෙන් අඬමින් ඉන්නවා වෙනුවට අප කළ යුත්තේ ටිකක් හෝ වැඩිපුර සතුටින් ඉන්නට උදවු වන විකල්පයක් ඇත්නම් එය තෝරා ගැනීමයි.

මේ ආශ්‍රමයට පැමිණි දා සිටම ප්‍රශ්න වල අඩුවක් නැත. ජීවිතය කියන්නේ ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන තේරීම් ගොඩකි. විසඳාගත යුතු ප්‍රශ්ණය පෙම්වතිය වූ විට ප්‍රශ්නය තරමක් සංකීර්ණය. ඒ තමන්ගේ සතුටට තමන්ගේ තේරීම් මෙන්ම පෙම්වතියගේ තේරීම්ද බලපාන බැවිනි.

ප්‍රශ්ණය පෙම්වතිය වූ විට ප්‍රශ්නය විසඳාගත හැකි ක්‍රම කිහිපයක්ම තිබේ. පළමුවැන්න පෙම්වතිය තමන්ට අවශ්‍ය ආකාරයට හදා ගැනීමයි. දෙවැන්න පෙම්වතියට ගැලපෙන ආකාරයට තමන් වෙනස් වීමයි. තුන්වැන්න පෙම්වතිය අතහැර දැමීමයි. මේ තුනෙන් හොඳම තේරීම කුමක්ද යන්න එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.

මෙහි පෙම්වතිය වෙනුවට තවත් බොහෝ දේ ආදේශ කර ගන්නට පුළුවන.


(Images: https://migrationdataportal.org/themes/international-migrant-stocks, https://www.hotstar.com/movies/2-states/1000034502)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...