වෙබ් ලිපිනය:

Friday, November 9, 2018

මහ බැංකුව මුදල් අච්චු ගහන්න පටන් අරන්ද?


පසුගිය 26 වෙනිදා පටන් ගත් දේශපාලන පෙරළියෙන් පසුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම වේගවත් කර තිබෙන බව සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙමින් පවතින පුවතක්. මා දැක්කේ නැතත් මේ බව කියන පුවත්පත් ලිපිත් පළ වී ඇති බව පෙනෙනවා.

දින දෙකකට පෙර පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව විසින් මේ "සාවද්‍ය පුවත්පත් ලිපි" ගැන පැහැදිලි කිරීමක් කර තිබුණා. මහ බැංකුව කියන්නේ එහෙම දෙයක් වෙන්නේ නැති බවයි.

මහ බැංකුවේ නිවේදනයේත් තිබෙන විදිහට, සාමාන්‍යයෙන් මුදල් අච්චු ගැසීම කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් (අධි බලැති මුදල්) ප්‍රමාණය ඉහළ යාමයි. මේ සංචිත මුදල් වලට සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටුත්, මහ බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල ගිණුම් වල ශේෂයන්ගේ එකතුවත් ඇතුළත්.

මහ බැංකුව විසින් අලුත් සල්ලි එළියට දමන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැන්න, මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්) මිල දී ගැනීමයි. මේ බිල්පත් ප්‍රාථමික වෙන්දේසියෙන් හෝ ද්වීතියික වෙළඳපොළෙන් (වාණිජ බැංකුවකින් හෝ ප්‍රාථමික වෙළෙන්දෙක්ගෙන්) මිල දී ගත හැකියි. දෙවන ක්‍රමය ඩොලර් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් මිල දී ගැනීමයි.

ඉහත අවස්ථා දෙකේදී රටේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් හෝ විදේශ ව්‍යවහාර මුදල් විකුණා සංසරණයේ තිබෙන රුපියල් ආපසු එකතු කරගත් විට සංචිත මුදල් සැපයුම පහළ යනවා.

මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් හා විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු වල යෙදෙද්දී වරින් වර සංචිත මුදල් සැපයුම ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක්. එයට සල්ලි අච්චු ගැහීම කියා කියන්න බැහැ. මේ තාවකාලික වෙනස්වීම් අත ඇරලා, අවුරුද්දක් වගේ සාපේක්ෂව දිගු කාලයක් තුළ සිදුවන දේ දිහා බැලුවොත් මහ බැංකුව කරන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ දමන එක මිසක් පහළ දමන එක නෙමෙයි. සල්ලි අච්චු ගැහීම කියා කියන්නේ එයටයි.

මහ බැංකුව විසින් පෙර කී විදිහට සල්ලි අච්චු ගහන එකත් අසාමාන්‍ය දෙයක් නෙමෙයි. හැම අවුරුද්දකම මහ බැංකුව අලුතින් සල්ලි අච්චු ගහනවා. වෙනත් රටවල් වල මහ බැංකුත් එහෙමයි.

උද්ධමනයටත්, ඒ හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමටත් හේතු වෙන්නේ මේ විදිහට සල්ලි අච්චු ගැහීමයි. වැඩියෙන් සල්ලි අච්චු ගහන රටවල් වල උද්ධමනය වැඩියි. උද්ධමනය වැඩි රටවල මුදලේ වටිනාකම වේගයෙන් පහළ යනවා. විණිමය අනුපාතිකය දුර්වල වෙනවා.

ඩොලර් එකක රුපියල් මිල ඉහළ යාම බඩු මිල ඉහළ යන්න හේතුවන බව ගොඩක් අය "දකින" දෙයක්. නමුත්, ඇත්තටම බඩු මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. උද්ධමනයට හේතු වෙන්නේ වැඩි වැඩියෙන් මුදල් අච්චු ගැසීමයි. උද්ධමනය වැඩි වන විට රුපියලක සැබෑ වටිනාකම පහළ යනවා. කිසියම් මැදිහත්වීමක් නොකෙරුණොත්, ඒ පහළ යාම විණිමය අනුපාතිකයෙන් පිළිබිඹු වෙනවා.

රුපියලක සැබෑ වටිනාකම පහළ ගියාට පස්සේ විදේශ සංචිත විකුණලා හෝ ණය අරගෙන  විණිමය අනුපාතිකය පහළින් තියා ගන්න දඟලන එකේ තේරුමක් නැහැ. විණිමය අනුපාතිකය ශක්තිමත්ව තියාගන්න අවශ්‍යනම් කළ යුත්තේ රුපියලේ සැබෑ වටිනාකම ආරක්ෂා කර ගැනීමයි. එහෙම කරන්නනම් පාලනයකින් යුතුව සල්ලි අච්චු ගැසීම කළ යුතුයි.

දැනට පවතින තත්ත්වය ගැන මහ බැංකුව කියන්නේ මෙහෙමයි.

"2017 වසර අවසානයේදී රුපියල් බිලියන 939.8 ක් වූ සංචිත මුදල් 2018 වසරේ සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 1,010.5 වූ අතර, නොවැම්බර් 02 වැනි දින වන විට එය රුපියල් බිලියන 1,020.8 ක අගයක් වාර්තා කළේය. ඒ අනුව සංචිත මුදල්වල වාර්ෂික ලක්ෂමය වර්ධනය සියයට 11.6 ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය කරන ලද අගයට වඩා පහළ මට්ටමක පවතී."

දැන් මේ කියන්නේ 11.6%කින් සංචිත මුදල් සැපයුම ඉහළ යාම මහ බැංකුව අපේක්ෂා කළාටත් වඩා අඩු මට්ටමක ඉහළ යාමක් බවයි. ඒ කියන්නේ මහ බැංකුව සැලසුම් කරලා තියෙන්නේ 11.6%කටත් වඩා වැඩි අලුත් සල්ලි ප්‍රමාණයක් අච්චු ගහලා වෙළඳපොළට දමන්න කියන එකයි. මේ වන විට රටේ ආර්ථික වර්ධනය 3.6% මට්ටමේ බව සැලකූ විට මහ බැංකුව කියන්නේ 8%ක පමණ උද්ධමනයක් ඇති කරන්න මහ බැංකුව විසින් සැලසුම් කර තිබෙන බවයි. ඇමරිකාවේ උද්ධමනය 2% පමණ සේ සැලකුවොත් එයින් කියවෙන්නේ ඩොලරයක "නියම" රුපියල් මිල තවත් 6%කින් පමණ වැඩි වෙන්න ඉඩ අරින්න මහ බැංකුව සැලසුම් කර තිබෙන බවයි.

පසුගිය 26 වෙනිදා සිට ගත වූ දෙසතියක කාලය තුළ පමණක් රටේ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 20.3කින් ඉහළ ගිහින් තිබෙනවා. ඊට පෙර සති තුනේ වෙලා තියෙන්නේ රුපියල් බිලියන 2.3ක අඩු වීමක්. ඒ නිසා, දේශපාලන අර්බුදයෙන් පසුව සති දෙක තුළ වැඩිපුර සල්ලි අච්චු ගැහීමක් සිදු වෙලා නැහැ කියලම කියන්න අමාරුයි.

කොහොම වුනත් රටේ සංචිත මුදල් ඉල්ලුම තාවකාලිකව ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක් නිසා මේ වැඩිවීම මේ කාලයේදී සාමාන්‍යයෙන් සිදුවන වැඩි වීමක්ද කියන එකත් බලන්න වෙනවා. පහත තියෙන්නේ පසුගිය වසර වල ඔක්තෝබර් මාසයේ 26 ආසන්න සතියේ සිට ගත වූ දෙසතියක කාලය තුළ සංචිත මුදල් වෙනස් වී තිබෙන ආකාරයයි.

-2014 ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 5 දක්වා රුපියල් බිලියන 6.6ක අඩු වීමක්.
-2015 ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 5 දක්වා රුපියල් බිලියන 0.3ක අඩු වීමක්.
-2016 ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 10 දක්වා රුපියල් බිලියන 10.2ක වැඩි වීමක්.
-2017 ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 9 දක්වා රුපියල් බිලියන 6.7ක වැඩි වීමක්.
-2018 ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 8 දක්වා රුපියල් බිලියන 20.3ක වැඩි වීමක්.

මේ අනුව, පසුගිය දෙසතියේ සල්ලි අච්චු ගැසීම පසුගිය වසර පහේ එම කාලයේ සිදු වූ සල්ලි අච්චු ගැසීමට වඩා වැඩි බව කැපී පෙනෙනවා.

කොහොම වුනත් මේ අවුරුද්ද කොහොමටත් කලින් අවුරුදු වලට වඩා වෙනස් අවුරුද්දක්ද? දේශපාලන අර්බුදය සිදු නොවුනත් මේ කාලයේ සංචිත මුදල් වඩා වේගයෙන් වැඩිවිය හැකිව තිබුණද?

එහෙමනං ඔක්තෝබර් 26ට පෙර සති වලත් එවැනි වෙනසක් තිබිය යුතුයි. පෙර සති වල සංචිත මුදල් ප්‍රමාණයේ සාමාන්‍ය රටාවට වඩා විශාල අඩු වීමක් වී තිබුණානම්, පසුගිය සති දෙකේ වැඩි වීමට හේතුව ඒ අඩුව නැවත යථා තත්ත්වයට පත් වීම වෙන්න පුළුවන්. පහළින් තියෙන්නේ ඔක්තෝබර් 26ට පෙර සති තුනේ තත්ත්වය.

-2014 ඔක්තෝබර් 2 සිට ඔක්තෝබර් 23 දක්වා රුපියල් බිලියන 14.8ක වැඩි වීමක්.
-2015 ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 22 දක්වා රුපියල් බිලියන 0.7ක අඩු වීමක්.
-2016 ඔක්තෝබර් 6 සිට ඔක්තෝබර් 27 දක්වා රුපියල් බිලියන 19.1ක අඩු වීමක්.
-2017 ඔක්තෝබර් 4 සිට ඔක්තෝබර් 26 දක්වා රුපියල් බිලියන 0.7ක අඩු වීමක්.
-2018 ඔක්තෝබර් 4 සිට ඔක්තෝබර් 25 දක්වා රුපියල් බිලියන 2.3ක අඩු වීමක්.

මේ අනුව, ඔක්තෝබර් 26ට පෙර තෙසතිය තුළ අසාමාන්‍ය සංචිත මුදල් ඉල්ලුමක් හෝ අඩුවීමක් තිබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. 2014 හා 2016 අවුරුදු වලදීනම් තරමක් දුරට එවැනි තත්ත්වයක් පේනවා. ඒ නිසා, පසුගිය සති දෙකේ සල්ලි මැෂින් එක පොඩ්ඩක් වැඩිපුර දුවලා කියන එක අපට බැහැර කරන්න අමාරුයි.

කොහොම වුනත්, පසුගිය දෙසතියේ සංචිත මුදල් වැඩිපුර වැඩි වී ඇත්නම් ඒ රුපියල් බිලියන 15ක පමණ ප්‍රමාණයක් කියා කියන්න පුළුවන්. එය ඉතා විශාල වැඩි වීමක් නෙමෙයි. යම් හෙයකින් මෙය මහ බැංකුවේ ඉලක්කගත පථයෙන් පිට පැනීමක් වුවත්, ඉදිරි සතියක හෝ දෙකක කාලය තුළ සංචිත මුදල් වැඩිවීම ඉලක්කගත පථයට ආපසු දමා ගැනීම මහ බැංකුවට පහසුවෙන්ම කළ හැකි දෙයක්. ප්‍රශ්නයක් මතු වන්නේ එසේ නැතිව දිගින් දිගටම සංචිත මුදල් වැඩි වුනොත්.

මහ බැංකු නිවේදනයේ තවත් දේවල් තිබෙනවා. ඒ දේවල් ගැන දෙවනුව කතා කරමු.

(Image: https://www.123rf.com/stock-photo/sri_lanka_rupee.html?sti=nn1y15dn8nh0txr5p4|)

Wednesday, November 7, 2018

අලි බූරු හටන


ලංකාවේ හැමෝම වගේ මේ දවස් වල කට ඇරගෙන බලා ඉන්නේ ඉදිරි සතිය ඇතුළත පාර්ලිමේන්තුවේ සංයුතිය මොන විදිහට වෙනස් වෙයිද කියලයි. ලොකුවට කෑගැහුවට තවමත් මහා ලොකු වෙනසක්නම් වෙලා නැහැ. නමුත්, එයින් අදහස් වෙන්නේ ඉදිරි සතිය ඇතුළත ලොකු වෙනසක් වෙන්න ඉඩක් නැති බව නෙමෙයි.

අපේ පාඨකයින් බොහෝ දෙනෙක්ගේ අවධානය ලංකාවේ දේශපාලන අර්බුදය වෙත යොමු වී තියෙද්දී, ඊයේ ඇමරිකාවේ මැතිවරණ දිනය ගෙවී ගියා.

මා මීට පෙර විස්තරාත්මකව ලියා තිබෙන පරිදි ඇමරිකාවේ මැතිවරණ පැවැත්විය යුතු දිනය ව්‍යවස්ථාවෙන්ම නියම කර තිබෙන නිසා බලයේ සිටින පක්ෂයේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ හිතුමනාපයට හෝ සුබ නැකැත් බලා මැතිවරණ වලට දින නියම කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම, සියලු මැතිවරණ එකම දිනයක පැවැත්වෙන නිසා මුදල්, කාලය ආදිය වට කිහිපයකින්ම නාස්ති වෙන්නේ නැහැ.

මේ අයුරින් සෑම වසරකම මැතිවරණ දිනයේ ඇමරිකාවේ කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වුනත් ප්‍රධාන මැතිවරණ පැවැත්වෙන්නේ දෙවසරකට වරක් පමණයි. එයිනුත්, ලෝකයේ අවධානය වැඩිපුරම දිනා ගන්නේ වසර හතරකට වරක් පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයයි.

ලංකාවේ පාර්ලිමේන්තුවට අවසන් වරට පත් වූ මන්ත්‍රීවරුන්ගේ ධුරකාලය තවමත් අවසන් වී නැහැ. එසේ වුවත්, ඇතැම් අය කියන්නේ මේ වන විට එසේ තෝරාගත් මන්ත්‍රී කණ්ඩායම ජනතාවගේ අප්‍රසාදයට පත් වී සිටින බවයි.

පෙර කී කතාවේ ඇත්ත නැත්ත අපි පැත්තකින් තියමු. කතාව ඇත්ත වුවත් නැතත් මැතිවරණයක් හරහා තමන්ගේ නියෝජිතයින් තෝරා පත් කර ගැනීමෙන් වසර දෙකක් පමණ යන විට එම නියෝජිතයින්ට තිබෙන මහජන ප්‍රසාදය වෙනස් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ධුර කාලය වසර දෙකකට සීමා කෙරී තිබෙන්නේ මේ නිසා. ඒ අනුව, ජනාධිපතිවරයෙකුගේ වසර හතරක ධුර කාලය ආරම්භයේදී මෙන්ම එම කාලය මැදදීත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වෙනවා.

ඇමරිකානු ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රසයේ කොටස් දෙකක් තිබෙනවා. ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් සභාව වශයෙන්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435ක් හා සෙනෙට් සභාවේ සාමාජිකයින් 100ක් ලෙස කොංග්‍රසයේ මුළු සාමාජික සංඛ්‍යාව 535ක්.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන ගණන එක් එක් ප්‍රාන්තයේ ජනගහණයට සමානුපාතිකව නිර්ණය වුවත් සෙනෙට් සභාව තුළ ලොකු කුඩා භේදයක් නැතිව ප්‍රාන්ත 50ටම නියෝජිතයින් දෙදෙනා බැගින් හිමි වෙනවා. වසර දෙකකට වරක් සෙනෙට් මැතිවරණද පැවැත්වුනත්, වරකදී එසේ මැතිවරණ පැවැත්වෙන්නේ මුළු ප්‍රාන්ත ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් සඳහා පමණක් නිසා සෙනෙට් සභාවට තේරී පත් වන සාමාජිකයෙකුට වසර හයක කාලයක් සිය ධුරය දැරීමේ අවස්ථාව හිමි වෙනවා.

වෙනස් වන මහජන මතය නියෝජනය කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් සිටින නිසා සෙනෙට් සභිකයින්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ මහජන මතයට ඕනෑවට වඩා වැඩි බරක් නොතියා දිගුකාලීනව රටට හොඳ තීරණ ගැනීමයි. මෙවර මැතිවරණ දිනයේදී සෙනෙට් සභිකයින් 100 දෙනාගෙන් 65 දෙනෙකු එසේම සිටියදී 35 දෙනෙකු පමණක් අළුතින් තේරී පත් වෙනවා.

පසුගිය වසර තුනක පමණ කාලය ලංකාවේ ආණ්ඩුව විසින් කළ හෝ නොකළ දේ පිළිබඳව මහජන මතය විශාල සේ ධ්‍රැවීකරණය වූවක්. එහෙත්, සියළු දෙනාම වගේ පොදුවේ පිළිගන්නා දෙයක් වන්නේ පැවති බල තුලනය හේතුවෙන් ලංකාවේ ආණ්ඩුවට (හොඳ හෝ නරක) බොහෝ දේවල් කරන්න නොහැකි වූ බවයි.

කෙසේ වුවත්, ඇමරිකාවේ මෙතෙක් තිබුණේ වෙනස් තත්ත්වයක්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වගේම සෙනෙට් සභාවේත් බලය තිබුණේ ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටයි.

මෙවර මැතිවරණයෙන් ඉහත තත්ත්වය වෙනස් වී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී තිබෙනවා. සෙනෙට් සභාවේ බලය තවමත් තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි.

Tuesday, November 6, 2018

රනිල් එජාප නායකත්වයේ ඉන්නේ කාගේ හයියෙන්ද?


එජාපය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන හැම වෙලාවකම වෙනත් ඇතැම් අය එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. මේ කතිකාව ඇතුළේ ලොකුම තැනක් ලැබෙන්නේ රනිල් දිගින් දිගටම එජාප නායකයා වී සිටිනවාය යන කරුණට.

ඔය කතාව සෑහෙන්න පරණ කතාවක්. කතාවට අමතරව වරින් වර එජාපය ඇතුළේ අභ්‍යන්තර කැරළි ඇති වෙලත් තියෙනවා. නමුත්, ඒ හේතුවෙන් හෝ එජාපය දිගෙන් දිගටම මැතිවරණ පරාජය වීම හේතුවෙන් රනිල්ගේ එජාප නායකත්වය නැති වුනේ නැහැ.

ජනාධිපති සිරිසේනගේ කතාවේදී ඔහුම කියා තිබෙන විදිහට මහින්දව අගමැති කරන්න පෙර එජාප නායකත්වයට කරු ජයසූරිය ගෙනත් රනිල්ව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක ඔහු යෙදී තිබෙනවා. නමුත්, කරු ජයසූරිය කරලා තියෙන්නේ සිරිසේනව රනිල්ට මාට්ටු කරලා දෙන එකයි.

පළවෙනි පාර මේ විදිහට ඇණ ගත්තට පස්සේ සජිත්ව යොදාගෙන නැවත ඒ දෙයම කරන්න ඔහු උත්සාහ කරලා තිබෙනවා. නමුත්, එයත් හරි ගිහින් නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මේ විදිහට උත්සාහ කරන්න ඇත්තේ මොන විදිහෙන් හෝ දෙවන වර ජනාධිපති වීමේ සිහිනය සැබෑවක් කර ගන්නයි. රනිල් ඉන්න තුරු ඒ අවස්ථාව ලබා ගන්න අමාරු බව ඔහුට තේරෙන්න ඇති. අන්තිමට ඔහු මහින්ද පැත්තට තල්ලු වී තිබෙනවා. එයින් ඔහු අපේක්ෂා කළ ප්‍රතිඵලය ලැබෙයිද කියන එක කාලය විසින් තීරණය කරයි.

රනිල්ගේ නායකත්වය ගැන කතාව දැන් ආයෙත් ඇහෙනවා. මේ විදිහට රනිල්ගේ නායකත්වය ප්‍රශ්න කරන බොහෝ දෙනෙක් මෛත්‍රීපාල වගේම එජාප සාමාජිකයින් නොවන වෙනත් අය. එයින් කියන්නේ එජාප සාමාජිකයින් අතර රනිල්ගේ නායකත්වය ප්‍රශ්න කරන අය නැති බව නොවෙයි. නමුත්, ඔවුන් එජාපය ඇතුලෙ සුළුතරයක් පමණයි. රනිල්ට දිගින් දිගටම එජාප නායකත්වයේ ඉන්න ඉඩ ලැබී තිබෙන්නේ රටේ බහුතරය කෙසේ වෙතත් එජාප බහුතරය රනිල් එක්ක ඉන්න නිසයි.

රනිල්ට කැමති හා අකැමැති කොටස් අතර කැපී පෙනෙන සංස්කෘතික බෙදීමක් තිබෙනවා. එය රනිල්ට විරුද්ධ පැත්තේ ඉන්න අය වගේම රනිල්ගේ පැත්තේ ඉන්න අයත් පිළිගන්න කරුණක්. කණ්ඩායම් දෙක මේ වෙනස දකින ආකාරයන් වෙනස් වෙන්නේ බරතැබීම් වලින් පමණයි.

පහත කොටස මා උපුටා ගන්නේ මතවාදීමය ලෙස රනිල්ට එරෙහි කණ්ඩායමේ අයෙක් ලෙස පැහැදිලිව හඳුනාගත හැකි නලින් ද සිල්වාගේ කාලය වෙබ් අඩවියෙන්.

"ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද රටේ ඇත්තේ දේශීයත්වය හා විදේශීයත්වය, දේශීය සංස්කෘතිය හා විදේශීය සංස්කෘතිය, මෙරට ස්වෛරිභාවය හා යටත්විජිතවාදය, ජාතිකත්වය විජාතිකත්වය, දේශීය සම්පත් රැක ගැනීම හා විකිණීම  සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව. අප හැමදාමත් කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයා නො වෙයි. ඔහු මෙරට ජීවත් වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ."

දැන් මෙහි නලින් ද සිල්වා විසින් කළු සුදු ආකාරයේ සංකල්පීය බෙදීමක් කරනවා. දේශීයත්වය, දේශීය සංස්කෘතිය, ස්වෛරිභාවය, දේශීය සම්පත් රැක ගැනීම ආදිය සුදු පැත්ත. විදේශීයත්වය, විදේශීය සංස්කෘතිය, යටත්විජිතවාදය, දේශීය සම්පත් විකිණීම ආදිය කළු පැත්ත.

නලින් ද සිල්වා විදිහටම හිතන තවත් විශාල පිරිසක් රටේ ඉන්නවා. අඩු වැඩි වශයෙන් මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ අයයි.

ඔය ආකාරයේ සංස්කෘතික බෙදීමක් තිබෙන බව පිළිගන්නා නමුත් ඒ බෙදීම වෙනත් ආකාරයකින් අර්ථ දක්වන තවත් පිරිසක් ඉන්නවා.ඒ අය අතරේ ඉන්නේ රනිල්වාදීන් හෝ එජාප පාක්ෂිකයින් පමණක් නෙමෙයි. මේ කණ්ඩායම ජනාධිපති සිරිසේනගේ කතාව විග්‍රහ කර ගන්නා ආකාරය වත්පොතේ හා වෙනත් තැන්වල දකින්න පුළුවන්. එවැනි අය හිතන ආකාරය හරියටම ඔවුන්ගේම වචන වලින් නොවූවත්, නලින් ද සිල්වාගේ වාක්‍යයේ ආකෘතියට, මේ විදිහට ලියන්න පුළුවන්.

"ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද රටේ ඇත්තේ ගෝත්‍රිකත්වය හා සභ්‍යත්වය, දූපත් මානසිකත්වය හා ලෝකයට විවෘත වීම, බහුතරයේ ආධිපත්‍යය පැතිරවීම හා සුළුතරය වෙනුවෙන් පෙනී සිටීම, ඒකාධිපතිත්වය හා නීතියේ පාලනය, මහජන මුදල් වැය කරමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කිරීම හා ඒවා විකුණා දමා නිදහස් වීම සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව."

දෙවන කණ්ඩායම පළමු කණ්ඩායම තරම් විශාල නැති වුනත් සෑහෙන තරම් විශාල හා ක්‍රමයෙන් වර්ධනය වන කණ්ඩායමක්. මේ දෙවන කණ්ඩායම නගර වල සිට ක්‍රමයෙන් ගම් දක්වා පැතිරෙනවා. 2015 දී මේ දෙවන කණ්ඩායමේ මතවාදය ප්‍රමුඛ මතවාදය බවට පත් වුණා.

දෙවන කණ්ඩායම ඇතුළේ ඉන්න සියල්ලන්ම රනිල්ගේ මිනිස්සු හෝ අඩු වශයෙන් එජාප පාක්ෂිකයින් නොවූවත් රනිල් වටා ඉන්න ගොඩක් අය දෙවන කණ්ඩායමේ අය. ලිබරල් මතධාරීන් හිතන ආකාරය දෙවන ආකාරයට වඩා කිට්ටුයි.

එජාපය කියන්නේ ඓතිහාසිකව පුළුල් ජන පදනමක් තිබුණු දේශපාලන පක්ෂයක්. ලිබරල් මතධාරීන්ගේ ජනප්‍රිය තේරීම වුනේ එජාපය වුවත්, ලිබරල් මතවාදය කියන්නේ  රනිල් නායකයා වෙන්න කලින් එජාපය තුළ අඛණ්ඩව පැවති ප්‍රමුඛ මතවාදයක් නෙමෙයි. එජාපය වටා කාලයෙන් කාලයට විවිධ මතවාදී කණ්ඩායම් එකතු වී සිටියා. නිදහසින් පසුව, 1956දී හැර, 1994 දක්වාම පැවති මැතිවරණ වලදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් දේශපාලන පක්ෂය එජාපය වීමට එජාපයේ මේ පුළුල් පදනම උපකාරී වුනා.

කෙසේවුවත්, 1994 සිට තත්ත්වය වෙනස් වුනා. එජාපය ඒ කාලය තුළ වැඩිපුරම හිටියේ විපක්ෂයේ. රනිල් නායකත්වයට පත් වීමෙන් පසුව එජාපයේ ඡන්ද පදනම ටිකෙන් ටික දිය වී ගිය බව රහසක් නෙමෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජාපයේ ඡන්ද ප්‍රතිශතය 29.4% මට්ටම දක්වාම පහළ ගියා. මෙය 1956 එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි වන්නේ 1.5%කින් පමණයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන විට එජාපය එහි මුල් දක්වාම දියවෙලයි තිබුණේ. වෙනත් විදිහකින් කියනවානම් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය කියන්නේ එජාපය වැටෙන්න ඉඩ තිබෙන පහළම තැන හෝ ඊට කිට්ටු තැනක්.

තවදුරටත් එජාපයේ ඉතිරිව සිටින්නේ කවුද?

එජාපය එක්ක තවමත් ඉන්න එක කොටසක් වන්නේ පක්ෂ යාන්ත්‍රනය හා කෙළින්ම සම්බන්ධව සිටින ගම් වල උදවිය. දකුණේ ගම් වල ඉතිරි බොහෝ දෙනෙක් මේ වන විට මහින්දගේ කණ්ඩායමට එකතු වෙලා අවසානයි.

නමුත්, නාගරික ප්‍රදේශ වල තත්ත්වය වෙනස්. ඉහත නලින් ද සිල්වාගේ ප්‍රකාශයේ කළු දේවල් ලෙස පෙන්වන කරුණු වෙනුවෙන්ම (කළු දේවල් සේ නොදකිමින් වුවත්) පෙනී සිටින විශාල පිරිසක් නාගරික ප්‍රදේශ වල ඉන්නවා. මේ වන විට එජාපයේ බහුතරය ඒ අයයි. රනිල්ට දිගින් දිගටම එජාපයේ නායකයා වී ඉන්න හැකි වී තිබෙන්නේ ඉතිරි වී සිටින එජාප පාක්ෂිකයින්ගේ අවශ්‍යතා නියෝජනය කරන හොඳම පුද්ගලයා රනිල් වීමයි.

රනිල් වෙනුවට එජාප නායකත්වය සඳහා යෝජනා වී තිබෙන නම් අතර කරු ජයසූරිය හා සජිත් ගැන සඳහන් වෙන්නේ ඔවුන් නලින් ද සිල්වාගේ බෙදුම් රේඛාවේ සුදු පැත්තට වෙන්න ඉන්න එජාප නායකයින් සේ ඇතැම් අය විසින් සලකන නිසායි. එහෙමනම්, මේ දෙන්නාගෙන් එක් අයෙක් එජාප නායකයා වුනොත් එජාපය නැවතත් දිගින් දිගටම මැතිවරණ දිනන්න පටන් ගනියිද?

පැහැදිලිවම එහෙම වෙන්නේ නැහැ. කලින් කී නිර්ණායකය අනුව මේ දෙන්නා ටිකක් සුදු වුනත් මහින්දට කිට්ටුවෙන්වත් තියන්න බැහැ. මේ දෙන්නා ටිකක් සුදුයි තමයි. හැබැයි මහින්ද කිරි සුදුයි. ඒ නිසා, කරු හෝ සජිත් එජාප නායකයා වුනා කියා මහින්දගේ ඡන්ද එකක්වත් එජාපයට කැඩිලා එන්නේ නැහැ. කරු හෝ සජිත් එජාප නායකයා කර ගැනීම මහින්ද පාක්ෂිකයින්ගේ සිහිනයක් වුවත් මේ වෙලාවේ එජාප පැත්තේ ඉන්න ගොඩක් දෙනෙක්ගේ සිහිනයක් නෙමෙයි.

කොහොම වුවත් එජාප පැත්තේ ඉන්න සැලකිය යුතු පිරිසක් හිතනවා නායකයා වෙනස් කළොත් එජාපය ගොඩ යයි කියා. මෙහිදී කියැවෙන වෙනත් නම් අතර කරු හා සජිත්ට අමතරව මංගල හා රාජිත වගේ අයත් ඉන්නවා. නමුත්, ඒ අනෙක් අය මහින්ද පාක්ෂිකයින්ගේ හා මහින්දව පරමාදර්ශය සේ සලකන අයගේ නිර්ණායක අනුව රනිල්ටත් වඩා කළු චරිත.

මහින්ද කියන්නේ මේ වෙලාවේ වගේම දැන් කාලෙක ඉඳලම ලංකාවේ වැඩිම දෙනෙක්ගේ ආකර්ශනය දිනාගෙන ඉන්න ජාතික නායකයා. මහින්ද වටා ආකර්ශනය වන අයගේ පරමාදර්ශය මහින්ද. එජාපයේ අනෙක් නායකයින්ට සාපේක්ෂව කරු හෝ සජිත් වඩා හොඳයි කියා හිතන ගොඩක් අය එසේ හිතන්නේ මහින්ද පරමාදර්ශය සමඟ සංසන්දනය කරමිනුයි. ඒ නිසා, කරුට හෝ සජිත්ට කවදාවත් මහින්දගේ ඡන්ද එජාපයට ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් නැහැ.

මහින්දගේ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එජාපයට ආකර්ශනය නොවන තාක් කල් එජාපය ඇතුළේ ලිබරල් මතවාදයට තිබෙන ඉල්ලුම යටපත් කළ හැකි වෙනත් මතවාදයක් ඉස්මතු වෙන්නේ නැහැ. එජාපයේ ප්‍රමුඛ මතවාදය ලිබරල් මතවාදයව පවතින තාක් කල් එජාපයේ නායකයා වෙන්නේ ඒ මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටිය හැකි අයෙක්. මහින්දට රටේ තිබෙන ආකර්ශනය නැති වන තුරු රනිල්ගේ නායකත්වයට ලොකු තර්ජනයක් නැහැ.

(Image: http://www.lankatruth.com/home-2/index.php?option=com_content&view=article&id=10473:four-tyres-to-mahinda-from-ranil&catid=42:smartphones&Itemid=74)

Sunday, November 4, 2018

නොවැම්බර් 14 කාගේ නැකතද?


පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය පිළිබඳව වූ අවිනිශ්චිතතාවය මේ වන විට අවසන් වී තිබෙනවා. අද නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අනුව 14 වෙනිදා පාර්ලිමේන්තුව නැවත රැස් වෙනවා.

පාර්ලිමේන්තුව කල් තබා තිබුණේ නොවැම්බර් 16 දින දක්වා. මේ අනුව, දැන් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ඊට දින දෙකකට පෙරයි. මීට පෙර පාර්ලිමේන්තුව නොවැම්බර් 5 දින රැස් වන බව මහින්ද රාජපක්ෂ විසින් කියා තිබුණා. ඉන් පසුව ඒ දිනය නොවැම්බර් 5 නොව නොවැම්බර් 7 බව කියවුණා. ඇතැම් වාර්තා වලට අනුව නොවැම්බර් 5 මහින්දගේ ශුභ දිනය. නොවැම්බර් 7 මෛත්‍රීපාල සිරිසේනගේ සුබ දිනය.

සමහර විට නොවැම්බර් 14 මහින්ද මෛත්‍රී දෙන්නාටම සුබ දිනයක් වෙන්න පුළුවන්. නමුත්, මේ ගැන මම ඒ තරම් සරල ලෙස හිතන්නේ නැහැ. මේ දිනය නොවැම්බර් 14 වීමෙන් කරුණු කිහිපයක්ම පිළිබිඹු වෙනවා.

මුලින් සැලසුම් කර තිබුණු සේ නොවැම්බර් 16 දින දක්වා නොසිට නොවැම්බර් 14 පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීමෙන් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව රැස් කරන මෙන් රට ඇතුළේ හා රටින් පිටත විවිධ කණ්ඩායම් විසින් කළ ඉල්ලීමේ පීඩනය ඔහුට දැනී තිබෙන බව පෙනෙනවා.

මේ කණ්ඩායම් අතරින් එජාප කණ්ඩායමට හෝ රට ඇතුළේ සිට පාර්ලිමේන්තුව වහාම නැවත රැස් කරන මෙන් ඉල්ලා සිටි වෙනත් කණ්ඩායම් වලට දවස් දෙකක් කලින් පාර්ලිමේන්තුව රැස් කළා කියා ලැබෙන වාසියක් නැහැ. පාර්ලිමේන්තුව කල් තැබීම නිසා ඔවුන්ට සිදු වන හානිය ඒ වන විට මුළුමනින්ම වාගේ සිදු වී අවසන්.

කොහොමටත් මහින්ද-මෛත්‍රී කණ්ඩායම රට ඇතුළෙන් ආ විරෝධය යාන්තමින් හෝ ගණන් ගත්තා කියන්න බැහැ. එවැනි විරෝධයක් එන බව ඔවුන් නොදැන සිටියා නෙමෙයි. එය තමන්ට පාලනය කර ගත හැකි මට්ටමක පවතිනු ඇති බව ඔවුන් කළින්ම ගණන් හදා බලා තිබුණා.

ඒ වගේම, රනිල් කණ්ඩායමේ විරෝධයට තවතවත් අවි එකතු කරමින් ගින්නට පැට්‍රෝල් නොදමා සිටින්න මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් මෙතෙක් වග බලාගෙන තිබෙනවා. රනිල්ට තවමත් අරලියගහ මන්දිරයේ ඉන්න හැකි වී තිබෙන්නේත්, එජාප හා මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට එරෙහි විරෝධතා බාධාවකින් තොරව පැවැත්වෙන්නේත් ඒ නිසයි. පාර්ලිමේන්තුව රැස් වන තුරු අරලියගහ මන්දිරය හැර යාම රනිල් වික්‍රමසිංහට කළ නොහැක්කක් වන බව වගේම ඔහු එසේ සිටීම තමන්ගේ කණ්ඩායමට ප්‍රශ්නයක් නොවන බව මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් නිවැරදිව ගණන් බලා තිබෙනවා.

පෙර සැලසුමේ දිනයට වඩා දින දෙකකට කලින් පාර්ලිමේන්තුව රැස් කරන්න මහින්ද-මෛත්‍රී පාර්ශ්වය තීරණය කර තිබෙන්නේ ජාත්‍යන්තර පීඩනයට දක්වන ප්‍රතිචාරයක් ලෙසයි. වහාම පාර්ලිමේන්තුව රැස් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටවල් ගණනාවක් විසින් ජනාධිපතිවරයා වෙත බලපෑම් කළා. ඒ සියලු ඉල්ලීම් නොතකා නොවැම්බර් 16 දින දක්වාම පාර්ලිමේන්තුව රැස් නොකර හිටියානම් එය සැලකෙන්නේ ජාත්‍යන්තර ඉල්ලීම් සත පහකට මායිම් නොකිරීමක් ලෙසයි. දවස් දෙකක් කලින් පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම හරහා "හරි, ඕගොල්ලෝ කියපු දේ අපි ඇහුවා!" කියා පණිවුඩයක් මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් ජාත්‍යන්තරයට යවනවා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් පාර්ලිමේන්තුව කැඳවන්න තීරණය කර තිබීමෙන් ඔවුන් බහුතරය හදාගෙන තිබෙන බවක් පෙනෙනවා. ඒ වෙනුවෙන්, ඔවුන්ට මේ වන විට විශාල මිලක් ගෙවන්න සිදු වී තිබීම කැපී පෙනෙන කරුණක්. එය මුල් ඇස්තමේන්තුවට වඩා අඩුද වැඩිද කියා මා හරියටම දන්නේ නැහැ. මගේ අදහස එය හිතුවාට වඩා තරමක් වැඩි විය හැකි බවයි.

මෙහිදී, මිල යන්නෙන් මා අදහස් කරන්නේ මන්ත්‍රීවරයෙකු තමන්ගේ පැත්තට ගැනීමේ ආවස්ථික පිරිවැයයි. එයට ඇතුළත් වන්නේ  රංගෙ බණ්ඩාරට පිරිනමා ඇති ආකාරයේ මුදල් අල්ලස් පමණක් නෙමෙයි. දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානයේ මන්ත්‍රීවරයෙක් මහින්ද පාර්ශ්වයට එකතු කර ගැනීමේදී මුදල් අල්ලස් නොදුන්නත් ඔවුන්ට එහි විශාල ආවස්ථික පිරිවැයක් තිබෙනවා. එවැන්නෙක් ගන්න යොමු වෙන්නේ ඊට වඩා වියදම් අඩු විකල්ප නැති නිසායි.

කොහොම වුනත්, මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට මේ වෙලාවේ මොන ආකාරයෙන් හෝ බහුතරය හදාගන්න වෙනවා. එහිදී, පසුකාලීන ප්‍රතිඵල ගැන හිත හිතා හිටීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. හරියටම රනිල්ට අරලියගහ මන්දිරය හැර යාමේ හැකියාවක් නැහැ වගේ.

මේ වන විට මහින්ද-මෛත්‍රී පාර්ශ්වය සමඟ මන්ත්‍රීවරු 105ක් පමණ සිටින බව පෙනෙනවා. එජාප පැත්තේ දැනට සිටින, තමන්ගේ පැත්තේ බව කිසිම සැකයක් නැති, කිහිප දෙනෙකුත් සිටිනවා විය හැකියි. එවැනි අය අවසන් මොහොත තෙක්ම එළිදරවු නොවෙන්න පුළුවන්. මම හිතන්නේ මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට තිබෙන ලොකුම ප්‍රශ්නය ඇතැම් එජනිස මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතීත්වය පිළිබඳව ඔවුන්ට සැක තිබීමයි. එස්බී-රංගෙ බණ්ඩාර සංවාදයෙන් පෙනෙන්නත් එයයි.

පවතින අවිනිශ්චිතතාවය හමුවේ හරියටම 113 තිබුණා වුවත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වය පාර්ලිම්න්තුව නොවැම්බර් 16 දිනට පෙර නැවත රැස් කරන්න ඉඩක් නැහැ. ඔවුන් බොහෝ විට උත්සාහ කරන්න ඉඩ තිබෙන්නේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බිලී බාගෙන අවිනිශ්චිතතාවය අඩු කර ගන්නයි. නොවැම්බර් 14 වැනි ඈත දිනයක් ගැසට් කිරීමෙන් පෙනෙන්නේ පවතින පීඩනයට මුහුණ දීම සඳහා දිනයක් ගැසට් කළත්, මහින්ද-මෛත්‍රී කණ්ඩායමට ඔවුන් අපේක්ෂා කරන තරමේ මන්ත්‍රීවරුන් ගණනක් එකතු කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි.

එහෙමනං, නොවැම්බර් 5 පාර්ලිමේන්තුව රැස් කරන බව මහින්ද කිවුවේ ඇයි? ඒ වන විට බහුතරය තිබිලා පස්සේ අවුලක් වුනාද? පස්සේ නොවැම්බර් 7 කියා ප්‍රචාරයක් ගියේ ඇයි? මෙතැන තියෙන්නේ නැකැත් පිළිබඳ ප්‍රශ්නයක්ද?

මගේ අදහසනම් මේ දේවල් වුනේ සැලසුම්සහගතව බවයි. මෙතැනදී වුනේ බටහිර රටවල් රැවැට්ටීමක්. මහින්දලා එකම උපක්‍රමය යොදා ගනිමින් දෙවන වතාවටත් බටහිර රටවල් රැවැට්ටුවා.

මේ වෙලාවේ බටහිර රටවල් වලින් ජනාධිපති සිරිසේනට විශාල පීඩනයක් ආ බව රහසක් නෙමෙයිනේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් ජනාධිපති සිරිසේනට දුන් දුරකථන ඇමතුම ගැන දෙපැත්තේ ප්‍රවෘත්ති නිවේදන වල එකම දේ නොකියැවුනත් ඇන්තෝනියෝ ගුතෙරස්ගේ ඉංග්‍රීසි ජනාධිපති සිරිසේනට නොතේරුණා කියා මම හිතන්නේ නැහැ.

ඔය වගේම, නැත්නම් ඔයිටත් වඩා විශාල පීඩනයක් ලංකාවේ රාජ්‍ය නායකයින්ට ජාත්‍යන්තරයෙන් ආපු කාලයක් තිබුණනේ. අර ජනාධිපති සිරිසේන යුද්ධය අවසන් කරපු අන්තිම සති දෙකේදී.

ඒ වෙලාවේ ලංකාව කළේත් බටහිර රටවල් නොමඟ යවන එකනේ. ඔවුන් උපක්‍රමයට අහුවුනා. වැඩේ තේරෙන කොට යුද්දේ ඉවර වෙලා.

මේ වෙලාවේ කළෙත් ඒකම තමයි. පාර්ලිමේන්තුව නොවැම්බර් 5 රැස් කරනවා කියලා මහින්ද කියපු ගමන් බටහිර මාධ්‍ය වල තිබුණු ගැම්ම නැති වෙලා ගියා. ඇදගෙන යන්න පුළුවන්කම තිබුණු ප්‍රශ්නේ ඕකනේ. ඒ අස්සේ, මෙහෙ ඩීල් ටික සෙට්ල්.

සමහර අය හිතනවා පාර්ලිමේන්තුව කල් තැබීම හදිසියේ ගත් තීරණයක් කියා. ඒ කතාවට අනුව, මහින්දලා හිතුවේ මහින්දව අගමැති සේ පත් කළ වහාම කලින් චන්ද්‍රිකා විසින් රනිල්ව අයින් කරපු වෙලාවේ වගේ රනිල් අකුලගෙන යයි කියලා. රනිල් ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කළාම මහින්ද-මෛත්‍රී පාර්ශ්වය අවුල් වුනා.

ඔය කතාවත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින්ම පතුරුවපු කතාවක්. මෙදා සැරේ රනිල් අගමැතිකම දාලා ගෙදර නොයන බව මහින්දලා පැහැදිලිව දැනගෙන හිටියා. මේ වෙලාවේ තියෙන්නේ කලින් තිබුණු ව්‍යවස්ථාව නොවන බව රනිල්ලා වගේම මහින්දලාගේ ටීම් එකේ අයත් දන්නවා. ඒ බව රනිල්ලා දන්නා බවත් දන්නවා. රනිල් පාර්ලිමේන්තුවාදියෙක් බවත් දන්නවා. අගමැති ඉවත් කිරීමෙන් පසුව පළමු කටයුත්ත විදිහට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය සියල්ලේ පාලනය අතට ගත්තේත්, තමන්ට අවශ්‍ය ඇත්ත හා බොරු සියල්ල කිසිදු පැකිලීමක් නැතුව වේගයෙන් සමාජගත කළේත් ඒ නිසයි. රනිල්ලා වැටුණු ප්‍රධානම පෙරමුණ මෙතැන.

පාර්ලිමේන්තුව නොවැම්බර් 5 රැස් කරන බව කිවුවම බටහිර රටවල් වගේම රනිල්ලාගේ සමීපතම කණ්ඩායමත් රැවටුනා. බටහිර රටවල් වල මිනිස්සු හිතන පතන ක්‍රියා කරන ක්‍රමයක් තියෙනවා. ඔවුන් හදිසි තීරණ ගන්නේ නැහැ. කරුණු කාරණා හොයා බලලා, සැලසුමක් ඇතුවයි වැඩට බහින්නේ. රනිල් සහ රනිල් වටේ ඉන්න අය හිතන්නේ හා වැඩ කරන්නෙත් ඔය විදිහටම තමයි.

කලින් පාර අගමැතිකම දාලා ගෙදර යන්න වූ බව රනිල් අමතක කරපු දෙයක් නෙමෙයි. එකම දේ නැවත සිදු වෙන්න ඉඩ තියන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ. දහනමවෙනි සංශෝධනය ගෙනාවේ ඒකයි.

දහනමවෙනි සංශෝධනය හරහා තමන්ගේ අගමැතිකම සුරක්ෂිතව පවතින බවට ලොකු විශ්වාසයක් රනිල්ට තිබුණා. ඔහු තමන්ගේ රාජ්‍ය පාලන වැඩ පිළිවෙළ සැලසුම් කළේ කාලය ඉවර වෙද්දී පීක් එකට එන්නයි. ඒ අතර කාලයේ මිනිස්සු දැනුවත් කිරීම වැදගත් දෙයක් ලෙස ඔහු සැලකුවේ නැහැ.

නිදහසින් පසු ලංකාවේ කවදාවත් දැන් සිදු වී තිබෙන ආකාරයේ බල හුවමාරුවක් සිදු වී නැහැ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පිටින් යන්න ඉඩක් තිබෙන බව රනිල් හෝ ඔහු වටා සිටි කිසිවෙක් කලින් හිතුවා කියා මම හිතන්නේ නැහැ.

මහින්දව අගමැති සේ පත් කිරීම සමාජජාලා වල කියනවා වගේම රනිල්ට සර්ප්‍රයිස් එකක්. එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියන එක ගැන රනිල්ට පෙර සැලසුමක් තිබුණේ නැහැ.

ප්‍රතිවාදියා සම්ප්‍රදායයෙන් පිට පැන්නහම සැලසුම්සහගතව වැඩ කරන අය ලොකු අමාරුවක වැටෙනවා. කුන්ග්-ෆූ සටනකදී එක පාරට පොල් අඩියක් වැදුණොත් ක්‍රීඩකයෙක් හොල්මන් වෙනවා. සනත් ජයසූරියගේ සාර්ථකත්වයේ රහස තිබුණෙත් එතැනයි.

සැලසුම් සහගතව වැඩ කරන අය බොහෝවිට දිගුකාලීනව සාර්ථක වෙනවා තමයි. නමුත්, සැලසුම් සහගතව වැඩ කරන අයෙක් ක්‍රියා කරනු ඇත්තේ කොහොමද කියන එක පුරෝකථනය කිරීම එතරම් අපහසු නැහැ. මහින්ද-මෛත්‍රී පාර්ශ්වය මෙහි වාසිය ගත්තා. මහින්ද-මෛත්‍රී පාර්ශ්වය කළ දේ රනිල් පාර්ශ්වයට සර්ප්‍රයිස් එකක් වුනත් රනිල්ලා කළ දේවල් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට සර්ප්‍රයිස් වුනේ නැහැ. ඔවුන් හිටියේ සූදානම්වයි.

අර්බුදය එක්ක වේගයෙන් ඉදිරියට එන හෙළ උරුමයේ චම්පික හා පරණවිතාන වගේ අය රනිල්ලාගේ රාමුව ඇතුළේ පමණක් සිතිය හැකි අය නෙමෙයි. මහින්ද-මෛත්‍රී පාර්ශ්වය ක්‍රියා කරන ආකාරය ගැනත්, ප්‍රතිවාදියාව තක්සේරු කරන ආකාරය ගැනත් ඔවුන්ට රනිල්ගේ සමීපතම කණ්ඩායමට වඩා හොඳ ඇස්තමේන්තුවක් තියෙනවා.

රනිල් තමන්ගේ අගමැතිකමේ නීත්‍යානුකූලභාවය ගැන බටහිරට ආඩපාලි කිය කියා ඉන්දැද්දී මහින්දලා ඉන්ධන මිල අඩු කිරීම ආදිය හරහා තමන් රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින බව රටට පෙන්නන්න පටන් ගත්තා. නියම ආණ්ඩුව තමන්නම් හොර ආණ්ඩුවක් තමන්ට ඕනෑ දේවල් කරනකම් බලාගෙන ඉන්නේ මොන කෙහෙම්මලකටද කියා රටේ බහුතර මිනිස්සු හිතන බව රනිල් තේරුම් නොගත්තත් චම්පික තේරුම් ගත්තා. ඔහු තමන්ගේ අමාත්‍යංශයට ගිහිං මොහොතකට හෝ ඇමති පුටුවේ වාඩි වීමේ තියෙන්නේ විශාල සංකේතාත්මක වටිනාකමක්.

පාර්ලිමේන්තුව රැස් කරන සේ ඉල්ලමින් රටවටා පැවැත්වෙමින් තිබෙන රැස්වීම් වල හෙළ උරුමයේ ඉතිරි වෙලා ඉන්න මන්ත්‍රීවරු දෙන්නාගේ කාර්ය භාරය කැපී පෙනෙනවා. මේ හරහා ඔවුන් එජාප සාමාජිකයින් අතර වගේම, පාවෙන ඡන්දදායකයින් අතරත් පදනමක් හදාගැනීමේ කාර්යයට අත ගැහුවා. පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් මහින්ද-මෛත්‍රී පාර්ශ්වය චම්පිකලාගේ ප්‍රධාන සටන් පාඨය අවලංගු කර දමන්න උත්සාහ කර තිබෙනවා. නමුත්, මේ දිනය බොහෝ ඈත දිනයක් නිසා ඔවුන් ඔවුන්ගේ විරෝධතා නවත්වා දමයි කියා හිතන්න අමාරුයි.

චම්පිකලා වගේම ජවිපෙත් මේ සිද්ධිය හරහා පාවෙන ඡන්දදායකින් ආකර්ෂණය කරගනිමින් සිටිනවා. මෙය 2015ටත් පෙර සිට ජවිපෙ විසින් බලාගෙන සිටි මොහොතක්. මේ වෙලාවේ ඔවුන්ට කරන්න තියෙන්නේ මොකවත්ම නොකර පැත්තකට වී බලාගෙන සිටීම පමණයි. මෙතක් කල් ලංකාවේ ආණ්ඩු මාරු වුනේ බලයේ හිටපු පක්ෂයේ ජනප්‍රිත්වය පිරිහීම නිසා මිසක් විපක්ෂය ලොකු දේවල් කළ නිසා නෙමෙයි. එජාප මන්ත්‍රීවරු ලොකු ගණන් වලට විකිණෙන විට මිනිස්සුන්ට එපා වෙන්නේ මුදල් ගෙවා ඒ අයව මිල දී ගන්නා අය පමණක්ම නෙමෙයි.

යුද්ධය වෙලාවේ බටහිර රටවල් රැවැට්ටීම සිංහලයින්ට ප්‍රශ්නයක් වුනේ නැහැ. නමුත්, මේ වෙලාවේ බෙදුම් රේඛාව වැටී තිබෙන්නේ උගත් නූගත් කණ්ඩායම් මැදින් මිසක් සිංහල දෙමළ කණ්ඩායම් මැදින් නෙමෙයි. මෙහිදී මම නූගත් කියන වචනය යොදාගන්නේ අපහාසාත්මක අර්ථයකින් නෙමෙයි. දළ වශයෙන් කිවුවොත් පොතේ හැටියට හිතන වැනි අර්ථයකින්.

ජනාධිපතිවරයා විසින් රනිල්ව ඉවත් කර මහින්දව පත් කිරීම ව්‍යවස්ථානුකූලද කියන එක ලංකාවේ ගම් වල ගොඩක් අයට ප්‍රශ්නයක් නෙමෙයි. මහින්දගේ පැත්තේ අය මොන විදිහට හෝ මහින්ද බලයට පැමිණීම ගැන සතුටු වෙනවා. රනිල්ගේ පැත්තේ අය කණගාටු වෙනවා. සමහර අයට මළ පැනලා. හැබැයි මේ දෙගොල්ලන්ටම ව්‍යවස්ථාව හෝ දහනවවන සංශෝධනය වැදගත් දෙයක් නෙමෙයි. ඔය දෙන්නගෙන් කවුරු අගමැති වුනත් මේ කණ්ඩායමේ මිනිස්සු එය පසුව පිළිගනියි. මහින්ද-මෛත්‍රී කණ්ඩායම එය දන්නවා. චම්පිකලා වගේ අයත් දන්නවා. රනිල් ඒ ගැන ඒ විදිහටම හිතනවද කියා මම දන්නේ නැහැ.

උගත් අයට මෙය ඒ තරම් සරල ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන් බොහෝ දෙනෙක් මෙය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව දන්නවා. ඒ අය අතර මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට විශාල පක්ෂපාතිත්වයක් තිබෙන අය සහ ඒ කණ්ඩායමෙන් වාසි ලබන අයත් ඉන්නවා. ව්‍යවස්ථාවේ පරස්පර හොයමින් මහින්දව පත් කිරීම සුජාත කරන්න හදන අයගෙන් වැඩි දෙනෙක් මේ කණ්ඩායමේ අය. ඒ වගේම, එජාපය පැත්තේ ඉන්න, මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ වැදගත්කම ගැන කතා කරන සියලුම දෙනා එසේ කරන්නේ අවංකවමයි කියා කියන්න බැහැ. ඔවුන් ව්‍යවස්ථාව වෙත යන්නේත් තමන්ට එයින් ලැබෙන වාසිය ගැන සලකමිනුයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු ටෝක් දෙන කෙනෙක් තමන්ගේ මිල ලැබුනහම අනිත් පැත්තේ ඉන්නවා දකින්න ලැබුනොත් කවුරුත් පුදුම වෙන්න අවශ්‍ය නැහැ.

කොහොම වුනත්, අවංකවම මේ වෙලාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සෑහෙන පිරිසකුත් ඉන්නවා. රටේ අනාගතය ගැන කම්පා වෙන අය ඉන්නවා. ඒ ගොඩක් අය වර්ග කරන්න පුළුවන් වෙන්නේ පාවෙන ඡන්දදායකයින් විදිහටයි. ලංකාවේ මෑතකදී පැවැත්වුණු මැතිවරණ සියල්ලේදීම වගේ අවසන් ප්‍රතිඵලය තීරණය කළේ මේ පිරිසයි.

කෙළින්ම නොකිවුවත්, බටහිර රටවල් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව රැස් කරන්න කියා කියන කොට එසේ කිරීම රනිල්ට වාසිදායක බව නොසලකා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණක්ම හිතුවා කියා මම හිතන්නේ නැහැ. දවස් දෙකකට පෙර පාර්ලිමේන්තුව රැස් කිරීම මඟින් ඔවුන්ගේ ඉල්ලීම ගැන සැලකිල්ලක් දැක්වූ බව මහින්ද-මෛත්‍රී පාර්ශවයට කියන්න පුළුවන් වුනත්, තමන් රැවටුණු බව බටහිර රටවල් තේරුම් ගැනීම වලක්වන්න බැහැ. මේ ඔවුන් මේ ආකාරයට රැවැටුණු දෙවන අවස්ථාව. ඔවුන් මෙය අමතක කර දමන එකක් නැහැ.

පසුගිය අවුරුදු තුනේ රනිල් බැනුම් අහමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න සෑහෙන දේවල් කළත් අලුත් ආණ්ඩුවකට පිස්සු කෙළින්න පුළුවන් තරම් ස්ථාවර ආර්ථිකයක් රනිල්ලා හදලා නැහැ. ආර්ථික ස්ථාවරත්වයක් නැත්නම් දේශපාලන ස්ථාවරත්වයක් පවත්වා ගැනීම ලේසි නැහැ. නොවැම්බර් 14 හා ඊට පෙර දවස් දහය ඇතුළත මොනවා වුනත් ඉදිරි අවුරුදු දෙක ලංකාවට ඒ තරම් හොඳ කාලයක් නොවෙන්න පුළුවන්.

(Image: https://www.newsfirst.lk/2016/11/20/mps-monthly-wage-allowances-become-focus-attention/)

ඔක්තෝබර් විප්ලවය


පහුගිය සියවසේ මුල වෙද්දීත් ලෝකයේ ගොඩක් රටවල තිබුණේ රාජාණ්ඩු. එහෙමත් නැත්නම් ඒ රාජාණ්ඩු වල යටත් විජිත. ඒ කාලය දක්වාම බොහෝ විට රාජ්‍ය පාලනයේ වෙනසක් කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වුනේ රජු මිය යාමෙන් පසුව හිටපු රජුගේ අනුප්‍රාප්තිකයෙකු රජු බවට පත් වීම.

සමහර අවස්ථා වලදී ඉහත කී සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදිහට බල හුවමාරු සිදු වුණා. ඒ කිසියම් කුමන්ත්‍රණයකින් රජු මරා දමා හෝ ඉවත් කර වෙනත් අයෙකු විසින් රාජ්‍ය බලය පැහැර ගත් අවස්ථා වලදී. සමහර වෙලාවට එක රටක රජෙක් වෙනත් රටවල් යටත් කරගෙන තමන්ගේ රටට ඈඳා ගත්තා. මේ ආකාරයට වෙනස් විදිහට බල හුවමාරු සිදු වෙද්දීත් රාජ්‍ය ආකෘතියේ වෙනසක් වුනේ නැහැ.

කොහොම වුනත් ඔය කාලය වෙද්දී ලෝකයේ ඇතැම් රටවල වෙනත් රාජ්‍ය ආකෘතීනුත් ක්‍රියාත්මක වෙමින් තිබුණා. උදාහරණයක් විදිහට ඔය කාලය වෙද්දී ඇමරිකාවේ රාජ්‍ය නායකයාව තෝරාගත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව මහජන ඡන්දයෙන්. එය තවමත් එසේමයි. රාජාණ්ඩු වලට විකල්පයක් විදිහට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් තිබුණා.

අවුරුදු එකසිය එකකට කලින් ඔය කලින් කී රාජ්‍ය ආකෘතීන් දෙකට තවත් එකක් එකතු වුනා. එය සිදු වුනේ 1917 නොවැම්බර් 7 වෙනිදා රුසියාවේ රාජ්‍ය බලය බෝල්ෂෙවික් පාක්ෂිකයින් විසින් අල්ලා ගැනීමෙන් පසුව මාක්ස්වාදය මත පදනම් වූ රාජ්‍යයක් බිහි කිරීමත් සමඟයි.  ඒ වන විට රුසියාවේ කාලයක් තිස්සේ පැවති රාජාණ්ඩුව වෙනුවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කිරීම සඳහා කටයුතු සිදු වෙමිනුයි තිබුණේ.

නොවැම්බර් 7 කියා කිවුවත්, ඒ වන විටත් රුසියාව ජුලියන් කැලැන්ඩරය අත හැර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට මාරු වී තිබුණේ නැහැ. ජුලියන් කැලැන්ඩරයට අනුව මේ දිනය ඔක්තෝබර් 25. ඔක්තෝබර් විප්ලවය යන නමට හේතුවත් එයයි. පසුගිය අවුරුද්දේදී ලංකාවේත් ඇතැම් අය ඔක්තෝබර් විප්ලවයේ සියවස සැමරුවා. තව දවස් තුනකින් ඔක්තෝබර් විප්ලවයේ එකසිය එක්වන සංවත්සරය.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ලංකාවේ දේශපාලන අර්බුදයකට මුල පුරමින් සාමාන්‍ය සම්ප්‍රදායයෙන් බැහැරව අගමැතිවරයෙකු පත් කරනු ලැබුවා. ඒ හේතුව නිසා, මේ වන විට ලංකාවේ අගමැති ධුරයට අයිතිය කියන පුද්ගලයින් දෙදෙනෙකු සිටිනවා. සිදු වුනු අවුල තවමත් දිග්ගැසෙමින් පවතිනවා.

මේ හා අදාළ ව්‍යවස්ථාමය තත්ත්වය පිළිබඳව අර්බුදය ඇරඹුණු දින වලම මා පැහැදිලි කර තිබෙනවා. මේ වන විට තවත් පැහැදිලි කිරීම් ගණනාවක් තිබෙනවා.

අද වන විට මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න ගැන අදාළ පාර්ශ්ව සියල්ලම තම තමන්ගේ මතයන්ට එළැඹ අවසන් නිසා ඒ ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැහැ. මේ වන විට දේශපාලන අර්බුදය අවසන් වෙන්නේ කොහොමද කියන එක තීරණය වී අවසානයි. පාර්ලිමේන්තුව නැවත රැස්වූ පසු වෙන්නේ කුමක්ද කියන එක මේ අවසානයේ වැදගත්ම කරුණ නෙමෙයි.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ නොවැම්බර් 7, නොවැම්බර් 16 හෝ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නැවත රැස් කෙරෙනු ඇතැයි සිතිය හැකි වෙනත් දවසක් මේ සිදු වන ක්‍රියාවලියේ අවසානය බවයි. මහින්ද රාජපක්ෂව පත් කළ අවස්ථාවේදීම මට පෙනී විදිහටනම් මේ සතියේ හෝ ලබන සතියේ දකින්න ලැබෙනු ඇත්තේ අයිස් කන්දක ශිඛරය පමණයි. කතාවේ නියම පීක් එක එන්න තව අවුරුදු දෙකක් පමණ බලා ඉන්න වෙයි. සමහර සැලසුම් තියෙන්නේ වඩා ලොකු සැලසුම් ඇතුළේ.

Friday, November 2, 2018

හේමන්තය මැද...


මේ දවස්වල මේ පැත්තේ පරිසරය හරිම ලස්සනයි කියා මා කිවුවනේ. රතු, කහ, තැඹිලි පාට වුණු ගස් නිසා පුදුම ලස්සනක් තියෙන්නේ. හැබැයි ඔය ලස්සන තව වැඩි දවසක් තියෙන එකක් නැහැ. සතියක් විතර යන කොට ඔය ගස් වල කොළ හැලිලා කෝටු විතරයි ඉතිරි වෙන්නේ.

ලංකාව වගේ සමකය කිට්ටු රටවල් වල නම් කවදා බැලුවත් එක වගේනේ. වෙනසක් කියලා දෙයක් පේන්නෙම නැහැ. නමුත්, සමකයෙන් ඈත රටවල් වල ජීවත් වෙද්දී තමන් ජීවත් වන වටාපිටාව වෙනස් වෙනවා කියන එක ඇඟට දැනෙනවා.

පහේ හයේ පන්ති වලදී මුලින්ම නිවර්තන සදාහරිත වනාන්තර ගැන ඉගෙන ගනිද්දී තිබිච්ච ලොකුම ප්‍රශ්නය වුණේ වනාන්තරනම් සදාහරිත නොවෙන්නේ කොහොමද කියන එකයි. සමකය කිට්ටු රටකින් එළියට නොගිය කෙනෙක්ට එහෙම හිතෙන එකේ පුදුමයක් නැහැ.

ඒ දවස් වල ක්‍රෝටන් වගේ කොළ පාට නැති කොළ තිබෙන ගස් ගෙවල් වල වවා තිබෙනවා දැක තිබුණත් ලංකාවේ කැලෑවල් වලනම් තිබුණේම කොළ පාට කොළ තියෙන ගස් විතරයි. කොළනම් ඉතිං කොළපාට වෙන්න එපායැ. කොට්ටම්බා වගේ ගස් වල කොළනම් හැලෙන්න කිට්ටුව තැඹිලි පාට වෙනවා. ඒත් මුළු ගහම එක පාර පාට වෙන්නේ නැහැ.

උත්තරාර්ධ ගෝලයේ රටවලට හේමන්තය පටන් අරන් දැන් සති පහක් පමණ ගිහින්. ඉංග්‍රීසි භාෂාවෙන් අනෙක් සෘතු වලට කියන්නේ එකම නම වුවත් හේමන්ත සෘතුවට Fall හා Autumn කියන නම් දෙකම භාවිතා වෙනවා. උතුරු ඇමරිකාවේ වචනය Fall. එංගලන්තයේ Autumn. ඇමරිකාව හා එංගලන්තය අතර හේමන්ත සෘතුවට කියන නමට අමතරව තවත් ගොඩක් වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් වලට සංවේදී වෙන්න රටවල් දෙකම ගැන සැලකිය යුතු අවබෝධයක් තියෙන්න ඕනෑ.

ඇමරිකානු වචනය වන Fall කියන එකේ තියෙන්නේ වැටෙනවා කියන අරුත. ඔය සෘතුවේදී ගස් වල කොළ ලස්සනට පාට වෙන්නේ ඉක්මණින්ම වැටිලා යනවා කියන එක සංඥා කරන්නනේ. කොළ පාට කොළ හේමන්තයේදී කහ, තැඹිලි, රතු වෙනවා කියන්නේ ඔය කොළ වලින් පරාවර්තනය කරන ආලෝකයේ සංඛ්‍යාතය අඩු වෙලා තරංග ආයාමය වැඩි වෙනවා කියන එකයි. මිනිස්සු පරිණාමය වෙලා තිබෙන්නේ මේ වෙනසට විශාල සේ සංවේදී වන ආකාරයටයි. ඒ නිසා, කොළ, කහ, රතු පාට සෑහෙන්න වෙනස් පාට වගේ අපට පේනවා.

මේ විදිහට පාට වෙලා කොළ හැලිලා ගියාට පස්සේ ඔය ගස් වල ආයේ දළු දාන්නේ වසන්තයේදී. එතකම් ඉතිං පල නැති රුක් තමයි. ඇමරිකාවට මේ දවස් වල හේමන්තය වුනත් ඇමරිකාවට අනිත් පැත්තේ තියෙන රටවල් වලටනම් වසන්තය. ඒ පැත්තේ දැන් ගස් වල දළු දාගෙන එනවා ඇති.

ඊයේ වැස්ස අධික දවසක්. ලස්සනට පාට වෙලා තිබුණු ගස් වල කොළ වැස්සත් එක්ක එක පාරට හැලෙන කොට ටිකක් කණගාටුවක් දැනෙනවා. හැබැයි තවමත් කොළ වලින් ටිකයි හැලිලා තියෙන්නේ.

(Image: https://www.yoga-healing-nature.com/blog/2015/10/23/attuning-to-the-fall-season)

Wednesday, October 31, 2018

ට්‍රික් ඕ ට්‍රීට්?


විධායකය හා ව්‍යවස්ථාදායකය අතර යම් සංහිඳියාවක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. සිදු විය හැකි අනෙකුත් දේවල් වලට සාපේක්ෂව මේ වෙලාවේ සිදු විය හැකි හොඳම දෙය සිදු වෙයි කියා හිතනවා. පිටට මොන විදිහට පෙන්නුවත් දැන් දෙපැත්තම හෙම්බත් වෙලයි ඉන්නේ.

අප ලියන දේවල් වැඩි දෙනෙක් කියවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක්ට කතා කළ හැකි ටික දෙනෙක් මෙය කියවනවා. ඒ කියවන අයට අප ලියූ දේ තේරුණා කියා අප හිතනවා. ප්‍රශ්නය මේ වන විට නැවතී තිබෙන තැන අනුව ව්‍යවස්ථාව ගැන නැවත නැවත කතා කිරීම අවශ්‍ය නැහැ කියා මා හිතනවා.

මේ අඳුරු වලාවෙන් මතු වූ රිදී රේඛාව ලංකාවේ සෑහෙන දෙනෙක් රටේ ව්‍යවස්ථාව ගැන හදාරන්න උනන්දු වීමයි. රටක ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රනය ඇතුළේ ව්‍යවස්ථාවට තිබෙන තැන ගැන වගේම ව්‍යවස්ථාවේ තිබෙන දේ ගැනත් අවබෝධයක් රටේ සෑහෙන පිරිසකට තිබිය යුතුයි. අවම වශයෙන් රාජ්‍ය යාන්ත්‍රනයේ කොටසක් වන සියළු දෙනාටම ඒ අවබෝධය තිබිය යුතුයි. ප්‍රශ්නයක් මතු වූ විට ව්‍යවස්ථාවේ වචන අල්ලාගෙන තර්ක කරන්න සිදු වන තත්ත්වයක් ඇති වීම හොඳ දෙයක් නෙමෙයි.

හමුදාව ප්‍රශ්නයෙන් ඈත්ව ඉන්න තීරණය කර තිබීමෙන් පරිණත හැසිරීමක් පෙන්වා තිබෙනවා. ඒ වගේම, කතානායකවරයාගේ විමසීමට නීතිපතිවරයා පිළිතුරු දී නැහැ. එසේ කිරීම අවශ්‍ය නොවනාවක් මෙන්ම නීතිපතිවරයාගේ මතය කියන්නේ අධිකරණයේ මතයද නෙමෙයි. ව්‍යවස්ථාවේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් අතර පැහැදිලි වෙනස්කම් තිබීමෙන්ම පෙනෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරි කොයි තරම් සැලකිල්ලෙන් කර තිබෙනවාද කියන එකයි.

ලංකාවේ ප්‍රශ්නය හා අදාළව ඇමරිකාව තවමත් ක්‍රියා කරන්නේ රාජ්‍යතාන්ත්‍රික සීමාව ඇතුළේ සිටයි. ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී, මා හිතන විදිහට ප්‍රංශ පුවත් සේවයේ වාර්තාකරු විසින්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තම්න්තුවේ රොබර්ට් පැලඩිනෝගෙන් සෘජුවම ලංකාව හා අදාළ තීරණාත්මක ප්‍රශ්න කිහිපයක් ඇහුවත් ඔහු ඒ ප්‍රශ්න වලට සෘජු පිළිතුරු සැපයූවේ නැහැ.

-හිටපු අගමැතිවරයා තවමත් ලංකාවේ නීත්‍යනුකූල අගමැතිවරයා සේ ඔබ සලකනවාද?
-එසේනම්, ඔහුව ඉවත් කිරීම ඇමරිකානු මැදිහත්වීමක් අවශ්‍ය වන ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක්යැයි ඔබ විශ්වාස කරනවාද?

වාර්තාකරු දිගින් දිගටම විමසමින් මේ ප්‍රශ්න වලට සෘජු පිළිතුරක් ලබා ගන්න උත්සාහ කළත් රොබර්ට් පැලඩිනෝගේ පිළිතුර වූයේ මෙය ශ්‍රී ලංකාවේ නීතිය අනුව, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වුනු මහජන නියෝජිතයින් විසින් පාර්ලිමේන්තුව හරහා විසඳාගත යුතු ප්‍රශ්නයක් බවයි. කෙසේ වුවත්, ලංකාවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව ඔහු අවධාරණය කළා.

අද හැලෝවීන් රාත්‍රිය. උණුසුම් කාලය නිමා වෙලා ශීත කාලය ආරම්භ වෙමින් පවතිනවා. මේ දවස්වල පරිසරය ඉතාම ලස්සනයි.

(Image: https://www.niutoday.info/2014/10/28/jack-o-lanterns-await-visitors-oct-31-to-lowden-hall-o-ween/)

චීන සුබ පැතුමේ සිට ඉන්දියානු නිහඬතාවය දක්වා...


ලංකාවේ පවතින තත්ත්වය මේ වන විට ඉතා වේගයෙන් බටහිර මාධ්‍ය වල අවධානය දිනා ගනිමින් තිබෙනවා. මේ හා අදාළ වාර්තා පිරික්සන විට සුවිශේෂී කරුණු කිහිපයක්ම කැපී පෙනෙනවා.

මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීම හා අදාළ පුවත වාර්තා කෙරෙන්නේ එක්කෝ ව්‍යවස්ථාවට එරෙහිව සිදු වූවක් ලෙස. එසේ නැත්නම් ව්‍යවස්ථාවට එරෙහිවද යන්න පැහැදිලි නොමැතිව ලෙස.

මහින්ද රාජපක්ෂ නම බොහෝ විට ලියැවෙන්නේත් නිකම්ම නෙමෙයි. "මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට ලක් වී ඇති", "මාධ්‍ය මර්දනය කිරීමේ චෝදනා වලට ලක් වී ඇති" වැනි හඳුන්වාදීම්ද සමගයි.

ඒ එක්කම අර්ජුනගේ ආරක්ෂකයෙකු විසින් කළ වෙඩි තැබීම ඇතුළුව මේ වන විට සිදුව තිබෙන මරණ දෙකකට විශාල බරක් වැටෙමින් තිබෙන බව පෙනෙනවා. නමුත්, මේ ගැන බොහෝ විට කියැවෙන්නේ පසුබිම් කතා නැතිව "බල අරගලය නිසා මේ වන විටත් ජීවිත හානි සිදු වී තිබෙනවා" වැනි කතා. විශාල ජීවිත හානියක් සිදු වීමේ අවදානමක් ගැන බොහෝ විට අවධාරණය කෙරෙනවා.

මහින්ද රාජපක්ෂව පත් කර වැඩි වෙලාවක් යන්න කලින්, 27 සෙනසුරාදා, චීන නායකයාගේ සුබ පැතුමක් සමඟ චීන තානාපතිවරයා ඔහුව හමු වුනා. ඔහු එදිනම රනිල් වික්‍රමසිංහවත් හමු වී තිබෙනවා. ප්‍රශ්නය මේ තරම් දුරදිග යයි කියා චීනය ඒ වන විට දැන සිටියාද කියා මා දන්නේ නැහැ.

මේ වන විට චීනයේ ස්ථාවරය වී තිබෙන්නේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීමයි. දින දෙකකට පෙර (29 සඳුදා) චීන විදේශ අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය රට ඇතුළේ විසඳා ගත යුතු ප්‍රශ්නයක් බවයි.

නියම අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නය දිග් ගැස්සෙද්දී, අනෙකුත් රටවල් මුලින් කළේ විමසිල්ලෙන් බලා සිටීම පමණයි. ඔවුන් එක්වරම කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ නැහැ. එසේ වුවත්, එක්සත් රාජධානිය, යුරෝපීය රටවල් කිහිපයක්, කැනඩාව හා ඉන්දියාව ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටියා. මේ වන විට (27 සෙනසුරාදා) රනිල් වික්‍රමසිංහ විසින් ඉහත රටවල් ඇතුළු තෝරාගත් රටවල් කිහිපයක තානාපතිවරුන් ගෙන්වා ඔහුගේ ස්ථාවරය පැහැදිලි කර උදවු ඉල්ලා සිටි බව වාර්තා වී තිබුණා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය වගේම රනිල් පාර්ශ්වයත් අද දක්වාම කියන්නේ ව්‍යවස්ථාව අනුව තමන් නිවැරදි බවයි. ඒ නිසා, ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටීම පසුව ඕනෑ පැත්තකට නැවිය හැකි පතෝල ප්‍රකාශයක් පමණයි.

ඉරිදා (28) වෙද්දී කථානායකවරයා විසින් ව්‍යවස්ථානුකූල අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බව තීරණය කර තිබුණා. එයට සමාන්තරව ඒ වන විට ජනාධිපතිවරයා විසින් කල් තබා තිබුණු පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවන මෙන් ඉල්ලීමක් එජාපයෙන් මතු වුණා. ඒ ඉල්ලීමට මහින්ද-මෛත්‍රී කණ්ඩායම් හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් කොටස්ද එකතු වුනා.

එදිනම (28 ඉරිදා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගෙන ඇති මහජන නියෝජිතයන්ට ආණ්ඩුව මෙහෙයවිය යුත්තේ කවුරුන් විසින්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදෙමින්, කතානායකවරයා සමඟ සාකච්ඡා කොට වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරුණා. මෙයින් ඇමරිකාව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව පිළිගන්නා බවක් අදහස් නොවුනත්, පාර්ලිමේන්තුව කල් තැබීම ඇමරිකාව අනුමත නොකරන බව ප්‍රකාශ වුනා. එය රනිල් පාර්ශ්වයට වාසිදායක ප්‍රකාශයක්.

සඳුදා (29) වෙද්දී කැනඩාවත් මේ ඉල්ලීම කරමින් ඇමරිකාවට එකතු වුනා. එයට අමතරව මාධ්‍යවේදීන්ගේ හා මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන මෙන්ද කැනඩාව ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුව හරහා ඉක්මණින් ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් මේ වන විට (31 බදාදා) ඕස්ට්‍රේලියාවද ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති සිරිසේන විසින්ද පසුගිය සඳුදා (29) තානාපතිවරුන් හමු වී තිබෙනවා. එයින් අනතුරුව, නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය සංගමය විසින්ද වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

සඳුදා (29) එක්සත් රාජධානිය විසින් නිකුත් කෙරුණු නිවේදනයෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් කර තිබෙන ඉල්ලීමට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සංහිඳියාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වී ශ්‍රී ලංකා රජය හා ජනතාව සමඟ කටයුතු කිරීමට කැප වී සිටින බව අවධාරණය කර තිබෙනවා.

පසුගිය ඉරිදා ඉන්දියාව විසින් කරපු පතෝල අදහස් දැක්වීමෙන් පසුව තවමත් ඒ පැත්තෙන් සද්දයක් නැහැ.

කූඹියෝ බලපු අය දන්නවා ඇති සමහර ගේම් ගැහුවේ කවුද කාටද කියා දැන ගන්න සෑහෙන කාලයක් යන බව.

Tuesday, October 30, 2018

දේශපාලන අර්බුදය කොයිබටද? (දෙවන කොටස)


පවතින දේශපාලන අර්බුදය ගැන, විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාව ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න ගැන, මගේ පෞද්ගලික මතය මම දැනටමත් සටහන් කරලා තිබෙනවා. නමුත්, මේ හා අදාළ මගේ පෞද්ගලික මතය කිසිසේත්ම වැදගත් කරුණක් නෙමෙයි. ඒ නිසා අපි එය පැත්තකින් තබමු.

මේ කටයුත්තේ නෛතිකත්වය පිළිබඳව විවිධ අය දරන අදහස් වල පැහැදිලි බෙදීමක් තිබෙනවා. ජනාධිපතිවරයා කියන ආකාරයට ඔහු කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුකූලවයි. මේ ගැන මහින්ද රාජපක්ෂගේ පැහැදිලි කිරීම මෙවැන්නක්.

"පැවති රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වීම හේතුකොට ගෙන එම සභාග රජය අහෝසි විය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ආණ්ඩුවක් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරුණි. ජනාධිපතිවරයා නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙස මට ආරාධනා කර සිටියේය."

මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය අනුව, ජනාධිපතිවරයාට අගමැති ඉවත් කර නව අගමැතිවරයෙක් පත් කරන්න ඉඩ ලැබී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වය පැවති රජයෙන් ඉවත් වීම නිසයි. ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වය වෙනුවෙන් පෙනී සිටින වැඩි දෙනෙකුගේ තර්කය වන්නේත් ජාතික ආණ්ඩුවෙන් එජනිසය ඉවත් වීම හේතුවෙන් පැවති ආණ්ඩුව අහෝසි වූ බවයි. නීතිපතිවරයා ඉන්නේත් මේ මතයේමද යන්න පැහැදිලි නැහැ.

ඉහත මතයට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරමින්  තීරණයේ නෛතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ (මා දන්නා තරමින්) නලින් ද සිල්වා (සහ ඔහුගේ මතය පිළිගන්නා වෙනත් අය) පමණයි. ඒ මතයේත් සෑහෙන අඩුලුහුඬුකම් තිබෙනවා. ඒ ගැන වැඩිමනත් අදහස් ඉදිරිපත් කිරීමට මේ වෙලාවේ කාලය යෙදවීමේ  තේරුමක් තියෙනවා කියා මා හිතන්නේ නැහැ. මේ හා අදාළව මා හිතන ආකාරයේ වැදගත්කමක් නැහැ.

අනෙක් අතට,  ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වයට අභියෝග කරන අය අතරත් විවිධ පාර්ශ්ව සිටිනවා. ඇතැම් අයට ප්‍රශ්නයක් සේ පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය තිබෙන පුද්ගලයා බව තහවුරු කර නොගෙන අගමැති සේ පත් කිරීමයි. මේ මතය දරන අය ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට ඇති අයිතිය ප්‍රශ්න කරන්නේ රනිල් වික්‍රමසිංහට තවමත් පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය තිබෙනවාය යන පදනමින්.

මේ තර්කයත් පුහු තර්කයක්. මේ කරුණ මත ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කර ඇති බවක් කියන්න බැහැ. 42(4) අනුව එය ඉතා පැහැදිලියි. 2015 ජනවාරියේදී පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් තිබුණු (මතක විදිහට) රනිල් වික්‍රමසිංහව අගමැති සේ පත් කළේත් එසේ කළ හැකි නිසා.

මා ඇතුළු බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වය ප්‍රශ්න කරන්නේ ව්‍යවස්ථාව අනුව ඔහුට අගමැතිවරයාව ඉවත් කිරීමේ හැකියාවක් නැතිය යන පදනමින්. ව්‍යවස්ථාවේ තිබෙන පරස්පර නිසා මේ හා අදාළව විවිධ තර්ක ගේන්න පුළුවන්. මගේ නිගමනය මත මා තවමත් රැඳී සිටින්නේ අලුතින් මතු වී තිබෙන තර්ක ද ඇතුළුව ඒ සියලු තර්ක විතර්ක කරුණු කාරණා ආදිය කිරා බැලීමෙන් පසුවයි.

පදනම කුමක් වුවත් මෙහිදී වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ තීරණය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්නයි. මේ දෙකෙන් එකක් මිස දෙකම එක වර වෙන්න විදිහක් නැහැ. ලංකාවේ වලංගු නීතියට චතුර්කෝටික තර්ක හරියන්නේ නැහැ. ඒ නිසා එක්කෝ මේ තීරණය ව්‍යවස්ථානුකූලයි. එසේ නැත්නම් නැහැ.

මේ අනුව, එකවර අගමැතිලා දෙන්නෙක් ඉන්න බැහැ, එක්කෝ අගමැති මහින්ද රාජපක්ෂ. නැත්නම් රනිල් වික්‍රමසිංහ. අගමැති රනිල් නොවේනම් මේ වන විට හිටපු ඇමති වරුන් සියලු දෙනාගේම ඇමති ධුර අහෝසි වී අවසන්. අගමැති රනිල්නම් ඔවුන් තවමත් ඇමතිවරු. එහෙමනම් අලුත් ඇමති පත්වීම් කිසිවක් වලංගු නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දෙන තුරු හෝ පාර්ලිමේන්තුව රැස් වන තුරු මේ අවුලේ කෙළවරක් දකින්න ලැබෙන එකක් නැහැ.

දැනට පෙනෙන අයුරින් කිසිදු පාර්ශවයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමේ සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. දෙගොල්ලන්ම බලා ඉන්නේ පාර්ලිමේන්තුව හරහා ප්‍රශ්නය විසඳා ගන්නයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවත් ඒ සඳහා මාස දෙකක් දක්වා කල් ගන්න ව්‍යවස්ථාවෙන් ඉඩ තිබෙනවා. ඒ නිසා, පාර්ලිමේන්තුව හරහා ප්‍රශ්නය විසඳා ගැනීම නරක අදහසක් කියන්න බැහැ. එය වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියා කියන්නත් පුළුවන්.

මේ වන විට පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල් තබලයි තියන්නේ. ඊට පෙර පාර්ලිමේන්තුව කැඳවන මෙන් එජාපය, ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථාව අනුව බැලුවොත්, කිරීමේ හෝ නොකිරීමේ හැකියාව තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. පාර්ලිමේන්තුව රැස් වීමෙන් අනතුරුව ප්‍රශ්නය සමථයකට පත් වෙනු ඇතැයි සිතිය හැකි වුවත් ඒ වන තෙක් පවතින අරාජිකත්වය හේතුවෙන් සිදුවන විනාශය තව දුරටත් එසේමයි. ඊට අමතරව, පාර්ලිමේන්තුව රැස් වී ප්‍රශ්නය සමථයකට පත් වීමෙන් පසුවත් ඉතිරි වන දිගුකාලීන ගැටළු ගණනාවක් තිබෙනවා.

යම් හෙයකින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථානුකූල බව පසුව තහවුරු වුනොත්, පෙර සිටි ඇමතිවරුන් දැන් ගන්නා තීරණ  කිසිවක් වලංගු නැහැ. එහි අනිත් පැත්ත වුවහොත්, ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථානුකූල සේ සලකා ගත් තීරණ කිසිවක් වලංගු නැහැ. උදාහරණයක් ලෙස පොලිස්පතිවරයා විසින් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව අඩු කිරීමට ගත් තීරණය.

ජනාධිපතිවරයා ඔහුගේ ධුරයේ සිටියදී ගන්නා තීරණ හා අදාළව ඔහුට මුක්තියක් තිබෙනවා. නමුත්, ඔහුගේ වැරදි තීරණයක ප්‍රතිඵල මත පත් වන අයෙකුගේ නියෝග ක්‍රියාත්මක කරන අයෙකුට පසුව ඒ වෙනුවෙන් වගවෙන්න සිදුවිය හැකියි. මේ හේතුව නිසා ව්‍යවස්ථාව තම තම නැණ පමණින් විග්‍රහ කර ගන්නා රාජ්‍ය නිලධාරීන් අවදානම් තීරණ නොගෙන ඉන්න ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ පාර්ලිමේන්තුව රැස් වන තුරුම රාජ්‍ය යාන්ත්‍රනය අකර්මන්‍ය වීමයි. ආර්ථිකයට දැනටමත් දිගුකාලීන හානි රැසක් හානි සිදු වී අවසන්. කවුරු ආණ්ඩුව පිහිටවූවත් එහි හානිය රටටයි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කතානායකවරයාව වෙනස් කිරීමට හෝ ඔහුගේ තීරණ වලට බලපෑම් කිරීමට හැකියාවක් නැහැ. දහනවවන සංශෝධනයෙන් අලුතින් එකතු කර තිබෙන 33අ අනුව්‍යවස්ථාව අනුව "ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම හා යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන්" ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. නමුත්, පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යටත් නැහැ.

මේ තත්ත්වය යටතේ, විධායකය තමන්ගේ සීමාවෙන් ඔබ්බට අඩිය තැබීම නිමිත්තක් කර ගනිමින් ව්‍යවස්ථායකයත් ඉදිරියට පැන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පෙනෙන්න තිබෙනවා. වත්මන් ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකය වඩා බලවත් බව පෙනෙන්න තිබුණත් අවසාන වශයෙන් එය තීරණය වන්නේ ප්‍රයෝගික භාවිතාව තුළයි. මේ වෙලාවේ සිදුවන සිදුවීම් අනාගතයට පූර්වාදර්ශ සපයනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබා තිබීම නොසලකා හරිමින් පාර්ලිමේන්තුව රැස් වුවහොත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් ඇතැයි මා සිතන්නේ නැහැ. රාජ්‍යය කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන කොටස් තුනම මිසක් එයින් එක් කොටසක් නෙමෙයි. රාජ්‍යයක ස්ථාවර භාවය පිණිස මේ අංශ අතර සාමකාමී සහජීවනයක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. මේ අංශ දෙකක් අතර ගැටුමක් කියන්නේ රාජ්‍ය ව්‍යුහයේ අර්බුදයක්. ඒ වගේ වෙලාවක විදේශ රටකට වුවත් අත පෙවීමක් කරන්න පහසුයි.

කතානායකවරයා මේ වන විට අගමැති සේ පිළිගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහවයි. ඒ නිසා, රනිල්ට තමන්ට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති බව පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට කැමතිනම් ස්වේච්ඡාවෙන් ආණ්ඩුවට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කරගත හැකියි. රනිල්ට 113 තිබේනම් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංගයක් වුවත් එන්න පුළුවන්.

පවතින තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව පරාජය කිරීම සඳහා 113 පෙන්වන්න සිදු වන්නේ මහින්ද-මෛත්‍රී පාර්ශ්වයටයි. මහින්දව අගමැති සේ පිළිගන්නා මෙන් කථානායක වරයාට බලපෑම් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ. එය කළ හැකි එකම ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථදක්වා ගැනීමයි. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට මාස දෙකක් දක්වා කල් ගත හැකියි. ඒ වගේම අර්ථදැක්වීම ලබා දෙන තුරු දැනට ගත් තීන්දු අත්හිටවීමේ ඉඩක් තිබෙනවා. එසේ වුනොත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයේ සැලසුම් අවුල් වෙනවා. මම හිතන විදිහට ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නේ නැත්තේ ඒ නිසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් නොවී, පාර්ලිමේන්තුව රැස් වෙන්න පෙර තත්ත්වයේ වෙනසක් වෙන්නේ කථානායකවරයා විසින් කල් පසුවී හෝ ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ ව්‍යවස්ථානුකූල බව පිළිගත්තොත් පමණයි. ඔහුට තමන්ගේ හෘද සාක්ෂිය හා නීති උපදෙස් අනුව එසේ කිරීමට හෝ නොකිරීමට පුළුවන්කම තිබෙනවා. යම් හෙයකින් ඔහු ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ ව්‍යවස්ථානුකූල බව පිළිගත්තොත් ඒ වහාම තවත් ගොඩක් දේවල් වෙනස් වෙනවා. රනිල්ට අරලියහ මන්දිරයේ ඉන්න තිබෙන අයිතිය නැති වෙනවා. එජාපයට 113 තිබුණත් හදන්න වෙන්නේ අලුත් ආණ්ඩුවක්. එහෙම වුනොත් එජාපය මෙතෙක් ගෙන ආ තර්ක සියල්ල පුහු තර්ක වෙනවා. ඒ නිසා, එය සිදුවෙන්න බැරි නැතත්, වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි.

පවතින තත්ත්වය යටතේ, මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් 113 හොයා ගත්තොත් ඔවුන්ට කළ හැක්කේ විශ්වාස භංගයක් මගින් ආණ්ඩුව පරාජය කිරීමයි. එය යම් ආකාරයකින් නැවත මුලට යාමක්. මෙතෙක් කරපු දේවල් වලින් ඔවුන්ට ලැබෙන වාසිය 113 හොයා ගැනීම වඩා පහසු වීම පමණයි. එය සුළුපටු වාසියක් නොවන බවත් කිව යුතුයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට තවමත් මන්ත්‍රීවරුන් 113කගේ සහයෝගය ඇති බවක් පෙනෙන්නේ නැහැ. එසේ තිබේනම් ඔවුන්ට පාර්ලිමේන්තුව රැස් නොකර ඉන්න හේතුවක් නැහැ. ඒ අතරම, රනිල් පාර්ලිමේන්තුව ඉක්මණින් රැස් කරගන්න උත්සාහ ගනිමින් සිටීමෙන් පෙනෙන්නේ මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් 113 හදාගැනීමේ උත්සාහය වැළැක්වීමේ අරමුණයි. මහජන නියෝජිතයින් ගෙම්බෝ වගේ දෙපැත්තට පනින ආකාරය අනුව අන්තිමට කවුරු කොයි පැත්තේ සිටීද කියන එක ගැන අනාවැකි කියන්න අමාරුයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය 113 හදාගත්තොත් තාවකාලිකව ප්‍රශ්නය විසඳෙනවා. ඉන් පසුව, මහින්ද බොහෝ විට මැතිවරණයකට යන්න ඉඩ තිබෙන නිසා (මැතිවරණයෙන් දිනුවොත්) කලින් සිදු වූ දේවල් බොහොමයක් යට වෙලා යයි. අනික් අතට මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට යම් හෙයකින් 113 හදාගන්න බැරි වුනොත්, ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමේ සිට තවත් ගොඩක් දේවල් වෙන්න පුළුවන්.

ඔය සියල්ලටම වඩා වැදගත් කරුණ නොවැම්බර් 16 දක්වා කාලය තුළ කුමක් වෙයිද කියන එකයි. විශේෂයෙන්ම රනිල්ව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීම සඳහා ගන්නා උත්සාහයක් විශාල විනාශයකින් කෙළවර වෙන්න පුළුවන්. ඒ තරම් දුරකට මහින්ද-මෛත්‍රී පාර්ශ්වය යන බවක් දැනටනම් පෙනෙන්න නැහැ.

Monday, October 29, 2018

දේශපාලන අර්බුදය කොයිබටද? (පළමු කොටස)

ලංකාවේ දේශපාලන අර්බුදය මේ වන විට වඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම, කථානායකවරයා විසින් ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙන අගමැති පත්වීම පිළිනොගැනීමට තීරණය කිරීමත් සමඟ මෙය රටේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සෘජු බල ගැටුමක් දක්වා දිගු වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ මින් පෙර ඇති නොවූ තත්ත්වයක්. මෙය රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති වී තිබෙන බල අරගලයට සම්බන්ධ වුවත්, මා අවධානය හෙළන්නේ ඊට වඩා ගැඹුරු රටේ රාජ්‍ය ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයකටයි.

රටේ විධායකය ක්‍රියා කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූලද නැද්ද කියන කරුණ රටට දිගුකාලීනව ලොකුවටම බලපාන කරුණක්. නමුත්, එය නිරාකරණය කර ගැනීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ දරන බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ ආණ්ඩු බලය ලබාගැනීම/ පවත්වා ගැනීම කියන කරුණටයි.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන බලකණු තුන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කොටස් තුනයි. ඇමරිකාව වැනි රටක රාජ්‍ය ආකෘතිය හැදී තිබෙන්නේ මේ අංග තුන අතර සෑහෙන තරමේ බල තුලනයක් සහිතවයි. එක්සත් රාජධානිය වැනි රටවල ව්‍යවස්ථාදායකය විධායකයට වඩා බලවත්.

ලංකාව නිදහස ලැබූ තැන් පටන්, 1978 ව්‍යවස්ථාව හඳුන්වා දෙන තුරුම තිබුණේ පාර්ලිමේන්තුවට යටත් නාමික විධායක ජනාධිපතිධුරයක්. නමුත්, 1978 ව්‍යවස්ථාවෙන් එය වෙනස් වී පූර්ණ විධායක ජනාධිපති ධුරයක් ඇති වුණා. 2015 අප්‍රේල් 28 වනදා 19 වන සංශෝධනය හරහා මේ තත්ත්වයේ විශාල වෙනසක් සිදු වුනා. පාර්ලිමේන්තුව නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙකු හැර එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, දෙමළ හා මුස්ලිම් පක්ෂ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂ වලට අයත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ මේ සංශෝධනය හරහා විධායක ජනාධිපතිගේ බලතල විශාල ලෙස කප්පාදු කර ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වගකිව යුතු තනතුරක් බවට පත් කෙරුණා.

ඒ අනුව, 33A අනුව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වුනා.


මේ අනුව, 2015 අප්‍රේල් 28 දින සිට ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ ඊට පෙර සිටි ජනාධිපතිවරයාම නෙමෙයි. ඒ ධුරය දරන පුද්ගලයා එකම පුද්ගලයෙක් වීම වෙනත් කරුණක්.

ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව කාලයක් තිස්සේම තිබුණු ඉල්ලීමක්. 19 වන සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙය සලකා බැලුනත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුනේ ඇතැම් සංශෝධන කළ හැක්කේ ජනමතවිචාරණයක් හරහා පමණක් බවයි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා අගමැතිවරයා වන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැනි වෙනස්කම් කළ හැකි වුනේ නැහැ.

ලංකාවේ ජනාධිපතිධුරය මේ වන විට නාමික ධුරයක් වී නැහැ. නමුත්, කලින් වූ පූර්ණ විධායක බලතල මේ වන විට සීමා වී තිබෙනවා. එයට සාපේක්ෂව ව්‍යවස්ථාදායකය ශක්තිමත් වී තිබෙනවා. මේ අවස්ථාව ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බලය බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂාවට ලක් වන අවස්ථාවක්.

ඉහත නෛතික කරුණේ සිට ලංකාවේ දේශපාලන පක්ෂ අතර මේ වන විට පවතින බල අරගලයට නැවත ආවොත්, අවසාන වශයෙන් මෙය පාර්ලිමේන්තුවේ වඩා හොඳ ආකාරයකින් විසඳී අවසන් වෙයි කියා මා හිතනවා. ඒ අතරම, මෙය ඕනෑවට වඩා දිග්ගැස්සී වීදි සටන් හරහා විසඳෙන්න යාමේ අවදානමත් මෙහි තිබෙනවා.

අද සිදු වී තිබෙන ආකාරයේ වෙනසක් සිදු විය යුතු බව දිගු කාලයක් තිස්සේම යෝජනා කළ පුද්ගලයෙක් ලෙස නලින් ද සිල්වා ගැන කතා නොකර බැහැ. ඔහුගේ ලිපි වල කොටස් ඇතැම් අය මෙහි පෙර ලිපි වලට ප්‍රතිචාර ලෙස උපුටා දක්වා තිබෙනවා. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කරන්න හේතු වන දෙවන කරුණ ඔහු වෙනත් ඕනෑම කෙනෙක් මෙන්ම අපක්ෂපාතී පුද්ගලයෙකු නොවූවත්, තමන්ගේම මතයක් තිබෙන ස්වාධීන පුද්ගලයෙක් සේ මා සලකන නිසයි.

නලින් ද සිල්වා විසින් යෝජනා කළ පළමු දෙය රනිල්ව එළවීම සඳහා මහින්ද විසින් මෛත්‍රීපාලට ශක්තිය දිය යුතු බවයි. ඔහු එය කියන අවස්ථාවේදී එය සිදුවීමට අසීරු දෙයක් මෙන් තිබුණත් මේ වන විට එය සිදු වී තිබෙනවා.

දෙවනුව, නලින් ද සිල්වා විසින් එය කළ හැකි ආකාරයක් යෝජනා කළා. ඔහු (ඔහුගේ මතය අනුව) පෙන්වා දුන්නේ පවතින ව්‍යවස්ථාවට පටහැනි නොවී මෙය කළ හැකි බවයි. ව්‍යවස්ථාව නොසලකා හැරිය යුතු බව ඔහු යෝජනා කළේ නැහැ.

දැනටත්, මහින්ද පාර්ශ්වයේ මෙන්ම මෛත්‍රී පාර්ශ්වයේ අයත් කියන්නේ ඔවුන් කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව බවයි. මේ බව කියමින් ගෙනෙන තර්ක අතර ජනප්‍රියම තර්කය වන්නේ ජාතික ආණ්ඩුවේ එක් පක්ෂයක් ඉවත් වූ පසුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වන බවයි. අදාළ තර්කය ගෙන එන අය අතරින් එක් අයෙක් වන අලි සබ්‍රිව අජිත් පැරකුම් ජයසිංහ විසින් උපුටා දක්වනවා. අදාළ උපුටනය පහත ලිපියේ තිබෙනවා.

අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබේදැයි විමසිය යුතු ද? නැද්ද?

ජාතික ආණ්ඩුවේ එක් පක්ෂයක් ඉවත් වූ පසුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වන්නේය යන්න ඉතාම දුර්වල තර්කයක්. ජාතික ආණ්ඩුවක් තිබීම හෝ නොතිබීම අදාළ වන්නේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය හා අදාළව පමණයි. මෙය නලින් ද සිල්වා විසින්ම පහත ලිපියේ පැහැදිලි කර තිබෙනවා.

රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව

පවතින ව්‍යවස්ථාව යටතේම ජනාධිපතිවරයාට අගමැතිවරයාව ඉවත් කළ හැකි බව නලින් ද සිල්වා විසින් යෝජනා කරන්නේ වෙනත් පදනමකිනුයි. මා නලින් ද සිල්වාගේ මතය සමඟ එකඟ වන්නේ නැතත්, ඒ මතය විමසිල්ලට ලක් කරන්න කැමතියි. මගේ වචන වලින් කියනවානම් නලින් ද සිල්වා යෝජනා කරන්නේ බොහෝ විට නොසැලකිල්ල නිසා හෝ අතපසුවීම් නිසා ව්‍යවස්ථාවේ දැකිය හැකි අසංගත තැන් ඔහු පෙනී සිටින දේශපාලන අරමුණ වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයයි. නීතිය හා සම්බන්ධ කටයුතු වලදී මෙවැනි දේ සිදුවීම සාමාන්‍ය දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙහිදී නලින් ද සිල්වා යෝජනා කරන්නේ 43 (3) වගන්තිය අනුව මෙය කළ හැකි බවයි.

"43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව."

මේ තර්කයේ පදනම වන්නේ 43(3) වගන්තියේ "අමාත්‍ය මණ්ඩලය" යන අර්ථදැක්වීමට අගමැතිධුරයත් අයත් වන බවයි. පහත තිබෙන්නේ 43(3) වගන්තිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ වචන පටලැවිල්ලක් ගැන මහින්ද රාජපක්ෂ විසින් කියා ඇති නිසා මා කෙළින්ම අවධානය යොමු කරන්නේ සිංහල පිටපතටයි.


නලින් ද සිල්වා කියන 43(3) අනුව්‍යවස්ථාව තනිව බැලුවොත් ඔහු කියන කරුණට යම් පදනමක් තිබිය හැකි බව පෙනෙනවා. නමුත්, ඊට පෙර තිබෙන 42 අනුව්‍යවස්ථාවේ කෙටි ටයිටලය "අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය" වීමෙන් පෙනෙන්නේ "අමාත්‍ය මණ්ඩලය" යන අර්ථ දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළත් නොවන බවයි. 43(3) අනුව්‍යවස්ථාවේ කතා කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන පමණයි. නමුත්, මේ හා අදාළව වෙනත් ආකාර වලින් තර්ක කිරීමටත් ඉඩක් තිබෙනවා.

නලින් ද සිල්වා කියන ආකාරයට 43(3) අනුව අගමැති වෙනස් කළ හැකියි කියා සිතමු. 43(3) අනුවම, එසේ කිරීමෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම වෙනස් වෙන්නේ නැහැ. 46(2) අනුව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අගමැති ධුරය අහෝසි වෙන්න විදිහක් නැහැ. ඒ නිසා, 43(3) අනුව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය යන්නට අගමැති ද ඇතුළත් සේ සැලකීම පරස්පරයක්.



ඇත්තටම ව්‍යවස්ථාවේ පරස්පර සෑහෙන්න තිබෙනවා. මේ පරස්පර හමුවේ නිවැරදි දෙය කුමක්ද කියා නලින් ද සිල්වා හෝ මා හෝ හිතන ආකාරය නෛතික ලෙස හා ප්‍රායෝගික ලෙස වැදගත් නොවුණත් ජනාධිපතිවරයා හා කථානායකවරයා හිතන ආකාරය වැදගත්. මේ වෙලාවේ ඔවුන් හිතන්නේ දෙආකාරයකටයි.

ජනාධිපතිවරයා හිතන ආකාරයට ඔහුට ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත් කර අලුත් අගමැතිවරයකු පත් කළ හැකියි. කතානායකවරයා හිතන ආකාරයට ඔහුට එය කළ නොහැකියි. මෙය සුළුපටු අර්බුදයක් නෙමෙයි. මේ වෙලාවේ බලය හුවමාරු වීම පිළිබඳ කරුණක් පමණකුත් නෙමෙයි.

මේ වගේ වෙලාවක අවසන් තීරණය තියෙන්නේ කාගේ අතේද? පහත උපුටා දක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(1) අනුව්‍යවස්ථාව. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි.


මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කළ වහාම පවතින අර්බුදය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ වාසියට කැරකෙනවා. එය කොයි පැත්තට කැරකෙයිද කියා ස්ථිරව කීමේ හැකියාවක් මට නැහැ. අදාළ පාර්ශ්ව දෙකෙන් එකක්වත් ඒ අවදානම ගන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. මෙහි කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිඵල ගැන පසුව කතා කරමු.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...