වෙබ් ලිපිනය:

Friday, April 15, 2022

අරගලකරුවන් ඉල්ලන්නේ කුමක්ද?


ශ්‍රී ලංකාවේ වත්මන් මහජන අරගලයේ ප්‍රධානම දේශපාලන ඉල්ලීම කුමක්ද කියා ඇසුවොත් දිය හැකි සංක්ෂිප්තම පිළිතුර බටහිර නූතනත්වය යන්නයි. ගෝඨාභය එළවීම හෝ ඔහු ඇතුළු රාජපක්ෂවරුන් එළවීම මේ දේශපාලන ඉල්ලීමේ මතුපිට ස්වරූපයයි. බටහිර නූතනත්වය ඉල්ලමින්, තේරුමක් ඇතිව හෝ නැතිව, පාරට බසින්නට ශ්‍රී ලාංකික මහජනතාවට සිදු වන්නේ ගෝඨාභය ව්‍යාපෘතිය තුළ බටහිර නූතනත්වයට එරෙහි වීමේ ප්‍රවේශයක් තිබීම හා පොදු මහජනතාවගේ ඇසින් බලන විට එම ප්‍රති-නූතනත්ව ව්‍යාපෘතිය අසාර්ථක වී තිබීමයි. ගෝඨාභය විසින් ක්‍රියාත්මක කළ ප්‍රති-නූතනත්ව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘෂ්ඨිවාදය නිර්මාණය කළේ නලින් ද සිල්වා විසිනුයි. එනයින්, මේ අරගලය සඳහා නලින් ද සිල්වා විසින් මූලබීජ සපයා ඇති බවද කිව හැකියි.

අරගලකරුවන් විසින් සෙවූ දේ කාණ්ඩ දෙකක් යටතේ වර්ග කළ හැකියි. පළමු කාණ්ඩයට වැටෙන්නේ බටහිර සංවර්ධනය තුළින් ලබාගත හැකි ආර්ථික සමෘද්ධියයි. දෙවන කාණ්ඩයට වැටෙන්නේ බටහිර රටවල දැකිය හැකි, පුද්ගල අසමානතා පිළිගන්නා, සමානාත්මතාවයයි (egalitarianism). අරගලය තුළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වූයේ අරගලකරුවන් විසින් ඉල්ලා සිටින මේ කාණ්ඩ දෙකටම අයත් දේශපාලන ඉල්ලීම් නියෝජනය කරන දේශපාලන ධාරාවක් ලංකාවේ නොපැවති නිසයි. වෙනත් විදිහකින් කිවුවොත් බටහිර නූතනත්වය වෙනුවෙන් සෘජුව පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ නොතිබීමයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීමෙන් පසු ලංකාවේ දිගටම ක්‍රියාත්මක වූයේ සාපේක්ෂව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පෙනී සිටියේ මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන්. ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේ ජවිපෙ පෙසපෙ වැනි පක්ෂ පමණයි. මේ වෙද්දී ජවිපෙ පවා, ජාජබ ලේබලය යටතේ, ජාතික සමාජවාදයෙන් විතැන් වීමට උත්සාහ කරමින් සිටිනවා.

විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම තුළ රට තුළ භාණ්ඩ හිඟයන් හා පෝලිම් ඇතිවුණේ නැහැ. එසේ තිබියදී, මේ අරගලය පැන නැගීමට ආසන්නම හේතු සපයන්නේ ගෝඨාභය ආණ්ඩුව විසින් නැවතත් ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති කරා යොමු වීමයි. එකම වෙනස සමගි පෙරමුණු කාලයේ සමාජවාදී ලේබලය තුළ මේ ප්‍රතිපත්ති අසුරා තිබීම හා මෙවර ජාතිකවාදී ලේබලය තුළ එම ප්‍රතිපත්ති අසුරා තිබීම පමණයි.

විණිමය අනුපාතය පාලනය කිරීමත්, ඒ හේතුව නිසා ඇතිවූ ඩොලර් හිඟයට පිළියමක් ලෙස ආනයන පාලනය කිරීමත්, ආනයන පාලන හේතුවෙන් භාණ්ඩ හිඟ වීම හා මිල ඉහළ යාමත්, ඉන්ධන ආනයනය කළ නොහැකි නිසා විදුලි බල සැපයුම සීමා වීමත්, අරගලකරුවන්ව පාරට ඇද දමනු ලැබුවා. පහත සටන් පාඨ වලින් කියන්නේ මේ කතාවයි.

1. අපිට කිරි නෑ 

2. මගේ දරුවොත් බොන කිරි පැකට් එක නැති කළාට උඹට වහිනකොට ගහන ඒවා ගහපන් 

3. කිරි ගණන්..යෝගට් ගණන්..චිකන් ගණන්...බිස්කට් ගණන්.. අපටත් කෑම අඩු කරන්න වෙලා

4. කිරිපිටි මිල අඩු කරන්න සර් නැත්නම් මුන් කිරි බොන්ඩ අපේ ගෙවල් පැත්තට එනවා 

5. ගන්න නෑ අපිට කඩේ gas මුන් ගහන්නේ අපිට Teargas 

6. Bring down the cost of living 

7. පැතුවේ සෞභ්යමත් රටක් ලැබුණේ අපායක් 

8. NO FOOD NO ELECTRICITY NO GAS NO MEDICINE NO EDUCATION 

9. මේ බෝඩ් එකත් රු 30/= xත්තෝ 

10. කළුවරේ MAKE-UP එකවත් දාන්න බෑ YAKO!

11. පෝලිම් වල මරණ වලට වග කිවයුත්තේ ගොඨෝ නුඹයි. 

12. ලයිට් කපන්න එපා යකෝ මිනිහගෙන් වදේ

13. CURRENT නැතුව පාඩම් නොකර LAWYERSලා වෙන්න මොකෝ අපි බේබිලාද?

14. නාමල්ට ලිමිණි අපිට චිමිණි 

ලංකාවේ පාලන බලය හෙබවූ ප්‍රධාන පක්ෂ දෙක විසින්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් එම ප්‍රතිපත්ති වල වාසි සමාජයේ සියල්ලන්ටම එක සේ හිමි වුනේ නැහැ. දේශපාලනඥයින් හා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් විසින් හැම විටම වැඩි වරප්‍රසාද භුක්ති වින්දා. ඉහත අවසන් සටන් පාඨ වලින් මේ විෂමතාවයට එරෙහි විරෝධයද පෙන්නුම් කරනවා. පහත සටන් පාඨ මෙම ඉල්ලීම වඩා හොඳින් නිරූපණය කරනවා.

15. මින්පසු මාර්ගයේ VIP විය යුත්තේ ගිලන්රථ පමණයි. 

16. ප්‍රභූවරුන්ගේ ඇම්ම හොඳ කළ පුරවැසියන්ගේ ගැම්මට ජයවේවා!

ලංකාවේ කවදාවත්ම සමානාත්මතා සමාජයක් තිබුණේ නැහැ. ලාංකීය සමාජය තුළ බලය, ධනය හා වෙනත් සංස්කෘතික කරුණු මත පදනම්ව පුද්ගලයින්ව  වර්ග කෙරෙනවා. මෙයින් වෙනස්ව, බටහිර රටවල කවර විෂමතා තිබුණත් පුද්ගලයින්ට පුද්ගලයින් සේ සැලකීම වැදගත් සේ සැලකෙනවා. ගනුදෙනුවක නියැලෙන පුද්ගලයින් දෙදෙනෙකු සමානයින් නොවීම නිදහස් ගනුදෙනුවක් සිදුවීමට බාධාවක්. වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසියම් ව්‍යවසායකත්වයක් ඇති අයට ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ සමාන අවස්ථා ඇති පසුබිමකදී පමණයි. 

රටක සිටින ව්‍යවසායකත්වයක් ඇති සීමිත පිරිසට ඉහළට එන්න ඉඩ ලැබෙන තරමට ඒ කුසලතාවය නැති අනෙකුත් අයටද නිෂ්පාදන කාර්යයට දායක වීමට වැඩි අවස්ථා ලැබෙනවා. සරලව කිවුවොත් රටේ රස්සා ඇති වෙනවා. රස්සා වැඩි වන තරමට ශ්‍රමිකයින් සඳහා වන තරඟය තුළ වැටුප් මට්ටම් ඉහළ ගොස් සියල්ලන්ගේම ආර්ථික තත්ත්වය වඩා යහපත් වෙනවා. බටහිර රටවල ජනතාව අත් විඳින ආර්ථික සෞභාග්‍යයේ රහස මෙයයි.

කිසියම් රටක ධනවාදය දියුණු වෙද්දී මුලින්ම වෙන්නේ සීමිත ධනවතුන් පිරිසක් ඇති වීමයි. ඔවුන් නිසා රට දියුණු වෙනවා. ඉන් පසුව, ඒ දියුණුවේ ප්‍රතිලාභ පහළ ස්ථර වෙත ගලා යනවා. එහෙත්, එය ඒ විදිහටම වෙන්නනම් වෙළඳපොළ පුළුල් වීමට සමාන්තරව සමාජයද සමානාත්මතා සමාජයක් විය යුතුයි. දහනවවන සියවසේ පමණ සිට බටහිර රටවල මෙම පරිවර්තන ක්‍රමක්‍රමයෙන් සිදු වුනා. වෙළඳපොළ පුළුල් වෙද්දී එයට සමාන්තරව සමාජයද සමානාත්මතා සමාජයක් බවට පරිණාමය වුනා.

රජය මුල් වී සමානාත්මතා සමාජයකින් ඔබ්බට ගිය සමානතා සමාජයක් හදන්නට හැදූ සමාජවාදී රටවල මේ පරිණාමය ස්වභාවික ලෙස සිදු වුනේ නැහැ. ඒ නිසා, ඒ රටවල වෙළඳපොළ පුළුල් වෙද්දී ව්‍යවසායකත්වයක් ඇති සියල්ලන්ටම ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ පාලනාධිකාරිය සමඟ සම්බන්ධතා පවත්වා ගත හැකි අයට පමණයි. මේ හේතුව නිසා එවැනි රටවල රස්සා හැදෙන්නේ අඩුවෙන්. ප්‍රමාණවත් තරඟයක් නැති නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු විභව ප්‍රතිලාභය හැම විටම ලැබෙන්නේ නැහැ. මෙහි වාසිය පාලනාධිකාරිය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා සීමිත පිරිසකට ලැබෙනවා. රුසියාවේ මෙන්ම චීනයේද දැකිය හැකි මේ තත්ත්වය ලංකාවේද දැකිය හැකියි.

සමස්තයක් ලෙස ගත් විට ලංකාවේ සමාජවාදී පක්ෂ බොහොමයක් එරෙහි වන්නේ ඉහත තත්ත්වයට වුවත් ඔවුන් එය විග්‍රහ කරන්නේ වෙළඳපොළ විරෝධී පදනමක සිටයි. එහිදී ඔවුන් විසින් ආර්ථිකය කෙරෙහි රජයේ ආධිපත්‍යය පෝෂණය කරමින් පවතින තත්ත්වය එසේම පවත්වා ගැනීම සඳහා මතවාදී සහයෝගයක් ලබා දෙනවා. ලංකාවේ පවතින සමස්ත දේශපාලන ක්‍රමයටම එරෙහි වෙමින් "225ම එපා!" කියන තාරුණ්‍යයට ඉහත තත්ත්වය පිළිබඳ යම් සවිඥානිකත්වයක් ඇති බව ඇතැම් සටන් පාඨ වලින් පැහැදිලි වෙනවා. එහෙත්, මේ අවබෝධය තුළින් ප්‍රධාන දේශපාලන ධාරාවක් බිහි වී නැහැ.

17. ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාව බේරාගමු!

18. අපේම සල්ලි වලින් V8 වලට PRTROL පිනට ගහ රඟපු එවුන් දැන් ගෙවල් අස්සේ...! මං අහන්නේ දැන් සැපද?

ආර්ථික ප්‍රශ්න වලින් පසුව මහජන විරෝධයට ප්‍රමුඛ හේතුවක් වී තිබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ව රවටනු ලැබූ බව බොහෝ දෙනෙකුට අවබෝධ වී තිබීමයි. ආර්ථික ප්‍රශ්නද එහි කොටසක්. බොහෝ සටන් පාඨ වලින් මේ පසුතැවිල්ල සෘජු ලෙසම නිරූපණය වෙනවා. 

19. කරන්න පුළුවන් එකෙක්ට දීලා දැන්වත් පලයව්

20. අපෝ ඇති සීයේ ගෙදර යන්න 

21. PORN HUB එකේවත් මෙහෙම අරිනවා දැකල නෑ හාමුදුරුවනේ 

22. පරණ කෑල්ලවත් මෙච්චර රැවැට්ටුවේ නැහැ 

23. අපට හරි සැපයි. මහී, ගෝඨා ඔයාලට කොහොමද?

24. අර්බුධයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම විනාශ වී යයි.

25. 69න් එකෙක් සමාවෙයන් වැරැද්ද නිවැරදි කරන තුරු අත නොහරිමි 

26. Dr , ස' රටේ මිනිස්සුන්ට හික් ගෑවිලා ඉන්නේ බලෙන් ඉන්න හදන්න එපා!!! PLEASE!!!

27. ඉස්සෙල්ලම විනය කැඩුවේ තොපි 

28. තාමත් හොඳටම කරන්නේ ඔයාද?

29. දැන් සැපද?

30. I've Seen Better Cabinets at Damro!

මේ පසුතැවිල්ල තරුණයින් තුළ විශේෂයෙන්ම කැපී පෙනෙනවා.

31. අද අඳුරු වී ඇත්තේ අපේ අනාගතයයි.

32. YOU MESSED WITH THE WRONG GENERATION 

33. DONT RUIN OUR FUTURE

34. තෝ මගේ පළවෙනි ඡන්දය කෑවා මූසලයා 

රාජපක්ෂලාට එරෙහිව මේ තරම්ම විරෝධයක් මතු වුනේ ඇයි? මෙය බටහිර කුමන්ත්‍රණ වැනි පටු ප්‍රවාදයකින් තේරුම් ගන්න හදනවානම් එය පවතින යතාර්ථය අවබෝධ කර නොගැනීමක්. පසුතැවිල්ලට හේතු වී තිබෙන්නේම බටහිර කුමන්ත්‍රණ මාදිලියේ පටු ප්‍රවාද හරහා තමන්ව රැවටීමට ලක් කරනු ලැබ ඇති බව අවබෝධ වීමයි.

මහජන අරගලය පැන නගින්නේ ආර්ථික හේතු මත බව ඉතාම පැහැදිලි හා බොහෝ විට අවිවාදිත විය හැකි කරුණක්. ඇතැම් සටන් පාඨ වලින් මේ කරුණ පිළිබඳ මහජන මතය හා අවබෝධය පිළිබිඹු වෙනවා.

35. විදෙස් ණය වලට රට සින්න කිරීම නතර කරනු 

36. ගත්තු ණයට කරපු සංවර්ධනයද මේ?

රාජපක්ෂලාට එරෙහි ප්‍රධානම සටන් පාඨය වී තිබෙන්නේත්, ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස අරගලකරුවන් බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නේත් මහජන මුදල් මංකොල්ලයයි.

37. රාජපක්ෂ හොර හැතිකරෙ සොරා ගත්ත ඩොලර් දීල මක බෑවිල පල යන්නට!

38. Stop corruption and stepdown 

39. All Sri Lankans are Extremely United against Extremely Corrupted SL Government

40. රාජපක්ෂ හොරු ගෙදර යවමු.

41. හොරා කාපු සල්ලි දීපං මයිනෝ!

රජයට සම්බන්ධව සිටින අය මහජන මුදල් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් යොදා ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ විතරක් සිදුවන දෙයකුත් නෙමෙයි. රජය බලවත් වෙද්දී ඇතිවන මේ තත්ත්වය ලංකාව තුළ එන්න එන්නම දරුණු වුනා කියා කියන්න පුළුවන්. 

හැත්තෑ හතේදී ලංකාව ලෝකයට (සාපේක්ෂව) විවෘත වුනා. මෙය විවෘත ආර්ථික ක්‍රමය ලෙස පොදුවේ හැඳින්වෙනවා. හැත්තෑ හතෙන් පසුව ලංකාවේ නිෂ්පාදකයාව ජාත්‍යන්තර තරඟයට නිරාවරණය කෙරුණා. එහෙත්, ලංකාව ඇතුළේ සමාන තරඟයක් ඇති වීමේ වාතාවරණයක් ඒ එක්කම හෝ ඉන් පසුව හැදුනේ නැහැ. රට ඇතුළේ කාට හරි පහළ සිට උඩට මතු වෙන්නනම් රාජ්ය යාන්ත්‍රනය සමඟ අශුද්ධ සන්ධානයකට යන එක නොකරම බැරි දෙයක් බවට පත් වුනා. 

ඔය දැන් රටේ මහජනතාව දිගින් දිගටම කතා කරන නාස්ති, දූෂණ, මහජන මුදල් මංකොල්ල පහුගිය කාලය මුළුල්ලේම සිදු වුනා. මේවා කවුරුත් දැන ගෙන හිටපු දේවල්. හැබැයි රටේ වැඩි දෙනෙක්ට ඔය දේවල් ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ දේවල් දිගින් දිගටම නඩත්තු වුනේ ඒ නිසා. "අපේ හොරා අපිට හොඳයි" කියලා එවැනි අයව දැන දැනම තමන්ගේ නියෝජිතයින් සේ පත් කරගන්න සම්ප්‍රදායකුයි ලංකාවේ දිගටම දකින්න ලැබුණේ. ඒක එක පාරටම වෙනස් වුනේ කොහොමද?

හැත්තෑ හතේ සිට පසුගිය වසර දක්වාම ඔය හොරකම් මිනිස්සුන්ට ඇඟට දැනුණේ නැහැ. කවුරු හොරකම් කරගත්තත් තමන්ගේ ජීවිත එන්න එන්නම වඩවඩා යහපත් වෙනවානම් මිනිස්සු හොරකම් ගැන එතරම් වදවෙන්නේ නැහැ. ගොඩක් හොරකම් වුනයි කියන 2004-2014 දශකයේදී රටේ බොහෝ දෙනෙකුගේ ආර්ථික තත්ත්වය බලා ඉඳිද්දී වගේ යහපත් වුනා. රට බලා ඉඳිද්දී වගේ දියුණු වුනා. ඒ විතරක්ද? යුද්දෙත් ඉවර වුනා!

යහපාලන ආණ්ඩුව බලයට පත් වුනේ මිනිස්සු රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කලකිරී හිටපු නිසා නෙමෙයි. රාජපක්ෂලාගේ කාලයේ ගත්ත ණය ගැනත්, රාජපක්ෂලාගේ හොරකම් ගැනත් එජාපය හා ජවිපෙ වැනි පක්ෂ විසින් කියපු දේවල් ප්‍රශ්නයක් කර ගත්තේ ඉතාම සීමිත පිරිසක්. යහපාලන ආණ්ඩුව දිනුවේ කාලයක් ප්‍රකාශ නොවුණු උතුරු නැගෙනහිර ඡන්ද නැවත ප්‍රකාශ වීම නිසා මිසක් දකුණේ ජනමතය ලොකුවට වෙනස් වූ නිසා නෙමෙයි.

කොහොම වුනත් යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ලංකාවේ ආර්ථිකය පුපුරන්න කිට්ටු වී තිබුණු ගිණි කන්දක්. ඒ ගිණි කන්ද උඩ යහපාලන ආණ්ඩුවට රාජපක්ෂලා කරපු සෙල්ලම් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගොඩක් මිනිස්සු මේක දැක්කේ හොඳට තිබුණු ආර්ථිකය රනිල් ඇවිත් විනාශ කිරීමක් විදිහටයි. රාජපක්ෂ කණ්ඩායමේ "ආර්ථික විද්‍යාඥයෝ" ඔය මානසිකත්වයට දිගින් දිගටම පෝර ගැහුවා. ඒ නිසා, මිනිස්සු ගෝඨාභයගෙන් 2004-2014 කාලයේ තිබුණු, 2015-2019 කාලයේ නොතිබුණු, ගෝඨාභය කඳවුර විසින් පොරොන්දු වුනු, සෞභාග්‍යය අපේක්ෂා කළා. 

දකුණේ මිනිස්සුන්ට 2004-2014 ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න නොතිබුණත්, රාජපක්ෂ ක්‍රමය ගැන වෙන ප්‍රශ්න තිබුණා. ඒ මොනවාද කියලා කියන්න ඕනෑ නැහැනේ. නැති වුනු ආර්ථික සෞභාග්‍යය ආයෙත් අරන් එයි කියන එකට අමතරව මිනිස්සු ගෝඨාභය ගෙන් අර රාජපක්ෂ ක්‍රමය වෙනස් කරලා නීතියේ පාලනය ස්ථාපිත කරයි කියන එකත් බලාපොරොත්තු වුනා. වුනේ මොකක්ද කියලා ඉතිං කියන්න ඕනෑ නැහැනේ. ඔය දෙකටම අමතරව තවත් පිරිසක් ගෝඨාභය සමඟ සිංහල බෞද්ධ රාජ්‍යය කරා යන්න බලාගෙන හිටියා. 

ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියා ඉල්ලමින් මිනිස්සු පාරට බහින තැනට වැඩ සිද්ධ වුනේ ආර්ථික සෞභාග්‍යය ආයෙත් අරන් එන එක සහ සිංහල බෞද්ධ රාජ්‍යය කරා යාම කියන ද්විත්ව අරමුණු එකට නොපෑහුණු නිසයි. සෛද්ධාන්තික ලෙසම එකවර අත්කර ගත නොහැකි ඔය අරමුණු දෙක මොන විදිහෙන් හෝ ඉටු වී තිබුනනම් රාජපක්ෂලා හොරකම් කිරීම වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට මේ වගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ආණ්ඩුව සිංහල-බෞද්ධ ජාතිකත්වය මතුපිටින් පමණක් තියා ගෙන, විදේශ ණය වලින් පුම්බා ආර්ථික සෞභාග්‍යය මිනිස්සුන්ට පෙන්නුවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කොයි වෙලාවකවත් බටහිර නූතනත්වයට පිටින් විකල්ප හොයන්න ගියේ නැහැ. විණිමය අනුපාතය පහලින් තියාගෙන කරපු පොන්සි ක්‍රීඩාව වුනත් කළේ බටහිර නූතනත්වයේ නීති යටතේ. 

කලින්ම ඩොලරයේ මිල ඉහළ යන්න දුන්නානම්, කලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියානම්, මේ කඩා වැටීම වෙන්නේ නැහැ. එය වැළැක්වූයේ ආණ්ඩුව මෙහෙයවූ දෘෂ්ඨිවාදයයි. කෙලින්ම සම්බන්ධ වුනත් නැතත් මේ දෘෂ්ඨිවාදයේ නිර්මාණකරු නලින් ද සිල්වා. තවත් විදිහකින් කිවුවොත් ආණ්ඩුව විසින් මේ ගෙවන්නේ නලින් ද සිල්වාගේ දෘෂ්ඨිවාදයේ දුගීකමේ මිල.

බටහිර නූතනත්ව රාමුව ඇතුළේ සිංහල-බෞද්ධ සංස්කෘතිය සමඟ යා හැකි දුර නලින් ද සිල්වා විසින් අසූව දශකයේදී පමණම නිවැරදි ලෙස හඳුනා ගන්නවා. එහෙත්, ඔහු එය තේරුම් ගන්නේ ඔහු දැන සිටි භෞතික විද්‍යාව හා මාක්ස්වාදය ඇසුරෙන්. ප්‍රශ්නයක් වැරදියට විග්‍රහ කරගත් පසු නිවැරදි පිළිතුරු ලැබෙන්නේ නැහැ.

නලින් ද සිල්වාගේ මූලික ප්‍රශ්නය ඔහු දැන් ටික කාලයක සිට නිතර භාවිතා කරන "ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව" කියන පාඨය ඇතුළේ පැහැදිලිව පෙනෙන්න තියෙනවා. තමන් බටහිර විද්‍යාඥයෙකු නොවන බව පුනපුනා කිවුවත් නලින් ද සිල්වා කියන පුද්ගල චරිතය ගොඩ නැගී තියෙන්නේම බටහිර භෞතික විද්‍යා රාමුවක් ඇතුළේ. බටහිර සමාජ විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහ යන්නේය යන මතයේ කාලයක් තිස්සේ ඇලී ගැලී සිටීම නිසාම ඔහුට බටහිර සමාජ විද්‍යා බොහෝ දුරට මග හැරී තිබෙනවා. ආර්ථික විද්‍යාව හා සම්බන්ධව මෙය ඉතාම පැහැදිලියි. භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහ ගියේ නලින් ද සිල්වා විසින් හදාරා තිබෙන සම්භාව්‍ය මාක්ස්වාදයයි. 

ආර්ථික විද්‍යා ආකෘති කියා කියන්නෙම "ඒත් අතට මේත් අතට" ස්වභාවය හඳුනාගෙන ගොඩ නැගිය යුතු ද්වි-දෛශික  ආකෘති. මේ ආකෘති භෞතික විද්‍යාවේ නිතර හමුවෙන ඒක-දෛශික සරල ආකෘති වලට වඩා සංකල්පීය ලෙස සංකීර්ණයි. මම මෙහිදී සංකීර්ණ යන වචනය භාවිතා කරන්නේ නිශ්චිත සීමිත සන්දර්භයකයි.

ඉහත හේතුව නිසා භෞතික විද්‍යාව, ගණිතය හෝ ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයන් හැදෑරු අය ආර්ථික විද්‍යා ආකෘති තේරුම් ගන්න ගිහින් විශාල අවුලක වැටෙනවා. සමහර අය තමන්ගේ රාමුවේ සිට මේ ආකෘති තේරුම් ගන්න උත්සාහ කර අමාරුවේ වැටෙනවා. එයින් ඇතැම් අය තමන්ගේ අනවබෝධය ප්‍රදර්ශනය කරමින් පොරවල් වගේ තේරුමක් නැති විකාර කියවනවා. 

කිසියම් බලයක් යොදා උඩ දැමූ ගලක් ගමන් කරන උස හෝ එය බිම වැටෙන්නට ගත වන කාලය භෞතික විද්‍යා ආකෘතියක් යොදා ගෙන පැහැදිලි කරන්න පුළුවන්. මෙහිදී ගල උඩ යන්නේ එය උඩ දමන පුද්ගලයෙක් ඉන්න නිසා. අවශ්‍යනම් ඉහත ගැටලුවම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කර කිසියම් නිශ්චිත උසක් දක්වා ගමන් කරන පරිදි හෝ කිසියම් නිශ්චිත කාලයකින් පසු බිම වැටෙන පරිදි ගලක් උඩ දැමීම සඳහා යෙදිය යුතු බලය කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. ඔය දෙවිදිහෙන් කොයි විදිහට ඇහුවත් මෙහි තිබෙන්නේ ඒක-දෛශික ගැටලුවක්. මම මෙහිදී මේ වචනය භාවිතා කරන්නේ දෛශික යන්නෙහි ගණිතමය අර්ථයෙන් නෙමෙයි.

කොයි විදිහට ගැටලුව ඉදිරිපත් කළත් ගල උඩ යන උස හෝ ගත වන කාලය තීරණය කරන්නේ ගල විසින් නෙමෙයි. එය උඩ දමන පුද්ගලයා විසින්. ගල කරන්නේ නිෂ්ක්‍රීය කාර්යයක්. ඔයිට වඩා සංකීර්ණ ආකෘතියක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. අඟහරු වෙත යන යානයක් වුවත් කරන්නේ නිෂ්ක්‍රීය කාර්යයක්. එය කෘතීම බුද්ධිය යොදා ගන්නා උපකරණයක් වුවත් බොහෝ ප්‍රායෝගික සන්දර්භයන්හිදී මේ කතාවේ වෙනසක් නැහැ. අනාගතයේ ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. උඩ දමන ගලක් අතරමගදී හිතාමතා ගමන් මග වෙනස් කර වෙන පැත්තකට යන්නේ නැහැ. 

ඕනෑම ව්‍යවහාරික භෞතික විද්‍යා ආකෘතියකදී සිදු වන්නේ මෙවැන්නක්. එක පැත්තක තියෙන්නේ ස්වයං පාලනයක් නැති, හිතන්නේ නැති අජීවී දේවල් ටිකක්. හිතන්නේ පැත්තක ඉන්න ව්‍යවහාරික භෞතික විද්‍යාඥයා පමණයි. ආර්ථික විද්‍යා ගැටලුවක් මීට වඩා වෙනස්. ආර්ථික විද්‍යාඥයා වගේම ඔහු විෂය කර ගන්නා මිනිස්සුත් හිතන පතන මිනිස්සු. ආකෘතිය වෙනස් කරන විට ආකෘතියේ විෂයයත් එයට ප්‍රතිචාර දක්වමින් වෙනස් වෙනවා. පුහුණුවක් නැති අයෙකුට ආර්ථික විද්‍යා ආකෘතියක මේ තත්ත්වය විග්‍රහ කර ගන්නා ද්වි-දෛශික සැකසුම තේරුම් ගන්න අසීරුයි. ඒ නිසාම ආර්ථික විද්‍යාඥයින් විසින් වරින් වර කරන ප්‍රකාශ විසංවාදී නොවන බව තේරුම් ගන්නත් අමාරුයි.

බොහෝ විට භෞතික විද්‍යාව හා ගණිතය හැදෑරූ අයගේ අනන්‍ය ප්‍රශ්නයක් වෙන මේ ප්‍රශ්නය වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව හෝ කෘෂි විද්‍යාව හැදෑරූ අයට නැහැ. ඔවුන්ගේ විෂය (හදාරනු ලබන දෙය) භෞතික විද්‍යාඥයෙකුගේ විෂය මෙන් නිෂ්ක්‍රීය දෙයක් නෙමෙයි. තවමත් සම්භාව්‍ය මාක්ස්වාදය විශ්වාස කරන අයටත් මේ අවුලම තිබෙනවා. දාස් කැපිටාල් ලියන කාලයේ ආර්ථික විද්‍යාවේ ද්වි-දෛශික ආකෘති ගොඩ නැගී තිබුණේ නැහැ. ඒ නිසා, භෞතික විද්‍යාව හැදෑරු අය මෙන්ම සම්භාව්‍ය මාක්ස්වාදය විශ්වාස කරන අයත් ආර්ථික ගැටළු හමුවේ බොහෝ විට තමන්ගෙන් බාහිර සතුරෙකු හඳුනා ගන්න යොමු වෙනවා. එහෙත් ඇත්තම සතුරා ඉන්නේ තමන් තුළයි.

බටහිර දැනුම් ආධිපත්‍යය පිළිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදය හැදී තිබෙන්නේම, සම්භාව්‍ය මාක්ස්වාදයේ මෙන්ම, මූලික වැරැද්දක් සමඟයි. මෙහිදී මේ ද්වි-දෛශික සමාජ විද්‍යා ගැටළුව නලින් ද සිල්වා විසින් තමන්ට හුරුපුරැදු ඒක-දෛශික ආකෘතියක් ඇතුළට රිංගවා ඒ ඇසුරෙන් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරනවා. නලින් ද සිල්වාගේ සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහස මතු වන්නේ ඒ විදිහටයි. 

ගෝඨාභය ව්‍යාපෘතිය ආර්ථික සාධක මත කඩාගෙන වැටෙද්දී සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහසද පරාජය වෙමින් ප්‍රති-සිංහල-බෞද්ධ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් මතු වීම මේ අරගලය තුළ දැකගත හැකි වූ දෙයක්. වෙනම කතා කළ යුතු, වේගයෙන් පරිමාණය වන, අරගලයේ ගතිකත්වය තුළ මේ වන විට මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ ස්වරූපයද වෙනස් වෙමින් තිබෙනවා. කෙසේ වුවත්, මේ අරගලය තුළ සිංහල-බෞද්ධ ව්‍යාපෘතියට එරෙහි නැගී සිටීමක්ද පැහැදිලිව දැකිය හැකි වුනා. 

42. ආණ්ඩුවේ චීවරධාරීනි අන්තවාදී බයිලා එපා!

43. සාටකයයි වටාපතයි හරි අවධානම්!

44. හාමුදුරුවනේ සාටකේ ගලවලා සිවුරක් අඳිමුද?

ලංකාවේ දේශපාලනඥයින් බටහිර විද්‍යා මිනුම් දඬු අනුව මිථ්‍යාවන් සේ සැලකෙන දේ පසුපස යාම අලුත් දෙයක් නෙමෙයි. එහෙත්, සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදය තුළ මේ දේවල් වලට පෙර නොතිබුණු පිළිගැනීමක් ලැබුණා. දැන් ගෝඨාභය ව්‍යාපෘතිය අසාර්ථක වීමට සමාන්තරව අරගලය තුළ මිථ්‍යාවන්ට එරෙහිව බටහිර නූතනත්වය වෙනුවෙන් පෙනී සිටීම පැහැදිලිව දැකිය හැකියි.

45. ඤානක්කා ජනාධිපති කරලා උඹ ආර්යාව වෙයන් නන්දේ 

46. ඥානක්කට දෙන සැප අපේ උන්ට නෑ කැප 

47. ඥාණා අක්කා දිහා බලනවා වගේ රට දිහා බලපං!

වයස අවුරුදු 30 නොඉක්මවූ තරුණ තරුණියන් හා බටහිර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් මේ අරගලයේ පෙරමුණු බල ඇණි දෙකක් සේ සැලකිය හැකියි. මෙතෙක් ලංකාවේ දේශපාලනය තුළ සක්‍රියම කණ්ඩායම වූයේ වයස් අවුරුදු 40-60 අතර පිරිසයි. තරුණ කණ්ඩායම සැලකුණේ ජංගම දුරකථනයේ මුහුණ ඔබා ගෙන සිටින එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසක් ලෙසයි. ඔවුන් එවැන්නන් නොවන බව මේ වන විට පැහැදිලිව පෙන්වා තිබෙනවා. ලංකාවේ අනාගත දේශපාලනය තීරණය කරන්නේ මේ තරුණ පිරිසයි. 

එක පැත්තකින් මෙය මෙසේ සිදු නොවුනානම් පුදුමයක්. දැන් වයස අවුරුදු 40-60 අතර පිරිස "ආතල් ගත්තේ" තමන්ගේ දරුවන්ගේ වියදමින්. බොහෝ විට මේ වන විට ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට ලැබෙන ගණන රුපියල් මිලියනය ඉක්මවා තිබිය හැකියි. ඔය තරුණයින්ට ඒ ණය ගෙවන්න වෙනවා. ඔවුන්ට එවැනි පරිප්පුවක් කන්න වී තියෙන්නේ ඔවුන් කළ කිසිදු වරදක් නිසා නෙමෙයි. දැන් මේ තරුණයින් කතා කරනවා. අපේ පරම්පරාවට නොතිබුණු ලෝකය දැකීමේ අවස්ථාව අන්තර්ජාලය හරහා ඔවුන්ට හිමි වී තිබෙනවා. වැඩිහිටි පරම්පරාවට තවදුරටත් ඔවුන්ට බොරු කළ නොහැකියි. ඔවුන් සොයන්නේ නූතනත්වයයි. අනෙක් පැත්තෙන්, බටහිර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කියන්නේද ලංකාව නූතනත්වයෙන් බැහැරව සිටීම ගැන කණස්සල්ලක් ඇති පිරිසක්. 

මගේ නිරීක්ෂණය අනුව, සමස්තයක් ලෙස බැලුවොත්, මේ විදිහට හදිසියේ පොලා පැන්නේ බටහිර නූතනත්වය සොයා යාමේ ශ්‍රී ලාංකික දේශපාලන අභිලාෂයයි. මේ රැල්ලට දේශපාලන නායකත්වය දිය හැක්කේ එම අවශ්‍යතාවය නියෝජනය කරන දේශපාලන ව්‍යපාරයකටයි. එවැන්නක් එක්කෝ අලුතෙන් බිහිවිය යුතුයි. නැත්නම් දැනට පවතින දේශපාලන ව්‍යාපාර අවශ්‍ය තරමට රූපාන්තරණය විය යුතුයි.

48. TOGETHER අපි ශ්‍රී ලාංකිකයින් 

49. NO PARTIES NO COLORS I am against 225. 225ටම පාරටවත් බහින්න ඉඩ නොදෙමු!

50. GOTA GO HOME SAJITH STAY HOME ANURA DONT EVEN THINK ABOUT IT...RANIL DONT GET YOUR HOPES UP...

අරගලයේ ගතිකත්වය වෙනම කතා කළ යුතු කරුණක්. මේ අරගලය නිර්දේශපාලනික මහජන අරගලයක් වන්නේ එම අරගලය කිසිදු දේශපාලන පක්ෂයකට තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවිය නොහැකිය යන අර්ථයෙන් පමණයි. මේ අරගලය පිටතට පොලා පනින අවස්ථාව වන විට සජබ හා එහි කොටසක් වන 43 බලකායත්, ජාජබ ලේබලය යටතේ ජවිපෙත් දේශපාලන බලය ලබා ගැනීම ඉලක්ක කරගෙන සංවිධාන කටයුතු පුළුල් කරමින් සිටියා. ඇත්තට හෝ බොරුවට ආණ්ඩුව සමඟ සිටි පිරිසක්ද එළියට බැස්සා. පෙසප වෙනම දේශපාලන වැඩ පිලිවෙලක සිටියා.

පෙසප අවසන් දේශපාලන අරමුණු සමඟ කෙතරම් දුරස්ව සිටියත් ආණ්ඩුවෙන් පිටතට දේශපාලනය රැගෙන යාමේ පෙසප ප්‍රවේශය මම කැමති එකක්. බොහෝ විට පෙසපට අවශ්‍ය ආකාරයෙන් නොවිය හැකි වුවත්, අවසාන වශයෙන් සිදු වුනේ පෙසප ඉලක්ක කළ දෙයයි. 

ආණ්ඩුවෙන් ඉවත් වූ එකොළහේ කණ්ඩායමට සැබෑ රාජපක්ෂ විරෝධයක් තිබුණේද යන්න සැක සහිතයි. එහෙත්, ඔවුන් හැර ඉහත කී අනෙකුත් සියලු කණ්ඩායම් වෙත රාජපක්ෂ විරෝධයක් තිබුණා. පක්ෂ ලේබල් නොමැතිව වුවත් ආරම්භයේදී අරගලය හා බද්ධ වූයේ එම දේශපාලන පක්ෂ වලට පක්ෂපාතී වූ පිරිස් හා පාවෙන ඡන්දදායකයින්. ඒ අතර, ගෝඨාභය දිනවීමට ඡන්දය දුන් අයද ඉන්න ඇති. උදාහරණයක් ලෙස 2010දී මහින්දටත්, 2015දී යහපාලනයත්, 2020දී නැවත රාජපක්ෂලාටත් ඡන්දය දුන් අය. 

මගේ අදහස පෙසප විසින් මුල සිටම අරගලයේ සුක්කානම අතට ගැනීමේ අරමුණින් සක්‍රිය වැඩ කොටසක් කළ බවයි. ඉන්දියානු විරෝධය මතු කරමින් පෙළපාලි සංවිධානය කළ කාලයේදී මෙන් එක තැනකට දහ දෙනෙකුට නොවැඩි පිරිසක් යොදවමින් තමන්ට අවශ්‍ය දිශාවට අරගලය මෙහෙයවන්නට ඔවුන් උත්සාහ කළත් පෙර අවස්ථාවේදී මෙන් නොව මේ අවස්ථාවේදී එළියට බැස සිටියේ යම් දේශපාලන අරමුණක් තිබුණු, අනුන්ගේ රූකඩ කරගැනීම පහසු නොවූ පිරිසක්. කොහොම වුනත්, අරගලය ගැන වැඩිම දේශපාලන ඉවක් තිබුණේ පෙසපට කියා කියන්න පුළුවන්.

පෙසපයෙන් පසුව අරගලය හොඳින්ම කියවා ගත්තේ කොළඹ ව්‍යාපාරික ප්‍රජාවයි. රාජපක්ෂලාගේ "අයුතු ලෙස උපයාගත් ධනයට" කොළඹ ව්‍යාපාරික ප්‍රජාව විසින් "අයුතු ලෙස උපයාගත් ධනය"  එකතු කරනු ලැබීමේ අවදානම ඔවුන් කලින්ම හඳුනාගත්තා. අරගලයට සම්පත් අඩු නොවුනේ ඒ නිසයි. 

සජබට මෙන්ම ජාජබටද අරගලය කලින්ම කියවා ගැනීමේ නිවැරදි ඉවක් තිබුණේ නැහැ. කොහොම වුනත්, මේ අරගලය තුළ එම කණ්ඩායම් දෙකේම සාමාජිකයින් විශාල ලෙස නියෝජනය වෙනවා. අරගලකරුවන්ගේ ආර්ථික අභිලාශ සමපාත වන්නේ සජබ සමඟයි. එහෙත්, ඔවුන්ගේ දූෂණ පිටුදැකීමේ අභිලාශය සමපාත වන්නේ ජාජබ සමඟයි. මහ බැංකු අධිපතිමාරුවෙන් හා රජයේ ආර්ථික ප්‍රතිපත්ති සජබ ප්‍රතිපත්ති හා සමපාත වීමෙන් අනතුරුව අරගලයේ සුක්කානම අතට ගැනීම සඳහා සජබ සතු වූ ශක්‍යතාව ගිලිහී ගොස් ජාජබට වඩා වාසිදායක පිටියක් සකස් වී තිබෙනවා.

මහජන අරගලයක් කියා කිවුවත් මෙය ලංකාවේ සියලු ස්ථරයන් නියෝජනය කෙරෙන අරගලයක් නෙමෙයි. තවමත් මෙය නාගරික හා අර්ධ නාගරික පිරිස් වල අරගලයක්. සමාජයේ පහළම ස්ථර හා ග්‍රාමීය කොටස් අරගලය හා බද්ධව සිටින්නේ ඉතා අඩුවෙන්. ඉස්ලාම් භක්තිකයින්, ක්‍රිස්තියානින් හා නිරාගමිකයින්ට සාපේක්ෂව බෞද්ධ හා හින්දු නියෝජනය සීමිතයි. එහෙත් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. 

අරගලයට හේතු වූ සාධක සෑහෙන කාලයකට අහෝසි වන්නේ නැහැ. ඒ නිසා, මේ අරගලය දිගට ඇදී යා හැකි එකක්. අරගලයේ සුක්කානම කිසියම් කණ්ඩායමකගේ අතට යාම වැළැක්විය හැකි එකම ක්‍රමය එසේ වනවාට අකැමැති අය අරගලය හා සම්බන්ධ වීමයි. මේ කාරණයේදී කොළඹ ව්‍යාපාරික ප්‍රජාව දේශපාලන පක්ෂ වලට ආදර්ශයක්.

මේ අරගලයේ සටන් පාඨ කියා කියන්නේ ලංකාවේ නූතන ඉතිහාසය. සරසවි වල ඉතිහාස අධ්‍යයන අංශ විසින් මේවා සංරක්ෂණය කළ යුතුයි. සමහර විට එය සිදුවනවා ඇති. වෙන රටවලනම් එය එසේ සිදු වෙනවා.



















































Tuesday, April 12, 2022

ලංකාව ණය ගෙවීම් අත් හිටුවයි!

 

අද (අප්‍රේල් 12) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු පහෙන් පසුව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු විදේශ ණය හා වාරික ගෙවීම අත් හිටවා තිබෙනවා. මෙය ඒකපාර්ශ්වික තීරණයක්. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

අමුවෙන්ම කිවුවොත් කන්න බොන්නවත් සල්ලි (විදේශ විණිමය) නැති තරමට ලංකාව නැට්ට්ටම හිරවෙලා. ණය වාරික හෝ පොලී ගෙවනවා කියන එක මේ වෙලාවේ හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. මේ තීරණය නිසා පසුව මොන විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනත්, ගෙවන්න අතේ සල්ලි නැත්නම් ඔයිට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැ.

මේ තීරණය බලපාන්නේ මොන ණය වලටද?

ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර ණය, වෙනත් රජයයන්ගෙන් අරගෙන තිබෙන ද්විපාර්ශ්වික ණය, ශ්‍රී ලංකා රජයේ ඇපවීම මත වාණිජ බැංකු හෝ වෙනත් ආයතන විසින් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගෙන තිබෙන ණය ආදියට මෙම තීරණය බලපානවා. එහෙත් මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු ගිවිසුම් වලට මේ තීරණය අදාළ නැහැ. රජයේ රුපියල් ණය වලටත් මේ තීරණය අදාළ නැහැ.

මේ විදිහට ශ්‍රී ලංකා රජයට ඒකපාර්ශ්වික තීරණ ගන්න පුළුවන්ද?

විදේශ ණය ගිවිසුම් වලට බලපාන්නේ ලංකාවේ නීතිය (පමණක්) නෙමෙයි. බොහෝ විට වෙනත් රටක හෝ රටවල් ගණනාවක නීති බලපානවා. විදේශ ණය හා අදාළව ශ්‍රී ලංකා රජය කියන්නේ තවත් එක් පාර්ශ්වකරුවෙක් පමණක් මිස නීති හැදීමේ හෝ නැමීමේ හැකියාවක් තියෙන "ලොක්කෙක්" නෙමෙයි. ඒ නිසා, එක් එක් ණය ගිවිසුමේ කොන්දේසි අනුව, ශ්‍රී ලංකා රජයට ඉදිරි කාලයේදී විවිධ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙයි.

වඩා වැදගත් ප්‍රශ්නය මේ වගේ ඒකපාර්ශ්වික තීරණ ගන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. මෙහෙම නොකර වෙන කළ හැකි දෙයක් තිබුණාද කියන එකයි. ණය ගෙවන්න සල්ලි නැත්නම් කොහොමටත් ගෙවන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඉතිරිව තිබෙන්නේ ණය පැහැර හරින ආකාරය පිළිබඳ විකල්ප පමණයි. ණය පැහැර හැරීම කළ යුතුව තිබුණු විකල්ප ක්‍රම මොනවාද?

(1) ණය හිමියන් සමඟ සාකච්ඡා කර ද්විපාර්ශ්වික එකඟතාවයක් යටතේ ණය ගෙවීම අත් හිටුවා එම ණය පසුව ගෙවන ආකාරය සම්බන්ධව දෙපාර්ශ්වයට එකඟ විය හැකි වැඩ පිලිවෙලක් සකස් කර ගැනීම.

(2) අවසාන මොහොත වන තුරු ණය කෙසේ හෝ ගෙවන බව කියමින් සිට අවසාන මොහොතේ ණය නොගෙවා පැහැර හැරීම 

(3) දැන් කර ඇති ආකාරයෙන් ඒකපාර්ශ්වික පූර්ව දැනුම්දීමක් සහිතව ණය ගෙවීම අත් හිටුවීම 

බොහෝ දෙනෙකු විසින් ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් යෝජනා කරද්දී අදහස් කළේ ඉහත (1) විකල්පය ගැනයි. එහෙත් මෙය යම් කාලයක් ගත වන වැඩක්. මගේ අදහස වන්නේ අඩු වශයෙන් මාස හයකට පෙර අනිවාර්යයෙන්ම ණය පැහැර හරින්නට සිදුවන බව අවබෝධ කර ගෙන අවශ්‍ය කටයුතු පටන් ගත්තානම් මෙය කළ හැකිව තිබුණු බවයි. දැන් මේ සඳහා ප්‍රමාද වැඩියි. මේ වන විට අදාළ ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වී ඇතත් එය සම්පූර්ණ වීමට මාස ගණනාවක් යා හැකියි. එතෙක් අල්ලා ගෙන ඉන්න තරම් විදේශ සංචිත රටේ නැහැ. ඒ නිසා, ඉතිරිව තිබෙන්නේ (2) හා (3) විකල්ප පමණයි. ඒ දෙකෙන් වඩා හොඳ විකල්පය (3)යි. 

මෙය හානි අවම කිරීමේ විකල්පයක් පමණක් බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. (2) විකල්පයේ හානි ඊට වඩා වැඩියි. (1) වඩා හොඳ විකල්පයක් වුවත් දැන් ඒ සඳහා ප්‍රමාද වැඩියි. (3) යනු (1) සිදුවන තුරු ගෙන තිබෙන තාවකාලික පියවරක්. 

කෙසේ වුවත්, (1) කියන්නෙත් හානි අවම කරන විකල්පයක් පමණයි. මේ විකල්ප තුනටම නොගොස් නියම පිළිවෙලට ණය ගෙවන්න පුළුවන් වුනානම් තමයි වඩාත්ම හොඳ. හැබැයි දැන් ඒ ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. මේකත් විණිමය අනුපාතය හා පොලී අනුපාත පාලනය කිරීම වගේම දෙයක්. 

ඩොලරයේ මිල අඩුවෙන් තියෙනවානම් හොඳයි. පොලී අනුපාත අඩුවෙන් තියෙනවානම් ඒත් හොඳයි. හැබැයි මේ ඉලක්ක ලඟා කරගත යුත්තේ "නියම ක්‍රමයට" මිසක් හොර පාරෙන් නෙමෙයි. ඩොලරයේ මිල ඉහළ යාමට බලපාන දේ කරන අතරම ඩොලරයේ මිල පාලනය කිරීමේ ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම පේන්න තිබෙනවා. මතක තියා ගන්න අනාගතය ගැන සැලකූ විට තවමත් ඩොලරයේ මිල තියෙන්නේ සතුටු විය හැකි තැනක බව. පොලී අනුපාතික ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි.

මේ ණය ජනතාවගේ එකඟතාවයෙන් තොරව රජය විසින් ජනතාව උකස් කර ගත් ණය සේ සලකා ඒකපාර්ශ්වීය ලෙස ගෙවීම කල් දැමීම සාධාරණිකරණය කළ හැකිද?

මෙහි "රජය විසින් ජනතාව උකස් කර ගත්" කියන කොටස නිවැරදි වුවත් "ජනතාවගේ එකඟතාවයෙන් තොරව" කියන කොටස නිවැරදි නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක බහුතර ජනතා කැමැත්ත ලබා බලයට පත් වූ ආණ්ඩුවක මෙහෙයවීම යටතේ රජය විසින් ජනතාව උකස් කර ගත් ණය සැලකිය හැක්කේ ජනතාවගේ එකඟතාවයෙන් ලබාගත් ණය ලෙසයි. ඒ වගේම, මෙහිදී ප්‍රායෝගිකව බලපාන්නේ ජාත්‍යන්තර ගිවිසුම් නීති මිසක් සාධාරණත්වය පිළිබඳ මූලධර්ම නෙමෙයි. කලින් විස්තර කළ පරිදි, මෙය සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව විකල්ප නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්.

දැන් ණය හිමියන්ට වෙන්නේ කුමක්ද?

වහාම සිදුවන දෙය ඔවුන්ට ලැබිය යුතු ණය වාරික හා පොලී මුදල් ලංකාවට ලබා දුන් අලුත් ණය බවට පරිවර්තනය වීමයි. එනම් ප්‍රාග්ධනීකරණය වීමයි. උදාහරණයක් ලෙස ජූලි මාසයේදී කිසියම් අයෙකුට ඩොලර් මිලියන 100ක ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජන වෙනුවෙන් එම මුහුණත වටිනාකම හා ඩොලර් මිලියන 2.9375ක කූපන් පොලී මුදලක් ලැබිය යුතු වුවත් දැන් එය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇය එදින ඩොලර් මිලියන 102.9375ක අළුත් ස්වෛරිත්ව බැඳුම්කරයක හිමිකාරියක බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් එම මුදල ආපසු ගෙවන තුරු 5.875%ක පොලියක් ලැබෙනවා. ලැබෙනවා කිවුවත් එම මුදල බැංකු පොලියක් මෙන් ඉහත ආයෝජනයටම එකතු වෙන එකයි වෙන්නේ.

මේ වැඩේට ණය හිමියෝ කැමති වෙයිද?

අනිවාර්යයෙන්ම ඔවුන් කැමති වන එකක් නැහැ. මොකද මේ 5.875% පොලියට (ඉහත උදාහරණයේදී) ඔවුන් කැමති වී තියෙන්නේ වසර 10කට පෙර 2012දී. ඒ දවස්වල ලංකාවට ණය දෙන එකේ දැන් මෙන් අවදානමක් පෙනෙන්න තිබුණේ නැහැ. දැන් ඔවුන් මේ වගේ අඩු පොලියකට තමන්ගේ ණය අළුත් කරන්න කැමති වන්නේ නැහැ. ඉදිරියේදී මේ ණය හිමියන් එක්රැස් කර කරන සාකච්ඡාවකදී බොහෝ විට ඔවුන්ගේ නොගෙවූ ණය හා පොලී ආපසු ගෙවන තුරු මීට වඩා ගොඩක් වැඩි පොලියක් ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජයට එකඟ වෙන්න වෙයි. එවැනි එකඟතාවයක් ඇති කර ගන්න බැරි වුනොත් ඔවුන් නඩු මගට ගොස් ප්‍රමාද ගාස්තු, නඩු ගාස්තු ආදියත් ඉල්ලා සිටියි. කොහොම වුනත් දැනට ඔයිට වඩා වෙන කරන්න කියලා දෙයකුත් නැහැ. 

මීට පස්සේ ලංකාවට ණය ගන්න බැරි වෙයිද?

රටක් ණය පැහැර හැරියා කියලා ආයේ කවදාවත්ම ණය ගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ දැන් පවතින තත්ත්වය යටතේ තව සෑහෙන කාලයකට විදේශ ණය ගන්න ලේසි වෙන එකක් නැහැ. ණය නොගෙවා හිටියා කියලා ණය අහෝසි වෙන්නේ නැහැ. ඒ ණයට දවසින් දවස පොලී එකතු වෙනවා. ඒ එක්ක ලංකාවේ විදේශ ණය බර දැන් තිබෙනවාට වඩා විශාල ලෙස ඉහළ යයි. ඒ විදිහට ණය වැඩිවෙන්නේ අලුත් ණය එක ඩොලරයක් හෝ රටට එන්නේ නැතුවයි. බොහෝ විට ඉදිරි වසර පහ තුළ ගෙවිය යුතු ණය ටික ගෙවන්න පමණක් අඩු වශයෙන් අවුරුදු දහයක් යයි. ගත්ත ණය ටිකවත් ගෙවාගන්න බැරිව දඟලන රටකට සාමාන්‍ය ආයෝජකයෝ ණය දෙන එකක් නැහැ. මම කියන්නේ නුදුරු කාලය ගැනයි. ද්විපාර්ශ්වික ණයනම් තීරණය වන්නේ වෙනත් කරුණු මතනේ. ඒවා ලැබෙයි. 

ණය ප්‍රශ්නය ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

බොහෝ විට ඉදිරි වසර දහයක පමණ කාලය තුළ ලංකාවට ලැබෙන විදේශ විණිමය ටික පිරිමහගෙන වියදම් කරන්න වෙයි. ඒ අතර ණය ගෙවන්නත් විදේශ විණිමය වෙන් කරන්න වෙයි. ඒ කියන්නේ ඩොලරය දිගින් දිගටම විශාල ලෙස ඉහළ යන්න ඉඩ හරින්න වෙනවා කියන එකයි. පොලී අනුපාතිකත් විශාල ලෙස ඉහළ යයි (ඉතිරිකිරීම් තියෙන අයට හොඳ ආරංචියක්!). ගොඩක් ආනයනික භාණ්ඩ ලංකාවේ මධ්‍යම පංතියට පරිභෝජනය කළ නොහැකි සුඛෝපභෝගී භාණ්ඩ බවට පත් වෙයි. අවුරුදු හතළිහකට පමණ පෙර තිබුණු සරල සුන්දර ජීවිතය ගැන ෆේස්බුක් පෝස්ට් දාපු අයට ඒ ජීවිතය විදින්න ඉඩ ලැබෙයි. රජයේ වියදම් විශාල ලෙස කපා හරින්න සිදු වෙයි. රටේ ඒක පුද්ගල ආදායම (ඩොලර් වලින්) දශක ගානකින් පස්සට යන්න පුළුවන්. මේවා අශුභවාදී අදහස් කියා හිතෙන අයට කියන්න තියෙන්නේ මේ ලියන්නේ පුලුවන්ම තරම් ශුභවාදී ලෙස බවයි.

මේක ගොඩදාන්න වෙන විදිහක් නැද්ද?

කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ නැවත මුල සිටම පටන් ගන්නවා හැර වෙන විකල්පයක් නැති බවයි. මේ වෙන්න යන්නේ සිස්ටම් රීසෙට් එකක්. ඕක කවදා හරි අනිවාර්යයෙන්ම වෙන දෙයක්. කලින් වෙන තරමට හොඳයි. වෙච්ච වැරදි වලින් පාඩම් ඉගෙන ගත්තොත්, හදිසියේ නොවුනත්, අළු ගසා දා නැගිටලා ගොඩ යන්න පුළුවන්. 

Monday, April 11, 2022

ඉදිරි මාස කිහිපය කොහොම ගෙවෙයිද?


අධිපති මාරුවෙන් පසුව මහ බැංකුව රටේ පවතින තත්ත්වය ගැන ඇත්ත කතා කරනවා. මහ බැංකුව කියා කිවුවේ එහි ඉහළ ස්ථරය. මේ වන විට මහ බැංකුවට පිටින් සිටි විවේචකයින් විසින් කියූ දේ සහ මහ බැංකුව විසින් කියන දේ අතර විශාල පරතරයක් නැහැ. ඉතා සංක්ෂිප්ත ලෙස කිවුවොත් පවතින තත්ත්වය ගොඩක් අය හිතාගෙන ඉන්නවාට වඩා සෑහෙන්න දරුණු තත්ත්වයක්. මේ වෙලාවේ කවුරු ඇවිත් මොන දේ කළත් මේ විනාශය වලක්වා ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි.

අපි ජූලි මාසයෙන් පටන් ගනිමු. ජූලි 25 ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් හා එහි පොලිය ගෙවන්න තියෙනවා. මෙය එදිනට ගෙවන්න බැරි වීම ආසන්න අනිවාර්යතාවයක්. දැනට තිබෙන එකම තේරීම ඊට පෙර කෙසේ හෝ ණයකරුවන් සමඟ සාකච්ඡාවක් කර සැලසුම්සහගත ලෙස මෙම ණය පැහැර හැරීම සිදු කිරීමයි. මේ නිශ්චිත කාරණය හා අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එකෙන් අදහස් වනු ඇත්තේ එයයි.

අද වන විට ජූලි 25 දින කල් පිරෙන බැඳුම්කරයේ ද්වීතියික වෙළඳපොළ මිල ඩොලර් 47.9 දක්වා පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ අනුපාතයක් ලෙස ගත්තොත් අද ඩොලර් 48ක් ආයෝජනය කරලා තව සති 15කින් ඩොලර් 103ක් ලබා ගත හැකියි කියන එක. මෙය ඉතා ඉහළ ප්‍රතිලාභයක් බව කිව යුතු නැහැ. එවැනි ඉහළ ප්‍රතිලාභයක් හමුවේ කවුරුවත් මේ බැඳුම්කර මිල දී නොගන්නේ සල්ලි ආපසු නොලැබෙන බව ඒ තරම්ම පැහැදිලි නිසයි. අවදානම ඉහළ යද්දී මිල තවතවත් පහත වැටෙමින් තිබෙනවා.

ඉහත ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළව ලංකාව හමුවේ තිබෙන විකල්ප මොනවාද? මේ වන විට රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසියම් උත්සාහයක් දරමින් සිටින බව පෙනුනත්, බොහෝ විට ජූලි 25 දිනට පෙර එය සිදු නොවිය හැකියි. මොන විදිහෙන් හෝ ණයකරුවන් එක්රැස් කරගත්තොත් ඔවුන් අතරෙන් බොහෝ දෙනෙක් ඩොලර් 100ම නොගෙන යම් අඩු මුදලක් ලබා ගන්න කැමති විය හැකියි. එහෙත්, එසේ කැමති නොවන යම් පිරිසක් ඉතිරි වෙයි. ඔවුන් ණය පැහැර හැරීමක් සිදුවීමෙන් පසුව නඩු මගට යා හැකියි.

බොහෝ විට සිදු විය හැකි පරිදි, ඉහත ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කිරීමට ඉඩක් නොලැබී, පූර්ව දැනුම් දීමකින් තොරව ණය පැහැර හැරියොත් වෙන්නෙත් ඒ ටිකම වුනත් එය වඩා භයානක ආකාරයකින් වෙයි. ණයකරුවන් සංවිධානය වී නඩු මගට ගොස් අවසාන වශයෙන් නඩු ගාස්තු හා පොලී අධිභාරයක්ද සමඟ ණය හා පොලිය ගෙවන්න වෙන්න පුළුවන්. මෙය තීරණය වන්නේ ස්වෛරිත්ව බැඳුම්කර ගිවිසුමේ කොන්දේසි මතයි. මම මේ කොන්දේසි පිළිබඳව හදාරා නැහැ. එහෙත්, මෙය සිදු විය හැකි සාමාන්‍ය දෙයයි. 

රටේ දේශපාලනික තත්ත්වය බාධාවක් නොවුනොත් ලබන වසරේ සිට ගෙවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරගන්න අවස්ථාවක් ලැබෙයි. ඒ වගේම, ජූලි බැඳුම්කරය පැහැර හැරීමෙන් පසු ඇතිවන ආතතිය එයට උදවුවක් විය හැකියි. කෙසේ වුවත්, ජූලි බැඳුම්කරය නිසි සේ නොගෙවීමේ අහිතකර ප්‍රතිඵල වලට ලංකාවට මුහුණ දෙන්න වෙයි.

ඇත්තටම කියනවානම් මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව ජූලි මාසයේ වෙන්න තිබෙන දේ ගැන කතා කරන එකෙත් තේරුමක් නැහැ. ඊට කලින්ම ලංකාවට විශාල ප්‍රශ්න ගොඩකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා. 

මහ බැංකුවේ නිල සංඛ්‍යලේඛන අනුව මාර්තු අවසානයේ ඉතිරිව තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,939ක් පමණයි. මෙම සංචිත ප්‍රමාණයෙන් වැඩි කොටසක් චීන විණිමය හුවමාරු පහසුකම හරහා ලැබුණු මුදල් බවත් අපි දන්නවා. ඒ මුදල් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් යෙදවිය නොහැකියි. අප්‍රේල් හා මැයි මාස දෙක තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 1,898ක්. ඊට අමතරව බැංකු පද්ධතිය විසින් දැනටම විකුණා ඇති "නැති ඩොලර්" ප්‍රමාණය ඩොලර් මිලියන 562ක්. කතාව පැහැදිලියිනේ.

ලංකාවට මාසයකට අපනයන ආදායම් ලෙස ඩොලර් බිලියනයක් පමණ ලැබෙනවා. එම අපනයනකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ආනයනය කිරීම සඳහා එයින් අඩු වශයෙන් ඩොලර් මිලියන 300ක් පමණවත් යනවා කියන එක මගේ අදහසයි. ශ්‍රමික ප්‍රේෂණ ලෙස මේ වන විට බැංකු පද්ධතියට ලැබෙන්නේ මසකට ඩොලර් මිලියන 200-250කට ආසන්න මුදලක් පමණයි. රටේ පවතින වාතාවරණය යටතේ සංචාරක කර්මාන්තයෙන් මසකට ඩොලර් මිලියන 150-200කට වඩා හොයා ගැනීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. ඔය විදිහට බැංකු පද්ධතියට මාසයකට එනවා ඇත්තේ ඩොලර් බිලියනයකට මඳක් වැඩි මුදලක් පමණයි. 

බැංකු පද්ධතියට එන ඩොලර් වලින් 50%ක් මහ බැංකුවට විකිණීය යුතුයි. ඒ කියන්නේ මහ බැංකුවට රටට එන ඩොලර් වලින් මසකට ඩොලර් මිලියන 500ක් පමණ මිල දී ගැනීමේ හැකියාවක් තිබෙනවා. මාස දෙකට බිලියනයක් පමණ. ඉන්ධන ආනයනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා එම මුදල් මුදා හැරීමෙන් පසුව ණය ගෙවීම සඳහා මුදල් ඉතිරි වන්නේ නැහැ. ණය ගෙවුවොත් ඉන්ධන ආනයනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් ඉතිරි වන්නේ නැහැ. මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය පමණක්ම වුවත් ඩොලර් බිලියන 1.3-1.5ක් පමණ බව මගේ අදහසයි.

ලංකාවේ සාමාන්‍ය මාසික ආනයන වියදම අඩු වශයෙන් ඩොලර් මිලියන 1,700ක් පමණවත් වෙනවා. අපනයනකරුවන් විසින් ඔවුන්ගේ ආනයන වෙනුවෙන් අවශ්‍ය ඩොලර් ටික වෙන් කරගත්තා කියමු. තව ඩොලර් මිලියන 1,400ක් පමණ අඩුයි. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා ඩොලර් ටික නිකුත් කළොත් ඉන් පසුවත් තව ඩොලර් බිලියනයක පමණ හිඟයක් තිබෙනවා. මාස දෙකට ඩොලර් බිලියන දෙකක්. නමුත් බැංකු පද්ධතියට මාස දෙකට එන ඩොලර් බිලියන දෙකෙන් බිලියනයක් මහ බැංකුවට දුන්නට පස්සේ බැංකු වල ඉතුරු වෙන්නේ තව ඩොලර් බිලියනයක් පමණයි. බැංකු විසින් දැනටම විකුණා ඇති මිලියන 500කට වැඩි නැති ඩොලර් ටික අයින් කර ගන්න වෙන්නෙත් ඒ ලැබෙන ඩොලර් ටිකෙන්.

දැන් මෙයින් කියැවෙන්නේ කුමක්ද? ඉදිරි මාස දෙක තුළ ආනයනකරුවන් විසින් අඩු වශයෙන් ඩොලර් බිලියන දෙකක් පමණ බැංකු වලින් ඉල්ලා සිටිද්දී බැංකු වලට ඔවුන්ට විකුණන්න හැකි වෙන්නේ ඩොලර් මිලියන 500ක් පමණයි. අනාගතයේ දෙන පොරොන්දුවට තවත් "නැති ඩොලර්" මිලියන 500ක් විකිණුවත් ඉල්ලුම සැපයුම මෙන් දෙගුණයක්. මේ තත්ත්වය වෙනස් නොවන තාක් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යාම වැළැක්විය නොහැකියි. හැබැයි එසේ වෙද්දී ආනයන ඉල්ලුමත් යම් තරමකින් අඩු වෙයි.

අනෙක් පැත්තෙන් මහ බැංකුව විසින් බැංකු වලින් එකතු කරගන්නා ඩොලර් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කරන්න වෙනවා කියන්නේ ණය ගෙවන්න ලැබෙන්නේ නැහැ කියන එකයි. හදිසියෙන්ම ගෙවන්න තියෙන්නේ ඉන්දියාවේ ණය. බොහෝ විට ඉන්දියාව නැවත වරක් ණය ගෙවීමේ කාලය දිගු කරලා දෙයි. එහෙම නැත්නම් ඉතින් රටම කළුවරේ තමයි. 

මේ තියෙන තත්ත්වය යටතේ බැංකු පද්ධතිය හරහා රටට එන පොඩි ඩොලර් ප්‍රමාණයක් වුනත් ඇත්තටම ලොකු උදවුවක්. කෙළින්ම තමන්ගේ ගෙදරට යවන සල්ලි කාටවත් හොරකම් කරන්න පුළුවන්කමක් නැහැනේ. කවුරු හරි වංචනික ලෙස එක්රැස් කරගත් සල්ලි තිබේනම් ඒ සල්ලි ඩොලර් කර රටින් පන්නාගන්න උදවු කරන්නේ උන්ඩියල් ක්‍රම වලට සල්ලි එවන අයයි. බැංකු වලට එවන සල්ලි එක පැත්තකින් රුපියල් වෙලා ගෙදරට යනවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවට එම ඩොලර් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවක් ලැබෙනවා.

ඇත්තටම උන්ඩියල් ක්‍රමයට එවුවත් බොහෝ විට ඒ සල්ලි ලංකාවට ලැබෙනවා. ඔය සල්ලි ඔක්කොම කළු සල්ලි රටින් පැන්නීම සඳහා යෙදවෙන්නේ නැහැනේ. නමුත් එයින් ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් එම මුදල් යොදවන්න ඉඩක් නොලැබෙන නිසා ලංකාවේ මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

මම හිතන්නේ මෙය විදේශගත ලාංකිකයින්ට ලංකාවේ දේපොළ මිල දී ගන්නත් හොඳම අවස්ථාවක්. මිලියනය දහයක ඉඩමක් ගන්න කලින් ඩොලර් 50,000ක් ගියත් දැන් යන්නේ ඩොලර් 30,000ක් පමණයි. රජයේ හා/හෝ මහා බැංකුවේ පැත්තෙන් මේ වෙලාවේ රටට ඩොලර් අද්දගන්න කළ හැකි එක් දෙයක් වන්නේ විදේශිකයින් විසින් ඉඩම් මිල දී ගැනීමේදී ගෙවිය යුතු 100% බද්ද තාවකාලිකව 50% හෝ 25% පමණ මට්ටමකට අඩු කිරීමයි. මෙය නිශ්චිත කාලයකට දෙන බදු සහනයක් ලෙස ප්‍රකාශ කිරීම වැදගත්. එම කාලය තීරණය කළ යුත්තේ මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබෙන දවස මත පදනම්වයි. එවැන්නක් කිරීමෙන් බොහෝ විට රටට ඩොලර් වගේම රජයට බදු ආදායම්ද එකතු කරගත හැකියි. මුදල් අමාත්‍යාංශයේ ඉන්න බදු විශේෂඥයින්ට පුළුවන්නේ දත්ත දිහා බලලා යෝග්‍ය මට්ටම හරියටම තීරණය කරන්න.

Sunday, April 10, 2022

මුදල් මණ්ඩලය ඉවත් විය යුතුද?


මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් තනතුරු වෙනස් වීමෙන් පසුව සිදු වූ දේවල් හරහා අඩු වශයෙන් පසුගිය දෙවසරක කාලය තුළ මහ බැංකුව විසින් ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිවැරදි නොවූ බව පැහැදිලි වී තිබෙනවා. ඒ සමඟම කලින් සිටි මුදල් මණ්ඩලයම ඉවත් විය යුතු බවටද හඬක් නැගෙමින් තිබෙනවා. මෙයට ප්‍රතිචාර ලෙස අලුතෙන් පත් වූ අධිපතිවරයා විසින් ඉතිරිව සිටින මුදල් මණ්ඩල සාමාජිකයින් දෙදෙනා පිලිබඳව පහත නිවේදනය නිකුත් කර තිබෙනවා.

"මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මම ඉමහත් සතුටට පත්වෙමි. ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇත. ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස මටත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි."

නීතිමය වශයෙන් සැලකුවොත් මහ බැංකුව කියා කියන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි. නියෝජ්‍ය අධිපති දක්වා මහ බැංකුවේ නිලධාරීන් කවර ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යෝජනා කළත් අවසාන වශයෙන් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්නේ මුදල් මණ්ඩලයයි. ඒ නිසා මහ බැංකුව විසින් ගන්නා ඕනෑම තීරණයක වගකීමෙන් නියෝජ්‍ය අධිපති දක්වා වන එහි නිලධාරීන්ට පහසුවෙන් නිදහස් විය හැකියි. එහෙත්, මුදල් මණ්ඩලයට එසේ වගකීමෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. 

මුදල් මණ්ඩලයට වැරදීමට හැකි බව මේ වන විට ඉතාම පැහැදිලි කරුණක්. එසේ වැරදුනු විට එහි වන්දිය මුළු රටටම ගෙවන්න සිදු වෙනවා. පසුව තනතුරෙන් ඉවත් වුනා කියා ඒ හානිය ආපසු හැරවෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවේ මුදල් මණ්ඩලයට වඩා පාරදෘශ්‍ය ලෙස කටයුතු කරන සේ බල කිරීමට ජනතාවට අයිතියක් තිබෙනවා.

අලුත් මහ බැංකු අධිපතිගේ හා භාණ්ඩාගාර ලේකම්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි ලෙස එළිදරවු කර ඇති පරිදි මහ බැංකුවේ නිලධාරීන් විසින් දැන් සිදු වී තිබෙන විනාශය කලින්ම දැක තිබෙනවා. ඒ වගේම නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා. එම ප්‍රකාශ නිවැරදිනම්, නිලධාරී මට්ටමේ යෝජනා හා පුරෝකථන නොසලකා හරිමින් වැරදි තීන්දු ගෙන තිබෙන්නේ මුදල් මණ්ඩලයයි. ඒ සඳහා මුදල් මණ්ඩලයට බලයක් තිබෙනවා. ඒ වගේම ඒ විදිහට ඔවුන් තීන්දු ගත්තේ ඇයි කියා දැන ගන්න ජනතාවටත් අයිතියක් තිබෙනවා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අවසාන වශයෙන් ගත් තීන්දු නිවැරදි තීන්දු නොවේනම් සහ ඇතැම් මුදල් මණ්ඩල සාමාජිකයින් විසින් "ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර" ඇත්නම් එයින් අදහස් වන්නේ මුදල් මණ්ඩලය විසින් ගත් තීන්දු ඒකමතික තීන්දු නොවූ බවද? මුදල් මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ විරුද්ධත්වය තිබියදී, ඉතිරි සාමාජිකයින් තිදෙනා විසින් බහුතර ඡන්දයෙන් තීන්දු ගත් බවද?

මම හිතන්නේ ජනතාවට මෙය පැහැදිලි කර ගැනීමට අයිතියක් තිබෙනවා. ඒ වගේම, ඉදිරි කාලයේදී මෙවැනි වැරදි හෝ අත්වැරදී සිදු නොවන බවට වග බලා ගැනීමේ අවශ්‍යතාවයක්ද ජනතාවට තිබෙනවා.

මෙය කළ හැක්කේ කොහොමද? විසඳුම ඉතා සරලයි. කළ යුත්තේ අනාගත හා පසුගිය කාලයේ පැවති මුදල් මණ්ඩල රැස්වීම් වල වාර්තා ප්‍රසිද්ධ කරන සේ බල කිරීමයි. මෙය අමුතු හෝ විශේෂ දෙයක් නෙමෙයි. පහත තිබෙන්නේ ඇමරිකාවේ "මුදල් මණ්ඩල (FOMC)" රැස්වීමක වාර්තාවක්. 

https://www.federalreserve.gov/monetarypolicy/files/fomcminutes20190918.pdf?msclkid=8ddb2f24b8f211eca499644c82246e7f

සෑම රැස්වීමකින් පසුවම මේ වාර්තා ප්‍රසිද්ධ කරනවා. එහිදී එක් එක් සාමාජිකයා අදාළ යෝජනාවට පක්ෂ වූයේද විරුද්ධ වූයේද යන්න පැහැදිලිව ජනතාවට දැනගත හැකියි. ඒ වගේම නිලධාරී මට්ටමේ යෝජනා හා පුරෝකථන මොනවාද කියන එකත්, එක් එක් "මුදල් මණ්ඩල" සාමාජිකයා විසින් ආර්ථිකය සම්බන්ධව වෙන වෙනම කරන පුරෝකථන මොනවාද කියන එකත් පැහැදිලිව දැනගත හැකියි. ඉහත රැස්වීමේදී අදාළ ප්‍රතිපත්ති තීරණයට පක්ෂ වී තිබෙන්නේ සාමාජිකයින් හත් දෙනෙකු පමණයි. තිදෙනෙකු විරුද්ධ වී තිබෙනවා.

රටටම බලපාන මුදල් ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ සිග්නල් කණු විසින් නෙමෙයි. මුදල් මණ්ඩලයේ සිටින එක් එක් සාමාජිකයාට රටේ ආර්ථික වර්ධනය, උද්ධමනය, විණිමය අනුපාතය ආදිය සම්බන්ධව ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම් වූ තමන්ගේම පුරෝකථන තිබිය යුතුයි. විශේෂයෙන්ම නිලධාරී මට්ටමේ යෝජනා වලට ඔවුන් එකඟ නොවන්නේනම්. ඒ වගේම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල බලපෑම ගැන පැහැදිලි අදහසක් තිබිය යුතුයි. නීතිය කුමක් වුවත් එවැනි ප්‍රවීණතාවයක් නැති හෝ එවැනි කැපවීමක් කළ නොහැකි අයෙකු මුදල් මණ්ඩල සාමාජිකත්වය සඳහා සුදුස්සෙක් නෙමෙයි. 

පෞද්ගලිකව මා කිසිදු තනතුරක් සඳහා පුද්ගලයෙකුගේ යෝග්‍යතාවය හෝ අයෝග්‍යතාවය ගැන කතා කරන්න එතරම් කැමති නැහැ. මා හැමවිටම විවේචන කරන්නේ හෝ අගය කරන්නේ කවුරු හෝ විසින් ගන්නා තීරණයි. පවතින ක්‍රමවේදයයි. මුදල් නීති පණත අනුව මුදල් මණ්ඩල සාමාජිකයෙකුව පත් කිරීමෙන් පසුව වසර හයක් යන තුරු ඔවුන්ව ඉවත් කළ නොහැකියි. 2015දී අධිපති කබ්රාල් හා තවත් ඇතැම් මුදල් මණ්ඩල සාමාජිකයින් ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වීමෙන් ලබා දුන්නේ ඉතා වැරදි පූර්වාදර්ශයක්. එහිදී තමන් දේශපාලන පත්වීම් ලැබූවන් මිස ස්වාධීන වෘත්තිකයින් නොවන බව ඔවුන් කෙළින්ම පෙන්නුවා. ඉන් පසු මෙය දිගටම සිදු වුනා. 

මුදල් මණ්ඩල සාමාජිකයෙකු තමන්ගේ ධුර කාලය අවසන් වීමට පෙර, සෞඛ්‍ය හේතු වැනි පිළිගත හැකි හේතුවක් නැතිව, ඉල්ලා අස්වන්නේනම් එයින් රටට පෙන්වන්නේ තමන් මෙම තනතුර සඳහා නුසුදුස්සෙකු වූ බව හා ස්වාධීන වෘත්තිකයෙකු නොවූ බවයි. එවැන්නන් මෙවැනි තනතුරක් භාර නොගත යුතුයි. එහෙත්, තනතුර භාර ගන්නේනම් ඉතා පාරදෘශ්‍ය ලෙස තමන්ගේ ස්වාධීනත්වය රටට පෙන්වීමට සූදානම් විය යුතුයි.

මහ බැංකුව හරි පාරට වැටී තිබුණත් රටේ ඉදිරිය තවමත් හොඳ එකක් නෙමෙයි. හරි පාරේ දිගටම ගියොත් අවසාන වශයෙන් ආර්ථිකය ස්ථාවර කර ගත හැකි වනු ඇතත්, එය අවදානම් ගමනක්. ඒ වගේම ඊට පෙර තත්ත්වය තවත් දරුණු වන බවත් ඉතාම පැහැදිලියි. මේ වගේ වාතාවරණයක් තුළ රටටම බලපාන තීන්දු ගන්නා අය හැකි තාක් පාරදෘශ්‍ය ලෙස එම තීන්දු ගත යුතුයි. වැරදුනාට පස්සේ ජනතාව ඉදිරියේ නාහෙන් අඬලා වැඩක් නැහැ.

Friday, April 8, 2022

මහ බැංකුව නැවතත් තමන්ගේ රස්සාවට!


නන්දලාල් වීරසිංහ විසින් අධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් හා මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව මහ බැංකුව විසින් යුහුසුළුව ආර්ථිකයට ප්‍රථමාධාර දීමේ කටයුත්තට අත ගසා තිබෙනවා. මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 6.5-7.5% මට්ටමේ සිට 13.5-14.5% මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මෙය මහ බැංකු ඉතිහාසය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතික එකවර වැඩියෙන්ම ඉහළ දමා ඇති අවස්ථාවයි. මෙය නහයෙන් උඩට අඩි ගාණක් යටවී තිබෙන ආර්ථිකය ගොඩ ගැනීම සඳහා මහ බැංකුව පැත්තෙන් අරගෙන තිබෙන ඉතාම නිවැරදි තීරණයක්.

මේ වන විට ප්‍රාථමික වෙළඳපොළේ දින-91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතය 14.12% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තත්ත්වය යටතේ මහ බැංකුවෙන් වාණිජ බැංකු වලට හා ප්‍රාථමික ගැනුම්කරුවන්ට 7.5% පොලියට ණය දීම විශාල වැරැද්දක්. එම අනුපාතය 14.5% දක්වා ඉහළ යාමත් සමඟ මේ වැරැද්ද නිවැරදි වෙනවා.

රටේ උද්ධමනය මේ වන විට 17.5% දක්වා ඉහළ ගොස් ඇති අතර මහ බැංකු අධිපතිවරයාට අනුවම උද්ධමනය 25% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකියි. මෙය නිවැරදි පුරෝකථනයක්යැයි මා සිතනවා. ඒ අනුව ඉදිරි කාලයේදී පොලී අනුපාතික මීටත් වඩා ඉහළ යාමට ඉඩ දෙන්න සිදු විය හැකියි.

මහ බැංකුවක් සාමාන්‍යයෙන් පොලී අනුපාතික ඉහළ දමන්නේ අනුක්‍රමික ලෙසයි. මෙසේ එකවර විශාල ලෙස පොලී අනුපාතික ඉහළ දැමීමට අවශ්‍ය වුනේ කාලයක් තිස්සේ එය සිදු නොවුණු නිසයි. මේ තීරණය මට ගැනීමට සිදු වුනානම් මම බොහෝ විට 7.5%කින් පමණ පොලී අනුපාතික ඉහළ දමනවා. මහ බැංකුව විසින් එවැනි විශාල ඉහළ දැමීමක් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළේ නැහැ. එහෙත් නන්දලාල් වීරසිංහ බය නැතිව මේ අවශ්‍ය තීරණය අරගෙන තිබෙනවා. 

පොලී අනුපාතික ඉහළ යාමත් සමඟ බැංකු වල තැන්පතු තිබෙන අයට එම තැන්පතු ආපසු ගැනීම ගැන දෙවරක් හිතන්න වෙනවා. ණය ගන්න බලාගෙන හිටපු අයටත් දෙවරක් හිතන්න වෙනවා. මේ හරහා රුපියලට වටිනාකමක් ලැබී රුපියල ශක්තිමත් වීමක් සිදු වෙනවා.

අධිපති වීරසිංහ ඇත්ත කතා කිරීම හා ඇත්ත කතා කිරීම වෙනුවෙන් පෙනී සිටීමත් වැදගත්. තොරතුරු සැඟවීමෙන් හා බොරු කීමෙන් වෙන්නේ පවතින තත්ත්වයටත් වඩා නරක තත්ත්වයක් පිළිබිඹු කරන වැරදි තොරතුරු ප්‍රචාරය වීමයි. මෙය කියවන බව දන්නා මහ බැංකුවේ වගකිවයුතු අයට මගේ යෝජනාව වනුයේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය දෛනිකවත්, නිල සංචිත පිළිබඳ තොරතුරු, අඩු වශයෙන් සතිපතාත් ප්‍රසිද්ධ කළ යුතු බවයි. පහසුවෙන් මහ බැංකුවේ ගිණුම් වලින් ලබා ගත හැකි මෙම තොරතුරු කොහොමටත් ප්‍රසිද්ධ කරන දෛනික වාර්තාවකට එකතු කිරීම සරල කටයුත්තක්. එසේ කිරීමෙන් වැරදි තොරතුරු ප්‍රචාරය වීම පාලනය කළ හැකියි.

මහ බැංකුව විසින් පළමු ගල ගැසීමෙන් පසුව ඊළඟ පියවර ගත යුතුව තිබෙන්නේ රජයයි. මේ වෙලාවේ භාණ්ඩාගාර අධිපති ධුරයට පත්ව සිටින මහින්ද සිරිවර්ධනද මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද කාලයක් තිස්සේ වැඩ කර තිබෙන, එමෙන්ම නන්දලාල් වීරසිංහ සමඟ දිගු කාලයක් එකට වැඩි කර තිබෙන අයෙකු වීම තීරණ සම්බන්ධීකරණය කර ගැනීමේදී තිබෙන වාසියක්. 

ඇත්තටම කියනවානම් මහින්ද සිරිවර්ධන හමුවේ තිබෙන අභියෝගය නන්දලාල් වීරසිංහ හමුවේ තිබෙන අභියෝගයට වඩා ගොඩක් වැඩි එකක්. මහබැංකු අධිපතිට නීතිය අනුවම ස්වාධීනව කටයුතු කළ හැකියි. එහෙත් භාණ්ඩාගාර ලේකම්ට එසේ ස්වාධීනව කටයුතු කිරීමේ නීතිමය බලයක් නැහැ. ඔහුට ක්‍රියාත්මක කරන්න වෙන්නේ රජයේ අභිමතයයි. ඒ නිසා, මේ වෙලාවේ මහජන මතය නිවැරදි තැන තිබීම වැදගත්.

පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම් ඉහළ යනවා. එයට අනුරූපව වෙනත් වියදම් කැපීමට හා ආදායම් වැඩි කර ගැනීමට සිදු වනවා. මේවා දේශපාලනික තීරණ. මම හිතන්නේ බොහෝ විට කෙටිකාලීනව ප්‍රාග්ධන වියදම් මුළුමනින්ම වගේ කපා හරින්න සිදු වෙයි. පඩි වැඩිකිරීම් වැනි දේ ගැන කාලයකට හිතන්න වෙන එකක් නැහැ. 

හැම දෙයක්ම හරියකට වෙන්නනම් දේශපාලන ස්ථාවරත්වයද අවශ්‍ය වෙනවා. ඒ සඳහා, යම් ප්‍රායෝගික සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. සංජීව වීරවරණ හා වසන්ත දේශප්‍රිය විසින් එවැනි සාකච්ඡාවක් සඳහා ප්‍රවේශයක් සපයා තිබෙනවා. මෙවැනි වෙනත් ප්‍රවේශයන්ද තිබිය හැකියි. වැදගත් වන්නේ අවුල ලෙහන්නට කොහෙන් හෝ පටන් ගැනීමයි. 

Thursday, April 7, 2022

අලුත් මහබැංකු අධිපති මොනවා කරයිද?


මහබැංකු අධිපති ධුරයට ආචාර්ය වීරසිංහව පත් කරනු ලැබීම උද්ඝෝෂණකරුවන් විසින් ඔවුන්ගේ පළමු වැදගත් ජයග්‍රහණය සේ සලකනවා. ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුව තුළ විදේශ අංශය පිළිබඳ කටයුතු වල කාලයක් තිස්සේ නිරතව සිටි, විදේශ අංශයේ ගැටළු පිළිබඳ ප්‍රවීණතාවක් ඇති අයෙක්. ශ්‍රී ලංකා රජය විසින් නම් කරනු ලැබ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද කාලයක් සේවය කර ඇති අයෙක්.

ඊට අමතරව ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර ආයතන වල ඉහළ තනතුරු දරා ඇති, ලංකාව දැනට මුහුණ දෙන ආකාරයේ ගැටළු වලට මුහුණ දුන් වෙනත් රටවල් වලටද ප්‍රතිපත්ති උපදේශන ලබා දී ඇති, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති, කීර්තිමත් ආර්ථික විද්‍යාඥයින් තිදෙනෙකු උපදේශකවරුන් සේ පත් කර තිබෙනවා. 

හිටපු මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමි ගැන ලංකාවට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ආචාර්ය ශාන්තා දේවරාජන් ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ අයෙක්. ආචාර්ය ශාමිනි කුරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරු දරා තිබෙනවා. මේ පත් කිරීම් සියල්ල කර තිබෙන්නේ හැකි ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් බව පැහැදිලියි.

ඉහත පත් කිරීම් වාර්තා වීමට සමාන්තරව අන්තර්-බැංකු තැන් අනුපාත වල යම් හැරවුමක් නිරීක්ෂණය කළ හැකියි. එය ඇතැම් විට තාවකාලික තත්ත්වයක් වෙන්න පුළුවන්. ස්වෛරිත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ගණන්නම් පසුගිය සතිය තුළ වේගයෙන් පහත වැටෙමින් තිබෙනවා. ඇතැම් විට එම තත්ත්වයේද යම් ස්ථාවර වීමක් සිදු විය හැකියි. බරපතල ප්‍රකාශ කරන්නට තවම කල් වැඩියි.

මේ වෙලාවේ තත්ත්වය අනුව බැලුවොත් මුලින්ම කළ යුතුව තියෙන්නේ රටේ ආර්ථිකය ගොඩ ගැනීම නෙමෙයි. කොයි තරම් යටට ගිලිලද කියලා හරියට හොයා ගන්න එකයි. රටේ ආර්ථිකය නහය ලඟට ගිලී තිබුණු කාලය පහුවෙලා දැන් ගොඩක් කල්. ගොඩගන්න කලින් දියේ කිමිදිලා ආර්ථිකය දැන් තිබෙන තැන හොයා ගන්න වෙනවා. 

අධිපති වීරසිංහ වැඩ පටන් ගත්තට පස්සේ මොන විදිහට මේ තත්ත්වය කළමනාකරණය කරයිද?

සති දෙකකට පෙර (පසුගිය මාර්තු 25 වෙනිදා) ආචාර්ය වීරසිංහ ලංකාවේ ප්‍රධාන ආර්ථික විද්‍යා සංගම් තුන එකතු වී සංවිධානය කළ දේශනයකදී ආර්ථිකය පිළිසකර කළ යුතු ආකාරය පිළිබඳ ඔහුගේ දැක්ම විස්තර කළා. ඔහුගේ අදහස අනුව, පහත දේවල් ඒ අනුපිළිවෙලට කිරීමෙන් වසරක පමණ කාලයක් තුළ තත්ත්වය කළමනාකරණය කර ගත හැකිව තිබුණා.

1. මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම 

2. ඒ සමඟම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම (බදු අනුපාතික 2019 මට්ටමට නැවත ඉහළ දැමීම)

3. ඉන්ධන හා විදුලිය සඳහා මිල සූත්‍ර හඳුන්වාදීම 

4. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජයේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කිරීම හා ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම 

5. ණය ප්‍රතිව්‍යුහගත කරන තුරු ජාත්‍යන්තර සංවිධාන වලින් තාවකාලික ණය ලබා ගැනීම.

6. විණිමය අනුපාතය අනුක්‍රමික ලෙස නිදහස් කිරීම 

7. රාජ්‍ය බැංකු කඩාවැටීමේ අවදානම වැළැක්වෙන ක්‍රියාමාර්ග ගැනීම 

ඉහත අවස්ථාව වන විට රටේ උද්ඝෝෂණ ඇති වී තිබුණේ හෝ මහ බැංකු අධිපති ධුරය වෙනස් වීමේ ඉඩක් පෙනෙන්න තිබුනේ නැහැ. කෙසේ වුවත්, අලුත් මහ බැංකු අධිපති හිතන විදිහ මෙයින් පිළිබිඹු වෙනවා. 

මහ බැංකුව තීරණ ගන්නේ අධිපතිවරයාගේ තනි කැමැත්තෙන් නෙමෙයි. නිලධාරී මට්ටමේ යෝජනා, මුදල් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ගේ අදහස් හා රජයේ බලපෑම්ද අවසාන වශයෙන් මේ තීරණ වලට බලපානවා. ඒ නිසා, ඇත්තටම සිදු වන්නේ කුමක්ද කියන එක සමීපව නිරීක්ෂණය කළ යුතුයි.

ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම. එයින් අදහස් කෙරෙන්නේ පොලී අනුපාතික ඉහළ දැමීම හා එහි උදවුවෙන් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණා දැමීම. මේ වන විට මහ බැංකුව විසින් පෙරේදා ගත යුතුව තිබුණු මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම කල් දමා තිබෙනවා. අලුත් මුදල් මණ්ඩලය රැස් වූ වහාම එම තීරණය ගැනෙනු ඇතැයි විශ්වාස කළ හැකියි. 

ප්‍රතිපත්ති පොලී අනුපාතික 10%කින් පමණවත් ඉහළ යා යුතු වුවත්, මහ බැංකුව විසින් එකවර එවැනි විශාල වැඩි කිරීමක් අනුමත කිරීමේ ඉඩක් නැහැ. එහෙත්, පොලී අනුපාතික වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි.

Wednesday, April 6, 2022

සල්ලි පන්නන්නේ කටුනායකින්ද?


දිගට ඇදෙන අරගලය තුළ අරගලකරුවන් පාරට බැස ඉල්ලා සිටින්නේ කුමක්ද කියන එක වෙනම ලිපියකින් කතා කළ යුතු පුළුල් කරුණක්. අරගලය තවමත් ඉදිරියට ඇදෙනවා. එය මෙතෙක් අල නොවීමට ප්‍රධාන හේතුව සාපේක්ෂ සාමකාමීත්වයයි. එක පැත්තකින් නෙමෙයි දෙපැත්තෙන්ම. මුලින්ම ප්‍රචණ්ඩකාරී වන පාර්ශ්වයේ අවාසියට අවසානය තීන්දු වන බව දෙපාර්ශ්වය විසින්ම නිවැරදිව අවබෝධ කර ගෙන ඉන්නවා. 

මෙහිදී ආණ්ඩුව සතු මර්දනය මුදා හැරීමේ හැකියාව දෙපැත්තකින් සීමා වී තිබෙනවා. එක පැත්තකින් ලෝකය, විශේෂයෙන්ම බටහිර රටවල්, ආණ්ඩුව දෙස බලා ඉන්නවා. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පරණ වාර්තා නරක ලෙස බලපා තිබෙනවා. අනෙක් පැත්තෙන් පාලන යාන්ත්‍රණයක් නැතිව යන රැල්ලේ වේගයට මර්දනය ඉක්මන් කිරීම කියන්නේ ආණ්ඩුව විසින් වචනාර්ථයෙන්ම සිය දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්.

අරගලය තුළ දේශපාලන නායකත්වයක් නැත්තේම නැහැ. එය සියුම් ලෙස ක්‍රියාත්මක වන බවකුයි පෙනෙන්නේ. ජීවිත හා දේපොළ හානි සිදුවන තැනකට අරගලය පීලි පැන්නොත් ඒ වහාම ජනමතය මෙන්ම අරගලකරුවන්ද දෙපිල බෙදී ආණ්ඩුවට අරගලය පාලනය කිරීම සඳහා අවකාශයක් විවෘත වෙනවා. 

මේ අරගලයේ වූ සාධනීයම දෙය එයට දේශපාලන නායකත්වයක් නොතිබීමයි. එමෙන්ම, අවසාන වශයෙන් සිදු විය හැකි නරකම දෙය එයට දේශපාලන නායකත්වයක් ලැබීමයි. අවශ්‍ය වන්නේ අරගලකරුවන්ගේ ඉල්ලීම් සඳහා දේශපාලන නියෝජනයක් මිසක් ඔවුන්ව ඉස්සරහට දමා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නට උත්සාහ කරන දේශපාලන නායකත්වයක් නෙමෙයි. එහෙත්, ස්වාධීන ජනමතය කණ්ඩායමකගේ සැලසුම්සහගත මතයට යටපත් වීමේ අවදානම හැම විටම තිබෙන දෙයක්. 

අරගලකරුවන්ගේ ඉල්ලීම් පරිණාමය වන කිසියම් රටාවක් තිබෙනවා. මේ වන විට "අපේ සල්ලි අපිට දීලා යන්න" කියන එක ප්‍රමුඛ සටන් පාඨයක් වෙලා. ඇතැම් අය සල්ලි බෑග් වල දාගෙන රටින් පනින්න හදන අය අල්ල ගන්න කටුනායක පාරේ රැකවල් දාගෙන ඉන්නවා. ඒ ගොඩක් අය එය කරන්නේ අවංකව හා කැපවීමෙන්. හැබැයි සල්ලි පන්නන්න අවශ්‍ය අය සල්ලි රටින් පන්නන්නේ මේ දවස් වල විකාශනය වන "පාර වසා ඇත" ටෙලිනාට්‍යයේ ක්‍රමයට නෙමෙයි!

මෙයටම සම්බන්ධ තවත් කරුණක් ලෙස ඇතැම් අය උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න එපා කියලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දෙක අතර සම්බන්ධය මම පැහැදිලි කරන්නම්.

පසුගිය දෙවසර තුළ විශාල වශයෙන් සල්ලි අච්චු ගැසූ බව මේ වෙද්දී කවුරුත් දන්නා කරුණක්. 2020 වසර ආරම්භ වන විට රටේ සාමාන්‍ය ජනතාව අතේ සංසරණය වූ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 494,208ක්. 2021 අවසාන වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 784,441ක්. දෙවසරක් තුළ රුපියල් මිලියන 290,233ක වැඩිවීමක්. 

මම මේ කතා කරන්නේ මුදල් සැපයුම ගැන නෙමෙයි. මුදල් සැපයුමට අයත් වන්නේ කාසි හා නෝට්ටු පමණක් නොවන බව කලින් ලිපි වල විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. මේ කතා කරන්නේ කෙළින්ම මුදල් නෝට්ටු ගැන. මුළුමනින්ම වගේ රුපියල් 5000 නෝට්ටු ගැන. කාසි හා පොඩි නෝට්ටු ප්‍රමාණයේ විශාල වෙනසක් වී නැහැ. 

ඒ වගේම මේ ගණන් වලට බැංකු වල තිබෙන සල්ලි හෝ රජය සතු සල්ලි ඇතුළත් නැහැ. මේ කියන්නේ ගෙවල් වල සහ මුදලින් ගනුදෙනු කරන බැංකු නොවන ව්‍යාපාරික ආයතන වල තිබෙන මුදල් නෝට්ටු ප්‍රමාණය ගැන. පසුගිය මාස තුන තුළ ඔය ප්‍රමාණය තවත් වැඩි වෙලා ඇති. 

දෙවසරක වැඩිවීම රුපියල් බිලියන 300ක් කියා ගනිමු. ලංකාවේ නිවාස ඒකක ගණන මිලියන 5ක් වගේනේ. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක ගෙදරක මේ වන විට 2020 මුලදී තිබුණාට වඩා රුපියල් 60,000ක් තියෙන්න ඕනෑ. බැංකු වල නෙමෙයි. අතේ. ලංකාවේ ගෙවල් කීයකට මේ කතාව වලංගුද? 

මුදල් නෝට්ටු වලින්ම තමන්ගේ වත්කම් තියාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට මේ විදිහට මුදල් නෝට්ටු වලින්ම තියා ගන්නේ ඉපැයූ විදිහක් පෙන්නන්න බැරි වත්කම්. කාලයකට පෙර කෝටි තිස් ගණනක මුදල් නෝට්ටු දමා මැසූ මෙට්ටයක් ගැන කතාවක් අහපු අය ඇතිනේ. 

දැන් අපි උන්ඩියල් වලට එමු. පෙනෙන විදිහට මේ වෙද්දී උන්ඩියල් කරුවෝ ඩොලරයට රුපියල් 450 දක්වා විශාල මුදල් ගෙවනවා. බැංකු වලද ඩොලරයක මිල වේගයෙන් ඉහළ යනවා තමයි. අද වන විට ඩොලරයක් රුපියල් 320 දක්වා ඉහළ ගිහින්. එහෙත් උන්ඩියල් මිල ඊට වඩා ගොඩක් වැඩියි.

උන්ඩියල් වෙළඳපොළ කියා කියන්නෙත් නිදහස් වෙළඳපොළක්. සාමාන්‍යයෙන් උන්ඩියල් හරහා ආවත් ඒ මුදල් රටට එනවා. නිල සංඛ්‍යාලේඛණ වල නැති එක විතරයි වෙනස. නමුත්, මේ වෙලාවේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. එහෙම නැත්නම් උන්ඩියල් මිල සහ බැංකු වල මිල අතර මේ තරම් විශාල පරතරයක් හැදෙන්නේ නැහැ. 

උන්ඩියල් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? උදාහරණයක් ලෙස මම ඇමරිකාවේ උන්ඩියල් කරුවෙකුට ඩොලර් 100ක් දෙනවා. ලංකාවේ ඔහුගේ නියෝජිතයෙක් ඩොලරයට රුපියල් 400 බැගින් ගණන් හදා අපේ ගෙදරට රුපියල් 40,000ක් දෙනවා. ඕකනේ වෙන්නේ. 

දැන් ඔය වැඩේ දිගටම වෙද්දී දිගින් දිගටම රුපියල් වලින් ගෙවන්න ලංකාවේ නියෝජිතයාට සල්ලි කොහෙන්ද? ඒ සල්ලි කොහෙන් හරි ලැබෙන්න ඕනෑනේ. සාමාන්‍ය තත්ත්වය යටතේනම් වෙන්නේ ඔහු අනෙක් පැත්තට රුපියල් 410 බැගින් අර ඩොලර් ටික විකුණන එක. එවිට ඔහුට රුපියල් 41,000ක් අතට ලැබෙනවා. ඔහුගේ නියෝජිතයා අනෙක් පැත්තෙන් ඩොලර් ටික අවශ්‍ය තැනට යවනවා. ඩොලර් 100 ලංකාවට ආවේ නැතත් ඇවිත් ආපහු ගියා වගේම වැඩක් තමයි වෙන්නේ. බැංකු ක්‍රමය ඇතුළේ වෙන්නෙත් ඕකම තමයි. වෙනස සමතුලිත මිල පොඩ්ඩක් උඩින් තියෙන එක පමණයි. 

නමුත් ලංකාවේ කිසියම් පිරිසකට විශාල කළු සල්ලි ප්‍රමාණයක් ඉතා ඉක්මණින් ඩොලර් කර රටින් පන්නන්න අවශ්‍ය වූ විට ඉහත තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? 

දැන් මේ කොණේ රුපියල් ප්‍රශ්නයක් නැහැ. අනෙක් කොණෙන් ඩොලර් ලැබෙනවානම් ඒ වෙනුවෙන් ගෙවන්න රුපියල් නෝට්ටු ඕනෑ තරම් මේ කොණේ තිබෙනවා. ඒ නිසා, උන්ඩියල්කරුවන්ට ඩොලර් අනෙක් අතට ලංකාවේ කාට හරි විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගන්න පුළුවන් හැම ඩොලරයක්ම නොවටිනා ගානක්‌ දීලා හරි ගන්න බලාගෙන මේ කොණේ පිරිසක් ඉන්නවා. 

ඩොලරයක උන්ඩියල් මිල රුපියල් 450-500 දක්වා ගිහින්නම් එයින් පෙනෙන්නේ යම් පිරිසක් තමන්ගේ රුපියල් ඩොලර් කර හැකි ඉක්මණින් රටින් පන්නා ගැනීමට පිස්සුවෙන් මෙන් දඟලන බවයි. තව දවසක් දෙකක් යද්දී මෙවැනි අයෙක් ඩොලරයකට රුපියල් දාහක් දෙදාහක් වුනත් ගෙවන්න සූදානම් වෙන්න පුළුවන්. මොකද රුපියල් වලින් තිබෙන කළු සල්ලි නැති වීමේ අවදානම හමුවේ කීයක් දී හෝ මිල දී ගන්න ඩොලර් එක වටින නිසා.

මේ වැඩේ මෙවැනි ගෙවුම් ශේෂ අර්බුද ඇති වුනු වෙනත් රටවලත් වුනු දෙයක්. අන්තිමට IMF එකෙන් ලැබුණු සල්ලි පවා ඔය ක්‍රමයට රටින් එළියට ගිය අවස්ථා තිබෙනවා. නිදහස් ගනුදෙනු කියන්නේ නරක දෙයක් නෙමෙයි. එහෙත් සදාචාරාත්මක ගනුදෙනු කියා ජාතියකුත් තියෙනවා. මගේ ඇස් පනාපිට අල්ලපු වත්තට පැන හොරකම් කරන බඩුවක් අඩුවට ලැබුනා කියලා එය ගන්න එක හරිද? 

මෙතැන ප්‍රශ්නය හොර ගනුදෙනු වුනත් නිදහස් ගනුදෙනු නිසා මේවා පාලනය කරන්න අමාරු වීමයි. සමහර විට පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් මේ වැඩේට උදවුවක් වෙන්න පුළුවන්. කවුරු හරි රුපියල් 450ක් ගෙවා ඩොලර් ගන්නවානම් ඒ ගන්නේ මොකටද? ඒ වෙනුවෙන් රුපියල් හොයාගත්තේ මොන විදිහටද? මේවා නීතිය ක්‍රියාත්මක කරන අයගේ සහ ජනතා ක්‍රියාකාරිකයන්ගේ වපසරියට අයිති දේවල්.

Tuesday, April 5, 2022

අලුත් මහ බැංකු අධිපති රට ගොඩදායිද?


මේ මොහොත වන විටද පොදුජන අරගලය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එහි අවසානය කුමක් වෙයිද කියන එක අනාගතයට භාර දෙයක්. මේ මොහොත වන තුරුනම් අරගලය ව්‍යාප්ත වන්නේ සාධනීය ආකාරයකින්. 

අරගලයයේ සාර්ථකත්වය පසුපස මූලික හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව, අරගලකරුවන්ගේ සාමූහිකත්වයයි. දෙවැන්න සාපේක්ෂව ප්‍රචණ්ඩකාරී නොවීමයි. මේ දෙකෙන් එකක් හෝ බිඳ නොවැටී පවත්වා ගත හැකි වන තුරු අරගලයට ඉදිරියට යා හැකියි. 

අප බොහෝ විට ආඩම්බරයෙන් කියන්නේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ලංකාවේ බවයි. මේ ප්‍රකාශය පදනම් වන්නේ 1931 වසරේදී සිට ලංකාවේ සියළු වැඩිහිටියන්ට ඡන්ද බලය හිමිවීම මතයි. බොහෝ බටහිර රටවල මුලින්ම ඡන්ද බලය හිමි වුනේ ධනවත් සුදු පිරිමින්ටයි. ලංකාවේ වුවත් මුලින්ම ඡන්ද බලය හිමිවුණේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා වත්කම් තිබුණු අයට පමණයි.

බොහෝ බටහිර රටවල ධනවත් සුදු පිරිමින්ට ඡන්ද බලය, එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, ලැබෙන විට ඔවුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති වෙලා ඉවරයි. කාන්තාවන් හා සුළුතර කොටස් වලට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට ඔවුන්ද යම් තරමකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ කොටස්කරුවන් වෙලා. 

ලංකාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට රට ඇතුළේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් හැදී තිබුණේ නැහැ. ධුරාවලිගත සමාජ ව්‍යුහය ඇතුළේ එවැනි ඉඩක් තිබුණේත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය හැක්කේ සමානයින් සිටින සමාජයකයි. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය මුලදී ධනවත් සුදු පිරිමින්ට සීමා වුනේ අනෙකුත් අය සමානයින් නොවූ නිසයි.

මේ අරගලයෙන් පෙනෙන්නේ මෙතෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණු ලංකාවේ පොදු ජනතාව වැඩවසම් ක්‍රමයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කරමින් සිටින බවයි. ව්‍යවස්ථාව අනුව ජනරජයක් වන ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු වුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක මිනිස්සු තේරුම් ගනිමින් සිටින්නේ දැනුයි. 

ප්‍රශ්නයේ මුල ආර්ථික අර්බුදය වුවත් මේ වන විට එය දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙනවා. දේශපාලන අර්බුදයට මෙන්ම ආර්ථික අර්බුදයටද ක්ෂණික විසඳුම් අවශ්‍යයි. ආර්ථික අර්බුදය විසඳීම දේශපාලන අර්බුදය විසඳන තරම් පහසු නැහැ.

පොදුජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මුදල් ඇමති ධුරය මෙන්ම මහ බැංකු අධිපති ධුරයද පුරප්පාඩු වී තිබෙනවා. මේ තනතුරු පුරප්පාඩු කර තැබිය නොහැකියි. නමට හෝ කවුරුවත් නොසිටියොත් රටේ ඇතැම් වැදගත් කටයුතු කළ නොහැකිව අකර්මන්‍ය වීමේ අවදානමක් තිබෙනවා. 

අලුත් මුදල් ඇමති ලෙස පත් කෙරුණු අලි සබ්‍රි නීතිඥයෙකු මිස අදාළ විෂය ප්‍රවීණයෙක් නෙමෙයි. දැන් ඔහුත් ඉල්ලා අස් වෙලා. මේ වෙලාවේ කවුරු හෝ මේ තනතුර දැරිය යුතුයි. මේ අභියෝගාත්මක මොහොතේ මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සූදානම්ව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හා පළපුරුද්දක් ඇති අයෙක්. කෙසේ වුවත්, ඔහුගේ කාර්ය සාධනය තීරණය වන්නේ මහ බැංකුවට කොයි තරම් දුරට ස්වාධීන විය හැකිද යන්න මතයි. ඒ වගේම, ඔහුට හෝ වෙනත් අයෙකුට මහ බැංකුව භාරගෙන මැජික් පෙන්වන්න බැහැ.

ජන අරගලය අවසන් වෙද්දී ආණ්ඩුව මාරු වී හෝ ඒ සඳහා අත්තිවාරම් වැටී තිබෙන්න පුළුවන්. එහෙත්, එසේ වුනා කියා ආර්ථිකයේ අවදානම් පහව යන්නේ නැහැ. ඇත්ත කතා නොකර "අපිට කොරන්න පුළුවන්" කියා ආණ්ඩුව භාර ගන්න ඕනෑම පාර්ශ්වයකට වැඩි කලක් යන්න කලින් මෙවැනිම තත්ත්වයකට මුහුණ දෙන්න සිදු විය හැකියි. 

අද වන විට ප්‍රධාන බැංකු වල ඩොලරයක මිල රුපියල් 310 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රුපියල් 300 මට්ටමේ රඳවා ගැනීමට මහ බැංකුව යම් උත්සාහයක් දැරුවත් ඉතා ඉක්මණින්ම එම අදහස අතහැර දමා ඇති බව පෙනෙනවා. දැන් පවතින වාතාවරණය තුළ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කිරීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.

පවතින දේශපාලන වාතාවරණය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා තවත් ප්‍රමාද විය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ප්‍රමාණය හා එය ලැබෙන දිනය ගැන එම අරමුදල විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන තෙක් ඩොලරය ස්ථාවර කර ගැනීමට ඉඩක් ලැබෙන එකක් නැහැ. ඒ අතරතුර ඩොලරයක මිල ඉතා පහසුවෙන්ම රුපියල් 400 සීමාව දක්වා යා හැකියි. 

රටේ ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න පෙර මහ බැංකුවට මහ බැංකුවේ ඩොලර් ප්‍රශ්නය ගැන හිතන්න වෙනවා. බැංකු වලට බැංකු වල ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න වෙනවා. මිල ඉහළ යාමට සමාන්තරව බැංකු අංශයේ ඩොලර් හිඟය අඩු වෙමින් තිබෙනවා. සමස්තයක් ලෙස ලංකාවේ වානිජ බැංකු විසින් නැති ඩොලර් විශාල ප්‍රමාණයක් විකුණා ඇති බව මම කලින්ම පැහැදිලි කර තිබෙන දෙයක්. දැන් ඩොලරයේ මිල ඉහළ යන වේගය අනුව බැංකු වලට තමන්ගේ පාඩු අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් මේ නැති ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන එකතු කර ගන්න සිදු වී තිබෙනවා. ඩොලරය ස්ථාවර වනු ඇත්තේ ඒ කටයුත්ත අහවර වීමෙන් පසුව පමණයි. 

නන්දලාල් වීරසිංහ කියන්නේ මේ වෙලාවේ මහ බැංකු අධිපති ධුරය සඳහා තිබෙන සීමිත තේරීම් අතරින් හොඳ තේරීමක්. ඔහු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති දක්වා ධුර වල කාලයක් කටයුතු කර ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද විධායක අධ්‍යක්ෂ්‍ය වරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙක්. ආර්ථිකයේ පවතින වත්මන් අස්ථාවර තත්ත්වය වසරක් තුළ ස්ථාවර කළ හැකි බවට ඔහු මෑතකදී විශ්වාසය පළ කළා. කෙසේ වුවද, එය කළ හැකි වනු ඇත්තේ අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබේනම් පමණයි.

Monday, April 4, 2022

කී බෝඩ් වීරයෝ දැන් මහපාරේ!


වියුණුවෙහි ලිපියක් පළ කරන්නේ සතියකට පසුවයි. පාඨකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය තරමක දිගු නිහැඬියාවක්.

පසුගිය සතිය ලංකාවට සාමාන්‍ය සතියක් නෙමෙයි. ලෝකයම ලංකාව දෙස බලා සිටින මේ වගේ විශේෂ අවස්ථාවක කාලය වැය කළ යුතුව තිබුණු හොඳම ආකාරය වෙනදා මෙන් ලිපියක් ලියා පළ කර පැත්තකට වී සිටීම නෙමෙයි. මම හිතන්නේ මේ වියුණුවෙහි පළ වන ලිපි සාමාන්‍යයෙන් කියවන පාඨකයින් බොහෝ දෙනෙකු හා අදාළව වුවත් මෙය මෙවැනි ලිපි කියවමින් කාලය නාස්ති කළ හැකි වෙලාවක් නෙමෙයි.

මා ජීවත් වන නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද ඊයේ සවස විරෝධතාවකට එක් වුනා. ඒ බොහෝ දෙනෙකු දෙවසරකට පෙර ගෝඨාභයගේ ජය සැමරූ අය වීමද විශේෂත්වයක්. 

මේ වගේ විරෝධතා වලින් අවසාන වශයෙන් සිදු වන්නේ කුමක්ද කියන එක ප්‍රශ්නයක්. ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය වීම අවදානම් දෙයක්. කෙසේ වුවත්, දැන් එය සිදු වී අවසානයි. 

විරෝධතා හරහා අත් කර ගත හැකි වාසිය කුමක්ද කියන එකත් එම වාසි වලට සාපේක්ෂව සිදුවන හානිය ප්‍රශ්නයක් නොවන්නේද යන්නත් ගැටළුවක්. එහෙත්, කොහොමටත් සිදු වීමට නියමිත හානිය හමුවේ මෙය නිරර්ථක තර්කයක්. 

මෙය නිදහසින් පසු ලංකාවේ දැකිය හැකි වූ පුළුල්ම මහජන නැගිටීමයි. ජවිපෙ කැරලි දෙකේදී මෙන්ම උතුරේ කැරැල්ලේදීත් මෙවැනි පුළුල් ජන සහභාගීත්වයක් දැකිය හැකි වූයේ නැහැ. මෙය සරල ආණ්ඩු විරෝධී කැරැල්ලක් නෙමෙයි. පුළුල් ක්‍රම විරෝධී කැරැල්ලක්. ඒ නිසාම, එහි දිශානතිය අවිනිශ්චිතයි. 

පැවති තත්ත්වය තුළ සජබ හා ජාජබ විසින් මෙහෙයවුණු විරෝධතාවන් සඳහාද විශාල ජන සහභාගිත්වයක් දැකිය හැකි වුනා. එම කණ්ඩායම් වලට පැහැදිලි දේශපාලන ඉලක්ක තිබුණා. එහෙත්, ආණ්ඩුව සමඟ ඉහත කණ්ඩායම් දෙකමද ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක්, විශේෂයෙන්ම තරුණ වයස් කාණ්ඩ අතර, දැකිය හැකියි. ඔවුන්ට පටු ඉලක්ක නැහැ. ඒ නිසා, ඔවුන් සමඟ ගේම් ගසා වැඩේ ගොඩ දාගන්න ලේසි නැහැ. මේ ගොඩක් අය තනි තනිව හිතා තමන්ගේ හෘද ශාක්ෂිය පසුපස යන අයයි.

ව්‍යතිරේඛ ගණනාවක් ඇතත්, පොදුවේ ලංකාවේ මෑතකාලීන දේශපාලනඥයා රටේ ජනතාවට වඩා උඩින් ජීවත් වූ අයෙක්. ධනවාදය සමඟ කිසිසේත්ම පටලවා ගත යුතු නැතත්, මේ තත්ත්වය මෙවැනි නරක අතකට හැරුණේ හැත්තෑ හතෙන් පසුවයි. 

හැත්තෑ හතට පෙරත් දේශපාලනඥයින් රටේ පොදු ජනතාවට වඩා ඉහළින් නොසිටියා නෙමෙයි. එහෙත් බොහෝ විට එය එසේ සිදු වුනේ කොහොමටත් පොදු ජනතාවට වඩා ඉහළින් සිටි ප්‍රභූන් දේශපාලනයට පැමිණීම නිසා මිසක් ඔවුන් දේශපාලනය හරහා පොරවල් හෝ සල්ලිකාරයින් වීම නිසා නෙමෙයි.

හැත්තෑ හතෙන් පස්සේ සිදු වුනේ කොහේවත් සිටි නිකමුන්ටත් දේශපාලනය හරහා පොරවල් වී මහජනතාවට ඉහළින් වැජඹිය හැකි තත්ත්වයක් ඇති වීමයි. 

මෙය යම් ආකාරයකින් එක්තරා අහම්බයක ප්‍රතිඵලයක්. සමගි පෙරමුණු ජාතික සමාජවාදී රජය විසින් ආනයන තහනම් කර, විණිමය අනුපාතය හිර කරගෙන, රට වසා ගෙන සංවෘත නිෂ්පාදන ආර්ථිකයක් හැදීමට දැරූ උත්සාහයත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස දෙවසරක් වැඩියෙන් ආණ්ඩු කිරීමත් නිසා හැත්තෑ හතේදී එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ පොල් පිත්තකට වුවත් පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් ලැබුනා. ඒ ඇතැම් මන්ත්‍රීවරු තේරී පත් වුනේ ඊට පෙර තේරී පත්වුණු මහජන නියෝජිතයින්ට සාපේක්ෂව ධන බලයක්, ජන බලයක් තබා පෞරුෂයක් හෝ ලොකුවට තිබුණු නිසා නෙමෙයි.

මේ විදිහට ඉල්ලුවේ අලියා ලකුණෙන් වීම නිසාම විශාල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් තේරී පත් වෙද්දී මන්ත්‍රීවරුන්ගේ ස්වාධීනත්වය පක්ෂයට යට වී ගියා. ඒ ක්‍රමය තවත් වැඩි දියුණු වී මහජන නියෝජිතයින් සිග්නල් කණු බවට පත් වුනා. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් කවදාවත් හරියට නොතිබුණු ලංකාවේ නමට හෝ තිබුණු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත් අවසාන වශයෙන් නූතන වැඩවසම් ක්‍රමයක් බවට පත් වුනා. 

මෑතකාලීනව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස පෙනෙන්නට තිබුණේ මැතිවරණ හරහා තමන්ගේ නියෝජිතයින්ව තෝරා ගැනීමට අවස්ථාවක් තිබීම පමණයි. ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට කිසිම හඬක් තිබුණේ නැහැ. මහජන නියෝජිතයෝ පොරවල්. අනෙක් මිනිස්සු කාණුවට බැසිය යුතුයි. 

සමාජ ජාලා පරම්පරාවේ තරුණ තරුණියන්ට මේ ක්‍රමය දිරවන්නේ නැහැ. "කී බෝඩ් වීරයෝ" කියන අවතක්සේරුව හරහා වහන්න හැදුවත්, ඒ විදිහට මතු වුනේ ලංකාවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. මේ පරම්පරාවට කවුරුවත් පොරවල් නෙමෙයි. ඒ වගේම, දැන් තියෙන තාක්ෂණයත් එක්ක දේශ සීමා හරහා ප්‍රාග්ධනය ගලා යාම වගේ දේවල් පාලනය කිරීම වුනත් විහිළු.

මේක හදිසියේ මතු වුනු ප්‍රවණතාවක් නෙමෙයි. "225ම එපා" සටන් පාඨය මතු වුනේ 2020 මැතිවරණ වලට කලින්. ඒත් පස්සේ ඒක යටපත් වුනා. ඇත්තටම ගෝඨාභය බලයට පත් වුනෙත් ඔය "225ම එපා" රැල්ල හරහා. දැන් "කී බෝඩ් වීරයෝ" මහ පාරට ඇවිත්. පොරවල් වෙලා හිටපු අයට කාණුවට බහින්න වෙලා. ගෙවල් අස්සේ හැංගෙන්න වෙලා. 

මේක ආණ්ඩුවට විතරක් නෙමෙයි. ඉදිරියේදී බලයට එන්න ඉන්න කාට වුනත් බරපතල සංඥාවක්. 

තව කතා කරන්න දේවල්නම් ගොඩක් තියෙනවා. නමුත් වෙලාවක් නැහැ. වෙලාව ලැබුණු විට තව මොනවා හරි ලියන්නම්!

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...